Wednesday, January 18, 2017

සිංහල බෙහෙත් ඉංග්‍රීසියෙන් බිව්වා වගේ.. - Struggling with Prescription !!


ආයුර්වේද බෙහෙත් ක්‍රමයට අපේ උන් කියන්නේ සිංහල බේත් කියාය. බටහර වෛද්‍ය ක්‍රමය ඉංග්‍රීසි බෙහෙත්ය. ඊට අමතරව හෝමියෝපති ප්‍රතිකාරද දැන් මාකට් එකේ ඇත්තේය. සෑමා ඒ බව දැනගත්තේ වැලිසර තිබෙන හෝමියෝපති හොස්පිට්ල් එක නිසාය. සෑමාගේ නැන්දා කෙනෙකු ආතරයිටිස් රෝගයට හෝමියෝපති බේත් අරගෙන තිබ්බාය. ඇයට අනුව නම් දැන් සනීපය. ඊට පසුවත් ඇයත් සමඟ බෙහෙත් ගන්නට ගිය කිහිප දෙනෙකු දැන් ගුණයැයි කියන්නෝය. හෝමියෝපති බෙහෙත් ගුණ අගුණ කෙසේ වෙතත් ඒ බෙහෙත් බොන එක නම් ආතල් පාටය. ඒවා පුංචි සීනි බෝල වැනි බෙහෙත්ය. කටේ දමා ගැනීමට පහසුය. තිත්තද නැතිලුය. ඒ නිසා බටහර බෙහෙත් වලට වඩා ආතල් විය හැකිය. ආයුර්වේද බෙහෙත් නම් කෝමත් පැණි වගේ නිසා අවුලක් නැතිය. චූර්ණ, ගුලි වගේ ඒවා නම් ටිකක් තිත්ත විය හැකිය. පත්තු, ඔත්තු, කුත්තු වගේ බෙහෙත් නම් විටක ගඳය, විටක සුවඳය. ඒවා හැදිල්ල සහ බැඳගෙන සිටීමේ අපහසුව පමණක් ඇත්තේය.



සෑමා නම් කාටවත් බෙහෙත් ගන්නට තැනක් රෙකමන්ඩ් කරන්නට යන්නේ නැතිය. අදහසක් පමණක් ඔලුවට දමනවා මිසක රෙකමන්ඩ් කිරීම ප්‍රායෝගික නැත්තේය. බොහෝ බෙහෙත් වලට වඩා ඇත්තේ රෝගියාගේ මනසට වැටෙන ආකල්පයන්ය. අතන හොඳයි, අර බෙහෙත් හොඳයි යන සංකල්පය ඔලුවට වැටීම මත රෝගය සුව වීමට ඇති ප්‍රතිශතයද වෙනස් වෙන බව සෑමාට හිතෙන්නේය. “ප්ලැසිබෝ“ හෙවත් “Placebo Effect“ එක අනුව සුව වීම හේතු සාධකයක් බව සෑමාට හිතෙන්නේය. කිටියාගේ සීයා අවසාන කාලයේ හෘද රෝගය සඳහා GTN (Glyceryl Trinitrate) භාවිත කළේය. එහි අතුරු ආබාධයක් ලෙස හිසේ රුදාව ඇතිවන බව කවුරුත් දන්නේය. ඔහු විට අදාල මාත්‍රාවට වඩා බෙහෙත් ඉල්ලුවේ පපුව රිදෙනා බව කියමින්ය. ඒ අවස්ථාවේදි ඔහුට ලබා දෙන්නේ ප්ලැසිබෝ ආකාරයේ කිසිම ක්‍රියාකාරීත්වයක් නැති බෙහෙත්ය. එය ගෙන ඔහු පවසන්නේ වේදනාව අඩු වූ බවක්ය. ඒ සියල්ලටම හේතුව ඔහුගේ සිතුවිල්ලය. එලෙසම සමහර දාට සෑමා දුටු විට ඔහු ඉල්ලා සිටින්නේ පොඩි අඩියක් ගසන්නට තිබුණා නම් හොඳයැයි කියාය. අසනීපකාරයා නිසාත් බෙහෙත් බොන නිසාත්, මධ්‍යසාර තහනම්ව තිබූ නිසා සීයාට අවුල්ය. විශේෂ අවස්ථාවක පොඩි ෂොට් එකක් හොරෙන් හෝ, කොහෙන් හෝ ලැබුණත් ඩේලි ගැසිලි බොරුය. විටක නිවසේ ඇති ඇපල් ජූස් එකක් වතුර අඩුවෙන් දමා සාදා දෙන්නේ මධ්‍යසාර කියාය. එක හුස්මට එය ගසා දමන සීයා ප්ලැසිබෝ ආතල් එකක් ගනු සැමා දැක ඇත්තේය.

සිංහල සහ ඉංග්‍රිසි බෙහෙත් ගැන සෑමාගේ දළ ආකල්පය නම් මෙසේය. උණක්, හෙම්බිරිස්සාවකට ඉංග්‍රිසි බෙහෙත් ශේප්ය. පීනස වගේ සීන් එකකට සිංහල බෙහෙත් කිරීම සාධාරණය. ඊට අමතරව සෑමා සිංහල බෙහෙත් හොඳ යැයි කියන්නේ අතක් පයක් කැඩුනු සීන් ජොයින්ට් කිරීම් සඳහාය. ඊටත් කළින් හදිසි අනතුරු වාට්ටුවේ හෝ සිට ඇන්ටනා වගේ යකඩ කූරු බස්සා ට්‍රයි එකක් දිය යුතුය. ගල් ප්ලාස්ටර් දමා හෝ ට්‍රයි කර බලා එහෙමත් සැට් වෙන්නේ නැත්තං සිංහල බෙහෙත්, පත්තු පිහිටය. සෑමා සතුව ඇත්තේ එහෙව් සිම්පල් ප්ලෑන් එකක් ය.

හොස්පිට්ල් පවා කිසිවෙකුට රෙකමන්ඩ් කරන්නට නොයායුතුය. සොයිසා හොඳ එකාට කාසල් හොද නැතිය. කාසල් හෝ සොයිසා හොඳ උන්ට ජපුර හොඳම නැතිය. රිජ්වේ නම් බහුතරයකට හොඳය. උණ නම් IDH තමා හොඳම කියූ විටක අයෙක් සෑමාට කිව්වේ පිස්සුද මහ ඉස්පිරිතාලේ තමා හොඳම කියාය. එසේ කියද්දි මීගමුව රෝහල ඩෙංගු වලින් ලංකාවේ හොඳම සේවාව ලබා දී තිබු බව පුවත්පත්වලද තිබුණේය. එතැනින්ම පෙනෙන්නේ හොඳ නරක තීරණය වන්නේ එක් එක් අයගේ සිතුවිලි මත බවය. එලෙසම කුමන හොස්පිට්ල් එකකදී හෝ කෙලවෙන්නේ කුමක් හෝ කරුමයක් නිසා බවය. 

මෑතකදී සෑමාගේ මිතුරෙකුට සෙම්ප්‍රතිශ්‍යාව දරුණු වී තිබුණේය. උදෑසන කෝල් එකක් දුන් පොර පැවසුවේ අඩේ ඉන්න බැහැ සෑමා උණ ගන්න වගේ කියාය. එහෙනම් බෙහෙත් ගනින් යැයි සුපුරුදු උත්තරය දුන් සෑමා කතා බහ කර දුරකථනය විසන්ධි කළේය. පසුව දහවල නැවතත් කෝල් එකක් ආවේ උගෙන්මය. එහා පැත්තේ සිට පොර අමාරුවෙන් කතා කළේය. උණ ඩබල් වී ඇත් බවක් සෑමාට දැනුණේය. එකවර එහා පැත්තෙන් දුරකථනය විසන්ධි වූ අතර නැවත නැවත ට්‍රයි කළද මිතුරාව සම්බන්ධ කර ගැනීමට සෑමාට නොහැකි වූයේය. අවසන උත්සාහය අතැර දැමූ සෑමාට පසුදා උදෑසන නැවත මිතුරාගෙන් ඇමතුමක් ලැබුණේය.

“මොකෝ *&) උනේ.. ෆෝන් එකක් ඕෆ් වුණා නේද??“

“ඔව් බං මට එකපාරට හෙම්බිරිස්සාවක් හැදුනා.. මම ෆෝන් එක ඕෆ් කරන් ගෙදර ආවා..“

යකාගේ සීන් එකක්ය. හෙමබිරිස්සාවක් ඌට එක පාර ඇවිත් ඇත්තේය. ෆෝන් එකත් ඕෆ් කරන්න තරම් කේස් එකක්ය. ඒ අමාරුව අපේ මිතුරාට දින කිහිපයක් තිබුණේය. අවසන් වතාවට සෑමා කිව්වේ උබට ඉංග්‍රිසි බෙහෙත් අරන් හරි ගියේම නැතිනම් සිංහල බෙහෙතක් ගනින් කියාය. මිත්‍රයා එම අදහසට එකඟ වන්නට ඇතිය. ඉංග්‍රිිසි බෙහෙත් අරන් දින දෙකක්ද ගතවී සුව නොවූ තැන මිතුරා එයට එකඟ වන්නට අැතිය. ඒ අනුව ඔහු සිංහල බෙහෙත් අරගන්නට ගොස් තිබුණේය.

“අඩෝ සෑමා කැ&^ සීන් එක බං..“

“ඇයි මොකෝ උනේ.. උබට හොඳ නැද්ද තාම??“

“මම ගියා බං සිංහල වෙදෙක් ලඟට.. අපෙ ගෙවල් ලඟම..“

“මොකො උනේ?? ඌ නස්නයක් වත් කලාද??“

“මොන නස්නද බං?? ඌ මට බේත් තුන්ඩුවක් ලියල දුන්නා..“

“ඉතිං ගිහින් ගනින් බේත් බඩු කඩේකින්..“

“රෙද්දෙ බේත් බඩු කඩේ.. ඌ ලියල දුන්නෙ පැරසිටමෝල්, ඇමොක්සිලින්, ෆෙක්සොෆෙන්ඩීන් දුන්නා බං..“

“හැමිනෙනවා.. උබ කලිනුත් ඉංග්‍රිසි බේත් ගත්ත නේ.. උබ දැන් මේකත් අරන් බිව්වද??“

“ඌත් යකාගෙ වෙදෙක් බං.. ආයෙත් ඔය බේත් ටික බොන්න පුලුවන්ද බං??“

“ඉතිං උබ මොකද කළේ...??“

“මම සිංහල බේත් කඩේකට ගිහින් තල් සූකිරියි, සිරප් එකකුයි ඉල්ල ගත්තා බං..“


Written_by_sAm_ශ්‍රී_9:45_pm17/01/17

පලි - කෙසේ හෝ අප මිතුරා දින කිහිපයකින් විශේෂඥ්ඥ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගෙන සුව වූ බව කිව යුතුය.

Monday, January 16, 2017

ඒක තියෙන්න ඕනි ඕනෙම වෙලාවට... - Should be there in Need !!


සෑමා ශිෂ්‍යත්වයට පෙර පාසැල් ගියේ ගමේ ඉස්කෝලයටය. එතැන අපේ කාලයේදී නම් අවශ්‍ය ප්‍රමාණයට පහසුකම් තිබුණා යැයි කිව හැකිය. එහෙත් එය සාපේක්ෂව ගණන් බැලීමක්ය. ගමේ දරුවන්ට තිබුණු පහසුකම් අනුව සියල්ලෝම පාසැල් ආ බව සැබෑය. එක වසරේ සිට කිසිදාක කකුලේ කිසියම් තුවාලයක් නොවන්නට බොහෝ දරුවන්, යහළුවන් සපත්තු පැලැදුවෝය. එය ඒ කාලයේ හැටියට නම් අවශ්‍යතා සම්පූර්ණ වීමක් බව කිව යුතුය. පාසැල් බෑග් පවා බොහෝ අයට තිබුණේය. හැම වසරකම අලුත් පාසල් බෑගයක් භාවිත කිරීමේ අවශ්‍යතාවයක් කිසිවෙකුට නොතිබුණු නිසා කිලිටි වෙනතුරු හෝ කැඩී බිඳී යනතුරුම බෑග් එක භාවිත කිරීම ඉතා සතුටුදායක කරුණක් වූවේය. බෑග් නොමැතිව කිසිවෙකුත් පාසල් ආවා සෑමාට මතක නැතිය. ක්‍රීඩා කිරීමට අවශ්‍ය විටක බැට් එකක් බෝලයක් සපයා ගැනීම එතරම් ලොකු ගැටළුවක් වූයේ නැතිය. සියලු අවශ්‍යතා සම්පූර්ණ වූ පාසලේ ගැමි කමක සුන්දරත්වයක් තිබූ බව නම් කිව යුතුය.

පහ වසරේ ශිෂ්‍යත්වය පාස වෙනතුරු සෑමා සිටියේ එම පාසලේමය. දිනක් අපේ පන්තිභාර කළ්‍යාණි ගුරුතුමිය කහ, කොළ, රතු වර්ණයන්ගෙන් LED බල්බ රැගෙන එන්නට කීවාය. ඒ Traffic ලයිට් සෙට් එකක් හදන්නටය. ඒ කාලයේ සිටම සර්කිට් එක්ක හැප්පුණු සෑමාට ලයිට් වැඩ කිව්වාම ඉහටත් උඩින්ය. ඉතින් පහුවදා උදේම ලයිට් තුන රැගෙන යා යුතුය. රැගෙන ගොස් මා දන්නා වැඩ කෑලි දැමිය යුතුය. ඒ කාලයේ LED බල්බයක් රුපියල් දෙකක් තුනක් අතර බව සෑමාට මතකය. ගෙදරට හොරෙන් ගත් බල්බ සෙට් එකක්ම සෑමා සතුය. කූරු කැඩුණු ඒවාද විසික් නොකර ලඟ තබා ගන්නේ කවදා හෝ වැඩක් වේවි යැයි සිතාය. එහෙත් ඒවායින් වැඩක් ගත්තේම නැති තරම්ය. ලඟ තිබුණු පාට තුනේ බල්බ තුනක්, වයර් කැබලි, රිජිෆෝම් කැබැල්ලක්, සහ බැටරි කැබලි දෙකක් මේසය මත තියා ගත් සෑමා පසුදා පාසල් ගමනට සූදානම් ව සිටියේය.

පසුදා පාසල ආරම්භ වුයේය. කළ්‍යාණි ටීචර් පන්තියට පැමිණ උදෑසනට ට්‍රැෆික් ලියිට් සෙට් එක සැදීමේ ව්‍යාපෘතිය සඳහා අප කණ්ඩායම් තුන හතරකට වෙන් කළා මතකය. කණ්ඩායම් හතරම සතුව සියළු උපකරණ තිබුණා මතකය. එහෙත් සෑමා සූදානම් කර ගත් උපකරණ එදා පාසැල් බෑගයේ නොතිබි බව කිව යුතුය. කලින් දා සූදානම් කර ගත්තාට රැගෙන විත් නොතිබුණේය. ටීචර් කිව්වේ නොගෙනාවාට කමක් නැහැ ඉන්න කට්ටිය කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන්න කියලාය. එහෙත් අප කණ්ඩායම සතුව උපකරණ තිබුණත් සියල්ලන්ටම එකතු වී කරන්නට තරම් එක සෙට් එකක් ප්‍රමාණවත් නොවූයේය. එකෙක් බැටරි අල්ලද්දී, තවකෙක් වයර් ඇල්ලුවත්, තුන්දෙනෙකුට සෑහෙන්න වැඩක් එහි තිබුණේය. තමන්ට දායක වෙන්නට බැරිවූ නිසා සෑමා පැත්තකට වූයේය. පැත්තකට වී බලා සිටියේ අවශ්‍ය වේලාවට නොමැති වූ වේදනාවෙන්ය. 

අනිත් උන් සියල්ලෝම වැඩය. සෑමාට ඇති වුයේ තමන් ගැනම කලකිරීමක්ය. උබ මහා මෝඩයෙක්. කල්පනාවක් නැති එකෙක්. බඩු ටික ගෙනාවා නම් වැඩේ කරන්නට තිබුණේය. යන හැගීමක් සෑමාගේ හිත කැකෑරුවේය. උන්ට ඒක කරන්න තේරෙන්නෙත් නැහැ. උබ මේක කළා නම් උබ අද ඩයල් එකක්ය. සෑමා හිත යටින් හැඩුවේය. එදා සෑමාට පැහැදිලි වූයේ කොච්චර තිබුණත්, අවශ්‍ය වේලාවට දෙයක් නැති නම් කිසිම වටිනාකමක් නැති බවක්ය. ඒක මහ කාලකන්නි හැගීමක්. හිත පුපුරුගහන, යටි හිත රිද්දන හැගීමක්.

නැවතත් සෑමා ඒ හැගීමෙන්ම පීඩා වින්දේ හය වසරේදී වාද්‍ය භාණ්ඩ රැගෙන එන්න යැයි ගුරුතුමිය කියා තමන්ට බට නලාවක් රැගෙන යාමට නොහැකි වූ දාය. පන්තියේම උන් බට නලා පිඹිද්දී සෑමා අත බටනලාවක් නොමැති වු අවස්ථාව මුළු ලෝකයක් මැද තමන් තනිවූ හැගීමක් ගෙන දුන්නේය. ඒකත් ඇත්තටම මහ කාලකන්නි හැඟීමක්. මහා තනිවීමක් දැනෙන් අවස්ථාවක්.

ඒත් අපි එච්චර නොලැබීමේ වේදනාවෙන් පීඩා විඳ නැති බව කිව යුතුය. පන්තියේ බහුතරයක් සපත්තු දාද්දි සපත්තු නොදා සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ යන එකෙක් මම වුණා නම්, වේදනාව කෝම වෙන්න පුලුවන්ද? ඇත්තටම මට, අපිට ඒක එච්චර දරාගන්න බැරි දෙයක් වේවි. ඉස්කෝලෙ හැම එකාම පෝලිමේ ගෙදර යද්දි අනිත් උන්ගෙ කකුල් අව්වට පිච්චෙන් නැතිව ආරක්ෂා වෙද්දි, දූවිල්ලෙන් බේරෙද්දි, පිට්ටනියෙ දුවද්දි ලස්සනට පෙනෙද්දි සපත්තු දෙකක් නැති එකම එකා මම වුණොත් අපිට ගාණක් නොතියෙයිද ?


ඇත්තටම සපත්තු කුට්ටම් ඉගෙනීම මනින සාධකයක් නොවන බව සැබෑය. එහෙත් වෙනස්කම ඇති කරන සාධකයක් බව කිව යුතුය. දරුවෙක්ගේ සිතේ ඇතිවෙන ඒ හැගීම නැති කරන්න අපිට එකතු වීමට අවස්ථාවක් ලැබිය යුතුය. ඒ අවස්ථාව ඇති කරන්න උත්සාහ ගන්නා බොහෝ තැන් වල සයිබර් අවකාශය විශාල පිටුවහලක් වූ බව කිව යුතුය. නගරයේ සිටින නැති බැරි අයට සරණක් ලැබෙන අවස්ථා බොහෝය. දුෂ්කර දුර ඈත ගම් වල දරුවන්ට එහෙම අවස්ථාවක් ලැබෙන අවස්ථා විරලය. අන්න ඒ තැනකදී අපි එකතු විය යුතුය. 



ඉහත රූපයේ සිටියේ දිඹුලාගල, කන්දේගම කණිෂ්ඨ විද්‍යාලීය දැරියන් දෙදෙනෙක්ය. “අරුනළු“ සමාජ සත්කාර නමින් සූදානම් වන්නේ කන්දේගම පාසලට උපකාර කරන්නටය. බ්ලොග් ලියන සිරා (ඔහුගේ ලිපිය මෙතැනින්) පසුගිය දා පාසැල බලන්නට ගියේ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සොයා බලන්නටය.


විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලයේ කීප දෙනෙකු, සමග අරුණළු නියෝජිතයන් එම පාසලට ගොස් ලබා ගත් විස්තර කිහිපයක් ඡායාරූප සහතවම පහතින් ඇත්තේය.


ඉතාමත්ම අබලන් තත්වයේ ඇති ගුරු නිවාස. මේවායේ ඇති අවම පහසුකම් සමග ගුරුවරුන් කල දවස ගෙවන්නේ මේ විද්‍යාලයේ දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසාමය.


චිත්‍ර‍, නැටුම් ඇතුලු සෞන්දර්යය විෂයන්ට අදාළ පන්ති පැවැත්වීම පිණිස ඉඳිකිරීම ආරම්භ කල පන්ති කාමර, ප්‍ර‍තිපාදන නොමැති කමෙන් වැඩ කටයුතු අතර මගය.



භාවිතයට ගත නොහැකි සංගීත භාණ්ඩ වලින් යුත් සංගීත කාමරය, ඉඩකඩ අවම වීමේ ගැටලුව මත ගබඩා කාමරයකය.

මේ සියල්ල සටහන් තබන්නේ අහස අල්ලන්නට තරම් බලාපොරොත්තු රැසක් තබාගෙන නොවේය. අවශ්‍ය තැනදී, අවශ්‍යය පිරිසකට සරණක් වීමටය. සරණක් බලාපොරොත්තුවෙන් ඔවුන් තමන්ගේ ජීවිත නවත්වා නැතිය. තමන්ගේ අධ්‍යාපනය, ක්‍රීඩාව නවත්වා නැතිය. දරුවන්ගේ දෙමාපියන් පාසල වෙනුවෙන් තමන්ට හැකි මට්ටමෙන් සියළු සේවාවන් කරන්නෝය. ඒ අතරම ගුරුවරු තම ශ්‍රමය, විටක මුදල් පවා කැප කරන්නේ දරුවන්ට යහපත් කිරීමටය. එහෙව් තත්වයකදී අපට කළ හැකි යමක් ඔවුන්ගේ ශක්තිය වෙනුවෙන් වෙන් කිරීම යහපත් බව කිව යුතුය. 

පහතින් දක්වා ඇත්තේ ගිණුම් විස්තරයන්ය. ඔබේ ආධාර එම ගිණුමට බැර කළ හැකිය. ද්‍රව්‍යමය ආධාර ඇතිනම් පහත අංකය අමතා සූදානම් කළ හැකිය. සියළු කටයුතු විනිවිදව සිදු කරන බව කිව යුතුය. එලෙසම 2017 මාර්තු මස අග බාගයේ දී පාසල වෙත ආධාර රැගෙන බස් රථයක් ගමන් කරන්නේ දරුවන්ට, ගුරුවරුන්ට සහ ගමට සිනහවක් රැගෙනය. 

Account Name : Arunalu Manushathwaye Sathkaraya
Account No      : 121261002661
Bank                 : Sampath Bank, Gampaha Super Branch

අමතන්න - 071 804 3915


Written_by_sAm_ශ්‍රී_08:45pm_15/01/17

Friday, January 13, 2017

කාන්තා ටයර් කතාවක්... - Female Tyre Story !!


ටයර් කිව්වාම මතක් වන්නේ ටයර්ය. ඉස්කෝලෙ කාලේ නම් ටීචර්ගේ සාරියේ අස්සෙන් පේන ටයර්ය. ලොකු වෙද්දී ද වෙනසක් නැතුව සිහවන්නේ ඒ ටයර්මය. පොඩිම කාලේ නම් ටයර් වලට කලින් මතක් වෙන්නේ රිම් එකය. ෆුට් සයිකලයකින් හෝ ඉවතලන රිම් එකක් කෝට්ටක් අස්සේ ගසාගෙන පැද යාම ඒ කාළේ නම් ක්‍රීඩාවය. දැන් උන්ට ටයර් කිව්වාම මතක් වෙන්නේ කාර් ගේම් එකක් විය හැකිය. රිම් එකක් අස්සේ කෝට්ට ගහං දුවනවා කිව්වාම සිහි වන්නේ ටෙම්පල් රන් වැනි ඇන්ඩ්‍රොයිඩ් ගේම් විය හැකිය. ඒත් මේ කියන්නට යන්නේ ටයර් ගැන කතාවක්ය. 

ටයර් කිව්වාම කස්ටිය ලෑස්ති වෙන්නේ ටීචර් කෙනෙක්ගේ සාරිය අස්සෙන් දුටු ටයර් එකක් ගැන කතාවක් අසන්නටය. මේ එහෙම එකක් නෙවේය. මේ ඇත්තටම රෝද හතරක ටයර් ගැන කතා සැට් එකක්ය. හොඳම කතාව අන්තිමට නිසා පරිස්සමට කියවිය යුතුය. ටයර් පරිස්සම් කර ගත යුතු බව තේරෙන්නේ ටයර් දාන්න ගියාමය. කුමන හෝ වාහනයක් පැදවීමේදී අපි ටයර් ගැන සිතන්නේ සුළු වෙන්ය. ටයර් එකක තිබිය යුතු ප්‍රශස්ථ වායු ප්‍රමාණය පවා විටක නොසලකන තරම්ය. අන්තිමට වැඩේ පත්තු වෙන්නේ ටයර් එකක් දාන තැනට වැඩ සිද්ධ වීමෙන්ය. හුලං ප්‍රමාණය අඩුවෙන් ධාවනය කිරීමේදී අනිවාර්යෙන් ටයර් එකට ඇණ, කම්බි ඇනෙන සම්භාවිතාවද වැඩිය. ඒ හුලං අඩු නිසා ටයර් එක මාර්ගය සමඟ ගැටෙන ප්‍රමාණය වැඩි නිසාය. කෙසේ හෝ දැන් ඕනෑම ෂෙඩ් එකක හුලං අනිවාර්යයෙන් ඇති නිසා සතියකට වරක්  හෝ හුලං ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත්ය. එලෙසම බොහෝ අය නයිට්‍රජන් වායුව පිරවීමට යොමුව ඇති නිසා, එහි වාසි බහුල නිසාත් ටයර් නයිට්‍රජන් වලින් පුරවා ගැනීම වැදගත්ය.

මීට දින කිහිපයකට ඉහතදී සෑමාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අයිනේ නවතා තිබුණේ ටිපර් රථයක්ය. එය සෑමාගේ ඥාති සහෝදරයෙකුගේ මිතුරෙකුගේ එකක්ය. දින කිහිපයක් එක දිගට එතැන තිබියදී අපිට කිසිම අවධානයක් නැති වූයේය. එහෙත් ටිපර් එක ගැන අවධානයෙන් සිට ඇත්තේ රෑ පුරා ගම පීරන සොරුන්ය. කෙසේ හෝ හතරවන දිනයේ දී ටිපර් එකේ අමතර ටයර් එක ගලවාගෙන ගොස් තිබුණේය. එය ගලවාගෙන යන්නට කිසිදු බියක් නොමැතිව රාත්‍රී එකට පමණ ත්‍රීවීල් රථයක් පැමිණ ඇත්තේය. ඉන්පසු බස් රථයක් පැමිණ ටයර් එක පටවාගෙන යන බවත් සියල්ල CCTV කැමරා වල සටහන්ව තිබුණේය. හන්දියේ සිට සිද්ධිය වූ ස්ථානය දක්වාම කඩවල් තුනකම සිද්ධිය එකම ආකාරයෙන් පටිගත වී තිබුණේය. සියළු දර්ශන නරඹා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර සුපුරුදු පරිදි එම දර්ශණ මතක සටහන් පමණක් බවට පත්ව තිබුණේය.

ඊටත් සතියක් යන්නට පෙර සෑමාගේ නිවසට කිලෝමීටර දෙක තුනක් එහාට වන්නට තවත් ටයර් ඉස්සිල්ලක් සිදු වූයේය. පාර අසල නවත්වා තිබුණු ත්‍රී රෝද රථ දෙකකට වැඩේ සැට් වී තිබුණේය. ත්‍රී වීල් දෙකේම පසුපස රෝද දෙක බැගින් ගලවා රෝද හතරක් රැගෙන ගොස් තිබුණේය. ඒ එකම හොරු සැට් එක යැයි ගමේ උන් කියන්නෝය. සිද්ධීන් දෙක අතර මැද දිනයක හන්දියේ ෆාමසියට කඩා තිබුණේය. සිද්ධීන් තුනම එකම පුද්ගලයන් විසින් සිදුකරන ලද්දේ යැයි සැක සහිතය. සිද්ධීන් තුනටම හවුල්ව ඇත්තේ ත්‍රී රෝද රථමය. ඒ අවස්ථා තුනේදීම ගමන් කර ඇත්තේ එකම රථය බව නිශ්චිතය. පොලිසිය කෙසේ වෙතත් ඕනෑම හොරකමක් ගමේ උන් මැදිහත්ව අල්ලා දුන්නේ නැත්නම් කිසිදු පරීක්ෂණයක් ඉදිරියට යන්නේ නැතිය. රූපවාහිනී ප්‍රවෘත්ති වලට පවා පෙන්වන හොරකම් වලට සම්බන්ධ CCTV දර්ශණවල හොරු අල්ලන්නට පොලිසියට බැරිවී ඇත්තේ තාක්ෂණයේ හෝ හැකියාවේ අඩුපාඩුවක් නිසා නොවේය. සියල්ලටම හේතුව උවමනාවක් නැති කම හෝ මුදලට යට වීමය.

තත්වය එසේ තිබියදි සෑමාටද ටයර් සීන් එකක් පත්තු වුණේය. හිත හිරිවැටෙන, පොකැට් එක හඬා වැටෙන සීන් එක එයය. පිටුපස ටයර් දෙක ගෙවී ඇති නිසා අලුතින් ටයර් දෙකක් එක වර දැමීමේ කටයුත්ත පත්ත වූයේය. හිත හදාගෙන සාධාරණ මුදලකට ටයර් ජෝඩුවක් ගන්නට තැනක් සැට් කර ගත් සෑමා ටයර් කඩේට ගොස් බඩු ගනිද්දී සවස් වී තිබුණේය.

“අඩේ මල්ලී හවස නිසා ගෝලයා නැහැ.. ඔයාට අවුලක් නැති නම් ටයර් දෙක අරන් ගිහින් පස්සෙ දාගන්න. නැතිනම් හෙට එන්න..“

ටයර් කඩේ අයියා සෑමාගේ සිත රිදෙව්වේ එලෙසින්ය. ආයෙත් ඌ හමුවට යනවාට වඩා ටයර් දෙක පටවාගෙන ඇවිත් ගෙවල් අසල ටයර් කඩේකින් දා ගැනීම උචිත යැයි සිතු සෑමා ටයර් දෙක පටවාගෙන ගෙදර ආවේය. පසුදා උදේම ටයර් දෙක දුටු කිටියා අසන්නට ගත්තේ ප්‍රශ්න වැලක්ය. ටයර් දෙක තිබුණේ පැකින් පිටින්ය. සාමාන්‍යයයෙන් ටයර් පැක් කර එවන්නේ කහ පාට හෝ නිල් පාට ඉටිකොළ වැනි පටි වලින් (පහත රූපයේ පරිදි) බව හැමෝම දන්න කතන්දරයක්ය. එසේ තිබියදී කිටියා තමන්ගේ විරෝධතාවය දැක්වූයේ සෑමා ගෙනා ටයර් ජෝඩුවටය.



“මේ මොනාද මේ??“

“ඊයෙ ගෙනාපු ටයර් ජෝඩුව..“

“ඇයි දැම්මෙ නැද්ද තාම??“

“දාන්නෙ කෝමද හවස් වුණා ගනිද්දි..“

“අපෝ ඕක නම් දාන්න එපා හැබැයි.. වෙන දෙකක් දාන්න..“

“ඒ මොකෝ ඒ.. මේ ගානට සැට් කර ගත්තෙ අමාරුවෙන්.. අනික ගම්පහ ගිහින් අරන් ආවෙ..“

“ඊයා.. පිටිපස්සෙ රෝද දෙක කළු පාට තියෙද්දි.. ඉස්සරහ රෝද දෙක කහපාට වුණාම.. අනික බලන්න ඒ කහපාට කැත..“


Written_by_sAm_ශ්‍රී_9:15pm_13/01/16

පලි - සෑමා ගෙනා ටයර් ජෝඩුව පැක් කර තිබුණේ කහපාට ඉටි කොළ පටි වලින් බවත්, සිද්ධියෙන් පසු කිටියා වෙනුවෙන් දින තුනක නිහඬතාවයක් පවත්වා, උපහාර දක්වා පෝස්ට් එක ලියූ බවත් සලකන්න.

Saturday, January 7, 2017

මේසන් බාස් කතන්දර... - Masonry Stories !!




නෝමන් සීයා යනු එච්චර වයස ඩෑල් එකක් නෙවේය. දුරින් නම් අපේ නෑයෝය. නෑකමට අනුව නම් සීයාය. මෑන්ස් මේසන් බාස්ය. සෑමාගේ අම්මා නම් කියන්නේ ‘නෝමන්‘ සීයාට ලැබී ඇත්තේ නියම නම කියාය. මෑන්ස් කොච්චර වැඩ තිබුණත් ඕනෑම වැඩක් භාර ගන්නේය. ඉන් පසුව වැඩ අන්ජ බජල් වී ඉවර කර ගැනීමට නොහැකිව තවත් වැඩක් අතරමඟ දමා යන්නේය. ඒ කාලේදී “නෝ මෑන්“ ය. ඒ අන්දරස්දහන් වන සමය නෝමන් සීයා, නෝ මෑන් වන නිසා නම නම් හරිය. කෙසේ හෝ අන්තිමට පැමිණ වැඩ අවසන් කරන නිසා මෑන්ස් ට වැඩ ඇත්තේය. කොහේ වැඩ කළත් උදේට ලංකාදීපය පෙරලීමට පොර සෑමලෑ කඩේට එන නිසා නෝමන් සීයා සුපුරුදු දසුනක්ය. බොරු කළබල නිසා කතා කරන්නට අවස්ථා නැති වුණත් මෑතකදී බාස් කතන්දර කිහිපයක් පොර දිග හැරියේය.

දිනක් නෝ මෑන් සීයා සෑමලෑ නැදෑ නිවසක වැඩය. මෑන්ස් තාප්පයක ගඩොල් අල්ලන සීන් එකක් කරමින් සිටියේය. සාමානයයෙන් ටයිල් හෝ ගඩොල් ඇල්ලීමට පෙර විශාල වතුර භාජනයක ගිල්ලවන්නේය. ඒ ගඩොල් තෙත අල්ලා සිමෙන්ති හොදින් ග්‍රහණය වීමටය. නෝ මෑන් සීයාගේ අත් උදව්වට සිටි ඩෑල් එක එදා නොසිටි හෙයින් එදා අත් උදව් දී ඇත්තේ අපේ සහෝදරයෙක් ය. 

“පුතා ඔය ගල් ටික තෙමෙන්න දාන්න“ යැයි නෝ මෑන් සීයා විධානය දී ඇත්තේය.

අපේ මෑන්ස් හෙඩ් බාස්ගේ විධානය පිළිගෙන භාජනය පිරෙන තුරු ගල් සියල්ල වතුර එකේ බස්සවා ඇත්තේය. මොහොතකින් නෝමන් සීයා ගල් ගන්නට භාජනය බලද්දී තාප්පයේ අත්තිවාරමට ගෙනා කළු ගල් සැට් එකක් වතුර භාජනයේ තිබී ඇත්තේය.

“ඈ බං ගල් ටික දැම්මද භාජනයට ??“

“ඔව් මේ දාල තියෙන්නෙ..“

“මරු ගෝලයා.. ගඩොල් නෙ බොල පොඟවන්නෝනි. කළු ගල් පොගෝලා අහවල් එකක් කරන්නද??“

එදා සිට අපේ ඩෑල් එක දකිද්දී නෝමන් සීයා මතක් කරන්නේ කළු ගල් පොඟවපු සීන් එකමය.

****

මෑතකදී නෝමන් සීයා දේව වරමින් සාස්තර කියන පොට් එකක ටොයිලට් එකක් බැඳීමට ගොස් ඇත්තේය. ගිය පළමු දිනයේම සාස්තර කියන කාන්තාවගේ කතන්දර නෝමන් සීයාට සහ ගෝලයාට දිරවා නැත්තේය. වැඩ පටන් ගත් මොහොතේ සිට සැරින් සැරේ ඇය පැමිණ කියා ඇත්තේ එකම කතාවය.

“දෙවියන්ගේ වැඩ වලට සල්ලි ගන්නෑ..“

කියමින් ඇය පැයකට වරක් ඔවුන්ට පැමිණ සිහි කැදවා ඇත්තේය. එය හිතට ගත් ගෝලයා කියා ඇත්තේ නෝමන් අයියේ වැඩේ අල්ලලා දාලා යමු. අද නම් අපිට මේ ගෑණි සල්ලි දෙන්නේ නැහැ කියාය. 

“තෝ කට වහං වැඩ කරපං මම නේ සල්ලි ගන්නේ..“ යැයි උත්තර දී නෝමන් සීයා දිනය අහවර වෙන තුරු වැඩ කර ඇත්තේය. අවසන කුලිය ඉල්ලීමට ගිය විට ඇය සුපුරුදු පිළිතුර දී ඇත්තේය.

“දෙවියන්ගේ වැඩ වලට සල්ලි ගන්නෑ..“

“අනෙ මේ දෙයියන්ගෙ අම්මට *&කන්නෙ නැතුව සල්ලි දියං මෙහෙට..“

කියූ සැනින් ඇය ඇතුලට දිව ගොස් මුදල් රැගෙන විත් ඇත්තේය. ඉතිං නෝමන් සීයා දෙයියන්ගේ අම්මාගෙන් පවා කුලියක් අය කර ගත් වැඩ්ඩෙක්ය.

****

බාස් ලා අතර ආවුද වලට සීතල යුද්ධයක් ඇති බව නොරහසක්ය. එකෙක් තවකෙකුට ආවුදයක් දෙන්නේ කලාතුරකින්ය. ඒ දුන්නත් කොන්දේසි සීයයක් උඩය. එහෙව් තත්වයක් යටතේ නෝමන් සීයා තව බාස් ඩෑල් එකකින් කියතක් ඉල්ලා ඇත්තේය. 

“අනේ බං නෝමන් කියතේ දැත්තක් කැඩිලා බං දෙන්න විදියක් නැහැ..“

කියමින් පොර, නෝමන් සීයාගේ වැඩේ මඟ හැර ඇත්තේ ය. කිසිම අවුලක් නැතිව එතැනින් පිටත්ව ගිය නෝමන් සීයා පොරට රිටන් එකක් දෙන දවස එනතුරු බලා සිට ඇත්තේය. කෙසේ හෝ කාලාන්තරයක් ගොස් පොර නැවත නෝමන් සීයා හමුවට පැමිණ ඇත්තේ දෙපැත්තට අදින විශාල කියතක් ඉල්ලාගෙනය.

“නෝමන් මට අර කියත දියං බං. ගහක් තියෙනවා කපා ගන්න..“

“අනෙ බං මහතුවෝ මගෙ කියතේ දැති දෙකක් කැඩිලා දෙන්න විදියක් නෑ ඕයි..“

මහතුවා අන්දොස් වී නෝ කතා, නෝ සිනා ඇතුව ඉවත්ව ගිය බවක් නෝමන් සීයා කියා සිටියේය.

****
Written_by_sAm_ශ්‍රී_09:40pm_06/01/17

Thursday, January 5, 2017

සීයාගේ ෂොට් එක.. - Grand pa's Share !!


මුලින්ම කිව යුත්තේ මල ගෙවල් තමයි ආතල් කියාය. මීට පෙර පෝස්ට් කිහිපයක මල ගෙවල් ආතල් ගැන සෑමා ලියුවේය. අවුරුද්දේ ජනවාරි පළවෙනිදාම සැට් වුණේ මල ගෙයක්ය. අපේ කොල්ලෙක් ගේ සීයා කෙනෙක්ය. පළවෙනිදා දහවල සෑමාට කෝල් එකක් ආවේ තවත් මිතුරෙක්ගෙන්ය.

“සෑමා හොඳ නිවුස් එකයි, නරක එකයි දෙකක් තියෙනවා.. මොකක්ද ඉස්සෙල්ලම ඕනෙ..??“

“කැමති එකක් කියපං...“

“හොඳ එක මචං.. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!“

“අහ්.. එසේම වේවා.. දැන් කියාං බලන්න නරක එක..“

“අඩො අපෙ අරූගෙ සීයා නැති වෙලා..“

“හුප්පට ඒමද?? ඒක නරක නිවුස් එකක් නෙවෙ මචං, අන්තිම කාලෙ සීයා අමාරුවෙන් හිටියෙ. අරූ මට කිව්වා රෑට ඇදෙන් පනින නිසා බිමට මෙට්ටයක් දාල දුන්න කියලත්..“

“එහෙනම් ගුඩ් නිවුස් එකක් බං.. !!“



අන්තිමට වූයේ අපි හතර පස් දෙනෙක් මල ගෙදරට සැට් වීමය. අපෙ මිත්‍රයා අපිට ගෙනියන්නට දෙයක් ඉතුරු නොකොට සියල්ල සෙට් කර තිබුණේය. සුපුරුදු ටේබල් එක, වාහනේ ඩිකිය කර ගත් අපි සැනසල්ලේ සීයාට පිං අනුමෝදම් කරන්නට සූදානම් වීය. පුන්‍යානුමෝදනා කරන ලද පැන් බෝතලය අප මිතුරෙකු විවෘත කළේය. ඒ අතර අප හතර දෙනෙකුට පැන් බෙදා දීමට ප්ලාස්ටික් කප් හතරක් වූයේය. එක අයෙකු කප් එකක් ප්‍රතික්ෂේප කළ නිසා අපි තිදෙනා වට වීමෙන් සීයා වෙනුවෙන් අවසන් කටයුතු ආරම්භ වූයේය. එක් අයෙක් ප්‍රතික්ෂේප කළද පැන් කප් 4කට වත් කර තිබූ නිසා වැඩි වූ පැන් පිරුණු කප් එක සීයා වෙනුවෙන් වෙන් කිරීමට තීරණය වූයේය.

වට පිටාව පාළු වූ හෙයින්ද, විශාල පාළු වත්තක් වූ හෙයින්ද, කළුවර නිසාම ආරම්භ වූයේ හොල්මන් කතන්දර වටයයි. කිසිම ගාණක් නැතුව කතන්දර එකින් එක එළියට ආවේය. සීයාගේ ෂොට් එක පැත්තකය. අයෙක් කීවේ මචං ඉන්න ගමන් ෂොට් එක අඩු වෙනවද බලපං කියාය. ජීවත්ව ඉන්න කාලේ සීයා ආතල් චරිතයක්, අඩි පුඩි ගහන චරිතයක් බව ආරංචි වූ නිසා කප් එක පිළිබඳ අවධානය වැඩි වූයේය. හොල්මන් කතා අවසන, ආතල් කතාද, ඔපීස් කතාද, ආරම්භ වූයේය. අවසන් වූයේය. පැත්තක තිබුණු සීයාට පිං පිණිස සීල් කැඩූ බෝතලය කාලක්ක්‍රියා කරමින් තිබුණේය. අවසන් කාල ඉතිරිව තිබූ හරියේදී එතැනට ආවේ අපි නොදන්නා ඩෑල් එකක්ය. රස්නය හා කඳ සහිත ඕනෑම දෙයකින් ආතල් එකක් ගන්නා මට්ටමේ සිටි නිසාම ඩෑල් එක බයිටට අල්ලා ගැනීමට හැකි වූයේය.

“අම්මට හුඩු අයියා දැන්ද යන්නේ??“

“ඔව් මල්ලි.. ඔයාල කවුද??“

“අපි අරූගෙ යාලුවෝ.. අයියා කාගෙ කවුද?“

“මම සුදු අයියගෙ (අපේ එකාගෙ තාත්තාගේ) අසල්වැසියෝ“

“එල එල.. එහෙනම් හීනියට එකක් දාමු.. මම දැක්කා කැරම් ගහන තැන අයියා දුමක් එහෙම දාගෙන ඉන්නවා..“

“කමක් නෑ මල්ලි මම මේම යනවා.. මම පොඩ්ඩක් දාගෙනම තමයි ආවේ..“

“පිස්සු කෙලින්න එපා.. එකක් ගන්න..“

“හරි මල්ලි ඔයාලට මදි පාඩු නම් අපි බඩු අරන් එමු.. කන්ටැක්ස් තියෙනවා.. මම ඒනම් පොඩ්ඩක් දාගත්ත ඕං..“

බුවා අපේ මට්ටමට සිටියාද, නැතිද මීටර් නැතිය. එහෙත් පොර ඒ කාලේ කතන්දර ටිකක් ඇඳ බෑවේ අපෙ උන් එක්ක එක ක්ලාස් එකේ එකට හිටියා වගේය. 

“මතකද මල්ලි සමීරයා...“

“මොකෝ නැත්තෙ.. අර අතුලයගෙ කඩේ එහා පැත්තෙ හිටියෙ..“

“අන්න හරි.. නයිට් කඩේ අතුලයා..“

“හැබැයි අයියෙ අතුලයා ඩයල් එක නේද??“

“නැතුව උබලට මතකද අපි සී.ටී.බී බස් කාරයෙක්ට ගැහුවා..“

“අපිට සීන් එක ආරංචි වුණා.. මොකක්ද ඇත්තටම උනේ බං අයියෙ..“

“මේකයි මල්ලි සීන් එක.. කොන්දා අපෙ සමීරයගෙන් ගේම ඉල්ලුවා. අපිත් හිටියනේ සීන් එකේ. ප්‍රියන්තයා පැනපු හැටියෙ කොන්දට ගැහුවා. අනික මහ රෑ වුණේ සීන් එක. අපේ උන් ඔක්කොම ඇඳල අරන් කොන්දටයි, ඩ්‍රැයිවර්ටයි දෙන්නටම කෙලියා. පැනලා දිව්වා. අන්තිමට හැංගුනේ අතුලයගෙ කඩේ.“

“ඒකනෙ අයියෙ කිව්වෙ අතුලය හොඳ එකා කියල. සමීරයා නම් මහ චාටර් ඩෑල් එක.“

“එහෙම පොඩි සීන් එකක් තියෙනවා. පොලිසිය ආවා මල්ලි අපිව හොයාගෙන. අතුලයා තමයි අපිව කඩේ ඇතුලෙ හංගලා තිබ්බෙ. අනික ඌට ගම්පහ පොලිසියෙ කන්ටැක්ස් ඒම තියෙනවා.“

“අයියා මොකෝ කියන්නෙ තව අඩියක් ගහනවද??“

“නෑ බං මල්ලි මම දැං යන්නෝනි. දෙකත් පහු වෙලා නේ. කෙල්ලො දෙන්නා බලං ඇති..“

“අම්මට හුඩු.. අයියට ලොකු ලමයි ඉන්නවද??“

“ඔව් මල්ලි එක්කෙනෙක් මේ අවුරුද්දෙ විභාගෙ, අනිත් එක්කෙනා කැම්පස්..“

“හරි අපි මේම කරමු. දානෙ දවසට සෙට් වෙමු.“

“ආයෙත් අහලා මල්ලි මගෙ නම්බරේ ගහ ගනින්. එද්දි කෝල් එකක් දියං. වල් ඌරද, ඌරද, හරකා නැතුව ඕනෙ එකක් සෙට් කරල තියන්නම්.“

“අයියගේ නම??“

“මම ආනන්ද..“

ආනන්ද අයියාගේ දරුවන් ගැන ඉතා විමසිල්ලෙන් අසා ගෙන, ඔහුව පිටත් කිරීමට කාලය එළැඹ තිබුණේය. බයිට වැඩි වුණාම බෝරිං ය. සුදුසු කළ පිටත් කළ යුතුය. අපේ උන් සමීරයාව, අතුලයාව, මතක් කරන්න යැයි පවසමින් ආනන්ද අයියාව වීල් එකට නැග්ගවීය. ඒත් උන් දන්නා අතුලයෙක්, සමීරයෙක් නැතිය. 

“අයියේ මුලක් තියෙනවා පරිස්සමෙන් රිවස් කරන්නේ..“

“හරි මල්ලී.. මම කල්පනාවෙන්..“

“හෝව්.. හෝව්.. හෝව්.. වැඩියි, වැඩියි.. පස්සට ගත්ත වැඩියි..“

“ඇයි ඇයි මොකෝ මල්ලි..“

“හෙමින් ගන්න අයියා..“

“පොඩ්ඩක් හිටහල්ල යකුනේ මම තාම වීල් එක ස්ටාර්ට් කළෙත් නැහැනේ..“

“හරි බං අයියේ.. පෙර දැනුම් දීමක් කළේ..“

****

ආනන්ද අයියා මාරු වුණේ දානය දා බයිට් සැට් කරනවා කියාය. ඉන්පසු අපේ කතන්දරය. ආනන්ද අයියාගේ දියණියන්ගේ විස්තර සොයන්නට ගිය එකා විනාසය. වීල් එක ස්ටාර්ට් කරන්නට පෙර “හෝව් හෝව්“ කියූ එකාද විනාසය. 

“අඩෝ.. සීයා ෂොට් එක දාලා..“

“කෝ යකෝ සීයගේ ෂොට් එක..??“

සීයාගේ ෂොට් එක මිසින්ය. අපි ආනන්ද අයියා බයිට් කරන අතර සීයා ඇවිත් අඩියක් ගසා ගිහින්ය. පැත්තක තිබූ පපඩම් බෑග් එකද පේන්නට නැතිය. අපෙ උන් අතින් පරීක්ෂණ ආරම්භ විය. අවසන නිගමනය වූයේ. එක්කෝ සීයා ඇවිත් ෂොට් එක දමාගෙන යන්නට ඇතිය. නැතිනම් ආනන්ද අයියාගේ වෙස් ගෙන සීයා වීල් එකේම පැමිණ අඩියක් ගසා අපිටද ආතල් දී පිටත්ව යන්නට ඇතිය.

ආනන්ද අයියා සිරාවටම ගමේ ඩයල් එකක් දැයි බැලීමට සිකුරාදා බණට සහභාගී වී බැලිය යුතුය. !!

Written_by_sAm_ශ්‍රී_Perera_11:15pm_04/01/16

Monday, January 2, 2017

ලොකු සීන් එකක් නෑ ඕයි... - No Big Deal !!!!


ඊයේ කස්ටියට උදා වූයේ අලුත් එකක් ය. ඒ 2017 ය. එහෙව් එකේ පෝස්ට් එකක් ලියන්නට ඕනෑ යැයි සෑමාට සිතුනද සුබ පැතීම කෝමත් අවුට් ඔෆ් ෆැෂන් නිසා කලින් අවුරුදු උදාවන් ගැන සෑමා සිතන්නට වූයේය. එහෙම බලාගෙන යද්දී අවුරුදු උදාව යනු ලොකු සීන් එකක් නොවන බව සෑමාට සිතුණේය.





ඉස්කෝලෙ යන කාලයේ නම් අවුරුදු උදාව දැනෙන දෙයක් වුණේය. දෙසැම්බර් නිවාඩුව නිසා අම්මට හුඩු අවුරුද්ද ඉවරයි දැන් නිවාඩු කියා සිතුණේය. අලුත් පොත් සැට් එකක් ලැබෙන්නේය. පොත් වලට පිට කවර දැමීමේ සිටම අලුත් සීන් එකක්ය. බ්‍රවුන් පේපර් දමා ඉටි කවර දැමීම සිට අලුත් බවක් දැනෙන්නේය. අලුත් අච්චු පොත් දැක්කාම, සුවඳ දැනුනාම එන මතකය අලුත්ය. ඇත්තටම අලුත් වසරක් ඇති බව දැනෙන්නේය. අලුත් ඇඳුම් ගන්නා සීන් එක සහ අලුත් යුනිෆෝම් මැසෙන තැන දක්වා අලුත්ය. අලුත් පන්තිය, අලුත් තැන යන සීන් මතක් වෙද්දී අවුරුද්දක් බව දැනෙන්නේය. දැන් කවර දැමීම ද එතරම් අමාරු කෝස් එකක් නොවන්නේය. රුපියල් 240/-ට කවර පැක් එකක් ඇති බව දැක්කේ බුක් ෂොප් එකකට ගිය වෙලාවකය. පොත් දහයකට කවර සැට් එකක් එහි අන්තර්ගතය. කරන්නට ඇත්තේ පොත මැද්දට තබා නැවීම පමණක්ය. පුංචිම කාලේ බ්‍රවුන් පේපර් වලින් කවර දැමූ අපි, පාට කැලැන්ඩර් වලින් කවර දැම්මේ ඇඩ් එකටය. විටක ටයිම්ස් හෝ ඔබ්සවර් ඇතුලේ එන මැගසින් එකක පට්ට කෑල්ලක් ඉන්න පිටුවක් අපේ පොත් කවර හැඩ කළේය. ඒ නම් ලොකු පන්ති වලදීය. පසු කළෙක ඩයරියක හොඳ කුෂන් කවරයක් ගෙන පොතට එබ්බවීමෙන් කවරයක් ලෙස භාවිත කළ අවස්ථාද ඇත්තේය. ඒ සියළු ඒවා අපට දුන්නේ අලුත් අවුරුද්දක හැඟීමක්ය.

සෑමා ගෙදර තිබූ දින දර්ශණය ගලවා විසි කළේ අලුත් එකක් ලැබුණු නිසාය. විසි කළ දින කැලැන්ඩරයේ ඉතිරිව තිබුණේ දෙසැම්බර් පිටුව පමණක් නොවේය. සැප්තැම්බර් පිටුවේ සිට දෙසැම්බර් දක්වාම ඉතිරිව තිබුනේය. ඒ කියන්නේ කැලැන්ඩරය පවා වල පල්ලට ගොස්ය. ඒ වගේම අත බදින ඔරලෝසුව පවා භාවිතයෙන් අඩු වී යන්නේ අතට ආ ස්මාර්ට් ෆෝන් එක නිසාය. කරන්නට දෙයක් නැතිය. කටයුතු කාරණා ලේසි පහසු වෙද්දී වැඩකට නැති දේ අවුට් ඔෆ් යූස් වන්නේය. අත් ඔරලෝසුව අවුට් ඔෆ් ෆැෂන් යන එකක් නැතිය. මොකද වෙලාවට වැඩ නොකරන එකා පවා එදා සිට තඩි අත් ඔරලෝසු පැලැදීමේ ෆැෂන් එකේ සිටිනා නිසාය. 

ඉස්සර කුස්සියේ තිබෙන ලිත පවා අපට ලබා දුන්නේ නැවුම් හැඟීමක්ය. වසර මුල එල්ලන ලිත වසර පුරා එතැනමය. අද නම් ලිත ගැන ගානක් වත් නැතිය. “ඈපා ලිත“ ඉස්සර හෙන මාකට්ය. අපි ඒකට කිව්වේ ඈ... පාලිත කියාය. අන්තිමට ලිතත් නැතිය. පාලිතත් නැතිය. ලිපෙන් බලන නැකැත් සිංහල අලුත් අවුරුද්දට ටීවි එකෙන්ම ලබා ගත හැකිය. සුබ මොහොත, රාහු කාලය වැනි ලබු ගෙඩි පත්තර වලින් බලා ගත හැකිය. නැතිනම් ටීවී එකේද කියන්නේය. දැන් ලිතක් ඕනෑ වුණොත් ඕනෑ වෙන්නේ හූනු සාස්තරය බලා ගැනීමටය. මෑත කාලයේ හූනු ඇටෑක්ස් කිහිපයකින් පසු සෑමා හූනු පලා පල ෆොටෝ එකක් ෆෝන් එකේ තබා ගත්තේය. දකුණු අතට වැටුණු හූනාත්, වම් අතට වැටුනු හූනාත් දෙදෙනාම කිව්වේ භයානක සහ දරුණු මරණ ගැනය. ඉන් පසු දවසක හූනෙක් වින්ඩ් ස්ක්‍රීන් එකේ ද සිටියේය. ඌ පාර මැද්දටම පැන භයානක මරණයකට ගොදුරු වූයේය. තවත් එකෙක් මදුරු නෙට් එකේ සිට නෙට් එක ගැසූ සැනින් විසිව ගොස් බිත්තියේ ඇලී සිටියේය. ඌ ලක් වූයේ දරුණු මරණයකටය. කෙසේ වෙතත් අවුරුද්දක නැවුම් බව දැනෙන ලිත පවා භාවිතයෙන් ඈතට ගොස්ය.

වසර 2000 ලබද්දී අපි කරකුට්ටං වී සිටි බව මතකය. අම්මට හුඩු Y2K කියා බය වී ලෝකයම අන්දොස් වී සිටියේය. මායා වරුන්ගේ දින දර්ශනය අහවරව ලෝකය විනාශ වන බවට පවා කතාන්දර තිබුණේය. දැන් උන්ගේ කැලැන්ඩරේ ගැන කතා නැතිය. ලෝක විනාශය ගැන කතා කළ උන් තාමත් යහතින්ය. ඒ අතර කම්පියුටර්, සිස්ටර් අරවා මේවා කෙල වෙලා යන බවට හැමෝම බව වී සිටියෝය. 99 වසරට පසු 2000 වසරේ බිංදු දෙකට බය වී සිටි ජනතාවට අද ඒවා මතක නැතිය. ඒවා සියල්ල හුුදු අතීතයක් පමණක්ය. කොටින්ම කිවහොත් අලුතෙන් ලබන එකත් ලොකු සීන් එකක් නැති දෙයක්ය. පරණ එක වගේමය. මුල් කාලේ අම්මට හුඩු අලුත් එක කියා ලග තබාගෙන ආයෙත් පරණ එක ගානටම වැටෙන්නේය. ඒ ස්භාධර්මයය. හැම දෙයක්ම අලුත් හෝ පරණ වන්නේ තමන්ගේ චින්තනය මතය. 

සෑමාගේ ලැපට දැන් අවුරුදු අටක්ය. දුහුවිලිය, ගල්ය, වැලිය,  ඒත් එය තාමත් සෑමාට අලුත්ය. අවශ්‍යතා සියල්ල ඉටු කර ගැනීමට තවමත් ප්‍රමාණවත්ය. අලුත් කර ගත හැකි ක්‍රම බොහෝය. විටක ලිනක්ස්ය, විට වින්ඩෝස් 7 ය. විටක ඔන් වෙන්නේම නැතිය. අවශ්‍ය පරිදි දි OS එක  හෝ වෙනස් කරගෙන වැඩේ අලුත් කර ගත හැකිය. ඊයේ කිටි කිටියේ නැවුම්ව ලැබුණු අවුරුද්ද දැන් පරණය. ගත වූයේ පැය විසි හතරක්ය. ලොකු සීන් එකක් නැතිය. හැමදාම එක විදියට ගෙවෙන දවස් අලුත් කර ගත යුතුය. වෙනස් කර ගත යුතුය. ඒ වෙනස නැති තැන නැවතත් ඇත්තේ පරණ සීන් එකමය. තඩි ප්ලෑන්, ඔලුවේ තියාගෙන අවුරුද්දක් ගොඩ දා ගත හැකි යැයි සෑමාට නොසිතෙන්නේය. ඉටු කර ගත හැකි බලාපොරොත්තු කිහිපයක් හිතේ තබාගෙන හැම දාම අලුත් විදියට වැඩ කළාම ලොකු සීන් එකක් නැතිය. ගිය අවුරුද්ද මහ කාලකන්නි යැයි කියවන බහුතරය ලබන වසරේද කියන්නේ ඒ ටිකමය. අලුත් වසර තමා හොඳම එක යැයි කියන උන් ලබන අවුරුද්දටත් හොඳම එක යැයි කියන්නෝය. එතකොට පරණ එක ගෙවුණ එක චාටර්ය. 

ගිය අවුරුද්ද වගේ මේ අවුරුද්දත් ගෙවෙන බව සැබෑය. ඒ ගෙවෙන සෑම දවසක්ම අලුත් විදියට ගෙවා ගැනීම කළ යුතුය. සුභ විය යුත්තේ ප්‍රාර්ථනාවන්ය. කාටවත් කාගේවත් ජීවිත සුබ කළ නොහැකිය. අසුබ කළ හැක්කේද තරමක් දුරට පමණක්ය. ඒ නිසා තමා කපා ගන්නා ලිදෙන් තමන්ම නා ගත යුතුය. එලෙසම තමා කපා ගන්නා වලේ තමන්ම ඇඳ වැටෙන්නේය.

ලොකු සීන් එකක් නැතිය.

අද සිට සෑම දවසක්ම තමන්ම සුබ කර ගත යුතුය... !!
Related Posts Plugin for WordPress, Blogger...