කෑමක්, බීමක් නීරස නම් අපි කෙලින්ම කියන්නේ අපෝ කටේවත් තියන්න බැහැ කියාය. ඒ දිවට දැනෙන රස අඩු නිසා මිසක පෝෂණය පිළිබඳ ගැටළුවක් නොවන්නේය. එහෙත් කටේවත් තියන්න බැරි අනන්ත දේවල් අපේ උන්/ අපේ එකියන් කටේ දමා ගන්නේ දිව කොහේ තියාගෙන දැයි නොදන්නේය. ඒ මනුෂ්‍යන්ගේ කට හෙවත් මුඛයය. සෑමා පොඩි කාලේ දිනක සිරස එෆ් එම් එකේ ගිය (මතක හැටියට දහසක් මල්) වැඩසටහනේ ඇසූ ප්‍රශ්නයක “යතුරු කටා“ ලොස නම් කළ හැකි සතා කවුරුදැයි ඇසුවේය. එය එක වරම දිය හැකි උත්තරයක් වුවත් එම නාලිකාවට කතා කොට පිළිතුරු කියන්නට ගිය අය විකාර කියවන්නට වූයෙන් වැඩසටහන ආතල් ගුලක් වූයේය. යතුරු කටා නම්, ඉබ්බා විය යුතුය. සෑමා මේ කියන්නට යන්නේ එහෙව් දොර ලොක් කරන ඉබ්බා ගේ යතුර කටේ නොතබා අතේ තබා ගත යුතුය යන පරමාර්ථයෙන්ය.
හදිස්සියට ගමනක් යද්දී දොර ලොක් කළේ දැයි මතක් වන්නේ කිලෝමීටර 10කට වඩා ගිය පසුය. හොඳ සිහියෙන් යුතුව දොර ලොක් කර තිබුණද හදිසියේ කිසිවෙකු හෝ “ගෙදර දොරවල් ලොක් කරලද ආවේ??“ කියා ඇසූ තැන සිට සිතට ඇති වන්නේ කුතුහලයක්ය. සැකයක්ය. නිතරම මතක් වන්නේ යකෝ දොර ලොක් කළාද කියාය. ඒ තරමට අපට අපිව ෂුවර්ය. දොර ලොක් කර යතුර තබා යෑම පිළිබඳ පැරණිම රසාංගය ඉතා ප්‍රසිද්ධය. එනම් ගෙදර කවුරුත් නැති වෙලාවක ගමනක් යන්නට පිටත් වන්නේ නම් යතුර පෝච්චිය යට හෝ දොර අසල ඇති යම් රහස්‍ය යැයි සිතනා තැනක තැබීමය. පසු කාලෙක එම රසාංගය වෙනස් වී, යතුර කවුරුත් නොහිතනා තැනක තබා දොරේ බෝඩ් එකක් එල්ලීමය. යතුර අහවල් තැන තැබුවා යැයි දොරේ බෝඩ් එකක් ගසා යතුර සඟවා තැබීම කවුරුත් දන්නා විහිළුවක්ය.
දිනක් අපේ අයියා දොර ලොක් කර ගමනක් ගොස් තිබුණේය. ගේට් එක වසා තිබූ නිසා කිසිම අවුලක් නොවුනත් යතුර තිබුණේ දොරේ කටේය. තාත්තා වත්ත පැත්තට යද්දී දොරේ යතුර තිබෙනු දැක දොර ලොක් කොට යතුර රැගෙන විත් තිබුණේය. ඒ වේලාවේ හොරෙක් ආවා නම් ඌට පට්ට ආතල්ය. දොර කටේම යතුර තබා යෑමේ විපාකය ඉතා බරපතල්ය. ඒ සිද්ධිය මතක් වූ නිසාම මේ ලිපියට “කටේ නොතබා අතේ තබන්න“ යන මාතෘකාව එක්වූයේය. ඊටත් වඩා මේ ලිපිය ලියන්නට හේතුව නුවර යන්නට හදිස්සි එකෙකුට යතුරක් කපා දෙන්නට වූ කතාවක්ය.
සිද්ධිය වූයේ පසුගිය සතියේය. සෑමාට මුහුණ දෙන්නට වන්නේ මෙවැනි අධෝ වාත වැඩ වලටය. කොන්ඩේ හරි හැටි ජෙල් පාරක් වත් නොගා රැකියාවට ගියා සෑමා කිරිබත්ගොඩ හොස්පිටල් එකට ගොඩ වූයේය. වාහනය පාර්ක් කොට එළියට බැස්සේ යතුර අතේ තබාගෙනය. නැවත වාහනයට එබී බලන විට ඇතුලේ ජෙල් ඩප්පිය තිබූ නිසා නැවත ඇතුලට ගොස් කොන්ඩේ සකසා ගන්නට සෑමා සිතුවේය. බොන වතුර බෝතලයෙන් ජෙල් කලවම් කොට ගෑමෙන් නම්‍යශීලීව කැමති ආකාරයට කොණ්ඩය මනාව සකසා ගත හැකිය. ඒ නිසාම වතුර සමඟ කලවම් කොට සෑමා කොණ්ඩය සැකසුවේය. නැවත දොර ලොක් කර එළියට බැස යතුර සොයද්දී හිස ගෑ ජෙල් පපුව ගල් කරන්නට සමත් වූයේය. හුටා.. යතුර සීට් එක උඩය. කරන්නට දෙයක් සිතා ගත නොහැකිව වට පිට බලද්දී පාර්ක් එකේ නවතා තිබූ පල්සර් බයික් එකක් දුටු සෑමා ඌව සොයන්නට වූයේය. විටක පල්සරේ යතුර මේ හා සමාන බැවින් උපකාරයක් ගැනීමට එහෙන් මෙහෙන් දෙතුන් දෙනෙක්ට ටෝක් කළ විට ස්කූටියක ආ අයියා කෙනෙක් තමන්ගේ ගෙදර වැඩක් වගේ වැඩේට ඇන්ටර් වූයේය.
මල්ලී මෙතනින් කෝට්ටක් දාමු. යන්තම් ඇරුණු ෂටර් එක පෙන්වමින් අයියා කීවේය. කෝට්ටක් සොයාගෙන දුන් පසු, අඩේ මල්ලි කම්බි කෑල්ල තමා හරි යන්නේ. කම්බියක් හොයා ගමු. පොර බාස් වැඩේට අත ගසා අවසන්ය. බුවා හදන්නේ දොර ගලවා මස් කර අතට දෙන්නටය. ඒත් මීට සමාන යතුරක් සොයා ගත්තොත් වැඩේ ගොඩය. ඒ සමඟම වේගයෙන් ආ වෑන් එකක් එතැනම නැවැත්වූයේය. මැදිවියේ ඩයල් එකක් වෑන් එකෙන් බහිද්දී
“අයියේ පොඩි උදව්වක් ඕනෙ.. කාර් එක ඇරගන්න යතුර දෙනවද??“ පොර මා දෙස හා වාහනේ අරින්නට දඟලන ඩයල් එක දෙස බලා..
“හරි මල්ලි.. ගන්න.. ඉක්මනට වැඩේ කර ගන්න අපි ඇතුලට ගියා ආවා.. නුවර යන ගමන් ආවේ.. හදිස්සියි..“
“හරි.. ඔයාලා ඇතුලට ගිහින් වැඩේ කරන් එන්න..“
ඩ්‍රැයිවර් ඩයල් එක ඇතුලට ගියද අනිත් එකා හෙල්ලුනේවත් නැත්තේ අපි වෑන් එක උස්සන්නට ට්‍රයි කරනවා යැයි සිතා විය යුතුය.
“ඇයි මල්ලි වැඩි පුර යතුරක් නැද්ද??“
“තියෙනවා ඒක පර්ස් එකේ..“
“ඉතිං ඒකෙන් අරින්න බැරිද??“
“අරින්න පුලුවන්.. පර්ස් එකත් ඇතුලෙ නේ.. “
බුවා සද්ද නැත. දොර මස් කරන්නට වෙර දරන අයියා වෑන් යතුර මගෙන් උදුරාගෙන ගොස් තකහනියේ කැරකැවූයේය.
“හුටා..“
“ඇයි ?????“
“යතුර කැඩුනා මල්ලි. කෑල්ලක් ඇතුලේ..“
ඒ සමඟම ඇතුලට ගිය ඩ්‍රැයිවර් තැන ආවේය. පොරගේ ඇස් දෙක නලලේය.
“අයියෝ මල්ලි ඔයාල මාර මිනිස්සුනේ.. දැන් මම කෝමද නුවර යන්නේ..“ එතැන කඳුලු ගංගාවක්ය. යතුර කැඩුනාට වඩා ඉවසා ගත නොහැක්කේ පොරගේ කෙදිරිල්ලය. ඒ සමඟම එතැනට ආ තවත් ඩෑල් එකක් වන් ෂොට් ලොක් එක ඇරියේය. ඒකත් බයික් එකක යතුරක්ය. කාර් වලට වඩා බයික් යතුරක් අතේ තබා ගත්තා නම් හොඳ යැයි සිතුනේ එවිටය.
ඒ සැනින්ම වටේ සිටි සැට් එකට උත්මාචාර දක්වා වෑන් යතුරක් කපන්නට යන්නට වූයේය. පැය කාලෙන් යතුර කපාගෙන ආපු නිසා වෑන් ඩ්‍රැයිවර් අයියාට සතුටුය. අපේ එකෙක් නම් කිව්වේ මොන යතුරු කපනවද යකෝ, දොර ඇර ගත්ත නම් තොට එතැනින් මාරු වෙන්න නේ තිබ්බෙ කියාය. එහෙම කළා නම් සෑමාට සාප කරමින් ඩෑල් එක තාමත් එතැනය.
මින් සැමා කියා දෙන පාඩම නම්, කටේ තබා යනවාට වඩා අතේ තබා ගැනීම හොඳ බවය. එසේම වැඩිපුර එකක් ඇත්නම් එයද අතේ තබා ගත යුතුය. කටේ තබා යෑමෙන් මාර ආතල්ය. එහෙත් අතේ තබාගෙන සිටීම කරදර අවම කරන්නේය.
Written_bY_sAm_ශ්‍රී_Perera_7:38am_27/05/14