Sunday, November 22, 2015

හොස්පිට්ල් එකේ අභිරහස - ෂර්ලොක් හෝම්ස් කතාවක් !!


හෝම්ස් මහත්මයා ඔබ දන්නවද ඒ සිද්ධ වුණේ පස්වෙනි ඝාතනය.

ඔබේ ගණනය කිරීම නම් හරි වොට්සන් මහත්මයා, ඒත් ඔබ දන්නවාද එය අත්වැරදීමක් බව?

අත් වැරදීමක්, ඔබ තවමත් ඉන්නෙ පාසල් අවධියේ වොට්සන් මහත්මයා. එකම රෝහලක, විශේෂ ප්‍රතිකාර අංශයේ මරණ පහක් සිද්ධ වෙනවා. ඒ සියල්ලම එකම ආකාරයට. මුළු නගරයම ඩෝසන් වීදියේ තියෙන රෝහලට විරුද්ධව කැරලි ගසන්න සූදානමින්. ඔබ කියනවා එය මිනීමැරුමක් නෙවේ අත් වැරදීමක් කියල? ඔබ කරන්න යන්නෙ මිනීමරුවා රැක ගන්න හොස්පිට්ල් එක බිල්ලට දීමක්.

වෙට්සන්, ඔබ කරන්න යන්නේ මගේ විශ්ලේෂණාත්මක රහස් පරීක්ෂක දැනුම පිළිබඳ සැක කිරීමක්. ඔබට අමතකද විශේෂ ප්‍රතිකාර අංශයේ ජනෙල් බැම්ම? කවදාවත් නොඅරින ඒ බැම්ම මත තිබුණු නියපොතු කැබලි.

ඔව් හෝම්ස්. ඔබ මා සමඟම ගොස් ඒ කොටස් එකතු කර ගත්තා. එහි විශේෂයක් මා දකින්නේ නැහැ.

ඇත්ත එය මටත්  විශේෂයක් නැහැ. ඒත් ඔබ දන්නා සියළු රෝගීන් මරණයට පත් වුණේ රාත්‍රී කාලයේ බවත්.

ඔව්. ඝාතකයාට පහසුම වේලාව එය වෙන්න පුලුවන්. එහෙත් ඔබ රාත්‍රි කාලයේ වූ මරණ හෝ ඝාතන නියපොතු සමඟ ගලපන්නේ කොහොමද? ඇත්තටම හෝම්ස් මෙවර ඔබ හිතන්නේ වැරදි ආකාරයකට.

ඇත්තටම ඔව්. මම හිතන්නේ වැරදි ආකාරයට. රාත්‍රී මරණ, කටින් කඩා දැමූ නියපොතු, දුටු විගස මට සිහිවන්නේ මා කාලයක් ඇසුරු කළ මාගේ මිතුරියක්. ඇය බොහෝ විට රාජකාරී කළේ රාත්‍රී කාලයේ. නිදිමත නිසා ඇහැරී ඉන්නට ඇය බොහෝ කටයුතු කළා. විටක අපි නොසිතන දෑ. ඇය ඇගේ නියමල මතුවන තුරු නියපොතු කටින් කඩා දමන්නට පුරුදු වුණේ රැකියාවේ ඇති කාර්යය බහුලකමත්, රාත්‍රී කාලයේ ඇහැරී සිටීමටත් අවශ්‍ය නිසා.

හෝම්ස් ඇය හෙදියක්ද?

ඔන්න වොට්සන් ඔබ ඒ ගමන කියන්නට යන්නේ මිනී මරුවා හෙදියක් කියලා. අනික රෝහලක. රාත්‍රීයේ. ඔබ හිතනවද රෝහලක රාත්‍රි රාජකාරී කරන හෙදියක් තම ඇසි නොපියවා තබා ගැනීමට කටයුතු කරයි කියලා. කොහෙත්ම නැහැ වොට්සන්. ඔවුන්ට ඇති තරම් ඇඳන් තියෙනවා. ඔවුන් රාත්‍රි රාජකාරියට වඩාත් ප්‍රිය අතිකාල දීමනා වැඩිපුර ලබන්නත්, රාත්‍රියක නිවසකදීටත් වඩා සුවට නිදන්නටත් අවශ්‍ය නිසා වෙන්මයි.

හෝම්ස් ඔබ නම් විහිළුකාරයෙක්. ඔබ ඔය උරන පයිප්පයේ යම් කිසි විහිළු කුඩක් මිශ්‍ර වෙලා ඇති. ඇත්තටම. 

වොට්සන්. ඇත්තටම මේක මිට විහිළුවක්. ඔබ හිතනවද ඝාතකයෙක් මෙච්චර සාක්ෂි මට ඉතිරි කරයි කියලා.

මිනී මැරුම් පහක් හෝම්ස් සහෝදරයා. කිසිම හෝඩුවාවක් නැති ඒවා. ඔබට එතරම් සාක්ෂි ලැබුණයි කියන්නෙ කෝමද? මාත් ඔබ සමඟ හිටියා. ඔබ මා දුටුවේ නියපොතු කිහිපය පමණයි. ඔබ ඒ එක සාක්ෂියෙන් ගොඩක් දුර ගිහින්. හරියට පාසල් කාලේ ආදර කතාවක් වගේ. කෙල්ල හිනා වුණාම කොල්ලා ඒ කෙල්ලව මානසිකව විවාහ වෙලත් ඉවරයි. ඔබ හරි බොලඳයි හෝම්ස්. පාසල් කාලේ ආදරයක් මතක් වෙලාද?

වොට්සන්. ඔබ නොදුටුවාද මේ මිනී මැරුම් පහ කළේ කඩිසර අයෙක් කියලා. සමාවෙන්න. ඔබ කියන ආකාරයට ඒවා මිනී මැරුම්. මම කියන ආකාරයට ඒ අතපසුවීම් පහම කළේ මහ කම්මැලියෙක්.

කම්මැලියෙක්. අනික අතපසු වීම්. හෝම්ස් මිත්‍රයා මට ඔබව කලකිරෙන මට්ටමට ඔබ ආසන්නයි. 

එපා වොට්සන් මිත්‍රයා. කළබල වෙන්න එපා. විශේෂ ප්‍රතිකාර අංශයේ විදුලි පේනු 2ක් නිතරම කිසියම් යන්ත්‍ර වලට සවි කරල තියෙන්නෙ. අනිත් එකම එක පේනුව තියෙන්නේ ඇඳට මදක් ඈතින්. එම පේනුව මෑත දිනයක භාවිත කරලා නැති තරම්. ඔබ දැකල ඇති නිතරම භාවිත කරන පේනු හීරීමකට ලක් වෙනවා. ඒ යන්ත්‍රවල ප්ලග් සවි කරන්නට ගලවන්නට නිතරම භාවිත වෙන නිසා.

ඔව් හේම්ස් ඔබ හරි. එය හෝඩුවාවක් ලෙස ඔබ දැකීම මට නම් විහිළුවක්. 

වොට්සන් මම කැමතී ඔබත් එම රෝහලේම වැඩිදුර ප්‍රතිකාර අංශයට ඇතුලත් වෙනවා නම්. ඔබට තේරෙයි මේ අතපසුවීම් පහටම සම්බන්ධ කුමන අයෙක්ද කියල දැන ගන්න.

ඔබ?? හෝම්ස් වොට්සන් ගේ ජීවිතය සීමා කරන්නද යන්නෙ?

නැහැ වොට්සන්. ඔබ මගේ මිත්‍රයා මාව විශ්වාස කරන්න. අනෙක ඔබට දැන් විවේකයක් අවශ්‍යයි. අද දහවල් ඇතුලත් වෙලා, කාර්යය මණ්ඩලයේ  උදව්වෙන් නීරෝගී ඔබව අපි රෝගි ඇඳකට දමන්නම්. විශේෂ ප්‍රතිකාර අංශයේ නොමිලේ ලැබෙන ඔක්සින් මාස්ක් එකත් එක්කම ඔබ අද රැය විවේක ගන්න.

ඔබට ඇත්තටම මෙය විහිලුවක් හෝම්ස්.

මාව අවිශ්වාස නම්, ඔබ කියන ආකාරයේ ඝාතකයා අල්ලා ගැනීමට පමණක් උදව් වන්න වොට්සන්.

******

වොට්සන් කොහොමද හුස්ම ගැනීම ඉතාම පහසුයි නේද?

ඔව් හෝම්ස්. මේ මම අද දවසට ගන්නා අවසන් හුස්ම පොද වෙන්න බැරි නැහැ. ඔබ කෙරේ මා අවිශ්වාසයක් නැති නිසාමයි මෙහි ආවේ. 

ස්තුතියි වොට්සන්. අද රැය ඔබ විශේෂ ප්‍රතිකාර අංශයේ ගෙවන්න. මා ඔබ සමඟම මේ රෝහලේම රැදෙන්නම්.

බොහොම හොදයි හෝම්ස්. හදිසි අවස්ථාවක් වුවොත් මා ඔබ අමතන්නම්.

******

මිත්‍රයාගේ උපාය සාර්ථක කර ගැනීමට වොට්සන් විශේෂ ප්‍රතිකාර අංශයේ ඇඳක් මත හුස්ම ගන්නේය. ඒ ඔක්සිජන් ලබා දෙන මැෂින් එකක ආධාරයෙන්ය. වොට්සන් තනිවම ඇස් කරකවමින් බලා සිටින්නේ ඉතා අපහසු ආකරයේ රෝගියෙකු ලෙසින්ය. එහෙත් ජීවන බය කෙතරම් දැයි මේ ඔහුට දැනෙන ප්‍රථම අවස්ථාවය. ඇසෙන්නේ මැෂින් වල සියුම් හඩ පමණක්ය. ඒ අස්සේ  ඔරලෝසුවේ තප්පර හඬය. රාත්‍රී නවය පසු වූයේය. දහයද ගැටළුවක් නැතුව ගෙවුණේය. රාත්‍රී එකොලහට විශේෂ ප්‍රතිකාර අංශයේ දොර හැරුණේය.

හෙතෙම එතරම් උස නැති සිහින් සිරුරක් ඇති, අපිලිවෙල අයෙක්ය. හැද සිටියේ රෝහලේ සුළු සේවකයින්ගේ ආකාරයේ ඇඳුමක්ය. හෝම්ස් කියු ආකාරයෙන්ම කලබල නැතිය. මෙවර පැමිණෙන්නේ හෝම්ස් කියූ කම්මැලි ඝාතකයාය. නැත. හෝම්ස් කියූ අයුරින් නම් ඒ කම්මැලි අතපසුවීම් කරන්නාය.

අත තිබූ මොප් එක පැත්තකින් තැබූ හෙතෙම ඇඳ අසල වූ පුටුව ගෙන හිද ගත්තේය. ඇත්තටම ඔහු කළබල නැතිය. ඉන්පසු මොහොතක් වටපිට බලමින් සිට ඔහු පුටුව මත නිදිමතේ කිරා බාන්නට වුයේය. හෝම්ස් හරිය. මොහු කම්මැලිය. එහෙත් වොට්සන්ට ඇඳෙන් නැගිටීමට නොහැකිය. තමන් අසාධ්‍ය රෝගියෙක්ය. එහෙත් කම්මැලි ඝාතකයා තමන්ට පහර දුන්නහොත්, තමන් ඝාතනය කළහොත් ඝාතකයා කම්මැලි යැයි කියා හිත හදා ගත නොහැකිය. ජීවිතය අතැර යන්නට වන්නේය. වොට්සන්ට තමන්ගේ හද ගැස්ම තමන්ටම ඇසෙන මට්ටමට පත් වුණේ එවිටය. මැෂින් අවශ්‍ය නැතිය. නොමිලයේම තමන්ගේ හදවත ගැහෙන හඬ ඇසෙන්නේය.

ඝාතකයා නැගිට සිටියේය. තමා අත වූ වැක්‍යුම් ක්ලීනරය අතට ගත්තේය. ඇඳ අසල වූ ප්ලග් දෙකම මැෂින් වලට සම්බන්ධ කොට භාවිතයේ පවතින බව දුටුවේය. තමන්ට දුරින් ඇති පේනුව දෙසද නෙත් හෙලුවේය. ඔහු ඇත්තටම කම්මැලිය. දුර තිබූ පේනුව දෙස බලා දිගු ඈණුමක් ඇර ඔහු ඇඳ අසල තිබූ පේනුවෙන් ඔක්සිජන් මැෂින් එකේ ප්ලග් එක ගලවා පිරිසිදු කිරීම ඇඹුවේය.

හරියටම ඔහු පැය භාගයක් පමණ වැක්‍යුම් ක්ලීනරය භාවිත කළේය.

වොට්සන් මැෂින් එකෙන් හුස්ම ගන්නා රෝගියෙකු නොවුනේ වෙලාවටය.

sAm_ශ්‍රී_Perera_10:15pm_22/11/15

Tuesday, November 17, 2015

උස එකකට කොක්ක ගසනා හැටි.. - How to Hang on Roof !!

කොක්ක ගසනවා කිව්වාම ගොඩක් උන් හිතන්නේ කෑල්ලක් සැට් කර ගැනීම ගැනය. අනික උස එකකට කොක්ක ගසනවා කිව්වාම බොහෝ සතුටු වෙන්නේ කෙල්ලට වඩා මිටි කොල්ලෝය. එහෙව් ආදර කතා සෑමා බොහෝ දැක ඇත්තේය. ඉස්කෝලෙ යන කාලේ සමහර කෙල්ලෝ කොල්ලන්ට කියන්නේ අනේ අපි මැච් වෙන්නේ නැහැ කියාය. ඔයා කොටයි කියාය. මම උසයි කියාය. එවිට සිත් තැවුලෙන් ගෙදර එන කොල්ලෝ එල්ලෙන්නේ උළුවස්සේය. මැරෙන්නට නෙවේය. උස යන්නටය. එලෙස බාල්කයේ හෝ උළුවස්සේ එල්ලී බාර් දානවා යනුවෙන් ව්‍යායාම කරන්නේ කෙල්ල කෙරේ ඇති අප්‍රමාණ සෙනෙහස නිසාය. එහෙව් කොල්ලෝ මේ පෝස්ට් එක නොබැලුවාට කම් නැත. මේ කියන්නට යන්නේ උස තැනක ඇති පරාලයකට හෝ ලීයකට ලණුවක් දා ගන්නා ආකාරයය. බොහෝවිට මෙය වඩා වැදගත් වන්නේ මඳුරු දැලක් වැනි දෙයක් එල්ලීමේදීය. කාමරයේ නෙට් එකක් එල්ලන්නට දඟලන බොහෝ අය අතපය කඩා ගන්නේ තාක්ෂණය නැති නිසාය. ඉනිමඟ රැගෙන එන්නට ඇති කම්මැලි කම නිසා කොහේ හෝ අඩිය තමා අඩමානයේ නැග බිම වැටෙන්නෝය. බොහෝ අය නෙට් එල්ලන්නේ ඇද මතට පුටුවක් තබා ඊට අඩිය තබාය. එවිට ඇදේ මෙට්ටය තුල පුටු කකුල් එරීයාමෙන් පුටුව පෙරලී යා හැකිය. සිදුවන්නේ විනාශයක්මය.

දැන් කෙලින්ම උපක්‍රමයන් ටික පහදා දිය යුතුය. මේ ක්‍රමයට කොච්චර උස එකක් වුණත් කොක්ක ගැසිය හැකිය. එල්ලිය හැකිය. සමහරු කියන්නේ උස ගස් ඉරන්නේ බිම පෙරලලා කියාය. මේ ක්‍රමයට වහලය බිම පෙරලිය යුතු නොවේය. අවශ්‍ය වන්නේ පහළ බඩු සැට් එකය.
අවශ්‍යය ද්‍රව්‍ය -
  • වහලයට තරම් දිග කොස්සක්, හෝ ලීයක්
  • ඉස්කුරුප්පුනියනක්
  • ලණුවක්, නූලක් හෝ පටියක්
මුලින්ම නියනෙහි නූල හෝ ලණුව ගැටගසා ගත යුතුය. එය පහත ආකාරයෙන් විය හැකිය.



ඉන්පසුව නියන කොස්ස මිට පැත්තේ කෙළවරට යන්තමින් සවි කර ගත යුතුය. එය ඉතා හොදින් තද නොකළ යුතු අතර පහ වසරේදී සෙලවෙන දතක් ආකාරයෙන් නොගැලවෙන ගැලවෙන මට්ටමේ විය යුතුය. පොඩි තට්ටුවකින් වැටෙන මට්ටමින් සවි වී තිබිය යුතුය.

දැන් වැඩේ සැට්ය. කොස්ස නියන සහ ලණුව එක හුස්මට අතට ගෙන දැන් ඔබ යා යුත්තේ මදුරු දැල එල්ලිය යුතු පරාලය ලඟටය. එතැනට ගොස් නියන පරාලය උඩින් තමා වහලයේ වදින ලෙස සෙල විය යුතුය. එලෙස සෙලවෙද්දී නියන බුරුල් වී ගැලවී වැටිය යුත්තේ පරාලයේ එහා පැත්තෙන්ය. කියනා දේ නොතේරෙන උන්ට පහල රූප රාමුව උපකාරී විය හැකිය.

දැන් නම් වැඩේ ගොඩය. කෙල්ලගේ සහ කොල්ලාගේ අතර මැද ඇති කොට්ටය මතින් එහා පැත්තට පනිනා ආකාරය සෑමා පහදා දී අවසානය. කොට්ටය පැන්නාට පසු කරනා දේ සෑමා පැවසිය යුතු නැත. එලෙසම පරාලය එහා පැත්තෙන් දා ගත් ඉස්කුරුප්පුව හෝ නියන නිවැරදි ආකාරයට පහලට ගැනීම කළ යුතුය. ඒ සදහා නූල කෙලවර අල්ලාගෙන සෙමින් සෙමින් සෙලවිය යුතුය. නියන පහලට රූටා එන තුරු නූල සොලවා නියන අතට ගන්න. නියන ගලවා දමා නුලෙහි අවශ්‍ය පරිදි මදුරු දැල හෝ අවශ්‍යය දෑ එල්ලා ගත හැකිය.

Written_by_sAm_ශ්‍රී_Perera_6:56pm_16/1/15

Sunday, November 15, 2015

ප්‍රංශ.. - France !!




ලංකාවෙ අපිට මහ ගේමක් නෑ ඕං

කඩයක් ගානෙ අපෙ උන් ඇද්දෙ දාම්

එහෙව් ගේම අනිත් පැත්තට කරපු උන්

තමන්ගෙ ඉත්තො කැපෙන්න දුන්න නම්

ඒකට අපි කිව්වෙ ප්‍රංශ අදිනවා කියල ආයුබෝං !!

Wednesday, November 4, 2015

ඇට්ටේරියා ගසක බැඳි ආදරය... 2



සිතුම් ගත් ගැම්ම ඉස්තරම් වූයේය. අකිලයාගේ අත ගිලිහුණේය. ක්ලාස් අහවර වී අන්තිම බස් එකේ ගෙදර එද්දී ෆුට් බෝඩ් එකේ සිතුම් එල්ලෙද්දී, අකිලයාවත් එල්ලා ගැනීමට උත්සාහ කළ දිනය අකිලයාට සිහි වුයේය. සියළු උත්සාහයන් අතහැර සිතුමාට ගෙදර යන්නට දී අකිලයා ආපසු හැරී බස් හෝල්ට් එකට විත් හිට ගත්තේ ඉවසීමෙන්, ප්‍රශ්න ඇති නොකරගෙන, ජීවිතයට මුහුණ දෙන ආකාරය ප්‍රගුණ කර ඇති නිසාය. එදා සිතුමා ඊලඟ නැවතුමෙන් බැස අකිලයා සොයාගෙන නැවත ආ සැටි අකිලයාට මතකය. ඒ සිද්ධිය මතක තිබියදීත් අකිලයා පැත්කට වී බස් එකක් එනතුරු මෙන් බලා සිටියේය. අත්ලෙහි වූ පොරි ගොටුවකට විසිවෙන්නට පහර දෙන්නේ යම් සේද එසේම සිතුමා ඉදිරියට පැන බයික් එකේ සිටි අනංගයාට පා පහරක් එල්ල කළේය. හෙල්මට් එක පාර එහා පැත්තේ කාණුවටද, බයික් එක පාර මැදටද විසිව ගොස් අනංගයාගේ කකුලක් බයික් එකට යටව තිබුණේය. කෙහෙල් ලෙල්ලක් මත නැගි එකෙක් බේරා ගන්නට අල්ලා ගන්නට වෙලාවක් අසල උන්ට නොලැබෙන්නේය. එලෙසම කරකියා ගත දෙයක් නොමැතිව, කිසිවක් සිතා ගන්නට කාලයක් නොමැතිව අනංගයාගේ මිත්‍රයන් දෙදෙනා බලා සිටියෝය.

වරදෙහි බැඳෙන්නට පෙර ඔවදන් දෙන මිතුරන් කොහෙවත් නැතිය. වරදෙහි බැදී කෙළ වූ පසුව උපදෙස් දෙන්නට මිතුරන් බොහෝය. මිතුරන්ගේ දෙමාපියන්ද බොහෝය. අනංගයා බයික් එකට යටව සිටියදී දිව ආ මිතුරන් දෙදෙනා බයික් එක උස්සනවා වෙනුවට කළේ ඔහුට ඇඩ්වයිස් කිරීමය. ඒ හැටිය. ඔහු බයික් එක උස්සපං කියා කෑ මොර දෙද්දී මිතුරන් දෙදෙනා බිමට නැමුනේ තම මිත්‍රයා ගොඩ ගැනිමටය. උන් දෙදෙනාටම පහර දී සිතුමා වැඩ පෙන්වන්නට ගියේය. එක් වරක් වීරයෙකු වූ පසු තවත් වැඩ දැමීම මෝඩ කමක් යැයි සිතුමාට තේරුණේ පසුවය. අනංගයාගේ කකුලක් තුවාල වී තිබියදීත් ඔහුගේ මිතුරන් දෙදෙනා සිතුමා අල්ලාගෙන එක් කනේ පහරක් දුන්නේ එලොව තරු පෙනෙන්නටය. හුලං පිරුණු කන් ගුල් අතරන් සිතුම්ට ඇසුණේ එකම දෙයක්ය. “අහු වෙයන් උබ... අහු වෙයන් උබ... අහු වෙයන් උබ... අහු වෙයන් උබ...“

තුන් දෙනෙකුට සිතුමා තනියෙන් නෙලද්දීද අකිලයා සිටියේ බස්හෝල්ට් බම්බුවට හේත්තු වෙලාය. උන් වගේ උන් පොල් පිත්තෙන් කැපිය හැකිය. එහෙත් මිතුරන් අත් හැරිය නොහැක. අකිලයා කීවේ නම් සිතුමාට සිහිය නැති වුණොත් හොස්පිට්ල් ගෙන යාමට තමන් හොද සිහියෙන් සිටිය යුතු නිසා සීන් එකට එන්ටර් නොවූ බවක්ය. සිතුමා දිවි පරදුවට තියා ගේමට එන්ටෑරු වුවත් අනේ තැන්කියූ කීමටවත් කුසුම්ගේ දිව නොනැමුණේය. කෙල්ලකගේ හැම අහු මුල්ලක්ම නැමෙන්නේය. එහෙත් දිව නොනැමෙන්නේය. කිසියම් කාලකන්නි වැඩක් කොට අනේ සොරි මෙයා කීමට නම් දිව නැමෙන්නේ තැන් හතර පහකින්ය. අකිලයාට කෙන්ති ගියේ සිතුමා එක්ක නොවේය. කුසුම් එක්කය. එය නැවත නැවතත් සිතුම්ට මතක් කරන්නට ඔහු පෙළඹුනේය. සිතුම්ට ගාණක් නැතිය. අකිලයා පසුව බුවනෙකයාවද වැඩේට සැට් කර ගත්තේය. ඒ සිතුම් ඉන්නා තැන කුසුම් වැනි කතකට පෙම් බැදීමේ ආදීනව කියා දීමටය.

මුද්දර එකතු කරන කාලයේදී කරපු අමාරුම වැඩේ ලියුම් කවරයෙන් මුද්දරය ගලවා ගැනීමය. දන්නා උන් කවරය වතුරේ දමා මුද්දරය ආරක්ෂිතව ගලවා ගන්නෝය. එහෙව් බැරි එකා දිව හපාගෙන මුද්දරය අමු අමුවේ ගලවන්නට දගලන්නෝය. සිදුවන්නේ මුද්දරය පළුදු වීම පමණක්ය. කුසුම් ගෙන් සිතුම් ගලවා ගත යුත්තේ බුද්ධියෙන් සිතා බලාය. සිතුම් නම් මුද්දරය කුසුම් නම් තැපැල් කවරයේ ඇලවී ඇත්තේ දිවෙන් කෙල ගා නොවේය. රබර්කිරි බාල්දියක එබීමෙන්ය. සිතුම් මැදි කරගත් බුවනෙක සහ අකිලයා මුද්දරය පලුදු නොකර ගැලවීමේ කටයුත්ත ඇරඹුවෝය. සුපුරුදු ස්ථානයේදීය. සිතුම්ලා සැට් වෙන්නේ එතැනය. වල බසින්නේ එතැනය. කොණ්ඩය කපා ගන්නට ගොඩ වදින්නේද එතැනටය. එතැන ගමේ සැලුන් එකය. එළියේ ඇති අබලන් බංකුව උන්ට සෝෆා සැට් එකක්ය. පසෙක වූ ඇට්ටේරියා ගස සෙවන සලසන්නේය. 

“සිතුමා තෝ දන්නවද ඕකි මහ ඇට්ටර බඩ්ඩ..“ ආරම්භය එසේය. එතැන් පටන් අම්මාගේ අප්පාගේ හිස්ට්‍රියද, අක්කාගේ දැගලිල්ලද. අයියාගේ මැර කම්ද ඇට්ටේරියා ගස යට බංකුව මත තබන්නට වූයේ බුවනෙක හා අකිලයා විසින්ය. උන්ට උවමනා වූයේ මුද්දරය ඉරා දැමීම නොව මුද්දය ගලවා ඇල්බම් එකේ දැමීමය. එහෙත් කාලකන්නි මුද්දරය බලන්නේම දෙකට ඉරී යන්නටය. බලු නකුටට ගල් තබා හෝ කෙලින් කිරීම අසාර්ථක උත්සාහයේ යෙදී සිටියේ මිත්‍රයන් දෙදෙනාය. සිතුම් බල්ලාගේ දෙපැත්තෙන් අල්ලාගෙන සිටියේ බුවනෙක හා අකිලයාය.

“බ්‍රාාාාස්“

මහ පාර අයිනේ පෙනෙන දුරින් නැවැත්වූයේ උස ට්‍රේල් බයික් එකක්ය. බයික් එක පැදන් ආ එකා ආම් කට් එකක් ගසාගෙන සිටියේය. පිටු පස එකා දිග රැවුලක් සහිත අයෙක්ය. අතේ වක් පිහියක්ය. දෙදෙනාම හයේ හතරේය. එච්චර උස ට්‍රේල් බයික් එකක සිට කකුල බිම ගාන්නට හැක මට්ටම් උන්ය. බයික් එක පිටුපස එකා එක වරම අඩිය ගසා බැස්සේ ගේමක් නැතුවය. වක් පිහියෙන් බෙල්ල කසමින් ආ හෙතම කලබලයක් නොපෙන්වා ඇවිදගෙන ආවේ සිතුම් සිටින දිශාවටය. ඔහුව අනුගමනය කරමින් බයික් එකේ ස්ටෑන්ඩ් එක ගසා අනිත් පුද්ගලයාද ඒ දෙසට ඇදුනේය.

පෑඩ් ගැලවී යන තරම් සද්දෙට වැදුනු බ්‍රේක් පාර නිසා සිතුම්, බුවනෙක හා අකිලට ඔවුන්ගේ පැමිණිම වෙන වෙනම පෙන්වීමට උවමනාවක් නොවීය. බ්ලෙන්ඩරයට දැමූ පොල් කුඩු මෙන් සිත තුල දස අතේ කැකෑරෙන කුසුම් ගේ සිද්ධියෙන් තිදෙනාම වික්ෂිප්ත වූවෝය. අකිලයා සුපුරුදු නිර්භීත ස්වරූපයෙන් එතැම වූ කෙටි තාප්පයෙන් එහා වත්තට පැන්නේය. බුවනෙකයා දිව ගොස් සැලුන් එකට රිංගුවේය. කොණ්ඩය කපන පුටුව මත හිඳගත් හෙතෙම සැලුන් එකේ අයියාට කියා සිටියේ තමන්ගේ කොණ්ඩය කපන ලෙසය. කිසිත් නොදත් සැලුන් එකේ ඩෑල් එක බුවනෙකයා වැසෙන්නට රෙද්දක් දමා බෙල්ලෙන් ඉහල පමණක් පෙනෙන්නට ඉතුරු කළේය. සිතුමා තනි වූයේය. බයික් එකෙන් ආ දෙදෙනා ලගම එන්නේය. කිසිවක් හිතා ගත නොහැකිව සිතුමා බංකුවට අඩිය තබා ඇට්ටේරියා ගසෙහි අත්තක එල්ලුනේය. එල්ලී අතු කිහිපයක් උඩට නැගුනේ ජීවිතාශාවේ තරම තේරුම් ගනිමින්ය.

බයික් එකෙන් ආ දෙදෙනාගේ කලබලය වැඩි වූ බවක් සිතුම්ට දැනුනේ තම හදවතේ වූ ගැස්මේ තරම වැඩි වූ බැවින්ය. ගසේ අතු සෙලවෙන බවක් දැනුනේය. එය තම හද ගැස්මට සමාන බවක්ද දැනුනේය. වක් පිහියක් අතින් ගත් පුද්ගලයා බංකුව අසලට විත් වටපිට බැලුවේ කිසිවක් සොයනා පරිදිය. අනෙක් පුද්ගලයා ගසේ කඳ අතගා බැලීය. විටක ගසේ මුල පිරික්සීය. ඔවුන් අමු මැරයන් විය හැකිය. උන්ගේ සෝදිසිය උපරිමයෙන්ය. පොලිස් බල්ලන් මෙන්ය. වැටුනු වැලි කැට පවා ඉව කර බලනා තරම්ය. සිතුම්ට චූ බර හැදුනේය. 

වක් පිහිය අතින් ගත් මැර අයියා එක් වනම ගස උඩ බැලීය. මේසය උඩ තැබූ මාළු කැබැල්ල දුටු බලලෙකු මෙන් හෙතෙම සිතුම් දෙස නෙත් හෙලීය. මාළු කැබැල්ල පැහැදිලිය. බලලාද සූදානම්ය. සිතුම් සිත හදා ගත්තේය. මැර අයියා සිතුම් ඇමතීය. වක්පිහියෙන් බෙල්ල කැසීය.

“මල්ලී.. තමුසෙ මොකද ඔතන කරන්නේ..“

“මං.. මේ.. මං.. මං...“

“මං මං නෙවේ අයිසේ.. මේ පිහිය උඩට දාන්නම් පුලුවන්නම් ඔය උඩ හරියෙන් පොතු ටිකක් රැහැලා බිමට දානවකෝ..“

“ඒ.. ඒ මොකටද අයියා..“ සිතුම් මැර අයියාගේ කෝචෝක් එකට පිලිවදන් දුන්නේය.

“රෙද්දක් කියවන්න එපා අයිසේ.. මේ ලෙඩෙක්ට සිංහල බෙහෙත් වගයක් හොයනවා. බැරි නම් කියපං අපි යට හරියෙන් පොතු ටිකක් කපාගෙන යන්නම්..“

** අහවරයි **

Written_by_sAm_8:53pm_04/11/15

Monday, November 2, 2015

ඇට්ටේරියා ගසක බැඳි ආදරය...


දෙකේ පන්තියේදී කෙල්ලෙක් විරිත්තුවොත් ටීචර් ලගට දිව යන සිතුම්ට එදා ලැබුණේ කුමන ශක්තියක්ද යන්න සිය මිත්‍රයන්ටද ගැටළුවක්ය. විස්කිරිඤ්ඤාවක් උඩ විසිකර බිම වැටෙන්නට යන කාලය යම් ප්‍රමාණයක් වේද ඒ කාල ප්‍රමාණය ඇතුලත සිතුම් තුන් දෙනෙකුට බිම වැටෙන්නට තඩි බා අවසන්ය. උන් හයේ හතරේ එවුන්ය. එලෙස කීවේ සිතුම් දස අත නෙලද්දී බස් හෝල්ට් එක අස්සට වී බස් එකක් එනතුරු මෙන් බලා සිටි අකිලයාය. බස් එකක් එනතුරු සිටින්නාක් මෙන් රඟපෑවේ නැති නම් හෙතෙම අද බලා සිටින්නේ හ(ර්)ස් එකක් එනතුරුය. නොඑසේ නම් අකිලයා මේ වන විටත් අවසන් ගමන් ගොස්ය. සිතුම්, අකිල සහ බුවනෙක යනු එකම පොල් ගසේ හනසුය. පිට පොත්ත පමණක්ය. ඇතුලතින් එතරම් වැඩක් නැතිය. එකම පාසලේ එකම පන්තියේ මුල්ලකට වී සිටින තිදෙනාටම කෙල්ලන්ගෙන් කරදරය. තිදෙනාගේම මුවින් හැමදාකම පිට වූයේ එකම වාක්‍ය ඛන්ඩයක්ය. “මේකුන්ට තියෙන විසේ.. මුං කොල්ලන්ට හපන්“ කියාය. 

සිතුම්ගේ සිත තාප්පයට ඇලවූ පෝස්ටරයක් ලෙස ඇලවී තිබුණේ කුසුම්ගේ මුවේය. ඇය සිතුම් දෙස නොබැලුවාම නොවේය. විටක ඈත එන බස් එකකට අප අත දමන්නේ අප යායුතු බස් එක එනවා කියාය. එහෙත් ලඟට ආ බස් රථයේ බෝඩ් එක වෙනස් නම්, යන්නේ වෙන තැනකට නම් අප කරන්නේ බස් එක නොදැක්කා මෙන් සිටීමටය. අත නොදැම්මා මෙන් රැඟීමය. සිතූ හමුවේ කුසූගේත් හැසිරීම එලෙසය. ඇය සිතුම් දෙස බලන්නීය. හදවතට අත දමන්නීය. කළඹන්නීය. එහෙත් සිතුම් ඇගේ සිත මානයේ දැවටෙද්දී ඇය පසකට වන්නීය. එය කාන්තාවන්ට හුරු පුරුදු දෙයක් බව සිතුම්ට කියා තිබුණේ සීයාය. සිතූ ගේ ආච්චී නාන තොටේදී දිය රෙද්ද කඩා නැවත අදින්නේ සීයා දෙස බලාය. ඉන් ෆෝම් වන සීයා ආච්චීගේ පස්සට තට්ටුවක් දමා ඇත්තේ දිය යට සිටියදීය. එහෙත් ආච්චී පෙර පෑ රාගාධික බැල්ම තමා සතු නොවන්නක් මෙන් ගඟ උතුරන සද්දෙන් කෑ ගසා ඇත්තීය. එදා සීයා ගෙදර විත් ඇත්තේ අමුඩය පවා ගඟට පූජා කිරීමෙන්ය. පසු කළෙක සීයාගේ බලහත්කාරකමකින් ආච්චී සීයාට නතු වී ඇත්තීය. එයද පිළිනොගන්නා ආච්චී සිතුම්ට පවසන්නේ ඇය, සීයා ගැන දුක සිතී මේ ගමන ආ බවය. ඒ උදාහරණය සීයා තමන්ට දුන් ආභරණයක් කොට සිතුම් කුසුම් වෙනුවෙන් සැදි පැහැදී සිටින්නේය. එලෙසම ඇය ලඟට යන්නට වාරයක් එනතුරු සිතුම් බලා සිටින්නේය.

සුපුරුදු උදෑසනක්ය. හිරු නැගුනේ නැගෙනහිරින්ය. සිතුම් බස් නැවතුමට ආවේය. කුසුම්ද තාත්තාගේ ෆුට් සයිකලයේ නැගී පැත්තට ඉඳගෙන විත් බැස්සේ බස් නැවතුමෙන්ය. ටියුෂන් යෑමට නිසා දෙදෙනාම පාට ඇඳුමින් සැරසී දෙපැත්ත බලා සිටියෝය. කුසුම් සිතුම් දෙස නොබලන්නේ ගමේ බස් හෝල්ට් එක නිසාය. ඇගේ පියාද ඇය බස් රථයකට නගිනාතුරු වෙනදාට බලා සිටින්නේය. එහෙත් එදා ඔහු ඇය හෝල්ට් එකේ තබා නැවත ගෙවල් පැත්තට හැරුණේය. තමාට උරුම නැති වෙනත් ආදර කතන්දර සිතුම්ට සිහි වන්නේය. වෙන කෙල්ලන් බසයට නඟින තුරුම ඇගේ දෙමාපියන් බලා සිටින්නෝය. ඔවුන් දෙමාපියන්ට සමුදී ගොස් කෙලින්ම ඉඳගන්නේ තම සහකරු අසලය. ඉන්පසු සිදුවන්නේ ක්ලාස් එකේ සර් කියා දිය යුතු පාඩම් මාලාව ඇයට ඔහු විසින් කියා දී නිවසට පිටත් කිරීමය. ඒ සිතුම් දන්නා අන් අයගේ ආදර කතන්දරය. එහෙත් සිතුම්ට ඇත්තේ අනෙකක්ය. බලා සිටීම, බවුන් වැඩීම, හැර අන් දෙයක් සිතුම්ට නොතිබියේය. සුපුරුදු පරිදි අකිලයාද පැමිණ සිතුම් එහා පැත්තේ හිට ගත්තේ සිතුම්ගේ දැහැනට බාධාවක් නොවන පරිදිය.

කුසුම් ඇගේ ලේන්සුව ගෙන නහය වසා ගත්තාය. අකිලයාද ඇඟිලිතුඩින් තම නාස් කුහර සිරකර ගත්තේය. සිතුම් දිගු හුස්මක් ගෙන සෙමින් පිට කළේ සිත සැහැල්ලු කරගෙන කුසුම් දිහා නොනැවතී බලා සිටින්නටය. අකිලට, කුසුම්ට ස්වසනයට බාධාවක් වූ නගර සභාවේ කුණු ටැක්ටරය පරිසරය කලතමින් ඔවුන් පසුකර ගියේය. ටැක්ටරයෙන් බිම වැටුණු තැඹිලි කෝම්බයක් පිටුපසින් ආ වාහනයේ ටයර් එකට යට වී පාරෙන් පිටතට විසික් වුයේය. ඒ සමඟම ආවේ ට්‍රේල් වර්ගයේ බයික් එකක්ය. මෑතකදී පාසල හැර ගිය තරමේ උන් කොල්ලෙකු කුසුම් අසල නතර වූයේය. පසු පසින් ආවේ තවත් බයික් එකක්ය. එහි සිටියේ කලින් බයික් එකේ ආ කොලුවාගේ මිතුරන් දෙදෙනෙක්ය. සියල්ල පසෙකට වී නිහඬව බලා සිටින්නට සිතුම්ට හා අකිලට සිදු වූයේය. ප්‍රථමයෙන් ආ කොලුවා මොනවදෝ මිමිණුවේය. කුසුම් නිහඬය. පාර දෙස බලාගෙනමය. නැවතත් ඔහු කුසුම්ගේ ලේන්සුවෙන් ඇද්දේය. අනෙක් උන් දෙන්නා මහ හඬින් සිනාසෙන්නට වූවෝය. සමහර විකට කතා වලට හිනා යන්නේ නැතිය. එවිට කරන්නේ ප්‍රධාන චරිතය කුමක් හෝ කියද්දී පසුබිමින් හිනා හඬක් කතාවට මුසු කිරීමය. මෙතැනදී ඒ කාර්යය පැවරුණේ කොලුවාගේ මිත්‍රයන් දෙදෙනාටය.

සිතුම් රතු පැහැ වූයේය. අකිල සිතුම් දෙස බැලුවේය. සිතුම් විමසුවේ මොකක්ද බං අතන වෙන්නේ කියාය. අකිලයා සද්ද නැතිය. ඔහු කියා සිටියේ කුමක් වුවත් නොදැක්කා සේ සිටීම තැනට සුදුසු බවය. එහෙත් එය කළ නොහැකිය. තමාට ආදරය නොකළත්, කුසුම් සිතුම් දෙස විටක බලා මදහසක් පාන්නීය. බොහෝ විට බස් එකේදී කොන්දොස්තර ඇය අසලට එද්දී ඇය සිතුම් දෙස බලන්නීය. එවිට හද තුලින් මෝරා එන සෙනහස සිතුම්ට වචන මතක් කර දෙන්නේය. “හරි.. ඒ නංගිට ටිකට් මම ගන්නම්“ ඒ පැහැදිලි වචන කන වැකුණු තැන සිට ඇය නැවත සිතුම් දෙස බලන්නේ බස් එකෙන් බහින විටය. ඒ කෙසේ වෙතත් සිතුම් තවමත් ඇයට ආදරේය. ඇය වෙනුවෙන් ටිකට් පොතක් වුවද මිලට ගැනීමට තරම් ඔහු ඇයට ආදරේය.

සිතුම් ඉදිරියට ඇදුණේය. අකිල අතකින් ඇද්දේ සිතුම් නවතා ගන්නටය. එවලෙහිම බර්ත්ඩේ කේක් එකක් මත තැබූ ඉටිපන්දමක්, බලා සිටින්නවුන්ගේ සුභ පැතුම් ගීත අහවර වෙද්දී “පුහ්“ ගා ක්ෂණීකවම නිවෙන්නාක් මෙන්, කුසුම්ගේ දෑසේ බැල්ම ක්ෂණිකවම සිතුම් වෙලා ගත්තේය. එය අකිලයාගේ දෑත අතැර ඉදිරියට පනින්නට තරම් ගැම්මක් සිතුම්ට ලබා දුන්නේය.

- සිතුම්ට වෙච්ච දේ ඊලඟ පෝස්ට් එකෙන්..

Written_by_sAm_ශ්‍රී_Perera_02/22/15
Related Posts Plugin for WordPress, Blogger...