Saturday, December 29, 2012

අප අතරේ ඉපදේවා කළු හමකින් සැරසී....



වැස්සෙ නැතත් දියවෙනවා
අව්වෙ වුනත් සීනි
පන ඇරලා රැකිය යුතුයි
ඒ හින්දා ගෝනී


ක්‍රිකට් බලන හින්දා මට
නිතර බැන්නා ගෑනී
ඒත් ඉතිං උබ හන්දා
ලිහිල් වුනා ගෝරී


සනා බැහැලා පිට්ටනියට
දුන්නා බැට දෝණී
එදා අපිත් සාලෙ ඉදන්
කෑව නේද මාරී


කඩේ පිලේ ගෑණු එක්ක
පටලාගෙ සාරී
හුරේ කිව්ව විසිල් ගැහුව
අපේ ගෙදර බාරී


ලංකාවෙ හිටිය වුනත්
සපෝට් නැති ඇමතී
ඉගෙන ගත්තා හොද පාඩම්
උඹ හින්දා ටෝනී


කළු කොල්ලන් එපා කිව්ව
පිට රැටියන් ඇඹරී
නුඹ හින්දා තැන ආවා
ලංකාවම සැනසී


ඔත්පල වී උඹ උන්නා
කීප දොහක් දුක් වී
අපේ එවුන් බාර වුණා
බෝ ගස් යට එක් වී


සංසාරේ ලෝදහමට
අනුගත වී වෙන්වී
නිවන් සුවය අත්වේවා
අපෙ ආදර ටෝනී


සුදු හම උඹ අත ඇරලා
මතු දවසක ඉපදී
ලංකාවේ ඉපදේවා
කළු හමකින් සැරසී



අපේ උන්ට නැති කැක්කුමක්
අපේ උන් වෙනුවෙන් තිබූ
හිත හොද සුද්දාට
ලාංකීය ජනතාවගේ
උත්තමාචාරය




Written by sAm ශ්‍රී Perera_08:51pm_29/12/12

Thursday, December 27, 2012

හැගීම් අවුස්සා කොල්ලන් අසරණ කිරීම...


පුංචිම කාලේ නම් කොල්ලන්ට ඉස්කෝලෙ යද්දි කිසිම ප්‍රශ්නයක් නැතිය. ඒ කලිසමට යටින් යටිතල පහසුකම් අවශ්‍ය නැති නිසාය. ඒත් කෙල්ලන්ට පුංචිම කාලේ සිට යටිතල පහසුකම් අවශ්‍යය. කොල්ලන්ට යටිතල පහසුකම් අනවශ්‍ය වීමටත්, කෙල්ලන්ට එය අනිවාර්ය වීමටත් හේතුව දන්නේ කවුදැයි සෑමා තවමත් සොයන්නේය. විටක ගල් ගුහා වැනි අදුරු පෙදෙස්වල සතුන් රිංගා කරදර වීමට ඉඩ ඇති නිසා විය හැකිය. ඉස්කෝලෙ අදින කලිසම දහම් පාසලේදී නැතිය. ඒ නිසාම දහම් පාසලේදී සරම අදිනා විට ඊට යටින් කලිසම් කොටයක් ගැසීම සිරිත විය. අන් අයට කෙසේ වුවද සෑමා අනුගමනය කළ සිරිත එයමය. නමුත් කල් යත්ම ඒ ජොකා ප්‍රධානතම යටිතල පහසුකම වෙද්දී සරමට යටින් අදින කලිසම ඉවත් කිරීමට සෑමා අකැමැති වුයේය. සරම හැද, කලිසම නැතිව, ජොකා පමණක් සිටියදී ඉර එලිය හෝ විදුලි පහන් එලියක් වැටුනහොත් විලි ලැජ්ජාවේ බැරිය. සරම විනිවිද කකුල් පෙනෙන්නේය.

ආරම්භය එසේ වුවද, දහම්පාසලේ පහ වසරේදී අපේ කොල්ලෙක් සරමට යටින් කලිසම තියා ජොකා වත් නොමැතිව පැමිණි දිනක් සෑමාට මතකය. ඒ කාලේ හැම එකාම ලැජ්ජා නිසා එකෙක්ගේ අහවල් තැන දැක්කත් අන්න මචං අරක පේනවා කියා කියන්නේ නැතිය. එදා අපේ මිත්‍රයා සරමට යටින් කිසිම සරණක් නැතිව අහවල් එකා එලියේ දමාගෙන හිදගෙන සිටි අයුරු සෑමාට මතකය. කොල්ලෝ පිරිසට මුහුණලා කෙල්ලෝ පිරිස හිදගන්නා නිසා එකී ස්ථානය හොදින් පෙනුනේ කෙල්ලෝ සෙට් එකටය. උන් හොරැහින් ඒ දෙස බලද්දි විලි ලැජ්ජාවේ කටවසාගෙන සිටීමට අපට සිදුවිය. එසේම දිනක් වැඩිහිටි අයියා කෙනෙකු දහම්පාසලේ ප්‍රධාන ශාලාවේ දෙකට නැමී පැදුරක් හකුලමින් සිටියේය. එදා පිටු පසින් පැමිණි එකෙක් දෙකට නැමී සිටි අයියාගේ සරම පහල කෙලවරින් අල්ලා අයියාගේ පිට මතට නැමුවේය. එදා ඒ අයියා යටින් කලිසමක් හැද නොසිටියා නම් අපේ මිත්‍රයාට වූ විලි ලැජ්ජාවට වඩා දෙයක් සිදුවනු නියතය. එනිසා සරමට යටින් කලිසම ඇදීම වැදගත්ය.

ඒ සියළු කතන්දර අතීතයේ සිදු වූ දේවල්ය. මෑත දිනයකදී සෑමාගේ මිතුරෙකු පාසලේ සිදුවෙන වැඩකට සහය දීමට ආවේය. ඒ මේ දිනවල පාසල් නිවාඩු කාලය නිසා අප පාසලේ ආදිශිෂ්‍ය කණ්ඩායමේ වැඩකට දායක වී සිටින නිසාය. එදා බර වැඩ කොටසක් තිබු නිසා මිතුරා ආ හැටියේ කියා සිටියේ මචං මම ජොකා දාලා නැහැ කියාය. එවන් විටක බර වැඩ කිරීම නුසුදුසු බව වෛද්‍යය මතයය. එනිසා අප මිත්‍රයා පැත්තකට වී සිටියේය. පසුව සියළු වැඩ අහවර වී බැඩ්මින්ටන් ක්‍රීඩා කරන්නට තවත් මිතුරෙකුගේ නිවසට ගියේ ජොකා රහිත මිතුරා සමගමය. එහෙත් එහි ගොස් ඌ උඩ පැන පැන බැඩ්මින්ටන් ගැසුවේය. එතකොට කිසි අහවල් එකට කිසිම ප්‍රශ්නයක් ඇතිවන්නේ නැද්දැයි අපට තාමත් ගැටළුවක්ය. ඒ ගැටළුව මැද සිටියදී අතීත කථාවක් එළියට පැන්නේය.

ඒ 2003 වසරය. කිසියම් කාර්යයකට අප ශිලාගේ නිවසට සෙට් වුනේය. ඒ අතර අහල පහල ගෙදරක සිටි තවත් මිතුරෙකු එහි ඇවිත් සිටියේය. හදිසියේ කිරිබත්ගොඩ දෙසට යාමට අපට අවශ්‍යතාවයක් ආවේය. එවිට ශිලාගේ නිවස අසල සිටින මිතුරා කෑගසන්නට වූයේය.

“අඩෝ මට නම් එන්න බැහැ ඕං...“

“ඇයි යකෝ වරෙන්.. ඉක්මනට ගියා ආවා..“

“නැහැ බං මම ජොකා නොදා ආවේ... මෙහෙම කෝමද බං යන්නේ..“

“පිස්සුද යකෝ අපිත් මේ ගෙදර ඉන්න ගමන් ආවේ.. අපි සමහර එවුනුත් දාල නෙවේ ඉන්නේ..“ 

මිතුරාගේ සිත බොරු වැලකින් සනසමින් සියල්ලෝම බසයට නැගුනෝය. සාමාන්‍ය මට්ටමින් ලෝඩ් වූ බසයක ගැස්සි ගැස්සී ගමන් කරද්දී අපේ උන් ජොකා රහිත මිතුරා අසරණ කිරීමට පියවර ගත්තෝය.  එය සැලසුම් සහගත ක්‍රියාවක් බව මිතුරා නොදත්තේය. එහෙත් ඔහුට හෙරෙන් පිරිස නොයෙක් කතන්දර කතා කරන්නට වූවෝය. සාමාන්‍ය නිරෝගී කොල්ලෙකු කිසියම් වනචර කතාවකින්, උත්තේජනය විය යුතුය. නොඒසේනම් ඒ කොල්ලාට ලෙඩක්ය. නැතිනම් අවයව අඩුක්ය.

මචං අර ෆිල්ම් එකේ මෙහෙම වුණා, අරහෙම වුණා, අරකද මේකද කියමින් කට්ටිය කතා කරද්දි ජොකා රහිත මිතුරා තම අවධානය වෙනතක ගේන්නට උත්සාහ කළ බවක් පෙනෙන්නට තිබුනේය. අපේ කතාවට කන් නොදුන් ඔහු පහත් වී කවුළුවෙන් එලිය බැලුවේය. විටක තම අත මිට මොලවා තම මුහුනටම තට්ටු කළේය. තවත් විටක හිස කසන්නට, තමන්ගේම මුහුණ අතගාන්නට පටන් ගත්තේය. එහෙත් වටින් ඇහෙන රාගික කතන්දර හා වචන මිතුරා අසරණ කළේය. වෙනතක අවධානය යොමු කරන්නට තැත් කරද්දී පවා අහවල් එක හිස සැලුවේය. ටිකින් ටික හිස එසෙව්වේය. මිතුරා කිසිත් නොකීවද අපේ උන් ඔහු ගැන අවධානයෙන් සිටියේ සිනාසෙන්නට අවස්ථාවක් නැති නිසාමය.

සැලසුම අති සාර්ථක වූවේය. මිතුරා අසරණ වී වට පිට බලද්දී ඒ අසලම හිදගෙන සිටි ඇන්ටී මිතුරා දෙස බැලුවේ රකුසු බැල්මක්ය. විටක හිස ඔසවන, නැවත හිස සලන, ගොළු බෙල්ලෙකු සේ එළියට ඇදෙන, ඇතුලට දිවෙන, අහවල් එක ඇන්ටීගේ උරහිසේ දැවටුනේය. විටක අතේද, දැවටුනේය. ඇන්ටීට කරකියා ගත් දෙයක් නොමැතිව මිත්‍රයාට ඔරවින් සිටියාය. මිත්‍රයා ඇන්ටීගේ පතිවත රැකීමට මහත් වෙර දරමින් නොගෑවෙන සේ ඈත් වී සිටියේය.

එසේ අපහසුවෙන් පැමිණි ගමන නිමා කරමින් සියල්ලෝම බස් එකෙන් බැස්සෝය. අපේ මිත්‍රයාගේ පිබිදුනු හැගීම් හැකිලෙමින් තිබියදී අපේ එකෙක් මිතුරාට පාරේ ගමන් කරමින් සිටි ලස්සන කෙල්ලෙක් පෙන්නුවේය. ඉතා අපහසුවෙන් ඉවසා සිටි තරහව මිත්‍රයා පිටකළේ නොයිදුල් සුද්ධ සිංහලෙන්ය.

“බස් එකේ එනකල්ම මාව ටියුන් කරලා දැන් පාරෙදිත් ටියුන් කරන්න හදනවද යකෝ... මල්ලි උලුක් කරන් පාරෙ යන්න බැහැ හුxx... තොපිට මතක නැද්ද මම ජොකා දාල නෙවේ ඉන්නේ...“

Written by sAm ශ්‍රී Perera_06:31pm_27/12/12

Tuesday, December 25, 2012

නත්තල් දා අවසන් වූ සෑමාගේ තෙවසකරක ආදරය...


නත්තල සැමට සතුට ප්‍රීතිය ගෙන දෙන්නේය. ඒ ආගම් භේදයක් නැතිවය. කතෝලික, ක්‍රිස්තියානි ඇත්තෝ ජේසුස්වහන්සේගේ උපත සිහිකොට සතුටුවෙද්දී අනෙක් ඇත්තෝ නිවාඩු දිනයේ සුවය ලබන්නෝය. එසේම නත්තල් සමරන අයගේ පාටි වලට සැට් වන්නෝය. ඒ සියල්ල මැද සෑමාටද පාටියක් සෙට් වුනේය. ඒ කිටියාගේ ගෙදරින්ය.

සියල්ල එසේ සිදුවෙද්දී වසර තුනක් පැරණි සෑමාගේ ආදර බිද වැටෙන්නේය. කතාව නම් මෙසේය.

සෑමා 2009 වසරේ ආලෙන් වෙලන්නේය. සියළු බාධක මැඩගෙන සෑමා තමාට සුදුසු දේ තෝරාගන්නේය. කල් යැල් බලා සෑමා සුදුසු බැම්මෙන් වෙලන්නේය. එහෙත් අවාසනාවට සෑමාට ඊට සුදුසුකම් මදි බව ඇගේ පැත්තේ අය කියන්නේය. සෑමාට ඌරු ජුවල්ය. කරන්නට දෙයක් නැතිය. සෑමාට වත්කම් පෙන්නා ඇයව ලබා ගන්නට සිදු වූයේය. සෑමා සියළු කටයුතු සූදානම් කොට තමාගේ වත්කම් හෙලි කළේය. එදින සෑමාට ඇයව ලැබුනේය. සෑමා මුළු ලොවම දින්නේය. සතුටින් සිටියේය.

දිවා රැයේ සෑමා ඇය සමග සම්බන්ධ වුවේය. ආදර, සෙනෙහස සහ උණුසුමින් සෑමා ඇය ලග උන්නේය. ඇයද සෑමාට නොසෑහෙන්න සාධාරණයක් ඉටු කරන්නීය. සෑමාගේ සියළු කටයුතු වලට ඇය උපකාර කරන්නීය. සෑමාගේ දකුණු අත සේ ඇය සියළු භාරදූර වගකීම් දරන්නීය. සෑමා ලද සියළු ජයග්‍රහනවලට පැසසිය යුත්තේ ඇගේ නොසෑහෙන උපකරයන්ය.

උතුරා යන සෙනෙහස මැද්දේ සෑමාට ඇගේ උණුසුම මදි වන්නේ මේ අතර කාලයේය. කොතරම් ලග සිටියත් ඇය සමග හුරතල් වීමට සෑමාට හිත දෙන්නේය. ඉක්බිති සෑමා උත්සාහ කරන්නේ ඇය සමග යහන් ගත වීමටය. ඇය සමග මේසය මත සිට, පුටුව මත හිදගෙන ආදරය කළ කාළය, ලගින් රැදෙමින් හුරතලින් කතා කළ කාලය සෑමාට මදි වන්නේය. සුව පහසු යහනක් මත වැතිර, සිනිදු කොට්ටයක් මත හිස තබා, ඇය ලගින් වැතිරෙන්නට සෑමා වෙර දැරුවේය. වසර ගණනාවක් රැදුනු ප්‍රේමයේ විශ්වාසය තිබියදී පවා ඇය සෑමා සමග යහනක නොවැතිරුණාය. ඒ ආදරය මදි කමක් නිසා නොව, මේසය, පුටුව මත රැදි ආදරය යහන් කරා රැගෙන යාමට ඇති අපහසුව නිසාය.

දින ගෙවුනේය. සෑමා නිවසට ලැප් ටොප් එකක් ගෙනාවේය. ඇය ඊට වඩාත් කැමති වූවාය. වෙනදා රැදි සෙනෙහස උතුරා යන්නට වුයේය. සෑමාද ඇයට ඇති සෙනේ වැඩි කළේය. ඇය වෙනදාට වඩා සෑමාට උපකාර කළේය. ලැප නැති කාලේ ඇය කළ උපකාර නොදැනීම දෙගුණ වූයේය. ආදරය දෙගුණ වෙද්දී නැවත සෑමාට සිහිවූයේ මේසය, පුටුව මත රැදි ආදරය සයන කරා ගෙනයාමටය. උණුසුමින් යහනේ වැතිරෙන්නටය. සෑමා නැවත ඇයට ආයාචනා කළේය. ඇය නිරතුරු උණුසුම් කළේය. සෑමා ජය ගත්තේය. ඇය එකවරම සෑමා සමග වැතිරුනේය. පළමු රැය එකම යහනේ සෑමා සමග වැතිර සිටි ඇය ඊට ඇබ්බැහි වූවාය. එතැන් පටන් දිනපතා ඇය සෑමා සමග රැය ගත කළාය. උණුසුම් වුවාය. වැඩි හරියක් උණුසුම් වී ආදරයේ බාධක බිදෙන්නට පෙර ඇයව නිදි කරවන්නට සෑමා සමත් වුවේය.

දින සති මාස ගෙවී ගියේය. ඉක්බිති වසර 3ක් ගෙවී නත්තලට පෙර දින රැය උදා වූවේය. සුපුරුදු පරිදි සෑමා ඇයත් සමග යහනට වැදුනේය. ඇය යහනේ සතපා සෑමා මදුරු දැල දැමීමට නැගිට සිටියේය. මදුරු දැල සකසා සෑමා විදුලි බුබුළු නිවා දැම්මේය. ඒ නිවා දමා ඇය වැතිර සිටින අසලින් වැතිර ගැනීමට සෑමා කළුවරේම යහන මතට අත තබා බර දුන්නේය. වසර තුනක් ගෙවු පෙමක් එක මොහොතින් අවසන් වූයේය. ලැපට සවිකර තිබූ සෑමාගේ ඩොංගලයේ කොනකට සෑමා අත බර කර තිබුනේය. ඒ සමගම යහනේ පොල්ලක් කඩා වැටී ඩොන්ගලෝ කොනක් ලැපේ සිරව තිබියදී අනෙක් කොටස කැඩී බිම වැටුනේය. දැන් ඩොංගලය කොටස් දෙකක්ය. 

2009 වසරේ නිවසේ විදුලි බිල් පෙන්නා කම්පැනියට වත්කම් පෙන්නා ගත් ඩොංගලය, ඩෙස්කටොප් කම්පුයුටරය තිබුණු කාලේ මේසය මත පුටුව මත ආදරය ගොඩ නැගුණු ඩොංගලය, ලැප් එක ගත්දා සිට සෑම රැයක් ම සෑමා සමග යහන් ගත වූ ඩොංගලය, වැඩිය උණුසුම් වන්නට නොදී ගලවා දැමූ ඩොංගලය, ඊයේ රෑ සෑමාගේ අතට තදවී, ඇදේ පොලු කැඩී දෙකඩ වූ ඩොංගලය, සෑමා අතැර ගිය පුවත නම් එසේය. අද උදේ ඊයම් ඩොට් තබා හේමේ අංකල් (හේමේ ගේ සේලයින් සහ ධර්මේ ගේ ජොකා, බයිස්කෝප් හේමේ)නැවත එකතු කළ ඩොංගලය, බිම වැටී නැවත දෙකඩවූ අයුරු සෑමාගේ සිත තවන්නේය. දවන්නේමය. නැවත ප්‍රතිසංස්කරණය සදහා හේමේ අංකල් ඩොංගලය රැගෙන ගිය නිසා පෙටෝ නැත.

පලි - තම ඩොංගලය මලයාට පරිත්‍යාග කළ සෑමාගේ අයියාට පිං !

කෙසේ වුවද සුභ නත්තලක් වේවා.. !

Written by sAm ශ්‍රී Perera_08:54pm_25/12/12

Sunday, December 23, 2012

මායාවරුන්ගේ චින්තනය සහ ආසියාවේ ආශ්චර්ය...


අතීතයේ ඉන්දියන් සාගරයේ පුංචි රටක් වූයේය. එය නම් මායා වරුන්ගේ දේශය නම් වූයේය. ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලනයකින් හෙබි මායාවරුන්ගේ රාජ්‍යය ඉතා මනරම් වුයේය. වර්ථමානයේ ආසියාව නම් වන මහද්වීප කොටසට පහලින් පුංචියට මායා දේශය පැවතියේය. එහි තනිකරම තිබුනේ මායාව පමනක්ය. එනිසාම එය ආසියාවේ ආශ්චර්යය වූයේය. රාජ්‍යෙය් රජු මනා බුද්ධියකින් හෙබි වූයේය. රජු වට රාජ පරම්පරාව දැහැමින් වැජඹුනේය. රජු වටා සිටි සහෝදර කැළ රජුට මනා ශක්තියක් වුයේය. එය රට වැසියාට මෙන්ම රට වැසියාගෙන් පසු එන ඊලග යටවැසි පරම්පරාවට පවා මහත් ආනිශංස ගෙන දුන්නේය.

රාජුගේ පරපුරට සහය දැක්වීමට ඊටත් යටින් සිටියේ යහපත් ගුණ ගරුක ඇමති මණ්ඩලයක්ය. දක්ෂ විවාද ශීලා මුඛ යන්ගෙන් පිරිපුන් එම ඇමැතිමණ්ඩලය රට කළෝය. රට වැසියා නිතර නිතර ඔවුනට පින් දුන්නෝය. එය නම් රජුගේ මව්තුමිය තව්තිසා දෙව්ලොව පවා ඉපදෙන්නට පවා හේතු වාසනා වුනේය. රජුට දාව උපන් පුත් කුමරුන් පවා මහජන සේවයට කැපවූවෝය. අයෙක් අභ්‍යාවකාශය ජය ගත්තේය, අයෙක් මහ මුහුද ජය ගත්තේය, අයෙක් රට වැසියා ද විටෙක ක්‍රීඩා පිටිය ලෙස නොයෙක් අන්ත ජයගත්තෝය. ඒ දැන මහජනයා නැවත නැවත දෙමාපියන්ට පිං දුන්නෝය. එවිට රජුට එම පිං ලැබුනේය. ඔහු යෙහෙන් වැජඹුනේ ඒ පිං බලයෙන්ය.

දිනක් මායා රටේ විභාගයක් පැවැත්වුනේය. විභාගයට පෙර විභාග ප්‍රශ්න පත්‍රය එලියට පැන්නේය. ලමයි ඒවා බලා ලකුණු තරකර ගත්තෝය. ප්‍රශ්න පත්‍රය හැදූ අය පවා මායාවේ රහස සොයා ගත නොහැකිව උඩ බිම බැලුවෝය. පසුව පහ වසරේ ලමයින්ට විභාගයක් තිබුනේය. එහි ප්‍රශ්නවලට උත්තර පහවසරේ තියා උසස් පෙල ගුරුවරුන්ට පවා සොයා ගත නොහැකි වුයේය. විභාග කොමසාරිස්ට පවා සොයා ගත නොහැකි වූ නිසා ඔහුද මායාවෙන් වෙලුනේය. ඒ අතර උසස් අධ්‍යාපන ඇමතිතුමා උසස් පෙල ප්‍රශ්න පත්‍රවල ලකුණු දීමට සූත්‍රයක් මැතුරුවේය. ඒ සූත්‍ර බලයෙන් විභාගයේ ලකුණු අඩුම එකා කැම්පස් ගියේය. වැඩිම එකා ගෙදරය. විද්‍යාව කරපු උන් ගෘහ විද්‍යාවටද, ගෘහ විද්‍යාව කරපු උන් වෛද්‍ය විද්‍යාවටද තේරුනේය. එයින් මායාවේ වෙලුනේ උසස් අධ්‍යාපන ඇමති තුමා නෙවේය. විභාගය කරපු ලමයින්ය. උන් මායවේ දැවටී වෙලී සිටියෝය.

මායාවරුන්ගේ රට ස්භාව දහමට ආදරේය. කෘෂි ආර්ථික ක්‍රමයට ගැතිය. ඒ නිසා කෘෂි බෝග, වෙළද පොලට ගෙන ආ යුත්තේ ප්ලාස්ටික් භාජන වල බවට නීතියක් මායාවරුන්ගේ රටේ ස්ථාපිත වුයේය. ඊට අකැමැති වූ වෙලෙන්දෝ පාරට බැස්සෝය. එලවලු විසිකර විනාස කර විරුද්ධ වූයේය. ඒත් මායා රටේ ඇමතිතුමා තම මතයේය සිටියේය. ඒ ආත්මාර්ථකාමී හෝ නොනැමෙන හිසක් ඇති නිසා නොවේය. දක්ෂ කලමනාකරනයක් යටතේ ජනතාවට එලවලු කැවීමටය. දින කිහිපයක් එලවලු විනාශ වී කුණු වී ගිය පසු මායා රටේ ඇමතිතුමාගේ හිස නැමුනේය. කූඩ වල එලවලු ගෙන ඒම පසුවට කල් දැම්මේය. ඒ කාලේ එළවලු මිල නැග්ගේය. එවිට ජනතාව මායාවේ පැටලී සිටියෝය. තවමත් මායාවේ පැටලී සිටින නිසා වරින් වර තිබෙන ජනතාවරන රජු නිතරගයෙන් පත්වෙන්නේය.

මායාවරුන්ගේ රටට සුපිරි වාහන ආවේය. පාරවල් වැහුනේය. මායා රටේ කුමරු පාරට බැස්සේය. අගනුවර සියළු පාරවල් වැහුවේය. මායා රටේ ජනතාව මහා දුකින් නිවීමට කාර් හතර වටේ පැද්දුවේය. ඇස් උල් වී ගියේය, මිනිසුන් ඇගුලි තුඩු වලින් එසවී පාර දෙස බැලුවෝය. දුම් දාගෙන යන වාහන වලට දුම් පරීක්ෂා නැත්තේය. සද්දෙ දමන වාහන වලට ශබ්ධ දූෂන නැත්තේය. බඩේ පණුවන් සියල්ලෝම විනාස වී ගියේ ඒ දුමට හා සද්දයටය. මිනිසුන් විසිල් ගැසුවෝය. මායාරට සරුසාර වූයේය. මිනිසුන් නැවත බල්ටි ගැසුවේය. මහා තරගාවලියක් අවසානේ ජනතාව දිනුවෝය. සියළු දුක්ඛිත ජීවිත කෙලවර වී සතුටින් ඉපිලී ගියෝය. තවමත් ඒ දුක නැතිය. තෙල් මිල පසුව වැඩි වූවද මායා රටේ ජනතාව එය නොසලකා හැරියෝය.

ඒ අතර මායා වරුන්ට දින දර්ශනයක අවශ්‍යතාවය තදින් දැනුනේය. වසර ගණනාවකට සරිලන කැලැන්ඩරයක් නිර්මාණය කිරීමට කටයුතු සම්පාදනය වූයේය. ඒ සදහා විවිධ නම් යෝජනා වූවද වැඩේ පැවරුනේ බන්දු ට සහ ඇස්.බී ටය. උන් දෙන්නා තරම් මේ වැඩ වලට නම් දැරු දෙදෙනෙකු නැති බව මායා රටේ රජු කීවේය. බන්දුවා දිව ගොස් රවුම් ලෑල්ලක් ගෙනාවේය. ඇස් බී දිව ගොස් චෝක් කෑල්ලක් ගෙනාවේය. දෙදෙනාගේම අකුරු ඉලක්කම් කැතය. අනික රවුම් ලෑල්ල පිරෙන්නට ලියන්නට තරම් කුඩා අකරු නොවේය. ඒ සදහා කාන්තා නම් යෝජනා කළේ රටේ රජුය. 

රජු පබා කුමරිය ගෙන ආවේය. ඇය සාරිය පටලවාගෙන ආවාය. ඇගේ අකුරු නම් සිරාය. රවුම්ය. පුංචිය. රජු දුන් කොළ කැබැල්ලේ ඇය අපුරුවට ඉලක්කම් ලියුවාය. බන්දු හා ඇස් බී ඇයව මීට සුදුසු බව අනුමත කලෝය. පබා කුමරිය චෝක් කෑල්ල අතට ගත්තාය. බිත්තියට හේත්තු කළ ලෑලි කැබැල්ලේ ඉලක්කම් ලිවීමට දෙකට නැමුනාය. සාරි පොට බිම හැලී හැට්ටය එලියට ආවේය. බන්දු ගැස්සුනේය. ඇස් බී තිගැස්සුනේය. රජු කරේ තිබි තුවා කෑල්ලෙන් ඇස් දෙක ගැට ගසා ගත්තේය. බන්දුගේ, ඇස් බීගේ සරම් උඩ ගියේය. පබා ගැස්සී දිව ගියාය. වැඩේ කොට උඩය. රජුට නම් මලය.

රජු වැඩේට අනර්කෙලීගේ නම යෝජනා කලේය. නමුත් ඇයට ඉලක්කම් බැරිය. එහෙත් ඇය ඉංග්‍රීසි වචනෙන් ඉලක්කම් ලිවීමට කැමති වූවද එයට ඉඩ නොලැබුනේ ලෑලි කෑල්ලේ ඉඩ සීමිත බැවින්ය. ඒ අතර ගීතා රැජිනට ද ඇරයුම් ලැබුනාය. එහෙත් ඇයගේ අත ගැස්සෙන නිසා, කල්පනාව අඩු නිසා රජු ඇයට අතෑරියේය. වැඩ සියල්ල කොට උඩය. ඇස්බීට සහ බන්දුට මල පැන්නේය. තමන්ට වැඩේ පාඩුවේ කරන්නට දුන්නේ නැති නිසා ලෑලි කෑල්ල මාලිගාවට හේත්තු කර දෙදෙනා ගෙදර ගියෝය.

මේ අතර ලෑලි කෑල්ල දරට ගැනීටම, ශිරා රැජින කුස්සියට රැගෙන ආවාය. රජු එය දුටු කළ කීවේ මේ අපේ උන් කැලැන්ඩරයක් හදන්න ගෙනාපු ලෑල්ල කියාය. ශිරට මල පැන්නාය. පබා කුමරිය කැදවා කරපු විගඩම ඇයට ඒ වනතුරුත් ආරංචි වී තිබුනේය. ඇය වහා ලිප් බොක්කෙන් අගුරු කෑල්ලක් ගත්තාය. වහාම රවුම් ලෑලි කෑල්ලේ ඉලක්කම් ලියුවාය. එය රජ මාලිගේ එල්ලුවාය. මහා කාලයක් රජවරු පවා පාවිච්චි කලේ එම කැලැන්ඩරයමය.

එකී මායාවරුන්ගේ කැලැන්ඩරය 2012 දී මහා විනාසයක් ගැන කියමින් ලෝකයම බය කළේය. මෑතකදී ගෙවුනේ එකී විනාසකාරී දිනය. උක්ත මායාරුන්ගේ රටේ රාජ බිසව කළ වැඩේට අපි හැමෝම බය වුනේය. දැන් නම් අවුලක් නැත්තේය. එවන් පාලකයන් නැවත කිසිදා මෙලොව බිහි නොවනු ඇත්තේය. අපේ රටේ නම් මේ කිසි කරදරයක් නැත්තේය. රජු දැහැමින් රට කරන්නේය. මායාවක් නැතිය. බොරුව නැතිය. වංචාව නැතිය.

එහෙනම් චීරං ජයතුමය. ... !!


Written by sAm ශ්‍රී Perera_06:55pm_23/12/12

Thursday, December 20, 2012

විජ්ජාව.. ලීක් වේ...


ඉස්සර අපි ඉක්කෝලෙ ඉගෙන ගත්තේ විද්‍යාවය. ඒත් එය මුලින්ම පටන් ගත්තේ හතර වසරේදි විතරය. ඒ නම් ආරම්භක විද්‍යාවය. පසුව එය විද්‍යාව ලෙස වෙනස් වුනේ 9 වසරේදි විතරය. ඒකත් හරියට මතක නැතිය. ඒත් ඒ මොනවා වුනත් විද්‍යාවමය. පසුව එක එකා බෙදෙන්නට ගත්තේ විවිධ විද්‍යාවන්ටය. ගෘහ විද්‍යාව, කාර්මික විද්‍යාව, කෘෂිවිද්‍යාව ලෙස එක එකා කැඩෙද්දී ඉස්සර සිට ආ විද්‍යාව එසේම තිබුනේය. ඒ මොනවා වුනත් වෙනම විශයක් ලෙසටය. පසුව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ලෙස ප්‍රධාන විශය ධාරාවන් බෙදී උසස් පෙළ දර දඩු විද්‍යාවන් යටතේ පැවත්වන්නේය.

ඒ කාලේ අපේ ගමේ කොල්ලෙක් සිටියේය. ඌ නම් සිරාම අප්සට් බුවෙක්ය. ඌ දවසක් කිව්වේ උන්ට විද්‍යාව ඉගැන්වුයේ හාමුදුරුනමක් කියාය. එය නම් කිසිසේත් විය නොහැකිය. අපට නම් අපේ පාසලේ බුද්ධාගම විෂය ඉගැන්වුයේ හාමුදුරුනමක්ය. ඒත් විද්‍යාව වැනි විෂයක් හාමුදුරුනමක් උගන්වනවා කීම සාමාන්‍යෙයන් සිදුවිය හැක්කක් නොවේය. එක්කෝ පාසලේ ගුරුවරුන් අඩු වීමක් නිසා සිදු විය හැකිය. එහෙත් ඒ වෙනුවට වෙනත් ගුරුවරයෙක් යොදනවා හැර හාමුදුරුනමක් ඊට අනුයුක්ත කෙරෙන්නේ කලාතුරකින්ය. අපි වැඩි දුර ප්‍රශ්න කරගෙන යාමේදි පොර කියා සිටියේ විද්‍යාවෙන් අවිද්‍යාව දුරුවේ යන්න ඉගැන්වුයේ හාමුදුරුවන් බවය. මූ එදා බුද්ධාගම පීරියඩ් එකේ නින්දෙන් අවදිව විද්‍යාව පොතේ කුරුටු ගාන්නට ඇත්තේ හාමුදුරුවන් උගන්නපු ගාථාවක් වන්නට පුලුවන. ඌ හිතන්නට ඇත්තේ විද්‍යාව යන වචනය බුද්ධාගමේ නැති බවය.

විද්‍යාව විජ්ජාව වී විභාග වලට සාප කරන කාලයක් එලැබ ඇත්තේය. එය ඉවසා සිටීම දේශප්‍රේමී ජනතාවගේ යුතුකමය. එසේම ආශ්චර්යක් කරා දිවෙන ඇමති මණ්ඩලයට කරන සහය දැක්වීමක්ය. බන්දු මාමා මඩ සෝදාගෙන නියර දිගේ දිව ආවේ රජකමට පත්වෙන්නටය. ඒ අස්සේ අත්තටගේ මාමා කළ විජ්ජාවෙන් නැවත මඩ ගොඩක එරුනේ බන්දු මාමාය. ඒ අහිංසකයාට ගොඩයාමක් ඇත්තේම නැතිය. කොහෙන් හෝ හෙනහුරෙක් පාත් වන්නේය. විපක්ෂයේ සිටියානම් අද රජෙක්ය. එදා ආණ්ඩුවට රෙදි ගැලවෙන්නට කතා කළ එකා අද කලිසම්, සරම් ඔලුවේ පටලවාගෙන දගලන්නේය. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියා දැන්වත් තේරෙනවා ඇතිය. ඒ තේරුන්ත ලැජ්ජ නැතිය. ඉස්සර ලස්සනට රැලි ගැසී තිබුන කොණ්ඩය පවා දැන් රැලි මැකි ගොස් කෙලින් වෙලාය. ඒ ප්‍රශ්න නිසාමය.

සෑමා 2003 වසරේ සාමාන්‍ය පෙල ලීවේය. ඒ කාලේ නම් විද්‍යාව අද මෙන් විජ්ජාවක් නොවේය. එය විද්‍යවක්ම වුවේය. ඒ කාලේ ඔය කියන අත්තටගේ අයියා දරුවන් කිහිප දෙනෙක් සිටින අහිංසක සර්ය. දැන් නම් මහා පඩිවරයෙක්ය. සෑමා ඒ කාලේ ඒ කියන අයියා ලගට ගියේ නැතිය. එහෙත් පාසලේ හෙන සැට් එකක් සිටියේ අයියා දෙයියා කරගෙනය. විද්‍යව ප්‍රශ්න පත්‍රය ලිවිමට පාසලට ගිය දවසේ විභාග ශාලාවේ භාගයකට වඩා ශාලාවේ සිටියේ නැතිය. “අන්න යකෝ පේපර් එක පන්නලා. කට්ටිය ඉන්නවා පැමිලියන් එක පැත්තේ“ කියද්දී කට්ටිය ඒ පැත්තට ගිය නම් මතකය. එක පේපර් එකක් තියාගෙන කස්ටිය වට වෙලා බලනවාය. ඒකේ ප්‍රභාසංෂ්ලේෂන සූත්‍රය තිබ්බා සෑමාට මතකය. එහෙත් එය බැලිය යුතුම නැතිය. සෑමාට ඒ කාලේ විද්‍යාව නම් වතුරය. ගලාගෙන යන්නේය. එදා ඔරිජිනල් පේපර් එක අතට එන්නට පෙර අපේ උන් හොර ජිනල් අත්තටගේ අයියාගේ පේපරය දෙතුන්පාරකට වඩා කියවා සිටියෝය. කියෝපු එවුන් අනේ පව් විය. උන් හොර ජිනල් පේපරයෙන් අන්ද මන්දව සිටියා මිසක ඔරිජිනල් එකේ මුකුත් ලියා ගත නොහැකිව සිටියෝය. ගමේ තිබ්බ විද්‍යාව ක්ලාස් ගිය සෑමාට ඒ‘ අකුරක් ලැබුනේ අත්තටගේ අයියා හමු නොවු නිසාය. නැතිනම් එදා උදේ සෑමාගේද ෆියුස් යනවාය.

ඒත් එකී අයියා දැන් නම් දක්ෂය. කිව්වොත් ෂොට් එකටම ප්‍රශ්න 20ක් වත් පේපරයේ එනවාය. ඒ කියන්නේ ක්ලාස් යන උන් ඒ‘ අකුරක් කරා මහන්සි නොවී ඇස්‘ අකුරක් දැක බලා සැනසෙනවාය. රටට ලැබෙන්නේ දක්ෂයන් නොව ඇස් අකුරු ගසා විභාගය යන්තම් ගොඩ දැමු සැට් එකක්ය. ඒත් අත්තටගේ අයියා ගොඩය. වෙනතැන්වල ගිහින් ෆේල් වෙන උන්, වෙන තැන්වල ගිහින් මහන්සිවෙලා ඒ‘ ගන්න උන් එක තැනකට සෙට් වී ඇස්‘ එකට මහන්සි වෙනවාය. එය නම් මරුය. එය නම් සමානාත්මතාවයමය.

මේ විජ්ජාව මේ විදිහට කළකට ඉහතදි කරන්නට ගොස් අපේ සිංහල පන්තියේ සර් තව පොඩ්ඩෙන් ඔන්ද ස්පොට් සොරි කර ගන්නවාය. ඒත් ගානට නූලට රජ ඔටුන්නට පඩුරු දමා පුද සත්කාර කිරීමේ අනුහස් ලබන්නට සර් දක්ෂයෙකු වුයේය. තවමත් කතන්දර අහන්නට, සර් කොල්ලා දැක සැනසෙන්නට කෙල්ලෝ පෝලිමේ කාඩ් කපාගෙන එනවාය. ඒ සර් පාඩම අස්සේ දාන කුනුහරප වලින් බඩ දරු වීමට නොවේය. ඒ කුනුහබ්බ අස්සේ සැගවුනු පාඩම සොයා ගැනීමටය. විභාගය ගොඩ දැමීමටය.

අපේ සිංහල සර් ලොක්කා සමග සැට් වුයේ පන්නපුවා අහුවූ නිසා ජීවිතය බේරා ගැනීමටය. එසේ නම් අත්තටගේ අයියා පන්නලා බය නැතුව ඉන්නේ කලින්ම ලොක්කා සමග සැට් වී සිටින නිසාද? රජ ගෙදර පාවඩ එලන්නන්ට වෙනම නීතියක් සහ මහ මග සිටින්නනන්ට තවත් නීතියක් යන සංකල්පයක අවසානය ලෝක විනාසයෙන් පසුවටද?

Written by sAm ශ්‍රී Perera_09:26am_20/12/12

Monday, December 17, 2012

ඔබ කවුරුද, නුදු‍ටු සබඳ? - හෙන්රියාට පිළිතුරක්




ගෙදර බිත්තියේ එල්ලෙන කැලැන්ඩරයේ මාසයක් ගෙවුණ පසු උඩින් තිබෙන පිටුව ගලවා දැමිය යුතුය. විටෙක සමහර ගෙවල් වල තිබෙන පැරණි පිටු ගැලවෙන්නේ මසකට වරක් නොව මාස කිහිපයකට වරක්ය. ඊට හේතුව කම්මැලිකමද කාර්යය බහුලත්වයද කියා සිතා බැලීමට කාලය එළැබ ඇත්තේය. එලෙසම නිවසේ බිත්ති ඔරලෝසුවේ බැටරිය ඉකුත්ව ගිය කළ එම බැටරිය මාරු කිරීමට දින කිහිපයක් ගතවෙන නිවෙස්ද ඇත්තේය. ඊට හේතුව කාර්ය බහුලත්වයද නැතිනම් කම්මැලි කමද කියා සිතා බැලීමට කාලය එළැබ ඇත්තේය. ඒ සියල්ල මැද දිනපතා උදේ පාන්දර තම නිවස අද්දරින් කාර්්‍යාලයට යන, පාසැල් යන, අයට බලා ගත හැකි වන පරිදි කැලැන්ඩරයක් මෙන් සැකසූ කාඩ්පත් කිහිපයක් නිවසේ පිටත් බිත්තියේ එල්ලා, දිනපතා එහි කාඩ් මාරු කිරීමට කාළය කැපකෙරූ සෑමාගේ ගමේ නිවසක් සහ එහි සාමාජික පිරිස අගය කිරීමට අපේ හෙන්රියා බ්ලොග් ලිපියක් ලියුවේය.

ඔබ කවුරුද, නුදු‍ටු සබඳ? ලෙස ඔහු ලියු ලිපිය සෑමාගේ ඇස් ඇරෙව්වේය. මෙතෙක් කල් තම ගමේ සිදුවූ ආකර්ෂණීය සිදුවීමක් බොල්ලෑගල ග්‍රාමයෙන් කිලෝමීටර කිහිපයක් ඈත හෙන්රියා ලියන තුරු අතපසු වීම පිළිබද සෑමා කනගාටුවන්නේය. ඒ අතර හෙන්රියාට ස්තුතිවන්ත වන්නේය.

සිය ලිපියේ හෙන්රියා ඡායාරූප තුනක් අඩංගු කළේය. ඉන් පළවෙනි රූපය සෑමාගේ ගෙවල් අසල, ප්‍රධාන මාර්ගයේ රූපයක්ය. නොදැනීම හෝ හෙන්රියා සෑමාගේ නිවස ඉදිරියේදි ෆොටෝවක් ගසා ඇත්තේය. එසේම හෙන්රියා බොහෝ කාළයකට පසුව මේ පැත්තෙන් ගිය නිසා තමන් කැලැන්ඩරය සහිත නිවස කියා සිතා ඡායාරූපයට ගෙන ඇත්තේ වෙනත් නිවසක්ය. 



මේ ඡායාරූප දෙකේම සදහන් වන්නේ උක්ත දින කැලැන්ඩරය තිබු නිවස නොව ඊටත් මීටර 300ක් පමණ එහායින් නිවසක්ය. ඇත්තෙන්ම මේ නම් සෑමාගේ මාමා කෙනෙක්ගේ නිවසක්ය. හෙන්රියාගේ ලිපිය ඌන පූර්ණය කිරීමට සෑමා නිවැරදි නිවසේ ඡායාරූපයක් ගත්තේය. නමුත් හෙන්රියාට නිවැරදි ස්ථානය අමතක වීමට සාධාරන හේතු කිහිපයක් ඇත්තේය. එනම් කැලැන්ඩරය සහිත රවී අයියාගේ නිවසේ උඩුමහල දැන් නවීකරණය වී අළුතින් කොටසක් එක් වී ඇති නිසාය.

ඊතලයෙන් දක්වා ඇත්තේ තවමත් ඉතිරිව ඇති බිත්තියේ ගැසු කැලැන්ඩරයේ කාඩ් පත්ය.

රතුපාට අකුරින් කාඩ් පත් මත ලියැවුනු අපූරු ඉලක්කම් සහිත දින කැලැන්ඩරයේ දිනය, දවස, සහ අවුරුද්ද නිසි ආකාරයෙන් බියගම මහා මාර්ගයට නිරාවණය වන්නේය. ඉන් මාර්ගයේ ගමන් කරන උදවියට නිවැරදිව දිනය කියා පෑවේය. ඇත්තටම හෙන්රියා ඉල්ලා සිටි තොරතුරු වලට ප්‍රති පිළිතුරක් ලෙස සෑමා මේ පෝස්ටුව තබන්නේය. එසේම පිළිතුරු පමා වූවාට සමාව අයදින්නේය.

ඇත්තටම කිසිම ලකුණු දමා ගැනීමක් හෝ ප්‍රසිද්ධිය සදහා කිසිම පටු චේතනාවක් නැතිව රවී අයියාගේ අම්මා නොහොත් ජැනට් ඇන්ටී මේ කැලැන්ඩරය ප්‍රදර්ශනය කළාය. ඒ කාලේ උඩුමහලේ රතුපාටින් දැක්වෙන කොටස සාදා තිබුනේ නැතිය. එය මෑතකදී එක්වූ කොටසක්ය. ජැනට් ඇන්ටී සහ ඒ අංකල් බොහෝ කාළයක් නොවැරදී මෙම කැලැන්ඩරයෙන් නිහඩ සමාජ මෙහෙවරක් කළෝය. ඒ අතර අංකල් මෙලොවින් සමුගත්තේය. ඇන්ටී කැලැන්ඩරයේ වැඩ ඊටත් පසු බොහෝ කාළයක් නඩත්තු කළාය. බොහෝ ආදරය කළ සුරතල් බූල් බල්ලන් කිහිපදෙනෙක් ඇයට සිටියාය. ඉස්සර සෑමා සහ සෑමාගේ අක්කා ඇන්ටීගේ හාඩ්වෙයාර් එකට (පහළ මහල) ගිය විට ඇන්ටී උන්ගේ කතන්දර අපට කීවාය. ඒ තරමට ඇය සතුන්ට ආදරේ කරන තැනැත්තියක්ය. එසේම නිහඩව සමාජයට සේවයක් කළ ඇත්තියක්ය.

හෙන්රියා ලිපියෙන් ඇසුවේ ඇයි මෙහෙම කැලැන්ඩරයක් කළේ කියාය. එයට නම් හේතුවක් නැත්තේය. ඇයට සිතුන නිසා ඇය එය සමාජ මෙහෙවරක් හැටියට කළ බව කීවාය. එහෙත් එච්චර කාළයක් කළ සේවාව අතරමග නැවතී ගියේ ඇයිදැයි සෑමා ප්‍රශ්න නැගුවේය. ඊට හේතුව වුයේ ඉහළ මාලයට අළුතින් එකතු වූ කොටසය. එසේම ඇගේ කාර්යය බහුලත්වය සහ දැන් සියළු කටයුතු භාරව ඉන්න ඇගේ පුතු හෙවත් රවී අයියාගේ කාර්යය බහුලත්වයය.

නමුත් ඇස් ඇරිය යුත්තේ දැන්ය. 

මේ ලොව, ඉතා අගනා කලා කරුවෝ බිහිවුනේය. නමුත් ඔවුන් කළ සේවය, ඔවුන් කළ නිර්මාණ ලොව තුල රදවාගෙන ඔවුන්ගේ නම ගෙන යාමට දක්ෂ දරුවන් බිහිවුනේ නැතිය. මේ ලොව, ඉතා දක්ෂ ව්‍යාපාරිකයෝ බිහිවූයේය. නමුත් ඔවුන්ගේ දරුවන් තම දෙමාපිය ධනය විනාශයට පත් කළා මිසක දක්ෂ ව්‍යාපාරිකයෝ නොවුනේය. එසේම තම දෙමාපියන් කළ සමාජ සත්කාර වැඩි දියුණු කොට නැවත සමාජයට උපරිමයෙන් බෙදාදීමට හපන්කමක් ඇති දරුවන් බිහිවීම නම් වටින්නේමය. 

දිනක් ජිප්සීස් කණ්ඩායම් නායක සුනිල් පෙරේරා රූපවාහිනියේ පෙනී සිටියේ තම පුතු වන ගයාන් පෙරේරා සමගය. ඔවුන් දෙදෙනාටම මල්, ගල්, මඩ ප්‍රහාර නම් එමටය. එහෙත් සුනිල් පෙරේරා එතැන කියූ කතාව නම් දාර්ශනික ගතියක් ඉසිලුවේය. “මම ගයාන්ට කියල තියෙන්නේ කවද හරි දවසක ගයාන් කියන්නේ සුනිල් පෙරේරගෙ පුතා කියල හදුන්වන තැනට එන්නෙ නැතිව, සුනිල් පෙරේරා කියන්නේ ගයාන්ගෙ තාත්තා කියන තැනට එන්න කියලා.“ ඔහු අදහස් කළේ දෙමාපිය අන්‍යතාවයෙන් වැජබෙන්නෙ නැතිව තමන්ටම කියා ප්‍රතිරූපයක් හදා ගන්නා ලෙසය.

එසේම උක්ත සමාජ සත්කාරයේදී ජැනට් ඇන්ටී කළ සේවාව රවියාට කරන්නට බැරි කමක් නැතිය. ඌත් හිත හොද එකාය. එම කාර්යය කිරීමට රවියාට හැකියාවක් ලැබේවා කියා සෑමා පතන්නේ ඉතා ඉපැරණි සිංදුවක් මතක් කරමින්ය.

ළමයා- මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

සීයා- ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

ළමයා- දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද

සීයා- මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

ළමයා- තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට

සීයා- පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල

අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

ළමයා- මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

නැවතත් හද පිරි ස්තුතිය හෙන්රියාට සහ එම ලිපියේ වැදගත් අදහස් සහිතව කමෙන්ට් කළ සැමට.. !

Written by sAm ශ්‍රී Perera_11:40pm_17/12/12

මේ සෑමාගේ 200වන පෝස්ටුව බවත්, ගම්පහ ගෙට්ටුව ජනවාරි 27 ඉරිදා ෂොට් එකටම තිබෙන බවටත් සතුටින් දැනුම් දෙමි.

Thursday, December 13, 2012

සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතු කාලයයි මේ...


සියළු සංවිධාන සංගම් පාරට බහින්නෝය. ඒ උන්ට එක එක ඉල්ලීම් දිනා ගැනීමටය. ඒත් අහිංසක අපේ එවුන්ට, එනම් ස්ක්‍රීන් එකක් ඉස්සරහට වී යුනිකෝඩ් වලින් බ්ලොග් ලියන අපේ උන්ට පාරට බැසීමට කිසියම් හේතුවක් තිබේදැයි ඔළුවේ අතගසාගෙන කල්පනා කළ යුතු තැනට අප දැන් පත්ව සිටින්නේය. මේ පිළිබද ගැඹුරින් කල්පනා කරද්දී, සිතුවිලි එකින් එක වැල නොකැඩී ගලා එන බව කිව යුතුය. ඒ නම් මෙසේය.

නොදන්නා කෙනෙක්, දන්නා නමකින්, බ්ලොගක් හරහා එකිනෙකාට සමීප වෙද්දී එවන් බ්ලොගක් පිටුපස සිටිනා මනුස්සයා කවුදැයි දැන ගැනීමට අපට කුතුහලයක් උපදින්නේය. ඉතින් එවන් කුතුහලයක් ඇති කරගෙන ගෙදරට වී කල්පනා කරනවාට වඩා අප පැරට බැසිය යුතුය.

සමහර විටක බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් එකිනෙකා හදුනනවා ඇතිය. ඔවුන් ගියවර සයිබර් උලෙලේදී හමුවී තිබෙන්නට පුළුවන. ඒත් නැවත හමූවී මිත්‍රත්වය වැඩි දියුනු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකිය. එසේනම් තවත් කල් නොමරා සියළු බ්ලොග් කරුවන් පාරට බැසිය යුතුය.

බොහෝවිට ඔබේ බ්ලොගට නොවරදවාම එන තවත් බ්ලොග්කරුවෙක් සිටිය හැකිය. ඔබේ බ්ලොගේ සාර්ථකත්වය වෙනුවෙන් නිතර උපදෙස් දී ඔබට සපෝට් කරනවා ඇතිය. නැතිනම් ඔබ ඔහුගේ ඇයගේ බ්ලොගට ගොස් නිරන්තරව කමෙන්ට් කරනවා ඇතිය. එකිනෙකාට අදහස් හුවමාරු කරගන්නවා විය හැකිය. එහෙත් තිරයෙන් පිටුපසට වී, සාමාන්‍ය ජීවිතයේදී හමු නොවී උදව් උපකාර කරන මිතුරා දැක ගැනීමට ඔබ උනන්දු විය යුතුය. එසේ නම් ඔබ ඇතුළු සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය.

ඹබ කොළඹ, ගාල්ල, නුවර, ගම්පහ හෝ මොනයම් පැත්තකට වී බ්ලොගක් ලියනවා විය හැකිය. ඒ අතර ඔබ කැමතිම තවත් බ්ලොගක් ඔබේ පැත්තේම සිට කිසිවෙකු විසින් ලියනවා විය හැකිය. එහෙත් ඔබ ඒ බ්ලොග්කරුවා හෝ බ්ලොග්කාරිනිය නොදන්නවා විය හැකිය. එසේ වෙනවා නම් එය ඔබටත් ඔබේ ගමට/නගරයටත් නින්දාවක් වන්නේමය. තමන්ගේ ගමේ එකාගේ බ්ලොග ඔබ නොදැන සිටීම ඔබට කෙරෙන නින්දාවක් නොවන්නේද? එසේනම් ඔබ, ඇතුළු සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය.

විටක ඔබ තනිකඩ වන්නට පිළිවන, නැතිනම් පෙම්වතා, හෝ පෙම්වතිය ඔබව හැර ගොස් බොහෝ කල් වන්නට පුලුවන. නැවත නොයිදුල්, නොකැලැල්, අවංක පෙමක් බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකිය. එසේ නම් ඔබ කියවන බ්ලොග්වල සිටින අවංක පෙම්වතුන්, පෙම්වතියන්, කාත් කවුරුත් නැති අවංක ආදරවන්තයන්, ආදරවන්තියන් හමුවී එම බන්ධනය විවාහයක් දක්වා දුර ගෙනයාමට ඔබට අවස්ථවක් ලබා ගත හැකිය. ඒ සදහා ඔබ ගෙදරටවී සිට වැඩක් නැත්තේමය. එසේනම් සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය.

සෑමාගේ ආච්චී සහ සීයා ලව් කරන කාලේ ඔවුන්ගේ දෙමාපියන් ඒ කටයුත්තට විරුද්ධ වූ බව කිව යුතුය. සෑමාට ඒ මතක් වෙද්දී පවා දුක හිතෙන්නේය. ඒ කාලේ එකම ඉඩමක ගෙවල් දෙකක අසල්වාසින් ලෙස ඔවුන් සිටියෝය. එහෙත් දෙපැත්තේම දෙමාපිය මැදිහත් වීමෙන් දෙදෙනාගේ පෙම්හබයට බාධා මතුවූවේය. එසේ තිබියදී ඉඩම මැදින් දෙදෙනාට හමුවීමට නොහැකි වන සේ විශාල වැටමාර ගස් පෙලක් හිටවූයේ දෙමාපියන් විසින්ය. ආච්චී සහ සීයා විවිධ උපක්‍රම යෙදුවේ තමන්ගේ සම්බන්ධය නොකැඩී තබා ගැනීමටය. සීයා දිනපතා උදේ සවස එහා පැත්තේ සිට වැටමාර ගස්පෙලට මුත්‍රා කළේද ඒ නිසාමය. එවිට වැට මාර ගස් විනශ වී දෙදෙනාට හමුවීමට හිඩැසක් හදා ගැනීමටය. එහෙත් එම යූරියා මිශ්‍රනයේම උදව්වෙන් වැටමාර ගස් සරුසාරෙට වැඩෙන්නට වූයෙන් එම ක්‍රමය අසාර්ථක වූයේය.

සියල්ල අත්හල සීයා ආච්චී වෙනුවෙන් බ්ලොගක් ලිව්වේය. කිසිවෙකුත් කියවන්නට නොපැමිණි ඒ බ්ලොගට, දෙවන තුන්වන පෝස්ටුවේ සිට කමෙන්ට් වැටෙන්නට පටන් ගත්තේය. සීයා තවත් උද්යෝගයෙන් තමන්ගේ දුක්ඛිත ආදර කතාව අකුරු කළේය. ඒ අතර නොවැරදී හැමදාම බ්ලොගට එන බ්ලොග්කාරිනියකගේ කමෙන්ට් සීයාට දැක ගන්නට හැකි වුයේය. එම ලින්ක් එක ඔස්සේ ඇගේ බ්ලොග සොයා ගත් සීයාට දොලොව රත් වුයේය. තමන්ගේ බ්ලොග් පෝස්ටු ඇය හොරකම් කර ඇති බවට සීයාට තද වූයේය. වහාම ඇයට විරුද්ධව පියවර ගත්තේය. නමුත් ඇය කීවේ තමන් කොපි නොකල බවක්ය. කරුණු එකින් එක විමසද්දී දෙදෙනාට වැටහී ගියේ දෙදෙනාගේම කතාව එකක් බවය. එනම් දෙපැත්තට වී එකම කතාව ලියා ඇත්තේ සීයා සහ ආච්චීය.

ඔබටත් මෙවන් අත්දැකීම් සෙට් වෙනවා නියතය. එසේනම් ඔබ නොදුටු මිතුරන් දැක ගැනීමට, ඔවුන් දැක හදුනා ගැනීමට, සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය. පාරට බැස එකම දිශාවකට ගමන් කළ යුතුය.

එසේනම් සූදානම් වන්න, සියළු බ්ලොග්කරුවන් ගම්පහ ප්‍ර දේශයට එකතුවන දින වැඩි ඈතක නොවේය. එය බොහෝ විට ජනවාරි පළමු හෝ දෙවන සතියේ විය හැකිය. වෙනසක් නැතිව අපි සයිබරයේ ලබන වින්දනය, ගම්පහදී ලබා ගනිමු. වැඩි විස්තර ලගදීම..

ස්තුතී !
සැමට ජය !

Written by sAm ශ්‍රී Perera 9:03am_13/12/12

වැඩේ ස්ථිරයි.. ඔන්න 2013 වසරේ ජනවාරි 27 ඉරිදා, ගම්පහ හෙනරත්ගොඩ නොහොත් මල්වත්තේදි හමුවෙමු...


පිං කැමැත්තෝ, සැප කැමැත්තෝ මේ ලින්කුවෙන් රෙජිස්ටර් වේවා..... මෙතන කොටන්න

Monday, December 10, 2012

බල්ලෙක්ට ලියමි...


මම කල්පනා කළා ඇයි උඹ මට මෙච්චර දරුණු කියලා. මාව දන්නෙත් නැතුව, මම උඹට වරදක්වත් නොකර, උදේ, දවල්, රෑ ඕනෙ වෙලාවක මම උඹේ ගෙවල් ලගින් ගියොත් උබ මගෙ ඇගට පනිනවා. එල්ලෙන්න හදනවා. පස්සෙන් පන්නගෙනම එනවා. එතකොට මම උඹට කරදරයක් නොවෙන්න පරිස්සමට, ස්ටීරිං වීල් එක පැත්තට හරවලා, වේගෙන් ඉස්සරහට යනවා, ඇක්සලේටරේ ලෑල්ලට පාගනවා. 

මම කැමති නැහැ උඹට බනින්න, ඒත් උබ මහා බල්ලෙක් තමයි. ඒත් අනිත් බල්ලෝ පාරවල් දිගේ ඇණ කොටා ගන්නකොට උඹ ඉන්නෙ ගෙදරට වෙලා. ඒත් උබ මගෙ පස්සෙන් විතරක් පන්නන හේතුව තමා මම හොයන්නේ. දැන් උඹ අහයි සෑමා කෝමද ඒක දන්නෙ කියලා. උඹට වැඩිය උඹ ගැන දේවල් මම හොයාගත්තා. ඒ වටේ පිටේ ඉන්න වෙන බල්ලන්ගෙන් අහලා. ඒත් උන් උබට වඩා බලු පාටයි. උඹට වගේ බෙල්ලේ පටියක් නැහැ උන්ට. උන් දුප්පත් නිසාද මන්දා. එක්කො කාගෙන්වත් සරණක් නිසාද මන්දා. සරණක් නැහැ කියන්නත් බැහැනේ, උන් උබට වඩා ලොකුවට ඉන්නවා. උඹ පොඩියි කියල කිව්ව නෙවේ. උන්ට සාපේක්ෂව උඹට හොදයි කිව්ව වගේම, උන්ට සාපේක්ෂව උබ පොඩී.

එකම එක දවසක් මම මහ රෑ එද්දි උඹ පාරට පැන්නෙ නැහැ. වෙනදට කොයි වෙලේ බැලුවත් මිදුලට වෙලා ඉදලා මගෙ වාහනේ සද්දෙට පස්සෙන් පන්නගෙන එන උඹට කරදරයක් වෙලාවත්ද කියලා මම කල්පනා කළා. එක්කො උඹ වැරදිලා වෙන වාහනයකට පැනලා ඒකට යට වුණාවත්ද කියල මම කල්පනා කළා. එක්කො උඹව ගෙදර අය කූඩු කරන්න ඇති කියලත් හිතුනා. එහෙම හිතාගෙන වෙනදට උඹ පනින නිසා උඹේ ගේ ලගින් වේගෙන් ඉගිල්ලෙන මම නිදහසේ හෙමීට උඹේ මිදුල පහු කරමින් හිටිද්දි, උඹ පැනගෙන ආවා. ගේ ඇතුලේ ඉදලා. ආපු වේගෙන් දඩස් ගාලා පිටිපස්සෙ දොරේ හොම්බ තිබ්බා. උඹට රිදුනද බලන්න මට විදිහක් නැහැ. මම නවත්තලා බැස්සොත් සමහර වෙලාවට උඹ මාව කන්න බැරි නැහැ. මොකද උඹ මගෙ වාහනේ ට පනින, හේතුව මම නොදන්න නිසා. ඉතිං මම පාගලා ගියා. උඹෙන් බේරෙන්න හිතාගෙන.

පහුවදා උදේ මම ඒ පැත්ත බලාගෙන ආවෙත් කලින් දවසේ උඹට කරදරයක් වුණාද කියලා කල්පනා කරගෙනම. අනේ උඹ ඉන්නව වෙනද වගේම, හිටගෙන පාර බලාගෙන. මගෙ නම්බර් ප්ලේට් එකට අකැමැත්තෙන්ද? නැත්තං මට ලයිසන් නැහැ කියල හිතාගෙනද මන්දා උඹ ආයෙත් පැන්නා. මට හිතාගන්න බැහැ උඹ මට මෙච්චර වෙනසක් කරන්නෙ ඇයි කියලා. මම කල්පනා කරනවා හැමදාම උදේ, හවස, උඹ මාව පන්නද්දි.

එදා මම ගෙදර එන ගමන් උඹලගෙ ගෙවල් ලග ඉන්න මගෙ මිත්‍රයා, බ්ලොග් පෝස්ට් ගොඩක වීරයා වුණ දෝදුවා දාගෙන ආවා වාහනේ ම. ඇයි කියල අහන්න එපා ඌව දාගෙන ආවේ. මොකද මාස තුනකට පාරක් වත් උන් එක්ක සෙට් වුනේ නැත්තං අවුල්. ඔන්න ඌ ඉන්නකොටම මම උඹලගෙ ගේ පහු කරනවා. වෙනද වගේම උඹ මගෙ වාහනයට පනිනවා. මම උඹේ ගමේ මගෙ මිත්‍රයා දෙසට හැරෙනවා. මම ඌට විස්තර කරනවා.

බලපං මචං ඔය බල්ලා හැමදාම මගෙ වාහනේට පනිනවා. මොකද මන්දා සීන් එක.

අහ්.. මම දන්නව මචං, ඒත් මම හිතුවෙ නැහැ ඒ උඹ කියලා.

ඒ මොකක්ද බං ඒ කතාව????

දෝදුගේ කතාවෙන් සෑමාගේ ඇස් උඩ යනවා. සෑමා ආයෙත් ප්‍රශ්න කරනවා.

මොකද බං සීන් එක?

නැහැ මචං, ඔය බල්ලාගේ පැටියෙක් හිටියා ඔය වගේම. ඌව වාහනයකින් හප්පගෙන ගිහින් චෝප්ප වෙලා ඉද්දි මූ එතන්ට වෙලා වටේටම බුර බුර ඉදල තියෙනවා.

ඉතිං??

කවුරුත් වාහනේ දැකල නැහැ. වාහනේ නවත්තල වත් නැහැ. උගෙ මීටරේ හොදනම්, උඹ තමා බලු පැටියව හප්පලා තියෙන්නේ.

යකෝ මේක මාර කෙලියක්නේ, මම හැප්පුව නම් මම දන්නව නේ බං. එහෙම නම් මම උඹෙන් මේ ගැන කොහොමටත් අහන්නෙ නැහැනේ.

එහෙනම් මචං ඌ උඹේ ජාතියෙ හැම වාහනයකටම පනිනවා ඇති. ඒකයි සීන් එක.

දෝදු මට කියපු විස්තරය හරි නම්, මම උඹට වෛර කරන්නෙ නැහැ. කලින් වුනත් මම උඹව බේරුවා මිසක් උඹේ ඇගට කපලා, උඹට බැන්නෙ නැහැ. මම බලං හිටියේ උඹ හැමදාම වාහනේට පැනලා බුරාගෙන දුවගෙන එනකල්. හෙටත් උඹ වාහනේට පැනපං. පැටියා මරපු එකාට තියෙන තරහ නිවෙනකල් පැනපං. හැබැයි පරිස්සමෙන්. උඹට තුවාල වෙයි.

පලි - ලෝකෙට පේන්න ලොකු ගණන් වලට බල්ලො හදන වෙලා, කළගුණ දන්න වල් බල්ලෙක් හදන්න, ආදරෙන්. උන් ලොකු ජාතියෙ එවුන්ට වඩා ලස්සනයි හොදට කන්න දුන්නම. ආදරෙන් බලා ගත්තම.

Written_by_sAm_ශ්‍රී_Perera_03:22pm_09/12/12

Friday, December 7, 2012

නැතිවූ කාලය නැවත ලබා ගනිමු... - අසික්කිත උපදෙස්


වෙලාවට වැඩ කිරීම නම් බහුතරයකට කරන්න බැරි වැඩක්ය. ඒ නිසාම බහුතරයක් තම ඔරලෝසුවේ වේලාව පවා තබා ගන්නේ විනාඩි කිහිපයක් වැඩිපුරය. එවිට අත කරකවා වේලාව බැලු විට අප්පද බොල පරක්කු වෙලා යැයි සිතා හදිසියේ වැඩ කටයුතු කරන්නේය. එය පසු කාලීනව අසාර්ථක වූයේ වැඩිපුර නේද වෙලාව තියල තියෙන්නේ යැයි සිතා හරි වේලාව ගණනය කර කටයුතු කරන්නට පටන් ගත් නිසාය.

වෙලාවට වැඩ කිරීම අතින් සෑමා නම් සාමාන්‍ය මට්ටමක සිටින්නේය. කිසියම් ගමනක් යෑමට සූදානම්ව තවත් කිසිවෙකු සූදානම් වෙනතුරු බලා සිටීම තරම් අපහසු රාජකාරියක් සෑමා දැක නැත්තේය. එසේම තමන් සමග හවුලේ ගමනක් යන යම් පිරිසක් වේද, ඔවුන්ගේ හැසිරීම් රටාව මත සෑමා සූදානම් වෙන වේලාව පවා වෙනස් කර ගන්නේය. බොහෝවිට ගමනක් යද්දී මගදී තම මිතුරන් හවුල් කර ගන්නට වේ නම් සෑමා ගෙදරින් පිටත් වෙද්දීම උන්ට කෝල් කරන්නේ මග රස්තියාදුවට අකැමැති නිසාය. ඉන් කිව්වේ සෑමා සදාතනිකව වේලාවට වැඩ කරන ඩයල් එකක් කියා නොවේය. එහෙත් යම් ගමනක් යෑමට තිබේ නම් උදේ පමා වී අවදි වුවහොත් ඒ පමා වූ කාලය අල්ලා ගැනීමේ හැකියාවක් සෑමාට තිබෙන්නේය. එය මෙසේ අකුරු කිරීමෙන් නැති වූ කාලය නැවත ලබා ගැනීම පිළිබද අදහසක් සෑමා තම රසිකයන්ට ලබා දෙන්නේය.

පමා වී අවදි වූ අය, නැති වූ කාලය ලබා ගැනීමට සෑමා අනුගමනය කරන මෙවන් පියවර අනුගමනය කරන්න.

දත් මැදීම

සමහරු නම් පමා වූ විට දත කට නොමැද පවා ගමන් බිමන් යන බව නොරහසක්ය. ඒත් සෑමා නම් කොපමන පමා වුවත් දත් මදින්නේය. ඉස්සර සෑමාගේ අයියා නම් උදේ දත් මැද්දාට පසු හවස් ජාමයේ ගමනක් බිමනක් යන්නේ නම් මූණ පිහිදාන ටවල් එකෙන්ම ඉස්සරහ දත් සැට් එක අතුල්ලනවා සෑමාට අද වගේ මතකය. එය තාවකාලික පැලැස්තර විසදුමක්ය. උදෑසන පමා වී අවදි වූයේ නම් සෑමා කරන්නේ කාර්්‍යයන් දෙකක් එකට කිරීමය. සාමාන්‍යෙයන් අප වැසිකිලියේ, කොමඩ් එකේ ඉදගෙන සිටිනා කාලය අපරාදේය. ඒ කාලයෙන් වැඩක් ගැනීමට නම් හෝ නැති වූ කාලය නැවත ලබා ගැනීමට නම් සෑමා කරන්නේ කොමඩ් එක මත හිදගෙනම දත කට මැදීමය. එය අති සාර්ථක ක්‍රමයක් බව සෑමා ක්‍රියාවෙන් ඔප්පු කර හමාරය. තටමන අතර දත් මැදීම අපහසු බව යමෙක් පවසන්නේ නම් මේ ක්‍රමය සංවාදය විවෘතය.

තේ බීම

දත් මැද ගත් පසු තේ බීම කළ යුතුය. බොහෝ විට ගමනක් යන්නට පමා වී තිබියදී තේ එක බීම පවා කරදරයක්ය. ඒ අතර තේ එක සෙල්සියස් අංශක 100ට වැඩි නම් දිව පිච්චෙන්නේය. ඒ අතර සිතට කෝපයක් පවා උපදින්නේය. ඒ නිසා සමහරෙක් හැදූ තේ එක විසි කොට ගමන පිටත් වන්නේය. සමහරෙක් තේ එක නිවෙන්නට හැර එක හුස්මට බොන්නෝය. ඒය නම් අසාරථකමය. සෑමා නම් පමා වූ විටක තේ එක රැගෙන බාත් රූම් එකට යන්නේය. එය කොමඩ් එකේ ෆ්ලෂ් කරන පෙට්ටිය උඩ තබා ඇග සෝදන අතර ෂොට් එකක් දමා ගන්නේය. සබන් ගාන අතර ෂොට් එකක් දමා ගන්නේය. සෝදා අහවර වී ෂොට් එකක් දමා ගන්නේය. එවිට එකවර එක හුස්මට බීමට අවශ්‍යය නැතිය.

ඇග සේදීම

බොහෝ අය පමා වී හදිසියේ සූදානම් වන විට ඇග සෝදනවා, නානවා වෙනුවට මුහුන කට පමණක් සෝදා ගමන් පිටත් වන්නෝය. එය නම් සාර්ථක නැතිය. එවිට සමාජයේ කොන්වීමට ප්‍රාත්‍ර වනවා නිසැකය. මේ සදහාද සෑමා යොදාගන්නේද ඉහත කී කොමඩ් එකමය. ඒ මත හිදගෙන සිටින විට දත් මැද අහවර වුවද තවත් කාලය ඉතිරිය. ඒ අතර තුර හෑන්ඩ් ෂවර් එක උපයෝගී කොට ඇග සේදීම සාර්ථකව කළ හැකිය. ඒ අතරම පස්ස පැත්ත පවා සෝදාගෙන නැගිට එළියට ආ හැකිය. මේ ක්‍රමය ඉතා සාර්ථක පිලියමක්ය. නැති වූ කාලය නැවත ලබා ගත හැකිය.

සපත්තු දැමීම

ඇදුම් ඇදීමට නම් ෂෝට් කට් නැතිය. ඒ නිසා එම කොටස අතෑර සපත්තු දැමීමේ අංගය ගැන කතා කිරීම උචිතය. උදෑසන ගමනක් යන්නට තිබේ නම්. පමා වේ යැයි බිය නම්, ඒ ගමනට සුදුසු ඇදුම හැදගෙනම නිදා ගැනීම සුදුසුය. නැති නම් සුපුරුදු පරිදි ඇදගත යුතුය. ඒ නිසා ඇදුම් ඇදීමට ෂෝට් කට් නැති බව සෑමා විශ්වාස කරන්නේය. නමුතු සපත්තු දැමීමට නම් ෂෝට් කට් තිබෙන්නේය. ඔබ ඔෆීස් යන්නේ, ගමන යන්නේ පෞද්ගලික වාහනයක හෝ ස්ටාෆ් සර්විස් එකක නම් සපත්තු දෙක, මේස් කුට්ටම අතේ තබාගෙන වාහනයට දිව යා හැකිය. ඉන්පසු ගමන් කරන අතරතුර නිදහසේ සපත්තු දා ගත හැකිය. සෑමාගේ මිතුරෙකු නම් තම සපත්තු දෙක තියන්නේ ඔහුගේ වාහනයේමය. වැඩ නිමවී නිවසට එන්නේ සපත්තු වාහනයේ තබාය, නැවත පහුවදා වාහනයේ සිටම සපත්තු පලදින්නේය. එසේම සපත්තු පොලිෂ් නොකර පිහිදැමීමට අවශ්‍යය නම් මේස් දෙක දමා, සපත්තු දෙකද දමා, දකුනු කකුලේ සපත්තු වම් කකුලේ මේස් එකෙන්ද, වම් සපත්තුව දකුනු කකුලේ මේස් එකෙන්ද පිහිදැමීමේ ක්‍රමය බහුතරයක් දන්නා බව නිසැකය.

එකී නොකී උපදෙස් අනුව සිරිලංකාව වේලාවට වැඩකරන සමාජයකින් පරිපූර්ණ කිරීම සෑමාගේ එකම පැතුමය. ඔබ දන්නා තවත් ක්‍රම කමෙන්ට් ලෙස අඩංගු කරන්න.

ජය වේවා !

Written by sAm ශ්‍රී Perera_8.03pm_06/12/12

Wednesday, December 5, 2012

අල බහිනා කළ නොමැරෙන වැල කදිමා...


උස්සා පෙන්නා වැඩ දැම්මා බැට් එකකින්
සද්ද දමා සපෝට් කලා අපි බොක්කෙන්
මුතු ඇටයක් බැබලූවා සිතියමකින්
ගම්මානේ බැබලූවා තට්ටයකින්


කල් යද්දී මොට වූවා හොද පිත්තක්
අනේ උබත් ඇල්ලූවා එක පැත්තක්
හැම එකාම බොට බැන්නා මොන හු**ක්
එදා පටන් මහ එකාගෙ උබ ඉත්තෙක්


අතට එනවා ඇල්ලුවෙ නැහැ උබ බෝලේ
මැදම කෙටිලා ආවත් නැහැ පෙර පාදේ
කෙල ගෑවත් කැපුනේ නැහැ දග බෝලේ
මැච් තිබ්බත් දෙයියොත් නැහැ මැද සාලේ


නරක කාලෙ ආවත් උබෙ මොලේ හොදා
සාටක සළුවෙ එල්ලී උබ පැන්න සදා
මිනිස්සුනම් මොක කිව්වත් අනෙ මන්දා
කපටි හිනා සහිත උබත් රටේ වෙදා


උබ නාකියි බැට් පැරණී කියා හිනා
අපේ එවුන් තරහින් හිටියානෙ සනා
එදා වැනුව බැට් එක දැන් කෙලින් වෙනා
බැනපු එවුන්ටම පාඩම් උගන්වනා


පිට්ටනියේ මැද හැට්රික් ගත්ත එකා
විවාහයේ හැට්රික් එක ගත්ත මෙදා
උබට හොදා නම් අයියෝ අපට හොදා
අල බහිනා කළ නොමැරෙන වැල කදිමා


http://www.gossiplankanews.com/2012/11/sanath-maleeka-wedding.html


Monday, December 3, 2012

සිත යටින් මන්ද බුද්ධික සාමාන්‍ය සමාජය...


ඔවුන් අතරින් සමහරෙක් වයසින් අපට වඩා දෙගුණයක් පමණ විය හැකිය. ඒත් එන යන හැම පුද්ගලයාටම අයියා, අක්කා කියන්නේ සාමාන්‍ය සමාජයට වඩා ඔවුන්ගේ බුද්ධි මට්ටම අඩු නිසාද? වයස කියන්නේ බුද්ධිය සමග සමගාමීව යන දෙයක්ද කියා ඉන් ගම්‍ය වන්නේද?

කෑම වේලක් අතට ලද සැනින්, හුස්මක් පවා පිට නොකර එක දිගට කෑම ගැනීමට තරම් බුද්ධියක් නැති අය සිටින තැන, තවත් බුද්ධියෙන් අඩු අයෙක් පැමිණ ඔවුනට කෑම කුඩා කැබලි වලට කඩා දමන්නේ නම්, හෝ කෑම ගත් පසු ඔවුන් අතින් අල්ලාගෙන වතුර කරාමය ලගට රැගෙන යාමට තරම් කරුණාවන්ත වේ නම්, එවන් අයෙක් බුද්ධියෙන් අඩු හෝ මන්ද බුද්ධික ඝණයට වැටෙන්නේ කෙසේද? හේතුව උක්ත ගති ගුණ දියුණු යැයි කියන අප අවට සමාජයේ නැති නිසාමය. ඉන් කියවෙන්නේ අප සිටින්නේ අඩු බුද්ධියක් ඇති එවන් සමාජයක ගුණ ධර්ම වලට වඩා අවම මට්ටමකින් බවක්ද?

පසුගිය පොහෝ දින ඔවුන්ට දානයක් දීමට ගිය අවස්ථාවේ ඔවුන් ඉල්ලා සිටියේ නැවත වරක් ඔවුන්ව බැලීමට පැමිණෙන ලෙසය. ඒ අප ලබා දෙන ආහාර වේල නිසාම නොවේය. සුපුරුදු ලෝකයෙන් මිදී පොඩි උන් මෙන් බැලුන් සමග සෙල්ලම් කරන්නටය. නැතිනම් අප ගයන ගීත වලට නටන්නටය, බැරි බැරි ගාතේ අපිත් සමග ගීත ගයන්නටය. ගියවර ගොස් අපේ උන් පොරොන්දු වූයේ නැවත එන විට හාමුදුරුනමක් වඩම්මාගෙන එන බවය. එසේ කී අප ඊයේ එහි ගියේ හාමුදුරුනමක් නොමැතිවය. දුටු දෙවන වර අප හදුනා ගැනීමට තරම්ද, කතා කරන විට “කෝ අයියෙ අර එක්කගෙන එනව කියපු සාධු“ යැයි ඇසීමට තරම්ද, ඔවුන් කල්පනා ශක්තියෙන් පිරිපුන්ය. එසේම දුටු පළමු දවසේම මුවින් සිනාසී කතා කරන්නට තරම් ශක්තියක් ඇති අව්‍යාජ මිනිස්සු සාමාන්‍ය සමාජයේ දුර්ලභ වෙද්දී ඔවුන් දුටු පළමු දිනේම පුද්ගලයන් හා සමීප වීමට තරම් පිරිපුන් ප්‍රසන්නබවක් සහිතය. ඉන් කියවෙන්නේ ඔවුන් මන්ද බුද්ධික නම්, සාමාන්‍ය සමාජයේ ඉන්නේ ලොකු බුද්ධියක් ඇති අය බවද? නැතිනම් සාමාන්‍ය සමාජයේ සිටියත් සිත යටින් තිබෙන මන්ද බුද්ධික බවද?

තැනට ගැලපෙන ගීත ගයන්නට තෝරද්දී අපි අසරණ වූයෙමු. අප සාමාන්‍ය සමාජයෙන් එතැනට ගොස් අසරණ වෙද්දී ඔවුන් අපට සරණක් වූයේ ගීත කිහිපයක් මතක් කරමින්ය. “අර නත්තලට සිංදු කියන එක්කෙනාගේ සිංදුව“ කියූ විට ලොවේ සැමා එකම දැයේ කියන්නට අප පටන් ගත්තෙමු. ඒ අතර අයෙක් මට කොත්තුත් ඕනෑ යැයි කෑ ගැසුවේ ඔහු නව පරපුර හා මිශ්‍රව පවතින නිසාය. තමන්ට ගීතයක් ගායනා කිරීමට ඕනෑ යැයි ඉල්ලා සිටි අයෙක් විනාඩි පහක් පමණ “මගේ ආදරේ...මගේ ආ...දරේ....“ යන වචන දෙක පමණක් විවිධ ආකාරයෙන් ගැයීම ආශ්වාදජනක විය.

හැල හැප්පීම් මැද ගෙවෙන වසර කිහිපයක කෙටි ජීවිතය අර්ථාන්විතව එක්සිත්ව, එක්සත්ව, පොලොවේ පය ගසා සිටීමට මීට වඩා නිදසුන් කොහේද?

පුවක්පිටිය ජයවිරු සෙවන ලමා නිවාසයේ උදෑසන දානය, වක් ඔය ඇල මාර්ගයේ ගල් උඩ ලද උදෑසන ආහාරය, කිටී ගේ නිවසේ දහවල කෑම, සංජුගේ ගිටාර් තතින් කම්පනය කළ ගීත කිහිපය, හවස් ජාමයේ තිබූ ක්‍රික්‍රට් මැච් එක, කිටියාගේ උපන් දිනය අර්ථාන්විත කළ බවට නිසැකය.

නම් වශයෙන් නොකිව්වාට, කිටීට සතුටක් වූ සැමට ස්තුතී !

යුද්ධයට සූදානම
තවමත් සූදානම

යුදෙව්වෝ යුධ අභ්‍යාසයේ


දිලා, සම්පා ජාවාරමක

පොලිස් නලා බෙදා දීම

“බැලූන් මෑන්“ නොහොත් බැලුන් මිනිහා

“මගේ ආදරේ“ සොදුරු ගායකයා (කොළ ෂර්ට්) 

සෙබලානෙනී ඔබ මැරුනා නොවේ...

සංජු අපහසුවෙන් තාලය අල්ලමින්

අදීෂ, බැලුන් දෙකේ මූණක් සමග

මේ ඊරී බිම සීරී...

පොඩී සහකරුවෙක් සොයමින්

සුනිල් නොහොත් මාස්ටර් බ්ලාස්ටර්

මෙන්න සිංදුවට සපෝට් එක

සොදුරු ගායකයා නර්ථනයක

මාත් වැඩ්ඩෙක් තමා

අංකල් අයියා

රෙකෝඩ් වෙලා නැද්ද මන්දා
දිය කෙළින ලදුන්

සම්පා අසරණව
හොදම හරිය
Written_by_sAm_ශ්‍රී_Perera_07:14්m_03/12/12

Related Posts Plugin for WordPress, Blogger...