Monday, September 8, 2014

පෝදින දහම් පඬුර...


පවුලගේ සීයා නැති වූ නිසාත්, සෑමාගේ ආච්චීගේ (අම්මාගේ අම්මා) වර්ෂ පූර්ණ බණ, සහ දානය සැට් වීම නිසාත් සෑමා පසුගිය ටිකේ සිටියේ කලබලකාරී ස්භාවයෙන්ය. ඒ අස්සේ මා නොදුටු බ්ලොග් මිතුරෙකු වන අවන්හලේ මහේෂ් රත්නායක සහෝදරයා පොත් ප්‍රදර්ශණය බලන්න යන්නට කළ ආරාධනය පවා ඉවත දමන්නට වූයේ මළගෙදර කටයුතු සිද්ධ වූ නිසාය. මළ ගෙදර රැදෙන්නටත්, ආච්චිගේ බණ ගෙදර එන්නටත්, නැවත මළගෙදර නයිට ගසන්නටත්, නැවත පහුවදා උදේ ආච්චීගේ දානේ ගෙදර එන්නටත්, සිදුවීම ආතල්ම සීන් එකක් වූවේය. ඒ අතර මැද බණ ගෙදරදී අසන්නට හැකි වූ බණ කතාව අද පෝදින ලිපිය ලෙස ලියා තබන්නට සෑමා සිතා ගත්තේය. ආච්චීගේ බණ ගෙදරට වැඩම කළ හාමුදුරුවන් විසින් දෙමාපියන්ට සැලකීවේ අගය පහදා දෙමින් දේශණා කළ ධර්ම පඬුරයි මේ.

ගෞතම බුදුන් වහන්සේට පමණක් දෙවෙනි වූයේ අගසව් තනතුරු දැරූ සැරයුත් තෙරුන්ය. උන්වහන්නේ පිරිනිවන්පෑමට ආසන්න වූ කළෙක බුදුහිමි අමතා මෙසේ කීවෝය. 

“ස්වාමීනී මා දැන් පිරිණිවනවට ආසන්නයි, මීටත් වඩා මා හට ශරීර ශක්තියෙන් කටයුතු කළ නොහැකි බැව් දැනෙන නිසා මා පිරිනිවනට සූදානම් වෙමි...“

එය අසා සිටි ගෞතම බුදුන් වහන්සේ අසා සිටියේ සැරයුත් මහ තෙරුන් වහන්සේ පිරිණිවනට බලාපොරෙත්තු වන්නේ කුමන ස්ථානයද යන්නයි. එවිට උන්වහන්සේ කියා සිටියේ තමන් උපන් ගම, උපන් ස්ථානය වන තම නිවස, තමන් පිරිනිවන් පෑමට යොදා ගන්නා බවයි. එය අසා සිටි ගෞතම බුදුන් වහන්සේ සැරයුත් හිමියන්ගේ වචනයට ගරු කරමින් එය වටිනා කාරණාවකැයි දන්වා සිටියෝය.

බුදුරජානන්වහන්සේගෙන් අවසර පතමින් සැරයුත් තෙරුන් වහන්සේ පන්සිය නමක් භික්ෂු සංඝයා පිරිවරාගෙන තමන් වහන්සේ උපන් ග්‍රාමයට පිවිසුනෝය. එලෙස වැඩමකොට තම නිවසට ගොස් ඉතා මහළු වූ තම මෑණියන් බැහැ දකින්නට වූවෝය. තම පුතු දැකීමෙන් උද්දාමයට පත් මෑණියන් තමන් වහන්සේට අවශ්‍ය මොනවාදැයි අසා සිටියේ උපස්ථාන කරන්නටය. සැරයුත් තෙරුන් වහන්සේ තමා ඇතුළු භික්ෂු පිරිවරට නවාතැන් පහසුකම් ඉල්ලා සිටියේ රැය පහන් කිරීමට අවශ්‍ය බව කියා සිටීමෙන්ය. පන්සියනමක් වූ භික්ෂු සංඝයාට නවතින්නට තරම් ඉඩක් නොමැති තම නිවසේ නවාතැන් පහසුකම් දෙන්නට නොහැකි බැවින් සිත් තැවුලට පත් වූ මෑණියෝ එලෙස කරන්නේ කෙසේදැයි තම පුත්‍රයාගෙන් අසා සිටියාය. පන්සිය නමකට නැති වුවත් තමන් වහන්සේට පමණක් හෝ නවාතැන් පහසුකම් දෙන්න යැයි උන්වහන්සේ ඉල්ලා සිටියෝය. එම ඉල්ලීමට අනුව උන්වහන්සේ ගිහිකළ රැදී සිටි කාමරය සිය මෑණියන් විසින් ප්‍රධානය කරන ලද්දේය.

මහා බ්‍රහ්මයා සියල්ල මැවුවේයැයි, සියල්ල ලබා දෙන්නේ මහා බ්‍රහ්මයා යැයි අන්ධ භක්තියෙන් යුතුව සිටි සැරයුත් තෙරුන්වහන්සේගේ මෑණියන් තම පුතු උගත් ධර්මය පිළබඳව කිසිත් නොදැන සිටියාය. රැය ලඟාවෙත්ම සැරයුත් තෙරුන්වහන්සේට දරුණු රෝගාබාධයක් වැළදෙන්නට වූයේය. ලේ අතීසාරය නිසා නිතරම ලේ පිටවන්නට වූවේය. නිතරම ලේ පිටවන නිසාත්, තම පුත්‍රයා නිවසට පැමිණි සුන්දර දවසක ඔහු දරුණු ලෙස රෝගාබාධයකින් පෙළෙන්නට වූ නිසාත් මෑණියෝ මහත් නොසතුටටත්, කළබලයටත් පත් වූවාය. ඇය තම පුතු සිටින කුටියට වැඳ උන්වහන්සේට උපස්ථාන කරන්නට අවසර ඉල්ලා සිටියාය. එහෙත් ඇය කළ ඉල්ලීමට උන්වහන්සේ අවසර නොදුන්නාය. ඇය නොසතුටින් රැය අවදිව සිටියදී මහා ආලෝක ධාරාවක් නිකුත් කරමින් පුතු සිටි කාමරයට සතර වරම් දෙවි වරු පහළ වූවෝය. ඔවුන් සැරයුත් මහ තෙරුන්ට උපස්ථාන කරන්නට අවසර ඉල්ලා සිටියෝය. එයටද අවසර නොදුන් උන්වහන්සේ නිහඬව බුදුගුණ සිහි කරන්නට වූවෝය. පසුව නැවත ආලෝක ධාරාවක් නිකුත් කරමින් පෙනී සිටියේ ශක්‍ර දෙවියෝය. ඔහුටද උපස්ථාන සඳහා අවසර නොලද තැන මහා බ්‍රහ්මයාද උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිමින් උපස්ථානයට අවසර ඉල්ලා සිටියේය. කිසිවෙකුට තමන් සඳහා උපස්ථානකරන්නට අවසර නොදුන් උන්වහන්සේ නොසැලී වේදනාව දරා සිටියෝය.

පසුදා උදෑසන සැරයුත් හිමි ගේ මෑණියෝ රැය පුරා සිදුවූ සිද්ධීන් උන්වහන්සේගෙන් දැන ගැනීමට පැමිණියාය. පළමු ආලෝක ධාරාවක් නිකුත් කරමින් කවරෙක් පැමිණියේදැයි එතුමිය ඇසු කළ, උන්වහන්සේ කියා සිටියේ ඒ නම් සතරවරම් දෙවි වරු බවය. දෙවන ආලෝක ධාරාව සමඟ තමන් වහන්සේට උපස්ථාන කරන්නට අවසර පතන්නට ආවේ ශක්‍රයා බවත්, තෙවෙනුව මහා බ්‍රහ්මයා පැමිණි බවත් උන්වහන්සේ වදාලෝය. තමන් මෙතුවක් විශ්වාස කළ අදහන්නට වූ  මහා බ්‍රහ්මයා තම පුතුට උපස්ථාන කරන්නට අවසර ගන්නට ආ බව ඇසු මෑණියන් තුරුණුවන් කෙරෙහි පැහැදී සැරයුත් මහ තෙරුන්ගෙන් බණ අසන්නට වූවාය. එය දුටු මහාකාරුණිකයානෝ තෙවරක් සාදුකාර දී, සැරයුත් තෙරුණ් පිරිනිවනට පෙර තම මව්ගෙන් බිව් කිරිවල ණය ගෙවන්නට තරම් වාසනාවන්ත වූයේයැයි වදාලෝය.

මිය ගිය පසු මළසිරුරකට දණ බිම හොවා වන්දනා කොට, අටපිරිකර අහසට උස්සා පින් අනුමෝදම් කරනවාට වැඩිය, කිසිවෙකු ජීවත්ව සිටින සමයේ ආදරයෙන්, සිත් නොරිදා බලාගන්නේ නම් එයම ඔවුනගේ පරලොව සුගතියට හේතුවන බව ධර්මදේශනාවට වැඩම කළ ස්වාමීන් වහන්සේ තව දුරටත් දේශණා කළෝය.

Written by sAm ශ්‍රී Perera_8:13am_08/09/14
Related Posts Plugin for WordPress, Blogger...