Google+ Followers

Friday, May 31, 2013

බැලන්ස් කරන හැටි - සෑමාගේ වෙසක් කලාපය


සතුටක් දැනුනු විටදී අප්‍රමාණව එය සැමරීම සහ දුකක් දැනුන විට ඒ සදහා අප්‍රමාණව දුක් වීම බොහෝ මනුෂ්‍ය ස්භාවයය. එහෙත් බුද්ධ දේශනාව නම් මැදහත් සිතින් සියළු දේ විද දරා ගැනීමය. අන්තගාමී නොවී මැද මාවතේ ගමන් කිරීම හෙවත් මැදුම් පිළිවෙත මගින් එය මනාවට අවබෝධ කර දෙන්නේය. අසීමිත සතුටේදී හාට් ඇටෑක් හැදෙන උන් සේම, අසීමිත දුකේදී හාට් ඇට්ටෑක් හැදෙන උන්ද සිටින්නේය. ඒ දරා ගැනීමේ හැකියාවට වුවද සීමාවක් ඇති නිසාය. බුද්ධ දේශනාවේ පරිදි අටලෝ දහමින් කම්පා නොවීම එවන් හදිසි ආබාධ සදහා නියම ධර්මයයි.

ලාබ වලදී සතුටු වීම, අලාභ වලදී දුක්වීම, මධ්‍යස්ථව සිදු කළ යුතුය. නැතිනම් ලාභයකදී ලබන සතුටට වඩා වැඩි දුකක් අලාභයකදී දැනෙනු ඇත්තේය. ඒ දෙකම සම සිතින් මැදිහත්ව විද දරා ගැනීමට හැකි වන්නේ නම් ඔබට සිදුවන හානිය අවම වන්නේය. අටලෝ දහමේ සදහන් ඉතිරි කරුණු සදහාද මේ සූත්‍රයම ඇප්ලයි කර ගත හැකිය. යස - අයස, නින්දා - ප්‍රසංසා, සැප - දුක යන කාරණා සදහාද මෙම විදිහටම කල්පනා කර ගතහොත් ජීවිතය සමබර වන්නේය. අන්ත ගාමි නොවන්නේය. සැබෑවටම ජීවිතය ධර්මයට අනුව විදිය හැක්කේමය.

අපේ උන් හිතන්නේ අමුතු විදිහකටය. තමන්ට වාසියක් වුවහොත් එය ගැන වඩා සතුටු වන්නෝය. මොකක් හෝ කරදරයක් වුව හොත් “අනේ අපිටමනේ වෙන්නේ“ යැයි විස්සෝප වන්නෝය. වාසියක් වු විටදී අනේ අපිටමයි නේ ලැබෙන්නේ කියල හිතන එකෙක් නැත්තේය. එය නම් මනුෂ්‍ය ස්භාවයමය. එහෙත් නිදහසේ සිතූ බැලුවිට කෝටිපතියාගේ සිට, හිගන්නා දක්වාම මේ ධර්මය එකය. හිගන්නාට බත් පාර්සලයක් ලැබුන විට ඔහු අනේ මටමනේ ලැබෙන්නේ යැයි නොසිතන්නේය. කෝටිපතියා තමන්ට අසීමිතව දේ ලැබී තිබියදී අනේ මටම නේ වෙන්නේ කියා දුක් වන්නේය. සරලව කිව හොත් “හැම එකාම තමන්ට නැති දේ ගැන පමණක් දුක් වන්නෝය. ලැබී ඇතිදේ, ලැබෙන දේ ගැන ගානකට නොගන්නෝය.“ එහෙත් ලද දෙයින් සතුටු වන මට්ටමමේ සිතක් හදා ගතහොත් මේ සියල්ල විද දරා ගත හැකි තැනට ඔබ පත් වන්නේය. එවිට ලෝභ, ද්වේශ, මෝහ යන කරුණු වලට අසු නොවී සාමාන්‍ය සරල දිවි පැවැත්මක් ගත කිරීමට හේතු වාසනා වන්නේය.

මේ සියල්ල කීවේ සතර සංග්‍රහ වස්තු අතර පවතින් හතරවන කරුණ වන සමානාත්මතාවය ගැන සටහනක් තබන්නටය. සියළු දේ සම සිතින් දරා ගැනීම, මෙයින් කිය වෙන්නේය. එසේම සැම දෙනාට සමානව සැලකීමටද මේ කරුණ ඉවහල් වන්නේය. සතර සංග්‍රහ වස්තු වලදී පෙර කී කරුණු තුනම සම්පූර්ණ වී මෙකී කරුණද සම්පුර්ණ කළ හැකි නම් මෙලොව අපූරු තැනක් වන්නේය.

සමානත්තතා ති සමාන ‘සුඛ දුක්ඛ භාවො’ දුක සැප සමව බෙදාගෙන ජීවත් වීමට පුරුදු විය යුතුය. තවද අටලෝ දහමේ අකම්පිත ගුණයත් සමානාත්මතා ගුණයට ඉවහල් වන්නේය. වාසෙට්ඨ සූත්‍රයේදී, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන සිව් කුල එකිනෙකට වෙන්ව ඇත්තේ ඔවුන්ගේ වෘත්තිය අනුව බව ප්‍රකට කරුණක් වුවද ඔවුන් සියලු දෙනාම හඳුන්වා ඇත්තේ මනුස්ස යන පොදු නාමයෙන්ය. බලසංගහවත්ථු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මාර්ගඵල ලාභී ගිහි සමාජය තුළ කුමන තරාතිරමක පුද්ගලයෙකු සිටියත් බුදු සසුනට ඇතුළත් වූ කළ ශ්‍රමණ නමින් හඳුන්වන බවත් පැවිද්ද හා උපසම්පදාව ලබන බවත් දේශනා කර ඇත්තේය.

“ දානංච පෙය්‍යවජ්ජං ච – අත්ථචරියාච යා ඉධ
සමානත්තතා ච ධම්මේසු - තත්ථ තත්ථ යථාරහං
එතෙ ඛො සංගහා එතෙ - සමවෙක්ඛන්ති පණ්ඩිතා
තස්මා මහන්තං පප්පොති – පසංසා ච භවන්ති තෙ”

සමස්තයක් ලෙස සිව් සඟරාවත පිළිබඳ සිතීමේ දී රිය ගමනට කඩ ඇණය අවශ්‍ය වන්නාක් මෙන් ලෝකයෙහි පැවැත්මට උපකාරී වන සමගාමී ලෝක ධර්ම සතරක් බවත්, මේ සතර වස්තූන් නිසා ජනතාව පාලකයන් වෙත නැමෙන බවත් මහත් වූ යසසට හා ප්‍රශංසාවට පාත්‍ර වෙන බවත් සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කොට වදාළෝය.

වෙසක් කලාපය තුලදී ඔබ වෙනුවෙන් සතර සංග්‍රහ වස්තු හෙවත්, දානය, ප්‍රිය වචනය, අත්ර්‍ථචර්යාව,  සමානාත්මතාව, පිළිබදව කෙටි සටහනක් ඔබ හමුවේ තැබූවේ ධර්ම දානයක් ලෙසින්ය. සරලව ලියැවුණු එම ලිපි පෙලට සහය දැක්වූ, අදහස් දෙමින් දිරිමත් කළ සැමට පිං.

- බුදුසරණ අන්තර්ජාල කලාපයේද සහය ඇතිව -
වසර 2013ක් වූ වෙසක් මස, 31වන කුජ දා.
-සෑම්-

Tuesday, May 28, 2013

අනිත් උන් ගැනත් හිතන්න - සෑමාගේ වෙසක් කලාපය


පාන්දර රාජකාරීන් සදහා පාරට බැස්ස තැන සිටම අප ගැටෙන්නේ සමාජය සමගය. ගෙදරින් එලියට බසිද්දී ගෙමිදුලේ හෝ තාප්පය අයිනේ තබා ගිය කුණු බෑගයක් දුටු විටක අපට සිතෙන්නේ කුමක්ද? සමාජය පිළිබදම කළකිරීමක් උපදින්නේය. එලෙස සිත සසලව එළියට බැස්ස තැන සිටම අනෙක් අයගෙන් ලැබෙන ප්‍රතිචාර අප්‍රසන්න වුවහොත් ඔබට සිතෙන්නේ කුමක්ද? අද දවසම මහා කාලකන්න දවසක් බව හැගෙන්නේය. එය කාටත් පොදුය. ඔබ සමාජය සමග ගැටී කටයුතු කරද්දී අනෙක් පුද්ගලයා ගැන සිතන ප්‍රමාණය කොපමණද? ආත්මාර්ථකාමී වී තමා ගැන සිතන, තමාට සිදු වෙන කරදර ගැනම පමණක් පසුතැවෙන ප්‍රමාණය කොපමණද කියා ඔබම නිදහස් අවස්ථාවක කල්පනා කර බැලිය යුතුමය.

විටෙක ඔබ ඔබගේ ගමනාන්තය දක්වා ලං වෙන තුරුම බස්රථයක නිදාගෙන යනවා විය හැකිය. එවිට ඔය ජනේලය අසල කෙලවරේ හිදගෙන සිටින්නේ නම්, ඔබ ගමනාන්තයට ලංවෙන තුරුම කිහිප දෙනෙක් ඔබ එහා පැත්තේ හිදගෙන යනවා විය හැකිය. අයෙක් හිදගෙන ගොස් බස් එකෙන් බැසගත් විට තවත් අයෙකු පැමිණ එම ස්ථානයේම හිද ගන්නේය. එය ඔබ නැවත අවදි වන තෙක් නොදන්නේය. එහෙත් ඔබ ඔවුන්ගේ සිරුරට ගැටෙන, ඔවුන්ට බාධාවක් කරදරයක් වන වාර ගණන අනන්තය. එය ඔබ දැන ගන්නා අවස්ථා සීමා සහිතය.

කලකට ඉහතදී දිනක් ආණමඩුව කොළඹ බස්රථයක නැගුනු සෑමා අන්තිම සීට් එකේ හිදගෙන ආවේ වකුටු වීගෙනය. සීට් එක හරි මැද හිදගෙන සිටි බඩ තඩි හාදයෙක් දෙපස සිටි අයට පමණක් නොව අන්තිම සීට් එකේ සිටි සියල්ලටම කරදරයක් බවට පත්වූයේ පරාර්ථකාමීත්වයක් හිත කොනක වත් නැති බවක් පසක් කරමින්ය. එහා පැත්තේ සිටි ඇන්ටී ඔහුගේ බර දරාගෙන ඉතා අප්‍රසන්න ලෙස ඔහු දිහා බලමින් රවමින් ගියේ ඔහු නිතර නිතර නිදි මරගාතයේ ඇගේ ඇගට බරක් වූ නිසාය. විටින් විට අප ඔහුට කතා කරමින් අවවාද කළද ඔහු නිදාගෙනම ගියේය. අවසන එහි හිදගෙන සිටිය නොහැකි තැන සෑමා සීට් එකෙන් නැගිට ගත්තේ හිටගෙන යාම වඩාත් සැපදායී යැයි සිතමින්ය.

දිනක් චංගුමී ගැන මතුවූ කතාවකදී අක්කා කෙනෙක් කීවේ නියම කතාවක්ය. ඇය චංගුමීගේ කොන්ඩ කට්ටක්    (ඔය කියන කොණ්ඩ කට්ට කෙසේදැයි මම දැක නැත්තෙමි) ගසාගෙන බස් එකක නැග ඇත්තේය. එවිට එහා පැත්තේ සිටි ආච්චී ඇයට බැන වැදී ඇත්තේය. ඒ ඇගෙන් වූ කිසිදු හානියක් නිසා නොවේය. ඇය ගසාගෙන සිටින කට්ට නිසා එහා පැත්තේ සිටින කිසිවෙකුගේ ඇසක් අන්ධ විය හැකි බව ආච්චී කියා ඇත්තේය. එකී අක්කා කීවේ එම කතාවේ සත්‍යබව නිසාම නැවතත් එම කට්ට ඇය භාවිත නොකළ බවක්ය. එලෙස පරාර්ථකාමීව අනිත් අය ගැන සිතනා පිරිස් කොපමණ නම් අල්පද? විටෙක පදික වේදිකාවේ ඇවිදගෙන යන  ඔබේ මුහුණේ ඇතැමුන් ඉහලාගෙන යන කුඩ කොපමණ වැදී ඇත්තේද? එයින් කාටත් හිරිහැරයක් වන බව සිතන්නේ කීයෙන් කී දෙනාද?

ඔබ කරන්නාවූ පුංචි දෙයකින් හෝ කිසියම් අයෙකුට හිරිහැරයක් පීඩාවක් වන්නේ නම්, ඒ පිළිබද දෙවරක් සිතන්නට මැලි නොවිය යුතු බව සෑමාගේ අදහසය. ඒනිසා අප මහා බුදුරජානන් වහන්සේ දේශනා කළ පරිදි සතර සංග්‍රහ වස්තු වලින් තුන්වන කරුණ වන අර්ථ චර්යාව සුළුවෙන් හෝ ප්‍රගුණ කරන්නට අදිටන් කර ගත යුතුය.

අර්ථ චර්යාව නම් ලෝවැඩ පිණිස හෙවත් පරාර්ථය සඳහා කටයුතු කිරීමය. එය රාජ්‍ය පාලක ධර්මයක් වශයෙන් ගත් කළ රට වැසියාගේ ආර්ථික දියුණුව පිණිස කටයුතු කිරීමය. එහිදී ආහාර, ඇඳුම්, වාසස්ථාන සහ බෙහෙත් යන මූලිත මිනිස් අවශ්‍යතා ඇතුළත් වන්නේය.

සිඟාලෝවාද සූත්‍රයට අනුව යුතුකම් පහකින් සේවකයන්ට සැලකිය යුතු අතර එදිනෙදා ජීවිතයේදී ඔවුන්ගේ දුක සැප විමසීම හා මංගල අවමංගල අවස්ථා වලදී වැඩිපුර උදව් පදව් කිරීමද අර්ථ චර්යාව සාර්ථක වීම සඳහා ඉවහල් වන්නේය.

අර්ථ චර්යාව තුළින් ආර්ථික පැත්ත පමණක් නොව අධ්‍යාත්මික පැත්ත පිළිබඳව ද අවධානය යොමු කොට ඇත්තේය. එහිදී රටවැසියා තුළ චතුර්විධ සම්පත්තියක් ඇති කිරීම වැදගත් වන්නේය. එනම්

1. සද්ධා ( තෙරුවන් ගුණ කෙරෙහි පැහැදීම )
2. සීල ( ත්‍රිවිධ ද්වාරය සංවර කර ගැනීම )
3. ත්‍යාග ( පරිත්‍යාගයෙහි පිහිටුවීම )
4. ප්‍රඥා ( ත්‍රිලක්ෂණය තුළින් ලෝකය හා සත්වයා පිළිබඳ දැනීම හා නිවන් අවබෝධය )

යන ගුණ හතර ජනතා හදවතට කැවීම තුළින් එම රාජ්‍යය නිර්භය ක්‍ෂේම භූමියක් බවට පත් වන බවද සඳහන් වන්නේය. එපමණක් නොව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් උපලක්ෂිත වීම තුළින් ද අර්ථචර්යාව තව තවත් අර්ථවත්වන්නේය.

ඔබ අන් අය ගැන සිතන්නේ නම්, සමාජයම පරාර්ථකාමී වන්නේ නම්, සියල්ලන්ටම සතුටු දායක සමාජ වටපිටාවක් බිහිවනු නොඅනුමානය.

- බුදුසරණ අන්තර්ජාල කලාපයේද සහය ඇතිව -
වසර 2013ක් වූ වෙසක් මස, 27වන සදුදා.
-සෑම්-

Monday, May 27, 2013

කුණු හබ්බ සීමා කිරීම - සෑමාගේ වෙසක් කලාපය



අපේ උන් කුණු හබ්බ කීමට පටන් ගත්තේ 8 වසරේ පමණ සිටය. ඒත් පොඩි කාලේ සිටම කුණු හබ්බ කියනා සැට් එකක් සිටියේය. සෑමාට මතක විදිහට අපේ එකෙක් තුන වසරේදී කුණු හරප සිංදුවක් ලියාගෙන ආවේය. එහි කුණු හරප තිබුණේ නැතිය. තිබුණු උපරිම වචනය නම් තිබුණේ ‘පුක‘ කියාය. එය “මහා මෙරක් උසට සිතේ උපන් බරට“ යන ගීතයට තැනූ ආදේශක ගීතයක්ය. එය හැමෝම දන්නවා ඇතිය. ඒත් එදා ඒ සිංදුව සෑමා ලියාගෙන ගෙදර ආවේ අනිත් උන්ට පෙන්නීමටය. එය පොත අස්සේ සගවාගෙන සිටියදී අක්කා අම්මාට දුන් ඔත්තුවක් මත නොසෑහෙන්නට බැනුම් අසා ගීතය ලියූ කඩදහිය අම්මා ලිපට දැම්මාය. එදා ‘පුක‘ මහා කුණු හබ්බයක් වූයේ අපි පොඩි උන් නිසාය.

ඒත් සමහර උන් ඒ කාලේ සිටම කුණු හබ්බ දෙසා බෑවෝය. සෑමා ප්‍රථමයෙන් කුණු හබ්බයක් කීවේ 9 වසරේදීය. 8 වසරේදී හැම එකාම වගේ කුණු හරප කියද්දී අපේ බණ්ඩා කුණුහරප නොකිව්වේය. සෑමා, බණ්ඩා සහ පුෂ්පේ එකට සිටි සැට් එක නිසා 8වසරේදී සෑමාද බේරුණේය. 7 වසරේදී අපේ පන්තියේ කැටයක් තිබුණේය. එය තිබුණේ දඩයක් ගසන්නටය. ටීචර් පන්තියේ කැටය තබා පන්තියේ කෑගසන උන්ට දඩ ගැසුවාය. ඒ අතර කුණු හරප කියන උන් අහු වුවහොත් උන්ට දඩය වැඩිය. ඒ සියල්ල ටීටර්ට අසු වූයේ පාවා දෙන උන් නිසාය. ඉස්සර ලකුණු දමා ගන්නට කෙල්ලෝ පොරකෑවෝය. එසේම සමහර කෙලි කොල්ලෝද ඒවාට අනුබල දුන්නෝය. ඒ නිසාම කුණු හරප කීම අවමයක පැවතුනේය. ඒ අතර ලබ්බ කියා අසුවූ අයෙකුගේ කතාවක්ද සෑමා පෙර ලිපියකින් සදහන් කළේය.

ඉස්සර එහෙමය. ඒත් දැන් කුණුහරප පිළිබද කාගේවත් ගානක් නැත්තේය. තම හොදම මිත්‍රයාට නම කියා කතා කරනවාට වඩා කුණුහරපයක් කීවිට හැරී බලන්නේය. එය ප්‍රිය වචනයක් නොවන්නේය. එහෙත් එය හුදෙක් නාම පදයක් බවට පත්වී ඇත්තේය. මිතුරෙකුට කුණු හරපයක් කියා ආමන්ත්‍රණය කරන වේලාවකට වඩා තරහ ගිය අවස්ථාවක කුණුහරපයක් කියද්දී වෙනසක් ඇත්තේය. එවිට එය ප්‍රිය වචනයක් නොවන්නේය. ඒ නිසා කේන්ති ගිය, ක්‍රෝධයෙන් වෛරයෙන් පිරුණු අවස්ථාවකදී කුණු හරපයක් කියද්දී සහ මිතුරන් සමග සිටිද්දී කුණු හරපයක් කියද්දී සැබෑ වෙනසක් ඇත්තේය. නමුත් අවස්ථා දෙකේදීම කියවෙන්නේ එකම වචනයක්ය. එහෙත් ස්වරූප දෙකක්ය. එහෙත් කුණු හරප හොදින් හෝ නරකින් භාවිත වන වාර ප්‍රමණය වැඩිවීම මගින් තමන්ගේ මට්ටම සමාජයට විදහා දැක්වෙන්නේය. ඒ නිසා කළ යුතු හොදම දේ මිතුරෙකුට වුවත්, තරහා කාරයෙකුට වූවත් භාවිත වන කුණු හරප ප්‍රමාණය අවම කිරීමය.

ඉස්සර උඹ, බං බොලං කීවත් කස්ටියට අවුල්ය. දැන් මිත්‍රත්වය වැඩි වූ කලෙක මූනටම කියවෙන්නේ කුණු හබ්බය. එයින් මිතුරු සිත් බිදෙන්නේ නැතිය. අපේ උන්ට සේම හැම එකාටම එහි මාර කික් එකක් ඇත්තේය. සමාජය මැද, දී එහි භාවිතය පිළිබද සැලකිලිමත් විය යුතුය. විටෙක ඔබ ඔබේ මිතුරාට සෙනෙහසින් කරන්නා වූ ආමන්ත්‍රණය කුණුහරප සහිත එකක් විය හැකිය. එය අසා සිටින පොඩි දරුවෙකු එය යහපත් දෙයක් යැයි සිතා නැවත කිසියම් තැනකදී භාවිත කරනු දැකිය හැකිය. එවිට දරුවා පාසලේ හෝ කිසියම් තැනකදී සමාජය මැද කොන් වන්නේ එය නිවසේදී දෙමාපියන්, සහෝදරයන් භාවිතා කරන ආකාරය යැයි සිතමින්ය. ඉන් නම කැතවන්නේ පොඩි දරුවාගේ සේම නිවසේ උදවියගේය.

අප බුකියේ චැට් එකක් දමද්දී වුවද භාවිත වන්නේ දරුණු වචනය. මෙය සෑම කෙනාටම පොදුය. මටද, ඔබටද  පොදුය. මේ මෑතකදී අපේ වෙනි අයියා (ලියන්නා) පවා සමීක්ෂණයක් කරණු මම දුටුවේය. ඔහු රාත්‍රී ජාමයේ තම ලිස්ට් එකේ ඔන් ලයින් සිටින උන් හට අඩෝ කියමින් ආමන්ත්‍රණය කොට ඇත්තේය. බහුතරයක් ප්‍රතිචාර ලබා දී තිබුනේ සුද්ද සිංහලයෙන්ය. ඒ අතර සෑමාද හොද ප්‍රතිචාරයක් දෙන්නට ගොස් නිකං සිටියේය. ඒ අපේ උන්ගේ හැටිය. මිත්‍රත්වය හමුවේ කුණු හබ්බ පවා සාමාන්‍ය මට්ටමට එන්නේය. සමහරුන්ට දැමූ ආදරණීය නම් පවා ප්‍රසිද්ධියේ භාවිත කළ නොහැකි ඒවා වන්නේ ඒ නිසාය.


බුදුරජානන් වහන්සේ සතර සංග්‍රහ වස්තු ඔස්සේ දේශනා කළේ දානය, ප්‍රියවචනය, අත්ර්‍ථචර්යාව, සමානාත්මතාව පිළිබදවය. ඉන් දානයට වැට නොබැදීම පිළබදව පෙර ලිපියේ සදහන් වූයේය. මේ ලිපියෙන් ප්‍රියවචන භාවිතය පිළිබද ඔබේ අවධානය යොමු කරවීම සෑමාගේ අදහසය.

“පෙය්‍ය වජ්ජන්ති පියවචනං” යන අඟුත් සඟි අටුවාවේ සඳහන් පාඨයට අනුව ස්ත්‍රී පුරුෂ සමාජයක තිබිය යුතු උසස් ලක්ෂණයක් ලෙස ප්‍රිය වචනය හඳුන්වා ඇත්තේය. ස්වකීය නිලධාරීන් හා වැසියන් සඳහා ළගන්නා සිත් නොරිදෙන වචන භාවිතා කිරීම ප්‍රිය වචනයේ ස්වභාවයය. දෙහදක් අතරේ නිසසල පිරිසුදු සුහද බවක් ඇති කිරීම සඳහා ප්‍රිය වචනය හේතු වන්නේය.

මිනිසුන් පමණක් නොව සතා සිවුපාවන් ද ප්‍රිය වචනයට කැමති බවත් එයින් ද හොඳ වචන කතා කිරීමට පුරුදු වන බවත් සත්තිකුම්භ ජාතකය, නන්දිවිසාල ජාතකය වැනි කතා පුවත් තුළන් පැහැදිලි වන්නේය. බොරුව, කේලම, පරුෂ වචන, හිස් ප්‍රලාප මේවා අප්‍රිය ජනකය. අහිතකරය. ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන අහංකාරාදී කෙලෙස් වලින් හදවත දූෂණය වූ විට එවන් වචන පිට වන්නේය. බුදුරජාණන් වහන්සේ උසස්ම ප්‍රිය වචනය කුමක්ද කියා බලසංගහ වත්ථු” සූත්‍රයේදී මෙසේ දේශනා කොට ඇත්තේය.

“එතදග්ගං භික්ඛවෙ පෙය්‍ය වජ්ජානං යද්දිං අත්ථිකස්ස ඔහිත සෝතස්ස පුනප්පුනං ධම්මං දෙසේති” බණ ඇසීමට කැමති අයට නැවත නැවත ධර්මය දේශනා කිරීම උසස්ම ප්‍රිය වචනය බව එයින් පැහැදිලි වන්නේය. දහම් සොඬ රජතුමා යක්ෂයාගේ කටට පැන්නෙත් බණ ඇසීමට ඇති කැමැත්ත නිසාය. ධර්මය යනු ප්‍රිය වචනයය. එය ඇසීම දැරීම හා චරණය නිවනට ද හේතු වන්නේය.

- බුදුසරණ අන්තර්ජාල කලාපයේද සහය ඇතිව -
වසර 2013ක් වූ වෙසක් මස, 27වන සදුදා.
-සෑම්-

Thursday, May 23, 2013

දානයට වැට "නො"බැදීම - සෑමාගේ වෙසක් කලාපය..


බුදුරජානණ් වහන්සේ අලව් රටට වැඩ සිටින අවස්ථාවේ එම රටේ අත්ථාලවක රජතුමා පන්සීයක් තරම් පිරිසක් සමග බුදුරජානණ් වහන්සේ හමුවට පැමිණි අවස්ථාවේ රටක් පාලනය කරන පාලකයන් තුල, ප්‍රදේශයක් පාලනය කරන පාලකයන් තුල, ගමක් පාලනය කරන ග්‍රාමාරක්ෂකයන් තුල, පවුලක් පාලනය කරන ප්‍රධානියා තුල තිබිය යුතු ගුණාංග සතර සම්පූර්ණ වී තිබිය යුතු බවට අත්ථාලවක රජතුමා උදාහරනයට දේශණා කළෝය.

“චත්තාරිමානි භික්ඛ වේ සංගහ වත්ථූනි
කතමානි චත්තාරි, දානං පෙය්‍යවජ්ජං
අත්ථචරියා සමානත්තතා ඉමානි ඛො

භික්ඛ වේ චත්තාරි සංගහ වත්ථූනී ති” ආදී වශයෙනි.

අන්‍යයන්ට සංග්‍රහ කළ යුතු කරුණු 4 කි කුමක්ද ?

ඒ කරුණු හතර

1. දානය
2. ප්‍රිය වචනය
3. අත්ර්‍ථචර්යාව
4. සමානාත්මතාව නම් වේ.

ඉහත කරුණු සියල්ල බුද්ධ දේශනාවෙන් උපුටා ගත් ඒවාය. සෑමා වෙසක් කලාපය ආරම්භ කළේ කිසිවෙකුට  ඇගිල්ල දිගු නොකොට සිත් සතන් පුරවාලන දහම් කරුණු කිහිපයක් බ්ලොග් ලොවට මුදා හැරීමටය. එහෙත් අද සවස් ජාමයේ එෆ් ඇම් නාලිකාවක ගිය නිවුස් එකක් අසා දානයට වැට බැදීමක් සිද්ද වෙන බවක් දැනුනු නිසාම මේ ටික ලියන්නට සිතුනේය. දන්සැල් පිලිබද කතිකාවක් මේ දින වල ඇති වී ඇත්තේය. සල්ලි කීයක් හරි එකපාර අකවුන්ට එකකට වැටුනොත් ටැක්ස් ගහන්නට බලං ඉන්නවා සේම, කොහේ හෝ දන්සලක් දුන්නොත් ඒකටත් කෙලවන්න හදනවා විය යුතුය.

ඉස්සර අපේ පැත්තේ දින දෙකක් පුරාවට කෝපි දන්සලක් දුන්නේ කලින් ප්ලෑන් කර නොවේය. වෙසක් දවසේ උදෑසන අපි දන්සලක් දෙමු කියා එකපාර සිතාගෙන බඩු මුට්ටු සැට් කරගෙන කට්ටියගේ එකමුතුවෙන් දන්සැල හවස් ජාමයේ ඇරඹෙන්නේය. කිසිම පෙර සූදානමක් නැතිව පැවැත්වෙන එවැනි දන්සල් බොහෝය.  එසේ හදිසියේ පහලවෙන පිං සිතුවිලි වලට බධා පමුණුවෙන්නේ මෙවන් ක්‍රියාවලි නිසාය. දන්සැලකට පර්මිට් ගැනීමට, සිදුවුවහොත් දන්සැල් නැතුව යනවාය. දන්සැල් වල තත්ව සහතික ලබා දෙන්නට ගියත් සිද්ධ වෙන්නේ ඒ ටිකමය. අනික දන්සැලකින් කා බී බඩගිය හෝ අසනීප වූ අයෙක් පිලිබද සෑමා අසා නැත්තේය. 

වෙසක් දිනයේ එක එකාට බැනලා වැඩක් නැතිය. දානය හෙවත් දීම නිසා මිනිසුන් අමාරුවේ වැටෙන්නේය. රැවටෙන්නේය. ඒ ගැන යමක් ලියා තැබිය යුතුය. දිනක් ෆුඩ් සිටි එකක් අසලදී කාන්තාවක් දුටුවෙමි. ඇද කුඩා දරුවෙකු වඩාගෙන සිටියාය. ඇය සිගමන් යදිමින් සිටියද සිගන පෙනුමක් නොතිබුණාය. කෙසේ හෝ මොහොතකින් ෆුඩ් සිටිය ඇතුලටද රිංගා ගත් ඇය කැෂියර් එක අසල සිටියාය. කැෂියර් එක අසල තබා ඇති චොක්ලට් වර්ග සහිත රැක් එකට අත දැමූ කාන්තාවගේ පොඩි එකා චොක්ලට් එක අතට ගත් සැටියේම කටස් ගා දෙකට කැඩුවේ පැකට් එක පිටින්මය. කැෂියර් එකේ කාන්තාව, ඇතුලේ සිටි මැනේජර් සහ පිරිස් පැමිණ ඇයට බැන වැදුනෝය. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සාධාරණය. ඇගේ පැත්තෙන් ඈ අසරණය. තත්වය එසේ තිබියදී එතැනට පැමිණි මහතෙකු කීවේ ඇයට බනින්නට එපා තමන් ඒ අලාභය පියවන බවක්ය. එසේ කියා ඔහු අලාභය පියවන ලද්දේය.

සියල්ල අහවර වී දොරෙන් එලියට එද්දී සිකුයුරිටි පොර ඇය කවුද කියා කස්ටියට පහදමින් සිටියේය. ඇය දිනකට හොද මුදලක් උපයන බවත්, විවිධ දරුවන් ඇතැතිව පැමිණ සිගමන් යදින බවත් ඔහු කියා සිටියේය. වෙනදාට කාර් පාර්ක් එක අසල ගැවසෙන ඇය එදින ඇතුලට පැමින ඇත්තේය. එසේම සිද්ධියට මැදිහත්ව මුදල් දුන් පුද්ගලයා ඇයගේ ප්‍රෝඩාව නොදැන රැවටී මුදල් ගෙවූයේ නිරපරාදයේ බවත් ඔහු කියා සිටියේය. මෙවැනි ප්‍රෝඩාකාරී සිගමන් යදින්න්ගේ කතාවක් සෑමා මීට පෙරද ලිව්වේය. එදා හැම එකාම කිව්වේ මෙවැනි කතා අනන්ත බවය. මෙය ඒ කතා අතුරින් තව එකක් පමණක් විය හැකිය.

එහෙත්, ‍ලබන්නාගේ යටි අරමුණ කුමක් වුවද, ඔබ දානය දෙන්නේ සැදැහැති සිතින් නම්, එහි හොද ප්‍රථිඑල ඔබටය. තෙල්, මල්, සුවද දුන් දෝත දරා ආමිස පූජාවට මුල් තැන දෙමින් සතර සංග්‍රහ වස්තු අමතක කළ ඔබට ප්‍රතිපත්ති පූජවෙන් හෙවත්, ක්‍රියාවෙන්ම දැහැමිව කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන පින්බර සුභ වෙසක් මංගල්‍යක් වේවා.

Written by sAm_8:04pm_23/05/13

Monday, May 20, 2013

බක්කෝ නැති - තොරණ් නැති - වෙසක් බලන්න එන්න...


ඉස්සර අවුරුදු අහවර වෙද්දී, වෙසක් ලං වෙද්දී අපේ සිත් තුල කැරකෙන්නේ අමුතු ප්‍ර බෝධයක්ය. ගියපාර අපේ ගෙදර හැදුවේ අටපට්ටම් සැට් එකක්ය. මේ පාර ඊටත් වඩා දෙයක් කළ යුතුය යන්න හිතේ කැකෙන්නේය. ගෙදර අයගෙන් අහන්නේ මේ පාර වෙසක් එකට මොකද කරන්නේ කියාය. පොඩිම පොඩි කලේ නම් කරන්නේ කාඩ්බෝඩ් බුදුරැස්මාලාවක් රැගෙන පුංචි මෝටරයකට අටවා කැරකැවීමය. බුදුරැස්මාලාව මෝටරයේ කූරට හිර නොවන කරදරයට මුහුණ දෙන්නේ එවිටය. ඉන්පසු දෙපැත්තෙන් කාඩ්බෝඩ් අලවා, පෑන් බට ගසා මෝටරයේ කූරට සිර කර ගන්නා ආතල් එක ලොවෙත් නැතිය. මෝටරය ලී  කැබලි දෙකක් අතර සිරකොට කෙලින් සිටවා ගැනීම, එය බුද්ධ රූපයක් පිටුපසින් සිටවීම වැනි දෑ මහා ලොකු කාර්යයන්ය. ඉන් පසුව කාඩ්බෝඩ් එක සුලගට හසුවී නැමීයාම. මෝටරයේ වයර් ලූස් වීම වැනි කරදර වලට ඉතිරි දියන්වල මුහුණ දෙන්නේ සියල්ල අනිත්‍ය බව පසක් කරමින්ය. ඒත් ඒ කාලේ අනිත්‍ය සිහි නොවන්නේ මහා කෝපයක් සිතට ගෙන දෙමින්ය.

පස්සෙ කාලෙක සෙනිත් එකේ සර්කිට් පොතේ 22k, 470k රෙසිස්ටර්, C828, D400 ට්‍රාන්සිස්ටර, 100uf, වැනි කැපසිටර් යොදාගෙන බුදුරැස් මාලා සදන කාලය උදා වන්නේය. සර්කිට් බෝඩ් නැති විට වේරෝ බෝඩ් යොදාගෙන, නැතහොත් ආදේශක බෝඩ් කැබලි යොදාගෙන රැස් මාලාව ගොඩ දමා ගන්නේ හිතේ ධෛර්යයෙන්ය. ඒ අතර බල්බ්වල අඩු කැඩීයාම, ඊයම් වලින් හරි හැටි පෑස්සීමට නොහැකි වීම, වයර් බුරුල් වී සෙලවීම් බාධා ලෙස නොතකා ඒවා මහා කරුමයන් ලෙස සිතීම ස්භාවිකය. එහෙත් අවසන වෙසක් දින සිට නොනැවතී දැල්වෙන තමන්ම නිවසේ සාදාගත් රැස් මාලාව සිත් පහන් කරන්නේය. එය සදාතනික සතුටක් වන්නේය.

අද කාලේ වෙසක් කූඩු කඩෙන්ය. බල්බ් වැල්, රැස් මාලා කඩෙන්ය. ගෙදරදී අලවන්නට හැකි කූඩුද, නැති නම් අලවා අවසන් කළ කූඩුද කඩේ තිබෙන්නේය. බෞද්ධ කොඩිද කඩෙන් ගත හැකිය. ඒ සියල්ල මැද නිවසේ තැනෙන කූඩුද ඇත්තේය. 

වෙසක් අස්සේ අපේ දෝදුවාගේ වෙඩිම 23 වෙනිදා උදා වන්නේය. දෝදුගේ දෙවෙනි මනාලයා වන්නේ සැමාය. ඒ වැඩ කටයුතු වලට සිර වන්නට වුවද සෑමාට බ්ලොග් එකේ අද සිට වෙසක් උදා වන්නේය. මෙතැන් සිට කැත සිත්වලට කවි ලියූ සෑමා ගිය වසරේ මෙන් සතියක් පුරාවට හෝ ඊටත් වැඩි දිනක් ලියන්නේ දැහැමි කතාය. එවන් කතා වලින් සිත් පහන් වේවා යැයි සෑමාගේ එකම පැතුමය. සෑමාගේ වෙසක් කලාපයේ බක්කෝ නැතිය. තොරණ් නැතිය. වෙසක් කූඩුවක් පමණක් ඉහලින් එල්ලුවේය. ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම්මය. ඒ නිසා ගියවර වෙසක් කලාපයේ සිට මතකය අලුත් කොට මේ වසරේ වෙසක් කලාපයට දැහැමි සිතින් පිය නැගිය යුතුය.

සිත් දැහැමි වෙන, ලෝබ, ද්වේශ, මෝහ, ආදියෙන් මිදී සැනසෙන සිතින් මේ වෙසක් සතිය ගත කරන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව උදාවේවා.. !

ඔබ සැමට තෙරුවන් සරණයි.. !

Wednesday, May 15, 2013

පොලිස්කරුවෝද මනුෂ්‍යයෝ නම්... If Cops are Humans !!


මට හිතෙන හැටි ලියන නිශාන්තයා කීවේ සියළු පොලිස්කරුවෝද මනුෂ්‍යයෝ කියාය. ඒ පෝස්ට් එක සුපිරිය. පොලිස්කරුවෝ මනුෂ්‍යයෝනම් ඔවුනටද හැගීම් දැනීම් තිබිය යුතුය. එසේම මිනිස්සුන්ට සිදුවන අනතුරු ඔවුනට සිදුවිය හැකිය. මගතොටදී සිදුවන අනතුරු ගැන තැකීමක් තිබිය යුතුය. එසේම ඒවායෙන් මිදීමට ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුතුය. මිනිසුන්ට සිදුවන දේවල් වලින් ආරක්ෂා නොවන්නේ නම්, සාමාන්‍ය හැගීමක් හෝ නැත්තම් ඔවුන් මනුෂ්‍යයෝ වන්නේද?


ඒත් උන් මනුෂ්‍යයෝය....

Monday, May 13, 2013

අල්ලපු ගෙදර බල්ලා.. - My Neighbour Dog !!!


බල්ලා නම් හිත හොද සතෙක්ය. ඒත් මිනිසුන්ට බල්ලා කියා බැනීමෙන් ඒ සතාගේ කොලිටියද බහින්නේය. සෑමා බල්ලන් ගැන කතා කිහිපයක් ලිව්වේය. පස්සෙන් කඩාගෙන පැනගෙන එන අහිංසක බල්ලෙක්ට ලියූ කතාවක් සෑමා බල්ලෙක්ට ලියමි ලෙස නම් කළේය. ලෝකෙට පේන්න ලොකු ගණන් වලට බල්ලො හදන වෙලා, කළගුණ දන්න වල් බල්ලෙක් හදන්න, ආදරෙන්. උන් ලොකු ජාතියෙ එවුන්ට වඩා ලස්සනයි හොදට කන්න දුන්නම. ආදරෙන් බලා ගත්තම.“ කියා එම ලිපිය සෑමා අහවර කළේය.
අසරණ වූ අල්ලපු ගෙදර බල්ලා..

මේ කියන්නට යන්නේ අල්ලපු ගෙදර බල්ලා ගැනය. ඌද අනිත් උන් මෙන් කකුල් හතරක එකෙක්ය. වෙනදාට තාප්පයට උඩින්, අල්ලපු ගෙදර වහලය මත සිට අපේ පැත්ත බලන්නේය. ඒ බැලුවේ මහ උජාරු ලීලාවෙන්ය. ඒ ගෙදර උන් කන්නට දෙන්නට සිටි නිසාය. එසේම ගෙදර අයිතිකාරයාද මහ උජාරු කාරයාය. ඒ කාලේ වලව්ව කියා හදුන්වා ඇත්තේ මේ ගෙදරටමය. එහෙත් දැන් වලව්ව ඔහුගේ නෙමේය. අයියාගේ නමට තිබු වලව්වා දැන් විකුණා හමාරය. වලව්ව අයියා විකුණූ නිසා වලව්වේ පදිංචිව සිටි අංකල්ට, ඇන්ටීට, දුවට සහ පුතාට ඉන් ඉවත් වන්නට සිද්ධ වන්නේය. ඒත් ඔවුන් පිටත් නොවූ නිසා දැන් නඩුය. ඒවා ගෙදර බල්ලා දන්නේ නැතිය. ඌ වෙනදා මෙන් ආදරය, අනුකම්පාව ඉල්ලා සිටින්නේය. එහෙත් නිවසේ ප්‍රශ්න නිසා ඌට කෑමවත් හරියට ලැබෙන්නේ නැතිය.

දිනක් රාත්‍රියේ වලව්වට හොරු පනින්නේය. හොරු නිවසේ තිබු පිත්තල පහනක් තාප්පයෙන් පන්නන්නට හදද්දී වැඩේ ගැස්සී පැන යන්නෝය. අවාසනාවකට උන් පැන යන්නේ සෑමාගේ වත්ත පැත්තෙන්ය. ගෙදර එකා පොලිසි යන්නේය. උගේ දැනුමේ හැටියට, මොල ගෙඩියේ හැටියට ඇන්ට්‍රිය දමන්නේ සෑමා සැක සහිත බව කියමින්ය. පසුදා පොලිසිය සෑමාගේ නිවස ඉදිරිපිට වාහනය නවත්තන්නේය. “ආ ඉස්කෝලෙ මහත්තයා“ කියමින් සෑමාගේ තාත්තා හමුවී සිද්ධිය ගැන විමසා පිටත්ව යන්නෝය. ඉන්පසු දා සිට අංකල්ව මග තොටදී දකින හැම වතාවකම සෑමා සද්දෙට කතා කරන්නේය. මුවින් පිටවන්නේ “ඇලඩින්.. ඇලඩින්.. පහන දීපන්...“ කියාය. අංකල් බිම බලාගෙන ගියේ තමා කළ වරදට දඩුවම් විදින්නෙකු ලෙසය. අංකල් සෑමාට කළ දේ, බල්ලාට වැඩක් නැතිය. ඌ සොයන්නේ ආදරය, සෙනෙහස, සහ කන්නට බොන්නට දෙයක් පමණක්ය.

දිනක් වලව්වට කොල්ලෙක් තවත් සෙට් එකක් සමග තාප්පෙන් පනින්නෝය. ගෙදර බල්ලා සද්ද නැතිය. එයින් කියවුණේ බල්ලා ඒ සෙට් එකම හදුනන බවක්ය. ඒ නිසා බල්ලාට ඒවා වැඩක් නැතිය. ගෙදර කිසිවෙකු සිටියේද නැතිය. කොල්ලො සෙට් එක නිවසේ ගේට්ටු ඇරගෙන ඉන් එලියට ගත්තේ මස් කළ කාර් එකක්ය. කාර් එකේ අයිතිකරු යැයි කිව හැකි පුද්ගලයා සිටියේ මහා කෝපයකින්ය. අවසන පොලිසියද ආවේය. කාර් එක තවත් වාහනයක සහයෝගයෙන් ඇදගෙන ගියේය. ඔවුන් අප නිවසේ අයට කියා සිටියේ අංකල් වාහන මස් කිරීම, හොර චෙක් ගණුදෙනු කිරීම ආදි වංචනික ක්‍රියාවලට සම්බන්ධ බවක්ය. එහෙත් ගෙදර බල්ලාට ඒවා වැඩක් නැතිය. ඌට අවශ්‍ය කෑම බීමය. කන්න දෙන එකාට බල්ලා සලකන්නේය.

ගෙදර දරුමල්ලන් විවාපත් වන්නෝය. කොල්ලා නිවසින් වෙන නිවසකට යන්නේය. කෙල්ල විවාපත්ව නිවසින් පිටත් වන්නීය. අංකල් ඇන්ටී තනිව සිටියදී ඇන්ටීද දරුවෙකුගේ නිවසේ පදිංචියට යන්නේය. අංකල් බල්ලා සමග ගෙදර සිටින්නේය. අවසන අංකල්ව පොලිසිය කුදලගෙන යන්නේය. බල්ලා නිවසේ තනිවන්නේය. සතියක් දෙකක් යනතුරු අංකල් ගෙදර නොආවේය. ඒ අතර වලව්වට රෑ ජාමේ පනින උන් යකඩ උස්සාගෙන ගියෝය. රෑ ජාමේ බල්ලා උඩු බුරලන්නේය. ඌට හොරු ආවාට ගාණක් නැතිය. නමුත් බඩගින්න දැනෙන්නේය. වතුර තිබහ දැනෙන්නේය. එවිට ඌ උඩුබුරලන්නේය. වත්ත පුරා අඩි අටකට දහයකට වඩා උස තාප්පෙන් බල්ලාට පැනිය නොහැකිකේය. වහලයට නගින ඌ පාර දෙස බලමින්, සෑමාගේ වත්ත දෙස බලමින් කෑ ගසන්නේය. ඌට වුවමනාව බඩ කට පුරවා ගැනීමය. ආදරයක්, සෙනෙහසක් දෙන්නට නිවැසියෝ නිවසේ නැත්තෝය.

බල්ලාට කෑමට හැකි පරිදි උඩින් පාන් බනිස් විසික් කළ හැකි වුවද, බත් පාර්සල් විසික් කළ නොහැකිය. පුළු පුළුවන් දේ විසික් කොට බඩ කට පිරවිමට අප ගත් උත්සාහ අප්‍රමාණය. උදේ, දහවල් උඩට නගින් ඌ බඩකට පුරවාගෙන ගොස් නැවත බඩගිනි වූ විට පැමිණ උඩු බුරලන්නේය. බල්ලාට සෙනෙහස පාමින් තාප්පෙන් පැනීමට, ගේට්ටු ඇරීමට ගොස් අහක යන ආතල් කර පිට දමා ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවුනෝය. සති කිහිපයකින් අංකල් නැවත පැමිණියේ තවත් නඩු කිහිපයකට පැටලීමෙන් පසුවය. දැන් බල්ලා සද්ද නැතිය. ඌට වුවමනා වුණේ බඩ කට පුරවා ගැනීමටය. දැන් ඌට කන්න ලැබෙන්නේය.

සෑමාගේ අම්මා සිහි කළේ අපේ පුංචී නොහොත් අම්මාගේ නංගී කළ ක්‍රියාවක්ය. අම්මලා ඒ කාලේ නිවෙස් මාරු කොට වෙන නිවසකට යන්නට බඩු අදිද්දී පුංචී කිසිම බඩුවක් මුට්ටුවක් රැගෙන යාමට උනන්දු නොවී ගෙදර සිටි බලල් තඩියා රැගෙන යාමට පමණක් උනන්දු වී ඇත්තේය. ඒ ගෙදර ඉන්න සතා තමන්ගේම පවුලේ සාමාජිකයෙක් ලෙස සලකන නිසාය. ට්‍රිප් එකක් වුව ගෙදරින් යද්දී, ගෙදර සිටින බලු තඩියා අල්ලපු නිවසට භාර දීම, හෝ ඥාතී නිවසක තැබීම ශිෂ්ඨ මනුෂ්‍ය ලක්ෂණ වන්නේය. එහෙත් එවන් ගති ගුණයක් හෝ නැති “අල්ලපු ගෙදර බල්ලා, බල්ලෝ..“ ගැන කියන්නට වචන නැත්තේමය.

Written by sAm_9:24pm_13/05/13

Friday, May 10, 2013

ඇරයුමක් නැති වෙඩිමකින් කෑවෙමු.. - Attended Wedding W/O Invitations !!


දමියාගේ වාහනයේ නැගී දිලාව නිවසින් බැස්සවීමට, සම්පා සහ සෑමාද පැමිණියේ රාත්‍රී 9ට පමණය. දිලාගේ නිවස පිහිටියේ ඉදිගහමුල පැත්තේය. ප්‍රධාන මාර්ගයේ සිට ඇතුලටද යායුතුය. ගම්පහ සිට පිස්සු කෙළිමින් පැමිණි හතර දෙනා දිලාගේ නිවසට යන මාර්ගයට වාහනය හැරවූයේ ඉක්මනින් ගෙදර යාමට සිතාය. දහවල පවා හරි හැටි ආහාරයක් ගැනීමට නොහැකි වීම ඊට ප්‍රධාන හේතුවක් වූයේය. 

“අඩෝ.. අන්න පට්ට ආතල් එකක් යනවා..“

“තඩි ස්ටේජ් එකක් ගහලා.. වෙඩින් එකක් වගේ..“

“මොනු හු#$ක්ද බං??? අපේ ගමේ මට නොකියා වෙඩින් තියන්න.. නවත්තපං වාහනේ...“

දමියා වාහනය පාරේ පැත්තකින් නැවැත්තුවේය. එය නිවසක පැවැත්වෙන වෙඩිමක්ය. නිවස ඉදිරිපිට පාරේ එහා පැත්තේ වාහනය නැවැත්වූ විටම මල්ලී කෙනෙක් දිව ආවේය. 

“අයියෙ‍්‍ පාර්කින් එක නම් තියෙන්නෙ එහා පැත්තේ.. වාහනේ ඒ පැත්තට දාලා ඇතුලට එන්න...“

ඇතුලට යන්නට පෙරම කොල්ලා අපට වෙඩිමට එන්නට කියන්නේය. මොනවා හරි කේස් එකක් ආවොත් පොරව අල්ලා දෙන්නට පුලුවන්ය. “අපි දන්නෙ නැහැ.. අර මල්ලි වාහනේ නවත්තල ඇතුලට එන්න කිව්වා.. ඒකයි අපි ආවේ..“ කියා දිවි ගලවා ගත හැකිය. දමියා වාහනය එතැනම පාර අයිනට කොට නවත්වා තැබුවේය. අත් දිග කමිසයේ අත් කොටට නමා තිබු අප අත් දිග හැර ගත්තෙමු. දමියා කාර් එකේ තිබූ ඇන්විලොප් එකක් දෙකට නමාගෙන උඩ සාක්කුවේ දමා ගත්තේ හැමෝටම පේන පරිදිය.

වාහනයෙන් බැස සිටියාට ඇතුලට යන්නට තරම් කික් එකක් තිබුනේ නැතිය. එහෙත් දමියා සහ සම්පා වෙඩිමට ආ කොල්ලෝ සැට් එකක් පිටුපසින් නොදන්නා ගානට ඇතුලට ගියෝය. ඇතුලට ගොස් අපිට කතා කරද්දී අපිද ඇතුලට ගියේ කිසිම අවුලක් නැතිවය. ගිය හැටියේම දමියා මේසයක් සොයා ගත්තේය. එහි අංකල්ලා දෙන්නෙක් බ්ලැක් ඕපල් එකකට වග කියන්නෝය.

“අංකල් අපි මෙතන සෙට් වෙන්නද? අවුලක් නැහැනේද??“

“අයියෝ කිසි අවුලක් නැහැ මල්ලී... ඔයාල ඕන දෙයක් ගන්න.. මෙන්න පිපිඤ්ඤා, ඇපල්, චිකන් ඕන දෙයක් තියෙනවා..“

“එල එල අයියා.. අවුලක් නැහැ එහෙනම්.. අපි මෙතන සෙට් වෙන්නම්...“

ෂොට් දෙක තුනක් ලග නමා ගත්තේ ගුටි කන්නට වුනොත් අවුලක් නැති වෙන නිසාය. ඒ අස්සේ ටේබල් වලට බඩු සර්ව් කරන උන් ඇවිත් “මල්ලි කිසි අවුලක් නැහැ.. ඕන දෙයක් ඉල්ලගන්න...“ කියමින් යන්නෝය. ඒ අස්සේ “අයියෙ එහෙනම් අයියගේ කෑල්ල ගෙනත් මෙතැනින් තියන්න“ කියා එකෙක් කීවේ ඕනෑම දෙයක් ඉල්ලන්න කියූ නිසාය.



“මචං.. දිනේෂ් අයියා හොද එකා.. අපි පොර වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඕනෙ..“ ඒ දමියාය.

“කවුද බං දිනේෂ්??“ සෑමා සෙමින් ඇසුවේය.

“යකෝ මනමාලයගෙ නම දිනේෂ්ද කොහෙද.. මට එහෙන් මෙහෙන් ඇහුනා..“

“අඩෝ.. එකෙන්ම දිනේෂ් අයිය අපිට ඔෆිස් එකේ වැඩ වලදි පට්ට සපෝට් එකක් දෙන නිසා.. අපි ඌට බොක්කෙන්ම සලකන්න ඕනෙ..“ අපි සද්දෙට කීවෙමු.

අංකල් අයියලා දෙන්නාද ෂොට් දෙක තුන කූල් එකේ නමන්නෝය. ඒ අතර එතැනට පැමිණි අක්කා කෙනෙක්.. අන්න අජිත් අයියලට කතා කරන්න එන්න කීවේය.

“හුටා.. මනමාලයා අජිත්ද කොහෙද බං..“ කියූ අපේ උන් අජිත් අයියා වර්ණනා කරන්නට වූවෝය. ඒ අතර මනමාල මනමාලි ජෝඩුව ටේබල් වලට යමින් පැමිණි පිරිස් සමග කතා කරන්නට වූවෝය. අපේ ටේබල් එකට ආවෙත් කන්නට වෙන්නේද නැතිය. ඒ නිසා නැගිට ෂේප් එකේ බුෆේ එක පැත්තට ගියෙමු. ඒ අතර පැමිණ සිටි ආච්චී කෙනෙකුට දමියා දණ ගසා වැන්දේය. “අනේ අත්තම්මේ.. “ කියා වදිද්දී ඒ ආච්චී ඔහුගේ ඔලුව අතගෑවේය. බුෆේ එකටද වැඩේ දුන් අප ඩෙසර්ට් බෙදා ගත්තෙමු. ඒ අතර බෑන්ඩ් එකේ උන් කීවේ “අද සිට යුග දිවිය අරඹන චන්දන අයියා සහ හිමාලි අක්කට සුභ පතමු කියාය.“ උන් එසේ නොකිව්වා නම් මහ විනාශයක්ය. දිනේෂ්, අජිත්, කෙසේ වෙතත්, චන්දන අයියාම අපට ඇවිත් කෙලිනවාය.

සියල්ල අවසන දමියා එතැන කෙල්ලෙක්ට නම්බර් එකද දුන්නේය. එවිට මැදින් පැන්නේ සෑමාය.

“නංගි ඔයාට මූව මතක නැද්ද??“

“ම්ම්ම්.. නැහැනේ..“ ඒකි කල්පනා කරමින් සිට කීවාය.

“බලපං නෑයෝ අමතක වෙන කැත..“ ඒ දමියාය.

“ඇයි අනේ පළවෙනි දවසෙ ආවේ..“ ඒ සෑමාය.

“පළවෙනි දවසේ...“ කෙල්ලගේ ඇස් උඩ ගොස් හරස් ප්‍රශ්න අසන්නට වූවාය.

“ගණන් ගන්න එපා නංගි.. මූ බීලා ඉන්නෙ..“ ඒ දමියාය.

තව පොඩ්ඩෙන් මල මගුලක්ය. ඒ වෙඩිමේ පළවෙනි දවසක් තිබී නැත්තේය. දමියා වැඩේ බැලන්ස් කොට නම්බර් එක දී එතැනින් පැන්නේය. බෑන්ඩ් එකේ වැඩේද නැගලා යන්නේය. නටන්නටද එකෙක් වත් නැතිය. අපි හතර දෙනා එතැනට බැස නර්ථන කණ්ඩායමක අඩුව පුරවන්නට සමත් වූවෙමු. ඒ අතර ටිකක් වැඩි වූ අංකල් කෙනෙක්ද සෙට් වූයේය. 

“අඩෝ මාව කවර් කරපං..“ කියමින් දිලා හැංගෙන්නට තැනක් සෙව්වේය.

“ඇයි යකෝ මොකද සීන් එක..“ කියමින් සෙට් එකම දිලාව කවර් කලෝය.

“නැහැ බං.. අපෙ ඉස්සරහ ගෙදර ඇන්ටි ආවා.. ඒකි දැක්කොත් ඔක්කොම සොරි...“

අපේ වෙඩින් එකකවත් අපට ගන්නට බැරි මට්ටමේ ආතල් රැසක් ගෙන, නව යුවල සමග පොටෝවක්ද ගසා ගනිමින් අප වෙඩින් එකෙන් සමුගත්තෙමු. උන් දෙන්නාට ජය මංගලම්ය. දිලාගේ ගෙදර යද්දී සෑමාගේ වාහනේ ලයිට් පත්තු වෙමින් තිබුනේය. උදේ වැස්සට දැමූ ලයිට් නිවන්නට අමතක වෙලාය. ස්ටාර්ට් වුනේ නැතිය. බැට්රිය බැහැලාය. ජම්පර් කේබලයක් ගසා වාහනය ස්ටාර්ට් කරගෙන එද්දී පිටුපස රෝදෙ හුලං නැතිය. හුලං ගහන ජුන්ඩං මැෂිමක් ඇති නිසා ඒකත් හුලං ඔබාගෙන, කාපු බීපුවා බස්සවගෙන ගෙදර ආවේය.

අපේ උන් කීවේ කළකම් පල දෙනවා කියාය.

Written by sAm_7:57am_10.05.2013

Monday, May 6, 2013

ආච්චී ගම කයි... Grand Ma Spoils the Image !


කොල්ලෝ ලියන්නේම කෙල්ලන් ගැන කතාය. ඒත් සෑමා ලියන්නේ ආච්චිලා ගැනය. කලින් සෑමා නංගී ගම කෑ සැටි ලීවේය. අද ලියන්නේ ආච්චී ගම කෑ හැටිය. ඒ වෙන ආච්චිලා නොව අපේම ආච්චීය. සෑමාට ආච්චිලා දෙන්නෙක්ය. එක්කෙනෙක් සිටින්නේ අපේ ලගමය. ඒ තාත්තාගේ ආච්චීය. සෙන්චරිය ලබා ගැනීමට දක්ෂ ලෙස ක්‍රීඩාකරමින් සිටින්නේ ඇයය. තවමත් කඩේ වැඩ කටයුතු කරන්නේ ඇයය. මාළු වැස්ස මුලින්ම අනාවරණය කර ගත්තේද ආච්චීය. ඒ තරමට මීටරේ හොදය. විටෙක සෑමාට වඩා මීටරේ හොද යැයි කිව හැකිය. ඒ කාලේ කාපු කොස් දෙල් වල පවර් එක තවමත් වැඩ කරනවා කියා සිතිය හැකිය. සෑමා කඩේ සිටින්නේම නැතිය. ඌට ඊට වඩා රාජකාරි ඇත්තේය. ඉදහිට හෝ සිටියොත් කුමක් හෝ නස්පැත්තියක් වන්නේය. කලින් පෝස්ට් එකක ලීව ආකාරයේ ආප්ප සෝඩා ගන්නට ආ නංගි කෙනෙකුට ක්‍රීම් සෝඩා දීලා යැව්වේය. ඒ නිසා සෑමා කඩේ සිටින්නේ අල්ප වශයෙන්ය.

“මල්ලී රුපියල් දෙදාහක් තියෙන්නේ.. මට ටයිම්ස් එකක් දෙන්න..“

“අයියෝ අයියෙ මාරු සල්ලි නැහැ..“ අරින්නේවත් නැතුව එහෙම කියන්නේ මල කරදරේ නිසාය.

“මල්ලි... මාව දන්නෙ නැද්ද.. මම අහවලාගේ අහවලා.. ඔයාලගෙ ගෙදර අය මාව දන්නවා..“ ඌ නෑකම් කියන්නේය.

අඩේ අදුරන එකෙක්ට ණයට නොදුන්නොත් ගෙදරිනුත් කේස්ය. නැති ප්‍රශ්නය. උබලා ගමේ උන්ව, නෑදෑයින්ව දන්නෙ නැද්දැයි කෝ චෝක්ය. ඊට වඩා ණයට දීම හොදය. 

“එහෙමද? එහෙනම් අවුලක් නැහැ අයියෙ... ලබන සතියෙත් එනවනේ.. මේක ගන්න..“ එහෙව් විටක සෑමා ණයට දෙන්නේය.

ඊට පස්සේ ණයට ගත් එකා තියා, කවුරුන් හෝ ණයට ගත්තා දැයි සෑමාට මතක නැතිය. අනික ජොබ් එක අස්සේ සෑමා කඩේ ඉන්නේද නැතිය. ඒ අස්සේ තවත් දිනක එකෙක් කඩේට ආවේය. පොර පත්තරය අරන් යන්නට හැරෙද්දී ආච්චී ඔහු ඇමතුවාය.

“මේ ඔයා නේද එදා ටයිම්ස් එකක් අරන් ගියෙ සල්ලි නොදී??“

“ඒ කවදද?“ පොර මවාගත් මුහුණකින් අසන්නේය.

“ඇයි මෙයා ඉන්නකොටම තමා දවසක් අරන් ගියේ..“

“අහ්.. ඔව් ආච්චී... මටත් අමතක වුණා..“

සෑමා කලින් දවසේ සිටියදී ණයට ගත්ත එකා සෑමාට මීටර් නැතිය. ණයට ගත්ත එකාටවත් මතක නැහැ කියද්දී ආච්චී ‍උගෙ රෙදි ගලවන්නීය. ඒ තරමට මීටරේය. ගණන් හිලව් වලට උපරිම මීටරේය. ඉස්සර අපේ ගමේ නම ගිය සිල්ලර කඩය කර ඇත්තේ, සීයා සහ ආච්චීය. සීයා සමග ඉස්සර කස්ටිය කතා කරන්නට බයය. ඒ පොරගේ දැනුම නිසාය. ඒ වගේම ලොකු සීන්ය. කුල භේදයේ අන්තයට ගිය පොරක්ය. ඒ කාලේ දිනක් මගුල් ගෙදරක මේසයක් පෙරලා ඇත්තේද, අඩු කුලේ අයෙක් එම මේසයට ආ නිසා බව කියන්නේය. දැන් සීයා නැතිය.

ඒ තාත්තාගේ අම්මා ගැනය. මේ කියන්නට යන්නේ අම්මාගේ අම්මා ගැනය. අපි ආදරේට කියන්නේ කුංකාච්චී කියාය. කුං + ආච්චී = කුංකාච්චී වී ඇත්තේය. පුංචි කාලේ සිට පුංචීට “පිංකා“ කියන්නේ මන්ද? ආච්චීට කුංකාච්චී කියන්නේ මන්දැයි අපි තාම නොදන්නෝය. ඒවා දැන් රෙජිස්ටර් වී ඇති නිසා කරන්නට දෙයක් නැතිය. කුංකාච්චීට දැන් 85ක් පමණය. මැතකදී පෙනහළු වල වතුර යැයි කියා බෙහෙත් කරන්නට සිදු වූයේය. හුස්ම ගන්නට අපහසුවී, ඇගේ මුත්‍රා කරගනිමින්, ජරා කර ගනිමින් සිටියදී, අපේ මාමලා, නැන්දලා, අම්මා, තාත්තා ඇතුළු සියළු දෙනා එක් වී ආච්චීව ගොඩ දැම්මෝය. තවමත් හිටපු ගමන් අවසිහියක් ඇත්තේය. ඒවා අපේ උන්ට දැන් ගානක් නැත්තේය. මොනවා කිව්වත් සිනාසී පිලිගන්නෝය. ඒ අතර සිදුවූ ආතල් කතා කිහිපයක් මෙසේ ලියවෙන්නේය.

මාමා ගමේ පන්සලේ ප්‍රධාන සංවිධායකතුමාය. ලොකු හාමුදුරුවෝ ආච්චී අසණීපව සිටියදී පිරිත් පවා කියන්නට ආවේ අවසන් හුස්ම යැයි කියා සිතාගෙනය. වාසනාවකට, පිනකට ආච්චී ගොඩ ගියාය. මාමා හැමාදාම පන්සලේ කටයුතු වලට යන නිසා පන්සලේ දායක ඇත්තෝ පවා ආච්චී බලන්නට ආවෝය. අසාධ්‍ය තත්වයේ සිටියදී එන්නට බැරි වු අය දැන් දැන් පවා පැමිනේනනෝය. එහෙත් ඉස්සර තත්වය දැන් පෙනෙන්නට නැතිය. ඒ නිසා එන අය සිතන්නේ ආච්චීට එච්චර අමාරුවක් නැහැ කියාය. කුළගන සමිතියේ කස්ටිය පවා කලින් තිබු අසාධ්‍ය තත්වය යටතේ නැන්දාව මුණ ගැසී ඇත්තේ පන්සලේදීය. නැන්දා සියළු විස්තර කියා ඇත්තේ ඉතා දරුණු අන්දමින්ය. ඒවා සත්‍ය තෙරතුරුය. මෑතකදී කුලගන සමිතියේ අගනෝ සෙට් එක ආච්චී බලන්නට ආවෝය.

“කොහොමද අම්මෙ..“

“අනෙ ඉන්නව ලමයිනේ.... “ සිනා සෙමින්..

“කෝමද දැන් අම්මට..“

“මේ ඉන්නෙ යස අගේට..“

“අපිව අදුරන්න පුලුවන්ද??“

“අපෝ මොකද බැරි.. මේ ඉන්නෙ.. මේ ඉන්නෙ.. “ අහවලා අහවලා කියමින් ආච්චී නිවැරදිව කස්ටිය නම් කර ඇත්තේය.

“අම්මට අසනීප නිසා අපි බලන්න ආවේ..“

“අසනීප.. මොන අසනීපද බං.. මට ඇති අසනීපයක් නැහැ.. මුන්ට පිස්සු...“ ආච්චී පෙරටත් වඩා හොදින් සිනා සෙමින් කියන්නට වූවාය. ආපු සැට් එක කොරය. ආච්චී ආතල් එකේ සිටිනවා කියා, ගෙදර කස්ටිය බොරු කියනවා කියා සිතා පුදුම වන්නට ඇතිය. නැන්දා කීවේ විලි ලැජ්ජාවේ සංතෝසෙ බැරුව ගියා කියාය.

සියළු කටයුතු මැද ගමේ ලොකු හාමුදුරුවෝ ආච්චී බලන්නට වැඩියෝය. ඒ අස්සේ ආච්චී හාමුදුරුවන්ට වදින්නට උපරිම ට්‍රයිය. නැමෙන්නට බැරි නිසා හාමුදුරුවෝ ආච්චීව වැලැක්වුවෝය. එහෙත් ආච්චී පට්ට ට්‍රයි එකක් දී හාමුදුරුවෝ යන්නට හදද්දී බිම වැටුණාය.

“අනේ හාමුදුරුවනේ මම හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරන්නයි හිටියේ..“

“ඒ මොකක්ද අම්මෙ ඒ..??“ හාමුදුරුවෝ සහ ගෙදර අය ආච්චීව උස්සන්ට ට්‍රයි කරන්නෝය.

“මගෙ කොල්ලා පන්සලට දෙන්නයි මම කල්පනා කලේ.. හාමුදුරුවො මේකව අරන් හොදට බලා ගන්න ඕනා..“ කස්ටියට හිනාය. ආච්චී මෙච්චර කාලයක් සිට මාමාව පන්සලට දෙන්නට යන්නේය. හාමුදුරුවෝ වැඩ සිටින්නේ තල්වත්ත පන්සලේය. මානෙල් වත්තේද පන්සලක් තියෙන්නේය. මීට පෙර ධාතු වැඩැම්මුවේ ඒ පන්සලටය. එහෙ සිටින්නේ මෙහෙණියන්ය.

“එතකොට මට මොකද අම්මෙ වෙන්නේ...“ මාමාව පන්සලට දෙනවා කී විගස සිනාසෙමින් නැන්දා ඇසුවාය.

“ආහ්.. ඔයාවද? ඔයාව මම දෙනවා... මානෙල්වත්තට..“

Written by sAm_11.17am_06.05.2013

Friday, May 3, 2013

මාළු වැස්ස ඇස් දෙකෙන් දුටිමි... - Flying Fishes !!


අද ලියන්නට සිටියේ ආච්චී ගම කයි කියා ආතල් ස්ටෝරියක්ය. ඒ අස්සේ අපෙ ආච්චී මාළු වැස්ස අනාවරණය කළ නිසා ඒ පෝස්ටුව පසුවට දමන්නේය. අදට මෙය බලා සැනසෙන්න. වීඩියෝවක්ද සහිතය. Flying Fishes කිව්වාට මුන් පියා මැස්සෝ නෙවේය. අහසින් වැටුණු කාවයියෝය.



ඊයේ නිවුස් වලට ඉබ්බෝ වැස්සක් ගැන කියවුනේය. ඒ අතර රතු වැසි, කහ වැසි, මාළු වැසි අපට නිවුස් වලින් නම් අරුමයක් නොවුනේය. ඒත් අද දවසේ මාළු වැස්සක් ඇස් දෙකෙන් දකින්නට තරම් සෑමා වාසනාවන්ත වූයේය. 

“අන්න මාළු යනවා...“ කඩේ සිටි ආච්චී කෑ ගැසුවාය.

“ඉන්න කියන්න.. ඊයෙත් ගන්න බැරි වුණා...“

අම්මා කෑගසමින් මිදුලට දිව ගියාය. ඊට පස්සේ අම්මා සෑමාට කෑ ගැසුවාය.

“චූටී... මෙන්න මාළු මිදුලේ...“

උඩින් පැන පහලට ගියේ කෙසේදැයි නොදත් සෑමා වට පිට බැලුවේය. මගෙ අප්පේ මිදුල පුරා මාළුය. ඇගේ කටු තිබෙන නිසා උන් කාවයියෝ බව ආච්චී කීවාය. යකෝ ආච්චි එතකොට මාළු යනෝ කියල කෑ ගැහුවේ මාළු කාරයාට නෙවේය. අහසින් වැටුන මාළුවෙක් ගැනය.

පාරේ යන උන්ද, වටවී මාළු අහුලන්නට පටන් ගත්තෝය. කැළණිය හන්දියටත් මේ මාළු වැස්ස මෙලෙසම වැටී ඇති බව එකෙක් කීවේය. පොඩි උන් ෂොපින් බෑග් අරගෙන වැස්සේ තෙමි තෙමී මාළු අල්ලන්ට වූවෝය. දැල් නොදමා, බිලී කොකු නොදමා මාළු ඇල්ලීමට ලැබීම භාග්‍යයක්ය.

එහාට මෙහාට පැන මාළු දහයක් පමණ අල්ලා ගැනීමට සෑමාට හැකි වුයේය. ඒ අස්සේ පොඩි එකෙක් දුවගෙන ආවේ මාළු සීසන් එක අහවර වූ විටය. කොල්ලාගේ අතේ ෂොපිං බෑග් එකක්ද, හිසේ කැප් එකක්ද තිබුනේය. පොර පෙර සූදානමින් වැඩේට බැස්සද මාළු අවාරයේ වැඩේට බැස තිබුනේය. ෂොපිං බෑග් එකට වතුර ගෙදරින්ම පුරවාගෙන ඇවිත් තිබුණේය. පොඩි එකා පව්ය. 

“පොඩ්ඩක් හිටපං මල්ලි මම හොයල දෙන්නම් මාලුවෙක්..“ කියමින් සෑමා වට පිට බලද්දි වහලෙන් වැටී සටස් ගා පොලොවට වැටුනේ තඩි මාළුවෙක්ය. කොල්ලා සතුටින් දිව එද්දී බෑග් එක අතෑරී වතුර විසික් වුයේය. කොල්ලා මාළු අල්ලා ගැනීමට තරම් පව් කරපු එකෙක් නොවන්නේය. ඒත් බෑග් එකට වතුර පුරවා සිත් තොසින් මාළුවෙක් දමාගෙන ගෙදර ගියේය. දැන් නම් වට පිට බලන්නට වත් හොද නැතිය. මාලුවෙක් දැක්කොත් ඌව අල්ලාගෙන පොකුණට ඔබා ගන්නට හිතෙන්නේය. වෙන වැඩක් නැත්තං හොදය.

ඒ අතර කුලේ අංකල් සීන් එකට බැස්සේය. බියර් ගසා කික් එකේ සිටින බුවා දෙබස ආරම්භ කලේය.

“මුන් මරු කිලෝ එකක් විතර සෙට් වුණා නම්..“

“තමුසෙට මුං හරියන්නෙ නැහැ.. මැරිච්ච කුකුල්ලු තමා දෙන්න ඕනා..“ ඒක පරණ සීන් එකක්ය. දිනක් කුලේ අංකල් මැරිච්ච කුකුලෙක් කනත්තේ සිට උයා පිහා බයිට් එකට ගත් කතාවක්ය.

“අනෙ යනව ඕයි යන්න... “ කුලේ අංකල් රිප්ලයි කලේ කුනු හබ්බ දෙකක් සමගය.

“ඒක නෙවෙ අන්න මාලු සීයක් දෙසීයක් අල්ලලු..“ ඒ කීවේ අපේ බුද්ධික අයියාය.

“පුහ්... සීයක් බම්බුව තමා... කෙහෙද අයිසේ සීයක් වැටෙන්නෙ..“

“නැත්තෙ කොහෙද,, අර කැළණි ගගේ ඉදල අල්ලල තියෙන්නේ..“ මූ කුලේව බයිටට අරන් දැල් දමා මාළු අල්ලන උන් ගැන කියන්නේය.

“මෙයා මේ ප&යක් කතා කරනවා.. එහෙ කොහෙද ඕයි එච්චර මාලු වැටෙන්නෙ...“

කුලේට කතාව ක්ලික් නැතිය. අනික එච්චර හිතන්න තරම් සිහියක් නැතිය. පොර බයිට් වෙන්නට පෙර මාරු වුණේය. අහසින් මාළු වැටීම සහ ඇල්ලීම සනාථ කරන වීඩියෝව පහලින් බලන්න...




Written by sAm_2:46pm_05.03.2013
Related Posts Plugin for WordPress, Blogger...