Sunday, November 20, 2011

හේමේ ගේ සේලයින් සහ ධර්මේ ගේ ජොකා....

පොර හේමසිරිය. අපේ ගමේ නම ගිය ඉලෙක්ට්‍රොනික අපරාධකාරයෙකි. රේඩියෝ හා බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී අලුත් වැඩියා කිරීමේ හසල දැනුමක් ඇති අපේ ගමේම අංකල් මාමා කෙනෙකි. හේමේ රැදී සිටින ඕනෑම ස්ථානයක් හදුනා ගැනීමට පහසුය. ඒ ඔහුටම පමණක් සුවිශේෂී වූ කට හඩ නිසාය. සමහරැ කියන්නේ ඔහුගේ ක්ෂේත්‍රයට කදිමෙට ගැලපෙන පරණ වෑර්ලස් වොයිස් එකක් ‍හේමේට තිබෙන බවය.


හේමේ ගේ පියාද ඒ කාලේ ගමේ හිටපු සුපිරි ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙකි. පියාගේ අභාෂය ලද ඔහුත් පසු ‍‍කලෙක ශිල්ප දැක්වූ හේමේ, වර්ථමානයේ වර්ණ රෑපවාහිනී, LCD හා LED තාක්ෂණය හමුවේ මුලුගැන්වී ඇත. නමුත් ඔහු තවමත් ඉද හිට  හෝ ගමේ තෝරාගත් පරිසකගේ පමණක් වර්ණ රෑපවාහිනී අළුත් වැ‍ඩියාවේ යෙදෙන්නේ සැර බීම ජාතියක් බීමට ගතමන්ට් එක සොයාගැනීමටය. ඔහුට කිසිදාක කෑම අහේනියක් නැත. ඒ අතින් ඔහු වර්ථමානයේ සීවලීය. හේමේ නැවතී සිටින්නේ අපේ ගමේ ලොතරැයි අලෙවි නියෝජිතයෙකුගේ නිවසේය. එහි යනෙන ටිකට් විකුණන බයිසිකල්කරැවන්ගේ ඈම්ප්, මයික්, සෙටප්, හා ස්පීකර් අළුත්වැඩියා කිරීමෙන්ද හේමේ ගතමන්ට් එක සපුරා ගනී. ඒ අතර වත්තේ හිටවූ එළවලු නිසාද කෑම වේල සරි කර ගත හැක.


ඉස්සර මගේ මොනිටර් එක කැඩුණත් මම වැඩේ භාර කරන්නේ හේමේටය. දවසක් පොර මට කීවේ කේසින් එක ගලවලා ස්ටූල් එකක් එළියෙන් තියලා  (ඇස් පේනවා හොර නිසා)  ඒක උඩින් මොනිටරේ  තියන්න අනිවාර්යෙන්ම  එදා හවස මොනිටරේ හදන්න එනවා කියාය. එහෙම කියලා ගිය හේමේ මොනිටරේ හදන්න ආවේ සතියක් පමණ ගිහින්ය. ඒ‍ත් හේමේ වැඩ්ඩා නිසා අප්‍රමාදෝ අමතපදං නොවේ.


හේමේ ගේ මතට තිත තැබීමට හේමේ නැවතී සිටින නිවසේ හිමිකරැ මහත් වෙහෙසක් දරයි. නමුත් ඵලක් නැත. නිවසේ හිමිකරැ හේමේගේ බීමට බනින නිසා හේමේ කරන්නේ ෂර්ට් එකට යටින් සරම අස්සෙන් බියර් බෝතලය ගසා ගැනීමයි. එසේ ගසාගෙන ගම පුරා ඇවිදමින් එකම බෝතලය රී ලෝඩ් කරමින් බෝතල් දෙකක් හෝ තුනක් අහවර කිරීම පොරගේ චර්යාවයි. ‍හේමේ බෝතලය පිටේ ගසාගෙන කිසිම ගින්නකි නැතිව ඇවිදිනු අප දැක ඇත. එක දවසක් පොර බෝතලය පිටේ තියෙද්දීම මගේ මොනිටරය හැදුවේය.


මම එදා ඇහුවේ අංකල් සේලයින් බෝතලේ පිටේද ගහගෙන ඉන්නේ කියාය.


ගමේ බහුතරයක් දන්නා සුලුතරයක් නොදන්නා හේමේගේ සේලයින් බෝතලේ කතා ගොඩක් ඇත. බෝතලේ පිටේ තියෙන නිසා අපි අනන්තවත් හේමේව අපහසුතාවයට පත්කරන්නට උත්සාහ කර ඇත. නමුත් බොහෝ අවස්ථාවල අපම බයිට් වී ඇත.


දවසක් මම හන්දියේ කඩේට ගොස් අතින් කටින් බඩු මලු එල්ලාගෙන ගෙදර එන විට හේමේ සේලයින් පිටේ ගසාගෙන ඈත එනු දුටිමි. පොරව සේලයින් වලින් නෑවීමට සිතා මම අතේ තබ්බ පර්ස් එක හේමේට පේන්නම බිම දැම්මෙමි.


"අනේ අංකල් පර්ස් එක වැටුණා අහුලලා දෙන්න කෝ" හේමේ පාත් වුණ විට පිට දිගේ බියර් බෝතලේ හලා ගනීවි යයි හැගීමෙන් මම කීවෙමි. හේමේ කිසි ගින්නක් නැතිව පහත් වී මට පර්ස් එක අහුලා දුන් විට මට කටඋත්තර නැති විය. බැලින්නම් පොර පිටේ ගසා සිට ඇත්තේ මූඩිය නොකැඩූ බෝතලයකි.


හේමේ බොහෝ විට අපේ ගෙදරට එන්නේත් සේලයින් පිටේ ගසාගෙනය. එවිට පොර වාඩිවෙන්න කියා පුටුවක් දුන්නත් වාඩි නොවෙන්නේ බෝතලය පිටේ තිබියදී කොන්ද නැවීමට අපහසු නිසාය. 


හේමේගේ සේලයින් බෝතලේට ගේමක් දෙන්න අපිට බැරි වුණ තැන දවසක් අපේ ධර්මේ හේමේ සමග ඔට්ටුවක්ද ඇල්ලුවේය.


"අංකල් පුළුවන් නම් මං කරනදේ කරනවාද?"


"හරි පුතා මොනවද කරන්න ඕනේ.." ෂොට් එකක් දාලා හිටපු හේමේ ගානක් නැතිව ඇසීය.


"අංකල් පුලුවන් නම් පාත් වෙලා කකුලේ මාපට ඇගිල්ල අල්ලන්න" හේමේට කරන්න අමාරැම වැඩේ ධර්මේ කරන්නට කීය.


"හරි කලොත් මට මොනවද දෙන්නේ?" 


"100ක් දෙනවා" ධර්මේ කීය


"හර්ර්ර්.. ඔන්න ඇල්ලුවා" හේමේ පාත් වුණද බෝතලේ බියර් බිංදුවක් වත් හැලුනේ නැත. කලින් උගත් පාඩම මට යලිත් මතක් විය. ධර්මේට කට උත්තර නැත. එත් ධර්මේ වැඩේ අත හැරියේ නැත.


"හරි අංකල් තව 100ක වැඩක් තියෙනවා ඒකත් කලොත් 200ක් හම්බෙනවා" ධර්මේ තව පොටකට අර අදී.


"හ්ම් ඒ ගමන මොනද??"


"අංකල් පුළුවන්නම් සරම කඩලා දෙපැත්තට අත් දෙකෙන් ඈත් කරලා ආයෙත් ඇදගෙන පෙන්නන්න" මේ පාර ධර්මේ සාර්ථක ඉල්ලීමක් කලේය. අනිවා අංකල්ට සොරි වෙනවා ඇත. සරම කඩලා දෙපැත්තට ඈත් කළ විට අනිවා බියර් බෝතලේ සරාස් ගා බිම වැටෙනු ඇත.


"හරි පුතා 200 ලෑස්ති කර ගන්න" හේමේ ගේ රිප්ලයි එකට ධර්මේ පමණක් නොව මාත් හොල්මන්ය. හේමේ කිසි ගින්නක් නැතුව සරමද කඩා ඇදගෙන පෙන්නුවේය. ධර්මේ පරාදය.


රැපියල් 200 දෙන ගමන් ධර්මේ හේමේගෙන් බෝතලේ නොවැටුන හේතුව අසන්න‍ට අමතක නොකලේය.


"ඇත්තටම අංකල් ඇයි බෝතලේ වැටුනේ නැත්තේ?" 


"ඇයි පුතා සරමට යටින් මම ‍ජොකෙක් අදිනවනේ. ඒකේ ඉලාස්ටික් එකට තමා බෝතලේ හිර කරන් ඉන්නේ" ධර්මේට ජොකා මතක් වුණේ එතකොටය.


හේමේ ඒ කියා නැවතුනේ නැත.


"ඇයි ධර්මේ කොලුවෝ උබ ජෙකා අදින්නේ නැද්ද??"


ඉලාස්ටික් එකට තමා බෝතලේ හිර කරන් ඉන්නේ
Written by sAm_7.15pm_20.11.'11

පලි- හේමේගේ කථා තව තියෙනවා. 

  1. හේමේගේ අතීතය (බයිස්කෝප් හේමේ)
  2. හේමේ පොලිසියෙන් පැන්න හැටි
  3. ධර්මේ සහ කැරම් බෝඩ් එක (කලින් "රැම් හොරැ ඇල්ලීම.." පෝස්ට් එකේ පොරොන්දු වුණ කථාව)

11 comments:

  1. 200ta jokku 4k ganna thibba darmeta...

    ReplyDelete
  2. ජොක්කු කතා ගොඩයි මේ දවස්වල :)

    ReplyDelete
  3. එළ පොරක්නේ ......මාත් කරලා බලන්න ඕනේ !!!!!

    ReplyDelete
  4. @සබියා- තෝර ගත්ත එකක් තමා මචෝ දැම්මේ. අනික මේක අන්-කොමන් කථාවක් නේ...

    @ඔබ නොදුටු ලොවක්- ගෙදරදී උත්සාහ නොකරන්න.. හෙක්.. හේක්..

    ReplyDelete
  5. මචන් උබේ කථා ලස්සනයි එල එල ජයවේව !

    ReplyDelete
  6. මෙව්වා කාලයේ වැලි තලාවෙන් වැහිලා යනවා මේවත් උඩට ගත්තනං මොකෝ ආයෙත් පෝස්ට් කරලා

    ReplyDelete
    Replies
    1. ආයෙත් පෝස්ට් කරල කිව්වේ..?

      ගැමියා බිලද මන්දා.. :)

      Delete
  7. මන් දන්න කියන පොරක් ඉන්නව මිනිහ වැඩ කරන තැන ඉදන් ලොකු උබ්බලකඩ කෑලි ජොකා අස්සෙ දාගෙන ගෙදර අරන් එනව :D
    ඉස්කෝලෙ යන උන්ගෙ ඉදන් නාකි අන්කල්ල දක්වා අය ජොකාගෙන් කොච්චර වෙන වැඩ කරගන්නවද හැබෑට ඈ :D

    ReplyDelete
    Replies
    1. මන් දන්න කොල්ල කිව්වෙ රජාද බං? :))

      Delete

Related Posts Plugin for WordPress, Blogger...