Showing posts with label සිහින කු-මාරයා... Show all posts
Showing posts with label සිහින කු-මාරයා... Show all posts

Friday, March 22, 2013

අවසාන වටයට තේරුණු විහගයා කබ්බන්ට ගීයක් ගයයි... Kabbo's Theme Song Released !


කොනක ඉදන් එක හුස්මට...
පළමුවන කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස... හත්වන කොටස.. අටවන කොටස...

මුළු රැයම මැඩම් එක්ක ගෙවිලා ගියේ පාට පාට දේදුනු අතරින්, සිහින් සප්ත ස්වර කෙදිරිලි හඩ මැද්දෙන්. ඒ සියල්ල අස්සෙ මට පසුගිය අතපසු වුණ පාඩම් සියල්ල ඉගෙන ගන්න පුලුවන් වුණා. මැඩම් කිව්වෙ මම හරි දක්ෂයෙක් කියල. ඒ වගෙම පන්තියට ඒ කාලෙ ඉදන් පිළි වෙලට ආව නම් මම අද සිහින තරුව වෙලා ඉවරයි කියලත් කිව්ව. අනික පහු වෙලා හරි මොලේ පෑදිච්ච එක ගැන මැඩම්ට සතුටුයි කියලත් කිව්ව. මට එදා තේරුනා අසේලයට පහුගිය ටිකේම ලකුණු වැඩි වෙන්න, මට ලකුණු අඩු වෙන්න හේතුව. මැඩම්ගෙ ක්ලාස් එකට එනව නම්, මැඩම්ට තුටු පඩුරු දෙනව නම් ඒ තරගෙට එන ඕන එකෙක්ට හොද තැනකට එන්න පුලුවන් කියල මට හීනෙන් වගේ තේරුණා. එතකොට කෙල්ලෙක් ට තරගය දිනන්නම බැරිද? කියලත් මහා ප්‍රශ්නාර්ථ ලකුණක් මගේ ඔළුව වටේ කැරකෙන්න ගත්ත.

“අපෝ නිදියනකොට ගොරවන සද්දේ.. මම හිතුව සප්ත ස්වරයෙන්ම ගොරවයි කියල..“

“කවුද දන්නෙ නැහැ ගොරවන්නෙ...“

“අනෙ මේ.. මම රෑ අහගෙන හිටියේ...“

“මාත් අහගෙන හිටියෙ.. කෙදිරිල්ලෙන්ම ස්වර හත පන්නපු හැටි...“

“හරි හරි දැන් ගෙදර යන්නෙ නැතුව අදත් මෙහෙද ඉන්න හදන්නේ??“

“ඇයි දැන් මාව එලවන්නද හදන්නේ???“

“නැහැ ඉතිං ඊයෙ රෑ ගෙදර යන්න කෙදිරි ගාපු මිනිහනේ මේ ඉන්නේ.. “

“ඇත්ත තමයි.. පරක්කු වුණා මම යන්නෝනි..“

“ගියාට කමක් නැහැ.. ආයෙ ක්ලාස් එන්න ඕනා.. පාඩම් ටික අත පසු වෙයි.. නිතර පුරුදු කලේ නැත්තං හැම දේම අමතක වෙනවා...“

මැඩම් හිනා වෙවී කියද්දි මම ගෙදර යන්න පිටත් වුණා. සාක්කුවේ තිබ්බ ෆෝන් එක ඔන් කළේ ගෙදරට කෝල් එකක් ගන්න විතරයි. කාව්‍යා කතා කලොත් මොනව සිද්ධ වෙයිද කියල දන්නෙ නැති නිසා මම ඕෆ් එකේමයි තිබ්බෙ. සාක්කුවෙන් එළියට ෆෝන් එක අරගෙන මම ෆෝන් එක ඔන් කලා. එන හැමදේකටම මූණ දෙන්න බලාගෙන.

කෝල් ඇලර්ට්, මැසේජස් ෆෝන් එක  පිරෙන්නම. හැම එකක්ම තිබ්බෙ මට හොදටම බැනපුවා. මම ඉන්න තැන දන්නවා, කාත් එක්කද ඉන්නෙ කියල දන්නව කියල හොදටෝම බැනල මැසේජ් දාලා. මම ඉන්නෙ කොහෙද කියල එයා නොදැක, නොදැන එහෙම කියන එක වැරදී. අනික මෙතන වෙච්ච දේවල් නොදැන එහෙම කතා කරන එක වැරදී. ඒ ඇරත් මම ඉන්නෙ කොහෙද කියල එයාට කියන්නවත් කවුරුත් නැහැ. එහෙම තත්වෙක ඉද්දි එයා මට චෝදනා කරන එක සම්පුර්ණ වැරදී.

“ගුඩ් මෝර්නිං බබා..“

“ආ.. දැන්ද එළි වුණේ..??“

“හිහි.. හිහි.. ඔව් නේ.. දැන්නෙ ඉරපායලා එළි වුණේ.. “

“විහග, මාත් එක්ක විහිළු කරන්න තියා ගන්න එපා.. මම දන්නව හැම දේම..“

“මොනවද දන්නේ/?“

“ඊයෙ රෑ කොහෙද හිටියෙ??“

“මැඩම්ගෙ ගෙදර, රෑ යන්න බැරි නිසා මැඩම් මට එන්න කිව්ව, මම එහෙ ගරාජ් එකේ නිදාගත්ත, අනික.. මගෙ ෆෝන් එකත් බැට්රි ලෝ වෙලා තිබ්බෙ..“

“ගෙවල් දොරවල් නැද්ද? එක එකාගෙ ගැරේජ් වල නිදා ගන්නෙ?“

“කැමති දෙයක් හිතා ගන්න.. මම කිසිම වැරැද්දක් කරල නැහැ..“

හිත හයිය කරගෙන මම කාව්‍යාට කිව්වා.

“හරි මම බලා ගන්නම් කෝ..“

එහෙම කියපු එයා දඩිස් ගාල ෆෝන් එක තිබ්බා. අවසාන තරගයට අසේලයයි, මායි කරට කර තරගකරන්න තියෙන්නෙ ලබන සෙනසුරාදා. ඒ මෞල්‍ය මංගල්ලෙ තියෙද්දි මේ කෙල්ල මට තවත් බරක් වෙන්න හදන එක මට මහා දුකක් වුණා. එක්කො කතා නොකරම ඉන්න තිබ්බා. එහෙනම් මම සෙනසුරාදා වෙනකල් නිදහසේ මම ප්‍රැක්ටිස් කරනවා පාඩුවේ. ඒත් සැරින් සැරේ මට කෝල් කර කර මාව අවුස්සන්න, අවුල් කරන්න හදද්දි මට මහා පීඩනයක් වුණා. ඒ අස්සෙ වැටි වැටී නැගිට නැගිට මම මැඩම් එක්ක ප්‍රැක්ටිස් කළා. මම අධිෂ්ඨාන කළා ගොඩ යන්න. අනික එදා අසේලයට තුරුල් වෙලා ඇහේ රොඩ්ඩ අයින් කරපු දවසේ ඉදන් මට එයා ගැන තිබ්බ ආදරේ අඩු වෙන්න ගත්ත දවසින් දවස. මොකක් නමත් නොදන්නා බලවේගයක් මාව බිම දාන්න හදනව කියල මට දැනෙන්න ගත්ත. මම හැම දේම අතෑරලා තරගයට සූදානම් වෙන්න ගත්ත. එයා මොනව වුනත් මාව තේරුම් අරගෙන මගෙ ලගට එයි. මම තරගය දිනලා එයාව ලගට ගන්න තීරණය කළා. මම අධිෂ්ඨාන කළා.

එදා රෑ මගෙ රසිකයෝ මාව වටකරගෙන හිටිය. කලින් තරගකරුවෝ වේදිකාවෙ කළබල කරද්දි මායි අසේලයයි වේදිකාව පිටිපස්සෙ දෙන්න දෙපැත්ත බලාගෙන අපේ ජීවිතය, ජයග්‍රහනය තීරණය කරන අවසන් ගීත දෙක ගායනා කරන්න පුරුදු වුණා. අතරින් පතර එයාට එන මැසේජ් වලට රිප්ලයි කරන්න එයා අමතක කළේ නැහැ. මම හිතුවෙ ඌ ඌටම එස්.එම්.එස් මනාප ගහ ගන්නව කියල. මම කිසි දෙයක් ගානක් නැතුව බය නැතුව මගෙ ගීතය ගායනා කළා. ඒ මගෙ රසික ජනතාව වෙනුවෙන්ම, සෑම් අයිය ලියපු ගීතය.


මම ගීතය ගායනා කරල වේදිකාවෙන් බැස්සම මට විසිල් ගොඩක් වැදුනා. මැඩම් අසේලයගෙ අතින් අල්ලගෙන මෙච්චර කල් ආපු ගමන නවත්තලා මගෙ අතින් අල්ල ගත්ත සතියකට උඩදි. එතන ඉදන් මගෙ ආත්ම විශ්වාසය ඩබල් වුණා. කාව්‍යා මගෙ ක්ලාස් යන ගමනට බාධාවක් නෙවුන නම් මම මීටත් කලින් ගොඩ ගිහින් කියල මට තේරුණා. ඊලගට අසේලයගෙ වාරේ. ඌත් කවදාවත් නැති විදිහට බල්ටි ගගහා සිංදුව කිව්වා. කවුරු කාට චියර් කරනවද කියල හොයන්න බැරි තරමට ඌටත් පට්ට විසිල් පාරක් වැදුනා. මම ඇස් දෙක පූට්ටු කරන් නහය දිහා බලන් ඉන්නව වගේ, ස්ටේජ් එක පිටිපස්සෙ ඉදගෙන හිටිය.

අවසන් තීරණය දෙන්න, වත්ත වටේ පැය ගානක් දුවල නිවේදක නළුවා මගෙයි අසේලය ගෙයි ගායන දෙක සංසන්දය කරන්න ගත්තා. උගෙ අදෝනාව පැයක් විතර අපි දෙන්න දෙපැත්තට වෙලා අහගෙන ඉදලා, එකපාරටම නිවේදක බුවා අසේලද? විහගද? කිය කිය අපේ අත් දෙක අල්ල ගත්ත. එක පාරට මගේ එක අතකින් උස්සල විහග දිනුම් කියද්දි, ඇණ බුරුලට හයි කරපු ෆෑන් එකක තටුවක් වගේ මගෙ කකුල් දෙදරන්න ගත්තා. ඇත්තටම මම එදා දිනල. එවලෙ ඇතිවුණ කම්පනය නිසා මම ප්‍රෙෂර් වැඩිවෙලා ඇඩ්මිට් කරල හොස් පිට්ල් එකට. මගෙ ජයග්‍රහනයේ කිරුල මගෙ එහා පැත්තෙ තිබ්බ කබඩ් එක උඩින් තියල. මම මෙහා පැත්තෙ ඇදේ සේලයන් එකක් එක්ක වැතිරිලා හිටියා..

මතු ෂබැදි ! 
අවසාන කොටසින් හමුවෙමු ! 
sAm ශ්‍රී Perera_10:28pm_22/03/2013

“කබ්බන්ගේ ලෝකයේ මල් පිපිලා..“ සම්පූර්ණ ගීතය ඉදිරි පෝස්ටුවකින්...

Thursday, March 14, 2013

පසුගිය පාඩම්...

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 8 කොටස


කොනක ඉදන් එක හුස්මට...
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස... හත්වන කොටස..

එදා අසේලයා කාව්‍යාගෙ ඇහැට ගිය රොඩ්ඩ අයින් කරපු දවසෙ ඉදන් මගෙ හිතට සැනසීමක් තිබ්බෙ නැහැ. අපි පුංචි කාලෙ ඇහැට මොනව හරි ගියාම කරන්නෙ ඇස් පිල්ලම ඇගිලි දෙකකින් ඈත් කරල අල්ලගෙන ඉස්සරහට අඩි දහයක් ඇවිදගෙන ගිහින්, ආයෙත් පස්සට අඩි දහයක් විතර ඇවිදගෙන එන එක. ඒ අත “ඉක්කයි මමයි ගාලු ගියා, ඉක්ක තියල මම ආවා“ කියල පද පේලියකුත් කියවනවා මට මතකයි. සමාවෙන්න මට වැරදුනා. ඒ පද පේලිය කියන්නෙ ඉක්කාවක් (hiccups) ආවහම මිසක්, ඇහැට රොඩ්ඩක් ගියාම නෙවේ. ඒත් මේ කෙල්ලට තිබ්බා අර අසේලයත් එක්ක වැටමාර පදුර අස්සෙ රිංගන වෙලා අඩි දහයක් ඉස්සරහට පස්සට ඇවිදින්න. එයා එහෙම කලා නම් අද මට මෙහෙම වේදනාවක් එන්නෙ නැහැ නේද කියල මට දහස් වාරයක් හිතුන.

සියල්ල එහෙම වෙද්දි මට ඊලගට තිබ්බෙ තියුණු තරගයක්. ක්ලාස් එකට නොයන නිසා මැඩම් මාව අතෑරලා දාල තිබ්බෙ. අසේලයා, සහ අනිත් එකාට මැඩම්ගෙන් මාර සපෝට් එකක් තිබ්බා. ජජ් බෝඩ් එකේ ඉන්න අනිත් පිරිමි දෙන්නගෙම තීරණ මැඩම්ගෙ එක අත්පුඩියකට යටයි කියල මුළු රටම දැනගෙන හිටියා. මැඩම් කරන්නෙ තමන්ට ගොඩ දාන්න ඕන එකා සිංදුව කියල ඉවර වුනාම නැගිටල අත්පුඩි ගහන එක. එතකොට ඌට නොවැරදීම ජනතා ප්‍රතිචාර වැඩි වෙනවා. මැඩම් මට නිකන්ම ලකුණු දීල මගෙ ගුණ වයද්දි, අසේලයට වගේම අනිත් එකාට මැඩම් ස්ටේජ් එකටම නැගල උම්ම දීල ආවෙ, උන්ගෙ දක්ෂතාවයට වඩා වෙන මොකක් හරි සීන් එකකට කියල මට වැටහුනා. ඒත් කරන්න දෙයක් නැහැ. කාව්‍යා මට ක්ලාස් යන එක අහිමි කළේ එයත් එක්ක ඩාන්සින් ක්ලාස් යන්න ඕන නිසා. එයාට වුවමනා වුනේ මාව ලගින් තියා ගන්න මිසක් මාව ගොඩ දාන්න නෙවෙයි. ඒවා මතක් වෙන හැම වෙලාවකම මට හිතෙන්නෙ ආදරේ මහා ආත්මාර්ථකාමී හැගීමක් කියල විතරයි.

අවසාන තුන්දෙනාගෙ තරග වටේ දි මම ගායනා කළේ “ඉවසයිද මන්දා මේ දුන් රිදුම්“ ගීතය. මැඩම් මොනව වුනත්, මට අකැමැති වුණත්, මේ ගීතයට කැමතී කියල මම දැනන් හිටිය නිසා, අවසාන තරගෙට යන්න තියෙන එකම තුරුම්පුව මම ගහල දැම්ම. අසේලයා වැඩ දදා ගිටාර ගගහ සිංදුවක් කියද්දි මම සති ගානක් තිස්සෙ කරක් ගහපු ඩාන්සින් ක්ලාස් එකේ පොඩ් ස්ටෙප් පාරක් අල්ලලා වේදිකාව වර්ණවත් කරන්න උත්සාහ කළා. මට ගිටාර් එකක් තවම ගහන්න බැරි තත්වෙට වැඩේ සෙට් කළෙත් කාව්‍යා නේද කියල මට කිහිපවර හිතුනත් හිත අස්සෙන් උඩට මතු වෙච්ච ආදරේ ඒ සිතුවිල්ලට ඉඩ දුන්නෙ නැහැ. අනික ගමේ උන් හිතන් හිටියෙත් මට ඕනම වාද්‍ය භාණ්ඩයක් වයන්න පුලුවන් කියල. මොකද මම මගෙ පුට් සයිකලේ කැඩිල හන්දියෙ වින්කලේට ගියත් යන්නෙ ගිටාර් එක පිටේ බැදගෙන. හරියට ග්‍රාමාරක්ෂක භටයෙක් වගේ.

“ඇත්තටම විහග, මේක ඩුවට් එකක්, ගායකයාගේ හඩින් ගැයෙන කොටස වගේම, ගායිකාවගේ පැත්තෙන් කියවෙන කොටස ඔයා සාධාරණව ගායනා කළා. ඒ වගේම ඔයා අද වෙනදට වඩා කඩවසම්, අද ඔයාගෙ දැගලිල්ලෙන් වේදිකාවම ආලෝකමත් වුණා...“

ගායනය අවසානේ මැඩම් එහෙම කියල ස්ටේජ් එක උඩට ඇවිත් මාව බදාගත්ත. මට පොලොව පලාගෙන ගිහින්, ලගින්ම අහුවෙන දිය උල්පතකින් නාල එන්න හිතුන. ඒ තරමට මට සතුටක් ආවා. මෙච්චර කල් තරගකරලත් මැඩම් මට එච්චර සපෝට් එකක් නොදුන්නෙ, අද විතරක් ඇයි මට මේ මෙච්චර ආදරයක් දක්වන්නෙ කියල මට හිතා ගන්න බැරි වුණා. ඒ අතර අසේලයගෙ ඇස් දෙක ගමේ පන්සලේ පෙරහැරේ ලමයි බය කරන්න යන යක් වෙස් මුහුණක ඇස් ගෙඩි දෙක තරම් විශාල වුණු බවක් මට දැනුනා. මම සියල්ල සම සිතින් විද දරාගෙන පැත්තකට වුණා. ජජ් බෝඩ් එකෙන් ලැබුණු ලකුණු සහ, එදිනම ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ලැබුණු ලකුණු එකතු වෙලා අපේ තීරණය දෙන්නයි නියම වෙලා තිබ්බෙ. ඒ අනුව අවසන් වටයට තේරුණේ මම සහ අපේ අසේලයා. ඔව් මේක ජීවිතය, මරණය සහ ආදරය අතර තරගයක් වෙනවාට සැකයක් නැහැ. මම අධිෂ්ඨාන කළා කාව්‍යා වගේම මේ කිරුළත් මගේ කියල. ඒ දෙකම ගෙනිහින් මම ගෙදර අල්මාරියෙ දානවා කියල. නැහැ කිරුළ විතරයි අල්මාරියෙ දාන්න පුලුවන්. කාව්‍යාව තියන්න වෙන්නෙ මගෙ කාමරේ ඇතුලෙ.

“විහග, ඔයාට දැන් සතුටුද?“

“මැඩම්, මට මාර සතුටක් තියෙන්නෙ, ඇයි මට මෙහෙම දෙයක් කළේ??“

“මට තේරෙන්නෙ නැහැ විහග, පස්සෙ ඒව ගැන කතා කරමු..“

“තැන්ක්යූ මැඩම්..“

“විහග කෝමද අද ගෙදර යන්නෙ...“

“අද ටිකක් රෑ වුණා තමයි, වෙනද වගේම යන්නම් මැඩම්, ට්‍රයිෂෝ එකක් ගෙන්න ගන්නම්...“

“තනියම යන්න? අනික අද වගෙ දවසක පාටි එකක් වත් නැතුව?? “

“මොන පාටිද මැඩම්, අන්තිම තරගෙත් දින්නම පුලුවන් මට්ටමින් එකක් දෙන්නම්...“

“එන්න අද මාත් එක්ක යමු.. මාත් ඒ පැත්තට යන්නෙ. ඔයාට පුලුවන් මගට ගිහින් ට්‍රයි ෂෝ එකක් ගන්න...“

“අනේ කමක් නැහැ මැඩම්.. මම යන්නනම්..“

මැඩම්ගෙ පෙරැත්ත මත මට වාහනේට නගින්නම වුණා. අනික ඒ ගිහිල්ලත් මම ආයෙ ට්‍රයි ෂෝ එකක යන එක මට තවත් වදයක්. ඒත් මැඩම්ට මුකුත් කියන්න බැරි නිසා මම නැග්ග. එදා අපි ගොඩක් දේවල් කතා කළා. වාහනේ යන ටිකට මැඩම් මට ගොඩක් දැනුම දුන්නා. ඇත්තටම හිතුවට වඩා එයා හරි සුන්දර හිතක් තියෙන ප්‍රවීණියක්.

“විහග යමු ඇතුලට..“

“මම මෙතැනින්ම යනවා මැඩම්..“

“පිස්සු කරන්න එපා ලමයෝ. ගෙදරකට ආවහම තේ එකක් හරි බීල යන්න..“

“මේ රෑ ගෙදරට එන එක හරි නැහැනේ මැඩම්. මම යන්නම්. සර්, වුනත් මොනව හිතයිද?“

“විකාර.. සර්?? එයා ගෙදර නැහැ. ඔයා එන්න..“

“මම හරි නිදහසේ ඉන්න ගැහැණියක් විහග, මට සර්වන්ට්ස් ලා කවුරුත් නැහැ. මට ඕන මමම උයලා පිහල කෑම කන්න. මගෙ ගෙදර මගෙ අත් දෙකින්ම වැඩ සිද්ධ වෙන්න ඕනා..“

මැඩම් කියවගෙන ඇතුලට එද්දි ලගම තිබ්බ සෝෆා එකක මම ඉද ගත්තා.

“විහග ඉදගෙන ඉන්න මම වොෂ් එකක් දාල බොන්න මොනව හරි හදාගෙන එන්නම්. මොකද කියන්නෙ කෝපිද? තේද?“

“කමක් නැහැ මැඩම්..“

කිසිම අරමුණක් නැතුව කමක් නැහැ කියද්දි මැඩම්ට හිනා ගියා.

“විහග ඔයා වොෂ් දාන්නෙ නැද්ද?“

මැඩම් වොෂ්දාගෙන ටවල් එකක් අතේ තියාගෙන එකපාරට අහද්දි මාව ගැස්සිලා ගියා.

“මම මොකට වොෂ් දානවද මැඩම්, ඉක්මනට යන්න ඕනා.“

“ආ මේක අරන් ගිහින් වෙෂ් එකක් දාගෙන එනවා.“

මැඩම් මගෙ ඇගට තෙත ටවල් එක විසික් කරල කිව්වා.

විහග දැන් රෑ වෙලා, ගෙදරට කෝල් එකක් දීල මෙහෙ නවතින්න. ඔයාගෙ මිස් වුණ පාඩම් සේරම මම අද දවසින් කවර් කරල දෙන්නම්. මැඩම් පහත් ස්වරයෙන් කිව්වා. ඇත්තටම මට එවලෙ ඕන කළේ කෝම හරි තරගෙ දිනන්න, අසේලයව පරද්දල, කාව්‍යාව ලගට ගන්න. එයත් එක්ක ආදරෙන් ජීවත් වෙන්න.


මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_07:48am_14/03/2013

Tuesday, March 5, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 7 කොටස


කොනක ඉදන් එක හුස්මට...

පුංචි කාලෙ අම්මල අපිට කෝටු මස් වෙනකල් ගහනවා. ඒ වැරදි කරන්න එපා කියල. ඊට පස්සෙ ඉස්කෝලෙට ගිය දවසෙ ඉදන් දණ ගස්සවල තියෙනවා, වේවැලෙන් ගහනවා. ඒ අපේ ගුරුවරු. අපිට නරක දේවල් කරන්න එපා කියල. ඒත් හැදෙන්නෙ නැති අපි ඒවා නැවත නැවතත් කරනවා. ඒ අපි නරක නිසාම නෙවේ. අපේ දගකාරකම නිසා. එහෙම දහ දොලොස් පාර කියල වෙනස් නොවුන මම එදා එක සවසකින් වෙනස් වුනා. හැම සති අන්තයකම යන්න තිබ්බ මියුසික් ක්ලාස් එකට පිටු පාලා මම යන්න පටන් ගත්තා ඩාන්ස් කරන්න. ඒ අර කොහෙන්වත් පාත්වුණ කාව්‍යා කෙල්ල නිසා. එයා මට එක පාරයි එන්න කිව්වෙ. මම එදා ඉදන් යන්න ගත්තා. තරගය පැත්තකින්, තියාගෙන, ඒ හීනය පිටු පාලා වගේ මම ඒකි එක්ක නටන්න ගත්තා. අපි හැමදාම මුණ ගැහුනේ මැඩම්ගෙ ක්ලාස් එක ලගදි, එතැනදි මුණ ගැහිලා මායි එයයි ඩාන්ස් කරන්න යනවා. මම ගිටාර් එකක් එල්ලගෙන ඩාන්සින් ක්ලාස් යනවා පිස්සෙක් වගේ.

ඒ සියල්ල මැද්දෙ දෛවයේ සරදමක්දෝ කොහෙද වගේ මම ටිකෙන් ටික තරගයේ ඉදිරියට යනවා. හැමදාම මැඩම්ගෙන් වැඩි ලකුණු ලබා ගත්තෙ අපේ අසේලයා. ඌ හැමදාම මුලින්ම ඊලග වටයට තේරෙද්දි අඩු ලකුණු ලැබෙන මම පිදුරු ගහේ එල්ලිලා වගේ ඊලග වටයට තේරෙන්න පටන් ගත්තා. අසේලයා සනීප නැතිවෙනවා, උගෙ වැඩේ ඇක්සිඩන්ට් වෙනවා, එතකොට කැමරා අරගෙන කට්ටිය හොස්පිට්ල් යනවා, උගෙ අම්ම ඌට ඇපල් කවනවා වීඩියෝ කරගෙන ඇවිත් මුන් එදාට තරගෙ මැද්දෙ පෙන්නනවා. ඒ වෙලාවෙ අපෙ උන්ටත් කොහෙ හරි යන ලොරි බාගෙක හැප්පිලා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න හිතෙනවා. ක්ලාස් නොගිය දවසෙ ඉදලා මැඩම්ගෙන් මට ලකුණු අඩු වෙන්න ගත්ත එකට මම අහිතක් හිතුවෙ නැහැ. තරගෙ මැද්දෙ වුණත් මැඩම් මට ඇස් වලින් කතා කළා. මම ඒ ඇස් දෙකෙන් බේරිලා මහා ප්‍රේක්ෂක රැළක් මැද්දෙ ගායනා කළා. ඒත් කොච්චර හොදට ගැයුවත් මැඩම් මට කුරිරු වුණා. ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා, මගෙන් එයාට නොලැබුණේ මොනවද කියල. අවසානේ මම, අසේල සහ තවත් එකෙක් ඉතුරු වෙන තැනට, අවසන් තරගකරුවෝ තුනක් ඉතිරි වෙන තැනට තරගය නැගල ගියා. මම මැඩම්ගෙ ක්ලාස් නොයා ඩාන්ස් කරන්න ගියා. ගායනය, නර්තනය එක්ක වේදිකාව මත මම පට්ට සාධාරණයක් ඉෂ්ඨ කළා කියල අපේ අමල් සර් කිව්වා. මැඩම් කිව්වේ නර්තනයට වඩා ගායනය ගැන කන්සිඩර් කරන්න ඕන තරගයක් කියල මේක.

කාව්‍යාගෙයි මගේ ආදරේ මෝරණ මට්ටම ඇවිත් තියෙන්නෙ. ඒත් මම තුන්දෙනෙක් ඉන්න වටයට තේරුණාම එයා එච්චර සතුටු වුණෙ නැහැ. එයා මට කිව්වේ දැන් ඇති දැන් අයින් වෙන්න කියල. මගෙ හිත දන්න එයා කිව්වෙ නම් ඔයා එක පාරට අයින් වුණොත් ඔයාට දරගන්න බැරි වෙයි කියල අයින් වෙන්න කියල. ඒත් මට තව එක වටයක් ඉස්සරහට ගියොත් මහා වේදිකාවක ගායනා කරන්න පුලුවන් කියල ඇයි එයා තේරුම් නොගන්නෙ කියල මම කල්පනා කළා.

“ඇයි කාව්‍යා ඔයා එහෙම කියන්නෙ, ඔයා කැමති නැද්ද මම අර තඩි වේදිකාව මැද්දෙ කූඹි පැටියෙක් වගේ දගලනවට“

“හිහි... මම කැමති පැටියෝ. ඒකනෙ මම ඒකාලෙම ඔයාට ජිම් එකකට හරි යන්න කිව්වේ..“

“ජිම් එකකට ???“ මම ඒ උත්තරේට පුදුම වුණා. යකෝ මට මියුසික් ක්ලාස් යන්න නොදි පජාත කරපු කෙල්ල දැන් ජිම් යන්නලු.

“ඔව් ඔයා ජිම් ගියා නම් මෙලහකට ඇග හැදිලා. අර ස්ටේජ් එක මැද දගලද්දි ඈත ඉන්න සෙනගට හොදට පේනවා. නැත්තම් පිටීම පස්සෙ අයට ඔයාගෙ සද්දෙ විතරක් ඇහෙයි.“

“යනවා යන්න.. මෝඩ කෙල්ල..“

මම එයාගෙ ඔළුව පාත් කරල ටොක්කක් ඇන්න ආදරේට. ඒක ආදරේට ඇන්නට සැරට වැදුන කියල මට තේරුනේ මගෙ අතටම රිදුන නිසා. එයා ඔළුවෙ ගහගෙන හිටපු තඩි සමනලයෙක් ඉන්න කොණ්ඩ කට්ටෙ මගෙ ඇගිල්ලක ඇටයක් වැදිල මටම රිදුනා කොර වෙන්නම.

අපේ ගෙදර කට්ටිය මට හොදටම සලකද්දි, ගමේ උන් ගස් ගල් උඩ නැගගෙන මගෙ ෆොටෝ තියෙන බැනර් ගම පුරා එල්ලද්දි මට මාර කික් එකක් ආවා. අපේ ගමේ මන්තිරියා මට මාර සපෝට් එකක් දුන්නා. උගෙ වෙඩින් එකේ සිංදු කියලත් මම අනාගත්ත හැටි පොර මට සැරින් සැරේ මතක් කළා. ඒක මට මහා පන්නරයක් වුණා නොවැරදී සිංදු කියන්න. ගම පුරා පිරිත්, බෝධි පුජා පැවැත්වුනේ මට ආශිර්වාද කරන්න. ගමේ පන්සලේ හාමුදුරුවෝ මගේ මැණික් කටුව ලග ඉදන් වැලමිට ලගට වෙනකල් පිරිත් නූල් බැන්දා අන්තිම දොලොස් දෙනාගෙ තරගෙ ඉදන් මේ අද දවස වෙනකල්ම. ගමේ කොල්ලො සරුංගල් යවන්න නූල් නැත්තම් මගෙ ලගට දුවන් එයි කියල මට හිතුන වාර අනන්තයි. හැමෝම මට ශක්තියක් වෙද්දි අරයා මට ශක්තිය දුන්නෙ අඩුවෙන් කියල මට හිතෙන්න ගත්තා. මම අන්තිම තුන්දෙනාගෙ තැනට ආපු දවසෙ එයාට මම හිතපු තරම්ම සතුටක් දැනුනෙ නැහැ. 

අන්තිම තුන්දෙනා මියුසික් ක්ලාස් එකට යන්න ඕන දවස අද. මම ඒ ක්ලාස් එකත් කට් කරල ඩාන්සින් ක්ලාස් යන්න අරයව මීට් වෙන්න මියුසික් ක්ලාස් එකට යන පාරට හැරුණා. වෙනදට වඩා කල්පනා කරමින්, හෙමීට...

පාර අයිනෙ වෙනදට මම එනකල් බලං ඉන්න පුංචි සමනලී අද පේන්න නැහැ. මම මගෙ ඇස් හොදට ඇරලා විපරම් කළා. වැටමාර ගස් වැවුණ පාර දෙපැත්ත පීර පීර මම හෙව්වා ඒ ඇස් දෙක. සමනලියෙක් රිංගන්නෙ නැති වැටමාර පදුර අස්සක මම දැක්කා කකුල් දෙක. ඇත්තටම ඒ එයා. ඒ කකුල් දෙක නොහදුනන මම බත් කාළා වැඩක් නැහැ. ඒ එයාමයි. ඒ එයා තමයි මගෙ සමනලී.. කාව්‍යා...

සමනලියකගේ කකුල් දෙක අස්සෙන් හිටගෙන ඉන්නෙ තඩි කළු බඹරෙක් කියල මම දැක්කෙ ඇස් දෙක තව ටිකක් ලොකු කළාට පස්සෙ. මට කෑගැහුණා.. 

“කාව්‍යා....කාව්‍ය....කාව්.. කා....ක...“

එයා අරයව තල්ලු කරගෙන ඉස්සහට පැන්නා...

“අඩෝව්.. අසේලයා....“

ඒ හම්පඩ මූණ අදුන ගන්න මට බැරි කමක් තිබ්බෙ නැහැ. මැඩම්ට මුට්ටි අල්ලන එකා මගෙ කෙල්ලව අල්ලගෙන මාව යකෙක් කරන්න හදනවා. මම පැන්නා අසේලයට ගහන්න.

“එපා.. එපා.. විහග...“ එක වචනෙකින් පවා මාව සිහිමුර්ජා කරන කාව්‍යා මගෙ අතේ එල්ලුනා..

“මට මූව ඉවරයක් කරන්න දෙන්න කාව්‍යා.. දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ““

මම හින්දි නළුවෙක් වගේ මොර දුන්නා.

“පිස්සුද විහග.. අසේල මට උදව්වක් කළේ..“

“උදව්වක්.. කෙල්ලෙක් මේ වැටමාර අකුළක දාගෙන උදව් කරන් මේ තොගෙ කවුද? තෝ දන්නවද මේ මගෙ කවුද කියලා..“ මම මොක කිව්වත් අසේලයා සද්ද නැති නිසා මම තවත් වැඩ දැම්මා..

“අනේ විහග තේරුම් ගන්න, මම මෙතන ඔයා එනකල් ඉද්දි මගෙ ඇහැට රොඩ්ඩක් ගියා.. අසේල ඇවිත් මගෙ ඇහැට පිඹලා ඒක අයින් කළා..“

කාව්‍යා කිව්ව දෙයින් මට ලැජ්ජා හිතුනා. මම හරියට බොරුවට කලබළ වෙලා නේද කියල තේරුණු මම අසේලයගෙන් සමාව ගත්තා. උගෙ මූණෙ කිසි වෙනසක් පෙනුනෙ නැහැ. කලින් වගේ තක්බීර් වෙලා බලාගෙන හිටියා. අසේලයා මියුසික් ක්ලාස් එක ඇතුලට රිංගද්දි, මම කාව්‍යා එක්ක ක්ලාස් එකට පස්ස හරවලා පිටත් වුණ ඒකිත් එක්ක නටන්න. ඒ කියන්නෙ අපෙ ඩාන්සින් ක්ලාස් එකට යන්න.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_07:18am_05/03/2013


Friday, March 1, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 6 කොටස


පිළිවෙලකට මුල සිට කතාව දැනගන්න... එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

එයා මට එදා බස් එකේදි මුණ ගැහිච්ච හැටි, මගේ හෑන්ඩ්ස් ෆ්‍රී එකෙන් ඇද්ද හැටි, මට මැඩම්ගෙ ක්ලාස් එක ලගදි හමු වෙච්ච හැටි, එදා මගෙ බයිසිකලේ ටයර් එක හිල් වෙන්න දෙහි කට්ටකින් ඇනල තිබ්බ හැටි මට එක දිගට මැවි මැවි පේන්න ගත්තා. පහ වසරෙදි ආරම්භක විද්‍යාව පටන් ගත් කාලෙදි අපි ඉස්කෝලෙදිම හැදුවා වීදුරු පටි තුනක් ත්‍රිකෝණාකාරව අලවලා බහුරූපේකෂයක්. ඒක ඇතුලට පාට කොළ කෑලි දාලා කරකව කරකව අපි ඇස් රිදෙනකල් බැලුවා. එදා රෑ වෙනකල් ඇදේ දිගා වෙලා හිටිය මට බහුරූපේක්ෂයක් කරකනව වගේ විවිධ රටා මැවෙන්න ගත්තා. මගෙ පුංචි සිත් අහස පුරාම එකම කාව්‍යක් ලියවිලා තිබ්බ. ඇත්තටම කාව්‍යා ඒ ඔයා. මගෙ බහුරූපේක්ෂය ඇතුලෙ රිංගගත්ත පාට පාට කඩදාසි ගුලි ටික ඔයාමයි.

මීට කලින් මගෙ සිහිනය වුණේ කෙල්ලෙක් සෙට් කර ගන්න එක. පාරවල් ගානෙ කොණ්ඩෙ වවාගෙන ඇවිද්දෙ, ඩෙනිමක් ගහගෙන හිපියෙක් වගේ රස්තියාදු ගැහුවෙ, බස් හෝල්ට් වල කට්ට කෑවෙ කෙල්ලෙක් හොයා ගන්න. ඒ අතර මම පාට් ටයිම් ට්‍රයි කලේ ගායකයෙක් වෙන්න. වෙඩින් වලට ප්ලග් වෙලා සිංදු කියද්දි බීපු ඩයල් ඇවිත් මගෙන් ඉල්ලුවෙ බයිල සිංදු. මට මල පැන්නත් ප්‍රේක්ෂක ජනතාව ඉල්ලන දේ දෙන්න මට සිද්ද වුණා. මොකද මම සිංදු කිව්වෙ බෑන්ඩ් එකේ එවුන්ගෙන් සල්ලි ඉල්ලගන්න බලාගෙන නෙවේ. මට තැනකට එන්න ඕන නිසා. ඒත් ජීවිතේ හරිම පුදුමයි. එදා පාට් ටයිම් මම දැක්ක සිහිනය මම සැබෑ කරගන්න ෆුල්ටයිම් ගායකයෙක් වෙන්න හදනකොට, ෆුල් ටයිම් කෙල්ලෙක් හොයා ගන්න ට්‍රයි කරපු එක මට වදයක් වෙලා වගේ. ගායකයෙක් වෙන්න පාර ඇරිල තියෙද්දිත් අහක හිටපු කෙල්ලෙක් ඇවිත් මට බාධා කරනවා. එයාට ආදරේ කරන්න කියල මාව ඒ පැත්තට අදිනවා. ඒත් ඒකි ආදරේ හිතෙන කිසිම දෙයක් කරන්නෙත් නැහැ. කලොත් කරන්නේ මට කෙලවෙන වැඩක් විතරමයි. ඒත් මම ඒකිට ආදරේ කරනවා. මොන සාපයක්ද මන්දා, මට එහෙම දහස්වර හිතුනා.

ඊලග තරග වාරෙදි අපි දොලොස් දෙනාගෙන් එක්කෙනෙක් ඉවත් වුණා. එහෙම එක්කෙනෙක් ඉවත් වුණාට පස්සෙ ඉතුරු සෙට් එකම මැඩම්ගෙ ක්ලාස් එකට සම්බන්ධ වෙන එක තමා සිරිත. මැඩම් ලගින්ම හිතවත්ව ඉන්න කෙනාට මැඩම්ගෙන් වැඩිපුර ලකුණු ලැබෙන බවක් අපි හැමෝටම තේරිලා තිබ්බෙ. මට ඒක අරුමයක් නොවුනට මැඩම් ලග ඉදන් ලකුණු දාගන්න කට්ටිය පොර කන බවක් මට දැනුනා. ඒත් අපි සුපුරුදු පරිදි එකා වගේ ක්ලාස් එකට එන්ටර් වුණා. මේ හරියටම අපේ ක්ලාස් එකේ දෙවෙනි දවස. එදා මැඩම් හරිම ලස්සනට ඇදලා හිටියා. සංගීත පන්තියක් වුණාම හැමෝම ඉදගන්නෙ බිම. මැඩම් විතරක් ටිකක් උස පුටුවක ඉදගෙන හිටියා කොට සායක් ඇදගෙන. අපේ උන් මැඩම් කකුල් පද්ද පද්ද සෘති අල්ලන්න සර්පිනාව හොලවනවා බලාගෙන හිටියා.

“අදට අපි ක්ලාස් එක නවත්තමු... මට තියෙනවා ඔයාලට අවවාදයක් කරන්න...“ මැඩම් ක්ලාස් එක ඉවර වෙන්න තියෙද්දි ඇස් ලොකු කරල අපි දිහා බලල කිව්වා. මුකුත් හිතා ගන්න බැරුව කට්ටිය කටවල් පියාගෙන හිටියා මැඩම්ට කාරණාව කියන්න ඉස්සර වෙන්න ඉඩ දීලා.

“එදා පළවෙනි දවසෙම ක්ලාස් ඇවිත් බොන්න ගිය කට්ටිය අත උස්සන්න..“ මැඩම් එහෙම අහද්දි අපේ උන් මූණට මූන බලා ගත්ත. අර කෙල්ල පිං සිද්ධ වෙන්න මම කලින් ගෙදර ගිය එක හොදයි නේද කියලත් මට හිතුන. හැබැයි මැඩම්ගෙන් ලකුනු දාගන්න ඕනකමක් මට තිබ්බෙම නැහැ.

හැම එකාම අත උස්සද්දි, මම විතරක් බිම බලාගෙන හිටියා. මැඩම් නැගිටල මගෙ ලගට ආවා.

“ඇයි විහග ඔයා බොන්නෙ නැද්ද? ඔයා අමධ්‍යපද?“ මැඩම්ගෙ මූන දිහා බලාගෙන මට බොරු කියන්න බැහැ.

“නැහැ මැඩම් මට එදා හදිසි වැඩක් තිබ්බා...“ මම මැඩම්ගෙ ලස්සන ඇස් දෙක අතරේ ගිලෙමින් කිව්වා..

“හරි.. මීට පස්සෙ කවුරුත් බොන්න පිටට යනවා එහෙම නෙවෙයි. කරන දෙයක් ක්ලාස් ඉවර වෙලා අපේ ගෙදර ඉදන් කරන්න. මට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මට අවට මිනිස්සුන්ගෙන් කතන්දර අහන්න බැහැ. අපේ හස්බන්ඩ් වුණත් මාරම අන්ඩර්ස්ටෑන්ඩින්. ඒක නිසා කරන දෙයක් මේ තාප්පෙ ඇතුලෙ ඉදන් කරන්න ඕන..“

මැඩම් එහෙම කිව්වට අපේ උන්ට සතුටක් දැනුනෙ නැහැ. ඒත් කට්ටිය බය වුණෙත් නැහැ. මැඩම් ඔය කියන අන්ඩර්ස්ටෑන්ඩිං කියන හස්බන්ඩ්ව අපේ එකෙක් වත් දැකලවත් තිබ්බෙ නැහැ. එහෙම එකෙක් ඉන්නව නම් ඌ ඉන්නත් ඕන මේ තාප්පෙ ඇතුලෙමයි නේද කියල කට්ටිය කතා වුනා. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ වුණේ එදා බොන්න ගිය සීන් එක ලීක් වුණේ කෝමද කියන එක. අනික අපේ එවුන් සෙට් එකේම එකෙක් මිසක් ඔය සීන් එක කවුරුත් දන්නෙත් නැහැ. අපි හැමෝම එකි නෙකාව සැක කරන්න ගත්තා. හැම එකාම මාව සැක කරන්න පටන් ගත්තා. ඒ මම එදා වැඩේට සෙට් වුනෙ නැති නිසා. මම නෙවේ කියල උන්ට උත්තර දෙනව ඇරෙන්න මට කරන්න දෙයක් තිබ්බෙ නැහැ. ඒත් අපි හැම එකාම එදා කතාවුණා ඊලග දවසෙ මැඩම් ගෙ ගෙදර බොන්න සෙට් වෙන්න. එදා වෙච්ච කතා බහෙන් කවුරුත් හවස බොන්න යන්න කතා කරපු නැති නිසා කට්ටිය ආපු ආපු පාරවල් දිගේ ගෙදර යන්න පිටත් වුණා.

“විහග..“ මැඩම් මොකටද මගෙ පස්සෙන් එන්නේ.. මැඩම්ගෙ කටහඩ ඇහිල මම වට පිට බැලුවා.

ඇත්තටම මට කතා කළේ මැඩම් නෙවේ, කාව්‍යා. මම ආයෙත් සිතුවිලි අතර අතරමං වෙන්න ගත්තා. එදා වගෙම අදත් එයා මැඩම්ගෙ ක්ලාස් එක ලග. මැඩම් එයාගෙ නැන්දකෙනෙක් නම් ඇයි එයා මැඩම්ගේ ගෙදරට නොයන්නෙ? මට කෝල් කරල එන බවක් කියන්නෙ නැතිව එකපාරට කොහෙන් හරි පාත්වෙන්නෙ?

“මොනවද කොල්ලො කල්පනා කරන්නේ... ඇයි මාව දැක්කම බය හිතෙනවද?“

“ඔව් ගොඩාක් බය හිතෙනවා...“

“ඒ මොකද ඒ??“

“එදා ටයර් එක හිල් කළා, අද මොනවා හිල් කරයිද කියල මට බය හිතුනා... ඒකයි මම කල්පනා කලේ..“

“අපෝ මේ.. එදා මම ටයර් එක හිල් කළා කියල ඔයාට පාඩුවක් වුණේ නැහැනේ. වෙනද වගේම ගෙදර ගියානේ..“

“මම ගෙදර ගිහින් ඔයාට කෝල් කරනකල් ඒක දැනගෙන හිටියෙ නැහැනේ..“

“අපෝ මරු සංගීත කාරයා... කල්පනාව අන්තිමයි.. ටියුබ් එකේ හුලං නැහැ කියල නොදැනෙන ගායකයා කොහොමද හරි තැනදී හුස්මක් අරන් සිංදුවක් කියන්නේ..“

“යනවා යන්න... පණ්ඩිතයා..“

මොනවා කළත් කෙල්ලගේ ඇස් දෙක අස්සෙ මාව ගිලෙන්න ගන්නවා. මට තේරෙනවා එයාට මං ගැන බලාපොරොත්තුවක් තියෙනවා. උදේට ලිහලා අතාරින හරක් පැටියෙක් වගේ මම කොච්චර ඇතෑරියත් එයා හවස් වෙද්දි මගෙ ලගට එනවා කියල මට දැනෙන්න ගන්නවා. ඒක හරි අමුතු හැගීමක්. කෙල්ලෙක්ගෙන් අහන්නත් කලින් එයා තමන් ලග දැවටෙනවා කියල කොල්ලන්ට දැනෙනවා. හරිම පුදුමයි.

“මේ ඒක නෙවේ...“ මහ රෑක අප ගෙදර වහලෙට වැටුනු පොල් ගෙඩියක් වගේ එයා නිහඩබව බින්දා.

“ඒක නෙවේ නම් මොනාද??“

“මට ඩාන්සින් පාට්නර් කෙනෙක් ඕන..“ එයා ඇස් පුංචි කරල කිව්වා.

“හරි වැඩක් නේ ඉතිං ඕක මට කියල හරි යනවද?“

“ඔයාට පුලුවන්නම් මාත් එක්ක එනවද ක්ලාස් යන්න. වැනි වැනී සිංදු කියලම හරි යනවද? පොඩ්ඩක් ඩාන්ස් කරන්නවත් ඉගෙන ගන්නව හලෝ...“ ඒකි මහ දරුණුවට කිව්වා.

“හලෝ...???“ මට මල පැන්න පාර මම ඇහුවා.

“ඔව් හලෝ...“ ඒකිට ගාණක් නැහැ.

‘හලෝ හලෝ කියන්න අපි ෆෝන් එකෙන් නෙවේ කතා කරන්නෙ. නවත්ත ගන්න ඔයාගෙ රස්තියාදු ගති..“

“නැතුව මම ඔයාට කොහෙමද කතා කරන්න ඕනේ??“ ඒකි මගෙන් ඇහුව.

“කතාකරන්න ගැලපෙන නමක් ඉස්සරහට සෙට් වෙයි.. බය නැතුව ඉන්නකෝ..“

“හරි ඔන්න ලබන සතියෙ ඉදන්, මේ වෙලාවට අපි ඩාන්ස් කරන්න යනවා හරිද???“

“හරි... යමු..“

මම දෙපාරක් නොහිතා හා කිව්වා. මගෙ පස්සෙන් හොල්මනක් වගේ පාත්වෙන. සැරින් සැරේ මට කරදර කරන, මගෙ හිත මටත් හොරෙන් උස්සන කෙල්ලෙක් කතා කරද්දි ඩාන්ස් කරන්න, මම බෑ කියයිද? මට දෙපාරක් හිතන්න වුණේ නැහැ මම හා කිව්වා.

එතකොට ලබන සතියෙ  ඉදන් අපි දෙන්නා යනවා ඩාන්ස් කරන්න. මම මගේ හිතටම කියා ගත්තා.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_11:48am_24/02/2013
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

Sunday, February 24, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 5 කොටස


එක හුස්මට කියවන්න...
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

මගෙ කට හඩට පූසියෝ ඕන තරම් අහුවෙයි කියපු අපේ මැඩම්, මගෙ ෆෝන් එක වයිබ්‍ර්ට් වෙනවා දැක්ක එක ගැන මට මහා කුතුහලයක් තිබුණා. එදා හමුවෙච්ච කෙල්ල, අද මෙතැන, ඒ අස්සෙ මැඩම් එයාගෙ නැන්ද කෙනෙක් කියල ගණනකට නැතුව කිව්වා, ඒ මදිවට ඒ කෙල්ලට නම්බර් එක දීල ක්ලාස් එක ඇතුලට ආව විතරයි ෆෝන් එක රිංග් වෙන්න ගත්තා. ඒ සියළු හැගීම් මැද්දෙ මහා මඩ වලක පාවෙන කූඹි පැටියෙක් වගේ මම ඒ මේ අත පාවෙන්න ගත්තා. ක්ලාස් එකේ ඇතුලෙ ශරීර කූඩුව තිබ්බට, අපේ අනිත් තරගකාරයෝ එහෙන් මෙහෙන් ස්වර සප්තක අල්ලනවා ඇහුණට මම හිටියෙ වෙනම ලෝකෙක.

““විහග....““

එක පාරටම එයා මට කතා කළා. ඇත්තටම කාව්‍යාගේ කටහඩින් මම අවදි වුණා. මම එවලේ ඉදගෙන හිටියේ මල්වත්තක බංකුවක් උඩ. එක පාරට එයාව දැකලා, එයාගෙ හඩ ඇහිල මම ඉන්න තැනින්න නැගිට්ටා. ඊට පස්සෙ මම එයා ඉන්න පැත්තට අත දික් කළා.

““විහග.. මේ නෝට් බුක් එක ගෙනිහින් හොදට කියවල අවබෝධ කරගන්න...““

එයාගෙ කටහඩ වගේ මට දැනිල තිබ්බේ, එයාව වගේ මට පෙනුනේ.. ඇත්තටම අපේ මැඩම්ව. මට මොනව වෙලාද මන්දා. මටම තේරුණේ නැහැ.

“තව එකක්.. ඔයාල මට ඔය තරම් ගරු සරු කරන්න ඕනෙ නැහැ. අපි මේ කම්පෙටිෂන් එක ඉවර වෙනකල් යාලුවෝ වගේ ඉමු.. තේරුණාද විහග...“

“හරි මැඩම්.. මට තේරුණා..“

මම ඉදගන්න ගමන් කිව්වා. ඇත්තටම මැඩම් කතා කරපු නිසා නෙවේ මම නැගිට්ටෙ. මට මැඩම් වගේ මැවිල පෙනුනේ අර කෙල්ල.. ඒ කටහඩ දැනුනෙ කාව්‍යාගේ කියල විතරමයි. ඒ හඩ එයාගෙමයි. එයාමයි.

ක්ලාස් එක අහවර කරලා අපි සෙට් එක එළියට බැස්සා. ඒ එන ගමන් මම මගෙ හිර වෙච්ච ඩෙනිමෙ සාක්කුව අස්සට අත දාලා ෆෝන් එක එළියට නොගෙනම ඔන් කළා. අනිත් එවුන් සෙට් එක එදා පළවෙනි පාරට බොන්න සෙට් වෙද්දි මම අදි මදි කළා. ඒ මට බොන්න බැරි කමක් වත්, ඇලජික් එකක් වත් නිසා නෙවේ. විද්‍යාගාරයේ මධ්‍යසාර උෂ්ණත්වමානය පවා හිල් කරල කටේ හලාගත්ත මට එදා මහා සම්බාධකයක් පැණවිලා තිබ්බා. ඇත්තටම ඒකට හේතු වුණේ ෆෝන් එක ඔන් කරල බලද්දි නොදන්නා නම්බර් එකකින් තිබ්බ මිස් කෝල් එක. ඒ මදිවට ෆෝන් එක ඕෆ් කරල තියෙද්දි එයා මට හොදටම බැනල මැසේජ් එකකුත් දාලා. ඇත්තටම ඒ එයාමද? මම ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න හදිස්සියෙ ගෙදර දිව්වා. අනිත් එවුන්ට බොරුවක් ගහලා, මම බබා වගේ ගෙදර ගියා. ඇත්තටම ආදරෙන්, මලක් කඩන්න හිතාගෙන...

වෙනදට ගෙදරින් එළියට බැස්සම ලයිසන් නැති අස්සයා වගේ ටවුම වටේ කරක් ගහල ගෙදර යන මම එදා කෙලින්ම ගියේ ගෙදර. ගෙදරට එන්න කලින්ම මම කාමරේට රිංගුවා වගේ මට දැනුනේ හිතේ තිබ්බ කළබලය නිසා. 

සුවද මට දී... පාට තැවරු... මල අරන් පිටවී....

ඔයාල හිතන්න ඇති ගෙදර මිනිස්සුන්ට හොරෙන්, එයාලට ඇහෙන්නෙ නැති වෙන්න කෝල් එක ගන්න ඕන නිසා මම කාමරේ තිබ්බ රේඩියෝ එක දැම්ම කියල. නැහැ. මම ඩයල් කළා ඒ නම්බර් එකට. ඒ ඇහුනෙ එයාගෙ රින්ග් ටෝන් එක.

“හෙලෝ..“

කන් දෙක බ්ලොක් වෙච්ච එකෙක්ගෙ කනට කොට්න් බඩ් එකක් ඔබලා කරකවලා එලියට ගත්ත වගේ, මගේ හෑන්ඩ්ස් ෆ්‍රී එක ඇතුලෙන් මගෙ කන් බෙරේ කම්පනය වෙන්න ඇහුණේ ඒ කෝකිලාවගේ හඩ.

“හෙලෝ කාව්‍යා..“

“අහ්.. දැන්ද අපිව මතක් වුණේ...“

“අනේ නැහැ කාව්‍යා මැඩම් කිව්වා ෆෝන් එක ඕෆ් කරන්න කියල. ඒකයි මම ඇතුලට ගිය හැටියෙ ඕෆ් කළේ. මම හිතුවෙ නැහැ ඔයා එච්චර ඉක්මනට මට කෝල් කරයි කියල.“

“අනේ විහග මම එච්චර හදිස්සියෙ ඔයාට කෝල් කළේ දෙයක් දැනගන්න කියලා...ඒත් ඔයා ආන්සර් කළේ නැහැනේ.. අන්තිමට මම බැනලා මැසේජ් එකක් දැම්මා.. සොරි ඈ..“

“මොකට සොරි කියනවද අයියෝ.. මොකක්ද අහගන්න ඕන කිව්වේ???“

“අහ්.. මම අහන්න හැදුවේ.. අද ඔයා ආව බයික් එක තියෙන්නේ...“

මට හිතුන එයා ඒ බයික් එකට ආසයි, ඒකෙ රවුමක් යන්න ඕන කියන්න හදනව කියල. මම ඉක්මනට ඒක දැනගන්න “ඔව් ඉතිං“ කියල කිව්වා.

“මම දැක්ක ඔයා ඒක මැඩම්ගෙ ගේට්ටුව ලග පාර්ක් කරනවා.“

“අහ්.. ඒක ලස්සන වැඩි කමට ඔයාට ආස හිතුනා නේද?“ මම දෙඩෙව්වා..

“ඔව් ඇත්තමයි විහග, මම ආපහු හැරිල බයික් එක ලගට ඇවිදගෙන ආවා. වටපිට බලද්දි කවුරුත් හිටියෙ නැහැ. අඩුම තරමේ ඔයාවත්...“

අපරාදෙ, ෆෝන් එක ආන්සර් කරන්න ලැබුන නම් මම පන්තිය බල්ලට ගියාවෙ කියල මේ කෙල්ලව ගෙදරට ඇරලවනවා බයික් එකේම. මම කම්පා වුනා. දුක් වුණා.

“ඉතිං ඔයාට මොනවද ඒ හදිස්සියෙ දැනගන්න ඕන වුනේ...“

“මට ඕන වුණා.. ඔයාගෙ බයික් එකේ පිටිපස්සෙ ටයර් එක ටියුබ්-ලස් ද කියල බලන්න. ඔයා ආන්සර් කළේ නැහනේ, ඉතිං මම ඒකට අතේ තිබ්බ දෙහි කට්ටකින් ඇණලා බැලුවා.“

එයා විහිළුවට හරි, තියෙන අසමජ්ජාතිකමට හරි මට කළේ ලොකු වැරුද්දක්. එදා මම ආපු හදිස්සියට බයික් එකේ හුලං නැහැ කියලවත් නොදැනුනේ එයාට තිබ්බ ආදරේට නේද කියල මගෙ හිතට දැනුනා. එයාට නොදැනුන ඒක මම විස්තර කරන්න ගියෙ නැහැ. එයාගෙ ඒ වින්දනයට මම අස්වැසිල්ලක් වුණා.

“ඉහි.. ඉහි.. මෝඩ කෙල්ල... කටු වලින් අනින්න ඕනද ටියුබ්ලස්ද කියල බලන්න...“

එදා ඒ පටන් ගත්ත අපේ දෙබස දිගටම තියා ගන්න ඕන කමට මිසක් මම වෙන එකෙක් කළා නම් මේක ගොඩින් අතාරින්නෙ නැහැ කියල උබලට වුණත් තේරෙනවා ඇති. එයා එදා හිල් කළේ මගේ බයික් එකේ ටයර් එක විතරක් නෙවේ. මගේ මුළු හදවතම හිල් කළා. කවදාවත් හෘද රෝ විශේෂඥ්ඥ වෛද්‍යවරයෙක් වත් සිහි නැති කරන්නෙ නැතුව නොකරන ඔපරේෂන් එකක් එයා මට එදා කළා. එයා කළේ ලොකු වැරද්දක්. ඒත් මට එයාව ඕනේ.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_11:48am_24/02/2013


එක හුස්මට කියවන්න...
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

Thursday, February 21, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 4 කොටස


උච්ච ස්වරය සොයා යන මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාවේ එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස... කියවා මෙකී වර්ථමාන කතාවට පැමිණෙන්න.

මගෙ හිත දුරකට විසික් කරල එයා එදා නොකියාම ගියා. ඒ ගැන හිතන හැම මොහොතක මට හිතුනෙ හිත කියන එක බූමරංගයක් වුණා නම් කොච්චර හොදද කියල. එහෙනම් ඒක කොච්චර විසික් කළත් එයා ලගම රැදෙනවා. එයාට විසික් කරන හැම පාරකම මගෙ හිත ලගින් තියා ගන්න වෙනවා. අද තරගෙන් මම මුල් දොලොස් දෙනා අතරට තේරුණා කියලවත් මට සතුටක් නැති වුණේ ඒ කොහෙවත් යන කෙල්ල ගැන හිතද්දි. මම කෝම හරි තරගෙන් දිනලා, ලෝකෙටම පේන්න මුල් තැන ගත්ත නම් ලොකු වෙනසක් වේවි. මාධ්‍ය වලින් මාව පෙන්නද්දි, දින්නට පස්සෙ කොළඹ ඉදන් මාව කැබ් වලින් ගෙදර අරන් යද්දි, මිනිස්සු වට වේවි. අත්පුඩි ගසාවි. ඒ සෙනග අස්සෙන් එයා දුවගෙන ඇවිත් මට මල් පොකුරක් දීල සුභ පතාවී. සුභ පතලා “ඔයා තරගෙට ආපු මුල් දවසෙ ඉදන්ම මම ඔයාට තමයි එස්.එම්.එස් ගැහුවෙ“ කියද්දි මාව හිරි වැටිල යාවී. ඒ සියළු සිහින මැද මම එයාව මගෙ කුමාරිකාව කර ගත්තා. මම එයාගෙ ලෝකෙ විතරක් නෙවේ හැම ගෑල්ලමයෙක්ගෙම හිතේ කුමාරයෙක් වෙලා හිටියා.

එදා දවසින් පස්සෙ මම කාමරේ කොන මකුළු දැල් බැදිල තිබ්බ ගිටාර් එක සුද්ද කරල එලියට ගත්ත. ඇත්තටම ගිටාර් එක ගත්තට ඒකෙ එක කෝඩ් එකක්වත් ගහන්න පුලුවන් කමක් මට තිබ්බෙ නැහැ. ඒත් හැමෝටම පේන්න ගිටාර් එක කිහිල්ලෙ ගහගන්න ආශාව මට ආවා. මම ආසාවට වගේ ඒකෙ තත් වයමින් තාලයක් මවන්න හිතුවා. හරියට ලංකාවේ ගුවන්විදුලි චැනල් එකක් හරියට ටියුන් කරගන්න දගලන බස් ඩ්‍රැයිවර් කෙනෙක් වගේ. පැය භාගයක් විතර ප්‍රැක්ටිස් කරපු මම ගෙදර හිටපු අය ගෙන් සහයෝගය පැතුව. ඇත්තටම එයාල දැනටමත් දැනුවත් වෙලා හිටියෙ කොල්ල දිනුම් කියල. එහෙව් දිනපු රටටම කවද හරි බලාපොරොත්තු වෙන සුපිරි තරුවකට ගෙදර අය සලකන්නෝනි කියල මට නිතරම හිතුන. ඒකයි ගිටාර් ගහන අතර නංගීට කතා කරල මගෙ සපත්තු දෙක පොලිෂ් කරන්න කිව්වෙ. ඒත් ඒකි කිසි සද්දයක් නැහැ. අන්තිමට අම්මගෙන් ප්ලේන්ටියක් ඉල්ලුවත් ප්‍රතිචාරයක් තිබ්බෙ නැති නිසා මම ගේ පුරාම අපේ ගෙදර මිනිස්සුන්ව හෙව්වා. ගේ හැම තැනමත් නැති නිසා බැරිම තැන මම මිදුලට බහින උළු අස්සෙන් ඔළුව විතරක් එළියට දැම්ම. අම්මයි, නංගියි, මල්ලියි තුන්දෙනාම මිදුලෙ තිබ්බ කොන්ක්‍රීට් බංකුවක බර කතාවක්. මට ඇහුණෙ පුංචි වචන කීපයක් විතරයි. “දැන් ඉතිං කම්මලේ වැඩ පටන් ගනී, අපි කට්ටියට එළියෙ තමයි ඉන්න වෙන්නෙ“ අපෙ නංගිගෙ වචන ටිකත් එක්ක මම ඔළුව ඇතුලට දාගත්ත ඉක්මනටම.

ලෝකෙටම පේන්න මට යමක් කරන්න ඕනෙ කියල හිතුනෙ අන්න එතකොට. එදා පළවෙනි දවසේ තරගය නිවේදනය කරන පොර ඇහුව “ඔයා කොහොමද මේ තරගෙට සම්බන්ධ වුනේ කියල“ මම උත්තර දුන්නෙ හරිම අමුතු විදිහකට. “අපේ නංගි තමයි මගේ අයදුම් පත්‍රයක් පුරවල පෝස්ට් කරල තිබ්බෙ. ඒ අයදුම් පත්‍රයට පිලිතුරක් එනකල් මම දැනන් හිටියෙ නැහැ මෙහෙම දෙයක්...“ ඇත්තටම නංගිව අප් කරල මම කරපු කතාව ගැන මට කම්පාවක් ආවෙ නැහැ. ඒකිට කවද හරි තේරෙයි. මෙච්චර කාලයක් මගෙ ඇදුම් හෝදලා, ඇදම් මැදල, කාමරේ සුද්ද කරලා, සපත්තු පොලිෂ් කරපු එකේ වටිනාකම. මම ඒකිට මෛත්‍රී කළා. අනුකම්පා කළා.

පහුවෙනිදා මම යන්න ලෑස්ති වුණා අර විනිශ්චකාර මැඩම්ගෙ ක්ලාස් එකට. හුස්ම ගැනීම, වේදිකාවෙ හැසිරීම වගේ දේවල් ප්‍රගුණ කරන්න එන්න කිව්වා එයාලගෙ ගෙදර ක්ලාස් එකට. ඒ මැඩම් බැදල හිටියෙත් ප්‍රසිද්ධ චරිතයක්. එහෙන් මෙහෙන් පවුල් ප්‍රශ්න තිබ්බ වුණත් ඒක අපිට වැදගත් වුණේ නැහැ. ඇත්තටම එයා හරිම ප්‍රවීණ කෙනෙක්. ඉතිං අපිට අපේ වැඩේ වෙනව නම් එච්චරයි. කලින් දවසසෙ ග්‍රීස් ගාලා, හෝදල සුද්ද කරල ගත්ත මගෙ මවුන්ටන් බයික් කට්ටට නැගල, ගිටාර් එක පිටේ බැදගෙන, හෑන්ඩ්ස් ෆ්‍රී එකත් කනේ ඔබාගෙන මම ග්‍රාමාරක්ෂකයෙක් වගේ ගියා එයාගෙ ක්ලාස් එක ලගට හරියටම හවස 5ට පටන් ගන්න තිබ්බ ක්ලාස් එක ලගට මම යද්දි 5.30ත් පහු වෙලා. ක්ලාස් එක පටන් අරන් වගේ. අපේ දොලොස් දෙනාම එදා එතැනට එන බව මම කලින්ම දැනිල තිබ්බෙ. මම ගේට් එක ලගට යන අතුරු පාරට බයික් එක දානකොටම එක පාරට පාරෙ ඇවිදගෙන ආපු හැඩකාර කෙල්ලෙක් හැප්පෙන්න ගිහින් යන්තමට බේරුණා. 

“ඔය කාලකන්නි හෑන්ඩ්ස් ෆ්‍රී එක නිසා කවද හරි අපි දෙන්නම විනාස වෙනවා මම දන්නවා..“

මට එකපාරට අදුන ගන්න බැරි වුණ ඒ කෙල්ල එච්චර ඉක්මනට මාව අදුනගෙන මෙච්චර දිග වාක්‍යයක් කිව්වෙ හරියට මාධ්‍ය ජාලයක වැඩ කරන මාධ්‍ය වේදිනියක් වගේ.

“අහ්.. ඔයා..“ මම පුදුමෙන් හිනා වෙවී වචන ගැලපුවා.

“ඔව් මම.. ඔයා කොහෙද මෙහෙ.. “

“මම මේ මැඩම්ගෙ ක්ලාස් එන ගමන්..“

“එතකොට ඔයා..“

“අපේ නැන්ද කෙනෙක්ගෙ ගෙදර ආව.. ඔයාගෙ මැඩම්.. අපෙ නැන්දා... “ ඉහි ඉහි..

එයා කළේ විහිළුවක්ද, ඇත්තක්ද කියල හොයන්නෙ නැතුව මම එයාගෙ වාස දේස හොයන්න පටන් ගත්තා.

“මේ.. මම හිතුවෙ නැහැ ඔයාව මෙච්චර ඉක්මනට දකින්න ලැබෙයි කියලා... ඇත්තට ලෝකෙ හරිම පුංචියි.... “ මම වාක්‍ය සම්පුර්ණ කරන්න එයාගෙ නම නොදන්නා කම අඩුපාඩුවක් කියල එයාට දැනෙන්න වාක්‍ය මගදි නැවැත්තුවා.

“... මම කාව්‍යා...“ එයාගෙ තොල් යාන්තමට සෙලවුනේ අපේ ගෙදර බිත්ති ඔරලෝසුවෙ බැට්රි බැස්සම බට්ට යාන්තමට සෙලවනව වගේ..

“කාව්‍යා හරි ලස්සන නමක්.... මම කෝමද ආයෙ කවියක් දකින්නේ... කවියක් අහන්නේ... “ මම කවියෙක් වෙන්න වගේ මුමුණන්න ගත්ත.

“මේක හරි පුංචි ලෝකයක්.. මේ අද වගේම.. කවද හරි ඔයාට ලොකු ටවුන් එකකදි හම්බවෙයි පුංචි පොත් කඩයක්.. අන්න ඒ කඩෙන් සල්ලි වලට ගන්න කවි පොතක්...“ එයා මට හොද රිටන් එකක් දුන්න.

“මෙන්න මගෙ නම්බර් එක..“ මම ඇදන් හිටපු ඩෙනිමෙ පොකට් එකට අත දාල ඇදල ගත්ත මීට සති ගාණකට ඉස්සෙල්ලා බස් එකේදි කෙල්ලෙක්ට දෙන්න හදිසියෙ කොළ කෑල්ලක ලියපු මගේම නම්බර් එක. ඒක හොදටම තැලිල පෙඩි වෙලා. එයා ඒක අතට අරන් හොදට ඉව කළා.

“හරිම ෂෝක්.. මේක කවදා කාට දෙන්න ලියපු එකක්ද.. “ එයත් මගෙ නම අහගන්න වගේ වාක්‍ය බාගෙට නැවැත්තුවා.

“මම විහග... මේ මම එදා ඔයාව දැක්ක වෙලාවෙ, ඔයාට දෙන්න ලියපු නම්බර් එක..“ ඉස්සර ඉස්කෝලෙ හැමදාම ප්‍රින්සිපල්ට මාට්ටු වුණාම බොරු කියවෙන තෙල් දෙක අදත් මට පිළිසරණක් වුණා.

“අපි එහෙනම් ආයෙත් මීට් වෙමු“ එයා මට බායි කියමින් අත වැනුවා.. මම ක්ලාස් එකට ගියා.

“ආනේ විහග.. ඔයා දැන්ද ආවේ.. අපි ක්ලාස් එක පටන් ගත්තා...“ මැඩම් එහෙම කිව්වා. එයා අපේ එවුන් එකොලොස් දෙනා වටකරගෙන මැද ඉදගෙන හිටියා. කොටම කොට ෂෝට් එකක් ගහගෙන.

“ඔව් මැඩම්.. මගදි බයිසිකලේට පූස් පැටියෙක් හැප්පුනා.. ඒකයි පරක්කු වුණේ...“ මට නිකන්ම කියවුණා.

“ඉහි..ඉහි.. හොදට තරගෙට සූදානම් වුණොත් පූසෝ විතරක් නෙවේ පූසියෝ ඕන තරම් අහුවෙයි ඔයාගෙ හඩට,“ මැඩම් මට මොනවාදෝ කළා. මට තේරුණේ නැහැ. මට ඒ ඇස් වලින් බේරෙන්න මොහොතක් ගියා. මගෙ සාක්කුව අස්සෙ මොකක්ද දෙදරණව වගේ මට දැනෙන්න කලින් මැඩම් මට කතා කළා ආයෙත්.

“ෆෝන් එක රින්ග් වෙනව නේද විහග? මීට පස්සෙ ඕක ඕෆ් කරන්න පන්තියට ඇතුල් වෙද්දිම“ මගෙ මූණ දිහා බලන් හිටිය මැඩම්ට කෝමද එක පාරට මගෙ කලිසම් සාක්කුවෙ සිද්ධ වෙන දේ දැනුනේ?? මම කල්පනා නොකරම, මිස්ඩ් කෝල් එක නොබලාම, ෆෝන් එක ඕෆ් කරල සාක්කුවෙ දාගත්තා.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_08:52am_21/02/2013

Tuesday, February 19, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 3 කොටස


උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාවක,

එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...


එයා මාව වෙනම ලෝකෙකට උස්සල තියල, බස් එකෙන් බැහැල ගියා. එදා මම තරග කරන්න අදාල මාධ්‍ය ජාලයේ ශබ්ධාගාරයට යනකල්ම හිටියෙ වෙනම ලෝකෙක. එතැනට ගිය හැටියෙ මම පියවි සිහියට ආවා. අධි ශීතකරනයේ කූල් වෙන්න දාලා තිබ්බ වතුර බෝතලයක් එළියට ගත්තහම බෝතලේ වටේට වතුර බේරෙනව වගේ මගේ තුන් මුනින් දාඩිය වැක්කෙරෙන්න ගත්තා. මම ඒ දාඩිය ටිකක් වේලිලා යන්න ඒ අහල පහල තිබ්බ ඒ.සී රූම් එකකට රිංග ගත්තා. මම හිතුවා ඒ ස්ථානය පිරෙන්න තරගකාරයෝ ඇති කියල. මොන පිස්සුද තරග වට දහයක් කරන්නවත් තරගකරුවන් හිටියෙ නැහැ. ඒත් ඔවුන්ට ඕන වුනා ඇමතිවරු ලංගම බස් දාලා ලිප්ටන් වට රවුමට ගෙන්වන තරමේ මහා ජනස්කන්ධයක් ඉන්නව වගේ පෙන්නන්න. ඉතිං එදා හිටපු තරගකරුවෝ කිහිපදෙනාට පොඩි කතාවක් පැවැත්තුවා. තට්ටේ පෑදිච්ච ඔහු තරගයේ මහ මොළ කාරයාලු.

අපේ මාධ්‍ය ආයතනය, රියැලටි වැඩසටහන් වලින් පෙරමුණේ ඉන්නේ. ඔයාල දකින්න ඇති කලින් තිබුණු තරගාවලි වලදී අපට හිටපු සෙනග. 

ඔව් මට මතක් වුනා. ඒත් මට හිතුනා එදත් ඔය කොහෙ හරි ඉන්න එවුන් සෙට් එකක් ගෙන්නලා සෙනග පෙන්නන්න ඇති කියල. 

ඒ වගේම මේ තරගෙත් අපට ඕනා ජනතාවට පෙන්නන්න අපි තවමත් ප්‍රමුඛයෝ කියල. ඉතිං අපට දැනට ඉන්නේ මේ තරගකරුවන් 12 දෙනෙක් විතරයි. ඒ අතර එකම තරගකාරියක් වත් නැහැ. ඒකට අපිට පිළියමක් ඕන. අපි දැනට පළවෙනි තරග වටය පවත් වමු. ඔයාල විරුද්ධතාවයක් නැත්තං, ඔය දොලොස් දෙනාට අමතරව තවත් තරගකරුවන් සියයක් විතර අපි මෙතැනට බස්සනවා. 

කොහෙන්දෝ මහ පොලොවට වැටුනු පිටසක්වල යානයකින් බැස්ස පිටසක්වල ජීවියෝ වගේ අපි දොලොස් දෙනා නොතේරෙන භාෂාවක කතන්දරයක් අහන් ඉන්නව වගේ බලන් හිටියා. ඔහු කියපු හැම දේටම අපි කළේ ඔළුව වනන එක විතරයි. 

ඔයාල බය වෙන්න එපා. ඒ තරග කරුවන් 100 දෙනාම ඔයාලට බලපෑමක් නොකරන අය.

අන්තිම වචන සැට් එක විතරක් අපිට හොදට අවබෝධ වෙච්ච නිසා අපි සතුටින් සිටියා. දැන් සියළු තරගකරුවන් 112යි. ඒ සැට් එකේ එකම තරගකාරියක්වත් නැති වීම අපිටත් කිසි කික් එකක් නැති සීන් එකක් වුණා. මොනව කරන්නද, ගායකයෙක් වෙන්න මිසක් සහකාරියක් සොයා ගන්න ආපු ගමනක් නෙවේ නෙ කියලා මම හිත හදා ගත්තා.

අපි දොලොස් දෙනාට එයාල ඉලක්කම් බෙදුවා. ඒ ඉලක්කම් මොන්ටිසෝරියේ අපි ලේන්සුව එල්ලගෙන හිටිය වගේ පපුවෙ ගහගෙන තරගකරන්න පටන් ගත්තා. තරගකරුවන් 12ක් හිටපු තරගාවලියේ මට ලැබුණු ඉලක්කම 35694. මම කොනක ඉදන් ඉලක්කම් එකතු කළා. 3+5+6+9+4 = 27 මම විසිහත ආයෙත් එකතු කළා. 2 + 7 = 9. නමය??? මම ඉලක්කම් දෙතුන් පාරක් එකතු කරල බැලුවා අන්තිමට එන ඉල්ක්කම මොකක්ද කියල. මොනව කළත් ලැබුනේ අර කාලකන්නි භයානක ඉලක්කම අංක නමය. මම හිත හදාගෙන තරගෙට ගියා. ඇත්තටම අපි දොලොස් දෙනෙක් ඉන්න නිසා මොකක් හරි චාන්ස් එකක් කැරකෙයි කියල මම හිත සතුටු කරගෙන හිටියෙ.

හරියටම හරි. වතුර වලකට බැහැලා හරහට දිය මතුපිටින් ගලක් ගැහුවම දෙතුන් වාරයක් ගල දිය මතුපිටින් ගමන් කරන වගේ මගෙ හිත සතුට - බය අතර කිහිපවාරයක් කම්පනය වෙවී තිබිල අවසානේ මට ඕන තැනට හිත හරි ගැස්සුනා. මම ඇස් දෙක පියාගෙන, පපුව උස්සගෙන, උගුර කෙලින් කරගෙන කියපු “මේ වේදිකාව ජීවිතේ අපේ..“ ගීතයට හොද තැනක් ලැබුණා. එයාල කිව්වා මම උපරිම සාධාරණයක් කලාලු. තව කෙනෙක් කිව්වා මම වේදිකාව ජීවිතේ කර ගන්න පුලුවන්ලු. නව පරපුරට මම ආදර්ශක් කියලත් කියනව ඇහුණ. මම ඊලග තරගෙට තේරිලා කියල ඇහුණම මට මතක් වූණා මගේ සුන්දර අතීතය. 

ඉස්කෝලෙ යන කාලෙ ටීචර් පන්තියට එනකල් අපි ඩෙස්ක්වලට තල තල සිංදු කියපු හැටි, 6 වසරේ සෞන්දර්ය විශයක් විදිහට සංගීත තෝරගෙන, සංගීත කරන්න සංගීත කාමරේට ගියාම සර් මට තාලෙට අත්පුඩියක් වත් ගහන්න බැහැ කියල එළව ගත්ත හැටි, බෞද්ධ සංගමේ රැස්වීමකදී මම බුදුගුණ ගීයක් කියන්නෝනි තැනදි “නුඹ හැඩකාරයි, කටකාරයි, සොකරී යන්න එපා“ කියල මාව ප්‍රධාන ශාලාවෙන් පන්නා දාපු හැටි, ඉස්කෝලෙන් අවුට් වෙලා මම පොඩියට බෑන්ඩ් එකක් පටන් අරගෙන, යාළුවෙක්ගෙ වෙඩින් එකක “එදා මගේ පෙම්වතියේ ඔබ අද මනමාලිය වී මගේම මිතුරාගේ “ කියන ගීතය ගායනා කරල පළවෙනි වෙඩින් ෂෝ එකම මලගෙයක් කර ගත්ත හැටි. මගෙ ඇස් ඉදිරියේ මැවි මැවී පෙනුනෙ හරියට 3-ඩී චිත්‍රපටයක් බලනව වගේ.

හැම දේම හොද විදිහට සිද්ධ නොවුණ අතීතයක් පසුකරල මම ප්‍රවීණයන්ගෙන් මේ වගේ කතන්දර ටිකක් අහ ගත්තම මට දිව්‍ය ලෝකෙ ගියා වගේ දැනුන. ඇත්තටම මගෙ හොද කාලෙ ඉදිරියට එන බවක් මට දැනුන. අර විනිශ්ච මණ්ඩලේ ඉන්න ගායිකාවගේ ගායන පුහුණු පාඨමාලාව කරන්න සති අන්තයේ එන්න කියලත් ඇරයුමක් ලැබුණ. හැබැයි නිකං නෙවේ කීයක් හරි ගෙවන්න වෙයි. කමක් නැහැ මම ඒකත් කරල ගොඩ යනව කියල අධිෂ්ඨානයෙන් එළියට බැස්ස. මම හදාගෙන යන හීන මාලිගාවෙ මම විතරයි හිටියෙ, වෙන කවුරුත් නැහැ, මට ශක්තියක් වෙන්න, මට ආදරේ දෙන්න, මට අගබිසවක් නැති කම ගැන මම හිතින් දුක් වුණා. ඒ හැම වාරයක් පාසාම මගෙ ඇස් ඉදිරියට ආවෙ, එදා උදේ බස් එකේදි මගෙ හෑන්ඩ්ස් ෆ්‍රී එක ගැලෙව්ව කෙල්ල. ඒකි මගෙ හිත උදුර ගත්ත. ඉස්කොලෙ යන කාලෙ ගෙදර වැඩ නොකර ඉස්කෝලෙ ගියාම අපේ පන්තිභාර සර් මගෙ අතින් උදුරගෙන පොත කොරිඩෝවට විසික් කරනව වගේ, එයා මගෙ හිත අත් දෙකෙන්ම උදුරගෙන බස් එකේ ජනේලෙන් එලියට විසික් කළා. ඒ හිත තාමත් ඇති එයා බැස්ස තැන. ඔයාල යද්දි එද්දි පොඩ්ඩක් බලන්න ආමර් ස්ට්‍රීට් වල කලර් ලයිට් එක ලග මගෙ හිත යහතින් තියෙනවද කියල.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_08:03am_19/02/2013
***

Saturday, February 9, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව-2


උදේම ලිහා දාපු බලු කුක්කෙක් වගේ මම නිදහසේ ඇවිද්දා. හැමදාම ගමේ කොල්ලන්ට හිසට වහලක් වුණ හන්දියේ බස් හෝල්ට් එක අදත් මට පිළිසරනක් වුණා. වෙනදට වැඩිය පිළිවෙලට ඇදල, කොන්ඩෙ උල්වෙන්න හදාගෙන අඩිය තියන මං දිහා ගමේ එකාල හැරි හැරි බැලුව. ඒ වෙනදට මම මෙහෙම අදින්නෙ නැති නිසා නෙවේ. මගේ හිතේ තිබ්බ අමුත්ත මගෙ මූණෙන් කට්ටියට පෙනුන නිසා වෙන්න ඇති. ඇක්සිඩන්ට් එකකින් හැප්පුනු වාහනයක එක පාරට එයාර් බෑග් පිම්බෙනව වගේ, ගායකයෙක් වෙන්න හිටපු මට හදිස්සියේ කෙරුණු මේ කැදවීම එයාර් බෑග් එක පිම්බෙනවටත් වඩා වේගෙන් මාව වෙනස් කරන්න ගත්ත. උගුර පාද පාද සිංදු කියල මුළු රෑම ගතකරල මම හීනෙනුත් සිංදු කිව්වා. මගෙ වෙලාව හොද කමට මට යාළු වුණ කෙල්ලෙක් හිටියෙ නැහැ. නැත්තං මහ රෑ නින්දන් නැතුව ප්‍රැක්ටිස් කරනවා වෙනුවට ඒකිව හුරතල් කරන්න වෙනවා ෂුවර්.

ගමේ හෝල්ට් එකේ හිටපු මට හෝල්ට් එක පෙනුනෙ එයාර් පෝට් එක වගේ. ඈතින් ආපු ලඩරම් බස් එක මට පෙනුනෙ මාව හදට ගෙනියන්න එන රොකට් එකක් වගේ වේගෙන්. වෙනදට අපේ ගමේ උන් උදේට කාලා, රැවුල කපාගෙන, කොණ්ඩ පීරගෙන, ගෑනූ හැට්ට කටු ගහගෙන එනකල් නවත්තගෙන ඉන්න බස් එක අද මට රොකට් එකක් වුනා. ඒත් හැබෑවටම ඌ ආවෙ උගෙ වේගෙන්. බස් කොන්දොස්තරය උදේට කෑම කාලා, බස් එකට නගිනකල් බස් එක නවත්තං ඉන්න වගක් මට දැනුනෙ නැහැ. මම බස් එක ඇතුලෙත් පාවුනා. එකම හීන ලෝකයක්. 

මෙහෙම ඉදල හරි යන්නෙ නැහැ. හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ඔබාගෙන සිංදුවක් අහන්නෝනි. වැල්ලෙ රීපු බලල් තඩියෙක් තමන්ගෙ කක්ක බෙට්ට හංගන්න වැලි අහුරු ඔබනව වගේ මම මගෙ කන ඇතුලට හෑන්ඩ්ස් ෆ්‍රී එක එබුවා. දැන් නම් බස් එකත් පිරිලා. වෙනදට ඇස් කරකව කරකව මම හොයන්නෙ කවුද බස් එක ඇතුලෙ ඉන්න හොදම කෑල්ල කියල. වැරැද්දක් කරන්න නෙවේ. උන් දිහා බලල ෆෝම් කරන්න. මම හිටගෙන හිටියොත් ලගට ගිහින් උරහිසට හේත්තු වෙන්න. හිටගෙන ඉන්න කම්මැලි කමට, ඉන්න කෙල්ලෙක්ගෙ ඇගට බර දීලා බල සමතුලිතය ප්‍රැක්ටිකලි දකින්න. මොකද මම එදා ඉදන්ම ෆිසික්ස්වලට ලෙංගතු නිසා. නැතුව ආගමට දහමට අකැමැති නිසා නෙවේ.
http://aeva-dhara.blogspot.com/2010/06/ticket-less-travel.html


වෙනදට පෝයට කැළණි බස් හෝල්ට් එකෙන් නගින හිගන මිනිස්සු කාසි අතේ තියාගෙන හොල්ල හොල්ල බස් එක මැද්දෙන් එනව වගේ මගෙ ලගට ආවෙ බස් කොන්දොස්තර මාමා. ඌ මම ඉස්කෝලෙ යන කාලෙ ඉදන් මේ බස් එකේමයි වැඩ කලේ. ඉතිං හැමදාම මගෙන් සල්ලි නොගන්න එකාට අදවත් සල්ලි දෙන්නෝනි කියල මම සල්ලි නෝට්ටුවලට වඩා කොළ කෑලි පිරුණු මගේ පර්ස් එක එලියට ඇදල ගත්ත. බස් එකේ වීදුරු කවුළුවක් ලග ඉදගෙන හිටපු මම එහා පැත්තෙ ඉදගෙන හිටපු කවුදෝ පහුකරගෙන අත දික් කළා.

“කොටුවට එකක්..“ මම ටිකට් ඉල්ලුවා.

“හරි හරි බං සල්ලි එපා..“ කොන්දා අහක බලාගෙනම කිව්වා.

ඒත් කනේ බෆල් දෙකක් එල්ලලා වගේ, කන පැලෙන්න සිංදු දාගෙන හිටපු මට මුකුත් ඇහුනෙ නැහැ. මම තවත් හයියෙන් කතා කළා. ඇත්තටම කනේ ඉයර් ෆෝන් ගහන් ඉන්නකොට වෙනදට වඩා හයියෙන් කෑගැහෙනවා. ඒක තමයි බස් එකම මගෙ පැත්ත හැරිල බලන්න ඇත්තෙ. එහා පැත්තෙ හිටපු එක්කෙනා අතින් තමන්ගෙ කට වහගෙන හිනා වෙනව මම දැක්ක. හීනයක් වගේ. එයා ලස්සන කෙල්ලෙක්. මූණ ගොරක ලෙල්ල වගේ හැඩේ තිබ්බට, පාට නම් රතුම රතුයි. ජම්බු කොට්ටෝරුවෙක් වගේ හොටක් නහය තිබ්බා. හදිස්සියටක පොල් බෑයක් ගා ගන්න තරම් ඒ නහය තියුනුයි කියල මට හිතුන.

මුළු ලෝකෙම මගෙ දිහා බලන් ඉන්නව වගේ දැනුන. මම කෑගහපු නිසා හැමෝගෙම අවධානය මගෙ පැත්තට. මම මගේ ගායන තරුවක් වීමේ සිහිනයේ පලවෙනි අඩිතාලම දැම්මදෝ කියලත් මට හිතුන. වේදිකාවක් මැද තනිවුනු ගාකයයෙක් දිහා ලෝකෙම බලං ඉන්නව කියල මට හිතුන. මගේ ඒ සිතුවිලි, ඒ සිහිනය එකපාරට කඩා වැටුන වගේ දැනුනෙ අර කෙල්ල මගේ හෑන්ඩ් ෆ්‍රී එකේ වයර් එකෙන් ඇදල බිමට දාපු නිසයි.

“මෝඩ හිවලා, මේක කනේ ගැහුවම මොනවත් ඇහෙනවද? ගලවල දානවා ඕක..“ එයා ආදරෙන් කිව්වා. අපෙ අම්මා බූරුවා ගොනා කියල බනින නිසා හිවල කියන එක මට ආදරයක් වගේ දැනුන.

“හැමදාම ඇදුරුම් කමට අපේ බස් එකේ නැගල සල්ලි නොදී යන එකා, අද ඔයා එහා පැත්තෙ ඉන්න නිසා මට සල්ලි දික් කරනව නංගී...“ කොන්දොස්තර මගේ ඇදන් හිටපු කලිසම ඔලුවෙන් ගැලෙව්වා. සතියක් තිස්සෙ ඇදපු යට ඇදුම, පෙරේදා හෝදලා, වේලුනේ නැතුව තියෙද්දිත්, අයන් එක යටින් තියල වේලලා ඇදන් ආපු එක හොදයි කියල මට දහස් වාරයක් හිතුන. නැත්තං මූ මගෙ කලිසම ගැලෙව්ව විදිහට එතැනින්ම බස් එකෙන් බහින්න වෙනවා.

කොන්දගෙ වැරදි වැටහීම නිසා, කෙල්ලටත් ඌ ටිකට් කඩල නැහැ. ඌ හිතල තියෙන්නෙ මම ඒකි එක්ක රවුමක් ගහන්න යනව කියල. ඒකි මගෙ කෙල්ල කියල. කොටුවෙන් බහින්න හිටිය මම ආයෙත් හෑන්ඩ්ස් ෆ්‍රී ගහගෙන වීදුරුවෙන් එලියට ඔළුව ඔබාගෙන ඉද්දි මගෙ උරහිසට තට්ටුකළා.

ඒ එයා..

“තැන්ක්යූ අයියා... ඔයා නිසා මගෙන් කොන්දොස්තර සල්ලි ගත්තෙත් නැහැ.“

එයා හිනා වුණා.
ආමර් ස්ට්‍රීට් වලින් බැස්ස.
මම කතා නැතුව බලං හිටිය.
ඉස්සරහ දොරෙන් බැහැල යන ගමන් මගේ දිහා එයා බැලුව.
මට හිනා ගියා.


මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_08:03am_08/02/2013
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

Saturday, February 2, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව...



නගර සභාවෙ කුණු ට්‍රැක්ටරයට ඇගිල්ලක් ගහන්න බැරි විදිහට කුණු පැක් කරනව වගේ රැට කන මම, කවදාවත් නැතු එදා රෑට මම ඉදිආප්ප දෙකක් කාල නිදාගත්තෙ හෙට උදේම මට තරගයකට යන්න තියෙන නිසා. තරගයක් කිව්වට ඒක එසේ මෙසේ තරගයක් නෙවේ. මට ඒක අභිමානයක් වුණා. පප්පා ගමේ හැමෝම තමන්ගෙ සතුරො පරද්දලා සතුටු වෙද්දි, ඒ ආතල් එක දෙගුණ කරන්න කෑකෝ පප්පා සිංදුවක් පටන් ගන්නකොට ඔහුට තඩා මාලුවෙක්ගෙන් පහර කන්න වෙනව වගේ තැනක් තමයි මටත් ගමේ හිමි වෙලා තිබ්බෙ. මම හීනියට සිංදුවක් පටන් ගද්දි, එහා ගෙදර එකා සද්දෙට රේඩියෝව දැම්මෙ මාව බයිට් කරන්න වගේ. ඌ ගෙදර නැති වෙලාවට මම සිංදුවක් පටන් ගත්තම ගෙදර ගැටගහල ඉන්න උගෙ බල්ල පවා උඩු බුරලා මට බාධාවක් වුණා. පහුගිය සතියක අම්ම ගෙදර ගෙනාපු කොහිල මිටියක් ඔතල තිබ්බ පත්තර පිටුවක තිබුනු කූපනයක් අම්මගෙ අතින්ම පුරවල දාපු නිසා මට හෙට වගේ දවසක් උදා වෙන්න යන්නෙ. ලංකා සිතියම කාමරේ මැද්දෙ පෙරලුවාම, ඒකෙ තියෙන පලාත්, දිස්ත්‍රික්ක, නගර, ගම්මාන හැම එකකම ඉන්න මං වගේ කුරිරු විදිහට අසාධාරණයට ලක්වෙච්ච කොල්ලො, කොල්ලො රැසක් හෙට එනව තරගෙට සිංදු කියන්න, හරියට කුඹි ගුලක් ලග ඉදන් සීන් කැටයක් උඩ දැමමම උන් උඩ පැන පැන දගලනව වගේ අපිත් හෙට උඩ පනී මයික් එක අතේ තියාගෙන සිංදු කියන්න. හෙට දවස ගැන හිත හිතාම මම ගියා ඇයව සිපගන්න, ඇය නිදි දෙව්දුව. සිරි යහනේ මට රසය මැව්වෙ ඇය. ඇය නිසාම මගෙ බෙඩ් ෂීට් පවා වෛවර්ණ රටාවන්ගෙන් පිරුණා.

මුළු අහසම කලු  වලාකුළු වලින් බර වෙලා, අහසට උහුල ගන්න බැරි තරමට පොදි ගැහුණු වලාකුළු පොලවට කඩා වැටෙන්න ඔන්න මෙන්න. වැටෙන්නෙ නොදී තරමක් වෙලාවක් ඒ බර තියා ගන්නෝනි නිසා, මට නැගිටින්න කම්මැලි නිසා, මම වකුටු වුනා. හරියට අටේ ඉලක්කම වගේ මම හරි මැද්දෙන් අඹරලා තියා ගත්ත. ඒත් ඒ වලාකුලු මැදින් හරි මැද්දෙන් හද එලියට වැටුණ වගේ, අපෙ අම්ම මගෙ කාමරේ කර්ටන් එක ඈත් කරල “නැගිටපන් චූටී...“ කියල කෑ ගැහුව. වෙනද වගේම කැඩිල තිබ්බ සරම නිසි ස්ථානයේ රදවමින් මම දිව්වා, කක්කුස්සියට අර කලින් කිව්ව කළු වලාකුළු, අටේ ඉලක්කම වගේ අඹරල හිරකරපු මගේ උදරය සැහැල්ලු කරගන්න, මම ඉදගත්ත කොමඩ් එකේ. රොබින් හුඩ් කතාවෙ එන ප්‍රධාන නළුවා රොබින් තමන්ගෙ පිටිපස්සෙ එල්ලලා තියෙන ඊතල එක එක සට පට ගාලා විදිනවා, මහ වැස්සක් වගේ. ඒ විදිහටම මමත් සට පට ගාලා ලෝඩ් වෙලා තිබ්බ ඉදි ආප්ප ටික සට පට ගාලා ඇදල දැම්ම කොමඩ් එක ඇතුලට.

හැමදාම වගේ මම ඇස් පියාගෙන කල්පනා කළා. කොමඩ් එක උඩ ඉදගෙනම. වෙනද වගේම මම හීන දැක්ක. වේදිකාවට නැගල මම මයික් එකක් හිර කරගන්නවා කිහිල්ලෙ. අපේ ගමේ සේදිරිස් මාමා උදේ කඩේ ගිහින් එද්දි පාන් ගෙඩිය කිහිල්ලෙ ගහන් බයිසිකලේ පදිනව වගේ. මම එහෙම කිහිල්ලෙ ගහගත්ත මයික් එකෙන් අත් නිදහස් කරගෙන, තාලෙට අත්පුඩි ගහනව මගේ රසිකයො එක්ක. මම මොන තාලෙට සිංදු කිව්වත්, උන්ටික තාලෙට වැනෙනවා. පැද්දෙනවා. ගමේ මන්තිරියා කතා පවත්වනකොට මොන මගුල කිව්වත් විසිල් ගහන පාක්ෂිකයො වගේ, මටත් හිටිය හොද රසිකයො පිරිසක්. මම සිහින අතරෙ පාවුණා, පොඩි කාලෙ ආරම්භක විදි්‍යාව කරද්දි, හුණු දාලා, උණුවතුර දාලා, දිලිසෙන චොක්ලට් කොල ගුලි කරල දාලා, බෝතලේට ගහපු බැලුම පිම්බෙනකල් ඉදලා ඉවසීමෙන් පා කරල යවනව වගේ, මම සිහින අතරෙ පාවුණා. හරිම සැහැල්ලුවෙන්. ඒ සැහැල්ලුව වැඩිකලේ සට පට ගාලා කොමඩ් එකට වැටෙන ඉදි ආප්ප ගුලි.

“කොල්ලෝ... උබ යන්නෙ නැද්ද අද??“

අම්මා කුස්සියෙ ඉදන් කක්කුස්සියට ආමන්ත්‍රනය කරද්දි සමබරව පාවෙවී හිටිය මම, තරාදියක එක පැත්තකට බර වැඩිපුර දැම්ම වගේ, මහා කාලකන්නි විදිහට කඩාගෙන වැටුනා. ඒ තරාදි පළුවෙ තිබ්බ අල බෝල ටික සීසිකඩ ගියා වගේ මගෙ රසිකයෝ හැම පැත්තටම දිව්වා. සුපුරුදු විදිහට ගමේ එවුන් මට සලකන විදිහටම මට මුකුත් නැතුව ගියා. මගෙ සිංදු අහන්න එකෙක්වත් ඉතුරු වුණේ නැහැ.

“හරි අම්මේ.. මම එනවා...“

ඒ බිදුනු සිහිනය සැබෑවක් කරන්න මම මගේ උදෑසන සගයාට සමුදුන්න. ෆලෂ් කරල නැගිටලා මගෙ සිහිනය සැබෑවක් කරන්න මම පියවර මැන්නා..

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_07:43am_02/02/2013

එදා ගෙට්ටුවේදි සිතු කුසු ආදර අන්දරය ගැන වෙඩික්කාරයා එලව එලවා සෑමාට ගුණ වැයුවේය. තවත් බොහෝ දෙනා සෑමාගේ මොරාල් නංවා තැබුවෝය. සියල්ලන්ටම ප්‍රණාමයක් විලස මෙවන් කතාවක් ලියැවෙන වගයි...

එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...
Related Posts Plugin for WordPress, Blogger...