Monday, December 18, 2017

මගේ සඳ ඇවිත්.. - Victor's Full Moon !!


මගේ සඳ ඇවිත්
කොඳ කැකුළු තරු ද සතපා
රැයෙහි කොපුල් රහසින් සිඹ
හිරු දිළෙනා මද්දහනේ
මගේ සඳ ඇවිත්


ඇවිත් ඇත්තේ මගේ සඳය. මෙතුවක් පාළු වූ හද රෑ අහස ආලෝකමත් කරනවා නම් පැමිණිය යුත්තේ සඳය. ඒ නම් රෑකය. රහසේමය. දහවල දහසක් නෙතු අවදියෙන්ය. කොපුල් සිඹිනට රැයද දහවල්ද වෙනසක් නැතිය. එහෙත් මේ පෙම අසම්මතය. ඇයට මට නොව, දකින උන්ට අසම්මතය. යෞවනය ඇත්තේ හදවතේ මිස බාහිරව නොවන බැව් නුඹ දන්නා නිසාම මෙය අපට සම්මතය. ඇය ඇගේ යෞවනය කැප කොට, කොඳ කැකුළු සුවඳත්, තරු රැසක අංකාරත්වයත්, කාන්තාරයක අතරමංවූ හිතකට පාර කියන තරු රැසක් රැගෙන ඇය ඇවිත්ය. 


වදුලූ කොනක සිත සඟවා
දියට බැස නෙළුම් සිඹිනා
බිඟු රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්


ඇය සවිමත් විය යුතුය. දහසක් කතන්දර අමතක කොට සිටින්නට ශක්තිමත් විය යුතුය. ඇය ඇගේ සිත වදුලු කොනක සඟවා ඇති අයුරක්ය. නැති නම් මෙතරම් ශක්තියක් අසම්මතයට එරෙහිව ඇයිට තිබිය නොහැකිය. සම්මතයේදී වුයේ මුලාවක් පමණක්ය. මලට හොරෙන් සුවඳ උදුරන බිඟුන් මෙතුවක් මා රවටා ඇත්තේය. එහෙව් මා දකින්නට අසම්මතයට අකුල් හෙලන තැනක, හිරු දිළෙනා මහ දවාලක, සඳ ඇවිත්ය. සමාජයටම සරදමක්ය. කොටින්ම හිරු තමන්ගේම කර ගත් ගිණි මධ්‍යහනේම ඇයි ඇවිත්ය. ඒ නම් මගේ සඳමය.


දෙවමින් දිවයුරුට නිගා
දේදුන්නක පෙම තවරා
මම රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්


සඳ යැපෙන්නේ හිරුගෙන්ය. එහෙව් තැනක හිරුට කෝචෝක් කරන්නට සඳට ශක්තියක් තිබිය නොහැකිය. එහෙව් තැනකදී හිරුට නිගා දෙමින් සඳත් ඒ අහසේම දිලෙනවා නම් අපූරුය. ඒ ඇගේ නොපරදින ගතිය ය. මෙතුවක් මුලාවූ, මියැදෙමින් තිබෙන සිතකට හිරුට කෙලින් පායන්නට සඳට හැකි නම් ඒ සඳ මගේමය. අපූරු සප්ත වර්ණ දේදුන්නක එතී, මා විසින්ම රැවටුනු මා අසල මගේ සඳය. ඒ මා බලන්නටමය. 


ඉතිං ඒ සඳ
සියල්ලටම බියෙන්
අහිමි කර ගත යුතුද?



Lyrics: Chandana Manoj Withana
Music / Vocalist: Victor Rathnayaka

Wednesday, December 13, 2017

අඩේ කවුද බං ඒ කෑල්ල.. - Who is That Pretty ??


කිටියා අකැමැතිම වැඩේ සෑමාව කඩේ යැවීමය. ඒක වෙන්න බැරි වැඩක් බව සියල්ලටම සැක හිතෙනු නිසැකය. ඇත්තය. පිරිමින්ව කඩේ යැවීමට කාන්තාවන් කැමැතිය. එහෙත් සෑමා හන්දියේ කඩයට යනවාට කිටියා තරමක් අකැමැතිය. ඒ මක් නිසාවත් නොවේය. අඩි දෙක තුනට හන්දියට යා හැකිය. එහෙත් එසේ යෑමට, බඩු ගැනීමට සහ ගෙදර ඒමට සෑමාට පැයකට වැඩිය ගත වන නිසාය. විටෙක යාලුවෙක් සැට් වී කයියක්ය. නැති නම් බුද්ධික අයියාගේ කමියුනිකේෂන් එකේය. ඔව් අර චක්කර කොළ ෆිල්ම් එක හෙවූ ඩෑල් එකය. එහෙමත් නැති නම් කවුරුන් හෝ කොහේ හෝ යන්නට කතා කළොත් සෑමා සුටුස් ගා ඌත් එක්ක රවුමක් ගසන්නට යන්නේය. ඒ නම් බඳින්නට කලින්ය. ඉස්සර ගෙදර වැඩකට හන්දියට යන සෑමා මතුවන්නේ කන්කසන්තුරේ හන්දියෙන් විය හැකිය. තවත් දවසක් රෑක මිදුලට බහිද්දී පාර ලඟ බස් දෙක තුනකට සෙනඟ ලෝඩ් කරනු දැක සෑමා විපරම් කළේය. බලනකොට ගමේ උන් අනුරාධපුරේ යන්නටය. ඒ අස්සේ එකෙක් වරෙන් යන්න සෑමා කිව්වේය. ඒ හිටපු ගමන්ම බස් එකට නැග සෑමා අනුරාධපුරයෙන් මතු වූයේය. බස්වල සීට් ගාණනට සෙනග සිටි නිසා සෑමා ඉදගෙන ගියේ අන්තිම සීට් එක අසල සිටුවා තිබූ ගෑස් සිලින්ඩරයක් උඩය.

ඒ කාලේ එහෙමය. දැන් බැදලාය. වැස්සේම කඩේට ගිය ඩෑල් එකක කතාවක් සෑමාට මතක්වෙන්නේය. කඩේ මුදලාලියා කඩේට ආපු මනුස්සයා දෙස බලන්නේය. කුඩයක් නැතිය. තෙමිලාය. හතිදාගෙනය. ෂර්ට් එක අපිළිවෙලය. කඩේ මුදලාලි ඩෑල් එකෙන් ආතල් එකක් ගන්නට සිතා මෙලෙස ටෝක් කළේය.

"මහත්තයා බැඳලා

නේද?"

"නැතුව අයිසේ.. වයිෆ් එව්වොත් මිසක් මේ වැස්සෙ අපෙ අම්මා මාව කඩේට එවයි කියල හිතුවද??"

ඇත්ත සීන් එක එලෙසය. මුදලාලිට කට උත්තර නැති වෙන්නට ඇතිය. කඩේ යන සීන් එකේ අපහසුතාවය කෙතරම්ද දන්නේ වයිෆ්ලාට කඩේ යන අපි වැනි අසරණ ඩෑල්ය. ඒ නිසාම උදේ ගෙදරින් පිටත් වෙද්දී සෑමා කිටියාට කියන්නේ අවශ්‍ය බඩු ලිස්ට් එක මැසේජ් කරන ලෙසය. එහෙත් කිසිම දිනක මැසේජ් එක ආ සැනින් බඩු මිලට ගත යුතු නොවන්නේය. මැසේජ් එක උදේ 10 ලැබුණහොත් එතැන් සිට උදේ 11, දහවල් 12, දහවල් 1 ආදී වශයෙන් සවස පහ වෙනතුරු ලිස්ට් එක අප්ඩේට් වීමේ හැකියාවක් තිබිය හැකිය. එනිසා කලබල වී බඩු ගන්නට වුනොත් වැඩ කරන්නට වෙලාවක් නොලැබෙන්නේය. බඩුම අත ගගා ඉන්නට සිද්ධ වන්නේය. ඊටත් වැඩිය ඇඟට හොඳම ක්‍රමය නම් සවස පහ හය කිට්ටු වී ගෙදරට යන අතරම මඟදී බඩු ලිස්ට් එක එකතු කර ගැනීමය. එහෙත් ඉතා විශ්වාසයෙන් හා වගකීමෙන් ප්‍රකාශ කළ හැකි එක දෙයක් ඇත්තේය. ගෙදර ගිය විගස ලිස්ට් එකේ දමන්නට බැරි වූ එකක් හෝ ගන්නට ගමේ කඩයට, හන්දියට යන්නට වෙනවා ෂුවර්ය. ඒ පිරිමින් සදා ලබා උපන් හැටිය.

කඩේ යන සීන්, හන්දියට ගෑටීමේ සීන් එහෙව් තත්වයක තිබියදී සෑමාට පසුගිය දිනෙක හන්දියට යන්නට සිදු වූයේ කිසියම් දෙයක් රැගෙන ඒමටය. හන්දියට ගිය ගමන්ම සෙට් වුණේ බෆලෝය. කතා ගොඩක්ය. අරක මේක ඒක සියල්ල කතා කොට තවත් ඉදිරියට යද්දී අපෙ පරණ මිත්‍රයෙක්ය. නම කිව්වොත් කතාව ලියන්නට බැරි වෙනවාය.

"ආ සෑමා.. කෝමද??"

"ඉන්නවා බං.. ඇයි මේ පැත්තට බැහැලා.. කාලෙකින්.."

කතාව දිගට ගලා යන්නේය. කොල්ලා ඉස්සර හිටියේ මෙහේය. දැන් බැඳලාය. පිළිවෙලය. දියුණුය. ඒ නිසා සතුටු කතාය. සවිස්තරාත්මකය. දෙදෙනාම කතා කරන දිසාවට ඈතින් කෙල්ලෙක් පැමිණෙන්නේය. මිතුරා සෑමාට ඇමතුවේය.

"අම්මට උඩු අර බලපං කෝ මේ පැත්තට එන කෑල්ල... අඩේ කවුද බං ඒ??"

"අපොයි.. ඊයා බං.. බලහංකො හැටි.. පැත්තට ඇවිදින්නේ.. අප්පිරියයි ඕයි.."



සෑමා සවිස්තරාත්මකව ඇගේ ගමන, හැඩය, හැසිරීම විස්තර කළේය. කොල්ලාට කිසිත් කියන්නට ඉඩක් නොලැබෙන දුරින් ඈ සිටි නිසා නිහඩව සිටියේය. ඇය පැමිණි විගස අප මිත්‍රයා සමඟ කතා කළේය. සෑමා උඩු කුරුඤ්ඤංය. සියල්ල බලා සිට ඇය නැවත යනතුරු සිට ඔහුගෙන් විමසුවේය.

"කවුද බං ඒ?"

"වයිෆ් යකෝ.."

මිතුරා ආතල් එකක් ගන්නට ගොස් කෙලවා ගත්ත ආකාරය සෑමාට වැටහුනේය. ගෙදරට නැවත එනතුරු තනිවම සිනාසෙනවා ඇරෙන්නට සෑමාට කරන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැතිය.


Written_by_sAm_ශ්‍රී_13/12/2017

Monday, December 11, 2017

සුනීර මැතිවරණ අපේක්ෂකයෙක්ද.. - Is Suneera Election Candidate ??


සුනීර අයියා අපේ ගමේ එකෙක්ය. ඒ නිසාම හැම එකාම කිව්වේ ගමේ එකාට සපෝට් කරමු කියාය. ඒක ඇත්තය. ගමේ එකෙක්ට වැඩ කළොත් පාරකට තාර ටිකක් බැරි නම් කොන්කිරිට් ටිකක් හෝ වක් කර ගත හැකිය. එහෙම කිව්වේ අපේ අත්තම්මාය. ඒ ඇය ප්ලේන්ටියක් වක් කොරන ගමන්ය. අත්තම්මා පරම්පරා ගත එක්සත් ජාතික පාක්ෂිකාවක්ය. පසුගිය මැතිවරණයකදී අලියා නැතුව හංසයා ඡන්ද පත්‍රිකාවට ආවේය. අවුරුදු අනූවක් ගියත් අත්තම්මා ඡන්ද පෝලිමේ යන්නේ තනිවමය. තනිවම කතිරය ගසා පෙට්ටියට දමන්නේ අලියා රැක ගැනීමටය. එහෙව් පරමාර්ථයෙන් අලියා නැති මොහොතක හංසයා ඡන්ද පත්‍රිකාවේ සිටිනු දැක අත්තම්මා ෆොක්ස් වූවාය. බැරිම තැන එතැන සිටි මැතිවරණ නිලධාරියෙක් ලව්වා අලියා සොයා දෙන ලෙස ඉල්ලා සිටියාය. අවුරුදු උත්සවයේදී අලියා සිටියදී ඇහැ සෙවීමට තරඟකරුවන්ට සිදු වන්නේය. එදා අත්තම්මාට සිදු වූයේ ඇහැ තිබියදී අලියා සෙවීමටය. එහෙත් නිලධාරියා කිව්වේ මේ පාර අලියා නැහැ ඒ වෙනුවට හංසයා ඉන්නවා කියාය. අත්තම්මාට මල පැන්නාය. අලියා කළු පාටය, හංසයා සුදු පාටය. පක්ෂය පාවා දිය නොහැකිය. කියමින් ඡන්දය කටු ගෑවාය. එජාප ඥාතීන් රැසක් ඉන්නා අපේ ගෙදර උන්ට කොකා පෙනුනේ එදාය. අත්තම්මාව කලින් දැනුවත් නොකිරීමේ ආදීනවය මැතිවරණය ජය ගත්තාට පසුවද කම්පාවට හේතුවක් වූයේය. ඒ එක ඡන්දයක හෝ වටිනාකම අපෙ උන් දන්නා නිසාය. අපරාදේය. තාමත් කියන්නේ එලෙසය.

මෙවර අත්තම්මා ජවිපෙට හැරිලාය. අපි නම් දෙන්නේ සුනිර කොලුවාට යැයි කියන්නීය. පැවැත්වෙන්නට තිබෙන්නේ පලාත් සභා ඡන්දය ය. එනිසා පක්ෂය නොබලා පුද්ගලයාට ගැසුවාට කමක් නැතැයි ආත්තම්මා ලැජ්ජා නැතුව කියන්නීය. හංසයාගෙන් මට්ටු වෙලා නැද්දැයි අපේ ගෙදර කසු කුසුවක් යන්නේය. මෙතුවක් ගමෙන් සුනීර කියලා එකෙක් නම් ඡන්දයට ආවේ නැතිය. එහෙව් එකේ අපෙ අත්තම්මා මෙවර එකපාර අප්ඩේට් වූයේ කෙසේද යන්න අපිටත් සැකයක් උපන්නේය. විටෙක රතු කොලුවෝ පැමිණ සමාජවාදය උලුප්පා පෙන්වා දෙන්නට ඇතිය. තරුණ ජවය පෙන්වන්නට ඇතිය. නැතහොත් ආත්තම්මා හපා බිම හෙලන බුලත් විටය රතු පාට බව පෙන්වා දෙන්නට ඇතිය. ආත්තම්මා සහ බුලත් හපය අතර ඇති ආත්මීය බැදීම ආත්තම්මාගේ ඡන්දය ජවිපයට දෙන්නට තරම් ප්‍රබල වූවා දැයි සැක සහිතය. කෙසේ හෝ අපේ ගෙදර උන් මේ දිනවල සොයන්නේ ආත්තම්මාගේ ඡන්දය කොල්ල කෑ එකා කවුද යන්න ය.

පොඩි සෑමාටත් කරන්නට දෙයක් නැතිම තැන ආත්තම්මාට කිට්ටු වූයේ ජවිපෙට බැස්ස හේතුව අසන්නටය. අත්තම්මා පටන් ගත්තේ සමාජවාදයෙන්ය. සීයාගේ ධනවාදයට මින්පසු හසු නොවන බව ඇය කීවාය. සුනීර කොලුවා ගමට වැඩක් ඇති එකෙක් බව ඇය පුල පුලා කිව්වාය. 

"මොකද අත්තම්මේ කෑමක් වත් විස වුණාද මේ පාර අලියා පාවා දෙන්න යන්නේ.." බැරිම තැන පොඩි සෑමා හඩ අවදි කළේය.

"ඇයි දැන් උබ එනවද මට ඡන්දෙ කරන හැටි උගන්නන්න.."

"නෑ අත්තම්මෙ මේකනෙ.. දැන් බලේ තියෙන්නෙ රනිල් ලොක්කටයි, සිරිසේන ලොක්කටයි... ඉතිං අහවල් එකටද ජවිපෙට දෙන්න යන්නෙ.."

"බලේ කන්නද බොලව්.. උන් කරන එකක් කර ගත්තාවෙ.. මම කැපුවත් කොළ.. ඒත් මේ ගමේ එකාට නොදී ගෙදර බතක් උයාගෙන කන්න ලැජ්ජ නැද්ද තොපිට??"

"හරි දැන් ඌ ආවා කියමුකෝ.. කොහොමද බලේ නැතුව ප්‍රතිපාදන වෙන් කරගෙන ගමට වැඩක් කරන්නෙ??"

"කෝම හරි වෙන්නෙ නැතෑ බං.. ඒ වගේද අපෙ එකෙක්.. ඔහොම තැනක ඉද්දි.. "

"දැන් ඕකා කාගෙ කවුද? "

"යකෝ උබලා බජාර් එකේ ඉන්න කොල්ලො නේද? කෙල්ලෝ ගැන නම් දන්නවා ගමේ කොල්ලව දන්නෑ.."

"මට නම් එච්චර නිච්චියක් නැහැ ඒකව.."

"නිච්චි නැත්තං ගීං බලහං.. පාලම යට පොල අයිනේ තඩි කටවුට් එකක් ගහලා තියෙනවා රතු පාටින්ම.. අංක තුන සුනීර දිනවමු කියලා.."

"හෑ.. උන් මේපාර මනාප පොරයටත් බැහැලද??"

"නැතුව.. අංක එකෙන් ඉල්ලන්නෙ.."

සොට් එකටම ආත්තම්මා බුලත් කොළය මැද්දට හොද ටොපියක් තියාගෙන කාලා විය හැකිය. මනාප ඇතුව ජවිපෙ උන් ඡන්දෙට බහිනවා නම් වෙන්න බැරි වැඩක්ය. සෙනිකව පොළ අසලට ගොස් කටවුට් එක බැලිය යුතුය. 



පොළ අසලට යන්නට පෙර සිටම මඟ දෙපස කට්අවුට්ය. පෝස්ටර්ය. ආත්තම්මා රැවටෙන එක සාධාරණය. සුනීරයා රතුපාට පසුබිමක, අංක එකේ ඉලක්කමෙන් තරඟ වදින්නේය. බලනකොට ඉලෙක්ෂන් එකට නෙවේය. තරු තරඟයකටය. 

දැන් ඉතිං ඡන්ද කොළයේ අලියා නැතුව හංසයාට කතිරය නොගැසූ ආත්තම්මාගේ සිත වෙනස් කළ යුතුය. සුනීර යනු ඡන්දය ඉල්ලන්නට ආ අපේක්ෂකයෙක් නොව, තරු තරඟයකට ගිය ඩෑල් එකක් බව ආත්තම්මාට කියා දිය යුතුය. සමාජවාදය රජ කරවන්නට සුනිර පුතාට බැරි බවත්, කැඩිච්ච පාරට තාර දමන්නට ඔහුට නොහැකි බවත් ආත්තම්මාට කියා දිය යුතුය. ජනවාරියට පෙර ආත්තම්මා දැනුවත් නොවුනහොත් පලාත් සභා ඡන්දයද කටු ගානවා ෂුවර්ය.

Written_by_sAm_ශ්‍රී_12:15am_11/12/17

Tuesday, December 5, 2017

ආතති මවන මැෂිම.... - Is Fidget Spinner Stress Reliever ??


මෑතකදී සෑමා මිත්‍රයන් දෙදෙනෙකු සමඟ කොටුවට ගියේය. ඒ අතර සිටි මිත්‍රයෙක් හැසිරුණේ බැංකොක් ගිය ආකාරයකටය. දකින හැම තැනම නැවතෙමින්ද, දකින හැම බඩුවම අත ගාමින්ද මිතුරා හැසිරුනේ කිසිදා කොටුවේ නොගිය ආකාරයකටය. දෙවෙනි හරස් වීදියේ පාර අයිනේ ගැජට් විකුණන හැම තැනකදීම අපේ මිතුරා සොයා ගැනීමට අපහසු වූයේය. ඒ ඔහු මිනිසුන් වට වී සිටින හැම තැනකටම ඔලුව දමමින් පරික්ෂා කරමින් ගමන් කරන නිසාය. වරෙක අපිට ඔහුව මඟ හැරුණේය. වටපිට බලන විට ඔහු සිටියේ දෙසීයයි, දෙසීයයි කියමින් පෙන් ඩ්‍රැයිව් විකුණන තැනකය. රුපියල් දෙසීයට ගිගා අටක පෙන් එකක් ගන්නට ගිය මිතුරා බේරාගෙන අපි නැවත ගමන් කළේ හවස් වෙන්නට පෙර ගෙදර ආ යුතු නිසාය.

"අම්මට උඩු මේ තියෙන්නෙ මම හොයපු ගැජට් එක.."



"අහ් ස්පිනර් එකක් නේ.."

"ඔව් බං, වයිෆ් කිව්වා තව සතියයි බලන්නෙ, එකක් ගෙනාවෙ නැත්තං යන්න යනව කියලා.."

"ඉතිං ඕයි ගෙනියන්නෙ නැතුව ඉන්නවකෝ.."

"මේක සිරාද බලහං, බරයි, සැරටම කැරකෙනවා.."

"හා හා ගනින්කෝ.."

"අයියේ මේක කීයද ?"

"තුන් සීයයි.."

"අඩු නැද්ද??"

මේන් රෝඩ් එක අයිනේ ඩෑල් එකක් නිසා පොර කේවල් කරන්නට ඉඩ නොදීම රුපියල් තුන් සියයකටම භාණ්ඩය අපේ එකාගේ ඇඟේ ගැසීය. එතැන් පටන් කොල්ලා ටිකක් මෙල්ල වූයේය. සද්ද නැතුව ස්පිනර් එක කරකවන ගමන්ය. ඇවිදින්නේද ඇඟිලි දෙක අස්සේ ස්පිනර් එක ගසාගෙනය. ටෝක්ස්ය. අඩෝ මේ බලහං මේක කැරකෙනවා බං විනාඩි පහකට වැඩිය. මේක හොදා බං ස්ට්‍රෙස් එක අඩු වෙන්න. කතන්දර සියයක්ය. බැරිම තැන සෑමා ෆෝන් එකේ ස්ටොප් වොච් එක දමාගෙන කැරකෙන කාලය මැන බැලුවේය. ලොකු සීන් එකක් නැතිය. විනාඩියක් සහ තවත් තප්පර විස්සක් විතර කැරකුණේය. මිත්‍රයාගේ ටෝක්ස් ටිකක් අඩු වූයේ එතැන් සිටය.

"හැබැයි මේක නවත්තන්න හිතෙන්නෙ නැහැ බං.."

"ඔව් නේ එහෙම සීන් එකක් තියෙනව නේ.."

"උබට මතකද මම මේක හොයන්නෙ කවද ඉදන්ද කියල.."

"මම දන්නවද බං ඒක?"

"ඇයි බං අපෙ පුංචිගෙ පුතා ඩෙංගු හැදිලා හොස්පිට්ල් ඉද්දි ඌ ඇඳේ ඉදන් කරකෝ කරකෝ හිටියෙ.. අන්න එදා ඉදං මම මේක හොයන්නෙ.."

"ආ මට මතකයි.. එදත් උබ නවත්තන්නෙ නැතුව ඒක අතේ තියන් හිටියෙ. මම හිතුවා උබ ඒක එදාම උස්සයි කියලා.."

ගිය වැඩේ කරගෙන නැවත සෑමා සහ මිත්‍රයන් දෙදෙනා පාරට බැස්සේ ගෙදර එන්නටය. අපේ එකා නොනැවතී ගැජට් එක කරකවන්නේය. ඒ අතර හරස් පාරක බිම තියාගෙන අංකල් කෙනෙක් ස්පිනර් වෙළදාමේය. අපේ එකා සෙනික තමා සතු ස්පිනර් එක හංගා ගත්තේය. ඒ තමා කලින් ගෙවූ මුදල සාධාරණද බලන්නටය.

"අංකල් මේක කීයද?"

පොර එක වරම අංකල්ට පෙන්වූයේ, තමා සතු වූ ප්‍රමාණයේම, ඒ පාටම, එකක්ය. මොහොතකට පෙර සාක්කුවට දමාගෙන හංගා ගත් එකමය. රුපියල් තුන්සියයේ එකමය.

"ඒක දෙසීය පනහයි.. ලයිට් පත්තු වෙන එක තුන්සිය පනහයි.. අර පොඩි එක දෙසීයයි.."

අපෙ එකාගේ මුහුණ අමුතු වූයේය. මෙතැන දෙසීය පනහෑ එකකට කොල්ලා තුන්සියයක් ගෙවා ඇත්තේය.

"අංකල් මොකෝ කියන්නේ දෙසීයකට දෙනවද?" ඒ සෑමාය. මිතුරාව තවත් අවුල් කිරීමටය.

"හ්ම්.. හරි හරි මොන පාටද ඕනෙ කියන්නකෝ.." අංකල් අකැමැත්තෙන් මෙන් ඩීල් එකට කැමති වූයේය.

මිතුරාට කලින්ම කෙලවී හමාර නිසා වැඩි විස්තර කතා නොකර, තවත් බාල්දු නොකර එතැනින් පිට වූයේ කොල්ලා ගේ හිත හදන්නටය. අපිට හදන්නට දෙයක් නැතුව නැවත සාක්කු වේ තිබ්බ ස්පිනර් එක අතට ගත් කොල්ලා නැවතත් ටෝක්ස්ය.

"ඒ වුනාට බං ඕවෑ කොලිටීස් තියෙනව නේ.."

හිත නිවන කතාවක්ය. ස්ට්‍රෙස් මකන යන්ත්‍රය කොල්ලාට ස්ට්‍රෙස් ගෙන දෙන්නට වූයේ ඉතිරි විනාඩි කිහිපයේය.

"ඒ වුණාට අර කැ%$#ට තිබ්බා ටිකක් අඩු කරල දෙන්න.. බලපං තුන්සීයටම දුන්නෙ, සතයක් අඩු නොකර.. ෂික් එතැනින් ගන්න හදිස්සි නොවී මෙතැනින් ගන්න තිබ්බෙ... අවුලක් නෑ හැබැයි මේකට කවරයක් තියෙනව නේ බං.. අරකෙ කවරයක් නැහැනේ.. මට හිතෙන්නේ අරකෙ බර අඩුයි.. මේක සැරට දැනෙන්න කැරකෙනවා.. බර නිසා වෙන්න ඇති.."

ස්ට්‍රෙස් නිවෙන්නට ගැජට් එකක් ගත් මිත්‍රයා ස්ට්‍රෙස් එකේ ගිලෙමින් කතා කරන්නට වූයේය. ඔහු කියන හැම හේතුවක්, කාරණයක් පාසාම ස්පිනර් එක කැරකෙන්නට විය.

Written_by_sAm_ශ්‍රී_11:47am_05/12/17
Related Posts Plugin for WordPress, Blogger...