Google+ Followers

Tuesday, December 31, 2013

හැරී බලන්න.. - Turn Back & Think !!




එක එකාට ලේසි වෙන්න
කරගන්නට වැඩේ
හෙමි හෙමීට කතිරෙ ගසන්
ගියාද ඔබ කඩේ..??


ඔබ්ජෙක්ෂන් දාපු එවුන්
වුණත් එකම ගමේ
කපල දාල දැඟලුවාද..?
වෙඩිල්ල කොට පඩේ


ගමේ එකා අතෑරලා
කිහිල්ලෙ ගහන් කුඩේ
දිනෙව්වාට ගිහින් කඩේ
මොකක්ද ඇති වැඩේ..??


හදිස්සියට හිත හිරවී
හුස්ම දිගට ඇඳී
පපුව ඇවිත් මිරිකුව නේ
හැදුන විටදි ලෙඩේ..


මංත්‍රිතුමා අවෙ නැද්ද
සිප ගන්නට අනේ
ඒ එද්දිත් ගෙනත් නැද්ද
බොට කන්නට වඩේ..??


තුන්සිය හැට පස් දවසක්
හැපුව බුලත් විටේ
මෙලෝ රහක් නැහැ දැන්වත්
විසිකරපං ලඩේ


අමතක කර නොහොබින දේ
අලුත් කැලැන්ඩෙරේ
ලස්සන වෙන්නට පතනෙමු
එකතු කරන් නඩේ..


හෙටින් උදාවන හැම දිනයක්ම..
සුභ අලුත් දවසක් වේවා.. !!
ජය වේවා !!


Written by sAm_ශ්‍රී_Perera_7:12am_31/12/13

Thursday, December 26, 2013

අපි නොදන්න සෙක්ස් - Well Known Sex !!!


දෙයක් විපරම් කර බලන්නේ ඉගෙන ගන්නටය. ඉස්සර පොත් පත්, පත්තර වලින් සොයා බලා ඉගෙන ගත් දේ දැන් කෙලින්ම හොයා ගන්නේ ගූගල් එකෙන්ය. සර්ච් එන්ජින් අනන්තවත් තිබුණත් හැම එකාම රිංගන්නේ ගූගල් දෙයියා කියාගෙනය. කොටින්ම ඉස්සර ගෙදරක ඉගෙන ගන්නා ලමයෙක් සිටින්නේ නම් ඒ ගෙදර තඩි ඩික්ෂනරියක් තිබෙන්නේය. දැන් එහෙම නැතිය. දැන් කෙලින්ම වචනය ගසන්නේ සර්ච් බාර් එකේය. එවිට එහි තේරුම ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් වුවද ගත හැකිය. අපේ ගෙදර නම් තඩි ඩික්ෂනරියක් තිබුණේ නැතිය. ඒ වෙනුවට තිබුණේ අපේ අයියාට කෙහෙන් හෝ තෑගි ලැබුණු හෝ මිලදී ගත් ඉංගිරිසි ඉංගිරිසි ඔක්ස්ෆර්ඩ් ඩික් (dick) එකක්ය. එහි ඉංගිරිසියෙන්ම තේරුම ඇති නිසා සැමාට පාසල් යන කාලයේ සමාන වචන ලිවීවේ කාර්යය අමාරු වූයේ නැතිය. මන්ද එම ඩික් එකෙන් වචනයක් බැලූ විට එයට සමාන වචනයක් අනිවාර්යයෙන් සොයා ගත හැකි නිසාය. දැන් ප්‍රශ්නය ඇත්තේ ඩික් එකේ නෙවේය. ගුගල් එකේය. සහ අපේ එවුන් සෙක්ස් වචනය සර්ච් කරන නිසාය. ඉස්සර ඩික් එකෙන් වචන සෙව්වද අපේ උන් ඉගෙන ගත් දෙයක් නැතිය. එසේම සෙක්ස් සර්ච් කළද අපේ එවුන් ඉගෙන ගත් දෙයක් ඇත්තේ නැතිය. අහවල් එකක් උලුප්පාගෙන ආතල් ගන්නවා මිසක සෙකස් තුල ලබන්නට ඇති අධ්‍යාපය ලැබූ එකෙක් නැතිය.



ගෙදර ඉන්න ස්ත්‍රිය හෝ පුරුෂයා සතුටු කරන්නට බැරි තැනක සිට ගම පුරා රට පුරා ආතල් බෙදන්නට තරම් අපේ එවුන් දක්ෂය. ගූගල් හි හිට්ස් ගසා, ඉගෙන ගත් දෙයක් තිබුණා නම් ගෙදර මිනිහා හෝ ගැහැණිය පිට යන්නට බැරිය. ලබා ගත යුතු තෘප්තිය නිවසේ බිත්ති අතරක රැදෙනවා මිසක අල්ලපු ගෙදර එකාට හෝ එකීට සත්කාර කරන්නට යන මට්ටමකට අපේ සමාජය පත් වන්නේ නැතිය. විද්‍යාව ගැන දන්නා එකා විද්‍යාවේ ආරම්භය ගැන සොයන්නට ගුගල් භාවිත කරන්නේ නැතිය. එහෙම කරනවා නම් උගේ ඩේටා අපරාදේය. ඌට අනිවාර්යයෙන් පිස්සු විය යුතුය. එසේම සෙක්ස් සර්ච් කොට වැල අදින එකා හැමදාම වැල ඇද ඇද සිටිනවා නම් උගේ ඩේටා අපරාදේය. ඌ උන්මත්තකයෙක්ය. වැල ගැන දන්නා එකා ගස ගැස සොයා බැලිය යුතුය. ගස සේම ගසේ හට ගන්නා මල් ගෙඩි ආදිය පිළිබඳව සොයා බැලිය යුතුය. එසේ නම් එවන් අය වැල නවතා වැල අලංකාරමත් කරන විදිහ, වැල සාර්ථකව රැක බලා ගන්නා විදිහ සොයා ගත යුතුය. කොටින්ම කිවතොත් සංසර්ගයේ විවිධ ක්‍රම සොයා ගත යුතුය. එහිදී උක්ත වචනයම යොදගෙන ගූගල් දෙයියා කෝප කර ගත යුතු නැතිය.

කොච්චර වැඩ දමා සර්ච් කළද අපේ එවුන් එතැනමය. ඉඳගත් තැනම ඉඳගෙන වැලම අදින්නෝය. ඔවුන් හැමදාම ගස් ඉරා දමන්නේ බිම පෙරලලාය. වෙනත් විදිහක් සොයා නොබලන්නෝය. එසේ වෙනසක් කළා නම් අපචාර අඩු වන්නේය. විවාහ දිවිය නීරස නොවන්නේය. බිම පෙරලා අහස දෙස බලාසිටින ගස උඩින් පහත් වී කියත් පටිය උඩ පහළ අදිනවා මිසක වෙනත් කරන්නට දෙයක් ඇති බවක් ඔවුන්ට සොයා ගත නොහැකි වූයේ අධ්‍යාපන මට්ටමේ අඩු කම නිසාද නැතිනම් දකින දේ විදිනවා මිසක දෙයක් මනසට අතුල් කර ගන්නට ඇති නොහැකියාව දැයි කවුරුත් නොදන්නේය. දවසකට දහස් වර සර්ච් කළ දෙයින් එක පොසිෂන් එකක් වත් සොයා ගත්තා නම් ගෙදර කාන්තාව සතුටින්ය. ඇය සීනි තේ කොළ ගන්නට එහා ගෙදරට දුවන්නේ නැතිය. කඩේ මුදලාලි ලග දනින් වැටෙන්නේ නැතිය. එසේම පිරිමිය නිවාඩු දිනවල වැඩට යන්නේද නැතිය. වෙලාවට ගෙදරට එන්නේය. දරුවන්, දැරියන් දෙමාපිය සෙනෙහස ලැබ, ඔවුන් අතර පවතිනා ආදරය දැක සතුටින් ඉපිලෙන්නෝය. එසේම තම තමන්ගේ ඉගෙනීමේ කටයුතු සතුටින් කරන්නෝය. වෙනත් පිරිස් තම දෙමාපින්ගේ වැරදි කියනු අසන්නට නොලැබෙන නිසා ලැජ්ජා නැතිව පාරක බැස යන්නෝය.

අවුල ඇත්තේ සර්ච් කිරීමේ නොව, සර්ච් කොට උගත් දෙයක් නැතිවීමය. බලනා දෙයින් දැනුමක් ලබා ගත්තා නම් අතෘප්තිකර විවාහ ජීවිතයන් අවම විය යුතුය. සැප අඩු වී එකිනෙකා පස්සේ යෑම් අවම විය යුතුය. එසේ අවම නොවන්නේ නම් ගූගල් එකේ අහවල් දේවල් සර්ච් කිරීමෙන් අප පළමු තැන දිනාගෙන වැඩක් නැතිය. රෑන්ක් එක ගත්ත එකත් අපරාදේය. හරියට විභාගෙ ලියා ෆේල් වීම වගේය. එහෙත් විභාගය නොලියා ඇබ්සන්ට් දමා ගන්නා උන් ආඩම්බරයෙන් සිටින්නේ ලියුවේ නැති වුණත් ෆේල් නැති නිසාය. උන් කියන්නේ අපි ලිව්වා නම් පාස් කියාය. එලෙසම සෙක්ස් සර්ච් කොට උගත් දෙයක් නැතිනම්, රෑන්ක් දමනවාට වඩා හොඳ සරච් කරන්නට වෙනත් කී-වර්ඩ් සොයා ගැනීමය. මුදියා බුකියේ කියා සිටි පරිදි ඒවා සිංහලෙන් ටයිප් කළ හැකිය. “වැඩිහිටියන්ට පමණයි“ “නිල් චිත්‍රපට“ “වැල සයිට්“ “නරක ඒවා“ ආදී ලෙස ටයිප් කොට සර්ච් කිරීමෙන් අපට වන අපකීර්තිය අවම කළ හැකිය. එලෙසම ගුගල් සමාගම අපව දිගින් දිගටම චාටර් කරනවා නම් අපේ එවුන්ට කළ හැක්කේ වෙනත් සර්ච් ඇන්ජින් යොදා ගැනීමය. එසේත් නැති නම් කළ යුත්තේ මා මෙන්ම සියළු වැදගත් සයිට් බුක් මාර්ක් කර ගැනීමය. එය වඩාත් ඉක්මන් ක්‍රමයක්ය.

මෙය ලිවීමෙන් උලුප්පා පෙන්නූයේ අප පළමු තැන ගත් එක සාධාරණීකරණය කිරීම නොව, ලිංගික ජීවිතයේ අධ්‍යාත්මිකත්වය, සහ සාර්ථකත්වය ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමය. බහුතරයක් විවාහ ජීවිත අඩාලවී ඇත්තේ ලිංගික කාර්යයේ අඩුලුහුඩු කම් නිසා බව මතක තබා ගත යුතුය.

Written_by_sAm_ශ්‍රී_Perera_10:04_pm_26/12/13

Tuesday, December 24, 2013

ස්තූති සැමට !!


දහසකුත් එකක් වැඩ තියෙද්දි එදා මම උදේම නැගිට්ටෙ අපේ එවුන් සෙට් වෙන්න කාලාන්තරයක් මාන බලපු නිසා. උන් සැට් එකටම එකම තැනක, මහ මුහුද අයිනේ, හුලං පාරක් වැදි වැදි බීච් පාටියක් කියල නමකුත් දාගෙන, සොදුරු ආතල් එකක් ගන්න සැරසෙද්දි මම කෝමද ගෙදරට වෙලා ඉන්නෙ. අවුරුදු පහක් ලව් කරල, හැම බාධකයම අහක් කොරල මඟුලක් ගත්ත කියල මට පුලුවන්ද අමතක කරන්න, ඒ සුන්දර බ්ලොග් ලෝකය. කලින්ම හිතන් හිටියෙ ඇත්තටම මට එන්න බැරි වෙයි කියල. ඒ නිසයි මම පෝරමය පවා පිරෙව්වෙ නැත්තෙ. ඒත් උදේම පවුල මාව ඇහැරවල, අද උයන්න පොල් ටිකක් ගාන්න කියල කියද්දි, අද අපි ගෙවල් අස් කරමු කියල කියද්දි, රෙදි කන්දක් හෝදන්න තියෙනව කියල කියද්දි, මම කෝමද උඹලව අමතක කරල පැත්තකට වෙන්නෙ. මම එයාට පස්සෙ, ගෙදරට පස්සෙ, පිලිවෙලට ලිස්ට් එකක් හැදුවම, තුන්වෙනි තැනට වගේ ආදරේ කළේ මේ බ්ලොග් පිටුවට, ඊට පස්සෙ සයිබර් ලෝකෙට. 

ඉස්සර තනිකඩව ඉන්න කාලෙ, මේ වගෙ ඉවෙන්ට් වලට ගියාම, කොල්ලො කෙල්ලො මැද්ද මුණ ගැසුන අංකල්ලා, ඇන්ටිල දැක්කම මට වෙලාවකට හිතුන යකෝ මුන්ට වැඩ නැද්ද කියලත්. වගකීම් බහුල වයසක උන්දැලෑ ඉවෙන්ට් වලට ඇවිත් කොල්ලො කෙල්ලො එක්ක අහවල් ලබ්බක් කරනවද කියල මම කල්පනා කළා. ඒත් මේ වගේ ආතල් මිස් කරන්න හොඳ නැති බවත්, ආතල් වලට වයස බාධාවක් නොවන බවත්, එදා බීච් පාටියට සෙට් වුණ මට පැහැදිලි වුණා. අනික පවුලගෙන්, හස්බන්ඩාගෙන්, නිදහස් වෙලා දවසක් හරි ගත කරන්න ඔවුන් ඒ වගේ ඉවෙන්ට් වලට එන්න ඇති කියලත් මට පැහැදිලි වූණා. හරිම සොදුරු දවසක්, මුහුදු හුලං වැදි වැදි, මධුවිත ඩිංගිත්තක් තොල ගාල, අපේ එවුන් එක්ක පිස්සු කෙලින්න අපිට මේ අවස්ථාව ලබා දුන්න සංවිධායක මණ්ඩලයට මම ස්තූති කරන්න කැමතී. මාව සංවිධායක මණ්ඩලයට තෝරගෙන තියෙද්දිත්, මම කිසිම සහයෝගයක් දෙන්න බැහැ කියල පැත්තකට වුණේ, ඇත්තටම මම ඒ දවස් වල කාර්යය බහුල වුණ හින්ද. වෙඩිමක් ගන්නව කියන එක ලේසි නැහැ කියල මට තේරුණේ බැන්දට පස්සෙ. එදා මම හිතා ගත්ත ආයෙමත් බඳින්නෙ නැහැ කියල. එහෙම හේතු නිසා උදව් කරන්න බැරි වුණ නිසා තමා එදා මම බීච් පාටි එකට සෙට්වුණේ ෆන් එකක් අරන් යන්න.

පවුල එදා නැගිට්ට හැටියෙ අරක මේක කියල කරන්න තියෙන වැඩ ලිස්ට් එක කියද්දි මට මතක් වුණා අපේ බීච් පාටි එක. මම එයාට කිව්වා අපේ බීච් පාටි එක තියෙන්නෙ අද කියල. ඇත්තටම එයා මට බැන්න ඇයි ඉතිං යන්නෙ නැත්තෙ කියල. මම කිව්වා කොහොම යන්නද අද අපේ පලවෙනි සති අන්තය නිසා වැඩ ටික ඉවර කර ගන්න ඕනෙ නේද කියල. එයා මට දොස් කිව්වා. දැන් කට්ටිය හිතයි මම ඔයාට යන්න එපා කිව්ව කියල, ඒ නිසා පොඩ්ඩකට හරි ගිහින් එමු කියල. ඒත් මම එයාට තේරුම් කරල දුන්න, මම ෆෝරම් එක පිරෙව්වෙත් නැත්තෙ කලින්ම යන්නෙ නැතුව ඉන්න බලාපොරොත්තුවෙන් කියල. ඒත් මට එදා එන්නම වුණා. 

ගෙදරට ආව විතරයි ගෙවල් අස්පස් කරලත් නැති නිසා මම කිටීගෙන් ඇහුව මම මොකක්ද ඇඳගෙන යන්නෙ කියල. මේකටම කියල අලුත් ෂෝටක්, ෂර්ට් එකක් නැති තැන අපි දෙන්න මහන්සි වෙලා ගෙවල් පෙරලගෙන හෙව්වා ගැලපෙන ඇඳුමක්. ඒත් බැන්ඳ අලුත පිලිවෙලකට යන්න ඕනෙ නිසාත්, අලුත් එකක්ම තිබ්බ නම් හොඳයි කියල තමා අපේ එක්කෙනා කිව්වෙ. අපි දහ අතේ කල්පනා කළා. බැරිම තැන හෝම් කමින් එකට ඇඳපු කිට් එක දාගෙන මම පාරට බැස්ස. මහ මඟ හම්බෙච්ච හැම එක්කෙනෙක්ම මගෙ දිහා මහ අමුතු විදිහට බැලුවා. හරියට බඩගින්නට තම ස්වාමිය ගිල්ල ඇනකොන්ඩි දිහා මුළු රටම බලන් හිටිය වගේ. මට අඳින්න එකක් තිබ්බෙ නැහැ කියලත්, ඒ දුක දන්නෙත් මම නිසා මම ගාණක් නැතුව බීච් පාටියට ඇන්ටර් වුණා. ජො ජෝගේ පොට් එකට ඇතුළු වුණ තැන ඉදන් වෙනම ලෝකයක්. දැකල තිබ්බ උන්, කලින් ඉදන් දන්න උන්, අලුත් මූණු, බුකයෙ චැට් කරපු උන්, බ්ලොග් වල සැට් වූන එවුන් ඔක්කොම එක තැනක. ඒ වගේම හෙන්රියා දකින්න ලැබුණට කතා කරන්න බැරි වෙච්ච එක මට මාර අවුලක් වුණා. මොකද හෙන්රියා අපේ පැත්තෙ පොරක් වුණ නිසා. මගේ කිට් එකට අපේ එවුන් මට මාර කමෙන්ට් තොගයක් දුන්නා. බීච් පාටි සංකල්පයට මම අලුත් අරුතක් එක් කළා කියල හැමෝම මාව ඉස්සරහට ගත්තා. එවලේ මට දැනුණු සතුට මුහුදු රැල්ලෙන් ආපු හිරිකිඩත් එක්ක මුසුවෙලා මාව කිලිපොලා ගියා.

ගමේ ගොඩේ කොල්ලෝ එක්ක සැට් වෙලා කිරිකොට ගහපු අපිට ඇද වෙච්ච බෝලයක් දීල සෙල්ලම් කරන්න කියපු එවුන්ට නම් හොඳක් වෙන්න එපා කියල මම කියනවා. ඒ වගේම අලුත් අලුත් ගේම් අයිටම් ටිකක් තිබ්බ නිසා වැඩේ තවත් ආතල් වුණා. තරඟ අලුත් නිසා අපේ එවුන් අලුත් නීති පවා එක්කරගෙන තරඟයට සාර්ථකව මුහුණ දුන්න කියල තමා මට හිතෙන්නෙ. 

හැමදාමත් වගේ ඕනෙම ඉවෙන්ට් එකකට පස්සෙ පොටෝ කන්දරාවක් වැටෙනවා. ඒ හැම පොටෝ එකක්ම මගේ ලැප් එකේ බ්ලොග් කියල ෆෝල්ඩර් එකකට තැන්පත් කර ගන්න තරම් මම ආසයි. මේ පාරත් මහා පොටෝ ගොන්නක් මගේ මැසිමෙ තැන්පත් කරගෙන තියෙනවා. මඩ පොටෝ සංකල්පය මත මට එකෙක් හරි මඩ ගහල තිබ්බොත් මේ පාර නම් අතාරින්නෙ නැහැ. ගියපාර මගෙ සපත්තු දෙකේ ඉදන් අපේ එවුන් මට කලේ ද්‍රෝහි කම්. මේ පාර නම් මඩ පොටෝ පාරක් ගියොත් මාත් දෙනවා සුපිරි ආතල් එකක්. ඇයි යකෝ මඩ කියල ඔහොමත් කන්න පුලුවන්ද?

සියළු කටයුතු මැද, සියළු බ්ලොග්කරුවන් එකම තැනකට එක්කොට සුන්දර දවසක් අපට උදා කරලන්නට මහන්සි වූ සැමට ස්තූති... !!

ජය වේවා !!

 කවදත් වගේ අපි හැමෝම ආස කරන ගෘප් පොටෝව මෙන්න.


Thursday, December 12, 2013

ජපන් කොඩිය දමා දින පහක ටෙස්ට් මැච් එකක් - Test Match Under Japan Flag !!!


ආදී ජපන්නු තම රට වෙනුවෙන් ජාතික නිර්මාණය කිරීමට වෙහෙසුනෝය. කොඩියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පිරිමින්ට වඩා එදා තිබුනේ ගැහැණුන්ටය. ඔවුන් කීවේ තම රට වෙනුවෙන් යම් නිර්මාණයක් කිරීමේ අයිතිය ඇත්තේ කාන්තාවන්ට බවය. ලොවට දරුවන් දායාද කරන්නා සේම, තම රට වෙනුවෙන් කොඩිය නිර්මාණය කිරීමේ වගකීමද ඇත්තේ කාන්තාවන්ට බව පිරිමින් සිතා ගත්තෝය. එසේම දරුවන් බිහි කිරීමේ කාර්යයේ නියැලෙන්නා සේම, නිවැරදි ලිංගික දිවි පෙවතක් ඇති කර ගැනීමේ වගකීම ඇත්තේද ජපන් කාන්තාවට බව පිරිමින් විශ්වාස කළෝය. මහ සයුරේ නැව් ගියද මාර්ගය කොහේවත් සටහන් නොවන්නා සේම, පිරිමින් ගිය පාරවල් කොහේවත් සටහන් නොවන්නේය. කාන්තාවන් ගමන් කළ මාර්ග ගල පිට ඇදි ඉරක්සේ සටහන් වන්නේය. පිරිමින් ගිය මාර්ග වැල්ලේ ඇඳි සටහන් සේ රැල්ලට මැකී යන්නේය. එලෙසම ජපන් කොඩිය නිර්මාණය කිරීමේ වගකීම කාන්තාවන්ට පැවරෙන්නේ කුඩා සමයේ සිටය. තමන් යහපත් දිවියක් ගෙවන්නේ නම්, මල නොතලා බඹරුන්ට රොන් ගන්නට දී ඇත්තේ නම්, ජපන් කොඩිය නොමිලේම නිර්මාණය වන්නේය.

ජපන් කොඩිය නිර්මාණය කිරීමේ ලා සිද්ධියේදී එරට කාන්තාවෝ විවිධ අදහස් ඉදිරිපත් කළෝය. සමහරෙක් කිව්වේ සතෙකුගේ රුවක් යොදා ගත යුතු බවක්ය. ජපන්නු කුඩා මිනිසුන් නිසා තඩි මීයෙකුගේ රූපයක් යෙදීම සුදුසු යැයි කාන්තාවෝ කීවෝය. එහෙත් එදා මීයා නම් කරදර කාරී සතෙක් වුවද අද කාලේ කොම්පීතරයකට ගසන මීයා මිනිසාගේ මිතුරෙකු ලෙස සෑම අතකටම හසු වී මිරිකෙන නිසා එය රටට කරන අපකීර්තියක් ලෙස සිතා මීයා ඉවත් කළෝය. ඉන්පසුව ඉදිරපත් වන අදහස් වැඩි නිසා එරට කාන්තා සංවිධාන ඉදිරිපත් වී ජපන් කොඩිය නිර්මාණය කිරීමට වෙනම කමිටුවක් පත් කළෝය. ඒ සඳහා යොදා ගත්තේ අවිවාහක තරුණියන් පස් දෙනෙක්ය. පස් දෙනාටම පැවරුණු රාජකාරිය නම් ඉදිරි සතිය ඇතුලත විවාපත් වී, විවාහ දිවිය මාසයක් පමණ ගත කොට එයින ලැබෙන ආභාෂයෙන් කාන්තාව, මිනිසා, අනෝන්‍ය අවබෝධය, සුරක්ෂිතතාවය, පිරිසිදුභාවය යන කරුණු කැටි වූ කොඩියක් නිර්මාණය කිරීමය. ඒ අනුව පස් දෙනාම එකම දිනයකදී විවාපත් වූවෝය.

විවාපත් වූ අවිවාහක තරුණියන් පස් දෙනාගේම අදහස් මාසයක් අවසන එකම මේසයක් මතට ගෙන එන ලදී එහිදී එකම එක කාන්තාවක් පමණක් සුදු කඩදහියක් මැද රතුපාටින් වෘත්තයක් ඇඳගෙන ඇවිත් සිටියායා. අනිත් අය නොයෙකුත් යෝජනාවන් ලියාගෙන පැමිණ සිටියෝය. ඒ අතරින් සුදු කඩදහිය මැද රතු වෘත්තය සටහන් කරගෙන ආ කාන්තාවගෙන් ඇසූ ප්‍රශ්නවලදී ඇය කියා සිටියේ තමන් පළමු රැයේදී දුටු එකම සිද්ධිය මෙය බවයි. එය කාන්තාවන් වෙනුවෙන් තමන් ජපන් කොඩියට ආදේශ කිරීමට කැමති බව ඇය කියා සිටියාය. එහෙත් අනිත් කාන්තාවෝ හතර දෙනාම එම සංකේතයට විරුද්ධ නොවූයේ පළමු කාන්තාව කියූ අදහසට කැමැත්ත පළ කරමින්ය. ඉතිරි කාන්තාවන් දෙදෙනෙකු උක්ත කාර්යයේ මීට පෙර යෙදී නැති වුවත්, ඔවුනට එය සංකේතයක් ලෙස යොදා ගන්නට අමතක වී තිබුනේය. එය උපතින්ම හෝ යම් කිසි ක්‍රමයකින් තමන්ට අත හැරී තිබුණේය. අනිත් කාන්තාවන් දෙදෙනා පෙර සිටම ජපන් කොඩිය දමා තිබුණෝය.

කොඩිය තිබුණත් නැතත් මැච් එකක් ඕගනයිස් කළේ නම් එය ගැසිය යුතුමය. නැතිනම් ප්‍රේක්ෂකයෝ ගල් ගසන බව සැබෑය. මැච් එකට එන ප්‍රේක්ෂකයෝ සිටින්නේ උන්මාදයෙන්ය. එහි එන්නේ මැච් එකේ උණුසුම විදින්නටය. ෂොට් එකක් දමා චියර් කරන්නටය. කවමදාකවත් ජපානය කිරිකොට් ගසනවා මා දැක නැතිය. එහෙත් මෙතැන් සිට ජපානය සමඟ කිරිකොට් මැච් එකක් ගසන්නට සෑමා පිටියට පිවිසෙන්නේය. කොඩිය නම් ෂුවර්ය. පිටියේ පන්දුව දෝලනය වේදැයි, සැක සහිතය. අනික දින පහක් තිස්සේ ඉනිම් දෙකක් ක්‍රීඩා කළ යුතු නිසා සෙමින් ලකුණු රැස් කිරීම නුවනට හුරුය.

ඉස්සර සනා සහ කළුවා ග්‍රවුන්ඩ් එකට එද්දී අපි ටීවී එක දෙස ඇස් උලුක් කොටගෙන බලා සිටින්නෝය. ඒ උන් දෙන්නා අවුට් වේදැයි, හොදට සෙල්ලම් කරයිදැයි බියෙන්ය. විටෙක උන් හයේ ඒවා ගසද්දීද අපි කෑ ගසන්නේ වැඩිය ගහන්නට ගොස් අවුට් වන්නට එපා කියාය. කළුවා කෙසේ වෙතත් සනා නම් තවමත් නොට්අවුට් ගසන්නේය. පැල් බැඳගෙන ගසන්නේය. චියර් එකට එන්නේ කාන්තාවෝ පමණක්ය. එසේ නම් සෑමා අද පිටියට බසින්නේය. චියර් එකට වැඩි සද්දෙට කෑ ගැසිය යුතු නැත්තේය. ටෙස්ට් මැච් එකක් නිසා සුද්දෝ කිරිකොට් මැච් බලන්නාක් මෙන් දැහැමෙන් සෙමින් විඳිය යුතුය.

අපි ගියෝ...

Written by sAm_ශ්‍රී_Perera_9:51am_11/12/13

පල්ලියේ මංගල්‍යය - Church Wedding !!!




ඉස්කෝලෙ යන කාලයේ මම අකැමැතිම දේවල් කිහිපයක් තිබුණේය. ඒ මා පොඩි කාලේ යැයි සිතිය හැකිය. දැන් වුවත් මහා ලොකුවක් නැතිය. ඒත් ඒ කාලයේ මා දෙමළ පුවත් විකාශය වීම අසා සිටීමට අප්පිරියාවකින් යුක්ත වූවෙක්ය. ඒ කාලේ බෝම්බයක් පුපුරන විට ටීවී එක දාගෙන දෙමල, ඉංගිරිසි සහ සිංහල පුවත් හැම එකම බැලීම සිරිතක්ය. රූපවාහිනී නාලිකාව ආරම්භවන කූං සද්දය සහ ඒ රූප සටහන මට තාමත් මතකය. එදා දෙමළ පුවත් ඇසෙන විට මට කේන්ති යන්නේය. එසේම වමනය හෝ ඔක්කාරයට හෝ එන්නේ කුමන හේතුවක් නිසාදැයි මා නොදන්නේය. එසේම ඒ කාලයේ මට පල්ලි පේන්නට බැරිය. පල්ලි දුටු විටක සිතට නැගෙන්නේ අමුතුම ගුප්ත හැගීමක්ය. හොල්මන් ෆිල්ම් එකක් ඇතුලේ සිටින්නෙකු මෙන් මා සිත බියෙන් වෙලෙන්නේ පල්ලි, කෝවිල්, ආදිය දුටු විටය. එසේම මහත කෙල්ලන් පවා මට පාසල් සමයේ පෙන්නන්නට බැරිය. ට්‍රේලර් බයික් ස්ටාර්ට් කරන හඬ, පවා මා අසා සිටීමට අකැමැතිය. ඒවා සියල්ල ගුප්තය. බිය උපදවන සුළුය. තව දුරටත් මතක් කරන විට මා හට වියන් ඇඳන් පවා දුටු විට සිහිවන්නේ සිංහල හොල්මන් නාට්‍යයන්ය.

එදා මා අකැමැති වූ පල්ලියක අද විවාපත් වන්නේය. සෑම ආගමකින්ම උගන්වන්නේ හැදිච්ච කමක් බව මට හැගෙන්නේය. බුද්ධ ධර්මයේ ඇති නිරවද්‍ය බව, ගැඹුරු බව, සදාතනික ප්‍රායෝගික බව, දහම් අධ්‍යාපනයෙන් උගත් මට පල්ලිය යනු තවත් ගරු කළ යුතු ආගමික ස්ථානයක්ය. කතෝලිකයන් තම ධර්මයට අනුව යම් කිසි නිවැරදි මඟකට එන්නේ නම් එය සමාජයට හොඳක් මිස නරකක් නොවේය. සෑම ආගමක්ම අනුව මිනිසුන් ධාර්මික වන්නේ නම්, ආගම වැඩක් නැතිය. සමාජයට අවශ්‍ය එවන් අධ්‍යාත්මික හැගීමක් ඇති මිනිසුන්ය. 

විවාහයට පෙර කතෝලික පල්ලියෙන් ලබා දෙන පෝය පන්තිය, හෙවත් විවාපත් වන්නට ඉන්නවුන්ට ලබා දෙන ලෞකික දැනුම ඉතා අගනා බව මට හැඟුනේ එම පන්තියට සහභාගී වූ නිසාය. ලිංගික ජීවිතය, කෘතිම උපත් පාලන ක්‍රම අවම කොට, ස්භාවික උපත් පාලන ක්‍රම භාවිතය, ගබ්සාව හෙළා දැකීම, පවුල් ප්‍රශ්න, එකිනෙකා අවබෝධ කර ගැනීම සහ නැන්දම්මා ලේලි ගැටළු නිරාකරණය වැනි වටිනා කරුණු රැසක් මේ අතර වූයේය. ඒ සියල්ල මා අදහන බෞද්ධ ධර්මය අනුව සිතට ගෙන, ජීවිතයට කරුණු එක් කර ගැනීමට වඩාත් රුකුලක් වූයේය. මේ සියළු කරුණු වඩාත් වටිනා බව තහවුරු කරන්නට අපේ මාමාගේ පුතා මා හට එක් සාක්ෂියක් වූයේය. එදා අප ජෝෂප් විද්‍යාලයට ගියේ එහි සිටින පූජකතුමා හමුව ඔහුට පල්ලියේ පූජාව සඳහා ආරාධනා කිරීමටය. මා මීට පෙර හමූ වී ඇති නිසාත්, කලින් සිට හඳුනන නිසාත් අපට එදා අමුතු දිනයක් නොවුනේය. නමුත් අප සමඟ ගිය මාගේ මාමාගේ පුතාට නම් එදින පවුල් ජීවිතයට අදාල කරුණු පූජකතුමා කතා කරද්දී එහි වැඳගත්කම වැටහී තිබුණේය. එළියට පැමිණ ඔහු කීවේ “ඇයි බං අපේ පන්සලෙන් මෙහෙම දේවල් කියල දෙන්නෙ නැත්තේ..“ කියාය. කතාව ඇත්තය එහෙත් බුද්ධ ධර්මයේ සඳහන්ව ඇති සැමියාගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම්, බිරිඳගේ යුතුකම්, අසල්වැසියන්ගේ යුතුකම්, පිළිබඳව කියවා බැලීමෙන් ලෝකෝත්තර ජීවිතයට මෙන්ම ලෞකික ජීවිතයටද බුදුරජානන්වහන්සේ ධර්ම දේශනා කොට ඇති බවට වැටහෙන්නේය. එකම වරද නම් ඒවා අද සමාජයට ඉස්මතු කොට පෙන්වා දීමට තරම් ශාසනික සේවාවක් නොකෙරෙන එකය.

පල්ලියේ විවාහය සහ පූජාව පවත්වන්නට ගිය විට එහි සිට ප්‍රධාන පූජක තෙමේ කියූ වචන කිහිපය මා ඔහු කෙරේ සහ කතෝලික ආගම කෙරේ අප්‍රියතාවයක් ඇති කරවන්නට සමත් වූයේය. එහෙත් ඒ සියල්ල අමතක කරන්නට මා ධාර්මික වුණෙමි. පල්ලිය ඇති පරිසරයක, කතෝලික ආගමනුකූලව හැදී වැඩුණු ඇයට පල්ලියේ විවාහය ගැනීම එකම ආශාව වූයේය. බෞද්ධ කාන්තා පාසලක සිප් හැදෑරුවද, උප්පැන්න සහතිකයට සහ කුඩා කළ සිට ලද ආභාෂය අනුව ඇය කතෝලිකය. පල්ලිය වෙනුවෙන් අප්‍රමාණ කැප කිරීම් කොට පූජක තෙමේ ඇසූ එක ප්‍රශ්නයකට මා ‘ඇත්ත‘ කියූ නිසා හෙතෙම පල්ලියේ විවාහය ගැනීම අවලංගු කරන්නට තැත් කළේය. විවාහයෙන් පසු ලැබෙන දරුවන් කතෝලික කරනවා දැයි ඇසූ විට මා “නැත“ කීවේ අප මුල සිටම කතා කරගත්, එකඟ කරගත් ආකරයෙන්ය. එසේ ඇත්ත කීම නිසා පූජක තෙමේ කීවේ දරුවන් ආගමට නොදෙන්නේ නම් කතෝලික විවාහයට පල්ලියේ අවසරයක් නොමැති බවය. මා කියා සිටියේ මෙයා පල්ලිය වෙනුවෙන් වැඩ කළේ මෙහෙම උත්තරයක් බලාපොරෙත්තුවෙන් නොවන බවය. පූජක තෙමේ කියා සිටියේ “පුතා ඔයාලට බුද්ධාගමේ අය ගොඩක් ඉන්නවා, අපිට අපේ ගොඩ අඩුවෙන එකයි වෙන්නේ“ කියාය. මට එවිට ඇති වූයේ මහත් පිළිකුලක්ය. ගොඩ වැඩි කර ගන්නවාට වඩා, සමාජයට කොයි ආගමකින් හෝ නිවැරදි වැඩ දායී මිනිසෙකු බිහි වීම ප්‍රමාණවත් බව සිතන්නට තරම් ආගමික පූජකවරු අන්ධ වීම, පක්ෂ දේශපාලනයෙන් ඇස් අන්ධ වීමට වඩා දරුණු රෝගයක් බව මට වැටහුණේ එවිටය.

සිදුවූ සියල්ල අමතක කොට නැවත ගොස් පූජකවරයාගෙන් අවසර ගන්නට තරම් සෑමා කටයුතු කළේ ඇය පල්ලියෙන් ලැබිය යුතු දේ ඇයට ලබා දීමටය. නැතිනම් නැවත වරක් ඒ වචන පෙළ අසා ගන්නට බලාපොරොත්තුවෙන් මා ඔහු අසලට යන්නේ නැත. එහිදී මා උගත් තවත් දෙයක් නම් ඔවුන් තරුණ සමිති, සංවිධාන පවා සංවිධානය කරන්නේ අන්‍යාගමීකයන් සමඟ විවාපත් වීම සීමා කිරීමටය. එය පූජකතුමන්ගේ මුවින්ම පිට වූයේය. එවන් සංගමයන් නිසා එහි සිටින කෙල්ලන්, කොල්ලන් විවාපත් වූ හැටිද ඔහු මතක් කර සිටියේ ඉතා සතුටින්ය. මා දහම් පාසල් යන කාලයේ  අප තරුණ සමිති මඟින් සිදු කළ ප්‍රජා සේවා, සහ අප එයින් ලැබූ පන්නරයන්, කැපවී කටයුතු කිරීම් ආදිය අසලකින්වත් එහෙව් හැගීමක් අප තුල නොතිබුණේය. එහෙම දර්ශනයක් අපට දීමට වත් අපට ඉහලින් සිටි හිමිවරු, ගුරුවරු කටයුතු නොකළ බව මට මතකය. එහෙම වූවා නම් අද මා මේ පල්ලියේ විවාපත් නොවන්නේය. ඒ අතින් බලන විට ඇයද මා සමඟ නොඑනවා ඇත. අද කෙටි පූජාවක් වෙනුවට දිගු පූජාවක් ඇය වෙනුවෙන් පල්ලියේ පැවැත්වෙනවා ඇත. එහෙත් එදා පුජකයන් කියා සිටියේ ඔවුන් තරුණ සමිතිය පිහිටුවන්නට පෙර ඇය මා සමඟ හාද වී සිටි බවක්ය.

ඒ සියල්ල මිහිරි හා අමිහිරි බව එක්වූ මතකයන්ය. ඇගේ අම්මාගේ නංගී හෙවත් පුංචී සහ බාප්පාද මිශ්‍ර විවාහයක් සහිත අයය. බාප්පා බෞද්ධ වන අතර පුංචී කතෝලිකය. එදා පල්ලියෙන් අවසර නොදුන් අවස්ථාවේ බාප්පා මට කියා සිටියේ “පුතා මටත් වුණා ඔහොම දෙයක්, මම ෆාදර්ට කියල දීල ආවේ.. “ කියාය. නැවත අවසර ගැන්මට පල්ලියට ගිය අවස්ථාවේ මම පූජකතුමාට කියා සිටියේ දරුවන් ආගමට දෙනවා යැයි බොරු කියා, එසේ නොකර සිටීමට වඩා එක වර ඇත්ත කීම ඔබතුමාට වටින්නේ නැද්ද කියාය. ඔහු එය අගය කරන බව කීවේය.

එදා මා ගුප්ත යැයි සිතූ, යටි සිතට බියක් රැදවූ පල්ලිය පිළිබඳව යහපත් සිතුවිල්ලක් මවා, මා මෙහි රැගෙන ඒමෙන්, ආදරයට කළ නොහැකි දේ නොමැති බව මා අද වටහා ගත්තෙමි. එදා පෝය පන්තියේදී කියා දුන්නේද දෙදෙනෙකු යාළු වූ අළුත වෙනදා නොකරන දේද කරනා බවක්ය. වෙනදා නොකෑ කෑම ඇය වෙනුවෙන් කන්නේය. බැන්දාට පසුව පිස්සුද හලෝ මේව කවුද කන්නේ කියා අසන්නේය. ඒ ආදරය වෙනුවෙන් කරන දෑ පමණක්ය. නොවෙනස්ව ආදරය තිබෙන්නේ නම් සදාතනිකව එකම විදිහට රැදෙන්නේය. එදා ප්‍රගීත් පියතුමා කියා සිටියේ ආච්චිගේ බිබික්කම් කතාවක්ය. ආච්චි සීයා සමඟ යාළු වූ අලුත සීයාට බිබික්කමක් දී ඇත්තේය. එය ගෙදර තිබූ එකක්ය. සීයා එය කෑමෙන් පසු ආච්චීට කියා ඇත්තේ අනේ මම ආසම කෑමක් කියාය. ඉන්පසු බොහෝ කළක් ගොස් මුණුබුරා සීයාගෙන් අසන්නේ දෙදෙනාගේ ආදරය තවමත් නොසැලී තිබෙන්නේ කෙසේද කියාය. සීයා එය තම ආච්චීගෙන් අසන ලෙස මුණුබුරාට කියන්නේය. ආච්චී කියන්නේ “අනේ මන්ද පුතේ සීය සෙට් වුණ මුල්ම දවසෙ මම ගෙදර තිබ්බ බිබික්කමක් දුන්න. සීය හිතුවෙ මම හදපු එකක් කියල. එදා ඉඳල මගෙන් බිබික්කම් ඉල්ලගෙන මෙහෙ ආව. මට මෙලෝ හසරක් කරලවත් හදන්න බැරි බිබික්කම් මම සීයාට අමාරුවෙන් හදල දුන්න බං..“ කියාය. මුණුබුරා සීයා ලඟට ගොස් සිද්ධිය කියූ පසු සීයා ඉතිරිය සම්පූර්ණ කරන්නේය. “ඔන්න ඔය කියන බිබික්කම් මම කන්න අකැමැතිම ජාතියෙ කෑමක් බං. ආච්චිව යාලු කරගන්න ඕනවට මම ආසයි කියපු කෑම මම තාම අමාරුවෙන් කනව බං..“ කියමින් සීයා මුණුබුරාට කියා දුන්නේ ආදරය වෙනුවෙන් කැප කිරීම් කළ යුතු බවය.

හරි දැන් ඉතින් වැඳගනිල්ලා අන්න ෆාදර් එනවා.. 
සාදූ.. සාදූ... සාදූ.... !!

10:27ට, පෝරුවට නැග්ගම සැට් වෙමු ආ.. !!

Written_by_sAm_ශ්‍රී_Perera_12:02pm_11/12/13

කොල්ලන්ගේ සිම්පල් ප්ලෑන් - Simple Guyz !!!


කොල්ලා නික්ම යන විට නොහඬන ඈයෝ කෙල්ලෙක් නික්ම යන්නේ නම් හඬා වැටෙන්නෝය. එතනත් ඇත්තේ ස්ත්‍රී අධිපත්‍යය. කෙල්ලෙක් වසර ගණනාවක් ගෙදර හැදී වැඩී තවත් නිවෙසක පුත් කුමරුවෙකුගේ භාර්යාවක් වී පිටත් වන්නේ නම් ඒ ගෙදර අය හඬා වැලපෙන්නෝය. නව දිවියකට පා තබන විට හඬන්නේ මන්දැයි විටෙක සෑමාට සිතෙන්නේය. එහෙත් කරුණු කාරණා සොයා බලනා විට හඬා වැලපෙන්නට ඕනෑ කොල්ලාගේ පැත්තේ සෙට් එකය. කුරුල්ලෙකු මෙන් අඩියක් පුඩියක් ගසමින්, කෙල්ලන්ට විහිළු කරමින් ආතල් එකේ සිටි කොල්ලෙක් කූඩු කොර සිර වෙන සීන් එකක් දැක දැකත් කොල්ලාගේ පැත්තේ උන් නාඩන්නේ මන්දැයි සෑමාට තවමත් අප්සට්ය. එක අතකට කෙල්ලගෙ පැත්තේ අය හඬන්නේ කොල්ලාට වෙන විපත දැක ඉන් නැගෙන ශෝකය නිසා විය යුතුය. කෙසේ හෝ කුමක් අරඹයා හෝ එවන් මොහොතක හඬන එක නම් හොඳ නැතිය. එසේම පෝරුවේ කටයුතු කරන ගොයියන් තම වැඩේ සාර්ථක යැයි සිතා ගන්නා මිනුම් දණ්ඩ වන්නේද පෝරුවේ සිටින දෙපළ හඬන කඳුළු කැට ගණන මැන බැලීමෙන්ය.

වෙඩින් එකට සෙල්ලම් කරන බෑන්ඩ් එක හෝ ඩීජේ අයියලා පවා, මික්ස් කරලා හෝ එදිනට ප්ලේ කරන්නේ ගල් කණු වලට පවා කඳුළු නැංවෙන සිංදුය. මංගල නැකතේ, කැදැල්ලෙ ඇති වූ, පුංචි දවස් වල, වැනි නම්බර්ස් ගසා ජනතාව කඳුලින් පිනවන්නේ ඔවුන්ගේ සාර්ථකත්වය මැනීමේ මිනුම් දණ්ඩක් ලෙසය. මේ කිසිවක් නැතුව ඩෝප් වූවන් සෙම පෙරාගෙන හඬන්නේ තම තමන්ගේ දරුවන් දැරිවියන් විවාපත් වූ දවසක් ලෙසය. ඒ තරම් ආතල් එකක් ලොවෙත් නැතිය.

සාමාන්‍ය දිනවලදී කෙල්ලෝ වැඩට යන්නේද නියමිත වේලාවට පැයක් පමණ කලින් අවදි වීමෙන්ය. එලෙස අවදි වෙන ඔවුන් දත් මැද, මූණ සෝදා, කියුටෙක්ස්, ලිප්ස්ටික් ගා, අවසන් වන විට ඒ පැයත් මදිය. එහෙත් අපේ එවුන් උදේ 7ට ගෙදරින් පිටත් විය යුතු නම් නැගිටින්නේ 6.30 පමණය. එලෙස අවදිව සියළු කටයුතු කරගෙන 7 වෙද්දී නිවසින් පිටත් වන්නේ සියළු කටයුතු සාර්ථකව සිදු කරමින්ය. නමුත් බැරි වීමකින් හෝ 6.45ට අවදි වූ දිනවල සිද්ධ වන්නේ අමුතු දෙයක් නොව. වෙනදා මෙන්ම පැය කාලක් ඇතුලත කොල්ලා වෙනදාටත් වඩා හොඳන් ලක ලෑස්ති වීමය. මේ සංසිද්ධිය සුපුරුදු ලෙසම වෙඩින් දවසට උදේට සිදු වන්නේය. එනම් කොල්ලෝ සැට් එක පැයක් ඇතුලත ලෑස්තිවෙන අතර, කෙල්ලෝ සැට් එක කලින් දින රාත්‍රී 11 සිට ඇඳුම් හැඳ ගැනීමට පටන් ගැනීමය. එලෙස හැඳගෙනත් වෙඩින් එක අස්සේද එය නිමක් නැතුව වැරදි නිවැරදි කළ යුතුය. එහෙත් කොල්ලෝ නම් ආතක් පාතක් නැතුව හැඳගත් එකම ඇඳගෙනම ඔහේ සිටින්නෝය.

දිනක් අපේ මහප්පාගේ පුතාගේ වෙඩින් එකට යන්නට ගොස් අපේ ගෙදර ගිණි විජ්ජුම්බරයක් වූයේ මහප්පාගේ දුව නිසාය. එදා සෑමා සිටියේ මාතරය. ඒ මනමාලයා හෙවත් අපේ මහප්පාගේ පුතා සමඟය. බෙස්ට් මෑන්ලාට සිටියේ අප නිසා අපි කලින් දවසේම ඒ පැත්තේ නැවතුනෙමු. එහෙත් පහුවදා හෙවත් වෙඩින් දා අපේ ගෙදරින් කස්ටිය මාතර බලා පිටත් වෙන දිනය ඉතා අබ්ලික් වූයේ අපේ මහප්පාගේ දුවගේ මේකප් සීන් නිසාය. ඇය පාන්දර 3ට පමණ මේකප් දමාගෙන, හැඳ පැලඳ ගන්නට සැලූන් ගත වී තිබුණු අතර අනෙක් පිරිස් උදෑසන 5ට නැගිට, 6 වෙනකොටත් සූදානම් වී අවසන්ව තිබුණේය. උන් වාහනයට නැගී ඇය එනතුරු පැයක් පමණ බලාගෙන සිට ඇත්තේය. එදායින් පසු වෙඩින් නම්, ඇය එන්නේ නම්, අපේ කස්ටිය ඇයට පිටත් වෙන වේලාව කියන්නේ නියමිත වේලාවට පැයකට හෝ ඊට වැඩි ගණනකට කලින්ය. ඒ වෙඩින් වලට නියමිත වේලාවට පිටත් විය යුතු නිසාය.

අද කිටියා පාන්දර 2ට අවදි වන බවක් කීවාය. ඇය කීවේ නම් නොනිදා සිට පාන්දර දෙකේ සිට සූදානම් වන බවක්ය. එතැන් සිට තවත් බ්‍රයිඩ් මේට්ස් ලා තිදෙනෙක්ද, පොඩි ඇචිචි ෆලවර් ගර්ල්ස් ලා 4ක්ද සූදානම් වන බව ආරංචිය. අපි නම් අවදි වන්නේ උදෑසන 4ටය. ඒ උදේ 5ට පිටත් විය යුතු නිසාය. මේ කාල සටහන මැද්දේ ආතල්ම සිද්ධිය නම්, අපේ මහප්පාගේ දුව උදෑසන 3ට අවදිව, සැලූන් ගත වී මෙහෙන් පිටත් වන්නේ උදෑසන හයට වීමය. ඒ කියන්නේ ඇය මනමාලිය සූදානම් වීම ආරම්භ කොට පැයකට පසුව ෙසිටම සූදානම් වීමය. එහෙත් මනමාල සැට් එක ඊටත් පැයකට පසුව අවදිව සූදානම් වීම තවත් ආතල් එකක්ය. ඉන් හුදෙක් පෙන්වන්නේ කොල්ලෝ නම් සිම්පල් ප්ලෑන් ඇත්තෝ බවය. කොල්ලෝ බැන්දාට පසුව කෙසේ වේදැයි පසුව ලියන්නට හැකිය. ඒ නම් අත් දැකීමෙන්ය.

දිනය නම් මරුය. දොලහයි, දොලහයි, දහතුන, මතක තබා ගැනීම පහසුය. මෙය දොලහ ඉලක්කම් තුනක්ම වුණා නම් මරුය. ඒ නම් දැන් දරු මල්ලොත් ලැබිලාය. තනිකඩ කොල්ලෝ හැම දිනකම උදෑසන එළියට බහින්නේ අද කෙසේ හෝ දඩයමක් කර ගන්නවා යැයි අරමුණින්ය. කෙසේ හෝ කෙල්ලෙක්ට ප්ලග් වීමේ උවමනාවෙන් එළියට බසිනා තනිකඩ කොල්ලේ අනන්තය. පාසල් සමයේ මා හට කෙල්ලන් සැට් නොවුනේ වාසනාවට කියා විටෙක සිතෙන්නේය. එහෙත් එහෙම සෙට් නොවුණා කියා අපි කැම්පස් යන්නට තරම් උදාරතර මට්ටමෙන් ඉගෙන ගෙනත් නැති බව විටක හැගෙන්නේය. එහෙත් එදා කෙල්ලෙක් සැට් නොවී, කැම්පස්ද නොගියේ, වෙලාව හොඳ කමකට යැයි තවත් විටෙක සිතෙන්නේය. කෙසේ හෝ දඩයම් කිරීමේ අරමුණින් එළියට බැස්ස කාලේ අහවරය. දැන් ඇත්තේ දඩයම් කළ දෑ නිවැසෙට ඔසවාගෙන ඒමය. මට ප්‍රමාද විය නොහැකිය. දැන් මා යා යුතුය.

මා උදෑසන පහට පිටත් විය යුතුය. හයේ සිට පොටෝ ගසා, උදෑසන අටට පල්ලියට යා යුතුය.

එහෙනම් 8ට පල්ලියේදී හමුවෙමු...

Written_by_sAm_ශ්‍රී_Perera_10:48pm_10/12/13

Monday, December 9, 2013

ලිංගික අප්‍රාණිකයාගේ දෙක !!


දෙක කිව්වේ දෙවෙනි කොටස කියාය. නැතුව කලින් ලියූ ලිපියේ හිටිය පොලිස් කාරයාගේ අහවල් එක නොවන බව කරුණාවෙන් සලකන්න. උක්ත කතාවේ පොලිස් කාරයා අපිව කන්නට ගොස් ඌ ඌවම කා ගත්තේය. ඉස්සර පොඩි කාලේ අපිට ප්‍රශ්නයක් තිබුණේය. ඒ නයෙක්, පොළඟෙක් හෝ කිසියම් සර්පයෙක් පිළිබඳ ප්‍රශ්නයක්ය. ප්‍රශ්නය නම් නයා දෙකට නැවී තමාගේ නැට්ට පැත්තෙන්ම පටන් ගෙන ගිලින්නට පටන් ගත්තොත් ඉතිරි වන්නේ කුමන කොටසද කියාය. අන්තිමට කට පමණක් ඉතුරු විය හැකිය. එලෙසම පොලිස් ගැට්ටා සත්තම දමා අන්තිමේදී ඉතිරි කළේ තමන් ලිංගික අප්‍රාණිකයෙකු බව කියවෙන පදය පමණක්ය. සියල්ල එදා එසේ අහවර වී සෙනසුරාදා දින දිලා සෑමා සමඟ චැටක් දැම්මේ උක්ත සිද්ධිය පිළිබඳවමය. චැට් එක අතර මැද තනියෙම සිනාසීමෙන් ගෙදර අය සිතුවේ සෑමාගේ මොලය ඔල්මාදය වැඩි වී ඇති බවක්ය. සිද්ධිය සැකෙවින් මෙසේය.

දිලා - මචං අද ඔපීසි ගියෙත් බස් එකේ බං. මේ දවස් වල පට්ට රිම් එකෙන් යන්නෙ.

සෑම් - මාත් එහෙමයි බං. පුක් වෙලා ඉන්නෙ..

දිලා - පාරට යන බස් එකත් මිස් වුනා බං. මම ත්‍රීවිල් කාරයෙක්ට අද දාල වීල් එකට ඇතුලට පැන ගත්තා.

සෑම් - දන්න එකෙක්ද?

දිලා - නැහැ බං. මායි ඌයි පොලිස්කාරයින්ට බැන බැන, උන්ගෙ පළු ඇර ඇර ගියා.

සෑම් - ඔව් උඹ මේ දවස් වල කෝමත් පොලිසිය එක්ක අවුලෙන් නේ ඉන්නෙ.

දිලා - ඔව් මචං. මම ඌට මගෙ ඉන්ෂුවරන්ස් සීන් එක කිව්වා. ඌත් හද්ද කුණු හරපෙන් බං අරූට බැන්නෙ. මට මාර ආතල්.

සෑම් - ඌටත් පොලිස්කාරයෙක් ගේම දෙන්න ඇති බං.

දිලා - අනේ මන්ද බං. ඌ කිව්වා අහවල් පොලිසියේ හොඳ මහත්තයෙක් ඉන්නවා. ඕනෙ දෙයක් තිබ්බොත් කියන්න පොර කරල දෙයි කියලත්. වීර පුතාගෙ යාළුවෙක් කියන්නත් කිව්ව බං.

සෑම් - අපි ගිය පොලිසියම නේද බං? උගෙන් වැඩක් ගමු. අනික වීර පුතානේ..

දිලා - හිටපංකො කියන කල්.. මම අර පොලිස් බයියගෙ නම ඇහුව. ඌ ගත් කටටම අරූගෙ නම කියපි. මගෙ කට වැහුණ බං. මම හිනාව තද කරගෙන හිටිය බං. 



Written_by_sAm_ශ්‍රී_Perera_9:13pm_09/12/13

Thursday, December 5, 2013

ලිංගික අප්‍රාණික පොලිස් මස් වැද්දා.... - The Police Butcher !!!


ඔහු පොලිස් කාරයෙක්ය. තඩි බඩ, මෝඩ මොලය, සහ නොගැලපෙන කතන්දර ඔහු මස් වැද්දෙක් ලෙසට මා හට පෙනෙන්නට සැලැස්සුවේ ඔහුගේම ක්‍රියා කළාපයන් නිසාය. කිරිබත්ගොඩ නගරය මැදින් නුවර පාර දිගේ ගමන් කරන කලෙක ඔබ ඔහු දැක ඇතිවාට සැක නැතිය. මන්ද ඔහු ට්‍රැෆික් පොලිස් කරුවෙක් නිසාය. ඔහු වරක් දුටු අයෙකුට ඔහුව මතකයේ තබා ගැනීමට අපහසුවක් නැත්තේ පැත්තක් බරවූ තරාදියක් මෙන් ඔහුගේ පුක පැත්තට බරවී ඇති නිසාය. ජරාව කන ඌරෙකු මෙන් තඩි වූද, නොසේදූ පඩික්කමක් මෙන් කහට පැතිරූ දත් සැට් එකද ඔහුව මස් වැද්දෙක් ලෙසටම මා ඉදිරියේ මැවී පෙනෙන්නේය.

වරෙක මා මිතුරෙකුගේ වාහනයක් කිරිබත්ගොඩ තොරණ නිර්මාණය වන ස්ථානයේ ඇති රථ ගාලේදී තවත් වාහනයක් විසින් හප්පාගෙන ගොස් තිබුණේ එහි ගාල් කොට තිබියදීය. එය හප්පාගෙන ගිය වෑන් රථයේ අංකයද සහිතව අපට එදා පොලිස් පැමිණිල්ලක් දමා ගැනීමට හැකි වූයේ එතැන සිටි අයෙක් වාහනයේ නොම්මරය සටහන් කරගෙන තිබූ නිසාය. එදා ඔහු සමග, මාත්, අපේ දිලාත්, පොලිසියට ගියේ සාධාරණ හේතුවක් මත මිස මවා පෑමක් කිරීමේ අරමුණින් නොවේය. එහිදී එහි සිටි නවක පොලිස් මහතා අපගේ පැමිණිල්ල සටහන් කොට ගෙන පොලිස් වාර්ථාවක් පවා සකසා දුන්නේ අනතුර වූ ස්ථානය පරීක්ෂා කිරීමෙන්ද අනතුරුවය. ඒ අවස්ථාවේද උක්ත මස් වැද්දා පුටුවක ඉඳගෙන සිටියේය.

ඉන් මාස 6කට පමණ පසු දිලාගේ වාහනය රාගම ගුවන් පාලම යට ගාල් කොට තිබියදී කිසියම් වාහනයක් මගින් සූරාගෙන ගොස් තිබුණේ බොනට් එක කොටස පමණක්ය. බෆර් එකට කිසිත් සිදු නොවී තිබූ නිසා සිදු වී ඇත්තේ කුමක්ද අපට සිතා ගත නොහැකි වූයේය. එම අවස්ථාවේ දිලා ඒ පිළිබද රක්ෂණ ආයතනයට දන්වා නොතිබූ නිසාත් ඊට වන්දි ලබා ගත යුතු නිසාත් දිලා, මා සමග කථිකා කොට ගත්තේ කිරිබත්ගොඩ රථ ගාලේම තිබියදී රක්ෂණායතනය දැනුවත් කොට වන්දි ලබා ගැනීමටය. කතා කරගත් පරිදි සියල්ල රක්ෂණ නිලධාරියාට පවසා, ඔහු වන්දි ලබා ගැනීමේ කොළය දුන් පසුව අප පොලිස් පැමිණිල්ලක් දමා පොලිස් වාර්ථාවක් ලබා ගැනීමට සඳහා ගියේ පොලිසියටය.

අප යන විට මස් වැද්දා පුටුවක දපනෙ දමාගෙන නිදිය. මට හිකිස් ගා සිනා ගියේ ඔහු සිටි ආකාරයට. ඉන් පසු ඔහු ඇස් අඩවන් කෙට ගෙන ඇසුවේ අප ආ හේතුවය. සියල්ල පැහැදිලි කළ පසු පොර, පොර ටෝක්ස් දෙන්නට වූයේය.

“හැමෝම එන්නෙ ඔහොම කියාගෙන තමා.. ඉන්ෂුවරන්ස් කාරයින්ට අපිනේ උත්තර බඳින්න ඕනෙ..“

අරකද මේකද ලොරි ටෝක්ස් ගොඩක් දී, සිද්ධිය වූ තැනටද ගොස්, එතැන වටේ සිටි අයගෙන්ද විස්තර අසාගෙන පොර හැරුණේ සෑමා දෙසටය.

“ඔයා මීට කලින් දවසකුත් ආව නේද මෙතැනදිම වාහනයක් හැප්පුනා කියල..“

“ඔව් මම ආව..“

“ඒකනේ මම කිව්වෙ.. අපිව තම්බන්න බැහැ.. කොහොමද මගෙ මීටරේ..“

“ඔව් එදා අපිව හප්පපු වාහනේ නම්බර් එකත් දීල ඇන්ට්‍රි එක දැම්මෙ.. ඒත් තාම වාහනේ හොයගෙන නම් නැද්ද කොහෙද..“

මස් වැද්දාගේ කට පුක විය. ඉන්පසුව අපි නැවත එන්ටැර් වූනේ පොලිසිය ඇතුලටය. ලොකු ටෝක්ස් දෙද්දී අපි කට පුක පියාගෙන සිටියේ අප කරන්නේද රඟ පෑමක් නිසාය. පොරද ලොරි ටෝක්ස් දී අවසන පැමිණිල්ල සටහන් කර ගැනීම ආරම්භ කළේය.

නම, ගම, විස්තර අසමින් දිලාගේ වයස කියූ විට, “ඔයාලට බැහැ අපිව තම්බන්න.. ඔයාල ඉපදෙද්දිත් මම පොලිසියෙ..“ කියමින් බල්ටි ගසන්නට වූයේ තමන් වසර 26ක් තිස්සේ පොලිසියේ බව කියමින්ය. පොරගේ වසර විසි හයක සේවා කාලයේ තරම දැනුනේ දිලාගේ රැකියාව සටහන් කර ගැනීමට ගිය අවස්ථාවේය.

“තමාගෙ රැකියාව ??“

“ඖෂධ අලෙවි ප්‍රවර්ධක..“

“ඇහ්..“ කියූ පොරගේ කට නැවතත් පුක විය. දිලාගේ ලයිසම අතට ගෙන නැවත එය මේසය මත තබමින් මස් වැද්දා හඬ අවදි කළේය.

“ඖෂධ කියල ලියන්න එන්නෙ මොන ‘ෂ‘ යන්නද??“ පැත්තක සිටි සෑමාට උගේ මොලය කන්නට සිතුනේය. වසර ගණනාවක් පොලිස් සේවයේ සිටියායැයි, තමන්ව තම්බන්නට එපා යැයි කයිවාරු ගැසූ හෙතෙම පාසලේ කොපමණ කාලයක් ඉගෙන ගත්තේදැයි ගැටළු සහගත තත්වයක් සිතේ ඇති වෙද්දී සෑමාගේ දත් සැට් එකම එළියට පැන්නේ සිනහව නවත්වා ගත නොහැකිවය.

“මේ ‘ෂ‘ යන්න..“ යැයි දිලා ඔහුට ලියා පෙන්නුවේය.

විලි ලැජ්ජා නැති කම ට්‍රැෆික් පොලිස් කමටත් වඩා ලොකු යැයි යන සංකල්පය තහවුරු කරමින් පොර නැවතත් ලොකු ටෝක්ස් දෙන්නට වූයේය. අප හට ඔහු කියා සිටියේ මෙය වෙනත් වාහනයකින් හප්පාගෙන ගිය එකක් නොව, අප විසින්ම ගොස් හප්පාගෙන පැමිණ රක්ෂණ වන්දි ලබා ගැනීමට කරන්නාවූ මවා පෑමක් බවය. සිදු වූ ස්ථානය පිළිබඳව මවා පෑමක් කළද, අප කියූ පරිදි සිද්ධිය සත්‍යයක්ය. එහෙත් මස් වැද්දා කල්පනා කළේ අපේ කීයක් හෝ කඩා ගන්නට බව නම් පැහැදිලිය. ඒ නිසා අපිද ඔහුට සර්, බර් යැයි නොකියා, කතා කළේ කිසිම පැහැදීමක් ඔහු වෙත ඇති නොවූ නිසාමය.

පැමිණිල්ල සියල්ල ලියා අවසන් කළ මස් වැද්දා අවසන කීවේ “මේකෙ දැන් මට පොඩි වචන දෙකයි ලියන්න ඕනෙ..“ කියාය. අපි ඇසුවේ ඒ කුමක්ද කියායා. “පිළිගත නොහැක“ කියල ලිව්වා නම් හරි යැයි කියූ මස් වැද්දා සිනාසුනේය. “එහෙම කරන්න එපා“ යැයි පමණක් කියූ දිලා සිනාසුනේය.

“හරි මට සපෝට් එකක් දීල රිපෝට් එක අරගන්න..“

“අපි ලඟ ඉතිං තියෙන්නෙ බෙහෙත් තමා..“

“මෙනවද තියෙන බෙහෙත්..“

“Piles වලට ගන්න ඒවා, Lidocaine, තව ketoconazole එකක් තියෙනවා, tadalafil එකක් තියෙනවා..“

ඹෟෂධ කියා ලියා ගන්නට බැරි මස් වැද්දා ඇස් නලලේ තියාගෙන දිලා දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. දිලා නැවත ඔහුට තේරෙන භාෂාවට වචන මාලාව හැරෙව්වේය.

“අර්ශස් වලට ගන්න ඒවා, හිරිවට්ටන්න ගන්න ඒවා, අළුහම් වලට වගේ ගන්න ඒවා, තව තියෙනවා කියුපිඩ් වගේ අහවල් ඒවට ගන්න එකකුත්...“

මස් වැද්දාගේ ඉහෙන් කනින් දළු ලා මල් පිපෙන්නට වූයේ අවසන් වචන කිහිපයටය.

“ඔය මොනවත් වැඩක් නැහැ.. අර අන්තිම බේත මට දෙන්න..“

මෙතෙක් වෙලා වැඩ දැමූ හෙතෙමෙ මස් වැද්දෙක් පමණක් නොව ලිංගික අප්‍රාණිකයෙක් බවටත් තහවුරු වුණේය.

Written by sAm_ශ්‍රී_Perera_12:14pm_05/12/13

Tuesday, December 3, 2013

දකුණෙ කදුළු නිවන්න - උතුරු පොළව බදාගෙන මිය ගිය සැමට.. !!





සුදීරයා මට ඒ පැත්තට එන්න කියල පිටත් වුණාම ආයෙත් මම මගෙ කල්පනා ලෝකෙට වැටුනා. මම මෙහෙ ඉඳන්, මගෙ පුංචි කෙල්ල අම්ම එක්ක ගෙදර ඉඳන්, අපි දෙපැත්තක ඉඳන්, ජීවිතේම කැප කරගෙන රස්සාවකට වැඩිය රට වෙනුවෙන් නේද මේ කැප වෙන්නෙ කියල මට හිතුන වාර අනන්තයි. මට වෙලාවක් නැති වුණාම සුදීරයා අපේ ගෙදරට ලියුම් ලිව්වෙ, මම ලියන්න ඕනෙ මොනවද කියල කියල දුන්නට පස්සෙ. ඊට පස්සෙ ලියුම උගෙ අතින් මට ගෙනල්ල දීල මචං මේක කියවලම යවපං කියපු වාරයක් ගානෙ මම ඌට ණයයි. අපේ ගෙදර අය පවා සුදීරයගෙ අකුරු මගෙ අකුරු හොඳට වෙන් කරල අදුනනවා. ඒත් මොන අකුරින් ගෙදරට ලියුම ආවත්, ඒක අරන් තිබ්බෙ, ආදරෙන් පරිස්සම් කළේ, ඒ හැම ලියුමකම මගේ, අපේ එවුන්ගෙ දුක්ඛිත ජීවිතය කැටි වෙලා තිබ්බ නිසා.

“දඩාස්....“

එක පාරට ආපු මහ සද්දෙකින් අපේ එවුන්ගෙ සිංදුව නැවතුනා.

ඒත් එක්කම තවත් සද්ද ඇහෙද්දි අපේ එවුන් කෑගහන සද්දෙ, මහා කළබලයක් වගේ ඇහෙද්දි, මාත් දවස තිස්සෙ කරේ එල්ලගෙන ඉඳලා අමාරු නිසා පැත්තකින් තිබ්බ තුවක්කුව හොයද්දිම මගේ ඔලුවටත් සිහිය නැති වෙන්න පාරක් වැදුනා. ආයෙ කල්පනාව ඇවිත් බලනකොට පාන්දර වෙලා. මාව ටකරං වහල ගහපු, බංකරයක් වගේ තැනක තියල තඩි දෙමල කොටියෙක් මං දිහා බලං ඉන්නවා. උන් ඊයෙ අපෙ බංකරේට පැනල තියෙන්නෙ තුවක්කු නැතුව, අපිට පහර දෙන්න, ඊයෙ වෙච්ච සිද්ධියටත් වඩා මහා වේදනාවක් දැනුනෙ, මට ආයෙ ජීවිතයක් නොලැබෙයි කියල හිතල. රට වෙනුවෙන් පපුව ඉස්සරහට දාගෙන අපි මේ දවස් ටික ගෙවුවේ අපේ මැරිච්ච එවුන්ගෙ ලේ, දහඩිය, කදුළු වල අවසානය දැකල, අපේ අන්තිම සටන දිනවන්නම බලාගෙන. ඒ සියළු බලාපොරොත්තු එක්කම මාව ආයෙත් මහා ප්‍රපාතයකට වැටුන වගේ. උන් මාව හිර කරගෙන. අපේ එකෙක් වත් පේන්න නැහැ. මාව විතරක් මෙතනට එන්න හේතුව, අපේ එවුන්ට වෙච්ච දේ පවා මම කල්පනා කළා. දෙමළ ටිකක් පුලුවන් නිසා උන් අපේ එවුන්ව මරාගෙන කන්න තරම් මිලේච්ඡ ත්‍රස්තවාදීන් කියල මට දැනුන වාර අනන්තයි. මම උන් දෙන කෑම ටික පවා විසික් කරල දාල හාමතේම හිටිය. දවසින් දවස සිද්ධ වෙන සිදුවීම්, තාඩන පීඩන මම ඔහේ බලන් හිටිය. එච්චරයි මට කරන්න ඉතුරු වෙලා තිබ්බෙ.

මේ කාලකන්නි මිනිස්සුන්ට අහුවෙලා අවුරුද්දක්ම ගෙවිල ගිහින් එක දවසක් අපේ එවුන් මුන්ගෙ කෑම්ප් වලට ගහන්න ගත්ත. ඒ කළබල අස්සෙ මට පැනගන්න ලේසි වුණා. හැම පැත්තෙන්ම වට කරගෙන අපේ එවුන් ඉස්සරහට එද්දි, මම ඒ පැත්තට ගිහින් අපේ එවුන්ට එකතු වුණා. අවුරුද්දක් විතර තිස්සෙ උන්ගෙ කුණු ජරාව අස්සෙ ලැගගෙන හිටපු මාව හොස්පිට්ල් එකට යැව්වා. ඒත් මට ඕනෙ වුණේ අපේ ගෙදර අය එක්ක කතා කරන්න. මගෙ පොඩි එකීට, පොඩි එකීගෙ අම්මට මොකද වුණේ කියල සෝදිසි කරන්න. මම බලහත්කාරයෙන් වගේ ගෙදර යන්න ලෑස්ති කර ගත්තා.

අවුරුද්දක් තිස්සෙ කිසිම සහනයක් නැතුව, රට වෙනුවෙන් යුද්ධයක් කරන්න හිත හදාගෙන, ගෙදර අතෑරල දාල ගිය මට අන්තිමට වුණේ අර කාලකන්නි එක්ක එකට ජීවත් වෙන්න. උන්ගෙ කාලකන්නි වැඩ දිහා බලාගෙන ඉන්න. ඒත් ඊට අවුරුදු ගාණකට කලින් ඉදන් රට ජාතිය වෙනුවෙන්, ජීවිත පරිත්‍යාගයෙන් අපි ගෙවපු කාලෙ මතක් වෙද්දි මට මාර සතුටක් තිබුණෙ. අපි එකා වගේ එකට ඉඳගෙන රෑට කතා බහ කරද්දි, අපේ එවුන් අසනීප වෙලා උන්ට බේත් හේත් කරද්දි අපිට දැනුනෙ අපි එක පවුලක් මහ කැළයක් මැද ඉන්නව වගේ. දැන් මට මගේ ගෙදර පවුල බලන්න කාලෙකින් අවස්ථාවක් ලැබිල. මම හැම දේම හිතේ හිරකරගෙන ගෙදර යන්නෙ මට වෙච්ච දේවල් ගෙදර අය දන්නවද කියල නොදන්න නිසා.

ගේට් එක ඇරගෙන මිදුල මැද්දට ආපු මම ගේ දිහා බලාගෙනම ඉස්සරහට ගියෙ කවුරු හරි මාව බලන්න ඉස්සරහ දොර ඇරගෙන පෙරමගට එයි කියල හිතාගෙන. දවසගානෙ රස්සාවට ගිහින් ගෙදර එන මනුස්සය වුනත් කැමති හැමදාම ඒ දේ වෙනව නම්. හැම හවසකම තමන් ගෙදර එනකල් බිරිඳ දොරකඩට වෙලා බලා ඉන්න කල්. ඒත් අවුරුදු ගාණක් කතා නොකර, මට වෙච්ච දේ නොදැන, අපේ ගෙදර අය මම එනකොට ඉස්සරහට එන්නෙ නැත්තෙ ඇයි කියල මගෙ හිතට මහා බරක් දැනුන. ඒ බර තුනී වෙන්න මම අඩිය ඉක්මන් කළා. අඩියට දෙකට දොර ලගට ගිහින් තට්ටු කළා.

“කවුද??“

ඒ අපේ පොඩි එකී..

“මේ මම දුව..“

“ආනේ.. අම්මෙ තාත්ත ඇවිත්...“ කියාගෙන කෙල්ල තඩි බෝනික්කෙක් බඳාගෙනම එළියට පැන්නා. පොඩි එකී ඉස්සරහ බිම දණ ගහගෙන කාලාන්තරයක් නොවිඳපු සෙනෙහසක් විඳිනකොට පොඩි එකීට ඒක ගාණක් නැහැ වගේ මට දැනුන. මට වෙච්ච දේ පවා නොදැන ඉන්න මට්ටමට තමා කෙල්ල හැසිරුණේ. අපේ එක්කෙනත් එහෙමයි. කතා කරගෙනම මම ගේ ඇතුලට ඇවිත් ඉඳගත්ත. එයා එහා පැත්තෙන් ඉඳ ගන්නකොට පොඩි එකී අපේ තුරුලට ඇවිත් ඉඳගත්ත. ඉස්සරහ ටීපෝ එක උඩ මම එවපු ලියුම් එක උඩ එක ලස්සනට තියල තිබ්බ.

“ඔයාලට මොනවද හිතුනේ මට අච්චර කරදරයක් වුණා කිව්වම..“ පොඩි එකීට ගාණක් නැති නිසා මම කෙල්ලගෙ අම්මගෙන් ඇහුව.

“මෙන කරදරයක්ද මාධව? ඔයා ඉඳහිට හරි ලියුමක් එවපු එක මට මාර හයියක් වුණා. පොඩි එකීට ඇහෙන්න ලියුම කියවනකොට කෙල්ල මට තුරුල් වෙලා අහගෙන හිටිය. තාත්ත එන්නෙ කවදද කියල ඇහුව.“

“මම??“

“ඔව් ඔයා.. ඔයා වැඩ වැඩී කියල දන්න නිසා සුදීරට කියල ලියුම් ලියෙව්ව කියල අපි ඔයාට මුකුත් කියල නැහැනෙ මාධව. ඔය දෙන්න එකට ඉන්න එක හොඳයි. ඒක දෙන්නටම හයියක්...“

සුදීරයා ගෙදර අය බයවෙයි කියල මම වෙනුවෙන් ගෙදරට ලියුම් ලියල කියල මට එතකොටයි තේරුණේ. ඌ එවපු ලියුම් එක එක මම කියවල බැලුව. අවුරුද්දක් පුරාවට එවපු ලියුම් වල තිබ්බෙ මම හොදින් ඉන්නව කියල. කෙල්ල ගැන බලා ගන්න කියල. ඌ කරපු දෙයින් අපේ ගෙදර කදුළු හැලෙන එක අඩු වෙන්න ඇති. මට සුදීරයව මතක් වුනේ එතකොට. වෙච්ච සිද්ධි මුකුත් නොකියම මම කතා කරා සුදීරයට. උගෙ ෆෝන් එක වැඩ නැහැ. ඌව කන්ටැක්ට් කරන්න පුලුවන් ක්‍රමයකින් මම අපේම එකෙක් ගෙන් සුදීරය ගැන ඇහුව.

“මචං.. මාධව එදා උබ හිර වෙලා හිටපු කෑම්ප් එකට ගහන්න සුදීරයත් ගියා.. ඌ එදා හොදටම ඉන්ජර්ල්ඩ් වෙලා බීල්ඩ් වෙලා නැති වුණා මචං..“

මට එච්චරයි අහන්න පුළුවන් වුණෙ. ඇස් වලින් කදුළු පුරවගෙන පොඩි එකී දිහා බලල පොඩි එකීගෙ අම්ම දිහා බලද්දි කම්මුල් දිගේ ගලාගෙන ගියේ අපේ සුදීරය ගෙදර මිනිස්සුන්ට කදුළු වපුරන්න ඉඩ නොදුන්න යාළුකම.

අපි ආයුධ උස්සගෙන පපුව ඉස්සරහට දාගෙන ගියේ ත්‍රස්තවාදීන් මරන්න මිසක්, රට බේර ගන්න මිසක්, මිනී මරන්න නෙවේ. සුදීරය තුවක්කුව පැත්තකින් තියල රෑ තිස්සෙ උතුරෙ ඉදන් ලියුම් ලියන්න ඇත්තෙ දකුණෙ ගෙදරක කදුළු අවම කරන්න. මාව බේරගන්න කෑම්ප් එකට ගහද්දි, සුදීරය ඉස්සරහම ඉන්න ඇති. ඉස්සර එක පෙළට ඉන්නකොට එකෙක්ට තුවාල උනොත් ඌව දාල නොයන සෙනෙහසක් අපිට තිබ්බ. ඒ අපි එක පවුලක් නිසා. හැම එකාටම ජීවිතයක අගේ තේරුණ නිසා.

සුදීරයා උඹ වගේම, දකුණෙ උන්ට හිනා වෙන්න, පපුවට අත තද කරගෙන මේ පොළොව බදාගෙන අවසන් හුස්ම හෙළපු හැමෝටම අපේ උත්තමාචාරය.

Written by sAm_ශ්‍රී_Perera_8:12am_03/12/13
Related Posts Plugin for WordPress, Blogger...