Wednesday, April 27, 2016

සයුර මා විය අහස ‍ඔබ විය - දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය...


කීප වතාවක් අපි වාඩි වුණ තැන. හවසට ඈත මුහුදේ ගිලෙන ඉර දිහා බලාගෙන. මුහුදු හුළඟ ජීවිතේම කාන්සිය මකන විත්තිය කිව්වෙ ඔයාමයි. ඒ නිසයි යන්න ඉන්න තැනක් නැති වුණාම අපි මුහුදු හුලගක් වදින්න දුවගෙන එන්නෙ. රැල්ල පාගලා දඟකරන උන් දිහා බලාගෙන අපි නිසොල්මනේ. ගිලෙන ඉර දිහා බලාගෙන හූල්ලනවා. ඈත දිලිසෙන රත්තරං පාට අපේ කර ගන්න. ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. අද මං එතැනම. ඉස්සර සිතුවිලි එක්ක, තනියම, කල්පනාවක.

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරලක හුදකලාවෙක...
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...

නිතරම වෙරළට ඇවිත් සද්ද දාන, දඟ කරල ආපහු හැරිල යන මුහුද මම වගෙලු. ඔයා එහෙම කිව්වෙ ඈත අහසට අත දික් කරන්. මං දිහා උඩ ඉදන් නිසොල්මනේ බලං ඉන්න අහස ඔයාලු. එතනත් වංචාව.දඟ නම් මම. තැන්පත් නම් ඔයා. අපි හොඳම යාලුවො. අපි දෙන්න විතරයි එහෙම හිතං හිටියෙ. ඒත් හැමෝටම අපි පෙම්වතුන්. ඒක උන්ගෙ හිතේ තියෙන වැරදි වැටහීමක් කියල අපි ඇඟිලි දික් කරන්න ගියෙ නැහැ. මොකද අපිත් දන්නෑ අපි කවුද කියල. ඒත් ඇත්තටම අපි අතර තිබ්බෙ සිතිජයක්. මම මහ මුහුද නම්, ඔයා අහස නම්, ඈතින් අපි එකතු වෙලා වගේ පෙනුනා. වටේම ඉන්න උන්ට. ඇත්තටම ඒක අහස, මුහුද ලං කරපු සිතිජය වගේ. ඈතට හරි ලස්සනට ලං වෙලා පෙනුනට, ඒත් එදා අපි ඇත්තටම ලං වෙලා හිටියෙ පෙම්වතුන් විදිහට නෙවේ. ලෝකෙම මුලා වෙලා අපෙ හිතවත් කම් වලට නමක් දාල තිබුණා අපි පෙම්වතුන් කියලා. ඒත් ඒක සිතිජයක්. ඇත්තටම අහස, මුහුද එකතු කරපු. ලෝකෙම හිතපු විදිහ මට ආයෙත් මතක් වෙනවා. සිතිජයේ ගිලෙන රත්තරං හිරු එළිය මැද්දෙන්.

සයුර මා විය අහස ‍ඔබ විය
දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි...

මම තාමත් කල්පනාවක. හැමෝම කියපුවා මතක් කර කර. ඒ විතරක්ද අපි කතා කරපු දේවල් එකතු කරගෙන. මන්දා අපි අහස, මුහුද වෙලා රැවටිලා හිටියදත් කියලා. අපි අපෙන් කවදාවත් අහපු නැති ආදරය. ඔයා මට, මම ඔයාට ආදරේද කියල කවදාවත් ප්‍රශ්න කරල නැතුව. ඇති. ඇත්තටම නැහැ. ඒත් මම මගේ හිතත්, ඔයා ඔයාගෙ හිතත් අවුස්සලා බැලුවොත් ඒ ප්‍රශ්නෙ අපි අපේ හිත් වලින් වෙන වෙනම අහල නැද්ද කියල උත්තරයක් තියෙයි. මට දැන් තේරෙනවා. ඔයා එදා අහස වෙලා, මාව මහ මුහුද කළේ ඈත සිතිජය පෙන්වන්න. ඔයා මම ආදරේ කියන බැම්මෙන් ඈතින් එකතු වෙලා තියන බව කියන්න. මට නෙතේරුණු ඔයා නොකියා කියපු දේ ඒකයි. ඇත්තටම අහස, මහ මුහුද එකතු වෙලා. ඔයා පෙන්නපු සිතිජය තේරුම් නොගත්ත මම අද තනියම, මෙතැන කල්පනාවක.

සයුර මා විය අහස ‍ඔබ විය
දෙදෙන රැවටූ ක්ෂිතිජයක් විය
කී කථා‍වේ අරුත වැටහින‍
අහස සමුදුර එකතු වී ඇත...


ගායනය - වික්ටර් රත්නායක




sAm_ශ්‍රී_Perera_10:15pm_26/04/16

Monday, April 25, 2016

හිටවන්නම්, රැකගන්නවද කවුරු හරි ?? - Everybody will plant, Who will Protect !!


එකෝමත් එක රටක කවුදෝ මුත්තෙක් සිටියේය. මුණුපුරෙක්ද සිටියේය. මුත්තා මොහොකටද බිම හෑරුවේය. පොඩි එකා මුත්තාට කිට්ටු වූයේය. අහවල් එකටද බිම හාරන්නේ ඇසූ විට මුත්තා කිව්වේ අඹයක් හිටෝන බවය. මුත්තා අඹය හිටුවා ඇඟ බේරා ගත්තේය. ඒ මුත්තාගේ යුතුකමය. මුත්තා නිවැරදිය. මතු අඹයක් නොපතන නියාවෙන් මුත්තා අඹය හිටුවා තම මෙහෙවර ඉටු කළේය. මුණුපුරා මුත්තා ගැන ගෞරවයෙන් සිටියේය. අනේ මුත්තාට නැති වුණත් අපිට කන්න මුත්තා අඹ ඇටයක් පොලොවට යට කළේය. මුණුපුරා තුන් සිත සතුටින් පුරවාගෙන ලොකු මහත් වන්නට ඇතිය. ලොකු වී අඹ කද්දී මුත්තා පැලය සිටවූ පිනෙන් දෙව් ලොව අමෘතය වළඳමින් සිටියේය. අපි දන්නා කතාව එහෙමය. අපි සිතනා කතාව එහෙමය.

එහෙත් සෑමාට මෙහෙම හිතෙන්නට පුලුවන්ය. කුප්ප සෑමා එහෙමය. හිතන්නේ රුවිතයටය. අඹය සිටුවා මුත්තා මිය පරලොව යන්නට ඇතිය. ප්‍රතිසංධි චිත්තය ලෙස මුත්තා අඹය හිටවූ පින සිතට පහල වී දෙව් ලොව ඉපිද සැප ලබන්නට ඇතිය. මුණුපුරා ලොකු මහත් වෙන්නට ඇතිය. මුත්තාගේ පුතාට හෙවත් මුණුපුරාගේ පියාට තව දරුවන් ලැබෙන්නට ඇතිය. ගෙදර ඉඩකඩ මදිව තවත් කොටසක් එක්කර නිවස විශාල කරන්නට අවශ්‍ය වන්නට ඇතිය. නැතිනම් තවත් නිවසක් එම ඉඩමේම හදන්නට උවමනා වන්නට ඇතිය. මුත්තාගේ පුතා ඉදිකිරීම් වලට බාධාවන අඹ ගස කපා දමන්නට ඇතිය. මේවා නම් නියම ලී ලෙස අඹ කඳ ඉරා දමා ලී ගන්නට ඇතිය. පියා සිටවූ ගසට ණය ගැති වී පුත්‍රයා නැවත ගසක් සිටුවන්නට අමතක වන්නට ඇතිය. මුත්තා ගස සිටුවන විට ලඟ සිටි මුණුපුරා විටක ගස කැපුවා දැයි නොදැන ඉන්නට ඇතිය. එක්කෝ ගසක් තිබුණා දැයි, එය හිටෙව්වේ මුත්තා දැයි අමතක වන්නට ඇතිය. ඒත් කිසිදා ගසක් පැලයක් නොසිටවූ එකී මුණුපුරා තද අව්වේ තම වාහනය පාර්ක් කරන්නට සෙවනක් ඇති තැනක් සොයනවා විය හැකිය.

මුත්තාගේ කතාවෙන් කියවුණේ ගසක් සිටුවන්න කියාය. තමන්ට ලැබෙන ලාභය නොබලා හෙට පරපුර ගැන සිතා පැලයක් සිටුවා තබන්න කියාය. සිටුවා තබන ඒ පැලය, ගස රැක ගන්නට, වතුර ටිකක්, පොහොර ටිකක් කිට්ටු කරන්නට කිසිවෙක් කිසවෙකුට උගන්වා නැතිය. වතුර බිඳක් නැතුව වේලි යන පැලයක් දකින උන් වතුර පොදෙක් නොබලා අහක බලන් ගොස් අලුතෙන් පැල සිටුවන්නේ උත්සවශ්‍රීයෙන්ය. විටක වතුර බොන බෝතලයේ ඇති ඉතිරි වතුර ටික, අලුතින් බෝතලය පුරවන විටක විසක් කරන්නේ ගසක් මුලට පැලයක් මුලට නොව කොහේ හෝ බිත්තියකටය. ඒ අසලම ඇති ගසකට හලන්නට තරම් චින්තනයක් උන්ට ඇති නොවන්නේය. බුද්ධ ධර්මයෙන් කිවහොත් සම්මා සතිය හෙවත් නිවැරදි කල්පනාව නැත්තේය. කල්පනාවෙන් සිටියා නම් ඒ වතුර පොද පිපාසිත වියලුණු පැලයකට ජීවයක්ම වන්නේය.

දැන් පැල සිටුවීම චැලෙන්ජ් එකක්ය. සීන් එක ඇත්තය. දැන් ඉඩම් නැතිය. තිබෙන්නේ ගෙවල් විතරය. මිදුලක් කියා ඇත්තේ වාහනය පාර්ක් කිරීමට හිඩැසක් පමණක්ය. ඉඩක් තිබුණත් පැලයක් හිටවන්නට වෙලාවක් නැතිය. වල් පැලයක් හෝ ගලවන්නට වෙලාවක් නැතිය. එහෙව් සංකීර්ණ තත්වයක් යටතේ පැළයක් සිටුවීම යනු ඇත්තටම චැලෙන්ජ් එකක්ය. පැලයක් සිටුවන එක එතරම් චැලෙන්ජ් එකක් නම් පැලයකට සාත්තු කර රැක බලා ගැනීම කෙතරම් අපහසුද යන්න දෙවරක් තුන්වරක් සිතා බැලිය යුතුය. සමහරු අම්මට හුඩු පැළයක් හිටවන්න ඕනේ යැයි කියමින් පැලයක් සිටුවන්නේ සිටුවිය යුතු තැන ගැන නිසි අවබෝධයක් නැතුවය. නිවසට කිට්ටු කර පැලය සිටුවා පැලය තඩි ගසක් වූ පසු කපා දමන්නෝය. කලින් සිතා බලා පැලය ගසක් වන ප්‍රමාණය, මුල් වලින් නිවසට වන හානිය, අනාගත ඉදිකිරීම් ගැන හෝ සිතා බලා පැලයක් සිටුවන පිරිස් බොහෝ අල්පය.

සෑම්ගේ කිටියාද පැල සිටෙව්වාය. ඒ නිසාම සෑමාට පැල සිටුවීම හා සිටවූ ගසක් රැක බලා ගැනීම යන කාරණා දෙක ගැන පැහැදිලි අවබෝධයක් ඇත්තේය. රැල්ලට, ඇඩ් එකට සිටුවන ගස එදාට පමණක්ය. සතියක් දෙකක්, මාසයක් වතුර වැටෙන්නේය. විටෙක පොහොරද වැටෙන්නේය. ඒ සීමිත කාලයකටය. එහෙත් පිඹුරුපත් අඳිමින්, මනා සැලසුමක් සහිතව සිටුවන ගසක් කල්ප කාලයක් පවතින බව කිව යුතුය. එලෙසම ලැබෙන සාත්තුවද නොමදය, සදාතනික බවද පැහැදිලිය. කිව්වාත් වගේ බැල්කනිය වටේ බැම්මට සිමෙන්ති පෝච්චි සැට් එකක් සවි කළ යුතු බව කීවේ කිටියාය. ඇත්තය. පැලයක් සිටුවීමට එය කදිම තෝ තැන්නක්ය. මුලුතැන් ගෙට ආසන්නයෙන් සිටුවි යුත්තේ හොද්දට දැමිය හැකි කෑමට ගත හැකි එලවලුවක් බවත්, ඉදිරිපසින් සිටුවිය යුත්තේ මල් හෝ ලස්සන කොළ සහිත පැල බවත් අගේ මතය වූයේය. ඒ කියූ පරිදිම පැළ කිහිපයක් සිටුවූයේ කිටියා විසින්ය. මුල් දින කිහිපයේ පැහැදිලි සාත්තුවක් ලැබුණේය. දවසට දෙවරක් වතුරද, පසුව නිල් කැට පොහොරද ලද පැල සෙමින් සතුටින් වැඩී ආවේය. මාසයක් දෙකක් ගත වෙද්දී දවසට දෙවරක් ලද ජල පහසුව, පැලවලට ලැබුණේ කලාතුරකින්ය. සියල්ල වේලී විනාශ වී යනතුරු කිසිවක් සිදු නොවූයේය.


ගොඩ දමා ගත් මල් පැළය


ගොටු කොළ වගාව, නොමිලේ පැළ වූ වල් ගස්ලබු පැලය සමඟ



තවන් කළ දෙළුම් ඇට පැළ වී ඇති අයුරු


තවත් ගොටු කොළ


නැවත පැල තවන් කර පුනරුදයක් ඇති වූයේ සෑමා පැල කිහිපයක් තවන් කළ පසුය. ඉදිරිපස පෝච්චියේ කිටියා සිටවූ මල් පැලය වතුර දැමීමෙන් ගොඩ ගැනීමට සෑමාට හැකි වූයේය. සෑම්ගේ මව විසින් තවන් කළ දෙළුම් ඇට කිහිපයෙන් පැල විශාල ප්‍රමාණයක් ලබා ගැනීමටත්, ඇය සිටවූ ගොටු කොළ වලින් පොඩි සෑමාට නීරෝගී ගොටු කොල කඩා ගැනීමටත් හැකි වූයේය. ඉහත ආකාර දෙකේදීම පැල සිටුවීම, තවන් කිරීම මහ අමාරු චැලෙන්ජ් එකක් නොවූයේය. චැලෙන්ජ් එක වූයේ ඒවාට සත්කාර කිරීමය. උදේට වතුර දැමීමය. පස් වේලී යන කාලයේ පස තෙත්ව තබා ගැනීම පැහැදිලි චැලෙන්ජ් එකක්ය. ජය ගත යුත්තේ පැල රැක ගැනීමේ අභියෝයය. පැලයක් සිටුවීමට සිත් දීම ඉතා පුන්‍ය ක්‍රියාවක්ය. එය රැකබලා ගැනීමට ශක්තියක් තිබීම ඉතා වැදගත්ය. අපි සිටෙව්වා යැයි අත ගෑවුණු පස් පිස දමා ගැනීමට වඩා, අපි හිටෝපුවා රැක ගන්නවා යැයි අත්වැල් බැඳ ගැනීම එලෙසම වැඳගත්ය.

ඉතින් අපි සිටුවන්නම්..

කවුරු හරි රැක බලා ගන්නවා ද ??

Written_by_sAm_ශ්‍රී_Perera_5:05pm_25/04/16

Sunday, April 24, 2016

සමනලයා මියැද්දෙන්


ලියන්නට යන්නේ සෑමාට අමතක වුණ බ්ලොග් ලොවට තවමත් සෑමාව අමතක නැති බවය. ඒ සෑමා ගිය පළමු පොත් දොරට වැඩමවු උත්සවයක් ය. පොත දින්නාගේය. නම සමනලයා මියැද්දෙන් ය. ෆේස්බුක් ඉවෙන්ට් එකට ආරාධනා ලද මොහෙතේ සෑමා ගැලවිජ්ජා තියරියට අනුව Going වෙනුවට Interested ලෙස සටහන් කළේය. ටික දිනකින් දින්නාගේ සමීපතමයෙක් වූ, සෑමාගේ පැරැණි මිතුරා මලියා කතාකොට කිව්වේ සෑමා වරෙන්, මාත් එනවා කියාය. වැඩි දුර නොහිතා සෑමා ඉවෙන්ට් එකට Going නොකියා, එකවර කඩා පැන්නේය. ඒ සෑමා සහභාගී වූ පලමු පොත් දොරට වැඩුමය.

දොරින් ඇතුල් වූ තැන සිට අසුන් ගන්නට යන තැන දක්වා සිනා මුහුණු කිහිපයක්‍ ය. බස්සී, පසන් හා ඉවානයා ඒ අතරය. පසුපසට ගොස් සුපුරුදු මැන්ටලයා ලග අසුන් ගත් තැන සිට ඕනයාගේ ලෝන්ච් කිරිල්ලට නිමක් නැති විය. ශාලාවතුලට එද්දී සිනාසුණු ගැමියා, බුකියේ තිලින ශමල්ක බව වැටහුනේ තරියා පැමිණ සැල්ෆියක් ගසා බුකියේ දැමූ ටැග් එකකින් බව කිව යුතුය. පිටිපස හිටි තරිඳු වා, තරුවා බවත් තේ පැන් සංග්‍රහයේ දී සිහි විය. ඉදිරිපස සිටි අක්කා සෑමා හැදින් කතා කලේ සතුටින් ය. ඇගේ එහාකොන බ්ලොග සෑමා කියවා කමෙන්ට් කර ඇති බව සිහිපත් කළ ඇය එහි තිබූ බ්ලොග් කතා සිහිකළද  සෑමාට ඇයව අමතක ය. උත්සවය අතරතුර ඇයට බෝධිනී ලෙස අමතද්දී අඩේ මේ බෝධිනී අක්කා යැයි සෑමාට සිහි විය. ඇයි යකෝ තෝ ඒ බ්ලොගේ කමෙන්ට් පවා දාලා තියෙනවා මම දැකලා තියෙනවා යැයි ඕනයා සෑමාට සිහි කලේය. කලෙකින් බ්ලොග් ඉවෙන්ට් එකකට ආ නිසාදෝ සෑමා වටේ උන් සමග කඩේ දා ගත්තා දැයි සිතුනේ බෝධිනී අක්කා බොලාගේ කරච්චලේ නිසා මම ඉස්සරහට ගියා කියූ නිසාය. ඒත අප කතා කලේ පැරණි රසාංග ගැනය. චතුමිතූ අර ඉන්නේ කියමින් ඕනයා අත දිගු කළේ කොණ්ඩය දිගට වවා ගත් කෙල්ලෙක් දෙසටය. ඒ ඇය නොවේ යැයි සෑමා පොලොවේ පස් කද්දී ඒ ඇය බව ඇයම කියා සිටියේය.

කලන්සිරියා සෑමා හදුනාගෙන කතා බහ කලේ පලමු වරටය. නෙලුම් යායට නොගිය නිසා කලං ව මුණ ගැසී නොතිබුනේය. ඇනෝපිලසා කාලෙකින් දුටුවේ අදය. ඌත් මුණගැසී කිව්වේ ඇනෝනිමස් නෙවේ යකෝ ඇනෝ පිලස් කියාය. මුහුණ අමතක මුත් ඇනෝපිලස් නාමය මතක බව ඔහු තරයේ මතක තබා ගත යුතුය. රවීශයා පළමු වරට දැක කතා බහ කිරීමට ඉඩ ලැබුනේ අදය. බූරු කුට්ටම අද ඔහු අත නොතිබුණේය. බුකියේ කවි උපේක්ශා, සුපිරි ගායිකා නෙරන්ජි දෙදෙනාද කලෙකින් දුටුවේ අදය. තේ අඩියක් ගසද්දී කඩා වැටුණේ එකල සක්‍රීය වූ කොලුවෙක් ය. දැන් නොලියන්නේ අපරදේය. අයියේ මං සොමියා යැයි කියූ සොමියා සෑම් අයියාට දැන් බබා බලා ගන්න අස්සේ ලියන්නට බැරුව ඇති යැයි හීන් බයිටක් දැම්මේය. පසුව අයියේ මං යන්නම් කියාගෙන කෙලි පොඩිත්තියෝ දෙනමක් කුදලගෙන ගිය බව කිව යුතුය. දෙදෙනාම ආ සෑම් නේද කියා කැත හිනාවල් දැම්මේ සෑමාගේ පෝස්ට් එකක් සිහි වෙලා විය යුතුය.

උත්සවය හමර වී තේ සංග්‍රහයේ අසිරිය විද ගැනීමට නිවැරදි වෙලාවට ආවේ ප්‍රදීප් අයියාය. මම එනකල් කට්ටිය නවත්තා ගත්තාදැයි ඇසූ විට ඕනයා කිව්වේ ඔව්, ප්ලේට් එකක් අරන් තියා ගත්තා කියාය. කලෙකින් හමුවූ මුහුණු වලින්, මතක් වූ කතා වලින්, සියල්ල අලුත් වූවා දැයි සෑමාට හැගෙන්නේය. ඊට හොඳම සාක්ශිය ඉස්සර මෙන් මහ පාන්දර 2ට ලියනා මේ පෝස්ට් එකය.

උත්සවය අතරතුර කතා කළ උදවිය කීවේ මෙහි ගැබ්ව ඇත්තේ ඉතාලියේ හිරු බසින හවසක කලුවර අහස බදු හුදෙකලාවක් කියාය. එය සත්‍යයක් මය. දින්නාගේ කතා වල සෑමා හැම විටම දුටුවේ සතුට නොලද දුක්මුසු චරිතය. හුදෙකලා වූ සිතුවිලිය. ඒත් ඒවාට පන දෙන්නට දින්නා සමත් ය. ඇත්තට ඇස, මොනිටරය අතර හිඩැස කරදරටක් ය. ඒ හිඩැස, බාධාව ඉවත් කර පොතට ගුලි කළ, බ්ලොග් කතා නැවත කියවිය යුතුය. අනතුරුව දින්නාට කමෙන්ට් එකක් දිය යුතුය. උත්සවය අතර සංවාදයට ලක් වූ තිලකසිත, ආච්චීගේ කොලම, කෙටි කලබල සිහින සහ බෝධිනී අක්කාගේ පොත, පිලිවෙලින් කියවිය යුතුය.

සෑමා අමතක කළ බ්ලොග් ලෝකය, නැවත සිහි කැදවූ ඔබ සියල්ලන්ටම තුති.. !!

බ්ලොග් සැමට, ඇස හා මොනිටරය අතර හිඩැස නැති කිරීමට හැකිවේවා !!

sAm_ශ්‍රී_Perera_2:06am_24/04/16

Wednesday, April 6, 2016

සම්මාන බෙදීමේදී දෙවරක් සිතිය යුතුය... - Think twice before Nominate Awards !!


ඔව් ලියන්න යන්නේ ඒ සම්මාන උලෙල ගැනය. නමින් නම් එය නෙලුම් යායය. මෙවර එය සිද්ධ වූයේ දෙවන වරටය. කලින් වර මෙන්ම මෙවරද වසරේ බ්ලොග නමින් බෙදීගිය සම්මාන දෙක සාධාරණ යැයි සෑමා කියන්නේය. ගියවර මාතලන්ටද, මෙවර සම්මානී හෙවත් සම්මානයෙන් පිදුම් ලබන්නීටද, ලැබුණු සම්මාන දෙක ගැන සෑමා සතුටුය. එය සර්ව සාධාරණය. එහෙත් අනෙක් සියළු සම්මාන පසෙකින් තබා එක් අයෙකුට ලැබුණු සම්මානයක් ගැන සෑමා සිතන්නට වූයේය. වරක් සිතුවේය. අවුලක් නැතැයි අතහැර දැම්මේය. දෙවැනි වරද, තෙවැනි වරද, අවසන් කිහිප වරක්ම සිතට එද්දී මේ ලිපිය ලිවිය යුතුම යැයි සෑමාගේ සිත කීවේය. ඇත්තෙන්ම ගිය වරද, මෙවරද, උක්ත සම්මාන උලෙල ගැන සෑමා කිසිම ලිපියක් නොලිව්වේය. ඇතෙමුන් සිතුවේ කුහක කමට කියාය. ඇතෙමුන් කිව්වේ එහෙම නොලියපු එක වැරදිය කියාය. එහෙත් කරුණු කිහිපයක් මත සෑමා නොලිව්වේය.



ඉන් පළමු හේතුව වුයේ පෙර තරම් එක දිගට බ්ලොග් ලිපි ලිවීමට සෑමාට ඇති වූ නොහැකියාව නිසාය. ඇත්තෙන්ම 2015 වසරේ බ්ලොග් එක නොලියූ තරම්ය. ඉස්සර නම් අවමය සතියට ලිපි 4ක්ය. දැන් ලියන්නේ ඉදහිටය. ඒ නිසාම 2015 වසර වෙනුවෙන් පැවැත්වූ සම්මාන උලෙල ගැන පවා ලියන්නට සෑමාට අයිතියක් නැති බව සිතුණේය. එලෙසම පෙර තරම් සයිබර් කටයුතු වලට දායක නොවීම, ඊට වෙලාවක් නොමැති වීම සහ සයිබර් කටයුතු වලට දායක නොවී සිටීමේ චින්තනය සිත තුල කිදා බැස තිබීම නිසාම සෑමා ලිපියක් ලිවීමට අදි මදි කළේය. සියල්ලම අකාරුණික හේතුය.

සම්මාන උලෙල ගැන ලිවිය යුතු බව සිතුණේ එක් සම්මානයක් නිසා බව ඉහතදී සෑමා කියුවේය. සෑමා කැළණි ධර්ම විදුහලේ්දී සම්මානයක් ලබා ගත්තේය. ඒ හොඳ වැඩ කරලාය. ඒ පිලිබද සෑමා පෙර ලිපියකදී ලියූ බව මතකය. වසර දෙකක් දහම්පාසලේ සීල සමිතියේ එක දිගට සිල් අරගෙන, ඒ වෙනුවෙන් තරුණයෙකු ලෙස මහගු සේවයක් කර සහතික පතක් ලබා ගත්තේය. ඒ මතු දිනක දෙව් ලොව යන කෙළවර කළ හොද වැඩ සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමටය. නැතහොත් වීසා වැරදී හෝ අපා ගත වුවහොත්, සහතිය පෙන්වා නැවත දෙව් ලොවට පැන ගැනීමටය. කළ හොඳ වැඩ වලට සම්මාන ලැබීම අවුලක් නැතිය. එහෙත් තමන් ජීවිතය තුල කළ කුපාඩි වැඩ සඳහා මහා සෙනගක් මැද, ජන මාධ්‍යය මැද, සම්මාන දෙන්නේ නම්, ඒවා සයිබරයේ පළ කෙරෙන්නේ නම් එය හෙළා දැකිය යුත්තක්ය. අනුමත කළ නොහැක්කක්ය.

හෙන්රි ජයවර්ධන නම් හෙතෙම්, සමාජයේ පිළිගත් අයෙක්ය. ලියන්නේ “ජොනි වෝකර්“ ලේබලය යටතේ වුවද හෙතෙම ගුරුවරයෙක්ය. සමාජයට ආදර්ශයක් විය යුතු අයෙක්මය. එහෙව් අයෙකුට ලේබල් ගසා සම්මාන දීම සෑමා සිතන්නේ අනුමත කළ නොහැක්කක් ලෙසය. හෙන්රියා යනු  සෑමාගේ බ්ලොගේ මිතුරෙක්ය. එලෙසම සෑමා 2012 දෙසැම්බර් 17 දින හෙන්රියාගේ අපූරු ලිපියකට පිලිතුරු ලිපියක්ද ලිව්වේය. "blue jeans" හෙවත් නිල් ජංගියේ ලියැවුණු “ඔබ කවුරුද නොදුටු සබඳ“ ලිපියට සෑමා පිලිතුරු ලිපියක් ලියන්නේ හෙන්රියාට ස්තුති කරමින්ය. සෑමාගේ ගමේ සිට කාටත් නොහිතෙන නිහඩ සේවයක් කළ අයෙක් වෙනුවෙන් සෑමාට අමතක වූ අගය කිරීම කලේ හෙන්රියාය. ඒ වෙනුවෙන් තම 200 වස පෝස්ට් එක සෑමා ලිව්වේ හෙන්රියාට උපහාර වශයෙන්ය.

මැකුණු අතීතය එලෙසය. එදාටත් පෙර සිට හෙන්රියා කළේ සමාජ මෙහෙවරයන්ය. ලියුවේ සමාජයට ගත හැකි දේවල්ය. ගුරු සේවය නිසාම ඔහු සමාජය ආදර්ශවත් වූවා දැයි සෑමාට සිතෙන්නේය. එහෙව් පුද්ගලයෙක්ට “අතීත කාමය“ ලෙස වැරදි ලේබල් ගසා සම්මාන දීම සෑමා දකින්නේ අනුමත කළ හැකි දෙයක් ලෙස නොවේය. ගුරු සේවයට ආ දා සිට සමාජයට ආදර්ශයක් වූ හෙතෙම ඊට පෙර කළ කී දෑ අපි නොදන්නේය. එහෙත් ඒ අතීතය නැවත හාර අවුස්සා දමමින්. ඔහු ගේ අතීත කාමය වරදවා හැසිරීම වෙනුවෙන් පිදුනු සම්මානය, සහතිකය ඔහු විසින් වර්ජනය කළ බව සෑමා දුටුවේය. ඒ තමා වෙනුවෙන් ලියැවුනු සහතිකය ගැනීමට එදිනට එම උත්සවයට නොපැමිණීමෙන්ය. ඔහුගේ පැත්තෙන් ඔහු සාධාරණය. එවැනි සහතිකයක් වේදිකාවකට නැගී ගත හැකි නම් හෙන්රියා කෙසේ නම් ආදර්ශවත් වන්නේද? ඔහු එලෙස වර්ජනය කළ සහතිකය වෙනියා මහතා ලැමිනේට් කර, රාමු කර, තමන්ගේ ගෙදර බිත්තියේ එල්ලා ඇති බවට ලැබුණු ආරංචිය ඇත්ත නම්, එම කාමුක සෙට්ටිෆිකේට් එකට ගැලපෙන්නේ වැල්පෙනල වෙනිවැල් මහතාටමය.



සම්මාන ලද, සම්මානයට නොමිනේට් වු සැමට, සම්මාන නොලැබුණු නමුදු බ්ලෙග් වල ජීව ගුණය රැක ගැනීමට ලිපි ලියූ සැමට තුති... !!

සම්මාන උලෙල සාර්ථකව කළ සංවිධායක මණ්ඩලයට ජය !!

Written_by_sAm_sRi_7:05am_06/04/16
Related Posts Plugin for WordPress, Blogger...