Thursday, October 30, 2014

උන් තැන නොමැත මාගේ පිංබර අම්මා...!!!



http://www.yousaytoo.com/ammaa-sndki/2726504


පෙරදා පිපුණු හිරු මල දුටුවේ නැත මා
කළු වූ වලා අතරින් එළියක් වැටුණා
හිරිපොද වැස්ස නැඟුනා හිරිගඬු පුම්බා
හිරු හැංඟිලා අඳුරින් දවසම පිරුණා


සීතල වතුර කැට එක්කොට සිරුර දොවා
තෙත් වූ නිල ඇඳුම අතගෙන දිගහැරලා
පොල් කටු ඉස්කිරිම තබලා පිරිමැද්දා
තෙත් බව දුරලන්න ඒ රස්නෙට බැරුවා


සිත් නැති වැස්ස පාසල් ගමනට බාධා
රත් කර ඇඳුම් වේලා ගන්නට බැරුවා
තෙත් බව නොවේ නිසි කළ ගත් විට සෝදා
මෙත් සිත් බිඳී අම්මා හට දොස් නැඟුණා


නැඟ බැස කන්ද පාසල් ගමනේ යෙදිලා
එන්නේ සවස හොදටම විඩා වෙලා
අම්මා කළ යුතුය මගෙ වැඩ සොයා බලා
තෙත් වූ ඇඳුම් ඈ මත වරදක් කෙරුවා


නෙසතුටු සිතින් සීතල සුසුමක් සලලා
අම්මා දෙපා නොවැඳම එළියට බැහැලා
දොරටුව අසල සිටි අම්මා දෙස නොබලා
පාසල් යන්න ආවා එළියට බැහැලා


සත්තයි බරයි වෙනදට වැඩියෙන් අඩිය
උස්සා තබන්නට බැරි තරමට වෙහෙස
ඇත්තයි දනිමි වෙහෙසන බැව් ඔබ සසර
මොහොතයි තරහ නිවසට විත් යාළු වෙමි


පාසල් ගොසින් පොත් පත් පෙරලා බැලුවා
යෙහෙලියො අතර නොගැටී නිසලව සිටියා
උණුසුම දැනෙන තැන ඒ උණුසුම වින්දා
තෙත් වූ සීත ඇඳුමෙන් සැඟවී සිටියා


චිරි චිරි වැස්ස දවසම නිවනක් නැත්තේ
පොත පත වැඩට සිතුවිලි බාධා මත්තේ
අබලන් ගෙදර අම්මා තනිවම ඇත්තේ
පාසල අතර දිව යයි සිත ගේ පැත්තේ


සුළඟින් වැස්ස දරුණුව වැඩි වී දැනුනා
ලෝකය කඩා වැටෙනා බව සිත් කිව්වා
කඳු වැටි නාය ගොස් බව ඇතමුන් කිව්වා
කලබල මැද්දෙ දෙපයින් හැම තැන දිව්වා


නිවස නොපෙනෙනා මානේ සිට බැලුව
කිසිවක් නොපෙනුනේ විදිහට මා සිතුව
පස් කඳු පමණි දිස් වුණි පොළොවේ මතුව
දියවී ගොසින් වෑහෙන කදුලැලි ඇතිව


පුපුරා දැවෙයි හදවත කදුලැලි නිම්මා
හිත් නැති අහස නිවසක් අතුරා දැම්මා

 උන් තැන නොමැත මාගේ පිම්බර අම්මා
පතනෙමි අමා සුව බුදු සරණයි සම්මා


sAm_ශ්‍රී_Perera_7:02am_30/10/14

Thursday, October 23, 2014

ගිහි සැප විඳින පැවිද්දෝ පිළිබඳ ගීතවත් කතාව... - Obey to the Lyrics !!


බුද්ධ දේශනාව නම් මැදුම් පිළිවෙතය. කාමසුඛල්ලිකානු යෝගය හෙවත් අධික සැප විදීම අත හැරීමය. අත්තකිලමථානු යෝගය හෙවත් අධික දුක් විදීමද අත හැරීමය. එනම් ඒ දෙපැත්තටම නොගොස් මැද පිලිවෙතේ සිට ලෝභ, ද්වේශ, මෝහ අතැර මැදුම් පිළිවෙතින් තෘෂ්ණාව ප්‍රහීන කිරීමය. තත්වය එසේ තිබියදී ජීවිතය ගැන කළකිරී, නිමල බුද්ධ ධර්මය ඉගෙන ගෙන සසර කතරින් එතෙර වීමට සසුන් ගත වන්නෝ හෙවත් පැවිද්දෝ බොහෝය. එලෙස පැවිදිව ඔවුන් ගෙවන්නේ මැදුම් පිළිවෙතමද? සිතිය යුත්තේ එයයි. තම පන්සලට වාහනයක නැතිනම්, බණට දානයට වැඩීමට ප්‍රවාහන පහසුකම් නැති තැන සිට සොයන්නේ සැපය. ගමනා ගමනයට වාහනයක් තිබීම හෝ ඒ සඳහා වෙනත් ක්‍රමයක් සෙවීම සාධාරණය. වාහනය හොඳ ජාතියේ එකක් විය යුතුයැයි සෙවීම, වාහන‍යේ සැප සෙවීම, ආදිය ආශාවන්ගේ ඇලීමේ ප්‍රමාණය මත අසාධාරණය. දානය පූජා කරන ගිහියාගේ සිට, බණ දහම් අසා බුද්ධ ධර්මය මත යැපෙන ගිහියා දක්වා එය නම් පට්ට අසාධාරණය.

විටක මෙය වාහනයෙන් නොනැවතෙන්නේය. එය ගිහි සැප දක්වාම දිවෙන්නේය. දානය ලැබෙද්දී එය රසවත් විය යුතුය. පිරිසිදු විය යුතුය. එය දන් දෙන්නා අත තිබිය යුතු ගුණයක්ය. එමෙන්ම ඕනෑම පෘථජන පුද්ගලයෙක් (පැවිද්දන් ඇතුළුව) බලාපොරොත්තුවන දෙයක්ය. එය එසේ විය යුතුය. මන්ද අපේ උන් දාන දෙන්නේ ගෙදර එකෙක් මළාමය. එවිට ලැබෙන පින් වැඩි වෙන්නට කෑම රසවත් හා පිරිසිදු වීම හොඳය. නැත්තං මැරුණ එකා ගෙදර විත් හොල්මන් කරනවා ෂුවර්ය. ඒ කෑම වේලට, දාන වේලට මැරුණ එකා කැමතිම ආහාරය මෙනූ ගත වීම තවත් හොඳය. එවිට ගෙදර උන්ට දැනෙන බය අඩුය. මන්ද මැරුණ එකාගේ හොල්මනින් බේරිය හැකිය. දානය එසේ පිරිසිදු රසවත් වීමට අමතරව පන්සලෙන්, හාමුදුරුවන්ගෙන් මෙනූ එකක් දානය දෙන ගෙදරට ලැබෙන්නේ නම් එය සාධාරණ දැයි දෙවරක් සිතිය යුතුය. කෑම කඩෙන් ඕඩර් කර ගෙන්වා ගන්නා සේම දායක මහත්යාගේ නිවසට දෙන මෙනූ එක සාධාරණ දැයි හිතන්නට තරම් දෙයක් නැතිය. පැවිද්දෙකු මස් මාළු කෑම දැන් සාමාන්‍ය සිද්ධියක්ය. මස් යනු බොහෝ විට චිකන්ය. චිකන් කෑම වරදක් නොවන තැනට වැටී ඇත්තේය. හරකා, ඌරා නම් පැවිද්දන්ට අකැප ලිස්ට් එකේ තැබෙන්නේය. චිකන් කෑම එතරම් දරුණු සිද්ධියක් ලෙසට නොගැනෙන නිසා මස් මාළු කෑම පිළිබඳ සෑමාගේ සිතේ අකැපක් නොමැති තරම්ය. එහෙත් ගිහියාගේ ආර්ථික මට්ටම අනුව සකසන්නට යන දාන මෙනූ එකට හාමුදුරුවන්ගේ මෙනූ එක බද්ධ වන්නේ නම් ඒ තරම් කොල්ල කෑමක් ලොවෙත් නැතිය.

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගියෝ උපාසකයෝය. මේ උපාසක, උපාසිකාවෝ විටක ගෙදර ජීවත් වන්නට මුදල් නැත්නම් සරණ යන්නේ සංඝයාගේය. ගෙදර ඉන්නා හයක් හතරක් නොදන්නා පොඩි එකාව පන්සලට ගෙනිහින් දමා පැවිදි කරවන්නෝය. පොඩි එකාට උගන්වන්නට මුදල් නැති තැන ඌව පන්සලට යවා, හිස බූ ගා, සිවුර අන්දවා, පන්සලේ මුදලින් දරුවාට උගන්වන්නෝය. ඒ අතර පන්සලේ මුදල් ගෙදරට අඳින්නෝය. ඒ අතර මැද ගෙදරට වඩින පොඩි නම ගම මැද්දේ සිට නිවසට වඩම්මාගෙන වටේ පිටේ ගෙවල් වලින් කලෙක්ෂන් දමන්නෝය. ඒ අතර මැද පිරිවෙන් අධ්‍යාපනය ලබා, ගුරුවෘත්තියට බැදෙන තරුණ හිමි නම කොහෙන් හෝ කෙල්ලෙක් සැට් කරගෙන සිවුර හැර යන්නෝය. 

මෑතකදී සෑමා පන්සලකට ගියේය. පැත්තකින් සෑමාගේ කන වැකුනේ සෝමතිලක ජයමහ මහතාගේ අපූරු ගීත වැලක්ය. 

“ඈත රටින් ලද දූත හසුන් - බැලුවාට හොරෙන් සඳ එළියේ...
ප්‍රේම විරහ දුක සෝකය දී පිටු - පානු එපා සඳවතියේ...“

ගීතය නම් මනමාල ගිරවුය. සරලය, අර්ථවත්ය, සංගීත රසයෙන් යුක්තය. අනිවාර්යයෙන් සාහිත්‍යෙයන් පැසසිය යුත්තේය. බොහෝ ආදරබර ගීත, විරහ ගීත ලියූවන් අතර පැවිද්දෝ සිටින්නෝය. එය සාහිත්‍ය හැකියාවමය. එවන් මට්ටමකදී මෙවන් ගීත ඇසීම සාධාරණය. විවේචනය කළ යුතු නැතිය. මාද නැවත සෝමතිලකයන්ගේ ගීත ඇසිය යුතු යැයි සිතා නිවසට විත් ගීත ගොනුවේ ඇති පැරණි ගීත ලැයිස්තුව පීරුවේ ඒ නිසාමය. පන්සලේ තිබූ සබ්වූෆර් එකෙන් පැහැදිලිව ඒ හඬ ඇසුනේය. වූෆර් එක නම් මයික්‍රොලැබ් එකක්ය. ඒ බව තරුණ හාමුදුරු දෙනමගේ දෙබසින් ගම්‍ය වූයේය. ක්‍රියේටිව් වූෆර් එකේ මිලත්, කොලිටියත් මයික්‍රෝලැබ් වූෆර් එකත් සමඟ සසඳන්නට හාමුදුරු දෙනම සමත් වුණෝය. ඒ අතර ෆෝන් පිළිබඳ ඇතිවූ දෙබස අපූරුය. ඒ පැරණි ඇල්කාටෙල් මොඩ්ල් ගැන සිට අලුත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් දක්වාම දිව ගිය කතාවක්ය. එම්.සී එකේ ඇති ෆෝන් ගැන, තාක්ෂණික මෙවලම් ගැන ඔවුන් සතු වූ දැනුම සිත් ගන්නා සුළුය. තාක්ෂණික යුගයක ඒ පිළිබඳ දැනුම ලබා ගැනීම වරදක් නොවන්නේය. එහෙත් ගිහි සැප හැරදා, පැවදි වන්නේ ලෝකෝත්තර සුවයකට මිස ලෞකික සුවයක් සඳහා නොවන බැව් නම් කිව යුතුය.

සැප නම් තවත් ප්‍රභේද ගොඩක් ඇත්තේය. ගිහියා විඳින පැවිද්දා නොවිදිය යුතු උපරිම ගිහි සැපය ලෙස දකින්නේ කම් සැපතය. එය විවිධාකාරයෙන් විදින ගිහියෝ පිළිබද සමාජගත ප්‍රසිද්ධ රහස් ඇත්තේය. ඊට පැවිද්දාට වඩා කෙලින්ම වගකිව යුත්තේ කාන්තාවන්ය. පැවිද්දා දෙවෙනුවට වගකිව යුත්තේ යැයි විටක සිතෙන්නේය. මන්ද කාන්තාවක් පැවිද්දෙකු අසලට ගොස් සැප සොයන්නේ රහස්‍යභාවය රැක ගැනීමට මිසක අන් කිසිවකට නොවන්නේය. ගමේ සිටින සිරිපාල හෝ මසිරිපාල සමඟ ජිකි ජිකියක් දැම්මහොත් එය පසුවදාම පබ්ලික් වන්නේය. පබ්ලික් නොවුන හොත් සිරිපාල හෝ මසිරිපාලම එය පබ්ලික් කරන්නේ මහ රැජිණ සමඟ ජිකියක් දැමූ අයෙක් මෙන්ය. එහෙත් පන්සලේ හාමුදුරුවෝ එසේ නැතිය. තැඹිලි, සුප් බී දන් වළදා, පළතුරු අනුභව කරන ස්වාමීන් වහන්සේ අසල සපුමල් සුවඳය. සිරුර සනීපය. සැප නම් අනන්තය. රහස්‍යභාවය නම් මහ පොලොවේ වල දැම්මා සේය. එවන් තැනකින් ලැබෙන සැප පිළිබඳව අධික විශ්වාසය දක්වන කාන්තාවෝ, සතර වරිගයම එගොඩ දමා ගන්නට සැතපෙන්නෝය. අභිධර්මය ගැඹුරින් දකින්නෝය. එතැන් පටන් පන්සලේ කුළඟන සමිතියේ සභාපතිනී, ලේකම්, හෝ භාන්ඩාගාරික තැන හොබවන්නෝය. එතැන ඇත්තේ ගිහියෙකු නොලබන පැවිදි සැපය. අපා ගත වන තාවකාලික සැපය.

මේ සියල්ල පිළිබඳ සෑමාට ලියන්නට සිත් ආවේ අද උදෑසන ඇසුණු ගීතයක් නිසාය. සිරි ලංකාවේ කම්සුව විදිඳ සමහරක් පැවදි උදවිය පිළිබඳ ලියැවී ඇති එකම ගීතය එය වන්නේය. මේ එම ගීතයේ සෑමාට ඇසුණු කොටසය.

වන මලට ආශාවේ..
වන බඹරා ආවාසේ..

මෙහි මල ලෙස උපමා කර ඇත්තේ ආශාවන් ගැනය. මල යනු කම් සැප ලෙස නම් කළහොත්, ආවාසය හෙවත් පැවිද්දන් වැඩ සිටින ස්ථානයේ සිටින බඹරා වන්නේද, කම්සැපට ලොල් වූ පැවිද්දෙක්මය. ගීතය ලියූ රචකයා බුද්ධ ධර්මයට පිටුපා කටයුතු කරන පැවිද්දන් වෙනුවෙන් යොදාගෙන ඇති උපමා සහ උපමේය නම් අගය කළ යුත්තේය.

පලි - ගීතයට වෙන අර්ථකතන දීමෙන් වලකින්න.

Written_by_sAm_ශ්‍රී_perera_06:17am_23/10/2014

Thursday, October 16, 2014

නන්දේ අයිස් බකට් චැලෙන්ජ් එකට මුහුණ දෙයි.. - Nande Faced Ice Bucket Challenge !!


අයිස් බකට් නම් හමාරය. දැන් යන්නේ අමු මිරිස් චැලෙන්ජ්ය. (ෆේස් බුක් ගෘප් එක මෙතැනින්) අයිස් බකට් නාන කාලේ වත්, අමු මිරිස් කන්න පටන් ගන්න කාලේ වත් අපේ නන්දේ ගමේ නොසිටියේය. නන්දේ යනු කවරෙක්දැයි සෑමාගේ බ්ලොග බැලූ සියල්ලෝම දන්නවා ඇතිය. එහෙත් නොදන්නා අය සිටිය හැකි නිසා නන්දේ යනු කවරෙක්දැයි මෙතැනින් බලා ගත හැකිය. අපට සහ ගමටම ආතල් දුන් නන්දේ කිසිම හොරකමකට, ජඩ වැඩකට හවුල් නැතැයි සෑමා තරයේ කියන්නේය. ඔහු කළා නම් කළේ කන පාත්වෙන්නට අඩියක් ගසා සෑමාගේ වත්ත මිදුලේ කොහේ හෝ වැටී නිදා ගැනීම පමණක්ය. ඉන් නිවසට අවශ්‍ය මුරකරුවෙකුගේ සහය නොඅඩුව ලැබුණු බව කිව යුතුය. තත්වය එසේ තිබියදී ගමේ අයෙක් නන්දේට හොර ලේබලයක් ගසා ප්‍රසිද්ධ කළ නිසා නන්දේ නිදි පැදුරටත් නොකියාම ගමෙන් පිටත්ව එහා ගමට වී සිටියේය. මුහුණ පුරා වවා තිබූ “නදීක ගුරුගේ“ වැනි රැවුල කපා දමා නන්දේ එහා ගමට වී සිටියේය. මඟතොටදී සෑමා ඔහුව හමුව කතා බහ කළත් ගමෙන් පිටවූයේ මන්දැයි නන්දේ කියුවේ නැත. ඒ ගැන අසනා විටක “නෑ මහත්තයා.. නෑ..“ කියමින් මඟ හැරියා මිසක කිසිවෙකුට වචනයක් නොකිව්වේය.

නන්දේ ගමෙන් පිටවූ දා සිට එතැන ගන්නට වලි කෑවේ කුලේය. නන්දේට කලින් ගමේ උපන් එකා කුලේය. නන්දේ නම් අල්ලපු ගමේ සිට සංක්‍රාන්ති වූවෙක්ය. එසේ වුවත් කුලේට වඩා ජනාදරය දිනා ගන්නට නන්දේට කෙටි කලෙකින් හැකි වූයේ කුලේ වවන් කුහක ගති ඇත්තෙක් නොවූ නිසාය. ඒ නිසාම කුලේ සිතේ නන්දේ කෙරේ වැඩුනේ ඊෂ්‍යාවක්ය. විටක ක්‍රෝධයක්ය. එහෙත් විශේෂ කාර්යය බලකායේ සිටි නන්දේ වැනි අයෙක්ට කුලේ තම අතටවත් මදි බවත්, වැඩිහිටියෙකු නිසා ප්‍රතික්‍රියා නොදක්වන බවටත් නන්දේ දිනක් කියා සිටියේය. ඒ කුලේ නන්දේට ගසන්නට ගඩොල් ගලක් ඔසවාගෙන පැමිණි විටකය. නන්දේ නොසැලී නොබියව කුලේට හිස දී බලා සිටිනා විට කුලේ ගල උලුක් කොට ඉවත්ව ගියේය. එතැනදි නන්දේ විශේෂ බලකායේ පුහුණු ලද්දෙක් බව සෑමා සැක හැර දැනගත්තේය.

නන්දේ ගිය දා සිට, කුලේ සෑමාගේ ගරාජයට පැන්නේ නන්දේ අනුගමනය කළ ක්‍රම උපායන් අනුගමනය කරන්නටය. නන්දේ නම් සෑමා වැඩ ඇරී නිවසට ආ විගස පාර බලන්නේ, වාහනය පාර්ක් කිරීමට සහය දැක්වීමටය. එන විට ගරාජයේ නිදාගෙන සිටියද, ඔහු ක්ෂණික නැගිට සහයෝගය දී වාහනය ඇතුලට දැමූ පසු ඊට එහා පැත්තේ නිදා ගන්නේය. උදෑසන සෑමාගේ තාත්තා කඩේ විවෘත කරන්නට පැමිණෙන විට, මුහුණට පෙනෙන්නට නොසිටින්නේය. ඒ උදෑසනම තමා මුනිච්චි වේ යැයි සිතාගෙන විය යුතුය. ඒ සියළු ගති සහිත නන්දේ ගිය පසු කුලේ එම ස්ථානය ගන්නට දැගලුවේය. ගරාජය තුල නිදන්නට වූයේය. එහෙත් සෑමා වැඩ ඇරී නිවසට ආ විට ගරාජයට වාහනය දමන්නට සහයෝගයක් නොමැත. සහයෝගයක් තියා නැගිටින්නේ වත් නැතිය. තත්වය එසේ නිසා සෑමා බොහෝ අවස්ථාවල වාහනය පාර අයිනේ දමන්නේ කුලයා නිදි නිසා ඌගේ අතක් පයක් උඩින් ගොස් වාහනය ඇතුලට දමන්නට බැරි නිසාය. ඒ නිසාම නන්දේ නොමැති අඩුව ගමට වඩා දැනෙන්නට වුණේ සෑමාටය. විටෙක සෑමාගේ නිවසේ අයටය.

තත්වය එසේ පැවතුණේ කෙටි කාලයක්ය. කුලේගේ ස්ථානය නැති කරමින් නන්දේ නැවත ගමට ආවේය. ඒ පසුගිය සතියේය. නන්දේ ආ තැන සිට කුලේ ආ ගිය අතක් නොමැත. ඔහු තම අක්කාගේ නිවසේ මඩුවක නිදා ගන්නවා යැයි පැවසෙන්නේය. දහවල නම් ගමේ එහේ මෙහේ ඇවිදින්නේය. විටක කන්නේ බොන්නේද සෑමාගේ අම්මා ලබා දෙන බත් පතක්ය. නන්දේ සුපුරුදු පරිදි රෑට නිදන්නට ගත්තේ ගරාජයේය. විටක බියර් බෝතල පදම වැරදුනු විට හෝ රොකට් සැර වෙනස් වූ විට නන්දේ කෙලින්නේ පිස්සුය. එලෙස පදම වැඩි වූ මොහොතක ඊයේ රාත්‍රි යේ නන්දේ නිදාගෙන ඇත්තේ ඉහළ මාලයට නගින පඩිඩපල අවසන් වන තැන, දොර අභියසය. රැය පහන් කළ නන්දේ අද සෑමාට සහ නිවසේ අයට කියා සිටියේ මෙවන් කතාවක්ය.

“බලන්න නෝනා මම නිදාගෙන ඉද්දි වතුර බාල්දියක් වගේ එකක් ඇඟට වැටුණා..“

“ඒ කෝමද එහෙම වෙන්නේ.. මම හිතන්නෙ වැස්සට තෙමෙන්න ඇති..“

“මොන වැස්සද නෝනා.. මම හිතුවා ලාල් සර් මට වතුර පනිට්ටුවක් ගැහුව කියල..“

“ඒ මනුස්සයා මොකටද නන්දෙව එළවන්නේ..“

“නෑ නෝනා.. මේකයි කතන්දරේ.. කවුද එවුන් දෙන්නෙක් ඇවිත් මට වතුර පුරවපු බෑග් දෙකකින් ගැහුවා..“

“ඒක කෝමද නන්දෙ දන්නේ.. නිදාගෙන නෙවේද හිටියේ..“

“මට වතුර ගහපු හැටියේ මම නැගිට්ටා.. මේ තියෙන්නෙ හිස් ෂොපින් බෑග් දෙක.. පහළට ඇවිත් බලද්දි බෑග් එකෙන් ලීක් වුණ වතුර සිමෙන්ති පඩිය උඩ වැටිල තිබ්බා. මම එහෙම්මම හන්දිය පැත්තට දිව්වා.. තාර පාර දිගේ වතුර අඩි පාරවල් එහෙම්මම තිබ්බා..“

“හරි මඟුලක් නේ යකෝ.. අපේ වත්තට ඇවිත්.. එහෙම වතුර ගහල යන්න..“ ඒ අම්මාය.

“එහෙම කරන්නෙ කෝමද? මේක හරියට අපිට ගහල ගියා වගේ වැඩක් නේ..“ ඒ නම් සෑමාය.

“හරි මහත්තයා.. අද අපි බලමුකෝ.. අද තමා මම නියම අයිස් බකට් චැලෙන්ජ් එකට මූණ දෙන්නේ..“

හවස් ජාමයේ නන්දේ ගේ කතාව අහවර වුණේය. සෑමා නන්දේගෙන් ඇහුවේ අද මම රෑට ඇලර්ට් එකේ ඉන්නද කියාය. නන්දේ කිවේ, පිස්සුද මහත්තයා මම බලාගන්නම් වැඩේ කියාය. සියල්ල අවසන සෑමා ඩොංගලය ගසාගෙන බුකි ගත වූයේ සිද්ධිය අමතක කරමින්ය. ඒ අතර අපේ ගමේ හර්ෂයා (ධර්මේ ලෙස අනුවර්ථ නාමයකින් හර්ෂගේ කතාවක් ඉස්සර ලියැවුණේය.) චැට් එකට සැට් වුණේය.

හර්ෂ - සෑමා මොකෝ වෙන්නේ??

සෑමා - ඉන්නවා මචං..

හ - අඩෝ ඊයේ අපි මාර සැපක් ගත්තා..

සෑ - මොකෝ කළේ..

හ - බෆලෝයි, මමයි, මධුරංගයයි සෙට් වුණා..

සෑ - ෂික්.. අපි නැතුව??

හ - අහපංකෝ.. උබලගේ පඩිපෙලේ උඩ නිදං හිටපු ඩයල් එකට අපි වතුර පාරක් ගැහුව යකෝ..

සෑ - *කනවා.. යකෝ ඒ නන්දේ බං හිටියේ..

හ - නන්දේ කියන්නේ/?

සෑ - ඇයි බං උබලෑ දන්සලේ එනවුන්සිං පාර දුන්නේ...

හ - &කනවා.. අපි හිතුවේ කුළේ ඉන්නෙ කියලා.. ඒත් ලඟට ගියාට පස්සේ ඌ නෙවේ වගේ.. ඒත් ආපු එකේ ඔන්න ඔහේ ගහලා ආව බං.. අවුලක් නෑනේ..

සෑ - හුකෑස්.. පොර සීන් එකේ ඉන්නේ.. උබලට කෙලී යකෝ..

හ - මායි, බෆයි, මධුවයි ඊයේ මාර ආතල් එකක් ගත්ත ඕයි.. අපි අම්බලමටත් ගියා කුලයව හොයන්න ඌ හිටියේ නැහැ. එතන පැටී හිටියා ඌවත් නාවල තමා උබලගෙ ගෙවල් පැත්තට ආවේ.. කුලේ කොහෙද බං නිදා ගන්නේ?? මට ඌට තමයි දෙන්න ඕනේ පාර...

පලි - මා දැන් කළ යුත්තේ හර්ෂයාව, නන්දේගෙන් ගලවා ගැනීමට නිහඩ සිටීම පමණකි.

Written_by_sAm_ශ්‍රී_Perera_12:21am_16/10/14

Sunday, October 12, 2014

නැති වූ ජොකා නැවත හමුවෙයි.. (2) - Found the Lost Thing !!! (2)


නැති වුණ ජොකාගේ කතාව (මෙතැනින්) ලියන්නට ගොස් අසා ගත් කතන්දර අනන්තය. ලැබූ කමෙන්ට් දැක බඩ දඟලන්නේය. ජොකාගේ ඉතිරිය ලියා දමනවාද මඟ අතෑර දමනවාද  කියා කොමඩ් එක මතදී සිතන්නට වූයේ සෑමාය. එවිට බොගක් පෂ්චාත් භාගයෙන් මදක් දුර ගොස්ය, එහෙත් කොමඩ් එකට පහත් වූවා පමණක්ය. එවන් බොගක් ඇතුලට ඔබා ගැනීම වැනි වැඩකට නැති යමක් කරනවාට වඩා, කොමඩ් එක මතට පතිත කිරීම පහසුය. පුක හැර ගිය බොග නැවත ඇතුලට ඔබා ගැනීම වැනි වැඩක් කරපු එකෙක් ලොවෙත් නැතුව ඇත. එසේ නම් කොටසක් දැමූ බ්ලොගක්, ඉතිරිය නොදා පතිවත රැක ගන්නට යන තරම් අවැඩක් ලොව කොහේ තිබෙන්නේද? කෙහේවත් නැතිය. ඉදින් කතාවේ ඉතිරිය මෙතැන් සිට ලියැවෙන්නේය.


ජොකා එබූ ෂොපින් බෑග් එක අතට ගත් සෑමා කල්පනා කළේ ජොකා මෙතැනට ආවේ කොතැනින්ද කියාය.

එදා සෙනසුරාදා දවසක්ය. උදෑසන හාෆ් ඩේ එක වැඩ කළ යුතුය. හවස ගෙදර යා යුතුය. හාෆ් ඩේ නම් එලෙස විය යුතුය. එහෙත් මීට මාස 6කට පමණ පෙර එදින උදෑසන වැඩ අහවර සෑමා ගොස් ඇත්තේ රාගම පැත්තේ බ්ලොග්කරුවෙකුගේ නිවසටය. එහි උදෑසන සිට කාලය ගත කර තිබුණේ තවත් ප්‍රසිද්ධ බ්ලොග්කරුවන් පිරිසක්ය. සෑමා උදෑසන වැඩ අහවර කර එහි යන විට මිතුරන් පිරිස දහවල ආහාරයද රැගෙන තවත් බොහෝ දුර ගොස් සිටියෝය. මිත්‍රයාගේ නිවස ඉදිරිපිට සිට සෑමාව ඇතුළට රැගෙන යන්නට දෙතුන් දෙනෙක් ආවෝය. ඔවුන් සිටියේ බොහෝදුර ගොස්ය. ක්ලබ් එකක් ඇතුලට එකෙක්ව බලෙන් රැගෙන යන ආකාරයෙන් පිරිස සෑමාව ඇතුලට ඔබා ගත්තෝය. එතැන් සිට ඔවුන් සහ සෑමා අතර දුර නැති කිරීමට සෑමාට වහා ක්‍රියාත්මක වන්නට සිදු වූවා මතකය. උදෑසන ආහාරය මඳ වූ නිසාත්, දහවල ආහාරය පමා වෙන නිසාත් ඒ අතරට වැටෙන ලෝදිය තරමක් බරපතල බව සියළු ලෝක සත්වයෝ දන්නවා විය යුතුය. එහෙත් සෑමා සිටි මහපොළොව සහ මිතුරන් සිටි චන්ද්‍රයා අතර දුර ඇසිල්ලකින් වෙනස් කළ හැකි බව දත් සෑමා වහා ක්‍රියාත්මක වූයේය.

සියල්ල නිසි ලෙස සිදුවූයේය. මිශ්‍ර නොවිය යුතු දෑ මිශ්‍ර වූයේය. සීමාව මායිම සොයා වෙහෙසෙන්නට කළක් නොවූයේය. නොගැලපෙන ගීත, නොගැලපෙන තාල, සහ නොගැලපෙන නර්ථන අතර සෑමා මහ පොළොව සහ අහස අතර දුර මනිමින් සිටියේය. මිතුරන් දහවල ආහාරය ගනිද්දී සෑමා හදේය. හිදගෙන සිටි අසුනින් නැගිට ගත්තේ බොහෝ වෙලාවකට පසුය. නැගිට ගන්න හැකිය. නමුත් ඇසෙනා දේවල් දුර සිට ඇසෙන්නටත්, තමා පවසන දේ තෘවුරතාවය අඩුවෙන් ඇසෙන්නටත් වූ නිසා සෑමාගේ හඬ වැඩි වූයේය. ඇසෙනා හඬ අඩු වූයේය. ඒ අතර ඝෝෂාවය. ස්කයිප් කෝල්ය. බ්ලොග් කළබලය. කාපු බීපු උන් පිටත් වූවෝය. කන්නට තරම් හයියක් නොමැතිව සෑමා වත්ත පහළ වෙල අද්දරට ගොස් කොක්කු ගණින්නට, වූයේය. අප මිත්‍ර බ්ලොග්කරු සෑමා අසල සිටියේය. ගෙදර යන්නේ කෙසේදැයි සිතා ගත නොහැකිව සෑමාට දුරකථන ඇමතුමක් ආවේ මස්සිනාගෙන්ය. ජාඇල සිට පොර ගෙදර බලා යන බවත්, සෑමා කොහේ සිටින්නේදැයි ඇසූ විට සෑමා කීවේ උබ මහබාගෙට වරෙන්, මම ගෙනිහින් දාන්නම් කියාය. ඌව ගන්නටත් සෑමා රාගම සිට මහබාගෙට යා යුතුය. කාලය ගත වෙනවාදැයි නිච්චි නැත. ලොවම නැවතී ඇති බවක්, කාලාන්තරයක් ගෙවුනා හා සමාන බවක් සිතට දැනෙන්නේය. ඒ බව හොදින් දැනුනේ අප මිත්‍රයාගේ ඇද මත හිඳ වෙල දෙස බලාගෙන කබරයෙක් ගේ හිස අතගෑ විට පෙනුනු කට්ට කළුවර නිසාය.

ඇස පියවෙන, හැරෙන හැගීමෙන් තොර මොහොතක සෑමාගේ දුරකථනය නාද වූයේය. සෑමා තම අත දිග හැර එය තම බ්ලොග් මිත්‍රයා අත තැබුවේය. ඔහු දුරකථනය එසවූවා මතකය. මොහොතින් හුරුපුරුදු කටහඩක් බ්ලොග් මිතුරාගේ නිවසේය. ඒ වන විටත් මිත්‍රයා සෑමාගේ මස්සිනාව නිවසට කැඳවාගෙන විත් තිබුනේ රාගම සිට මහබාගේ දක්වා ගිහින්ය. ඇතුලත කාමරයක සිටි සෑමාට සාලයේ සිදුවන දෙබස ඇසෙන්නේය.

මල්ලි කොහෙද හිටියේ..

මම ජාඇල හිටියේ..

හොඳ වෙලාවට මල්ලිව සෙට් වුණේ මූට යන්න විදිහක් නැතුව හිටියේ..

මටත් එච්චර ඩ්‍රයිවින් බැහැ.. ඒත් ෂේප් එකේ යන්න පුලුවන්..

අවුලක් නැහැ.. ලයිෂන් තියෙනව නේ..

ඔව් ඔව්.. ෂෙප්.. ලයිෂන් තියෙනවා..

මල්ලි මොනව හරි කනවද? සෑමා කෑවෙත් නැහැ..

බත් නේද?? අවුලක් නැහැ කමු...

සෑමා ඇතුලේය. ඇතුලේ එකාට මොනවා වූවාදැයි නොබැලූ මස්සිනා එළියේ කෑම කන්නේය. වෙන එකෙක් තමන්ව රවටා නිවසකට රැගෙන ආවේදැයි වත් නොසිතා බත් එක ගිලදැමූ ඔහු කාමරයට පැමිණ සෑමා ඉන්නවාදැයි නොබැලුවේය.

මල්ලි ඩෙසර්ට් ගන්න..

අයිස් ක්‍රීම් ටිකක් විතරක් ගන්නම්..

මොහොතකින් මිත්‍රයා සහ මෂ්සිනා කාමරය ඔලුව දැම්මෝය.

සෑමා නැගිටපං..

මට විනාඩි දහක් ඇලවෙන්න දියන්..

යකෝ උබ දැන් පැය දෙක තුනක් ඇලවෙලා..

මස්සිනා.. යමං යමං.. මම ඩ්‍රයිව් කරන්නම්...

හරි හරි පොඩ්ඩක් හිටපල්ලා..

හරි.. වරෙන් වොෂ් එකක් දා ගන්න.. වොෂ් එකක් දැම්මම හරි යයි..

හරි බං.. විනාඩි දහයකින් දාමු..

නෑ නැ වරෙන්.. හිටපං මං ටවල් එකක් අරන් එන්න..

ටවල් එක රැගෙන නැගිට ගත් සෑමා වොෂ් එකක් දමන්නට ගියේය. ඊට පෙර දොට්ට යා යුතු බව පවසමින් දොට්ට ගියේය. ඉන්පසුව වතුර නිදහසේ වැටෙන්නට දී මහ වැස්සක් යටට වී සිටින්නාක් මෙන් නිසොල්මනේ සිටියේය. ප්‍රේකෂකයන් දෙපොල මහා බර කතාවකට වැටී සෑමාට උපදෙස් දෙන්නට වූවෝය. සියල්ල අවසන සෑමාව ඔබාගත් රථය නිවෙස බලා පැමිණියේය. ඒ කෙසේ පැමිණියේදැයි සෑමාට මතක නැතිය. පදවාගෙන ආ මස්සිනා දක්ෂ රියදුරෙකු නොවන නිසාම සෑමා දෙනෙත් පියාගෙන සිට වරින් වර ඔහු කොහේ යන්නේදැයි විමසා බැලුවේය. සපුගස්කන්ද හරහා බියගම පාරට වැටෙන ෂෝට් කට් එකෙහි මඟ මහා ප්‍රපාතයක් සමඟ වංගුවක්ය. එතැනදී මස්සිනා හඬ අවදි කළේය.

අඩෝ මෙතැනින් කෙලින්ම නේද?

නැහැ බං වංගුවක් තියෙනවා..

නෑ යකෝ පාර ඉවරයි..

හෙමින් පලයන් දකුණට වංගුව..

හු^%$ යකෝ කෙලින් ගියානම් පත වලක්..

ඒක තමා යකෝ කිව්වේ.. හරවපං කියලා..

එම ජවනිකාවෙන්ම සෑමා සිහියෙන් සිටි බවට මස්සිනා තවමත් පිළිගන්නේය. එහෙත් සිදුවූ සියල්ල තැනින් තැන හිස්ය. ඒවා පිරවීමට දවසක් කල්පනා කළත් ලොවෙත් බැරිය. නිවස කිට්ටුවදී සෑමා මස්සිනාගෙන් ඉල්ලීමක් කළේය.

මචං ගෙදරට යන්න කලින් පොඩ්ඩක් නවත්තලා මට විනාඩි දහක් නිදා ගන්න දියං..

හරි දැන් වෙලාව මෙච්චරයි.. උබ නිදාගනින්.. මම විනාඩි දහයෙන් කතා කරනවා..

නැගිටපං.. දැන් හරි..

අඩෝ විනාඩි දහයක් ගියෙ නැහැ...

පිස්සුද බං විනාඩි පහලොවක් ගියා.. දැන් යමං..

අතරින් පතර හිඩැස් ඇතිව, සියල්ල සෑමාට මතකය. එහෙත් නැති වූ ජොකෙක් ඩිකියෙන් මතු වීමෙන් මතකය අලුත් වූයේය. එදා ජලස්නානයේදී හැදගෙන සිටි ජොකා අප මිත්‍රයා අතින් පාර්සල් ගත වී ෂොපින් බෑගයකට බැස, සෑමාගේ ඩිකියේ සැඟවී මෙහි පැමිණ ඇත්තේය. එහෙත් එය හමුවූයේ මාස කිහිපයකට පසුව වීම, මතකය අලුත් කරමින් බ්ලොග් එකක් ලියැවීමට හේතු වූයේය.

සෑමාගේ අවවාදය - ජොකා නොමැතිව බාර් ගත වන්න...


Written_by_sAm_ශ්‍රී_Perera_10:24pm_12/10/14

Thursday, October 9, 2014

නැති වූ ජොකා නැවත හමුවෙයි.. - Found the Lost Thing !!!


නව පරිපාලන ක්‍රමය නිවසට ඒමට පෙර සෑමාගේ ඇදුම් සෝදා ගත්තේ සෑමාගේම සුරතින්ය. පාසල් කාලයේ නවය වසරට පය තබන තුරු රෙදි සේදීමේ කටයුතු අම්මා කළාය. ඇගේ මහන්සියට විරාමයක් තබන්නට සෑමා තමන්ගේ රෙදි පොට්ටනිය සුරතට ගත්තේ නමය වසරේ සිටය. නමය වසර යනු නව යෞවුන් කාලයයි. පාසල් ඇදුවේ කුණු බිදක් හෝ ගෑවෙනවාට අකැමැති යුගය දහය වසරින් පටන් ගත්තද නමය වසරේ සිට තමන්ගේ ඇදුම පැළදුම සහ කොණ්ඩය පිළිබඳව සැළකිලිමත් වීම පොදු පුරුෂ ශිෂ්‍ය ගතියය. නැතිනම් පාසලේදී, පන්තියේදී, බසයේදී, බස්හෝල්ට් එකේදී කෙල්ලෙකුගේ දිශ්ඨිය ලබා ගත නොහැකි බව පරම සත්‍යයක්ය. මන්ද එදා සිට කෙල්ලෝ ලව් කළේ ඇඳුම ඇතුලේ සිට කොල්ලාට නොව, කොල්ලාගෙන් පිටත ඇති ඇඳුමටය. ඒ පරම සත්‍යයට සෑමා මුහුණ දුන්නේද නමය වසරේ සිටය, එම සත්‍යය එසේ වූ නිසාම නමය වසරේ සිට පස්සෙන් පැන්නූ කෙල්ල, දහය, එකොලහද, දොළහ සහ දහතුනද පසුවෙන තුරු සෑමාට හොඳම මිතුරියක් මිස ආදරවන්තියක් නොවූවාය. එම පරම සත්‍යයට පිං සිදු වන්නට සෑමා ඇගෙන් තොර ලොවක වෙනත් කිරුළක් දැරුවේය. යම් දිනක ඒ ආදර අන්දරය බ්ලොග් ගත කළ යුතු බව සෑමාගේ හැගීමය.

කෙසේ හෝ නමය වසරේ සිට නව පරිපාලනයට එනතුරු සෑමා තමන්ගේ රෙදි තමන්ම සෝදා ගත්තේය. බෙහෝ පුරුෂයන් විවාපත් වූ විට කියන්නේ ගෙදරට “වොෂින් මැෂින්“ එකක් ගත්තා මචං කියාය. ඒ කියන්නේ තමන්ගේ රෙදි සියල්ල ගෙදරට ආ කාන්තාව හෙවත් භාර්යාව සෝදනවා කියාය. සෑමාට නම් උක්ත කාන්තාව සමඟම වොෂින් මැෂින් එකක්  ලැබුණු නිසා තත්වය වෙනස් වූයේය. එදා සිට රෙදි සියල්ල හෝදන්නේ මැෂිමේය. නමුත් මැෂිමට රෙදි ලෝඩ් කරන්නේ කාන්තා පාර්ශවයෙන්ය. තනිවම රෙදි සෝදා ගන්නා කාළයේදී ඇඳුම් කිසියම් බැලන්ස් කිරීමකින් භාවිත කළ හැකිය. උදාහරණ ලෙස ඔබට ඇත්තේ මේස් කුට්ටම් දෙකක් නම්, සතියේ කාර්යාල දින පහේදී ඔබට දින දෙකක් (සදුදා-අඟහරුවාදා) එකම මේස් කුට්ටම දමා, ඒ දෙක සෝදා දමා අනෙක් කුට්ටම් දෙක ඉතිරි දින දෙක (බදාදා-බ්‍රහස්පතින්දා) දැමිය හැකිය. එවිට ඔබ බදාදා දින මුල් දින දෙක දැමූ කුට්ටම සෝදා දැමිය යුතුය. එවිට සිකුරාදා, සහ සෙනසුරාදා නැවත එම පළමු කුට්ටම භාවිතයට ගත හැකිය. උක්ත ක්‍රම සහ විධි උපයෝගී කර ගනිමින් සීමිත ඇඳුම් ඇති නම් පිරිසිදුව අඳින්නට බැලන්ස් කළ හැක්කේ තමන් විසින්ම තමන්ගේ රෙදි සෝදා ගන්නවා නම් පමණක්ය.

එලෙසම සෑමා රෙදි සෝදන කාලයේ ජොක්කු බැලන්ස් කළේය. එක ජොකෙක් සෑමා අදින්නේ එක දිනයක්ය. නැවත අදින්නේ අනිවාර්යයෙන් සෝදලාය. කවදාවත් ජොකා තෙතයි කියමින් අයන් එකේ පුලුස්සා හෝ ෆෑන් එකේ එල්ලා වේලලා භාවිතා කර නැත්තේය. එහෙව් තත්වයක් යටතේ සෑමා අලුත් මැනේජ්මන්ට් එකට පෙර මැනවින් ජොක්කු තුනක් බැලන්ස් කළේය. එය සාධාරණ ලෙස කළ හැකි කටයුත්තක්ය. එහෙත් නව ජීවන ක්‍රමය, නව පරිපාලනය යටතේ මුල් කාලයේ සෑමාට කෙළ වූයේය. ඒ දිනකට දෙතුන් වරක් ජොකා තෙමාගෙන මාරු කරන්නට වූ සිද්ධියක් නිසා නොව පරිපාලනයේ දුර්වලතාවයක් වූ බැවින්ය. ඒ නිසාම නව පරිපාලනය යටතේ සෑමාට ජොක්කු පහක් (සුදු තුනයි - අළු දෙකයි) භාවිතය පවා අපහසු වූයේය. විටක පස් දෙනාම වැලේ එල්ලී සිට සෑමාට ඔච්චම් කළේ “අඩෝ උබ අද සිවිල් පිට හිටපං“ කියාය. ඊට හේතුව සතියේ දින පහක් අදිනා ජොක්කු සැට් එක සෙනසුරාදා හාෆ් ඩේ එකට පසු එක වර මැෂින් ගත කරන නිසාය. එවිට සෙනසුරාදා කලින් ඇඳපු එකක් අදින්නට සිදුවේ. එළෙසම ජොක්කු තෙත නිසා ඉරිදා දින නිවසට වී හිදින්නට වන්නේ සිවිල් පිටය. ඉරිදා සෑමාව සිවිල් පිට තබා ගැනීමේ උපක්‍රමයක් මත එය සිදු වූවා දැයි සැක සහිතය. එහෙත් අවුල වැඩි වන්නේ ඉරිදා කොහෝ හෝ ගමනක් යන්නට සැට් වුණොත්ය. එවිට පාරට බහින්නට වන්නේ සිවිල් පිටය.

උක්ත ක්‍රමය මුල් මාස කිහිපයක් තිස්සේ සෑමාට උග්‍ර ගැටළුක්ව දැනුනේය. විටක දින පහ අතරතුර එකෙක් අස්ථාන ගත වුවහොත් ගැටළු රැසකට මුහුණ දෙන්නට වන්නේය. ඒ අනුව සෑමාට ජොක්කු තුනක් බැලන්ස් කිරීමේ වාසිය තදින්ම දැනුනේය. එදිනම තමන් ඇදන් සිටින වස්තරය සෝදා දැමීමේ වාසිය මහත් යැයි සිතුන අවස්ථා අපමණය. සියල්ල එසේ සිදුවෙද්දී එක ජොකෙක් මිසින් වුණේ සිද්ධ වූයේ කුමක් දැයි සිතා ගත නොහැකිවය. පහක් බැලන්ස් කරන්නට ගොස් සෙනසුරාදා හාෆ් ඩේ එකට කෙළ වූ සෑමාට, අතරතුරදී එකෙක් අස්ථාන ගතව යෑම වාවා ගත නොහැකි පාඩුවක්ය. එලෙසම කිසිම විටක කවර් කර ගත නොහැකි සිද්ධාන්තයක්ය. කාර්ය බහුල වීම් සහ කම්මැලි වීමේ හේතූන් මත නැති වූ එකා සොයා ගන්නට සෑමාට නොහැකි වුයේය. එලෙසම සිද්ධ වුයේ කුමක්දැයි සිත ගත නොහැකිව සයනේ උඩුකුරුව කල්පනා කරන්නට වූයේය. සැට් එකම එකට සෝදා එක දිගට වැලේ එල්ලා දමන විටක එකෙක් මිස් වන්නට හේතුවක් ඇත්තේම නැත්තේය. ඒ නිසා සිදුවූ කිසිවක් නිෂ්චය කළ නොහැක. කළ හැක්කේ කාලයට ඉඩදී බලා සිටීම පමණක් යැයි සිතා සෑමා මුනිවත රැක්කේය. මැරිච්ච එකා පෝස්ටර් ගසාවත් හොයා ගත නොහැකිය. අතුරුදහන් වූවෙක් නම් පෝස්ටරයක් ගැසිය හැකිය. එහෙත් ජොකෙක් නැති වුවා යැයි පෝස්ටර් ගසනවා තියා කටක් ඇර කාටවත් කියන්නට නොහැකිය. කළ හැක්කේ සත්තකින්ම කාලයට ඉඩදී බලා සිටීමය. සෑමා එළෙස කලක් සිටියේය.

දිනක් හදිසියේම ඩිකිය අස් කරද්දී ෂොපින් බෑග් එකක ගුලි වූ ටකරමක් වැනි යමක් සෑමා දුටුවේය. වර්ණය නම් පුරුදුය. නහයේ තබා ඉබින්නට බැරි තැන සෑමා එය එළියට ගෙන දිග හැර බැලුවේය. අහෝ අතුරුදහන් වූ එකා ඩිකියේය. දැන් කළ යුත්තේ මේකා මෙතැනට ආවේ කෙලෙසදැයි මතක් කිරීමය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:12pm_08/10/14

Monday, October 6, 2014

Throne Rush ක්‍රීඩකයන් වෙඩි තබා ගත් හැටි... - Throne Rush @ Battle Ground !!!


සයිබර් අවකාශයේ එකතු වූ පිරිසක් හැබැහින් යම් තැනකට සෙට් වීම අහඹුවක් නොවන බව සෑමා තේරුම් ගත්තේ බ්ලොග් අවකාශයෙන්ය. මීට වසර කිහිපයකට පමණ ඉහතදී කිසිදා නොදුටු බ්ලොග් සහෘදයන් රැළක්  සෑමාට සෙට්වූයේ සයිබරයෙන් පිටත මහ පොළොව මතදීය. සයිබර් සිහින උලෙල, ගෙට්ටුගෙදර් වැනි සිද්ධීන් ඊට උදාහරණයන්ය. ඒ අතර සිදුවූ ලේ දන්දීම්, වැනි සමාජ සත්කාරයන්ද වූයේය. බ්ලොග් ලොවෙන් පිටත ඔන්ලයින් ගැසූ ක්‍රීඩාවකදී ෆෙස්බුක් චැට්, ෆේස් බුක් පේජ් සහ ගෘප් වලදී එකතු වූ ගේම් කාරයන් පිරිසක් සයිබරයෙන් පිටත මහ පොළොව මත පිහිටි යුධ පිටියකදී හමුවූයේ සෑමා කිසිදා නොසිතූ ලෙසින්ය. සියල්ල සිදුවූයේ ඊයේය. Throne Rush ලෙස ෆේස් බුකියෙන් ඉපිද, ඇන්ඩ්‍රොයිඩ් ඇප් හරහා ජංගමකරණයට ලක්ව ලංකාවේ අපේ උන්ට සෙල්ලම් කරන්නට හුරු වූ ක්‍රීඩාව නම් අපූරුය.

Throne Rush නගරයක් ;)

තමන්ගේ නගරය තමන් විසින් අලංකාර කරගනිමින්, යුධ භටයන් හදා ගනිමින්, රත්තරං කාසි, ආහාර පාන තමන්ම සපයා ගනිමින් සහ එක එකාගෙන් හොරකම් කරමින් මාලිගාව, ආරක්ෂක ක්‍රම යවත්කාලීන කරගනිමින් කරන්නාවූ එකී ක්‍රීඩාව අපහට ලබා දුන්නේ ආත්ම තෘප්තියක්ය. ඒ අතර සහෝදරත්වය වැඩි කරවූ Brother Hood හෙවත් කල්ලි ගැසීමේ සංකල්පයද අප අතර බැඳීම් වැඩිකළ බව නොරහසක්ය. ඊට වඩාත්ම සුන්දර උදාහරණය නම් ඊයේ උදෑසන සිට සවස් ජාමය දක්වා අප සියළු දෙනා අතර හුවමාරුවුණු අදහස්ය. 

ලංකාවේ කොල්ලෙක් වශයෙන් ලෝකෙන්ම පළමු තැන ගන්නට TOM BRUSH ට (ඌ කියන්නේ බ්‍රෂ් නෙවේ කියාය.) හැකි වූයේය. ඒ අතර ලංකාවේ බ්‍රදර් හුඩ්ද ලෝකයේ රෑන්ක්ස් වල ඉහළටම ගියේ අපේ එවුන්ගේ වැඩ කිඩ නිසාය. ගේම් එකේ වැඩ කිඩ පැත්තකට දමා අපේ සැට් එක Paint Ball ගසන්නට හංවැල්ලේ Hustler's Paintball එකට සැට් වුණෝය. 
ටොම් බ්‍රෂ් (බ්‍රෂ් නෙවේලු ඈ..), තිවකං, මේලක, දහම්, තුමුල, නලියා, සම්පත් (මූත් සෑම් ඈ..), ප්‍රමුදිත, රවියා, ඉන්ද්‍රජිත්, අසංක, සමීර, සජියා සහ මම තුමා

කස්ටිය කැලේ පැන්නේ තුවක්කු අත දරාගෙනය. කණ්ඩායම් දෙකක් වශයෙන් දෙකට බෙදී පේන්ට් බෝල් වලින් වෙඩිතියා ගන්නට අපේ උන්ට තිබුණේ මහා උනන්දුවක්ය. ක්‍රීඩාවේ නීතිරීති පිළිබඳව සහ එහි ආරක්ෂාව පිළිබඳ උපදෙස් දෙද්දී අපේ එවුන් නැවත හැරී ගෙදර එන්නට තරම් බය වූ බව කිව යුතුය. කාඩ්බෝඩ් කැබැල්ලක් හතරට නමා ඒ තුලින් පේන්ට් බෝලය පසාරුකරගෙන යනවා පෙන්නූ පසු සෙල්ලම් කරන්නට තරම් හිතට හයියක් එන්නේම නැත. ඒත් සෙල්ලම අතරමැද දී සෑමාගේ පිටුපසින් පැමිණි සාහසික එදිරිවාදියෙක් පශ්චාත් බෑයට තැබූ වෙඩි පහරින් සෑමාට පේන්ට් බෝල් සමඟ තිබු භීතිය නිවි ගියේය. 



ඉහත පිංතූරයේ සිටින පරිදි මංතුමා (ඉන්න විදිහ අවුල් ඈ), Throne Rush කප් ගැසූ ටොම්, හෙල්මට් එක වැටෙන්න නොදී අපහසුවෙන් සිටින ෆොටෝ ජෙනික් දහම් කොලුවා, වෙඩි නොවදින සජියා, අල්කයිඩා නායක මේලක, නොසැලී ඉදිරියට ගිය ප්‍රමුදිත, සහ අහිංසක යුදෙව්වා  සමීර අවි  රැගෙන ඉදිරියට යද්දී ප්‍රතිවාදී පිළ සැඟවී ගුලි ගැසී සිටි බව නොරහසක්ය. පළමු තරගය පිටියේ වාසියෙන් ජය ගන්නට ප්‍රතිවාදීන්ට හැකි වුවද, දෙවන තරඟය අපේ පිළ ජය ගත්තේය. තුන්වන තීරණාත්මක තරඟය පිටියේ වාසිය රැගෙන ප්‍රතිවාදීන්ට ජය ගන්නට නොහැකි වූයේ තරඟය සම මට්ටමට පත් කරමින්ය. ඉන්පසු පේන්ට් බෝල බෙදා හදාගෙන සහයෝගයෙන් කළ සටන ඔවුන් ජය ගත්තේ අපේ එවුන්ට වටකර පහර දෙමින්ය. පේන්ට් බෝල බෙදාහදාගෙන කළ ක්‍රීඩාව එතරම් සැළකිල්ලෙන් කරන්නට අපේ උන් මැලි වූ නිසා එය පරාජයට පත් වූ බව කිව යුතුය.


ප්‍රතිවාදී පිළ ලෙස පිංතූරයේ සිටින්නේ දකුණේ සිට ඉතිහාසය උගන්වන තුමුළ, මොරටුව විස්ස විද්දාලේ සෑම්, සංධාන ගතව පහර දෙන අසංකලා ජෝඩුව, මහ මොළකරු රවියා, නිතරම හදේ සිටි තිවංක සහ නොසැලී හිටගෙන ඉදිරියට ආ වෙඩි නොවදින උස මහත නලීන් කොල්ලාය.

තරඟ නීති උල්ලංගනය කරමින් තුමුලයා තහනම් උත්තේජක ලෙස බුලත් විටක් හපද්දී, ඔවුන්ගේ කණ්ඩායම රෙෆ්රීටත් වෙඩි තබන්නට වූවෝය. විවිධ උපක්‍රමශීලී පසු බැසීම් සමඟ ඔවුන් හිටි තැනම සැඟවී සිටියෝය. කිසිම දෙයක් ගණනකට නොගත් අප කණ්ඩායම නොසැලී ඉදිරියට ඇඳෙමින් ප්‍රතිවාදීන් භීතියට පත් කළෝය.

කැමරා රැගෙන යාමේ ප්‍රතිවිපාක - මෙතන මම හැර සෙට් එකම ඇත

ගහ මරා ගැනීම් අමතක වන්නට හීන් අඩියක් ගසමින්, කැළණි ගං ඉවුරේ අඩි ගණනක් ගැඹුරු තැනෙක් දිය නා සැනසෙමින්, දිනයක විනෝදයක් සමඟ Throne Rush ක්‍රීඩකයන් Paint Ball ගැසීම අහවර කළෝය. කවදාවත් එකතු නොවේ යැයි සිතූ පිරිසක්, එකට එක්ව සුන්දර දවසක් ගත කළ අතර නැවත හමුවන සිතුවිල්ලෙන් සමුගන්නට සිදුවූයේ තුමුලයාට තංගල්ලේ බැංකුවට යන්නට තිබුණු බැවින්ය.

කතාකරන්නට, මතක් කරන්නට බොහෝ දේ ඉතුරු කරමින්, සියළු කටයුතු සම්පාදනය කළ සියළු දෙනාට සහ සංවිධායක මණ්ඩලයට හද පිරි ස්තූතිය.

පලි - Throne Rush ඇල්මෙන් ක්‍රීඩා කළද ඒ පිළිබඳ මා ලියූ ප්‍රථම බ්ලොග මෙයයි. අවුල් වගේ නම් කමා කරත්වා.

Written_by_sAm_ශ්‍රී_Perera_7.02am_06/10/14

Thursday, October 2, 2014

නැවතිලාද? නවත්තලාද? හිටලාද? - Stopped ???




සතියකට තෙවරක් යවත්කාලීන වූ බ්ලොගක් සම්බන්ධයෙන් නැගෙන්නේ උක්ත වූ ගැටළු තුනය. අයෙක් අසන්නේ සෑමාගේ බ්ලොග නැවතිලාද කියලාය. තවකෙකු නවත්තලාද කියා අසන්නේය. එකවර ඇගට කඩා පනිමින් සමහරු අසන්නේ හිටලාද කියලාය. සියල්ලට පිළිතුරු සමඟින් සෑමාගේ ආගමනය මෙසේ සටහන් වන්නේය.

නැවතිලාද?

නැවතිලා කියන්නේ ඔටෝ වෙන දෙයක්ය. ඒ කියන්නේ හිතලා කරන දෙයක් නොවේය. ටැප් එකක වතුර නැවතිලා කියන්නේ එක්කෝ ජල සම්පාදනයෙන් දෙන වතුර නවත්තලාය, නැතිනම් ටැංකියේ වතුර අහවර වෙලාය. කොටින්ම සරලව ගතහොත් වයසක සියා කෙනෙක් සෙල්ලම් කරන එක නවත්වනවා නොව සෙල්ලම නැවතිලාය. ඔහුට සෙල්ලම් කිරීම නැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති වුවත්, සිතාමතාම සෙල්ලම නැවැත්වූවේ නැති වුවත්, කාලය සමඟ සෙල්ලම ස්වක්‍රීයවම නවතින්නේය. ඒකට කියන්නේ නැවතිලා කියලාය. 

ඒ අනුව සෑමා බ්ලොග් එක නවත්වන්නට අදහස් කර, අදහස් කරගෙන නැති නිසා බ්ලොග් එක නැවතිලා යැයි කියන එක සම්පූර්ණ වැරදිය. එසේම ලියන්නට දෙයක් නොමැති වීමේන්ද බ්ලොග් නවතින නිසා, සෑමාට ලියන්නට දෙයක් නොමැතිව බ්ලොග නැවතිලා යැයි සිතීමද අසාධාරණය. මන්ද ලියන්නට දේවල් තවමත් ඇති නිසාය. ඒ නිසා සරලව කිව යුත්තේ සෑමාට තාම නැවතිලා නැති බවක්ය. 

නවත්තලාද?

සමහරුන් කළකට සමහර දේවල් නවත්වන්නෝය. සියළු දස්කම් දක්වාගෙන සිටින විවාහක ජෝඩු නවත්වන්නේ නැතිය. කාලාන්තරයකට එක ලෙසම ක්‍රීඩා කරන්නෝය. එහෙත් එසේ ඔවුන් කීවත් මසකට අනිවාර්යයෙන් දින කිහිපයකට නවත්වන්නට වන්නේය. ඒ ස්වාභාවික ව්‍යසනයකට ඉඩකඩ ලබා දීමට සිදු වීම නිසාය. එවිට සෙල්ලම් කරන එක නවත්වලා යැයි කියන්නට වන්නේය. එලෙසම බොහෝ අය බාර හාර ඔප්පු කිරීමට මස් මාලු අනුභවයෙන් වැලකෙන්නෝය. එවිට සරලව කියන්නේ මම මස් මාළු කන එක නවත්වලා යැයිය. සමහරු බොන එක නවත්වන්නේ නැවත බෝතලයක් දකින තුරුය. අනුන්ගේ මුදලින් බොන උත්තමයෝ වියදම් කරන්නට සිදුවෙද්දී බොන එක නවත්වලා යැයි පිළි වදන් දී, නැවත නොමිලේ බෝතලයක් දුටු විට බීම ආරම්භ කරන්නෝය. කිසිම පැකිලීමකින් තොරව දිනපතා අඩියක් ගසන ඇත්තෝ බීම නොනවත්වන්නෝය. එහෙත් බීම නවතින්නේ අග හිඟ කමක් ආවොත් පමණක්ය. එතැනින්ද නවත්වනවා සහ නවතිනවා යන වචන දෙකේ වෙනස හොඳින් පෙනෙන්නේය.

ඒ අස්සේ සෑමාට සිහිවන්නේ කිටියා නිර්මාංශ වූ ආකරය හෙවත් මස් මාළු අනුභවයෙන් තොර වූ හැටිය. මේ දිනවල සෑමාගේ නිවසේ අලුත් වැඩියා කටයුතු කිහිපියක් සිදුවෙන නිසා ඇත්තටම බ්ලොග් එකට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වූයේය. එකී අලුත් වැඩියා කටයුතු ඉවර වෙන තුරු කිටියා මස් මාළු අනුභවයෙන් තොර වෙන බව කියමින් මසට තිත තිබ්බාය. එවැනි කැප කිරීමක් අගය කළ යුත්තේය. (සමහර වෙලාවට ඇය බ්ලොග බලන නිසා ඒ වචන ටික සඳහන් විය යුතුය.) අලුත් වැඩියා කටයුතු අහවර වෙන තැන බාරය ඔප්පු කොට මස් මාළු අනුභවය ඇරඹිය යුතුය. බාරය ඔප්පු කරන්නට දිනක් කිටියා සහ සෑමා එළි බැස්සේ දහවල ආහාරයද පිටින් ගන්නට බලාගෙනය. නිවසින් එළියට බහින විටදීම තිබුණු දැඩි බඩගින්න නිසා සෑමා යෝජනා කළේ දහවල ආහාරය අරගෙන බාරය ඔප්පු කිරීමට යමු කියාය. එහෙත් ඇය තරයේ කියා සිටියේ සියළු වැඩ අවසන කෑමට යමු කියාය. සියල්ලට පෙර බාරය ඔප්පු කළ හේතුව සැමාට අවබෝධ වූයේ ඇය දහවල ආහාරයට දෙදෙනාටම චිකන් ඕඩර් කළ නිසාය. නැතිනම් ඕඩර් කරන්නට වෙන්නේ චිකන් එකක් සහ වෙජිටබල් එකක්ය.

හිටලාද?

සමහරු නිතර ඇසුවේ මචං හිටලාද කියාය. ඒ ප්‍රශ්නයට පිස්සු කොර වෙන සෑමා අනිත් පැත්තට අසන්නේ “මොනවාද?“ කියාය. හිටනවා කියද්දී එහි ප්‍රෙභේද රැසක් ඇත්තේය. කොටින්ම කිවහොත් හිටිනා දේවල් රැසක්ය. මුලින්ම ජෝතිපාල මහතා කිව්වේ “ඔබ එනතුරු මා තනියෙන් හිටියා“ කියලාය. එතැන කිව්වේ නැවතිලා බලා සිටින එක ගැනය. දැන් කාලේ මචං හිට්ටා නේද? හිටියා නේද? කියා ඇසුවොත් පිළිතුරු දෙන්නට පෙර නැවත ප්‍රශ්නයක් නගන්නට වෙන්නේය. සෑමාට කිව හැක්කේ “මචං බ්ලොග් එක නම් හිටලා නැහැ“ කියාය. වෙන කිසිවක් හිටලාද? හිට්ටාද කියා නොඅසන්නේ නම් අගනේය.

මාසයක් පමණ නිහඩව සිට නිදහසේ ගලාගොස් ලැබුණු ලක්ෂ හයක හිට්ස් සමඟ, සෑමා නැවත නොනැවතී ලියන්නට සූදානම් වන්නේ මෙතුවක් රැදී සිටි සියළු බ්ලොග්කරුවන්ට, සියළු රසිකයන්ට ස්තූති කරමින්ය.


Written_by_sAm_ශ්‍රී_Perera_7:13am_02/10/14
Related Posts Plugin for WordPress, Blogger...