Thursday, April 11, 2019

අපිරිසිදු ආදරේ !!


නොපෙනනා කඳුළු නීරසයි
ගත පෙගුණු දහඩියම මහ ගඳයි
බුලත් විට මුඛය තිත්තමයි
දෑතෙ කරගැටම තිස් තුනයි

නිය පොත්ත වැදුනොතින් තුවාලයි
ඒ ඇතුලෙ කුණු පිරී ජරාවයි
පිබිදෙනා යටිකයම අවසරයි
පිලිකුලක් නැතිව ඔබ ලඟ හිදියි

මගෙ හුස්ම ඔබෙ නලල තෙමාලයි
ඒ පුසුබ නුබට නම් මහ මෙරයි
අව් රශ්මි පුච්චනා මා ගතයි
පුන්සඳේ දැවටෙද්දි පින තමයි

මගෙ මැණික යැයි කියන නුබ තමයි
කාසි සොයනා හිතට සවි ගෙනෙයි
වැලපෙනා දහවලින් මුදාලයි
සිරි යහනෙ මා රජෙක් කරාලයි

උන්ට නොපෙනෙනා නුබ රැජිණියයි
දැලි දූලි ඔය හුස්මෙ රඳාලයි
මා ජීවෙ ඒ දූලි වසාලයි
හැමදාම ලඟ ඉන්න පතාමයි

Monday, April 8, 2019

අවුරුදු නැද්ද ?




අම්මෝ ඒ කාලෙනෙ අවුරුදු. දැන් නම් මොන අවුරුදු ද? හැම අවුරුද්දේම හැම අයම කියන්නේ එහෙමය. ඉස්සර ඔන්චිල්ලාය. හැමෝම ගෙදරය. කැවුම් කොකිස් මුං අළුවා බදින සුවඳය. කොහා ගස් උඩය. පංච ක්‍රීඩාය. ඔලිඳ කෙලිය ය. රබන් සුරල්ය. එදා ආතල් ය. මෙදා නැතිය.

අවුරුදු කිව්වාම දැන් ඉන්නා හැමෝම කියන්නේ එහෙමය. අපේ මිනිස්සු දකින දේට වඩා ලැබෙන දේවල් වලට වඩා හිතන්නේ කියන්නේ නොලැබෙන දේවල් ගැනය. අවුරුදු නැත්තං කිරිබත්ගොඩ, මහරගම පසු කරන්න මෙච්චර වෙලාවක් ගත වෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන්නට කෙනෙක් නැති එක ගැන සිතිය යුතුය. ඉස්සර වගේම අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් ගන්නට පොඳිකන්නේ අවුරුදු නැති නිසාදැයි ඇසි යුතුය.

අවුරුදු ඇත. එහෙත් අපිට මඟ හැරී හෝ අමතක කර දමා ඇත.

ඉස්සර අවුරුදු මෙන් පොඩි උන්ට ඔන්චිල්ලා බඳින්නට ගසකට නඟින්නට කෙනෙක් දැන් නැත. එක්කෝ ඔන්චිල්ලා පදින්නට තරම් හයිය අතු සහිත ගස් සොයන්න නැත. එහෙමත් නැති නම් ගස් තිබ්බාට ඔන්චිල්ලා බඳින්නට වෙලාවක් වැඩිහිටියන්ට නැත. අවුරුදු පොඩි උන්ට නැති කළේ එතැන සිටය. පංච බෝඩ් එකක් සොයා දෙන්නට කෙනෙක් නැත. කියා දෙන්නට ආච්චිලා සීයලාද නැත. එව්වා එකතු කරගෙන නිවාඩුව ගත කරන්නේ නම් අවුරුද්ද ඉස්සර වගේම ජුන්ඩක් ලැබෙනවා නිසැකය.

ගෙදර කැවුම් කොකිස් මුං අලුවා හදන්නට බැරි නම් එව්වා කඩෙන් ගන්නට හරි ඔබට බැරි නැත. කැවිලි සහිත මේසය සාදා ඉස්සර අවුරුද්ද දකින්නට ඔබට බැරි නැත. රබන් සුරල් නම් අද කරන්නට බැරි දෙයක්ය. කොහා සොයා ගන්නට බැරිය. එදාට හොඳ චැනල් එකක් ටියුන් කළා නම් ඒවාද එකතු කර ගන්නට බැරි නැත.

ඒ සියල්ල පැත්තකට දමා ඉස්සර අවුරුද්ද මෙන් හැමෝම එකට සිටින, නෑකම් යන, හෝ මහ ගෙදරට එකතු වෙන අවුරුද්ද විඳින්නට ඉඩක් දවසක් වෙන් කර ගන්නේ නම් ඉහත කිසිත් නැතුවාට ඔබට අවුරුදු දැනෙනු ඇත.

අනේ දැන් නම් ඉස්සර අවුරුදු නැහැ කියමින් සිටිනවාට වඩා. ඉස්සර අවුරුදු අද හෙට හෝ හැමදාටම මවා ගැනීම ඇත්තේ අප අතේ මිස කාගේත් අතේ නොවන්නේය.

sAmsRi 08/04/19 10:56pm

Friday, April 5, 2019

ඔබමයි !


සැලෙන වීදුරු බිඳෙන
සිහින් කරදර හඬට
සමයි ඔබෙ ගොළු වදන්
හීනයෙන් මා මරන

හැපෙන කුර හඬට සම
ඔබේ රළු බර වදන්
ඉවසමී මා ඉතිං
සැබවින්ම මා හඬයි

මී විතත් මත් කරයි
රෑ ඇසෙන සී පදින්
අඩවන්ව මා තබයි
මුළු රෑම අවදියෙන්

නොනිදනා දූ පුතුන්
නිදවනා තත නුබයි
දරා ඉමි සම සිතින්
පුදා පෙම එක ලෙසින්

Wednesday, April 3, 2019

අයියාගෙ රස්සාව... - Aiya's Job !!


ගමේ උන්ට ඕනේ නැති දෙයක් නැත. පාර අයිනේ නිවස ඇති නිසා පාරේ යන උන්ට සියල්ල පෙනේ. වාහනය හෝදන අතර පාරේ යන ඩෑල් එකක් සෙට් වුනොත් "අහ් මේක හෝදනවා ඉවරයක් නැහැනේ" යැයි කියයි. ආයේ දවසක ඒ පුද්ගලයාම සෙට් වුනොත් "අයියෝ දූවිල්ල නේ.. මේක හෝදන්නේ නැද්ද" යැයි අසයි. පනිට්ටුව, ප්‍රෙෂර් ගන් එක දී හෝදපං කියා කනට දෙන්නට සිතෙන්නේ එවිටය.

ප්‍රෙෂර් ගන් එක කිව්වාම තවත් කතාවක් මතක් විය. ගන් එකක් සල්ලි දීලා ගත්තේ සර්විස් සෙන්ටර් වලට පන්සීය බැගින් පුදන්නට බැරි නිසාය. පන්සියය බැගින් විසි වතාවක් සේදුවොත් දසදහසක ගන් එකක් ගත හැකි නිසා පහසු ගෙවීමේ ක්‍රමයට සෑමා ගන් එකක් ගත්තේය. සෑම සති අන්තයකම ප්‍රෙෂර් ගන් එකෙන් වාහනය හේදීම සෑමාගේ සිරිතය. සර්විස් සෙන්ටර් එකට වැකියුම් කරන්න පුදන මුදලත් ඉතිරි වන්නේ අර අටමා අටවා දුන් රුපියල් 1000ට ගත් වැකියුම් ක්ලීනර් එක තවමත් වැඩ නිසාය. එය වෙළඳපොළ මිල තවමත් රුපියල් 15000ක් පමණය. ඉතිං ඔය සති අන්ත සමහරක සෑමා ප්‍රෙෂර් ගන් එක එළියට ගන්නට කම්මැලි කම නිසා ටැප් එකට හෝස් එක පමණක් ගසා කම්මැලි සේදිල්ලක් සෝදන්නේය. එහෙම හෝදන වෙලාවක දවසක් ආපු ඩෑල් එකක් කිව්වේ අපෝ තියෙන පෙරේතකම සර්විස් එකට දාලා හෝදන්නකෝ කියාය. එවිට සෑමා කිව්වේ ඔව් අප්පා වියදමක් නේ ඒ නිසා අතින් සෝදනවා කියාය. ගන් එක ගැන ඉන්ට්‍රොඩියුස් කරනවාට වඩා ඌව පිටත් කර හෝදන කාර්යය ඉක්මන් කර ගත හැකිය. පසු දාක ගන් එකෙන් සෝදන වෙලාවක ඒ ඩෑල් එකම පැමිණියේය. "ආ අලුතින් ගන් එකක් ගත්තාද? මේක නම් වටිනවා" කියූ විට සෑමා කියුවේ අර එදා ඔයා පෙරේතකම් නොකර සර්විස් සෙන්ටර් එකට යන්න කියපු දවසෙත් මේක තිබ්බා කියාය. මෑන්ස් මිසින්ය.

මෑත දිනයකදී මැෂින් එකෙන් වාහනය සෝදන වෙලාවක කඩේට ආවේ සෑමා පාසැල් සමයේ සිට දන්නා ලස්සන නංගි කෙනෙක්ය. ස්කූල් වෑන් එකේ ගියත් සෑමාව නොදන්නා ගානට ආ නිසා සෑමා ගණනකට නොගත්තේය. කඩේට ගොස් ඇය අම්මා සමඟ චැටක් දමා පත්තරයක්ද රැගෙන ආපසු යද්දී 

"ආ..ඔයා දන්නවද මේ නංගිව?" කියා ඇසුවාය.

"මොකද මම නොදන්නෙ? මෙයානෙ මාව නොදන්නෙ"

"අපෝ නැහැ අයියෙ. අම්මා කිව්වාම මට මතක් උනෙ"

"ඔව් ඔයා අපෙ ස්කූල් වෑන් එකෙනෙ ගියෙ"

"ඔව් ඔව් සරත් අංකල්ගෙ එකෙ.."

"ඔයාගෙ යාලුවා බෝධිනී නේ??"

"අන්න හරි.."

"හෙලේනා එකට නේ ගියෙ??"

"අම්මො ඔයාට ඔක්කොම මතකනේ.."

"අපො අපිට කෙල්ලො ගැන අමතක වෙනවද?"

"මම අයියෙ බැන්දෙ කෑගල්ලෙන්. ටුවින්ස් ලා ඉන්නෙ. දෙන්නම අයියගෙ පුතාගෙ වයස"

"අනෙ හොඳයි නෙ.."

"අයියා මොකද දැන් කරන්නෙ? ඔයාද මේ ගරාජ් එක කරන්නෙ??"

"කොයි??"

"මේ වාහන ගොඩක් ගහල තියෙන්නෙ.. අහ් සෙරි සර්විස් සෙන්ටර් එකක් නේද??"

කඩයට ආ වාහන කිහිපයක් සහ සෑමා සෝදන වාහනය පෙන්වා ඇය සෑමාට ජොබ් එකක් දුන්නාය.

"ඔව් නංගී වාහනයක් හෝදගෙන ෂේප් එකේ ඉන්නවා.."

"අනෙ අයියෙ බබාලා නිසා මමත් ජොබ් එක අතෑරියා. දැන් ගෙදර ඉදන් හරි කරන්න මොනවා හරි දෙයක් බලනවා."

කියමින් ඇය සෑමාට නම්බරය දී පිටත්ව ගියාය.

sAmsRi_04/03/19_11:18pm

Monday, April 1, 2019

වෘත්තීය ලෙඩ - Occupational Diseases !!


වෘත්තීය ලෙඩ වර්ග දෙකකි. එකක් මානසික සහ අනෙක කායික ලෙඩය. මානසික ලෙඩ ගොඩක් ඇත්තේ ලොක්කන්ටය. කොන්ද නමාගෙන පහළ උන් සිටීම දැකීම, අනිත් උන්ට බැරි වී තමන්ට පුලුවන් වීම, උන්ට කඩේ යනු දැකීමට කැමති වීම, උන් නිතර හරි යැයි අනිත් උන් පිළිගත යුතු බව වැනි මානසික ලෙඩ බහුතරයක් ඇත්තේ ලොක්කන්ටය. පොඩ්ඩන්ට ඇත්තේ කායික ලෙඩය. මානසික ලෙඩ ඇත් සොක්කන්ද නැතුවා නොවේය. උන්ටත් තමන් අනිත් උන්ට වඩා ලොකු යැයි සිතා එන සමහරක් මානසික ලෙඩත් සහිතය. උන් සොක්කෝය. එහෙත් පොඩි අපි වගේ උන්ට මානසික වෘත්තීය ලෙඩ වලට වඩා ඇත්තේ කායික වෘත්තීය ලෙඩය. සෑමාට ඇති අත්දැකීම් අනුව තමන් නිරත වෙන වෘත්තිය අනුව විවිධ ලෙඩ ඇති විය හැකි බව කිව යුතුය. ඒ අතර නිතර තමන් සිටින ඉරියව්ව බලපාන්නේය. වැඩි වේලාවක් සිටගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම අනුව විවිධ වෘත්තිය රෝග ඇති විය හැකිය.



කාලයක් සෑමා මර්චන්ඩයිසින් රස්සාවක් කළේය. ඒ කාලයේ සිටියේ මීයා අල්ලගෙනමය. ලැප් නැති කම්පියුටර් තිබුණ කාලයේ මීයා අල්ලන් සිටිය නිසා සෑමාගේ දකුණු අතේ මැණික් කටුව යටි පැත්තේ රිදිල්ලක් ඇති විය. පුංචි ගෙඩියක් මට්ටමට එතැන ඉස්සී මහා රිදිල්ලක් බවට පත්වන්නට ගියේ සුළු කාලයක්ය. දොස්තරලා ලඟට නොගොස් ඉරියව්ව වෙනස් කිරීමෙන් එය යලි නිවැරදි කරගන්නට සෑමාට හැකි විය. කළේ සුළු ප්‍රතිකර්මයක් පමණක්ය. මවුස් පෑඩ් එකක් මත මීයා තබා පෑඩි එකේ ස්පොන්ජ් ගැට්ටක් මත මැණික් කටුව තබා ගැනීමෙන් වේදනාව මාසයක් පමණ යද්දී නැති වී ගියේය.

පසු කාලෙක ඒ වගේම කොන්දේ අමාරුවක් ඇති වී සෑමා මහ දුකක් වින්දේය. නැමෙන්නට බැරිය. කෙලින් වෙන්නට බැරිය. බොහෝ අය කිව්වේ මෙට්ටයේ හෝ කොට්ටයේ අවුලක් කියාය. දොස්තරලා බෙහෙත් දුන්නේ වේදනාව සමනය වීමට මිසක ලෙඩේට නෙවේය. බොහෝ විට කෙන්දෙ අමාරුවට බෙහෙත් ගන්නා අයට සිද්ධ වෙන්නේ වේදනා නාෂක ගැසීම මිස ලෙඩේට බෙහෙත් සොයා ගැනීම නොවේය. සෑමා නිදහසේ කල්පනා කර බලා කොන්දේ අමාරුවට හේතුව සොයා ගත්තේය. වාහනේ ඩ්‍රැයිවින් සීට් එකේ හේත්තු වෙන කොටස තිබූ ආකාර වෙනස් කර සතියක් පමණ යද්දී වේදනාව සෙමින් අඩුවෙනු සෑමාට තේරුම් ගියේය. අපිට ඇති වෙන බොහෝ කෙන්දේ අමාරු වලට හේතුව අපේම වැරදි ඉරියව් බව අමුතුවෙන් කිව යුතු නැත. එව්වාට බෙහෙත් හොයනවාට වඩා ඉරියව් වෙනස් කිරීමෙන් වේදනාව හෝ රෝගය පහ කර ගත හැකිය.

මේ බ්ලොග් ලිපිය ලිවිමට පවා හේතු වූයේ මෑතකදී ඇති වූ වේදනාවක්ය. සෑමාගේ දකුණ අතේ මහපට ඇඟිල්ලේ මහා වේදනාවක් එන්නට ගත්තේ මාසයකට පමණ ඉහතදී සිටය. ඇඟිල්ල නොමිලේ ගැස්සෙන හෙල්ලෙන ගතියක්ද තිබූ නිසා මගේ අම්මෝ ස්නායු කේස් එකක් යැයි සෑමාටද සිතුනේය. එහෙත් දින කීපයක් ඇතුලත ලෙඩේ සොයා ගන්නට සහ වේදනාව අඩු කරගන්නට සෑමා සමත් වූයේය. මහපට ඇඟිල්ලෙන් බට්න් එකක් පවා ඔබන්නට බැරි තත්වයට ආවේ වේදනාවේ උපරිමයේදීය. ෆෝන් එක අත් දෙක මත තබාගෙන මහපට ඇඟිලි දෙකින් දිඟු කාලයක් භාවිතා කිරීමේදී මේ අමාරුව ඇති වූ බව සෑමාට තේරුම් ගියේය. දකුණු ඇඟිල්ල වම් ඇඟිල්ලට වඩා හුරු නිසා ඒ ඇඟල්ලෙන් ඩිස්ප්ලේ එකේ එහා කෙලවර ටච් කිරීමට යාම වේදනාවට හේතුව බව සෑමාට තේරුණේය. වෛද්‍යවරයෙකු ලඟට ගියා නම් අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂණයක් කරන්නට වෙනවා සහතිකය. පසුව එම ඇඟිල්ලේ භාවිතය අඩු කිරීමෙන් වේදනාව සමනය කර ගැනීමට සෑමාට හැකි විය.

බර වැඩ නොකරන අපිට වෘත්තීය මට්ටමේ මෙහෙම ලෙඩ එනවා නම් එදිනෙදා බර වැඩ කරන මිනිස්සුන්ට කොහොම අමාරුවක් ඇත්දැයි සිතන්නට අපේ ලෙඩවල වේදනාව ප්‍රමාණවත්ය. ඔබටත් යම් වේදනාවක් ඇති නම්, රුදාවක් ඇති නම්, නිදහසේ කල්පනා කර රුදාවට හේතුව කුමක්ද කියා බැලූ විට සරලව ඉරියව් වෙනස් කිරීමේ බෙහෙත ඔබටම සාදා ගත හැකිය.

sAmsRI_01.04.19/1:47pm

Monday, March 25, 2019

කරුවලේ සිට ලියමි - Words without Electricity !!


කරන්ට් එක නැත. ලැප් එක ඇත. මතක ඇති අතීතයේ කරන්ට් එක කැපුවේ ච.බ.කු මැතිණිය පමණි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියය. ඇය කැපුවේ අපි පොඩි කාලයේය. ඉන්පසු දන්නා කාලයක නම් අදය. ඒ අපේ රවී කරුණානායක මහත්තයාගේ සුරතින්ය. කළුවරේ ඉන්නා විට මතක් වූයේ අනේ ඒ කාලේ කරන්ට් එක ගියාම අපි කළේ මේවානේ කියලාය. එව්වා ලියන්නට සිතී ලැප් එක අතට ගන්නා විට අඩේ ඒ කාලෙ ලැප් එකක්, ෆෝන් එකක් වත් නැතුව කොහොම කාලය ගෙව්වාද යන්න සිහිවිය.

ඉස්සර ගෙදර ලයිට් ඇරුණාම රෑට පත්තු වුනේ ටීවි එකය. දැන් නම් ටීවී එක බල්ලාට ගිහින්ය. ෆෝන් එක සහ කම්පියුටර් කරලියට ඇවිත් දැන් කම්පියුටර් එකත් පැත්තකය. ටැබ් එක සහ ෆෝන් එකට හොඳ කලක් ගිහින් ය. චබකු කරන්ට් එක කපන කාලයේ කරන්ට් එක කපන්නට නියම හේතුවක් කිව්වා සෑමාට මතකය. ඇය කිව්වේ පාරේ තඩි ජෙනරේටර් එකක් ගෙනියනවා ඒක ගෙනියන වෙලාවට කරන්ට් එක කැපිය යුතුයි කියාය. නැති නම් පාර හරහා ඇති කරන්ට් වයර් වල ෂෝට් වී විශාල හානියක් වෙනවා යැයි කිව්වා වගේ මතකය. එය හදපු කතාවක්ද, නැතිනම් චබකු මෝඩ කමට කිව්වාද කියා සොයා බලන්නට සෑමාට එදා නොහැකි වූයේ එදා සෝෂල් මීඩියා නැති නිසාය. කෙසේ වෙතත් එහෙම කතාවක් මතකය.



කරන්ට් එක යන නිසා ටීවි එකත් අහිමි වූ සෑමා පරණ කාර් බැටරියක් සොයා ගත්තේය. ඒ පහළ කුලියට දී තිබු කඩයෙන් ඉවත් කළ එකක්ය. ඉවත් කළා කිව්වාට ඒ අය පැත්තකට වෙන්නට තබා තිබූ exide වර්ගයේ බැටරියක් අනේ වැඩ කරන්නේ නැති පව් අහිංසක බැටරියක් යැයි සිතාගෙන සෑමා ඔසවාගෙන ආවා මතකය. ඉන්පසු උන් බැටරිය හෙව්වාද නැත්ද යන්න තාමත් දන්නේ නැත. හැබැයි නැවත බැටරිය උන්ට නොපෙනෙන ලෙස තබා ගැනීමට සෑමා උනන්දු වූ බව කිව යුතුය.

එසේ ගෙන ආ බැටරිය කෑලි හයක් හෝ අටක් දැමිය යුතු සිංගර් ඩබල් ඩෙක් කැසට් ප්ලේයර් එකකට ගසා සිංදු ඇසිය හැකි වන පරිදි සාදා ගන්නට සෑමාට හැකි විය. ගෙදර සැවොම ඉන්නා තැන් වලට වී ඉදගෙන මඳ අඳුරේ සිංදු අහන්නට පටන් ගත්තේ ඒ කාලයේය. ටික දවසකින් තාත්තා නියම කේබල් එකක් ගේ අස්සේ තිබී එළියට ගෙන ආවේය. කෙලවරක් බැටරියට ගසන ක්ලිප් දෙකක් සහ අනෙක් කෙළවර තිබුණේ ටීවි එකට ගැසිය හැකි ජැක් එකක්ය. මෙන මල විකාරද මේකෙන් කොහොමද යකඩෝ ටීවි එක බලන්නේ යැයි සිතා සෑමා පැත්තකට වූයේය. අගේට අසන්නට තිබූ රේඩියෝ එකෙ බැටරියටත් කෙලින්න තමයි යන්නේ යැයි සිතා සෑමා අහකට වූයේය. තාත්තා බැටරියට ක්ලිප් දෙක ගසා අනිත් කෙළවර ගේ ඇතුලේ තිබී දූවිලි ගසා ඉවතට ගන්නා ලැබූ Daytron වර්ගයේ අඟල් 12ක පමණ කළු සුදු ටීවි එකට ගැසුවේය. අඩේ නියමෙට වැඩය. තැන් තැන් වලට වී ඒකාත්මික වී ඇස් පියන් සිංදු අහන් හිටිය අපිට තාත්තා ටීවී එකක් ලබා දුන්නේ එලෙසය.

ඉස්සර කරන්ට් එක තිබුණද නැත්ද අදාල නැතිව මිනිස්සු ගෙදර එකට සිටිය බැව් කිව යුතුය. දැන් කරන්ට් එක නැති නිසා හෝ පවුලේ සැවොම එක තැනකට ගන්න බැරි බව සැබෑය. කරන්ට් එක නැති විට පවා තම තමන් ෆෝන් ටැබ් සහ ලැප් ඔන් කරගෙන තමන්ගේ ලෝක වල වෙන වෙනම ජීවත් වන ප්‍රාණීන් වී හමාරය. කරන්නට දෙයක් නැත. තාක්ෂණය එහෙමය.

Written_by_sAmsRi_25/03/19_9:16pm

Friday, March 22, 2019

විල්පත්තුව සරලව


පොඩි එකා හිටවනවා,
මහ එකා කපනවා..

- බඩුඊර්ඩීන්'ස් ලෝ !!


Pic - sAm

Friday, March 15, 2019

අංකල්ට නැති එක - What Uncle left behind !


කලකට ඉහතදී සෑමා වෛද්‍යවරයෙකු හමුවන්නට ගිය මොහොතක වූ අපූරු සිදුවීමක් මෙසේය. රෝගියෙකු තම කුටියේ සිටියදීම වෛද්‍යවරයා සෑමාට ඇතුලට කතා කළේ කාර්ය බහුලත්වය නිසා ඉක්මනින් තම කටයුතු අහවර කර ගැනීමට විය හැකිය. වෛද්‍යවරයා හා රෝගියා අතර දෙබසට කන් නොවැටෙන්නට සෑමා අවට ඇති පෝස්ටර් බලමින් කල් යැවීමට පටන් ගත්තේය. නමුත් ඒ දෙබසින් සෑමාගේ දෙසවන් ඉවත් කිරීමට අපහසු විය. එය ඒ තරමට අපූරු දෙබසක් වීය.

මහළු රෝගියා වෛද්‍යතුමා පෞද්ගලිකව හඳුනන අයෙකු විය හැකිය. එය ඔවුන්ගේ දෙබසින් පැහැදිලි විය. සාමාන්‍යයෙන් පෞද්ගලිකව හඳුනන් වෛද්‍යවරයෙක් ලඟට ගිය විට පටන් ගන්නේ පවුලේ විස්තර වලින් නිසා ඔවුන්ගේ හැඳුනුම් කම ගැන සෑමාට යම් අදහසක් ඇති වීය. මහළු රෝගියා තමන්ගේ දරුවන් එතෙර අධ්‍යාපනය ලබන බව පුරසාරම් දොඩන්නට වූයේ වෛද්‍යවරයාගේ මුහුණට සිනහවක් එක් කරමින්ය.

ඩොක්ටර් උදේම හොස්පිට්ල් යනව නේද?

හවසට ප්‍රයිවට් ප්‍රැක්ටිස් නේද?

අම්මෝ මහන්සියි නේද? අපේ දරුවන්ට නම් එහෙම නැහැ. එයාලා රට ඉදන් හොඳට හම්බ කරනවා. එහෙ මේ තරම් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඇයි ඩොක්ටර් යන්නෙ නැත්තෙ? මෙහෙ කට්ට කනවට වැඩිය එහෙ ගියා නම් මරු නේ ??



අංකල් ගේ වචන ටික නිසා සෑමාට සංවාදයෙන් පිටට කන් යොමු කරන්නට බැරි විය. වෛද්‍යවරයා දුන්නේ සරල එක උත්තරයක් පමණක්ය.

"යන්න බැරිකමක් නැහැ. මට මෙහෙ මගෙ දෙමව්පියෝ බලා ගන්න තියෙනවා. නංගිගෙ දරුවො මගෙ දරුවෝ මාව දැක්කාම හරි සතුටින් ඉන්නෙ. මට ඒ ටික වටිනවා."

දරුවන් රට රස්සාවට යවා ගෙදර තනිව සිට තනිවම වීල් එකක නැඟී බෙහෙත් ගන්නට පැමිණ වෛද්‍යවරයාට බෙහෙත් දෙන්නට ගිය අහිංසක මහළු රෝගියාගේ මුහුණ මැලි විය. තමන් ලඟ නැති වුණත් දරුවන් ඔහු පිළිබඳව සොයා බලනවා විය හැකිය. එහෙත් ඔහුගෙන් ඉවත්ව ගිය උණුසුම පුරවන්නට ඒ මුදල් වලට බැරි බව ඔහු තේරුම් ගන්නට ඇත.

මිනිස්සුන් තමන්ට නැති දේ ගැන නොතකා අනුන්ට නැති දේ ගැන කතා නොකරන්නේ නම් හිත් රිදවීම් බොහෝ අඩුවනු නිසැකය.

#sAmsRi_15/03/19




Thursday, March 14, 2019

ගුරු වර්ජන - Teacher's Strike !!


ගුරු වර්ජන අස්සේ කියවන්නට ලැබුනේ සුන්දරයි සුනන්දා හෙවත් රෝජාගේ පෝස්ට් එකක්ය. ඇය කියන්නේ..

"ගුරුවරු සේවය කරන්නෙ පැය කිහිපයකැයි මම නොකියන්නේ එය පැය කිහිපයකට සීමා නොවන බව අප කවුරුත් දන්නා නිසා වුවද? මෙය ඒක පාර්ශවීය වරදක් නොව ද්වීපාර්ශවීය වරදැකැයි මට සිතෙන නිසා මෙලෙස සටහන් කරමි. දිගින් දිගටම පිරිහෙන සමාජයක ගුරුවරු දුවා දරුවන් පමණක් නොව ඔබද මාද ඇතැම්විට වරදකරුවන් වී හමාරය." (පෝස්ට් එක මෙතැනින්)

ගුරුවරුන් පිළිබඳ සෑමා සතු වූ සුන්දර මතක අසුන්දර වූයේ උසස් පෙළ කාලයේය. ඒවා ගැන කෙටි බ්ලොග් සටහන් බොහොමයක් බ්ලොග් එකේ ලියැවී ඇත්තේ අමිහිරි සුන්දර මතකයන් ලෙසය. ගුරුවරුන්ගේ ඇතැම් දුර්ජන ක්‍රියා හේතුවෙන් ගුරු සංහතියම එපාවන බව නම් කිව යුතුය.



සෑමාට උසස් පෙළ ගණිත සර්ව එපා වූයේ ඔහු කළ අසාධාරණ පළිගැනීමක් නිසාය. එදා මා ඇතුළු පන්තියේ බොහෝ දෙනෙක් ගෙදර වැඩ කරගෙන ඇවිත් නොතිබුණු බව සත්‍යයක්ය. එහෙත් කලින් දිනක පන්තියේ සිසුවෙකු වෙනුවන් සාධාරණය කතා කරන්නට ගිය ඇරියස් එක සර්ගේ හිතේ තිබුණු බව සෑමාට සිහි වූයේ මේ සිද්ධියෙන් පසුය. පන්තියේ ඉතිරි හතලිස් දෙනා සිටියදී සර් ඉදිරියට කැඳවා සෑමාගේ පමණක් ගෙදර වැඩ කළා දැයි පොත පරීක්ෂා කළේය. ඔහු හොඳින් දැන සිටි කරුණ නම් අනිත් අයද ගෙදර වැඩ කරගෙන නොසිටි බවය. සෑමා වැඩ කරගෙන ඇවිත් නැති බව කියමින් පොත විසික් කර පන්තියෙන් එළියට දමා සර් තමන්ට අවශ්‍ය පලිය ගත් බව කිව යුතුය. පන්තියේ අනිත් සිසු සිසුවියන්ටද ඒ බව පසක් වූ බව සැබෑය. තමුන්ගේ තාත්තාත් ගුරුවරයෙක් නේද තමුසෙ දන්නැද්ද ගුරු වරුන්ට සලකන්නන යැයි ඔහුගේ මුවින් පිට වූයේ කළ වරද ගැන පමණක් නොව හිතේ තිබූ තරහවද පිටකරමින්ය. කාලපරිච්ඡේදය අවසන් වන තුරු එළියේ සිටි සෑමා එදායින් පසු ඒ ගුරුතුමා ගැන කිසිම පිළිගැනීමක් හෝ සතුටු සිතක් නොවීය.

රෝජා කියූ පරිදිම ගුරු සේවය උගන්වන කාල සීමාවට පමණක් නොව ජීවිත කාලයටම බලපාන් බව මම උගත්තේ අපේ තාත්තාගෙන්ය. ඔහු උත්සව අවස්ථාවකට ගියත් සැර බීමක් කටේ තිබ්බේ කලාතුරකින්ය. ඒ ගත්තත් බෙහෝ අල්ප වශයෙන්ය. ඒ සියල්ලටම හේතුව වූයේ උගන්වන කාලසීමාවට පමණක් නොව ජීවිත කාලයම ගුරු වරයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිය යුතු නිසාය. දිනක් සෑමා වෙඩිමකට ගොස් අඩියක් ගසනා විට ඈත සිට අංකල් කෙනෙක් ඇසුවේ ආ.. මේ සර් ගේ පුතා නේද කියාය. එතැනින්ම සෑමාට හිතුනේ සර් වගේම දරුවන්ද ගුරුවරයෙකුගේ දරුවෙක් යන හැඟීමෙන් කටයුතු කළ යුතු බව සමාජය බලාපොරොත්තු වන බවය.

ගුරු ගෞරවය සෑමාගෙන් නොපිරිහෙලා උදුරා ගත් උසස් පෙළ ගුරුවරුන් නිසාම ගුරු වර්ජනය ගැන සෑමාට ඇත්තේ අප්පිරියාවක් ලෙස සටහන් කළ යුතුය. අද ලෙඩ නිවාඩු දමා වැඩට නොගිය ගුරුවරු අපි මහන්සි වෙන්නේ දරුවන් හදන්න යැයි හෙට පාසැල් ගොස් කටපුරා කියන්නේ කෙසේදැයි සෑමාට නම් ප්‍රශ්නයක්ය. ප්‍රසිද්ධ පාසලකට ඔළුව දමාගෙන ටියුෂන් පිටින් ගොඩ යන බුරුතු සිටිනා බහුතරයක් ගුරු කුලකයෙන්, සැබෑවටම සුජාත ගුරුන් පැතීම ඉදිරියටත් නොකළ යුතු බව සෑමාගේ අදහසය.

#sAmsRi_14/03/19_11:59pm

Monday, March 11, 2019

ඇඟිල්ලේ වැඩේ පෝලිම් දමා කිරීම - Finger works in the Queue !!


ලියන්නට යන්නේ කැත හිත් වලට ලස්සන කවි කැටගිරියේ එක්ක නොවුනාට ස්මාර්ට් ෆෝන් එකෙන් දහසක් කැටයම් දමනා උන්ට දරා ගන්නට බැරි වෙනු නිසැකය. අපේ උන් ෆෝන් එකේ ඇප් භාවිත කළ ප්‍රමාණ මැන බැලුවහොත් සමාජ ජාලා ඇප්ස් ඉහළම තිබෙනු නිසැකය. ෆේස් බුක්, යූටියුබ් ඇරුණු කොට වට්ස් ඇප්, වයිබර් ඉහළම රැදෙනවා නිසැකය. ඉස්සර නම් sms එකකින් කළ එව්වා දැන් ඇප්ස් ගොඩකින් කිරීම පහසුය. ඒත් ඇප් ප්‍රමුඛතා ලිස්ට් එක ඉහත ආකාරයෙන් සමාජ මාධ්‍යය ජාලාම නම් ඔබ ඊටත් එහාට ගොස් තවත් වැඩකට ඇති ඇප් එකකට යොමුවී වෙනසක් සිද්ධ කරගන්නවා නම් එය වටිනා බව කිව යුතුය.

"මචං මැසේජ් එකක් දැම්මා"

ඉස්සර මෙහෙම එකෙක් කෝල් කළාම කෙලින්ම SMS ඉන්බොක්ස් එක බැලීම පමණක් ප්‍රමාණවත්ය. දැන් එහෙම නෙවේය. මුලින්ම මැසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ සහ වීචැට් පවා බැලිය යුතුය. එහෙමත් නැතිනම් අවසන ඇස්ඇම්ඇස් ඉන්බොක්ස් එක ද පරීක්ෂා කළ යුතුය. එහෙමත් නැතිනම් ජීමේල් එකට ලොග් වී එවූ මැසේජ් එක සොයා ගත යුතුය. දැන් මෙවලම් බහුලය. ආකාර බොහෝය.

කොච්චර තාක්ෂණය තිබුණත් අපේ උන් හිතන්නේ ඉන්ටර්නෙට් යනු ෆේස් බුක් කියාය. බොහෝ මහළු අය පවා ඉන්ටර්නෙට් කිව්වාම හිරි වැටී යන්නේ අම්මෝ ෆේස් බුක් කියන්නේ මහ විනාසයක්ය, ඉන්ටර්නෙට් යනු ඒ වගේම විනාසයක් කියාය. ඒ තත්වය බොහෝ විට සත්‍යය වන්නේ බෙහෝ අය ලැප්ටොප් එකක් පවා ඔන් කළ විගස බ්‍රවුසර් එකේ මුලින්ම ඕපන් කරන්නේ ෆේස් බුක් වීම නිසාය. නිකමට වෙනම ටැබ් එකක පවා බුකිය ඕපන් වී තිබීම දැන් සරල කාරණාවක්ය.

සමාජ ජාලා භාවිතය ප්‍රශ්නයක් නොවන්නේ කාලය ගත කිරීමට තනිව මඟ බලා සිටීමට සිදුවන වෙලාවක් කල් මැරීමේ හොදම මෙවලමක් ලෙස භාවිත කළ හැකි නිසාය. අවභාවිතාව ගැන වෙනම ලිවිය යුතු මාතෘකාවක්ය. එලෙසම තාක්ෂණය ඇඟිලි තුඩක තිබියදී කාලය බල්ලාට දමා පෝලිමේ සිටින උන් දැක්කාම සෑමාට නඟින්නේ ඌරු ජුවල්ය. බෙහෝ වෙලාවට තැපැල් කන්තෝරු, විදුලි බල මණ්ඩල, ජලාපවාහන මණ්ඩල සහ බැංකු වල පෝලිම් වල ඉන්න අය දැක්කාම සෑමාට හිතෙන්නේ අනේ ඇයි මුං මෙහෙම කියාය. අතේ ෆෝන් කෑල්ලක් තියාගෙන ඒකට කොට කොට පෝලිම් වල දුක් විදින්නේ බිල් ගෙවීමට නම් ඔබ දෙවරක් සිතිය යුතුය. පෝලිමේ නොසිට විදුලි හා ජල බිල්පත් ගෙවීම දුරකතනයෙන්ම කළ හැකි බව සියල්ලෝම දන්නා නමුදු භාවිතාව ඉතා අල්පය. 



හදිසියකට ෆෝන් බිල් ගෙවීමට සුපර් මාකට් වල පෝලිම් වල තපින අය, වෙනත් බිල් ගෙවීමට පවා සුපර් මාකට් පෝලිමේ තපින අය පව් ය. එයාලා ස්මාර්ට් ෆෝන් අතේ තබාගෙන සිටින්නේ සමාජ ජාලා වල සිරවී පෝලිම් අස්සේ සිරවී සිටින්නට විය යුතුය. ඩයලොග් මොබිටෙල් ආදී ඕනෑම බිලක් ඔවුන්ගේ වෙබ් අඩවි වලින් කාඩ් මඟින් ගෙවිය හැකිය. නැති නම් ඔබේ බැංකුවට අදාල ඇප් මඟින් අමතර ගෙවීමක් නැතිව එවලේම පහසුවෙන් කර ගත හැකි බව දැන ගත යුතුය.

ඇඟිල්ලේ වැඩේ පෝලිම් දමා කර ගත යුතු නැති බවට ඔබ දැන ගත යුතුය. එය භාවිත කළ යුතුය. ඔන්ලයින් සියළු දේ කර ගත හැකි රටක බැංකු කටයුතු, මූල්‍යය කටයුතු ඉතා පහසුවෙන් කර ගත හැකි ඇප් සහ ඒවායේ එන නොයෙකුත් අලෙවි ප්‍රවර්ධන සහනයන් පවා ලබා ගැනීමට ඔබ තවමත් ප්‍රමාද නැති බව සිහි කළ යුතුය.

#sAmsRi_11/03/19

Thursday, March 7, 2019

ඔය සද්ද මෙයාලට දරාගන්න බැහැ මල්ලී..


හික්කඩුවේ මඟුලක් සෙට්වී අපි කොළඹින් පිටත් වූයේ වෙඩිමට යාමටත් වඩා ට්‍රිපක් යාමට ලැබීමේ මහත් සතුටින්ය. එදා වෙඩිම අවසන හෝටලයේ ගේට්ටුව ලඟදීම ඇඳුම් උනා දමා ෂෝටට බැස්සේ මුහුදක් නොදුටු නුවර උන් වගේය. පැය ගාණක් ඇල්කොහොල් ලවන සමඟ දිය කොට ගොඩට ආවේ රාත්‍රී හතට පමණය. ගෙදර යෑමට අවශ්‍යය යැයි අපේ උන්ට සිතුනේ එවිටය. සියල්ලෝම වෑන් එකට නැග්ගේ ඉස්සෙල්ලාම කඩෙන් ප්ලේන්ටියක් ගසා මොනවා හො ගිල නැවත පිටත් වීමටය.

හෙමින් කතා කළත් දහයකගේ හඬ ඇති දෙදෙනෙක් අපේ නඩයේ සිටියෝය. අපි ඔවුන්ට කිසිදාක මචං සද්දේ අඩුවෙන් කතා කරපං යැයි නොකියන්නේ වැඩක් නැති නිසාය. උන්ගේ සද්දය අඩු කිරීමට උත්සාහ නොගන්න අපි උන්ට කියන්නේ මචං පොඩ්ඩක් කට වහගෙන හිටපං කියාය. කට වැසුවොත් මිසක් කටහඬ අඩු කර කතා කරන්නට නම් උන් දෙන්නාට නොහැකිය. පොඩ්ඩක් සද්දය අඩුවෙන් කතා කරපං කිව්වොත් මුල් වචනය හෝ දෙක පමණක් අඩුවෙන් කතා කර නැවත සුපුරුදු විලාසයට ඒම උන් උපතින් ගෙනා දෙයක් විය හැකිය. ඉතිං එව්වා හැදීමට අපිට නොහැකිය.



පොඩි කඩයකට ගොස් අප දස දෙනාම වාඩි වූයේ කෑමට සහ ප්ලේන්ටි ගැසීමටය. අරුන් දෙන්නා කඩේ වාඩි වූ වෙලාවේ සිටම නොනවත්වා කියවිල්ලය. බිත්තර ආප්ප ඉල්ලීම්, ප්ලේන් ආප්ප ඉල්ලීම්, ලුණු මිරිස් ඉල්ලීම් ඒ අතරය. නොනැවතී කඩේ ඇති බෝඩ් ලෑලි පවා කියවමින් ඇතුලේ සිටි අනිත් මිනිසුන් පවා අපහසුතාවයට පත් කිරීමට උන් සමත් වීය. කඩේ පොඩි නිසා දෝංකාරය වැඩිය. උන් දෙන්නා කියවන විට එය තවත් ඩබල්ය. කඩේ ඇතුලට ගොඩවන විට ඇතුලේ පාසැල් වැඩ කරමින් සිටි පොඩි කොල්ලෙක් සියල්ල පසෙක තබා කුස්සියට දිව්වේ අපේ උන් දෙන්නාගේ සද්දය නිසාය. කඩේ අක්කාට ඌරු ජුවල්ය.

"මල්ලී ඔය දෙන්නෑ සද්දෙ නවත්වනවද? අපෙ දරුවන්ට ඔව්වා දරා ගන්න බැහැ"

උන් දෙන්නාගේ සද්දය මැකී යද්දි කඩේම හිටිය සුවහසක් ජනතාව වහලය ගැලවෙන්න සිනාසුනේ අක්කාට ආඩම්බරයක් එක් කරමින්ය. කොල්ලාද නැවත මේසයට පැමිණ පාසැල් වැඩ පටන් ගත්තේය.

සියල්ල අවසන අක්කා බිල හැදුවාය. කෑවාට වඩා බිල වැඩි බව අප සැමට තේරුණු නිසා නැවත කාපු බීපුවා කියමින් ගණන් හැදුවේ අපේ උන් දෙන්නාය. උන්ට අක්කා සමඟ තිබුණේ සල්ලි නොගෙවා එන තරම් ඇරියස් එකක් බව කිව යුතුය.

අවසන අක්කා සියල්ල ගණන් බලා කලින් කියූ මුළු එකතුවට වඩා රුපියල් පන්සියයකට වඩා අඩු එකතුවක් කිව්වාය. අපේ උන් දෙන්නට අක්කා එල්ලා මැරීමට වරෙන්තු දුන්නා මෙන් සතුටුය.

"අක්කෙ මේ ඔයා හිතුමතේට හොර ගණන් කියන්න එපා.. අපෙ උන්ට ඔව්වා දරා ගන්න බැහැ.."

කෑගහන්නට එපා මල්ලී යැයි කියූ තැන සිට කතා නොකර සිටි ඇරියස් එක කවර් කරන්නට අපේ උන් දෙන්නාට හැකි විය. එදා සිට උන් කෑගසන හැම මොහොතකම කඩේ අක්කා මොහොතකට සිහි කළොත් සද්දට මදක් අඩු කර ගත හැකිය.

#sAmsRi_11:57pm/06/03/19

Monday, March 4, 2019

කෙටිම කෙටි හිඟන කතාවක් - A Beggar's Tiny Tale !!




සුපර් මාකට් එකක රථය ගාල් කර ඇතුලට යද්දී හිඟන මනුස්සයෙක් ඉදිරියට ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"මෙන්න පනහක්..."

ඇතුලේ වැඩකටයුතු නිමා කරමින් එළියට ආවේ ගෙදර යන්නය. ඩෑල් එක නැවතත් ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"ඇයි දැන් පනහක් දුන්නේ.."

ඩෑල් එක මාරුය. හැමදාම වගේ කිසි ප්‍රමිතියක් නැතිව, කලින් සල්ලි දුන් උන්ගේ අත්සනක් වත් දා ගන්නේ නැතුව පස්සෙන් එලවා නියමාකාරයෙන් නොකරන මේ රස්සාවට බනින එක දැන් කම්මැලිය.

වාහනයට නැග්ගා විතරයි තව කෝල් එකක්ය. එක්කෝ බඩු ලිස්ට් එක වැඩි කර එවන එකක් විය හැකි යැයි එතැනම ආන්සර් කළේ සෑමාය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ඒ හඬ නැවත ඇසුනේ ෆෝන් එකෙන් නොවන බව පැහැදිලිය. බාගෙට ඇරී ඇති ෂටර් එකෙන් නැවතත් ඩයල් එක පැමිණ තිබුණේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

සෑමාට මරු ජුවල් අස්සේ ආතල් එකක් ගියේය.

"ඇයි හලෝ ඔයාට පනහක් දීගෙන ඇතුලට ගියේ ඒකෙන් ගන්නවකෝ.."

"හරි සර්.. හාල් කිලෝ එක හරි පොල් ගෙඩියක්...!!"

"ඔව් ඕයි ඒ පොල් ගෙඩියට තමා රුපියල් පනහක් දුන්නේ"

ඩෑල් එක මිසින්ය. කෝල් එක අවසන ගේට් එකෙන් එළියට එන්නට හැරෙන විට වාහනයට පැන්නේ නැවතත් ඔහුමය. ඔහුගේ කට සෙලවෙන අයුරු මට පැහැදිලිය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ගෙදර පැමිණ ටීවී බලන අතර සෑමාට බකස් ගා හිනා ගියේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

කතාව උපහාසයට මිස අපහාසයට නොවුනත්,
හිඟා කෑමත් කලාවක්ය.
මාකටින් නැතුව කිසිත් බැරිය.

#sAmsRi_04/03/19

Saturday, March 2, 2019

කෙල්ලෙක් නම් ඕනෙ එකක්.. - How guys spoil themselves !!

"අයියේ ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න.. ප්ලීස්.. ❤"

මෙහෙම එවපු නංකි කෙනෙක් ගෙ ප්‍රොෆයිල් එකට ගියා. කොල්ලෙක් මැසේජ් කරපු ස්ක්‍රීන් ශොට් සැට් එකක් දාලා ඌව විනාශ කරලා. නොදන්න උන් චැට් එනවලු. ඒකිගෙන් ලකුණු ගන්න කොල්ලෝ වට වෙලා ඌවත් ඩූසණය කරලා.

අපි එහෙම දැම්මොත් මෙන්න නොදන්න කෙල්ලෙක් ලයික් ඉල්ලනවෝ කියලා....

මොනෝත්තටද යකෝ ඇඩ් කර ගත්තෙ.
- හොඳම යාලුවෙක්

ප්‍රොෆයිල් එක දීපං උබට බැරි නම් අපි ලයික් දාන්න.
- යාලුවෙක්

ඕකනෙ කියන්නෙ නොදන්න අය ඇඩ් කරගන්න එපා කියලා.
- ශ්‍රී ලංකා පොලිසිය

චාටර් කරන්න එපා මම යකෝ ෆේක් එකකින් ආවෙ.
- මෛත්‍රීපාල සිරිසේන

බේරිලා එනකල් හිටාංකො බාවන්ඩ
- මා.මඩූස්

චීත්තයක්, ජීන්ස් එකක් වෙන්ඩම ඕනි ෆ්‍රෙන්ස් බය නැතුව ලයික් එකක් ඉල්ලන්න. සරමක්, ශෝටක් වගේ නම් මරණ වරෙන්තුව අතේ තියන් ඉල්ලන්න.

Wednesday, February 27, 2019

නොකියාම නිදි නේද?




බිම වැටී ඇති පිනි සේම
දිළිසුනා ඔබ ළඟ  පාත
වැතිරිලා මම නොදොඩාම
රස සොයමි රහසේම

පිනි වාගේ දිලුනාට
පැණි රසක් නැතුවාට
දහඩියෙන් නැහැවීම
නිදි නේද නොකියාම

ඉඩ නැතිව සයනේම
කිටි කිටියෙ වෙලුනාම
මඳ අඳුරෙ ගිලුනාම
ආදරේ ‍නොදැනේද

කෙටි හුස්ම හනි හනික
ගන්නේද නුබ මැණික
නිදි සේම පැද්දේද
ඔය පපුව මැද හුස්ම

ඇස් පියන් තද කරන්
නොනිදාම ඔබ නිදන්
මට පහසුවෙන් තියන්
ඉඩ දෙන්නෙ කිම කියන්

සිහිසුන්ව ඔබ වැටී
මට ලිහිල් බව දි දී
කිමිදෙන්න හුස්ම දී
නුබ හොරෙන් ඇයි නිදී

සඳ රැස් අප දකී
මද සුළං රැල් වැදී
ඇහැරෙන්න හිත නොදී
නුබ හිදින් මම සිබී

මගෙ උකුල් බර දැනී
හිදින් නුබ නොරැවටී
සේද තිරපට ඇරී
මුළු රෑම නෑ නිදී

#sAmsRi_27/02/19

Monday, February 25, 2019

මගේ කිරි කතාව.. - My Milk Story !!


කිරි පිටි පිළිබඳව කතිකාවක් ඇති වූයේ මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කළ ප්‍රකාශයක් නිසාය. ඔහු සඳහන් කළේ කිරි පිටි වල ඌරු තෙල් අඩංගු බවය. ඊට විරුද්ධව හඬ නඟන රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඌරු තෙල් අඩංගු නැති බව විද්‍යාත්මකව සනාථ කර ඇති බවත් කිරි පිටි භාවිතය පිළිබඳව කිසිඳු ගැටළුවක් ඇති කර ගත යුතු නැති බවත්ය. කතාව තවත් ඉහළ තලයකට ගෙන යන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් කළ ප්‍රකාශයක් නිසාය. තමන් සෞඛ්‍යය ඇමතිව සිටි කාළයේ කිසිදු කිරිපිටි නිශ්පාදක සමාගමක් සමඟ කිසිම ගණුදෙනුවක් නොකළ බවක්ය. එය රාජිතගේ කිරිපිටි ඩීල් ගැන නොකියා කියූ කතාවක් වැනිය. කෙසේ වෙතත් දේශීය කිරි නිශ්පාදනය රටේම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නොවන තැනක බොහෝ අය කියන්නේ කිරි පිටි අත්‍යාවශ්‍යය දෙයක් නොවන බවය. ක්ෂීරපායී සත්වයින් ඉපදී මුල් කාලයේ ආහාරයට ගන්නා කිරි නැවත භාවිතයට නොගනිති. එසේ ගන්නේ මිනිසුන් පමණක්මය. 



ඇත්තටම කිරි පිටි මිනිස්සුන්ට බලෙන් එබ්බවූ දෙයක්ය. නුවනක්කාර වන්නට ගැහැණිය මිලට ගත යුත්තේ රත්තී යන වචන ටික නිතරම ඔබේ ඔලුවට දමන්නේ වෙළඳ දැන්වීම් වලින්ය. ජව ශක්තිය පෝෂණය නැතුව හැම උදෑසනක්ම අසාර්ථක වන බව කියන්නේද කිරිපිටි ආයතනයක්ය. සම්පූර්ණ යොදය සහිතව අවශ්‍යය නම් ආහාරයට ගත යුත්තේද කිරි පිටි බව මතක් කර දෙන්නේද වෙළඳ දැන්වීම් මඟින්ය. සියළුම ආයතන විටින් විට රූපවාහිනීයේ ඔබ අප ඉදිරියේ හඬා වැටෙන්නේ ඔවුන්ගේ එක හොඳම එක කියා මතක්කර දෙමින්ය.

කොතරම් කිරිපිටි වැඩක් නෑ යැයි කියෙව්වාට සෑමාද කිරිපිටි ජීවියෙක්ය. මව් කිරි වලින් නතර වී නැවත කිරිපිටි වලට සෑමා හුරු වූයේ කුඩා කාලයේ සිටය. උදෑසන අවදිව උදෑසන ආහාර වේල නොගෙනම පාසැල් යන සෑමාගේ උදෑසන ආහාරය වූයේ අම්මා සාදා දෙන කිරිපිටි එකය. ඉන්පසු උදෑසන කෑම ලෙස ගන්නේ පාසැල් රැගෙන යන කෑම පාර්සලය ය. රාත්‍රී ආහාරයට පසු නින්දට පෙර කිරි බීමද පුරුදු කළේ අම්මාය. අද තවමත් ඒ පුරුද්ද තාත්තාටද තිබෙන්නේ අම්මා නිසාය. උදෑසන අම්මා දෙන කිරි වේල සහ සවස ලැබෙන කිරි වේල තාත්තාටද ආවේණික දෙයක්ය. 

විවාහයෙන් පසුද ඒ පුරුද්ද අතෑරීමට සෑමාට නොහැකි වූයේය. උදේ සවස බොන කිරි එක අත්‍යාවශ්‍යය දෙයක් ලෙස මානසික බලපෑමක් කාටත් හොරා සිතේ රජ කරන නිසාම අතහැරීමට අපහසුය. දින කිහිපයක් සෑමා කිටී සහ ඇගේ අම්මා කිරිපිටි වලට තිත තබමු යන සංකල්පය යටතේ උදෑසන අවදි වූ විට කිරි වෙනුවට උණු වතුර වීදුරුවක් බීමට උත්සාහ කළෝය. දින දෙකක් හෝ තුනක් උපරිමයෙන් එම උත්සාහය සාර්ථක වූ අතර ඉන්පසු ඔන්න ඔහේ කිරි එකක්ම බොමු අප්පා යැයි එකඟතාවයකට පැමිණ නැවත පරාජිත පුරුද්දට වැටුනෙමු.

කිරිපිටි පිළිබඳ නැවතත් ඇතිවූ කතිකාව නිසා ඒ පුරුද්ද අත්හැරීමට නැවත වරක් උත්සාහ ගැනීමට කාලය එළැඹ ඇත. දරුවන්ට සහ ඔබ අප පරිභෝජනය කරන කිරිපිටි වෙනුවට කොළ කැඳ වර්ගයක් හෝ වෙනත් පානයක් ආදේශ කර ගැනීමෙන් මසකට රුපියල් පන්දාහක පමණ අවම ඉතිරියක් පවුලකට සාදාගත හැකි බව සෑමාගේ මතයයි.

මම  කිරි පිටි අතහරින තුරු ඔබට කරන්න යැයි බලපෑම් නොකරමි.
එහෙත් ඔබත් එලෙස අතහරින්නේ නම් සතුටුය.

#sAmsRi_25/02/19

Friday, February 22, 2019

සිහිනය පරම්පරා දෙකක දුරින් ය...!!


අපේ පරම්පරාව පාසැල් සමයේ සිටම වෙනස් කරමු යැයි කියන පරම්පරාව ලෙස හැඳින්වීමට සෑමා කැමතිය. රචනාවක්  ලියුවත්, කතාවක් පැවැත්වූවත් අපේ උන් ලිව්වේ කිව්වේ වෙනස් වෙන හැටි ගැනය. රැක ගන්නා හැටි ගැනය. බොහෝ මාතෘකා පරිසරය ගැනය. පරිසර විනාශය ගැන හඳුන්වා දෙන රචනා අවසන් වූයේ පරිසරය රැක ගනිමු කියාය. ඔබ රැකුනොත් අපිත් රැකේ ලෙස කිව්වේද පරිසරය ගැනය. මේ ටික ලියන්නට සෑමාට සිත් වූයේ වෙනස් වෙන පරම්පරාව ඈතක නොවන බව කීමටය. නමුත් ඒ පරම්පරාව අපට කලින් පරම්පරාවට පසුවත්, අපේ පරම්පරාවට පසුවත් බව කීමටය.



සපුගස්කන්ද ප්‍රදේශයේ One way හරස් මාර්ග දෙකක් ඇත. ඒ හරස් මාර්ග දෙක ඇත්තේ කලාප අධ්‍යාපන කාර්යාලය පැත්තට දෙල්ගොඩ පාර සහ මාකොල පාර යා කිරීමටය. එක ලඟ වැටී ඇති හරස් කෙටි පාරවල් දෙක නිවැරදි ආකාරයෙන් භාවිතය කාටත් පහසුය. සපුගස්කන්ද පැත්තේ සිට කිරිබත්ගොඩ පැත්තට යන සෑමාට හරස් පාරේ ඇති තැපැල් කාර්්‍යාලයට යෑමට වටයක් ගසන්නට සිදු වේ. එක වන් වේ එකකින් දෙල්ගොඩ පාරට දමා තැපැල් කන්තෝරුවට ගොස දෙල්ගොඩ පාරෙන් නැවත මාකොල පාරට දමන්නට සිදුවන්නේ නීතිය පිළිපැදීමටය.එහෙව් අමාරුවෙන් නැවත මාකොළ පාරට දමන සෑමාට මුහුණට හමුවූයේ ත්‍රී රෝද රථයක්ය. කලින් පරම්පරාවේ අංකල් ඩෑල් එකක් නිසා පාඩමක් ඉගැන්විය යුතු යැයි සෑමාට සිතුණේ කුපාඩිකමටය. ත්‍රී රෝද රථය හරස් කර නැවැත්වූ සෑමාට අංකල් අත පය විසික් කරමින් කීවේ තමාට යන්නට ඉඩ දී පසුපසට ගන්නා ලෙසය.

"ආ.. අංකල් මේක වන් වේ නේද?"

"ඔව් ඇයි?"

"ඇයි නෙවෙ, හරියට යන්න ඕනි නම් එහා පැත්තෙ පාරෙන් දාලා එන්න තිබ්බා.. කාටත් කරදරයක් නැහැ එහෙම කළා නම්.."

"අනේ යනවා ඕයි යන්න.."

අංකල් සරලව පිළිතුරු දී තමාම වාහනය පිටු පසට ගෙන සෑමාට ඉඩ දුන්නේය. කතාව එතැනින් ඉවර කළේ මෙච්චර වයසට ගිය අංකල්ව හදන්න සෑමාට බැරි නිසාය. වරද කළ බව ඇත්තය. හිනාවකින් වරද පිළිගෙන ලිස්සා ගියා නම් අංකල් ඊටත් වඩා ලස්සනය.

එතන් සිට සෑමා කල්පනාවට වැටුනේ මාර්ග විනය කඩන බොහෝ පිරිස් අංකල්ලා සීයලා බව සිහි වූ නිසාය. වයසත් එක්ක එන පිළිනොගන්නා බව සහ දරදඬු බව නිසාම ඔවුන්ගේ මාර්ග විනය පිරිහී ඇත. හදන්නට යෑම තේරුමක් නැත. ඒ නිසා කාලයට ඉඩ දී පරම්පරා දෙකක් වත් ඉවසිය යුතු බවය සත්‍යය.

පාරිසරික ප්‍රශ්න වලදීද වැඩිහිටි පරම්පරාවේ උද්දච්ච දරදඬු වැඩ බොහෝය. බුලත් කෙල ගැසීම දැන් තරමක අඩු වී ඇත්තේ අලුත් පරම්පරාව බුලත් කෑම අවම නිසා බව කිව හැකිය. එලෙසම උඩින් පරම්පරා දෙකකින් අපි පැතූ පරිසරය දුර බව කිව යුතුය. සිගරැට් බීම වැඩිහිටි සහ අපේ පරම්පරාවටත් පොදුය. ඒ අතරින් වැඩිහිටියන් ෆිල්ටරය අත කරකවා කොහේ හෝ විසිකරන හැටි සෑමා දැක ඇත්තේය. අතේ ඉතිරිවන ෆිල්ටර් කොටය කසල බඳුනකට හෝ අළු බඳුනකට දමා යන තරුණ පිරිස් බොහෝය. වැරදි අවම කිරීම අතින් තරුණ පරම්පරාව ප්‍රමඛ බව කිව හැකිය. 

දිනක් සෑමා ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කැළණිය විද්‍යාලයේ පාසැල් බසයෙන් විටින් විට තැනින් තැන බසයේ ජනේල් වලින් එළියට දමන අයිස් ක්‍රීම් කවර සෑමා දුටුවේය. සුළඟට පාව ඇවිත් පාර පුරා විටින් විට රට මැවූ අයිස් ක්‍රීම් කවර දැක සෑමාට ඇති වූයේ කලකිරීමක්ය. පාසැලේ නම ගැසූ බසයෙන් ලැජ්ජා නැතුව කුණු එළියට දමන්නට තරම් පොඩි උන් මෝඩ යැයි සිතන්නට බැරිය. බසය හරස් කොට රියදුරුට කතා කළේ සෑමාය. වැඩිහිටි පුද්ගලයෙකු වූ ඔහුට එය ගණනකට නැති දෙයක් බවට පෙනී ගියේය. නැති නම් රියදුරුට පැති කණ්නාඩි වලින් සිද්ධිය නොපෙනෙන්නට ඉඩක් නැත. එය දැක නොදැක්කා ලෙස සිටිනා උඩ පරම්පරාවේ නැහැදිච්ච ඔහු කවදාවත් යට පරම්පරාවකට හරි වැරැද්දක් කියා දෙන්නේද නැත.

කසල කළමනාකරණය, කුණු වෙන් කිරීම සම්බන්ධයෙන් නව පරපුර දැනුවත්ය. දිරා යන නොයන සහ ඉඳුල් ද්‍රව්‍ය ලෙස කසල වෙන්කර කුණු ලොරියට බාර දීම උඩ පරම්පරාවට මහ බරක්ය. කුණු ගිණි තබන විට එහි වූ ප්ලාස්ටික් කැබලි ඉවත් කර නිවැරදිව ගිණි තැබීමට පවා ඔවුන් කම්මැලිය. එහෙත් අපේ කාලේ උබලෑ ක ාලේ කියා උද්දච්ච කතා කියමින් පොඩි උන්ට ලොරි ටෝක්ස් දීමේලා පුරෝගාමීන්ය.

ත්‍රීවීල් අංකල් සෑමාව දුරකට ගෙන ගොස් අතෑරියේ තව ප රම්පරා දෙකකින්වත් උබලා පතන ලෝකය බිහි වෙනවා යැයි කියා දෙමින්ය.

නොහැදෙනා අංකල්ලාට, ඇන්ටිලාට,
ස්තූතියි කියා දුන්නාට !!

sAm_sRi_9:15pm_22/02/19

Tuesday, January 1, 2019

දුක් මොහොතක දැනෙන සතුට.. - A Friend in Need !!




සෑමා දිලා සමඟ වැලිසර රෝහලට ගියේ රාජකාරී කටයුත්තකටය. ඒ අතර දිලාට අතුරු වැඩක්ද පැවරී තිබුණේ තම ආයතනයේ ප්‍රධානියෙක් ගේ රෝගියෙක් බැලීමටය. සියළු වැඩ නිමා කොට දිලා සහ සෑමා රෝගියාගේ නම පමණකි තිබුණු SMS එක රැගෙන ගියේ තුන්වන වාට්ටුවටය. මැසේජ් එකේ තිබුණේ වාට්ටු අංකය පමණක්ය. එතැනින් එහාට රෝගියාගේ් නම ඔස්සේ අප ඇද සොයා ගත යුතුය. කවදාවත් දැක නොමැති රෝගී කාන්තාවක් සොයා යෑම අපහසුය. එහෙත් එතරම් රෝගීන් බහුල නොවූ වාට්ටුවක ඇය සොයා ගැනීම අපහසු නොවනු ඇතැයි අප සතු වූ බලාපොරොත්තුවක්ය. මුලින්ම අප සිතා සිටියේ ආයතනයේ එතරම් ධනවත්, බලවත් පුද්ගලයෙකුගේ ඥාතියෙක් මෙහි රඳවා සිටින්නේ මන්ද කියාය. විටෙක පුද්ගලික රෝහලකට නොගියේ මන්දැයි ප්‍රශ්නය අප සතු වූයේය. වාට්ටුව සොයා යද්දී මඟදී හමු වූයේ සෑමාගේ මිත්‍රයෙක්ය. ගමේ එකෙක්ය.

"අඩෝ.. "

"මොකෝ බං මෙතන.."

ගමේ කම අපේ කම ඉස්සර වූයේය. කොල්ලා සිටියේ එතැන තිබූ කණුවකට හේත්තු වෙලාය. ඔලුව බරකින් විය යුතුය. කිසිවෙකු රෝහලේ ප්‍රථිකාර ගන්නවා විය යුතුය.

"අම්මා ICU බං.. අපි මේ සිහිය එනකල් ඉන්නවා.."

ඇගේ සම්පූර්ණ විස්තරය සෑමා අසා දැන ගත්තේය. ලොකු සීන් එකක් නෙවේය. සෙම ඉවත් කරන සැත්කමක්ය. එහෙත් ICU එකය. සැත්කමක්ය. මහා බරක්ය. නීරෝගීකම උතුම්ම ලාභය බව සැබෑය. ගහක් ගලක් මෙන් මිනිස්සු බිම ඇදන් වැටෙන්නේ කෙසේ දැයි කාටත් උත්තර නැතිය. 

"කෝ වෙන කවුරුත් නැද්ද, උබ විතරද ආවෙ.."

"නෑ බං තාත්තා ඉන්නවා.."

"අපි මේ ලෙඩෙක් බලන්න තුන්වෙනි වාට්ටුව හොයන් යනවා බං.."

"ආ.. අපෙ අම්ම හිටියෙ ඒකෙ.. ඉදපං මම පෙන්නන්න.."

මිතුරා වාට්ටුවට යන හැටි සවිස්තරාත්මකව පෙන්වද්දී එතැනට ආවේ මිතුරාගේ තාත්තාය. සෑමාගේ ද හොද මිතුරෙක්ය. අංකල් හොඳ එකාය. ඇන්ටීද එලෙසමය. සැත්කමේ ප්‍රමාණය මත නොව, සැත්කමක්ය යන වචනය නිසා අංකල්ට සෑමාව හරියට මීටර් වූයේ නැතිය.

"ආ. අංකල්.. මොකද ඇන්ටිට??"

"අනෙ මහත්තයෝ බලන්නකෝ.."

කියමින් අංකල් කතාව පටන් ගත්තේය. සෑමාව සිහි නොවීය. ඔපීස් ඇඳුම් නිසා සහ ටයි පටිය නිසා අංකල් සිතන්නට ඇත්තේ වැරදියටය. කරදයකින් ඔලුව වැහිලාය. වෛද්‍යවරයෙකු ලෙස සෑමා ගැන සිතන්නට ඇතිය. නැවත එතැනට එන පොරොන්දු පිට සෑමා සහ දිලා ගියේ තුනවන වාට්ටුවටය. රෝගියා ගේ නමින් ඇද සොයා ගන්නට උදව් කළේ එතැන සිටි හෙදියක්ය.

ඇගේ කතන්දරය වෙනකක්ය. ඒත් දුකක්ය. ඇය රත්නපුරේය. දිලාගේ ආයතනයේ ප්‍රධාන නිලධාරියාගේ කිසිම ඥාතියෙක් නොවේය. ඇය කලින් එම ආයතනයේ සිටි සාමාන්‍ය සේවකයෙකුගේ බිරිඳක්ය. ඇගේ ස්වාමියා සහ දැරිය ඕස්ට්‍රේලියාවේය. ඇය මෙහේ ලෙඩ ඇඳේය. ඔවුන් නත්තල් නිවාඩුවට ලංකාවට නොඑන බවත්, නැවත එන්නේ අප්‍රේල් බවත් ඇය කිව්වාය. ඇය ඔවුන් සමග රටට නොගියේ ඇයිදැයි අසන්නට නොගියේය. ඒවා අපට අදාල නැතිය. එහෙත් කිසි කලෙක නොදුටු රෝගී කාන්තාවක්, ගෙදර උදවියද නොමැතිව, බලන්නට ගිය මොහොතක ඇයට ඇති වූයේ අමුතු සතුටක්ය. ඒ බව ඇය අප හා කළ කතා බහෙන් අපූරුවට පෙනෙන්නට තිබුණේය.

නොදන්නා ඇයත්, දන්නා සෑමාගේ මිතුරා සහ අංකලුත් එකම අවස්ථා දෙකකය. දෙතැනම සිත් තැවුල්ය. දන්නා අංකල්ට සෑමා අමතකව දැනුන සතුට පැහැදිලිය. නොදන්නා ඇන්ටී ට අප දැක දැනුන සතුටද පැහැදිලිය. කාන්තාරයක හෝ කෙලවී සිටින අවස්ථාවක දන්නා එකෙක් හමුවෙනවා නම් දැනෙන සතුට, කෙලවී සිටින දුක මකාලන දිව්‍ය ඔසුවක් බව කිව යුතුය. එහෙව් තැනකදී තරුවක්ව පායා කාන්තරයට මාවතක් පෙන්වන්නට ලැබීමද භාග්‍යයක්ය.

Written_by_sAm_ශ්‍රී_14/12/2017
Related Posts Plugin for WordPress, Blogger...