Sunday, June 28, 2015

පායලා දේදුන්න.... - Unexpected Rainbow !!





ටියුන් වෙන අතර පොඩි රේඩියෝ කට්ටා
ඇසෙනා ගීතයක මගේ හිත හිට්ටා
ඉපැරණී ගීතයම ගයන්නේ වික්ටා
ලියන්නට සිත් වුණේ කවක් මට පට්ටා


 කුරුල්ලට ගී ගයන්න තනන්නේ වික්ටා
කුරුල්ලා ගේ (gay) දැයි නොදන්නෙමි ගැත්තා
ගීතය ගයන්නට ඇගේ හඬ ඉල්ලා
"දේදුන්නට හැඩය දෙන්න නෙත් බැමිත්" ඉල්ලා


අපූරුයි පද වැලම අවසනින් කොඳුරා
හැපි හැපී ඉල්ලයි ඇගෙන් ඔහු ඉඳුරා
මොක වුනත් කමක් නැත වටේටම දීලා
"එපා මැණික සිත පමණක්" කාටවත් දෙන්ටා


සුන්දරයි සම්මතයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි
බැදෙයි ප්‍රේමෙන් ලොවට අරුමයක් නොම වෙයි
දේදුන්න ගැන කිව්ව ගීයෙ පද සිහිවෙයි
පාන්දර බුකියම දේදුන්න වාගෙයි


නොදන්න උන් රැල්ලකට අසු වෙලා
දේදුන්නෙ පාට මැද තම රූපෙ දමාලා
දන්න උන් තමන්ගේ කට සද්ද වසාලා
පැත්තකට වී මේක ආතල්ද අසාලා


ගේ සීන්, ලෙස් සීන් කමක් නැත කියාලා
ආදරේ තිබේ නම් කමක් නැහැ නේ ඩලා
කෙල්ලෙක්ට බැදි තැල්ල තම අතින් ගලෝලා
කොල්ලෙක්ට බඳින්නේ තෝ කෝම අසාලා


වැල සයිට් අහු මුල්ල පීරමින් ගිය එවුන්
ආප්පේ කැටගරිය පුල පුලා බලපු උන්
කෙල්ලෙක් කෙල්ලෙක්ගෙ නලලෙ බැදි තැල්ල රන්
වැරදීද ? හරි නැද්ද ? අහපු හැටි සමාජෙන්


දැන නොදැන දේදුන්න දාගත්ත උන්දෙලා
හවසකට සමූපෙට ගොඩ වෙන්න ගිහිල්ලා
වෛයි වර්ණ දේදුන්නෙ පාට ඇත සැගවිලා
විවිධ සේවා දෙන්න උන් ඇත්තෙ පෙළඹිලා



Written_by_sAm_ශ්‍රී_Perera_2:05pm_28/06/15

පලි - ලංකාවේ බහුතරය ඇමරිකානුවන් බව සමාජ ජාලා වෙබ් අඩවි වලින් දුටු නිසා සමූපකාරයේ දේදුනු පැහැය දැක අපේ දේ අගයන්නට පද බැදි කයියකි.

Thursday, June 25, 2015

අම්ම ගහයි බැට් එකෙන්.. - Mother will Punish from a Bat !!


කාලයෙන් කාලයට අලුත් වාක්‍යයන් එන්නේය. ඉස්සර කාලයක් කිව්වේ “අම්මා ගහයි බැට් එකෙන් කියාය.“ බැට් එක එන්නට ඇත්තේ ක්‍රිකට් එල්ලේ පටන් ගත් කාලයේ විය හැකිය. නැත්තම් අම්මා ගහන්නට ඇත්තේ කොස්සෙන්, ඉදලෙන් හෝ ඉලපතින් විය හැකිය. ඉස්සර බත් බෙදන කෑම බෙදන වෙලාවක නම් සෑමා, අයියා හෝ අක්කා, වලියක් දා ගත්ත හොත් අම්මා පොල් කටු හැන්ද දික් කළාය. ඉන්පසු කියන්නේ “කට වහපල්ලා, නැත්තං හැන්ද යවනවා ගිරිය දිගේ..“ කියාය. කවදාවත් ගිරිය දිගේ හැන්දක් ගොස් නැති බව දන්නා අපි සද්ද වසන්නේ බයටය. කෙසේ හෝ අම්මා ගහයි බැට් එකෙන් භාවිතය දැන් අඩුය. 

දිනක් සෑමා ක්‍රිකට් බැට් එකක් අතේ තියාගෙන සිටියදී, සෑමාගේ මිතුරෙක්ට ඔහුගේ අම්මා කිසියම් හේතුවක් නිසා බනින්නට වූයේය. එවිට මිත්‍රයා සෑමාට කිව්වේ “මචං ඔය බැට් එක අම්මට දියන් කියාය.“ සිද්ධිය එතරම් පැහැදිලි නොවුණ සෑමා ඒ ඇයි බං ඇසූ විට ඔහු කීවේ “එතකොට අම්ම ගහයි බැට් එකෙන් බං...“ කියාය. ඒ කාලේ කවුරුන් හෝ එකෙක් බැට් එක යෙදාගෙන මේ කතා හදන්නට ඇතිය. ඉස්සර ක්‍රිකට් ගහන්න ගෙදරින් පාන්දර එළියට බැස්සාම කොල්ලෝ ගෙදර එන්නේ හවස් වෙලාය. විටක ගෙදර ඉන්න උන්ට කොල්ලන් කැන්දන් එන්නට පිටියට යන්නට සිදු වන්නේය. ක්‍රිකට් ගහන කාලයේ මේවා අප අත්විද ඇති සිද්ධීන්ය. විටක ගෙදරින් එන අම්මා හෝ තාත්තා අපේ එවුන් සෙල්ලම් කරන බැට් එකම දෝතින් ගෙන තම පුත්‍රයාට පහර දෙන්නේය. “මේ මහ රෑ වෙනකල් තොපි අහවල් එකක් කරනවද? හවස් වෙද්දි ගෙදර එන්නෙ නැතුව..“ කියමින් සෙල්ලම් කරන උන්ව ක්‍රීඩා ගාරයට යවන්නේ පිටියට කඩා වදින දෙමව්පියන්ය. ඒ හේතුව මත අම්ම ගහයි බැට් එකෙන් වාක්‍යය කරලියට එන්නට ඇත්තේය. 

අද කාලේ එළිමහන් ක්‍රීඩා විරල නිසාත්, ලැපට කම්පියුටරයට ගැතිව ඇති නිසාත් “අම්ම ගහයි බැට් එකෙන් වාක්‍යය“ කාලීන නොවන්නේය. අද කාලයට ගැලපෙන්නේ නම් “අම්ම බුකිය හැක් කරයි..“ වගේ එකක්ය. බැට් එකෙන් කෙලිනවට වැඩිය බුකිය හැක් කලොත් අම්මාගෙන් බේරෙන්නට බැරි වෙන නිසා අද කාලේ උන්ට ඒක ගැලපෙන්නේමය.
මදුරු තලා බැට් එක

සෑමාට බැට් එක මතක් වූයේ අනෙකක් නිසා නොව මදුරුවන් තලන බැට් එක නිසාය. කොයිල් එකෙන් මැට් එකට, මැට් එකෙන් රෙපලන්ට් එකට ක්‍රමයෙන් විකසනය වූ මදුරු තැලිල්ල දැන් බැට් එකෙන් කෙළවර වී ඇත්තේය. පාර අයිනේ බැට් එකක් වනමින් සිටිනා අයෙකුගෙන් ගත් බැට් එකේ ආතල් එක ඇත්තේ මදුරුවෙක් මැරෙද්දීය. විටක කරදර කාරී මැස්සන්ටද කෙලිය හැකිය. පවක් කිරීම කොච්චර ආතල් දෙන්නේ දැයි සිතෙන්නේ, විටක කලකිරෙන්නේ එවිටය. බැට් එකේ දැලට හසුවන මදුරුවන් චටාස් ගා කැබලි ඉතුරු නොවන්නට අධික විදුලි ධාරාවකට හසුවන්නෝය. ගිණි පුලිගුවක් විසිවෙමින් උන්ට වෙච්ච දෙයක් නැති වන්නේය. ඉස්සර අපේ උන් කියූ අම්ම ගහයි බැට් එකෙන් කතාව දැන් කාලයේ ගැලපෙන්නේ මදුරුවන්ටය. දැන් ඉන්න උන් බැට් එකෙන් කෙලින්නේ මදුරුවන්ට නිසාය.

මදුරු කරදරයේදී සෑමා කැමතිම ආරක්ෂක ක්‍රමය වූයේ නෙට් එකය. මොකා හිටියත් නෙට් එක දැම්මා නම් ආතල්ය. බොහෝ විට නෙට් එකේ එලියට වඩා ඇතුලේ මදුරුවන් සිටින අවස්ථාද නැතුවා නොවේය. එහෙව් විටක කළ යුත්තේ එලියේ සිටින සියළු මදුරුවන් නෙට් එක ඇතුලට කැදවා නෙට් එක ගැට ගසා තබා නිදහසේ නෙට් එක නැතිව නිදා ගැනීමය. එලෙසම හැමදාම උදේට නෙට් එක ගැට ගසා තැබීම තරම් වදයක් ලොවෙත් නැත්තේය. විටක අම්මා බනින්නේ ඇයි යකෝ නෙට් එක අකුලන්නේ නැත්තේ කියාය. එවිට සෑමා පිලිවදන් දුන්නේ “කමක් නැහැ ඉතිං.. අද රෑටත් නිදා ගන්නවා නේ“ කියාය.

කෙසේ හෝ මදුරු බැට් එක අතට ගත් මොහොතේ සෑමාට මතක් වුණේ අට වසර පන්තියේ සිටි විශ්වයාය. ඌද කොත්තා සමග සෙට්ව සර්කිට් හදන එකෙක්ය. දිනක් පොඩි පෙට්ටි කැබැල්ලක සර්කිට් එකක් අමුනා, බැටරියක් ඔබාගෙන ඔහු පාසල් ආවේය. පෙට්ටියෙන් පිටතට කම්බි කනු දෙකක් දමා තිබුනේය. පෙට්ටියෙන් පිටතට ඇති ස්විචයක් ඔන් කර ස්වල්ප මොහොතක් තබා කම්බි කනු දෙක අපේ උන් ඇගේ ගෑව්වේ විශ්වයාය. කුණු හරප කිහිපයක් කියමින් අපේ උන් විශ්වයාට බැන්නේ එයින් අධි ධාරාවක් පිට වූ නිසාය. ගැජට් එක තුල තිබූ තඩි කන්ඩෙන්සරයෙන් ධාරාවක් ගබඩාකරගෙන සිට එකවර මුදා හරින්නේ යැයි අපට තේරුම් ගියේ පසුවය. එම යාන්ත්‍රණම බැට් එකේ ඇත්තේය. ඒ කාලයේදීම කොත්තා සහ විශ්වයා අපට වද නොදී, ගුටි නොකා එම පර්පථය ගොඩ දැම්මේ නම් මදුරු බැට් එක ගොඩ දාන්නේ අපේ එවුන් දෙන්නෙක්ය.

බැට් එකේ සර්කිට් එක
මදුරු බැට් එක විටක වැඩ කරන්නේ නැතිය. මදුරුවෙක් වැදුනත් ඌ පාඩුවේ ඉගිල යන මොහොතක් ඇත්තේය. එවිට බැට් එකේ කරන්ට් එක මදිය. චාර්ජ් කළ යුත්තේය. එවන් අවස්ථාවක බැට් එක චෙක් කරන්නට බට්න් එක ඔබා දැල ඇල්ලීමෙන් සෑමා නියම සැපක් ගත්තේය. කෙසේ හෝ අත් දෙකින් හෝ බැට් එකෙන් මරුවත් පව පවමය. මදුරු සිගිත්තන් සිගිත්තියන් දවසට විස්සක් තිහක් බාන්නට සෑමාට සිදුවන්නේ පොඩ්ඩා නිසා මේ දිනවල නෙට් භාවිතය බැරි නිසාය. ඒත් මැරෙන මදුරුවා නිසා සිදුවන පව අවම කරගත හැකි පියවරක් සෑමා සොයා ගත්තේය. මදුරුවා මැරීමට බට්න් එක යොදා බැට් එක එක වරක් වැනීමෙන් මදුරුවා සිහිසුන්ව වාගේ බැට් එකේ රැදී සිටින්නේය. නැවත බට්න් එක එබුවොත් ඌ සදා සොත්තීය. අඩු කැබැල්ලක් වත් ඉතුරු නොවන්නට දුමක් දාන්නේය. උක්ත පියවර දෙකෙන් එකක් පමණක් අනුගමනය කොට, මදුරුවා සිහිසුන් මොහොතේදී බිම අතෑරියොත් පව අඩු වන්නේ යැයි සෑමා සොයා ගත්තේය. එම සිහිසුන් මොහොතේ මදුරුවා බිම දැමූ සැනින්, කූඹි පැමිණ තම ආහාරය සපුරා ගන්නෝය. ඒ නිකංම නිකන් මදුරුවෙක් අනුභව කිරීමෙන් නොවේය. BBQ මදුරුවෙක් අනුභව කිරීමෙන්ය. ඒ නිසා සෑමා හිත හදාගෙන ඇත්තේය. තමන් මදුරුවන් නොමරන බවත්, කූඹින්ට BBQ මදුරුවන් කෑමට දමන ලෙස සිතා, කුසගිනි නිවනා පුණ්‍ය කර්මයක් කිරීමෙන් සෑමා නිතර සැනසෙන්නේය.

ඔබේ නිවසේත් මදුරු කරදරයක් ඇත්තේ නම්, කූඹින්ට BBQ මදුරුවන් කෑමට දමනා බැට් එකක් ගෙන, කූඹින්ට කෑම දැමීමේ පුන්‍ය කර්මයක් කොට දෙලොව ශාන්තිය උදා කරවා ගන්න.

Written_by_sAm_ශ්‍රී_Perera_25/06/15_6:35am

Monday, June 22, 2015

පාන් කතාවක්... - Bread Talks !!


ඉස්සර පාන් නම් රසය. බරය. ගුණය. ඒ කාලේ තිබ්බේ දර පෝරණු පාන්ය. දැන් තාක්සනය නිසා වැඩිපුරම ඇත්තේ කරන්ට් පාන් හෙවත් විදුලි අවන්වලින් හදනා පාන්ය. ඔය කියන කරන්ට් පාන් මාකට් එකට එන්නට පටන් ගත් කාලයේ මාර ඉල්ලුමක් තිබ්බේය. දර පෝරණු පාන්කරුවන් පාන් කියා ගත නොහැකි තත්වයකට ඇඳ වැටුනේ කරන්ට් පාන් මාකට් වූ කාලයේය. ඒත් ඔවුන් නොසැලී දුක්ඛිතව තම රාජකාරිය කළෝය. ඒ දුකෙහි ඵල ඔවුන් නෙලන්නේ මේ කාලයේය. මන්ද කරන්ට් පාන් වලට ඇති මාකට් එක දැන් අහිමි වී යන නිසාය. කොහේ හෝ තැනක තඩි අකුරින් දර පෝරණු පාන් ඇත කියා ගසා ඇත්තේ නම් එතැනින් පාන් ගන්නට බත් නොකන ජනතාව පෙළඹී ඇත්තෝය. ඒ නිසා කරන්ට් පාන් මාකට් එක බැසී දර පෝරණු පාන් මාකට් වෙනු ෂුවර්ය. කාලයේ හැටි ඒමය. අමුඩය මාකට් නැති වී ජොකාට බැස, නැවත අමුඩය ගසන කාලයට එළැබෙන්නේ කාලයේ විපරියාසයෙන්ය.



හරි බරට, හරි ප්‍රමිතියට තිබුණු කාලයේ පාන් රාත්තලක් කන්නා වැඩ්ඩෙක්ය. එහෙම කාපු එකෙක් සමාජයක් මැද කතා කරන්නේ යුග පුරුෂයෙක් ආකාරයෙන්ය. පාන් පෙත්තක බටර් ගා සීනි දමා කෑවත් බඩ පිරෙන කාලයක් තිබුණා කියා අපද දන්නේය. දැන් නම් පාන් රාත්තල පෙති දෙකකට කපා කෑවත් බඩ පිරෙන්නේ නම් නැතිය. පාන් වලට සැට් වෙන්නේ බටර්, ජෑම් නොව පරිප්පු හොද්ද බව සෑමා ඉන්තේරුවෙන්ම දැන ගත්තේ බාල සන්ධියේදීය. එයටම මිරිස් හොද්දක් මික්ස් කොට පොල් සම්බෝල දැමූ විට රස යැයි අම්මා කීවත් එය කනකට නොගත්තේ සෑමාය. පසු කලෙක ඒලෙවල් කරන්නට ගම්පහ සමාධියට ගොස්, ඉන්ටර්වල් එකට ඉතා අපිරිසිදු කඩයකට පිටුපසින් රිංගා, කඩයේ කුස්සියේ හිටගෙනම, ප්ලාස්ටික් පිගානේ දමාගෙන පරිප්පු, මිරිස් හොඳි සමඟ පොල් සම්බෝල කන විට අම්මා කීවේ ඇත්තක් බව සෑමාට වැටහුණේය. එය සත්‍ය බව දැන සිටි අපේ උන් එම කුස්සියේ සිටම දෙසා බෑහ. ඉන්ටර්වල් එකට ලැබෙන කාලය අඩු නිසාත්, ගෙදර එන්නට බස් එකට සල්ලි වුවමනා නිසාත් පාන් බාගයකට සීමා වීමට අපට සිදු වූයේය.

පාන් අරුම පුදුම කෑමක් ලෙස සෑමා දැන ගත්තේ මෑත භාගයේ සිදුවූ සිද්ධියක් නිසාය. ලකස් සබන් කැටයේ මැද සඟවා රන් කාසි එවූ කාලයක් තිබුණේය. සබන් කෑල්ල අතුල්ලං යන විට එක පාරට රන් කාසිය මතු වන්නේය. එහෙම කාසි ලැබුනු එකෙක්වත් අහලා, දැකලාවත් නොතිබුණත් අපි ඒ කාලේ සබන් ගෑවේ පරිස්සමටය. රන් කාසියකට වුණත් ඇඟපත තුවාල කරගත නොහැකි නිසාය. එලෙසම පාන් අස්සේද තෑගි සඟවා එවූ කාලයක් තිබුණේය. එහෙම එකක් සැට් වූවේ අපේ ගමේ අංකල් කෙනෙක්ටය. ඒ රෝයල් බේකරියෙන්ය. එය සොයාගත් අංකල් තෑගිත් එක්කම හිරු නිවුස් වල සිටියේ මහත් ආඩම්බරයෙන්ය. රෝයල් යනු අපි ජුන්ඩි කාලයේ ඉදන් නම ගිය එකක්ය. තිබුණේ සහ තාම තියෙන්නේ ගෝනවලය. අපේ පැත්තේ උන්ගෙන් ඉස්කෝලෙ කොයිද බං ඇහුවාම “රෝයල්“ කියන උන් කට අරින්නේ ටිකක් බයෙන්ය. එහෙම කිව් එකෙක්ගෙන් නැවත අහන්නේ “ආහ්.. ගෝනවල රෝයල්ද?“ කියාය. ඒනිසා මේ පැත්තේ උන් ඉස්කෝලෙ රෝයල් කියන්නට මැලි වන්නෝය. කෙසේ හෝ අර කී වාසනාවන්ත අංකල්ට පාන් ගෙඩිය මැද තිබී තෑග්ගක් හම්බුණේය. පොර එය දුටු සැනින් කතා කර ඇත්තේ ගමේ PHI ටය. පොරත් සිද්ධියට මැදිහත්ව, පාන්ගෙඩිය මැද තිබූ රෝයල් එකේ පිත්තල යතුර සමඟ නිවුස් වලට පෙනී සිටියේ මහත් ආඩම්බරයෙන්ය. එහෙ තෑගි ලැබෙන්නත් පිං කළ යුතුය. අපට එහෙව් පිනක් නැත්තේය. එක පාරක් යකඩ ඇණයක් පමණක් තෑගි ලෙස ලැබුණා මතකය. එය සැනසිලි ත්‍යාගයක් නිසාම රූපවාහිණියේ පෙනී නොසිට අප කඩේ එකා හමුවී අම්මා මුත්තා පමණක් මතක් කොට ප්‍රීතිය බෙදා හදා ගත්තේය.

සෑමාට පාන් ගැන ලියන්නට හිතුනේ ඊයේ හවස පාන්, බනිස් හන්දියට ගිය නිසාය. සෑමාගේ හන්දියේ බේක් හවුස් නම් 5ක්ම ඇත්තේය. අඩියෙන් අඩියට ඇති බේක් හවුස් වලින් කුමකට යනවා දැයි ගෙදරදීම සිතාගෙන එළියට බැසිය යුත්තේය. නැත්තං අතරමංය. එහෙම හිතාගත් බේක් හවුස් එකකට ගොඩව සෑමා බනිස් ගෙඩි සැට් එකක්ද, රෝස් පාන් තුනක්ද ඉල්ලා සිටියේය. කඩේ එකා බඩු සැට් එක ෂෝ කේස් එක මත තැබුවේය. සෑමා මුදල් දී ෂෝ කේස් එක මත තිබු බැග් දෙකම අතට ගෙන එන්නට හැරුණේය. පැත්තක ප්ලේන්ටියක් ගසමින් සිටියේ යසපාල අංකල්ය. පොර කකුල් දෙක පද්දමින් ආතල් එකේ ප්ලේන්ටිය තොල ගාන්නේය. අංකල්ගේ ආතල් නොකඩා, අංකල්ට අමතා සැලුට් එකක් ගසා සෑමා එලියට පැන්නේය. ගෙදර විත් බෑග් දෙක චැක් කරද්දී බනිස් සහ රෝස් පාන් හතරක් සහිත එක මල්ලකුත්, තවත් මල්ලක තවත් රෝස් පාන් හතරක්ය. සෑමාගේ පපුව හෝස් ගා ගියේය. අහෝ මෙහෙව් හොරකමක් ලොවෙත් කිරීම මහා පාපයක්ය. පාන් යනු ජාතික වස්තුවක්ය. වහාම පාන් බෑග් එක ගෙන සෑමා කඩේට දිව්වේය. 

යසේ තාමත් ප්ලේන්ටියේ ආතල් එකෙන්ය. කඩේ එකා බිස්නොස් එකේය. සෑමා හිතුවේ කඩේ පත්තු වෙලා ඇති කියාය. කාටත් ගානක් නැත්තේය. පාන් එකේ හිමිකරු හෝ සද්දයක් දමන්නට කාලය ඇතිය. කඩේ එකාට බෑග් එක දුන් විට ඌ හොල්මන්ය. ගාණක් නැතිය. සෑමාගේ මූණ දිහා බලාගෙනම හිටියේය. “ඔයා කාට හිරි දීපු බෑග් එකක්, දාල ගිහින් වෙන්න ඇති.“ සෑමා පහදා දුන්නේය. “කමක් නැහැ මල්ලී, ඔතනින් තියල යන්න..“ කඩේ එකා කිව්වේය. යසේ පැත්තට හැරුණු සෑමා යසේට ස්ටෝරිය කිව්වේය. පොරටත් හිනාය. හිනාව අවසන් ටියුබ් ලයිට් එකක් මෙන් “ආ.. මගේ බෑග් එකත් ඔතනම තිබ්බා..“ කියා සොයන්නට වූයේය. සැමා උස්සන් ගොස් තිබ්බේ යසේගේ පාන් මල්ලය. පොරට ආතල් ඩබල් වූයේ තමන්ගේ බෑග් එක ලොකු ටුවර් එකක් ගොස් ආ නිසාය. ප්ලේන්ටි ආතල් එක පැත්තකින් තබා පුටුවෙන් නැඟිට යසේ පාන් මල්ල බදා ගත්තේ නිධානයක් ලැබුණා සේය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:50am_21/06/2015

Tuesday, June 16, 2015

මිතුරාගේ කන්ටැක්ට් ලිස්ට් එක චෙක් කරන්න.. - Check Your Friend's Contact List !!!


හෑන්ඩ් ෆෝන් නැති කාලයේ හැම එකාගේම සාක්කුවේ ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් තිබ්බේය. ඩිරෙක්ටරිය කිව්වේ ටෙලිකොම් එකෙන් ගෙදරට එවූ පතරංග පොත නෙවේය. අපි එකිනෙකා අත තිබූ ජුංඩං නෝට් පෑඩ් එකය. එහි සටහන් කළේ එක එකාගේ ටෙලිෆෝන් නම්බර්ය. ඉන් බහුතරයක්ම වූයේ ලෑන්ඩ් ෆෝන් නම්බර්ය. මන්ද ඒ කාලේ හෑන්ඩ් ෆෝන් භාවිතය එතරම් නොවු නිසාය. ඒ පොතේ තිබූ බොහොමයක් නම්බර් නිරායාසයෙන් කටපාඩම්ද වූයේ නිතර භාවිත වෙන සුළු නම්බර් ප්‍රමාණයක් තිබු නිසාය. එහෙත් දැන් එහෙම නැතිය. දැන් ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එකේ නම්බර් 500කට වඩා එහා පැත්තේ ඇත්තේය. ඉන් සුළුතරයක් නම්බර් පමණක් මතකය. එහෙත් බොහෝ විට නිතරම කෝල් ගන්නා එවුන්ගේ වත් නම්බර් මතක නොහිටින්නේය. හේතුව නම්බරය සේව් වී ඇත්තේ පුද්ගල නාමයෙන් නිසාය. කාගේ හෝ ෆෝන් කටුවක් නැතිවුණ හැටියේ බොහොමයක් උන් නහයෙන් අඩන්නේ ෆෝන් එකේ වටිනාකම කියමින් නෙවේය. “ෆෝන් එක නම් අවුලක් නැහැ බොලව්, ඒකෙ තිබ්බ කන්ටැක්ට්ස් ටික තමා වටින්නේ“ යැයි බොහොමයක් උන් කෙඳිරි ගාන්නේ ඒ නිසාය. සිද්ධිය නම් ඇත්තය. බොහොමයක් නම්බර් ෆොන් බුක් එකක නොලියන නිසාත්, ස්මාර්ට් ෆෝන් එකෙන් ගූගල් එකට හෝ බැකප් නොකරන නිසාත් ඔය ගැටළුවට මුහුණ දෙන්නෝ බහුලය.

ඒ දවස්වල ගමට කියා ලෑන්ඩ් ෆෝන්ද තිබුණේ ස්වල්පයක්ය. ඒ අතර සෑමාගේ මහප්පලෑ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකද වූයේය. එය අපටද මහ මෙරක් වූයේය. ගමේම එවුන්ට කෝල් එන්නේද ඒ නම්බරයටය. ඒ නිසා නොම්මරය නම් තාම කට පාඩම්ය. අවට උන්ට හදිසි පණිවිඩ ලැබෙන්නේ ඒ නම්බරයටය. අහවල් වෙලාවට මම කතා කරනවා යැයි කියන උන්, කතා කරන තුරු අසල්වාසීන් මහප්පලෑ ගෙදරට වී කල් මරන්නේ අහවල් වෙලාවට එන කෝල් එකට ආන්සර් කිරීමටය. බොහොමයක් දෙනා එන කෝල් එක ආන්සර් කොට ක්ෂණිකව කතා බහ අහවර කොට, ස්වල්ප මුදලක් ෆෝන් ස්ටෑන්ඩ් එක උඩ තබා යන්නේ භක්තියෙන්ය. විටක එය බලහත්කාරයෙන් ඔවුන්ගේ ඇගේ ගසන්නට වන්නේය. මහප්පා රජයේ ඉහළ නිලධාරියෙක් වූ නිසා ෆෝන් එකක් ලැබුණා සේම, එහි මුදල් ගෙවීමද කළේ රජයෙනි. එම සංකල්පය ඉදිරියට ගෙන ගිය මහප්පෑ පොඩි පුත්‍රයා කමියුනිකේෂන් ක්ෂේත්‍රයෙන් ගමේ තැනකට පැමිණ ඇත්තේය. ඔහු නැවතුනේ මහප්පාගේ ලෑන්ඩ් නම්බර් එකට ෂොට් එක දීමෙන් බව මහප්පා තාමත් කියන්නේය.

උක්ත නම්බර් එකට සෑමාටද කෝල් කිහිපයක් ආවේ පාසලේ 4, 5, සහ 6 වසර වලදීය. ඒ ටෙලිෆෝන් ව්‍යාප්තිය වැඩිවන කාලයේය. නම්බර් කිහිපයක් සෑමාට තාමත් මතකය. සෑමාට කතා කළේ සුළු පිරිසක් වූ නිසාම ඒවා තාමත් කටපාඩම් වීම සාධාරණය. ඒ එන කෝල් එකද හොරෙන් මෙන් කතා බහ කර ඉක්මනින් තියන්නේ කෝල් එකක් ඒම මහා භයානක දෙයක් ලෙස දැනුනු නිසාය. එලෙසම ගෙදර උන්ද කන දාගෙන සිටින්නේ මූ මොනාද කතා කරන්නේ කියා විය හැකි නිසාය.

කාලය ගත වෙද්දී සෑමාගේ ගෙදරටද ලෑන්ඩ් ෆෝන් එකක් ආවේය. එයද ටැලිකොම්ය. ඒ කාලේ ඉන්ටර්නෙට් යනු හරිම පුදුම දෙයක්ය. පට්ට ස්පීඩ්ය. ලොග් වූයේ ඩයල් අප් මොඩම් එකෙන්ය. ස්පීඩ් එක මතක හැටියට 56 kbit/s ය. මගෙ අප්පේ දන්නා වැදගත් සයිට් එකකට තිබුනේ නාසා එකේ සයිට් එකය. ඒ අස්සේ කමියුනිකේෂන් එකේ බුද්ධික අයියා නෙට් ටු ෆෝන් ගැජට් එකක් ගසාගෙන IDD කෝල් ලාභෙට ගත්තේ මේ කාලයේය. සෑමාගේ ගෙදර නම් ඉන්ටර්නෙට් සුම්මා වූයේය. ඒ අම්මාගේ විමසිලිමත් නෙත් නිසාය. ඒ අතර අම්මා ෆෝන් බුක් එකක් මේන්ටේන් කළාය. මගේ අප්පේ අගක් මුලක් නැතිව හිත් තැන් පිරවෙන්න තැනින් තැන ලියූ ෆෝන් නමබර්ස් සෙවීම අපට නම් කළ නොහැකි දෙයක් වුණේය. එහෙත් අම්මා ක්ෂණිකව තමා ලියූ නම්බර්ස් සෙව්වාය. ඇල්ෆබර්ට් එකේ පිළිවෙලට වත් නොතිබූ කාගේ හෝ ඕනෑම නම්බර් එකක් තප්පර කිහිපයකින් සෙවීම කළ හැකි වූයේ අම්මාට පමණක්ය. තත්වය එසේ වූ නිසා සෑමා සහ සෑමාගේ අක්කා එම ටෙලිෆෝන් බුක් එක පිළිවෙලක් කිරීමට කතිකා කර ගත්තෝය. ඒ අනුව ආකරාදී පිළිවෙලට නම්බර් වෙන වෙනම තවත් ඩයරියක් ලියන්නට වූවෝය. එහි පිළිවෙලකට ලියා තැබුවද අම්මා නිතර භාවිත කළේ පරණ, අපිට අපිළිවෙල වූ, ඇයට පිළිවෙල වූ, ෆෝන් බුක් එකය. පසු කාලීනව සෑමාත් අක්කාත්, එම ඩයරිය ඉල්ලා අස්කර ගත්තොත්ය.

අතීතය එසේ අමතක වී යමින් තිබියදී සෑමා මෑත දිනයකදී අම්මාගේ ෆෝන් ලිස්ට් එක දිග හැර බැලුවේය. ඒ සුපුරුදු පරිදි කලින් කී අපිළිවෙල ඩයරියමය. එහි ලියැවී තිබූ පුද්ගල නාම දුටු සෑමාට හිනා ගියේ අප්‍රමාණවය.




පලවෙනි ෆොටෝවේ පරිදි ලේනා නම් ගමේ එකෙක්ය. ඌ කරන්නේ කුලී වැඩය. උගෙ හැඩය ලේනා වාගේය. පුංචිය. පිටේ ඉරිතුන වෙනුවට ඇත්තේ ලේනෙක් වැනි කොණ්ඩයක් සහ දත් ටිකය. දෙවෙනි ෆොටෝ එකේ පරිදි කම්බි ඩයස් නම් ඩයස් අංකල්ය. කරන්නේ යකඩ වැඩය. වැල්ඩින් වැඩය. සාරි නොපිට ලෙස ඇත්තේ කඩේට එන ඇන්ටි කෙනෙක්ය. ඇය සාරිය අදින්නේ නොපිටට බව අම්මා කියා ඇත්තේය. ඒ නිසා ඒ නම දමා ඇත්තේ සෑමාගේ අම්මාය.


ඒ කන්ටැක්ට් ලිස්ට් එක දුටු විට “යකෝ අපේ නම්බර්, අපේ උන් කෝම සේව් කරන් ඉන්නවාද මන්දා“ යැයි කිහිප වරක් සිතුණේය. කාරණාව සත්‍යය. යමෙක් තවකෙකුගේ නම්බර් එකක් ෆෝන් එකෙ කන්ටැක්ට්ස් වලට යොදා ගන්නේ තමන්ට පහසු විදිහටය. එකම නමින් පුද්ගලයන් දෙදෙනෙකු සේව් කරනා විටද එම තත්වය බලපාන්නේය. ඒ නිසාම ඔබේ මිතුරාගේ ෆෝන් එක අතට ගෙන, ඔබේ නම කුමන ආකාරයෙන් සේව් වී ඇත්දැයි බැලීම වටින්නේය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:15am_16/06/15

Friday, June 12, 2015

මාරු සල්ලි... - Changed Money !!


මාරු සල්ලි යනු කෙටි කතාවක් නොවේය. බ්ලෙග් කතාවක්ය. මාරු සල්ලි හමුවේ සෑමා දුටු කතාවක්ය. එය හුදෙක් පුද්ගලයන්ගේ පරාර්ථය හෙළි කරන්නක් බව සෑමා සිතුනේ කාසි, නෝට්ටු හෝ මුදල් සමඟ මෙතුවක් ජීවත් වීමෙන්ය. ඉස්සර මාරු සල්ලි වලට නියම ඩිමාන්ඩ් එකක් තිබුණේය. ඒ පාසල් යන කාලයේ කිව්වොත් නිවැරදිය. කැන්ටිමෙන් ලැබෙන ඉතුරු සල්ලි හෙවත් කාසි, පසු දිනට හෝ එදිනටම යලි ආයෝජනයක්ය. එලෙසම බස් එකේ යද්දී නම් මාරම වටින්නේය. ඒ නම් හැමදාම අපව රවටන කොන්දාව අපට රැවටිය හැක්කේ අතේ මාරු සල්ලි තිබුණොත් පමණක් නිසාය. තවත් අතකින් මාරු කාසි යනු පාසල් සමයේ කලෙක්ෂන් හෙවත් “ලොන්තේ“ දමන උන්ට නම් සහන මල්ලක්ය. හැමදාම ලැබෙන කප්පම් මුදල මාරු සල්ලි වලින් එකතු වුවද විශාල මුදලක් වන්නේය. එලෙසම කප්පමට ලක්වන්නෝද මාරු කාසි දීමෙන් තම පොකැට්ටුව බේරා ගත්තේ නෝට්ටු වලින් වෙන්නට යන විනාශය කාසි කිහිපයක් කප්පම්කරු අතට දීමෙන්ය. ඒ කෙසේ වෙතත් පාසලේදී, පන්තියේදී නම් සාක්කුවේ තිබෙන කාසි දෙකතුනක් හෝ බිම වැටී “සල බලාං“ සද්දය ආවොත් වටේ ඉන්න උන් කෑ ගහන්නේ “අඩෝ.. අන්න අරූගේ කැටේ කැඩුනා“ කියාය. එහි ඇති විලි ලැජ්ජාව නම් අපේ උන් “කැටේ“ කිව්වේ “ගුද මාර්ගය ආදායම් මාර්ගය“ කරගත් විටය.

මාරු සල්ලියේ දේශපාලනය නම් මෙසේය. විටක පුද්ගලයාගේ ආත්මාර්ථය, පරාර්ථය, හෝ කම්මැලි කම විදහා දැක්වෙන්නේ මාරු සල්ලි වලින්ය. බොහෝ විට මාරු කාසි වලින්ය. එහා පැත්තේ සැලුන් එකට එන කොණ්ඩය දන් දෙන්නෝ දහසේ මුදල් නෝට්ටුවක් අතේ තබාගෙන “හොට් සීට්“ එකේ වාඩි වන්නෝය. හොට් සීට් එක කිව්වේ සැලුන් එකේ කොණ්ඩය කපන සීට් එකටය. සෑමාට නම් ඒක හොට්ය. සැලුන් එකේ එකා කොණ්ඩය වැරදියට කැපුවොත් කැපුවාමය. මොන අටමගලය වුණත් මුදල් දී එන්නට වන්නේය. කෙසේ හෝ එහා පැත්තේ සැලුන් එකේ කස්ටර්මර්ස්ලා මාරු සල්ලි අතේ නැතුව, හිතුමතාම, කලින් නොදන්වාම, හොට් සීට් එකේ හිඳ ගන්නෝය. ඉනපසු කොණ්ඩය කැපුවාට පසු රුපියල් දාහේ නෝට්ටුව දික් කරන්නෝය. අසරණ වන්නේ සැලුන් එකේ එකාය. ඉන්පසු මාරු සල්ලි හොයමින් ඌ දිව එන්නේ සෑමාගේ කඩයටය. කොණ්ඩය කපන්නට ආ එකාගේ ආත්මාර්ථකාමීත්වය, කම්මැලිකම නිසා දුක් විදින්නේ වටේ ඉන්න උන්ය. බැරිම තැන සෑමාගේ අම්මා පෝස්ටර් එකක් ඇන්දේය. “කරුණාකර මාරු සල්ලි රැගෙන එන්න“ පෝස්ටරය සැලුන් එකේද, එහා පැත්තේ ඉඳිආප්ප කඩේද ගැසුවේ සෑමාගේ අම්මාය. ඒත් කරදරය එසේමය. කොණ්ඩය කැපුවාට පස්සේ මෙන්ම, ඉඳිආප්ප කෑමෙන් පසුද දිගු කරන්නේ රුපියල් දහසේ කොළයක්ය. සදාතනික දුක අපටය. 

ඉතිරි කාසි වෙනුවට ටොෆි ලැබෙන, බුලත් විට ලැබෙන සිද්ධීන් අවම කර ගත හැක්කේ තමන්ටමය. ඒ මාරු සල්ලි, මාරු කාසි අතේ තබා ගැනීමෙන්ය. විටක මුදලාලි ඉතුරු සල්ලි දෙද්දී පාරිභෝගිකයාගෙන් අහන්නේ මාරු තියෙනවාද කියාය. එවිට පර්ස් එක, පොකැට්ටුව විහිළුවටවත් අතගා නොබලන පාරිභෝගිකයා මාරු කාසි නැහැ කියන්නේය. එවිට මුදලාලි කඩේ තිබෙනා එක්ස්පයර් මට්ටමේ ඒවා ඔතා එවන්නේ ඉතුරු සල්ලි ලෙසය. දිනක් කඩේකට පැමිණි ඩෑල් එකක් මොන මොනවාදෝ බඩු ටිකක් ගත්තේය. ඒ අතර තමා අත තිබූ කාසි කිහිපයකින් කඩේ ලෑල්ලකට තට්ටු කරමින් සිටියේය. මුදලාලි බඩු කිරන කල්ම, ඔහු ලෑල්ලට තට්ටු කළේය. මුදලාලි ඩෑල් එක ඉතුරු දෙන්නට මාරු “කාසි තියෙනවද මහත්තයා ?“ කියා අසද්දී කඩේට ආපු ඩෑල් එක කට පුරා කීවේ “අනේ නැහැ“ මුදලාලි කියාය. ඒ උපන්ගෙයි ආත්මාර්ථකාමීත්වයය. මුදලාලියා රකුසු බැල්මට් එකෙන් පාරිභෝගිකයා දෙස දෙනෙත් හෙලා, “ඔය අතේ තියෙන කාසි ටික හරි දෙන්න මහත්තයා“ කීවේ කිංඩියටය. අරූට රෙදි නැතිය. පොර සමාජය මැද්දේ එළියට දැම්මේ තම ආත්මාර්ථයය. 

මාරු සල්ලියෙන් පුද්ගලයන් මැනිය හැකි බව කියන්නේ සෑමාය. සෑමාගේ පඩිටෝක්ස් පැත්තකින් තබා පුදගලයන් තමන් ගැනම හිතනා අය නම් මාරු සල්ලි නිවැරදිව පරිභෝජනය කළ යුතුය. රුපියල් පහේ කාසි කිහිපයක් පර්ස් එකේ දමාගෙන සතියක් දෙකක් ගත කළ විට පර්ස් එකට වෙන හානිය වැඩිය. පර්ස් වලට වැඩිය දැන් භාවිත වන්නේ වොලට්ය. එහි නම් කාසි දමන්නටම බැරිය. කෙසේ හෝ රැගෙන යාමේ අපහසුව, පර්ස් එකේ දැමීමේ අපහසුව, දන්නා උන් නම්, මාරු කාසි නිවැරදිව භාවිත කොට ඉතුරු සල්ලි ලෙස නෝට්ටු ලබා ගැනීමට උත්සුක විය යුතුය. රුපියල් හැත්තෑ පහේ භාණ්ඩයට රුපියල් සියයක් මුදලාලීට ලබා දී, රුපියල් 25ක් ඉතුරු සල්ලි ලබා ගැනීම සාමාන්‍ය ඩීල් එකය. ඒත් සෑමාට ආතල් වෙනස් විදියකටය. එනම් රුපියල් 105ක් මුදලාලියාට ලබා දී රුපියල් 30ක නෝට්ටු ලබා ගැනීමය. එහෙම කරන්නට ගොස් කෙළවුණ අවස්ථාද නැතුව නොවේය. එවන් අවස්ථාවක මුදලාලියා රුපියල් 20ක නෝට්ටුවක් සහ 10 කාසියක් දුන් විට මුදලාලියාගේ මෑණියන් සිහිවන්නේය. එහෙත් අප නොසැලී මාරු කාසි / සල්ලි නිවැරදිව භාවිත කළ යුතුය.

පලි - කාසි ගැන කියද්දී, සෑමාට මතක් වුණේ අපේ කාසියාගේ කතාවය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:10am_12/06/15

පපලි - වෙන උන් අම්මාගේ උපන්දිනය දා ලියන්නේ මව් ගුණ පෝස්ට්ය. එසේ නොලියා මාරු සල්ලි ගැන ලිව්වාට සොරිය. දරුවෙක් හදන්නට මව්වරු, පියවරු විදිනා දුක දැනුනු පුතෙකු, අමුතුවෙන් විශේෂ දිනයක මව් ගුණ ලිවිය යුතු නැති බව සිතුනේය.

Tuesday, June 2, 2015

සිරවීම් විතරයි.. !!




දස මසක් පුරා දුක් විඳ
හිටියා උදරය පිරිමැද
සැපයයි කියා දරු ගැබ
සිටියා සිරවී කුටියක

උපතින් මතුද දවසක
ඔතලා රෙද්ද සරුවට
හතරයි දෙකේ කොටුවක
සිරවුණා පොඩි තොටිල්ලක

 අම්මා පියා මඟ හැර
ඔෆීස් ගිය මොහොතක
බලා ගන්න එකෙක් නැති කොට
සිරවුණා “ඩේ කෙයාර්“ එකක

නොනවතී එතැන මතුවට
අ‘ යනු ආ“ යනු කියනට
ලොවක් මතු ජය ගන්නට
සිරව සිටියා “නර්සරියක“

අ‘යන්නෙන් ලොව දිනුමට
බැරි බව කියන දවසක
පහලොස් වසක් තුරාවට
සිරව සිටියා ඉස්කෝලෙක

ජය ගත් එවුන් පාසල
දිව්වා යුනිවර්සිටියට
සිරව සිටියා වසර පහකට
අතර තුර මහ ස්ට්‍රයික් මැද

යුනිවර් සිටි ගිය උන්
යුනිවර් සිටි නොගිය ඩෑල්
සෙට් වී එක තැනක ෆන්
සිරවුණා මතු ජොබ් එකක ඩල්

සොයා ගෙන සහකාරයක් පෙම්
බදාගෙන සහකාරියක් පෙම්
නැගී කැටයම් පෝරුවක බං
සදා කාලික සිරවුණා ලව්

රාහුලයෙක් ඉපදුණා
බන්ධනයක් ඇති වුණා
සිදුහත් මුව කියවුණා
එලෙසම සිත් සිර වුණා

දරු සුරතල් බලමිනා
එකා දෙන්නා වැඩි වුණා
සරලව තිබු ජීවිතේ
සදහකටම සිරවුණා

හැර යන්නට ජීවිතේ
නිසි කාලය එලැබුණා
නෑ නොනෑ කදුළු මැදින්
මිනි පෙට්ටියෙ සිරවුණා

පෙට්ටිය මැද අසුරලා
සුවඳට “සෙන්ට්“ තවරලා
මල් වටේට අහුරලා
වලක් කපලා සිරකළා


Written_by_sAm_ශ්‍රී_Perera
8:02am_02/06/15



පොසොන් කාලපයේ පෙර ලිපි..




 
Related Posts Plugin for WordPress, Blogger...