Google+ Followers

Thursday, January 31, 2013

මං මුලාවී පාර සොයාගෙන...


මාතෘකාව දුටු විගස, මෙය මේ දිනවල හැමතැනම කියවෙන බ්ලොග් ගෙට්ටුවේ ගීතයෙන් ගීතය තරගය ගැන ලියවෙන ලිපියක් නොවන බව කරුණාවෙන් සලකන්න. මන්ද උක්ත තරගය නිසා සෑමාට නොයෙක් විදිහේ කතා හැදුනේය. ගමේ ග්‍රාමසේවක මහතාද සෑමාගේ කල්කිරියාව හොද නැති බවට ගම පුරා ප්‍රචාරණයක් ඇරියේ ඒ නිසාමය. එනිසා මෙය හුදෙක් ගීත පිළිබද නොව, අතරමං නොවී ගෙදර යන ආකාරය ගැන පෝස්ටුවක්ය.

ඉස්සර පාර සොයා ගත්තේ සතුන්ගේ ඉවෙන්ය. ඒ වාගේම රෑට රෑට පාර හොයා ගත්තේ අහසේ තරු වලින්ය. පසුව මාලිමාවද, අද කාලේ නම් ජී.පී.ඇස් සැට් එකද ඇත්තේය. ඒ අතර පුලු පුලුවන් එවුන් නම් කරන්නේ ෆෝන් එකෙන් ගූගල් මැප් භාවිතා කිරීමය. සෑමා ඉස්කෝලෙ යන කාලේ එකෙක් තඩි බෑග් එකක පොත් දමාගෙන ආවේය. එහි රෝද දෙකක්ද තිබුනේය. එය හුදෙක් විදෙස් ගමන් සදහා භාවිත කරන ජාතියේ එකක්ය. එහි අලවා තිබු මාලිමාව නිසා අපේ උන් ඌට නොයෙක් කතා හැදුවේය. ‘මචං උබ හැමදාම ඉස්කෝලෙ එන්නේ පාර හොයාගෙනද‘ ඇහුවහම ඌට මල පනින්නේය. ඒ පුංචි කාලේ නිසාය. ඒ කාලේ කතාව එහෙම තියෙද්දී මේ මෑතකදී ඒ හා සමාන වැඩක් වුණේය. ඒ අප හතර දෙනෙක් කාරයට නැගී කුරුණෑගල පැත්තේ මල ගෙදරකට ප්ලග් වෙන්නට සිතියම් අදිමින් සිටිය මොහොතක්ය.

“මචං කොහෙන්ද ලග?“

“දැන් අපි උඩුගම්පොල ඉන්න නිසා, මිනුවන්ගොඩින් දාමු නේද?“

“උඹල යන විදිහකට යමල්ලා බං, උබල දන්නවද මම මිනුවන්ගොඩ වැඩ කරන්න ගිය පළවෙනි දවසෙ, මිනුවන්ගොඩ හොයා ගත්තෙ ගූගල් මැප් එකෙන් බලලා.“

ඒ කවුද කියා කීවොත් ඌ මට හෙට පෝරියල් එක සැට් කරනවාය. ඒ නිසා ගූගල් මැප් එකෙන් වැඩ ගන්න කොල්ලෝ ඉන්නා බව සිහිතබා ගත්තොත් ඇතිය. එදාම මල ගෙදර අහවර වී නිවසට එන විට අපේ ලකියා කුරුණැගල සිට කොළඹ පැත්තට හරවන්නෙ නැතුව නුවර පැත්තට වාහනය කරකවා අපිට පට්ට ආතල් එකක් දුන්නේය.

“මචං අපි නුවර ගිහිල්ලම එමුද බං?“ ඒ සෑමාය.

“හෙට නිවාඩු නම් යන්න තිබ්බා බං“ ඒ දිලාය

“අඩෝ මේ නුවරට කිලෝමීටර 21යි කියන්නේ...“ හරියටම කිලෝමීටර ගාන මතක නැතිය.

“පිස්සුද බං එහෙම වෙන්නෙ කෝමද? අපි යන්නෙ කොළඹ පැත්තටනේ..“

නැවත සොයා බැලු කළ අපට තේරුනේ අපි නුවර පැත්තට යන බවක්ය. ඇස්, කන් වසාගෙන දිගටම ගියා නම් නුවර දළදාව වැදගෙන එන්නට වෙනවා නිසැකය.

අපේ උන් කොහොමත් තමන් දන්නා පාරක ගියත් වාහනය නවතා පාරවල් අසන්නෝය. ඒ පාර නොදන්නා කමට නෙවේය. ලස්සන කෙල්ලෙක් දැක්කොත් නවත්වා කතා කිරීමට අවශ්‍ය නිසාය. දිනක් අපේ ලකියා දුර තියාම කෙල්ලන් දෙදෙනෙක් දැක කෑගෑවේ අන්න මචං පට්ට කෑලි දෙකක් එනවා කියාය. ලගට ගොස්  පාර අසන්නට වාහනය ස්ලෝ කල විට දකින්නට ලැබුනේ ආච්චි කෙනෙක් සහ කෙල්ලෙක්ය. මූ ආච්චීටත් කෑල්ල කියා නෝන්ඩි වූවේය. දවසක් අපි දිලගේ ගෙදරට යන පාරේ ගමන් කරමින් සිටියෙමු. හැමදාම උදේ හවා ගෙදර යන පාරේ මූ වාහනය ස්ලෝ කළේ කෙල්ලෙක් දුටු නිසාය.

“නංගී මේ පාරෙන් ගනේමුල්ලට යන්න පුලුවන්ද“

“ඔව් අයියෙ, ඔය පැත්තට ගිහින් යන්න..“

“හරි තැන්කි්‍යු නංගී..“

උදේ හවා යන පාරේද කෙල්ලෙක් දුටු විට පාර ඇසීම තරම් ආතල් එකක් නැති තරම්ය. එක දවසක් මේ සැට් එකම සෑමාගේ ගෙවල් පැත්තට එන පාරක ආවෝය. එපා කියද්දී සැට් එක කෙල්ලෙක් ගිය අතුරුපාරකට වාහනය ගෙන ගියෝය. ඒ කෙල්ල වාහනයකට යා නොහැකි සුට්ටං පාරකට හැරුණාය. අපේ උන්ට කරන්නට දෙයක් නැතුව ඉදිරියට ගිය විට පාර අවසන් වුයේ නිවැසකින්ය. ඒ ගෙදර ගේට්ටුව ලග හිටි එවුන්ගෙන් අපේ කස්ටිය බොරුවට පාරක් ඇසුවෝය.

“පුතා.. ඔය පිටිපස්සෙ ඉදන් ඉන්න ලමයා මේ ගමේම තමා.. එයාගෙන් අහල බලන්න...“ සෑමා කර කුට්ටං වූයේ ඒ පිළිතුරෙන්ය. එදායින් පසු ගමේ කරක් ගැසීමට අපේ උන්ට ඉඩක් නැතිය.

තනියම යන විටකදී නම් අපි පාර හොයා ගන්නේ පාරේ යන බස් එකක් පිටුපසින් ගිහින්ය. නැතිනම් මග දිගට නවත්වමින්, ත්‍රීවීල් පාර්ක් වලින් ඇසිය යුතුය. සමහර පාරවල් වල ඉන්න ඩයල් වලින් පාර ඇසු විට අප අන්ද මන්ද වන නිසා ත්‍රීවීල් පාර්ක් වල උන් ෂුවර්ය. දිනක් බස් පසු පස යන තියරිය අනුගමනය කරමින් සෑමා සුට්ටං පාළු පාරක යන මන්දගාමී බස් එකක පිටුපසින් ආවේය. වැඩි දුරක් බස් එකේ පිටුපසින් යෑමට සෑමාට නොහැකි වූයේය. බස් මාමා එලියට අත සහ ඔළුව දමා කීවේ ඉස්සර වෙන්න කියාය. බුවා හිතන්නට ඇත්තේ සෑමා ඉස්සර කරන්න විදිහක් නැතිව හෙමින් එනවා කියාය. කරන්නට දෙයක් නැතුව සෑමා ඉස්සර වූයේය.

දිනක් අපේ මිතුරෙකු මල ගෙයක් අවසන් වීමෙන් පසු තනිව ගෙදර යාමට බැරුව සිටියේ රෑ බෝ වූ නිසාය. එදා ඌ සිටියේ බයේ නෙවේය. මල ගෙදරට කස්ටිය සමග ආවාට ගෙදර යන්නට සිදුවූයේ තනියෙන් නිසා පාර සොයා ගත නොහැකි වෙන නිසාය. කෙසේ හෝ මිතුරා පිටත් වුයේය. පොර හරියට ගෙදර ගියාද කියා බලන්නට පැය කිහිපයකින් අපේ උන් කෝල් කළෝය. එදා අපේ උන් මිතුරාට ඉගැන්වුවේද බස් පසුපස ගොස් පාර සොයන තියරියමය.

“මචං උඹ ගෙදරද?“

“ගෙදරද තමා උබල මට මරු ටොෆිය සෙට් කළේ..“

“ඇයි මචං මොකද??“

“තොපේ හු**තේ තියරිය නිසා මම දැන් බං ගෙදර ආවේ..“

“ඉතිං කියපං මොකද වුනේ කියල...“

“තොපි කියපු විදිහට මම බස් කාරයෙක් පස්සෙන් ගියා.. ඌ ගේට්ටුවෙන් ඇතුලට බස් එක දැම්මම දන්නේ.. මම උගෙ පිටිපස්සෙන් උන්ගෙ ගෙදර ඇවිත් කියලා...“

මිතුරා වැඩ ඉවර වෙලා ගෙදර යන ඩ්‍රැයිවර්ගෙ ගෙදර ගියෙ නැතිලු...


sAm ශ්‍රී Perera_11:24pm_30/01/2013

Monday, January 28, 2013

ගම්පහ ගෙට්ටුවෙන් පසු සෑමා සංගීත දිවිය අරඹයි... ද?


බොහෝවිට බ්ලොග්කරණයට යම් සිතක් යොමු වන්නේ කුමක් හෝ වැදගත් සිදුවීමක් නිසාය. විටක තමා දුක්ඛිත ආදර අන්දරය වෙන අයෙකුගේ නමකින් අකුරු කරන්නටත්, විටක තමාට වූ නසරානි සිද්ධීන් වෙන එවුන්ගේ කරපිටින් දමා ලිවීමටත් උපකාර වන්නේ බ්ලොග්ය. එහෙව් අරඹන බ්ලොග් දිවිය තමන්ගේ ජීවිතය බවට පත්වන්නේ නිතැතින්මය. ඒ බ්ලොග්ය, දැන් සෑමා කතා කරන්නේ තමා අද ඇරඹූ තම සංගීත ජීවිතය ගැනය.

අද තිබූ ගම්පහ ගෙට්ටුව ගැන අකුරු කිරීමෙන් අවසන තමා අදින් අරඹන සංගීත දිවිය ගැන අකුරු කිරීම යෝග්‍ය බව සෑමාට දෙවරක් සිතුනේය. මෙහි ඇති ඡායාරූප බුකියේ එහෙන් මෙහෙන් උස්සා ගත් ඒවා බවත්, ඒ ඒ ෆොටෝවල අයිතිය ඒ ඒ පුද්ගලයාට හිමිවන බවත් කිව යුතුය.

ගමන කැළණියෙන් පිටත් වීමට තිබුනේ ගැටයා, කස්සා, සුපුන්, සහ  තරියා සමග උදෑසන 7ටය. ග්‍රවුන්ඩ් බුක් කළ රිසිට් පත සෑමා අත තිබීම නිසා උදේම යා යුතුව තිබුනේය. ඒ හරියට අටට මල්වත්තේ සිටීමටය. කලින් දිනම උක්ත පුද්ගලයන්ට දැනුම් දීමක් කළේ ඒ නිසාය.


කස්සා සුපුනා ගැටයා වේලාවට සැට් වුනත්, තරියා ‘සාර්ප් ඇට් සෙවන ක්ලොක්‘ කැළණියට නොපැමිණි නිසා තරියා ගැනීමට තරියාගේ නිවසටම යාමට විය. ඒ යන විටත් නිදාගෙන සිටි තරියා පටවාගෙන අප මල්වත්ත බලා පිටත් වන්නට විය. කොපමණ කෝල් කළත් ඌට ඇහැරී නැත්තේ ෆෝන් එක Meeting profile එකේ තබාගෙන නිදා සිටි බැවින් බව පසුව හෙලිදරව් වූයේය.

අපි එහෙ යනවිටත් සිරා කොලුවා වැඩ පටන් අරන්ය. කම්මල, සහ සමී ගේට්ටුව අසල තබා ටිකට්පත් දීමට අදාල කටයුතු සම්පාදනය කොට තිබුනේය. ඒ අතර සිරාගේ මිතුරා වූෂූ ක්‍රීඩකයා පැමිණ සිටියේය. අටමා පැමිණි විගස වටපිට බලා ඇසුවේ කවුද බං අර හයේ හතරේ බුවා කියාය. අටමා ටිකක් කළබල වී ඇති බවක් ද පෙනුනේය.

කවිකාරී, රත්ගමයා, රාජ්, ප්‍රදීප්, නාඩියා, උදිත, සිහින මදාර, ශම්මි, Sajith, සුමිත් නිරිඇල්ල, වී පොකුර, වල් රජා, ඊ මේල් කවිකාරි, KAMMALA, ජීවිතය සුන්දරයි, maniya, රෙප් මහත්තයා, අටම්පහුර, තරියා, සමි, දිනෙල්ක, චතුමිතු, ගවේෂක, නෙරංජි, JD, ICE, Gayan Kuruppu, නොහික්මුණු ඇස, උමා, සුදීක, ගැටයා, දේවා, අන්තිමයා, බිම්සර, දඟයා-හිරු, The Lion. ස්කූබි ඩූ, Bunny, රස්තියාදුකාරයාගේ දිනපොත, පවනි තරංගා, ජිංජිබිරිස්, චමී, ලොකු ජෝන්, සුළැඟිල්ලා, බට්ටා, ඕනමැන්ටල්, සිතුම් පැතුම්, සිත්තරී මං, මඩිස්සලේ නිශාන්, වෙඩික්කාරයා, පූසා, තහනම් වචන, බුල්ටෝ, සිත්තමී... අඩේ ඔක්කෝම 100කට කිට්ටු වෙන්න හිටියේය. පුළුවන් තරම් මතක් වූ සියල්ලන්ගේ නම් දැම්ම මුත් සම්පූර්ණ ලිස්ට් එකක් අපේ සිරා කොලුවා ඉදිරියේදී දාන්නේය.

මල්වත්ත ඉදිරිපිටට රැස්වූ සියල්ලෝම පෝලිමේ පිළිවෙලට පිට්ටනිය අසලට ගියෝය.



ඉන්පසු සිරි විසින් ජාතිය අමතා, කතාවක් කළ අතර සෑමා, කතා කරන්නට බැහැ කියූ අටමා (අන්තිම වෙද්දි මයික් උදුරන් කතා කළාද මන්දා...) පිරිස ඇමතුවෝය. පසුව පිළිවෙලින් පිරිස හදුන්වා ගැනීම සිදු කෙරුනේය. එහිදි බ්ලොග් එකකට මුවා වී වැඩ පෙන්නන කොල්ලො කෙල්ලෝ ජීවමානව දැක ගැනීමට හැකි වූයේය. ජාතික වූෂූ ශූරයාට සුදීක අයියා විසින් තෑගි වවුචරයක් පිළිගැන්වීම, බ්ලොග්කරුවන්ගේ හදවත් වල ඇති සුන්දරත්වය විදහා පෑවේය. අනුරාධපුර යෑමට තිබියදී රාජ් ඇවිත් සහය දැක්වීමද ස්තුති පූර්වකව මතක් කළ යුතුය. එසේම සියල්ල අතරතුර බ්ලොග් ලෝකයෙන් මෙන්ම සැබෑ ජීවිතයෙන් සදහටම වෙන්ව ගිය ඔබා වැනි බ්ලොග්කරුවන් ගැන තවමත් මතක් වීමද සුන්දර කාරණයක්ය.

සියල්ල අවසන සිරා විසින් තමා දන්නා ගම්පහ මල්වත්තේ සෑම අස්සක් මුල්ලක් නෑරම පෙන්නුවේය. ගම්පහ මල්වත්තට ආ පෙම්වතුන්ට කිසිම හිරිහැරයක් නොවී, ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට බලපෑමක් නොවී හොරෙන් බැලීමට තරම් අපේ උන් සාධාරණ වූවෝය.

මුං කටවල් ඇරං අහං ඉන්න කැත

බෝඩ් බලා කියවීම හෙවත් ගයිඩ් කිරීම

ඉන්පසු එළැඹියේ ක්‍රික්‍රට් තරගාවලියයි. හයක් ගැහුවොත් ලකුනු හතරක් ලැබෙන, හතරක් ගැහුවොත් ලකුණු හයක් දෙන, එක පිලකට ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණක් සිටින, ක්‍රීඩකයන් විසිදෙකක් සහිත තවත් කණ්ඩායම් එකොළහක්, පන්දු රකින අරුම පුදුම ක්‍රික්‍රට් තරගය කාගේත් සිත් ගත්තේය. එහිදී කුරුණෑලග  අහිමි පෙම ක්‍රීඩා සමාජයේ දේවා සහ අහිංසක සිංහයාද, කැළණියේ දිලෙන තරු ක්‍රීඩා සමාජයේ කස්සා සහ සුපුනා නිවුන් සොයුරන් දෙදෙනා අවසන් වටයට පැමිණියෝය. අවසන් වටයේ සිංහයා සහ දේවා ලකුණු දෙකට සීමා කිරීමට කස්සා සහ සුප්පා සමත් වූවෝය. පන්දුව නොපෙනෙන, සියල්ල බොද වී පෙනෙන මොහොතක සෑමා විකට්ටුව පිටුපස සිට ස්ටම්ප් කිරීමක්ද කළේය. පසුව කස්සා සහ සුප්පා ලකුණු දෙකකට දැවී යාමෙන් නැවත තරගයක් පැවැත්වුණේය. එහිදි සෑමාගේ නෙතට කදුළු එමින් කැළණි දිලෙන තරු කණ්ඩායම පරාජයට පත්වුයේය.
අසමජ්ජාති නීති සහිත ක්‍රිකට් තරගයේ තරග තීරක
සපත්තු ගලවා ක්‍රීඩා කළ සෑමාගේ සපත්තු කුට්ටම අස්ථාන ගත කිරීමට තරම් එදිරි වාදීහු සමත් වූවෝය. සපත්තු කුට්ටමක් නැතිව දිවා ආහාරය ගෙන ඒමට කඩේ යෑමට සෑමාට සිදු වූයේය. සපත්තු කුට්ටමට සිද්ධ වූ දේ දැනගත්තේ අද වල් රජාගේ පෝස්ටුව කියවූ පසුය. ඒ අතර මදාරාගේ උස මැනීමේ සිද්ධියට රජාට මෙන්ම සෑමාටද මුහුණ දෙන්නට වූයේය. ඇය දැන් වැඩ කරන්නේ මිනුම්දෝරු දෙපාර්තුමේන්තුවේද කියා සැක පහල වන්නේය.
දිනේශ් - මදාරාගේ උස ප්‍රශ්නය විසදීමට පොටෝවක්

මැච් එක අතර අටමා සෑමා අසල වටයක් කැරකුනේ සෑමාට පන්දු රකින්නට බාධා කරමින්.

“උඹල බඩු ගේනවද, නැත්තං මම ගිහින් කොහෙන් හරි තනියෙන් අඩියක් ගහල එන්නද???“

“ඉවසල හිටපංකෝ.. කලෙක්ෂන් එකට පස්සෙ ගේමු..“

“අනේ මේ කලෙක්ෂන් දාල හරි යන්නෙ නැහැ බං.. කවුද මෙතන සෙට් වෙන්න ඉන්නේ...“

“අර ඉන්නෙ බං නලියා..“ බේරෙන්න බැරිම තැන පේන්න හිටපු එකාට සෑමාගේ අත දිගු වූයේය..

“අපෝ.. බලපං උගෙ මූණ.. උගෙ මූණ මිරිකලම අරක්කු කාලක් විතර ගන්න පුළුවන්..“

අටමා ඉන් පසුව ආගිය අතක් නැතිව ගියේය. ඒ අතර සිරා සමග කෑමද, වෙඩික්කාරයා සහ පවනියා වාහනයේ පිටුපස දමාගෙන වෙල්කම් ඩ්‍රින්ක් ගේන්නද යෑමට සිද්ධ වූයේය. කෑම කඩේ අංකල්ගේ පොඩි දුව දැක සිරා, පවනි, සහ වෙඩික්කාරයා අයිස් කැට දැමූ වතුර බීමට පෙළඹුනෝය. නංගීගේ අතින් වතුර වීදුරුව ගැනීමට තැත්කළ පවනිට වතුර වීදුරුව ලැබුනේ අංකල් අතින්ය.

අටමා රස යැයි කියා රජා තුරුල් කරගත්තේ කෑම වේල අවසානයේදීය. මැච් එක අතරතුර අතුරුදහන් වී මල් පැන් පොදක් තොල ගා පැමිණි අටමා සෑමාගේ වාහනය පිටුපස මල් යහනාවක වැතිර සිටියේය. ඒ අතර රසයි රසයි කියමින් එක එකාගේ ගුණ වයන්නට අටමා අමතක නොකළේය. ඇනෝ කාරයන් සිටියා නම් අටමා ඒ මොහොතේ රෙදි ගලවනවා ෂුවර්ය.
අටම් පහුර ඇනෝලා දෙස හෙලන දරුණු බැල්මෙන්

ඉන්පසු කාන්තා තොප්පි තරගයද පැවැත්වුනේය. එහෙත් ඒ පිළිබද කිසිදු මතකයක් සෑමා ලග නැත්තේය. ඒ වේලාවේ සංවිධාන කටයුතු වල කාර්්‍ය බහුලත්වය නිසා සෑමා සිටියේ තම කාරය පිටුපසය. ග්‍රවුන්ඩ් එක බුක් කරන්නට ආ දවසේ උද්‍යානයේ බීම නොකළ යුතු බවට එතැන පිරිස් අවවාද කළෝය. පළමු සිසිල් බීම බෝතලය කඩා මොහොතක් ගෙවුණු තැන සෑමාට මෙය සිහිවූයේය.

“බලපං සිකි්‍යුරිටිලා ඉන්නවද කියලා. මෙහෙ බොන්න බැහැනේ..“

“උඹ දන්නවද මුල්ම ෂොට් එක දැම්මෙ කවුද කියලා“

“නැහැ බං කවුද?“

“අර අන්න අතන ඉන්න සික්‍යුරිටි අංකල්...“ අපේ උන් ආරක්ෂිත පියවරක් ලෙස මුල්ම ෂොට් එක අංකල්ට දී තිබුනේය. ඉන්පසුව පැවැත්වූ ගීයෙන් ගීය තරගය සෑමාගේ බ්ලොග් දිවියේ වෙනසක් ඇති කිරීමට සමත් වෙනු නිසැකය.

බ්ලොග් ලොවට සමුදී සංගීත ජීවිතය අරඹන්නට සෑමාට සිතුනේ මෙවන් තරගයක් නිසාය. ගීතයෙන් ගීතය තරගයට තරගකරුවන් රැසක් සහභාගි වී සිටියේය. එහෙත් අවසාන තරගකරුවන් දෙදෙනා වූයේ සෑමා සහ උමාය. තරගයට හෝ සුන්දර බ්ලොග්කාරිනියක් සමග ගීත ගායනා කිරීමට ලැබීමෙන් සෑමාගේ සිත සංගීතය පැත්තට යොමුවන්නට හේතු වූයේය. ඇය ගයන ගීතයේ අග අකුරින් පටන්ගෙන ගීතයක් ගායනා කර, සෑමා ගයන ගීතයේ අග අකුරින් ඇය ගීතයක් පටන්ගෙන බොහෝ වෙලා ක්‍රීඩා කිරීමට සෑමාට සිත් වූයේය. බලා සිටි පිරිස් සෑමාට චියර් කළෝය. අවසන තුන් හිතකවත් නොතිබූ සිතුවිල්ලකින් ඇය පරාජය කරන්නට සෑමාට සිදු වූයේය. එය තරගයේ ස්භාවය මිස ඇයට සෑමා ද්‍රෝහී වූවා නොවේය. සෑමා උච්ච ස්වරයෙන්, දණ හිස් නමමින්, හදවතින් ගායනා කළේය. නොයෙක් ජාතියේ මඩ ප්‍රචාර වලට සෑමාගේ රසිකයෝ හසුවන්නේ නැති බවට සෑමා දන්නේය. එසේම මෙවන් සොදුරු තරගකාරියක් සමග එකට තරග කරන්නට ලැබෙන්නේ නම් සෑමා බ්ලොග අතැර සංගීතයට යොමු වේ යැයි රසිකයෝ රැසක් සෑමාට පෝස්ට් කාඩ් මගින් කියා සිටියෝය.
සියළු තරගකරුවන් තරග බිමේ...

සෑමා උච්ච ස්වරයෙන්
මටත් මතක නැහැ මේක නම්

ස්තුති උමා
මේක නම් තරහට ගත්ත එකක්

එම ගීයෙන් ගීය තරගයේ සෑමාට ‘ත‘ යන්නෙන් ගීතයක් ගායනා කිරීමට නොලැබුනේ අවාසනාවටය. එසේ වූවා නම් සෑමා සූදානම්ව සිටියේ මෙවන් ගීතයක් ගායනා කිරීමටය.

තුමුණු නමුණු කුල ගිරි හිස
උදුල සදමඩල දුටු නෙත රැවටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනහෙන්නට කාරණාව
මුහුණ රතුවෙලා දෙනෙතින් කදුළු පනින තරු එළියට
එහෙම හිනාවෙනකොට උඹ ලස්සනයි “උමා“..

උක්ත ගීතය නොකියා දිනූ සමරු තිළිනය මෙන්න

උමා සහ ක්‍රිකට් ටීම් එකේ ෂර්ට් එක හැද සිටි මලයාගේ හඩ සහ ගායන හැකියාව සුපිරි බව කිව යුතුය. එසේම ගිටාරය කරේ දමාගෙන උපන් බිම්සරයා අවාසනාවන්ත ලෙස තරගයෙන් ඉවත් වුයේය.

සියල්ල ආරම්භයේ පිරිස අමතා කතා කරන්නට බැහැ කියූ අටමා අවසන් මොහොතේ මයික් එක අත නොහැර කතා පැවැත්වූයේය. අද දින දුරකථනයෙන් අටමා ඇමතු විට ඔහු කීවේ ඔහු එදින කතා පැවැත්වුයේ නැති බවක්ය. එසේම තමා දිවා ආහාරය ගෙන පැත්තකට වී හිදගෙන සිටි බවක්ද කීවේය. එහෙත් සෑමා කිහිපවරක් කියා සිටි නිසාත්, ඔහු තවත් කිහිපදෙනෙක්ගෙන් අසා ප්‍රතක්ෂ කරගත් නිසාත්, වීඩියෝ කළ දර්ශන ඇති නිසාත්, තමා එදින කතාවක් කළ බවට යම්තාක් මතකයක් ඇති බවට අටමා පිළිගත්තේය.

දිනය නිමා කර සෑමා නිවසට ආවේය. මිදුලේ වාහනය සුපුරුදු පරිදි ගාල් කොට පහුවෙනිදා වැඩට යන්නට වාහනය ලගට යද්දී සෑමාට දෙලෝ රත්වූයේය. ඒ ඩෑෂ් බෝඩ් එක මත තැබූ ගිණි පෙට්ටිය නිසාය. යකෝ තිබ්බ එකෙක් ඒක ගෙදර අරන් ගියා නම් මෙහෙව් විනාසයක් සැමාට නොවන්නේය. දැන් සිද්ධිය වෙලා අහවරය.

“ඊයෙ ගිහින් ගිනි පෙට්ටි තියාගෙන මොකද කළේ“ ඒ සෑමාගේ අම්මාය.

“අහ්.. මේ මැච් එකට ගත්ත බෝල වල බූල් පුච්චන්න ගත්තා...“ සෑමා දක්ෂ ලෙස එක එල්ලේ පිළිතුරු දුන්නේය.

එවන් සුන්දර දිනයක් උදා කරන්නට සිරා, අටමා සහ සෑමා ගත් උත්සාහය පිටුපස තිබූ සියළු හස්තයන්ට සහ, සිත් තොසින් සහභාගී වූ ඔබ සැමට ජයෙන් ජය වේවා. එදින නිල මාධ්‍ය අනුග්‍රහය දුන් බස් රේඩියෝ සහෘදයන්ට,  ස්තුති වේවා. එසේම සයිබර් ෆෙස්ටිවල් එක මීටත් වඩා සුන්දර කර ගැනීමට හැකිවේවා.
රජාගෙන් හොරකම් කළෙමි !
අටමා ගෙදර ගිය හැටි පෝස්ටුවක් ලෙස එළි දැක්වීමට පිඹුරුපත් සකසමි.

sAm ශ්‍රී Perera_11:15pm_28/01/2013

Saturday, January 26, 2013

හෙට දවසට පස්සේ.... !


හෙටින්
උදාවන‍
ලෝකය
සැමටම
සුවදායක
කරමු !

හෙට ගම්පහ පැවැත්වෙන බ්ලොග්කරුවන්ගේ ගෙට්ටුවෙන් පසු
මඩ නාන්නට සූදානම් විය යුතුය.
එනිසා,
සෑමාගේ එකම පැතුම
හෙටින් උදාවන ලෝකය සැමට
සුවදායක විය යුතු බවය.

හෙට උදේ 8ට සැට් වෙමු එහෙනම් !

Thursday, January 24, 2013

My self & My best friend - කොප්ප ගැසීම සම්බන්ධවයි.


ඉස්සර කාලේ, ඒ කියන්නේ මීට වසර හයකට වඩා ඉහත කාලයේ පාසල් දරුවෝ වාර පරීක්ෂණ වලදී කොපි කළෝය. මුල්ම කාලයේ තිබුණේ වාර පරීක්ෂණ ක්‍රමයක් නිසා පන්ති කාමර විභාගයකට සුදුසු අයුරින් සැකසෙන්නේය. ඉන්පසු සෙක්ෂන් එකේම සිසු සිසුවියන් එක එක තැන්වල හිදවා විභාගය පැවැත්වෙන්නේය. ඒ මගින් එක් එක් සිසුන්ගේ අධ්‍යාපනික මට්ටම නිසි අයුරින් මැනෙන්නේය. එහෙත් ඒ මිනුම් දණ්ඩට එරෙහිව සිසුන් නැගී සිටියෝය. ඒ කොප්ප ගැසීම හෙවත් අනිත් එවුන්ගෙන් කොපි කිරීම මගින්ය. දැන් කාලේ නම් කිසිම අවුලක් නැතිය. කොපි කළ යුතු නැතිය. පේපර් එක එළියට එන්නට පෙර දරුවන් එහි ඇති ප්‍රශ්න දන්නෝය. ඒ නිසා විභාග පවත්වන පිරිස දරුවන් උත්තර ලියුවත් නැතත් එම ලීක් වූ ප්‍රශ්න වලට නොමිලේ ලකුණු දෙන්නෝය. අනේ සෑමාට නැවත ඉස්කෝලෙ යන්නට හිතෙන්නේ එවිටය.

පසු කලෙක ඇගයීම් ක්‍රමය ආ නිසා කොප්ප ගැසීම තවත් පහසු වූවේය. ඇගයීම් පැවැත්වුනේ විභාගයක් ආකාරයට ඩෙසක් පුටු සැකසීමෙන් අනතුරුව නොවන නිසා සිසුන්ට එය මහා සහනයක් වුවේය. පන්තියේ හිදගෙන ඉන්න අතරම ගුරුතුමා හෝ ගුරුතුමිය අද ලමයි අපි ඇගයීමක් තියනවා කියන්නේය. එවිට දරුවන් එයට සූදානම් වන්නෝය. තමා ඒ විශය හදාරන පොතේම මැද පිටුවේ ඇගයීම් ප්‍රශ්න පිටපත් කොට ගෙන ඒ පොතේම මුල් පිටු පෙරලමින් බලා ලියන්නෝය. ඒ ක්‍රමයෙන් ඇගයීම් පත්‍රිකාවේ කළු, කහ, කොළ, රතු බෝල ඇදෙන්නේය. රතු පාට නම් හොද ඒවාය. කළු පාට නම් අන්තිම දුර්වලය. මේ ක්‍රමය නිසා දරුවන්ගේ පොත් වල මැද පිටු බලා සිටියදී අඩු වූවේය. මන්ද එක විශයකින් වසරකට ඇගයීම් 10ක් පමණ තැබෙන නිසාය.

සමහරු කොප්ප ගැසීමට කැමතිය. එහෙත් කොප්ප ගසනවා යැයි කීමට ඇකැමැතිය. සුළුතරයක් අය කොප්ප ගැසීමට බයය. කොප්ප ගැසීමේදි විටක තමා පිළිතුරු ලියු පත්‍රිකාව පිටින්ම තම මිත්‍රයාට දීම සිරිතක්ය. එවිට එම පත්‍රිකාව තමා ලගට නැවත එනතුරු සපෝට් කරන්නා සිටින්නේ ගැහෙන හදවතින්ය. දිනක් සෑමා තම මිතුරෙකුට පිළිතුරු පත්‍රිකාව දුන්නේය. එකී මිතුරා කොපි කිරීමට බයය. සෑමා අත ලගටම දිගු කළ පත්‍රිකාව මිතුරා බිම වට්ටා ගත්තේය. ඉන් තවත් බය වු මිතුරා පත්‍රය අතට නොගෙන ඒ දෙස බලමින්, වටපිට බලමින් සිටියේය. ඒ සමගම ක්‍රියාත්මක වූ ඔහුට පිටුපස සිටි තවත් මිතුරෙකු නැගිට ගොස් පිළිතුරු පත්‍රිකාව අතට ගෙන ඉවර වෙනතුරු ලිව්වේය. පෙරකී මිතුරා ලැජ්ජා බය පැත්තකට දා කොපි කළ යුතු බව එදා ඉගෙන ගත්තේය.

විටෙක කොපි කර මාට්ටු වූ විටක දඩුවම් විදින්නේ කොපි කළ එකා නොව, පෙන්නපු එකාය. එවන් අසාධාරණයකට ගොදුරු වීම මහා ඛේදවාචකයක්ය. ඒ ලෙවල් කාලේ පැවති වාර විභාගයකින් අපේ මාකා, ගලයාගෙන් කොපි කරමින් සිටියේය. ගලයා එහා පැත්තේ සිටි හර්ක්‍යුලිස්ගෙන් කොපි කරමින් සිටියේය. මෙකී කොප්ප ගැසීමේ දාමයේ අවසන් පුරුක වූයේ මාකාය. ගලයා සපෝට් එක ගත්තේද හර්ක්‍යුලිස්ගෙන්ය. එසේ තිබියදී මාකා පන්තිභාර සර්ට අසු වූවේය. එවිට සර් සිතුවේ කොප්ප ගසන්නේ මාකා නොව ගලයා කියාය. සර් වහා ක්‍රියාත්මක වී ගලයාට කෑ ගසා ඔවුව භෞතික විද්‍යාගාරයේ තනි කළේය. එතෙක් වෙලා හර්ක්‍යුලිස්ගේ සහය පැතු ගලයා අසරණ වූයේය. හුදෙකලා වූවේය.

විටක සරල උපක්‍රම මගින් කිසිවෙකුගේ සහය නොගෙන කොපි කිරීමට දරුවන් උත්සාහ කරන්නේය. එ සදහා කුඩා කොළ කැබලි හෙවත් ඥාන පටි, එහෙමත් නැතිනම් ඩෙස්ක් එක අස්සේ තැබු කොපි පොත් හෝ අච්චු පොත් උපකාරී වන්නේය. පාසලේ පැවැත්වෙන වාර විභාගයක් නම් කොපි පොතෙන් කොපි කිරීම ඉතා පහසුය. බොහෝ විට පේපර් එක හදන ගුරුතුමා හෝ තුමිය පේපර් එක හදන්නේ තමා ඉගැන්වූ කොපි පොත භාවිතයෙන්ය. එවිට කොපි පොත ඩෙස්ක් එක අස්සේ සගවාගෙන හෝ ලිවිම පහසුය. එහෙත් අපේ හිටි සමහරක් උන්ගේ කොපි පොතේ සටහන් නැතිය. එවිට එවන් උන් අසරණ වන්නේය. එවිට උන් කරන්නේ අච්චු පොතේ පිහිට පැතීමය නැතොත් එහා පැත්තේ එකාට වද දීමය.

බොහෝ අයට ඉංග්‍රිසි පේපරය ලියනවා තරම් අකැමැති දෙයක් ලොවෙත් නැතිය. එහෙත් ලිවීමට ඉතා පහසුම පේපර් එක ඉංගිරීසි බව නොසිතන්නේය. ඉංගිරීසි පේපර් දෙකෙන් පලමු පේපර් එක කොපි කර හෝ ගොඩ දැමීමට කට්ටිය සමත් වන්නේය. දෙවෙනි පේපර් එක රචනා ආකාරයෙන් නිසා එය කොප්ප ගැසීමට තරමක් අපහසුය. එහෙත් සෑමා ඕලෙවල් දෙවෙනි පේපරය පවා තම මිතුරෙකුට දුන්නේය. දෙවෙනි පේපරයට තනියම ලියන බොහෝ අය අනුගමනය කරන්නේ කට්ට ක්‍රමයන්ය. ඡේදයක් කියවා පිළිතුරු සැපයීමට ඇති තැනකදී ඒ ප්‍රශ්නයේ ඇති වාක්‍ය ඛණ්ඩය ඡේදයේ සදහන්ව ඇති ස්ථානය තෝරා සම්පූර්ණ වාක්‍යය ලිවීමෙන් පිළිතුරු දීමේ කපටි ක්‍රමය අනුගමනය නොකළ අය නැති තරම්ය.

පුංචි කාලේ ඉංගිරීසි රචනා ප්‍රශ්නයට එන්නේ බොහෝ විට “මං පිළිබද“ හෙවත් My Self ගැන ලිවීමටය. සමහර උන් ඒ රචනාවද කොපි කර ලියන්නට ගොස් අනා ගන්නේය. තමන් පිළිබද ලියන්නට ඇති තැන එහා පැත්තේ එකාගෙන් කොපි කරගෙන තමන්ගේ නම පවා වැරදියට ලියන එවුන්ද සිටින්නේය. ඒ කළබලයෙන් කොපි කළ විටය. එහෙත් අපේ කොල්ලෙක් එහා පැත්තේ එකාගෙ “My self" කොපි කරගෙන එහි හෙඩ්ම වෙනස් කළේය. ඒ “My Best Friend“ කියාය. ඒ ආකරයෙන්ම I,My, වෙනස් කොට බොහෝ ක්‍රියා පද ඒකවචන ( I go.... => He goes... ) කිරීමට තරම් මිතුරා දක්ෂ වූයේය.

සියල්ල එක්ව ගත් කළ කොපි කරීමද කලාවක්ය.

sAm ශ්‍රී Perera_6:47am_24/01/2013

Tuesday, January 22, 2013

සදාදරණීය ASP මැඩම්..


“ගුඩ් මෝර්නිං සර්, ගුඩ් මෝර්නිං මැඩම්....“ 

“ශ්‍රී ලංකා පොලිසිය බකිනිවැල“ ඒ බෝඩ් එක දකිනකොටත් මගෙ හිතට ගැම්මක් ආවා. ශහ්.. ඒ කියන්නෙ අද ඉදන් මාත් මේ පොලිසියෙ රාලහාමි කෙනෙක්. එක අතකට මගෙ පලවෙනි පත්වීම මේ වගෙ දුෂ්කර පැත්තකට හම්බෙච්ච එක හොදයි. මේ වගෙ ගම්වල ඉන්න මිනිස්සු කොහොමත් බය ගුල්ලෝ. මුලින්ම මේ වගේ මිනිස්සු ටිකකට තලල බය ඇර ගත්තාම, ඊට පස්සෙ බය නැතු කොළඹ පැත්තෙ වුනත් ගිහිල්ල ඒ පැත්තෙ පාතාලෙ එක්ක හරි හැප්පෙන්න හිත හයිය කරගන්න පුළුවන්. 

ලෙෆ්ට්... රයිට්... ලෙෆ්ට්... රයිට්... ලෙෆ්ට්... රයිට්... ලෙෆ්ට්... රයිට්... 

අද පොලිසියෙ පෙරඩ් දවසක්. සේරම කට්ටිය එක විදිහට කිට් ඇදලා පෙලපාලි යනවා. ශහ්, එක ගැම්මට සිරුවෙන් හිට ගන්නවා, ආයෙ පහසුවෙන් හිට ගන්නවා, බලං ඉන්න ආසාවෙ බැහැ. ඒත් හමුදාවෙ ආචාර පෙල පාලියක් දැකලා, පොලිසියෙ එකක් දැක්කම එපා වෙනවා. මෙහෙ උන් කකුල බිම ගහන්නෙත් කොන්ද නමලා. ඒක තමා පොලිසියෙ හමුදාවෙ අතර වෙනස. 

මම පොලිසිය ඇතුලට ගොඩ වුනා. අද කවුරුත් පේන්න නැහැ. ග්‍රාමාරක්ෂකල දෙන්නෙකුයි, පීසී කෙනෙකුයි විතරයි ඉන්නෙ. ඒ පීසිත් හොදටම නිදි. 

“ඇයි මොකද?...“ එක පාරට ඇහුනු කටහඩකින් මං උඩ ගිහින් බිම වැටුන වගේ වුණා. තරු තුනක් ගහගත්ත පොලිසියෙ මැඩම් කෙනෙක්. තරු තුනක් කියන්නෙ මෙයා වෙන්න ඇති පොලිසියෙ එච්.ඕ.අයි. 

“මැඩම් මේ.. මැඩම්.. මම තමයි පීසි බණ්ඩාර..“ මගෙ පලවෙනි පත්වීම මෙහෙට.

“හරි.. හරී...“ ඔච්චර නැවෙන්න ඕනෙ නැහැ. මේ.. ඇවිත් මෙහෙන් වාඩි වෙන්න කෝ..

එයා වාඩි වෙලා හිටියෙ පොලිසිය ඉස්සරහම තිබුන ලොකු පුටුවක. ඒ ලගපාත ඉදගන්න කියල තිබ්බෙ පැමිණිලි දාන්න එන මිනිස්සු ඉදගන්න බංකුව විරතරයි. කරන්නම දෙයක් නැතුව මම ඒකෙන් වාඩි වුනා. 

“මොකක්ද නම කිව්වේ....“

“මම බණ්ඩාර මැඩම්... පීසි බණ්ඩාර..“

“ගම කොහෙද? “

“අහ්.. ම්.. මම කුරුණැගල මැඩම්...“

“ආනේ.... ඇත්තද? මාත් කුරුණැගලනේ..“

“ඇත්තද මැඩම්..??? “

“ඔව්....“

“මැඩම්ගෙ ගමද කුරුණැගල? මැඩම් බැදල ඉන්න සර්ගෙ ගමද?“

“පිස්සුද කොල්ලො, මම තාම බැදල නැහැ.... “

“මොනවද දන්නෙ නැහැ මැඩම් මම මෙහෙ කරන්න ඕනෙ රාජකාරි නේද??“

“ඒව ඉතිං අර ඕ.අයි.සී මහත්තය ආවහම අපි හෙමීට කතා කර ගමුකෝ..“

“මේ, කෝ ඉතිං මේ බණ්ඩාර තාම තේ එකක් වත් බීල නැහැනේ... මේ බලන්න අර උණු වතුර බෝතලේ තේ තියෙනවද කියලා..“ 

“නැහැ නැහැ මට නම් තේ ඕනෙ නැහැ මැඩම්...“

“කමක් නෑ.... මේ තේ තියනවද බලල, තියෙනව නම් මටත් එක්ක එකක් අරන් එන්නකො බලන්න..“

මැඩම්ගෙ කීමට මම පොලිසියෙ කුස්සියට ගිහින්, මේසෙ උඩ තියෙන උණුවතුර බෝතලෙ හොලවල බැලුවා... ඒකෙ අඩියෙ මණ්ඩි ටිකක් විතරයි තියෙන්නේ...

“ඒකෙ නම් තේ නැහැ මැඩම්. මම හීටරේ ගහල තේ ටිකක් උණුකරන් එන්නද? “

“එච්චර වද වෙන්න ඕනෙ නැහැ කොල්ලො, ඔන්න ඔය බෝතලේ අරන් ගිහින්, අන්න අර ඉස්සරහ කඩෙන් තේ දෙකක් දාගෙන එන්න..“

“හොදයි මැඩම්..“

“මේ, ඉගුරු තේ දෙකක්ම ගේන්න...“

“ආ.. හරි හරි මැඩම්..“

“මේ.. සල්ලි ගත්තෙ නැහැනේ........ කෝ එන්න...“්‍

“ඕනෙ නැහැ මැඩම්.. මං ලග තියෙනවා...“

“ආ.. මේ.. එහෙනම් හොද කොල්ල වගේ බනිස් ගෙඩි දෙකකුත් අරන් එන්න....“

පීසීලා, එස් පීලා කියල වෙනසක් නැතුව එකම විදිහට නේද දත ගලවන්නෙ කියල මට හිතුනා. මම අඩිය ඉක්මන් කරල කඩේ දිහාට දුවන්න ගත්තා. පළවෙනි දවසෙම මට සිද්ධ වුනා ලොක්කෙක්ට කඩේ යන්න. ඒ මදිවට එයා ලොක්කියෙක්. ලොක්කියෙක් කිව්වට එයාට වයස අවුරුදු 30ක් වත් නැහැ. කොහොමත් පළවෙනි සේවා ස්ථානේ අවුරුදු 5ක් වත් ඉන්න එපැයි. ඒ කාලෙ ඇතුලත මෙයා ගොඩ දාගත්තොත් මාත් ගොඩේ ගොඩ.

මුලින්ම මම මෙයාගෙ හිත දිනා ගන්නවා. එතකොට මෙයා ලොකු ලොකු වැටලීම් සේරටම මාව එක්ක යයි. 

“ඒයි හෙල්ලෙන්න එපා.. ඔළුව කුඩුවෙන්න තියනවා.. පීසී බණ්ඩාර.. එහා පැත්තෙන් එන්න...“

“ඒයි උඹලව පොලිසියෙන් වටලලා තියෙන්නේ,,, එකෙක් දුවන්න හදන්න එපා. එස්.අයි බණ්ඩාර, දාන්න මුන්ට මාංචු..“

“අයි.පී බණ්ඩාර, මේ කොස්තාපල්ලා ටිකත් එක්ක ගිහින් අර පාතාලෙ සීන් එක වටලං එන්න...“

“ඒ.එස්.පී බණ්ඩාර, පොඩ්ඩක් එන්නකෝ, මට ඔයත් එක්ක වැදගත් කතාවක් තියෙනවා...“

“ම්හ්. ඒ මොකක්ද..“

“මෙහෙ එන්නකෝ.. ලමයෝ.. මේක රාජකාරි කතාවක් නෙවේ... මේක පෞද්ගලික කතාවක්...“

ඒ විදිහට එයාගෙ උදව්වෙන් ලග ලග තරු ටිකක් ගහගත්තොත් එයාව මගෙ කර ගන්න එක ඒ හැටි වැඩක් නෙවේ. මේව කල්පනා කර කර සිහින මැව්වොත් මගෙ තරු නෙවේ බොත්තම් හිටං ගැලවෙන නිසා මම තේටික අරන් දිව්වා පොලිසියට.

හහ්...හහ්හ්..හහ්...හහ්හ්..හහ්...හහ්හ්..හහ්...හහ්හ්..

“පොලිසිය ඇතුලෙ හරකෙක් වගේ දුවන්නෙ, කවුද තමුසෙ??“

මම එනකොට පෙරඩ් එක ඉවර වෙලා ඕ.අයි.සී මහත්තය පොලිසියට ඇවිත්. 

“සර්... මං මේ.. පීසී බණ්ඩාර. ට්‍රේනිං කොලේජ් එකෙන් අවුට් වෙලා, මෙහෙ වැඩ භර ගන්න සර් ආවෙ. “

“වැඩ භාර ගන්න ආව නම් යුනිෆෝම් එකේ නම්බුව තියාගෙන පැත්තකට වෙලා ඉන්නවකෝ. මේ කූඩුවෙ ඉන්න එවුන්ට තේ අදින්නේ.“

බලනකොට එයා හොර යුනිෆෝම් එකක් ඇදගෙන, පොලිසියෙ එස්.පී කෙනෙක්ට ඇට් කරල හතර වටෙන්ම ලක්ෂ ගානක් ගරා ගත්ත එක්කෙනෙක්. එදා එයාව යුනිෆෝම් එක පිටින්ම පොලිසියට කුදලං ඇවිත්.


sAm ශ්‍රී Perera_8:20am_22/01/2013

Friday, January 18, 2013

වැඩ පෙන්නන්න අවස්ථාවක්...


ඉස්සර IT කිව්වොත් මාර මාකට් එකක් තිබුනේය. IT course එකක් කරපු එකෙක් කිව්වාම ගමේම ඉන්න උන් ඌට වැදුම් පිදුම් කරන්නේය. එහෙත් දැන් තම හිසට තම අතම හෙවනැල්ල කියා තමන්ගේ මැෂිමේ වරදක් ඇති වුවොත් එය තමා විසින්ම හදා ගන්නා යුගයක් එලැබ ඇත්තේය. නැතොත් ගූගල් පිහිට පැතීම සිරිතය. එය හොද ප්‍රවණතාවයක්ය.

මගේ ලැපේ ද මේ මෑතක සිට එපා කරපු error එකක් එන්නේය. “403“ ලෙස බ්‍රවුසරේ පේජ් ලෝඩ් වීමේදි එන මේ වරද නිවැරදි කරන්නට නොගත් උත්සාහ නැතිය. බ්‍රවුසර් එකේ history, cache, cookies, හැම රෙද්දම  සුද්ද කොට අවසන හාඩ් එක පවා ෆෝමැට් කර, OS එක නැවත දැම්මද පෙර කී රෝගය එසේමය. බ්ලොග් එකක් ලෝඩ් වීමේ දී එම error එක එන්නේය, කමෙන්ට් කළවිටද නැවත පේජ් එක ලෝඩ් වීමේදි එයම සිදු වන්නේය, එවිට බ්ලොග් කියවීම එපා වන්නේය. කමෙන්ට් රිප්ලයි කිරීමද එපා වන්නේය. එම වරදම තිබියදී, නැවත ඇඩ්‍රස් බාර් එකේ තිබෙන ඇඩ්ඩ්‍රස් එක ඉදිරියෙන් www. යොදා පේජ් එක refresh කළ විට පේජ් එක ලෝඩ් වන්නේය.


මේ කාලේ හැම තැනම IT වැඩ්ඩන්ය. පදුරකට ගැසුවොත් හතර අත විසිවන සුමුදු මට සිලිටු මෘදුකාංග ඉංජිනේරුතුමන්ලාගෙන් මේ වරදට පිලියම සොයන්නේ සත් ගුණවත් සෑම් කොලුවාය.

ස්තුති වේවා.
ජය වේවා. !

Thursday, January 17, 2013

වම්බට්ටා වැනි උන් ප්‍රසිද්ධ වීම සාධාරණය...


බොහොම දෙනෙක් ප්‍රසිද්ධියට කැමතිය. ඒ තමන්ට ලැබෙන ලාභ සත්කාර වැඩි කර ගැනීමේ චේතනාවෙන්ය. දේශපාලුවෝ තම සගයන්ට පවා සම්බන්ධීකාරක කාඩ් නිකුත් කරන්නේ ඒ නිසාය. එවිට දේශපාලුවා මෙන්ම කාඩ් ලග තබා ගන්නා පවා වැඩ කාරයෝ වන්නෝය. ගායක, ගායිකා, ක්‍රීඩක. ක්‍රීඩිකා සහ නළු නිලි යන හැමෝම ප්‍රසිද්ධියට කැමතිය. ඒක උන්ගෙ පැත්තෙන් විය යුතු දෙයක්ය. එහෙත් අයුතු ප්‍රෙයා්ජන ලබා ගැනීම නම් වැරදිය.

සෑමාට ප්‍රසිද්ධිය ගැන සිහි වුයේ මේ මෑතකදී පාසලට ගිය විටකදීය. බොහෝවිට පාතාලය වන් මැර චරිත ප්‍රකට වන්නේ නරක පැත්තෙන්ය. එහෙත් පාසල් කාලයේ කරන දග වැඩ නිසා ප්‍රකට වන පිරිස්ද අනන්තය අප්‍රමානය. බොහෝ විට එවන් කලහකාරී චරිත වලට නම් පවා පට බැදෙන්නේය. එය පාසල පුරා පැතිර ගිය කලෙක ගුරුවරුන්ගේ සිට ප්‍රින්සිපල් දක්වාම ඔහුට කතා කරන්නේ එකී ආරූඨ නමින්ය.

පසුගිය කලෙක සෑමාගේ වසරේ. පාසල් ආදි ශිෂ්‍ය කණ්ඩායම මුල්වී පාසලට ජල නල පද්ධතියක් ලබා දුන්නේය. මෙය හුදෙක් ඒ ගැන ලියවෙන්නක් නොවන නිසාම, නමුත් ඒ ගැන ඡායාරූපයක් පල නොකර තැබිය නොහැකි නිසාම ඡායාරූපයක් දැමීම උචිතය.

මෙම නල පද්ධතිය සිසු අයිතියට පැවරීමෙන් අනතුරුව අප විසින් ගුරුමණ්ඩලයට, කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයට සහ ප්‍රින්සිපල්තුමාට සංග්‍රහයක්ද පැවැත්වූවෙමු. එහිදී සිදුවූ කතිකාවේදි සෑමාට සිතුනේ “වම්බට්ටා වැනි මැර චරිත ප්‍රසිද්ධ වීම සාධාරණ“ යැයි කියාය.

ප්‍රින්සිපල්තුමා සංග්‍රහ මේසය අසල පුටුවේ වාඩි ගත්තේය. සෙසු පිරිසද වාඩි ගත් විට ඔහු එකිනෙකාට ඇගිල්ල දිගු කරමින් තමා පාසලට පැමිණි 2006 වසරේ පාසලෙන් ඉවත් වූ අපේ එවුන් ගැන මතකය අවධි කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ කර්නල් පදවියෙන් පිදුම් ලද එකම විදුහල්පතිවරයා වශයෙන් ඔහුගේ මතකය තියුණුය.

“අහ් තමුසෙ නේද සිගරට් බීල අහුවුනේ“ ඔහුගේ අත මා මිතුරෙකු දෙසට යොමු වුයේය.

“සිගරට් බීලා... නැහැ සර්.. “ මිතුරා පිළිවදන් දුන්නේය.

“නැහැ නැහැ තමුසෙ මොනවට හරි අහුවුණා..“

“සිගරට් බීල නම් නෙවේ සර්, මම මැච් එක දවසෙ බීල අහු වුණා“ මිතුරා දුන් පිලිතුරෙන් සැවොම සිනා සුනේය.

ඒ සිද්ධිය සිදු වූයේ බිග් මැච් එකක් දවසකය. අපේ එකා පැලෙන්නට බීලාය. සිහිය නැතුව පැත්තක වැටී සිටියදී එහා පන්තියේ පන්තිභාර ගුරුතුමිය පැමිණියාය. 

“මොකද මේකට වෙලා තියෙන්නේ??“ ඒ ටීචර්ය.

“මූට මී මැස් මොරේ හැදිල ටීචර්...“

“මී මැස් මොරේ....? යනව අයිසේ බොරු නොකියා, මූ හොදටම බීල ඉන්නේ...“

“පිස්සුද ටීචර්, අපි හොද සිහියෙන් ඉන්නේ, මූ කියල තනියම බොන්නද?“

“විකාර නැතුව ඕකගෙ ඔළුවෙ දෙහි ලෙල්ලක් අතුල්ලනවා“ ටීචර් විසදුම කීවාය.

“දෙහි ලෙලි නෙවේ ටීචර් එකෙක් ගියා මෙයාට මීමැස් මොරේට ගන්න බෙහෙත් පෙති ගේන්න...“

එදා ටීචර් ඒ වචන සැට් එක විශ්වාස කළාදැයි, නොකළාදැයි අපට හරි හැටි තේරුනේ වසර 6කට පසුව ඉහත කී අවස්ථාවට ගිය විටය. ප්‍රින්සිපල් සමග කතා කළ පසු එම ගුරුතුමිය වෙත අප ගිය විටම ඇය අපේ මිතුරාට කෑ ගැසුවාය.

“තමුසෙ මාව එදා රැවැට්ටුවා නේද?“

“මොකක්ද ටීචර්...“ ටීචර්ගේ කතාව මිත්‍රයාට මෙන්ම අපටද සිතා ගත නොහැකි විය.

“ඇයි මී මැස් මොරේ කියල බීල වැටිල හිටියේ...“ ඒ කතාවට අපට සිනා සෙන්නට හැර කරන්නට දෙයක් නොවීය.

“ආ.. දැන් තමුසෙ මොනවද කරන්නෙ...“ විදුහල්පතිතුමා තවකෙකුට ඇගිල්ල දිගු කලේය.

“මම සර් රට ඉන්නෙ ලංකාවට ආවෙ ලගදි..“

“තමුසෙත් ඉස්සර හැම එකටම මාට්ටුවෙනවනේ...“

“කෝ අර තාත්ත කන්ස්ට්‍රක්ෂන් කරන කොල්ලා..“

සර් මේ අහන්නේ එදා ආවෙත් නැති දැනට ලංකාවෙත් නැති එකෙක් ගැනය. අපේ උන් ඔහු ගැනද කීවෝය, ඉන්පසු ඔහුගේ අත අපේ කාලයේ බෞද්ධ සංගමේ සභාපති තුමා වෙත දිගු වූවේය.

“ඔයා දැන් කොහෙද වැඩ?“

“මම එයාර් ‍ෆෝර්ස් සර්..“

“එතකොට කකුල කැඩුනෙ..“ මෑතකදි වු සුළු අනතුරකින් මිත්‍රයාගේ කකුල වෙලා තිබුනේය.

“ඇක්සිඩන්ට් එකක් වුනා..“

“එයාර් ෆෝස් එකේ ඇක්සිඩන්ට් නම් ප්ලේන් එකකින් වත් වැටුනද?“

“ඔයා නේද බෞද්ධ සංගමේ සභාපති හිටියේ...“

“ඔව් සර්...“ ඒ පිලිවදනට සිනාසුනේ හාමුදුරුවෝය.

“හැම පාරම සභාපති වෙන්නේ මේ වගේ අය තමා. කොහෙන් හරි මැරයෙක් තමා එන්නේ...“ සර් කීවේය.

“හැබැයි සර් අපි තමා මුලින්ම සංඝගත දක්ෂිනාව පටන් ගත්තේ..“ ඒ අපේ හිටපු සභාපති මිතුරාය.

“නැතුව, මට මතකයි,,, මේ පාර අපි දක්ෂිනාව කලේ හයවෙනි පාරට...“ මැර සෙට් එකක් සිටියද, පාසලට අපේ උන් කළ දේවල් හැමෝටම මතකය.

ඉන්පසු ගණිත අංශයට ගිය විට අපේ උන් සාරි පොඩිත්තක් ඇදගෙන, මාල පොඩිත්තක් බැදගෙන කියමින් ලගින් යන විට විහිළු කළ සුන්දර ගුරුතුමිය හමුවෙන්නට ගියේය. ඇයට කිසිවෙකු උක්ත ගීතය ගායනා කරමින් දෙතුන් වරක් බයෝ පන්තිය අසලින් ගමන් කර ඇති බව මතක තිබුණාය. එහෙත් ඒ සෑමා බව ඇයට මතක් නොවුයේ වෙලාව හොද කමටය.

එකළ කම්පුටර් අංශය භාරව සිටි ඇප්ලයිඩ් සර් මවුස් එකේ බෝලය නැති වූවිට එය සොයමින් පන්ති පුරා ඇවිද ගිය හැටි පවා තවමත් හැමෝටම මතකය. පඩි පෙලවල් උඩ මුත්‍රාකර අහු වූණ එවුන්, අල්ලපු වත්තට සෙල්ලම් දාපු උන් තවමත් ඔවුනට මතකය. හොදින් ඉගෙන ගෙන විශ්ව විද්‍යාල ගත වූවන් විශාල පිරිසක් අතරින් ඔවුනට මතක තිබුනේ සුන්දර දග වැඩ කළ ඒ කාලේ මැරයන්ය. හේතුව අප මෙන්ම ඔවුනද එවන් සිද්ධීන් වලින් ලබන සැගවුණ සතුට නිසාය.

එසේම සමාජ ගත සිද්ධීන් වලින් අහිංසක සුන්දර චරිත සුළුතරයක් මතකයේ රැදෙන අතර, වම්බට්ටන් වැනි සමාජ පෙරලියක් කරන චරිත, බහුතරයක් මතකයේ රැදෙන්නේ ඒ නිසාමය.

සැයු - සෑමා අපේ එවුන් මැරයන් බව කීවා නොව, වම්බට්ටා හොද යැයි කීවා නොව, මිනිස් මතකයේ රැදෙන්නේ කැපී පෙනෙන (හොද හෝ නරක) ක්‍රිරියාවන් කළ පිරිස් බවට සටහනක් තැබුවා පමණකි.


Written by sAm ශ්‍රී Perera_8.04am_17/01/2013

Tuesday, January 15, 2013

මේ 27 ඉරිදා දහම් පාසල් යන්න එපා....


දහම් පාසල යනු හොද තැනක්ය. එය පැවැත්වෙන්නේ ඉරිදා දිනයේ පමණක්ය. එහෙත් සමහරෙක් සතියේ ඉතිරි දින හයේම හිත තුල කැලඹෙන විවිධ ආශාවන් ඉටු කර ගැනීමට දහම් පාසල් යන්නෝය. බොහෝවිට කාන්තා පාසල්වල, එහෙමත් නැතිනම් පිරිමි පාසල් වල සිසුන් වැඩි හරියක් දහම් පාසල් යන්නේ තමන්ට සතියේ දින වල පාසල් යද්දී නොලැබෙන සුව විදී‍්මටය. සරලව ගතහොත් කාන්තා පාසල්වල කෙල්ලන් කොල්ලන් දැකීමටද, පිරිමි පාසල් වල කොල්ලන් කෙල්ලන් දැකීමටද, පැමිණෙන්නේ දහම් පාසලටය. මේ සදහා ජීවමාන උදාහරණ තරියා හෝ කස්සා හෝ බස්රේඩියෝවේ කුරුළු නොවන බව කරුණාවෙන් සලකන්න. ගෙදරදී නොඅදින සරම් කෑල්ල ගසාගෙන ඒ යටින් ෂෝට ගසාගෙන පාන්දර කුකුළා අතේ තබාගෙන ඈලි මෑලි කම් දුරලා දහම් පාසල් එන්නේ කෑලි සොයන්නට මිසක නිවන් මග සරි කරගන්නට නොවේමය.

එසේම සියළු බ්ලොග්කරුවෝද දහම් පාසල් යන උපාසක, උපාසිකාවෝය. එසේත් නැතිනම් එවන් ස්ථානවල උගන්වන ගරු ගුරු භවතුන්ය. ලමයින්ට අඹ සරණ පැතිය යුත්තේ එවිටය. ඒ අතර සිහින මදාරාද දහම් පාසල් ගුරුවරියක් බව බෞද්ධ කටයුතු අමාත්‍යාංශය පවසන්නේය. අනේ පොඩි උන් බ්ලොග් එක දැක්කානම් දහම් පාසල් ගමනටද තිත තබනවා ෂුවර්ය. සෑමාද දහම් පාසල් හිනි පෙත්තට ගිය කොල්ලෙක් බව හැම එකාම දන්නවාය. සෑමා නම් ගියේ ඉගෙන ගන්නටය. ඒ ගැන සමකාලීනයන්ගෙන් අසන්නට එපාය. මොකද උන් සෑමා සමග තරහා නිසා බොරු කියනවා විය හැකිය. අපේ දහම් පාසලේ නම් පන්ති කාමර වායු සම්‍කරණය කර තිබුනේය. අපි ඒ කාලේ පන්තියේ හිදගෙන සිටියේ සරම රෝල් කරගෙනය. යටින් ෂෝට නිසා සරම රෝල් කර ගත් විට මනාවට වායු සමීකරණය වන්නේය. කෙල්ලන්ට ඕවා බැරිය. උන් දාඩිය පෙරාගෙන සිටියෝය. නමුත් උන්ගේ ඉන වටකර දාඩිය දාන්නේ නැතිය. මොකද ඒ හරිය හැමදාම එලියේය. අපි නම් ඒවා දැක නැත්තේය. මේ නම් දැක්ක අය කිව්ව ඒවාය.

මේ සියල්ල කීවේ 27වන ඉරිදා දහම්පාසල ඔබ කට් කළ යුතු බව කීමටය. එදින උදෑසන අවදි වී බ්ලොග් ලෝකයේ ඔබට සද්ද දැමු අය, ඔබගේ හිස සිඹ සැනසූ අය සොයා ඔබ පිටත් විය යුතුය. ඒ ගම්පහ හෙනරත්ගොඩ මල් ශාලාවටය වත්තටය. දිවයිනේ නන් දෙසින් බ්ලොග් එකකට සැගවී අකුරු කොටන උන්, කමෙන්ට් කරන උන්, බ්ලොග් කියවා සැනසෙන උන්, සයිබරයේ මිතුරන් එදාට ගම්පහදී එකතු වන්නෝය. දිවයිනේ නන් දෙසින් එන ඔබට අයාලයේ යන්නට නොදී පාර කියා දීමට පහත සදහන් මග කියන්නන් සම්බන්ධ කර ගත හැකිය.

ගාල්ල - ගුණේ (ගායන්) - 0718309494
නුවර  - චතුමිතු - 077148230
කුරුණෑගල  - සිංහයා (නිරෝෂන්) - 0774236618
අනුරාධපුර - නාඩියා (හරිත) - 0716312367
රත්නපුර    - ජිංජිබිරිස් - 0714851651
නැගෙනහිර   - සඳරු - 0774939199
කොළඹ සහ වෙනත් ප්‍රදේශ - ප්‍රදීප් - 0772099578 / 0713556165

එලෙස පැමිණෙන සියළු දෙනා 7.30ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගම්පහ බලා දුම්රියට නගිනවා ඇතිය. එසේම කෙලින්ම ගම්පහට පැමිණෙන සෑම කෙනෙක්ම උදේ 8.30ට එතනට පැමිණ සිටිය යුතුය. එසේ නොවන අය තමන් විසින්ම හෙනරත්ගොඩ මල්වත්ත පිට්ටනියට පැමිණිය යුතුය. ගම්පහ දුම්රිය ස්ථානය අසල සිට උද්භිද උද්‍යානය දක්වා බස් රථ වලින් පැමිණිය හැකිය.

එදින සියළු කටයුතු උදෑසන 9.00ට ආරම්භ වන්නේය. සියළු දෙනාගෙන් ඇතුල් වීමේ ගාස්තු ලෙස රුපියල් 200ක් අය කර ගන්නා අතර, ඉන් දහවල් ආහාරය හා ඇතුල් වීමේ ගාස්තු පියවා ගන්නවා ඇත. සියළු සුන්දර වැඩසටහන් අවසානේ සියළු දෙනාට සවස 3ට විසිර යා හැකිය.

එසේ නම් උක්ත සුන්දර දවස උදා කර ගැනීමට ඔබ ජනවාරි 27 වන ඉරිදා දහම් පාසල් කට් කළ යුතුය. සරම හෝ ලමාසාරිය හෝ සාරිය ඇදගෙන දහම් පාසල් යන සියළු බ්ලොග්කරුවන් එදින තම ලැප් පොත් බෑගයේ වෙනත් ඇදුමක් ඔබාගෙන ඒම සුදුසුය. ගෑණු ලමයින්ට ඇදුම් මාරු කිරීමේ පහසු කම පිළබද කළබල නොවන්න. සෑමා එදාට එන්නේය.

පිං කැමැත්තෝ, සැප කැමැත්තෝ මේ ලින්කුවෙන් රෙජිස්ටර් වේවා..... මෙතන කොටන්න

අවවාදයයි - එක දවසක් කට් කලාට හැමදාම දහම් පාසල් යන්න..


Written by sAm ශ්‍රී Perera_7.43am_15/01/2013

Monday, January 14, 2013

ශරියා නීතිය අනිවාර්ය කළ යුතුය...


සෑමා සියළු ආගම් වලට ගරු කරන්නෙක්ය. එහෙත් රිසානාගේ මරණය හමුවේ මුණිවත රැකීම මනුස්සකමක් නොවන්නේය. මනුස්සකම රැකීම ජාතිවාදය හෝ ආගම් වාදය නොවන නිසාත් සාමිතුමාගේ උක්ත ප්‍රකාශය මෙසේ දිග හරින්නේය.

ශරියා නීතිය දුන්නේ දෙවියන්ය, ඉතින් ඒ අනුව රිසානා දරුවෙක් මරණයට පත් කළා යැයි නීතියෙන් දඩුවම් කළෝය. ශරියා නීතියට අනුව මනුෂ්‍ය ඝාතනයක් (බලහත්කාරයෙන් හෝ කුමන ආකාරයෙන් හෝ) කළ අයෙක්ට ප්‍රතිවිපාක ලැබිය යුතුය. උක්ත නීතිය වෙනස් කරීමට හෝ ඒ ගැන විමර්ශනය කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති නිසාම, රිසානා ඝාතනය කළ පුද්ගලයාව ඝාතනය කළ යුතුය. පසුව එම ඝාතකයාව නැවත ඝාතනය කළ යුතුය. එලෙස එකි නෙකා පිළිවෙලින් එක දිගට ඝාතනය කළ යුතුය.

එවිට ශරියා නීතිය, දෙවියන්ගේ කැමැත්ත, නොකඩවා ඉටුවී, උක්ත (අ-)මානුෂීය නීතිය අවසන් වනවා ඇත.

නැවතත් කියන්නේ මෙය ආගම් හෝ ජාතිවාදය නොවේය. මිනිසුන් පුදන දෙවියන් සම්පාදනය කළ මානුෂීය නොවන නීති පිළිබද ගැටළුවක්ය.

ගොසිප්ලංකා කමෙන්ටුවක්


Written by sAm ශ්‍රී Perera_11:49am_14/01/2013

මට දැන් ම්‍ටර් වුනේ, එතකොට ශරියා නීතිය = චංචලාගේ තියරිය නේද?

Friday, January 11, 2013

ෆෝන් එක නැතිවෙන්නට පෙර..


ඉස්සර ෆෝන් එකක් නැති වුනොත් නම් ඉතිං නැතිවුණාමය. හොරකම් කරන එකි විසින් එය නිදහසේ පාවිච්චි කරන්නේය. සිම් එක ගලවා විසික් කරන හොරා විසින් අළුත් සිම් එකක් දමාගෙන නිදහසේ පාවිච්චි කරන ක්‍රමය ඉස්සර තිබුනේය. එහෙත් ඒ කාලේ ෆොන් විරලය. එසේම ගන්නා කෝල් වලට මෙන්ම තමන්ට ලැබෙන කෝල් වලට පවා මුදල් අය කෙරෙන්නේය. ඒ නිසා ඒ කාලේ ෆෝන් එක රින්ග් වෙනකොට අයිතිකාරයා බොස බොස ගා වයිබ්බ්‍රේට් වන්නේය. එසේම ඒ කාලේ නම් සිම් එකක් ගන්නට ඉඩකඩම් පවා උකස් කරන්නට වන්නේය.

පසුකාලීන තාක්ෂණික දියුණුව සමගම හැන්ඩ් ෆොන් සමාජයේ බහුල වූයේය. අපි දැන් සිටින්නේ එවන් කාල වකවානුවකය. එනිසා ජංගම දුරකථන අස්ථාන ගතවීම් සොරකම් කිරීම් නීතියට හසු කර ගැනීමට විවිධ ක්‍රම ඇත්තේය. බොහෝ අයට විටක දුරකථනය තැබූ තැන අමතක වන්නේය. එවිට ඉක්මනින් තම සමීපතමයෙකුගේ දුරකථනයකින් අස්ථාන ගතවූ දුරකථනයට ඇමතීම සිරිතය. එවිට අස්ථාන ගතවූ දුරකථනය ඉන්නා තැනක සිට නාද වෙන්නේය. එවිට සොයා ගත හැකිය. සමහර දිනවලදී ඒ පුරුද්දටම සෑමා තම යතුර නැති වූවිට පවා මිතුරෙකුගේ දුරකථනයක් ඉල්ලා ගත්තේ යතුරට මිස් කෝල් කර තිබෙන තැන සොයා ගැනීමටය. එදා සෑමා විලි ලැජ්ජාවෙන් බේරුනේ දහසක් කතා කීමෙන්ය.

දුරකථනය අස්ථාන ගතවීම මෙන් නොව දුරකථනය යමෙක් විසින් සොරාගත්විට සොයා ගැනීම අපහසුය. ඒ නිසා වර්ථමාන සමාජය දැනුවත් කර ඇත්තේ මුලින්ම දුරකථනය නැතිවීම පිළිබදව පොලිස් පැමිණිල්ලක් තබන ලෙසය. ඉන්පසුව උසාවි නියෝගයක් මගින් විදුලි සංදේශන නියාමන කොමිසම මාර්ගයෙන් නැතිවූ දුරකථනය සොයාගත හැකි බවට ඔවුන් කියන්නෝය. ඒ සදහා දුරකථනයේ IMEI අංකය (International Mobile Equipment Identification Number) අවශ්‍යය.

ඒත් සිරිලංකාව වන් රටක ඔය කියන උප්පරවැට්ටියෙන් නැතිවූ ෆෝන් සෙවීම දුෂ්කරය. ඒතරමට අපේ තාක්ෂනය දියුණුය. තාක්ෂනය කෙසේවෙතත් නීති පද්ධතිය අති සාර්ථකය. පොලිසියට ගොස් නැතිවූ ෆෝන් එකට පැමිණිලි දමද්දී උන් හිනා වෙන්නෝය. උසාවි නියෝග ගන්නට යන පිරිසක්ද නැත්තේය. ඒ නිසා තමන් හිසට තම අතමය සෙවනැල්ල කියා, කීයක් හෝ නැවත එකතු කොට ෆෝන් එකක් ගැනීම උචිතය.

ඒ සියල්ල අපහසු වූ කලෙක නියම ඇප්ලිකේෂන් එකක් ආවේය. පෙර කලෙක සෑමා භාවිත කළ සිම්බියන් ෆෝන් එකට එම ඇප් එකක් සෙට් වුනේය. එම ඇප් එක ඉන්ස්ටෝල් වීමේදි අපට වෙනත් දුරකථන අංක දෙකක් දිය හැකිය. එවිට ෆෝන් එක යමෙක් සොරාගෙන සිම් පත මාරු කළ විට ඇප් එක මගින් ස්වක්‍රීයව කලින් ගබඩා කළ නම්බර දෙකට මැසේජ් යන්නේය. ඒ ක්‍රමය මගින් හොරාගේ සිම්පතේ නොම්මරය ලබා ගත හැකිය. සෑමා එම ෆෝන් එක විකුණා ඇන්ඩ්‍රොයිඩ් කට්ටකට බැස දැන් ගොඩක් කල්ය. එහෙත් මෑතකදී ඇප් වල සැරිසරද්දී එවන් තව ඇප් එකක් සැට් වුනේය. මෙච්චර කාලෙකට එය සෙට් නොවීම ගැන දුකය. සෑමා සිතා සිටියේ ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ එවන් ඇපක් නැත කියාය.

සෑමා එම ඇප දැම්මේය. දමා තම මිතුරන් දෙදෙනෙකුගේ නොම්මරද එයට ගබඩා කලේ උන් දෙදෙනා නිතරම අහල පහලක සිටින නිසා ෆෝන් එක නැති වු විගස සොයා ගත හැකි නිසාය. සෑමා පසුදා තම මිතුරෙක් වූ දිලා‘ව මේ පිළිබදව අප්ඩේට් කලේය.

“මචං මම ෆෝන් එකේ සිම් එක මාරු කළාම ඔටෝ මැසේජ් යන ඇප් එක දා ගත්තා..“

“අර හොරු උස්සනවට දාන එක නේද බං?“

“ඔව් ඔව් ඒක තමා.. මම ඒකට උබගෙයි ලකියගෙයි නම්බර් දෙකත් දැම්මා..“

“අඩෝ ඒකට නම්බර් කීයක් දාන්න පුළුවංද?“

“සිරා ඇප් එක බං.. නම්බර් 5ක් දාන්න පුළුවං..“

“අපරාදෙ යකෝ..“

“ඒ මොකද බං ඒ??“

“ඇයි යකෝ මැසේජ් 5ක් යනවා කියන්නේ රුපියල් 10ක් විතර කැපෙනවනේ..“

මිතුරා දුන් උත්තරයට එහා දෙයක් සෑමා නොකිව්වේය. ඉතිං පෝස්ටුවද මෙතැනින් එහා ලියා වැඩක් නැතිය.

Written by sAm ශ්‍රී Perera_09:39pm_11/01/2013

ඇප් එකට මෙතැනින් යන්න

Wednesday, January 9, 2013

චංචලා ගේ තියරිය...


සෑමා මිතුරෙකු සමග වාහනයක ගියේය. මිතුරා රිය පැදෙව්වේ මං තීරු දෙකේ මාර්ගයේ දකුණු පැත්තෙන් පැයට කිලෝමීටර 60ක වේගයෙන්ය. පොලිසිය නැවැත්තුවේය. ඔයාලා දකුණෙන් හෙමින් යන එක වැරදිය. හෙමින් යන නිසා පිටුපසින් එන වාහන වම්පැත්තෙන් ඔබව ඉස්සර කළ යුතුය. පැයට කි.මී 60ක වේගෙන් හෙමින් යාමත්, ඔබ නිසා අනිත් අයට වමෙන් ඉස්සර කළ යුතු වීමත් නිසා සෑමාගේ මිත්‍රයාට දඩ ගැසිය යුතුය. එනිසා පොලිසිය දඩ ගැසුවේය. එය චංචලාගේ තියරියය.


රංගනගේ වත්තට එහා වත්තෙන් පොල් ගෙඩි වැටුනේය. ඒ ගැන පැමිණිලි කිරීමට රංගනගේ මව ප්‍රාදේශීය සභාවට ගියාය. එහි සභාපති හමුවූවාය. සභාපතිතුමා ඇයගේ පැමිණිල්ල භාරනොගෙන ඇත්තේය. ඇය සභාපතිතුමා සමග දඹර වී ඇත්තේය. එහා පැත්තේ කාමරයේ සිට ඇත්තේ හසිතය. ඒ නිසා හසිතට වෙඩිතබා ඝාතනය කර ඇත්තේය. එය චංචලාගේ තියරියය.


කැළණිය පැත්තේ ඩෙංගු මර්ධනයක් ක්‍රියාත්මක වූයේය. මහජන සෞඛ්‍ය පරීක්ෂක ජනතාව දැනුවත් කලේය. එහෙත් ජනතාව ඒ පිළිබද නොතකා තම ගෙවතු පිරිසිදු නොකළෝය. ඇමතිතුමා පැමිණියේය. මහජන සෞඛ්‍ය පරීක්ෂක කැදෙව්වේය. ඔහුව ගස් බැන්දේය. ගම්වාසීන් ගෙවතු පිරිසිදු නොකළ නිසා සෞඛ්‍ය පරීක්ෂක වැරදි කරුය. එය චංචලාගේ තියරියය.


ඇමතිවරු දෙදෙනා එකම පලාතේ කුඩු බිස්නස් කළෝය. දෙදෙනා එකිනෙකාට අභියෝග කර ගත්තෝය. හදිසියේ දෙදෙනාම එකම තැනකදී මැතිවරණ දිනයකදී මුණ ගැසුනෝය. මහ පාර මැද වෙඩි තබා ගත්තෝය. එක් ඇමතියෙක් මියගියේය. අනෙකා අසාධ්‍ය වි රෝහල් ගත වුයේය. පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා පිටරට ගියේය. ඔහුට දැන් මුකුත් මතක නැතිය. ජනතාවට ඔහුව මතක නැතිය. ඒ නිසා මිය ගිය ඇමති වැරදිකරුවාය. එය චංචලාගේ තියරියය.


කෙල්ලෝ කොටට අදින්නෝය. මහ මග හැඩට ගමන් කරන්නෝය. කොල්ලෝ හැරි හැරී බලන්නෝය. සාය ගවුම කොට නිසා අමාරුවෙන් කකුල් එකතු කර හිදගන්නෝය. එවිට කොල්ලෝ නැවත නැවත එබි එබී බලන්නෝය. එවිට කෙල්ලෝ ඔරවන්නෝය. උන් පෙනෙන්නට ඇන්ද නිසා, හැරි හැරී බලපු කොල්ලෝ වැරදිය. එය චංචලාගේ තියරියය.


ඇමතිතුමා මාධ්‍යයට ගල් ගැසුවේය. තවත් මාධ්‍යයකට රිංගා කළබල කලේය. සියල්ල කැමරාවේ සටහන් වුනේය. සෑම මාධ්‍යයකම එය විකාශ වූයේය. සියල්ල ජනතාව රූපපෙට්ටියෙන් දකිද්දි පොලිසිය වැරදි කරුවන් සොයා මෙහෙයුම් කලෝය. තවමත් අපරාධකරුවන් හමුවී නැතිය. එය චංචලාගේ තියරියය.


ගෙදර මිනිස්සුන්ට කන්න දෙන්න සල්ලි හොයන්න රිසානා රට ගියාය. ගියේ තම ආගමම තියෙන රටකටය. එහි ගෘහ සේවයට ගොස් දෙසතියෙන් නිවසේ දරුවා කිරි හිර වී මිය ගියේය. නිවැසියෝ නොබලන නිවැසියන්ගේ දරුවා මිය ගිය නිසා රිසානාව අද ඒල්ලා මැරුවේය. එය චංචලාගේ තියරියය.


මලිත් පාසලේදී චංචලා නැටුම් කාමරයේ නටන අයුරු හොරෙන් බැලුවේය. එය පාසලේ සර් කෙනෙක් දැක්කේය. මලිත්ට සර් කෝටුවෙන් තැලුවේය. මලිත්ට ගහද්දි චංචලා හැඩුවාය. එය චංචලාගේ තියරියය. එම තියරිය අනුසාරයෙන් උඩ කී සියළු සිද්ධින් සිදුවී ඇත්තේය. වැරදි කාරයා නිවැරදි වන, පැත්තක ඉන්න එකෙක් වැරදි කාරයා වන තියරිය, එය චංචලාගේ තියරියය. ඉස්සර මෙය තිබුනේ කැකිල්ලේ රජ්ජුරුවෝ ලගය. දැන් තිබෙන්නේ අපේ මහ රජ්ජුරුවෝ ලගය. ඒ නිසා දුටුගැමුණු රජුටද ඒ නිසා කිසි අවුලක් නැතිය.



Written by sAm ශ්‍රී Perera_04:31pm_09/01/2013

Monday, January 7, 2013

කොටුවක් පනින්න තියෙන අමාරුව...


අද කාලේ හැදෙන පොඩි උන් හෙන ඇම්බැට්ටයෝය. උන්ට ෆොන් එකක් අතට අහු වුනොත් කෙලින්ම කනේ තබාගෙන හලෝ හලෝ ගාන්නෝය. ඒ කාලේ අපිට ෆෝන් දැක්කොත් බඩ පපුව දැවිල්ල ගන්නේය. සෑමාගේ අයියාගේ පොඩි එකා ගේ නම මතීෂ බාසුරුය. මෙතැන් සිට සෑමා බාප්පා වන එකී පොඩි එකා බාසු ලෙස හදුන්වෙන්නේය. බාසු පොඩි කාලේ සිට තාක්ෂනයත් සමග මුසපත්ව සිටියේය. බාසු අතට පෙන් ඩ්‍රයිව් එකක් හෝ ඩොංගලයක් අතට ගතහොත් හරියටම ලැප් එකේ යූඑස්බී සිදුරට රිංගවන්නේය. කොල්ලා පොඩි කාලේ සිටම හුරතල් වුයේ ඇන්ඩ්‍රොයිඩ් සමගය. එනිසා ඇන්ග්රි බර්ඩ් බාසුට කලාමැදිරියෙක් වැනිය. ෆෝන් එක අතට ගෙන අන්ලොක් කර මෙනු එක අතර එහෙ මෙහේ දුවන්නට බාසු දක්ෂය. මේ සියල්ල දැන් ඉපදෙන හැම පොඩි එකාටම පොදුය. උන් ලොකු වී පසුකලෙක අපෙන් සීයේ කෝම් පිට්ටු ගහන ඇප් එක කොහෙද කියා අසනවා ෂුවර්ය.
කුඩා කළ බාසුගේ ෆොටෝ ෂූටින් එකක් සෑමා කළ අයුරු

බාසු ඉපදී හරියටම වසරක් ගෙවෙද්දී බාසුගේ ෆේස් බුක් ගිණුම ඉපදෙන්නේය. ඒ බාසුගේ අප්පච්චි හෙවත් සෑමාගේ අයියාගේ අතින්ය. එය හුදෙක් ඇල්බම් එකක්ය. ඉස්සර පුළුන් කැබලි ඔබමින්, ලැමිනේට් කරමින් සැරසෙන ඇල්බම් අද කාලෙ නැතිය. ෆෝන් එකෙන්, ඩිජිටල් කැම් එකෙන් ගැනෙන ෆොටෝ අද කාලෙ සිරවෙන්නේ ෆේස් බුකියේය.

අපේ බාසු පෙරපාසල් යන්නේය. ඒකා යන්නේ ඉන්ටර්නැෂනල් නිසා අකුරු මැකී නෑ දන්නෙ නැතිය. දන්නේ කඩු සිංදුය. ඒ අතර සිංහල සිංදුද දන්නේය. ඉස්කෝලේ කවි සිංදු එකක් වත් කොල්ලා ගෙදරදී කියන්නේ නැතිය. ඒත් ඉස්කෝලෙ ගුරුවරු කියන්නේ කොල්ලා දක්ෂයා බවය. අනිත් දරුවන්ට නැති ආදරයක් කොල්ලාට තිබෙන්නේ ඒනිසාය. දිනක් සෑමාගෙ අයියා බාසුට එකේ ඉලක්කමේ සිට අංක විස්ස දක්වා ලියන ලෙස වැඩ පවරා තිබුනේය. කොල්ලාට ඉස්කෝලෙ උන්වා තිබ්බේ අංක දහව වෙනතුරු පමනක්ය. එහෙත් ගෙදරදී කෙරෙන සිලබස් එකේ කොල්ලාට ඊට වඩා කර තිබුනේය. හවස අයියා පොත අතට ගත්තේය. කොල්ලා එහා පැත්තේය. කොල්ලා එකේ සිට විස්සට නිවැරදිව ලියා තිබු නිසා අයියා උඩ ගියේය. හොද පුතා.. කොහොමද ඔයා ඔක්කොම හරියට ලිව්වේ? අයියා ඇසු පැනයට කොල්ලා පිලිතුර ලබා දුන්නේ පොතේ අන්තිම පිටුව පෙන්නමින්ය. “නැහැ අප්පච්චි මම බැරි වෙලාවට පොතේ අන්තිම පිටුව බැලුවා..“ අන්තිම පිටුවේ එකේ ඉලක්කම සිට පනහ දක්වා මුද්‍රනය වී තිබුනේය. කෙසේ වෙතත් එය බලා ලිවීමට තරම් කොල්ලා දක්ෂයෙක්ය.

බාසු මොනවා බෙදා ගත්තද කෑම නම් බෙදන්නේ අඩුවෙන්ය. දිනක් කොල්ලාගේ කෑම පෙට්ටියෙන් පන්තියේ ගුරුතුමිය කෑම ඉල්ලා තිබුණාය. කොල්ලා කෑම පෙට්ටියේ තිබු බිස්කට් වලින් එකක් පමණක් ගුරුතුමියට දී තිබුනේය. මෙය ගුරුතුමිය නිවසට පැමිණිලි කළාය. බාසුගේ මව නොහොත් සෑමාගේ අයියාගේ බිරිද බාසුට අවවාද දුන්නාය. “පුතා කවුරු හරි කෑම ඉල්ලුවම එකක් දීල එන්න එපා ඒක කැතයි නේ, ඒ නිසා දෙක තුනක් දෙන්න..“ පසුදින කොල්ලා ඉස්කෝලෙ ගියේය. කෑම බෙදා ගැනීමට හුරු කරවීමට කොල්ලා ලගට ටීචර් ආවාය. ඒ කෑම වෙලාවය. “පුතා මටත් ටිකක් දෙන්න..“ හොද පුරුදු ඉගැන්වීමට ටීචර් අත දිගු කළාය. කොල්ලා අත දිග හැර කෑම පෙට්ටියෙන් කඩල ඇට තුන හතරක්ම දුන්නේය. ටීචර්ට එදා කටඋත්තර නැති වී තිබුනේය.

මෑත දිනකදී සෑමා ගමනක් යන්නට වාහනයට නැගුනේය. එවිට කොල්ලා සිටියේ සෑමාගේ අම්මා නොහොත් ආච්චී සමග කතන්දර කියවමින්ය. කොල්ලා නැගිට ආවේ සෑමා ලගටය.

“ආ.. යාළුවා.. කාලෙකින් දැක්කේ..“ ඒ සෑම් බාප්පාට කතා කළ බාසුය.

“ආ ඇත්තද.. මාත් දැක්කෙ කාලෙකින්...“

“ඔයා ගමනක් යන්න නේද ? මාව එක්කගෙන යන්නෙ නැද්ද?“

කොහෙ යන්න හැදුවත් ඇගේ එල්ලී එන්නට කොල්ලා කැමතිය. දිනක් සෑමා සමග ඔෆීස් යා යුතු යැයි කියා කොල්ලා වාහනයටද නැගුනේය. කොල්ලා මග හැර සෑමා පිටත් වුයේය. නැවත නිවසට ආ විට කොල්ලා කියූ ඉතිරි කතාටික කීවේ සෑමාගේ අම්මාය.

“බලන්නකෝ ඔයා ගියා පස්සෙ කොල්ලා මට මාර කතාවක් කිව්වනේ..“

“ඇයි මොනාද කිව්වේ?“

“බලන්න ආච්චි බාප්ප මට ආදරේ නැහැ එයා එයාගෙ කෙල්ලට විතරයි ආදරේ...“

“ඇයි ඔයා එහෙම කියන්නේ...“ සෑමාගේ අම්මා එසේ අසා ඇත.

“නැහැ ඉතිං ඒකනේ ඔය මාවත් දාල ගියේ..“

සෑමා එලියට බැස්ස ගමන කොල්ලාට තේරී ඇත්තේ සෑමා කොටුවක් පනින්නට යනවා කියාය. පොඩි එකා වුනත් සෑමා ගැන හිතන හැටි කැතය.

Written by sAm ශ්‍රී Perera_10:42am_07/01/2013

Sunday, January 6, 2013

හොරු අහුවේ...


පොලිසිය විසින් හොරු අල්ලපු වාර ගණනට වඩා, සාමාන්‍ය ජනතාවගේ මැදිහත් වීමෙන් හොරු අල්ලපු වාර ගණන වැඩිය. එය ප්‍රායෝගික සත්‍යයක් වන්නේ බොහෝ හොරකම් වලට මැදිහත් වන්නේ ඒ ප්‍ර දේශය අවටම කෙනෙක් වීම නිසාය. එදා හොරු කඩපු සෑමාගේ මස්සිනාගේ ෂොප් එක ගැන සෑමා ලිව්වේද කිරිල්ලවල අවට සිටින්නන්ගේ අවධාන උදෙසාය.

මීට සතියකට ඉහතදී සෑමාගේ ගමේ පාසල, බොල්ලෑගල මහා විද්‍යාලය, හොරු කඩා තිබුනේය. පාසලෙන් පැවැත්වුනු මහා පෙරහැරට පසු දින හොරු විසින් පාසල සුද්ධ කර තිබුනේය. වටිනා පරිගණක 14ක් පමණ හොරු විසින් ගෙන ගොස් තිබුනේය. පෙරහැර පැවති දින රාත්‍රියේ පැමිණි හොරු ත්‍රී රෝද රථයකින් කිහිපවරක් පැමිණ පරිගණක ටික රැගෙන යන තුරුත් ඒ අවට නිවැසියන් නොදත්තෝය. මහ රෑ පුංචි අතුරු පාරකින් ගමන් කරන ත්‍රීරෝද රථයක හඩ ඇසුනත් එය පිලිබද උනන්දු වීමට තරම් නොසැලකිලිමත් වෙන ජනතාවකින් ගමකට, වැඩක් නොවන්නේය.

බොල්ලෑගල මහා විද්‍යාලය සැමා අකුරු කළ ස්ථනයක්ය. එක වසර සිට පහවසරේ ශිෂ්‍යත්වය පාස් කිරීම දක්වා සෑමාව ගොඩ දැම්මේ බොල්ලෑගල විද්‍යාලයමය. සෑමාගේ තාත්තා (k.a.w perera) පවා ගුරු සේවයේ නියැලී සිටියේ (දැන් වෙන පාසලක) එම විද්‍යාලයේමය. එනිසා පාසල හොරු කැඩූ බව අසා අප පවුලේ සියළු දෙනාගේ සිත් එකලෙස කම්පා වූවේය. එසේම ගම් වාසීන් මැදිහත්ව පොලිසියට පැමිණිලි කර හොරු අල්ලා ගැනීමට මහත් වෙහෙසක් දැරුවේය. ඒ කාලේ පාසලට තිබු සම්පත් නම් ඉතාම අල්පය. කම්පියුටරයක් පාසලට ලද මුල්ම දවසේ සෑමා ඒ පාසලේ නොසිටියේය. එහෙත් තාත්තා පාසලේ උගන්වන කාලයේ කම්පියුටරයක කිසියම් දෝෂයක් තිබී එය අළුත් වැඩියාවට සෑමා එහි ගියේ පාසලට කරන සේවයක් වශයෙන් සිත සතුටින්ය. ඒ සෑමා පාසලේ උගත් නිසාය.

එහෙත් පාසලෙන්ම ඉගෙන එම පාසලටම වින කළ හැක්කෙක් සිටීද? එම ප්‍රශ්නයට ඔව් කියා පිලිතුරු දිය හැකි මොහොත අද එලැබී ඇත්තේය.

උක්ත සොරකම සිදු වූ දින සිට අපේ ගමේ ‘ලොක්කා‘ අයියා සිටියේ මහත් කේන්තියෙන්නය. ඔහු සැම විටම කීවේ ලගදීම මම මේ හොරු සෙට් එක අල්ලනවා කියාය. පාසලේ උගත් පාසල අසලම ගැවසෙන ඔහුගේ කුපිත විම සම්පුර්ණවම සාධාරණය. එසේ ඔහු ගත් උත්සාහය අද උදෑසන මල් ඵල ගැන්වුනේය. ගම්වාසීහු පාසලට රොක් වී රතිඤ්ඤා පත්තු කලෝය. පාසලෙන් සොරකම් කළ බඩුත් සමගම ගමේම උන් කිහිප දෙනෙක්, පොලිස් ජීප් එකේ පැටවුනේය. හොර බඩු විකිණීමට ගොස් හොරු ටික අසුවී තිබුනේය. එහෙත් දුක්ඛිත කාරණය නම් පාසලේ උගත් එවුන් සෙට් එකක්ම හොරු විලස පැමිණ පාසලට වින කිරීමය.

තමන් අකුරු කළ තැනට හතුරු වීමට තරම් කුරිරු හිත් ඇත්තන්ට, දිය යුතු දඩුවම කුමක්ද? පොලිස් කූඩුවේ තබා පහර දීමද? ගම් වාසීන් මැදිහත්ව අල්ලා දුන් හොරු රැලට එම සංග්‍රහය නම් නොවැරදී ලැබී තිබුනේය. නමුත් උන් දිනෙක නැවත ගමට එන්නෝය. එදින් පසු ඔවුන් සුපුරුදු ලෙස ගමේ සැරිසරන්නෝය. හොරුන්ට ලැජ්ජාව බයක් නැත්තේය. පාසල ඉදිරිපිට දවසක් මුළුල්ලේ තබා උන්ට ලැජ්ජා කිරීම, ගමටම පෙනෙන්නට අපහාස කිරීම කළ යුතු වන්නේය. එවිට පාසලෙන් බිහිවන දරුවෙකු මතු දිනක පාසලට අහිතක් නොකරන්නේය. ගමට, රටට අහිතක් නොකරන්නේය.

නව වසරේ තම දරුවන්ට අළුත් දෙයක් ලබා දීමට සැලසුම් කරගෙන සිටි විදුහල්පතිතුමාට මහත් සතුටක් ඇතිවනු නොඅනුමානය. ඔහුට සහ ගරුමණ්ඩලයට එම කාර්්‍යය කරන්නට නව වසර සුභම සුභ වේවා. හොරු ඇල්ලීමට දහිරියෙන් කටයුතු කළ ලොක්කා ඇතුලු ගමේ සැමට ස්තුතී.

Written by sAm ශ්‍රී Perera_09:22am_06/01/2013

Thursday, January 3, 2013

සාර්ථක දිවියකට ගණිකාවක් වන්න..


ඔහු වට පිට බැලුවේය. පුරා දිනක් පුරා කැමරා කාච වලට මුහුණ දෙමින් තම සගයන් සමග පේලියට හිදිමින් ගත් ඡායාරූප කොතරම් ලස්සන වේ දැයි ඔහු හිතන්නට මැලි වූවේය. ඇය සමග මෙතෙක් ආ ගමන මේ තරම් කරදරකාරී දිනයකින් අවසන් වී, එකම වහලක් යට හිදින්නට හැකි වේ යැයි ඔහු සිහින මවන්නට ඇතිය. ඒ සුන්දර සිහිනය අද කෙලවර වී පියවී ලෝකයේදි දෙදෙනා එක් වී ඇති අයුරු ඔහුව පුදුම කළේය. උදේ පාන්දර මුහුණේ උලාගත් පාප්ප තට්ටුව සෝදාගෙන ඒමට ඇය නාන කාමරය වෙත ගියවගක් ඔහුට සිහි වුයේ සීතල අත් දෙකකින් ඔහුගේ මුහුණ අත ගෑ විටය. පිටුපසින් සිටියේ ඇයය. ඇය නම් මෙතෙක් දිනක් තම පෙම්වතිය වී සිටි තම බිරිදය.

තමන් සමග දගකරන්නට හදන පෙම්වතියට ඔහු බර වුවේය. ඇගේ අත් දෙකින් අල්ලාගෙන ඈ සිටි පැත්ත හැරුනේය. පුරා දිනයක් ඇග තෙත් කළ දහඩිය බින්දු ඇගේ තෙත සාළුවේ ගෑවෙන්නට වූවේය. තෙත පිටින් කාමරයට වැදුනු ඇගේ ගත පුරා පිරි වතුර බින්දු ඔහු ගේ දහඩිය දිය කළේය. ඔහු උණුසුම් සුසුම් හරිද්දී ඇගේ දහඩිය බිදු වාශ්ප වන්නට වුවේය. සුන්දර රිද්මයකින් සිරුරු දැවටුනේය. ලං ලංව ඈත් වුවේය. එකී ස්පර්ශය දෙසිත් උණුසුම් කළේය.

පුරා දවසක් හිටගෙන සිටි මහන්සිය දැන් ඔවුන් අතරින් ගිලිහී ගොසින්ය. සෙමින් රිද්මයෙන් ගැටෙන සිරුරු මහන්සියට හිදගන්නට හෝ වැතිරෙන්නට තැනක් නොසෙව්වෝය. හිටගෙනම, ගේ මැද්දේම ඔවුනොවුන් මෙතෙක් නොවිදි මිහිර විදින්නට වූවෝය. වෙනදා තිබූ බාධක රෙදි කඩමළු ගැලවෙන්නට වූවේය. වෙනදා සීමා සහිතව ගමන් කරන දෙඅත්, දෙපා, දෙතොල්, බාධක නොමැති මහා ගංගාවක් සේ ගලා යන්නට වූයේය. විටෙක ගං ඉවුරට විත් මින් රැලක් උඩ පනින්නට වූයේය. සෙමින් පිහිනා යන අතර එක වර උඩ පනිමින් උන් කළබල කලෝය. ඒ කළබලයේ, නැවතීමේ රසය ඔවුනොවුන් වින්දේ අඩවන් දෙනෙතින්ය. සම්පුර්න වැසූ, හෝ සම්පුර්ණ හැරුණු, දෙනෙත් වලින් කිසිත් රස විදිය නොහැක්කේය. එනිසාම අඩවන් දෙනෙත් ඔවුන්ගේ රසයට ඔවුන්ව යොමුකලේය.

දෙපාමුල දග කරන ඔහුට සහයට ඇය ඉනෙන් එස වුණාය. එසවී තව තවත් ලං වූවාය. සිහින් ස්වරය, මනා රිද්මය, රස ගගුලට පන්නරක් වූවේය. කැඩණු සාළුව බිම වැතිර විල්ලුද පලසක් මැව්වේය. අපිලිවෙල කෙස් රොද මුහුනට වැටී ඇයට බාධා කළාය. ඇය ඒ බාධාව නොසැලකූවද, ඔහුගේ දෙතොල් ඒ බාධාව මැඩ ගන්නට මහත් වෙර දැරුවේය. ඇය ඔහුට බරදී, ලැමෙන් එසවී, හිස පහලට කඩා වැටෙන්නට සැලැස්සවූ විට අපිලිවෙල කෙස් වැටිය පහලට එල්ලා වැටෙන්නට වූයේ. තවමත් දෙනෙත් අඩවන්ය. වචන සිහින් ස්වරයන් වී, දෙතොල් අතරින් වාතලයට පිටත් වූයේ කෙදිරිල්ලක් ලෙසය. 

නලලත, ඇහි බැම, දෙනෙත් පියන්, කම්වුල්, දෙතොල්, නිකට දිගේ රෑටා ආ ඔහුගේ දෙතොල් සහ දෙතොල් අතරින් එලියට රිංගා ආ දිවක් ඇයට සරදම් කලේය. වෙනදාට විශාල ධමනි අතරින් දිවෙන රුධිරය තම කේෂනාලිකා දිගේ වෙනදාට වඩා වේගෙන් දිවෙන බවක් ඇයට හැගුනේය. නිකටේ රැදී නොනැවතුනු දෙතොල්, බෙල්ල දිගේ පහලට උරහිස් දක්වා දිව ගොස් නැවතුනේය. මදක් උරහිසේ විඩා නිවූ ඔහු වේගය වැඩිකලේය. රිද්මය පවත්වා ගනිමින් වේගවත් වූයේය. ඇය රිද්මයට අනුගත වූවාය. ඒ රිද්මයෙන් සැලෙමින් ඔහු හා පාවෙන්නට වූවාය. උඩින් වැටෙන කුරුළු පිහාටුවක් දෙපසට පැද්දි පැද්දි බිමට වැටෙන්නේ යම් සේද ඇය, ඔහු මනා රිද්මයෙන්, සැහැල්ලුවෙන්, කිසිම බාධාවක් නොමැතිව පා වෙන්නට වූවෝය.

අඩවන් දෙනෙත් වැසෙද්දී, උණුසුම් පිණි පොදක් ඇයගේ සිරුරේ පතිත වූවේය. ඔහු වෙනදාට නාස්ති කරන්නාවූ පිණි පොද, අද සිට ඇය සමග වටිනා රාජකාරියකට වෙන් කරන්නේය. කලාත්මක, ආදරණීය, සුන්දරත්වය ඔහුට, ඇයට සැමදාම රැදෙන්නේ ඔවුන් නොවුන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීම මතය. ඇය ඔහුට පමණක්ම, ඔහු ඇයට පමණක්ම, ඔවුන් ඔවුන් නොවුන්ට ගණිකාවෝ විය යුතුය. එවන් කලෙක රස, සැපත සොයා ආදරයක් නැති කාසියට යටවූ ගණිකාවන් හබා යා යුත්තේ නැතිය.

Written by sAm ශ්‍රී Perera_01:24am_03/01/13

Tuesday, January 1, 2013

නව වසරේ එකෙක් ගොඩ දාමු...


ධනවත්ම තැන සිට දුගී තැනට යන තෙක්ම හොරකම්ය. දහඩිය මහන්සියෙන්, තම හැකියාවෙන් දක්ෂතාවයෙන්, උගත් දෙයින් වැඩක් ගන්නා අය අතර හොරකමෙන් බොරුවෙන් වංචාවෙන් ලොව රවටමින්, ජීවත් වන අය නම් බොහෝය.

එවන් සමාජයක, තම උපන් හැකියාවෙන්, කලාත්මක මනසින්, ඇගිලි තුඩින් මැවෙන සිත්තමින් තම දිවිය ගැටගසා ගන්නා තරුණයෙකු විසින් නිම වූ චිත්‍ර පෙලක් මෙසේ පහතින් දැක්වෙන්නේය.

මේ සෑමා ආසම එකය

අලියාට නම් මාරයියා කැමති වෙයි ;)









මේ සෑමා කැමති දෙකය, දෙක කිව්වේ “දෙවෙනි සිතුවම“



මේ ඔහු විසින් කළ මි්‍යුරල් නිර්මාන කිහිපයක්...






මේ ඔහුගේ ජනප්‍රිය තරුවල සිතුවම් එකතුවක්...







ඔහු නමින් ශාක්‍ය රත්නායක වන්නේය. තම නිර්මාණ කිහිපයක් ඉදිආප්ප විකුණන කඩයක් තුල, බිත්ති පුරා අලවා තිබුනේ ඔහු විසින්මය. සිතුවම් ඇදීමට මෙන්ම, ම්‍යුරල් කලාවටද හේ දක්ෂය. බිත්තියේ එල්ලා තිබෙන නිර්මාන දැකීමෙන් විවිධ පුද්ගලයන් තමන්ට ලබා දෙන නිර්මාණාත්මක වැඩ කටයුතු කරමින්, දවස ගෙවන ඔහුට ශක්තියක් වෙන්නට, හැකියාව අනුව නිසි තැනක් ලබා දීමට හැකි අයෙක් වේ නම් ඔහු අමතන්න 072-3873175. උදා වූ නව වසරේ ඔහුට ශක්තියක් වෙන්නට ඔබට හැකි වේවා.

මෙන්න මිනිහා.. :)



ලේ බින්දුවෙන් බින්දුව ගෙන මේ දිනවල රුධිරයෙන් කරන සිත්තම, ඉතා සාර්ථකව කිරීමට ඔබට හැකියාව ලැබේවා.

ඔබ සැමට, ගෙවී ගිය වසරින් හොද දේ උකහාගෙන, උදාවන හැම දිනක්ම පහන් චේතනාවෙන්, යහපත් ක්‍රියාවෙන් ගත කරන්නට හේතු වාසනා වේවා.

ජය වේවා.

Written by sAm ශ්‍රී Perera_08:03am_01/01/13
Related Posts Plugin for WordPress, Blogger...