සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Sunday, February 26, 2012

කම්මැලියා ජය ගනී... !! - Early bird catches the worm ???

පෝස්ටුවක් නැතැයි සෑමාට දෙස් දෙවුල් තැබූ සැමට, බණ පදයකින් (සූත්‍ර පාඨයකින්) පටන් ගනිමි.

නිද්දාසීලී සභා සීලී
අනුට්ඨාතා ච යෝ නරෝ
අලසෝ කෝධපඤ්ඤානෝ
තං පරාභවතෝ මුඛං

- යමෙක් නිතර නිදන සුළුද, සභාවට (මිනිසුන් රැස් වූ තැනට) ඇලුනේ වේද, උට්ඨාන වීරියෙන් කටයුතු නොකරන්නේද, අලසද, කිපීම ස්භාව කොට ඇත්තේද එය පිරිහීමට කරුණු වේ.

පාසලේ, දහම් පාසලේ පවා නොයෙක් විට අසා ඇති පරාභව සූත්‍රය (සහ අනෙකුත් පාලි සූත්‍ර, ගාථා) සෑමාගේ සිතට වැඩිපුරම කා වැදුනේ දහම්පාසල් අවසාන ‍ශ්‍රේණි විභාගය හමාර කොට ධර්මාචාර්්‍යය විභාගය සදහා ඉගෙන ගන්නා කාලයේය. මෙම සුත්‍රය නැවත සෑමාගේ මතකය අළුත් ‍කලේ මෙසේය.

බියගම හන්දිය යනු සවස් ජාමයේ ට්‍රැෆික් එක බහුල ස්ථානයකි. කඩුවෙල දෙසින් (තෙල් මිල වැඩි වුවත්) එන අති විශාල වාහන ප්‍රමාණය නිසාත් බියගම පාරේ දිවෙන වාහන රැල නිසාත් තද බදය බියගම තුන්මං හන්දිය සවසට කලබලය. මෙම තදබදය ට්‍රැෆික් ලයිට් වලට (ඇත්තටම ට්‍රැෆික් ලයිට් දමා නැත) අවම කළ නොහැකි නිසා සවසට රථ වාහන පොලීසිය (බොහෝ විට පොලීසිය) මේ කාරණයට පිලියම් සොයනු මා දැක ඇත. බොහෝ විටක පිලියම මැලියම් දමා ඇලෙව්වාක් මෙන් දරුණු වන්නේ ‍උක්ත පුද්ගලයන් කාර්යය  භාරගත් විටක බව එම හන්දියේ කරක් ගැසූ සැමට නොරහසකි. නමුත් මෑතකදී එයට තරමක සාධාරණ විසදුමක් ලැබී තිබුණු නිසා සෑමාට සරල සතුටු සිතක් පහල විය.

එහිදි සිදු කර තිබ්බේ තුන්මං හන්දිය අසලම තිබු බස් රථ නැවතුම් ස්ථාන හන්දියෙන් ටිකක් ඈතට රැගෙන යාමය. එය ඉතා නුවනැති කාරණයක් බව කිව යුතු සේම ස්තුතිවන්ත විය යුතුය. එම ක්‍රියා මාර්ගයෙන් දුක් වුයේ කලින් බස් නැවතුම අසල සිටි ලොතැරැයි විකුණූ අංකල් පමණි. "බලන්න පුතා හෝල්ට් එක එහා පැත්තට ඇද්දා දැන් මෙතන මිනිස්සු නැහැ. මම වේලෙනවා." බස් එකක් එනතුරු චැට් එකට සෙට්ව සිටි අංකල් කීවේ එපමණකි. නමුත් බහුතර ජනතා හිත සුව පිණිස සිදුවූ දෑ අපූරුය. බ්ලොග් පෝස්ටුවේ දැමීමට වැදගත් යමක් අංකල් කියන නිසාම සෑමා ‍අංකල්ට කිට්ටු වූ බව අංකල් තවමත් නොදනී.

පසුගිය සවස් ජාමයක සෑමා ඔය කියන හෝල්ට් එකට ආවේ කැළණිය දෙසට බසයක් අල්ලා ගැනීමටය. අලුත් ස්ථානයේ බස් හෝල්ට් එකට ඉදිරියට යා යුතුය. එදෙසට ගමන් කරන විට පරණ බස් හෝල්ට් එකේ සිටියේ සෑමාගේ මිතුරෙකි. 

"මචං කොහෙද ගියේ" මිතුරා ඇසීය.

"මම පොඩි ගමනක් ගියා බං. උබ ඇවිත් ගොඩක් වෙලාද ? බස් එකක් ගියෙ නැද්ද ?"

"දැන් විනාඩි 10ක් විතර ඇති මචං. තවම නැහැ.."

"ඒ.. මෙතන නෙවේ නේද ඉස්සරහ නේද අළුත් හෝල්ට් එක??" මම ඇසුවේ එන බස්එක නවත්වන්නේ නිවැරදි හෝල්ට් එකේ නිසාය.

"ඒක එහෙම තමා බං. මෙතනත් සෙනග ඉන්නව නේ.. අනික ඔය ටික යන්න මට කම්මැලී බං.." මිතුරා කීවේ මුහුණද කම්මැලි කමෙන් පුරවමිනි.

"අපෝ බං උබලගෙ කම්මැලිකම... හරි හරි.. උඹ හිටපං... මම ඉස්සරහට යනවා" කියමින් මම ඉදිරියට ඇදුනේ හිස් බස් රථයක් විත් නිවැරදි හෝල්ට් එකේ නැවතුවහොත් ඉද ගැනීමේ අභිප්‍රායෙනි.

මොහොතකින් පැමිණි හිස් බස් රථයක් නැවැත්වුවේ සෑමා පසුකර ආ පරණ හෝල්ට් එකේය. ඉන්පසු පිරිස නංවාගෙන සෑමා සිටි හෝල්ටුවේ නැවැත්වුවද වැඩක් නැත. හිදගන්නට සීට් නැත්තේය. සෑමාද විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිව තම මිතුරා හිදගෙන සිටි සීට් එක අල්ලාගෙන එතැනම හිටගත්තේ මිතුරාටද බෑග් එක දීමෙනි.

"ඒකනේ බං කිව්වේ ටිකක් කම්මැලි වුණාට කමක් නැහැ කියලා"

ඒ කතාව පමණක් සිදුවුණි නම් පෝස්ටුවක් නොදා සෑමාට හිත හදා ගන්නට තිබිණ. 

බස් වර්ජනයට පසුදින බස් රථයක ෆුට්බෝඩ් එක මතදී සෑමාගේ පොකැට්ටුවට සොරි විය. පසු දිනක ජාතික හැදුනුම්පත තැපෑලෙන් පැමිණියද රියදුරු බලපත්‍රය ලැබුණේ නැත. රියදුරු බලපත්‍රය සාදවා ගැනීමට සෑමාගේ බොස් සිකුරාදා දින නිවාඩුව සදහා අනුමැතිය ලබා දුන්නේ බ්‍රහස්ප්‍රතින්දා සවසකය. ඒ වැඩ අහවර කොට ගෙදර යන අතර මගදීය.

"sAm you take your leave tomorrow. Try to hand over your documents before 9am and come back to office soon as possible." කියා බොස් කීවේය. 

(මීට අවශ්‍යය ඩොකියුමන්ට් මොනවා දැයි සෑමා අසා දැන ගත්තේ රාජ්‍යය තොරතුරු කේන්ද්‍රයෙනි. එවන් වැදගත් සේවාවක් ඇරඹීම පිළිබද ස්තුතිවන්ත ‍වන ගමන් ලැබුණු තොරතුරු ගැන පසුවට පෝස්ටුවක් දමමි.)

"Yes sir, I have all documents in my hand but the issue is my birth certificate is at office" සෑමාගේ සියළු සහතික පත්‍ර ඇතුලත් ෆයිල් එක බොස් ඔෆීසියේ සුරක්ෂිත කර ඇත. ඉල්ලූ විටක පවා නොදෙන හේතුව සෑමා තවමත් කල්පනා කරන්නේය.

"Ok, I will call Mr' ###  (he is the owner of our office building) who is next to our office. If you able to be there before 6.30am you can collect your birth certificate from him."

දැන් සෑමා ලයිසන් එක සාදවා ගැනීමට උප්පැන්න සහතිකය ලබා ගැනිමට නුගේගොඩ ඔෆීසිය අසලට උදේ 6.30 යා යුතුය. අපේ ඔෆීස් ගොඩනැගිල්ලේ අයිතිකාර මහතා නිවසින් පිටත් වන්නේ 6.30ට නිසා සෑමා ඒ වෙලාවට එතැනට ගොස් ලබා ගත යුතුය. කරන්නට දෙයක් නැත්තේමය ගෙදරින් 5.15ට වත් එලියට බැසිය යුතුය. සියල්ල දරාගෙන සෑමා කීවේ "Ok" කියාය.

"මචං උඹට හෙට උදේම කොහෙද යන්න තියෙනවා කිව්ව නේද..?" උදේම ගමනක් යාමට තිබෙනවා කියූ මිතුරෙකුට සෑමා ඇමතුවේ තමාගේ තනියට එකතු කර ගැනීමටය.

"ඔව් මචං. උඹ කීයටද යන්න ඉන්නේ" මිතුරා ඇසුවේය.

"5.15ට විතර බස් එකට නගින්න ඕනේ බං. නුගේගොඩට ගිහින් වේරහැරට යන්න වෙන්නේ."

"අපොයි එච්චර කලින් යන්න ඕනෙද පිස්සුද බං. මට කම්මැලියි එච්චර උදෙන් යන්න. උඹ පලයන් මම 5.35ට විතර යන්නේ"

"මදැයි උඹ එක්ක යන්න හිටිය. තොපි කම්මැලි කමේම හිටු. මම යනවා උදේම"

පසු දින උදේ 5.15ට සෑමා බස් හෝල් එකේ සිටින විට පැමිණි පළමු ප්‍රයිවට් බස් රථයේම නැගින. එලෙස ගමන් ඇරඹී 5.50 පමණ වන විට සෑමා සිටි බස් රථය පසු කර ගියේ රතු පාට C'T'B බස් රථයකි. මොහොතින් සෑමාට ලැබුනේ මිතුරාගේ දුරකතන ඇමතුමකි.

"මචං ගුඩ් මෝර්නිං, උඹ කොහෙද ?" ඒ මා මිතුරාය

"ගුඩ් මෝර්නිං මචං. මම @$$‍%^ පහු කළා විතරයි..." 

"අහ් එහෙමද ? අපේ බස් එක උඹ හිටපු බස් එක පසු කරන්න ඇත්තේ මේ දැන්"

"අඩේ.. බලපං ඉතිං. එච්චර කලින් ඇවිල්ලත්.." සෑමා කීවේ කර කියා ගත දෙයක් නොමැතිවය.

"ඒකනේ බලපං. මම කම්මැලි කමට උඹට වඩා විනාඩි 10ක් විතර නිදාගෙනත් උඹට කලින් යනවා"

"එල එල.. කමක් නැහැ බං මාත් හිත හදාගෙන යන්නම්.. :) "

ශ්‍රී සම්බුද්ධ දේශනාව එදා ‍පමණක් නොව සදාකාලිකව සත්‍යයය. එහෙත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් වැලැක්විය නොහැක්කේමය. ඉහත සිදුවීම් වටහාගෙන කම්මැලි වීම නොකළ යුත්තේමය. 

සියල්ල අවසන සෑමාට මෙසේද සිහි විය.

සුද්දා කීවේ "Early bird catches the worm" කියාය. එනම් "උදෑසන පලමුව එන කුරුල්ලා පණුවා අල්වා ගනී" කියාය.

අපේ එකාලා මෙයට කීවේ "උදේම එළියට බහින පණුවා කුරුල්ලන්ට අසු වේ" කියාය

එයද වැරදි නැත්තේමය. 

Written by sAm_6.22pm_26..02.'12

Sunday, February 19, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (6 - අවසන් කොටස)



මෙතෙක් ස්ටෝරිය.....

ගලා යන ග‍ගක එකට ඇලී ගමන් කරන මල් පෙති දෙකක් මෙන් සිතූ - කුසූ ආලෙන් වෙලී,  ආදරය සරි කර ගනිද්දි, ගග මැදට හෙලාලූ මහා රුක්ෂයක් සේ විමලේ මෙකි ජීවිත මැදට පතබෑවෙයි. අවංක ආදරයක කුලුදුලේ පිපි කුසුමක් වු කුසූ හැගීම් අතර අතරමං කොට පෙති කඩාහැලි රෝස මලක් බවට පත්කරන්නේ විමලේය. කිසිත් නොදත් සිතූ තම ජීවිතය ඇගෙන් ලබන්නට වෙර දරයි. 

කිසිත් නොදත් සිතූ කුසූ රැගෙන පුංචි අම්මාගේ නිවසේ රැදෙයි. එදින රාත්‍රියේ... ""අඩේ පාහරයා.. තෝ කොහෙ හිටියත් මම හොයාගෙන එනවා යකෝ.. කෝ මගේ කෙල්ල..."" කියමින් කිසිවෙකු දොරට පහර දේ.

අද එතැන් සිට අවසානය තෙක්


***************


""අඩේ පාහරයා.. තෝ කොහෙ හිටියත් මම හොයාගෙන එනවා යකෝ.. කෝ මගේ කෙල්ල...""

තොප්පිගලට කෆීර් ප්‍රහාර එල්ල කරන්නා සේ දොරට තඩි බාමින් හොර බලලෙකු පුරු පුරු ගාමින් කුස්සියේ දොර පහුරු ගාන්නා‍ සේ කිසිවෙකු පුංචි අම්මාගේ දොර කඩන්නට වෙර දැරීය. කුසු, සිතුට තව තවත් තුරුලුවන්නටත්, සිතුගේ පපුවට තද වන්නටත් විය.

පුංචි අම්මාද පශ්චාත් භාගය කඩාගත් කඩියෙකු මෙන් සිතූලා සිටි කාමරයට කඩා පැන්නාය. ඒ ඔවුන් කළ කී දෑ බලන්නට නොව සිදුවන්නට යන සංත්‍රෑන්සිය සැක හැර දැන ගැනීමටය.

"මොකද වෙන්නේ සිතූ පුතේ" පුංචි අම්මා ජනෙල් වලට කර්ටන් දාන්නාක් මෙන් ඇද සිටි චීත්තය කඩා නැවත අදිමින් ඇසුවාය.

"කවුද දන්නැහැ පුංචි අම්මේ" එවර පිළිතුරු දුන්නේ කුසූය. වැල්ලේ කැරකුණු බඹරයේ හැපුණු වැලිකැට ගණන දන්නේ එම බඹරයම මිස අන් කවරෙක්ද ? කුසු පෙර වැරදි සිහි කරමින් තව තවත් තැති ගත්තාය. නමුදු තමා ආදරය කළ තමාට ආදරය කළ සිතූ හැරයන්නට ඇයට බැරිය. කළ වරදට සමාව ලැබීමට තමා දිවිතාක් අවංකව සිතූ සමග සිටිය යුතු බව ඇයට පසක්ව හමාරය.

"මොන බල්ලෙක් වුණත් කමක් නැහැ මම අරිනව දොර" උයන්නට ගෙනා මාලු කූරියෙකු ගිල දමා ගෙදර අයිතිකාරයාට දුටුවිට පැන යන්නේ කෙසේද එලෙසම බියෙන් හා එඩියෙන් ඔද වැඩි සිතූ කුසූවද පෙරලාගෙන ඉදිරියට පැන්නේය.

හලාවත ධීවර ගම්මානයට ගැසූ කදුළු ගෑස් ප්‍රහාරයට මුහුණ දුන් ධීවර ලදක් මෙන් කුසුගේ දෙනෙත් වලින් කදුළු කැට විදින්නට වීය. එකී කදුළු කැට වල තිබුනේ අප ආරම්භක විද්‍යාවට උගත් ලවන නොවේමය. දුක, ත්‍රාසය, ආදරය සහ සිතූ කෙරේ බැදි තෘෂ්ණාව එකතුව ඒ කදුළු කැට නිර්මාණය වී තිබිණ.

"තෝ මොකෙක් වුණත් කමක් නැහැ යකෝ. පොඩ්ඩක් හිටපං දොර නොකඩ. අපේ පුංචි අම්ම මිනිහ නැතිවුණ දවසේ ඉදං පතිවත රැකගත්තේ මේ කොස් ලීයෙන් හදපු දොර හින්ද. තෝ මොකෙක් වුණත් කමක් නැහැ මම දොර අරිනකල් හිටු." සිතු රා බී ඇවිසුන නාලාගිරි හස්තියා මෙන් කුංචනාද කළේය. ඇතෙක් මෙන් කුංච නාද කළද ඇත්තටම සිතු සමසමාජ කාරයෙකි. යු.ඇන්.පී නොවේමය.

"බ්‍රාාාාාර්ස්"


ඒ දොර ඇරුණ හඩ මිසක් සිතූට වාත අමාරුවක් නැත.

මෙතෙක් වෙලා දොර අසලින් නැගූ සද්දය තුරන්ව තිබිණ. දොර ඇරිය විට සිතූ දෙපසින් පුංචි අම්මා සහ කුසුද සිට ගත්තේ සිතූ ගුටි කෑවොත් බේරා ගැනීමටය.
තෝ මොකෙක් වුණත් කමක් නැහැ යකෝ. පොඩ්ඩක් හිටපං දොර නොකඩ. 

කලුවරේ දොර පලු දෙක අතරින් කළු පාට ඡායාවක් දුටුවද කිසිවක් පැහැදිලි නැත. නෙළුම් පොකුනේ පැවැත්වෙන ෂෝ එකක පරිසරයම අදුරු කොට ඇති කලෙක ගායකයා දෙසට පමනක් ස්පොට් ලයිට් එකක් එල්ල කල පරිදි මෙන් සිතු තම අත රැදි කෑලි පහේ ටෝච් එක පිටත සිටි පුද්ගලයාගේ මුහුණට දමා ගැසුවේය.

කැළණි ගගේ ඔබා තිබි හුලං පිරි බැලුම් බෝලයක් අත ඇරියා සේ එකවර මතුවූයේ අන් කවරෙකුවත් නොව විමලේය. කුසු සමග රති නදියේ ගිලුනු විමලේය. බෝ මළුවක දහසක් උපාසක් අම්මලා රැදී සිට ඉවත් වූ කලෙක මෙන් කලින් තිබි ඝෝෂාව සැනින් අහවරය. බෝධියේ වට බෝපතක් වුවත් බිම පතිව වන හඩ ඇසේ.

"අඩේ විමලේ අයියා උඹ.." සිතුගේ ඇස් උඩ ගියේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුන අයිසැක් නිව්ටන් මෙනි.

එකල සරුංගල් වාරයට සිතුටත් වඩා විශාල 'වවුලා' සරුංගලයක් පවා හදා දුන්නේ විමලේය. තමා පුංචි කළ බයිසිකලය කැඩුන විට දි පවා එය හදා දුන් විමලේ දැන් සිතුට තමා විසින්ම කඩා දැමූ චේන් එකක් සහිත බයිසිකලයක් පිරිනමා ඇත. සිතූ හා විමලේ ගේ කුඩා කල බැදීම නොදත් කුසු වික්ෂිප්ත වූවාය.

මලගෙදරක ඕමි තරගයකට මෙන් හතර දෙනා හතර පැත්තේ පුටු හතරක හිද ගත්හ. සියල්ල නිහඩය. නමුත් කුසුගේ හඩා වැටෙන සිත ගෝල් ෆේස් එකේ නූල කැඩි සරුංගලයක් ලෙස සලිතය. හිස මතට හූනු පැටවෙකු වැටුන කලෙක මෙන් සලිත සිත තවත් සලිත වන්නට වුයේ විමලේගේ හඩ අවදි වීමත් සමගය.

"සිතු මලයා මට උබටවත්, මේ බඩේ ඉන්න දරුවටවත්, මේ කුසූ නංගිටවත් බොරුවක් කරන්න බැහැ බං, ඒකයි මම මහ රෑම හො‍යාගෙන ආවේ." රජයේ ඔෆීසියක අඩි උස සපත්තු දෙකක් සහිතව ගමන් කරන කෙල්ලෙකු නගන "ටොකොස්, ටොකොස්" හඩට සමාන හඩකින් සිතුගේ හදවතද සැලෙන්නට වන්නේය. ඒ සැකය අමෝරා නැගුනේ සිතුගේ හඩය.

"මොකක්ද බං අයියේ ඒ කුණු හබ්බේ. මට කෙලින් කියපං මොකද මෙතන වෙලා තියෙන්නේ" සිතු ගණිතය පීරියඩ් එකේ පන්තියේ සිටියත් දෙමල පීරියඩ් එකේ පන්තියේ නොරැදෙන්නේ නොතේරෙන දේවල් ඇසීමට අකමැති නිසාය. නමුත් මේ අණ්ඩර දෙමලයට තමාට මුහුණ දීමට වන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.

"හරි ඒක තමයි මලයා මම කෙලින්ම කතාවට බැස්සේ, ඇත්ත මේකයි. මේ අහිංසක කෙල්ලගේ බඩේ ඉන්නේ මගේ දරුවා. උඹ නම දෙන්න යන්නේ මේ දරුවට." කුසු ගේ දෙනෙත් අග රැදි කදුලු වියැකී නැත. හරියට වැහෙන්නේ නැති ලීක් ටැප් එකක් මෙන් ඇගේ දෙනෙත් අගින් කදුලු බිංදුව බිංදුව වෑහේ. ආදරය හදුනන සිතු කලබල නොවුනේ ඒ කදුලට ඇති බයටවත්, දුකටවත් නොවේ. නෙදැනුවත්ව, හදිසිව කුසූ අතින් වූ වරද ඇය ‍තේරුම් ගෙන ඇති නිසාත්, ඇයට තමා නොමැතිව සිටිනු නොහැකි බව දන්නා නිසාත්ය.

පුංචි අම්මා අන්දොස්ය. ඇය 2 වසරේ දැරිවියකට 9 වරක් චක්කරය පාඩම් කරන්නට දුන්නාක් මෙන් උඩ බිම බලන්නීය. කිසිවක් පැහැදිලි නැති මුත් තේරුම්ගත් ස්වල්පය හිත තබාගෙන ඇය කරපින්නාගෙන සිටියාය.

වසර ගණනාවක් වසා සිටි මාවිල්ලාරු සොරොව්ව එකවර ඇරියා සේ, සිතේ බලය, සිතේ වර්ගඑලයෙන් බෙදා, හිත පීඩනය දරා සිටි කුසූ අසරණව හඩා වැටුනේ සිතූ ලගය. මගුල් ගෙදරක තම සහෝදරිය සරණපාවා ගත් මස්සිනාගේ දෙපා දෝවන ආකාරයෙන් සිතූගේ දෙපතුල් කදුලෙන් දොවමින් කුසූ හඩන්නට වූවාය. ඇගේ කදුලු වචන වලට පෙරලෙන්නට වෙර දරද්දී සිතූ හඩ අවදි කලේ ඇයව තම සුරතින් නැගිටුවමිනි.

"මට කියන්න දැන් කුසූ ඔයා මම ලග ඉන්නවද, නැත්තම් විමලේ අයිය ලගට යනවද ?" ප්‍රථිඑල වැරදියට ආවත් ප්‍රශ්න පත්‍රයට නිවැරදිව පිළිතුරු ලිවිය යුත්තේමය. එලෙසම ඇය මේ ප්‍රශ්නයට හිස සැලුවා පමණි.

"විමලේ අයියා මොකද කියන්නේ. වැරද්ද මොනව වුණත් මම කැමති කුසු මගේ ලග ඉන්නවට." මෙවර පිළිතුරු ලිවිය යුත්තේ විමලේ අයියාය. හිවල් තඩියෙක් මෙන් හූ කියාගෙන කෑගසාගෙන ආවද විමලේ දැන් ශාන්තව හිදගෙන ඔළුවට අත ගසා කල්පනා කරන්නේය.

"සිතූ මලයා දෙන තරම් ආදරයක්, සතුටක් මට දෙන්න බැරි වෙයි මලයා. ඒත් මම කරපු වැරැද්ද ගැන හිතලා මම ‍මේ ආවේ. අනික මේ කෙල්ලට මම ආදරේ නොකර මේ වගේ දෙයක් වුණේ. දෙන්නගෙම සතුට ගැන හිතලා මම පැත්තකට වෙන්නම්. ඒත් මලයා කෝමද ගෙදරට මුහුණ දෙන්නේ...??" තෘෂ්ණාව පෙරටු කොට සිගරැට් ෆිල්ටරය පවා උරන සමාජයක විමලේ ආදර්ශමත් වීය.

අලුත උපන් බලල් පැටියෙකු බැලලි අම්මාට තුරුලුව උණුසුම සොයන්නාක් මෙන් කුසූ සිතූගේ උණුසුමට තුරුලු වෙද්දී සිතූ හඩ අවදි කලේ ඇගේ හිසකේ අතරින් ඇගිලි යවමින් හිස අතගාමිනි.

"එන හැම දේකටම අපි මුහුණ දෙන්නම්, හැබැයි විමලේ අයියා පොරොන්දුවෙන්න මේ දරුපැටියගේ ජීවිතය වෙනුවෙන් අපේ ජීවිතවලට කවදාවත් කරදරයක් වෙන්නෙ නැතිව දුරින් ඉන්නවා කියල" සිතූ කොන්දේසි ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂයට යන විපක්ෂ මන්ත්‍රීවරයෙකු මෙනි.

"හරි මල්ලී මේ කෙල්ලට, දරුවට කරදරයක් වෙන්නෙ නැහැ මම. හොදින් හිටපල්ලා. මම දැන්ම යනවා, මම හොද පාඩමක් ඉගෙන ගත්තා ආයෙත් සල්ලාලකම් නොකරන්න." විමලේ අවංකව සංවේදීව කතා කරන්නේ ඇල්කොහොල් බලයෙන්ද කියා සැක මුත් ඔහු පිටත්ව ගියේය.

විමලේ මෙන්ම කුසුද උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ පොත් කියවූ කළෙක මෙන් තම වැරදි නිවැරදි කොට සිතූ‍ගේ ජීවිතයේ සිරිකත වන්නට ඉඨා ගත්තාය. ඉදින් ඈ හෙමින් කෙදිරුවේ ඔහුට තුරුලුව ඔහුගේ දෙසවනටය.

"සිතූ අපි දැන් මොකද කරන්නේ....??"

විභාගයකට පෙර සූදානමක් නැති සිසුවෙකුගෙන් තමා පිළිතුරු දත් එක ප්‍රශ්නයක් ලැබුණා සේ සිතුට මෙය පිළිතුරු දන්නා ගැටළුවකි.

"මොනා කරන්නද ? විමලේ හැම දේම කරලා මම ඔයාව ඕනෙ කිව්වම අතෑරල ගියා වගේ මගෙ අම්මා මාව අත අරින්නේ නැහැ කුසූ.. අපි හෙට අපේ ගෙදර යනවා.. එච්චරයි.."

හම්බන්තොටට කුරිරු නියගයක් පැවති සමයේ සිරසේ - ශක්තී සහන යාත්‍රාව බෝතල් ජලය සනීපාරක්ෂක ද්‍රව්‍යය රැගෙන හම්බන්තෙට සැරි සැරුවා මතකැති. සිතූගේ නිවසේ කෑම වලදක් ලිපේ තියා නැත. සින්ක් එක‍ට වතුර පොදක් වැටී නැත. ලිපේ ගිණි පෙලෙල්ලක් දැල්වෙනවා වෙනුවට සිතුගේ මව කඩුල්ල අභියස රැදී කදුලු හුරතල් කරන්නීය. එහෙව් කලෙක සිරස - ශක්තී සහන යාත්‍රාව මෙන් සිතූගේ සේයාව ඇදෙන්නට වූයේ ගුරු පාර දිගේය. දෙනෙත් කදුලු වගුරුවමින් සිතූගේ මව පෙර මගට දිව ගියාය. සිතූ තම කුසූ සමග ඉදිරියට ඇදෙද්දී ගුරු පාරේ පස් කැට මඩ වූයේ දෙදෙනාගේ කදුලු පස් සමග මුසු වූ නිසාමය.

"මට සමාවෙන්න අම්මේ... මේ ඉන්නේ....." කුසූ හදුන්වා දීමට පෙර සිතූගේ කට අම්මාගේ අතින් වැසිණ.

"මට උබලා වැඩි නැ‍හැ ම‍යෙ පුතේ..."

සිතූ - කුසූ ආදර අන්දරය මෙතකින් නිමි
(නිමි කීවේ දෙදෙනාගේ ආදරය නෙවේය, කතාව අවසානය)

***************
පෙර සැලැස්මක් නොමැතිව ගෙතුන සිතූ කුසූ ආදර අන්දරයේ තිරයෙන් පිටුපස කතා

සෑමාගේ කතාව කියවන නංගි කෙනෙකුට සෑමා දිනක් විහිළුවට මෙන් "කුසූ" යැයිය ඇමතුවේය. එදා සිට සතියක් පමණ ඇය සෑමා සමග කතා නොකළාය. යලි ඇය සෑමා සමග කතා කලේ දහසකුත් වටහා දීම් සහ නැවත ඒ නම ඇයට භාවිත නොකරන කොන්දේසිය යටතේය. ඒ තරමට කුසූ නම (චරිතය) කැතද බොලව් ?

සෑමාගේ කතාව කියවූ කිසිවෙක් "කුසූ" යන නම තම දරුවෙකුට තියා මිතුරෙකුටවත් භාවිත කරන්නට පෙ‍ළබෙනු නියතය. එසේම සමහරෙක් තමන් තරහා කාන්තාවන්, මිතුරියන් සදහා "අපෝ එයා හරියට කුසූ වගේ" යන්න භාවිත කරනු මම කීපවතාවක් අත් විද ඇත්තෙමි.

සිතූ - කුසූ එක පෝස්ටුවක් දැමූ පසු කස්ටිය ඉතිරිය (guess) ගෙස් කර කතාව ගොතන්නට ට්‍රයි කළහ. එය සෑමාට අසීමිත සතුටක් ගෙන දෙන්නක් මෙන්ම ඒ (guess) ගෙස් කිරීම් වලින් පිට කතාව ලියන්නට මහත් රුකුලක් විය.

ඉකුත් සතියක බණ ගෙදරකදි පවා සියළු දෙනා මැද අපේ ගමේ අංකල් කෙනෙකු (මා මිත්‍රයෙකුගේ පියෙක්) බ්ලොග ගැන කතා කළ අයුරු මතක් වෙද්දී පවා සෑමාට විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිය.

පෝස්ටුවක් දැමූ පසු "මචං ඊලගට මොකද වෙන්නේ" "ඊලග කොටස කවදද ?" වැනි ප්‍රශ්න අසමින්, මා හට දිරි දුන් සැමට තුති.

නොයෙක් ආකාරයෙන් මා දිරිමත් කළ ෆේස්බුකියේ හා බ්ලොග් අවකාශයේ සියළු දෙනාට පෝය දා රෑ අහස බලාගෙන බුර බුරා දගලන බලු කුක්කෙකු මෙන්, හදවත පුරා බුර බුරා නැගෙන ස්තුතිය සැමට පුද කරමි.

සිතූ - කුසූ ආදරය වෙනුවෙන් සහ ඔවුන්ගේ ජීවිතයේ  සුභ අනාගතයක් විශ්වාසනීය වෙනසක් වෙනුවෙන් සුභ පතමු

ඒකත් ජය සිරි මංගලම්... !!

Wednesday, February 15, 2012

මහින්ද මාමා සෑමාගේ බ්ලොග වාරණය කරයි...

අද කට්ටිය බලන්නේ සෑමාගේ බ්ලොග අද කවදාවත් නැතිව කළුවර ඇයි කියලාය. හේතුව අවසන තේරුම් යනු නියතය.


සෑමා බ්ලොග් ලියන බව සෑමාගේ අම්මා නොදත්තීය. නමුත් සෑමාගේ ගමේ ඉන්නා අලුගුත්තේරු කොල්ලෝ කුරුට්ටෝ සෑමාගේ ගෙදරටවිත් ඒවා ගැන කියමින් සිනාසුනහ. ඒවා කන වැකි සෑමාගේ අම්මා හේතුව විපරම් කර අනතුරුව සෑමාගෙන්ම ඇසුවාය. එවිට සෑමාට තම නිර්මාණ අම්මාට පෙන්වන්නට වූයේ තව දුරටත් ගෙදර හදන කෑම රස බැලිය යුතු නිසාමය.


කැත හිත් වලට කවි පොඩ්ඩක් ලේබලය යටතේ ඇති කිසිවක් වැඩිහිටියන්ට පෙන්වීම සුදුසු නැත්තේය. ඒ නිසාම සෑමා තෝරාගත් දේශපාලනික ගණයේ ‍'පොඩි සෑමාගේ' ලිපි කිහිපයක් ඇයට පෙන්වූවේය. සියල්ල උඩින් යටින් කියවූ ඇය සෑමාට තර්ජනය කළේ "තෝව සුදු වෑන් වලින් ඇවිත් උස්සගෙන යයි කොල්ලෝ" කියමිනි. ඒ සෑමාගේ බ්ලොගට එල්ල වූ ප්‍රථම තර්ජනයයි.


එකී තර්ජනය හමුවේ සෑමා බිය නොවූවාද නොවේ. සෑමා ඉස්කෝලේ ගියෙත් සුදු වෑන් එකක නිසා ටිකක් හුරු පුරුදු බවක් ඇත්තේය. ඒත් බලෙන් ඇදගෙන ගියහොත් කරන්නට දෙයක් නැත්තේමය. ඒ නිසාම සෑමාගේ අම්මා වරින් වර එකී කරුණු මතක් කරන්නට වූයේ සෑමාගේ බ්ලොග් ගමන නැවැත්වීමටය.


සියළු කාරණා මැද පසුගිය දින පෙට්ට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ඉහල යාම සෑමාගේ බ්ලොග් ගමනට ආශිර්වාද කරන්නක් වීය. අම්මාගේ අවවාද දීමද මදක් අඩුවීමටද එයම හේතු විය. සැනසුම් සුසුම් මැද සෑමා බ්ලොගේ රිසි පරිදි පෝස්ට් දමන්නට සිතුවේ සුදු වෑන් භීතිකාව අඩු වීමෙනි. සෑමාගේ අම්මා තෙල් මිල සහ සුදු වෑන් අතර ප්‍රතිලෝමව ඇති සමානත්වය සෑමාගෙන් විමසුවාය.


"තෙල් ගණන් ගියාම කෝමද කොල්ලෝ උඹව උස්සන එකක් නැහැ කියන්නේ ?"


"ඇයි දෙයියනේ අම්මට තේරෙන්නෙ නැද්ද? සුදු වෑන් වලට තෙල් ගහන්නේ කොහොමද තෙල් ගණන් ගියාම. ඒක හින්දා මට පට්ට ෂුවර් දැන් සුදු වෑන් එන එකක් නැහැ"


එකී දෙබසට පසු සෑමා කොම්පියුටරය ඉදිරියේ දරණ ගසා ගත්තේ සුදු වෑන් වලට නොබියව ලියමී චේතනාවෙනි.


එලෙස නොබියව ගතවුණු සුළු කාලයට නැවත කණ කොකා හැඩුවේ අදය. ඒ වාරණය මහින්ද මාමා ගෙනි. එය ස්ථිර කලේ සෑමාගේ අම්මාය. 


"දැන්වත් ඕක කොටන එක නවත්තපං, අන්න විදුලි බිලත් වැඩි කරලලු"


අද පෝස්ටුව කරුවල වුනේ මහින්ද මාමා සෑමාගේ බ්ලොගය වාරණය කළ නිසාය. අම්මා ඒ වාරණය ස්ථිර කළ නිසාය. ඒ නිසාම කාමරේ ලයිට් නොදා ටයිප් කළෙමි. 


ලයිට් නැතිව ටයිප් කරන විට සෑමාගේ මිතුරෙකු  පැමිණියේය.


"මොකද බං කළුවරේ"


"බිල වැඩි කරලලු බං. අම්ම ලයිට් දාන්න එපා කිව්ව"


"අප්පද බොල ඒකත් ඇත්තනේ. ඉතිං යකෝ ඔය ස්ක්‍රීන් එකේ එලිය ඇහැට හොද නැහැ. ඉටිපන්දමක් හරි ගහපං එලිය වැටෙන්න"


මිත්‍රයාගේ කතාව ඇත්තය. කළුවරේ ටීවී වත් බලන්නට හොද නැති බව සෑමා අසා ඇත්තේය. සෑමා ඉටිපන්දමක් දල්වාගෙන නැවත ස්ක්‍රීන් එකට ඔළුව දැම්මේය.


"මචං දාඩියයි බං මේ ෆෑන් එක දාන්නද?" මිත්‍රයා කිව්වේ ෆෑන් එක පෙන්නමිනි.


"ෆිස්සුද බං ඕක දැම්මොත් මේ ඉටිපන්දම නිමෙයි නිකං හිටු"


ෆෑන් එක වැඩකරන්නේ නැහැ කියනවාට වඩා එසේ කීම නම්බු සහගතය. 




මෙය හුදෙක්ම සෑමාගේ බ්ලොග වාරණය කිරීමේ උත්සාහක් බව පැහැදිලිය.


විදුලි අර්බුධය නිසා ඉදිරි පෝස්ට් මෙලෙසම කළු‍වරේ සිටම ලියන්නද ? නැතිනම් වියදම දුකසේ විදදරා ඔබ වෙනුවෙන් ලියන්නද ?



Monday, February 13, 2012

වැලන්ටයින් දිනයේ උපත සෑමාගේ විග්‍රහය (වැල-ඉන්-ටයිම්)

වැලන්ටයින් යනු කුමක්ද ? අපේ රටේ සිටිනා පෙම්වතුන්ද තේරුමක් නැතිව මේ දිනය සමරණ බව සැබෑය. සමරන්නට පෙර මෙය කුමක්ද කියා සිතූ පිරිසක් සිටිත්ද? අරුතක් නොදැන ගන්නා පංචශීලය වැඩක් නැත්තේමය. එසේම අරුතක් නොදැන සමරණ වැලන්ටයිනයේ වැඩක් තිබේද ?

සියල්ලට කලින් මගේ මිත්‍රයකු වැලන්ටයින් සැමරූ ආකරයකින් මතකය අවදි කරන්නම්.

අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් අපවත් වී අප කොඩි වැල් ඇදීමට ෆුල් නයිටක් ගසමින් සි‍ටියෙමු. ඒ අතර සිටියේ අපේ ගමේ කටුගම්පල (කට්ටා) නම් අයියා කෙනෙකි. පාන් රාත්තල් පිටින්, ප්ලේන්-ටී කේතල් පිටින් අපි වැඩ කරන ස්ථානයට ගලා එද්දී කට්ටා මුසපත්ව තම කියවීම ඇරඹීය. අපේ ගමේ මල ගෙවල් වල කෑම සම්බන්ධ වාර්ථාව තිබ්බේ කට්ටා සතුවය. එහෙත් එය බිද දැම්මේ මගේ මිතුරා වන දෝදුවා (‍දෝදුගේ සිහිනය මතකනේ) අතිනි. එදා දෝදු රෙකෝඩ් එක තැබූ පසුවද අළු කෙසෙල් ඇවරියක් සමග පාන් රාත්තල් කිහිපයක්ම ගිල ඇත. අළු කෙසෙල් කාපු නිසාදෝ අදටත් කොල්ලා කිසි කලබලයක් නැත.

එදිනද කට්ටා මාරි බිස්කට් 25ක් පස් වතාවක් පමණක් කට ඇරීමෙන් කා අවසන් කර පෙන්වීය. කට්ටා තම කතාව ඇරඹුවේ එකී කෑමත් සමග මුසපත්වය.

"මචං එදා අපේ ඉස්කෝලෙ පොළක් තිබ්බා.. ඒකෙ මුදලාලිලට හිටියේ ඉස්කෝලෙම ලමයි. ඉතිං ඕකෙ හැම ජාතියෙම එළවලු, පලතුරු, මල්, පොත්පත් වගේ ගොඩක් ඒවා අඩුවට තිබ්බා.." ලෙස කට්ටා කතාව ඇරඹීය.

කට්ටාට ඒ කාලේ ඉස්කෝලේ කෙල්ලෙක් සිට ඇත. පොර ඇය සෙට් කරගෙන තිබ්බේද මහා ගේම් සමුදායකට පසුවය. ඒත් කට්ටාගේ නොසන්ඩාල වැඩ සහ සීමා රහිත කියවීම නිසා ‍ආදරය බිදී නැවත ඉපදුන වාර අනන්තය.

"එදා හරියටම වැලන්ටයින් දවසක් බං. අපේ එවුන්ට රජ මගුල්. ඉස්කෝලෙ පොලේම තිබ්බා මල්. අපේ එවුන් රෝස මල් නැතිවුනත් පාට පාට මල් අරන් ගිහින් දෙනවා කෙල්ලන්ට. කෙල්ලෝ ෆුල් හැපී. මටත් හිතුනා බං මලක් දෙන්න. ඒත් හැම එකාම දෙන එකේ මාත් දුන්නම අගයක් නැහැනේ. අනික කොපි කළා කියල හිතයි"

වාර විභාගයත් කොපි කළ කට්ටා මේ වගේ වැඩ වලට කොපි කිරීමට අකැමතිය. ඒ නිසාම පොර වෙන වැදගත් වැඩක් සිදුකර ඇත්තේය. කොඩි වැල් ඇදීම පැත්තකින් තබා අපි ඇස් කටේ දාගෙන දෙසවන් නමාගෙන සිටියේ කට්ටාගේ පැත්තටය.

"කල්පනා කරනකොට මට ටිකිරි මොලේ පහල වුණා මචං. කෙල්ල ටිකක් සැර නිසා මම කල්පනා කරල මේකිට ගෙනිහිං දුන්නා බං කොහිල මිටියක්. අපේ අම්ම මම පොඩි කාලේ ඉස්කෝලෙ නොයන කොට ඉලපතෙන් ගහනව වගේ මේකි මට එලව එලව කකුල් දෙකට කොහිල කටු ඇනෙන කල් ගැහුව බං"
මේකි මට එලව එලව කකුල් දෙකට කොහිල කටු ඇනෙන කල් ගැහුව බං

එදා වැලන්ටයින් සමරපු අපේ කට්ටාවත් නොදැන සිටි වැලන්ටයින් උපත මෙසේය.

ඉංගිරීසි මේ රට පාලනය කරන කාලේ අපේ රටේ රෙද්ද හැට්ට ඇදපු දැරිවියක් සුද්දෙක් එක්ක සෙට් වීය.  රෙද්ද හැට්ට ඇදපු කෙල්ලන්ට සුද්දෝ බොහොමයක් කැමතිය. ඒ ස්ත්‍රියගේ අංගෝපාංග සියල්ල මොනවට  එලියට පෙනෙන නිසාය. ආදරය අන්ධ සේම භාෂා ප්‍රශ්නයද එතරම් අදාල වන්නේ නැත්තේමය. දෙදෙනාට ප්‍රශ්න ඇති විය හැකි නිසා ලොවට හොරෙන් තේ වතු අතර දෙදෙනා මුණ ගැසුනාහ. අද කාලේ නම් දෙදෙනා දේශද්‍රෝහීන් වනු නිසැකය.

මේ අවධියේම සුද්දන් විසින් ලංකාව හැර යන්නට තීරණය කළහ. එවිට සුද්දා සහ ඔහුගේ ආදරවන්තියට කරන්නට දෙයක් නැති විය. ‍ඇය හැඩූ කදුලින් පසුවෙද්දී මේ අතර සුද්දා කැළයට ගොස් වැලක් කඩා ගෙන විත් ඇය ඉදිරියේම ගෙල වැල ලා ගැනීමට සූදානම් වීය. ඇය කිසිත් කර කියා ගන්නට නොහැකිව බලා සිටියාය. ලංකාවේ වැල් ගැන නොදන්නා සුද්දා එල්ලී මිය යාමට සැරසෙද්දී වැල කඩාගෙන බිම පත බෑවිණ.  ඉනික්බිති ඔහු දණහිසේ වැලි කැට පිසලමින් නැගිට ඇත්තේ.

"වැල ඉන් ටයිම් වැටුනේ නැහැ නොවැ..." කියාගෙනය. වැල හරියට නොවැටීම නිසා ඔහු දිවි බේරා ගැනීම පිළිබද අපේ කාන්තාව සතුටු වූණාය.

ඉන්පසු දිනම සුද්දෝ ලංකාව හැර යද්දි මේ ආදරණිය සුද්දා කැළේ සැගවී සිට ඇත්තේ තම ආදරිය හැර යාමට නොහැකි නිසාමය. අනෙක් සුද්දෝ මොහු පිළිබද විපරම් කළද කිසිදු තොරතුරක් නොමැති නිසා ඔවුන් අප රට මෙන්ම ඔහුවද අතැර රටින් පිටවිය.

ඉන්පසු විවාපත්ව ඇති මේ යුවල බ්ලැක් - ඇන්ඩ් වයිට් දරුවන් හදමින් සතුටින් වසර 5ක් පමණ දිවි ගෙවුහ. සුද්දා ලද උද්දාමයෙන් හා ඔහුගේ මුදලින් උද්දච්ච බවින් ඔද වැඩුනු මේ ස්ත්‍රිය පසු කලෙක සුද්දා අතැර ගමේම සිටි මිනිසෙකු සෙට් කරගත්තාය. ගමේ කොස්, අල, බතල වල හයිය ඇයට දැනෙන්නට ඇත්තේ ඉන් පසුවය. අනුන්ගේ රටක නොහදුනන ජනතාවක් සිටියදී සුද්දාට ආගිය අතක් නැතිවිය. සුද්දාට වපල කාන්තාවගේ හැටි තේරුම් ගියේ මෙවිටය.

උමතුවට පත් සුද්දා ගමේ හැම තැනම කැඩුණු සිංහලෙන් කිය කිය ඇවිද්දේ "වැල ඉන් ටයිම් වැටුණේ නැත" කියාය. එදා වැල හරියට වැටී තමා මිය ගියේ නම් හොදයි යයි සුද්දාට සිතෙන්නට ඇත.
වැල ඉන් ටයිම් වැටුණේ නැත
අපේ මිනිස්සු ඉංගිරිසි සහ සුද්දාගේ සිංහල නොදන්න කමට සුද්දාට "වැලන්ටයින්" යන නම භාවිත කරන්නට වූහ. පසු කලෙක මේ සුද්දා අන්ත අසරණව වැවක් ලග ගුරුපාරක් අයිනේ වැටී මිය ගියේ පෙරවාරි 14 වනදා දිනකය. එසේම සුද්දා බෙල්ලේ වැල දාගන්නට ට්‍රයි කර ඇත්තේත් එවන් දිනකම වීම විශේෂය.

මේ සුද්දාව වැව ලගම මිහිදන් කළ අපේ මුතුන් මිත්තෝ අර ස්ත්‍රියගේ චපලකම හා සුද්දාගේ අවංකාදරය සිහිගන්වනු වස් සෑම පෙබරවාරි 14වනදාකම කිරි ගවයෙක් නිදහස් කිරීම, ගසක්, පැළයක් සිටවීම වැනි කරුණු කාරණා සිදු කළහ. එසේම එදිනට කැවුම්, කොකිස්, මුං අළුවා, වැනි විශේෂ කැවිලිද සාදා බෙදා හදාගෙන කෑහ.

මේ ඉතිහාසය නොදත් පරගැති ලාංකික ආදරවන්තයෝ මෙය ජාතික දිනයක් සේ උසස් කොට සලකති.

සෑමාගේ අවවාදය - 

මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය ලෙස විශේෂ දින යොදාගෙන එදිනට පමණක් ඔවුනට සලකන මෙවන් යුගයක වැල-ඉන්-ටයිම් අරුමයක් නොවේමය. 
"ආදරය කරන්නන්ට සෑම දිනයක්ම එක සමානය, ආදරයට විශේෂ දින නැත්තේමය."

පලි - සෑමාගේ විග්‍රහයක් පමණකි. ඉස්කෝලේදී ටීචර් ප්‍රශ්න කළ විට පිළිතුරු ලෙස මෙය ඉදිරිපත් කර ලැබෙන දඩුවම් පිළිබද සෑමා වග කියනු නොලැබේ.

වැල ඉන් ටයිම් වැටේ නම් පෙම්වතුන්ට කරදර නැත්තේමය.

Friday, February 10, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (5 කොටස)


මෙතෙක් ස්ටෝරිය.....

ගලා යන ග‍ගක එකට ඇලී ගමන් කරන මල් පෙති දෙකක් මෙන් සිතූ - කුසූ ආලෙන් වෙලී,  ආදරය සරි කර ගනිද්දි, ගග මැදට හෙලාලූ මහා රුක්ෂයක් සේ විමලේ මෙකි ජීවිත මැදට පතබෑවෙයි. අවංක ආදරයක කුලුදුලේ පිපි කුසුමක් වු කුසූ හැගීම් අතර අතරමං කොට පෙති කඩාහැලි රෝස මලක් බවට පත්කරන්නේ විමලේය. කිසිත් නොදත් සිතූ තම ජීවිතය ඇගෙන් ලබන්නට වෙර දරයි.
අසමජ්ජාති කුසූ විමලේ හමුවේ සිතූ පව්ය... !!


"ආනේ මයේ පුතා.. පුංචි අම්ම හොයාගෙන ආව නොවැ.. මම හිතුවෙ නැහැ උඹ නෑම්බියෙකුත් කුදලං ඒවි කියලා..."

සිතූ හා කුසූ රහසෙම පැනවිත් වැලි යට සැගෙවෙන බිංකුන්ඩං සේ සැගවෙන්නට වෙර දරන්නේ තම දෙමාපියන් සමග උරණව සිටි පුංචි අම්මා තුරුලේය. පුංචි අම්මා බොර දියේ මාළු බාන විට කුසූ හා සිතූ තාච්චි අල්ලගෙන මාළු එකතු කරන්නේ තම දෙමාපියන්ගේ මූනේ ග්‍රීස් ගෑමටය.

"ලොකු උදව්වක් පුංචි අම්මේ... මේ ඉන්නේ කුසූ.. මෙයා තමා එයා.."

"අනේ වාසනාවන්.. උඹ පොඩි කාලේ මම බොලාගේ කිහිලි යටන් අත් දෙක දාලා අහසට උස් කරද්දි. බොලා ඔය හිච්චං චූ පොඩ්ඩා මට උල් කොරල මගේ කටට හුජ්ජ කලා නොවැ. අන්න එදා තමා මට තේරුනේ බොලා ඔය වගේ උල් කිරිල්ලකින් කෙලෝගෙන මා ලගටම එයි කියල."

කුසුගේ සිත ලෑන්ඩ් මාස්ටරයක් මෙන් ගැස්සෙයි. ඇගේ අතින් සිතූගේ අත නොහැරිම තදින් මිරිකුනේ පුංචි අම්මාගේ කතාව නිසාය. විමලේ උල් කල පිහිය අද පාරවන්නේ සිතූටය. ඇය සිතූව රැවටුවද යටි සිත පවසන්නේ සිතූ මේ අසික්කිත කතා අසන්නේ ඇය නිසා බවය. එය තාප්පයක් ඇලවූ මැතිවරණ පෝස්ටරයක් මෙන් ඇයට සදා කාලිකව වද දෙනු ඇත. ජීවිතේ අවසාන මොහොත ඇය‍ගේ මරණය දෑස මානේ තිබියදී පවා සිහිවනු ඇත. 

"හරි පුංචි අම්මා.. කෑගහන්න එපා දැන්. වුණ දේවල් වුණා.. මේ දරු පැටියා මට හදාගන්න ඕනේ. අපේ ගෙදරට කිසි දෙයක් දැනෙන්න තියන්න එපා..."

"හරි හරි බං උඹලගෙ අම්මට ගුණයක් නැතිවට මට එහෙම වැඩ කරන්න බැහැ. මම බොලාලව බලා ගන්නම්, මගෙ මිනිහ මැරුනේ උඹලගෙ අම්ම එක්ක ඉඩමකට පැටලිලා කම්බි කටුවක් ඇනිල. එහෙව් මිනිහ නැති වුණ දවසෙ ඉදන් දරුවෙක්ගෙ මුහුනක් බලන්න මට බැරි වෙච්චි. දැන්වත් බලන්න ඇහැක් නොවැ."

සියලු කතා වාර අවසන සිතූ කුසූ දහවල පුරා තප්පුලමින් ගම පුරා සැරිසරන ගොන් නාම්බන් මෙන් පුංචි අම්මාගේ ගවලෙනේ අරක් ගත්හ. පෙර දින හවස් ජාමයේ අල්ලපු වත්තේ කිකිලිය තම වත්තට විත් කෙකර ගා දැමූ බිත්තර පොඩි කර ඔම්ලට් දමා පුංචි අම්මා රෑ කෑම පිළියෙල කළාය.
සිතූ ඊයේ රැයේ අම්මා ලග සිටි කොල්ලාය. අද ඉසකුඩිච්චියක් සමගය.
සිතූ සහ කුසූ දෙදෙනාම කෑම මේසයේ හිද ගත්තද කුසූ ගේ සිත රැදි සතුට සිතූ සිතේ නැත. අමු අමුවේ අල්මාරියක් ඇතුලත දී සෝඩා බෝතලය කැඩුවා සේ විමලේ ගැලවූ ‍ටොනික් පියන අද සිතූ අතට පත්ව ඇත. කුසූ දිගු සුසුම් සලමින් තුටු වන්නේ එලෙසය. සිතූ සැලෙන සිතින් වුවද ඇයව අවිශ්වාස නොකරන්නේ අවංක ආදරය නිසාමය. කරන්නට දෙයක් නැත. තටු කැපූ පරෙවියෙක් ගෙදර ගෙන විත් නැවත කඩකාරයාට රිට(ර්)න් කළ නොහැක. ඕනෑම නිශ්පාදනයක ස්ටිකරය ඉවත් කලොත් වගකීම අවලංගුය. සිතූ නොදැන පුංචිගේ ගෙදර ගෙනාවේ කඩකාරයාම ගැලවූ ස්ටිකරයක් රහිත බඩුවකි භාණ්ඩයකි.

"ඇයි සිතූ.. ඔයා දාපු බිත්තරයක් වගේ ඔම්ලට් එක නොකා බලං ඉන්නේ..?? මම කවන්නද??" කුසූ සුරතල් වීම ඇරඹීය.

"නැහැ කුසූ මට හිතෙනවා මේ බිත්තරේ දාපු කිකිලිත් එක්ක හිටපු කුකුලා වෙන කුකුලෙක් වෙන්න බැරිද..?" සිතූ දැන හො නොදැන කීවේ කුසූ දැවෙන කතාවකි.

"මොකක්?? මට තේරුනේ නැහැ මයෙ අම්මා.. " (සොරි ඉස්සර වගේ ඇය දැන් මයෙ අම්මා කියන්නේ නැත.)

"නැහැ කුසූ.. මේ බිත්තරේ දාන්න හේතු වුණ කුකුළා කවුද කියල කුකුලට වඩා හොදින් දන්නේ කිකිලි නේද..?"

"අනේ බොල කොල්ලෝ.. මයෙ මිනිහ මලාට පස්සේ.. බෝට්ටු කීයක් ගියාද බොල..? ඒත් මේ පාලම නෙවේ හෙල්ලුනේ.. අහවල් එකක් තියා ගිය බෝට්ටු ගාන පාලමේ කොටල නැහැ නොවැ" මැද්දෙන් පැන්නේ පුංචි අම්මාය. සිතූගේ මාතෘකාවෙන් කුසූට බේරීමට ඇය මහත් රුකුලක් වූවාය.

කුසූ කොහෙඹ ගහේ වෙලෙන කරවිල වැලක් මෙන් සිතූ අස්සේ වෙලෙමින් කෑම ගිලිද්දී සිතූ තම අම්මාගේ මතකයේ සැරි සැරුවේය. අම්ම කැවු බත් කට තරම් පුංචි අම්මාගේ ඔම්ලට් එක රස නැත්තේමය. සයිවර් කඩේ සතියක් පිලිණු වූ වඩය කැරපොත්තාට රස සේම සිතූටද අම්මාගේ කෑම තරම් දෙයක් නොවේය.

"හරි හරි අන්න ඉස්සරහ කාමරේ ලෑස්ති ‍කොරල තියෙනවා. කාල අහවර නම් නිදා ගනිල්ල. ඔය ඇද අපේ මිනිහ බීල ආවහම ඇල වෙච්ච යකඩ දැල් ඇද. ඉස්සර කිරි කිරි ගගා තිබ්බ නොවැ. මයෙ හිතේ තෙල් දැම්මොතින් හරි යයි" සිතු බත් පත අත ගගා සිටින විට පුංචි අම්මා කීවා.

පුංචි අම්මාගේ වදන ඇසී, ගෙදරට අළුතෙන් ගෙනා මී කතුර පළමුවර චෙක් කරන්නට දගලන අයෙකු මෙන් කුසූ ගේ සිත දගලන්නට විය. අලුත් මී කතුරට නතුවන්නට වෙර දරන මී පැටියෙකු මෙන් ඇය දගලන්නීය. මීයා ඇය නම් මී කතුර ඔහු විය යුතුය. වෙනසකට ඇත්තේ කුසූ දගන්නේ මීයා ගිලින්නට දගලන පූසා ආකාරයෙනි.

"සිතූ බලන්න පුංචි අම්මා කියනවා දොයියන්නලු.. දොයියමු නේද..?"

සිතුගේ සිත වටලා ගත් සැකයකි. එදා තමා බඩ අතගා අද දරුවෙකු සමග කුසූ තමා ලගය. තම මිතුරන් කළ කී දෑ මතක් වෙන සිතූට පුදුමය. ඔවුන් තම මිතුරියන් සමග කළ දේ හැටියට තම පාසලේ සියළු කෙලිපොඩිත්තියන් දැන් අම්මලාය. සිතූ සසල සිත සිසිල් කරන්නට වෙර දරන විට වොට් දහසක හීටරයක් මෙන්, නැතොත් කූලිං ෆෑන් එකක් නැති සී.පී.යු එකක් මෙන් තම සිත දැවේමය.

"හරි බබා අපි තුන්දෙනාම යමු..." සිතූ කුසූ බදවටා අත දමා සිහින් හඩින් ඇගේ කනට කොදුලේය.

"අපෝ.. පුංචි අම්මවත් අරං යන්න.. ඔයාට මාව විතරක් මදිද සිතූ..?"

"නැහැ මයෙ කුසූ.. අපි තුන්දෙනා කිව්වේ මේ පැටියා එක්ක..." සිතූ කුසුගේ බන්ඩිය එඹුවේය.

ලියාපදිංචි තැපෑලෙන් පාර්සලයක් යවනවා මෙන් සියල්ල කවරයක දමා, කවරයේ කට ගම් ගා අලවා, නූල් කැබැල්ලකින් වටේට ගැට ගසා, ලාකඩ ස්වල්පයක්ද තැවරුවා සේ පුංචි අම්මා සිතූ සහ කුසූ ඉස්සරහ කාමරයට ගාල් කළාය. 

සිතූ ගේ සිත මුහුදෙන් අල්ලා ගත් මාළුවෙකු වේලා ගත් විට කරවල වූවා සේ හැගීමෙන් තොරය. කාමරයට ලත් වනම හේ ඇද පුරා දපනේ දමා වැතිරුනේය.

"සිතූ.. මොකද මේ.. ෆෝන් එකෙන් දාපු සෙල්ලම් ලග ඉන්න කොට නැද්ද. අපොයි මරු චන්ඩි.."

දැවෙන සිත සනසාලන්නට ඇයට බැරිය. සිතූ ඊයේ රැයේ අම්මා ලග සිටි කොල්ලාය. අද ඉසකුඩිච්චියක් සමගය. මැරුනු සිතින් හෙතෙම කුසූට තුරුලු වුණේය.

ගල් කුලක් මතට මුදු මොලොක් රිජිෆේම් කැබැල්ලක් තැබුවා සේ කුසූ ආදරය සොයමින් සිතූ පපුවේ සැතපුනාය. සිතූ ඇගේ හිසකේ අතර තම අතැගිලි යැව්වේ ඉදියප්ප වංගෙඩියේ සිදුරු තුලින් පිටි එලියට එන්නා සේය. ඇගේ දෙනෙත් පියවිගෙය යද්දී, සිතූ ගේ දෙනෙත් අඩවන් වන්නට විය. එදා විමලේ සමග අල්මාරියවන් අඩි 2 x 4 ස්ථානයක සිදු වු කිසිදු දෙයක් මේ විශාල කාමරයේ නොවූයේ සිතූගේ මල් ඇතුරූ ආසනයක් වන් සිත නිසාය.

වෙනදට මල් ගසා පියවෙන ඇස් අද පියවෙන්නේ ආදරිය ලග සිටින නිසා බව සිතූට දැනුනි. වෙනදාට නිදි නැති කුසූගේ දෙනෙත් අද සිතූ ලග පියවෙන්නේ සියළු බර සිතූ කර පිට දැමූ බව නිසා බව කුසූට පසක් නොවූවාද නොවේය. ඇය සියළු සිතුවිලි මරා දමමින් නිදි ලොවට එළඹියාය. සිතූද එසේමය.

"අඩේ පාහරයා.. තෝ කොහෙ හිටියත් මම හොයාගෙන එනවා යකෝ.. කෝ මගේ කෙල්ල..."

කම්පියුටරේ error මැසේජ් එකක් ආවා සේ "දඩිං" සද්ද නගමින් පුංචි අම්මාගේ දොර කඩන්නට යමෙකු වෙර දරණු ඇසී සියල්ලෝම තිගැස්සී අවදි වූහ.


************
සියල්ල පහලින් කියවන්න.....


************

Tuesday, February 7, 2012

පොඩි සෑමාගේ තියරිය අනුගමනය කළ ජයසූලිය මාමාට ලියමි.... (පොඩි සෑමාගේ ලියුම 5)

ඉස්සර පොඩි සෑමා ඉක්කෝලේ ගියේද කිරිකට් බැට් එකක් බෑග් එකේ දමාගෙනය. අපේ ගමේ අංකල්ලා හිතුවේ මම ඉක්කෝලේ ටීම් එකේ ඕපනින් බැටා කියාය. ඉතිං මාත් එයාලට එහෙම හිතන්නට දුන්නා මිස අහිංසක චින්තනයට බාධා කලේ නැත. ඇත්තටම මම ඉක්කෝලේ බැට් එක ගෙනිච්චාට ටීම් එකට සෙල්ලම් කිරීමට තියා, ෆ්‍රී පීරියඩ් එකක වත් සෙල්ලම් කිරීමට ලැබෙන්නේ නැත. මම තදයා වගේ බැට් එක ගෙනිච්චාට සෙල්ලම් කරන්නේ අනිත් අයය. මට අපේ යාළුවෝ දමන්නේ එක බෝලයකි. බැට් එක විකට් එකට වඩා කුඩා නිසා බෝලය වදින්නේ බැට් එකේ නොව විකට්ටුවේය. එහෙව් අකටයුතුකම් මැද මම ඉක්කෝලේ ගියේ කිරි cot කිරිකොට් වලට තිබ්බ ආශාව නිසාමය. එහෙව් මම ආදරය කලේ අපිට ලෝක කුසලානය ගෙනා ටීම් එකේ සිටි මාස්ටර් බ්ලාස්ටර් හෙවත් ජයසූලිය (ජයේ) මාමාටය. 



එකී මාමාට ආදලයෙන් ලියමි... 

ජයසූලිය මාමේ. ඔ‍බ සැපෙන් වග නම් දනිමි. මේ ලිපිය ලිව්වේ ඇයි කියා ඔබ වික්සිප්ත වෙනු නිසැකය. එනිසා මේ ලිවුම ලියන්නට හේතුව මම අන්තිමට දක්වමි. මම ඔබ හදුනන්නේ කළුවිතාලන මාමා සමග ඕපන් පෙයාර් එකට බැට් කොරන්නට පිට්ටනියට ආපු දින සිටය. ඉත්තර ඔබ දෙපල අතිනත ගෙන පිට්ටනියට එද්දී අනිත් ටීම් එකේ ෆීල්ඩ් කරන මාමලාට වැඩිය අපේ ඇගපත කිලිපොලා යන්නේය. ඒ ඔබලාගේ නොහැකියාව නිසා නොව යුධ බටයන් දෙදෙනෙකු ලෙස පැමිණ වේගවත්ව පහර එල්ල කර ක්‍රිකට් නව මගකට ගත් නිසාමය. එසේම අපි බය වූයේ පිස්සුවෙන් වගේ පහරදී කොයි මොහොතක හෝ දැවී යාවි කියාය. ඒත් ඉස්සර ඔබ ගැහුවොත් මැච් දිනනවා සුවර්ය. 

අපේ සීයා කොල්ලා කාලේ අපි පොඩි ගැටව් කාලේ ඔබ ඕපන් ආවා මතකය. එදා මම සීයා සමග ටීවී එක ලගට සෙට්වුනේ දවල් දෙකට ඇරඹි තරගය බැලීමටය. ඒ පටන් ගත් හැටියේ මම නාන්නට ගියේ අපේ අම්මාගේ කෑගැසීම නිසාය. එහෙව් ගිය මම 2.30ට ටීවි එක ලගට එද්දී ටීවි එක වසා දමා සීයා බිම පැදුරක් එලා නිදිය. "ඇයි තීයේ මැච් එක ඉවරද?" කියා කිරිකට් ගැන මෙලෝ හසරක් නොදන්නා මම අසද්දී තීයා කීවේ ඉවරයි බොල "සනා" අවුට් කියාය. කිරිකට් ගැන නොදන්නා කමට මම හිතුවේ සනා මාමා විතරයි සෙල්ලම් කරන්නේ එයා අවුට් වුණාම මැච් එක අහවරයි කියාය. ඒත් ඒක ‍එහෙම නෙවේ කියලා මට තේරුනේ ලොකු වුණාමය. මගේ පුංචි මොලයට තේලුනේ "සනා" අවුට් නම් අපේ අය මැච් බැලීම එතනින් ඉවර කල කාලයක් තිබුණ බවයි.

මගේ මනස දැන් දිවෙන්නේ අපේ ඉංග්‍රීසි ටීචර් අපිට රචනාවක් ලියන්නට දුන් කාලයටය. ජාතික වීරයෙක් ගැන ලියන්නට දුන් රචනාව මම ඔබ ගැන ලීවේ 1996 අපේ වීරයෝ වර්ල්ඩ් කප්පුව ගත් නිසා. ඒ අතර සිටි අනිත් මාමලාද අමුතුවෙන් මතක් කළ යුතු නැත. ඔවුන් තවමත් වීරවරුය. ඉංග්‍රිරීසි ටීචර් කීව නිසා මම හිතුවේ රචනාවේ යෙදෙන සියළු නම් පවා ඉංගිරීසි විය යුතු බවයි. එනිසා එදා මම ඔබේ ජයසූරිය යන නම ලිවේ අපූර්ව ඉංගිරිසියෙනි. එනම් ජය = Win, සූ =Zoo,  රිය = Car, කියාය. ටීචර් රචනාව ඉවර වෙනතුරු කියවා ඇසුවේ කවුද පුතේ මේ වින්සූකර් (Winzoocar) වීරයා කියාය. ටීචර් හිතන්නට ඇත්තේ පිටරට වීරයෙක් කියාමය. මම ටීචර්ට තේරුම් කර දුන්නේ අපේ වීරයා ජයසුරිය බවයි. ටීචර් දෙමාපිය රැස්වීමෙදීත් මාව චාටර් කළ නිසා එදායින් පසු මම පුද්ගලයින්ගේ නම් ඉංගිරිසියට පරිවර්ථනය නොකලෙමි. 

ඉස්සර අපි අපේ වත්තේ ක්‍රිකට් ගසන්නෙමු. අපිටම වෙන්වූ නීතිමාලාව දැන් අයි.සී.සී මැච් ගහනවාට වඩා අමාරුය. පහර දුන් බෝලය උඩින් ගොස් අපේ ‍ලොකු අම්මලාගේ වහලයට වැටී ඇස්බැස්ටෝස් තහඩු දිගේ ඇවිත් ඇල්ලුවොත් අවුට්ය. තැඹිලි ගහේ අත්තක වැදී ඇල්ලුවොත් අවුට්ය. කොටින්ම කීවොත් "ගස් කැච්" ඔට්ටුය. බිමදිගේ ගොස් පාරට ගියොත් අවුට් නැත. ඒත් උඩින් ගියොත් අවුට්ය. ලෙග් එක පැත්තේ ඇන්ටිලාගේ වත්ත අවුට්ය. කඩුල්ල මුවා කිරීම වරදක්ද නොවේ. එසේම එක දවසක් අපේ තාත්තා මැච් එකක් ගසන්නට ඇවිත් අපිට අවුට් කර ගන්නට බොහෝ වෙලා ගියේ තාත්තා සරමක් ඇදන් බැට් කළ නිසාය. එවිට පන්දුව විකට්ටුවට ගියද බැට් එකේ වැදුනේ නැත්තම් සරමේ පැටලී නවතින නිසා නොටවුට්ය. මේ ක්‍රමය ඉන්පසු අපේ අයියලාද අනුගමනය කළහ. කැච් එකක් ආවත් අතින් අල්ලනවාට වැඩිය සරම ‍ගොට්ටක් සේ අල්ලා බෝලය එයට දමා ගැනීම සිදුවිය. ඒවා සියල්ල වලංගුය. එකී නොකී සියළු බාධක මැද මා දකුණතින් ක්‍රීඩා කලේ වමතින් සෙල්ලම් කොරන ජයතූලිය මාමා වීමටය.

මම ආදරය කල ඔබ ගැන පලවූ පුවතක් නිසාම මේ ලිපිය ලියන්නට සිත් වූ බව දනැ පවසමි. මෙතෙක් වේලා නෙපැවසූ කරුණ නම් මෙසේය..

උපුටා ගැනීම ලංකාදීප පුවත්පත (දිනය හරි හැටි මතක නැත, ජනවාරි මාසයේ එකකි)

පොඩි සෑමාට ඉස්කෝලේ යන්නට ගෙනා කිඹුලා බනිසක් ඹතා තිබුනේ මේ පත්තර පිටුවේය. ඉන්ටර්වල් එකේදී කිඹුලා බනිස කෑවත් බඩ නොපිරුනේ ජයසූලිය මන්තිරී මාමා මැච් එකක් අතර පාර්ලිමේන්තු රැස්වීමකට ‍ගොස් ඇති බව එහි තිබු නිසාය. කවුරු මොනවා කීවත් ජයසුලිය මන්ත්‍රී මා සිතේ ඇති ස්නේහය දෝරේ ගලා යන්නට වූ නිසාම මේ ලිපිය ලියන්නට සිත් වුණි. ක්‍රීඩා පිටිය මෙන්ම පාර්ලිමේන්තු සභාව යන දෙකම වෙනුවෙන් අඩු නැතිව ක්‍රියාකරන ඔහු නම් තවමත් මාස්ටර් බ්ලාස්ටර් කෙනෙකි. එසේම "ඕල් රවුන්ඩර්" කෙනෙකි.

ලිපිය කියවා අහවර වූ තැන මා හට මතක් වුනේ පොඩි සෑමා ‍පොඩි කාලේ කල ට්‍රික් එකකි. එය මෙසේය...

ඉස්සර පොඩි සෑමා කිරිකට් සෙල්ලම් කලේ අයියලා සමගය. ඉරි අල්ලා බැට් කරන අනු පිලිවල තෝරා ගත් පසුව තමාට ලද ස්ථානයේ ක්‍රීඩා කරයි. ඉන්පසු නැවත තමාට බැට් කිරීමට වාරය එන්නේ ගොඩ වෙලාවකට පසු බව පොඩි සෑමා දනී. ඉතිං සෑමා කොරන්නේ වලියක් දාගෙන හෝ අම්මා කතා කලා කියා ගෙදර යාමය. ඉන්පසු අනිත් අමාරුවෙන් ‍ෆීල්ඩ් කර, බැට් කරන අය දැවී ගොස් තමාගේ වාරය පැමිණෙන අවස්ථාවේදී සෑමා නැවත තරගයට අවතීරණය වේ. ඇත්තටම කිරිකට් වල බැට් කරනවාට වඩා රසයක් නැත්තේමය. ෆීල්ඩ් කිරීම නම් එපා වෙනවාය.

පොඩි සෑමාගේ තියරිය ජයසූලිය මාමා අනුගමනය කළාද? නැතොත් ජයසූලිය මාමා පොඩි සෑමාගේ තියරිය අනුගමනය කළාද නොදනිමි. නමුත් මට සතුටු එදා මා දුටු සිහිනය ජයසූලිය මාමා කෙනෙක් වීමය. අද ඔහු මා වී ඇත.

මා වැනි පොඩි මිනිසෙකු අනුගමනය කළ ඔබට තුති... !

Written by sAm_9.00am_06.02.2012


පලි - ඉරි අල්ලීම යනු - බැට් කරන පිළිවෙල තෝරා ගැනීමට කරන සාධාරණ ක්‍රමයකි. බොහෝවිට මහ පොලව මත ඉලක්කම් ලියා ඉලක්කම් බැට් එකෙන් වසා එලියට කෙටි ඉරි ඇද තබනු ලැබේ. තම තමන්ට කැමති ඉරි කැබලි අල්ලා ගත් පසු බැට් එක ඉවත් කර ඉලක්කම් වලට අදාල ස්ථානයේ ක්‍රීඩා කල යුතුය.

*** සෑමාගේ පෙර ලිපි ***

Sunday, February 5, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (4 කොටස)

මෙතෙක් ස්ටෝරිය.....
ගලා යන ග‍ගක එකට ඇලී ගමන් කරන මල් පෙති දෙකක් මෙන් සිතූ - කුසූ ආලෙන් වෙලී,  ආදරය සරි කර ගනිද්දි, ගග මැදට හෙලාලූ මහා රුක්ෂයක් සේ විමලේ මෙකි ජීවිත මැදට පතබෑවෙයි. අවංක ආදරයක කුලුදුලේ පිපි කුසුමක් වු කුසූ හැගීම් අතර අතරමං කොට පෙති කඩාහැලි රෝස මලක් බවට පත්කරන්නේ විමලේය. කිසිත් නොදත් සිතූ තම ජීවිතය ඇගෙන් ලබන්නට වෙර දරයි.
අසමජ්ජාති විමලේ හමුවේ සිතූ පව්ය... !! 


විමලේ සමග හැංගිමුත්තං කළ කුසූගේ චක්‍රය ඩෙංගු නාශක ගැසු මදුරුවෙකුගේ ජීවන චක්‍රයට වඩා අවුල් වියවුල් විය. සියළු හැල හැප්පීම් මැද ගලන කුණු දිය කඩිත්තක පාවෙන පත්තර පිටුවකින් සැදි කඩදාසි බෝට්ටුවක් ලෙස අයාලේ ගලා ගිය තම කුළුදුල් ආදරය "සිතූ"ට කළ අසාධාරණය කුසූගේ සිතට වද දෙන්නට විය. පුංචි කාලේ තමන් ලිද ලග නාපු සිමෙන්ති ටැංකියේ කූඹි පැට්ටෙකු සිටියත් ගොඩ ගත් අයුරු කුසූට සිහිපත් විය. එවන් පිංවත් තමා තම ආත්මයම දියකර හැරියේ හුදු නිෂ්ඵල විමලේ වෙනුවෙනි. කෙසේ වෙතත් අවංක බිරිදක් වී පොල් කටු හැන්ද හා රයිස් කුකර් එක සමග ඔට්ටු වී තම දිවිය නැවත "සිතූ" සමග ගොඩ නැගිය යුතු කාළය එලඹ ඇත. කරන්නට දෙයක් නැත. ඕලෙවල් කරන්නට පෙර තම ජීවිතයය. කුසූට දැන් කිසිම විභාගයක් ෂුවර් නැත. විභාගය කෙතරම් හොදින් ලිව්වත් ප්‍රථිඑල ෂුවර්ම නැත. නොදන්නා ජාමිතික සූස්තරවලට වඩා විමලේ සමග අල්මාරිය තුල සිරව ගතවූ කාලය තමාට විශ්වාසය.

විමලේ ගේ සිද්ධියෙන් පසු කුසූ - සිතූ අතර කිසිදු අඩදබරයක් නැත. ඒ සිතූ සිද්ධිය නොදන්නා නිසාය. නමුත් එකී මතකය කුසූගේ සිත තුල හිටවූ රෝස පදුරක් මෙන් කටු එකිනෙක තම සිතේ ඇනී විලාප දෙයි. එලෙස සති කිහිපයක් ගෙවී එලැඹුන පුර පෝදාවේ පාන්දර...

"සිතූ.... ඔයා දොයිද ? "

"නැහැ කුසූ.. ඇහැරිලා ඉන්නේ ඒත් තවම ඇදේ..."

"ඇයි අද ක්ලාස් එන්නේ නැද්ද? "

"මේ අද..? ‍පෝය දවසේ ක්ලාස්..??"

"මතක නැද්ද මැට්ටෝ..? නිදි කුම්බරයා වගේ දොයියන්නේ..? අද අතිරේක චිත්‍ර පන්තියක් දැම්මේ.."

"අප්පටු හුඩු ඔව් නේද..? ඔයා ඇදගෙනද ඉන්නේ..?? මම විනාඩි දහයෙන් අතනට එනවා.. ප්ලීස් මම එනකල් ඉන්න..."

"හරි හරි.. පරක්කු වෙන්නෙපා සිතූ.. ඩිපෝවෙ ඉන්න රැවුල වවාගත්ත අයියට මම බයයි. ඒ මදිවට දවසක් මට ඉබ්බි කියල විහිළු කළා. මට එතන වැඩි වෙලා ඉන්න බැහැ.."

"ඕකේ.. බේබි.. අයි විල් බී දෙයාර්... :-*  :-* "

සිතූ මදුරු නෙට් එකත් ඉරාගෙන ඇදෙන් බිමට පැන දඩි බිඩියේ ඇද ගනී. ඒ තම සුමිතුරිය හමුවීමට ඕනෑකම නිසාය. 

"මොකද කොල්ලෝ උදේ පාන්දර නැගිට ගෙන..??" ඒ සිතූ ගේ අම්මාය.

"අද අතිරේක චිත්‍ර පන්තියක් අම්මේ.. කුසූ.. තමා කෝල් කරලා දැන් කිව්වේ මට අමතක වුණා.."

"කවුද බොල කුසූ කිව්වේ.. අර අසමජ්ජාති පීටරයගේ දුවද..??" සිතුට කට උත්තර නැත. කුසූගේ නම කටින් පැන්නේ තමාට නොදැනීමය.

"‍කොහෙ ඉන්න කුසුවෙක්ද අම්මේ..?? මම කිව්වේ "සුසූ" ගැන, අපේ පන්තියේ සුමින්දයා.."

අම්මාගෙන් ප්‍රති උත්තර නැත. සිතූ ගේ අම්මා තම ගොන් පැටියා හැරෙන්නේ පොල් පැලය කන්නට බව ඉවෙන් මෙන් දනී. සීනි බෝතලය, ගිණි පෙට්ටිය පවා ලිප් බොක්කේ හංගන්නේ එනිසාවෙනි.

"අම්මෙ මම යනෝ.." කියමින් සිතූ එළියට පැන්නේය. උරුලෑවගේ අම්මට වුවත් තම පුතා ඌ මැණිකක් බව සැබෑය. සිතූ උරුලෑ ගති පෙන්නන්නේ මෑතක සිට අසුවූ ඉසකුඩිච්චිය නිසාය. සිතූ ගේ අම්මා තම පුතු කොහේ ගියත් පිටවූ පසු අමතක වූ දේවල් බැලීමට පුතුගේ කාමරයට ගොඩ වදින්නීය.

"කොල්ලෝ.. උඹ චිත්‍ර පන්ති යන්නේ තොගේ කුකුල් සායම් එක ගෙදර තියලද??" අම්මා කාමරය අසල හිද කෑගසද්දී, සිතූ වැට අද්දරය. කඩුල්ලෙන් පිටතද දැමූ කකුල නැවත පිටුපසට ගන්නේ අම්මා ලගට දිව ඒමටය.

"අනේ මයෙ අම්මේ.. ඊයේ රෑ මම හා පැටියෙක් පාට කරන්න ගත්තා, එහෙම්මම අමතක වුණා" 

"අද පෝය දවසේ කොහෙ තියෙන පන්තියක්ද බොල.." සිතූ සායම් පෙට්ටිය ගනිද්දී අම්මා දෙනෙතින් තම පොඩි පුතු සිරකර ගත්තාය. ඒ බැල්මට සිතූට වුණදේ හිතාගන්නට බැරිද දණිහ බිම වැදින. දෙඅත් එකතු කොට වැන්දේ ඉස්සර පුරුදු යලි මතක් වීමෙනි.

"රත්නත්තරේ පිහිටයි..." ඇස් කොනින් පැන්න කදුලු බිංදුව ඇය චීත්ත පොටින් පිසදැම්මේ සිතූ ආපසු හැරුණු පසුය. මවක දරුවෙකුට නොපෙනෙන්නට දුක සතුට එසේමය.

"ගුඩ් මෝනිං මැඩම්.." සිතූ පිබිදුනු දෙනෙතින් කුසූට විහිළු කළේය.

"පුහ්.. මෙයාට මොකද වෙලා තියෙන්නේ.. ගුඩ් මෝනිං.. මෝනිං.."

"අද ක්ලාස් යන්නම ඕනෙද..?" සිතූ කපටිකමේ උපතය.

"අනේ මන්දා සිතූ මගේ හිතට අද අමුතුයි. මට මේ පෝය දවසේ පන්සලකට යන්නෝනි.."

"අප්පද බොල මාස ගානකින් මාව හම්බෙලා පන්සල් යන්න අහනවා.. අත්තම්ම එක්ක අද සිල් ගන්න ගියා නම් ඉවරයි නේ... හිකිස්.."

"විහිළු නෙවේ සිතු මට ඔයා එක්ක කතා කරන්න ඕනේ නිදහසේ.. අපි අර වැව ඉස්මත්තේ පන්සලට යමු. අත්තම්මා ගමේ පන්සලටනේ යන්නේ. අනික අදුනන කවුරුත් නැහැ."

අද චිත්‍ර පන්තිය ටවුමෙන් එහා පන්සලකය. සිතූ ඇදන් ආවේ මකරෙකු සිටින ටී-ෂර්ට් එකක් වුනත් කරන්නට දෙයක් නැත. කුසු දුකින් සිටි විට විමලේ දුක නැති කලා සේ කුසූ දුකින් නම් සිතූ ලගින් සිටිය යුතුය. 

කුසූ සහ සිතූ ලඩරං බස් රථයක නැගී ගමන ඇඹීය. කුසූට ජනේලය අසල සීට් එක දුන් කුසූ එහා පැත්තෙන් වාඩි වී සිටියේය. සිතූ ෆේස් බුකියේ කෙල්ලෙක්ගේ නමක් සර්ච් කරන ආකාරයෙන් සුපරික්ෂාකාරීව කුසූ දෙස බලන්නට විය.

"මොනවද හොරෝ බලන්නේ. අපේ අල්ලපු වත්තේ හොර පූසා වගේ.."

"කුසූ.. ඔයා ටිකක් මහත් වෙලා පැටියෝ... අර මැරිච්ච ගිරා පැට්ටව ගිල්ලද?"

"අනේ.. ඔයා හරි නරකයි සිතූ... ඕක්..ඕක්.. ග්ල්බ්...ග්ල්බ්..." කුසූ තම උගුරට ආ කිසිවක් ගිලින්නට තැත් කළේය. 

"ඇයි කුසූ..? ඔයා උදේට කෑවේ නැද්ද? උගුරට එන්නේ.."

"නැහැ සිතූ.. මට දුර ගමන් යන්න බැහැනේ බස් වල.. ඒක නිසා වෙන්න ඇති..." කුසූ උගුරට ආවත්, එය මැඩගෙන කීවාය.

"අපොයි බබා.. හරි හරි අපි ඉස්සරහ හෝල්ට් එකෙන් බහින්න ඕනෙ බබා.. එන්න.."

බස් හෝල්ට් එකට සුදුවතින් බැබලෙන දාගැබ පෙනෙයි. දෙදෙනාගේ සිත් බැති සිතින් ඉතිරෙන්නට විය. සිතූ හා කුසූ අත් එකිනෙක පැටලෙද්දීද කුසූට ඔක්කාරය ආවේය. සිතූ ගණනකට නොගත්තේ දුර ගමන් තම ආදරවන්තියට නුපුරුදු නිසාය. දෙදෙනා නැවතුනේ නිල් මානෙල් පිරි පොඩි කඩයක් ලගය.

"අතන එක ලග තියෙන මල් දෙක දෙන්න" කුසූ හුරතල් වූවාය. සිතූ සාක්කුවෙන් මුදල් එලියට ගත්තේ හදුන්කූරුත් අවශ්‍යය බව කියමිනි.

"ඔන්න මහත්තයෝ නමෝ විත්තියෙන් පාන්දරම කරපු බිස්නස් එක.." සුරතේ ඇගිල්ලක් මිරිකමින් ඇටයක්  ක‍ඩමින් කඩේ අංකල් මල් දෙකක් දෙදෙනාගේ අතට වෙන වෙනම දුන්නේය.

"අපොයි අංකල්, මල් තනි කරන්න හොද නැහැ. දෙන්න දෙකම මට" කුසූ මල් දෙකම තම සුරතට නතුකර ගත්තාය.

හරකා සහ ලණුව මෙන් සුරත් එකිනෙක වෙලී දෙදෙනා පඩිපෙල දිගේ පියමං කලේ උපාසක අම්මලා බිම හිදගෙන සිටියදීය. පඩිපෙල දිගේ කකුල දිගු කොටගෙන සිටි උපාසක අම්මා කෙනෙක්ගේ කකුලේ කුසූගේ දෙපා පැටලී වැටෙන්නට යත්දී මාළුවෙකු ඩැහැගත් ජම්ඹු කොට්ටෝරුවෙකු පිළිහුඩුවෙකු මෙන් ඇයව ඩැහැගත්තේ සිතූය. උපාසක අම්මා සිල් පවාරනය නොකරම කුසූට සිංහලෙන් ආමන්ත්‍රනය කළාය. දැන් හැදෙන එව්වෝ කුලප්පුවෙන් යුත්තෝමය. ඇය කීවාය.

වැලි මළුවේ දණගසා වදින කළ ඇස් පියා සිටින තම පෙම්වතිය සිතූ රිසි සේ දෑහින් විදගත්තේය. තමා පූජා කළ මල ලගින්ම ඇය ඇගේ මලද තැබුවාය.

"පුප්ඵං මිලා යාති යථා ඉදම්හේ - කායෝ තථා යාති විනාසභාවං" මල සේම කයද විනාස වන බව සිතූ දැන සිටියේ තමා සවසට තමා පත්තු කරගන්නා මල නිසාම නොවේ. පත්තු කරනා මලින් සිරුරම දැවෙනා සේම පරව යන මල සේම කයද විනාස වන බව හෙතෙම දත්තේය.
ඇස් පියා සිටින තම පෙම්වතිය 'සිතූ' රිසි සේ දෑහින් විදගත්තේය

බැති සිතින් දෙදෙනාම ආගමික වතාවත් සිදුකර එලැබියේ බෝධීන් වහන්සේ එහා පැත්තේ පිහිටි ගල් කුල මතටයි. කිසිම පුද්ගලයෙක් නොමැති වදුරු රැලක් දග කරන පෙදෙසක් වූ එහි පාළුව දෙදෙනාගේ කතාවට කදිම තෝතැන්නක් විය.

"සිතූ... ඕක්...ඔක්..." නැවත ඇයගේ උගුරට ආවේ වමනය කිරීමට මෙනි.

"ඇයි දෙයියෝ මොකද ඔයාට වෙලා තියෙන්නේ...මට තේරෙන්නෙ නැහැ. ඔයා ඉස්සර ඔහොම නැහැ." සිතු ඔලිම්පික් පහනට වඩා දැවෙන සිතින් ඇසීය.

"සිතූ.. මම ඔයාට කියන්න හිටියේ සිතූ.. හැම දෙයක්ම මට තනියම දරාගන්න බැහැ බබා..." කුසූ කදුලින් තෙත්වූ දෙනෙතින් කීවාය.

"අපි දෙන්නෙක් නෙවේ පැටියෝ... එක්කෙනෙක්... කියන්න මයෙ අම්මා මොකද ඔයාට වුනේ.." සිතූ ගේ කුහුල පුහුලකට වඩා බරින් වැඩි විය.

"මම ඔයා නිසා අම්මා කෙනෙක් වෙන්න යනවා, මගෙ මේ බඩේ ඉන්න පැංචා ඔයාගේ සිතූ.. එයා ඔයාගේ.." සිතූගේ ඇස් දෙක නලල මත සමපාත වී පන්සල් භූමිය කැරකෙනවා සේ දැනෙද්දී කුසූ මහ හඩින් හඩන්නට වූවාය. උදේ පාන්දර හඩලන කිකිලිය බිත්තර දමද්දී එයිට වඩා හොදින් සද්ද කරන්නීය.

"හත් දෙයියනේ.. ඒක කොහොමද වෙන්නේ... මම ඔයාව ඉම්බේ එකම එක පාරයි. එදා ක්ලාස් එකේ පඩි පෙල යටදී විතරයි. ෆෝන් එකෙන් කතා කලාම ලමයි හම්බෙන් නැහැ කුසූ.. ඔයාට වෙන ලෙඩක් වෙන්නැති..." සිතූ කුසූ හමු නොවුනට ෆෝන් එකෙන් කරපු කියපු දේවල් වලට ලමයි හම්බෙන්නේ නැත. එසේ වූවා නම් දෙදෙනා අද පරිවාස හා ලමාරක්ශණ අධිකාරියේය.

"ඔයාට මාව සැකද සිතු.. මට තේරෙන්නේ නැහැ ඔයා මට මොනව කලාද කියල. එදා රෑ මම අසනීප වෙලා ඉන්නකොට ආපු නිසාද දන්නෙ නැහැ. මම අසරණයි සිතූ. ටික දවසකින් අපේ ගෙදරින් හැම දේම දැනගනී. ඒ නිසා අපි කොහෙ හරි ඈතකට යමු සිතූ.. මාව අසරණ කරන්න එපා සිතූ.. ගෙදරින් පන්නයි මාව.." මහ රෑක අමර නිදිමතේ සිටින විට කනට කොදුරන මදුරු ගෑණු සතෙකු ලෙස කුසූ කෙදිරි ගෑවාය. සිතූ අන්දොස්ව බලා සිටියේය.

"එදා අපි අතර එහෙම දෙයක් වුනේ නැහැ. බන්ඩිය අතගෑව විතරයි කුසූ... මෙහෙම ලමයි හම්බෙන්න අපි ගස් නැත්තං මල් වෙන්න ඕනේ.. ඒවා තමා සුළගින්, ජලයෙන්, ස්පෝටනයෙන් පරාගනය වෙන්නේ." සිතු තමා දන්නා විද්දියාව එළියට දැම්මේය.

"එහෙනම් යන්න සිතූ.. දුරකට යන්න. එන්න එපා මගෙ ලගට. මම මැරෙනවා. මගේ බඩේ ඉන්න ඔයාගේ දරුවත් එක්කම මැරෙනවා.." කුසූ කෑගෑවාය. සිතූ සිතුවේ ඇය කියන්නේ ඇත්ත කියාය. තම ආදරවන්තිය තමාට කිසිදා වරදක් කොට නැත්තේමය.

"හරි මම එනවා.. යමු.. "

හරි හැටි රස්සාවක් නැති සිතූ භූමිතෙල් කරත්තය කරගැසීමට සැරසේ. යන්නට තැනක් නැත. ඉන්නට තැනක් නැත. එසේ තිබියදී ඔහු සිතට ආවේ අම්මාගේ නංගී නොහොත් පුංචීය. ඇය සිතූලා සමග ජන්මන්තර වෛරයකට පැටලුනේ ඉඩම් ආරවුලකිනි. සිතූලාගේ ඉඩමට පොර බැදීමට පැමිණි පුංචීගේ ස්වාමියා කම්බි වැටේ කම්බියක් කකුලේ ඇනී මිය ගියේ පිටගැස්ම නිසාමය. එදා සිට ඇය සිතූලගේ පවුලට සාප කළාය. මෙවන් කෙළවු මොහොතක ඇය අනිවා සිතූට උදව් කරනවා ඇත. ඔහු ඇය ඇමතුවේය.

"පුංචි අම්මේ මම මේ සිතූ....මට මේ කරදරයක් වෙලා..." ගත් කටටම ඔහු එසේ කීවේ ඇය ෆෝන් එක කට් කරන නිසාමය. සියල්ල ඇයට තේරුම් කළ පසු පුංචී ඔවුනට සෙවන සැලසීමට, සමෘද්ධිය ලබා දීමට එකග වූවාය.

"කුසූ දැන් අපිට අපි විතරමයි. මම මගේ පැටියව බලා ගන්නම්. අපි අපේ පුංචි ලෝකය අපේ පුංචිලගෙ දෙර හදමු කුසූ"

"සිතූ මම ඔයාට ණය ගැතී.. සිතූ.." කළ වරද ඇයට අමතක මුත් ඇය සිතූ සමග අලුත් ලොවට පිය නගන්නීය.


සිතූගේ පුංචී බොර දියේ මාළු බාද්දී - විමලේ කුමක් කරාවිද ?

ඔබේ අදහස් මා දනිමි. ඔබ ඔහුට සාප කරනු අනිවාර්‍යය "විමලේ, මලේ නම් අගනේය" කියන්නෝද බ්ලොග් අවකාශයේ බොහෝය.

Written by sAm_3.15pm_01.02.'12

************
සියල්ල පහලින් කියවන්න.....


************

Friday, February 3, 2012

හෙට නිදහස් දිනය(ලු)...

මහරජුන් සහ ජෙනරාල් එක්ව ලද නිදහසට අවමන් නොකරමු.. !

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ......

මෙබදු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියවේ......

ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්......

තමන් ලැබු දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකත් හිරිහැරයත්
නිවනට සරි කොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්......

-කොළඹ ආනන්ද විද්යාලයේ වැඩ සිටි ධර්මාචාර්ය ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි.

Wednesday, February 1, 2012

උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද



හවස් වෙනකොට
සතපමින් නුඹ
මගේ සයනේ
පුරා හනිකේ


හැගුම් සපුරා
මාව වටලා
නුඹේ උණුසුම
විදිමි වපුරා


රෑට නුඹගේ
රෙද්ද උස්සා
හෙමින් රිංගමි
දෙඅත් පටලා


ඇදේ කිරි කිරිය
නුඹට වද දෙත්ද
නුබේ හිල් රෙද්ද
නොම ඉස්සෙන්ට
දග නොකර ඉන්ට
තද කරමි කොට්ට


නුඔ අස්සෙ ඉද්දි
රස්නෙයිද බොහොම
එත් උණුසුමට
මනාපයි බොහොම


මගේ දැගලිල්ල
ඇදේ ඇති රෙද්ද
ඔබ - මා පටලන්නෙ
හැමදාම කකුල


රෙද්ද උස්සා
රෑට රිංගා
උදේ යලි උස්සා
මම එලියෙ නංගා


ලේ පාට ගෑවුනේ
ඔබේ ඔය රෙද්දේ
මදුරුවෝ තලලනේ
කවුරු පිලිගන්නේ


උඹ උඩින් ඉද්දි
මම යටින් ඉන්නෙ
ඇදට උඹ දැම්මෙ
පලල් කරලානේ


නුඹ ලගින් ඉද්දි
මදුරුවො නැහැනේ
රෙද්ද උස්සද්දි
ලැජ්ජ තොට නැහැනේ


එක පාර දෙන්නෙක්ට
දාන්න පුළුවන්නෙ
ඒත් මට මොකට
(මට) ඩබල් බෙඩ් නැහැනේ




Written by sAm_07.15am_31.01.'12
Related Posts Plugin for WordPress, Blogger...