අපේ එවුන් හීනියට ප්ලාස්ටික් කෑන් එහෙකට තට්ටුවක් දාගෙන සිංදු කියනවා. දවල් තිස්සෙ බඩගාගෙන ඉස්සරහට ගිහින්, මහ රෑ සීතලේ කොල්ලො ටික එකතු වෙලා සතුටු වෙනවා. ඒත් හෙමීට. ඉස්කෝලෙ කාලෙ වගේ, ගමේ වැව ලග සෙට් වුණා වගේ සද්දෙට කට ඇරල සිංදුවක් කියන්න බැහැ අපිට. සිංදුවක් කට ඇරල කියන්න බලාගෙන ඉන්නව නම් එදා ජීවිත කාලෙට කියන අවසාන සිංදුව කියල හිතාගෙන ගීතය සද්දෙට පටන් ගන්න වෙනවා. අපි ඉන්නෙ කොතැනද? කරන්නෙ මොනවද? කියල උන් බලන් ඉන්නෙ අපේ ආතල් කඩන්න නෙවේ. අපෙන් උන්ට තියෙන බාධාව කඩාගෙන අපේ රට ඇතුලටම රිංගන්න. උතුර කියල අපි පපුව ඉස්සරහට දාගෙන උන්ට සලකුනු කරල දීල තියෙන සීමාව කඩල දාල අපිව පාගගෙන ඉස්සරහට එන්න. ඇත්තට උතුර දකුණ වෙන්කරන සීමාව හැදිල තියෙන්නෙ අපේ ඉස්සරහම ඉන්න මේ කොල්ලො සෙට් එකෙන් කියල අපිට විතරයි හිතෙන්නෙ.
සුදු කොට රැලි ගවුම ඇදන් පාසල් ගිය කාලෙ වගේ... ටටා.. ටටා.. ටටා..
සුදු කොට රැලි ගවුම ඇදන් පාසල් ගිය කාලෙ වගේ...
හිනා වෙන්නෙ නෑ...
මට ඇහුනෙ ඒ වචන ටික විතරයි. ඒත් ඒ වචන මාව අතීතෙට උස්සගෙන ගියා. ආයුධ උස්සගෙන දඟලන මම, එදා මගෙ කෙල්ලගෙන් ආදරේ ඉල්ලන්න කොච්චර පරක්කු වුණාද? ඒකි හිනා වෙවී ආදරේ ඉල්ලද්දි මම ඒක කියා ගන්න බැරුව කොච්ච නම් හැරිල ආවද? අපේ එවුන් බැන්න. උබ අහන්නෙ නැත්තං, අපිව පච නොකර නිකං ඉදපං. අපිට බෑ තවත් පස්සෙන් ඇවිත් සපෝට් කරන්න. උන් එහෙම කියද්දි මම හිතට දහිරියක් නැතුව ඒකි වටේ කැරකුණා. මම දැනන් හිටිය කොට, සුදු, ගවුම ඇදන් හිටපු ඒ කෙල්ල අද මගේ පුංචි කෙල්ලගෙ අම්ම වෙන බව. පොඩි එකී අම්ම එක්ක රෑට බත් කනව ඇති. මම ආදරේ කරන කාලෙ, හිතේ හයිය එන්න පටන් ගත්ත කාලෙ, පොඩි එකීගෙ අම්මට පුරුදු කළා රෑට තරු දිහා බලන් කතා කරන්න. එයා ෆෝන් එකෙන් කතා කරනව, අපි අපිට පේන එක පොදු තරුවක් දිහා බලාගෙන කතා කරනව. සමහර විට එයාට පේන තරුව දිහා නෙවේ වෙන්න ඇති මම බලන්නෙ. ඒ පුරුද්ද දැන් පොඩි කෙල්ලට ඇවිත්. ඒකි රෑට බත් ගුලි ගිලින්නෙ තරු දිහා බලාගෙන. රෑට කන්නෙ නැති කෙල්ලට කන්න පුරුදු කළේ අපේ දරුවගෙ අම්ම එහෙම තමා. අන්න දුවේ තාත්ත අර තරුව දිහා බලාගෙන කැලේ යුද්ධ කරනව. පුතා ඒක දිහා බලාගෙන කෑවොත් තාත්තගෙ බඩ පිරෙයි. එහෙම කියද්දි කෙල්ල එක කටක් නෙවෙ දෙක තුනක් එක පාර ගිලින්න හදනව. තාත්තට හයිය එන්න මම කන්න ඕන අම්මෙ. තාත්ත අපි නිසා නෙවෙ, රටක් නිසා නේ එහෙ මිනී මරන්නෙ.
අපෙ කෙල්ලට මම මිනී මරුවෙක්. ඒ කෙල්ල හිතන හැටි. මම කැමති නැහැ එහෙම කියනවට. ඒත් කෙල්ල ලොකු වුණාම ඒකිට කියල දෙන්න වෙනවා අම්මගෙ ආදරේ ඉල්ලන්න බැරුව හැංගුණු මම එච්චර දරුණු මිනිහෙක් නෙවෙ කියල. මේ ගල් හිත අපේ එවුන් මැරෙද්දි තව තවත් ගල් වෙනවා. නැත්තං උන්ව බදාගෙන එතැන අඬන්න ගියොත් අපේ පොඩි කෙල්ලට තාත්තවත් නැතුව යනව. උන් මැරෙද්දි ඒ හයිය හිතට අරන් අපේ එකාව මරපු එකාගෙන් පලි අරන්, අපේ එවුන් ආරක්ෂා කරන්න දඟලන දැඟලිල්ල මේ ඇඟට හිර වෙලා තියෙන තුවක්කුව තමා දන්නෙ.
“මොකෑ බං කල්පනා කරන්නෙ..“
“කෙල්ලව මතක් වුණා බං..“
“හිතන්න එපා මචං.. ඕකනේ අපි කෙල්ලො සැට් කරගන්නෙ නැතුව ඉන්නෙ..“
“පල යන්න.. උබලට කෙල්ලො සෙට් වෙන්නෙ නැහැ කියල අපි මොනව කරන්නද? අනික සෙට් වෙලා එකතැන් වුණ දාට උඹලට තේරෙයි මේකෙ රස..“
“ලොරි ටෝක් එපා මල්ලි.. යමු කට්ටිය ඉන්න පැත්තට.. ඔහොම ඉන්න එපා බං..“
“හරි බං.. මම ටිකකින් එන්නම්.. කෙල්ලට අකුරු කියවන්න තියෙනවා. මට ඒව මතක් වෙනව බං..“
“හරි උඹ ඉක්මනට ඒ පැත්තට වරෙන්කෝ..“
-මතු සබැඳි
Written by sAm_ශ්‍රී_Perera_7:44am_26/11/13
-මතු සබැඳි
Written by sAm_ශ්‍රී_Perera_7:44am_26/11/13