Sunday, May 27, 2018

බේබද්දන්ව බේරා ගතිමි.. - For the name of the Dopers !!




#බීමත්කමේ_දුර්විපාක

දුක කාටද
කාළකන්නිකම කාටද
අඬදබර කාටද
නිකරුනේ තුවාල කාටද
රතු ඇස් කාටද
#බීම_බෝතලය_ලඟ_පමාවෙන_මිනිසාටය
තව තවත් බොන්න යන මිනිසාටය
මඨ්‍යසාර රතට රතේ
දිලිසෙන විට..
වීදුරුවෙහි පෙන දමන විට
ලස්සනට වැක් කෙරෙන විට
#ඒ_දෙස_දෙස_නොබලන්න

නැත්නම්..
අන්තිමේදි එය
නයෙකු මෙන් සපා කයි
පොළගෙකු මෙන් දෂ්ඨ කරයි
එවිට ඔබේ ඇස් ⁣අද්භූත දේ දකි
ඔබේ කට විලම්බීත දොඩවයි
එවිට ඔබ...
මුහුද මැද ඒ මේ අත
පෙරලෙන කෙනෙකු මෙන්ද
කුඹ ගස මුදුනේ
නිදන්න හදන කෙනෙකු මෙන්ම වනු ඇති
එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත

"ඔවුන් මට පහර දෙන්නට ඇත
නමුත් මට රිදුනේ නැත
ඔවුන් මට ගසන්නට ඇත
නමුත් මට දැනුනේ නැත
කොයි වේලේ මා අවධි වෙයිද..?
එවිට මම තව උගුරක් බොමි".....


- කතාකරන පන්හිදේ බොන උන්ට එදිරිව ලියූ පද වැලක් ඉහත දැක්වෙන්නේය. බීලා අඩි පොලේ ගහන උන් හිටියේ ඉස්සරය. බොන හැම එකාම බේබද්දෝ ගානට වැටුනේ ඉස්සරය. දැන් එහෙම විය යුතු නැතිය. අඩියක් ගසා සැපේ ඉන්නා උන බෝය. කාටවත් කරදරයක් නැතුව, වෙනදාටත් වඩා වටේ පිටේ උන් එක්ක සතුටින් ඉන්නා උන් බෝය. ඉතිං සෑමා රිටර්න් එක දුන්නේ මෙහෙමය. කවියෙන්මය.


ඉස්සර වලිය,
අල්ලපු ගෙදරින් නැගෙන..
අංකල් බීමත් ය,
වැඩ ඇරී ගෙදර එන..
ඇන්ටී ඇඳිවතය,
ගුටි සමග නිවසින් පිට කෙරෙන..
දරුවන් කදුලෙන් ය,
ඉගෙනුමට තිත තබන..

අංකල් පුතුය,
දැන් ඒ නිවසෙම වෙසෙන..
හවසට පාටිය,
බෝතල් කිටි කිටි හඩ ඇසෙන..
ඔහුගේ වයිෆ් ය,
බයිට් මික්ශර් හදන..
එනමුදු සතුටින් ය,
වලියක් නොම ඇස ගැටෙන


Written_by_sAm_ශ්‍රී_4:15pm_27/05/2018

Thursday, May 24, 2018

බෑ කියනවාට වඩා හා කියනවා පහසුය.. - Easiest Way to Love !!


ඉස්සර කෙල්ලෝ මැටිය. අමුම අමු මැටිය. කොල්ලෙක් ලියුමක් දුන්නොත් බනිනවාය. එක්කෝ ඔරවනවාය. නැති නම් දන්න අයියලා බස්සලා ගස්සනවාය. කොල්ලා කොයි තරම් හැකියාවක් තිබ්බත් කෙල්ලගේ අයියා ගැහුවොත් ඉවසනවාය. ගහපං අයියේ මම අනුකම්පාවෙන් හෝ ඒකිව සැට් කර ගන්නවා කියා ඉන්නවාය. ඒ කෙල්ලගේ සීයා ආච්චි ඇවිත් ගැහුවත් එහෙමය. කොල්ලා දරාගෙන ඉන්නවාය. ඉන්පසු කෙල්ලගේ හිත උණු වෙනවාය. තෙල් තාච්චියට දැමු වතුර බිංදුවක් මෙන් කෙල්ලම ඇබරිලා ඇවිත් කොල්ලා සිප සනසනවාය. ක්ෂණිකව නොවන දෙයක් නොවේය. ඒත් කාලයට ඉඩදී තුවාල වේලෙන්නට, තැල්ම මැකෙන්නට, ඉඩ දුන්නාම කෙල්ල අතේය. ඉන්පස්සේ කෙල්ලට බූට් එකය. අර ගහපු අයියා, ආච්චි හෝ සීයා ඇවිත් කෙල්ල සමගම වැද වැටෙනවාය. අවුල්ය. ඒත් එව්වා දෛවයේ සරදම්ය. පව් ය.

එහෙමත් නැතිනම් වෙන්නේ කෙල්ල ලියුම අරගෙන මිසින් වෙනවාය. කොල්ලා රිප්ලයි එනකල් බලා සිටින්නේය. ඒත් කෙල්ල පිට පාරේ ගෙදර යනවාය. කොල්ලාට එපා වෙනවාය. ඉතිං එක්කෝ ඌ ඒකි වෙනුවෙන් තනිකඩව බලා සිටිනවාය. එක්කෝ ඒකත් එනතුරු බලාගෙන ඉන්නා ගමන් තවත් එකක් කරලා බලනවාය. කෙල්ල විභාග අහවර වී කැම්පස් යන්නට ලෑස්ති වී අර කොල්ලාව හොයනවාය. ඒ යාලු වෙන්නටය. එක්කෝ අරූව ආයේ ෆෝම් කර වචනයක් නැවතත් ගන්නටය. එතකොට කෝච්චිය ගිහින්ය. එක්කෝ කොල්ලා තවමත් තනිකඩවය. නැතිනම් කොල්ලා දරු පවුල් කාරයෙක් වෙලාය.

සමහර කෙල්ලෝ කරන්නේ ලියුම අරගෙන රිප්ලයි නොදී අරූව තවදුරටත් මෝල් කිරිමය. ඌ ඇස් දල්වාගෙන හැමදාම මහ මඟය. අරකී ඇස් කරකවා පද්දලා හා අයියේ කියලා ලයින් එකක් දෙන්නීය. කොල්ලා ෆුල් සැටිස්ය. හැම එකාටම කියන්නෙ වැඩේ හරි කියලාය. කෙල්ල ඌව තියාගන්නේ සමාජයට තමන්ට ඇති ක්‍රෂ් ප්‍රමාණය අති මහත් බව පෙන්වන්නටය. කොල්ලා හෙනම සීන් එකේ තනියම ආතල් එකක් ගන්නේ ඒකි හා කියනවා ෂුවර් බව හිතේ තියාගෙනය. හැබැයි කෙල්ල ගේම ගොඩ දා ගන්නවාය. කොල්ලා ඒකි හරි තමා කියමින් වෙන එකක් වත් බලාපොරොත්තු නොවී ඉන්නවාය. එක්කෝ කලින් කිව්වාක් මෙන් තව එකක් කරගන්නා බුද්ධිමත් උන්ද ඉන්නවාය.

උඩ කී ආකාර සියල්ල ඉස්සර ජාතියේ උන්ය. එහෙම ලව් සෙට් වුනත් හෙන බෝරිං සීන්ය. දැන් වගේ ක්ෂණික රිප්ලයි නැති නිසා වැඩක් කර ගත් එවුන්ද අල්පය. ඒකට දැන් කාලේය. ලියුම් නැතිය. ක්ෂණික රිප්ලයිය. බෑ කියනා උන් නැහැය. ඩිමාන්ඩ් කරන උන් අල්පය. වැඩේ නැගලා යනවාය. සරලව කිව්වොත් මරා ගැනිලි නැත්තේය. දෙදෙනාම කතා බහය. එක්කෝ මීට් වෙනවාය. කාලයත් සමඟ ගැලපෙන උන් ඉතිරි වී නොගැලපෙන ලව් මග ඇරී යනවාය. ඒ ක්‍රමය ඉතා හොඳය. ඇරියස් නැතිය. උන් දෙන්නා දෙපැත්තට ගිහින් වෙන උන් බැදගත්තත් තරහවක්, වෛරයක්, ඉරිසියාවක් නැතිය. අන්න ඒක සැබෑ ආදරයය. ඒ අස්සේ ගොං පාට් ලව්ද නැතුවා නොවේය. 99%ක් ගිය එකා ගියාවේ, ආපු එකා එක්ක පවුල් කනවා කියා සිටින්නෝය. ඉතිරි 1% තමන්ගෙ එක කන ගමන් ගිය එකාගේ එකත් කන්නට, විනාස කරන්නට දඟලන්නෝය.



කැමති එකාට, පස්සෙන් එන එකාට, කෙලින්ම කතා බහ කර කැමතියි කීම හෝ ලඟින් තබා ගැනීම සරල සහ ලේසිම ක්‍රමයය. ටික දිනකින් කොල්ලා කෙල්ලගේ තරම තේරුම් ගෙන එක්කෝ ඈත් වෙනවාය. නැති නම් ඔන්න ඔහෙ ඕන මඟුලක් කියා ඒකි එක්කම ඉන්නවාය.

sAm_ශ්‍රී_9:34pm_24/05/2018

Monday, May 21, 2018

ත්‍රීවීල් සහ පරිකල්පන මෙව්වා එක... SL Tuk Tuk Habits !!


ත්‍රීවීල් අයියලා මරුය. එයාලා කරන්නේ සමාජ සංවර්ධනයක්ය. අපි ඉස්කෝලෙ ගියාට පස්සෙ මොලේ කල්පනා කළේම නැතිය. විභාගයකට ඇරෙන්නට අපි මොලේ කල්පනා කරන්නේ බොහෝ අඩුවෙන්ය. ඒ මොලය බ්‍රෑන්ඩ් නිව් තත්වයෙන් පවත්වා ගැනීමටය. කල්පනා කළොත් අපරාදේය. එක්කෝ බරටම කල්පනා කර, ප්ලෑන් කර වැඩක් කළොත් මොලේ කල්පනා කර කෙරුවාට වඩා හොදින්ම අල වෙනවා ෂුවර්ය. ඒ තරමට අපේ මොලේ අපිටම ගැලපෙනවාය. ඉතිං ඉස්කෝලේ ගියාට පසු පාවිච්චි නොකළ සෑමාගේ  මොලය පාවිච්චි කරවන්නේ ත්‍රීවිල් අයියලාය. එමඟින් සෑමාගේ පරිකල්පන මෙව්වා එක ඉතා ඉහළ මට්ටමක ඇති බව කිව යුතුය.



අද උදේ සෑමාට ඉදිරියෙන් ගිය ත්‍රීවීල් එකේ අයියා මාරම ඩෑල් එකක්ය. හෝන් එකසිය එකක් පමණ නාද කළේ ඊයේ දහම් පාසැලට දාන්නට ගිය දරුවා අද රැගෙන යන්නාක් මෙන්ය. ඒ හෝන් එක වාර එකසිය එකට නාද වූයේ රටා එකසිය එකකින්ය. මෑන්ස්ට සෑමා ඉඩ දුන්නේය. ඉස්සරහින් ආ ටිපර් එකේ අයියාද ඉඩදුන්නේ පුංචි උනත් හරිම සැරයි ත්‍රීවීල් ඇටේ කියාගෙන විය යුතුය. සෑමාට රවාගෙන ඉදිරියට ඇදුන ත්‍රීවීල් අයියා වම්පැත්තට සිග්නල් දමාගෙනම ගියේය. සෑමාව ඉස්සර කළේද මෑන්ස් වමට සිග්නල් දාගෙනය. මොහොතකින් සෑමාට තත්වය වැටහුනේය. පාන්දර මේ අයියා කරන්නට යන්නේ සෑමාගේ පරිකල්පන ශක්තිය උරගා බැලීමක්ය. ඉතින් දැන් කල්පනා කළ යුතුය. එක්කෝ මෑන්ස්ගේ සිග්නල් ලයිට් ඩිෆෝල්ට් එන්නේ එහෙම විය යුතුය. ඒක නම් කොහෙත්ම විය නොහැකි බව සෑමා තනියම සිනා සෙමින් ප්‍රතික්ෂේප කළේය. කල්පනා කරමින් සෑමා බෙන්තොට බේක හවුස් ලඟ නැවැත්තුවේය. එක්කෝ ප්ලේන්ටියක් බොමින් කල්පනා කළ යුතුය.

ඇතුලට යද්දී ත්‍රිවිල් අයියාද එතැනය. පොර තකහනියේ ඇවිත් ඇත්තේ මාළු බනිසක් ගිලින්නටය. මෑන්ස්ට ගැස්ට්‍රයිටිස් විය යුතුය. හදිසියේ පැමිණ කෑම කෑවාට පව් නැතිය. හැබැයි පාන් පිටි කන එක නම් වැරදිය. යන්නට තිබුණේ මාතර බත් කඩයකට මිසක බෙන්තොට බේක් හවුස් නොවේය. හයිවේ දාන්නට තිබ්බා නම් ත්‍රිවිල් අයියා මාතර හෝ ගොස් බත් කඩයක් හොයා ගන්නවා ෂුවර්ය. මෑන්ස් අර මරුමුස් මුහුණ ම නැවත සෑමාට දැම්මේය. බනිසක් ප්ලේන්ටියක් සමඟ අයියාගේ මේසය මතම ඉදගත් සෑමා මෑන්ස්ට ටෝක්ස් කළේය. බලනකොට මෑන්ස් සපුගස්කන්දේය. අතුරු පාරකය. සෑමා පාර දන්නේ නැතිය. හැබැයි එක වචනයෙන් සෑමා මෑන්ස්ව අදුරනා තැනට කතා කළේය.

"ඔව් අයියේ ඔයෑලෑ මිඳුලෙන් පාරට දාලා වමට දැම්මාම හරි නේද?"

ත්‍රිවිල් අයියා ෆොක්ස් වීය. අන්න හරි මල්ලි. එතැන තමා අපෙ ගේ. සෑමා ගේ පරිකල්පනය දැන් දියුණුය. අර වමට දැමූ සිග්නල් එක, අයියා හැමදාම උදේට ගෙදරින් එලියට බහිනකොට දාන සිග්නල් එකය. ඉතිං අයියා වැරදි නැතිය. උදේම දාන සිග්නල් එක නිවන්නේ හවසටය. ත්‍රිවිල් වල හැන්ඩ්ල් එක කැරකෙව්වාට සිග්නල් ලයිට් ඕෆ් නොවනාව ඇතිය.

කඩෙන් එළියට බැස කිරිබත්ගොඩ පැත්තට යද්දී ඉදිරියට එන හැම එකාම හෙඩ් ලයිට් ගහනවාය. ටිකක් සැලකිලිමත් විය යුතු සීන් එකක්ය. ඉරි නොකැපිය යුතුය. සෑමා එකින් එක තමා සතු වැරදි මෙනෙහි කළේය. ලයිසම, ඉන්ෂුවරන්ස් සියල්ල හරිය. ආදයම් බලපත්‍රය හරිය. ඒත් වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවා නැතිය. අල්ලනවා නම් අල්ලා දඩ ගැසිය නොහැකි සීන් එකක්ය. වාතයක් වී යවන තරමේ වැරැද්දක්ය. කෝකටත් අයිනට කර වාහනය නවත්වා ගත් සෑමා ඉදිරියට ආවේ හෙඩ් ලයිට් දෙකම ගසා ගත් වීල් එකක්ය. හම්මට උඩු සුනිර අයියාය. සැලුයුට් එකක් ගසා සෑමා ඩෑල් එක පාරේ එහා පැත්තේ නවත්වා ගත්තේය. 

"මොකද පොලිසියෙන් ඉන්නවද ඉස්සරහ?" 

"නැහැ බං.. මම මේ දැනුයි පාර්ක් එකට යන්නේ.."

"අහ් ඊයේ මහ රෑ වෙනකල් හයර් සෙට් වුණා නේද??"

"ඔව් ඕයි ඊයෙ මරු.. කෝමද දන්නෙ??"

"ඒක තමයි හෙඩ් ලයිට් තාම ඔන්.. "

සුනිර අයියලා පවා වැඩ කරන්නේ සෑමාගේ පරිකල්පනය වැඩි දියුණු කිරීමටය. අන්න මිනිස්සුය. ඉස්කෝලෙ ටීචර්ලා වත් අපේ පරිකල්පන මෙව්වා එක ඔප්නැංවුයේ නැතිය. සුනිර අයියා විස්සාස කර ඉදිරියට යා හැකිය. වීල් එකක් අමුතු වදනක් තිබුණොත් සෑමා යන ගමන් වුවද ෆොටෝ එකක් ගසා ගන්නට මැලි නොවන්නේය. සමහර වීල් වල වදන් බොහෝය ඡේද කිහිපයකට එකතු කර ලිව්වොත් ශිෂ්‍යත්වයට වචන් 150කට නොඅඩු රචනාවක් ගොඩ දමා ගැනීම අපහසු නැතිය. එහෙව් වීල් එකක් සෑමා ඉදිරියෙන් ය. සෑමා ක්ෂණික ෆොටෝ එකක් ගසා ගත්තේ ට්‍රැෆික් එකේදී වදන් දහයක් කියවා ගත්තද තවත් වදන් අසූ අටක් පමණ ඉතිරිව තිබූ නිසාය. තවත් පිටුපසින් සිට වාක්‍ය කියවිය නොහැකි විය. සෑමාට දකුණු තීරුවේ ඉඩක් ලද නිසා ඉදිරියට යන්නට සිදු විය. වීල් එකේ අයියා සහ සෑමා එක කෙලින් තීරු දෙකකය. පොර ආතල් එකේය. සිනා මුවින්ය. සෑමා ෂටර් එක විවෘත කර තම පරිකල්පන හැකියාව මැන බැලුවේය.

"වදන් නම් වදන් ඔව්වා තමා මචං.."

"කෝමද හොදයි නේද?? මගෙ එව්වා.."

"ඒකනෙ කියන්නෙ.. අයියාට ස්ටිකර් ගහන යාලුවෙක් ඉන්නවද??"

"අහ ඔව් ඔව් තොරණ හන්දියෙක අහවල් ෂොප් එක මගෙ යාලුවෙක්ගෙ, මම වදන් දුන්නම උෟ ලෙසටම ගහල දෙනවා.."

සෑමා හරිය. තමන්ගේ පරිකල්පනය උපරිම මට්ටමක ඇත්තේය. තව දුරටත් පරිකල්පන මෙව්වා එක මැන බැලීම තවත් ප්‍රශ්න වලට අත වැනීමක් විය හැකි යැයි උපකල්පනය කළ සෑමා පරිකල්පන නිවැරදි දැයි විමසා බැලීම නවතා දැමුවේය.

Written_by_sAm_ශ්‍රී_9:45pm_21/05/18


Friday, May 18, 2018

බලාපොරොත්තු.. - Hopes !!


උබට මේ මොහොතේ බලාපොරොත්තුවක් තියෙනවද?

ඇත්තටම මටත්, ඔබටත් මේ මොහොතේ බලාපොරොත්තුවක් නැතිය. මේ කියන්නේ ඉරහද අල්ලන තඩි බර බලාපොරොත්තු ගැන නොවේය. සරල සුන්දර ඒවා ගැනය. ලබා ගත හැකි එව්වා ගැනය. ගෙවල්, දොරවල්, යාන වාහන, විවාහ යනු බරපතල බලාපොරොත්තුය. එව්වා ගැන කතා කිරීම වැඩක් නැතිය. ඒත් ඉස්සර අපිට සරල සුන්දර බලාපොරොත්තු තිබුණු බව සිහි කළ යුතුය. දැන් එව්වා නැතිය. එව්වා අපි ඒ කාලේම ලබා ගත්ත බව සැබෑය. නමුත් එවැනි සිහින තවත් නැතිය.



ඉස්සර ඉස්කෝලෙ යන්නේ සෙල්ලම් කරන්නටය. කෑම එක ඉන්ටර්වල් එකට පෙර හොරෙන් කන්නේ ඉන්ටර්වල් එක වැඩිපුර ලබා ගන්නටය. වෙලාව ඉතිරි කර ගන්නටය. ක්‍රිකට් ගහනවා නම් යන්නේ බලාපොරොත්තුවකින්ය. වැඩි වෙලා බැට් කරන්නටය. එක්කෝ වැඩිපුර විකට් ගන්නටය. එව්වා බලාපොරොත්තුය. ඉස්සර අපිව ජීවත් කළ එව්වාය. කාලය යන බව නොදැන සිටින්නට අපි රඳවා ගත් සුන්දර බලාපොරොත්තුය. 

විටක යාලුවෙක් පහුවදා ඉස්කෝලය රැගෙන එන ටීවී ගේම් එකක්, ප්ලේස්ටේෂන් හෝ ගේම් සීඩි එකක් එනතුරු බලාපොරොත්තුවෙන්ය. ඉන්පසු එය අතට ගත් පසු ගෙදර යන තෙක් බලාපොරොත්තුය. ඉක්මනට බෙල් එක ගසන තුරු සිටින්නේ ගෙදර දුවන්නටය. එව්වා බර නැතිය. සුන්දරය. ඉටු කර ගත් බලාපොරොත්තුය.

දැන් එව්වා නැතිය. ඉස්සර ටීවි එක පවා බලාපොරොත්තු ගුහාවක්ය. සරල එව්වාය. ටෙලි ඩ්‍රාමාය. පටලැවිල්ල ආනන්ද වික්‍රමගේ ගේ නියම නාට්‍යයක්ය. සතියකට එක දවසක්ය. අද ඉවරවෙන නාට්‍ය ලබන සතියේ මේ වෙලාවටම බලන තුරු ඇඟිලි ගැනිල්ලක්ය. සුන්දරය. ඉටුවන එව්වාය. බලාපොරොත්තුය. ඉස්සර එවැනි ටෙලි ඩ්‍රාමා බහුලය. මායාබන්ධන මේ සතියේ අහවර වී ඊළඟ සතිය වෙනතුරු බලා සිටින්නේ බලාපොරොත්තුවෙන්ය. ලබා ගන්නටය. කාටවත් හානියක් නැති ආශාවන්ය. අපි නොදන්න ලයිව් කාලයක් ඉරිදා දහවල ගියේය. දහම් පාසැල් ඇරී ගෙදර දුවන් එන්නේ බලාපොරොත්තුවෙන්ය. ඉවර වෙන්නට පෙර බලන්නටය. පුංචිම කාලේ ඩේන්ටී රස පැන පවා බලාපොරොත්තුවක්ය. මෑතකදී නම් සෙනසුරාදා වෙනතුරු නොවිසිලිමත් වූයේ කූඹියෝ නිසාය. දැන් එහෙමවත් එකක් නැතිය. බලාපොරොත්තු නම් දැන් ටීවි එකේ ඇත්තේම නැත්තේය.

ඉස්සර අප්‍රේල් නිවාඩු කාලයය. අවුරුදුය. ඔන්චිල්ලාව පවා බලාපොරොත්තුවක්ය. අද රෑ නිදා ගන්නේ හෙට උදේම නැඟිට ගොස් ඔන්චිල්ලාවට ගොඩ වෙන්නටය. අගෝස්තු නිවාඩුවත් එසේමය. සරුංගල්ය. සරුංගලය හැදූ දා සිට නින්දට යන්නේ හෙට නැඟිට ආයේ සරුංගලය යවන බලාපොරොත්තුවෙන්ය. අද නූල් බෝලය ඉවර වෙනතුරු දුන්නේ නම් හෙට ඩොට් වෙන්නට යැවිය යුතුය. තවත් බෝලයක් ගැට ගැසිය යුතුය. දකුණට බර වැඩිය. පස්ස බර මදිය. ප්‍රශ්නය. හෙට නැවත පිළිසකර කළ යුතු බලාපොරොත්තුය. එව්වා සුන්දර ඒවාය.

එක්කෝ සර්කිට් කැබැල්ලක්ය. හෙන ප්‍රොජෙක්ට් එකක්ය. කෑලි ටික රැගෙන ආ තැන සිට එකලස් කර සර්කිට් එක වැඩ කරවන තුරු බලාපොරොත්තුය. එක්කෝ ඩෙසක්ටොප් මැෂින් එකක්ය. හාඩ්වෙයාර් වැඩය. ෆෝමැට් එකක් ගැසීම පවා බලාපොරොත්තුවක්ය. හෙනම එක්ස්පෙරිමන්ට්ස්ය. ආතල්ය. සුන්දර බලාපොරොත්තුය. එක්කෝ අලුත ඉන්ස්ටෝල් කරගත් සොෆ්ට්වෙයාර් එකක්ය. නිර්මාණයක් කරන තුරු බලාපොරොත්තුවක්ය. දැන් ඇප්ස්ය. එහෙව් ලොකු බලාපොරොත්තු නැතිය. අපිට කරන්නට තරම් දෙයක් කිසිම තැනක ඉතිරි කර නැතුවා වාගේය.

සැනසිල්ලේ කල්පනා කර බැලිය යුතුය. දැන් අපිට පොඩි එව්වා නැතිය. ලොකු බරපතල විනාසකාරී ඔලුව කන බලාපොරොත්තු පමණක්ය. පොඩි පොඩි ලබා ගත හැකි ආකාරයේ බලාපොරොත්තු කාටවත් නැතිය. හදා ගත යුතුය. සිත නිවන, ලබා ගත හැකි සුන්දර සරල බලාපොරොත්තු කිහිපයක් ලං කර ගත යුතුය. කාටවත් කරදරයක් නැතිය. කාලය සුන්දරව ගෙවා දැමිය හැකිය.

Written_by_sAm_ශ්‍රී_9:36pm_18/05/2018

Sunday, May 13, 2018

මදර්ස් ඩේ ලු.. - Mother's Day !!


නිදහස් දාට රට ජාතිය මතක් වෙන උන්ය. වෙසක් දාට බුදු වෙන්න හදන උන්ය. පොසොන් දාට ඉන්දියාවෙන් බුද්ධාගම රැගෙන ආවාට මිහිඳු හිමිට සහ ඉන්දියාවට තෑන්ක්ස් කියන උන්ය. වැලන්ටයින්දාට ලව් කරන සිල් කඩන උන්ය. මව් වරුන්ගේ දිනයට ෆොටෝ දාන උන්ය. පියවරුන්ගේ දිනය මතක නැති උන්ය. හැමදාකටම බැන ඡන්දය දාට ගිහින් ආදරෙන් කතිරෙ ගහන උන්ය. අපි සිරිලංකාවේ උන්ය. 

සෑමා මව්වරුන්ගේ දින පියවරුන්ගේ දින වලට පෝස්ට් දාන එකෙක් නෙවේය. එහෙත් මේ ඊයේ සිට තාමත් අත් දකින නිසා හොඳට දැනෙනා දෙයක්ය. ලිව්වාට පව් නැතිය. නොසලකනා උන්ට දැනගෙන හැදෙන්නටය. 



පොඩි සෑමාට ඊයේ සවස සිට උණය. සවස හතරේ සිට තාමත් නොනැවතී සීයෙන් පහළට නොබසින උණක්ය. කිටියා ඉපදී දවස් හතක් වත් නැති පොඩි එකී එක්ක එක පොරයක් ය. කිටියාගේ අම්මා මෙන්ම, සෑමාගේ අම්මාද අවුලෙන්ය. කොල්ලා ඈලිමෑලිය. කතා නැතිය. වැටුන තැන කෙදිරි ගාමින්ය. උණ වැඩිවී පොඩි කාලේ ෆිට් එක ආව නිසා එකසිය දෙකට උණ දිගට තිබියදී බය වැඩිය. රෑ වෙද්දී බය වැඩිය. හදිස්සියක් වුණොත් ගෙදර ඉන්න එක බයය. කෑමත් බීමත් නැතුව කොල්ලා එලෙසමය. කිටියා කෙල්ල සමඟ සටනේය.

රෑ 11ට පමණ එකසිය දෙක පන්නලා උණ වැඩි වුණ පසුව බලා ඉන්නට බැරි තැන උදා වූයේය. කිටියාට හොස්පිට්ල් යා නොහැකිය. හවස ගත් බෙහෙත් වේල කොල්ලා දොට්ට දැම්මේ අප්පිරියාවෙන්ය. එතැනින් එහාට බෙහෙතක් ඇඟට නැතිය. කොල්ලාව ඔසවා ගත් සෑමා කිටියාගේ අම්මද දමාගෙන හේමාස් එකට ගියේ ගෙදර තියාගෙන උණ වැඩි වේ යැයි බයේය. පැනඩෝල් සිරප් කොල්ලාට ආන්සර් කරන්නේ නැතිය. කැල්පෝල් දුන්නේ ඒකය. ඒකත් වමනය කළේය. සපොසිටරි එකක් දැම්මේ උණ බහින්නටය. රෑ දෙක වෙනතුරු හොස්පිට්ල් එකේ පාර්ක් කරගෙන, පාන්දර දෙක තුන වෙනතුරු තියාගෙන ගෙදර ආවේ ඇඩ්මිට් කර සිටින්නට බැරිම තැනය. ඇඩ්මිට් කළොත් කිටියා සහ කෙල්ල ගෙදරය. සෑමා සමඟ කොල්ලාට ඉන්න සිදුවන්නේය. හෙට දවසේ වැඩේ ශේප් වෙයි යැයි ගෙදර ආවේ හිත හදාගෙනය.

ඉතිං අද මව්වරුන්ගේ දිනයය. ඊයේ සිදුවීම සහ අද දවසේ කොල්ලාගේ ලෙඩේ වෙනුවෙන් වූ මහන්සිය හා වේදනාව අතීතයට ඇප්ලයි කළා නම් අපිට නම් දරා ගන්නට බැරිය. අපෙ කොල්ලාගේ සහ කෙල්ලගේ වයස ගැප් එක අවුරුදු තුනක්ය. ඒත් ඊයේ සිද්ධිය වෙලාවේ අපිට මැනේජ් කර ගන්නට බැරි තරම් අවුලක්ය. අපෙ අම්මාට අනුව නම් අක්කාගේ සහ සෑමාගේ වයස ගැප් එක අවුරුද්දක්ය. එහෙව් වෙලාවක එකෙක්ට අසනීප වුණාම කරන්නට වෙන හරිය මහ මෙරක්ය. දෙන්නා ගැනම බැලිය යුතුය. සෑමා ප්‍රශ්නය යොමු කළේ අම්මලාටය. කිටියා ගේ සහ සෑමාගේ අම්මා පිළිතුරු දුන්නේ ඒ කාලේ පහසුකම් සහ දැන් කාලේ පහසුකම් මනාවට ගැලපීමෙන්ය.

උබලට වගේ ඒ කාලෙ අපිට වාහන තිබ්බෙ නැහැ... දෙදෙනාම ගලපන්නට වූයේ පහසුකම් වල වෙනසය. රෑට අසනීප වුණොත් හදිස්සියක් වුණොත් ප්‍රයිවට් හොස්පිට්ල් වලට අරන් යන්න විදියක් නොතිබුණේය. දැන් කාලේ වගේ දිවා රාත්‍රී බෙහෙත් සාප්පු නැතිය. තාක්ෂණික සහය අවමය. දවාලක වුණත් දරුවෙක්ට හදිසි අසනීපයක් වී බෙහෙත් ගන්නට දොස්තර ලගට ගියොත් පෝලිමය. කලින් ඇපොයින්මන්ට් දැමිය නොහැකිය. හදිසි ලෙඩකට ගියත් පෝලිමේ සිටිය යුතුය. සමහර දාක අසනීපව දරුවන්ට බෙහෙත් ගන්නට ගියත් තාත්තා දැන ගන්නේ වැඩ ඇරී ගෙදර ආ පසුය. කෝල් කර කියන්නට වත් දුරකථන නැතිය. අඩියෙන් අඩියට දොස්තරලා ද නැතිය. එක දොස්තර කෙනෙක් නැති වුනොත් අනිත් කෙනා සොයන්නට සැතපුම් ගණන් යා යුතුය. විටක දොස්තර හොයන් යද්දී සමහර ලෙඩ නිකන්ම හොද වෙලාය. ටැප් එක ඇරියාම වතුර නැතිය. දර ලිපේ හෝ භුමිතෙල් ලිපේ කෑම හැදිය යුතුය. දරුවන් අසනීප යැයි එව්වා අහසින් පහළ වෙන්නේ නැතිය.

එකී මෙකී නොකී කතන්දර සියල්ල අසා අවසන, දැන් කාලේ නම් මොනවාදැයි සෑමාට සිතුණේය. මේ බ්ලොග් පෝස්ට් එක මේ මොහොතේ කියවන ඔබ ඒ කියන ලද එකම වේදනාවක් වත් තමන්ගේ කරගෙන විඳ නැති අයය. ඒ කියන්නේ ඔබට මට වඩා ඔවුන් දුක දන්නා බවය. දරුවන් එකෙක් දෙන්නෙක් හදන පහසුකම් පිරුණු අද දවසට වඩා අඩු පහසුකම් මැද දරුවන් තුනකට වඩා හැදුනු එදා ගැන සිතද්දී අපි මොක්කුද කියා සිතුණාට වැරදි නැතිය.

ඒවා මැජික් නොවේය. අපේ සද එදා අයගේ දරා ගැනීමේ හැකියාවේ මට්ටම්ය. අම්මලා තාත්තලා කරපුවා අපිට කරන්නට බැරිය. අද ඔබට එසේ සිතේ නම් හෙට ඔබේ දරුවාටද එසේ සිතෙනවා නොඅනුමානය. අද නොව දිනපතාම මව් පිය දිනය යැයි සිතා ඒ මොහොතේ ඔබගේ දෙමාපියන් සතුටින් තබන්න. එය ඔවුනට ඕනවාටත් වැඩිය සතුටක්ය. !!

Written_by_sAm_ශ්‍රී_Perera_9:15pm_13/05/18

Friday, May 11, 2018

විමල් - කරූ මැයි දිනය දහවෙනිදා සමරයි... - Serious May Day !!


මේ පාර කම්කරු දිනය අති මඤ්ඤංය. ලෝකයටම පළවෙනිදාය. ලංකාවට හත් වෙනිදාය. එජාපයට හය වෙනිදාය. විමල් මාමලෑ ගෙදරට ඊයේය. එනම් දහ වෙනිදාය. ඔය කවදා තිබ්බත් අන්තිමට කම්කරුවාට දිනයක් නැතිය. ඒ බව සෑමා ලිව්වේ පරණ බ්ලොග් එකකය. පළවෙනිදා කවුරුත් කම්කරු දිනය සැමරුවේ නැතිය. සැමරුවේ වෙසක්ය. වෙසක් එකට කැළණි පන්සල් වදින්නට ආ බැති මතුන් නිසා පළවෙනිදාත් කම්කරුවෝ වැඩ කළෝය. ඒ පන්සල වටේ තිබුණු කුණු එකතු කරන්නටය. හය වෙනිදා එජාප කම්කරුවෝ රැස් වූවෝය. ඒ දේශපාලන කම්කරුවෝය. හත් වෙනිදා පක්ෂ වශයෙන් තවත් කම්කරුවෝ බෙදී තමන්ගේ කම්කරු දිනය පවා සැමරුවේ පක්ෂයකට යටත්ව ඔලුව පහත් කරගෙනය. හැමදාම වෙන්නේ ඒ ටිකය. විමල් මාමලෑ ගෙදර නම් කම්කරු දිනය සැමරුවේ ඊයේය. ඒ සැමරුම තරම් ආතල් සැමරුමක් කිසිදාක අපෙ ගමේ උන් වෙඩිමකදීවත් දැකලා නැතිය.



විමල් මාමා පෝට්ටුවේය. ඊට එහා ගෙදර කරුණානායක මාමා එජාපේය. විමල් මාමාගේ පවුල හෙවත් සසී ඇන්ටී කෝකටත් නැතිය. සැප ලැබෙන්නේ කුමන පක්සෙන්ද ඇන්ටී ඒ පක්සයට ප්ලග් වන්නීය. ඒ ගමේ උන් කවුරුත් කියන කතාවක්ය. ඇත්තටම ඇන්ටී හරිය. කන්න බොන්නට දෙන එකාට සැලකුවාට කමක් නැතිය. කම්කාරිනයක් ලෙස ඇය දනින් වැටී ලැබෙන දෙයක් දෙන එකෙක් ගෙන් කටේ දා ගන්නීය. කම්කරු දිනයක් ලෙස විශේෂ දිනයක් නොමැතිව විමල් මාමා නැති විට පවා තමන් සොයා එන සේවා දායකයා ඉදිරියේ වැතිරී සිට උපස්ථාන කරන්නීය. ඇය එවිට ඒ ඒ ස්වාමියා ඉදිරියේ දණින් වැටෙන අහිංසක කම්කාරිනිය වන්නීය.

මේ සියල්ල විමල් මාමා නොදැන සිටියා නොවේය. එහෙත් සාකෂි අතේ තියාගෙන නූලට කතා කිරීම විමල් මාමාගේ උපන් හැකියාව නිසා කොනක් සෙට් වෙනතුරු විමල් මාමා නිහඩව සිටියේය. එහෙත් වැඩේ පත්තු වුණේ දහ වෙනිදාය. ඒ කියන්නේ කම්කරු දිනයේ සැබෑ සැමරුම සිසී ඇන්ටිගේ නිවසට උදා වූයේ එදාය. සීන් එක සරලව මෙසේය.

හැමදාම කම්කරු දිනය සමරන සසී ඇන්ටී මෙදාද කම්කරු දිනයට පිටට නොගියාය. කරුණානායක හෙවත් කරූ අංකල් හය වෙනිදා කම්කරු දිනය සැමරූ නිසා හත් වෙනිදා සිටියේ  ගෙදරය. කම්මැලි කමේය. එදා විමල් අංකල්ගේ කම්කරු දිනයය. ඒ කියන්නේ හත් වෙනිදාය. විමල් අංකල්ද ගෙදර නැති නිසා කරූ අංකල්ට මැසේජ් එකක් යවා ඇත්තේ සසී ඇන්ටීය. එහි විශේෂ දෙයක් කියවන්නට නොතිබුණේය. තිබුණේ වචන කිහිපයක් පමණක්ය. 

ComeKaru Dinaya 07

බැලු බැල්මට ඇත්තේ කම්කරු දිනය හත් වෙනිදා කියාය. ඒත් ඇන්ටිගේ ෆෝන් එක කරේ තියාගෙන කෑගසන්නේ විමල් අංකල්ය. ඔහුගේ අතේ එදා කම්කරු දිනය සමරන්නට රැගෙන ගිය නඟුලක්ය. අද මම මේකිගේ ලියැද්ද හාරනවා කියමින් ඔහු මොර දෙන්නේය. විමල් අංකල්ගේ අම්මාගේ හෙවත් සසි ඇන්ටිගේ නැන්දම්මගේ අතේ වක් වූ දෑකැත්තක්ය. ඒ එදා ඇය අතෙ තිබූ දෑකැත්තය. එය කරේ තියාගෙන ඇය කෑගසන්නේ අහු වුණොත් කරූගේ ගොයම් මිටිය දෑකැත්තෙන් ඔප මට්ටම් කරනවා කියාය. එකම ආතල් එකක්ය. ගමේම උන් එතැනය. සසී ඇන්ටී තමන් නිවැරදි බව කියමින් රතු කොඩියක් ගෙන අහස උසට වනන්නීය. ගමේම උන් එතැනට ආවේ මෙතුවක් කල් පමා වී දහවෙනිදා සමරන මැයි දිනය බලන්නටය. අවේලාවේ පාත් වූ කම්කරු දිනය මොකක්දැයි බලන්නටය.

බැරිම තැන සසි ඇන්ටි ගේට්ටුවට නැග්ගාය. ගමේ ම උන් එකතු වූ තැන තම නිරවද්‍යතාවය සනාථ කිරීමට සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල සටහන සමාජ ගත කළාය. ඇය කීවේ තමන් ඉංග්‍රීසි අසමත් බවය. ස්පෙලින් පවා බැරි බවය. සිංග්ලිෂ් වලින් තමන් කරු අංකල්ට යැවු පණිවිඩය විමල් අංකල් පටලවාගෙන තමන්ට වරද පටවන බවය. අැය කියන්නට උත්සාහගෙන ඇතතේ Kamkaru Dinaya 07 වෙනදා බවය. එහෙත් ඇය වැරදිලා හෝ ටයිප් කර ඇත්තේ Come Karu Dinaya 07 කියාය. එනම් විමල් මාමා ගෙදර නැති දා කරු මාමාට එන්න කියන්නාක් මෙන්ය. කම්කරුවාගේ ලෙයින් නැහැවෙන්නට ගිය රැලියක් ඇන්ටී සාර්ථකව ගොඩ දැම්මේ එලෙසය. දැන් ඇන්ටී හෙට අනිද්දාම ඉංග්‍රිසි ක්ලාස් එකකට යනවා ෂුවර්ය. කරූ අංකල්ද හොඳ ඉංග්‍රිසි ගුරුවරයෙක් බව ආරංචිය.

Written_by_sAm_ශ්‍රී_1:46am_11/05/18
Related Posts Plugin for WordPress, Blogger...