ඉස්කෝලෙ යන කාලයේ මම අකැමැතිම දේවල් කිහිපයක් තිබුණේය. ඒ මා පොඩි කාලේ යැයි සිතිය හැකිය. දැන් වුවත් මහා ලොකුවක් නැතිය. ඒත් ඒ කාලයේ මා දෙමළ පුවත් විකාශය වීම අසා සිටීමට අප්පිරියාවකින් යුක්ත වූවෙක්ය. ඒ කාලේ බෝම්බයක් පුපුරන විට ටීවී එක දාගෙන දෙමල, ඉංගිරිසි සහ සිංහල පුවත් හැම එකම බැලීම සිරිතක්ය. රූපවාහිනී නාලිකාව ආරම්භවන කූං සද්දය සහ ඒ රූප සටහන මට තාමත් මතකය. එදා දෙමළ පුවත් ඇසෙන විට මට කේන්ති යන්නේය. එසේම වමනය හෝ ඔක්කාරයට හෝ එන්නේ කුමන හේතුවක් නිසාදැයි මා නොදන්නේය. එසේම ඒ කාලයේ මට පල්ලි පේන්නට බැරිය. පල්ලි දුටු විටක සිතට නැගෙන්නේ අමුතුම ගුප්ත හැගීමක්ය. හොල්මන් ෆිල්ම් එකක් ඇතුලේ සිටින්නෙකු මෙන් මා සිත බියෙන් වෙලෙන්නේ පල්ලි, කෝවිල්, ආදිය දුටු විටය. එසේම මහත කෙල්ලන් පවා මට පාසල් සමයේ පෙන්නන්නට බැරිය. ට්‍රේලර් බයික් ස්ටාර්ට් කරන හඬ, පවා මා අසා සිටීමට අකැමැතිය. ඒවා සියල්ල ගුප්තය. බිය උපදවන සුළුය. තව දුරටත් මතක් කරන විට මා හට වියන් ඇඳන් පවා දුටු විට සිහිවන්නේ සිංහල හොල්මන් නාට්‍යයන්ය.
එදා මා අකැමැති වූ පල්ලියක අද විවාපත් වන්නේය. සෑම ආගමකින්ම උගන්වන්නේ හැදිච්ච කමක් බව මට හැගෙන්නේය. බුද්ධ ධර්මයේ ඇති නිරවද්‍ය බව, ගැඹුරු බව, සදාතනික ප්‍රායෝගික බව, දහම් අධ්‍යාපනයෙන් උගත් මට පල්ලිය යනු තවත් ගරු කළ යුතු ආගමික ස්ථානයක්ය. කතෝලිකයන් තම ධර්මයට අනුව යම් කිසි නිවැරදි මඟකට එන්නේ නම් එය සමාජයට හොඳක් මිස නරකක් නොවේය. සෑම ආගමක්ම අනුව මිනිසුන් ධාර්මික වන්නේ නම්, ආගම වැඩක් නැතිය. සමාජයට අවශ්‍ය එවන් අධ්‍යාත්මික හැගීමක් ඇති මිනිසුන්ය.
විවාහයට පෙර කතෝලික පල්ලියෙන් ලබා දෙන පෝය පන්තිය, හෙවත් විවාපත් වන්නට ඉන්නවුන්ට ලබා දෙන ලෞකික දැනුම ඉතා අගනා බව මට හැඟුනේ එම පන්තියට සහභාගී වූ නිසාය. ලිංගික ජීවිතය, කෘතිම උපත් පාලන ක්‍රම අවම කොට, ස්භාවික උපත් පාලන ක්‍රම භාවිතය, ගබ්සාව හෙළා දැකීම, පවුල් ප්‍රශ්න, එකිනෙකා අවබෝධ කර ගැනීම සහ නැන්දම්මා ලේලි ගැටළු නිරාකරණය වැනි වටිනා කරුණු රැසක් මේ අතර වූයේය. ඒ සියල්ල මා අදහන බෞද්ධ ධර්මය අනුව සිතට ගෙන, ජීවිතයට කරුණු එක් කර ගැනීමට වඩාත් රුකුලක් වූයේය. මේ සියළු කරුණු වඩාත් වටිනා බව තහවුරු කරන්නට අපේ මාමාගේ පුතා මා හට එක් සාක්ෂියක් වූයේය. එදා අප ජෝෂප් විද්‍යාලයට ගියේ එහි සිටින පූජකතුමා හමුව ඔහුට පල්ලියේ පූජාව සඳහා ආරාධනා කිරීමටය. මා මීට පෙර හමූ වී ඇති නිසාත්, කලින් සිට හඳුනන නිසාත් අපට එදා අමුතු දිනයක් නොවුනේය. නමුත් අප සමඟ ගිය මාගේ මාමාගේ පුතාට නම් එදින පවුල් ජීවිතයට අදාල කරුණු පූජකතුමා කතා කරද්දී එහි වැඳගත්කම වැටහී තිබුණේය. එළියට පැමිණ ඔහු කීවේ “ඇයි බං අපේ පන්සලෙන් මෙහෙම දේවල් කියල දෙන්නෙ නැත්තේ..“ කියාය. කතාව ඇත්තය එහෙත් බුද්ධ ධර්මයේ සඳහන්ව ඇති සැමියාගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම්, බිරිඳගේ යුතුකම්, අසල්වැසියන්ගේ යුතුකම්, පිළිබඳව කියවා බැලීමෙන් ලෝකෝත්තර ජීවිතයට මෙන්ම ලෞකික ජීවිතයටද බුදුරජානන්වහන්සේ ධර්ම දේශනා කොට ඇති බවට වැටහෙන්නේය. එකම වරද නම් ඒවා අද සමාජයට ඉස්මතු කොට පෙන්වා දීමට තරම් ශාසනික සේවාවක් නොකෙරෙන එකය.
පල්ලියේ විවාහය සහ පූජාව පවත්වන්නට ගිය විට එහි සිට ප්‍රධාන පූජක තෙමේ කියූ වචන කිහිපය මා ඔහු කෙරේ සහ කතෝලික ආගම කෙරේ අප්‍රියතාවයක් ඇති කරවන්නට සමත් වූයේය. එහෙත් ඒ සියල්ල අමතක කරන්නට මා ධාර්මික වුණෙමි. පල්ලිය ඇති පරිසරයක, කතෝලික ආගමනුකූලව හැදී වැඩුණු ඇයට පල්ලියේ විවාහය ගැනීම එකම ආශාව වූයේය. බෞද්ධ කාන්තා පාසලක සිප් හැදෑරුවද, උප්පැන්න සහතිකයට සහ කුඩා කළ සිට ලද ආභාෂය අනුව ඇය කතෝලිකය. පල්ලිය වෙනුවෙන් අප්‍රමාණ කැප කිරීම් කොට පූජක තෙමේ ඇසූ එක ප්‍රශ්නයකට මා ‘ඇත්ත‘ කියූ නිසා හෙතෙම පල්ලියේ විවාහය ගැනීම අවලංගු කරන්නට තැත් කළේය. විවාහයෙන් පසු ලැබෙන දරුවන් කතෝලික කරනවා දැයි ඇසූ විට මා “නැත“ කීවේ අප මුල සිටම කතා කරගත්, එකඟ කරගත් ආකරයෙන්ය. එසේ ඇත්ත කීම නිසා පූජක තෙමේ කීවේ දරුවන් ආගමට නොදෙන්නේ නම් කතෝලික විවාහයට පල්ලියේ අවසරයක් නොමැති බවය. මා කියා සිටියේ මෙයා පල්ලිය වෙනුවෙන් වැඩ කළේ මෙහෙම උත්තරයක් බලාපොරෙත්තුවෙන් නොවන බවය. පූජක තෙමේ කියා සිටියේ “පුතා ඔයාලට බුද්ධාගමේ අය ගොඩක් ඉන්නවා, අපිට අපේ ගොඩ අඩුවෙන එකයි වෙන්නේ“ කියාය. මට එවිට ඇති වූයේ මහත් පිළිකුලක්ය. ගොඩ වැඩි කර ගන්නවාට වඩා, සමාජයට කොයි ආගමකින් හෝ නිවැරදි වැඩ දායී මිනිසෙකු බිහි වීම ප්‍රමාණවත් බව සිතන්නට තරම් ආගමික පූජකවරු අන්ධ වීම, පක්ෂ දේශපාලනයෙන් ඇස් අන්ධ වීමට වඩා දරුණු රෝගයක් බව මට වැටහුණේ එවිටය.
සිදුවූ සියල්ල අමතක කොට නැවත ගොස් පූජකවරයාගෙන් අවසර ගන්නට තරම් සෑමා කටයුතු කළේ ඇය පල්ලියෙන් ලැබිය යුතු දේ ඇයට ලබා දීමටය. නැතිනම් නැවත වරක් ඒ වචන පෙළ අසා ගන්නට බලාපොරොත්තුවෙන් මා ඔහු අසලට යන්නේ නැත. එහිදී මා උගත් තවත් දෙයක් නම් ඔවුන් තරුණ සමිති, සංවිධාන පවා සංවිධානය කරන්නේ අන්‍යාගමීකයන් සමඟ විවාපත් වීම සීමා කිරීමටය. එය පූජකතුමන්ගේ මුවින්ම පිට වූයේය. එවන් සංගමයන් නිසා එහි සිටින කෙල්ලන්, කොල්ලන් විවාපත් වූ හැටිද ඔහු මතක් කර සිටියේ ඉතා සතුටින්ය. මා දහම් පාසල් යන කාලයේ අප තරුණ සමිති මඟින් සිදු කළ ප්‍රජා සේවා, සහ අප එයින් ලැබූ පන්නරයන්, කැපවී කටයුතු කිරීම් ආදිය අසලකින්වත් එහෙව් හැගීමක් අප තුල නොතිබුණේය. එහෙම දර්ශනයක් අපට දීමට වත් අපට ඉහලින් සිටි හිමිවරු, ගුරුවරු කටයුතු නොකළ බව මට මතකය. එහෙම වූවා නම් අද මා මේ පල්ලියේ විවාපත් නොවන්නේය. ඒ අතින් බලන විට ඇයද මා සමඟ නොඑනවා ඇත. අද කෙටි පූජාවක් වෙනුවට දිගු පූජාවක් ඇය වෙනුවෙන් පල්ලියේ පැවැත්වෙනවා ඇත. එහෙත් එදා පුජකයන් කියා සිටියේ ඔවුන් තරුණ සමිතිය පිහිටුවන්නට පෙර ඇය මා සමඟ හාද වී සිටි බවක්ය.
ඒ සියල්ල මිහිරි හා අමිහිරි බව එක්වූ මතකයන්ය. ඇගේ අම්මාගේ නංගී හෙවත් පුංචී සහ බාප්පාද මිශ්‍ර විවාහයක් සහිත අයය. බාප්පා බෞද්ධ වන අතර පුංචී කතෝලිකය. එදා පල්ලියෙන් අවසර නොදුන් අවස්ථාවේ බාප්පා මට කියා සිටියේ “පුතා මටත් වුණා ඔහොම දෙයක්, මම ෆාදර්ට කියල දීල ආවේ.. “ කියාය. නැවත අවසර ගැන්මට පල්ලියට ගිය අවස්ථාවේ මම පූජකතුමාට කියා සිටියේ දරුවන් ආගමට දෙනවා යැයි බොරු කියා, එසේ නොකර සිටීමට වඩා එක වර ඇත්ත කීම ඔබතුමාට වටින්නේ නැද්ද කියාය. ඔහු එය අගය කරන බව කීවේය.
එදා මා ගුප්ත යැයි සිතූ, යටි සිතට බියක් රැදවූ පල්ලිය පිළිබඳව යහපත් සිතුවිල්ලක් මවා, මා මෙහි රැගෙන ඒමෙන්, ආදරයට කළ නොහැකි දේ නොමැති බව මා අද වටහා ගත්තෙමි. එදා පෝය පන්තියේදී කියා දුන්නේද දෙදෙනෙකු යාළු වූ අළුත වෙනදා නොකරන දේද කරනා බවක්ය. වෙනදා නොකෑ කෑම ඇය වෙනුවෙන් කන්නේය. බැන්දාට පසුව පිස්සුද හලෝ මේව කවුද කන්නේ කියා අසන්නේය. ඒ ආදරය වෙනුවෙන් කරන දෑ පමණක්ය. නොවෙනස්ව ආදරය තිබෙන්නේ නම් සදාතනිකව එකම විදිහට රැදෙන්නේය. එදා ප්‍රගීත් පියතුමා කියා සිටියේ ආච්චිගේ බිබික්කම් කතාවක්ය. ආච්චි සීයා සමඟ යාළු වූ අලුත සීයාට බිබික්කමක් දී ඇත්තේය. එය ගෙදර තිබූ එකක්ය. සීයා එය කෑමෙන් පසු ආච්චීට කියා ඇත්තේ අනේ මම ආසම කෑමක් කියාය. ඉන්පසු බොහෝ කළක් ගොස් මුණුබුරා සීයාගෙන් අසන්නේ දෙදෙනාගේ ආදරය තවමත් නොසැලී තිබෙන්නේ කෙසේද කියාය. සීයා එය තම ආච්චීගෙන් අසන ලෙස මුණුබුරාට කියන්නේය. ආච්චී කියන්නේ “අනේ මන්ද පුතේ සීය සෙට් වුණ මුල්ම දවසෙ මම ගෙදර තිබ්බ බිබික්කමක් දුන්න. සීය හිතුවෙ මම හදපු එකක් කියල. එදා ඉඳල මගෙන් බිබික්කම් ඉල්ලගෙන මෙහෙ ආව. මට මෙලෝ හසරක් කරලවත් හදන්න බැරි බිබික්කම් මම සීයාට අමාරුවෙන් හදල දුන්න බං..“ කියාය. මුණුබුරා සීයා ලඟට ගොස් සිද්ධිය කියූ පසු සීයා ඉතිරිය සම්පූර්ණ කරන්නේය. “ඔන්න ඔය කියන බිබික්කම් මම කන්න අකැමැතිම ජාතියෙ කෑමක් බං. ආච්චිව යාලු කරගන්න ඕනවට මම ආසයි කියපු කෑම මම තාම අමාරුවෙන් කනව බං..“ කියමින් සීයා මුණුබුරාට කියා දුන්නේ ආදරය වෙනුවෙන් කැප කිරීම් කළ යුතු බවය.
හරි දැන් ඉතින් වැඳගනිල්ලා අන්න ෆාදර් එනවා..
සාදූ.. සාදූ... සාදූ.... !!
10:27ට, පෝරුවට නැග්ගම සැට් වෙමු ආ.. !!
Written_by_sAm_ශ්‍රී_Perera_12:02pm_11/12/13