Friday, September 28, 2012

මේජර මාලකය....



පෙර එක් කලෙක නුවරක
මිහිදු රජු කාලෙක
සිදුවුණු ස්ටෝරිය
අසන් මහතුනි කන් අගුළු ඇර

පුර සෙන්පතිය මේජර
හෝටල් ගත වුනේ නිතරම
ඌ හරිම වැරදිය
නොකල්හි වීදි බැසුමය

මේ අතර දුටු-ගැමුණුය
ඔහු ගේ පුතු මාලකය
ගතවූයේ හෝටල
රජ පුත් සැප ගත් යුතුමය

සෙන්පති ඇමති කේ-ලිය
ඔහුගේ පුතුද සමගින
මාලකය මිතුරුය
මේ කුලක මේලය
සමග සැරසුණි හෝටලය

මාලක දුම් නොබී
ගින්දර ඉල්ලුවෙත් නැතී
මේජරය වැරදී
බලෙන් දෙන්නට ගියේ ලයිටරේ

නිකොටින් හොද නැතිය
දරුවන් වැනසේමය
මේජරය වැරදිය
පහර දිය යුතුමය

පහර කෑ මේජර
දැම්මා නේද ඇන්ට්‍රිය
දුන්නෙ කට උත්තරය
කවුරුත් ගැහුවෙ නැහැ මට

කොන්දක් නැති එකා
මේජර වූයෙ අප්පා
දැන් පොර නරකයා
වූයේ ඌ මහ **නයා

වැඩි අධ්‍යාපන කියා
මාලකය රට ගියා
මේජරය නඩු කකා
විදී සැප ඒ *කා

ලෝ හොදම හමුදා
ඉන්නවා යැයි කියනා
පුරවරය වනසනා
මෙවන් මේජර උතුමා
එලවා දැමිය යුතුමා

Written by sAm_7:15pm_29/09/2012

Tuesday, September 25, 2012

BMICH මා සෙවූ එකම පොත....




කොල්ලො අස්සේ
හැංගි හැංගී
කෙල්ලො අස්සේ
තෙරපි තෙරපී
පොත් අස්සේ
මිරිකි මිරිකී
සෙව්ව දෙයියෝ
(උඹ) ලිව්ව පොත ඒ
දැක්කෙ නැහැනේ
තාම අයියේ

එදා දවසේ
පාර ගානේ
අපේ පස්සේ
එලව එලවා
බෙදුව පොත අද
කොහෙද සුහදේ
සල්ලි දීලත්
ගන්න බැහැනේ

මීට,

උගත්තු සහසක් කතෘ භාරය දැරූ, පොත සොයා ගත නොහැකි වුවත්, හොර රහසේම පෙරලෙන පොත සොයා ගත නොහී සෝකයට පත්...

ජහමනයා.


Written by sAm_7:25pm_25/09/2012

පලි - සෑමා අවසන් වරට හැද සිටියේ කොට ෂෝටක් සහ උඩු කය නිරුවතය.

Monday, September 24, 2012

ඩයලොග් GSM ගැන නෙවේ...



කස්ටිය සෙට් වුණ අතර යන දෙබස් පට්ට ආතල්ය. ඒවා බොහොමයක් මතක හිටින්නේ නැතිය. ඒ වුවද නැවත මතක් වෙන ජාතියේ ඒවා යලි යලිත් එලියට එද්දි උනුන්ගේ රෙදි ගැලවෙන්නේය. මේ එවන් ඩයලොග්ස් බිදකි..

ඌ - බලපං ඉතිං හරියට පාර්ක් කර ගන්න තැනක් නැති වුනාම අපරාදේ පෙට්ට්‍රල් පිච්චෙනවා.. එහාට යනවා හරවනවා. අපිත් ඔහේ කම්පැනි වලින් mileage claim කරනවා...

සෑමා - ඒකනේ බං ගොඩක් වෙලාවට U ටර්න් නොගහා වාහනේ රිවස් කරල පාක් කර ගන්නේ...

ඌ - එතකොට මොකද බං වෙන්නේ..??

සෑමා - ඇයි බං පස්සට යද්දි මීටරේ අනිත් පැත්තට කැරකෙනවනේ..

ඌ - සද්ද නැත....

විනාඩි 10කට පමණ පසු ඌ හඩ අවදි කළේය...

ඌ - බොරු කියන්න එපා බං එහෙම අනිත් පැත්තට කැරකෙන්නෙ නැහැ.

සෑමා - උබ මාරයිනේ.. මෙච්චර වෙලා ඕක කල්පනා කළාද?

දැන් නම් වාහනය රිවස් කරද්දීද අපට මතක් වෙන්නේ ‘ඌ‘වය.

*************************


මෙය දහම් පාසල් කාලයේ වූවක්ය. ඉස්සර ගියර් 21, ෂිමානෝ මවුන්ටනයක් සෑමා සතු වුවේය. එයට නැග ගත් පසු සෑමා තරම් පොරක් නෙවේමය. එසේම අපේ එක එකාට එක එක ජාතියේ බයිසිකල් කටු වීය. ඒ අතරින් අපේ චතුවා සතු වූ ගියර් 18 මවුන්ටන්ය සිරාය. ඒ කාලේ කස්ටිය ඩබල් දාගෙන බයිසිකල් වල නැගි පන්සල් ගතව ශිෂ්‍යනායකයන්ට පැවරෙන බාහිර කටයුතු වලට සහභාගි වන්නේය. මේ එවන් වැඩකට යන අතරතුරය.

“මොකක්ද බං මම පදින්නම්, උඹ එද්දිත් පැදගෙන ආවනේ..“ මාලිංගයාට සද්ද දැම්මේ අපේ සාලිකය.

“අනේ පලයං යන්න මම පදින්නේ උබ ඉදගනින් ඉස්සරහින්..“ මාලිංග ආයෙත් සද්දය.

“මොන මගුලක්ද බං.. පදින එකනේ අමාරු.. මම පදින්නම්.. උබ ඉස්සරහ ඉදගනින් පු# නොදී..“ මාලිංගට පැහැදිලිව කීවේය.

“ඒ වුනාට.. උබ නම් කියයි.. මමනෙ දන්නෙ පොල්ලෙ යන්න තියෙන අමාරුව.....“

එදා පටන් මාලිංගයාට පොල්ලේ යන්න කොච්චර අමාරු වුනේදැයි කස්ටිය අසන්නේය.

*************************

“හෑන්ඩ් ෆෝන් එක කලිසම් සාක්කුවේ දාගෙන සීට් බෙල්ට් එක දැම්මම හරි වදේ බං..“

“අපෝ ඔව් බං.. ඩ්‍රයිව් කරනකොට හදිස්සියෙ කෝල් එකක් ආවෙත් ගන්න ගියාම පු* ඉරෙනවා...“

“මම නම් උඩ සාක්කුවේ මයි බං ෆෝන් එක දාගන්නේ.. කිසි වදයක් නැහැ...“

“මේ ඉංග්‍රිසි නම්බර් තියෙන වාහන වල තමා බං අවුල.. නැත්තං අනිත් ඒවට සීට් බෙල්ට් චෙක් කරන්නෙ නැහැනේ..“

“අඩෝ ඒකත් එහෙමද බං.. සිංහල නම්බර් තියෙන වාහන වලට සීට් බෙල්ට් නීතිය නැද්ද??“

සිංහල නම්බරයක් තියෙන සෑමා දන්නා එකම වාහනය බක්කි කරත්තයය.

තවත් ආතල් දෙබස් සමග නව ලේබලය යටතේ හමුවෙමු...

ජය !

Written by sAm_1:19_23/09/2012

Friday, September 21, 2012

කේ-ලිය නම් වූ (අනා)රක්ෂක මාමාට ලියමි - පොඩි සෑමාගේ ලියුම් (11)


දයාබර කේ-ලිය මාමාට ලියමි...

ඉතිං මාමේ, ඔබට කෙසේද? අපි නම් තමන් හිසට තම අතමය සෙවනැල්ල කියා පරිස්සමට සිටින්නෙමු. මාමාද එසේ බව අපි දන්නෙමු. මාමාට මැර තර්ජන, ත්‍රස්තවාදී තර්ජන නැතිවාට මැති ඇමැති තර්ජන ඇති බැව් අපි දනිමු. අපට ඇති තර්ජන මොනවාදැයි සිතෙන්නේ අපට එවිටය. මාමා ඇමති පුත්තු ආරක්ෂා කළ යුතුය. ලොකු මාමාගේ පරම්පරාව පවා රැකිය යුතුය. අහිංසක අප වන් ජනතාවට එතරම් ආරක්ෂක ප්‍රශ්න නැත්තේමය. ඉද හිට හෝ මැති ඇමති තුවක්කුවකින් උණ්ඩයක් පාරක් දිගේ ආවොත් ආරක්ෂා වීමට කටයුතු කිරීම, නැතිනම් ශ්වේත වර්ණ වාහන වල ට්‍රිප් රැගෙන යාමෙන් ආරක්ෂාවීම, කැති පොලු ගත් මැති ඇමති පුත් රත්න වලින් ආරක්ෂා වීම වැනි සුළු තර කාරණා හැරෙන්නට අපි නම් පට්ට ෆන් එකේය. ජීවන වියදම කියාද කිසි අවුලක් නැත්තේය. ඒ ලොකු මාමාට පිං සිද්ධ වෙන්නටය.
මට මතක මාමා දේස පාලනේට එන්නට පටන් ගත් මුල් කාලයය. ඒ කාලේ මාමාට රැවුල නැතිය. රැවුල වවා ගත්තේ බුදු ගේමක් දීමෙන් බව අපි දන්නෙමු. ජනතාව ද දන්නේය. ඉන් පසු රැවුල පිදී ඉහ නිකට පැහී එද්දී මාමා ගොඩ ගියේය. පරිණත බවක් ආවේය. ඒත් මොල ගෙඩිය තාමත් බ්‍රෑන්ඩ් නිව්ය. පිට කොන්දද මනාව නැමෙන්නේය. කෙලින් තියෙන්නේම නැතිය. ඒ ඔබ මාමාට ලැබෙන කැල්සියම් සහිත ආහාර වල බලපෑම නිසාය. මාමා එදා අමාරුවෙන් වවාගත් රැවුල නිසා මාමාට දැන් ප්‍රශ්න ඇති බැව් අපි දන්නෙමු. මාමා දැන් ඉන්නේ රැවුල ගිණි අරගෙනය. ඒ වෙලාවේ පොඩි සෑමා සුරුට්ටු පත්තු කරන්න යනවා කියා අමනාප නොවන ලෙස සෑමා අනුකම්පාවෙන් ඉල්ලා සිටින්නේය.

මේ ලිපිය ලියන්නේ අප පන්සලට වූ අකැරතැබ්බයක් ගැන කීමටය. එය සිදුවුයේ ඔබ මාමාගේ මොල ජුන්ඩ භාවිත නොකර කියන කතා හින්දාය. ඒ නිසාම පන්සලේ හාමුදුරුවෝත් දැන් අසරණව සිටින්නෝය.

අපේ ගමේ හොරු සෙට් එකක් සිටියෝය. සිටින්නෝය. උන් පොලිසියෙන් කට්ටි පැන පැන සිටි බවට ගමම දන්නා කාරණයක්ය. කෙහෙල් කැන් කැපූ හොරු පවා ඒ අතර සිටියෝය. උන්ට නම් නීතිය තද බව උන් දන්නෝය. මහා පරිමාණ හොරුන්ට ඒ කරදරය නැත්තේය. උන් නිදහසේ සිටින බවද සමාජයම දන්නේය. ඒ අතර උන් මාධ්‍යය වලද පෙනි සිටින්නෝය. ඒක මානව නිදහසය. සෑමා කතන්දර පිට පැන්නේය. කියන්න, ලියන්න  ගියාම සෑමාට මෙලෝ නිච්චියක් නැතිය. 

ඉතිං සැමා කියූ උක්ත හොරු සෙට් එක කවදාවත් නැතිව පන්සලට රිංගුවෝය. ගමේ පන්සලේ පිංකමක් තිබුණු වෙලාවේ උන් පන්සලට රිංගු නිසා සැදැහැතියෝ කළබල වූවෝය. ඒ අතර සමහරු තමන්ගේ සෙරෙප්පු පවා උස්සාගෙන යාවි යැයි සිතා සෙරෙප්පු අතේ දමාගෙනම දුවන්නට වුවෝය. ඒ අතර සූත්‍ර සජ්ජායනයේ යෙදී සිටි පන්සලේ හාමුදුරුවෝ තම අත තිබු මයික් එක භාවිත කොට සැදැහැති පිරිස් දමනය කිරීමට සමත් වුවෝය. අපිට ෆුල් ආතල්ය. ඒ සැදැහැති ලදැරියෝ දිව විත් අප වටා රොක් වූ නිසාමය.

තත්වය සමථයකට පසු වූ පසු හාමුදුරුවෝ අත තිබි මයික් එකෙන්ම හොරුන්ගෙන් ප්‍රශ්න කරන්නට වූවෝය. හොරු රැලද හාමුදුරුවන් වටා රැස්ව පිළිතුරු බදින්නට වූවෝය. සෑමාට මතක් වුයේ රජ කාලේ සිදුවූ ධර්ම සජ්ජායනාවන්ය.

“පිංවතුනි බලන්න කවදාවත් නැතුව ගමේ නම ගිය හොර උපාසක මහත්වරු අද පන්සල් ගත වෙලා. ඇත්තටම තමුන්ලා මොකෝ පන්සලට කඩන් පැන්නේ... ??“ හාමුදුරුවෝ ඒ පැත්ත හැරෙන ගමන් ඇසූවෝය.

“බලන්න අපෙ හාමුදුරුවනේ මම දරුමල්ලන්ට කන්න දෙන්න හොරෙන් සුරා මරා පෙරුවට අපිත් අහිංසක මිනිස්සු නොවැ.. මේ ලගකදි ඉදන් පොලෝසිය මගෙ පස්සෙ, ගෙදර උන්ව රැකගන්න මම කට්ටි පැන පැන වැඩේ කොරනවා...“

“කට්ටි පනින වෙලා ඇයි මේ පන්සල් වත්තට  පැනල කළබල කලේ...?“

“අනේ අපට සමාව භජනය ස්වාමීණී... “

“ඕකට සමාව භජනය කරන්න එපා අපේ හාමුදුරුවෝ.. ඕක තමා මගෙ වත්තෙ පීදුන කෙසෙල් කැන කැපුවේ.. ඕකට මම නඩු දාල තියෙන්නේ..“ ඒ කෑ ගෑවේ පිංකමට පැමිණි සුදු හැදගත් විල්සොං මාමාය.

“බලන්න හාමුදුරුවෝ මේ මනුස්සය නහින දෙහින කාලේ අකුසල් රැස් කරන හැටි. ඕව බදාගෙන අරන් යනව යෑ.. විල්සගේ තණ්හාව නැති කොරන්නයි මම ඒක කැපුවේ..“ හොර සෙට් එකේ සිටි කෙසෙල් හොරෙක් බණ ටෝක්ස් දුන්නේය.

“මෙතැන පංසල් බිමේ රණ්ඩු සරුවල් පටන් නොගෙන කරුණාකරල ඔය හොර තුමන්ලා මෙහෙ පැන්නෙ ඇයි කියනවද?“

“ඇත්තම කියන්න හාමුදුරුවනේ... අපි කට්ටියම අද අර ඉතාලි ගිහින් ආපු දේවමිත්ත ලගෙ ගේ බිදින්න හිටියේ. හවස ඉදන් උන්ගෙ වත්තෙ රැකගෙන හිටිය. උන් ටීවි ඒකේ අටේ පෝතිති බලනකොටත් අපි එතැන..“

“ඊට පස්සේ??“ කතාව අසාගන්නට ඉවසුමක් නැතිව සිටි දේවමිත්තගේ සීයා මැදින් පැන්නේය.

“අපි එහෙම රැකගෙන ඉන්නකොට අපිට ඇහුන පොලිස් සයිරන් එකක සද්දයක්... අපි ඉතිං පෝත්ති වලට කියපු හැටියට ආරක්ෂාවක් පතා මෙහෙ දුවං ආවා...“

“ඈ... ආරක්ෂාවට පන්සලට දුවන්න කියල මොන ප්‍රවෘත්තියෙද බොල කිව්වේ..“ ඇසි උඩ ගිය හාමුදුරුවෝ ඇසුවෝය...

‘ඇයි හත්වලාමෙ හාමුදුරුවනේ.. පන්සලේ හිටියම කාවවත් අත්අඩංගුවට ගන්න බැහැ කියල කේ-ලිය මහත්තය නේ කිව්වේ“

පන්සල් මළුවේ රැස්ව සිටි පිරිස් සහ අපේ හාමුදුරුවෝ වෙනදාට ‘සාධු‘කාර දෙනවාට වඩා මහ හඩින් සිනා සුනේ එදාය. ඉන්පසු හොර රැලට අතුරු අන්තරාවක් නොවේවා කියා පිංකම කන්ටිනි්‍යු විය.

උක්ත සිද්ධිය ඔබ මාමාට අකුරකුත් නෑර ලිව්වේ ස්තුති කිරීමටය. ඒ හොරුන් පන්සල් ගත කළ නිසාය. එසේම නිධන් හෑරීම්, කේන්දර ගැලපීම් මුවාවෙන් සමාජ අපරාධ කරන හාමුදුරුවරු පවා පන්සලේම සිටින නිසා නීතියක් ක්‍රියාත්මක කළ නොහැකිය. එය මාර සිරාය. පුජා භූමියක සිට කෙල්ලෙක් ඉස්සුවත් කම් නැතිය. ඉස්සර මිනිස්සුන්ට යක්කු පන්නගෙන එද්දි උන් දිව්වේ පන්සලටය. දැන් නම් පොලිසිය පන්නද්දි දිව  යුත්තේ පුජා භූමියකටය. ඒ කන්සෙප්ට් එකට සෑමා ලයික්ය. හැමෝම ලයික්ය. මෙය දිගටම තිබුනොත් අපි හැමෝටම ශෙයාර් කරනවාය. එතකොට පට්ට ලයික්ය.

කේ-ලිය මාමේ බොට දිගටම ජය !

මීට.
සංවේදී.

පොඩි ෂෑමා !



පොඩි සෑමා පෙර ලියූ ලිපි -










Wednesday, September 19, 2012

පොලිසියට පුළුවං (හැබයි පොඩ්ඩන්ට බැහැ)

පොඩ්ඩන්ට -

පාර මැද වාහනය නැවැත්විය නොහැක.
පාර මැද වාහනය නවත්වා සිගරට් ගැනීමට කඩයට යාමටද නොහැක.
ප්‍රසිද්ධ ස්ථාන වල දුම්බීමද කළ නොහැක.

ලොක්කන්ට -

පාර මැද වාහනය නැවැත්විය හැක.
පාර මැද වාහනය නවත්වා සිගරට් ගැනීමට කඩයට යාමටද හැක.
ප්‍රසිද්ධ ස්ථාන වල දුම්බීමද කළ හැක.




Written by sAm_2:15pm_19/09/2012

Monday, September 17, 2012

මම තාම කබ්බෙක්....


අනගාරික ධර්මපාලතුමා (උපත: 1864 සැප්තැම්බර් 17 විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වඩාත් ප්‍රකට වූ නාමයය. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය​. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහුය. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය​.

ඒ 1864 සැප්තැම්බර් 17 වෙනිදා සිදුවූ උපතක් ගැනය.

මේ 2011 සැපැතැම්බර් 17 සිදුවූ තවත් උපතක් ගැනය.
මැද සිටින්නේ සෑමා නම් නොවැටෙන්නට නොදී දෙපැත්තෙන් අල්ලා සිටින්නේ ඔබලාය
කලින් පෝස්ටුවේ අගින් සෑමා තම පළමු පෝස්ටුවේ ලිංකුවක් එල්ලුවේය. ඒ මුල මතක් කර දීමටය. සෑමාට තමන්ගේ පළමු ලිපිය කියවද්දි පවා, දැන් ලියන ලිපියක හා පළමු ලිපිය අතර වෙනසක් දැනෙන්නේය. එය කියවු සැමට එය දැනෙනවා නොඅනුමානය. එය අත්දැකීම් හා කාලය සමග සිදුවන්නක්ය. එය කාට කාටත් පොදුය.

සෑමා බ්ලොග් ලොව තවමත් කබ්බෙකු ලෙස සිටින්නේ නිතර නිතර පැමිණ සෑමාට ශක්තියක් වන සියළු දෙනා නිසාමය. නම් වශයෙන් කීම පෝස්ටුව තවත් දිගු වීමක් වන අතර ඒ නිසා සෑමා පොදුවේ සියල්ලෝටම ස්තුති පුද කරන්නේය. සෑමා වසරක් බ්ලොග් ලොව ජීවත් වුයේ, හුස්ම හෙලුයේ සෑමාව “ලිවීමේ වරදට“ පෙලඹවූ ඔබමය.

වසරක ගමනාගමනය අතර සුන්දර නිර්මාණ බිහිවුයේ පෝස්ටු අතර සැරි සැරූ පාඨක ඔබ නිසාමය. 

අතීත මතක, ලේබලය යටතේ ලිවීමට ඇරඹුනු කතන්දර, කැත හිත් වලට ලියවෙන ලස්සන කවි දක්වා දිව ගියේය. ඒ ලේබලය යටතේ සෑමා දැහැමි සිත් නොමග යවනවා යැයි කතන්දර හැදෙද්දී සෑමා කපටි වූයේය. වෙසක් හා පොසොන් මාස වලදී, සෑමා වෙසක් කලාපයක් සහ පොසොන් කලාපයක් නිකුත් කලේ ගෑවුනු මඩ සෝදා ගැනීමට නොව සමාජ සත්කාරයක් කිරීමටය. නැහැදිච්ච අප වැනි බ්ලොග් කරුවන්ට සිල් රෙදි ඇන්දවීමටය. ඒ අතර ආදරය නොමැතිව වියලී ගිය තරුණ සිත් පොලොවට සෑමා ජල සම්පාදන අංශයේ ක්ලෝරින් ටැප් එකක් විවර කලේය. සිතු කුසු ආදර අන්දරයෙන් ඔද වැඩී ගියේ ඒ තරුණ හදවත්ය. ඒ අතර සෑමා අසම්මත පෙමක් වැලහින්නක් සහ මිනිසෙකු අතර සිදු වූ ආදර අන්දරයක් ‘වැලහින්නකට පෙම් බැදිමි‘ අකුරු කලේය. ඒ අතර රටේ බලවත් උදවියට ලිපි ලිවීමේ හා සුදු වෑන් දුටු විට හැංගීමේ ආසාව තිබූ පොඩි සෑමා කරලියට පැමිණියේය. මලින්ද මාමාට කුජීතව ආදරේ කරන, සෑමා පොඩි සෑමාගේ ලිපි නිකුත් කලේය. ඒ අතර මෑතකදී සෑමා පෙම් හබ යටතේ මල කෙලියේ ලියවුනු පෝස්ටු දැම්මේය. සියල්ල එසේ සිදුවද්දී ජෙනරාල් මාමාගේ තරගයකට ලියු ලිපියකින් සෑමා තිළිණයකින් පිදුම් ලැබුවේය.

උක්ත කාරණා සියල්ට මුල පිරුවේ සෑමාගේ පාඨකයන් ලබා දුන් දිරිය ශක්තිය බැව් කිව යුතුමය. පෝස්ටුවක් සයිබර් ගත කොට නික්ම යන සෑමා පැත්තක සිටියදී පාඨක මිතුරෝ මෙහි පැමිණ කියෙව්වෝය. කමෙන්ට් දැම්මෝය.

ඒවායේ අස්වැන්න මෙසේය. සියල්ල වැපුරුවේ පාඨකයෝය. දහඩිය පාඨකයන්ගේය. අස්වැන්නද ඔවුන්ගේමය.

කාලය - වසරයි
අදට හිට්ස් - 177,847
සියළු පෝස්ට් - 164

වසරකදී හිට්ස් ලක්ෂ දෙකක් නොලැබීමට තරම් සෑමා අවාසනාවන්ත වූයේය. :)

මේ සියල්ල අතරතුර බොහෝ බ්ලොග් මිතුරෝ නවක බ්ලොග්කරුවන්ට අනුගමනය කිරීමට වටිනා පෝස්ටු ලිව්වෝය. ඒවා කියවා කරලියට ආ තවත් බ්ලොග්කරුවන් දැන් සිටින්නේය. එසේ තිබියදී තවමත් කබ්බෙක් වන සෑමා ‘පරිනත බ්ලොග් කරුවන්ට‘ කියන්නේ මෙහෙමය.

“හැමදාම එකමදේ එකම විදිහට වෙද්දි එපා වෙනවාය. සෑමා කළත් කවුරු කළත් එය එසේමය. හැම දාම එකම විදිහට කරන නිසා අපේ ගෙදර හිටි බැලලි ද, තමන් සෙට් වෙලා සිටි කළු බළලා අතැර, එහා ගෙදර බලල් තඩියා සමග සෙට් වුනා සෑමාට මතකය. ඒ නිසාම තමා කෙතරම් පරිනත වුවත් වෙනසක් තිබිය යුතුමය. නැතිනම් පාඨකයෝ වෙනසක් සොයා යනු නිසැකය. සෑමාද ට්‍රයි කරන්නේ වෙනසකටය. අළුත් අළුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී කියා අසා ඇත්තෝ බොහෝය. එය ක්‍රියාවට නැංවීම අගනේය.“

පුරා වසරක් සෑමාට ශක්තියක් වූ සැමට උත්තමාචාරය.

Saturday, September 15, 2012

ධාතු පෝලිම අස්සේ එකෙක්ට ඇරපු හැටි..


ධාතු වන්දනා කිරීමේ උත්සුක වූ ජනතාව කැළණි විහාරයේ සිට වරාගොඩ පාර හරහා නුවර පාරේ බුළුගහ හන්දිය දක්වාද, බියගම පාර දිගේ මානෙල්වත්ත දක්වාද දිවෙන පෝලිම් සකසා ගත්තෝය. ඒ අතර බියගම පාර දිගේ දිවෙන පෝලිම වැටුනේ ගමේ බාර් එක ඉදිරියෙන්ය. එකී පෝලිම නිසා කැළැඹී ගියේ හවසට මතින් පිඹිදෙන කොල්ලෝ සහ අංකල්ලාය. එදින බාර් එකද වැසුන බැව් කිව යුතුය. එහෙත් පිටුපස දොර විවර වීම කවරෙකුට වැලැක්විය හැක්කේද? මලින්ද මාමාටත් නොහැකි වූ කලෙක.

වැසූ බාර් එක එහා පැත්තේ තිබෙන්නේ අපේ බුද්ධික අයියා කරන (චක්කර කොළ ෆිල්ම් එක ගමට ගෙන්නූ පොර) කමියුනිකේෂන් එකේය. ඒ අතර මත් වතුර ඉල්ලා අයෙක් කෑගසනු ඇසින.

“මල්ලි ඇරපංකෝ..“ පළමු වර එසේ කෑගැසූ පොර නැවතත්...

“මොකක්ද බං ඇරපංකෝ...“ කියා දෙවෙනි වර කෑගැසීය.

එලියට ඔළුව දැමු සෑමාට පෙනුනේ පොරක් බාර් එක අරින ලෙස කෑ ගසන අයුරුය. එත් ඌ කෑගහන්නේ අරින්න කියාය. කමියුනිකේෂන් එක ඇතුලේ සිට අපට හිනාය. ඒ අතර කමියුනිකේෂන් එක ඇතුලට ආවේ ගමේ අංකල් කෙනෙක්ය.

“බලන්න මල්ලි අරූ අරහෙම පාර පුරා අරින්න කිය කිය කෑගහන එක හරිද?“

අංකල් අපේ සිනහව දෙගුණ කලේය.

අංකල් රීලෝඩ් එකක දමාගෙන කඩෙන් පිටත්ව ගොස් යලිත් ඇතුලට ඔළුව දැම්මේය.

“මල්ලි අරූ සද්දයක් නැහැ නේද?“ අංකල් අපෙන් ඇසුවේය.

“ඔව් නේද සද්ද නැහැ.. මොකෝ වෙලා තියෙන්නේ?“

“පේන්න නැහැ මල්ලි, අරූට කවුරු හරි ඇවිත් අරින්න ඇති..“

පසු විපරමකදි දුටුවේ පොර බාර් එක පිටිපස්සේ සිට ක්ෂණිකව බෝතලයක් ලග නමන අයුරුයි. සිද්ධිය සිදුවු අවස්ථාව, කතා විලාශ හමුවේ මතක්වෙද්දි අපට තාමත් සිනාය.

Written by sAm_8:17pm_13/09/2012

දාපු පොඩිම පෝස්ට් එකද මන්දා..

ඔය ගමන්ම මේ පෝස්ට් එකත් කියවලා තියා ගන්න. හමුවෙමු සැප්ටැම්බොර් 17...

Wednesday, September 12, 2012

‘සද දෝණි‘ නම් ඇයට රථ ගාය !



එදා එයා මට බැන්න, ගමනක් බිමනක් යන්න බයික් එකක්වත් නැති එකෙක් කියල. මාසෙ පඩිය ඉවරවෙනකල් බස් එකේ වැඩට යන කෙල්ලෙක් වෙච්ච ඔයා දුර දිග නොහිත මට කියපු කතාව වැරදි කියල කියන්න මම උත්සහ කලේ නැහැ. කවද හරි මම උබව දාගෙන හොද බිලක් සෙට් කරනව කියල හිතාගෙන මම මගේ ආදරේ එහෙමම වෙනසක් නොවී දළු දාන්න දුන්න.

මම කැමතිද ඇහුවම එයා කිව්වේ මට බයික් එකක් නැහැ කියල. විපක්ෂෙන් ප්‍රශ්න අහනකොට පක්ෂෙ කට්ටිය මාතෘකාවට අදාල නැතුව උත්තර දෙනව වගේ එයා මට ප්‍රති උත්තර දුන්න.

“අයියෙ මට උබේ බයික් එක දියන්කෝ...“ බස් එකේවත් යන්න සල්ලි නැති මම පිළිසරණක් පැතුව.

“අරන් පල, හැබැයි පෙට්ට්‍රල් ගහපං හොද හිතින්..“ හැමදාම මොල්ලිය ගෙවිච්ච ඔටුව වගේ ගෙදර එන හිස් පෙට්ට්‍රල් ටැංකිය සහිත බයිසිකල් කට්ට ගැන අයියගෙ කේන්තිය සාධාරණයි.

“ඇයි බං ඒම කියන්නේ. මම නොගහ ඉන්නවද මේකට පෙට්ට්‍රල් ??“ ලැජ්ජ නැති කට මැද්දෙ දගලන දිව කතා කළා.

“අරන් පල යන්න“ කවදත් වගේ ආදරණීය වචන වලින් බයික් එක දෙදරුවා.

කහපාට සාරි පොට බස්හෝල්ට් එකේ අසරණව ලෙල දෙද්දි, එයාගෙ ඇස් ඉබාගාතෙ සැරිසැරුව. මම දැක්ක එයාගෙ කළු ඉංගිරියාව කැරකුනේ ත්‍රීවිල් පාර්ක් එකේ පැත්තට. ‘අනේ මන්ද මේකිට ඕනෙ වාහනමද‘ කියල මගෙ හිත මට කොලොප්පං කරද්දිත් මගෙ ආදරේ ලැජ්ජ නැති කම මගෙ නහර පාසා උඩු දිව්වා. මම වංගුවෙන් හරවං ඇවිත් බස් නොඑන හෝල්ට් එකක නැවතුනා. ගැස්සුනා එයාගෙ පපුව. දැනුනා මගෙ ආත්මෙටම.

“සද දෝණි නගින්න“

කියන්න අමතක වුනා. සද දෝණි කිව්වට මේ දෝණිගෙ අම්මගෙ නම ‘සද‘ නෙවේ. ඇත්තටම එයාගෙ නම ‘සද දෝණි‘. මගෙ වැලමිටේ හිර කරන් තිබ්බ හෙල්මට් එක මම එයාට දික් කළා. කාමරේ ඇද යට තනිවුණු මකුලු පවුලක් ජිවත් වුන අසරණ මකුළු දැලක් කඩල තමා හෙල්මට් එක මම අරන් ආවේ. නැත්තං අපෙ අයියට තිබ්බේ එකම එක හෙල්මට් එකයි. එයා ඒක අතට ගත්ත. ඔළුවට දාගෙන වටපිට බලල කකුල බයික් එකේ කොනකට තියල, මගෙ පිටට බර දීල ගොඩ වුනා. හීනයක් නෙවේ ඇත්තටම. මටත් හිතුන ඒක අමුම අමු හිනයක් කියල. ඒත් මේ හැබෑ ලෝකෙ කියල දැනුනෙ අර දූවිලි වැදුන හෙල්මට් එක නිසා එයාට නොනැවතී කිඹුහුම් තුන හතරක් ගියාම.

මම කතා කළා. එයාට කලින්.

“ලසිත් මාලිංග ඔයාගෙ සහෝදරයෙක්ද බබා?“ පළමු වතාවට මම එයාට බබා කිව්ව.

“මොකක්? ඇයි ඒ??“

“දන්නවද ලසිත් මාලිංග විකට් එකක් ගත්තොත් අනිවාර්යෙන් තව දෙකක් ගන්නව පිට පිටම..“

“ඉතිං ??“

“ඒ වගේ ඔයත් පිට පිටම කිඹුහුම් තුන හතරක් යැව්ව බබා..“ 

“පිස්සු කොල්ලා.. ක්‍රික්‍රට් පිස්සා..“ එයා මගෙ හෙල්මට් එකට ගැහුව. අත් දෙක ඉස්සරහට දාල මාව බදාගත්ත.

සයිඩ් කන්නඩිය කරකවල මම බැලුව. එයාගෙ කොණ්ඩේ පාවෙනවා. හරියට අපෙ ආච්චිගෙ යටිතල පහසුකම් හෝදලා වැලේ එල්ල තියෙද්දි තද සුලගකට අහුවෙලා පාවෙන්න හදනව වගේ. කියන්න හොද නැති වුනත් එයා මගෙ පිටට හේත්තු වුණා. හරියට පුද්ගල නාශක බෝම්බ දෙකක් පපුවෙ බැදගෙන ආපු කොටි කතක් මාව බදා ගත්ත වගේ. දැන් පුපුරයි දැන් පුපුරයි කියල හිතුවට පිපුරුනේ නැහැ එහෙම. 

අපි නිදහසේ අහසෙ පාවෙනකොට කොහෙන්ද මන්ද පාත්වුන ආදරේට සාප කරන දෙවි කෙනෙක් අපේ උනුහුම නැති කරන්න අහස කළු කළා. අහසෙ පියාබන කුරුල්ලෙකුටවත් පියාබන්න බැරි තරම් තදට වහින්න ගත්ත. 

“නවත්තන්න අප්පා.. මාව තෙමෙනවා..“ එයා කෑගැහුව.

“බබා දැන් කෝමද ගෙදර යන්නේ..?“ තෙමෙන් නැති තැනක් හොයල නවත්තපු මම එයාගෙන් ඇහුව. ඇත්තටම එතැන තිබුනේ බයිසිකල් හදන ගැරේජ් එකක්.

“මෝඩයා.. වාහනයක් ගන්න සල්ලි නැහැ. බයිසිකලේක දාගෙන ඇවිත් මාව හේදුවා.. ඒ මදිවට යන හැටි අහනවා..“ එයාගෙ සෙනෙහසට වැස්සෙ තෙමිල හිටිය මම වේලිලා ගියා. නැවත ඒ උනුහුම දැනුනා.

“තියා ගන්නවා මේ හෙල්මට් එක.. මම මෙතනින් නගිනවා බස් එකේ.. “ එයා ආදරෙන් මට සමුදීල බස් එකක නගින්න හිත හදාගත්ත. දුකේදි සැපේදි ආදරේ වෙනසක් නැති බව මට එයා ඉගැන්නුවා. ඇත්ත එයා මට ආදරෙයි. වැස්සෙ ගියොත් මම තෙමෙයි කියල වෙන්නැති බස් එකේ නගින්න හදන්නේ.

එයා බස් එකේ නැග්ගොත් මමත් පටස් ගාලා නගිනව බස් එකේම. බයික් එක ආයෙ ඇවිත් ගන්නවා. කියල හිත හදාගෙන මම එයා ලගම තප්පුල පුල හිටියා.

හෝල්ට් එකක් නැති තැනක වුනත් බස් එකක් නවත්තන පාරක එයා හිටියේ. බරාස් ගාල ඇවිත් බ්‍රේක් ගහපු බස් කට්ටක් එයා අත දාන්න කලින්ම නැවැත්තුවා. හරියට ආණ්ඩුව කියන්නති කලින් ජනතාව ගිහින් ඡන්දෙ දෙනවා වගේ. මාත් බයික් එක ගැරේජ් එක ලගම තියෙද්දි හෙල්මට් දෙකම කිහිල්ලෙ ගහන් බස් එකේ එල්ලුනා.

මාත් එක්ක එකට ආපු ගෑනි දැන් වෙන එකෙක් ලග හිටගෙන. මාව බදාගෙ ආපු ගෑනිව තව එකෙක් බදාගෙන. මගෙ හිත බස් එකේ රෝදෙට තැලෙන ගොලුබෙල්ලෙක් වගේ සමතලා වෙද්දි, බස් එකට එකපාරට අහුවෙන ගෙම්බෙක් වගේ පටාස් ගාලා සද්දයක් ඇහුන. මම හිතුව එයා අර කොල්ලට කන පැලෙන්න ගහල ඇති කියල. නැහැ එයාගෙ එහා පැත්තෙ හිටපු කොල්ලෙක්, එයාගෙ පිටිපස්සෙ හිටපු කොල්ලව තල්ලු කරල එයා ලගට එන්න හදල. එකම වලට ජිල්බෝල විසි කරන්න දගලන පොඩි උන් වගේ උන් දෙන්න මරාගෙන.

හැම කදුලකම කෙලවර හීනියි කියල හිතාගෙන මම ඊලග හෝල්ට් එකෙන්ම බැස්ස. වැස්සත් නැති නිසා හිත හදාගෙන ආපහු එන බස් එකක නැග්ග.

ගැරේජ් එක ලගින් බස් එකෙන් බැහැල මම ගියා බයික් එක නවත්තල ගිය තැනට. අපෙ අයිය කියපු වචන මට ආයෙ ඇහෙන්න ගත්ත. ඌ කිව්වෙ පෙට්ට්‍රල් ගහපං කියල විතරයි. ඒත් දැන් පෙට්ට්‍රල් ගහන්න බයික් එක තියා ටැංකිය වත් නැහැ. කවුද එකෙක් බයික් එක උස්සන් ගිහින්.

ගැරේජ් එකත් වහලා. පාර පාළුවට ගිහින්. මම පාරේ ඉබාගාතේ ඇවිදිනවා. එයාගෙ ආදරේ ගිණි පෙලෙල්ලක් වෙලා මගෙ හිත දිය පට්ට එනකල් පුච්චද්දි මට දැනුන වේදනාව අපමණයි. ඒ වේදනාවෙන් වෙලිලා, සමතලා වෙලා ඉන්න මගෙ පපුව උඩින් බයික් එකක බර දැනෙන්න ගත්ත. පාරෙ වැලිකැට අතර දුවන බිංකුන්ඩෙක් වගේ එහෙ මෙහෙ දුවන මගෙ ඉස්සරහට ආවෙ මජං නාගත්ත කොල්ලෙක්. ඌ තමා ගැරේජ් එකේ හිටපු ගෝලයා.

“මල්ලි කෝ මෙතන තිබ්බ බයික් එක ??“

“මෙතන තිබ්බ බයික් එක කිව්වේ ??“

“වැස්ස වෙලාවේ මම මගෙ බයික් එක මෙතන දාල ගියා මල්ලි. දැන් එනකොට ඒක නැහැ. අර ලී කෑල්ලක අගුරුවලින් නම්බර් එක ලියපු එකක්...“ මම දන්න හැම විදිහටම විස්තර කළා.

“අයියෝ අයියෙ අර මඩ නාපු තලගොයෙක් වගේ පාට පාට බයික් එක නේද ?“ මල්ලි හරියටම අදුනගත්ත බයික් එක.

“අයියෝ ඔව් මල්ලි. ඒක කවුරු හරි උස්සලා. දැන් මෙතන නැහැ.“ මම අසරණ වුනා.

“බය වෙන්න එපා අයියෙ. අපි හිතුවෙ මේ ඒක හදන්න ආපු බයික් එකක් කියල. ගරේජ් එකේ මහත්තය වැස්ස නිසා ඒකත් එක්ක අනිත් හැම බයික් එකක්ම කඩේ ඇතුලට දාල යන්න ගියා“

“අම්මෝ ඇති යන්තං මල්ලි.. එහෙනම් අයියට එන්න කියල බයික් එක ගමු නේද? එයා ලගද ඉන්නේ..“ මම උත්තර හෙව්වා.

“අයියා එන්නෙ තව සතියකින්. ගමේ ගියා.. එයාට මලගෙයක් වෙලා...“

මගෙ හැම හීනෙම විනාස කරල එයා ගියා වගේ, ගරේජ් එකේ එකා ගමේ ගිහින්. යතුරත් අරගෙනම.

Written by sAm_1:02pm_12/09/2012

පලි - අපේ කොල්ලෙක් උගෙ බයික් එක මේ විදිහටම ගරේජ් එකක් ලග නවත්තල ගිහින් ඌට මෙවැනිම සිද්ධාන්තයක් වු බැවින් එය සිහිකර අකුරු කලෙමි.

සැයු - මේක නම් සෑමාට වෙච්ච දෙයක් කියා කමෙන්ට් නොදමන්න !

පැරණි පෙම් හබ - 

මාදිවෙල වන්දනාට පෙම් කළෙමි... !

පරම්පරා ගත ආදර අන්දරය...

Monday, September 10, 2012

මාදිවෙල වන්දනාට පෙම් කළෙමි... !


මේක සිද්ධියෙ උණුසුමවත් ගිහින් නැති උණුම උණු කතාවක්. මේක උනේ ඊයේ.

තිසා වැවට උඩින් පායපු හද එලිය, තිසා වැවේ වතුරට වැටිල මුළු තිසා වැව් පිටියම එළිය වැටිල තිබුණෙ. අපේ නඩේ හැන්දැවෙ නැවතිල හිටියෙ තිසා වැවේ ඉවුරෙ තිබ්බ මාර ගහක් යට. හීතල හීනි පිණි බිංදු එක්ක ගෙනාපු මද සුලග මගෙ හිතට ගෙනාවෙ පුදුම මිහිරක්. එක පාරටම මට ඒ වතුර දෝතකින් මුව දොවාගන්න ආසාවක් ආව. මම හිමීට ඒ වැව දිහාවට ඇදුනා. 

“ආ මේ.. වැසිකිළි පහසුකම් සපයල තියෙන්නෙ අර පැත්තෙ, ඒ දැන දැනත් මෙතන එනව වැවේ ඉදගන්න...“ මාර ගහ එහා පැත්තෙ ඉදන් හිටපු පොලිස් කාරයෙක් මගෙ ඇගට කඩන් පැන්න.

ඒ ලැජ්ජාවට කුඩාරමත් අකුල ගත්ත අපි අටමස්ථානෙත් නොවැදම කෙලින්ම මිහින්තලේ වදින්න ආවා. දැන් අපි ඉන්නෙ මිස්සක පව්වට නගින පෝලිමේ.

හප්පා ලංකාවෙ භාගයක්ම අද මිහින්තලේ. සේරම හදන්නෙ එක මොහොතකට හරි මිහින්තලේ නැගල බහින්න. එක පාරට මහ වැස්සක් කඩන් වැටුන. තිස්ස රජ්ජුරුවො එළවන කොට බය වෙච්ච මුවා වගේ මමත් මුවා වෙන්න තැනක් නැතුව එහෙට මෙහෙට දිව්වා.

“මේ තෙමෙනව නේද? එන්න මේ කුඩය යටට.“ අයිනකට වෙලා කුඩයක් ඉහලගෙන හිටපු කෙල්ලෙක් මට කිව්වා. දෙපාරක් නොහිත මම කුඩේ යටට ආවා.

දෙයියනේ....

කුඩේ යටට ගියාමයි මම දැක්කෙ. ඒ මුනෙ ලස්සන මම කෝමද ඔයාලට කියන්නේ. ඇදන් හිටපු සුදු ඇදුමට ඒ අහිංසක මුනෙ ලස්සන දෙගුණ තෙගුණ වෙලා පෙනුනෙ.

“මේ.. හිතන්නෙවත් නැති වෙලාවක නේද වැස්සේ?“ එයා ඇහුව.

“ඔහ්... ඔව්.. ඔයා තනියමද අනුරාධපුරේ ආවේ...??“ මම ගොත ගැහුව.

“නැහැ අයියා.. වැස්ස ආපු ගමන් නඩේ කට්ටිය සීසීකඩ දිව්වා.. මට මේ සෙනග ගොඩේ එයාලව මිසින් වුණා..“

“ඔයාගෙ නම මොකක්ද “

“මම වන්දනා..“

“ආ... ඒක තමයි මේ පොසොන් එකට අනුරාධපුරේ ඇවිත් තියෙන්නේ..“

“ඔව්.. අපි දුරුතු වලට කැළණි යනවා, වෙසක් එකට ගංගාරාමේ, පොසොන් එකට අනුරාධපුරේ, ඇසළ පෝයට අපි හැමෝම නුවර.“

“දඹදිව යන්නෙ නැද්ද?“ මම අන්තිමට ඇහුව.

“අප්පෝ.. දඹදිව යන්න තාම කල් තියෙනවා...“

“අහ්. ඒක නෙවේ ඔයාගෙ නම මොකක්ද?“

“මම විවේක..“

“ආනේ.. එහෙනම් ඉතිං වන්දනාවකට නියමෙට ගැලපෙනවා....“

“මේ වැස්ස දැන්ම පායන එකක් නැතිවෙයිද දන්නෙ නැහැ නේද නංගි?“

“මාත් එක්ක කුඩේ යට ඉන්න කැමති නැද්ද?“

“පිස්සුද කෙල්ලෙ ඔයා ඉඩ දෙනව නම් ජීවිත කාලෙ වුනත් ඔයා ලගටම වෙලා ඉන්නවා..“

“ඔය ඇත්තද?“

“ඔව් කෙල්ලෙ සත්තයි..“

“එහෙනම් පොරොන්දු වෙන්න..“

“වැස්ස පායපු ගමන් මාව මිස්සක පව්ව උඩටම එක්කගෙන යනව කියල.“

“ප්‍රොමිස් කෙල්ලේ...“

එතකොටම වැස්ස පෑව්වා...

“අන්න කියනකොටම වැස්ස පෑව්වා.. එහෙනම් යමු නේද?“ එයා ඇහුව.

“දැන් ඔයාගෙ නඩේ අය ඔයාව හොයනව ඇති..“

“නැහැ නැහැ අපි මෙහාට එන්න කලින්ම කතා කරගත්ත, මොකක් හරි හින්ද අපි කට්ටිය මිසින් වුනොත්, වැදපුදාගෙන ඔක්කොම ඉවර වෙලා අර පහලම  පඩිපෙල ලගට එනව කියල..“

“ආ... එහෙනම් අවුලක් නැහැ.“

වැස්ස නිසා සෙනග ටිකක් අඩුවෙලා. අපි දෙන්න ටිකෙන් ටික මිස්සක පව්ව උඩටම ආවා. 

“මෙතැන මොකක්ද අයියා තියෙන වැදගත් කම?“ එයා මගෙන් ඇහුව.

“මෙන්න මේ ගල උඩට තමයි නංගි මිහිදු සමිදු එයාගෙ පිරිවරත් එක්ක වැඩියේ.. එදත් මේ වගේම පොසොන් පෝය දවසක්, අර කවියකුත් තියෙන්නේ...“

““මිහිදු සදු පොසෙන් දාක අපේ රටට වැඩම කළා
මිහින්තලා ගල උඩ ඉද තිස්ස කියා කතා කළා
තිස්ස නිරිදු කළඹල වී මිහිදු සමිදු දෙස බැලුවා
සතුන් මරන්නට හොද නැහැ මිහිදු සමිදු බණ දෙසුවා...““ මම තාලෙට ගායනා කළා.

“ඉතිං ඒ කවිය වැරදිනේ අයියා...“ එයා කිව්වා.

“මිහිදු සමිදු තිස්සට බණ කිව්වෙ සතුන් මරන්න හොද නැහැ කියල නෙවේ නේ.. චුල්ලහත්ථිපදෝපම සුත්‍රය කියලනේ..“

“ඔයත් දන්න දේවල්... පණ්ඩිත කෙල්ල..“

“අනේ මම විතරද? ඔයත් පණ්ඩිතයනේ..“

ඒත් ඒ කතා කරපු පැය දෙකහමාරෙ මිහිර, ඒ සුසුම් සුවද තාමත් මගෙ පපුවෙ පිරිලා. ඒත් ඒ සුවදම මගෙ පපුව මෙච්චර රිදවයි කියල මට හීනෙන් වත් හිතුනෙ නැහැ.

අපි දෙන්න මිහින්තලේ පඩිපෙල පාමුලට ආව විතරයි...

“කෝ නංගි ඔයාගෙ නඩේ අනිත් අය??“

“ඒක තමයි කෝ පේන්න නැහැනේ අයියා...“


එතකොටම ලවුඩ්ස්පීකරේ සද්දෙ දවුල් පාරක් වගේ ඇවිත් මගෙ කනේ වැදුනා..


“සවන් දෙන්න.. මේ විශේෂ නිවේදනය මාදිවෙල සිට පැමිණි වන්දනාටය. මාදිවෙල සිට පැමිණි වන්දනා පැමිණෙන තුරු සැමියා සහ දරු දෙදෙනා මෙම ස්ථානයේ බලා සිටී...“

“අනේ අයියා.. ඒ මම ගැන කියන්නේ.. අනේ මම නැතුව මගෙ ලමයි දෙන්න අඩනවද දන්නෙ නැහැ..මම එන්නම්...“

“හොදයි බුදුසරණයි... !“

Friday, September 7, 2012

අමධ්‍යප සෑමාගෙන් බේබදු කතා....


සෙට් වීම කළ යුත්තේ ලගින්ම සිටින සමීපතමයන් සමග බව සැබෑය. එහෙත් අවස්ථානුකූලව ඒ ධර්මය වෙනස් වන්නේය. විටක වෙඩින් එකක පවා සෙට් වීමට සුදුසු අයෙක් නොමැති වීමෙන් සිදුවන්නේ සිටින තමාට නොගැලපෙන අයෙකු සමග හෝ සෙට් විමය. කන්තෝරුවේ, වැඩකරන ආයතනයේ තමා වටේ සිටින උන් අතර සෙට් නොවන මැනේජර් කෙනෙකු බෝතලයකට සෙට් වුනොත් මැනා පරිස්සම් විය යුත්තේමය. නැතිනම් කස්ටිය සෙට් වී නොදන්නා අයුරින් මැනාගේ කලිසම ගලවන්නේ බෙල්ලෙන්ය.

දිනක් සෑමාගේ මිතුරෙකු වු වීරේ (අනුවර්ථ නාමය. පොර අයියාගේ හිංසනයට ලක්වු අයුරු කියවන්න) ගාල්ලේ වෙඩිමකට ගියේය. නෑදෑයෙක්, මිතුරෙකුවත් නොවු ඒ වෙඩිමට වීරේට ආරාධනා කර තිබුනේ කොහෙන්දෝ සෙට් වුණ කෙල්ලෙක්ය. ඒ ඇයගේ අක්කාගේ වෙඩිමය. අපේ එකාද ගිහින් තිබුනේ කුමක් හෝ වාසියක් බලාගෙනය. වෙඩිමට ගිය විට කෙල්ල පැත්තකය. අපේ එකා පැත්තකය. මේසයක් අල්ලාගෙන පැත්තකට වී උඩ බලා සිටි මිත්‍රයාට එහා පැත්තේ තව කොල්ලෙක් හිද ගෙන සිටියේය. පොරද අතරමං වු සේයාවක් තිබු නිසා මිතුරා පොරට සෙට් වෙන්නට ට්‍රයි කලේය. එහෙත් පොරගෙන් වැදගත් ප්‍රතිචාරයක් නොවුන හෙයින් අප මිතුරාද පැත්තක් බලා සිටියේය. ටික වේලාවකින් මිතුරා දෙසට හැරුණ නාදුනනා තරුණයා..

“මල්ලි මක්කැයි කරන්නේ.. දුමක් දානවැයි ??“ ඇසුවේය. 

“නැතුව අහවල් එකක් කරන්නද බං මගුල් ගෙදර එන්නේ“ යැයි නුපුරුදු වදන් පෙලට ප්‍රති උත්තර දුන් අප මිතුරා දුමක් දමා පොරට සෙට් වුනේය.

විටක නෑදැයින්ගේ මගුල් ගෙදරක ගිය විට පවා හරියන් එකෙකුට ජොයින්ට් නොවීමේ අවාසනාවට මුහුන නොදුන් කිසිවෙක් නැත්තේය. බොහෝ විට නෑදෑ මගුල් ගෙවල් මග හරින නිසා බහුතරයකට එවන් කරදර නැති බැව් සැබෑය.

තත්වය එසේ තිබියදී සෑමා වැඩ කළ කලින් කම්පැනියක ක්‍රික්‍රට් තරගාවලියක් තිබුනේය. එහිදී මැනේජර් පෝස්ට් පිලිබද නොතකා සියල්ලෝම එක මට්ටමට හද මත සමපාත වූවෝය. සියල්ලෝම එකම නූලක බැදි සරුංගල් සේ අවකාශයේ නිදහසේ සැරිසරද්දි වචන හුවමාරුව  පවා උස් හඩින් සිදුවුවේය. සදට එහා දුර ගිය සෑමාගේ මිතුරෙක් සද මතුපිටට ඒමට වැඩි හරිය කබරයෙක් දමා (වමනය කර) අඩු කර ගත්තේය. එහෙත් සිහිය අවමයට වඩා ගොඩක් අඩුය.

ඒ අතර සත් ගුණවත් මහින්ද අයියා නොහොත් මැනේජර්වරයෙක් එතැනට පිය මැන්නේය. පැත්තක හිදගෙන ඔළුව දණිස් අස්සේ ගසාගෙන සිටි අප මිතුරාගේ කරට අත දමා ගත්තේය.

“මොකද මෙයාට වැඩිද?“ වටේ හිටි එවුන්ගෙන් උත්තර බලාපොරොත්තු වුනේ මහින්ද අයියාය.

“දැන් හරි යයි අවුලක් නැහැ.“ ඒ අපිය.

“නැහැ නැහැ අතන දෙහි තියෙනවා. මල්ලි අර දෙහි ගෙඩියක් ගේන්න..“ මැනා සත්ගුණවත් වීය.

අයෙක් දිව ගොස් ගෙන ආ දෙහි ලෙල්ල මැනා විසින්ම අප මිතුරාගේ හිසේ ඇතිල්ලීය. අප මිතුරා හිස නොඋස්සා සිටියේය.

“මල්ලි මෙහෙමත් හරියන්නෙ නැත්නම් මෙයාට දෙහි ටිකක් කවමු...“ කියමින් මහින්ද අයියා අපේ මිතුරාගේ හිස එසවීය.

“මොන #$%^ක්ද ඕයි.. මට මේ කටින් ඇතුලට දාගත්ත ඒවා එලියට දාන්න බැරුව ඉන්නවා, ඒ මදිවට මෙයා ඇවිත් #$%^ක් කටේ උලන්න හදනවා..“ මිතුරා සදෙන් එහා සිට සද මත සිටි මහින්ද අයියා ඇමතුවේය.

ඉන්පසු කලෙක සෑමා වැඩ කළ තවත් කම්පැනියකදී වැඩ කරන අතරතුර වයින් බීමේ සිද්ධියක් තිබුනේය. ගෙදරදී වයින් නිපදවීමේ අත්දැකිමක් තිබු අක්කා කෙනෙක් වයින් බෝතලයක් සදා ගෙදර ඔහේ තියෙනවා කියු කළ සෑමා එය ඹපීසියට ආනයනය කර ගත්තේය. එය සැගවුනේ ෆයිල් කවර පිරවු පෙට්ටියක් තුලය. වැඩ කරන අතර තුර අපේ උන් වරින් වර ඒ අසල බිම හිදගෙන ෂොට් එකක් දමාගෙන තම සීට් එකට එන්නේය. නැවත වැඩ කරන්නේය. බෝතලය මතක් වු විට නැවත ෂොට් එකක් නවා ගන්නේය. 

මෙවැනිම සිදුවීමක් සෑමාගේ මිතුරෙකුගේ ඔපීසියේ සිදුවි තිබුනේය. උන්ද මෙලෙස කබඩ් එකක සගවා තිබි ඇත්තේ රෙඩ් රම් එකක්ය. කස්ටිය වරින් වර තොල කට තෙමා ගැනීම නිසා මද පවනේ සිටියෝය. ඒ අතර මැනේජර් කෙනෙකු පාත් වීම නිසා අවසන් වරට බෝතලය අත තබා සිටි පුද්ගලයා හදිසියේ බෝතලය කබඩ් එක ඇතුලේ දමා කබඩ් එක වසා තිබුනේය. 

“මොකක්දෝ අමුතු සුවදක් එනවා...“ මැනා වට පිටාව ඉව කරමින් පැවසීය.

කිසිවෙකුගේ ප්‍රති පිළිතුරක් නැති තැන මැනා නැවත පටත්ව තිබුනේ සවස් ජාමයේ එම ඩිපාට්මන්ට් එක අස්පස් කර පිරිසිදු කළ යුතු බව පවසමින්ය. මද පවනේ සිටි නිසාම, කස්ටිය ගැම්මෙන් කාමරයම අස් කර තිබුනේය. මැනා හවස එද්දී කස්ටිය පිළිවෙලට වැඩේ අහවර කර තිබීමෙන් සතුටු වූ මැනා අයෙකුට මුදල් දික්කළේය.

“මේකෙන් ගේනවා බෝතලයක්.. කොත්තුවකුත් දාගෙන එනවා..“

මැනා එසේ කියද්දි කස්ටිය එයට එක හෙලා විරුද්ද වුයේය. ඒ තව එකක් ගැසුවහොත් මද පවන සුනු විසුනු වන නිසාය. මැනා කස්ටියගේ වචනයට අවනත නොවී එකෙක්ව කඩේ යැව්වේය. බෝතලය ආ විට එක එකාට බලෙන් පොවද්දී පළමු උගුරේ සිට කස්ටිය ක්ෂණික ප්‍රතිචාර දක්වන්නේය. මැනාට තම පිරිස ගැන කම්පාවක් ඇති වුවේය.

“අපෝ මුන්ට බොන්නත් බැහැනේ. බලනවා එක ෂොට් එකට වැනෙනවා..“ එලෙස එක එකා බයිට් කරමින් මැනා කස්ටියට උගුර උගුර සම්පාදනය කලේය. කස්ටිය වල්මත්ය. ඒ අතර අසරණය.

“මොනාද අයිසේ තමුසෙට ෂොට් දෙකක් දාන්න බැරුව කෝමද ඉස්සර පාටි දාමු කිය කිය කියෙව්වේ???“ මැනා වටේම බයිට් කරද්දි කට ඇති පුතෙක් ඉදිරපත් වුයේය.

“මෙයා මේ @#$%ක් කතා කරනවා.. වැඩ කරන වෙලාවේ හොරෙන් බොන්නයි, වැඩ ඉවර වෙලා පේන්න බොන්නයි අපි බේබද්දොද ඕයි??“

Written by sAm_9:33pm_07/09/2012

Thursday, September 6, 2012

පරම්පරා ගත ආදර අන්දරය...


මේ කතාව පටන් ගන්නේ 1840 අවුරුද්දේ. 1840 සෑමගෙ මුත්ත පයින්ම සිරීපාදෙ ගියා. දැන් ඔයාල හිතනව ඇති ඔයාලත් සිරීපාදෙ නගින්නෙ පයින් මයි කියල. මේ කියන්නෙ කන්ද උඩට පයින් යන ටික නෙවේ. ඒ කාලෙ අපේ මුතුන් මුත්තෝ කොළඹ ඉදන් සිරීපාදෙට ගියේ පයින්මයි. ඒ අතරමගදි අපේ මුත්තගෙ ඇහැ වෙන නඩේකින් ආපු වන්දනා කාරියක් ලග නැවතුනා. මුත්ත එයා එක්ක හිනා වුනා. එයා මුත්ත දිහා එක පාරක් බලල, නඩේ ගුරා දිහා බලල බිම බලාගත්ත. සමන් දෙයියන්ගෙ අඩවියෙදි එයා කට වරද්ද ගන්න අකැමැති නිසා වෙන්න ඇති. අපේ මුත්තත් ඊට පස්සෙ කට වරද්ද ගත්තෙ නැහැ. එයා අර නඩේ පිටිපස්සෙ ගිහින් එයාල සිරිපා කරුණා කරල බහිද්දි පැල්මඩුල්ල හරියෙදි අර ගෑනු ලමයව තනි කරල මෙහෙම ඇහුව.

“ඕං මම මේ ඇත්තිට මනාපයි. මොකෑ කියන්නේ??“

“ඔය ඇත්තො ඇවිදින් අපෙ අම්ම අප්පගෙන් අහන්ට..අම්ම අප්පල මනාප නම් මගෙම්මා අමනාප නෑ..“ එහෙම කියල එයා නඩේ ලගට දිව්වා.

ඊට පස්සෙ මුත්ත එයාලගෙ ගෙදරින් අහල, අදාල කාරනා සිද්ද වෙලා දැන දෙන්නට ලමයෙක් ලැබෙන්න ඔන්න මෙන්න. 

““ඈක්.. ඔක්..ඔක්...““ ආන්.. බබෙක් ලැබිල මුත්තගෙ අම්ම වැදුම් ගෙයින් එලියටත් ආව.

“අම්මේ....“ ඒ මුත්තා..

“මොකෑ බං??“ ඒ මුත්තගෙ අම්මා.

“අමුඩයක්ද????“

“ආ.. ඔව් ඔවු.. අමුඩයක්..“ ඒ කියන්නෙ මුත්තට ලැබුනෙ කොල්ලෙක්. අපේ මුත්තට ඒ ලැබුන අමුඩෙ තමා අපෙ සීයා...

ඊට අවුරුදු 20කට පස්සෙ අපේ සීයාත් කරත්තෙන් සිරීපාදෙ ගියා. සිරීපාදෙ ගිය සීයටත් අරවගේ ඇහැට කනට පේන ගෑනු ලමයෙක් අහුවුනා. සීයත් ඒ ගැනු ලමයත් එක්ක හිනාවුනා. ඒ ලමයත් සීය එක්ක හිනා වුනා. සීයටත් සමන් දෙයියන්ගෙ අඩවිය ගැන ලොකු ගෞරවයක් හිතේ තිබ්බ නිසා සීයා වන්දනා කරන් එන ගමන් ඒ ගෑනු ලමය ගෙන් ඇහුව. 

“නගා මම ඔයාට මනාපයි මොකෑ කියන්නේ..“

“කෝ ඔය ඇත්තගේ ලිපිනය පොඩ්ඩක් දුන්න නම් මට ලියුම් කරදහියක් එවන්න තිබ්බා..“

සීයා ඇඩ්ඩ්‍රස් එක දුන්න.. කටයුත්තත් කෙරුනා.. ඔන්න දැන් එයාලගෙ බබත් අඩනවා..

වින්නඹු අම්මත් වැදුම් ගෙයින් එලියට ආවා. දැන් ඔයාල හිතනව ඇති මේ කතාවට ෆිල්ම් එකක් කලොත් වැඩි වියදමක් නැති වෙයි කියල. මොකද සීන් එකේ තියෙන්නෙම සිරීපාදෙමයි, වින්නඹු ගෙදරයි. එකම ලොකේෂන් එක නිසා. 

නැහැ. ඉස්සර ලමය හම්බුනේ ගෙදරමයි. මේ ලමය හම්බෙන්නේ වින්නඹු අම්මගෙ ගෙදර.

“වින්නඹු අම්මේ.. සරමක්ද ?? කම්බායක්ද??“

“සරමක් සරමක්.. “ වින්නඹු අම්ම කිව්වා..

ඒ සරම තමා අපේ තාත්ත. එයත් වසර 20 පස්සෙ සිරීපාදෙ ගියා ට්‍රැක්ටරෙන්. එයත් ගෑනු ලමයෙක් දැකල, මළුව ලංවෙද්දි ඒ ගැනු ලමයගෙන් මෙහෙම ඇහුව.

‘නංගි මම ඔයාට කැමති. මොකද කියන්නේ‘

“ඔයාගෙ ටෙලිපෝන් නම්බරේ දෙන්න. මම කෝල් එකක් දෙන්නම්.“ ඒ ගැනු ලමය එහෙම කිව්වා. ඒ අපේ අම්ම.

කොහොම හරි ඒ දෙන්නගෙ කටයුත්තත් කෙරුනා. ඒ දෙන්නටත් දරුවෙක් ලැබෙන්න යන්නේ.

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ සුතිකාගාරෙන් දොස්තර මහත්තයා එලියට ආවා.

“දොස්තර මහත්තයෝ.. කලිසමක්ද සායක්ද??“ තාත්ත ඇහුව.

“කලිසමක් කලිසමක්..“ දොස්තර මහත්තය කිව්ව.

ඒ ලැබුන කලිසම තමා සෑමා. ඊට අවුරුදු විස්සකට පස්සෙ පාරෙ බස්එකේ සෑමා සිරීපාදෙ ගියා. සෑමටත් මගදි කෙල්ලෙක් සෙට් වුනා.

සිරීපාදෙ උඩ මළුවෙදි සෑමා මෙහෙම ඇහුව..

“I LOVE YOU.. ඔයා මොකද කියන්නේ...“

“ඔයාගෙ මොබයිල් නම්බර් එක දෙන්න.. කෝල් එකක් දෙන්නම්..“ එයා එහෙම කිව්වා..

කොහොම හරි ඒ විදිහට අපේ පවුලගෙයි මගෙයි කටයුත්තත් කෙරුනා. දැන් එයාටත් දරුවෙක් ලැබෙන්න ප්‍රයිවට් හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරල ඉන්නේ..

මෙන්න ඩොක්ටර් ලේබර් රූම් එකෙන් එලියට එනවා..

“එකස් කි්‍යුස් මී ඩොක්ටර්..“

“ඇයි???“

“ඩොක්ටර් ඩෙනිමක්ද ? ජීන්ස් එකක්ද??“

“ඩෙනිමක්.. ඩෙනිමක්.. “ ඩොක්ටර් කිව්වා.

ඊට පස්සෙ අපෙ පුතා.. කෝමහරි ඌත් කට්ටියක් සෙට් කරගෙන ඒ/සී වෑන් එහෙක සිරීපාදෙ ගියා. 

දැන් ඔයාල හිතනව ඇති සිරීපාදෙ ට්‍රිප් එක අපෙ පරම්පරාවෙ දායදයක්ද කියලත්. සිරීපාදෙ නොගිය නම් අපි කාටවත් ගෑනු නම් හම්බෙන්නෙ නැහැ කියලත්. 

කෝම හරි අපේ කෙල්ලටත් කොල්ලෙක් සෙට් වෙලා සිරීපාදෙ ඉදිකටු පහන ලගදි කොහෙම හරි ඒකිගෙන් අහල.

“BABY''“

"YES BOY..."

"I WANT YOU..I LIKE YOU.. WHAT DO YOU THINK ABOUT THAT??"

"SIMPLE නෙ බබා. ඔයා FB ඉන්නවනේ. මට REQUEST එකක් දානන්න. මම ACCEPT කරන්නම්."

ඔන්න ඒ විදිහටත් ඒ කාරනේ සිද්ද වෙලා, ඒ කෙල්ලටත් ඔන්න දරුවෙක් ලැබෙන්න.

අපේ කාලෙ වගෙ නෙවේ බබා ලැබෙන තැන කොල්ලත් ඒ ලගම ඉන්නව බබා ලැබෙන හැටි බලාගෙන.

“ඔන්න හරි.. මිස් කියපු නැකතටම සීසර් කළා..“ නර්ස් කිව්වා.

“නර්ස් බොටමක්ද ? ලෙගින් එකක්ද?“

“බොටමක් බොටමක්“ නර්ස් කිව්වා.

අපෙ පරම්පාරාවටම කොල්ලො ලැබුනෙ නැත්තම් මේ කතාව දිගට ගෙනියන්න බැරිවෙනවා...

කෝම හරි අපේ මුනුපුරා සිරීපාදෙ ගිහින්..

“OH BABY MY SWEETY''''''''''“ ඌ නල්ලතන්නියෙදිම කෙල්ලෙක් සෙට් කරන්. කෙල්ලට WORD එක දාලා.

“අද රෑට SKYPE එකේ චැට් කරමුද DARLING'''“

කොහොම හරි ඒ කාරනෙත් සිද්ද වෙලා. මොකක්ද මන්ද අපිට නොතේරෙන තැනකදි ඒ කෙල්ලටත් ලමයෙක් හම්බ වෙලා..

අන්න ලමය අඩනවා..

“HEY ඩොක්ටර්.. “

"YES''"

"DOCTOR බිකිනි එකක්ද ? BEEP BEEP එකක්ද ද?

“අහ්.. BEEP BEEP එකක්“

දැන් ඔයාල හිතනව ඇති බීප් බීප් එක කියන්නෙ මොකක්ද කියල. මුනුපුරා ඇහුවේ ඒකාලෙ කොල්ලො කෙල්ලො අදින ලේට්ස්ම ඇදුම් දෙක ගැන. ඩොක්ටර් කිව්වේ කොල්ලො අදින ඇදුම ගැන.

දැන් හිතනව ඇති ඇයි ඒක හයියෙන් කියන්න බැරි කියාල.

ඒ කාලෙ ඒක මහ හයියෙන් කිව්වට අද කාලේ ඒක හයියෙන් කිද්දි මොකක්ද මොකක්ද වගේ..

Written_10:03am_06/09/2012

Tuesday, September 4, 2012

මිනිසුන් විකන, හපා ගිලින අත්භූත සත්වයෙක් සොයා ගියෙමි - "adventure travels"


නිවසින් පාන්දරම පිටත් වූයේ ඒ මහා යකඩ සත්වයා දැක ගැනීමේ පරම චේතනාවෙන්ය. කිසිවෙකු සද්ද නොකරන පාන්දර සෑමාගේ කිටී, කැමරාව බෙල්ලේ දමාගත් කිටීගේ මලයා, සහ ඔවුන්ගේ පවුලේ සැම මෙවන් අත්භූත ගමනක් යාමට එක් වේවි යැයි සෑමා සිහිනෙකින් වත් නොසිතුවේය. වැසි සහිත කාළගුණය නිසා අත්භූත සත්වයා වෙනදාට වැඩිය දරුණු වී ඇතැයි මග තොට පිරිස් පවසද්දී වෑන් රථයේ රියදුරු මාමා නොබියව ඉදිරියට ඇදුනේය. ඉදිරිපස අසුනේ සිටි අංකල් බියෙන් තැති ගත් ස්වරූපය පිටතට නොපෙන්නූ බව නිසැකය. ඩ්‍රැයිවර් මාමා නම් අති දක්ෂයෙක්ය. පාරට නොදැනෙන ලෙස සැහැල්ලු අඩි තබමින් රෝද කැරකුවේය. ඒ වේගය මරු කැදවන නිසා නොව අත්භූත සත්වයා අවදි වුව හොත් සිදුවන සංත්‍රෑන්සිය සිතාගත නොහැකි බැවින්ය. රිය ගමන් කරන වේගය නොඇසුනද ඩ්‍රැයිවර් අංකල් වෑන් එකට ‘බීට්‘ එකක් තියා තිබුනේය. එනිසා පෙදෙසම කැලඹී යන්නට සාධාරණ හේතුවක් තිබුනේය. එහෙත් අප වග බලා ගත්තේ ඒ හඩ ඇරෙන්නට වෙනත් හඩක් නොනගා සත්වයා වෙත ලගා වීමටය.

හොලිවුඩ් චිත්‍රපට වල පමණක් දැක ඇති මිනිසුන් විකා, හපා, ගිලින යකඩ සත්වයෙක් අසලට යෑම ඇත්තටම භයානයකය. එහෙත් හුස්ම පොද බිම වැටුනත් එවන් සත්වයෙකු අසලට ගොස් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැර මෙලොවින් සමුගත්තද කම් නැති බව සෑමාගේ මස්සියා නොහොත් අලකලංචියා පැවසීය. එය කැමරාවක් බෙල්ලේ එල්ලා ගත්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගසන, ඉංජිනේරු කොල්ලෙකුගේ හිත තුල ජනිත වන සාමාන්‍ය හැගීමක් බව සමාජය නොදකින්නේය. පටු දේශපාලන න්‍යායන් සිත්තුල පුබුදුවාගත් සමාජ පථයක එවන් හැගීම් වාරණය කළ නොහැක්කේය. අප අපේ ගමනින් ඉදිරියට ඇදෙන්නේය.

මෙවන් බිහිසුනු ගමනක් ඇරඹීමට පෙර සුළුවෙන් හෝ ආහාරවේලක් කුසේ සගවා ගත යුතු බව සාමාන්‍ය න්‍යාය වුවද, ලොව ප්‍රථමවරට යකඩින් ඉපැදුන සත්වයෙක්ගේ අසලට ගොස් ඌව මාධ්‍යයට නිදහස්කොට අප අපේ සමාජ සත්කාරය අහවර කොට කුස දෙදරා යන මට්ටමෙන් ආහාර ගත යුතු බව සැමගේ මතය විය. ඒ සදහා කලින් ඇනවුම් කළ ඉදිආප්ප ලබා ගැනීමේ ස්ථානය පිහිටියේද උක්ත කී දරුණු යකඩ සත්වයා සිටිනා ඉසව්වේ වීම විශේෂයක් විය. අප සත්වයාට අසු වී අපව ඌ විකුවේ නම්, ඉදිආප්ප ඕඩරයද අහවරය. අප නිරුපද්‍රිතව සත්වයා දැක ගමන් ඇරඹුවේ නම් අප සමාජ ගත වීරයෝය. එසේම ඉදිආප්ප ඕඩරයට මුදල් ගෙවා ලබා ගත යුතුය.

යකඩ සත්වයා ගේ දත්වලට අසුව අප කීතු කීතු වූවාට කම් නැතිය. යක්ෂයාට බය නම් සොහොනේ ගෙවල් නොහදන්නේ බාස්ලාය. අප බාස්ලා නොවන්නේය. එසේම ලොව සැගවුන දැ සොයා යන කුතුහලය තරුණ සිත්වල පවතින්නේය. කෙල්ලෙක් යන විට කොල්ලෝ එබි එබී බලන්නේ ඒ නිසා විය හැකිය. වල් කමට නොවේය, සැගවුන දෑ සොයා ගැනීමේ කුතුහලය නිසා විය යුතුය. සියළු හැගීම්, කිලිපොලා යන දර්ශණ, පාළුවට ගිය මාවත් මැදින් රථය ඉදිරියට දිවෙන්නේය. මොහොතින් මොහොත අප ලංවන්නේ මරු කටකටය. නැතිනම් ලොවම වෙනස් කරන නව සත්වයෙකුගේ මාධ්‍යාවරනයකටය.

දකුණු පාදයේ සුලැගිලි තුඩකින් ඩ්‍රැයිවර් අංකල් බ්‍රේක් ගැසුවේ වාහනයේ තිරිංග එතරම් හොද නිසා නොවේය. අවට වාත ස්ථරය කම්පනය කොට හඩක් ඇති කිරීමෙන් අප ජීවිත සත්වයා බිලි ගනීවී යැයි බියෙන්ය. ඔහු දෙතොල් නැනෝ සෙන්ටිමීටර ගණනක් විවර කර වචන කිහිපයක් වාතයට නිකුත් කලේය.

“මෙතැන තමයි තැන“

එකිනෙකා මුහුන බලා ගත්තෝය. මස්සියා කැමරාව අතින් හැදුවේ තමා සූදානම් බව කීමටය. වාහනයෙන් බැසීමට පෙර අප අවට නිරීක්ෂණය කරන්නට වීය. පරිසරය නිසලය. සත්වයා ඉන්නවා යැයි පැවසූ ස්ථානය එහා පැත්තේම නිවසක්ය. අප බලාපොරොත්තුවෙන් ආවේ අප විසින්ම සත්වයාගේ ඇගට කඩා පැන, ඌගේ බෙල්ල මතට නැග, විශාල මකරෙකු හීලෑ කරන අයුරින් මෙල්ල කර ගැනීමටය. එහෙත් අවාසනාවකට සත්වයා පසෙක සිටියේය. වාහනය දුටු එහා ගෙදර අයෙකු පිටතට ආවේය.

“ඇයි මල්ලී ?“

“අයියා මේ පැත්තෙ නේද අර දරුණු සතෙක් ඉන්නව කිව්වේ, ??“

“ආ.. මල්ලිලා ඌව බලන්නද ආවේ. මේ වාහනයක් පුරවලා???“ අයියා සරම කැහැපොට ගසා ගනිමින් පොර මෙන් අපට කෝචෝක් එකට කතාකලේය.

“අපි ඌව මෙල්ල කරන්න බලාගෙන ආවේ. කෝ දැන් ඌ..“

“මගේ අප්පේ මල්ලි ඌ මේ ටිකේම පාර පුරා දුව දුව මිනිස්සු බය කළා. අන්තිමට ඊයේ හවස මනුස්සයෙක්ගෙ ඇගට පැනලා විකන්න හැදුවා. විකලා නිකං ඉන්නෙ නැහැනේ ගිලිනවා.“

අපේ කස්ටිය වෑන් එකෙන් බැස ගත්තෝය. අයියා ඇස් නටවමින් කියන කතාව කට ඇරගෙන බලා සිටියෝය.

අවසන අපි ඇසුවේ ‘දැන් කෝ ඉතිං අයියේ සතා ??‘

“අර ඉන්නෙ මල්ලි එහා පැත්තෙ ගැට ගහලා“

ගැට ගසලා නම් අවුලක් නැතිය. ඒත් කැමරාවෙන් පොටෝවක් ගසා ගත යුතුමය. සියල්ලෝම ඒ පැත්තට දිව ගියෝය. සතා මහා දම්වැලකින් ගැට ගසලාය. ඒ මදිවාට ජනතාවට පරිස්සම් වීම සදහා “විකීමට ඇත“ කියා බෝඩ් ගසලාය.
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*



පසුගිය පෝ දින හික්කඩුවේ නෑමට යද්දී උදේ කෑමට ඉදිආප්ප ඕඩර් කළ කඩේ අසල දම්වැලෙන් බැදි තිරෝද රිය දුටු අපේ කස්ටිය කෑගැසුහ. ඒ අතරම කිටී පෙන්නුවේ ‘විකීමට ඇත‘ යන බෝඩ් එකය. වෑන් එකෙන් එලියට පැන පොටෝව ගත්තේ කිටියාගේ මලයා නොහොත් මස්සියාය. ඔහු අමු අමුවේ පොටෝව බුකි ගත කරද්දී ක්ෂණිකව එය වලකා දැමුවේ මෙවන් පොටෝ පෙරදී අමු අමුවේ බුකි ගත කොට උගත් පාඩම් නිසාය. කැමරාකරු වූ අකලංකයාට (අලකලංචියාට) තුති !

Written by sAm_10:05pm_02/09/2012

Sunday, September 2, 2012

බාස් කතා - “මට්ටම් පොල්ල“


මීට පෙර සෑමා බාස් කතාවක් ලීවේය. ඒ ඕ.අයි.සී මහතෙකුගෙන් පාඩමක් ඉගෙන ගත් බාස් මාමෙක් ගැනය. බාස්ලා ගැන තවත් කතා කිහිපයක් මතක් වූ තැන සෑමා නැවත බාස් කතාවක් ලියන්නට හිතා ගත්තේය.

සෑමා පොඩි කාලයේ නිල් වෙන්නට කරන්ට් එක වැදුනේය. පැය භාගයක් පමණ සිහි සුන්ව සිටි බවට සෑමාගේ ගමම සාක්ෂි දරන්නේය. තුන වසරේ සිටි සෑමා නිවසට එද්දී සෑමාගේ නිවස උඩුමහලේ බාස් අංකල්ලා වැඩ කරමින් සිටියෝය. ඒ හෙඩ් බාස් අංකල් වුයේ සෑමාගේ ගමේ පාසලේ, සෑමාගේ පන්තියේ සිටි කෙල්ලෙකුගේ තාත්තාය. ඇය දැන් දරුවන් සිටින මවක්ය. සෑමා පාසල අහවර වී ගෙදර ආවේය. සෑමාගේ අම්මා සෑමාව රැගෙන ඉහල මාලයට ගියේ බාස් මාමලාගේ වැඩ කොටස බැලීමටය. ඒ වේලාවේ බාස් අංකල්ලා දහවල් ආහාරයට ගිහින්ය. උඩුමහලේ බිම ටෙරාසෝ කිරීමට කොන්ක්‍රීට් එක තෙමා තිබිණ. ඒ අතර සෑමා කාමරයකට රිංගා ජනේලයක යකඩ කවුලුව අල්ලා පාර දෙස බැලුවේය. බැලුවා බැලුවාමය සෑමා නිහඩය නිසලය. පහල මහලෙන් තාවකාලිකව විදුලිය ලබා ගැනීමට වයර් ඇදීම නිසා යකඩ කවුලුවට විදුලිය කාන්දු වී තිබුනේය. ඒ වයර් ඇද තිබ්බේ සෑමාගේ තාත්තා නිසා අම්මාට අසූහාරදාහට කේන්ති ගොස් සිටියාය. අම්මා ගම දෙවනත් වෙන්නට කෑ ගසා තිබුණාය. ඇයත් පැමින සෑමා අල්ලා ඇදීමට තැත් කලා නම් කවුරුවත් නොදැන දෙදෙනාම එතැනම සිටිනු නොඅනුමානය. ඉන්පසු තාත්තා පැමිණ ප්‍රධාන විදුලි ධාරාව විසන්ධි කළ විට සැමා විසිවී බිම වැටී තිබුනේය. එහෙම්මම සෑමාව රෝහලට රැගෙන යද්දී මග දී සිහිය ලැබී තිබුනේය. එතැන් සිට සෑමා විදුලි වේගයෙන් වැඩය.

පසු කලෙක වෙනත් බාස් අංකල් කෙනෙක් ආවේ අපේ වත්ත කෙලවර අතිරේඛ වැසිකිලියක් සෑදීමටය. පොර නමින් ‘නෝමන්‘ය බිත්තියක් බැන්දොත් ඒ බිත්තියට ඇණයක් ගසනවා බොරුය. ඒ තරමට සිමෙන්ති වැඩිපුර මිශ්‍ර කරන්නේය. බිත්තියට ඇණයක් ගසන්නට තැත් කර ඇණය දෙකට නැමෙද්දී අපට නිතර මතක් වෙන්නේ ඔහුගේ දයාබර දෙමව්පියන්ය. ඔහු වැසිකිලියේ කොමඩ් එක (පරණ මොඩ්ල් එක) සවිකර එදිනට වැඩ නිමාකලේය. පසුවදා ඔහු පැමිණියේය. වැඩ ආරම්භ කළ ඔහු සෑමා දෙස බැලුවේ උපහාසයෙන්ය.

“මේක ඊයෙම ඕපන් කළාද?“ ඒ බාස් මාමාය.

“ඇයි මොකද වෙලා තියෙන්නේ ?“ පොර සැම විටම තමාව විහිළුවට ලක්කරන්නට තැත් කරන බව දත් සෑමා ඇසුවේය.

“මේ තියෙන්නේ.. මම හිතුවේ ඔයා ඕපන් කරල කියලා..“  කියමින් පොර කොමඩ් එක පෙන්නුවේය. ඇතුලේ සුට්ටං බෙට්ටකි. සැබෑවට එය බළල් බෙට්ටක් වුවද අහුවූයේ සෑමාවය.

ඒ බාස් මාමාම අපේ ලොකු අම්මලාගේ නිවසේ තාප්පයක් බැදීමේ කටයුත්තකට හදුන්වා දුන්නේ සෑමාගේ අම්මාය. ඇණ ගසන්නට බැරි මට්ටමින් ශක්තිමත් බිත්ති බැදීමේ හැකියාව නිසා ඔහුට එම කාර්්‍යය පැවරෙන්නේය. එම කාර්්‍යයට අත් උදව් දෙන්නට පැවරී තිබුනේ ලොකු අම්මාගේ ලොකු පුත්‍රයාටය. බාස් මාමාගේ තරම ඔහු දැන සිටියේද සෑමා නොදන්නේය. කෙසේ වුවද බාසාට වුවමනා වුයේ ලග සිටින කිසිවෙකු හෝ විහිළු කර විනාස කිරීමය. එසේ තිබියදී අයියා පොරට අත් උදව් දෙමින් සිටියේය.

ඒ අතර බාස් අංකල් වැඩක් පැවරුවේය. සාමාන්‍යෙයන් ගඩොල් බිත්ති බදින විට ගඩොල් වතුරෙන් තෙමන්නේ වැඩි ශක්තියකින් සිමෙන්තියට අල්වා තබා ගැනීමටය. බාස් අංකල් ඔහුට වතුර බේසමක් ගෙන ඒමට භාරදුන්නේය.

“මෙන්න අංකල් වතුර බේසම. මේක ඇති වෙයි නේද?“

“අපෝ ඇති. දැන් ඔය ගල් ටික පොගන්න වතුරට දාන්න..“ බාස් අංකල් අණ කලේ සිමෙන්ති අණන ගමන්ය.

“හරි අංකල් එච්චර ගල් ගොඩක් දාන්න බැහැ මෙන්න ලොකු ගල් දෙකක් දැම්මා..“ ඒ අත් උදව් දුන් අයියාය.

“අපෝ මේ මොකද කරල තියෙන්නේ..“ අංකල් බේසම බලමින් සිනාසුනේය.

“ඇයි අංකල්නේ කිව්වේ ගල් ටික පොගවන්න කියලා..“ ඒ අයියාය.

“ඈ යකෝ තෙමන්න කිව්වේ ගඩොල් ගල්.. ඔයා මේ පොගන්න දාලා තියෙන්නේ අත්තිවාරම බදින් ගෙනාපු කළු ගල්නේ...“

එදායින් පසු අයියා ගෙදර තාප්පය බැදීමට අත් උදව් නොදුන්නේය.

වසර දෙකකට පෙර සෑමලාගේ කඩයක් කුලියට ගෙන සිටියේද බාස් අංකල් කෙනෙක්ය. පොර නමින් ‘සමරේ‘ය. ඒ ඇන්ටී සහ අංකල් ඉදිආප්ප, පිට්ටු වැනි ආහාර හදමින් ව්‍යාපරයක් කලෝය. සෑමාගේ අම්මාද ඔවුන්ගේ දහිරිය වෙනුවෙන් කඩ කාමරය දී තිබුනේ සහන මිලකටය. පසුව ඔවුන් මාස ගණනාවක ණයක් ඉතුරු කරමින් කඩය හැර ගියෝය.

ඒ බාස් අංකල් බාස් වැඩ අහවර කර මේසන් හැන්ද, ලෙවල් බටය, මට්ටම් ලීය වැනි දෑ තැබුයේ සෑමාගේ නිවසේ ගැරේජයේය. නැවත ගෙදර ගෙන ගොස් ගෙන ඒමට පොරට ඇති කම්මැලි කම නිසාත්, පසුදා උදයේ කඩයට පැමිණ රැගෙන යාමේ පහසුව නිසාත් පොර එසේ කරන්නේය.

ඒ අතර දිනක් සෑමාට පුංචි මේසයක් සැදීමට අවශ්‍යවන්නේය. මේසයට අවශ්‍ය ලී සියල්ලක් සෑමා සතු වුවත් කකුල් දෙකක අඩුපාඩුවක් සෑමාට දැනෙන්නට විය. අගල් 2‘2 පමණ ඝනකම් ලි කකුල් දෙකක් ලැබුනද තවත් දෙකක අඩුවක් සෑමාට දැනුනේය. වත්තපුරා, සැරිසැරුවද සෑමාට සෙයාගත නොහැකි වුයේ මේසයට අවශ්‍ය කකුල් දෙකය. ඒ අතර සෑමාගේ අතට අසුවුයේ සමරේගේ මට්ටම් පොල්ලය. අවශ්‍යය ප්‍රමානයට තිබුනා සේම කකුල් දෙකක් කැපීමට තරම් උසක්ද තිබුනේය. දෙවරක් නොසිතා පොල්ල අතට ගත් සෑමා එය හරි අඩකට කපා තමාට අවශ්‍යය කකුල් දෙක සකසා ගෙන මේසය සැදුවේය.

පසුදා උදේම ආවේ සමරේය. සියළු උපාංග තිබියදී සමරේගේ මට්ටම් පොල්ල මිසිං ය.

‘බලන්නකෝ නෝනා මගේ මට්ටම් ලීය උස්සලා..‘ ඒ සමරේය.

“ඉතිං මම දැක්ක ඔයා ඊයේ ඇතුලෙන් තියනවා. දැන් නැද්ද???“ ඒ සෑමාගේ අම්මාය.

“බලන්නකෝ.. ෂුවර් එකට කුලයා ගන්න ඇත්තේ.. ඕකා තමා ඔය වගේ අසික්ඛිත වැඩ කරන්නේ..“ කුලේ අප වත්තේ සැරිසරන බවත්, කුලේගේ හොරකම් දන්නා සමරේ කෑගෑවේය. (මීයා විකුණන් කෑ කුලේ ගැන කියවන්න)

“මම කියල තියෙනවා ඔයාට මෙහෙ මුකුත් තියල යන්න එපා කියලා. ඔයා කුලේ එක්කම එහෙනම් බලාගන්න.“ සෑමාගේ අම්මා අත සෝදාගත්තේය.

පසුව එදින රාත්‍රියේ කතාව ඇදී එද්දී සෑමා එතැනය.

“බලන්නකෝ සමරෙගේ මට්ටම් ලීය නැති වෙලා අද මෙතන කුලයට බැන බැන හිටියනේ..“ අම්මා කීවේ තාත්තාටය.

“වැඩිය හිතන්න එපා අම්මේ... අර තියෙන්නේ මේසේ කකුල් දෙකට සෙට් කරලා..“ සෑමා සිනහ නොවී මේසය පෙන්නුවේය.

Written by sAm_8:55am_02/09/2012
Related Posts Plugin for WordPress, Blogger...