සෑමාගේ අම්මා මීට පෙර ලියූ කවි සැට් එකක් බ්ලොගේ සටහන් විය. ඒ සෑමාගේ ආච්චිගේ වියෝව වෙනුවෙන් ලියැවුණු පෝස්ට් එකකය. එහි තිබුණේ සෑමාගේ අම්මා ලියූ කවි සැට් එකක්ය. මල ගෙදර දින වල අම්මා ඒ කවි සැට් එක එලියට ගත්තාය. එතැන් සිට ඒ කවි සැට් එක අවසාන කටයුතු දා මුද්‍රණය කර බෙදා හැරීම දක්වා කටයුතු සිද්ධ වූයේ සෑමා සහ ලහිරුවා ගේ මැදිහත් වීමෙන්ය. අම්මාගේ සාහිත්‍ය හැකියාව සෑමා දැක ඇත්තේ කවි වලින්ය. පුංචිම කාලයේ කිසියම් පොතක හෝ කොළ කිහිපයක ඇය ලියූ කතන්දරයක් හෝ කෙටි කතාවක් තිබූ බව සෑමාට මතකය. එහෙත් එය දැන් සොයා ගන්නට නැතිය. කඩේ සිටින විටක හෝ අම්මාගේ නිවසට ගිය විටක කිසියම් කොළයක් තිබුණොත්, එහි අම්මාගේ අත් අකුරු නම් සෑමා බලන්නේ එහි ඇත්තේ කවිද කියාය. මන්ද ඇය ලියන කවි කියවීම ඇගේ ඇති සාහිත්‍ය ආශාව පිළිබඳ සෑමාට ලැබෙන යම් මිණුම් දණ්ඩක් නිසාය. ඇය බ්ලොග් නොදන්නීය. දන්නවා නම් සෑමා අද ගමෙත් නැතිය. ඇයට බ්ලොග පෙන්වීමටද සෑමාට උවමනාවක් නැත්තේය. එහෙත් ඈ ලියූ මේ කවි පත්‍රිකා කිහිපය ගැන සටහනක් තැබිය යුතුය.
මුල්ම කවි සැට් එක සෑමා දුටුවේ කඩේ සිටියදීය. එය දුටු විගස කියවා සෑමා අම්මාගෙන් ප්‍රශ්න කළේය.
“මම“
හිතට දුක වැඩිවෙද්දි
බුදු හිමිගේ සරණ සොයා
සදහම් සිසිලස ලබා
සසරින් කෙලවර පතමි මම...
කසාවතක් ගත දවටා
සිත පුරා තෙරපෙනා
දුක් කන්ද මඟ හැර
යා යුතු යැයි සිතමි මම...
අවුරුදු තිස් ගණනක් මම
සෙවනැල්ලක් සේ
දුක සැප බෙදාගෙන
එක සෙවනක සිටි මම
මා ගියොත්..
තනිවේද ඔබ.. ??
ආ පස්සට මා හැරෙයි.
2016/03/28
සෑමා - කාටද මේ ලිව්වේ ?
අම්මා - ඕක ලිව්වෙ උබලෑ තාත්තට පේන්න.
සෑමා - ඉතිං රිප්ලයි නැද්ද ?
අම්මා - මොකද නැත්තෙ ඔය උඩින් තියෙන්නෙ.
තිබුණේ තනිකර ආතල් රිප්ලයි එකක්ය.
“තේකොළ කඩේ කුලියක් මාර්තු දක්වා 2640/-“
තාත්තා එහෙමය. කවි කියවා සද්ද නැතුව ඉන්නවා මිසක ලයික් හෝ කමෙන්ට් දැමීමෙන් වැලකී සිටින්නේය. එය ඉතා හොද ප්‍රවණතාවයක්ය. නැති නම් ලයික් කමෙන්ට්ස් වැඩි වී පෝස්ට් එක පබ්ලික් වී හිට්ස් වැඩි වූ විට වසලා හමාරය. ඉතිං අම්මා වුවද විවුස් කීයද නොබලා, හිට්ස් නොතකා ෂෙයාර් කරන්නේ තාත්තා සමඟ පමණක්ය.
කතාව වැඩිදුර යාමෙන් පසු අම්මා තවත් කවි දෙකක් රිලීස් කළාය. ඒවා නම් මෙසේය.
ඉර නැගෙනා පැයේ පිලමත වාඩිගෙන
කවියක් ලියන්නට හිතුනා හිතට එන
ආදර හැඟුම් හිත පත්ලෙන් පිටත එන
මට කිති කවයි ප්‍රේමයෙ මුල් දවස ගැන
පත්වීම රැගෙන තාත්තා කෙලින්ම ගියේ රාජාංගනයටය. එහි වසර හතරක් දෙදෙනා ගෙවූ දුක ජීවිතය අද සිහි කරන්නේ සතුටු සිතින්ය. ඒ කාලය විවාපත් වූ අලුතය. තවමත් ඒ මතකයන් සුන්දර බව ඇය කියන්නීය. එහෙත් ඒ කාලයේ තිබූ සම්පත් සීමිත බව, දුක අසීමිත බව දන්නේ ඔවුන් දෙදෙනා සහ තරමක් අසා ඇති කතන්දර දන්නා අප පමණක්ය.
යන එන විටදි නිදහස පෙන්නා සුහද
බැදගත් ඇසුර මතකද ඔබ මගේ හද
නොදකින විටදි ඔබ නෙතගට කදුළු පොද
ආ හැටි මතක ඇත මිහිරක් දැනෙයි අද
දෙගුරුන් ඔවා දී අපි එක්කල හන්දා
තිස්පස් වසක් පෙම්ලොව ජය දද බැන්දා
මිණිමුතු වගේ දරු තිදෙනා හද බැන්දා
වියපත් පෙමක සුන්දරකම අප වින්දා
2016.04.17
නේක විධ දුක දරන්
ගෙවුණු දිවි මග පුරා
මගේ අත්වැල වෙලා
නුඹ උන්න ලං වෙලා
අත කරට සරසන්න
රුවන් මිණි මුතු නැතත්
එදා මම ඇඩුවෙ නෑ
නුඹ ලග නැති නිසා
අද අපට නේකාසි
ඇති බව මම දනිමි
අපි හොදින් කා බී
සලුපිලිත් ඇදගෙන
පිනක් දහමකුත් කර
සසර බවයෙන් එගොඩ වෙමු.
වින්ද දුක අනේකය. එදා නැතත් අද ඔවුන් සාරවත්ය. ජීවිතය ජය අරන්ය. සියළු ලෞකික සුවය, එමෙන්ම ලෝකෝත්තර සුවය, ලබා ගත යුතු බව ඇය කවියෙන් ලියන්නීය. මේ නම් නොකියා කියන්නේ මාත් සිල් ගන්නවා, ඔයත් ඇවිත් සිල් ගන්න කියාය. ආච්චිලා සිල් ගත්තාට සීයලා සිල් ගන්නේ ප්‍රමාද වීය. නැතොත් නොගෙනම සිටින්නෝය. ඇය මේ කවිය ලියා ඇත්තේ එතැනට බව සෑමාට සිතුනේය.
සියල්ල අවසන ඇය කිව්වේ සෑමාගේ තාත්තාගේ අම්මාට හෙවත් අපෙ ආච්චීට, ඇගේ නැන්දම්මාට කවි කිහිපයක් ලියා ඇති බවක්ය. ඇය ශතකය හමුවේ නොදැවී ක්‍රීඩා කරන බැවින් ඒවා එලියට එන්නට තව බොහෝ කල් ඇත්තේය. තවත් කවි සැට් එකක් ලීක් වෙන තුරු සෑමා අවධානයෙන් සිටින අතර ඒවා එකතු කර නැවත් පෝස්ට් එකක් ලියැවෙනවා ඇත.
Written_by_sAm_ශ්‍රී_Perera_11:13pm_21/09/16