Thursday, October 31, 2013

වායූ සුවද කරණය නැවත භාවිත කිරීම - Refilling Air fresheners !!


එයාර් ෆෙෂ්නර් වලට සිංහල නමක් මතක් කළද මතක් නොවූ නිසා මෙය වායු සුවදකරණය ලෙස හදුන්වා දෙන්නේය. මෙවැනි සුවදකරණ උපකරණයක් කඩෙන් ගතහොත් අවම මිල රුපියල් 500ක් වන්නේය. එසේම සමහර වර්ග වල සුවද රැදෙන්නේද නැත. එසේම මෙවන් ආකාරයේ සුවද හමන කාඩ්පත්ද වාහන වල එල්ලීමට ඇත්තේය. එහෙත් ඒවාද විශ්වාස නැතිය. ගොඩක් ඒවා හුදු කාඩ් පතක් පමණක් බවට පත්ව කොහේ හෝ එල්ලී තිබෙන මුත් සුවදක් වත් දැනෙන්නේ නැතිය. දියර සහිත එල්ලා තබන පහත ආකාරයේ සුවදකරණ උපකරණ දියරය අවසන් වු පසු ඉවත් කිරීම සාමාන්‍ය සිද්ධියයි. මෙය එය නැවත පුරවන ආකාරයයි.







මෙය ප්‍රායෝගිකව අත්හදා බලා, සතියක් පමණ භාවිතයෙන් පසු මේ පෝස්ට් එක ලියු නිසා තත්වය පිලිබදව වග කිව හැක. මා ඇතුලත දියරයක් ලෙස දැමීමට යොදා ගත්තේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ක්ලෝන්ය. ඔබ කැමති ආකාරයේ සුවදකාරක යොදා ගත හැකිය. 

Written by sAm_ශ්‍රී_Perera_7:15am_31/10/13

Tuesday, October 29, 2013

රෑ දොලහට කළ ඉල්ලීම.... - Midnight Greetings !!



ඊයේ මධ්‍යම රාත්‍රී දොලහැන් ආරම්භ වූ තැන සිට සෑමාගේ ජන්ම දිනය සදහා නොයෙකුත් ආකාරයේ සුභ පැතුම් ලැබෙන්නේය. ඉස්සර නම් බර්ත්ඩේ එකක් සගවාගෙන සිටින්නේ වටේ ඉන්න එවුන්ට කේක් දෙන්නට සිද්ද වෙන නිසාය. ඉස්කෝලෙ කාලේ අපේ එවුන් බර්ත් ඩේ සොයා ගන්නේ නාම ලේඛනයෙන් හෝ රෙකෝඩ් බුක් එකෙන්ය. දිනපතා එය පිරික්සමින් සොයා බලන්නේ හෙට කේක් රැගෙන ආ යුත්තේ කවරෙක්ද කියාය. මන්ද තමාගේ හොදම මිත්‍රයාගේ පවා බර්ත් ඩේ එක සිහි තබා ගැනීම කොල්ලන්ට කරන්නට බැරි දෙයක්ය. එහෙත් කෙල්ලන්ට නම් බර්ත් ඩේ වගේ ඒවා කටපාඩම් වන්නේ ඔවුනට කේක් කන්නට ඇති ප්‍රියතාවය නිසාද නැතිනම් බඩජාරීකම නිසාද යන්න සෑමා ස්ථිරවම දන්නේ නැතිය. දැනගත්තත් මෙහිදී ප්‍රකාශ කළ නොහැක්කේය. කෙල්ලන්ට බර්ත්ඩේ හොද හැටි මතක යැයි සෑමා ඊයේ දින දැනගත්තේ ෆේස් බුක් භාවිත නොකරන, සෑමාගේ ඉපැරණි මිතුරියන් පවා එස්.ඇම්.එස් මගින් විශ් කොට තිබූ නිසාය. ඔවුන්ගේ බර්ත් ඩේ නොදැන සිටිකම සෑමා විලි ලැජ්ජා සහගත වූයේය.

ඉස්සර එලෙස සැගවූ බර්ත් ඩේ එක වර්ථමානයේ සැගවිය නොහැක්කේ සමාජ වෙබ් අඩවි තුලින්ය. එහි බර්තඩේ එක සගවා තැබිය හැකි මුත් බොහෝ අය කරන්නේ හැමෝටම පේන්නට තැබීමය. උපන් වර්ෂය සැගවූවද දිනය නොසගවා තැබීම හොද ක්‍රියාවක්ය. බොහෝ අය එයද සගවා තබන්නෝය. උක්ත වෙබ් අඩවි නිසා රෑ දොලහේ සිටි ටයිම් ලයින් එක වැසී යන්නේ සුභ පැතුම් වලින්ය. එසේම “බර්ත් ඩේ විශ්“ කරන ඇප්ලිකේෂන් පවා ෆේස් බුකියේ ඇතතේය. තාක්ෂණයේ දියුණුව සමගම ජංගම දුරකථනවල පවා එක එකාගේ බර්ත්ඩේ රිමයින්ඩර් දමා ගත හැකි තත්වයක් ඇත්තේය. ඒ සියල්ල සිදුවන්නේ කාගෙන් හෝ කේක් කෑල්ලක්, බෝතලයක් කඩා වඩා ගැනීමේ අරමුණින් නොවන්නේය. ;-) අවංකව සුභ පැතීමේ චේතනාවෙන්ය.

බර්ත් ඩේ එකකට විශ් කළ විට එසේම වේවා කීමට අවස්ථා හමුවන්නේ ඉතා දුර්ලභ ලෙසය. සෑමාගේ නිවස ආසන්නයේ සිටින මිත්‍රයාගේ බර්ත් ඩේ එක 29 වෙනිදා නිසා ඌ මට විශ් කරද්දී මා ඌට විශ් කළේ උබටත් හෙට එසේම වේවා කියාය. ඒ අතර බ්ලොග් ලොව නංගී කෙනෙක් බර්ත් ඩේ එකට විශ් කරද්දී සෑමාට කටපුරා එසේම වේවා කිව හැකි වූයේ ඇයද එදිනම බර්ත් ඩේ සැමරු නිසාය. සමහරු කෝල් කරද්දීද මූ මේ කතා කරන්නේ විශ් කරන්නට බව හැගෙන්නේය. නැතිනම් කවදාවත් කෝල් නොකරන උන් මධ්‍යම රාත්‍රියේ කතා කරන්නේ නැතිය. ඒ අතර එකෙක් නම් රස්තියාදුකාරයාය. මහ රෑ ජාමේ මචං අපි තාම වැඩ කියමින් මූ කොල් කර විශ් කළේය. ඊට මොහොතකට පෙර බුකියේ සිටියදී අපේ එකෙක් “හායි“ කියාගෙන ආවේ හරියටම රෑ දොලහට විශ් කරන්නට හිතාගෙන විය යුතුය. එය එසේ යැයි සෑමාට සිතුනද සිදුවූවේ අනෙකක්ය.

මිත්‍රයා ඉස්සර වැඩ කළේ කොළඹය. දැන් ඉන්නේ ගාල්ලේය. කොළඹ ඉන්නා විට අපේ විවිධ කාලකන්නි වැඩ සදහා සමාදර දායකත්වය දුන් මිත්‍රයා අප සමග ආරාධනාවකින් තොරව වෙඩින් එකකට ගිය සාමාජිකයෙක්ය. 28 වෙනිදා රෑ දොලහ කිට්ටුව තිබියදී චැට් එකට එද්දී සෑමා නම් හිතුවේ මූ එන්නේ විශ් කරන්න කියාය. එහෙත් අප මිත්‍රයා මා හට සුභ පැතුවේ අද උදෑසනය. ඒ කියන්නේ 29 වෙනිදා උදෑසනය. එක්කෝ ගාල්ල පැත්තේ කැලැන්ඩරය වෙනස් වී ඇත්තේය. නැතිනම් පොරට පිස්සුය. තවත් වචන අනවශ්‍යය ඔබට කියවා යමක් තේරුම් ගත හැකි නම් මෙම රූපය බලා මා මිත්‍රයා රෑ දොලහට සුභ පැතීමක් නොතියා ඉල්ලා සිටියේ වෙනත් උදව්වක්ය.

මේ චැට් දෙකක්ය. ගාල්ලේ මිත්‍රයා ගේ චැට් වින්ඩෝව දකුණු පස වේ..

පොටෝ එකත් අප්ලෝඩ් කළ පසු මට මතක් වූයේ මාගේ ටී-ෂර්ට් එකක ගසා තිබූ වචන කිහිපයක්ය. එය හුදෙක් අප සියළු දෙනාගේ මිත්‍රයන්ට ගැලපෙන්නේමය.

Good Friends Never Let You Do Stupid Things Alone... !!!

Written by sAm_ශ්‍රී_Perera_7:16am_29/10/13

පලි - මා හට සුභ පැතූ සහ මෙතුවක් සෑමා වෙනුවෙන් බ්ලොග් එකට ආව ගිය සැමට ස්තුති !!

Sunday, October 27, 2013

හිංචි පිංචි හාවා සහ ස්ත්‍රිත්වය - Something Make You Happy, Girls...!!!




ස්ත්‍රියට සහායක භූමිකාවක් පිරිනැමෙන වත්මන් ඊනියාවාදී ආකල්පය තුල පුරුෂයා වූ කලි සමාජයේ ප්‍රමුඛයා යැයි විශ්වාස වේ. ගෘහිණී තනතුර මත ජීවිතය ගලායන ඇයට ආර්ථීක සන්දර්භය මත පුරුෂයාට මෙන්ම රැකියාවක නිරත වීමේ අනුලංඝණීය වගකීමක් වර්තමානය වන විට පැන නැගී ඇත. සාහිත්‍යය තුල ඇය රාගයේ ගින්නෙන් දැවෙන්නියකි. පෙරදිග සමාජ ක්‍රමය තුල ස්ත්‍රිය වූ කලී හුදෙක්ම රාගය, රතිය, වඩවන්නියකි. “කාමය“ යන්න අර්ථ නිරූපණය කරන්නියකි. කාව්‍යශේඛරයේ ඇය පිරිමින් පිනවන විනෝද සාගරයකි.

“පිරිමිනිදු පතන
අවසර කල රහස් තැන
මිස නොලැබෙන බැවින
ගැහැණු කවරෙද වරෙදෙ නොබැදෙන“

ගැහැණිය වරදෙහි බැදෙන්නට හේතුවක් සාධාරණීකරණය කළ හැක්කේද? වෙනස් විය යුත්තේ ගැහැණියගේ අධ්‍යාත්මයද? නැතිනම් මේ ඊනියා වාදී සමාජ ක්‍රමයද? ගැහැණිය තනිවම වරදෙහි බැදිය හැක්කේද? පුරුෂයා තුලින් පැන නගින සමාජ කාර්යයේ හිස් අවකාශයන් තුල ගැහැණිය වරදෙහි බැදීම පමණක් කෙසේ නම් සාධාරණීකරණය කළ හැක්කේද?

උම්මග්ග ජාතකයෙහි සිරි කලකණ්නි ප්‍රශ්නය තුලින්ද පිළිඹිබු වන්නාවූ ස්ත්‍රී - පුරුෂ භූමිකාවන්, පසුකාලීනව සිග්මන් ප්‍රොයිඩ් පෙන්වා දුන් චිත්තවේගික වපසරියන් මෙහිදී මනාව විග්‍රහ කොට ගත හැකි වන්නේය. “යා දෙක නොරත රත“ යනුවෙන් හැදින්වූයේ කුටුම්භය තුල එකිනෙකා තුල ඇතිවන නුරුස්නා ගති ස්භාවයන් හා ක්‍රියාකාරකම්ය. සාහිත්‍යය තුල ධ්වනිත වන මෙම සත්‍යතාව සැබෑ ජීවිතය තුල ස්ත්‍රියගේ වරදක් පමණක්ම ලෙසින් හැදින්වීම තුල ඇයට නිරායාසයෙන්ම සමාජගත අසාධාරණයක් බිහිවන්නේය.

ජනවහරේ එන ස්ත්‍රිය චපලය. පහත් කාමුක ආශාවන්ගෙන් පෙලෙන්නීය. උත්පත්තියෙන්ම දුර්වලය. පුරුෂ ප්‍රමුඛ සමාජය ස්ත්‍රී - පුරුෂ සමාජභාවය (Gender Neutrality) මෙලෙස හදුනාගනී.

“ගැහැණු ජාතිය ජරා ජාතිය - ගලේ ගහපිය මරා දාපිය
පිරිමි ජාතිය උතුම් ජාතිය - කන්න දීපිය මල් පුදාපිය“

ස්ත්‍රිය විෂයෙහි පිළිකුල් ස්භාවයක් ඇතිකරවමින් පුරුෂයා කෙරෙහි මාන්නත්වයක් ආරෝපණය කළ ඒ සමාජය තවදුරටත් වලංගු වේද, නොවේද යන්න සමාජය තුලින්ම කතිකාවතකට අවසර දිය යුතුය.

මනමේ නාටකයේ මනමේ කුමරිය සියල් සැප හැර වනයෙහි වැදි රජුගේ සෙනෙහස පතන්නේ ඇය වැදි රජ අඩවියේ අනාරක්ෂිත වූ කල්හිය.

“ස්ත්‍රිය සිරි යහනේ ලබන සැපයට වඩා තණ බිස්සේ ලබන සැපය උතුම් කොට සලකන්නීය“ යනුවෙන් දක්වන චුල්ල ධනුද්දර ජාතකය වත්මන් සමාජය විසින් අර්ථ නිරූපණය කළ යුත්තේ පුරුෂෝත්තම සමාජයක ඇයට හිමිව ඇති සාධාරණය කළ නොහැකි අසාධාරණය සමාජය තුල ප්‍රශ්නගත කරමිනි.

පෙරදිග සාහිත්‍යය තුල කාන්තාව නම් මේ වේ. නූතනයේ අපට ඇසෙන ලමා ගීයක තනුවක පද ඇරුත් එකිනෙක විමසන විට ස්ත්‍රී - පුරුෂ සමාජභාවයේ එක් පැතිකඩක් වන “පවුල් ජීවිතය“ හෙවත් “කුටුම්භ සන්ඨාපනය“ යන්නෙහි හරය අවබෝධ කොට ගත හැකිවේ.

“හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා
වෙලේ උන්නු ඉබ්බා දැකලා වතුරේ නෑවිලා“

කතාවේ කතානායකයා නම් හිංචි පිංචි හාවාය. කතානායිකාව වෙලේ උන්නු ඉබ්බාය. මේ හාවා ඉබ්බා දකින්නේ තනිවී යන විටය. තනිකඩව සිටි ඔහුට යථාර්තවාදී (වතුරේ නෑවී) ස්ත්‍රිය මුණගැසෙයි. ඇයද, යථාර්තවාදී ස්ත්‍රියක් සතු ගුණාංගයන්ගෙන් හෙබි තැනැත්තියකි.

“ඉබ්බා දැකපු හාවා ඉවුරෙ නැවතිලා
ඔට්ටු තියලා අපි දුවමුද ඇහුව ළංවෙලා“

ඉවුරු වූ කලී ජීවිතයේ එක් මංසන්ධියකි. යෞවනෝදයට පත්ව සිටි ඔහුට ජීවිත ඉවුරේ නවතින්නට සිතෙයි. එතැන් පටන් අලුත් ගමනක් යන්නට සහකාරියගේ අවශ්‍යතාව ඔහුට දැනෙයි. ප්‍රේමාවනන්ද චිත්තරූපයන් හදවතේ ඇදෙයි. ශික්ෂණාත්මකව එහු තම හැගීම් ඇය වෙත මුදාහරින්නේය. “ඔට්ටු තබා දුවන්නට“ ඔහු ඇයට ආරාධනා කරයි. ඔට්ටු තබන්නේ නම් අවසානයේ ජයක් ලබන්නෙකු සිටිය යුතුය.

“ජීවිත තරගයේ දිනන්නේ කවරහුද? ඔට්ටුව සදහා ඇපයට තබන්නේ මොනවාද?“

ජීවිතය නම් මෙයයි. ඔට්ටුව සදහා ඇපයට තබන්නේ තම පෞද්ගලිකත්වයයි. ගැහැණිය හා පිරිමියා විසින් ජීවිත තරගයේ ඔට්ටුවට තබන ඇපය දෙපාර්ශවය විසින්ම ගෞරවාන්විතව හා විශ්වාසනීයව ආරක්ෂා කළ යුතුව ඇත.

“දුවන්නට හැකි තමුසෙ පහනෙකි
ඔච්චර ඔය කියනව නම් දුවල බලමුද?“

ස්ත්‍රීවාදීන් (Feminists) තුල කාන්තාව සවිමත්ය. පිරිමියා මෙන්ම බලවත්ය. ඇයට සමාජ කාර්යභාරය හුදෙකලාව ඉටුකළ හැක්කේය. එහෙත් එය ප්‍රායෝගික නොවේ. ගැහැණිය ජීව විද්‍යාත්මකවම දුර්වල ප්‍රාණියෙකි. කායිකව දුර්වල ඇය චිත්තවේගික බන්ධනයන් තුලදී ඇය නිරායාසයෙන්ම දුර්වලය. පුරුෂයා සමාජ කාර්ය තුල “හපනෙකු“ බව ඇය දනියි. එහෙත් ඇය අභියෝග ඉදිරියේ නොසෙල්වන්නීය. ඇය ඉන්ද්‍රඛීලයකි. ඇය ජීවිත තරගය දිවීමේ අභියෝගය භාරගන්නීය. එහෙත් ඇයට යම් චකිතයක් ඇත. තවද ඉන් අවසන් නොවූ අහිංසක ඉල්ලීමක්ද ඇත.

“හැබැයි හාවො මට ඉස්සර වෙන්න දෙනවද?“

සමාජ සන්දර්භය තුල වචනයෙන් ඉල්ලිය නොහැකි එහෙත් අවබෝධයෙන් යුතුව කළ යුතුව යමක් පුරුෂයා විෂයෙහි ඇතිවේ. ඇයට සැලකීමක් අවශ්‍යය. අවධානයක් අවශ්‍යය. ඇය ඒ තත්වය පුරුෂයා වෙතින් අවශ්‍යෙයෙන්ම බලාපොරොත්තු වේ. අභියෝගය භාරගැනීමෙන් අනතුරුව ඇය කරන මේ ඉල්ලීමට මුළු මහත් සමාජයම සාවධාන විය යුතුය. හුදෙක් එය අනුකම්පාවක් නොවේ. මානුෂීයත්වයට ගරු කිරීමකි.

පුරුෂයා යටහත් කරමින් ස්ත්‍රී ප්‍රමුඛ සමාජයක් බිහිකිරීමට ඇය අවකාශ නොඉල්වයි. ජීවිත තරගයෙන් ඉස්සර වන්නට නුදුනහොත් කාන්තා සංවිධාන පිහිටවන බවටත් උද්ඝෝෂණ, අරගල කරන බවටත් ඇය අනතුරු නොඅගවයි. “ඉස්සර වන්නට“ ඉල්ලීමෙන් ඇය බලාපොරොත්තුවන්නේ ස්ත්‍රී අධිපත්‍යය නොවන පුරුෂාර්ථ සැළකීමේ සම්මතයයි.

“හාවා දුව යනවා - නිදන්නට වුණා
ඉබ්බා හෙමින් හෙමින් නියම තැනට ලංවුණා“

ජීවිත තරගය තුල හාවාට පැවරුණු අතිමහත් වූ සමාජ කාර්යයක් වේ. එම සමාජ ක්‍රමය තුල ඔහුට කුටුම්භ රක්ෂණයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වේ. වඩාත් වෙහෙසට පත් ඔහු ජීවිත තරගය අතරමග නිදන්නට වෙයි. විඩා හරින්නට වෙයි. සමාජ ක්‍රමය තුලින් ඇති කළ විෂය ක්ෂේත්‍රයක් තුල කුටුම්භ සන්ඨාපනය දෙකඩ වෙයි. ගැහැණිය කෙරෙහි වන සැළකීමේ සම්මතය අඩපන වෙයි. අවසානයේ ඇය සම්මතයට පිටුපාන්නට තීරණය කරයි. ඇය ක්‍රම ක්‍රමයෙන් ජීවිතය සොයායයි. සම්ප්‍රදායික ස්ත්‍රිත්වයෙන් මිදෙන්නට උත්සාහ කරයි.

“නිදා උන්නු හාවා ඌට උඩින් පැරදුණා“

අවසානයේ ඇය ජයග්‍රණය ලබයි. එහෙත් එය සමාජය විසින් පිලිකුල් කරන තත්වයේ සම්මතයේ තිර කඩ හැර දැමීමකි. සමාජ කාර්ය විවේචකයන්ගේ ගැරහුමට ලක්වන ක්‍රියාවකි. විවේචකයන් විසින් දොරගුළු දමා ආයාසයෙන් වසා දමා තිබූ රහස්‍යභාවය අහෝසි කරන්නකි.

විචක්ෂණ බුද්ධියෙන් සමාජය අවබෝධ කරගත යුතු කාලය එළඹ ඇත. සාහිතයේ එන කවර කලෙක වුව වරදෙහි බැදෙන කාන්තාව එවන් තත්වයකට පත් කිරීමට යොමු කරන සමාජ ක්‍රමයේ සංකල්පයන් ස්ත්‍රී - පුරුෂ සමාජභාවය සමාජ ගත කිරීමේදි අත්‍යවශ්‍යෙයන්ම හදුනාගත යුතුය. නෙඑසේව ස්ත්‍රිය සමාජ කාර්යයෙන් ඈත් කොට තැබීම විසදුම නොවේ. ස්ත්‍රියටත් පුරුෂයාටත් සමාජ සන්දර්භය තුල පැන නගින කාර්යභාරය අනෝන්‍ය වශයෙන් හදුනාගත යුතුය. මානුෂීයත්වය සම්මතය කොටගනිමින්, ගෞරවනීය හා විශ්වාසවන්ත ලෙස - ස්ත්‍රී පුරුෂභාවය සමාජ ගත කළ යුතුව ඇත්තේය. “පවුල් ජීවිතය“ හෙවත් කුටුම්භ සන්ඨාපනය නම් එයයි. සුභාෂිතයේ සදහන් පරිදි අවබෝධ කරගත යුත්තේ,

“මිනිස් හට සොදුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස් කෙනෙක් මෙදියත උපදිනේ නැත“ යන්නයි.

පලි - මෙය කියවා අවසන් වූ තැන ඔබ සෑමාගේ චින්තනයේ වෙනසක් ඇතිවී දැයි සැක පහල කරනු ඇත. නොඑසේනම් මූ බීලාදැයි අසනවා ඇත. මෙය හුදෙක් සෑමා ලියූවක් නොව, සෑමාට ඔහුගේ රසිකාවියක් එවූ ලිපියක්ය. එහි ඇති රසවත් බව හා ගැඹුරු බව දුටු විටම සෑමා මෙය පෝස්ට් කළ යුතු බව සිතා ගත්තේය. මෙය කැමති පරිදි වෙනස් කොට පෝස්ට් කරන්න යැයි ඇය පූර්ණ බලතල සෑමාට ලබා දුන්නද, මෙහි වෙනස් කරන්නට දෙයක් නැති බව සෑමා දුටුවේය. ඒ නිසා මෙය අමු අමුවේ පෝස්ට් කළේ ඊයේ සවසය. නමුත් ෆොන්ට් එකේ වෙනසක් ඇති වී මහා අර්බුධයක් ඇති වූයේය. ;)

මෙය ඈගේය...

ශානිකා දිල්ෂාණි
නීති පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය.


Thursday, October 24, 2013

රින්ග් ටෝන් එක නිසා විනාශ වීම.. - Scary Ring Tones !!!



ඉස්සර ෆෝන් එකක් නම් නොකියාය. නොකියා එකට තිබුනු මාකට් එක දැන් නොකියා වලට නැත්තේය. තිබෙනවා නම් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් ප්‍රිය කරන පිරිස් සිටින නිසාය. ස්මාර්ට් ෆෝන් රැල්ල නිසා ඒකත් එච්චරම නැති තරම්ය. එහෙත් ඉස්සර ජාවා/සිම්බියන් ඔපරේටින් සිස්ටම් සහිත නොකියා පෝං කෑල්ලක් තිබ්බා නම් වැඩ්ඩෙක්ය. 3120/1100 පෝං ආපු කාලයේ හැම එකාම සංගීත මාස්ටර් වරුය. ඒ මියුසික් කොම්පෝස් කරන තැනට ගොස් ඉලක්කම් ඔබමින් රින්ග් ටෝන් හදපු කාලයක් තිබුණ නිසාය. පසුව ඒ ගැම්ම නැතුව ගියේ කස්ටිය හදපු ඒවා ඩවුන් ලෝඩ් කරන්න හෝ, හදපු කෝඩ් බලාගෙන එන්ටර් කරන්න ගිය නිසාය. තවත් කළකදි තමන් කම්පෝස් කරපු ටෝන් එක තව කෙනෙකුට එස්.එම්.එස් කළ නොහැකි තත්වයක් ආවේය. එවිට එයටද පිලියමක් ලෙස අපේ එවුන් කම්පෝස් කරපු ටෝන් එක රීනේම් කළෝය. එහිදී මුලට # හෙවත් කොටු ලකුණ දැමූ විට ටෝන් එක සෙන්ඩ් කළ හැකි තත්වයක් උදා වූයේය.

එය රින්ග් ටෝන් ඉතිහාසයේ මුල් අවධියය. දැන් එහෙම නැතිය. මෙමරියේ ඇති සිංදුවක් ඩෝං කියා රින්ග් ටෝන් එකට දැමිය හැකිය. කැමති ගීතය ඩවුන්ලෝඩ් කළ හැකිය. මාර ආතල්ය. ඉස්සර වගේ මහන්සියෙන්, සිතේ වීරියෙන් කළ යුතු දෑ නොමැතිය. එලෙස යොදා ගන්නා රින්ග් ටෝන් එක පැටලෙන අවස්ථා එමටය. සමහර ප්‍රකට සිංදු බොහෝ අය ටෝන් එකට යොදා ගන්නා නිසා බස් එකේදී හෝ පොදු තැනකදී පෝං එකක් රින්ග් වෙනකොට සාක්කු අතගාන පිරිමිද, බෑග් අදින ගැහැණුද අනන්තය. එලෙසම දීර්ඝ කාලීනව එකම සිංදුව හෝ ටෝන් එක යොදා තිබෙන පෝං වල ටෝන් එක වෙනස් වීම හෝ කවරෙකු විසින් හෝ වෙනස් කිරීම නිසා අතරමං වන පිරිස්ද බොහෝය. එය සිදුවන්නේ බොහෝ විට වයසක උදවියටය. ඔවුන් පෝං එක ගන්නා විට ඩිෆෝල්ට් එන ටෝන් එකම දිගටම භාවිත කරන්නෝය. ඒ අතර පෝං එක අතට ගන්නා පොඩි උන් ටෝන් මාරු කරන්නෝය. එවිට පෝං එක වැදුනද පෝං එකේ හිමිකරුවා එය තමන්ගේ නොවන ටෝන් එකක් නිසා ඔහේ සිටින්නෝය. නැතිනම් වෙන කෙනෙකු “අන්න ඔයාගේ පෝං එක රින්ග්ස් යනවා“ කියා කියන තුරුම ආතල් එකේ සිටින්නෝය.

එය සිදුවන්නේ වයසක උදවියට වුවත් අපේ කොල්ලෙක්ට එවන්ම සිදුවීමක් වූ බව කිවහොත් ඔබ පිලි නොගන්නවා ඇත. නමුත් ඔහුද හිසකේ ගොස් තට්ටය පෑදුනු අයෙක් නිසා වයස බුවෙක් වගේය. වයසින් සෑමාට සම වුවත් කල්පනාව අඩු ඒ නිසා විය යුතුය. 2011 වසරේ දවසක ඔහු සෑමා සමග බස් රථයකට නැගුනේ වැඩ අහවර වී නිවසට එන්නටය. අප සිටගෙන සිටි හරියේ සීට් එකේ වාඩි වී සිටි දෙදෙනාගෙන ජනේලය පැත්තේ බුවා බැග් එකක් බදාගෙන සුපිරියටම නිදිය. නිදි දෙව් දුව සමග හිස ජනේලයේ ටක ටක ගා වද්දමින් සිටි ඔහුගේ පැත්තෙන් පෝං එකක් රින්ග්ස් යනු ඇසුනේය. ඔහු හොදටම නිදිය. එහා පැත්තේ බුවාද කළබලවී ඇත්තේ ඔහුගේ පෝං එක රින්ග්ස් යනවා කියා සිතමින්ය. මගේ මිතුරා සහ මටත් හොදටම හිනා ගියේ පොරගේ නින්ද කැඩෙන නිසාය. ඒ අතර එහා පැත්තේ හිදගෙන සිටි බුවා අප දෙසත් බැලුවේය. පිටුපස සීට් එකේ අයත් කළබලවී සිටියේ කාගේ පෝං එක රින්ග්ස් යනවාද කියා විමසුම් කරමින්ය.

“මචං.. අරුගේ පෝං එක තමා බං රින්ග්ස් යන්නෙ.. ඌ පැලෙන්න නිදි බං..“ ඒ මා මිතුරාය.

“පව් යකෝ.. නිදා ගන්න දෙන්නෙත් නැහැ. ඒත් උගෙ සීට් එක යටින්ද මන්ද බං සද්දෙ ඇහෙන්නෙ..“ ඒ සෑමාය.

“නැහැ බං ෂුවර් එකට බුවා එලාර්ම් එක ඔන් කරල නිදා ගන්න ඇති. දැන් නැගිටින වෙලාව ඇවිත් තියෙන්නෙ.“ අපේ එකා තවත් කට කැඩිච්ච කතාවක් කීවේය.

“උගෙ නෙවෙ බං.. වෙන කොහෙන්ද සද්දෙ ඇහෙන්නෙ..“ සෑමා කීවිට, පිටපස අසුනේ සිටි අයද කළබල වී සීට් එක යට පවා බලන්නට වූවෝය.

“මල්ලී සීට් එක යටින්ද කොහෙද සද්දෙ ඇහෙන්නෙ. මෙයාගෙ එකක් නෙවෙ.“ පිටුපස අසුනේ පුද්ගලයා සීට් එක අස්සට ඔලුව ඔබාගෙනද විපරම් කළේය.

“මල්ලී ඔයාගෙ සාක්කුව දෙදරණවා නේද?“ ඒ පිටුපස සීට් එකේ අප හිටගෙන සිටි පැත්තෙ බුවාය.

“යකෝ තොගෙ පෝං එක නේද රින්ග්ස් යන්නෙ අත දාල බලපං..“ සෑමා තම මිතුරාට කීවේ නවත්වා ගත නොහැකි සිනහවකින්ය.

“මල හු*&යි... යකෝ මේ ටෝන් එක නෙවෙනෙ බං දාල තිබ්බෙ. වයිබ්‍රේට් එක දැනුනෙත් නැහැ සාක්කුව ලොකු නිසා..“ කියමින් අප මිතුරා සාක්කුවට අත දැම්මේය.

උක්ත මිතුරා වයසක බුවෙක් නොවේය. නමුත් හිස ඉදිරිපස තට්ට කොටස වැසීමට, පිටුපස කොන්ඩය ඉදිරියට ඇදීමක් සිදු කරන්නේය. 2010 වසරේ අගභාගයේ සෑමා ගත් පින්තූරයක් මගින් එම ක්‍රමය පෙන්වා දිය හැකිය. ඔහුගේ පොටෝව ගනිද්දි එදා බස් හෝල්ට් එකේ සිටි තවත් තට්ට අංකල් කෙනෙක් ඡායාරූපයට සැට් වුයේය.


බ්ලොග් පෝස්ට් එක තට්ටය ගැන හෝ තට්ටය වැසීම ගැන නොවේය. රින්ග් ටෝන් ගැනය. දිනක් අපේ දිලා හොද ටොපියක් කෑවේ සෑමාගේ ටෝන් එක නිසාය. සෑමා සුට්ටං ඇන්ඩ්‍රොයිඩ් පෝං එකක් යූස් කරන්නේය. එය ඉන්ටර්නෙට් ගියා බැට්රි බහින ජාතියේ එකක්ය. එහෙත් සෑමා රින්ග් ටෝන් එකට දමාගෙන සිටින්නේ ස්කයිප් හි රින්ග් ටෝන් එකය. ඒ කියන්නේ සාමාන්‍ය ඇමතුමක් ආවත් ස්කයිප් ටෝන් එකෙන් රින්ග් වන්නේය. බොහෝ නොදන්නා අය අහන්නේ යකෝ මූට ස්කයිප් කෝල් හැමතිස්සෙම එනවා කියාය. වටේ ඉන්නා උන් ඒ අවස්ථා වලදී සද්ද නැතුව සිටින්නේ සෑමාගේ තරම දන්නා නිසාය.

දිලා මෑත භාගයේ කෑල්ලක් හා සම්බන්ධ වී සිටියේය. මාගේ ගණන් කිරීම නිවැරදි නම් ඒ අප සෙට් කළ දෙවන කෑල්ල විය යුතුය. ඊට පසු හය හතක් සැට් කළ නිසාත්, ඒවා අසාර්ථක වූ නිසාත් මාගේ ගණනය කිරීම් නිවැරදි නොවන්නට පුලුවන. නමුත් තවම දිලා තනිකඩ බව නම් ෂුවර්ය. කෙල්ලෙක් සෙට් කළ හොත් ඇය සමග සතියක් දුරකථනයෙන් පෙමින් වෙලෙන හෙතම, ඇය නැවත හමු නොවීම, දුරකථනයෙන්ම ප්‍රේමය අහවර කරන්නේ ඒකි පොෂ් වැඩී, ලොකු සීන්, මහතයි, ස්ටයිල් වැඩී, ෆෝන් එක වේටින් වුණා, වැනි දහසකුත් එකක් හේතු කියමින්ය. ඒ අතර අප සෙට් කළ දෙවෙනි කෑල්ල පිළිබද ප්‍රශ්න උද්ගත වූයේද සෑමාගේ රින්ග් ටෝන් එක නිසාය. ඒ ස්කයිප් ටෝන් එක නිසාය.

දිලාගේ ප්‍රේමයේ ප්‍රශ්න ඇති වෙමින්, නිවෙමින්, ගත වන කාලය අතරතුර සෑමා සමග සිටිද්දීම දිලාට කෝල් එකක් ආවේය. දිලා ඒ මොහොතේ ඇය භීතියට පත් කොට තිබ්බේ ඇගේ පොටෝවක් දිලාගේ කවර් පොටෝවට දමා ඇති බව කියමින්ය. ඒ වන විටත් දිලාව ඇය බුකියේ බ්ලොක් කර තිබුනේය. තමන්ව නැවත අන් බ්ලොක් කර ගැනීමට නියම ක්‍රමය මෙය යැයි සිතා දිලා එවන් උගුලක් ඇටෙව් බව සෑමා දැන සිටියේය. දිලා පෝං එක ආන්සර් කළේය.

“මේ ඔයාට පිස්සුද?“

“ඇයි..“

“මගේ පොටෝ කවර් පික් දැම්ම කිව්වෙ..“

“ඉතිං හොද නැද්ද?“

“පිස්සු නටන්න එපා හරිද? ඒව තව මිනිස්සු දකිනවා..“

“ඉතිං මට මොකෝ.. අපි යාලුයි නේ..“

“දැන් කොහෙද ඉන්නෙ?“

“දැන් වැඩ..“

“අතේ ලැප් එකක් තියෙනවද?? “

“නැහැ..“

“ලගපාත කම්පියුටරයක්, කැෆේ එකක්වත්??“

“නැහැ..“

“ෆෝන් එකෙන් වත් ලොග් වෙලා අයින් කරන්න බැරිද??“

“මගෙ ෆෝන් එකේන බැහැනෙ..“

සෑමාගේ පෝං එක ඒ අතර රින්ග් වේ.. එහි ස්කයිප් ටෝන් එක නාද වේ..

දිලා මඤ්ඤං වී සෑමා දෙස බලයි..

“තමුසෙ මහ බොරු කාරයෙක් ඕයි.. කම්පියුටරයක් ලග නැත්තං කෝමද ස්කයිප් ලොග් වෙලා ඉන්නේ??“

Written by sAm_ශ්‍රී_Perera_1:37am_23/10/13

Monday, October 21, 2013

දොස්තරගේ නූල් සාස්තරය... - Doctor's String Tricks !!!


මීට වසර ගණනාවකට ඉහතදී දොස්තරලා අහුවේ බැනුම්මය. අතක් කපා හෝ කකුලක් කැපීමෙන් ඔවුන්ට එල්ල වූ චෝදනා අනන්තය. ඒ ඉස්සරය. දැන් ලංකාවේ දොස්තරලා ශිල්ප දක්වන්නට පටන් ගෙන තිබෙන්නේය. මෑත භාගයේ පොල් ගෙඩි වැටී ඔළුව දෙපලු වීම්, පිහි මොලය හරහා ගොස් ඔළු පැලීම්, සහ ජුන්ඩා කපාගෙන අතට ගැනීම් වැනි සංවේදී ශල්‍ය කර්ම පවා සිද්ද කළේ අපේම දොස්තරලාය. ලෝකයේ කිසිම තැනක නොවු අයුරින් හිසට වෙඩි වැදී අසාද්‍යව සිටි මන්තිරීවරු පවා කිසිම කැලලක් නොමැතිව සමාජ ගත කරන්නට තරම් නවීන වෛද්‍ය විද්‍යාව දියුණුය. එය වෛද්‍ය විද්‍යාවේ ආශ්චර්යය බව කිව යුතුය. එසේම මෙලෝ හසරක් මතක නැති තරමට වෙඩි වැදුන මන්තිරීතුමන්ට වෙඩි වැදුන බව පමණක් අමතක වී ඉතිරි සියළු කාරනා මතක් කරදීමට තරම්ම වෛද්‍ය විද්‍යාව දියුණු බව කිව යුතුය.

මීට වසර ගණනාවක් ඉහතදී, (සෑමා අට වසරේ සිටියදී) සෑමාගේද ගැජට් එකක් වෛද්‍යවරු විසින් ඉවත් කළෝය. එය අහවල් එකක් නොව උන්ඩුක පුච්චය බව සෑමා දත්තේය. අට වසරේදී රිජ්වේ ලමා රෝහලට ඇතුලත් වන්නට කිසිම කෙනෙකුට බැරිය. මන්ද ඊට අදාල වයස් සීමාවක් ඇත්තේය. එහෙත් එකල්හි වඩුවේගම පැත්තේ සිටි දොස්තර උතුමෙක් සෑමාට ලමා රෝහලට ඇතුලත් වීමට හැකි පරිදි ලියකියවිලි සාදා දුන්නේ තනිවම රෝහලේ සිටිය නොහැකි කුඩා දරුවෙකු යන සත් චේතනාවෙන්ය. ඒ අනුව අම්මා සමගම සෑමා රෝහල් ගත වූයේය. පුංචි කාලේ දහම් පාසල් යද්දී පවා, එතුමා අපිව දහම් පාසල් රැගෙන ගියේය. ඒ ඔහුද සෑම ඉරිදාම කැළණි පන්සල් වන්දනා කරන බැතිමතෙක් වූ නිසාය. පසු කලෙක එතුමා වියෝ වූ නිසා, එතුමාව මතක් වු මේ මොහොතෙ නැවතත් නිවන් සුව පැතීමට කැමැත්තෙමි.

එලෙස උන්ඩුක පුච්චය අහක් කොට නිවෙසෙට එන්නට ටිකට් කපන දින වාට්ටු බාර දොස්තරතුමා විත් සෑමාගේ බඩේ දකුණු පැත්තේ දමා තිබූ ප්ලාස්ටරය “බරාස්“ ගා ඇද්දේය. එවිට මැහුම් දමා තිබූ තැන කිසියම් දෙයක් වූවා යැයි සෑමාට සිතුනත් ටිකට් කපා ගෙදර එන්නට දෙන දවසේ නැවත රෝහලේ රැදෙන්නට තරම් කැසිල්ලක් නොවූ නිසාම සෑමා ගෙදර ආවේය. නැවත සති දෙකකින් ශල්‍ය කර්මය සිදු කළ තැන පැසවීම නිසා මාසයක් තිස්සේ සෑමා රෝහලේම සිටියේය. එය ශල්‍ය කර්මයට වඩා අපහසු කාර්යක් වූයේ දිනෙන් දින තුවාලය සුද්ද කරමින්, හාරමින් බෙහෙත් දැමූ නිසාය.

ඒ සෑමා නූල් සාස්තරය නිසා බැට කෑ අවස්ථාවක්ය. එහෙත් මේ කියන්නට යන්නේ වසර ගණනාවක් තිස්සේ රෝගී පුද්ගලයන්ට නීරෝගීකම සලසමින් බෙහෙත් කරනා වෛද්‍යවරියක් ගැනය. ඇය නූල් සාස්තරය භාවිත කරන්නේ ඉතාම සිත්ගන්නා සුළු අයුරින්ය. ඇය වසර ගණනාවක් තිස්සේ නම දිනා ගත්, දක්ෂ වෛද්‍යවරියක්ය. ඉතා හොදින් රෝගින්ට ලං වෙමින්, මානසික වශයෙන්ද නීරෝගී සුවයක් ලබා දෙමින් ඇය කටයුතු කරන්නීය. ඇගේ යහපත් බව සහ රෝගීන්ට දක්වන කරුණාව සෑමා ඇස් දෙකෙන්ම දුටුවේ එම අවස්ථාවේ සිදුවූ සිද්ධියක් නිසාය. ඒ පෝලිම කඩාගෙන කන සාක්කුවේ වැටෙන්නට අරක්කු බී පැමිණි අංකල් කෙනෙකුගේ ප්‍රෙෂර් චෙක් කළ ආකාරය දුටු නිසාය. වෛද්‍යවරිය අරක්කු ගද ගසන අංකල්ගේ ප්‍රෙෂර් චෙක් කරන ගමන් කීවේ “ඔහොම එන එක හරි නැහැනේ.. කවුරුත් වගේ පෝලිමේ එන්න“ කියා පමණක්ය. ඇත්තම කිවහොත් අපට පවා ලංවිය නොහැකි දුර්ගන්ධයක් ඒ අංකල්ගේ මුවෙන් ආවේය.

රෝගීන්ට එලෙස හොදින් සළකන ඇය භාවිත කරන නූල් සාස්තරය ඉතා අනර්ඝ, සරල ක්‍රමයක්ය. ඇගේ කුටිය පිහිටි තැන සිට ඩිස්පෙන්සරියට අඩි පහක් පමණ දුරක් ඇත්තේය. ඩිස්පෙන්සරියේ වැඩ කරන තැනැත්තා ඇය බෙහෙත් ලියු තුන්ඩුව වරින් වර රැගෙන යන්නට ආවහොත් ඔහුගේ කකුල් දනිස්ස දක්වා ගෙවෙන්නේය. ඒ නිසා ඇය සරල නූල් සාස්තරයක් භාවිත කරන්නීය. ඇගේ පැත්තේ සිට ඩිස්පැන්සරිය දක්වා නූල් දෙකක් ඇද ඇත්තේය. එකක් ඇය සිටින පැත්ත උස්ව සිටින සේද, අනිත් නූල ඇය සිටින පැත්ත පහත්ව සිටින සේද ගැට ගසා ඇත්තේය. එම නූල දිගේ ඇය තුන්ඩුව ඩිස්පැන්සරිය පැත්තට යවන්නේ කතුරු මිටක් වැනි කොක්කක් අධාරයෙන්ය. එම කොක්ක නැවත ඇ සිටින පැත්තට එවන්නේ ඩිස්පැන්සරිය පැත්තෙන් උස්ව සිටින සේ ගැට ගැසූ නූල ආධාරයෙන්ය. එය පහත රූප සටහනින් තේරුම් ගත හැකිය.



ලබා ගත් ඡායාරූපය පැහැදිලි මදි වූයේ ඩිස්පැන්සරියත්, වෛද්‍යවරියගේ කුටියත් අතර කොටසේ වීදුරු ජනේලයක් තිබූ නිසාය. එම ජනේලය සහිත කොටස පොකුණක් නිර්මාණය කිරීමට යොදා ගත් කොටසක් බව පැහැදිලිය. පසුව සෑමා තම පෝං එකේ කැමරාව උස්සාගෙන බලා සිටියේ සිද්ධිය වීඩියෝ කර ගන්නටය. නමුත් වරක් එම උත්සාහය ව්‍යර්ථවූයේ පෝං එකේ කැමරාව ඔන් වෙන විට තුන්ඩුව එහා පැත්තට ගොස් හමාර වූ නිසාය. ඒ තරමට වැඩේ වේගවත්ය. පසුව දෙවන වර උත්සාහ කිරීමේදී වීඩියෝව ගත හැකි වූයේ කැමරාව ඔන් එකේම තබාගෙන සිටි නිසාය. එම වීඩියෝව පහළින් බලන්න.



පළමුව බෙහෙත් තුන්ඩුව ඩිස්පැන්සරිය පැත්තට නූල දිගේ පහළට ගමන් කරන අතර, දෙවෙනුව ඩිස්පැන්සරිය පැත්තේ සිට තුන්ඩු යවන කොක්ක වෛද්‍යවරිය සිටින පැත්තට යන්නේය. 

උපදෙස - නූලකට කරන්නට හැකි දේ බොහෝය. ඒ නිසා තමන් සතු නූල් පරිස්සම් කර ගන්නට උත්සාහ ගත යුතුය.

Written by sAm_ශ්‍රී_Perera_12:41am_20/10/13

Tuesday, October 15, 2013

අංජනමක් බැලුවෙමි... - Found A Lost Item !!!


කවදාවත් කියන දෙයක් අහන එවුන්ද? පිලිවෙලකට තමන්ගෙ බඩු මුට්ටු තියා ගන්න කිව්වට තියා ගන්නවද? ඊට පස්සෙ අපි ගත්ත වගේ අරක කොහෙද, මේක කොහෙද කියල අහන්න තමා දන්නේ.

ඉතිං ඒක තියෙන්න ඕන තැන තමා තිබ්බෙ. එදා පොලිසියෙන් ඇල්ලුවම මම ඒ යකාට රුපියල් 500ක් දීල ලයිසන් එක කැබි හෝල් එක ඇතුලෙම දැම්මා. මම දන්නවද එතනින් ගත්තෙ කවුද කියල.

එතන තිබ්බ නම් තියෙන්න එපැයි. දැන් කාර් එක පුරාම හෙව්වනේ, කාමරේ පුරාම බැලුව නේ, එහෙනම් හරියටම හරි.. එදා පොලිස් කාරයටම දීල එන්න ඇති.

http://arumaya.blogspot.com/2009/04/blog-post_29.htmlපිස්සුද අප්පා.. මම පොලිස්කාරය ලග ඉදන් ඇවිත් වාහනේට නගිද්දි, මාත් එක්ක හිටපු එකා ඇහුව මචං ලයිසම ගත්තද කියල. මම මේ තියෙන්නෙ කියල පෙන්නල තමා කැබි එකට දැම්මෙ.

එහෙනම් ගිය මාසෙ 30 ඉදන් අද වෙනකල් ඒක කොහෙද ගියෙ.

අනෙ මන්ද, සර්විස් එක කලෙත් ඊට කලින්. 28 වෙනිද. මම සම්පටයි, දිලාටයි කෝල් කරල බැලුව. උන්ගෙ වාහන ඇතුලෙත් ලයිසම නැහැ.

ඉස්සර “සයින්“ කියල මනුස්සයෙක් හිටිය. ඒ මනුස්සය මලේ නැත්තං ඕක යස අපුරුවට තියෙන තැන කියයි. මිනිහ හොද පේන කියන්න දන්න මනුස්සයෙක්.

දැන් ඔය ජාතියෙ එකෙක් නැද්ද?

එය කන්ද උඩහ ඉන්නව කියන්නෙ. ගිහින් බලනවද?

වැඩකුත් නැහැනෙ. ගිහිල්ලම බලමු.

එහෙනම් හන්දියට ගිහින් බුලත් අතක් අරන් එනවා. ඉක්මනට ඇදගන්න. දවල් 12ට කලින් යන්න ඕන.

මට මතක විදිහට සම්පගේ කාර් එකේ තිබ්බද මන්දා.. ඉන්න ඌටත් කෝල් එකක් ගහල බලන්න.

*****

සම්පා.. මචං උබෙ කාර් එකේ මගෙ ලයිසන් එක තිබ්බද?

පොඩ්ඩක් ලයින් එකේ හිටපං බලන්න..

පොඩ්ඩක් බලපං.. මම මේ ගෙවල් පෙරලගෙන හොයනව බං..

නැහැ මචං.. කැබියේ බැලුවා.. පේන්න නැහැ..

එහෙමද? තිබ්බොත් කියපංකෝ.. මම අංජනමක් බලන්න යනවා :))

*****

අංකල් බුලත් කොළ විස්සක් විතර දෙන්න.

අහ්. අද නිවාඩුද? 

ඔව් අංකල්..

බුලත් කොළ ටිකක් ඕන..

මොකටද පුතා බුලත්.. (අපි කඩේකට ගියොත් එහෙමය. කඩේ උන් සබන් ගත්තොත් අහන්නෙ පුක හෝදන්නද කියාය)

මම දන්නෙ නැහැ අංකල්. අනික මට වැඩකුත් නැහැනෙ. ගෙදරින් ගේන්න කියනවා මම ගෙනියනවා. (අංකල් අනාථ වුයේය)

ඇත්ත තමයි නේ?

ඔව් ඒ කාලෙ ඉදන්ම කළේ කඩේ යන එක තමා.

*****

ඔයාල මොකටද ආවේ...

අදුනක් බලන්න.. නැති වෙච්ච දෙයක් සම්බන්ධව

හරි එන්න බලන්න... දෙන්න බුලත් අත.. මේක තත්කාලෙට අනුව කියන්න යන්නෙ පුතා.. ඔතනින් ඉද ගන්න...

හරි...

ඔතන එලියේ මල් ගහෙන් සුදු මලක් කඩාගෙන එන්න පුතා... (අංජනම් බලන්නේ ඇන්ටි කෙනෙක්ය. ඇය කොම්පීතරේ ඔබමින්, පොත් පෙරලමින්, ගණන් හදමින් සිටින්නීය)

මෙන්න..

හරි.. මේ කොළේ කැමති කොටුවක් ඇතුලෙ මල තියන්න.

හරි තිබ්බා..

(නැවත ගණන් හදයි.. කොටුව ඇතුලේ ඉලක්කම් එකට එකතු කර, 9න්ද කොහෙදෝ බෙදුවාය. අවසන් උත්තරය ආවේ 6ය.)

හරි.. මේ පෙන්නන්නෙ... පුතාගෙ රැකියාව සම්බන්ධ දෙයක් නේද?

නැහැ..

මේකට අනුව ලැබීමක්, බලාපොරොත්තු ඇති වීමක් පෙන්නන්නෙ..

එහෙම දෙයක් නෙවෙ.

එතකොට මොනව ගැනද?

නැතිවුණ දෙයක් ගැන..

කහ පාට, රතු පාට, රත්තරන් පාටට හුරු දෙයක්ද? (ගොඩක් අය යන්නෙ රත්තරන් බඩු නැතු වූ නිසා විය යුතුය.)

නැහැ.

හරි යන්නෙ නැහැනෙ.. දැන්වත් නැති වුණ දේ කියන්නද? (ඒ අපේ අම්මාය..)

තත්කාලෙට අනුව මම ඔය ටික තමා දැක්කෙ..

හරි... නැති වුනේ මගෙ ලයිසන් එක.. තියෙන්නෙ කොහොද කියල බලා ගන්න බැරිද?

ඉතිං ලයිසන් එක ඔයාගෙ රැකියාවට සම්බන්ධ නැද්ද?

ඔව් ඉතිං.. වාහනේ තමා ජොබ් එකට යන්නෙ..

එතකොට ලයිසන් එක ලැබෙන්න කියල බලාපොරොත්තුවෙන් නේද ආවෙ..

ඔව් ඉතිං ඒක හොයා ගන්න තමා ආවෙ..

ඒක රත්තරන් පාටට, කහ පාටට හුරුයි නේද??

ඔව් ඉතිං.. සුදට හුරු කහ පාටක් වගේ තියෙන්නෙ අලුත් ලයිසන් එක...

ඉතිං තත්කාලෙට කියපුවා ඔක්කොම හරි නේ..

ඇත්ත තමයි.. මට දැන ගන්න පුලුවන්ද? ඒක හම්බෙනවද? කොතනකද තියෙන්නෙ කියල??

බය වෙන්න එපා ඒක හම්බෙනවා.. තියෙන්නෙ වතුර තියෙන තැනක, ලිදක් ලග, ටැප් එකක් ලග වගේ තැනක.. සත්තු ලගින තැනකුත් වෙන්න ඕන...

හ්ම්.. මම වාහනේ හේදුව දවසෙ ඒක ටැප් එක ලග තිබ්බද මන්දා..

බය වෙන්න එපා.. ඕක හම්බවෙනවා.. හොයන්න.. එතකොට හම්බවෙයි.. ටිකක් බාධා තියෙනවා.. කතරගම දෙවියන්ට බාරයක් ගැට ගහල හොයන්න පටන් ගන්න..

හරි.. බොහොම ස්තුති.. පඩුරු කීයද??

150ක් දෙන්න.. වැඩේ හරි යනවා..

*****

පිස්සුද මන්දා.. මොන බාරයක්ද? ගිහිල්ල ටැප් එක ලග බලමු..

මටත් මතක එතැන තිබ්බ වගේ.. හැබැයි  වාහනේ හෝදනකොට මම කාපට් විතරයි එලියට ගන්නෙ.

බලමුකෝ ගිහින්.. වැඩක් කරද්දි උබලගෙ කල්පනාවත් නැහැනෙ..

(ටැප් එක අසල උඩ යටිකුරු කළද ලයිසම එහි නොවීය...)

අර ගෑණිගෙ බොරුද කොහෙද.. මෙතනත් නැහැනෙ...

හොයන්න කිව්ව නේද? හෙව්වොත් හම්බවෙනව කිව්ව නේ?? එහෙනම් හොයන්නම වෙනවා... !!

*****

මචං සෑමා..

කියපං සම්පා..

*රි සීන් එක.. මෙන්න උබෙ ලයිසම තියෙනවා..

අඩෝ.. අපි මෙහෙ දෙවනත් කරනවා.. ගෙදරින් පට්ට බැනුම්.. කොහෙද යකෝ තිබ්බෙ..

බලපං.. මම වාහනේ හෝදන්න ගත්තා.. සීට් එක යට තිබ්බෙ..

ඒකනෙ බං කිව්වෙ.. උබ කැබියෙ විතරනෙ බැලුවෙ..

ඔව් බං.. ඒ කියන්නෙ මම කාලෙකින් වාහනේ හෝදල නැහැ නේද??

මචං.. උඹ වාහනේ පාර්ක් කරන්නෙ ලිදක් ලගද?

අනෙ මන්ද බං පල්ලෙහා ලිදක් නම් තියෙනවා..

හරි හරි බං..එතන සත්තු ලගිනවද??

බලු කූඩුවක් නම් තියෙනව බං..

ඒකනෙ බං කියන්නෙ.. තව වතුර වගේ තිබ්බද සීට් එක යට..

මොන මගුලක්ද බං?? වතුර නම් නැහැ.. මගෙ වතුර බෝතලේ නම් සීට් එක යට තිබ්බා..

ඒකනෙ බං.. තත්කාලෙ හරි.. මරුවට සාස්තරේ කියලා.. කෝම හරි ඕක මට හෙට දියන්.. ගෙදර ඉන්න වෙන්නෙ නැහැ නැත්තං..

Written by sAm ශ්‍රී Perera_12:57pm_15/10/13

Sunday, October 13, 2013

චින්තන සංධවනිය - Butter-Fly Symphony !!


බඩ විරේක වෙන අතීතයක
චීනෙ එක්ක ගණුදෙනු කරනා...
අපට අපේ නොවන...
අපේම මුතු ඇටයක් තිබුණා....

පැටව් වඩාගෙන තුන්යම රට රවටා... 
ගිනියම් මහ රෑ අදටත් උන් කිරි ඉල්ලනවා
ඡන්දෙට ඇහැරී කතිරය යළි සොයනා...

අපට අපේ නොවන...
අපේම මැතිරවරණත් තිබුණා..

අපේම මුතු ඇටයක් තිබුණා....


විහිලුවකටවත් කිසිදා නොනැගිටිනා..
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන පක්ෂෙන් නෙරපවනා..

ජය අපේ නොවන..
අපේම විපක්ෂයක් තිබුණා...

අපේම මුතු ඇටයක් තිබුණා...



Friday, October 11, 2013

හූනා වැටෙන්න ඕන තැන අපට දන්වන්න.. - sAm's Pet "The Hoona"


ඉස්කෝලෙ යන කාලෙ අපි වතුර බිව්වේ ටැප් එකට අත නොතියාය. ඒ කියන්නේ ටැප් එක විවෘත කර පහළන් හිස ඇල කර වතුර පහරට කට ඇල්ලීමෙන්ය. එලෙස බොහෝවිට කළේ අත් දෙකේ ඇති ජරාව නිසා, අත් දෙක එකතුකර වතුර පහරට අල්ලා බීම අපිරිසිදු ක්‍රියාවක් නිසාය. එහෙව් ඉරියව්ව සෑමා ඉදහිට ගෙදරදීද භාවිත කරන්නේ ගෙදර සින්ක් එක ඉදිරියේදීය. කෝප්පයකට දමා වතුර බීම ඉතා කම්මැලි ක්‍රියාවක් නිසාම, එලෙස හිස ඇල කොට වතුර පහරට අල්ලා දිය බීම අගනේය. පහසුය.

ඊයේ රාත්‍රී කෑමෙන් පසුද සෑමා සුපුරුදු පරිදි හිස ඇල කොට කට දිය පහරට අල්ලා වතුර බොන්නට වූයේය. “ටකස්“ හඩ නංවමින් සෑමාගේ හිසකේ කෙලවරේ වදිමින් සින්ක් එකට ඇද වැටුනේ හූනෙක්ය. නොකන හූනා කෙට්ටු වුවත්, මූ කාලා හෝ නොකා හෝ මහත තඩි එකෙක්ය. හූනා රෑට නොකයි කීවාට හූනා රෑට කා ඇති බවක් දැනුනේ ඌ සින්ක් එකට වැටී මොහොතක් වතුර බිව් නිසාය. හූනා ගැන වචන අනිත් පැත්ත ගැසූ රචනා ගැන ඔබ දන්නවා ඇතිය. එයින් උපුටා ගත් වචන දෙකක් බෝල්ඩ් වී ඇති බවත්, ඒවා අනිත් පැත්ත හරවා අපහසුතාවයට ලක් නොවන බවත් ඉල්ලා සිටිමින් සෑමාගේ කතාව පෙරට ඇදෙන්නේය.
pic @ http://www.chathumithu.blogspot.com/2011/07/blog-post_28.html

සෑම ගෙදරකම පාහේ ලිතක් ඇත්තේය. එය ගෙදර කුස්සියට සීමා වන්නේ මන්දැයි සෑමා නොදන්නේය. එහෙත් ගෙදර ගෘහනිය නිතරම ගැවසෙන තැන නිසාත්, අකුරට වේලාවට, අලුත් අවුරුදු චාරිත්‍ර කුස්සියේ සිට ඉටු කෙරෙන නිසාත්, එය කුස්සියට සීමා වන්නට හේතු වන්නට ඇතැයි සෑමාගේ අදහසය. කෙසේ වෙතත් හිසට, හිස කෙස් වලට හූනා වැටුනු සෑමා දිව ගියේ ඔය කියන්නාවූ බිත්තියේ එල්ලී සිටින ලිත වෙතටය.“අම්මේ, ඔලුවට හූනෙක් වැටුනෝ... මොකද දන්නෑ වෙන්නේ...“ කියමින් සෑමා ලිතට එඹුනේය.

මගෙ අප්පේ හිසට වැටුනොත් කලහ සිද්ද වෙනවලු. කලහ කියන්නෙ මොනවද අම්මේ. සෑමා විකාර කියවන්නට වූයේය. “මම කොච්චර කියල තියෙනවද, වාහන වල යද්දි මිනිස්සු එක්ක රණ්ඩුවට යන්න එපා කියල.. ඒවට තමා කලහ කියන්නෙ..“ අම්මා විවරණය දුන්නේ පෙර වැරදි මතක් කරමින්ය. සියල්ල අසාගෙන තාත්තා සිනා සලනු ඈතින් ඇසෙන්නේය. කොහොමත් මෙවන් ආතල් කන්වර්ෂේෂන් යද්දී එයා කරන්නේ මැදින් ඇඩ් එකක් දැමීම පමණක්ය. 

“ඒක දරුණු වැඩී නේද? බලමු හිසට වැටුනා කියල.. එතකොට මොකද වෙන්නේ???... අප්පට සිරි.. එතකොට මරණය ලු“

“හරි ඉතිං කලහ කලාම මරණය තමා.. “

“අඩේ මේ.. පස්ස පැත්තට වැටුනොත් වස්තු ලැබෙනවලු... ඇග පුරා දිව්වොත් දීර්ෂායුෂලු.. මාර ආතල් නේ.. මට මේ වෙලාවට තමා හූනෙක් හුරතලේට හදන්න හිතෙන්නේ.. කැමති කැමති තැනට වට්ට ගන්න..“

ලිතේ තිබූ ස්ථාන ලිස්ට් එකෙන් අම්මාට ඇහෙන්නට කිව හැකි මට්ටමේ තිබුනේ කිහිපයක් පමණි. ඒ අතර කාන්තා යෝනියකට වැටුනොත් පිරිමියා මැරෙන බවක්ද තිබුනේය. අම්මෝ.. පවුල නිදි කරවන්නෝනි මුනින් අතට බව සියලු දෙනා දැනුවත් විය යුතුය.

“ඕවා බොරු කතා අප්පා..“ හූනෙක් හුරතලේට හදන කතාව අසා අම්මා අවසන කීවාය.

“ඒ ගමන දැන් බොරු කතාලු.. හෙහ්.. හේ..“ තාත්තා අවශ්‍යම තැනදී හඩ අවදි කළේය..

හූනු සාස්තරේ ගැන ගූගල් දෙයියා නියම කතාවක් සොයා දුන්නේය. එය නම් මෙසේය. එය සිළුමිණ සිත්මල් යාය අතිරේකයේ තිබුණු එකක්ය.

අමරසේන මහතා හොඳ දෛවඥයෙකි. පුහුණු ගුරුවරයකු වූ ඔහු පාසලේ වැඩට වඩා කළේ ඡ්‍යොතිෂ කටයුතු ය. නැකැත් සෑදීම, ගෙවල් ලණු ඇදීම, හෛරව පූජා පැවැත්වීම වැනි දේ ඒ අතර විය.

ඔහුගේ සහායට තවත් ගුරුවරයෙක් විය. ඔහු ද යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන අතර අමරසේන මහතාගේ හොඳ හිතවතෙකි.

අමරසේන මහතා කේන්ද්‍රයක් බැලුවොත් මාරක අපල ය. හොඳක් නම් කියන්නේ ම නැත.

ඒ සඳහා යන්ත‍්‍ර ගුරුකම් කරනු ලබන්නේ අනෙක් ගුරුවරයා විසිනි.

පාසලට ගෙන එන බෑගයේ විෂය නිර්දේශ ගුරු අත්පොත්වලට අමතරව පංචාංග ලිතක් ද වෙයි. ඒ ඉඩ කඩ ඇති වෙලාවට කේන්ද්‍රයක් බැලීමට හෝ නැකැතක් සෑදීමට ය.

එක දවසක් ගුරු කාමරයේ හූනෙක් වැටුනා යැයි කරුණාපාල මහත්තයා කීවේ ය.

“මොකෙක්ද වැටුණෙ.”

“හූනෙක්”

“ඔහොම ඉන්න මහත්තයා, හූනු සාස්තරේ බලනකන්”

“ඇයි හූනා ඒ තරම් ලොක්කෙක්ද?”

“එහෙම කියන්න එපා, හූනා නම් මහා භයානක සතෙක්”

“ඇත්තද? කරුණාපාල මහතා පුදුම විය.

අමරසේන මහතා පංචාංග ලිත ද රැගෙන කරුණාපාල මහතා ඉදිරිපස පුටුවෙන් වාඩි විය.

“ඔන්න අහගන්න හූනන් ඇඟ වැටීමේ පලාපල”

පංතියකට පාඩමක් උගන්වන අයුරින් සියලු විස්තර කියවමින් පැහැදිලි කළේ ය. අපි කවුරුත් මේ දෙස බලා සිටියෙමු.

“දැන් කියන්න මහත්තයා හූණ වැටුණෙ කොතෙන්ට ද?”

“මේසෙ උඩට”

අපි කවුරුත් සිනහ වෙන විට අමරසේන මහතා පංචාංග ලිතෙන් ම කරුණාපාල මහත්තයාගේ පිටට ගහගෙන ගහගෙන ගියේ දැඩි කෝපයෙනි.”

විශ‍්‍රාමලත් විදුහල්පති - සී.සී. ද සිල්වා
පිළියන්දල - කැස්බෑව

අද සිට සෑමා හූනෙක් අල්ලාගෙන, සුරතල් සතෙකු ලෙස හදන්නේය, කැමති කෙනෙක් කැමති තැනකට වට්ටා ගන්නට සෑමා ඇමතීම කළ යුතුය.

Written by sAm_ශ්‍රී_Perera_8:08am_11/10/13

පලි - හූනාට ඉංගිරිසි වචන කියනවාට වඩා සිංහල පහසු බැවින්, උක්ත මාතෘකාවේ ඉංගිරිසියෙන් හූනා ලෙස නොලිවීමි.

Wednesday, October 9, 2013

රජ විදිලි.. - King's Shootings !!!




*****

සෑමා - “මොකද බං මේ පාරවල් කඩාගෙන හදන්නේ..“

සම්පා - “අනෙ මන්ද බං.. හොදට තිබ්බ පාරවල් නේ..“

සෑමා - “පිස්සු බං. මුන්ට සල්ලි ඕන වුනාම පාරවල් කඩනවද මන්දා..“

සම්පා - “අඩේ... මේ චෝගම් එකට වෙන්න ඇති බං හදන්නෙ..“

සෑමා - “චෝගම්.. ඒ මොකක්ද බං ඒ.. සුනාමි වගේ සීන් එකක්ද?“

සම්පා - “නැහැ යකෝ.. ඒක මොකක්ද සමුළුවක්.. “

*****

“අයියෝ පුතේ අර මනුස්සය නැති වෙලානේ..“

“කවුද අප්පා??“

“බුද්ධික දන්නවද ඔයාගෙ යාලුවා නැති වෙලා නේද?“ එතැනින් ගිය බුද්ධික අයියාද කතාවට සෙට් වේ.

“කවුද?“

“අර ටෙලිකොම් එකේ මනුස්සයා.. ත්‍රීවීල් එකේ එන්නෙ, ෆෝන් ලයින් බ්‍රේක් ඩවුන් වුනාම හදන්න“

“අහ්.. අයි.ඕ.සී එකේ කිව්ව නේද?“

“පිස්සුද මොන අයි.ඕ.සී ද? මිනිහා ටෙලි කොම් එකේ..“

“ඔව්, ඔව්.. දන්නවද සමී.. පොර ගාව මොබයිල් ෆෝන් තුනක් තියෙනවා..“ බුද්ධික අයියා සෑමාවද කතාවට සැට් කර ගනී.

“ඇත්ත වෙන්න ඇති.. පොර ටෙලිකොම් නේ.. ඉතිං ෆොන් තියෙන්න එපෑ..“ ඒ සෑමාය.

“ඔව්.. මට ආරංචි වුනා අයි.ඕ.සී එකේ කියලා..“ ඒ බුද්ධික අයියාය.

“අයි.ඕ.සී වෙන්නෙ කෝමද බං.. ඒ මනුස්සයා මෑතක් වෙනකල්ම ටෙලිකොම්..“ සෑමාගේ අම්මා බුද්ධික අයියාව නිවැරදි කළාය.

“හරි.. හරි.. ටෙලිකොම් තමා.. ඒත් දවස් දෙකක් අයි.ඕ.සී හිටියා..“ ඒ බුද්ධික අයියාය.

“යකෝ.. අයි.ඕ.සී නෙවේ.. අයි.සී.යූ...“ සෑමාට වැඩේ නිවැරදි කළේය.

“මේකා විකාර කියවනවා.. මම හිතුවා අයි.ඕ.සී කිව්වේ පෙට්ටල් ෂෙඩ් එක කියලා..“

බුද්ධික අයියා ආ ගිය අතක් නොමැත..

*****

Written by sAm_ශ්‍රී_Perera_6:45pm_8/10/13

Monday, October 7, 2013

පැරදුනා මදි... - Hate Victories???




අලි පෙරහැර එන්නා සේ හිදිමි
උන් පාර පුරා දිව යන සුව විදිමි
ගුටි පෙරහැර යනතුරු මා නිදමි
උන් පස්ස නොබල දිව ගිය සුව විදිමී..



ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
තනතුරු බදා ඉමී..
හෝ..ඕහ්..ඕ...



පොලු - කොඩි බිම වැටිලා සේ දුටිමි
සිරිකොත ඇතුලේ අලි සේරම රකිමී
නිල් එලි මා රකිනා බව දනිමී
ඒ හන්දා මම ඉවසගෙන සිටිමී...



ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
දිනයක ජය ගනිමී.. 
හෝ..ඕහ්..ඕ...



ජනපති සේ වඩිනා හැටි දුටිමි
(කොත) ඇතුලෙන් පන්තේරු නැටුම් නටමි..
අලි රැල මා හැර යන බව දනිමි...
දිවි හිමියෙන් මයියා මා රකිමී...



ඒකට කමක් නැති
මා හට බියක් නැති
මයියා රැක ගනිමී
පක්ෂය වැඩක් නැතී..
හෝ..ඕහ්..ඕ...
හෝ..ඕහ්..ඕ...

Written by sAm_ශ්‍රී_Perera_7:05pm_07/10/13

වර්ථමාන අලි පෙරහැර හා සසැදූවගයි..

Thursday, October 3, 2013

අමතක වීම්... Absent Minds... !!!


චක්කර කොළ නම් ෆිල්ම් එකක් සොයන්නට ගිය අපේ බුද්ධික අයියා මෑත භාගයේ තවත් වැඩක් කළේය. ඒ සෑමා කමියුනිකේෂන් එකට ගිය අවස්ථාවකය. කමියුනිකේෂන් එක දාපු අලුත බුද්ධික අයියා හන්දියට ගියේ ෆුට් සයිකලේය. ගෙවල් ලග ඉදන් කන්ද පල්ලමේ පැඩල් එක ගසන්නට වත් වේලාවක් නැතිව නිකන්ම හන්දියට ගිය විට කමියුනිකේෂන් එකය. ඒ කියන්නේ පට්ට නියුට්‍රල් එකක්ය. ඒ තරමට කම්මැලි කමේ බයිසිකලේම හන්දියට යන බුද්ධික අයියා හති දාගෙන කන්ද පැත්තට පාගමින් ගෙදර එන්නේ දහවල් කෑමටය. දිනක් පොර හන්දියට ගියේ බයිසිකලේය. ඉන්පසු දහවල කෑමට ගෙදර විත් ගෙවල්, මිදුල් පෙරලමින් බයිසිකලේ හොයන්නට වූයේය. මිදුලේ නවතා තැබු බයිසිකලය කෑම බීම අහවර වී එලියට බහින විට අස්ථාන ගත වී තිබුනේය. අපිද සපෝට් එකට එලියට බැස බයිසිකලේ හෙව්වෝය.

වෙනදාට බයිසිකලය ඉල්ලාගෙන යන අයට කතා කරමින්ද, වෙනදාට නවත්වන තැන් වල අමතක වී නවත්වා ඇතිදැයි බලමින්ද, පැය දෙකක පමණ මෙහෙයුමක් දුන්නෝය. ඒ අතර සැලුන් එකට ආ එකෙක් බයිසිකලේ උස්සලාද කියා පරීක්ෂන පවා ඇරඹුනේය. අවසන අපි හිත හදා ගන්නට සහ බුද්ධික අයියාගේ හිත හැදීමට කටයුතු ආරම්භ කලෝය. “මේක අතෑරලා දාමු අපි හොරා හොයා ගමු“ සෑම අයෙකුගේම මුවින් පිටවූයේ එවන් වදන්ය. බුද්ධික අයියාද කාපු බත්ටික දිරවන්නට තරමේ වෙහෙසක් වී නැවත කමියුනිකේෂන් එකට ගියේ කැඩුනු සිතින්ය. එසේ ගොස් මොහොතකින් අපේ ගෙදරට කෝල් එකක් ආවේ බුද්ධික අයියාගෙන්ය. “මෙන්න බයිසිකලේ තියෙනවා“ ලෙස ඔහු කී පසු අපේ සැට් එකම එතැනය. සෝදිසියෙන් පෙනී ගියේ බයිසිකලය හොරු අරන් ගොස් නොවන වගත්, බුද්ධික අයියා බයිසිකලය හන්දියේ තබා ගෙදරට ඇවිත් ඇත්තේ පයින් බවත්ය.

සෑමා මීට පෙරද මෙවන් අමතක වීම් ගැන ලිපියක් ලියුවේ මතක අමතකද? කමක් නැත ශීර්ෂය යටතේය. මේ ලිපිය ලියවෙන්නට හේතු වූ කරුණ වාර්ථා වන්නේ අපේ මාමාගේ නිවසින්ය. ඒ කියන්නේ අම්මාගේ මල්ලීය. මතක අමතක ලිපියේද නිව්ටන් අංකල්ගේ කණ්නාඩි කුට්ටම් සීට් එක යටින් මතුවන අමුතු සීන් එකක් සෑමා ලියුවේය. මේ ස්ටෝරියද කණ්නාඩි කුට්ටමක් ගැනය. ඒ අපේ මාමාගේය.

දිනක් මාමා අපේ ගෙදර ආවේය. අම්මා මොනවාදෝ කොල (මුකුණුවැන්නද මන්දා..) මිටියක් බෑග් එකක දමා මාමාට දී ඇත්තේය. මාමා අපේ කඩයට වී පත්තරයක් බලමින් සිටියදී එය අතට ලැබී ඇත්තේය. එය බයික් එකේ හැන්ඩ්ල් එකේ එල්ලාගෙන මාමා මෙහෙන් පිටත් වූයේය. ඉන්පසු නිවසේ සිටියදී කණ්නාඩි කුට්ටම සිහි වී ඇත්තේය. එය අපේ ගෙදර නැතිය. තිබූ තැනක්ද නැතිය. එහෙත් ගෙදරම තිබූ බව කියමින් මාමා ගෙදර එවුන්ගෙන් අසා ඇත්තේ කණ්නාඩිය ගැනය. දෙලෝ රත් වෙමින් ගෙදර උන් නිවනක් නැතිව කණ්නාඩිය සොයමින් සිට ඇත. දවසක්ම කණ්නාඩිය අතුරුදහන් වන්නට හේතු නැත්තේය. ගෙදර නැතිනම් පිට තැනක හෝ දමා ආ යුතුය. එසේ නම් කණ්නාඩි කුට්ටම අපේ ගෙදර තිබිය යුතුය. එහෙත් තිබුණේ නැතිය. පසු දින දහවල් කෑම පිසීම සදහා මුකුණු වැන්න කොළ මිටිය එලියට ගෙන ඇත්තේ ශීතකරණය ඇතුලේ තිබීමෙන්ය. එය හැර බලන විට කණ්නාඩි කුට්ටම අයිස් වී කූල් වී තිබුණු බව ආරංචිය.

අමතක වීම් ගැන තව කතා කිහිපයක් මතකයේ තබා ගනිමින් මේ පෝස්ට් එක ලියන්න ගත්තද, කොටස් දෙකකට ඩ්‍රාෆ්ට් කරමින් ලියු නිසා සෑමාට ඉතිරි කතාව අමතකය.

Written by sAm ශ්‍රී Perera_12:03pm_03.10.13
Related Posts Plugin for WordPress, Blogger...