Saturday, September 17, 2011

ගණිතය සහ සංගීතය (Maths Vs Music) - 2002


2002 වසර සිට 2006 වසර දක්වා පාසලේ සිදුවූ සත්‍ය‍ය, රසවත් සිදුවීම් එකින් එක පෙල ගසන්නට මට හිතුනා. කස්ටිය මෙනවද හිතන්නේ කියලා comment 1ක් දාන්න. නම් ගම් මනඃ කල්පිත කරන්න ගියේ නැහැ. මතක හැටියට කට්ටියගේ කතන්දර එකතු කරන්නම්. මට අමතක වුණ රසවත් සීන් තියෙනව නම් මතක් කලොත් වැඩේ නැගලා යයි.


2002 වසර, ස්ථානය 10-B පන්තිය





"මචං ඊලග period එක මොනවද තියෙන්නේ? සංගීත නේද?"


සංගීත කාමරයට යාමට පොත රෝල් කරගෙන, පෑන සාක්කුවට ඔබා ගනිමින් සාලිය ඇසීය. ඒ විෂයට ඇති ඇල්ම, කැක්කුම නිසාම නොවේ. සංගීත teacher ලස්සනය. සුදු හීන්දෑරි ඇය සාරිය හැදගත් විට අපූරැය. කොල්ලන්ගේ ගුරැ භක්ති වඩවන හැකියාව සතු ඇය විෂයට කොල්ලන්ගේ ඇති ආශාව වැඩිකරවයි. bell එක ගහන්නත් කලින් පන්තියෙන් සංගීත කාමරයට පැනගන්නේ ඒ නිසාමය.


මම කාලසටහන බැලීමි. ඇත්තටම ඊලගට තියෙන්නේ ගණන්, ඇල්බට් අයින්ස්ටයින් වැනි කොණ්ඩය ඇති ඥාණපාල සර් පන්තියට කඩා පනින‍්නේ ඊලගටයි. බලන බලන හැම තැනම කටිටිය ගෙදර දී හදන්න දුන්න ගණන් copy, paste කරයි. සාලියට වගක් නැත. සාලිට ඇත්තේ සංගිත ගුරැ භක්තියයි. මට එය විනාශ කල නොහැක.


"ඔව් මචං සංගීත තමයි"


"එල එහෙනම් අපි කැපුණා, දැන උබලගෙ චිත්‍ර කරැමේ පාත්වෙයි. අපි ගියෝ...."


කොරිඩෝවේ සිටි චේති, ලක්ෂා, මනෝ, රොෂේන් ඇතුළු set එකම පන්තියට එකවර විස්ථාපනය විය.


"ඥා‍ෙණ් එනෝ.." සියල්ල නිසලවුයේ තප්පරයකිනි.


"ආයුබෝවන්" කීවේ පන්තියේ සියල්ල පමණි. ඥා‍ණේ කවදාවත් ආයුබොවන් නොකියයි. ඔහු අත් දෙක එකතු කර පෙන්වනවා පමණි.


"මොනවද අපි ඊයේ කළේ??"


ගෙදර වැඩ ඥාණේට අමතක වේවා යයි සියලුදෙනා කන්නලව් කරන්නට විය. එය සදාතනික යැදීමකි. හැම සදුදාම ගොවිසෙත දිනුම් අදිනවා බදුය. දිනුමක් නැත. එහෙත් අදී.


"ආ.. සර් ගණන් වගයක් හදන්න දුන්නා" කොත්තා සුපුරැදු ලෙස ඉදිරියට පැන්නේය.


"එහෙනම් තමුසෙලා පොත් මාරැ කරගෙන හරි වැරදි බලනවලා, මම බෝඩ් ‍එකේ ගණන් ටික හදන්නම්"


සෙට් එකටම කවදාවත් නොඇදෙන ටිකට් එක අද ඇදිනි. පොත් මාරැකර බැලීම සරලය. එදාට ගණන් හදපු එකාගේත් හදපු නැති එකාගේත් වෙනසක් නැත. කරන්න තියෙන්නේ හැදුවා සේ උත්තරය ආපසු ඔලුව වැනිම පමණි.


"කෝ චෝක් නැද්ද?" ඥාණේ විමසීය.


"මෙයා ඉතින් හැමදාම දාන්නේ කෝ චෝක්නේ" කූඹියාගේ (අමිල) කට යාන්තමට ඇරිණී.


ඉදිරිපස පේලියෙන් චෝක් කැබලි කීපයක් මේසය මත තැබිණ. ඒවාත් එහෙන් මෙහෙන් අහුලාගත් ඒවාය. කොල්ලෝ කෙල්ලන්ට ගැසූ, එහෙන් මෙහෙන් අහුලා ගත් ඒවාය. ඥාණේ චෝක් කැබැල්ල සහ අච්චුපොත ගෙන කළුලෑල්ල වෙත හැරින. කොනකින් පටන්ගෙන බෝඩ් එක පුරා ලිවීම ඔහුගේ සිරිතයි. මකන්නට කම්මැලි ඔහු එම රාජකාරිය ඉදිරිපෙලට පවරයි.


"කෝ මේපැත්ත ලියවෙන්නේ නැහැනේ" බෝඩ්‍එකේ කෙලවරින් ලිවීමට 
නොහැකි වූ ඥාණේ කෑගැසීය. සියල්ල නිහඩය.


"අයිසේ මැද්දෙන් ලිවුවත් ලියවේන්නේ නැහැ" කියමිනි අනිත් කෙලවරත් ලිවිය හැකිදැයි හේ බැලීය.


"තමුසෙලා බෝ‍ඩ් එකේ පොල්තෙල් ගෑවා නේද? ඇත්ත කියනවා, මේකේ කොහෙ ලිවුවත් ලියවෙන්නේ නැහැ. තමුසෙලා මම එන නිසා මේකේ පොල්තෙල් ගාලා" ඥාණේ යක්ෂාරෑඩව කෑගසයි.


ඥාණේගේ හැටි හොදින් දන්නා සියල්ලෝම නිහ‍ඩය, ඔලුවක් වත් නොසෙල්වේ.


"කවුද බං ඕව කරන්නේ? අපි කළානම් අපි දන්නවනේ, අනික පිට එවුන් ඇවිත් මේකෙ තෙල් ගාවද?"
වැලමිට මේසය මත තබා, අතින් කට වසා, වින්දන පැවසීය. කරන්නට දෙයක් නැත. ඥාණේට මල පැන අවසානය. දැන් හෙල්ලුනත්, කාටහරි වාතයක් ගියත් පොර බනිනවා නියතය. සද්ද නැතිව හිදීම ඥාණවන්තය. සියල්ලෝම නිහඩය. ඇත්ම සිද්ධිය නම් කි‍සිවෙකු තෙල් ගෑවේ නැත. චෝක් කෑලි පරණය. කොහෙ ලිව්වත් ලියන්න බැරිය. ඥාණේට ඒවා වැඩක් නැත. එනිසා මුනිවත හොදය.


"තමුසෙලාගේ පන්ති කවය ලබන සතියේ තියෙනවනේ. මම කුසුම්රාණි ටිචර්ට තමුසෙලා ගැන කියනවා. දැන් මම උත්තර ටික කියනවා, හරි වරදි ලකුණු කරගන්නවා"


පොත පිටුපස උත්තර එකින් එක කියවන්නට ඥාණේ පටන් ගත්තේය. ඔහුටත් හොද පල්ලමය. නැත්තම් එකින් එක බෝඩ් එකේ ලි‍විය යුතුය.


"සර්..." මන්ද්‍ර ස්වරයෙන් පන්තියේ දොර ලගට ආ සාලිය ඥාණේ ඇමතීය.


"තමුසෙ‍ කොහෙද හිටියේ" උච්ච ස්වරයෙන් ඥාණේ ඇසීය. ඔහුගේ මල දෙපිටින් යයි.


"ඇයි සර් දැන් සර් දැන් සංගීත නේද?" සාලිය මා දෙසත්, සර් දෙසත් වරින් වර බැලීය.


ඇයි සර් දැන් සර් දැන් සංගීත නේද?
"තමුසෙට කාලසටහනක් නැද්ද ඹියි. සංගීතෙට ගියා නම් මෙච්චර වෙලා මොකද කලේ? ටීචර්වත් කිව්වේ නැද්ද සංගීත නෙවේ කියලා"


"නැහැ සර් මම යනකොට සංගීත room එක වහලා. ඉතිං මම office එකට ගිහින් check කලා. teacher අද off"


"තමුසෙට මාර ඇල්මක්නේ තියෙන්නේ, හොද හිතින් ගිහින් ඇතුලෙන් ඉද ගන්නවා"


සාලිය සතියක් උපසම්පදා වූ භික්ෂුවක් මෙන් කීකරැව හැසිරැනේ පන්ති කවය ලග නිසා වරද වසා ගැනීමටය.


-මතුසම්බන්ධයි
(ඊලග දවසේ පන්ති කවය බලමු)

7 comments:

  1. ඔන්න සැම් අපිත් අවෝ...
    මචන් කෑමදාස..

    ReplyDelete
  2. කෑමදාස අමතක නැහැ... :)
    පොරගේ කථාවක් මතක නැහැනේ.. හික් හික්..

    ReplyDelete
  3. උගේ සෙරෙප්පු දෙක ගැන ලියපන්

    ReplyDelete
  4. ඒ සීන් එක මතක නෑනේ බං.. :(

    ReplyDelete
  5. ++ රසවත්ව ලියල තියනවා සෑමෝ

    ReplyDelete
  6. නියමෙට ලියලා තියෙනවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...