Tuesday, February 7, 2012

පොඩි සෑමාගේ තියරිය අනුගමනය කළ ජයසූලිය මාමාට ලියමි.... (පොඩි සෑමාගේ ලියුම 5)

ඉස්සර පොඩි සෑමා ඉක්කෝලේ ගියේද කිරිකට් බැට් එකක් බෑග් එකේ දමාගෙනය. අපේ ගමේ අංකල්ලා හිතුවේ මම ඉක්කෝලේ ටීම් එකේ ඕපනින් බැටා කියාය. ඉතිං මාත් එයාලට එහෙම හිතන්නට දුන්නා මිස අහිංසක චින්තනයට බාධා කලේ නැත. ඇත්තටම මම ඉක්කෝලේ බැට් එක ගෙනිච්චාට ටීම් එකට සෙල්ලම් කිරීමට තියා, ෆ්‍රී පීරියඩ් එකක වත් සෙල්ලම් කිරීමට ලැබෙන්නේ නැත. මම තදයා වගේ බැට් එක ගෙනිච්චාට සෙල්ලම් කරන්නේ අනිත් අයය. මට අපේ යාළුවෝ දමන්නේ එක බෝලයකි. බැට් එක විකට් එකට වඩා කුඩා නිසා බෝලය වදින්නේ බැට් එකේ නොව විකට්ටුවේය. එහෙව් අකටයුතුකම් මැද මම ඉක්කෝලේ ගියේ කිරි cot කිරිකොට් වලට තිබ්බ ආශාව නිසාමය. එහෙව් මම ආදරය කලේ අපිට ලෝක කුසලානය ගෙනා ටීම් එකේ සිටි මාස්ටර් බ්ලාස්ටර් හෙවත් ජයසූලිය (ජයේ) මාමාටය. 



එකී මාමාට ආදලයෙන් ලියමි... 

ජයසූලිය මාමේ. ඔ‍බ සැපෙන් වග නම් දනිමි. මේ ලිපිය ලිව්වේ ඇයි කියා ඔබ වික්සිප්ත වෙනු නිසැකය. එනිසා මේ ලිවුම ලියන්නට හේතුව මම අන්තිමට දක්වමි. මම ඔබ හදුනන්නේ කළුවිතාලන මාමා සමග ඕපන් පෙයාර් එකට බැට් කොරන්නට පිට්ටනියට ආපු දින සිටය. ඉත්තර ඔබ දෙපල අතිනත ගෙන පිට්ටනියට එද්දී අනිත් ටීම් එකේ ෆීල්ඩ් කරන මාමලාට වැඩිය අපේ ඇගපත කිලිපොලා යන්නේය. ඒ ඔබලාගේ නොහැකියාව නිසා නොව යුධ බටයන් දෙදෙනෙකු ලෙස පැමිණ වේගවත්ව පහර එල්ල කර ක්‍රිකට් නව මගකට ගත් නිසාමය. එසේම අපි බය වූයේ පිස්සුවෙන් වගේ පහරදී කොයි මොහොතක හෝ දැවී යාවි කියාය. ඒත් ඉස්සර ඔබ ගැහුවොත් මැච් දිනනවා සුවර්ය. 

අපේ සීයා කොල්ලා කාලේ අපි පොඩි ගැටව් කාලේ ඔබ ඕපන් ආවා මතකය. එදා මම සීයා සමග ටීවී එක ලගට සෙට්වුනේ දවල් දෙකට ඇරඹි තරගය බැලීමටය. ඒ පටන් ගත් හැටියේ මම නාන්නට ගියේ අපේ අම්මාගේ කෑගැසීම නිසාය. එහෙව් ගිය මම 2.30ට ටීවි එක ලගට එද්දී ටීවි එක වසා දමා සීයා බිම පැදුරක් එලා නිදිය. "ඇයි තීයේ මැච් එක ඉවරද?" කියා කිරිකට් ගැන මෙලෝ හසරක් නොදන්නා මම අසද්දී තීයා කීවේ ඉවරයි බොල "සනා" අවුට් කියාය. කිරිකට් ගැන නොදන්නා කමට මම හිතුවේ සනා මාමා විතරයි සෙල්ලම් කරන්නේ එයා අවුට් වුණාම මැච් එක අහවරයි කියාය. ඒත් ඒක ‍එහෙම නෙවේ කියලා මට තේරුනේ ලොකු වුණාමය. මගේ පුංචි මොලයට තේලුනේ "සනා" අවුට් නම් අපේ අය මැච් බැලීම එතනින් ඉවර කල කාලයක් තිබුණ බවයි.

මගේ මනස දැන් දිවෙන්නේ අපේ ඉංග්‍රීසි ටීචර් අපිට රචනාවක් ලියන්නට දුන් කාලයටය. ජාතික වීරයෙක් ගැන ලියන්නට දුන් රචනාව මම ඔබ ගැන ලීවේ 1996 අපේ වීරයෝ වර්ල්ඩ් කප්පුව ගත් නිසා. ඒ අතර සිටි අනිත් මාමලාද අමුතුවෙන් මතක් කළ යුතු නැත. ඔවුන් තවමත් වීරවරුය. ඉංග්‍රිරීසි ටීචර් කීව නිසා මම හිතුවේ රචනාවේ යෙදෙන සියළු නම් පවා ඉංගිරීසි විය යුතු බවයි. එනිසා එදා මම ඔබේ ජයසූරිය යන නම ලිවේ අපූර්ව ඉංගිරිසියෙනි. එනම් ජය = Win, සූ =Zoo,  රිය = Car, කියාය. ටීචර් රචනාව ඉවර වෙනතුරු කියවා ඇසුවේ කවුද පුතේ මේ වින්සූකර් (Winzoocar) වීරයා කියාය. ටීචර් හිතන්නට ඇත්තේ පිටරට වීරයෙක් කියාමය. මම ටීචර්ට තේරුම් කර දුන්නේ අපේ වීරයා ජයසුරිය බවයි. ටීචර් දෙමාපිය රැස්වීමෙදීත් මාව චාටර් කළ නිසා එදායින් පසු මම පුද්ගලයින්ගේ නම් ඉංගිරිසියට පරිවර්ථනය නොකලෙමි. 

ඉස්සර අපි අපේ වත්තේ ක්‍රිකට් ගසන්නෙමු. අපිටම වෙන්වූ නීතිමාලාව දැන් අයි.සී.සී මැච් ගහනවාට වඩා අමාරුය. පහර දුන් බෝලය උඩින් ගොස් අපේ ‍ලොකු අම්මලාගේ වහලයට වැටී ඇස්බැස්ටෝස් තහඩු දිගේ ඇවිත් ඇල්ලුවොත් අවුට්ය. තැඹිලි ගහේ අත්තක වැදී ඇල්ලුවොත් අවුට්ය. කොටින්ම කීවොත් "ගස් කැච්" ඔට්ටුය. බිමදිගේ ගොස් පාරට ගියොත් අවුට් නැත. ඒත් උඩින් ගියොත් අවුට්ය. ලෙග් එක පැත්තේ ඇන්ටිලාගේ වත්ත අවුට්ය. කඩුල්ල මුවා කිරීම වරදක්ද නොවේ. එසේම එක දවසක් අපේ තාත්තා මැච් එකක් ගසන්නට ඇවිත් අපිට අවුට් කර ගන්නට බොහෝ වෙලා ගියේ තාත්තා සරමක් ඇදන් බැට් කළ නිසාය. එවිට පන්දුව විකට්ටුවට ගියද බැට් එකේ වැදුනේ නැත්තම් සරමේ පැටලී නවතින නිසා නොටවුට්ය. මේ ක්‍රමය ඉන්පසු අපේ අයියලාද අනුගමනය කළහ. කැච් එකක් ආවත් අතින් අල්ලනවාට වැඩිය සරම ‍ගොට්ටක් සේ අල්ලා බෝලය එයට දමා ගැනීම සිදුවිය. ඒවා සියල්ල වලංගුය. එකී නොකී සියළු බාධක මැද මා දකුණතින් ක්‍රීඩා කලේ වමතින් සෙල්ලම් කොරන ජයතූලිය මාමා වීමටය.

මම ආදරය කල ඔබ ගැන පලවූ පුවතක් නිසාම මේ ලිපිය ලියන්නට සිත් වූ බව දනැ පවසමි. මෙතෙක් වේලා නෙපැවසූ කරුණ නම් මෙසේය..

උපුටා ගැනීම ලංකාදීප පුවත්පත (දිනය හරි හැටි මතක නැත, ජනවාරි මාසයේ එකකි)

පොඩි සෑමාට ඉස්කෝලේ යන්නට ගෙනා කිඹුලා බනිසක් ඹතා තිබුනේ මේ පත්තර පිටුවේය. ඉන්ටර්වල් එකේදී කිඹුලා බනිස කෑවත් බඩ නොපිරුනේ ජයසූලිය මන්තිරී මාමා මැච් එකක් අතර පාර්ලිමේන්තු රැස්වීමකට ‍ගොස් ඇති බව එහි තිබු නිසාය. කවුරු මොනවා කීවත් ජයසුලිය මන්ත්‍රී මා සිතේ ඇති ස්නේහය දෝරේ ගලා යන්නට වූ නිසාම මේ ලිපිය ලියන්නට සිත් වුණි. ක්‍රීඩා පිටිය මෙන්ම පාර්ලිමේන්තු සභාව යන දෙකම වෙනුවෙන් අඩු නැතිව ක්‍රියාකරන ඔහු නම් තවමත් මාස්ටර් බ්ලාස්ටර් කෙනෙකි. එසේම "ඕල් රවුන්ඩර්" කෙනෙකි.

ලිපිය කියවා අහවර වූ තැන මා හට මතක් වුනේ පොඩි සෑමා ‍පොඩි කාලේ කල ට්‍රික් එකකි. එය මෙසේය...

ඉස්සර පොඩි සෑමා කිරිකට් සෙල්ලම් කලේ අයියලා සමගය. ඉරි අල්ලා බැට් කරන අනු පිලිවල තෝරා ගත් පසුව තමාට ලද ස්ථානයේ ක්‍රීඩා කරයි. ඉන්පසු නැවත තමාට බැට් කිරීමට වාරය එන්නේ ගොඩ වෙලාවකට පසු බව පොඩි සෑමා දනී. ඉතිං සෑමා කොරන්නේ වලියක් දාගෙන හෝ අම්මා කතා කලා කියා ගෙදර යාමය. ඉන්පසු අනිත් අමාරුවෙන් ‍ෆීල්ඩ් කර, බැට් කරන අය දැවී ගොස් තමාගේ වාරය පැමිණෙන අවස්ථාවේදී සෑමා නැවත තරගයට අවතීරණය වේ. ඇත්තටම කිරිකට් වල බැට් කරනවාට වඩා රසයක් නැත්තේමය. ෆීල්ඩ් කිරීම නම් එපා වෙනවාය.

පොඩි සෑමාගේ තියරිය ජයසූලිය මාමා අනුගමනය කළාද? නැතොත් ජයසූලිය මාමා පොඩි සෑමාගේ තියරිය අනුගමනය කළාද නොදනිමි. නමුත් මට සතුටු එදා මා දුටු සිහිනය ජයසූලිය මාමා කෙනෙක් වීමය. අද ඔහු මා වී ඇත.

මා වැනි පොඩි මිනිසෙකු අනුගමනය කළ ඔබට තුති... !

Written by sAm_9.00am_06.02.2012


පලි - ඉරි අල්ලීම යනු - බැට් කරන පිළිවෙල තෝරා ගැනීමට කරන සාධාරණ ක්‍රමයකි. බොහෝවිට මහ පොලව මත ඉලක්කම් ලියා ඉලක්කම් බැට් එකෙන් වසා එලියට කෙටි ඉරි ඇද තබනු ලැබේ. තම තමන්ට කැමති ඉරි කැබලි අල්ලා ගත් පසු බැට් එක ඉවත් කර ඉලක්කම් වලට අදාල ස්ථානයේ ක්‍රීඩා කල යුතුය.

*** සෑමාගේ පෙර ලිපි ***

60 comments:

  1. සෑමා කලින්ම ජයසූරියට ක්‍රමේ කියලා දීලා. ජයේ ඒ ක්‍රමේ අනුගමනය කරනවා. මරු මරු !!!!

    මම අද එක ද කොහෙද !

    ReplyDelete
    Replies
    1. ඔයාල තැඹිලි තොරන් ගහනකොට අපිත් කිරිකට් ගහනවා.. :)

      Delete
  2. ජයසූලිය මාමා ට දැන් වැලේ වැල් නැත, අයි පී එල් එකට තෝලා ගන්නේද නැත, එහෙව් එකේ මැටිසබේට යනෙන ගමනේ ඇති පිට්ටනියක පොඩිත්තක් සෙල්ලම් කර කීයක් හරි හොයාගන්නා මේ වැඩේට විරුද්ධ වන්නෝ බටහිර අධිරාජ්ජියවාදී කුමන්ත්‍රණකාරයෝ වග නොකියා ම බැරිය.

    ReplyDelete
    Replies
    1. //විරුද්ධ වන්නෝ බටහිර අධිරාජ්ජියවාදී කුමන්ත්‍රණකාරයෝ//

      සැබෑය. ඇමති නිල රියක් ඇග උඩින් ගියත් කතා කළහොත් අප දේශද්‍රෝහියෝය.. :)

      Delete
  3. ඇඬෙනවා අප්පා මේ ලියුම දැක්කාම..
    ඔය ජයසූරිය මාමා කළුවිතාරණ මාමාත් එක්ක ඕපනින් ආපු කාලෙට පස්සෙ මමත් මැච් බැලිල්ල අතෑරියා

    ReplyDelete
    Replies
    1. මට මැවිලා පේනවා බං. ඉස්සර දෙන්න ඇවිත් නෙලන අපුරුව.. !

      Delete
  4. අනේ දැන් ඔය බුවා වැඩක් නැත..ඉස්සර නම් ආසම කෙනා දැන් නම් වැඩක්ම නැත..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්ට එපාය. කීයක් හරි අතට එන වැඩක් කලාට තරහා වෙන්ට එපාය. ;)

      Delete
  5. ඉස්සෙල්ලම අම්බානකට හිනා උනා කියලා කියන්ඩ ඕනා...

    ඔක්කොම "ර"යනු ටික "ල"යනු කලානම් තවත් හොඳයි..

    උඹ අපිටද ඉරි අල්ලන හැටි කියලා දෙන්නේ..!!! යකෝ ඉරි අල්ලලා එකේ ඉලක්කම කලින්ම අල්ලගත්ත උන් අපි.. ඕක දන්නැති එකෙක් මේ ලංකාවේ ඉන්ඩ බෑ..

    ReplyDelete
    Replies
    1. මුල් ලිපි මෙන් අස්කර වින්නියාසය වැඩිපුර වැරදියට නොලියමි. කතන්දර අහන්නට අකැමැත්තෙමි.. ;)

      නැහැ බං. දැන් ඉන්න එවුවො ඉරි අල්ලන්ට දන්නෙ නැහැ. අපි දැන ගත්තට. උන් ගහන්නෙ "බාන් බඩී" වගේ ගේම්නේ.

      Delete
    2. ඒක අක්සර වින්නියාස දෝශයක් නෙමේනේ බන්.. පොඩි එකා ලියන විදිහනේ...

      ජයසූ'ලි'ය වෙලා තිය'රි'ය උනාම නිකන් ලුණු මිරිසුයි කේකුයි වගේනෙ.. ඒකත් තිය'ලි'ය උනානම් ලස්සනයිනේ....

      බාන් බඩී... ඒමොකක්ද බොල ඒ..!!

      Delete
    3. දැන් කාලේ එව්වො පේස් බුකියෙ ගහන්නෙ බාන් බඩී නොවැ..

      Delete
  6. මාස්ටර් බ්ලාස්ටර් හෙවත් ජයසූලිය (ජයේ) මාමා නම් එදත් එකය මට අදත් එකය... කලුවිතාලන මාමා නම් හොඳය... මට කිරිකොට් ගහන්නට බැලි උණත් ආසා වූයේ කලුවිතාලන මාමා නිසාය..

    ReplyDelete
    Replies
    1. ජයතූලිය මාමා නම් පාර්ලිමේන්තුවේ හරි සිටී. කලු මාමා දකින්නටත් ආසය. කොට වුනාට වැඩ්ඩෙකි..

      Delete
  7. මට හිතාගන්න බැහැ සැමාගේ තියලිය Winzoocar මාමා පලෝ කරානේ.සැමා කියන්නේ ජාත්‍යන්තරේට ගිහින් ආපු කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මේව අහද්දී මට ලැජ්ජ හිතෙනවාය..

      Delete
  8. පිස්සු හැදෙනවාය නෑ නෑ පිස්සු කොරය අපි නම් ඉස්සර ඉරි නෑල්ලුවෙමු අපි ඇල්ලුවේ කොලය....බොහෝ අවස්තාවලදි කොහොඹ කොල හෝ ගිනිකූරු කොලද යොදාගත්තෙමු....කොල අල්ලන විට වාසි බොහෝය නැට්ට පිලිබඳ මීටරෙන් සිටි විට නිසැකවම එක වීමට හැකිය එනමුත් කොල කඩන් අනික් උන්ට අල්ලවන එකා අන්තිමට අල්ලන නිසා සමහර වෙලාවට වැඩේ අල වෙනවාය.....

    සැමා අයියා world wide පොරක්ය ජයසූරියටද උගන්වා ඇත්තේය...මොනා උනත් ජයසූලිය නොමග ගියේ සැමා නිසාදෝ යන්නත් සිතුනි හි හි....මරු ලියුම හි හි

    ReplyDelete
    Replies
    1. //අපි ඇල්ලුවේ කොලය//

      අපි ඉරිද , කොළද දෙකම අල්ලුවෙමු... කස්ටිය තේරුම් ගන්නට බැරි වෙයි සිතා කොළ කතාව නොලිව්වෙමි.

      ජයතූලිය නොමග ගියේ ලොකු මාමා නිසාය.. සුදෝ සුදු වැන්.. හපොයි..

      Delete
  9. ඔන්න ඊළග වර්ල්ඩ් කප් එකේදි සෑමා හදුන්වා දුන්න්න තියරිය ICC එකෙන් ජාත්‍යන්තර මැච් වලටත් දානවලු.. එතකොට ටෙස් මැච් එකේදි මුලින් බැටි කරලා තමන්ගේ රටට ගිහින් අඹු දරුවෝ බලලා ආයෙම එන්න පුළුවන්.. සෑමත් අර කජුවත්ත එක්කසත් කිරිකිට් සමාජයෙයි??

    ReplyDelete
    Replies
    1. ඒකාලේ ඔය තියරිය ජයසූලිය කලා නම් විනාසය.. :)

      අපි කජුවත්තේ නොව. ඇවරිය වත්තේය.. :))

      Delete
  10. මම නම් ක්‍රිකට් ගැන දන්නේ නෑ. ඒත් මේක බලන්න ආස හිතෙන බ්ලොග් එක්ක්නේ..හදිසියේ ගොඩ උනේ ආයෙත් එන්නම්.

    ReplyDelete
    Replies
    1. පුංචි කුමාරි ආමි... ආයත් නේවි ?

      Delete
  11. මාත් කිරිකැට් දන්නේ නැත..කිරි පාට කැට් කෙනෙක් නම් මට උන්නාය..අපේ පැත්තේ අය ගහන්නේ ෆුට්බෝලය..නොදන්න මගුල් ගැන කතා නොකර මම යනවාය...බායි කිව්වාය........

    ReplyDelete
    Replies
    1. වින්වැට් ඇඩ්වාන්ස් කස්ටියය. කිරිකොට්, එල්ලේ නොදනීය. දන්නේ ෆුට් බෝලය. ;)

      ඊලග පාර රොනාල්ඩෝට ලියමි. ඇවිත් යන්ට.. :)

      Delete
  12. 'ඉරි ඇල්ලිල්ල' අපි පොඩි කාලෙත් තිබු ක්‍රමේකි.

    //පොඩි සෑමාගේ තියරිය ජයසූලිය මාමා අනුගමනය කළාද? නැතොත් ජයසූලිය මාමා පොඩි සෑමාගේ තියරිය අනුගමනය කළාද//
    හෙහ්...හෙහ්... ඌ මට ගහනව, මට ඌ ගහනව, සීන් කෝන් එකක්

    ReplyDelete
    Replies
    1. ඉරි ඇල්ලීම දැන් එව්වො දන්නෙ නැත. උන් දන්නේ මල් ගැසීමය. තව ඒවාද දනී.

      දෙකෙන්ම කාලා තියෙන්නෙ මම නොවැ..

      Delete
  13. මමත් ක්‍රිකට් ගැන මෙලෝ හසරක් දන්නෑ...මච් බලන්න ආසත් නෑ....
    ඒත් මේ ලිපියනම් මරේ මරු අප්ප...
    “ Winzoocar“ කොහෙන් ඔලුවට එනවද මන්ද....:)

    ReplyDelete
    Replies
    1. මේවාට වඩා දේවල් මාගේ අසමජ්ජාති චින්තනයට නතු වුවද නොලියමි. නොකියමි.. ;)

      Delete
  14. පොඩි සෑමාත් හෙන වැඩකාරයෙක් බව මේ ලිපිය කියෙව්වාම පේනවාය.... ජයසූලිය මාමා පව් අප්පා ....

    ReplyDelete
    Replies
    1. පව් නැත. දැන් කිරිකොට් සහ දියවන්නාවද තරණය කොට ඇත්තේය. පව් අපය..

      Delete
  15. පොඩි සැමා විතරයි ඒක තේරුම් ගත්තෙ....ඔය කයිය ගහන අයියලටත් ලෙදර් බෝලයක් රූං ගාගෙන එද්දි තේරෙවි ක්‍රිකට් ගහන උන්ට මොකට බනිනවද කියල.......

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්... පිස්සා වුණත් ඇත්තය..!

      Delete
  16. යකො මාත් බැට් කොරල ෆිල්ඩ් නොකර මාරු වෙලා තියෙනව බං..හික් ෆට්ට තියරිය..

    ReplyDelete
    Replies
    1. රාජ් සමග කිරිකොට් ගැසුව එවුන් මේ කමෙන්ටුව දකීවා...

      Delete
  17. මරු කතාව (සොරි සොරි, ලියුම). ජයසූරිය කියන්නෙ වීරයෙක්, ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය අලුතෙන් ලියපු බුවෙක්. ඒත් තන්හාව නිසා මිනිස්සුන්ගෙ ආදරය, ගෞරවය විහින් නැති කරගන්නව. උබට ඊලඟ ලියුම ලියන්න වෙන්නෙ සචින්ට ඌ අනිකා.

    ReplyDelete
    Replies
    1. සචියා තවම ෆෝම්ය. ජයේ මාමා තවම කිරිකොට් වලින් සමුගත්තේද නැත. සචියා කවදා හෝ ගෞරවණීයව පිටවෙනු සුවර්ය..

      Delete
  18. බැට්එකට වඩා විකට්ටුව විශාලවීම පොඩි සෑමාට මෙතරම් හාණියක් වූ බැව් නොසිතුවෙමි. එසේ නොවූයේ නම් අපේ නැන්දාගේ දුර ඥාතියෙකු වන ලෝක කිරිකැට් කවුන්සිලේ සිටියෙකු ලවා නීතිරීති වෙනස්කර පොඩි සෑමාට සහනයක් සලසා දිය හැකිව තිබිනි.

    ReplyDelete
    Replies
    1. අපරාදේය. කලින් සෙට් වුණානම් විකට් පොලු තුන වෙනුවට එක පොල්ලක් නීති ගත කරගනිමි...

      Delete
  19. මාත් ඉතිං ඔය මගේ කිලිකොට් ඉතිහාසේ ගැන ලියුමක් ලියන්ටම හිතා ඉන්නේ ගොඩාක් කල් ඉඳන්ය.. ඒ අතින් තැමා ට වඩා අවුරුදු 10ක් විතල පලණ මතකයක් මට තියෙනවාය. කොහොම කිවුවත් ජයතූලිය බොහොම අමාරුවෙන් පිළ ඇතුලට ආපු එකෙක්ය. උන්දැට පිළට ඇවිත් අවුරුදු පහක් විතර වෙනකං හරි හමං තැනක් ලැබුණෙත් නැතිය. එහෙවු එකේ උන්දෑ ලංකාවේ කිලිකොට් වෙනුවෙන් වැදගත් යමක් කොලපු බව මතක් කොලන්ට ඕනෑය.

    හැබැයි පහු පහු වෙන්ට ජයේ මාමා ගේ සක්කාය දිට්ඨිය වැඩි විය. තණ්හාව වැඩි විය. බල කාමය වැඩි විය. අනේ මේ හින්දා උන්දෑ හත් පොළේ ගා ගත්තේය. කොලපු ලොකුම ගොං වැඩේ පාල්ලිමේන්තුවට හොම්බ දැමීම හා තද්දුලුවන්ට කදේ යෑමය. එහෙම කොලේ දිගටම කිලිකොට් ගහන්ට යැයි කට්ටිය ආඩ පාලි කිවුවට වැඩි කලක් යන්ට ඉත්තල ආලම්බක පිතිකලු කමටත්, පත්තේ කිලිකොට් කෙලුවාවටමත් කෙළෝගත්තේය. ඊත පත්තේ කොමෙන්ති දෙන්න ගිහිං තිබුණ පතියත් ලෝල් කල ගත්තේය.

    කූඩැල්ලා මෙත්තේ තියන්න බෑ මය. දැං තවත් කළෝල පෙත්තියක් පෙළලගෙනය... මත පේන්නේ ජයතූලිය මාමා ඊලියන්ත වයිත් ගෙන් තද්දුලුවන්ත ලැද්දා නැති වෙන්න දීපු බෙහෙත හොලෙන් ඉල්ලාගෙන බීලාය.... නැත්නං මෙහෙම විලි ලැද්දා නැති වැද කොලන්නේ නැතිය..

    ලත්තන ලිපියකි..

    ReplyDelete
    Replies
    1. //තැමා ට වඩා අවුරුදු 10ක් විතල පලණ මතකයක් මට තියෙනවාය//

      මේ වචන ටිකෙන් කියන දේ ඇත්ත බව තේරෙන්නේ කමෙන්ටුව බැලු විටය. ඔබ හරියම හරිය.

      Delete
  20. ජයසූලිය මාමාඅ මේක කියෙව්වනම් පොඅරට ඇඬෙයි දුක වැඩිකමට.. :D

    ReplyDelete
    Replies
    1. හැදෙනවා නම් ඇඩුවාට කම් නැත.. :ඩී

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. අපිත් ඔබ මෙන් ටීම් දෙකකට කස්ටිය නැති විට ඉරි අල්ලා ක්‍රීඩා කරයි, ටීම් දෙකකට කස්ටිය ඇත්නම් දොඩන් එන්න කියලා පිල් බෙදේ, අර ගල-මල, කමලද-විමලද වගේ, කොහොම ගැහුවත් අපේ හොර අයියා අවුට් කල නොහැක. ලොවෙත් නැති නීතියක් කියා නොටවුට් කියයි. ගහන්න බැරි බෝලයක් ආවොත් උන්දම වයිට් කියයි.... ඔබ කියන්න උත්සාහ කලේ කුමක් උවත් මා ලමා කාලයේ අතරමන් විය...

    ReplyDelete
    Replies
    1. අකිල ශ්‍රීනාත්February 8, 2012 at 5:02 PM

      ෂැගීගෙ කථාව සම්පූර්ණ ඇත්ත. ෂැගීගේ අත්දැකීම් සියල්ලම මටත් එහෙමම තියෙනවා. අපිත් එක්ක සෙල්ලම් කළා සුනිල් කියලා එකෙක්, ඌත් අවුට් එකක් ගියොත් මොන බයිලයක් හරි ගහලා නොටවුට් වෙනවා. ඌව අවුට් කරන්න නම් ඉතින් පොලු ම යවන්න ඕනෑ...අපි සේල්ලම් කළේ මා ඔය අයිනෙ. බෝලේ උඩින්ම ගිහින් ඔයට වැටුනොත් අවුට්. එහෙම වුන වෙලාවකත් මූ හෙන තියරියක් දාල අවුට් නොවී ඉන්න හදලා හෙන වලියකුත් ගියා.

      පොඩි සෑමාට බොහොම ස්තූතියි අපිව අවුරුදු 20ක් විතර ආපස්සට ගෙනියලා ඒ සොඳුරු අතීතෙ මතක් කළාට...

      Delete
    2. Shaggy & අකිල ශ්‍රීනාත් - හොර කර කර ක්‍රිකට් ගැසූ මතකයද අවදිකිරීම මට ඕනෑවිය.

      අපෙත් එහෙමය. අපෙ අයියා මුරලි වගේ බෝලය 'ටර්න්' කලේ පොල් මුලකට බෝලය දැමීමෙනි. ඒවා ඔට්ටුය. අපිට ඔට්ටු නැත.

      Delete
  23. හරි ඉතින් බයිට් කරනවා කියල ඔහොමත් බයිට් කරනවද අෆ්ෆා... පව් ඒ මනුස්පයා... :PP

    ReplyDelete
    Replies
    1. බයිට් නෙවේ අෆ්‍පා කාලෙකින් ලියුමක් ලියුවේ.. ;)

      Delete
  24. එළ එළ බං උඹගේ පෝස්ට් එක දැක්කම ඒකාලේ කරපුවා මතක් උනා.ගස් කැච් තමයි වලියේ ආරම්භය..අනික් කේස් එක ටීම් දෙකට බෙදීම..ඔය දොඩං එනවා කේස් එක මාතර ගියාම කරනවා..ඉරි අල්ලනවා.පස්සේ පස්සේ තමා කාසියේ වාසිය කරන්න ගත්තේ..සරමේ සීන් එක නං කරන්න බැරි උනා..ඉංගිරීසි පරිවර්තනේනං එළ ඈ...

    ReplyDelete
    Replies
    1. දොඩං සීන් එක මම දන්නෙ නැහැ මචං..

      මතකද ඉස්සර ටීම් වලට දෙකට බෙදෙන හැටි. පොඩි එවුන් 2ක් සමානයි ලොකු එකෙක්. හැබැයි දක්ෂතාවය මත වෙනස් වෙනවා.

      ඔත්තේ ගානක් හිටියම එක ටීම් එකකට 'හුංගෙක්' දෙනව නොවැ..

      Delete
  25. උඹනම් එළකිරි කොල්ලෙක් බන්
    මමත් ජයසුරිය කළු ක්‍රිකට් ගහපු කාලේ මැච් බැලුවා ආසාවෙන්
    ජයසුරිය දැන් මොනවා කලත් එයා අපේ වීරයෙක්, කළුත් එහෙමයි

    දැන්නම් මම මැච් බලන්නේ නැහැ
    මේ වෙද්දී ක්‍රිකට් කියන්නේ එපා කරපු ක්‍රීඩාවක් වෙලා තියෙන්නේ (මට)
    ඒ වෙනුවෙන් කාලය විනාඩි 5 ක් වත් වැය කරන්නේ නැහැ මමනම්
    ඊට හොඳයි බ්ලොග් එකක් බලනවා :)

    ReplyDelete
    Replies
    1. සිරාවට ඉස්සර මට හැම ටීම් එකකම කස්ටියගේ නම් කට පාඩම් ඒත් දැන්.. ටිකයි මතක..
      ඒක වෙන්නෙ කැමැත්ත අකැමැත්ත මත.. :(

      Delete
  26. //වින්සූකර් (Winzoocar)//

    පට්ට !!! වෙලාවට සෑමාව ටීචර් චාටර් කලේ. නැත්තන් උඹව එංගලන්තේ යවනවා තානාපතිකමක් දීලා...

    ReplyDelete
    Replies
    1. අපරාදේ !

      මේ පැත්තෙ ආවමද? හැබැයි නමත් පුරුදුයි වගේ..

      Delete
  27. හප්පා...ඉරි අල්ලල ක්‍රිකට් ගහපු කාලෙ නං කියල වැඩක් නෑ. අපේ සමරෙ කියල එකෙ උන්න ඌව මලාට අවුට් කරන්න බෑ. වැරදිල හරි කැච් එකක් හරි විකට් හරි ගියොත් අම්පය කියනව නෝ බෝල් කියල. ඇයි ඉතින් ඌත් බැටින් සයිඩ් එකෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. ඇයි බං එක පැත්තෙ සෙල්ලම් කලත් ඊලගට බැට් කරන්න ඉන්නෙ මමනම් කලින් එකාව හොර අවුට් එකක් දීල හරි අවුට් කරන්න ට්‍රයි කොරල නැද්ද??

      Delete
  28. එව්ව වෙන නිසා අම්පය මාරු කරනව පළවෙනි විකට් එක ගිය ගමංම

    ReplyDelete
    Replies
    1. සිරාවට... අවුට් වුණ එකා අම්පය ඊට පස්සේ.. :)

      Delete
  29. පරණ උනාට කමක් නෑ කමෙන්ට් එක මේකටම දාන්නම් :) අර ක්‍රිකට් නීති ටික තමයි මටනම් අල්ලලම ගියේ :) ඉස්සර අපි ක්‍රිකට් ගහද්දි තව නීතියක් දානවා "ලාස්ට් මෑන් ට චාන්ස් තිබේ". එතකොට ඌ රනවුට් කරන්නනම් ඌ දුවන පැත්තේ තියන විකට් එකටම ගහන්න ඕන. නැත්තම් අවුට් නෑ.

    දැන් අර වෙඩිම ගැන. මොනා උනත් ඉතින් මනුස්සයා ඒ වැඩේ කරන්නේ නිත්‍යානුකූලව නේ..අනිත් අය වගේ හොරාට දෙතුන් දෙනා තියාගෙන ඉන්නේ නැතුව :)

    ReplyDelete
  30. සෑමා, එළ පෝස්ට් ටිකක් මචං. දිගටම ලියන්න හැකියාව ලැබේවා ! පොඩි සෑමා කවදාවත් ලොකු නොවේවා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...