Monday, December 18, 2017

මගේ සඳ ඇවිත්.. - Victor's Full Moon !!


මගේ සඳ ඇවිත්
කොඳ කැකුළු තරු ද සතපා
රැයෙහි කොපුල් රහසින් සිඹ
හිරු දිළෙනා මද්දහනේ
මගේ සඳ ඇවිත්


ඇවිත් ඇත්තේ මගේ සඳය. මෙතුවක් පාළු වූ හද රෑ අහස ආලෝකමත් කරනවා නම් පැමිණිය යුත්තේ සඳය. ඒ නම් රෑකය. රහසේමය. දහවල දහසක් නෙතු අවදියෙන්ය. කොපුල් සිඹිනට රැයද දහවල්ද වෙනසක් නැතිය. එහෙත් මේ පෙම අසම්මතය. ඇයට මට නොව, දකින උන්ට අසම්මතය. යෞවනය ඇත්තේ හදවතේ මිස බාහිරව නොවන බැව් නුඹ දන්නා නිසාම මෙය අපට සම්මතය. ඇය ඇගේ යෞවනය කැප කොට, කොඳ කැකුළු සුවඳත්, තරු රැසක අංකාරත්වයත්, කාන්තාරයක අතරමංවූ හිතකට පාර කියන තරු රැසක් රැගෙන ඇය ඇවිත්ය. 


වදුලූ කොනක සිත සඟවා
දියට බැස නෙළුම් සිඹිනා
බිඟු රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්


ඇය සවිමත් විය යුතුය. දහසක් කතන්දර අමතක කොට සිටින්නට ශක්තිමත් විය යුතුය. ඇය ඇගේ සිත වදුලු කොනක සඟවා ඇති අයුරක්ය. නැති නම් මෙතරම් ශක්තියක් අසම්මතයට එරෙහිව ඇයිට තිබිය නොහැකිය. සම්මතයේදී වුයේ මුලාවක් පමණක්ය. මලට හොරෙන් සුවඳ උදුරන බිඟුන් මෙතුවක් මා රවටා ඇත්තේය. එහෙව් මා දකින්නට අසම්මතයට අකුල් හෙලන තැනක, හිරු දිළෙනා මහ දවාලක, සඳ ඇවිත්ය. සමාජයටම සරදමක්ය. කොටින්ම හිරු තමන්ගේම කර ගත් ගිණි මධ්‍යහනේම ඇයි ඇවිත්ය. ඒ නම් මගේ සඳමය.


දෙවමින් දිවයුරුට නිගා
දේදුන්නක පෙම තවරා
මම රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්


සඳ යැපෙන්නේ හිරුගෙන්ය. එහෙව් තැනක හිරුට කෝචෝක් කරන්නට සඳට ශක්තියක් තිබිය නොහැකිය. එහෙව් තැනකදී හිරුට නිගා දෙමින් සඳත් ඒ අහසේම දිලෙනවා නම් අපූරුය. ඒ ඇගේ නොපරදින ගතිය ය. මෙතුවක් මුලාවූ, මියැදෙමින් තිබෙන සිතකට හිරුට කෙලින් පායන්නට සඳට හැකි නම් ඒ සඳ මගේමය. අපූරු සප්ත වර්ණ දේදුන්නක එතී, මා විසින්ම රැවටුනු මා අසල මගේ සඳය. ඒ මා බලන්නටමය. 


ඉතිං ඒ සඳ
සියල්ලටම බියෙන්
අහිමි කර ගත යුතුද?



Lyrics: Chandana Manoj Withana
Music / Vocalist: Victor Rathnayaka

Wednesday, December 13, 2017

අඩේ කවුද බං ඒ කෑල්ල.. - Who is That Pretty ??


කිටියා අකැමැතිම වැඩේ සෑමාව කඩේ යැවීමය. ඒක වෙන්න බැරි වැඩක් බව සියල්ලටම සැක හිතෙනු නිසැකය. ඇත්තය. පිරිමින්ව කඩේ යැවීමට කාන්තාවන් කැමැතිය. එහෙත් සෑමා හන්දියේ කඩයට යනවාට කිටියා තරමක් අකැමැතිය. ඒ මක් නිසාවත් නොවේය. අඩි දෙක තුනට හන්දියට යා හැකිය. එහෙත් එසේ යෑමට, බඩු ගැනීමට සහ ගෙදර ඒමට සෑමාට පැයකට වැඩිය ගත වන නිසාය. විටෙක යාලුවෙක් සැට් වී කයියක්ය. නැති නම් බුද්ධික අයියාගේ කමියුනිකේෂන් එකේය. ඔව් අර චක්කර කොළ ෆිල්ම් එක හෙවූ ඩෑල් එකය. එහෙමත් නැති නම් කවුරුන් හෝ කොහේ හෝ යන්නට කතා කළොත් සෑමා සුටුස් ගා ඌත් එක්ක රවුමක් ගසන්නට යන්නේය. ඒ නම් බඳින්නට කලින්ය. ඉස්සර ගෙදර වැඩකට හන්දියට යන සෑමා මතුවන්නේ කන්කසන්තුරේ හන්දියෙන් විය හැකිය. තවත් දවසක් රෑක මිදුලට බහිද්දී පාර ලඟ බස් දෙක තුනකට සෙනඟ ලෝඩ් කරනු දැක සෑමා විපරම් කළේය. බලනකොට ගමේ උන් අනුරාධපුරේ යන්නටය. ඒ අස්සේ එකෙක් වරෙන් යන්න සෑමා කිව්වේය. ඒ හිටපු ගමන්ම බස් එකට නැග සෑමා අනුරාධපුරයෙන් මතු වූයේය. බස්වල සීට් ගාණනට සෙනග සිටි නිසා සෑමා ඉදගෙන ගියේ අන්තිම සීට් එක අසල සිටුවා තිබූ ගෑස් සිලින්ඩරයක් උඩය.

ඒ කාලේ එහෙමය. දැන් බැදලාය. වැස්සේම කඩේට ගිය ඩෑල් එකක කතාවක් සෑමාට මතක්වෙන්නේය. කඩේ මුදලාලියා කඩේට ආපු මනුස්සයා දෙස බලන්නේය. කුඩයක් නැතිය. තෙමිලාය. හතිදාගෙනය. ෂර්ට් එක අපිළිවෙලය. කඩේ මුදලාලි ඩෑල් එකෙන් ආතල් එකක් ගන්නට සිතා මෙලෙස ටෝක් කළේය.

"මහත්තයා බැඳලා

නේද?"

"නැතුව අයිසේ.. වයිෆ් එව්වොත් මිසක් මේ වැස්සෙ අපෙ අම්මා මාව කඩේට එවයි කියල හිතුවද??"

ඇත්ත සීන් එක එලෙසය. මුදලාලිට කට උත්තර නැති වෙන්නට ඇතිය. කඩේ යන සීන් එකේ අපහසුතාවය කෙතරම්ද දන්නේ වයිෆ්ලාට කඩේ යන අපි වැනි අසරණ ඩෑල්ය. ඒ නිසාම උදේ ගෙදරින් පිටත් වෙද්දී සෑමා කිටියාට කියන්නේ අවශ්‍ය බඩු ලිස්ට් එක මැසේජ් කරන ලෙසය. එහෙත් කිසිම දිනක මැසේජ් එක ආ සැනින් බඩු මිලට ගත යුතු නොවන්නේය. මැසේජ් එක උදේ 10 ලැබුණහොත් එතැන් සිට උදේ 11, දහවල් 12, දහවල් 1 ආදී වශයෙන් සවස පහ වෙනතුරු ලිස්ට් එක අප්ඩේට් වීමේ හැකියාවක් තිබිය හැකිය. එනිසා කලබල වී බඩු ගන්නට වුනොත් වැඩ කරන්නට වෙලාවක් නොලැබෙන්නේය. බඩුම අත ගගා ඉන්නට සිද්ධ වන්නේය. ඊටත් වැඩිය ඇඟට හොඳම ක්‍රමය නම් සවස පහ හය කිට්ටු වී ගෙදරට යන අතරම මඟදී බඩු ලිස්ට් එක එකතු කර ගැනීමය. එහෙත් ඉතා විශ්වාසයෙන් හා වගකීමෙන් ප්‍රකාශ කළ හැකි එක දෙයක් ඇත්තේය. ගෙදර ගිය විගස ලිස්ට් එකේ දමන්නට බැරි වූ එකක් හෝ ගන්නට ගමේ කඩයට, හන්දියට යන්නට වෙනවා ෂුවර්ය. ඒ පිරිමින් සදා ලබා උපන් හැටිය.

කඩේ යන සීන්, හන්දියට ගෑටීමේ සීන් එහෙව් තත්වයක තිබියදී සෑමාට පසුගිය දිනෙක හන්දියට යන්නට සිදු වූයේ කිසියම් දෙයක් රැගෙන ඒමටය. හන්දියට ගිය ගමන්ම සෙට් වුණේ බෆලෝය. කතා ගොඩක්ය. අරක මේක ඒක සියල්ල කතා කොට තවත් ඉදිරියට යද්දී අපෙ පරණ මිත්‍රයෙක්ය. නම කිව්වොත් කතාව ලියන්නට බැරි වෙනවාය.

"ආ සෑමා.. කෝමද??"

"ඉන්නවා බං.. ඇයි මේ පැත්තට බැහැලා.. කාලෙකින්.."

කතාව දිගට ගලා යන්නේය. කොල්ලා ඉස්සර හිටියේ මෙහේය. දැන් බැඳලාය. පිළිවෙලය. දියුණුය. ඒ නිසා සතුටු කතාය. සවිස්තරාත්මකය. දෙදෙනාම කතා කරන දිසාවට ඈතින් කෙල්ලෙක් පැමිණෙන්නේය. මිතුරා සෑමාට ඇමතුවේය.

"අම්මට උඩු අර බලපං කෝ මේ පැත්තට එන කෑල්ල... අඩේ කවුද බං ඒ??"

"අපොයි.. ඊයා බං.. බලහංකො හැටි.. පැත්තට ඇවිදින්නේ.. අප්පිරියයි ඕයි.."



සෑමා සවිස්තරාත්මකව ඇගේ ගමන, හැඩය, හැසිරීම විස්තර කළේය. කොල්ලාට කිසිත් කියන්නට ඉඩක් නොලැබෙන දුරින් ඈ සිටි නිසා නිහඩව සිටියේය. ඇය පැමිණි විගස අප මිත්‍රයා සමඟ කතා කළේය. සෑමා උඩු කුරුඤ්ඤංය. සියල්ල බලා සිට ඇය නැවත යනතුරු සිට ඔහුගෙන් විමසුවේය.

"කවුද බං ඒ?"

"වයිෆ් යකෝ.."

මිතුරා ආතල් එකක් ගන්නට ගොස් කෙලවා ගත්ත ආකාරය සෑමාට වැටහුනේය. ගෙදරට නැවත එනතුරු තනිවම සිනාසෙනවා ඇරෙන්නට සෑමාට කරන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැතිය.


Written_by_sAm_ශ්‍රී_13/12/2017

Monday, December 11, 2017

සුනීර මැතිවරණ අපේක්ෂකයෙක්ද.. - Is Suneera Election Candidate ??


සුනීර අයියා අපේ ගමේ එකෙක්ය. ඒ නිසාම හැම එකාම කිව්වේ ගමේ එකාට සපෝට් කරමු කියාය. ඒක ඇත්තය. ගමේ එකෙක්ට වැඩ කළොත් පාරකට තාර ටිකක් බැරි නම් කොන්කිරිට් ටිකක් හෝ වක් කර ගත හැකිය. එහෙම කිව්වේ අපේ අත්තම්මාය. ඒ ඇය ප්ලේන්ටියක් වක් කොරන ගමන්ය. අත්තම්මා පරම්පරා ගත එක්සත් ජාතික පාක්ෂිකාවක්ය. පසුගිය මැතිවරණයකදී අලියා නැතුව හංසයා ඡන්ද පත්‍රිකාවට ආවේය. අවුරුදු අනූවක් ගියත් අත්තම්මා ඡන්ද පෝලිමේ යන්නේ තනිවමය. තනිවම කතිරය ගසා පෙට්ටියට දමන්නේ අලියා රැක ගැනීමටය. එහෙව් පරමාර්ථයෙන් අලියා නැති මොහොතක හංසයා ඡන්ද පත්‍රිකාවේ සිටිනු දැක අත්තම්මා ෆොක්ස් වූවාය. බැරිම තැන එතැන සිටි මැතිවරණ නිලධාරියෙක් ලව්වා අලියා සොයා දෙන ලෙස ඉල්ලා සිටියාය. අවුරුදු උත්සවයේදී අලියා සිටියදී ඇහැ සෙවීමට තරඟකරුවන්ට සිදු වන්නේය. එදා අත්තම්මාට සිදු වූයේ ඇහැ තිබියදී අලියා සෙවීමටය. එහෙත් නිලධාරියා කිව්වේ මේ පාර අලියා නැහැ ඒ වෙනුවට හංසයා ඉන්නවා කියාය. අත්තම්මාට මල පැන්නාය. අලියා කළු පාටය, හංසයා සුදු පාටය. පක්ෂය පාවා දිය නොහැකිය. කියමින් ඡන්දය කටු ගෑවාය. එජාප ඥාතීන් රැසක් ඉන්නා අපේ ගෙදර උන්ට කොකා පෙනුනේ එදාය. අත්තම්මාව කලින් දැනුවත් නොකිරීමේ ආදීනවය මැතිවරණය ජය ගත්තාට පසුවද කම්පාවට හේතුවක් වූයේය. ඒ එක ඡන්දයක හෝ වටිනාකම අපෙ උන් දන්නා නිසාය. අපරාදේය. තාමත් කියන්නේ එලෙසය.

මෙවර අත්තම්මා ජවිපෙට හැරිලාය. අපි නම් දෙන්නේ සුනිර කොලුවාට යැයි කියන්නීය. පැවැත්වෙන්නට තිබෙන්නේ පලාත් සභා ඡන්දය ය. එනිසා පක්ෂය නොබලා පුද්ගලයාට ගැසුවාට කමක් නැතැයි ආත්තම්මා ලැජ්ජා නැතුව කියන්නීය. හංසයාගෙන් මට්ටු වෙලා නැද්දැයි අපේ ගෙදර කසු කුසුවක් යන්නේය. මෙතුවක් ගමෙන් සුනීර කියලා එකෙක් නම් ඡන්දයට ආවේ නැතිය. එහෙව් එකේ අපෙ අත්තම්මා මෙවර එකපාර අප්ඩේට් වූයේ කෙසේද යන්න අපිටත් සැකයක් උපන්නේය. විටෙක රතු කොලුවෝ පැමිණ සමාජවාදය උලුප්පා පෙන්වා දෙන්නට ඇතිය. තරුණ ජවය පෙන්වන්නට ඇතිය. නැතහොත් ආත්තම්මා හපා බිම හෙලන බුලත් විටය රතු පාට බව පෙන්වා දෙන්නට ඇතිය. ආත්තම්මා සහ බුලත් හපය අතර ඇති ආත්මීය බැදීම ආත්තම්මාගේ ඡන්දය ජවිපයට දෙන්නට තරම් ප්‍රබල වූවා දැයි සැක සහිතය. කෙසේ හෝ අපේ ගෙදර උන් මේ දිනවල සොයන්නේ ආත්තම්මාගේ ඡන්දය කොල්ල කෑ එකා කවුද යන්න ය.

පොඩි සෑමාටත් කරන්නට දෙයක් නැතිම තැන ආත්තම්මාට කිට්ටු වූයේ ජවිපෙට බැස්ස හේතුව අසන්නටය. අත්තම්මා පටන් ගත්තේ සමාජවාදයෙන්ය. සීයාගේ ධනවාදයට මින්පසු හසු නොවන බව ඇය කීවාය. සුනීර කොලුවා ගමට වැඩක් ඇති එකෙක් බව ඇය පුල පුලා කිව්වාය. 

"මොකද අත්තම්මේ කෑමක් වත් විස වුණාද මේ පාර අලියා පාවා දෙන්න යන්නේ.." බැරිම තැන පොඩි සෑමා හඩ අවදි කළේය.

"ඇයි දැන් උබ එනවද මට ඡන්දෙ කරන හැටි උගන්නන්න.."

"නෑ අත්තම්මෙ මේකනෙ.. දැන් බලේ තියෙන්නෙ රනිල් ලොක්කටයි, සිරිසේන ලොක්කටයි... ඉතිං අහවල් එකටද ජවිපෙට දෙන්න යන්නෙ.."

"බලේ කන්නද බොලව්.. උන් කරන එකක් කර ගත්තාවෙ.. මම කැපුවත් කොළ.. ඒත් මේ ගමේ එකාට නොදී ගෙදර බතක් උයාගෙන කන්න ලැජ්ජ නැද්ද තොපිට??"

"හරි දැන් ඌ ආවා කියමුකෝ.. කොහොමද බලේ නැතුව ප්‍රතිපාදන වෙන් කරගෙන ගමට වැඩක් කරන්නෙ??"

"කෝම හරි වෙන්නෙ නැතෑ බං.. ඒ වගේද අපෙ එකෙක්.. ඔහොම තැනක ඉද්දි.. "

"දැන් ඕකා කාගෙ කවුද? "

"යකෝ උබලා බජාර් එකේ ඉන්න කොල්ලො නේද? කෙල්ලෝ ගැන නම් දන්නවා ගමේ කොල්ලව දන්නෑ.."

"මට නම් එච්චර නිච්චියක් නැහැ ඒකව.."

"නිච්චි නැත්තං ගීං බලහං.. පාලම යට පොල අයිනේ තඩි කටවුට් එකක් ගහලා තියෙනවා රතු පාටින්ම.. අංක තුන සුනීර දිනවමු කියලා.."

"හෑ.. උන් මේපාර මනාප පොරයටත් බැහැලද??"

"නැතුව.. අංක එකෙන් ඉල්ලන්නෙ.."

සොට් එකටම ආත්තම්මා බුලත් කොළය මැද්දට හොද ටොපියක් තියාගෙන කාලා විය හැකිය. මනාප ඇතුව ජවිපෙ උන් ඡන්දෙට බහිනවා නම් වෙන්න බැරි වැඩක්ය. සෙනිකව පොළ අසලට ගොස් කටවුට් එක බැලිය යුතුය. 



පොළ අසලට යන්නට පෙර සිටම මඟ දෙපස කට්අවුට්ය. පෝස්ටර්ය. ආත්තම්මා රැවටෙන එක සාධාරණය. සුනීරයා රතුපාට පසුබිමක, අංක එකේ ඉලක්කමෙන් තරඟ වදින්නේය. බලනකොට ඉලෙක්ෂන් එකට නෙවේය. තරු තරඟයකටය. 

දැන් ඉතිං ඡන්ද කොළයේ අලියා නැතුව හංසයාට කතිරය නොගැසූ ආත්තම්මාගේ සිත වෙනස් කළ යුතුය. සුනීර යනු ඡන්දය ඉල්ලන්නට ආ අපේක්ෂකයෙක් නොව, තරු තරඟයකට ගිය ඩෑල් එකක් බව ආත්තම්මාට කියා දිය යුතුය. සමාජවාදය රජ කරවන්නට සුනිර පුතාට බැරි බවත්, කැඩිච්ච පාරට තාර දමන්නට ඔහුට නොහැකි බවත් ආත්තම්මාට කියා දිය යුතුය. ජනවාරියට පෙර ආත්තම්මා දැනුවත් නොවුනහොත් පලාත් සභා ඡන්දයද කටු ගානවා ෂුවර්ය.

Written_by_sAm_ශ්‍රී_12:15am_11/12/17

Tuesday, December 5, 2017

ආතති මවන මැෂිම.... - Is Fidget Spinner Stress Reliever ??


මෑතකදී සෑමා මිත්‍රයන් දෙදෙනෙකු සමඟ කොටුවට ගියේය. ඒ අතර සිටි මිත්‍රයෙක් හැසිරුණේ බැංකොක් ගිය ආකාරයකටය. දකින හැම තැනම නැවතෙමින්ද, දකින හැම බඩුවම අත ගාමින්ද මිතුරා හැසිරුනේ කිසිදා කොටුවේ නොගිය ආකාරයකටය. දෙවෙනි හරස් වීදියේ පාර අයිනේ ගැජට් විකුණන හැම තැනකදීම අපේ මිතුරා සොයා ගැනීමට අපහසු වූයේය. ඒ ඔහු මිනිසුන් වට වී සිටින හැම තැනකටම ඔලුව දමමින් පරික්ෂා කරමින් ගමන් කරන නිසාය. වරෙක අපිට ඔහුව මඟ හැරුණේය. වටපිට බලන විට ඔහු සිටියේ දෙසීයයි, දෙසීයයි කියමින් පෙන් ඩ්‍රැයිව් විකුණන තැනකය. රුපියල් දෙසීයට ගිගා අටක පෙන් එකක් ගන්නට ගිය මිතුරා බේරාගෙන අපි නැවත ගමන් කළේ හවස් වෙන්නට පෙර ගෙදර ආ යුතු නිසාය.

"අම්මට උඩු මේ තියෙන්නෙ මම හොයපු ගැජට් එක.."



"අහ් ස්පිනර් එකක් නේ.."

"ඔව් බං, වයිෆ් කිව්වා තව සතියයි බලන්නෙ, එකක් ගෙනාවෙ නැත්තං යන්න යනව කියලා.."

"ඉතිං ඕයි ගෙනියන්නෙ නැතුව ඉන්නවකෝ.."

"මේක සිරාද බලහං, බරයි, සැරටම කැරකෙනවා.."

"හා හා ගනින්කෝ.."

"අයියේ මේක කීයද ?"

"තුන් සීයයි.."

"අඩු නැද්ද??"

මේන් රෝඩ් එක අයිනේ ඩෑල් එකක් නිසා පොර කේවල් කරන්නට ඉඩ නොදීම රුපියල් තුන් සියයකටම භාණ්ඩය අපේ එකාගේ ඇඟේ ගැසීය. එතැන් පටන් කොල්ලා ටිකක් මෙල්ල වූයේය. සද්ද නැතුව ස්පිනර් එක කරකවන ගමන්ය. ඇවිදින්නේද ඇඟිලි දෙක අස්සේ ස්පිනර් එක ගසාගෙනය. ටෝක්ස්ය. අඩෝ මේ බලහං මේක කැරකෙනවා බං විනාඩි පහකට වැඩිය. මේක හොදා බං ස්ට්‍රෙස් එක අඩු වෙන්න. කතන්දර සියයක්ය. බැරිම තැන සෑමා ෆෝන් එකේ ස්ටොප් වොච් එක දමාගෙන කැරකෙන කාලය මැන බැලුවේය. ලොකු සීන් එකක් නැතිය. විනාඩියක් සහ තවත් තප්පර විස්සක් විතර කැරකුණේය. මිත්‍රයාගේ ටෝක්ස් ටිකක් අඩු වූයේ එතැන් සිටය.

"හැබැයි මේක නවත්තන්න හිතෙන්නෙ නැහැ බං.."

"ඔව් නේ එහෙම සීන් එකක් තියෙනව නේ.."

"උබට මතකද මම මේක හොයන්නෙ කවද ඉදන්ද කියල.."

"මම දන්නවද බං ඒක?"

"ඇයි බං අපෙ පුංචිගෙ පුතා ඩෙංගු හැදිලා හොස්පිට්ල් ඉද්දි ඌ ඇඳේ ඉදන් කරකෝ කරකෝ හිටියෙ.. අන්න එදා ඉදං මම මේක හොයන්නෙ.."

"ආ මට මතකයි.. එදත් උබ නවත්තන්නෙ නැතුව ඒක අතේ තියන් හිටියෙ. මම හිතුවා උබ ඒක එදාම උස්සයි කියලා.."

ගිය වැඩේ කරගෙන නැවත සෑමා සහ මිත්‍රයන් දෙදෙනා පාරට බැස්සේ ගෙදර එන්නටය. අපේ එකා නොනැවතී ගැජට් එක කරකවන්නේය. ඒ අතර හරස් පාරක බිම තියාගෙන අංකල් කෙනෙක් ස්පිනර් වෙළදාමේය. අපේ එකා සෙනික තමා සතු ස්පිනර් එක හංගා ගත්තේය. ඒ තමා කලින් ගෙවූ මුදල සාධාරණද බලන්නටය.

"අංකල් මේක කීයද?"

පොර එක වරම අංකල්ට පෙන්වූයේ, තමා සතු වූ ප්‍රමාණයේම, ඒ පාටම, එකක්ය. මොහොතකට පෙර සාක්කුවට දමාගෙන හංගා ගත් එකමය. රුපියල් තුන්සියයේ එකමය.

"ඒක දෙසීය පනහයි.. ලයිට් පත්තු වෙන එක තුන්සිය පනහයි.. අර පොඩි එක දෙසීයයි.."

අපෙ එකාගේ මුහුණ අමුතු වූයේය. මෙතැන දෙසීය පනහෑ එකකට කොල්ලා තුන්සියයක් ගෙවා ඇත්තේය.

"අංකල් මොකෝ කියන්නේ දෙසීයකට දෙනවද?" ඒ සෑමාය. මිතුරාව තවත් අවුල් කිරීමටය.

"හ්ම්.. හරි හරි මොන පාටද ඕනෙ කියන්නකෝ.." අංකල් අකැමැත්තෙන් මෙන් ඩීල් එකට කැමති වූයේය.

මිතුරාට කලින්ම කෙලවී හමාර නිසා වැඩි විස්තර කතා නොකර, තවත් බාල්දු නොකර එතැනින් පිට වූයේ කොල්ලා ගේ හිත හදන්නටය. අපිට හදන්නට දෙයක් නැතුව නැවත සාක්කු වේ තිබ්බ ස්පිනර් එක අතට ගත් කොල්ලා නැවතත් ටෝක්ස්ය.

"ඒ වුනාට බං ඕවෑ කොලිටීස් තියෙනව නේ.."

හිත නිවන කතාවක්ය. ස්ට්‍රෙස් මකන යන්ත්‍රය කොල්ලාට ස්ට්‍රෙස් ගෙන දෙන්නට වූයේ ඉතිරි විනාඩි කිහිපයේය.

"ඒ වුණාට අර කැ%$#ට තිබ්බා ටිකක් අඩු කරල දෙන්න.. බලපං තුන්සීයටම දුන්නෙ, සතයක් අඩු නොකර.. ෂික් එතැනින් ගන්න හදිස්සි නොවී මෙතැනින් ගන්න තිබ්බෙ... අවුලක් නෑ හැබැයි මේකට කවරයක් තියෙනව නේ බං.. අරකෙ කවරයක් නැහැනේ.. මට හිතෙන්නේ අරකෙ බර අඩුයි.. මේක සැරට දැනෙන්න කැරකෙනවා.. බර නිසා වෙන්න ඇති.."

ස්ට්‍රෙස් නිවෙන්නට ගැජට් එකක් ගත් මිත්‍රයා ස්ට්‍රෙස් එකේ ගිලෙමින් කතා කරන්නට වූයේය. ඔහු කියන හැම හේතුවක්, කාරණයක් පාසාම ස්පිනර් එක කැරකෙන්නට විය.

Written_by_sAm_ශ්‍රී_11:47am_05/12/17

Thursday, November 30, 2017

පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා... - Let us Curse Them !!


දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා
පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා

පෙරහැරට ගමන් කරන්නේ දළ ඇතුන්ය. දළ දිග උන්ය. බර වැඩ කරන උන් පෙරහැරේ යන්නේ නැතිය. ඒ උන්ට දළ නැනි නිසාය. දළ ඇති එකා පෙරහැරේ යන්නේය. ඒ තේජස නිසාය. මිනිසුන්ට වටින්නේ වැඩ කරන එකා නොව කැටයම් දමන එකාය. දළ ඇතෙකු සම්පතක්ය. එකෙක්ට නොව රටටමය. එහෙව් ඇතෙකු මරා දළ කපා තමන්ගේ කර ගන්නවා නම් සාප වෙන්නේ හත්මුතු පරම්පරාවටමය. අහුවෙන හැම අලියාම නසමින් දළ ඇත්තු සොයන කළෙක, ස්භාවධර්මයාද කැළැබෙන්නේමය. ගැසිය යුත්තේ හෙනමය.



සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා
අවි ගත්තු සිල්වත්තු දා ගැබට විදලා

හැම එකාම හොයන්නේ අනුන් ගැනය. තමන් ගැන නොවේමය. අනුන් ගැන නොසොයා තම තමන් තමන් ගැන සොයා ගත්තා නම් රටටම සිරාය. ආතල්ය. කරදර ලස් ය. එහා පැත්තෙ එකාගෙ සිල් රෙද්දෙ ලේය. සිල් රෙද්ද යනු දැහැමි බවට සංකේතයක් ලෙස සිතන රටක් ය. එහෙව් රෙද්දෙ ලේ නම් අවුල්ය. ඒ ලේ ගෑවිච්ච එකා ගැන හොයන එකාත් අවි අරන් දාගැබට විදින්න ඇවිල්ලා විය යුතුය. එක්කෝ පිං කැටයට කෙලින්නටය. නැති නම් නිධානය ගොඩ දමන්නටය. නැති නම් ජාති ආගම් වාදය පතුරා තම තැන රැක ගන්නටය. ගැසිය යුත්තේ හෙනමය.

උතුරින්ද දකුණින්ද උඹ අවෙ කියනා
කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කෙ නුඹලා

"සිoහල ජනයනි රුහුණු මායා පිහිටි රටේ... දමිල ජනයනි යාපා පටුනේ මඩකලපුවේ තිරිකුණාමලේ.... මුස්ලිම් ජනයනි බේරුවල හම්බන්තොට තිහාරියේ.... උරය පලා සැතකින් බලන් රුහිරු..... එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු....." එහෙම කිව්වෙ නන්දා මාලිනිය ය. පාට එකම මුත් බෙදී ඇත්තේ අපට ඕනවාට නොවේය. එක එකාගේ දේශපාල උවමනාවටමය. උන්ගේ බලය තර කරන්නටය. අපට ප්‍රශ්න නැති නම් උන්ට තැන නැත්තේමය. අපට ප්‍රශ්නයක් නැති ම තැන උන් මාකට් කරන්නේ ජාතිය, ආගමය. මාකට් කළ හැකි හොඳම භාණ්ඩය එය ය. මැරෙන තුරු කෙළ ගන්නට පුලුවන්ය. අවසන උන්ට බලය හිමි වන්නේය. මරා ගත් උන්ට ලැබෙන ඉටි ගෙඩියක් නැතිය. ගැසිය යුත්තේ හෙනමය.

කෝවිලට ගිනිබින්ද වෙඩිඋන්ඩ නසලා
නිල් අහස පරවින්ට ඉඩ හරිනු සොයලා

කාගේවත් ඇජෙන්ඩා වලට නොනැමිය යුතුය. කළ යුත්තේ මහ උන්ට බලය දෙන්නට ලේ පාට ලෙස නොබෙදා එකා වන්ව සිටීමය. කෝවිලට වෙඩි තිබ්බ එකාද, පන්සලට වෙඩි තිබ්බ එකාද, පල්ලියට වෙඩි තිබ්බ එකාද, කරේ තියා නොගෙන, උණ්ඩය පිට වුණ තැනට කෙලිය යුතුය. නැසිය යුතුය. නිල් අහස, නිදහස් අහස සුදු පරෙයියන්ට මිස, උකුස්සන්ට, රාජ අලියන්ට බිලි නොදිය යුතුය. බිලි දෙන උන්ට ගැසිය යුත්තේ හෙනමය.

දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
බැත කන්ද දියවෙද්දි මියැදෙන්න හැරලා

වැටෙන දහඩිය බිංදුවක්ම ගෙදර වෙනුවෙන් කරන උන්ය. ගොවියෝය. රටම සරි කරන උන්ය. කම්කරුවෝය. රටේ බර අඳින උන්ය. මැයි පළ වෙනිදාය. පොඩි උන්ට සංතෝසම් දී මහ උන් රඟන දවසය. සියළු දහඩිය ගෙදරට වැය කොට, අස්වැන්න නෙලා ගෙට දාගෙන කන්නට හදන විට මැරෙන්නට ආසන්නය. සියළු දහඩිය ගෙදරට කියා පුදා ඇත්තේ මහ එකාලටය. දහඩියෙන් රැස් කළ දේ බුක්ති විදින්නට යද්දී සැප කෙලවර වී මියෙන්නට ඔන්න මෙන්නය. මහ එකාලට ගැසිය යුත්තේ හෙනමය.

නිදිවැද්ද රජ ඔටුනු වැජඹෙන්න හරිනා
දෙවියන්ට පිං දෙන්න පුළුවන්ද වැදලා

සියල්ල දහඩියට කැප කළේ කම්කරුවෝය. පොඩි උන්ය. මහ එකාලට හූරා කන්නට දුන්නේ ඒ ටිකය. උන් නිදිය. සැපේය. පොඩි උන් නිදි නැතිව වැඩය. දුකේය. එහෙව් නිදි ගත් ඔටුනු වැජබෙන්නට ඉඩ හැරිය යුතුද? එහෙව් ඔටුනු රැකිය යුතුද? එහෙව් මහ එකාලට වැජබෙන්නට දෙන එහෙයියන්ට දෙවියන්ද සාප කරනු නියතය. එහෙව් එකාලා දෙවියන්ට වත් පිං දෙන්නට නුසුදුසුය. මහ එකාලාගේ වැරැදි දැක දැක නිහඩ උන්ට ගැසිය යුත්තේ හෙනමය. ගැසිය යුත්තේ හෙනමය.

Music composed - Iraj Weerarathna
Lyrics - Wasantha Dukgannarala
Flute - Nuwan

එදා සිට අද දක්වා පාලකයා කිමෙක් වුවත් සිදුවන අලි සංහාරය දැක ඉරාජ් ගේ ගීතය සිහිවිය. මුල් පද කිහිපය පමණක් අලින්ට වූවාට, ඉතිරියද අලි කතන්දරයක්ය. මේ ඉක පුරාජ්, ඉරාජ් කාලයේ කළ ගීයක්ය.

Written_by_sAm_ශ්‍රී_7:00am_30/11/2017

Monday, November 27, 2017

නොනිමි..!!


නෙත් බැමි ඉස්සින. කෝපි කෝප්පයේ අඩිය පෙනින. සැර දුමද නිවින.

“දැන් ඔයා මොනවද මට කරන්න කියන්නෙ?”

ඇගේ හඩ අවදි විය. ඔහු තවමත් නිහඩය. ලයිටරයේ ගිණි දැල්ල ඇවිළින. මෙන්තෝල් ස්විචිය දත් අතර කිටිස් හඩ නැඟීය. දුම් ගුළිය නැඟුනේ ය.

“මට තේරෙන්නෙ නැහැ.. ඔයාම කියන්න..”

පිළිතුර වෙනුවට නැවතත් ප්‍රශ්නයක්ය. ඇය වෙත දිඟුවූයේ ලයිටරය සහ සිගරැට් පෙට්ටිය ය.

“මට බෑ මොකෙක්ද වගෙ හැමදාම පස්සෙන් එන්න..”

පිළිතුරු නැති වදන් පෙල අවසන තොල් අතර සිරවූයේ සුදු පාට ෆිල්ටරයක්ය. තොල් සායම් වලින් තදවී ෆිල්ටරයේ පාට වෙනස් විය.

“ඉතිං මොකටද හොයාගෙන එන්නෙ.. ”

ඇගේ නලල රැලි විය. උපහාසයෙන් කී වචනයක්ය. පළමු දුම් ගුලිය දිගැටිව බොහෝ දුර ඇඳුනේය.

“හොයාගෙන එන්න?? තමුසෙ කවුද? කෝල් කරලා වදදෙන්නෙ?? නැතුව ඉන්න බැහැ කියලා.. මමද?”

ඔහුට අමතක ටික ඇගේ පිළිතුරේ විය. සැබෑය. ඇය දකින්නට වද වෙන්නේ ඔහුය. ඒ ඉල්ලීමට හිස නමන්නේ ඇයය. නමුත් කෙලවරක් නැති හමු වීමක්ය. මහ මෙරක් බඳු ආශාවන්ය. සැර හුස්ම අවසන වෙන්වීමක්ය. වෙන්ව නැවත ලැබෙනා තුරු ලතැවිල්ලක්ය. සියල්ල අවසන දෙදෙනාගේ හදිසි හුස්මය. කෙටිය. ඉහළ පහළ යැවෙන්නේය. දෙපා වාරු නැතිව යන කලබලය අස්සේ මිදී යන්නේ පන නලය. හුස්මට බැඳී ඇත්තේය.

“දැන් කොහෙද යන්නෙ?”

“වෙනද තැනටම”

“පරක්කු වෙනවා..”

“එහෙනම් දැන්ම යං”

“අද බෑ..”

“එහෙනම්..”

“කමක් නෑ යං”

දෑගිලි දෙදෙන බැදෙන්නේය. නලලත දෙතොල්ය. ඈ හිස කේ අතර ඒ දෑගිලිය. දෙකන සෙමින් තොලඟ බැදෙන්නේය. Earrings නැතිය. ඈ දෙනෙත් පියවෙන්නේය. අතැගිලි දිවෙන්නේය. ඔහු නොනැවතීය. හුස්ම ඇගේ සිහින්ය. දැඩි රැවුල ඈ පිසදමන්නේය. සිදුරු නැතිය. හුස්මකට ඉඩද, සිතුවිල්ලකට ඉඩද, නැති තැන සියළු හිඩැස් පිරෙන්නේය. සරල දුර ගමනක්ය. අවසන සංකීර්ණ කෙටි ගමනක්ය. හුස්ම ලඟ ලඟය. ඉක්මනින් වැටෙන්නේය. තද අඩි ගැබුරේම ඇලී වෙහෙස දැඩි වන්නේය. කෙලවරය ගමන. නැවත බිම වැටී අහස ඔසවන්නේය. පොලොව හා බැදෙන්නේය. දෑස් පියවීය.



“දැන් මොකද කියන්නෙ?”

“මට උත්තරයක් නැහැ”

“එහෙනම් ඇයි මේක නවත්තන්නෙ නැත්තෙ?”

“මට තේරෙන්නෙ නැහැ”

“ඔක්කොම දාලා එනවද?”

“බෑ”

“එහෙනම් යමු”

“ටිකක් ඉමුද?”

“හ්ම්”


Wednesday, November 22, 2017

උස නම් ශිෂ්‍ය නායක, මිටි නම් ශිෂ්‍ය.. - Height Matters !!


ලියන්නට යන්නේ ලිවිය යුතු දෙයක් නොවේය. ඒත් නොලියාම බැරිය. නැත්තං කසනවා වගේය. ටීචර්ස්ලා ගැන වැරදි ලිවීම වැරදි වැඩක්ය. එහෙත් නොලියන්නේ නම් මෙව්වා කියවන ටීචර්ස්ලාවත් හැදෙන්නේ නැතිය. ඒ නිසා ලිවිය යුතුම යැයි සෑමා තීරණය කළේය. 

මෑත කාලයේදී ගුරුවරුන්ගේ ඔලමොට්ටල වැඩ නිසා දරුවන්ට පාසැල් අහිමි වීම් වැනි සිද්ධි බොහෝමයක් වාර්ථා විය. එලෙසම පාසැලේ දී අනෙක් දරුවන් අතර කොන් වීමට පවා බොහෝ දරුවන්ට හේතු වූයේ ගුරුවරුන්ගේ මොට්ට වැඩය. කිසිම ලෙඩක් නැති දැරිවියකට HIV වැලදී ඇතැයි කතන්දර ගොතා දරුවාට පාසල අහිමි කිරීම, ජීවත්වන පරිසරයෙන්, ගමෙන් කොන් කර හැරීම වැනි බොහෝ සිද්ධීන් වලට හේතු කාරණා වූයේ පාසැලේ ගුරුවරුන්ගේම ක්‍රියාකාරකම් බව කිව යුතුය. එදා මෙදා කියලා වෙනසක් නැතිය. ගුත්තිලලා ඉන්නා කාලේ මූසිලලාද සිටි නිසා ඉවසා සිටිය යුතු වන්නේය. samsung සුසුමන් පාවීලා කියා එදා සෑමා ලිව්වේද මේ වගේ කතාවක්ය. නිවැරදි විනිශ්චය කිරීම් නොකිරීමෙන් පාසැල් එපා වන්නේ දරුවන්ටය.

උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු කියා කියූ විට අපට සෙනිකව සිහිවන්නේ පාර්ලිමේන්තුවේ එක්කෙනකේ වය. එහෙත් උස මිටි අනුව තනතුරු බෙදූ ඉතිහාසයක් අපට නොතිබුණාම නොවේ කියා සෑමාට සිහි වූයේ මෑතකදීය.


ඒ හරියටම 2003 වසරය. අපි සිටියේ 11 වසරේය. ඒ පාසැලට ශිෂ්‍ය නායකයින් තෝරන දවසක්ය. හිටි හැටියේම ප්‍රධාන ගුරුවරයෙක් අපෙ ක්ලාස් එකට ඇන්ටර් වූයේය. කොරිඩෝවෙන් පන්තිය ඇතුලට විත් හිටගත්තේය. පන්තියම තක්කු මුක්කු වෙලාය. සර්ට හැමෝම බයය.

"හා දැන් නැඟිටිනවා බලන්න ඉස්කෝලෙ ශිෂ්‍ය නායක වෙන්න කැමති උන්"

බහුතරයක් නැඟිට්ටාහ. එහෙම නැගිට්ටවා සිල්ලරට පට්ටම් දෙනවා නම් හෝල් සේල් ගැනීමට හැමෝම කැමතිය. සෑමා ද ඒ අතර වූයේය.

"හා හා.. මේ ඔක්කොම ශිෂ්‍ය නායක වුණාම කවුද ඉතිරි වෙන්නේ.."

සෙනඟ අඩු කිරීමට සර් උපක්‍රම සෙව්වේය.

"හා තමුසෙ ඉඳගන්නවා.. තමුසෙ කොට වැඩියි. හා.. තමුසෙ උස ගානට.. තමුසෙ ඉන්නවා.."

සර් ප්‍රේමදාස කාලයේ අයෙක් විය යුතුය. උස උන් ශිෂ්‍ය නායක ලෙසත්, මිටි උන් ශිෂ්‍ය ලෙසත් ලේබල් ගසා සර් වැඩේ ගොඩ දැම්මේය. ඒ තියරියම අපේ කාලේ ප්‍රේමදාසයානෝ පාවිච්චි කළ බව සෑමාට සිහිවුයේ මෑතකදීය. කෙසේ හෝ ඒ කාලයේ අවසනාවන්ත මිටි අපි වැනි උන් ශිෂ්‍ය ලෙස ලේබල් ගසා පුටු වල නැවත හින්දුවේය.

ඉන් පසුව අප දහම් පාසලේ ශිෂ්‍ය නායක තේරීමේ ඉන්ටර්විව් එකක් තිබුණේය. එයට රැගෙන ආ යුතු ලිය කියවිලි ලිස්ට් එකක් ලැබුණේය. තමන් මෙතෙක් ලද සියළු සහතික, දැනට දහම් පාසලේ පන්තියේ ලියන සියළු පොත් පත්, සහ වාර්ථා පොත ඒ අතර විය. ලියන පොත් බලන නිසා ඉන්ටර්විව් ආ සියල්ලෝම පිළිවෙලකට පොත් සකසාගෙන ආවෝය. සමහරු පොතම නැවත මුතුවන් අකුරින් ලියාගෙන ආවේ පත්වීම ලබන්නටය. වාර්ථා පොතේ පහ වසරේ සිට සියළුම ඉතිහාසය සටහන් වී තිබුණේ විෂය බාහිර ක්‍රියාකාරකම් සහිතවය. පෝ දාක උදේ ආරම්භ වූ ඉන්ටර්විව් එක අවසන් වූයේ හවස් ජාමයේය. ඉවසීම නැති උන් මඟදී නැඟිට ගෙදර ගියෝය. රැකියාවකට ගනිද්දීවත් නොකරන මට්ටමේ මහ ලොකු ඉන්ටර්විව් එකක්ය. දහම් පාසලකට තරම් නොවන මට්ටමේ උනත් ප්‍රායෝගිකය.

සෑමා පාසැල හා දහම් පාසල සංසන්දනය කරන්නට නොගියේය. එහෙත් උස නම් සිකුරිටි මිටි නම් කම්කරු තියරිය මීට බොහෝ කළකට ඉහතදි භාවිත කළ බව පමණක් මතක් කර දුන්නේය.

Written_by_sAm_ශ්‍රී_11:15pm_21/11/2017

Wednesday, November 15, 2017

කොල්ලෙක් වෙනුවෙන් බිලි වීම.. - Die for a Friend !!


ඔබට ඔෆීස් එකේ නප්පෙට කෙලවූ අවස්ථාවක් නොතිබූ තරම් නැති තරම් විය යුතුය. එවැනි අවස්ථාවක ඔබේ ඔෆීස් එකේ මිතුරෙක් ඔබ ලඟට පැමිණ ඔබගෙන් මෙසේ ඇසුවේදැයි සිතා බැලිය යුතුය.

"මචං කේස් එක දරුණුවටම යනවා.. උබට කේස් එකක් පත්තු උනොත් මම වැඩේ බාර ගන්නම් ද? එතකොට උබට බේරෙන්න පුලුවන්.."

දරුණු කේස් එකක්ය. පත්තු වුනොත් ගෙදර යන්න වෙන තරම්ය. ඔෆීස් එකේ එකෙක් උබෙ වැරැද්ද, උගෙ කර ගැනීමට ඉල්ලා සිටින්නේය. සිහිනයක්ය. නැත්තම් ඌ පිස්සෙක් විය යුතුය. එහෙම එව්වා ඉන්දියන් නාට්‍ය වලවත් නැතිය. එහෙව් තව එකෙක් ගේ කේස් එකකට බෙල්ල තියන උන් ඔෆීස් වලදි නම් සෑමා දැක නැත්තේය. එවැනි අවස්ථාවක ඇඩ්වයිස් දෙන උන් නම් සිටින්නෝය. එක්කෝ උබව ගොඩ දැමීමටය. නැත්තම් ප්‍රශ්නය බරපතල් කිරීමටය. බොර දියේ සාරි ගප්පියෙක් හොයා ගන්නටය. විටක ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් දකින්නටය. 



හැබැයි එහෙම උන් සෑමා දැක ඇත්තේය. ඒ පාසැල් කාලයේය. ඕනෙම එකෙක්ගේ සීන් එකකට බෙල්ල තැබීමට ඕනෙම එකෙක්ගේ සීන් එකකට එන්ටර් වීමට බොහෝ උන් පොර කෑවෝය. ඒ පාසැල් කාලයේය. එදායින් පසු එහෙම උන් මලාද දන්නේ නැතිය. සීන් එක සරලය. ඒ කාලේ වෙන එකෙක් ගේ සීන් එකකට බැනුමක් හෝ ගුටියක් කාපු එකෙක් වීරයෙක්ය. මිතුරා වෙනුවෙන් දිවි දීමක්ය. මොරාල්ය. ගැම්මය. ෆිට් එකය. පාසැලෙන් ඉවත් වූදා සිට උන්ව කවුරුන් හෝ සමූල ඝාතනය කරන්නට ඇතිය.

නැහැ සිද්ධිය සරලව මෙසේය..

පාසැල් කාලේ ඉන්නේ කල්ලි වශයෙන්ය. පාසැලෙන් ඉවත් වූ දා සිට කල්ලි කැඩෙන්නේය. උසස් පෙළින් පසු කට්ටිය තැන් තැන් වලය. එවිට කල්ලි කුඩා වී ශේෂ වී යන්නේය. නැවත කට්ටිය එක් රැස් වෙන්නේ අවුරුදු දෙකකටවත් පසුය. සරල සිද්ධාන්තය එසේය. තනි වී ජොබක් හොයන්නට, කෝස් එකක් කරන්නට, කැම්පස් යන්නට හැප්පෙන තුරු කල්ලි නැතිය. එවිට දැනෙන්නේ පාසැල් යන කාලේ ආතල් එක නොවේය. ඒ තනිව හැප්පෙන කාලයේ සිට කාගෙවත් කෝච්චියකට බෙල්ල තියන්න හෝ අත දමන්නටවත් හොඳ නැති බව තේරුම් යන්නේය. පාසැල් කාලේ නම් ඕනෙ සීන් එකට බෙල්ල තිබ්බොත් උපරිමය වන්නේ ගෙදරින් ගෙන්වීම හෝ පන්ති තහනම් කිරීමය. එව්වාද ආතල් සීන් මිස ජීවිතයට හානියක් වෙන තරම් දේවල් නොවේය.

මෑතකදී සෑමාගේ මිත්‍රයෙක් කියූ අපුරු කතාවක් සිහි වූ නිසා අනුන්ගේ සීන් වලට එන්ටැර් වීම ගැන සිහි වූයේය. මිතුරා කිව්වේ ඔහුට වෙච්ච සිද්ධියක්ය. ඒකත් ආතල්ය. සෑමාට වෙච්චි සීන් එකක් ලෙස ලිව්වොත් අනිවාර්යෙන් මඩ වදිනවා ෂුවර්ය.

අපෙ මිතුරා පාසැලේ ගේට්ටුව ලඟදී අත් අඩංගුවට ගෙන ඇත්තේ කොණ්ඩය නොකැපීම සම්බන්ධයෙන්ය. ඒ කාලේ අපේ උන්ව කොණ්ඩයට ඇල්ලුවොත් කරන්නේ පෝලිමේ පිට්ටනිය මැද්දට ගෙන යාමය. පසුව ප්‍රින්සිපල් බාබර් වන්නේය. පිට්ටනිය මැද පෝලිමේ ඉන්න උන්ගේ කොණ්ඩය අසමජ්ජාති විදිහට කැතට කපන්නේ ප්‍රින්සිපල්ගේම සුරතින්ය. එදාට කොණ්ඩය විනාශ වූවෝ සිටින්නේ හැංගෙමින්ය. කාටවත් මුහුණ දෙන්නට බැරි විදියට කොණ්ඩය කපන්නේ පාඩමක් ඉගෙන ගන්නටය. කෙසේ හෝ අප මිත්‍රයා කොණ්ඩය නොකැපීමේ වැරදි පෝලිමේ සිටිද්දී ඔහුගේ තවත් මිතුරෙකු පැමිණ ඇත්තේය. ඒ ඔහු ගේට්ටුවෙන් එන්ටර් වී පාසලට ආ මොහොතේමය. 

"මොකො බං මෙතන.."

"කොණ්ඩෙ වැඩිලු බං.. මාව ඇල්ලුවා.. පෝලිමේ ඉන්න කිව්වා.."

"පොඩ්ඩක් හිටහං.. මාත් එනවා උබත් එක්ක.."

අන්න ඌ බෙල්ල තිබ්බේ එසේය. කොල්ලා ෆිට් එකය. ගැම්මය. අපේ එකෙක් වැරැද්දට අහු වෙලාය. තනියෙන් ඉන්නට දෙන්න හොඳ නැතිය. කනවා නම් එකා මෙන් ගුටි කෑ යුතුය. බෑග් එකත් එල්ලාගෙන මිත්‍රයා පෝලිමේ සිටියේය.

"කට්ටිය පෝලිමේ යමු ඔහොම ඔෆීස් එකට.."

හෙඩ් ප්‍රිෆෙක්ට්ය. පණ්ඩිතයාය. පිනාට මුට්ටිය ය. ටීචර්ලාට පන්දම ය. ප්‍රිෆෙක්ට්ස් ලා ඔක්කොම එකය. මුන්ට කෙලවන්න ඕනෑය. එකා මෙන් ගුටි කෑ යුතුය. උන්ට පෙන්විය යුත්තේ අපේ ශක්තිය ය. නැත්තං මුං හිතන්නේ අපි එකාට එකා නැහැ කියාය. උන්ගේ සෙට් එක පොඩ්ඩය. බහුතරය අපේය.

පෝලිම ශේප් එකේ ස්ටාෆ් රූම් එක පහුකරගෙන ඔෆිස් එකට ඇදෙන්නේය. ඉස්සරහ උන් හැංගෙන්නට හදන්නෝය. පස්සේ උන් කකුල් පන නැති ගානටය. සියල්ල සිදුවන්නේ හෙමින්ය. ප්‍රිෆෙක්ට්ස් ලාට තදියමය. උන්ට ඕනෑ වැටෙන ලකුණ ඉක්මනට දමා ගන්නටය. 

"ආ.. මේ පුතා මොකද මෙතන..??"

ටීචර් කෙනෙක් ස්ටාෆ් රූම් එකින් එලියට එද්දී අපෙ මිත්‍රයාව දැක ඇත්තේය. අපෙ එකා ටීචර්ට තත්වය පහදා දී ඇත්තේය.

"නෑ ටීචර් මේ කොණ්ඩේ වැඩියි කියල ඇල්ලුවා.. ඒත් පැත්තට පීරුවම පේන්නෙත් නැහැ.."

අපෙ මිත්‍රයා වැරදි නැති බව පෙන්නුවේය. ටීචර්ද ඌට සපෝට්ය. ප්‍රිෆෙක්ට්ස් ලා බලාගෙනය.

"පිස්සද?? ඔය වැඩි නැහැ.. යනවා යනවා පන්තියට.."

ටීචර් අපෙ එකාව ගොඩ දැම්මේය. පිටිපස්සෙ සිටි බෙල්ල තිබ්බ එකාගේ ඇස් ගියේය. අපෙ එකාටද කර ගන්නට දෙයක් නැතුව අවුල් සීන් එකේ පන්තියට ගොස් ඇත්තේය. මොහොතකින් කොල්ලා වෙනුවෙන් බෙල්ල තිබ්බ මිත්‍රයාද පන්තිය පැමිණ ඇත්තේය.

"අඩෝ සොරි මචං.. මොකෝ උනේ.."

"බෑග් එක තියල යන්න බං ආවේ.."

"ඇයි ඇයි... මොකෝ උනේ.."

"ඔක්කොම වැරදි කරපු උන් එකතු කරලා රැස්වීමක්.. මම ගිහින් එන්නමි බං.."


අන්න එදා සිට පාසලෙන් ඉවත්ව ගිය උන්, තව එකෙක් වෙනුවෙන් බිලි වීම නවත්වන්නට ඇතිය. නැත්තං ඔෆීස් වල, සමාජයේ, ඉන්නා උන් මෙච්චර ආත්මාර්ථකාමී වෙන්නට මෙතරම් ඉඩක් නැතිය.

Written_by_sAm_ශ්‍රී_11:25_15/11/17

Monday, November 13, 2017

කෙල්ලගේ ගෙදර පළමු රැය... - First Night at Girl's Home !!



සෑමා ඉස්කෝලෙ යන කාලෙ නම් ආදරය මේ තරම් ඇඩ්වාන්ස් නැතිය. දැන් කාලේ ආදරය පට්ට ෆෝවර්ඩ්ය. ෆස්ට් සයිට් එකෙන් ලව්ය. දැක්ක දවසෙ ඉදන්ම ලව්ය. ඉස්සර ඒකට කිව්වේ හිත ගිය තැන මාලිඟාව කියාය. දැන් උන්ට සියල්ල ෆස්ට් සයිට් එකෙන් නිසා දකින හැම එකටම ලව්ය. හැම තැනම මාලිඟාය. ඒකත් ආතල්ය. දැක්ක ගමන් නම්බරය ඉල්ල ගත්තේ නම් ගොඩය. නැතිනම් නම අසා ගැනීම සෑහෙන්නේය. නම්බරය ඉල්ලා ගත් දා සිට වයිබර් හා වට්ස් ඇප් හෝ ඉමෝ මගින් පට්ට ඇක්සස්ය. නැති නම් නම බලා බුකියේ සර්ච් කිරීම සෑහෙන්නේය. ඉතිං දැන් ලව පට්ට ස්පීඩ්ය. ඇඩ්වාන්ස්ය. ඒ එක්කම සෙක්ස් නම්  නතිංය.

ඒ කාලේ සෙක්ස් කියන්නේ මහ දෙයක්ය. කොල්ලා කෙල්ල එක්ක සෙට් වෙලා මුලින්ම අතින් ඇල්ලූ දා පළමු සෙක්ස් කළ දා කියා ගණන් හැදුවාට කාරි නැතිය. ඒ තරමට ලං වීම හෙනම අමාරුය. අතින් අල්ලා දෙවෙනුව කිස් එකක් දුන් දා එවරස්ට් තරණය කළාට වඩා හතිය. ක්ලාස් එකක් කට් කිරීම, බීච් යාම, ෆිල්ම් එකක් බලන්නට යාම දක්වාද, එතනින් එහාටද යෑම මහා දෙයක්ය. දැන් නම් ලව් නතිංය. සෙක්ස් ඊටත් වඩා නතිංය. ලං වෙලා බැරි නම් ඔන්ලයින් හෝ වීඩියෝ හෝ කළ හැකිය. තාක්ෂණය සමඟ සියල්ල ඉක්මන්ය. වටිනාකම අතින් පහත්ය. ඉස්සරහට මොනවා වෙයිද කිව නොහැකිය.

එහෙම අමාරු කාලයක අපේ එකෙක් කෙල්ලෙක් සෙට් කර ගත්තේය. කොල්ලා කෙල්ලගේ ගෙදර යන්න ගත්ත කාලයේද සිටියේ හෙන ඩෑල් එකක් වගේය. අඩෝ මම දැන් කෙල්ලගේ ගෙදරත් යනවා සීන් එක මාර කික්ය. කෑලි නැති උන්ට, ගෙදරට හොරෙන් ලව් කරන උන්ට අපෙ මිත්‍රයා ඩෑල් එකක් වී සිටියේ ඒ සමයේය. ගෙදර ගියාට හැබැයි සම්බාධක බොහෝ බව ප්‍රසිද්ධ රහසක්ය. කවුරුත් ගෙදර නැති වෙලාවට ගෙදරට එන්ටර් විය නොහැකිය. කෙල්ල තනියම නම් කේස්ය. අම්මා හිටියත් ටිකක් අවුල්ය. ගෙදර පිරිමි පරානයක් නැතිනම් කොල්ලාට ලිමිටේෂන්ස්ය. ඒත් අපේ එකා එව්වා සමාජගත් නොකළේය. අපෙ උන්ද එව්වා කොහෙන් හෝ අල්ලා ගන්නේ කොල්ලාව විනාස කරන්නටය. මොකද ඌ කෙල්ලගේ ගෙදර යන මට්ටමට අපට වඩා ඉහල තැනක සිටි නිසාය.

එහෙව් කෙල්ලගේ ගෙදරට යන කොල්ලන්ට ලැබෙන චාන්ස් කිහිපයක් තිබෙන්නේය. කෙල්ලගේ ගෙදර කිසියම් බර වැඩක් තියෙන්නේ නම් කොල්ලාටද එයට ආරාධනා ලැබෙන්නේය. වැඩේ කොච්චර අබ්ලික් වුණත් කොල්ලා බැහැලා සීන් එකට බහින්නේ කෙල්ලව මොහොතකට හෝ තමන් ලඟ තනිකර ගැනීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන්ය. බොහෝ විට බිදී යන එවැනි බලාපොරොත්තු ශෝකානුකූලය. කෙල්ලගේ ගෙදර මලගෙයක් නම් කොල්ලා නයිට ගසන්නේ දවස් හතමය. ඒ සඳ ඇති රැයක කෙල්ලගේ රුව සඳ එළියේ බලාගන්නට විය හැකිය. නැතිනම් සඳ ගිණි ගනී චිත්‍රපටයේ ට්‍රේලරය හෝ බලාගැනීමටය. දානයක්, පිරිතක් වගේ නම් කොල්ලා අත අරින්නේද නැතිය. අද කාලේ නම් කෙල්ල ගෙට වූ දා සිට කෙල්ලගේ පාටිය ගන්නා දින දක්වා කෙල්ලගේ ගෙදර වැඩපල කර දෙන් ආදරවන්තයෝද සිටින්නට පුලුවන්ය. ඒ තරමට දැන් ආදරය ස්පීඩ්ය.
  
ඔහොම කොල්ලන්ට චාන්ස් නැති ඒ කාලේ අපේ මිතුරෙක්ට නියම පල්ලමක් සෙට් වුණේය. කොල්ලා කෙල්ලගේ ගෙදර ගිය වෙලාවක්ය. ගෙවල් දෙකෙන්ම ලව් එක ගැන දැනගෙන සිටියෝය. පර්මිෂන් ද ලැබී තිබුණේය. එහෙත් කොල්ලා කෙල්ලගේ ගෙදර නයිටක් ගසා තිබුණේම නැතිය. හවස තේ එකක් බොන මොහොතේ තිබුණු චිරි චිරි වැස්ස ධාරාණිපාත වැස්සක් බවට පත්වන්නට ගියේ සුළු මොහොතක්ය. කළුවර බොහෝය. අකුණුද අහස පොලොව නුහුලන තරම්ය. කොල්ලා එහෙ ගියේ බයික් එකකය. රේන් කෝට් එකකට දරන්න බැරි කුරිරු වැස්සය.

"අප්පා පායන පාටක් නැහැ වගේ.." කොල්ලා බොරු සුසුම් හෙලන්නේය.

"මේ වැස්සෙ කෝම යන්නද?" කෙල්ල නෙගටිව් ටෝක්ස් මය.

"තව ටිකකින් පායයි. පුතා ටිකක් බලලා යන්න.." නැන්දම්මා පල නොකියා පලා බෙදමින්ය.

මාමණ්ඩී සද්ද වහලාය. විටක කොල්ලාගේ දුක තේරුම් ගෙන විය යුතුය. ටීවීත් බලන්නට බැරි තරම් ගොරවන හඬය. මාමණ්ඩී සෝෆාවේ පත්තරයක් බලමින් සිටියේය. නැන්දම්මා කුස්සියේය. විටක සාලයට ඔළුව දමමින්ය. ලිප ලඟ සිටිමින් සාලයේ සංවාද වලට උත්තර දෙමින්ය. වැස්ස වැඩි වන ලකුණුය. කෙල්ල රූම් එකේ සිට කොල්ලාට ටෙක්ස්ට් කරමින්ය.

"ඔයාට යන්න බැරි වෙන්නමයි ඕනෙ.."

"මේක පායන පාටක් නැහැ. පුතා පුලුවන් නම් අද මෙහෙ නවතින්න." මාමණ්ඩිය කිව්වේ පත්තරය පසෙකට තබමින්ය.

"ඉන්නව නම් පුතා ගෙදරට කෝල් එකක් දිලා කියන්න" ඒ නැන්දම්මාය.

"එහෙනම් මම කෝපි එකක් හදන් එන්නම්." ඒ කෙල්ලය.

"පුතාට ඉස්සරහ කාමරේ ලෑස්ති කරලා දෙනවා හොඳයි.." ඒ මාමණ්ඩිය ය.

සියළු ඇප්රූවල්ස්, ඇරේන්ජ්මන්ට්ස් අස්සේ කස්ටිය සාලයෙන් ඩිස්මිස් විය. ගෙදර හෙන කළබලයක්ය. මොහොතකින් කෙල්ල ආවේ කෝපි කෝප්පයක් සමඟය. කොල්ලා මිසින්ය. හිටි තැන නැතිය. හෙල්මට් එකත්, ජැකට් එකත්, බයික් එකත් සමඟ මිසින් ය. අම්මාත්, තාත්තාත් පැමිණ ගේ පුරා හෙව්වේ කෙල්ලගේ කොල්ලා කෝ කියාය.

"කොල්ලට ලැජ්ජ හිතුණද දන්නෑ.. අපි එහෙම නම් ඒ කාලේ පැනලා නවතින්නේ.." මාමණ්ඩීය.

"අනේ හැදිච්ච කොල්ලෙක්.." ඒ නැන්දම්මාය.

"අයියෝ ෆෝන් එකත් ආන්සර කරන්නෙ නෑ.." ඒ කෙල්ලය.

සියළු දෙනාගේ කමෙන්ට්ස් මැද ගෙදර දොර වැසුනේය. කස්ටිය වැස්ස නිසා නිදා ගන්නට සූදානමය.

ටොක් ටොක් ටොක්..

දොරට ගසන සද්දයක්ය. මාමණ්ඩිය ගොස් දොර ඇරියේය. නැන්දම්මාද ඉස්සරහට ආවේ මේ වෙලාවේ කවුද කියාගෙනය. කෙල්ල කාමරයෙන් ඔලුව දොට්ට දමාගෙන සිටියාය.

අම්මට උඩු කොල්ලාය. ජැකට් එක, කලිසම සියල්ල තෙමීගෙන නැවත ගෙදර ඇවිත්ය.



"කොහෙද පුතා ගියෙ.." ප්‍රශ්න කෝටියකින් එකක්ය.

"නෑ අප්පා.. මම ගෙදරට දුවල ආවා රෑට අදින්න ඇඳුමක් අරගෙන.."


Written_by_sAm_ශ්‍රී_7:48pm_13/11/2017

Friday, November 10, 2017

සියාතු සීයාගේ අහේතුවට තෙල් ගැසීම.. Siyathu's Unwanted Top Up !!!


පාර පාළුවට ගිහිල්ලාය. වාහන අඩුය. පැස්ටෝල් වාහන දුලබය. ඩීසල් වාහන සුලබය. පාර අයිනට ගිය සෑමා දත් මැද්දේ වාහන ගණන් කරමින්ය. අම්මට උඩු නැව තාම මඟය. කොලෙස්ට්‍රෝල් ආදී තෙල් ප්‍රශ්න නැති ලොතැරැයි විකුණන අයියා ඈත සිට එන්නේ රූං කියාගෙනය. මෑන්ස්ට ප්‍රශ්න නැතිය. ආතල්ය. පාරේ වාහන අඩුය. ෂෙඩ් එකක් ලඟ පෝලිමකට කිට්ටු වී හිටගෙන සිටියත් ඇතිය. අද බයිසිකලේ පැදිය යුතු නැත. පෝලිමට ලොතැරැයි ටික විකුණ ගත හැකිය. කවදාවත් කොලිටි නැති ලවුස් පීකරෙන් නන්දා මාලනිය ගයන්නීය.

"මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ- අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමග - තනිවම..."

ටිං ටිං ගා මියුසික් සද්දය ආවේ ඒ වකුටු ලවුස් පීකරයෙන්මය. ඒ වර්ස් එක අවසන නැවතත් සුපුදුරු ගීතය ඇසෙන්නේමය.

"රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ..
නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ..."

සුපුරුදු ගීතය අද මහා කික් එකකින් ඇසෙන්නේය. පාර කිසි කලබලයක් නැතිය. ඇඳිරි නීතිය දැම්ම වගේය. ඒ අස්සේ කවදාවත් පාරට දාන්නේ නැති මට්ටමේ වාහනත් පාරට දාලාය. ඉදලා හිටලා හෝ වාහනයක් යන්නේ ගැරේජ් එකක මුල් ඇදලා තිබ්බ එව්වා වගේය. ඈත තියාම පාර පුරා පැමිණි වාහනයක් සෑමා අසල නැවැත්තුවේය. මොරිස් මයිනර් එකක්ය. ඇන්ටික්ය. 

http://www.express.co.uk/news/uk/729595/Morris-Minor-owner-classic-car-John-Neve-reliable


අම්මට උඩු සියාතු සීයා අලුත් වාහනයක් අරන් ය. අලුත් කිව්වාට මොරිස් මයිනර් එකක් ය. සෑමා සීයාව ඉන්ටර්විව් කළේය.

"නෑ පුතා අලුත් එකක් නෙවෙ, මේ අපි වෙසක් බලන්න යන කාර් එකනෙ..."

"ආ.. අර අවුරුද්දකට පාරක් එළියට දාන එකද?"

"හෙහ් හේ.. ඔව් පුතා තෙල් ප්‍රස්න නේ.. ෆුල්ම ටෑන්ක් කළා.."

"හැබැයි බඩු පරණ උනාට තාම ලෙසටම වැඩ නේද සීයේ.."

"නැතුව නැතුව.. උබට කියන්න කොල්ලෝ ආච්චිත් ඔයට ටිකම තමා කියන්නෙ.."

"ඔව් නේ.. හැබැයි චැසිය මැද්දෙන් පොඩ්ඩක් එන්ජිම පාත් වෙලා වගෙ නේද? මම හිතන්නෙ එන්ජින් මවුන්ට් එකක් ගිහිං වෙන්ටෑ.."

"ඒත් මොකැ බං බඩු වැඩනේ.." සීයා කිව්වේ සැකෙන් මා දෙස බලමින්, දඩිබිඩියේ කැහැපොට ගැසූ සරම පහළට දමමින්ය.

"ඇත්තටම සීයේ එන්ජින් අවුල් ගිහිල්ලම නැද්ද, මොනව වුනත් පරණයි නේ.."

"අනෙ මන්ද බං ගිය ආණ්ඩුව කාලෙ එන්ජිම සීසර් වුණා.."

"හෑ සීසර්.."

"ඔව් බං අර බාල තෙල ගහලා සීසර්ද මොකක්ද වෙලා ඇන්ජිම සුද්ද කෙරෙව්වා.."

"ආ සීස් වෙලා.."

"අන්න ඒක වෙලා බං.. ඊට පස්සෙ මමත් ඇරියෙ නැහැ. පදින්නෙ නැතුව ගෙදරම තිබ්බා. නැතුව කෝමද බං මේවා පරිස්සම් කරන්නෙ.."

"සීයා ආච්චිවත් පරිස්සම් කළෙ පදින්නෙම නැතුව තියන් ඉදලද?"

"අනෙ මේ මගෙන් අහංගන් නැතුව ඉදිං. බාල එව්වැං ගැහුවම තමා කෙල වෙන්නෙ. මම ම ගහං ඉන්න කොට අවුලක් වෙන්නෑ.."

"හරි හරි ඉතිං දැන් සීයා කොහෙද යන්නෙ ඕකෙ..??"

"මම කියලා.. කොයි යන්නද පුතා.. ලබන පාර වෙසක් බලන්න යන්න සෙට් වෙමු.. බඩු හෑව්.."

"එහෙනම් සරුයි ඈ..??"

"මොන සරුවක් ද පුතා කෑමට බීමට වියදම් පවා කපලා තියෙන්නෙ, ෆුල්ම ටෑන්ක් ගහලා අතේ සල්ලිත් නෑ.."

"ඉතිං බං සීයේ වැරදි නැද්ද වැඩේ..??"

"ඇයි.."

"මේ තෙල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන අස්සෙ තෙල් ටික ගෙනිහිං ගෙදර තියන් ඉන්න එක??"

"උබට පිස්සුද? දැන් බලහං අපෙ රටේ දහයෙ කාසි හිඟයක් ආවා. තාමත් තියෙනවා. මොන එකාද කාසිය කැටේට ඔබන එක නැවැත්තුවේ?"

"ඒ උනාට සීයෙ.."

"ඒ උනාට නෙවේ. රට ගැන හිතන උන් ඉන්නව නම් යකො දහයෙ කාසි තයෙන්න එපෑ."

"කාසිය වගෙද සීයේ මේ වෙලාවෙ තෙල්??"

"යකෝ මේක රටක්. ගෙයක් දොරක් ඈ. උන්ට රටට ඕනෙ කරන තෙල් අවුරුද්දකටවත් ඇති වෙන්න ඉස්ටොක් කර ගන්න බැරි නම් අහවල් රෙද්දට ද අපි ඇබරෙන්නෙ. අපි ගෙදරට ඕනෙ ප්‍රමානෙන් වත් ඉස්ටොක් කර ගන්නැතුව."

"බලං ගියාම ඒකත් හරි සීයෙ.."

"බල බල ඉදාං.. රට ගැන හිතලා කෙලෝ ගං. නැත්තං උබ ගැන හිතලා වත් හැදියං. මේ සිරිලංකාව හදන්න බොටයි මටයි බෑ. අර ඇතුලෙ ඉන්න උන්ටත් බැරි නම්.. මං යනවා.. දත් මැදලා ඇති නම් කට හෝදලා මූණත් හෝද ගනිං..."

සීයාට මල දෙපිටින් ගිහින්ය. හරියට සෑමා නැව නැවැත්තුවා වගේය. 

"නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ..."

සියාතු සීයා කැපුනේය. මයිනරය පාර පුරා රුවල් බිඳුනු නැවක් සේ නොපෙනේ ගියේය.

Written_by_sAm_ශ්‍රී_6:55pm_10/11/17

Wednesday, November 8, 2017

කබරයාගේ මානව හිමිකම් සුරකිමු.. - Lets protect Monitor's human rights !!


ටිකිරි ම ටිකිරි ලියා කළෙත් අරන් ලිදට ගියේ ගොඩක් කාලෙකට ඉහතදීය. අපි පොඩි කාලෙටත් කලින් නිසා අනිවාර්යයෙන් වසර තිහකටත් වැඩිය කලින් දවසක විය යුතුය. ලිඳ වටකර කබරගොයා සිටියදී කකුල කෑවේ දියබරියාය. එද කිසියම් විජාතික බලවේගයක් තිබුණා නම් ඒ නඩුවද සෙට් වෙන්නේ කබරගොයාටය. අද වෙන විට කබරගොයා හෙවත් කබරයා ඒ තරම් පජාත වී ඇත්තේය. ඌ කොටින්ම කිව්වොත් පවුය. අවුරුදු තිහකටත් එහා දී ඌ එදා බේරුණද, එදා සිට අද දක්වාම කබරයාට වෙන්නේ කාටවත් සිදු නොවිය යුතු පව් සීන්ය. හැම කෙලියකටම අහු වෙන්නේ ඌය. ඉතිං ඌගේ මානව හිමිකම් ආරක්ෂා කළ යුතුය. ජිනීවා ගොස් හෝ කබරයාගේ තත්වය ආරක්ෂා කරගත යුතු බව සෑමාගේ අදහසය.



මොන්ටිසෝරියේදී දියබරියා පිට නඩුව වැටී කබරයා සාධාරණ ලෙස ගැලවුනේය. එහෙත් එක වසරේ සිටම කබරයාට සිදු වූයේ නොසන්ඩාල වැඩය. අසාධාරණ වැඩය. පන්තියේ ඉන්න එපාම කරපු එකා මොනිටර් වූයේ එක වසරේ සිටය. ඌ ටීචර්ට කේලාම් කියන එකාය. ටීචර් පන්තියට එන්නට අමතක වූ විට ටීචර්ව කැන්ඳන් ඇවිත් ලකුණු දා ගන්නා එකාය. ටීචර් නැති වෙලාවට කතා කරන උන්ගේ නම් කොලයක ලියා ටීචර්ට රිපෝට් කරන එකාය. කොටින්ම කිවහොත් පන්තියේ ඉතිරි බහුතරය, එකාධිපතියෙකු ලෙස තනිවම ටීචර්ට කුත්තු කරපු එකාය. ටීචර්ගේ සාරි පොටේ එල්ලී අනික් උන් පාවා දුන් එකාය. එහෙව් එකෙක් මොනිටර් වෙද්දී ඉංගිරිසි කබරයාට සිදු වන්නේ කීර්ති නාමයට හානියක්ය. අනිත් සත්තු අතර කොන් වීමක්ය. ඉතිං කබරයාගේ මානව හිමිකම් සුරැකීමට නම් ඌ වෙනුවෙන් අපි ජිනීවා යා යුතු නොවේදැයි ප්‍රශ්න කළ යුතුය. 

මිනිස්සුන්ට ලෙඩක් හැඳුනොත් ඒකත් යන්නෙ අහිංසක කබරයා පිටින්ය. එකක් පොතු කබරය. අනෙක සුදු කබරය. හොඳ කරන්නට අමාරු බව කියන්නේය. සිංහල බෙහෙත් වලට හොද කළ හැකියි කියන්නේය. චර්ම රෝගයක්ය. හැදෙන්නේ මිනිස්සුන්ටය. නම චාටර් වෙන්නේ කබරයාගේය. කැලේ ඉන්නා ඌ කිසිම සම්බන්ධයක් නැතුව අහක යන ලෙඩකට නම ගාවා ගන්නේය. වැඩේ උපරිම කැතය. අපේ සෙට් එකේ කොල්ලෙක් සිටියේය. ඌට ගුටි පන්දු වලින් කොපමණ ගුටි කෑවත් ගානක් නැතිය. උගේ හම හෙන ඝණකම් බව කොල්ලෝ කීවෝය. සමහරු කිව්වේ ඌට තියෙන්නේ කබර හමක් කියාය. ඒ හමත් කොල්ලෙක් ගේය. පැත්ත ඉන්නා කබරයා චාටර් වන්නේය. ඉතිං කබරයා ගේ මානව හිමිකම් රැකිය යුත්තේ නොවේදැයි නැවතත් ප්‍රශ්නයක්ය.

අඩියක් පුඩියක් ගසන්නට සැට් වෙන්නේ මිනිස්සුය. උන් ගන්නේ ආතල් එකක්ය. බොන අතර බයිට්ය. කඩලය, පෝක් ස්ටූය, ඩෙවල්ය. පරණ කතාය. අතීත කාමයේය. අනාගත සිහිනය. සැරසිලි කතන්දරය. සිංදුය. බොංගෝය. ඩොල්කිය. ආතල්ය. සියල්ල නිමා වන්නේ සතුටකින්ය. ඒත් පොඩ්ඩක් ගැස්සුනොත් පහර කන්නේ අහක ඉන්නා කබරයාය. අඩෝ හරියට කන්න බැරි වුණාය. සේරම අන්තිම ෂොට් නිසාය. ලඟ නමපු නිසාය. දහසක් හේතුය. සියල්ලට මුල කබරයාය. කබරයා සෙට් වීමය. ඉහත හේතු කියමින් වසන්නේ තමන්ට වමනය යෑමේ ප්‍රතිඵලයය. කබ්බාය. කබරයාය. කන්නේ බොන්නේ ආතල් ගන්නේ මිනිස්සුය. පොඩ්ඩක් ගැස්සුනොත් සියල්ල යන්නේ කබරයා පිටින්ය. කෙසේ හෝ පැත්තක ඉන්නා බේබද්දෙක්, නිතරම කබරයා දාන නිසාම, අහිංසක කබරයාගේ නමින් පිඳුම් ලබන්නේය. කබරයා පව්ය. ඌ ජිනීවා යා යුතුමය.

සියල්ල එසේ සිදු වෙද්දී මිනිසුන් අල්ලා ගන්නා සියළු කබරයින් මුදා හරින්නේ කැළයට නොවේය. බඩ කලත්තමින් පිබිදීගෙන එන කබරයාව ගෙදර ගොස් අතාරින්නේ බාත් රූම් එකටය. නැතිනම් කොමඩ් එකටය. ඌ පව්ය. අවසන මරණය මය. සතෙකු ජීවත් වන්නේ කැළයේ නම් ඌට නිදහස හිමි විය යුත්තේ කැළයටමය. මරණය ස්භාවිකවම කැළයේදී සෙට් වෙනවා නම් ඌත් සතුටුය. නැති නම් ජීවිත කාලය පුරාම මානව හිමිකම් කඩවන කබරයාට නිදහස් ගමනක් නැතිය. ජිනීවා යා නොහැකි කබරයා වෙනුවෙන් කළ හැකි එකම දෙය නම් ඌව නිදහස් කළ යුත්තේ කැළයටමය. බාත් රූම් ගලියට නොවේය.

Written_by_sAm_ශ්‍රර්‍_Perera_11:37_07/11/2017

Monday, November 6, 2017

ප්‍රශ්ණය තෙල් නොව දාම්ය... - Matter is Dam not fuel !!


හන්දියේ සිට පෝලිමය. ශෙඩ් එකටය. බෝතල් ගත් එවුන්ය. ත්‍රීවීල් බයික් ඈතින් පාර්ක් කරලාය. වාහන පෝලිම අවුල් නිසාය. ඈතින් පාර්ක් කර පෝලිමේය. ඒ අතර ත්‍රීවීල් වලම ආ ඩෑල්ය. දවසම ඉන්න බලාගෙනය. සියළු කටයුතු අත් හැරලාය. එදා වේල සොයා ගන්නටය. පෝලිමේය. පෙට්ට්‍රල් ගහන්නටය. සමහරක් පත්තර දිග හැරගෙනය. සමහරක් නිදිය. කරන්නට දෙයක් නැතිය. පොම්පය හිස්ය. තෙල් නැතිය. එන තුරුය. බවුසරය එනතුරුය. ඊලඟ පැයේ හෝ, වරුවේ හෝ දවසේ හෝ එනතුරුය. බලාපොරොත්තුය. ලැබෙනතුරයා. තෙල්ය. එදා වේලය.



ඒ අස්සේ එකෙක් දාම් බෝඩ් එකක් දිග ඇරගෙනය. තවත් එකෙක් සමඟය. වැඩේ නැගලා යන්නේය. බලා ඉන්නා උන්ට කික්ය. කම්මැලිකම මඟ හරිනා ඔසුවක්ය. කරන්නට දෙයක් නැති උන් වට වෙලාය. අදිනා උන්ට හුරේ කියන්නටය. නැති නම් වෙලාව යවා ගන්නටය. අදිනා උන්ට ගානක් නැතිය. එහෙත් බලන් ඉන්න උන්ට කික්ය. ලොකු ගේමක්ය. අදිනා උන් බර කල්පනාවක්ය. පැයකට වැඩිය. ඉත්තන් දහයක්ය. දෙපැත්තට බෙදිලාය. එකෙක්ට හයක්ය. අනෙකාට හතරයක්. උන් දෙන්නා වට පනහකට වැඩි පිරිසක්ය. සියල්ල තෙල් එනතුරුය. ඒත් ඊටත් වඩා ගේම ලොකුය.

එකෙක් සිරිපාලය. හන්දියේ කඩේ නිතරම දාම් අදින ඩෑල් එකය. චැම්පියන්ය. බුලත් විටක් හපනා, ඇඟිලි අතරේ සිරකර සුරුස් ගා කෙල ගසනා ඩෑල් එකය. ඔස්තාර්ය. දාම් වලට වැඩිය හැඩයට විට හපනා නිසාය. කෙළ රතුය. පොරක්ය. විටක බීඩියක්ය. උණු රොටියක්ය. ප්ලේන්ටියක් සමඟය. බ්‍රිස්ටල් එකක්ය. පොරක්ය. දාම් ද ඔස්තාර්ය..

අනෙකා ජෙහාන්ය. රැඩිකල්ය. වටේම කෙල්ලෝය. සියල්ල බැලන්ස්ය. අත හැර නොයන ඈයෝය. විට කටේවත් නැතිය. හපන්නේ චුයින්ගම්ය. පොරක්ය. කවි අතැඟිලි අගය. කොටන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන්ය. වෙනදාට චෙස්ය. අද දාම්ය. දාම් නම් ගානක් නැතිය. අදින්නේ චෙස්ය. ගේම පිටරටය. දාම් සිරිලංකන්ය. ඒත් ගේමට එන්ටර්ය. සිරිපාල සැලැන්ඩර්ය.

සිරිපාලට ඉත්තෝ හතරයක්ය. ජෙහාන්ට ඉත්තෝ හයක්ය. දෙදෙනාටම දාමෝ දෙක බැගින්ය. පිරිවර පනහකට වැඩිය. ක්ලැප්ය. විසිල්ය. බල්ටිය. සියල්ල තෙල් ගසන්නට ආවෝය. තෙල් එනතුරුය. කතාය. ඩෑල් එක සොයන සටනක්ය. එකෙක් සිරාය. අනෙකා ජෙහාය.

ඊලඟ මූව් එකට පෙර බර කල්පනාය. සිරිපාල විටක් කොටන්නට වීය. අතරතුර ජෙහාන් සුදු කළු කොටු අතර බර ගමන්ය. සිරිපාල විට කටේ දමා ගත්තේය. ජෙහා වයිබර් චැට් එකකය. බර සාර කතාය. කෙල්ලෙක්ය. ඩේට් කිරිල්ලක්ය. බැලන්ස් කළ යුතුය. සැප කනේය. සිරිපාල නැවත සුදු කළු කොටු අතර බර අඩිය. බර ගමන්ය.

පනහකට වැඩි පිරිසක්ය. දෙදෙනා දෙස බලාගෙනය. ඉවරයක් නැතිය. සියල්ල සිටින්නේ තෙල් වලට වැඩි හිතේ බරකින්ය. තෙල් කවදා හෝ පැමිණෙනු නියතය. දැන අවශ්‍යය තෙල් නොවේය. දිනන්නේ කවුද කියාය. පනහකට වැඩි පිරිසක්ය. වාහන පෝලිමේ තබාගෙනය. රියදුරු අසුන හිස්ය. සියල්ල බෝඩ් එක වටේය. සිරිපාල සහ ජෙහාන් සමඟය. කික්ය. තරඟයක්ය. බර හිත් අතැතිවය.

සිරිපාල සංයමයෙන්ය. ජෙහාන් නෙත් යොමාගෙනය. දෙදෙනා බලාගෙනය. තරඟය අතරය. කිසිවෙකු ඉක්මන් නැතිය. පැයකට වැඩිය. ඊලඟ පියවර බැලිය යුතුය. හෙන ගේමය. සියල්ල සන්සුන්ය. බලා සිටින සියල්ලම සිත්නනේ දෙදෙනගෙන් කිසිවෙකු හෝ දරුණු ලෙස ඊලඟ පියවර තබාවි යැයිය. කිසිවෙකු සද්ද නැතිය. දෙවෙනි පැයත් එලෙසමය. සියල්ල නිසොල්මන්ය. බලා සිටින උන් දෙදෙනාගේ බුද්ධි මට්ටම විචාරන්නෝය. නිසොල්මන්ය. දෙදෙනාම නිස්කලන්කය. කැලඹිලාය. බලා ඉන්න උන් කැළබිලාය. කිසිවෙකු ඉත්තෙක් අදින්නේ නැතිය. අම්මට උඩුය. දෙන්නාම ඩෑල්ය. මූව් එකකට මෙච්චර කල්පනා කරන්නෝය. 

අවසන හඬක් නැඟුනේය.

"සිරිපාල අයියේ මමද ඊළඟට අදින්න ඉන්නේ නැත්තම් ඔයාද?"

දෙදෙනාම පැටලී ඇත්තේ එකම ප්‍රශ්නයකය. නැතිනම් දාර්ශණික කල්පනා කිරීම් නොවේය.

තෙල් ආවේය.

සියල්ලෝම තෙල් ගසාගෙන ගෙදර ගියෝය. 

Written_by_sAm_ශ්‍රී_Perera_16/11/2017

Saturday, November 4, 2017

තෙල් අර්බුධය - Fuel Crisis.. !!


තෙල් කොහෙවත් නැතිය. ඊයේ සවස සිටය. තියෙනා තැන් වලත් පෝලිම්ය. පෝලිම ඉවර වෙද්දී තෙලුත් ඉවරය. දැවෙනා ප්‍රශ්නයක්ය. පිළිතුරු සොයා ගත යුතුය. ෂෙඩ් ඇරෙන්නට තෙල් තියෙන්නේ සිල්ලර කඩවලය. ලීටරේ ගානට බෝතලයක් සාධාරණ මිලට ගත හැකිය. බෝතලය හා ලීටරය අතර වෙනස නොදන්නා එකාට පට්ටම සාධාරණය. සිල්ලරට පෙට්ට්‍රල් ගත හැකි තැනක් ඇත්තේ පැත්තම එකකි. විල්සන් මාමාගේ කඩේය. ඒ පැත්තට කාලෙකින් ගියේ නැතිය. විල්සන් මාමාගේ නැන්දා කටහැකරය. කවුරුත් කියනා එකක් සාවධානව අසා සිටීමේ පුරුද්දක් නැතිය. විල්සන් මාමා ඒ නිසාම නැන්දාට කිසිත් තේරුම් කර දෙන්නට නොයන්නීය. විල්සන් මාමා නාකි වී බැන්ද නිසා දුව පොඩිය. ඒ ඉස්සරය. දැන් ඇටෙන් පොත්තෙන් මිදි ඇතිය. කාලෙකින් දැක්කේද නැතිය. විල්සන් මාමාගේ නැන්දම්මාද සිටින්නේ එහෙමය. ගෑණිද කියන එකක් නාහන එකියක් නිසා ඒ ආච්චී ගැනද කතා කරලා වැඩක් නැතිය. ඒත් ටෝක්ස් නම් ආතල්ය. බෝතලයක් දෙකක් ගසා ගැනීමට සෑමා ඇදුනේ විල්සන් මාමා ගේ දූගෙන් තෙල් බෝතලයක් ගැනීමටය.




විල්සන් මාමාගේ ගෙට හැරෙන පාරේ සිට පෝලිමය. ගෙදරම සිල්ලර කඩය නිසා සෑමා ගෙදරටම ගියේය. අපිට එදා ඉදන් කවුන්ටර් නැතිය. කෙලින්ම බිස්නස් ගෙදර සාලයේ සිටය. නැන්දා කඩේය. පෝලිම දිගය. මාමා ලන්ච් එකට ඇවිල්ලාය. සාලයේ ටීවී බලන ගමන් බත් කන්නේය. සාලයේම පෙට්ට්‍රල් බූලි දෙකක්ය. ආච්චී එකක් උඩ ඉදගෙන විටක් හපනවාය. 

"විල්සන් මාමේ.."

"ආ.. ඉදගන්න පුතා.. කාලෙකින්.."

කන්වර්සේෂන් එක ඕපන්ය. ආච්චී කට කන ඇහැ ඇරගෙනය. අපි දිහා නොබලාය. ටීවී එක දිහා බලාගෙනය. ප්‍රශ්න අපේ ය. මගෙන් මාමාටය. මාමාගෙන් මයට. විටක පිළිතුරු ආච්චී ගෙන්ය. 

"අද සරුයි වගේ විල්සන් මාමා.."

"හහ්.. හා.. කමුද පුතා බත් ටිකක්.."

"නෑ මාමෙ කාලා ඉන්නෙ.. මොකෝ බිසී වෙලාවෙ නැන්දට කඩේ බාර දීලා.."

"පායනා කාලෙදී.. රෑ දවල් මහන්සි වී.. කන්න දේ රැස් කරයි.. කූඹියෝ..."

ප්‍රශ්නය වෙනස්ය. මාමා දුන් උත්තරය බොහෝම වෙනස්ය. නැවත ප්‍රශ්න කළ යුතුය. නැවතත් ප්‍රශ්නය යොමු කළ යුතුය. පිළිතුරු මෙසේය.

"මේකනෙ පුතා, මේ වගේ රශ් එක තියෙන වෙලාවට අපි වගේ උන් කඩේ ඉදලා බෑ.. අපෙ ගෑණි වගේ කට හැකර ඩෑල් එකක් සීන් එකෙ ඉන්නෝනි. පෝලිමෙ එන උන් මරා ගන්නවා බං නැත්තං..."

ඒ පිලිතුරට ආච්චී ඔරවා බැලීය. තමන්ගේ දුවය. සැටිපිකේට් දෙන්නේ බෑණාය. ඉතිං අවුල්ය. කරන්නට දෙයක් නැතිය. ඇය උගුරේ තිබූ බුලත් හපය කාරා නැවතට කටට ගෙන වැරෙන් හපන්නට වූවාය.

"පුතා ඩිංගක් ඉන්න මම හොදි ටිකක් බෙදං එන්නම්.."

විල්සන් මාමා මාරුය. ආච්චී කට කොනින් හිනාවක් දැම්මාය. චැට් එකකට වේව් කිරීමක්ය. අත වැනීමක්ය. නිහඬව සිටීම අවුල්ය. ආවේ කාලෙකින්ය. පුංචි කාලේ කඩෙන් ජුජුබ්ස් උස්සා මාට්ටු වූ දවසේද වැඩේ ශේප් කළ කාන්තාවය.

"පුතා මොකද කාලෙකින් මේ පැත්තෙ.."

"දන්නැද්ද ආච්චි එහෙමට එළියට බහින්න වෙලාවක් නැහැ දැන්.."

"අපෙ මිණිබිරිත් කිව්වා පුතා ව එහෙන් මෙහෙන් දැක්කා කියලා.."

"හැ.. වෙන්න බෑනෙ ආච්චි.. මට එයාව හම්බුනේම නැ.. දැක්කෙ නෑ කාලෙකින්.."

"නෑ නෑ.. ඔයාගෙ එෆ්.බී එකෙ ඉන්නවලු කිව්වෙ.."

"ආ එහෙමද??"

මා දන්නා එහෙව් එකියක් මගෙ බුකියේ නැතිය. එහෙත් ආච්චිගෙන් එව්වා ප්‍රශ්න කළ යුතු නොවේය. විටක ඒකි ෆේක් එකකින් මගෙ ලිස්ට් එකෙ අරක් ගෙන සිටිනවා ඇතිය. හිටියත් අනික ඒ ඇච්චි කෙල්ලගේ නම දැන් මට දැන් අමතකය.

"බලන්නකො ආච්චී මේ තෙල් ප්‍රශ්නයක් නේ.."

"අපොයි ඔව් බොල. කෝ මුං කියන එකක් අහනවැ. ඔය අපෙ උන්දැ.. විල්සන්ගෙ තාත්තා ඌ නැති වුනෙත් ඔය තෙල් සීන් එකෙන්ම තමා. බලහං ඉතිං මේ විල්සා ටත් තියෙනවා තෙල් ප්‍රශ්නෙ. ඌ කියලත් පරිස්සම් වෙන එකක් අෑ.."

"ඒ මොකක්ද ආච්චි ඒ.. එහෙම එකක් නෙවෙ මම කියන්නෙ.."

"උබ කෝම එකක් හිතුවත්, මම කියන එක පිළිගං. ඒක තමා ඇත්ත. දැවෙන පස්න. ඕකගෙ ට්‍රයිග්ලිසරයිඩ් වැඩියි. ඒකයි ලොකුම හෙනේ. නැත්තං අවුලක් නැහැ. ඉතිං තෙල් අඩුවෙයිද..??"

ආච්චී වෙන ට්‍රැක් එකකය. පැහැදිලි කිරීම් අනවශ්‍යය. කරන්න ගියොත් කතාව වන වෙනවාය. සියල්ලට හිස සැලිය යුතුය. විල්සන් මාමාද මිසින්ය. උෟ හොඳි බෙදාගෙන කුස්සියේම වාඩි වී කනවා විය යුතුය. 

සාලයට යා බද කාමරයෙන් ඔලුව දැම්මේ කෙල්ලෙක්ය. ආච්චී නන්ස්ටොප්ය. හිස දැමූ එකී එළියටම ආවාය. අම්මට උඩු අමන්දා ෆර්ඩිනන්ස්ය. මගෙ බුකියේ මිතුරියය. කන්වර්ෂේසන් වැස්සය. බලනකොට විල්සන් මාමාගේ කෙලීය.

"හායි.. අයියා.."

"ආ නංගී.. කොහොමද??"

"ඉන්නවා අප්පා.. අපෙ ආච්චිගේ කටර් එකට අහු වෙලා වගේ.."

"නෑ අපි මේ තෙල් ප්‍රශ්නෙ ගැන කතා කළා නංගී.."

"අයියෝ අයියේ.. ඇත්තට ඕකට බෙහෙත් එහෙම නැද්ද. මටත් ඔය ප්‍රශ්නෙමයි.."

ඈ මා ඉදිරියේ ඉඳගත්තාය. ආච්චී කට ඇරගෙන කෙලීගේ විගඩම් ගැන කනස්සල්ලෙන් විය යුතුය. ඇගේ කටර් එක වැහෙනා පාටක්ය. අමන්දා ගේ කටර් එක පටන් ගන්නා පාටක්ය.

"ඇයි නංගිටත් අංකල්ට වගේ කලොස්ට්‍රෝල් ද?"

"නෑ අනෙ පිස්සුද.. ඒක නෙවෙ. මගෙ ස්කින් එක හෙන ඔයිලි අප්පා. කරන්නම දෙයක් නැහැ. ට්‍රීට්මන්ට් කළා හරි ගියෙ නැහැ. ස්කින් එක ඩ්‍රයි වෙලා පුපුරන්න ගත්තා. හැම පුපුරන තැනකින්ම සැර පිට වුණා. ඊට පස්සෙ තෙල් එන එක වැඩි වුණාද මන්ද අයියා.. මුකුත් දන්න කියන බෙහෙතක් වත් නැද්ද මට පාවිච්චි කරන්න..."

"එහෙම නම් දන්න එකක් නැහැ නංගි. මම බලන්නම්. දන්න කෙනෙක්ගෙන් අහලා කියන්නම් කෝ.."

විල්සන් මාමා තවමත් මිසින්ය. මාව මුදවා ගන්නා පාටක් නැතිය. විල්සන් නැන්දා ඇවිත් ආච්චී හිඳගෙන සිටි පෙට්ට්‍රල් බූලියත් රැගෙන ගියාය. ඊට පිටුපසින් විල්සන් මාමා අනෙක් බූලියත් රැගෙන ගියාය. 

"පුතා පොඩ්ඩක් ඉන්න මම ඉස්සරහට ගිහින් එන්නම්. ඇන්ටිට කන්න එන්න ෂිෆ්ට් එක මාරු කරන්න ඕනෙ.."

"ඉතිං බලන්න අයියා.. මගේ යාලුවෙක් ට්‍රීට්මන්ට් කරලා ස්කින් එක හදා ගත්තා. එයාගෙ දැන් ඔයිලි ගතිය අඩුයි. ඒත් ඒකි හරි කුහකයි. මට ට්‍රීට්මන්ට් කරපු තැන කියන්නෙ නැහැනේ.. බලන්නකෝ.."

"අපො නංගි.. ඕකුන් ඔහොම තමා කෙල්ලො නේ.."

"එහෙම නෑ අයියා.. හැම කෙල්ලම එහෙම නෑ.. අපි බලන්නකෝ.."

"ආ පුතා.. මොකෝ කරන්නෙ..කාලෙකින්.."

"ඔව් ආන්ටී.. මේ තෙල් ප්‍රශ්නෙ නේ.. ඒකයි ආවෙ මේ පැත්තෙ.."

"අපොයි ඔව් බලන්න තෙල් ප්‍රශ්නෙ.. උදේ ඉදන් කියනවා මේ මිනිහට.. කෝ ගෙනාවද??"

"ඇයි ඇන්ටි තෙල් නැද්ද??"

"නැතුව.. ගේ හරියක පොල් තෙල් බිංදුවක් නැහැ. ඊයෙ රෑ මේකුන් බයිට් හදං අන්තිම බින්දුවත් ඉවර කරලා. පුතා බයික් එකෙ නේද ආවෙ. පුලුවන්නම් ගිහින් පොල් තෙල් ජුන්ඩක් ගේනවද??"

අලි මදිවට කොටිය. බයික් එකෙත් අන්තිම තෙල් ජුන්ඩය. කරන්නට දෙයක් නැතිය. නංගිත් ඉන්න නිසා සපෝට් එකක් දිය යුතුය. ඇන්ටී බෝතලයක් දුන්නේ පොල් තෙල් ගේන්නටය.

"හරි ඇන්ටී මම සුටුස් ගාලා අරන් එන්නම්."

හන්දියට යන්නට ගිය බයික් එකේ අන්තිම තෙල් ජුන්ඩ මිසිං වූයේ පොල් තෙල් අරන් ආපසු හැරෙන විටය. කරන්නට දෙයක් නැතිය. තල්ලු කරගෙන ගෙදර යා යුතුය. ඇන්ටිව සතුටු කළ යුතුය. බයික්කෙකට තෙල් ගසාගෙන ගෙදර හෝ යා යුත්තේ එලෙසය.

"ආනේ පුතා පරක්කු වුණා නේ.. මම මේ පපඩම බදින්නෙත් නැතුව බලං උන්නා.."

"අනෙ ඇන්ටි බලන්නකෝ.. මඟදි බයිකෙක හිට්ටා නේ.. තල්ලු කරගෙනම ආවේ.. තෙල් ටිකක් ගහ ගන්න කියලා.."

"අනෙ පිං සිද්ද වෙනවා පුතා. මේ මිනිහට කියලා වැඩක් කරගන්න බැහැනෙ..."

"'හරි ඇන්ටි තෙල් ටිකක් ගහගන්න පුලුවන් වෙයි නේ..??"

"ඉස්සරහ අංකල් ඇති පුතා ගන්න පුලුවන්.."

"අංකල් පෙට්ට්‍රල් බෝතල් දෙකක් විතර දෙන්නකො.."

"අයියෝ බං කොල්ලෝ උබ මෙච්චර වෙලා අපෙ එකි එක්ක කයිය ගහලා දැන්ද තෙල් ඕනෙ උනෙ. දැන් මොකැ කරන්නෙ. තෙල් ඉවරයි නේ.."

විල්සන් ඇන්ටිට හාල් ගරන්න තෙල් ඉවරය. ඇන්ටිට පපඩම් බදින්න තෙල් හොයන්න ගිහින් පෙට්ට්‍රල් ජුන්ඩට කෙළ විය. කරන්නට දෙයක් ඇත්තේම නැතිය. බයික්කෙක විල්සන් අංකල් ලෑ ගෙදර දමා පයින් යා යුතුය. අංකල් පෙට්ට්‍රල් ගෙනා විටක ඇවිත් අරගෙන යන්නට හිත හදා ගත යුතුය.

සියල්ලට සමුදී ගෙදර යා යුතුය... !

Written_by_sAm_ශ්‍රී_3:44pm_04/11/2017

Thursday, November 2, 2017

ආච්චී සිල් ගැනීම ප්‍රතික්ෂේප කරයි.. - Grandma Refused to Observe Sil !!!


හෙට පෝය දවසක්ය. වෙන පෝයවල් මෙන්ම ආච්චී හෙටද සිල් ගත යුතුය. හැම අවුරුද්දකම ඈ නොකඩවා සිල් ගත යුතුය. ඒ හැට පැන්න දා සිට ය. ඊට කලින් නම් ආච්චී ඉස්කෝලෙ යන කාලෙදි වත් සිල් ගත්තා දැයි ඇසිය යුත්තේ සීයා ගෙන්ය. සීයා නම් කියන්නේ ආච්චී ඒ කාලේ සිල් ගත්ත සඳ වාගේ කියාය. හුස්මකට ඉඩ නෑනේ කියාද කිව්වේය. ඒ අතපසු වීමක් නිසා විය යුතුය. ඒ කාලේ සීයාට හුස්මක් වත් ගන්නට බැරි වෙන්නට ආච්චී දඟකාර සඳක් වූවා දැයි සැක සහිතය. ඇය එදා සඳවතියක් වුවත්, නූවත් ආච්චී හෙට සිල් ගන්නට යා යුතුමය. එසේ නොගිය හොත් වසරේ මුල් මාස දහයම සිල් ගත් ඇයට එකලොස් වන මාසයේ සිල් නොගැනීමේ පාපයට මුහුණ දෙන්නට වන්නීය. එය නම් හරි පවුය. ඒ සියල්ලට හේතුව සීයා බව කිව යුතුය.

ආච්චී සිල් ගන්නට යනවාට ආච්චීට වඩා සතුටු වන්නේ සීයාය. එය සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික වූ සතුටු සිතක්ය. සීයා පැන්ෂන් ගිය දා සිට ගෙදරය. ආච්චීද ගෙදරය. ඉතිං එහෙව් සීයා නිරාමිස සුවයක් ලබන්නේ මසකට එක දවසක්ය. ඒ නම් පුන් පොහෝදාය. මාසයකට පෝය සතරක්ය. ඒවා කැලැන්ඩරයක මාර්ක් කොට පොකැට් කැලැන්ඩරයක් ආච්චීට තෑගි කළේද සීයාය. ඒ ඇය මසකට හතර වරක් සිල් සමාදන් වනු දැකීමටය. ඔහුගේ නිරාමිස සුවය විදීමටය. එහෙත් ආච්චී හතර පෝය මඟ හැර පුන් පෝදා ට පමණක් සිල් සමාදන් වීමට සිත් ගත්තාය. ආච්චී පෝයට සීයාට නිරාමිස සුවය ලබා දෙන නිසා සීයා කලින් දවසේම කාලක් හෝ භාගයක් හංගා තබා ගන්නේ පෝයට බාර් වහලා නිසාය.



කෙසේ හෝ හෙට ආච්චී සීලය වර්ජනය කිරීමට සිතාගෙන ඇත්තීය. කලින් කීවාක් මෙන් හේතුව සීයාය. ආච්චීට සිල් ගැනීමට අවශ්‍ය සාධක සැලසිය යුත්තේ සීයාය. එය සීයා සිත තුල ඇති වන අවංක චේතනාවෙන් යුතුව කරන්නා වූ දෙයක්ය. පෝයට කලින් දා සීයා පන්සලට යන්නේය. පෝය දාට ධර්මශාලාව හවුස් ෆුල්ය. ආච්චීට අව්වේ සිටින්නට බැරිය. ධර්මශාලාවේ ඉඩ නොමැතිව එළියේ සිටියොත් අවුල්ය. වැස්සක් සෙට් වුණොත් ආච්චී උතුරු සළුව හිස පටලා සිල් ශෝට් ලීව් දමා ගෙදර පැමිණිය හැකිය. එවිට සීයාට නිර්වාණය අසලදී ඇබරෙන්නට වෙනවාය. ඊට වඩා හොඳ ක්‍රමය සීයා දන්නේය. එනම් කලින් දවසේම ධර්මශාලාවට එන්ටර් වී අගනා බිම් කොටසක් වෙන් කර තැබීමය. ඒ සියල්ල ආච්චී වෙනුවෙන්ය. පෝය දාට කලින් දා බාර් එකට ගොස් කාලක් බාගයක් රැගෙන ධර්මශාලාවට ගොස් ආච්චී වෙනුවෙන් පැදුරක් ඉටි කොළයක් එළා ඉඩක් වෙන් කර තැබීම සීයාගේ පරම චේතනාවය. එමෙන්ම එය ඔහු නොපිරිහෙලා ඉටු කරන්නේය.

මෙවර සීයාගේ කල් ක්‍රියාව අවුල් වී ඇත්තේය. වෙනදට බාර් ගතව පෝ දාට පේ වීමට අවශ්‍ය කලමනා රැගෙන ධර්මශාලාවේ බිම් කොටසක් වෙන් කරගෙන එන සීයා අද පරක්කුය. මගදීම කාලක් ක්‍රියා කර ඇත්තේය. මෑන්ස්ට බිම් කොටස් වෙන් කිරීමටද අවස්ථාවක් ලැබී නැත්තේය. ධර්මශාලාව කොනක සිට රැගෙන ගිය ඉතිරි කාලද ක්‍රියාත්මක කොට සීයා ගෙදර පැමිණ ඇත්තේ රෝල් කරපු පැදුරද කිහිල්ලේ ගසා ගෙනය. ආච්චී දුම්මල වරම ද අතින් ගෙන සීයාට පින් අනුමෝදම් කරන්නීය. වැඩේ අබ්ලික්ය. සීයා උදේම ඇයව ධර්මශාලාවට ඩ්‍රොප් කරන බව සහතික වූයේය.

ඒ හැරත් ගිය පෝය දා සිට ආච්චී සිටියේ ඇරියස් එකෙන්ය. සිල් පවාරණය කර ගෙදර ආවේද "නිද්දකින් මේ ඇත්තිගෙ පුතාලා" කියාගෙනය. බලන කොට කවුදෝ එකෙක් ආච්චිගේ මිරිවැඩි සඟලට කෙලලාය. සීයා නම් කිව්වේ ඇය වෙනදා මෙන් එදාත් උදේ පන්සල් ගියේ ස්ලිපර්ස් නැතුව බවක්ය. ඒත් ආච්චි කවදාවත් සීයාගේ වචනයක් විශ්වාස කරන ඇත්තියක් නොවේය. ආච්චී නිවසින් පිටත්ව ගිය අයුරු CCTV එකෙන් පවා පෙන්වා දුන්නේ සීයාය. ඇත්තටම එදා ආච්චී ස්ලිපර්-ලස් ව පන්සල් ගොස් ඇත්තේය. සීයා කියා ඇත්තේ ඇත්තක්ය. පසුව මාව පිලිකන්න පැත්තට රැගෙන ගිය සීයා පෙන්නූයේ නානා ප්‍රකාර සෙරෙප්පු ජෝඩුය. 

"ඈ සීයේ මෙච්චර??"

"ෂ්.. ෂ්.."

කියා කටට ඇඟිල්ලක් තබා සීයා කිව්වේ මේ උබලැ ආච්චි සිල් ගන්න පන්සලට ගිය දා සිට රැගෙන ආ සෙරෙප්පු කුට්ටම් කන්දරාව බවය. මසකට ජෝඩුව බැගින වසරට ජෝඩු දෙලොහක්ය. දැන් සීයාට සෙරෙප්පු යනු දෙයක් නොවේය. කෙසේ වෙතත් ගිය පෝයේ ආච්චිගේ සෙරෙප්පු ජාවාරම හෙලිකිරීම පිළිබඳවද ආච්චි සිටින්නේ සීයා එක්ක ඇරියස් එකේය.

මොනවා උනත් ආච්චී සිල් ගන්නට යන්නේ සීයා සමඟය. උදේ පාන්දර පහට පමණ ආච්චීව කලින් දවසේ වෙන් කර ගත් බිම් කොටසට ඇරලවා සීයා ගෙදර එන්නේය. පාන්දර පහට ගිය සීයා ගෙදරට එන්නේ උදේ නවය දහය වෙලාය. උදේම නැඟිට මහන්සි වී ගෙදර එන සීයාගේ ඇස් රතු වෙලාය. මූණ රතු වෙලාය. ඇවිදින්නේ හරහටය. මහන්සියටය. එලෙස පන්සලට යද්දී ආච්චී මල් බකට් එකක් රැගෙන යන්නේ බුදුන් පිදීමටය. ගෙදරින් ගෙන යන්නේ හිස් බකට් එකක්ය. එහි කට අඩියක් පළලය. අඩියක් ගැඹුරුය. එහා ගෙදර වතුසුද්ද ගහේ සිට පන්සලට යන තෙක් ඇති සෑම නිවසකට මල් වලට කෙලින්නේ ආච්චීය. ආච්චී පන්සල දෙසට යන විට,

"මග දෙපස ඇති මල් පොකුරු පොකුරු...
ඈ එන මඟ ඈ දෙසටම නැවීයන්..."

කියා කිව්වේ සීයාය. එතැන් සිට පන්සලේ මිදුලේ ඇති මල් ගස තෙක්ම වතුසුද්ද කරමින් ම යන ආච්චී බුදු මැදුරට ගොස් මුලින්ම මලින් පුදන්නීය.

"බොරුවක් නොව මේ කියන්නෙ ඇත්තම ඇත්තෙන්..
මේ මල් මම නෙලා ගත්තෙ මගෙ මල් වත්තෙන්.."

කියා ඈ සිල් ගැනීම ආරම්භ කරන්නීය. එලෙස සීයා සමඟ යන මඟ දෙපස ඇති සියළු ගස් සුද්ද කරමින් යන නිසාද ආච්චීට සීයා ගිය වර කෝචෝක් එකක් දමා තිබුණේය. ඒ නිසාම ආච්චී මෙවර සිල් වර්ජනයකට අර අඳිනා බව සීයා දැන සිටියේය. ඒ අස්සේ වැඩේ තවත් සවුත්තු වූයේ බීමත් කම නිසා ධර්මශාලාවේ ඉඩක් වෙන් කර ගැනීමට නොලැබීම නිසාය.

ඒ සියල්ලට වැඩිය ආච්චී සිටින්නේ සීයා ගැන සැකෙන්ය. ආච්චී වතු සුද්ද කඩන අස්සේ වත්තක තිබූ රෝස මලක් සීයා කඩාගෙන ඇත්තේය. ඒ දැක ආච්චී එය නොදැක්කා සිට ඇත්තේය. ආච්චීව ඩ්‍රොප් කර ගෙදර එන විට මඟදී මුණ ගැසුණු ඩේසි ආච්චීගේ මල් වට්ටියට සීයා ඒ මල පූජා කර ඇත්තේය. පාන්දර පාළු පාරේ කටු නොඇනෙන ලෙස ඩේසි ආච්චීද රෝස මල ඇගේ හද පූජාසනය මත සතපවාගෙන ඇත්තීය. ඒ සියල්ල ආච්චීට මාට්ටු වී ඇත්තේ පන්සලේදීය. ඩේසි ආච්චී පන්සලේ මල් පූජා කරද්දී සීයා සඟවා ගත් මල ඇගේ මල් වට්ටියේ තිබෙනු දැක ඇත්තීය. එවිටම ප්‍රශ්න ඇසීම නුවනට නුහුරු නිසා ආච්චී ඩේසි ආච්චීව ප්‍රශ්න කර ඇත්තේ සිල් ගත්තාට පසුය. එවිට බොරු කීම හොඳ නැතිය. අපායේ යනවාය. කියා ඩේසියාව බය කරගෙන නිවැරදි ප ිළිතුරු ලබාගෙන ඇත්තීය. 

ඒ සියළු කරුණු සලකා බලා ආච්චී සිටින්නේ සිල් වර්ජනයකය. සීයා සහ ඩේසිගේ පලහිලව්ව ගැනද ආච්චී සිටින්නේ සැකෙන්ය. ඒ අස්සේ සීයාට ඩෝප්ය. ආච්චීට ධර්මශාලාවේ පැදුරක් එලා තබා නැතිය. ආච්චී අවුලෙන්ය. සීයා නිදිය. 

සියල්ලට මැදිහත් අපි සෝකෙන්ය.

සෑමා නම් පතන්නේ ඩේසි ආච්චී හෝ හෙට පන්සල් ගොස් පූජා කරන්නම් මලක් ඔයා නමින් කියා මලක් පුදා සීයාගේ සිත තැවුල විසඳා, ආච්චි හා සීයාගේ අමනාප කම් දුරුවේවා යැයි පතයි කියාය.

Wednesday, April 26, 2017

හිර කර දමන්නට ගෙනාමු..!!





හොඳ යැයි සිතා දහසක් මුව බලාලා
අතගා බලා හැඩයක් ඇති සිතාලා
මිරිකා බන්ඩි අඩු වැඩියත් මැනාලා
ගෙනාවා ගෙදර හිල පොඩි යැයි කියාලා


නැවුම් සිදුර කෙලෙසන මහ සිතුවිල්ලේ
සහසක් හැඟුම් සනසන්නට සිතැත්තේ
ගෙදරින් කෙරෙන බලවත් ඇවිටිල්ලේ
කඩමී පුරවලා බන්ඩිය පොර බැදිල්ලේ


උදේ සවසට ඇතුලට දාන කල්පනාවේ
පුංචි හිලෙන් රිංගන හැම වෙලාවේ
ඇතුලෙම දමා ගොඩ යන චේතනාවේ
සිටියත් වැටුනෙ ඇතුලට රෑ වෙලානේ


දස මස පුරා පොඩි හිල ලොකු කරන්නේ
විටකදි හිරයි ගුලිකර හෝ දමන්නේ
මතු කනවැලක් අවැසියි නේ සිතෙන්නේ
එතකොට තමයි වැඩි වැඩියෙන් ඔබන්නේ


අයියා දානකොට පුංචි හිලෙන් ඒ
බන්ඩිය පිරෙන්නේ හරිම ස්ලෝ නේ
සැක පිට සිතා අයියා මඟ රකින්නේ
මල්ලී හොරෙන් පුක මිරිකා අදින්නේ
*
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
*
බැංකුවෙ දාන්නට බෑ පෝලිමය
පොඩ්ඩ පොඩ්ඩ ඉතිරිය නුවනට හුරුය
අමාරුවෙන් මා පුරවන මේ කැටය
හිල් කර පිටුපසින් කෙලිනා එක හරි කැතය



Written_by_sAm_ශ්‍රී_9:13pm_25/04/17

Related Posts Plugin for WordPress, Blogger...