Google+ Followers

Thursday, September 29, 2011

ජෙමාට නම ලැබුණ හැටි (Duminda became "Jema")

‍8 වසරේ ඉන්නකොට අපේ පන්තියට කළු කොට හාදයෙක් අලුතෙන් ආවේය. පොර පන්තිය ඉස්සරහට ගෙනාපු අපේ පන්තිභාර ටීචර් කීවේ පොරගේ නම දුමින්ද සම්පත් කියාය. පොර ආපු දවසෙම අපිට සෙට් විය. බුවා කොල්ලොත් එක්ක ෆිට් එකේ ඉන්න මැක්සා ඩයල් එකකි. ඕලෙවල් කළාට පස්සේ පොර ගැන කිසිම ආරංචියක් නැතිවිය. අපේ එවුන්ට දුමින්ද කීවත්, සම්පත් කීවත් පොරව මතක නැත. පොර හිටියෙ රොෂේන් ගේ ගෙවල් පැත්තේය. (රොෂේන් දැන් කොළඹ කැම්පස් එකේය) රොෂේන් මගේ පන්තියක සෙට් වුණේ 10,11 වසර වලදී නේ. රොෂේන්ව පැත්තකින් තියලා දුමින්ද සම්පත් - 'ජෙමා' වුණ හැටි කියන්නම්. පස්සේ කාලෙක අපේ එවුන් දුමින්දට ජෙමා කිව්වට නිධාන කතාව දැනගෙන හිටියේ නැහැ. දන්න එවුන්ට මතක් වෙන්නයි. දන්නෙ නැති එවුන්ට දැන ගන්නයි නිධාන කතාව කියන්නම්.

දුමින්ද ඉස්කෝලෙට ආව පළවෙනි දවසෙම කස්ටිය එක්ක හොදට කතාබහ කරලා හිටියා. අපේ එවුන්ට ‍විතරක් නෙවේ ටීචර්ලට වුණත් ආපු දවසෙම නම මතක හිටින්නේ නැහැනේ. ඉතින් එක එකා එක එක නම් කියනවා. පළවෙනි දවස ‍ඔහොම ගෙවිලා ගියා. 

දෙවෙනි දවසෙත් අපේ එවුන්ට නම මතක නැහැ. අනික අපේ එවුන් උප්පැන්නේ නමට කැමති නැහැනේ. ඒකනේ මටත් එදා ඉදන් සෑම් කියන්නේ. දුමින්ද ඉස්කෝලෙ ආපු දෙවෙනි දවසෙ මිනිහගේ උපන් දිනේ තිබ්බෙත්. අපේ එවුන් උදේම දැක්කා පොර කේක් එකක් ගෙනෙල්ලා තියෙනවත්. ඒක නිසා එක එක නම් කියන්නෙ නැතිව කොල්ලට හරි ආ‍දරෙන් හිටියා. අපේ එවුන් කෑම බීම නාස්ති කරන උදවි‍ය නෙවේ නේ. අපේ එවුන්ගේ හැටි දන්න එකෙක් උපන්දිනේට කේක් එකක් ගෙනාවොත් කපන්නේ ටිකක් දවල් වෙලා. නැත්තම් උදේම කැපුවෙත් එදාටවත් ලැබෙන සැලකිලි අඩුවෙනවනේ. අනික අපේ එවුන්ට කෑවට බිව්වට පස්සේ උපන්දින තියා එදාම මලත් අමතකයි. ඒක නිසා අපි නම් කේක් කපන්නේ දවල් වෙලා. අළුත් ඉස්කෝලේ සීන් කෝන් දන්නේ නැති අපේ දුමින්දයා එදා පාන්දරම කුකුලවත් පැත්තකින් තියලා කේක් එක කපලා බෙදුවා. මෙනව වුනත් හිත හොද කොල්ල නිසා පීරියඩ් අටේම ටීචර්ලට කන්න කේක් කෑලි 8ක්ම අරන් තියා ගත්තා.

අනේ ඉතිං අපේ කොල්ලා දුමින්ද උදේ ඉදලා සැරින් සැරේ පීරියඩ් එකෙන් පීරියඩ් එකට ටීචර්ලට පීරියඩ් එක ඉවර වෙද්දී කේක් කෑල්ලක් දීලා පිටත් කරනවා. ඔන්න ඔහොම දුමින්දයගෙ බර්ත් ඩේ පාටිය ගෙවෙනකොට පන්තියට ආවා අපේ ගණන් උගන්නන සර්. සර් අනුර වුණාට කවුරුත් දන්නේ මැරයා කිව්වම. ඒකත් කොල්ලො දාපු නමක්. මැරයා උඩු රැවුල වවලා ඉන්නේ. උසම උසයි. කතා කරන්නේත් මැරයා වගේමයි. අපේ එවුන් ඉස්සර පට්ට බයයි. ඒත් 10,11 වසර පහුවෙද්දී (ඒ කියන්නේ අපේ එවුන් ලොකු වෙලා මැරයො වෙනකොට) මැරයා කොල්ලන්ට බය වෙන්න පටන් ගත්තා. මේ සීන් එක වුණේ මැරයට අපි බය කාලේ. ඉතින් මැරයා පන්තියට ඇවිත් ඉදගත්තා.


"කෝ ගෙදර වැඩ කරපු නැති අය නැගිටින්න බලන්න" මැරයා ගැඹුරු හඩින් කීවා. කොල්ලෝ කීක් නැහැ. ‍ඉදගෙන ඉන්නවා. එකෙක්වත් නැගිට්ටේ නැහැ.


"ආ.. හොදයි. ඒ කියන්නේ කට්ටියම වැඩ කරලා" මැරයා තවත් බය කළා. එතකොටම පුටු පෙරලගෙන බර්ත් ඩේ බෝයි ජෙමා (සොරි තාම දුමින්ද "ජෙමා" වුණේ නැහැනේ) නැගිට්ටා. කොල්ල ඊයේ නේ ඉස්කෝලෙට ආවේ. අද ගෙදර වැඩ කරන්න එන්න බැරි වෙන එක සාධාරණයි. ඒත් කොල්ලා ඒවා කීවේ නැහැ. සාධාරණ කොටා වගේ නැගිට්ටා.


"ඒ මචං උබ කියපං ඊයේ ආවේ කියලා. අවුලක් නැහැ සර් ෂේප්. පොර දන්නේ නැහැනේ උබ ආවේ ඊයේ කියලා" කොල්ලො හොරෙන් හොරෙන් ජෙමාට ඇඩ්වයිස් දෙන්න ගත්තා. අපේ එවුන් මොනව වුණත් බර්ත් ඩේ බෝයියව බේරගන්න ට්‍රයි කළා. මොන, කිසි වැඩක් වුණේ නැහැ. කොල්ලා අභීතව පපුව ඉස්සරහට දාගෙන ඉන්නවා අවංකවම, එඩිතරව, නිහතමානීව.


"ඇයි තමුසෙට නැගිටින්න බැරි වුණේ එක පාර??, ඇයි ගෙදර වැඩ කරන්නේ නැත්තේ? කෝ පන්ති නායකයා, ගේනවා ‍එහා පන්තියෙන් වේවැල." මැරයා ගේමට සැරසී ආයුධ සොයයි. සාධාරණ කොටා සද්ද නැත. බර්ත් ඩේ කේක් එකේ ඉටිපන්දම් නිවන්නට මෙන් නැගිට සිටම, මැරයා බර්ත් ඩේ සෝන්ග් එක කියන තුරු බලා සිටී.


"අල්ලනවා අත." චටාස් පටාස් ගා පාරවල් දෙකක් වැදින. දුමින්දට ගානක් නැත. පොර ඉදගත්තේය. පාඩම අහවරවෙන බෙල් එක වදින තුරු දුමින්ද අතට පිබිමින් සිටියේය. බෙල් වැදුන හැටියෙම මැරයා නැගිට්ටේය.


"හරි ලමයි. අපි හෙට ඉතුරු ටික බලමු. ආයුබෝවන්" කියා මැරයා පිටවෙනකොටම දුමින්ද මැරයා ඉදිරියට පැන්නේ කේක් කෑල්ලක් අතැතිවය.


"සර්, ගන්න කේක් කෑල්ලක්. අද මගේ උපන්දිනේ" දුමින්ද කීය. මැරයාගේ හිත උණුවන්නට ඇත. ඒත් පෙනෙන්නේ නැත.


"අයියෝ එහෙමද පුතා? ඇයි ගහන්න කලින් නොකීවේ" මැරයා කේක් කෑල්ල ගන්න ගමන් ඇසීය.


"නැහැ සර්, ඊයේ තමා මම ඉස්කෝලෙට අලුතෙන් ආවේ. ඒකයි ගෙදරවැඩ කරන්න බැරි වුණේ" දුමින්දයා බිම බලන් කීය.


"තමුසෙ මාර බඩුවක්නේ අයිසේ, ගුටි කන්න ඔච්චර ආසද?" මැරයා කීවේ එපමණකි.


දුමින්දයට බර්ත්ඩේ ප්‍රසන්ට් එකත් හම්බෙලා ඔන්න ඔහොම පීරියඩ් ගෙවෙන කොට සිංහල ටීචරුත් ආවා. ඇත්තටම මට එයාගේ නම මතක නැහැ. ඉතින් ටීචර් ආපු හැටියේ කීව අද අලුත් පාඩම පටන් ගමු. පන්තියටම ඇහෙන්න කවුරු හරි හයියෙන් පාඩම කියවන්න කියලා. එදා පාඩමේ තිබ්බේ ජෙමා කියලා චරිතයක් ගැන පාඩමක්. මට හරියට පාඩමේ නම නම් මතක නැහැ. අපේ සිලබස් එක කරපු අය ඉන්නවනම් මතක් වෙයි. පාඩමේ ජෙමා කළු, කොට හාදයෙක් කියලා තමයි විස්තර වෙන්නේ.


කලින් පීරියඩ් එකෙන් පාඩමක් උගත් ජෙමා මේ පාර ටීචර් පන්තියට ආපු හැටියේ විස්තර කියලා කේක් කෑල්ල දීලා ෂේප් කරගත්තා.

"හරි ලමයි. අපි අද පන්තියට අලුතින් ආපු එක්කෙනාට දෙමු පාඩම කියවන්න" ටීචර් දුමින්ද දෙස බැලීය.

"පුතාගේ නම මොකක්ද?" නැවත ඇසීය. ඇයට තියා අපටවත් මතක නැත.

"මම දුමින්ද ටීචර්, දුමින්ද සම්පත්" දුමින්ද තමා හදුන්වාදීය.

"හරි දුමින්ද පුතා හයියෙන් පන්තියටම ඇහෙන්න කියවන්න බලන්න පාඩම මුල ඉදන්" ටීචර් කීය. අද දුමින්ද ඉස්කෝලයට දෙවෙනි දවසය. කලින් මැරයගෙන් ගුටි කාපු එකේ, පන්තියටම වැඩ පෙන්වීමට සුදුසු වෙලාවයි. හේ නැගිට පාඩමට මුල පිරීය.

"එකා....යි... දෙකා...යි.... තුනා..යි... කියමින් ජෙමා ජබොස් ගා වතුරට පැන්නේය."

දුමින්දට පාඩමේ කියවන්වට හැකිවූයේ මේ වචන කීපය පමණි. පන්තියම පාඩම නවත්වා සිනාසුනහ. උච්ච ස්වරයෙන් පාඩම පටන්ගත් නිසා පන්තියට පමණක් නොව මුළු සෙක්ෂන් එකටම දුමින්ද එදා සිට ජෙමා බව ආරංචිවිය. එදායින් පසු ඉස්කෝලේ දුමින්දයෙක් නැත. හිටියේ ජෙමාය. හිටිය අනිත් එකම දුමින්දයා ඉස්කෝලේ "පියන් ‍දුමින්ද"යාය.




Written by sAm11:52pm_26.09.'11

Monday, September 26, 2011

කොත්තා, විශ්ව සහ සාලිය Kight Rider Circuit සමග - (දැන් ඉන්න කස්ටිය ඉස්සර චූටී කාලේ හිටපු හැටි / Grade 8)


8 වසරේ අපේ පන්තිය තිබ්බේ තුන්වෙනි තට්ටුවේ කෙළවරේය. ඉතින් කිසි කරදරයක් නැත. ටීචර්ලා සර්ලා එනකොට අපිට තේරෙන නිසා ලේසියෙන් වැරැද්දකට අහුවෙන්නේ නැත. අපි හිටියේ පන්තියේ කොරිඩෝව පැත්තේ නොව අනිත් පැත්තේය. ඒ පැත්ත උපරිම ආතල්ය. අල්ලපු වත්තේ සීන් ඔක්කෝම පෙනේ. ඇත්තම කීවොත් හොදටම පේන‍්නේ වහලයයි. ඒත් අපේ එවුන්ට ඒ ටිකත් ඇතිය. අල්ලපු වත්තේ ලස්සන අක්කා කෙනෙක් ඉන්නවා ඇයි හැමෝම කියති. අපේ එවුන් කියපු හැටියට නම් මැක්සා කෑල්ලකි. ඇන්ටිව නම් අපි දිනපතා පත්තරේ වගේ උදේ හවස දැක්කෙමු. ඒත් අවුරුද්දක් පන්තියේ හිටියත් අක්කෙක් දැක්කේ නැත. ඒත් අපේ එවුන් කියන්නේ ඉන්නවාමයි කියාය. ඒ නිසා අපේ එවුන් ඒ පැත්තට ඇහැ දාගෙනම ඉන්නවා ටීචර්ට මීටර්ය. ටික දවසකින් හැමෝම ලව්වා කලෙක්ෂන් පාරක් දම්මලා ඒ පැත්තෙන් curtain එකක් දාමු යයි කීවේ ටීචර් මය. අ‍පි ඇයි ටීචර් කර්ටන් දාන්නේ එහෙම දැම්මම පන්තියම කළුවරයි නේද ඇසුවෙමු. ටීචර් නම් කීවේ ඒ පැත්තෙන් අව්ව වැටෙනකොට අපිට කළු ලෑල්ල පේන්නේ නැති නිසා දාමු කියාය.

අප්පට හුඩු කලින් පෝස්ට් එකේ කියන්න බැරි වුණානේ. කොත්තා (කොතලාවල) සහ විශ්ව හිටියේත් අපේ පන්තියේය. උන්දෙන්නාට තිබ්බේ සර්කිට් (electronic circuit) පිස්සුවකි. දවසක් දෙන්නම එකතුවෙලා Hi-Voltage එන සර්කිට් එකක් සාදා තිබිණ. එදා මුන්දෙන්නා Hi-Voltage supply එක පන්තියේ යකඩ කම්බි දැලට දී තිබිණ. එකෙක්වත් දන්නේ නැත. කර්ටන් එක අස්සෙන් දැල ඇල්ලූ දෙතුන් දෙනෙක්ට කරන්ට් වදින තුරු අපිටද සීන් එක නොතේරිණ. ඒ දවස්වල අපේ එවුන්ට (මටත් එහෙමයි) මුන් දෙන්නාගේ වැඩ පුදුම සහගතය. මුන් දෙන්නට හොදම පාඩම ඉගැන්වූයේ සාලියයි.

සාලියගේ අම්මා වැඩකලේ කම්පියුටර් මොකක් හරි සීන් එකකය. ඒ දවස් වල TV game ගහපු අපිට කම්පියුටර් කීවම මැජික්ය. (සංඛයා ඒ දවස් වල කම්පියුටරයක් මඩවලක තිබිලා ඇහින්ද බව කීවා මට අද වාගේ මතකය. පොර එදා ඉදන් තඩි නයා ය.) ඒ මැජික් එකෙන් වැඩ ගත්තේ සාලියයි. පොරට ඉස්සර කැ‍ඩ්ච්ච mother board, ram, rom, hard disk වගේ ඒවා අම්මාගෙන් ලැබේ. ඉතින් සාලි පොරය. ඒවා අරන් අපිට වැඩ පෙන්නයි. කොත්තාගේ හා විශ්වගේ circuit වැ‍ඩ කෑලි සාලිට දිරවන්නේ නැත. සාලි කරන්නේ මොකක් හෝ මන්ද කතාවක් කියා කොත්තා short circuit කිරීමය. ඒත් ඒ ලෙවල් කරන කාලේ පිනාට කොත්තා නැතිවම බැරි විය. ලවුඩ්ස් පීකරයක් කැඩුනත් පිනා එන්නේ කොත්තා ලගටය. ඒ තරම් කොත්තා වැඩ කාරයෙක් විය. ඒත් කොත්තා පාඩමක් ඉගෙන ගත්තේ සාලිගෙනි.

අපේ එවුන්ට ඒ දවස් වල electronic උණ බෝවුනේ කොත්තාගෙනි. අනික එදා කොත්‍තාගේ ගැජට් එකෙන් කරන්ට් එක වැදුන පසු හැමෝම කොත්තා කරන කියන දේවල් ගැන අ‍වධානයෙනි. අපේ එවුන්ට Knight Rider Circuit පිස්සුවක් ද තිබිණ. දවසක් කොත්තා කළුවර වුණාම on වෙන, එලිය වැටුණාම off වෙන සර්කිට් එකක් අරන් ආවේය. LDR එකක් මගීන් ආලෝකයට සංවේදී ස්විචයක් ලෙස එය සකසා තිබිණ. කොත්තා පන්තියටම එය පෙන්නමින් වැඩ දැම්මේය. සාලිට ඉන්නම බැරිය.


"මොකක්ද බං ඔය බොරු වැඩ කරන්නේ?" සාලි සර්කිට් එක ගණන් නොගෙන ඇසීය.


"ඇයි මචං උබට මේකේ සීන් එක‍ තේරෙන්නේ නැද්ද?" විශ්ව මැද්දට පැන ඇසුවේ සාලිව නෝන්ඩි කිරීමටය.


"ඇයි බං, මේක සෙට් කලාම රෑට ගෙදර ලයිට් අපි on කරන්න ඕන නැහැ. මේකෙන් ඒ වැඩේ ඔටෝ වෙනවා" කොත්තා පැහැදිලි කලේය.


"ඇයි යකෝ මට තේරෙන්නේ නැත්තේ? ඒත් ඕක බොරු වැඩක්නේ. ඕකේ ගෙදරම ලයිට් පත්තු කරන්න කැපෑසිටි මදි. ඉතින් බොරු වැඩක් නෙවේද?" සාලි ඇසීය. කොත්තාත් සෙකන්ඩ් නොවේ.


"ඇයි බැරි පුළුවං" කොත්තා කීය.


"හරි උඔලට පුළුවන්ද Knight Rider Circuit එකක් හදන්න?" සාලි චැලෙන්ජ් කලේය.



"අපිට පුළුවං, පුළුවන් නම් උබ හදං වරෙන්" කොත්තා කීය.


"හරි මම හදන් ආවොත් උබලා මට මොනවද දෙන්නේ?" සාලි ඇසීය.


"හදන් එන්න කලින් පුළුවන් නම් කියපං Knight Rider Circuit එකෙන් මොකද වෙන්නේ කියලා" කොත්තා සාලිට ඇසීය.


"Knight Rider Circuit එකනේ? අර ලයිට් 10ක් විතර කොනක ඉදන් එකින් එක පත්තු වෙන්නේ" සාලි ඇසීය. කවුරුත් දන්නවනේ Knight Rider Circuit එකේ ලයිට් පත්තු වෙන විදිහ. දැන් හැම ත්‍රීවීල් එකකම වගේ හයි කරලා තියෙන්නේ.


"අහ්. උබ දන්නව එහෙනම් පුළුවන් නම් හදං ‍වරෙන්. මම උබට ‍මේ සර්කිට් එක නිකං දෙනවා" කොත්තා අභියෝගය යලිත් එල්ල කලේය.


"හරි. මම හෙටම හදන් එනවා. ඕක ම‍ට දෙන්න බලාගෙන ‍වරෙන්" සාලි පොර ‍වගේ කීය. අපිටත් උපරිම ආතල්ය. ගින්නක් දැක‍්කොත් පොල් කොළ ලං කරන්නේ අපිය.


පහුවදා....


අපි උදේම සීන් එක ඇද ගත්තෙමු. ඒ අපිටත් ආතල් එකක් ගැනීමටය. පන්තියම දෙපැත්තකට බෙදී ඇත. ඒ ඇත්තටම නෙවේ. ගින්න නැගලා යන්න එහෙම සපෝට් එකක් අවශ්‍යමය. එදා පන්සිල් අරන් ඉවර වෙනකොටත් සාලිය ඉස්කෝලේ ආවේ නැත. හැමෝම කීවේ සාලි අයෙත් එන්නේ නැති බවයි. කොල්ලා නිකං ඉන්න බැරිවට ‍චාටර් වෙන්න යන සීන් එකකි. අනික හැමෝම කීවේ සර්කිට් එක නැතිව හරි ඉස්කොලේ ආවානම් නෝන්ඩිය අඩුය. සාලි ඇදගෙන නාලාය.

අපේ පන්තිභාර ටීචර් විද්‍යාව ටීචර් කෙනෙකි. නමින් ඇය වජිරාය. ඉතින් උදේම ඇවිත් අහුමුළු හොයලා බලලා පාඩම කරන්න ඉදගත්තා පමණි. සාලි දොරකඩය. කොල්ලන්ගේ කටවල් ඇරිණ. කොත්තා දැම්මේ කිංඩි හිනාවකි.


"ඇයි ඔයා පරක්කු?" ටීචර් ඇසීය.


"බස් එක මිස් වුණා ටීචර්" සුපුරුදු පදය සාලි ගැසීය.


"අද ඔයා පන්තිය අතුගාන දවසද?" පන්තිය අතුගාන්න තියෙන දවසට හැමොම ලේට්ය. සීන් එක දන්න නිසා ටීචර් ඇසීය.


"නැහැ... නැහැ.. ටීචර්"


"හරි හරි ගිහින් ඉදගන්නවා" ඇය කීය.


මොනවා නමුත් වෙනද ගේන බෑග් එක වෙනුවට සාලි තව බෑග් එකක ලොකු දෙයක් ගෙනවිත් ඇත. අපිට පීරියඩ් එක ඉවර වෙනකල් ඉවසුමක් නැත. කවදාවත් Knight Rider Circuit එකක් එච්චර ලොකු නැති බව දන්නා කොත්තා සාලිව ගණන් නොගෙන සිටියේ ෂුවර් එකටම සාලි Knight Rider Circuit එක ගෙනත් නැති බව දන්නා නිසාය.

පීරියඩ් එක අවසන්ව ටීචර් ගිය හැටියේ පන්තියම සාලි වටා රොක් විය. ඒ කොත්තා හා සාලි ගැටුම දැකීමටය.


"කෝ මල්ලී Knight Rider Circuit එක‍ ගෙනාවද?" කොත්තා ඇසීය.


"ඔව් මචං, උබ අර සර්කිට් එක ම‍ට දෙන්න ගෙනාවද?" සාලි බෑග් එක පෙන්නා කිංඩියට ඇසීය.


"මම ගෙනාවා. එත් ඔච්චර ලොකු බෑග් එකක?? උබ Knight Rider කාර් එකක්ම ගෙනාවද? ඒකද අද එන්නත් පරක්කු වුණේ?" සාලිට බයිට් ගෝනියකි.


"පිස්සු හැදෙයි. මම බැට්රි දෙකක් ගන්න කඩේට ගියා ඒකයි පරක්කු වුණේ" සාලි ගණන් නොගෙන කීය.


"ජෝගි නැතිව ගනින් බං ඕක එලියට" කස්ටියට ඉවසුම් නැත.


සාලි බෑග් එකෙන් එලියට ඇද ගත්තේ mother board එකකි. පැත්තකින් වයර් දෙකක් දමා පෙන්ටෝච් බැටරි සවි කර ඇත. RAM slot එකේ දිගට LED බල්බ් පෝලිමකි. ඒක කිව්වාට තේරුම් ගන්න අමාරු නිසා මම පොඩි ආදර්ශ ෆොටෝ එකක් දාන්නම්. ඒක බලලා ඉතුරු ටික කියවන්න.


සාලිය ගේ Kight Rider Circuit එක
සාලි LED බල්බ් වල (-) අග්‍රවලට සප්ලයි එක දී ඇත. අනිත් පැත්තේ සප්ලයි එක නොදී ඇත. ඒ වෙනුවට බැට්රියෙන් වයර් එකක් ඇද ඇත. වයර් එක බල්බ් වල (+) අග්‍ර එකින් එකට ගෑවූවිට බල්බ එකින් එක පත්තුවේ.


"මේ තියෙන්නේ මචෝ ගැජට් එක." සාලි වැඩ්ඩා සේ කීය.


"මොකක්ද බං මේ දෙකේ පංතියේ වැඩේ" විශ්ව ඇසීය.


"ඇයි යකෝ knight rider circuit එකේ බල්බ් පෝලිමට එකින් එක පත්තුවෙනවනේ" සාලි ඉතුරු ටික කියන්නට කලින් කොත්තා පැන්නේය.


"එත් මේකේ පත්තු වෙන්නේ නැහැනේ" කොත්තා කීය.


"ගනින් ඔය වයර් එක. මේ කොනේ ඉදන් ගාවගෙන ඇදගෙන පලයන්. බලපං knight rider වගේ නෙවේද පත්තු වෙන්නේ කියලා"


අපිට පට්ටම ආතල්ය. IC, Transistor, Condenser, Resistor, නැති වුණාට සරලය. knight rider වගේම පත්තු වේ. කොත්තාටද පත්තු වී හමාරය.


මතු සම්බන්ධයි
8 වසරේ ඉතිරි සීන් ඊලග පෝස්ට් එකෙන්


Written by sAm_8.45pm_24.09.'11

Saturday, September 24, 2011

බණ්ඩා සහ ජම්බො ජෙට් - (දැන් ඉන්න කස්ටිය ඉස්සර චූටී කාලේ හිටපු හැටි / Grade 8)

‍බණ්ඩා සහ ජම්බො ජෙට්


10 වසරේ සීන් ලියන්න ගියාම තමයි අතීතේ අමතක කරපු එක නරක වැඩක් කියලා තේරුණේ. ඇගේ මූත්තරා කරගත්ත කාලේ අමතක කළාම කෙලවෙනවා කියන්නේ ඇත්ත තමයි. 10 ව‍සරෙ සීන් වලින් පටන් අරගෙන අපේ පාසල් අතීතය ලියන්න තමා මගේ හිත තිබ්බේ. එත් ‍ෆුල් Historyයම එක්ක ලිව්වම ලුණු ඇඹුල් එකතු කළා වගේ වෙනවා.

බ්ලොග් එකට ඉස්කෝලේ සීන් ලියන්න පටන් ගත්ත මට වුණේ හරියට 'බැදපු ජෝඩුවකට පළවෙනි දරුවා කෙල්ලෙක් වුණා වගේ' සීන් එකක්. බැන්දම කට්ටියට තේරෙයි (මමත් බැදලා නැහැනේ, මටත් ඒ කාලෙට තේරෙයි) මගේ උපමාව කොච්චර ගැලපෙනවද කියලා. තේරෙන්නේ නැති අයට පැහැදිලි කරන්නම්. පළවෙන් දරුවා කෙල්ලෙක් වුණාම දෙමවිපියන්ගේ පැතුම කොහොම හරි පරම්පරාව ගෙනියන්න කොල්ලෙක් හදන්න. දෙවෙනි, තුන්වෙනි පාර අසාර්ථක වුණොත් ඉතින් ගෙදර පඩිපෙල වගේ කෙල්ලෝ සෙට් එකක් ඉබේම බිහිවෙලා. පස්සේ ඉතින් 'පු'යන්නයි 'ක'යන්නයි ඉරාගෙන දෑවැද්ද හොයන්න වෙනවා. අන්න ඒ වගේ සීන් එකක් තමයි සෑම්ටත් වුණේ. පටන් ගත්තේ 10 වසරින් (පන්තිකවයේ සීන් එකෙන්) දැන් ඉතින් කුඩු ගහපු බිංකුණ්ඩා වගේ අතීතයම හාරවුස්සනවා.

අට වසරේ දී බණ්ඩයි, පුස්කට්ටයි, මමයි ආයෙත් සෙට් වුණා. ඒකත් ආතල්ම වසරක් වුණා. යාපා, දර්ශණ (නිමන්ත), සාලිය, ඩුමේෂ් (ඩුං ඩුං), තිළිණ (හනුමා), සංඛ, නුවණ් (කළු නුවණ්), වඩුගෙදර, නිපුන (පචයා), මිලංක (මීයා), නිරෝෂ්, පැණියා, මනෝ (DJ මනෝ සහ කොණ්ඩේ කර්ල් මනෝ), මුල්ලකන්ද (මොන්ටිසෝරි තල්මහ), ඉදුනිල් (බඩා), සදීප, කබ්රාල් (ටෝචා), කසුන් (ඔළුගෙඩි බෝලා සහ තව කසුන්ලා 2න්නෙක් හිටියා), රුක්ෂාන් (බොකා), දුමින්ද (ජෙමා), කොසා (කොස්ගොල්ල), ධනුක, විනෝද් (බණ්ඩාර), දමිත්, චින්තක, ඉසුරු, අප්සරා, ධනංජනී, තුසිතා (කපුටි),  වගේ තව ආතල්ම චරිත සෙට් එකක් හිටියා (අමතක වුණ නම් තියෙනවද දන්නේ නැහැ). ඒ ආතල් ඩබල් වුණේ ගණන් උගන්නපු මැරයයි (මැරයා) තඩි මහත බුද්ධාගම උගන්නන්න හිටිය ජම්බො‍ජෙට් (සංවරණි) ටීචර් නිසයි.


ජම්බො‍-ජෙට් ටීචර් (සංවරණි ටීචර්) ගැන බිදක්...



ටීචර්ගේ ෆොටෝ එකක් අප්ලොඩ් කරන්න තිබ්බනම් මරුය. විස්තර කියනකොට අපේ එවුන්ට නම් මතක් වෙලා හිනායයි. එයාට ජම්බොජෙට් කියන්නේ එයා එච්චර speed නිසා නෙවේ. ඒ නම අපේ එවුන් ටීචර්ට දීපු ආචාර්ය පට්ටමකි. Size එකෙන් ඇය ජම්බොජෙට් එකකට සමානය. කොටය (අඩි 4.5 කි),  මහතය, ‍හොදටම සුදුය, ඒත් ජම්බොජෙට් කියා නම වැටුණේ ඒ කිසිවකට නොවේ. ඇගේ "තාල බොං" දෙක නිසාය. (අනිත් පැත්ත හරවා බලන්න, තාල බොං කීවට බෝලම නැත, ජෙට් එක වගේ විශාලය, උල්ය. අපේ එවුන් වැස්සට බේරෙන්න දුවන් එන්නේත් ටීචර් ලගටය. ජෙට් එක යට දෙන්නෙක්ට නොතෙමී සිටිය හැක). ඇගේ නම "සංවරණි" නොව "ස්වර්ණමාලි" වූවානම් ගැලපේ. මොකද ඇය එන්නේ ජංගම ස්වර්ණමහල් ශාඛාවකි ලෙසය. ඇග පුරාම රත්තරංය. ඇය කොහෙන් කැපුවත් මස් කිලෝ එකයි සහ පවුම් දෙකකි. ඒ තරමට රත්තරන්ය.


තාල බොං කීවට බෝලම නැත



අපේ එවුන් ටීචර් පන්තියට ආවහම කරන්නේ ටීචර්ගේ රත්තරං, වාහනය සහ ගෙදර බල්ලා ගැන කථා කිරීමය. එනිසා අපේ ආතල්ම පීරියඩ් එක බුද්ධාගමයි. ටීචර් පන්තියට එන්නත් පැය කාලක් ගතවේ. අපේ පන්තිය තිබ්බේ උඩම තට්ටුවේ අන්තිම කෙලවරේය. ටීචර්ට පඩි නැගීම අරහංය. එනිසා පඩි 10න් 10ට හති ඇර ඇර පන්තියට එන්නේ කෝපි බී පහුවෙනදා උදේම ටොයිලට් එකේ ඉදගෙන තටමනවා සේය. ඉතින් පන්තියට අමාරුවෙන් ඇවිත් ඉදගත්ත හැටියෙම අපේ එවුන් ටීචර්ගේ සාරියෙන් පටන් අරන් හැම මගුලම ලස්සනයි, හරියට වටිනවා කිව්වම ටීචර් සැටිස්ය.

ටීචර් උගන්නන්නේ ඉදහිටය, ඉදහිට ඉගැන්නුවත් ඉතා සරලය.ඇයට අවශ්‍යය වන්නේ පැන්සලක්, හා අච්චු පොත පමණි. චෝක් නාස්තියට ඇය තිත තබා සිටියාය. ජම්බොජෙට් ඇහැට පේන දුරින් ඉන්න එකෙක්ව නැගිට්ටවා පාඩම කියවන්න කියයි. පාඩමේ ‍විශේෂ තැන් පැන්සලෙන් ඉරි ගහන්න කියයි. එයා කියන තැන ඉරි ගැහුවාම ඇතිය. පෑනෙන් ඉරි ගැසීම තහනම්ය. අපිට අට වස‍ර මුදලදී අච්චු පොත් බෙදනකොට බුද්ධාගම පොත් පන්තියට මදි වීය. ඒනිසා පන්ති භාර ටීචර් කළේ පරණ පොත් අතරින් පතර බෙදීමය. මගේ වාසනාවට මට බුද්ධාගමට ලැබුණේ පරණ පොතකි. පරණ පොතක් නිසා කලින් වසරේ කවුරුන්හෝ පොතේ ඉරි ගසා තිබිණි. ඉතින් මට බුද්ධාගම free පීරියඩ් එකකි. ටීචර් ඉරි ගහන්න කියන්නටත් කලින් මගේ පොතේ ඉරි ඇදී ඇත.

ටීචර් ඉස්කොලේ ආවේ එයාගේම වෑන් එකේය. සිය පවුලම වෑන් එකේ එයි. වෑන් එකේ සුලමුල විමර්ශනය කලේ නිරෝෂ්, යාපා, නුවන් ඇතුළු පිරිස විසිනි. දවසක් ඉන්ටර්වල් ‍එකේ මේ සෙට් එකම කාර් පාර්ක් එකේ තිබ්බ වෑන් එකට ඔළුව දමා තිබිණ. ඔවුන් විසින් ඇතුලේ සිටින අංකල් කෙනෙකුයි, කෙල්ලෙකුයි, බල්ලෙකුයි දැක ඇත. එදා ටීචර් පන්තියට ආවහම බයිට්ය. ඇය කීවේ ඇතුලේ හිටියේ driver & servant කියාය. අපේ පරීක්ෂක කණ්ඩායමේ පිරිසේ පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන අනුව ඇය ‍servant බව ඇත්තය, නමුත් ඔහු driver නොව, ස්වාමිපුරුෂයාය. බල්ලාට නම් කන්න දෙන්නට ගෙදර කවුරුත් නැති නිසා වෑන් එකේ ඉස්කොලෙට ගෙනවිත් ඇත. ඉන්ටර්වල් එකේ ටීචර් කන්නටත් පෙර වෑන් එක ලගට ගොස් බව්වාට කවයි, කිරිත් පොවයි. අංකල්ට කන්වත් නැත්තා සේය. බඩ පිටට ඇලී ඇත. අපේ එවුන් ටීචර්ගෙන් ඉල්ලා හිටියේ අහිංසක බල්ලාව 5 වසරටවත් දමා වැඩිදුර අධ්‍යාපනයට යොමු කරන ලෙසයි. ඒත් සිදුවූයේ ටීචර්ගේ වාහනයේ වීදුරු ටින්ට් කිරීම නොව, හැම වීදුරුවකම පත්තර පිටු ගසා තිබීමය.එදායින් පසු අපිට වෑන් එක ඇතුල පෙනුනේ නැත.

ටීචර් ගැන ලිව්වොත් මට අද නින්දක් නැත. ඉවරයක් නැත. හෙටත් තවත් සීන් මතක් වනු නියතය. ඒනිසා ටීචර්ගේ සහ බණ්ඩාගේ (කසුප් ශී බණ්ඩාර) සටන සටහන් කරන්නම්. බණ්ඩා ජම්බෝ සමගත්, ජම්බෝ බණ්ඩා සමගත් මලය. උගන්වනවා වෙනුවට බොරු කරනවාට බණ්ඩා කැමති නැත. අපිට නම් ඕන පුකක් පීති වෙසක්ය.

ටීචර් පාඩම කරනකොට මට කරන්නට දෙයක් නැත. මගේ පොතේ කොහොමටත් ඉරි ගසා තිබිණ. එත් මම ඉරි ගහනවා වගේ සිටියෙමි. නැත්නම් අහක යන ටෙෆියක් ක‍ටේ දමා ගැනීමට සිදුවේ. අනික ඉරි ගහපු ඒවා මකලා ආයෙත් ඉරි ගහන්න ඕනේ නැහැනේ. එදා පාඩම මුල සිටම බණ්ඩාත් ආතල් එකේය. ඉරි ගහනවා තියා මූ ටීචර්ගේ මූණවත් නොබලයි. කොල්ලා ඉගෙනීමටම උපන් නිසා මාත් සොයන්නට බලන්නට නොගියෙමි. ඒත් ටීචර්ට වැඩේ මීටර් විය.


"ඔය ළමයා මොකද කරන්නේ ? පාඩම අහගෙන නෙවේද ඉන්නේ ?" ජම්බෝ ඇසීය.


"ඔව් ටීචර් මම අහගෙන ඉන්නේ" බණ්ඩා පිළිතුරු දිනි.


"බොරු එපා ළමයා, මම මුල ඉදලම බලන් හිටියේ, ඔයා මම ඉරි ගහන්න කීවත් ගැහැවේ නැහැ. උඩ බල බල හිටියේ" ජම්බෝ කේන්තියෙන් තොරව කීය.


"ගැහුවා ටීචර්" බණ්ඩා ගණන් නොගෙනම කීය.


"නැහැ. නැහැ. ඔයා මොකක් හරි බොරුවක් කරන්නේ, කෝ පොත අරන් එන්න මෙහාට" ටීචර් කීය
ටීචර් පොත ඉල්ලයි. බණ්ඩාත් කිසි අවුලක් නැතිව නැගිට ගියේය. බණ්ඩා වැඩ කරන කොල්ලාය. ඉතින් අපිටත් පොර ගැන සැකයක් නැතිය. ටීචරුත් පොත පෙරලා බැලීය.


"ඈ ‍ළමයො පාඩම ඉවරත් නැහැ ඔයා පාඩමටම ඉරි ගහලනේ" ටීචර් පොත බලා කීය.


"නැහැ, ටීචර් කොහොමත් කරන්න කිය‍න්නේ ඔය ටිකමනේ, ඉතින් මම ඊයෙ හවස ‍ගෙදරදි පාඩම කියවලා, ඉරි ගහගෙන ආවා" බණ්ඩා කීය. ටීචර්ට මලය. බණ්ඩාට ගාණක්වත් නැත.


"මොන විකාරයක්ද ඕයි? තමුසෙද උගන්නන්නේ මමද? යනවා පන්‍තියෙන් එලියට, කොරිඩොවට වෙලා පාඩම අහගන්නවා. තමුසෙලා එනවා මට උගන්නන්න" ජම්බෝ ජාතිය ඇමතීම අහවර කළේය.


මම එදා හවසම පොතේ ඔක්කෝම ඉරි ටික මකා දැමුවෙමි.


-මතුසම්බන්ධයි
8 වසරේ තව සීන් ගොඩයි. ඊලග පෝස්ට් එකෙන් බලමු.


Written by sAm_10:30pm_ 23.09.'11

Thursday, September 22, 2011

දැන් ඉන්න කස්ටිය ඉස්සර චූටී කාලේ හිටපු හැටි (Grade 6 & 7)

‍භීෂණයේ අතුරු කතා (බදාදා, බ්‍රහස්ප්‍රතින්දා සහ සිකුරාදා) ලිවීමට ඉතිරිව තිබියදී පොඩි අතීතාවර්ජන පාරක් දැම්මොත් හොදයි කියලා හිතුනා. කස්ටිය අප්සට් වෙන්න එපා. ඉතුරැ දවස් තුන නැගලා යන සීන් ගොඩක් මතක් කරලා එකතු කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතුනා. දන්නවනේ මෙගා ටෙලිනාට්‍යයක වුණත් එහෙමනේ. එදා දවසට හරියන්න තමා කථාව ලියාගන්නේ. අපි එච්චරම පීචං වැඩ කරන්නේ නැහැ. එයිට පොඩ්ඩක් අඩුවෙන් කරන්නේ.

මගේ කථාව වර්ථමානයට එනකොට (10, 11, 12, 13 - වසර ලියනකොට) දැන් ඉන්න කස්ටිය ඉස්සර චූටී කාලේ හිටපු හැටි හොදට තේරෙයි. අලුත් ස්ටෝරි ලියනකොට පරණ සීන් මතක් වුණාම වැඩේ නැගලා යයි.

6 - වසර (ඉස්කෝලෙට ආවා විතරයි)

මේ ඔක්කොම රසවත් සිද්ධි වුණ ඉස්කෝලෙට මම ඔලුව දැම්මේ 6 වසරදීය. 6-D පන්තියට රිංගපු අලුත හොද සෙට් එකක් හොයා ගන්න බැරි‍වෙයි කියලා හිතුවට පන්ති භාර ටීචර් කළේ වැදගත් දෙයකි. ඇය ශිෂ්‍යත්වයෙන් අලුතෙන් ඉස්කෝලෙට ආපු සෙට් එකම කුකුල් කොටුවකට කුකුල්ලු එකතු කලා වගේ කොටු කරපු නිසා ඒ සෙට් එකම හොදම කුකුලන් වීය. කසුප්, ජයේ, පුස්කට්ටා (පුෂ්පිත), සුජාන් සහ මම අලුත් සෙට් එකේය. ටීචර්ගේ පුංච් මොලයට පිං සිද්ධ වෙන්න අපිට එළ සෙට් එකක් වෙන්ට වරම් ලැබින. බණ්ඩා පන්ති නායකයා වීය. කල්පනී නායිකව වූ නිසා බණ්ඩාට කතා හැදුනේ කල්පනී සෙට් කරමිනි. බණ්ඩාට මලය. ජයේට මල් යායක් වුණේ ලවන්තිකාට ආලවන්තිකා කියා නම වරද්දා කීමෙන් පසුය. මේ සීන් එකෙන් ජයේට ඉස්කෝලේ මෙන්ම දහම් පාසලේ ද ඉන්න නැතිවිය.

දගයා (එදත් චන්ඩියා අදත් චන්ඩියා), දර්ශික (ව_යා), ගීත්, රජිත, සචිනි, වැනි නම රැන්දූ පට්ටම සෙට් එකක් හිටියේ අපේ පන්තියේය. චන්න සහ දිනිදු, අපේ ඉස්කෝලෙටම සෙට් උනත් අපේ සෙට් එකේ (කලින් ඉස්කෝලේ) හිටපු අංජාට (අංජන - අදටත් ෆිට් එකක්) අහුවුණේ අපේ අල්ලපු විද්‍යාලයයි (නැත්තම් අපි එක්ක හිටියනම්කොල්ලත් විනාසය). සචියා, තරිදු (දණ්ඩා) අපේ ඉස්කෝලෙට ආවේ 7 වසරදීය.

6 වසරදී අලුත් ඉස්කෝලෙට සෙට්වුණ හැටියේ අපි සුපිරි උනන්දුවෙන් ශිල්ප දැම්මෙමු. පූතිඑලයක් වාර විභාගයෙන් බණ්ඩා පන්තියේ පළවෙනියාද, ජයේ දෙකද, මම තුනද වීමු. 6 වසරේ ආතල්ම දරුණු සීන් එකක් වුනේ සාහිත්‍යය සමිතියක දවසේය. ඒ දවස්වල සමිතිය තියන‍්නේ පන්තියේමය. ජයේ, බණ්ඩා, පුස්කට්ටා හා මම පේලියට ඉදගෙන සිටීමු. ජයේ මට ‍තට්ටුවක් දැ‍ම්මේය. මම පිටිපස්ස හැරී බැලුවෙමි. කවුරුත් සද්ද නැත. දෙතුන් පාර තට්ටු වදිනකොට ජයේ බව මට වැටහිණ. අන්තිම තට්ටුව සමගම මම ‍මගේ වතුර බෝතලය කරකවා බඩ දෙදරන්න සමපාත කලෙමි. ජයේ අන්දොස්ය. මම ටීචර්ට මාට්ටුය. ජයේ බබා ලැබෙන්න ඉන්න ඇන්ටි කෙනෙක් වගේ බඩ බදා අඩයි. ටීචර් මට අහිංසක මට බැන්නේ මිනීමරුවා කියාය.

ඉස්සර පන්ති වෙන්කර තිබුනේ බෝඩ් ගසාය. අපි කරන්නේ අතුගාන්න තියෙන දවසට ඔක්කෝම කුණු එහා පන්තියට (6-C) දැමීමය. හැමදාම කරන වැඩේ කාටවත් මීටර් නැත. ජයේ එහා පන්තිය පෙනෙන සේ දිනපතා බෝඩ් එක හිල් කරයි. ඔක්කොම මගඩි එලියට ආවේ කුණු බක්කි කේස් එකෙනි. අපි යටින් කුණු දාන බව එහා පැත්තේ එවුන්ට මීටර් වුනෙත් මාස 2, 3ක් ගියාට පසුය. හැමදාම උදේට පන්තිය අතුගෑවත් එහා පන්තියේ එවුන්ට ටීචර්ගෙන් බේරුමක් නැති විය. කොච්චර අතුගෑවත් හැමදාම ටීචර් එන කොට පන්තියේ කුණුය. දවසක් පන්තියටම බඩු පැකට්විය. එදා ඉදන් උන්ට ඇස් ඇරිණ. කුණු යටින් එවන්නේ අපේ පන්තියෙන් බව කස්ටියට වැටහිණ.

එදා අතුගාන්න තිබ්බේ අපිටය. අතුගානවාට වඩා කුණු එකතු කරන එක අමාරුය. බණ්ඩා පුටු ඈත් කරයි. මම, පුස්කට්ටා සමග අතුගායි. ජයේට තිබ්බේ කුණු සීන් එකය. අපි ජයේට කොස්සෙන් කුණු එකතු කර දුනිමු.


"මේක එකතු කරන්න බැහැ බං. යටින් එහා පන්තියට යවමු" ජයේ කීය.


"පිස්සුද බං උන් දැන් සීන් එක දන්නවා. අපි මාට්ටුවෙයි" බණ්ඩා කීය.


"අවුලක් නැහැ අදට විතරක් ඔබමු බං" පුස්කට්ටා පැන්නේය


ජයේ පැන මගෙන් කොස්ස උදුර ගෙන එක හුස්මට ඔක්කෝම කුණු එහා පන්තිය පැත්තට යැවීය. එහා පැත්තෙන් සද්ද නැත.


"උබලා නිකං බයවෙලා, බලපං එහා පැත්තේ නෝ ආන්සර්.."
ජයේට තවත් කට අරින්නට බැරිවිය. යටින් දාපු කුණු dust bin එකක ‍හොදින් අසුරා උඩින්ම ආවේය. පන්තියේම සහයෝගයෙන් අපි කුණු යලි එහා පැත්තට දැම්මෙමු. පාං කෑලි, බත් පාර්සල් පිටින් උඩින් යයි. ආයෙත් ඒසැනින් මෙහාට එයි. පන්ති දෙකම පෝලිමට හිටවා පස්ස පැත්තට කෙලින තුරු සෙල්ලම පැවතින.


7 - වසර (ලබ්බ සහ කැටය)

සිදුවූයේ විනාසයකි.එකට සිටි සෙට් එකම සුනුවිසුනු කර අලුත් පන්ති වලට දැම්මේ අපේ ජීවිත ආරක්ෂා කිරීමට වඩා පාසල ආරක්ෂා කර ගැනීමට විය හැක. 7 - ඊ පන්තියේ අලුත් සෙට් එක වූයේ ගයාන්, පුන්සිත්, ශිතිල, ඩිලාන් (කළුවා), සසික (පොඩි ඕමා), සසික (අමරසිංහ), ඉසුරු (YP), ලාලින්ද්‍ර, ඉමංග, රුචිර, විනෝද් (චතුරංග), කිරියා (සදීප), ශිලංක, දමිත්, සහ කේලාම් කියන කෙල්ලෝ සෙට් එකකි. පන්තිභාර විජේකෝන් ටීචර් මල ඇණයකි (ඇණ වාතයට නිරාවරණය වූ විට මල බැදේ, වලක්වා ගැනීමට නම් ගැල්වනයිස් කල යුතුය නැතිනම් පොල්තෙල් වල ගිල්වා තැබිය යුතුය). පන්තියේ එවුන් ටීචර් නැති වෙලාවට කෑගසනවාට ඇය දුන්නේ අපූරු විසදුමකි. ඇය උදේම කෑගසන ලමුන්ගේ නම් ලිවීමට කෙනෙක් පත් කරයි. එදා දවසම ඔහුට හෝ ඇයට ඇත්තේ කෑගසන්නාගේ නම ලියා, කෑගසන වාරයක් පාසා නමට ඉදිරියෙන් ඉරි කැබැල්ලක් ගැසීම පමණි. එක ඉරක වටිනාකම රුපියලකි. (ඉස්සර අපේ එවුන් කැන්ටිමෙන් පාන් කෑල්ලක් කෑවේ රුපියල් 5කට පමණය. පස් පාරක් කෑගැසුවොත් කාලා හමාරය) ඇය පහුවදා උදේම ගණන් එකතු කර පන්තියේ ඇති කැටය පුරවයි. පන්තියට කොසු, ඉදල් ගත්තේත් එදා වේල පිරිමසා ගත්තේත් මේ මුදල් වලිනි. අපේ එවුන් කෑගසනවාට වඩා බඩ ගැන හිතන නිසා පන්තිය සද්ද නැත.





කෙල්ලෝ සදාතනික කේලම් කරුවෝය. අපේ ටීචර්ට එදා ඉදන් කුනුහරප ඇලජික්ය. අපිට ඒක තේරුම් ගිය වැදගත් සිදුවීම මෙසේය. එදා නම් ලියන්නට පැවරී තිබුණේ කේලම් බඩ්ඩකටය.

"විනෝද් මොකද කෑගහන්නේ මම නම ලියනවා හරිද?" කේලම් බඩ්ඩ කීවාය.


"මොන මගුලක්ද ඕයි මම පොතක් ඉල්ල ගන්න කතා කලේ" විනෝද් කීය. පන්තියම ඒ කාලේ කෙල්ලොත් එක්ක මලය. උන් උඩ පැන පැන ටීචර්ට ගොට්ට අල්ලයි. කොල්ලන්ට ඒවා නොදිරවයි.


"මම දන්නේ නැහැ. තමුසේ ඒක ටීචර් එක්ක බලා ගන්නවා.." අපි ගණන් නොගන්නා නිසාම කෙල්ලටත් මලය.


"හරි තමුසෙත් ඕන ලබ්බක් කර ගන්නවා.." විනෝද් කීය. කෙල්ලගේ කට ඇරී ඇස් දෙක දෙපැත්තට ගියේය. ඒ ලබ්බට බයේය.

අපි දන්නා විදියට ලබ්බ වැදගත් වචනයකි. ගෙවල් හදනකොටත් ඉස්සෙල්ලාම එල්ලන්නේ ලබ්බකි (පුහුල් ගෙඩිය වුණත් ලබ්බ කියලා හිතමු). කෙල්ලන්ට ලබ්බ අකැපය. ඒ නිසාම විනෝද්ගේ නම ලියා ඉදිරියෙන් ඉරි කැබලි කිහිපයක්ම ගසා ඇත.

‍ටීචර් පන්තියට පැන්න විගස කරන්නේ ‍නම් කොලය බලා කලෙක්ෂන් එක දැමීමය. කේලමී කොලය රැගෙන පහුවදා උදේම ටීචර් ලගය. ඇය කේලම් ගොට්ටම දිගහැර ඇවිත් හිදගත්තාය. 

"විනොද් මෙහෙ එනවා." ටීචර් ඇමතීය. විනෝ ටීචර් ලගය. සද්ද නැත. සද්ද කරන්නටද බැරිය.


"තමුසෙ මොනාද මේ ලමයාට ලබ්බ කියලා තියෙන්නේ? මීට පස්සේ පන්තියේ කුණුහරප කීවොත් ගෙනියනවා ඔෆීස් එකට. 
"ලබ්බ.. මම එල්ලවා තමුසෙගේ ලබ්බ කරේ..." පන්තිය සද්ද නැත. කෙල්ලට මෙන්ම ටීචර්ටත් (ටීචර්ට ලමයි පෝලිමක් හිටියා මට මතකය, ඇය ලබ්බට බය ඒනිසාදැයි සැක සහිතය) ලබ්බ අකැපය. ලබ්බ විතරක් නෙවේ හැම කුණුහරපයක්ම අකැප බව අපට වැටහිණ.

දිනපතා කෑගැසීම් සිදුවන නිසා කැටයේ දැන් ඉ‍ඩ නැත. තරහකාරයෙක්ට නම ලියන්න සෙට් වුනොත් ඉවරය. හුස්ම ගත්තත් හේ නම ලියයි. ටීචරුත් අපට වඩා කැටයට ආදරේය. පන්තියේ බඩුමුට්ටු වලට වඩා ඇය කැටයට ආදරේය. ඇයට කැටේ හීනෙනුත් පේනවා ඇත. අපේ එවුන්ට කැටේ පේන්න බැරිය. ඒ තරමට බයය. කැටේට ඇති ආලය නිසා ටීචර් කැටේ සවසට කබට් එකේ දමා යයි. ඒක‍ට වෙනම ලොක් එකක් ඇත. යතුරද ටීචර් ගේ හැට්ටය අස්සේය. (තංගල්ලේ බැංකුවේ දැම්මා සේය). හවස ගෙදර යන්න කලිනුත් ටීචර් පන්තියටම පැමිණ කබඩ් එක ලොක් දැයි බලා පිට‍වේ. මුළු 7 වසරම අපේ කැටය ගැන දනී.

දවසක් උදේම ටීචර් පන්තියට ආවේ කෑගහපු ලිස්ට් එක බලා ගණන් හිලව් බේරීමටය. ඇය උගන්වනවාට වඩා කලේ මුදලාලි ‍ජොබ් එකකි. කැන්ටිමේ ඩිස්කන් අයියාත් ‍කලේ එවැනිම ජොබකි. කලින් දවසේ නම් ලිවීමට තිබුණේ මටය. එදා උදේම ලිස්එක අරගෙන මම ටීචර් ලගය.


"ඊයේ ‍වැඩිය කට්ටිය කෑගහලා නැහැනේ. දෙතුන් දෙනයි කෑගහලා තියෙන්නේ" ඇය ලිස්ට් එක බලමින් කියයි. කස්ටිය සද්ද නැති වුණත් ටීචර්ට පාඩුය.


"පුතා ගන්න බලන්න කබඩ් එකේ තියෙන කැටේ," ටීචර් අස්සට අත දමා යතුර දුන්නාය. මම ඇගිලි දෙකින් යතුර අල්ලා කබඩ් එක ලගට ගියෙමි.


"ටීචර් මාර වැඩේ, යතුර කරකවන්න කලින් ඉබ්බා ඇරුණා" මට හිතා ගන්න බැරි විය. ඉබ්බා කැස්බෑවා වී ඇත.


"ඒක කොහෙමද වෙන්නේ? අපි ඊයේ ලොක් කරලනේ ගියේ. බලන්න කැටේ නැද්ද කියලා" ටීචර් අඩියට දෙකට කබඩ් එක ලගය. කැටේ නැත. කරන්නට දෙයක් නැත. ටීචර්ට හීන් දාඩිය දමා ඇත. අපේ එවුන්ටත් හිතා ගත නොහැකිව උඩ බලා සිටිති.


"මේක අපි සර්ට ගිහින් කියමු. යකාගේ ‍වැඩක් නේ පන්තියෙ තිබ්බ කැටේ නැහැ. තමු‍සෙලා දැන් බලනකන් කබඩ් එක කඩලා කියලාවත් දන්නේ නැහැ. මරු ආ..."

ටීචර් මාවත් ඇදගෙන පිනා ලගට ගොස් කේස් එක ෆයිල් කෙරින, එදායින් පසු කැටත් නැත, පන්තියේ සද්දත් නැත. ටීචර්ගේ කැටේට වෙච්ච දේ තවමත් අභිරහසකි.


ටීචර්ගේ කැටේට වෙච්ච දේ තවමත් අභිරහසකි.




-මතුසම්බන්ධයි-
(ඊලග පෝස්ට් එකෙන් 8, 9 වසර සීන් එක්ක සෙට් වෙමු)
Written by sAm 4:30pm_21.09.'11

Tuesday, September 20, 2011

භීෂණයේ අතුරු කතා (අගහරුවාදා) - Remaining 7days for parent's meeting

පන්ති ක‍වය ලබන සදුදාය. මොන ජඩ වැඩේ කළත් අපේ එවුන් හදන්නේ අහුනොවෙන්නට කිරීමටයි. වැරැද්ද වුණත් අහුවෙන්න කළොත් ගතියක් නැත. අහුවුනොත් ආතල් සියල්ල කුඩුය. ඒත් ගූහචාරය අපිට එතරම් සුභ නැත. අල්ලපු පන්තියේ වාතයක් ගියත් සද්දෙයි ගදයි දෙකම එන්නේ ‍අපේ පන්තියෙනි. අප එතරම් බ්ලැක් ලිස්ට් වී ඇත. අපි ඒ ගැන කම්පා නොවූවෙමු. ඉත සිතින් ආඩම්බර වුණෙමු. කුසුමේ හැමදාම උදේට පන්ති කවය සිහිකරයි. අපේ එවුන් ආරක්ෂාකාරී ලෙස දවස ගෙවීමට තීරණය කරයි. නමුත් කොහෙන් හෝ හෙණයක් පාත් වීමට ගතවන්නේ විසිල් එකක් ගහන පූමාදය පමණි.

සිකුරාදා සාලියට ටොෆිය සෙට් විය. සදුදා (ඊයේ) මටයි, නාමල්ටයි ටොෆිය සෙට්විණ. නාමල්ගේ ජනකවිය නිසා මම ගොඩය. නමුත් පන්තිකවයට පෙර අප තුන්දෙනා රන් අකු‍රෙන් ලියවී හමාරය. අපේ පිනාගේ ඔෆීසිය ලග හිටපු විදුහල්පතිවරුන්ගේ නම් කොටා ඇත. එලෙසම අපේ නම්ද කෙටෙනු ඇත. කස්‍ටිය කොහේ කොතැන හිටියත් ඥාණේගේ ගණන් ඇසීමට, කුසුමෙගේ කථා ඇසීමට පන්තියට අනි‍වා සෙට්වෙති. ඒ පන්තිකව භීතිය (parent's meeting phobia) නිසාය. අනෙක් ගුරුවරුන්ට එතරම් බයක් නොදක්වයි.

ඒත් විද්‍යාව කරන වින්ද්‍යා ටීචර් ගේ නම මගේ කේන්ද‍රයේත් ලියවී ඇත. ඇයට මනෝ, කූඹියා සහ මාව පෙන්වන්නට බැරිය. ආලෝකය පාඩම කළ දවස සිට අනිත් පාඩම් කරද්දීවත් අතුරු ප්‍රශ්න වලදි ඇය පිළිතුරු නොදේ. එදා දවසක් මනෝ ඇයගෙන් ඇසුවේ ටීචර් අනන්තය කොහේද තියෙන්නේ කියායි. ඇය කීවේ අනන්තය තියෙන්නේ ඉරේ (සූර්ය්‍යාගේ) කියාය. එකවරම මම ඇසුවේ ටීචර් සුර්යාට පෘතුවිය ඉදන් දුර කොච්චරද කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අනන්තය තියෙන්නේ අපි දන්න දුරක්ද? එදා ඉදන් ඇය අප දිහා නොබලයි. ප්‍රශ්න නොඅසයි. අපිත් ජනාධිපති සමාව ලද සිරකරුවන් මෙන් සිටියෙමු. කිසි කරදරයක් නැත.

සිකුරාදා, සදුදා අපේ එකෙක් දෙන්නෙක් හෝ බිලිගත්තේය. අද එවන් අපලයක් නොවේවායි සිතමින් අපි උදේම පන්සිල් ගතිමු.

අගහරුවාදා - (අතුරු අන්තරාවක් නොවේවා)

කුසුම් පන්තියට ආවාය. වැරදි නැති දිනට ඇය සුන්දරය. අපේ ‍අයත් සතුටින් සිටිති. ඇය මේ සතියම මතුරන්නේ පන්තිකව මන්තරයයි. අපේ එවුන් මන්තරය ජප කරනවිට සැධුකාර දෙති. ඇය මොනව ‍හෝ කියා "නේද? ලමයි" කියා අසන විට, ඔලුව හොලවන්නේත් ශේප් වීමට මිස,  ඇය කියන්නේ ඇත්තම නිසා නොවේ.

"අපි අද හවස 2න් පස්සේ ඉදලා ඩෙස් පුටු paint කරමු. ලබන සතියේ පන්ති කවය නිසා හොදට තියෙන්න ඕනි. කවුද හවස ඉන්න පුලුවන් අය?" කුසුම් ඇසීය. 

එහා පැත්තේ සෙට් එකම අතු උස්සගෙනය. අපේ පැත්තේ කස්ටිය වටපිට බලයි. පන්තිකවය නොව පොලිස් හදුනාගැනීමේ පෙරට්ටුවකට දානවා කීවත් ‍අපේ අය තීන්ත ගෑම් වැනි කටුවැඩ නොකරයි.

"මොකද මේ පැත්ත සද්ද නැත්තේ?" කුසුම් ඇසීය.
සංජා (ඇන්ටී), ගයාන්(අංකල්), හරීන් (පුතා), {සංජා, ගයා, හරීන් තුන් දෙනාම එකට ඉන්න නිසා ලක්ෂා මේ තුන්කට්ටුව නම් කලේ පුංචි පවුල ලෙසය}, කොත්තා, ජයේ, අසංක, කූඹියා, වින්දන, සාලි, චේති, ලක්ෂා සහ මම සිටියේ පන්තියේ දොර පැත්තේය. මේ කි‍සිවෙකු කට්ටට බෙර නොගහති. එනිසා "මුළු මුහුදම හඩයි, අපි වෙරළේ නිසසලයි" කියමින් සද්ද වසා සිටියෙමු.

"නෑ ටීචර් අපි අත් ඉස්සුවේ නැත්තේ ඔය කට්ටිය ආවත් ඇති වෙයි ‍වැඩේ කරන්න" කූඹියා පන්තියම හැනැස්සවීය. නමුත් ටීචර්ට අවුල්ය. ඇය ගුරු සේවයේ 8 වසරක් පමණ අත්දැකීම් පූයෝජනයට ගත්තාය.

"හරි මෙයාලා අද හවස ඩෙස් පුටු පේන්ට් කරයි. ඔය පැත්තේ කට්ටිය වෙන දවසක බිත්ති පේන්ට් කරන්න"
කූඹියා විනාස විය. කතන්දර නැත. දවසක නෝනා කැමති පාට පන්තිය පුරා අතුල්ලන්නට අපට වැඩ සෙට් වී හමාරය.

"හොද ‍පේන්ටි බාස් කෙනෙක්ට, හොද පේන්ට් එකකුයි, බූෂ් එකකුයි හම්බුණාම තියෙන සතුට, බලන්න ගෑවෙන අපූරුව." ලක්ෂා සෙමෙන් මිමිණවේ කූඹියාට ඔරොප්පු වීමටය. වයසට ගියත් කෙල්ල වගේ ඉන්න කුසුම්ගේ කන් තියුණුය.

"ආ ඇත්තද ලක්ෂාන්? බලමුකෝ පන්ති කවයෙදී" කුසුම්ගේ සුපුරුදු මන්තරය සමග ලක්ෂා ඇදගෙන නෑවේය. වෙනදාට ලක්ෂා හිමින් කියන දේවල් පන්තියටම ඇහෙන්න කියන්නට ගොස් නා ගන්නේ කූඹියා හෝ වින්දනය. අද හොරා හිරේය.

Period හතරක් කිසිදු අතුරු අන්තරාවක් නැතිව ගෙවින. interval එකේ කස්ටිය පිට්ටනිය දිහා බලන්නේවත් නැත. ඉදහිට සෙල්ලම් කලත් ඉන්ටර්වල් එකේද කරන්නේ කාට හෝ ගින්නක් පත්තු කිරීමය. නැතිනම් සිදුවන්නේ කවුරුන් හෝ අවුලපු ගින්නක් නිවන්නට හෝ බලන්නට ගොස් ගින්නට අතක් පයක් හෝ පුච්චා ගැනීමය.

එදා තිබුණේ ""කොරිඩෝ පාරවල් (steps) සංදර්ශනයකි"". එහෙම ෂෝ එකකට section එකේ බහුතරයක් සහභාගි වෙති. සාහිත්‍ය සමිතියටවත් එවන් සෙනගක් අප දැක නැත සිටියත් සමිතිය අතරමැද විනාශය. සුදත්, චමල්, චේති දක්ෂ පාරවල්කරුවෝ අතර පිරිසකි. ෂෝ එක අහවර වන්නට කලින්ම ඉන්ටර්වල් එක අහවර විය. අපේ එවුන් එදා සිටම බෙල් එක ගනන් නොගනිති. ඉදහිට හෝ හරි වෙලාවට පන්තියට ගියේත් පිනා ගේ සද්දයක් ඇසුන දැනුන දාකය. බෙල් එක වැදුන නිසාත් අප පන්තියට නොගියේ ෂෝ එක අපේ පන්තිය අසලම තිබුණ නියාමය.

"මොන‍වද බං අපිට දැන් තියෙන්නේ?" මනෝ චේති ගෙන් ඇසීය. (මරු මිනිහාගෙන් ඇහුවේ)

"සංගීත නේද?" මම ඇසුවේ සාලිය දෙස බලමිනි. සංගීත සීන් එකට පසු සාලිය සදාතනික බයිට්ය. මුවින් නිකුත් වූයේ කුණුහරපයක් පමණි.

"ගණන් බං" උත්තර දුන්නේ කූඹියාය.

"අම්ම ගහයි ඕයි. ඥාණේ ඉන්නේ. යමු ඇතුලට" ‍මනෝ කීය

"අවුලක් නැහැ බං. පොර එනකොට පරක්කුවෙනවා. අනික පන්තියට රිංගන්න එච්චර වෙලා යන්නේ නැහැනේ" මම කීවෙමි.

"පිනා එනෝ..... " කිසවෙකු කෑගසමින් විත් එහා පන්තියට රිංගුවේය

ශිහාන්ගේ ෂෝ එකට ගල් ගැහුවා බදුවිය. ඇත්ත නැත්ත සෙවීම පසෙකලා සියල්ල ඒ මේ අත දිවූහ. අපි ද පන්තියට විස්ථාපන වීමු. කිසිවෙකු හා හූ නැත. සියල්ල නිහඩය, නිසලය. පිනාගේ හඩක්වත්, ගදක් වත් නැත. සුපුරුදු මුලාවකට අප හසුව ඇත.

එවර පන්තියට ආවේ පිනා නොව ඥානේය. සුපුරුදු ලෙස අත් දෙක එක්කර පෙන්වුවා පමණි. අප ආයුබෝවන් කියා හිදගතිමු. අප ‍එදා සිටියේ පළමු පේලියේය. පසුපෙල මැති ඇමතිවරු කිසි දින මුල් අසුන් වලට නොඑනා නිසා කුසුමේ ගේ උප්පරවැට්ටිය අනුව අපට හැමදාම පසුපෙල හිමිවූයේ නැත. දිනපතා හිදගන්නා පේලිය මාරු කල යුතුව තිබින. එනම් අද පසුපෙල අය හෙට ඊට ඉදිරි අසුන් පෙලට යා යුතුය. එලෙස සදාතනිකව පේලි මාරු වීම සිදුවිය. ඉදහිට හෝ අපි සතියට දෙවරක් අන්තිම පේලියේ සිටියේ චේතිය අපේ පේලියේ සිටි වාසනාව නිසාය. ඒ අනිත් එවුන් චේතිට ‍ගරුකරන නිසාය.

"ගෙද‍ර වැඩ කරපු පොත් අරන් පේලියට එනවා" ඥානේ ඇමතීය. පළමු පෙල සිටි අප නැගිට්‍ටෙමු. කෙලවර සිටි මනෝ නැගිට එලියට ගිය පසු, චේති නැගිට්ටේය. ලක්ෂා නැගිටින්නේ නැත. බෑගයට ඔලුව ඔබා මොනවද සොයයි. මමත් එලියට යාමට නොහැකිව ලක්ෂා නැගිටින තුරු සිටියෙමි.

"‍යකෝ ඥානේ කෑගහයි. යමු එලියට" මම කීමි

"පොත නැහැ බං" ලක්ෂා කීය.

"ඇයි යකෝ සෙට්එකම ගණන් ටික හැදුවේ උබේ පොත බලං නේද? උඹ කාටද අන්තිමට දුන්නේ?" කූඹියා පිටුපස සිට ඇසීය.

"චේති දුන්නට පස්සේ මම ඒක ‍ඩෙස්ක් එක උඩ තියලා ඉන්ටර්වල් ගියා බං" ලක්ෂා කීය. පොත නැති බව කීවත් ඥානේ විශ්වාස නොකරන බව හේ දනී. ඔහු අනිවා හිතන්නේ ගණන් නොහදා බොරු ගොතන බවය.

"කෝ තමුසෙලා දෙන්නා එන්නේ නැද්ද?" චේතිගේත් මනෝගේ පොත් බලා ඔලුව එසවූ ඥානේ ඇසීය.
මම ඩෙස් එක යටින් රිංගා එලියට පැමිණ පොත දික් කලෙමි

"කෝ තමුසෙ මොකද?"
"මගේ පොත නැහැ සර්, මම උදේ ගෙනාවා. ඒත් දැන් නැහැනේ" ලක්ෂා නැගිට පිලිතුරු දුනි.

"ඒකත් එහෙමද? උදේ ඇදගෙන ආපුවා තියෙනවද බලනවා, පොත හම්බෙනකන් ඔහොම හිටගෙන ඉන්නවා"

"පොඩ්ඩක් බලපං බං ඩෙස්ක් එකක් උඩවත් තියෙනවද කියලා" ලක්ෂා හිටගෙනම පොත හොයයි. 

නොසිතූ පරිදි ගණිතය විෂය නායකයාටත් පන්ති කවයට පෙර ටිකට් එක ඇදිනි. ලක්ෂා සිටගෙන සිටින අතර පන්තියේ සියල්ලම පාහේ පොත් පෙන්නවීය. නමුත් ලක්ෂාගේ පොත අතුරුදහන්ය. අපිත් පොත සෙව්වෙමු. ලක්ෂා සිටින්නේ මටත් චේතිටත් මැද පුටුවේය. එදා පලවෙනි පේලියේ සිටි නිසා අප සිටියේ දොර ලගමය. දෙරින් අත දැමූසැනින් ඩෙස්ක් එක උඩ ඇති ‍ඕනෑම දෙයක් ගත හැක. ඒත් ගණන් ලියන පොතක් ගෙන යන්නට තරම් අමාරුවක් ඇත්තෙක් සිටිය නොහැක.

ඥාණේ පොත් බලා අහවර විය. "කෝ තමුසෙගෙ පොත. තාම නැද්ද?"

"නැහැ සර්" ලක්ෂා පිළිතුරු දීය.

"තමුසෙත් මාව තම්බන්න හදනවද?" ඥාණේ ජාතිය ඇමතීම ඇරඹීය. අවසාන වන්නේ පන්තිකවය ගැන කීමෙන් බව අප දනිමු.

"නැහැ සර් මම අද ගෙනාවා. මට මතකයි" ලක්ෂා කියූ සැනින් කොරිඩෝව පැත්තේ බැම්ම උඩින් පොතක් පන්තිය තුලට විසිවිණ. ඒ ලක්ෂාගේ පොතයි. ඥානේ නැගිට කොරිඩෝ‍ව දෙසට දිවීය.

"ඒයි, ඒයි. තමුසෙ මෙහෙ එනවා..." මොහොතකින් ඥානේ පන්තියට ආවේ, කලිසම දනිස්ස ලගට අදින සුදත්ව එක අතකින් ඇදගෙනය.

"තමුසෙ මොන මගුලටද මේ කොල්‍ලගෙ පොත ගෙනිච්චේ??" සුදත්ව අත නොහැරම ඥානේ විමසීය.

"නැහැ සර් මම කියලා ගෙනි‍ච්චේ. මට ගණන් වගයක් බලාගන්න" සුදත් කීය.

"බොරු එපා අයිසෙ ඇත්ත කියලා බේරෙනවා. නැත්තම් මම ඔෆීස් එකට අරන් යනවා"
ඥානේ සුදත්ව බය කරයි. සියල්ලෝ නාටකය බලා සිටිති. මෙවන් සිදුවීම් කස්ටියටම ආතල්ය. කාට හෝ ගින්නක් දී බලා සිටීම තරම් සැපතක් කිසිවෙකුට නොතිබිණ.

"නැහැ සර්, ඉන්ටර්වල් එක ඉවරවෙලා මෙතනින් මම යනකොට කවුද කෑගැහුවා principle එනවා කියලා. බයවුණ පාර මම මේ දොරෙන් ඇතුලට අතදාලා පොත අරන් ගියා. එතකොට සර් අහුවොත් මට කියන්න තිබ්බා පොතක් ඉල්ලගන්න ආවා කියලා."


 බයවුණ පාර මම මේ දොරෙන් ඇතුලට අතදාලා පොත අරන් ගියා




"ඉතින් ඕයි ඕක උඩින් විසිකලේ ඇයි?"


"නැහැ සර් මම දැක්කා සර් පන්තියේ ඉන්නවා. ඇතුලට ඇවිත් දුන්නොත් කොහොමත් බැනුම්නේ"


"එහෙමද තමුසෙ එහෙනම් දැන් යනවා, ආයෙ මොහොකට හරි අහුවුනොත් අඩු කඩනවා" ඥාණේ ශිල්ප දැක්වීය. ඇත්තම කියනවා නම් ඥානේ අනිත් පන්තිවල කොල්ලන්ට (බයේ) සද්ද නොදමයි. අපිවම කයි.

"දැන් දෙපැත්තෙ එවුන් දෙන්නා නැගිටිනවා. කියනවා බලන්න ඉන්ටර්වල් එකේ මොකද වුණේ කියලා"
පාරවල් ෂෝ එක ගැන කිව නොහැක. ඇට නැති දිවට මා නැවෙන්නට ඉඩහලෙමි.

"අපි ඉන්ටර්වල් ඉවරවෙලා පන්තියේ ඇවිත් ඉදගෙන හිටියා" මම කීමි. චේතිද හිස සොලවයි.

"තමුසෙ කොහෙද හිටියේ??" ඥාණේ චේති දෙස හැරිණ.

"සර් මාත් හිටියේ පන්තියේ තමයි" චේති කීය.

"තමුසෙලා දැක්කේ නැද්ද අයිසේ මැද ඉන්න එකාගේ පොත උස්සගෙන යනවා. මේකගේ කලිසම ගලවං ගියත් තමුසෙලා දන්නේ නැදද? "

"නැහැ සර් අපි දැක්කේ නැහැ." චේති කීය. 
ඥානේ කැකිල්ලේ රජුන් බදුය. තර්ක විතර්ක වැඩක් නැත. ඔහුගේ තීරණය අවසාන තීරණයයි. සුදත් නිවැරදිය. දෙපැත්තේ සිටි අප වැරදිය.

"එහෙනම් දෙන්නම අතගාලා බලනවා ලග තියෙන්න ඕන ඒවා තියෙනවද කියලා" කැකිල්ලේ නිරින්දාගේ අවසන් වදන එය විය.

Written by sAm_1:42pm_19.09.'11


Sunday, September 18, 2011

භීෂණයේ අතුරු‍ කතා - සදුදා ( A week before the parent's meeting )

පන්ති කවයට දින 7ක් (අද සදුදා නම් පන්ති කවය ලබන සදුදාය) තිබියදී භීෂණයේ අතුරු කතා රුසක් සිදුවිය. එම දින පහ මෙසේ දිග හරිමි.

ඥාණේට අසුවූ පසු සාලිය සදාතනිකව නිහඩය (එය පන්ති කවය ඉවරවන තුරු පමණක් බව සියල්ල දන්නා රහසකි) ඔහු වරදට යොමු වූයේත්, ‍ඥාණේට අසුවූයේත් මගේ වරදින් බව ඔහු තවමත් ඉර හද දිවුරමින් පවසයි. (ඇත්ත එය වුණත් මා අදටත් එය විශ්වාස නෙකාරමි) මහ වරුසාවට පසුව නැගෙන සද වෙනදාටත් වැඩියෙන් එළිය බව ගැයුවේ සෝමතිලක ජයමහ ගායකයාය. එසේම සියලු භීෂණ කටයුතු අවසානයේ දැන් ඥාණේ වෙනදාටත් වැඩිය අපට ආ‍දරේය. අපේ එවුන් ර‍වටනු කාටත් නොහැක. ඥාණේ සද්ද නැත්තේ පන්ති කවය දවසේ ගේම අදින්නටය. අපි නිහඩව සි‍ටින්නේත් පන්ති කවය අහවර වන තුරුය

එම දින පහ මෙසේ දිග හරිමි...........

සදුදා

කුසුමි ටීචර්ට කවුරුත් ආදරේය. ඇය සිංහල ඉගැන්නූයේ අප‍ට පමණි (10-B) නමුත් පන්ති 8හිම කොල්ලෝ ඇයට ආදරේය. එතරම් ගුරුභක්තියක් මා කවදාවත් දැක නැත. ඇය විෂයෙහි දක්ෂ පියකරු ගුරුවරියකි. හැමදාම අපිට උදේම සිංහලය, ඒ පන්තිභාර කුසුමේ (ආදරේට කියන නම) සිංහල ගුරුවරිය වූ නිසාය. උ‍දෑසන පන්සිල් ගත් විගස සියල්ලෝම (ගුරුවරිය නැත්නමි, සමහරවිට සිටියත්) කොරිඩෝවට බසිති.
 මම, ලක්ෂා, චේති, වින්දන, කූඹියා, සාලි... ඇතුලු පන්තියේන භාගයක්ම එලියේය (සොරි අමතක වුණා සාලිය බැස‍්සේ නැහැ)

"අද කුසුමේ නැද්ද බං" කූඹියා ඇසුවේ කොරිඩෝවට බසින දොර ලගදීය.
"කවුද බං ද‍න්නේ?? ඔය එන වෙලාවක එයි"  සරුංගල් නිමල් (කූඹියා) කීය.

චේතිට ඉන්නම බැරිය, වචනයක් ඇසුණ සැනින්, ඒ වචනයෙන්ම සිංදුවක් පටන් ගනී. දොරට පොල්ලකින ගසයි. කස්ටියම වටවී සිංදුව විනාස කරයි. පන්තියේ ඇතුලේ නමි ලක්ෂා (සයිඩ්) බෑග් එක ගිටාර් එකක් ‍සේ හරහට දමා වාදනය කරයි.

"ආ කුසුමෙද??"
""ඈ නීල වරල පීරලා.. ඈ යන ගමන හැ‍ඩ වෙලා... (අහං අහං..) කුසුමි නටයි පවන් සල සලා....""
සාජ්ජය ඇරඹින... අපේ එවුන්ට දහ පාරක් ගැහුවත් එපා නොවන ගීයකි. සංගීත කාමරේ කට නොඇර සිංදු කියන එවුන් මහ හඩින් කියන පැයේ ජනප්‍රිය ගීයකි. (2006 පැයේ ජනප්‍රිය ගීය වුයේ ඉරෙන් හදෙන් එළිය අරන් ගීතයයි)

වැඩේ නැගලා යයි. අත්වැල් ගාය‍නයේත්, රසික පිරිසේත් අඩුවක් දැනින. වෙනසක් දැනුන නිසා මමද වටපිට බැලීමී. පඩිපෙල දිගේ සාරි පොටක් පෙනේ. අපේ එවුන් හාමුදුරුවෝ පන්තියට එන බව කියන්නේ බිත්තිය බැලීමෙනි. සිවුරේ එලිය බිත්තයට වැ‍ටුණු ගමන් බැරේ (හාමුදුරුවෝ) එන බව කවුරුත් දනිති. ඒත් සාරිය සමග සෙල්ලම් නොහැක. සාම්පූර් වලට ගහන්න කෆීර් නග්ගන සද්දෙට කොටි හැංගෙති. ඉතින් ‍සෞඛ්‍යයට හිතකර ලෙස මාද ඉවත් විනි.

චේති නවත්තන්නේ නැත. පටන් ගත්තොත් වැඩේ තනිවම හරි අහවර කරයි. එදා සිංහල පාඩම ඇරඹුනේ චේතිගෙනි. චේති කු‍සුමෙට අසු‍වුනේත් "කුසුම් නටයි පවන් සල සලා" කියනකොටය. ආරම්භය සුභ නැත. පන්තිකවය දවසට කෙලවේ. මේ ගෙවෙනනේ කස්ටිය කුසල් රැස් කරන, පිං අනුමෝදන් කරන කාලයයි. එදා සාලි, මෙදා චේති ඉවරය. කුසුම් පාඩම පටන් ගත්තේ "තමුසෙලා ආයෙත් මට අහුවෙන්න එපා" කියමිනි.

"හරි දැන් පොත් ගන්නවලා, බඹර කවි නේද පාඩම? එක්කෙනෙක් නාමල් නැගිටලා පලවෙනි කවිය කියවන්න" කුසුම් ටිකක් නිවී ඇත. නාමල් ඔලුව කසමින් වටපිට බලයි.
"මොකද කරන්නේ කියවනවා, මොකද පූශ්නේ???" කුසුමු රතුවිණි.
"ටීච්ර් මම පොත ගෙනාවේ නැහැ"  නාමල් සුපුරුදු ලෙස ඔලුව කසමින් සිනාසෙමින් කීය. (වෙරලු ආච්චීගේ දිවුල් හොරකම් කර අසුවු විට හැසිරුනෙත් මෙසේය. දන්නෝ සීන් එක දනිති)
"පොත් ගෙනපු නැති අය නැගිටිනවා, තමුසෙලට බුරුලක් දුන්නම ඇගේ නගින්න එනවා"

මමද රත් වීමි. වටපිට බැලීමි. පොත ගෙනාවා සේ සි‍ටිය නොහැක. පුරුෂ ධෛර්ය ගෙන නැගිටීමි. පොත් නැතිව හිටියේ මාත් නාමලුත් පමණි. කරන්න දෙයක් නැත. නාමල් දක්ෂ ලෙස මටද ටිකට් එක ඇද දුනි.

"ආ... තමුසෙත් දැන් පිස්සු කෙලිනවද?" කට උත්තර නැතිව මා සිනාසුනෙමි. කරන්ට දෙයක් නැත. මගේත් ඔරලෝසුව හොද නැතිව ඇත. පන්ති කවයට මාත් අහවරය.
"හිනා වෙන්න එපා, දෙන්නම කොරිඩෝවට ගිහින් දණ ගහනවා. පීරියඩ් එක ඉවරවෙලා එනවා"

පිහිට වෙලා බේරගන්න අපේ ජාමය, පිං අරගත් දෙවියන්වත් උන්නේ නැහැ ලග...
කුසුමේ දරුණු වී ඇත. කරන්න දෙයක් නැත. දෙදෙනාම දණ ගැසුවෙමු. කියන්න පුලුවන් හැම විදියකටම නාමල්ට මම ඇමතීමි. වැඩක් නැත. නාමල් මට පූජාව සෙට්කර හමාරය. පිං අනුමෝදම් කර වැඩක් නැත.

"අවුලක් නැහැ බං, පළවෙන් පීරියඩ් එකනේ, පිනා එන්නෙත් නැහැ මේ වෙලාවේ. අනික කෙල්ලෝ මුල් පී‍රියඩ් එකේ එලියට බහින්නෙත් නැහැ" නාමල් මා අස්වසන්නේ මා අනුමොදං කළ පිං සැර වැඩි බැවිනි.
"අවුලක් නැහැ කාගෙන ඉමු. මොනව කරන්නද?" කී මම හිත හදාගතිමි. දෙන්නා දෙපැත්ත බලා (දොස්තර හොද හිත කාටූනයේ නැවේ දෙපැත්ත බලං උඩ ඉන්න ඔලුදෙකේ බල්ලා සේ) සිටියෙමු.

"මචං කැත සීන් එක" නාමල් කෙදිරි ගායි.
"ඒ ගමන මොකද? මෝල් නැතිව හිටු. තව කවන්නද හදන්නේ?" මට මල දෙපිටින් යයි.
"නැහැ යකෝ මට බනින්න එපා. අන්න පිනාද කොහෙද ඈත එනවා" නාමල් අඩන්න බලාගෙන කතා කරයි.
"මගුලයි ඉතින් දැන් බිම බලං හිටපිය, තෝ තමයි ඔක්කෝටම මුල"

ටොකොස්...ටොකොස්... ගාමින් පිනා ඇදේ. අපි බිංකුණ්ඩන් හාරන නොදරුවෝ සේ බිම බලා සිටීමු. උදේ පාන්දර වැඩනැති පිනාට වැඩක් සෙට්වේ. කමක් නැහැ නිකන් ඉන්න එකානේ. අනික කුසුම්ගේ කේස් වලට මෙ‍යා කැත නැතිව බහිනවා.

"තමුසෙලා දෙන්න මොක‍ද මේ??" දිව්‍ය‍ය ලෝකයෙන් ආ සුදු හැදගත් සුර දූතයා අප අමතයි.
"අපි සිංහල පොත් ගෙනෙල්ලා නැතිව එළියට දම්මා සර්" අපායේ සිටි නාමල් උත්තර දුනි.
"තමුසෙලා ඇයි ගෙනාවේ නැත්තේ??" සුපුරුදු මෝඩ පූශ්නය ඇසිණ.
"අමතක වුණා සර්" සුපුරුදු උගත් පිළිතුර මම දීමී.
"මම දන්නවා අයිසේ, බලනවා තමුසෙලා යට ඒවත් අමතක කරලද කියලා....*&^%$$@"

"චී කැතයි සර්..." අපි එහෙම කියන්න ගියේ නැත. කිව්වානම් ආතල්ය

"තමුසෙලාගේ අද පාඩම මොකක්ද??" පිනා හිනි වී ඇසීය. අපටත් ලේ ඉනීය.
"බඹර කවි සර්" මම කීවෙමි. නාමල් පාඩමේ නම තියා අද දිනය ඇසුවත් දන්නේ නැත.
"එහෙනම් තමුසෙ නැගිටලා ජන කවියක් කියනවා"නැගිට්ටනවනම් එකට දහයක් කියන්නම් සර්. මම නැගිටීමී. පහත් ස්වරයෙන්, 6/8 ටෙම්පො එකෙන් නාමල්ටත් ආස හිතෙන්න, නාමල් තියන ජනකවිය කීමි...

ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්...
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්...
කැලණි ග‍ෙඟ් ඔරු යනවා බලා වරෙන්...
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්...

පිනා සතුටින් පිනා ගියේය.
"හොදයි, තමුසෙ පන්තියට යනවා. ටීචර්ට කියනවා මම තමුසෙට සමාව දුන්න කියලා" පිනා කුසුම් ඉදිරියේ වැඩ්ඩා වීමට කැමතිය. අපි ගලා යන ගගෙන් දිය දෝතක් ගත්තාට පව් නැත. මාත් බව්වා සේ හිස වනා පන්තියට රිංගුවෙමි. කුසුම්ට කිට්ටුව සිද්ධිය පහදා හිද ගත්තේ දෙවන ලෝක යුද්ධය අහවර කර ආ සෙබලෙකු සේය. පන්තියම කොරය. නාමල් නැත.

"මොකද වුණේ? උඹ කොහොමද බං ඇතුලට ආවේ?" ලක්ෂා හොදටම කොරව මගෙන් ඇසීය
"කුසුම් කවුද බං මාව එලියට දාන්න. මම කනට කරලා සද්දයක් දාලා ඇතුලට ආවා" ලක්ෂාට තේරුම් කිරීමට කල් මදිය. මම පොර ටෝකක් දැම්මෙමි. පාඩමට සෙට් වුණෙමි.

මම ඇතුලට ඇවිත් විනාඩි 15ක් ගෙවෙන්නට ඇත. නාමල් නැත. ඔය නාමල නෙලා වරෙන් කීවේද මම ඔහුටය. මේකා ගගටවත් වැටුනද? මේ යකාට ජන කවි nonstop එකක් කියන්න කීවද? මට පූශ්න වැලකි. මට කෙලෙව්වත් මාත් එක්ක එකට දණගහපු එකාට වෙච්ච දේ මම සිතුවෙමි.

පිනා, නාමල් සමගම කෑගසමින් පන්තියට ආවේය. කස්ටිය හා... හූ.. නැත. කුසුමේ මිලින වූ පරිදිය. ඇයට නැගිට විණි.
"ඇයි සර්??"
"බලන්න ටීචර්, කලින් එකා ජනකවිය කියලා මාරු වුණා. මූ ජනකවියක් කියන්න කීවම ඒකම කීවා" පිනා කීය.
"ඒකම කිව්වත්. ඉතින් කමක් නැහැනේ සර්." කුසුම් මොනව උනත් දැන් නාමල් සුරකී.
"කමක් නැත්තේ කොහෙද?? මූට ඒකවත් හරියට කියන් බැරි වුණානේ, ටීචර්ම අහගන්න මුගේ කවිය. තමුසෙ ඔක්කොටම ඇහෙන්න කියනවා දැන්..."


ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්...
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්...
කැලණි ග‍ෙඟ් ඔරු යනවා බලා වරෙන්...
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්... 

ඔරුවේ පැද්දි පැද්දි යනවා සේ, නාමල් වෙව්ල වෙව්ල කිවේය.
"වැරැද්දක් නැහැනේ සර්, හරියට කීවේ" කුසුම්ට හිනාය. අපේ එවුන්ට හිනා වෙන්නට බැරිව සිරව සිටී
"ඈ යකෝ දැන තෝ එළියේදි කිවේ ‍ඔහොම නෙවේ නේ? එළියේ කියපු විදිහට කියපිය.." පිනා චොර විය. නාමල්ට එලියේ පද වැරදී ඇත. දැන් ඔහු නිවැරදිව කියයි. නමුත් වැරද්ද පෙන්විය යුතුය. නාමල් මිලිනව ඇත.


නාමල්ට එලියේ පද වැරදී ඇත. දැන් ඔහු නිවැරදිව කියයි.



ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්...
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්...
කැලණි ග‍ෙඟ් ඔරු යනවා බලා වරෙන්...
ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ...

නාමල් පිනාගේ සිත තුටින් පිරවීය...



Written by sAm_9.53pm_18.09.'11


සැම්, හෝම්ස් සහ වොට්සන් (--අනීවාරතේට උපහාර පිණිස--)

බිලොග් ලිවීම දැන් කලාවකි... මෑත භාගයේ මා සිත් ගත් බ්ලොග් කරැ ඹහුය, සැබවින්ම අනීවාරතේ ......හි බිලොග් පියා/ එනමි එහි උපත සිදුවූයේ ඹහු අතිනි. පාසලේ වේදිකාවට පන පෙවු ඹහු දැන් විශ්ව විද්‍යාලීය වේදිකාවේ ජීවයයි. වර්නියර් කැලිපරයක අතකින් තබාගෙන, අනිත් අතින් ඹහු වෙදිකාවට බැසගන් තනියා ඹහුය (පාසල් කළ අනුවර්ථ IUPAC නාමකරණය), සැබවිනම එය ඹහුගේ හැකියවයි. ඹහුගේ නිර්මාණයක්, සැබවින්ම නාට්‍යක් නැති විද්‍යා දිනයක් මට අමතකය....


Chinthaka Weerakkody අනීවාරතේ නිර්මාණකරැ


මේ දිනවල අනීවාරතේ ...... (http://aniwarathe.blogspot.com/) ඹහුගේ සුසම් පොදයි, එය "පවිත්‍ර හෝම්ස් " පුද්ගලයාගේ ජීවිතය හරහා දිවෙන අතර එහි අප මිතුරා දැන් "දොස්තර වොට්සන්ය"... !!! මට මෑතකදි, වොටිසන් සහ හෝම්ස් දෙදෙනාම එකම තැනකදී මගේ මුහුණට මුහුණ සමපාත විය. අචල ලක්ෂයක් වටා දිවෙන තවත් ලක්ෂයක පථය වෘත්තය‍ක් වන්නා සේ අප සැම මෙවන් පුංචි රටක, කවදා කොතැනක හෝ මුණගැසෙන බව මට ඉන් පසක් විය.

ආච්චීට බුදුසරණ පත්තරයක් වුවමණා බව කිවා මතකය, සරසවිය පත්තරේ තිබ්බ ලිපියක් බැලීමට සරසවිය පත්තරයක් අතට ගත් මම බුදුරසරණකුත් අතට ගත්තේ ආචිචීට ගෙනවිත් දීමටය. ""සබ්බ දානං ධම්ම දානං ජිනාති"" වදනද සිහිපත්ව කරන පාප කර්ම අකර්මන්‍ය විමට නම් ඊට බලයෙන් සමාන දිශාවෙන් පුතිවිරැධ පුන්‍ය කර්ම කල යුතුය. ඒ නිව්ටන්ගේ 3වන ධර්මයයි. බුදුසරණට උඩින් සරසවිය තබා රෝල් කරගත් මම ආචිචී බැලීමට පිටත් වීමි.

මාර්ගය වැටී තිබුනේ ඇත්තටම මගේ පාසල් ම්තුරා ගේ නිවස අද්දරිනි. ඇත්තටම ඹහු දැන් යුගයේ blogකරැය. අනීවාරතේ ..... "පවිත්‍ර හෝම්ස් " සමග සැරි සරන ඹහු දැන් "දොස්තර වොට්සන්ය" ඒ සියලු කරැණු කාරණා සිහිවුණ මම ඹහුගේ නිවස අද්දරින් මගේ පියවර ඉක්මනින් තැබීමි. වොට්සන් වෙන්නට පෙර පාසලේ තනියා වූ ඹහු යහපත් මානසික තත්වයෙන් පසු විය. විශ්ව ව්ද්‍යාලයට පුවිශ්ට වු පසුවද මට ඹහු මුණගැසින, එවිටද ඹහුට විශේෂවූ ආබාධිත තත්වයක් නොවින. විශ්ව විද්‍යාලයේදී ඹහු ගැටයාය (විශ්ව විද්‍යාල IUPAC නාමකරණයට අනුව). නමුද ඹහුගේ blog එකට අබ්බැහි වූ මට දැන් ඹහුගේ මානසිකත්වය පිලිබද විලිලැජ්ජා සහිත සංතෝසයක් විය. එනිසාම මම අඩි ඉක්මන් කලෙමි.

"අඩෝ සෑමා......""
සැබවින්ම පරිපරයම නිහඩ වූ බවක් මට දැනින, ඇලපෙනිත්තක් බිම වැටුණට ඇසෙන තරමි වටපිටාවක් ඇතිවිණ. ඒ නිහඩ බව පරදා මහරෑ අපේ මිදුලේ කෑගසන බලු තඩියා ගේ හඩ මෙන් විනිවිද ඇසුනේ යුගයේ blogකරැගේ හඩයි. පාසල් කාලය මෙන් ඒ හඩ තවමත් මියුරැය, තවමත් ගනේපොල සර් ගේ හඩට සමානය.

"කොහෙද බං යන්නේ වරෙන් මචං ගෙට."" කළ හැක්කක් නොමැත. මමද ගොඩවීමි. එහි තවත් මිතුරෙකුද වීය.
"පොඩ්ඩක් ඇවිදින්න ආවා බං.""මම නුපුරැදු මිතුරා දෙස හැරැනෙමි, කවුද බං මේ dial එක??
""ආ මචං මේ අපේ හෝම්ස් නේ, ""කියම්න් එක ඇසක් පුංච් කර... ""උබ දන්න‍වනේ බං අර බ්ලොග් එක....""
මට දෙලෝ රත් විය. හංදියේ කොත්තු කඩේ ලගින් යනවිට දැනෙන උණුසුම ඊට ව‍ඩා සිසිල් යයි හැගිණ. එකෙක් මදිවට තව එකෙක් යැයි මට කියවින. මගේ මිතුරා (දැන් වොට්සන්) හෝම්ස් චරිතය අධ්‍යයනය කිරීමට ඹහුව නිවසටම ගෙන්නවාගෙන ඇතැයි මට හැගුනේ අසාධාරණ සිතිවිල්ලක් නිසා නොවේ, සෝඩියමි (Na) ජලය සමග සීඝූ පූතිකියා කරන බව ගුරැතුමිය කියූ කළ සෝඩියම් කැබැල්ල දිවේ තබා එහි ඇත්ත නැත්ත පරීක්ෂණාත්මකව විමසා බැලූ මගේ ම්තුරා පිලිබද දන්නා නිසාය. සැබවින්ම ඹහු හොම්ස්ව අධ්‍යයනය කරනවා ඇත. මෙවර මනෝ ලොවින් මා ම්දෙව්වේ හෝම්ස් මහතාය, වොටිසන් නිහඩය...

"මොකද? කැම්පස් නිවාඩුද??""

කැම්පස්...??? exhibition එකක් බැලීමට කැම්පස් එකට ගියා මතකය.. ඒත් නිවාඩුද අහන්නේ??? හෝම්ස් මහතාට වැරදී ඇත..

"පුදුම වුණා නේද?? ඇත්තටම මම හෝම්ස්, මට පුලුවන් හොදට මිනිස්සුන්ව අධ්‍යයනය කරන්න. ඹබේ පැරණි ම්තුරා ඒක හොදට දන්නවා. ""

- මොකද නැත්තේ දැන් මාත් දන්නවා, වෙනදා මෙන් මගේ කට ඉස්සර විය..

"ඇත්තටම සතුටුයි, ඹබ අතේ තියන සරසවිය පුවත්පත නිසා මට පහසුවෙන් තේරැනා ඹබ සරසවි ශිෂ්‍යයෙක් බ‍ව ""
හෝම්ස්ගේ සාමාන්‍ය දැනුම ම‍ට පසක් කලේ මා ම්තුරැ වොට්සන්ගේ උපහාසාත්මක මුහුණයි....

"""නැහැ හෝම්ස් මෙවර ඹබ අසමත්, ඹහු මගේ පාසල් ම්තුරෙක්, ඹහු දැන් රැකියාවක් කරනවා. සරසවි ශිෂ්‍යයෙක් නෙවේ ""
වොට්සන් හෝම්ස්ගේ ප්‍රකාශය නිවැරදි කලේ මා අත තිබු පුවත්පත් ඹහු අතට ගනිමිනි. හෝම්ස්ගේ හැගීමක් නැති මුහුණ තවමත් බැරෑ‍රැම් ගතියක් ගනී. නමුත් පරාජිත බවක් නැත.

"""අද මම කියන්නම් මෙතන මොකක්ද වෙන්නේ කියලා, සෑම් උබ කියපං හෝම්ස් ද / මමද හරි කියලා"""
දැන් වොට්සන් ශිල්ප පෙන්වීමට ඉස්සර විය. මම එදා ගෙදරින් ‍එලියට බැස ඇත්තේ රාහු කාලයකද? නැතිනම් පලමුව මුණගැසුනේ කවුද යන්න සෙවීමට මා උත්සුක වුනෙමි, දැන් මා පූමාදය ගිරයට හසු වී හමාරය, එක පසෙක මා උගත් ම්තුරාය, අනෙක් පස දක්ෂ රහස් පරීක්ෂක හෝම්ස්ය.

"""සෑම් අද පෝයනේ, උබ යනනේ පන්සලට. සුදු ඇදගෙන ඇවිත් තියෙන්නේ. අනික බුදුසරණ පත්තරයක් අරන් ඒක වැහෙන්න සරසවිය පත්තරයක් තියලා, අපි දැක්කොත් හිනාවෙයි කියලා හිතලා. ඒත් පන්සල් ගිහින් සරසවිය පත්ත‍රේ උඩ ඉදගෙන බුදුසරණ කියවන්න යන්නේ""" මම හරි නේද?????

පාසල් අවධියේ prefect room එකේ දොරේ ඉබ්බා ගෙනවිත් මා මිතුරගේ කලිසමේ belt loop එකට දැමූ සිදූවීම මට යලි සිහි නැගිනි. ඒ මොහොතේද ම්තුරා යතුර සොයා ගැනීමට හැසිරැනේ රහස් පරීක්ෂකයෙකු පරිදි මට මතක් විය. අවසානේ යතුර සොයාගත නොහැකිව loop එක කපා එහා වත්තට ඉබ්බා විසිකලේ ඹහුට රහස් පරීක්ෂක දැනුමක් නෙතිබූ නිසා බව නොරහසකි. එවරද ඹහු අසාර්ථකය, මෙවරද එසේමය. නමුත් මට දැන් හෝම්ස් නිවැරදි කිව නොහැක, වොට්සන් වැරදියයි කිවහොත් අප මිතුදමේ අවසානය විය හැක,එසේම ඹහුගේ සාර්ථක blog පිටුව මට තහනමි වනු ඇත. මා තීක්ශන වීමී..

"""මචං පස්සේ සෙටි වෙමු, ආච්චී බලං ඇති. මම යනවා..."""

Written by_Sam_5.39_pm_25.06.'11

කියව්න්න, හැසිරෙන්න, විදගන්න... අනීවාරතේ ...... (http://aniwarathe.blogspot.com/)

Saturday, September 17, 2011

ගණිතය සහ සංගීතය (Maths Vs Music) - 2002


2002 වසර සිට 2006 වසර දක්වා පාසලේ සිදුවූ සත්‍ය‍ය, රසවත් සිදුවීම් එකින් එක පෙල ගසන්නට මට හිතුනා. කස්ටිය මෙනවද හිතන්නේ කියලා comment 1ක් දාන්න. නම් ගම් මනඃ කල්පිත කරන්න ගියේ නැහැ. මතක හැටියට කට්ටියගේ කතන්දර එකතු කරන්නම්. මට අමතක වුණ රසවත් සීන් තියෙනව නම් මතක් කලොත් වැඩේ නැගලා යයි.


2002 වසර, ස්ථානය 10-B පන්තිය





"මචං ඊලග period එක මොනවද තියෙන්නේ? සංගීත නේද?"


සංගීත කාමරයට යාමට පොත රෝල් කරගෙන, පෑන සාක්කුවට ඔබා ගනිමින් සාලිය ඇසීය. ඒ විෂයට ඇති ඇල්ම, කැක්කුම නිසාම නොවේ. සංගීත teacher ලස්සනය. සුදු හීන්දෑරි ඇය සාරිය හැදගත් විට අපූරැය. කොල්ලන්ගේ ගුරැ භක්ති වඩවන හැකියාව සතු ඇය විෂයට කොල්ලන්ගේ ඇති ආශාව වැඩිකරවයි. bell එක ගහන්නත් කලින් පන්තියෙන් සංගීත කාමරයට පැනගන්නේ ඒ නිසාමය.


මම කාලසටහන බැලීමි. ඇත්තටම ඊලගට තියෙන්නේ ගණන්, ඇල්බට් අයින්ස්ටයින් වැනි කොණ්ඩය ඇති ඥාණපාල සර් පන්තියට කඩා පනින‍්නේ ඊලගටයි. බලන බලන හැම තැනම කටිටිය ගෙදර දී හදන්න දුන්න ගණන් copy, paste කරයි. සාලියට වගක් නැත. සාලිට ඇත්තේ සංගිත ගුරැ භක්තියයි. මට එය විනාශ කල නොහැක.


"ඔව් මචං සංගීත තමයි"


"එල එහෙනම් අපි කැපුණා, දැන උබලගෙ චිත්‍ර කරැමේ පාත්වෙයි. අපි ගියෝ...."


කොරිඩෝවේ සිටි චේති, ලක්ෂා, මනෝ, රොෂේන් ඇතුළු set එකම පන්තියට එකවර විස්ථාපනය විය.


"ඥා‍ෙණ් එනෝ.." සියල්ල නිසලවුයේ තප්පරයකිනි.


"ආයුබෝවන්" කීවේ පන්තියේ සියල්ල පමණි. ඥා‍ණේ කවදාවත් ආයුබොවන් නොකියයි. ඔහු අත් දෙක එකතු කර පෙන්වනවා පමණි.


"මොනවද අපි ඊයේ කළේ??"


ගෙදර වැඩ ඥාණේට අමතක වේවා යයි සියලුදෙනා කන්නලව් කරන්නට විය. එය සදාතනික යැදීමකි. හැම සදුදාම ගොවිසෙත දිනුම් අදිනවා බදුය. දිනුමක් නැත. එහෙත් අදී.


"ආ.. සර් ගණන් වගයක් හදන්න දුන්නා" කොත්තා සුපුරැදු ලෙස ඉදිරියට පැන්නේය.


"එහෙනම් තමුසෙලා පොත් මාරැ කරගෙන හරි වැරදි බලනවලා, මම බෝඩ් ‍එකේ ගණන් ටික හදන්නම්"


සෙට් එකටම කවදාවත් නොඇදෙන ටිකට් එක අද ඇදිනි. පොත් මාරැකර බැලීම සරලය. එදාට ගණන් හදපු එකාගේත් හදපු නැති එකාගේත් වෙනසක් නැත. කරන්න තියෙන්නේ හැදුවා සේ උත්තරය ආපසු ඔලුව වැනිම පමණි.


"කෝ චෝක් නැද්ද?" ඥාණේ විමසීය.


"මෙයා ඉතින් හැමදාම දාන්නේ කෝ චෝක්නේ" කූඹියාගේ (අමිල) කට යාන්තමට ඇරිණී.


ඉදිරිපස පේලියෙන් චෝක් කැබලි කීපයක් මේසය මත තැබිණ. ඒවාත් එහෙන් මෙහෙන් අහුලාගත් ඒවාය. කොල්ලෝ කෙල්ලන්ට ගැසූ, එහෙන් මෙහෙන් අහුලා ගත් ඒවාය. ඥාණේ චෝක් කැබැල්ල සහ අච්චුපොත ගෙන කළුලෑල්ල වෙත හැරින. කොනකින් පටන්ගෙන බෝඩ් එක පුරා ලිවීම ඔහුගේ සිරිතයි. මකන්නට කම්මැලි ඔහු එම රාජකාරිය ඉදිරිපෙලට පවරයි.


"කෝ මේපැත්ත ලියවෙන්නේ නැහැනේ" බෝඩ්‍එකේ කෙලවරින් ලිවීමට 
නොහැකි වූ ඥාණේ කෑගැසීය. සියල්ල නිහඩය.


"අයිසේ මැද්දෙන් ලිවුවත් ලියවේන්නේ නැහැ" කියමිනි අනිත් කෙලවරත් ලිවිය හැකිදැයි හේ බැලීය.


"තමුසෙලා බෝ‍ඩ් එකේ පොල්තෙල් ගෑවා නේද? ඇත්ත කියනවා, මේකේ කොහෙ ලිවුවත් ලියවෙන්නේ නැහැ. තමුසෙලා මම එන නිසා මේකේ පොල්තෙල් ගාලා" ඥාණේ යක්ෂාරෑඩව කෑගසයි.


ඥාණේගේ හැටි හොදින් දන්නා සියල්ලෝම නිහ‍ඩය, ඔලුවක් වත් නොසෙල්වේ.


"කවුද බං ඕව කරන්නේ? අපි කළානම් අපි දන්නවනේ, අනික පිට එවුන් ඇවිත් මේකෙ තෙල් ගාවද?"
වැලමිට මේසය මත තබා, අතින් කට වසා, වින්දන පැවසීය. කරන්නට දෙයක් නැත. ඥාණේට මල පැන අවසානය. දැන් හෙල්ලුනත්, කාටහරි වාතයක් ගියත් පොර බනිනවා නියතය. සද්ද නැතිව හිදීම ඥාණවන්තය. සියල්ලෝම නිහඩය. ඇත්ම සිද්ධිය නම් කි‍සිවෙකු තෙල් ගෑවේ නැත. චෝක් කෑලි පරණය. කොහෙ ලිව්වත් ලියන්න බැරිය. ඥාණේට ඒවා වැඩක් නැත. එනිසා මුනිවත හොදය.


"තමුසෙලාගේ පන්ති කවය ලබන සතියේ තියෙනවනේ. මම කුසුම්රාණි ටිචර්ට තමුසෙලා ගැන කියනවා. දැන් මම උත්තර ටික කියනවා, හරි වරදි ලකුණු කරගන්නවා"


පොත පිටුපස උත්තර එකින් එක කියවන්නට ඥාණේ පටන් ගත්තේය. ඔහුටත් හොද පල්ලමය. නැත්තම් එකින් එක බෝඩ් එකේ ලි‍විය යුතුය.


"සර්..." මන්ද්‍ර ස්වරයෙන් පන්තියේ දොර ලගට ආ සාලිය ඥාණේ ඇමතීය.


"තමුසෙ‍ කොහෙද හිටියේ" උච්ච ස්වරයෙන් ඥාණේ ඇසීය. ඔහුගේ මල දෙපිටින් යයි.


"ඇයි සර් දැන් සර් දැන් සංගීත නේද?" සාලිය මා දෙසත්, සර් දෙසත් වරින් වර බැලීය.


ඇයි සර් දැන් සර් දැන් සංගීත නේද?
"තමුසෙට කාලසටහනක් නැද්ද ඹියි. සංගීතෙට ගියා නම් මෙච්චර වෙලා මොකද කලේ? ටීචර්වත් කිව්වේ නැද්ද සංගීත නෙවේ කියලා"


"නැහැ සර් මම යනකොට සංගීත room එක වහලා. ඉතිං මම office එකට ගිහින් check කලා. teacher අද off"


"තමුසෙට මාර ඇල්මක්නේ තියෙන්නේ, හොද හිතින් ගිහින් ඇතුලෙන් ඉද ගන්නවා"


සාලිය සතියක් උපසම්පදා වූ භික්ෂුවක් මෙන් කීකරැව හැසිරැනේ පන්ති කවය ලග නිසා වරද වසා ගැනීමටය.


-මතුසම්බන්ධයි
(ඊලග දවසේ පන්ති කවය බලමු)
Related Posts Plugin for WordPress, Blogger...