Monday, February 22, 2016

වෙජිටේරියන් සුද්දා - Vegetarian Foreigner !!


සෑමා වෙජිටේරියන් නොවේය. ලියන්නට යන්නේ වෙජිටේරියන් විය හැකි බවට ඉඟියක්ය. අද පෝය නිසාත්, වෙනදාට “පෝයට එකක්“ කියා ලේබලය යටතේ ලිපියක් ලියූ නිසාත් මේ ලිපිය ලිවීම සුදුසු යැයි සිතුනේය.

මාළු නම් සෑමාට පිරියක් නැතිය. කුකුලා නම් අවුලක් නැතිය. බොහෝ බෞද්ධයෝ එහෙමය. මාළුත් අවුලක් නැතිය. කුකුලාද අවුලක් නැතිය. සෑමා ඌරාද කන්නේය. එයට පුරුදු වූයේ ඌරාව බයිට් එකට සැට් කර ගැනීම නිසාය. විටින් විට බයිට් එකට සැට් වූ ඌරා අවසන කෑම පිඟානේ පැත්තකට තබා ගැනීමට තරම් දුර ගිය බව කිව යුතුය. හරකා නම් සෑමා නොකන්නේය. එකම එක දිනක් බැරි වීමකින් හරක් රොටියක් තුල තිබීම නිසා අනුභවයට ගත්තද ඉන් පසුව හරකා කාලාම නැතිය. සමහරක් හරක් නොකන්නේ ඇලජික් නිසාය. එහෙත් සෑමාට කිසිම මසකට ඇලජික්ද නැතිය. පුරුද්දක් ලෙස කන්නේ කුකුලා, ඌරා හෝ විටක මාළු පමණක්ය. එය වෘත රැකීමක් හෝ අමුතු සීලයක්, ප්‍රතිපත්තියක් හෝ නොවේය. එය හුදෙක් පුරුද්දක්ය. නැතහොත් ඒ නම් සෑමාගේ හැටිය.

කෑම හෝ නිර්මාංශ වීම ගැන සෑමාට සිහිවූයේ කතෝලිකයන්ගේ මේ දිනවල සිදුවන චතාරික සමය හෙවත් උපවාස කාලය ගැන සිහිවීම නිසාය. චතාරික සමය සෑමාට අනුව නම් අවුලක් නැතිය. එය ප්‍රතිපත්ති පූජාවක් බඳුය. අළු බදාදායින් ඇරඹී ක්‍රිස්තුස් වහන්සේගේ දුක්‌ ප්‍රාප්තිය, මරණය සහ උත්ථානය යන ත්‍රිවිධ සංසිද්ධීන් ආධ්‍යාත්මිකව සැමරීමට ඔවුන් සූදානම් වන්නෝය. ඒ අතර කෙරෙන නිරාහාරව සිටීමෙන් සංඛේතවත් කෙරෙන්නේ ශාරීරික මර්දනය තුළින් තම පව් සිහිපත් කර ඊට ස්‌ථාපනය වීමට ඉඩ සැලසීමය. තමන් නිරාහාර ශීලය රක්‍ෂා කරන විට එම ආහාර කොටස, නැතිනම් ඒ සඳහා වැය කරන මුදල ආහාර නොලබන තමාට වඩා අඩු සැප සම්පත් ඇති කවරෙකුට දීම හෝ එය පුණ්‍ය ක්‍රියාවක්‌ සඳහා වෙනත් ආකාරයකින් යොමුකිරීම සිදුකළ යුතුය. මා දන්නා, අසා ඇති කතෝලික දේශනය එයය. එහෙත් බොහෝ අය එක් වේලක් නොකා සිටින්නෝය. මස් මාංශ නොකා සිටින්නෝය. එලෙසම මත්පැන් වලින් පවා මේ කාලයේදී තොර වන්නෝය. එලෙස තමා පරිභෝජනය නොකරන කොටස කිසිවෙකුට පිරිනමනවාදැයි බහුලව දැක නැත්තේය. සියල්ල අවසාන වන දිනයේදී උත්සව ශ්‍රීයෙන් ආහාර අනුභවයෙන් සහ මත්පැනින් සියළු කාරණා නිමා කරන්නෝය. උක්ත උපවාස ක්‍රියාවලිය අද සමාජයේ කතෝලිකයන් රකිනා අයුරු විවේචනය කළ කතෝලික පූජකයෙකුගේ ලිපියක්, දේශනාවක් සෑමා දුටුවේය. ඒ අනුව ඒ පිළිබඳව සොයා බැලුවා මිසක සෑමාට ඒ පිළබඳව ලිවීමට අයිතියක් නැති බව කිව යුතුය.

කතන්දරය ඇත්තේ එතැන නෙවේය. බෞද්ධ අප අතේය. ආදර්ශයට ගත යුත්තේ කතෝලික සුද්දෙක්වය. ඈත අතීත සිද්ධියක් හා මෑත භාගයේ සිද්ධියක් සංසන්දනය කිරීමට සෑමාට සිදුවන්නේ මේ අවස්ථාවේදීය. එලෙස කිරීම පට්ට අසාධාරණය. එලෙසම වැරදිය. එහෙත් මෑත සිද්ධිය නිතරම කියන්නේ ලියපං කියාය. ඉතිං ලිවිය යුතුමය.

සෑමා ගියේ කැළණි දහම් පාසලටය. කැළණි පන්සලට ඕනෑ තරම් සුද්දෝ එන්නෝය. උන් හැම එකාම බෞද්ධ නොවේය. හැම එකාම එන්නේ බුදුන්, දහම්, සඟුන් සරණ ගොස් නොවේය. එහෙත් ඒ අතරින් දැනෙනා දේ නම් අපට ඉන්දියාවෙන් ලැබුණු බුද්ධ ධර්මය, පෙර අපරදිග අධ්‍යාත්මික පිපාසිතයන් අතර බෙදා දිය යුතු බවය. බුද්ධ දේශනාව ඉතිරිව ඇත්තේ ලංකාවේය. එය නිවැරදිව සෞම්‍ය අයුරින් ලබා ගැනීමට අධ්‍යාත්මික සුවය සොයනා අපරදිගයන් ලංකාව වෙත ඇදෙන්නෝය. ඔවුන්ට එය ලබා දිය යුතුය. කලකට පෙර ලංකාවට එලෙස පැමිණි සුද්දෙක් සෑමාට හමුවූයේ දහම්පාසල් සමයේදීය. ඔහු කැළණිය බැලීමට අමතරව බුද්ධ දේශනාව පිළිබඳ පවා ප්‍රශ්න කළේය. එවිට ඔහු අසනා දෙයට පිළිතුරු දෙමින් සෑමා ජේසුස් වහන්සේගේ ආගම පිළබඳවද ප්‍රශ්න නැගුවේය. සැබෑවටම එතැනදී සිදුවූයේ කතිකාවතක්ය. සැක ඇති තැන ප්‍රශ්න කිරීමක් නොව අධ්‍යාත්මිකව දැනුම බෙදා හදා ගැනීමක්ය. මා බුද්ධ ධර්මය ඔහුට ප්‍රමෝට් කිරීමටවත්, ඔහු මට කතෝලික ආගම ප්‍රමෝට් කරන්නවත් උත්සාහ නොගත්තේය. අධ්‍යාත්මික දැනුම අන් සිතක වගා කළ නොහැකි බවත්, එය තමන් තමා තුලම ඇති කර ගත යුතු බවත් මාද ඔහුද දැන සිටියා විය යුතුය. ඒ එදා කතාවය.

මෙදා කතාවෙන් සෑමා තුල ඇති වූයේ අපට වඩා සුද්දන් කොතරම් අධ්‍යාත්මික ගුණ වගා කර ගැනීමේ පිපාසෙන් පෙලෙනවාද කියා හැගීමක්ය. භාවනාව කෙරේ අපරදිගයන් නැඹුරු වී ඇති බව නොරහසක්ය. එලෙසම නිර්මාංශ වීම කෙරේ ඔවුන් බහුතරයක් දක්වන රුචිකත්වයට ප්‍රායෝගික උදාහරණයක් ඔහු දුන්නේය. බොහෝ අපරදිගයන් නිර්මාංශ වන්නේ ශරීරයේ සෞඛ්‍ය තත්වය යහපත් කර ගැනීමට මෙන්ම අධ්‍යාත්මක සුවයක් බලාපොරොත්තුවෙන් බව සිතිය හැකිය. මා සිටින තැනකදී මා කතෝලික මිතුරෙකු ජර්මන් සුද්දෙකු සමඟ කතාවට පැටලුනේ්ය. එතැනදී ඔහු ලංකාව කෙරේ දක්වන රුචිකත්වය, ආදරය පිළිබඳවත්, ලංකාවේ වෙරළ තීරය කෙරේ ඔහු ඇති ඇල්මත් කියා පැවේය. නිර්මාංශ වූ ඔහුට සහ ඔහුගේ සහායිකාවට ලංකාවේ කන්නට ඇති තරම් කෑම ජාති තිබූ බව ඔහු කීවේ සතුටින්ය. වසර විස්සක් පුරාවට නිර්මාංශ වූ ඔහු සංචාරය කළ බොහෝ රටවල් උදාහරණයට ගෙන ඔහු කීවේ නිර්මාංශ වීම නිසා තමන් අපහසුතාවයට පත්වූ අවස්ථා පිළිබඳවය. අවසන ඔහු ඇසූවේ ලංකාවේ බෞද්ධයන් බොහොමයක් නිර්මාංශ දැයි කියාය. චතාරික සමයේදී තමන්ද නිර්මාංශ යැයි කියූ අප මිත්‍රයා සෑමාට සිතන්නට තැනක් ඉතුරු කළේය. සුද්දාද බෞද්ධයන් පිළිබඳ නැවත ප්‍රශ්න නොකළේ ඔහුට අවශ්‍ය වූ පිළිතුරක් නොලැබුනු නිසා විය හැකිය.

සෑමා සිතන්නේ එතැන් සිටය. කිසිවක්, කිසිවෙක් අදාල නැත. මා ඒ මොහොතේදී නිර්මාංශ අයෙක් වූයේ නම් වටිනා බව හැගී ගියේය. එලෙසම තමා සීලයේ පිහිටා සිටින්නේ නම්, තමා ධර්මයේ පිහිටා සිටින්නේ නම්, අනෙකෙකුට කළ හැකි බලපෑම ඉන් පැහැදිලි වූයේය.

Written_by_sAm_ශ්‍රී_Perera_2:10pm_22/02/16
Related Posts Plugin for WordPress, Blogger...