Monday, February 25, 2019

මගේ කිරි කතාව.. - My Milk Story !!


කිරි පිටි පිළිබඳව කතිකාවක් ඇති වූයේ මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කළ ප්‍රකාශයක් නිසාය. ඔහු සඳහන් කළේ කිරි පිටි වල ඌරු තෙල් අඩංගු බවය. ඊට විරුද්ධව හඬ නඟන රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඌරු තෙල් අඩංගු නැති බව විද්‍යාත්මකව සනාථ කර ඇති බවත් කිරි පිටි භාවිතය පිළිබඳව කිසිඳු ගැටළුවක් ඇති කර ගත යුතු නැති බවත්ය. කතාව තවත් ඉහළ තලයකට ගෙන යන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් කළ ප්‍රකාශයක් නිසාය. තමන් සෞඛ්‍යය ඇමතිව සිටි කාළයේ කිසිදු කිරිපිටි නිශ්පාදක සමාගමක් සමඟ කිසිම ගණුදෙනුවක් නොකළ බවක්ය. එය රාජිතගේ කිරිපිටි ඩීල් ගැන නොකියා කියූ කතාවක් වැනිය. කෙසේ වෙතත් දේශීය කිරි නිශ්පාදනය රටේම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නොවන තැනක බොහෝ අය කියන්නේ කිරි පිටි අත්‍යාවශ්‍යය දෙයක් නොවන බවය. ක්ෂීරපායී සත්වයින් ඉපදී මුල් කාලයේ ආහාරයට ගන්නා කිරි නැවත භාවිතයට නොගනිති. එසේ ගන්නේ මිනිසුන් පමණක්මය. 



ඇත්තටම කිරි පිටි මිනිස්සුන්ට බලෙන් එබ්බවූ දෙයක්ය. නුවනක්කාර වන්නට ගැහැණිය මිලට ගත යුත්තේ රත්තී යන වචන ටික නිතරම ඔබේ ඔලුවට දමන්නේ වෙළඳ දැන්වීම් වලින්ය. ජව ශක්තිය පෝෂණය නැතුව හැම උදෑසනක්ම අසාර්ථක වන බව කියන්නේද කිරිපිටි ආයතනයක්ය. සම්පූර්ණ යොදය සහිතව අවශ්‍යය නම් ආහාරයට ගත යුත්තේද කිරි පිටි බව මතක් කර දෙන්නේද වෙළඳ දැන්වීම් මඟින්ය. සියළුම ආයතන විටින් විට රූපවාහිනීයේ ඔබ අප ඉදිරියේ හඬා වැටෙන්නේ ඔවුන්ගේ එක හොඳම එක කියා මතක්කර දෙමින්ය.

කොතරම් කිරිපිටි වැඩක් නෑ යැයි කියෙව්වාට සෑමාද කිරිපිටි ජීවියෙක්ය. මව් කිරි වලින් නතර වී නැවත කිරිපිටි වලට සෑමා හුරු වූයේ කුඩා කාලයේ සිටය. උදෑසන අවදිව උදෑසන ආහාර වේල නොගෙනම පාසැල් යන සෑමාගේ උදෑසන ආහාරය වූයේ අම්මා සාදා දෙන කිරිපිටි එකය. ඉන්පසු උදෑසන කෑම ලෙස ගන්නේ පාසැල් රැගෙන යන කෑම පාර්සලය ය. රාත්‍රී ආහාරයට පසු නින්දට පෙර කිරි බීමද පුරුදු කළේ අම්මාය. අද තවමත් ඒ පුරුද්ද තාත්තාටද තිබෙන්නේ අම්මා නිසාය. උදෑසන අම්මා දෙන කිරි වේල සහ සවස ලැබෙන කිරි වේල තාත්තාටද ආවේණික දෙයක්ය. 

විවාහයෙන් පසුද ඒ පුරුද්ද අතෑරීමට සෑමාට නොහැකි වූයේය. උදේ සවස බොන කිරි එක අත්‍යාවශ්‍යය දෙයක් ලෙස මානසික බලපෑමක් කාටත් හොරා සිතේ රජ කරන නිසාම අතහැරීමට අපහසුය. දින කිහිපයක් සෑමා කිටී සහ ඇගේ අම්මා කිරිපිටි වලට තිත තබමු යන සංකල්පය යටතේ උදෑසන අවදි වූ විට කිරි වෙනුවට උණු වතුර වීදුරුවක් බීමට උත්සාහ කළෝය. දින දෙකක් හෝ තුනක් උපරිමයෙන් එම උත්සාහය සාර්ථක වූ අතර ඉන්පසු ඔන්න ඔහේ කිරි එකක්ම බොමු අප්පා යැයි එකඟතාවයකට පැමිණ නැවත පරාජිත පුරුද්දට වැටුනෙමු.

කිරිපිටි පිළිබඳ නැවතත් ඇතිවූ කතිකාව නිසා ඒ පුරුද්ද අත්හැරීමට නැවත වරක් උත්සාහ ගැනීමට කාලය එළැඹ ඇත. දරුවන්ට සහ ඔබ අප පරිභෝජනය කරන කිරිපිටි වෙනුවට කොළ කැඳ වර්ගයක් හෝ වෙනත් පානයක් ආදේශ කර ගැනීමෙන් මසකට රුපියල් පන්දාහක පමණ අවම ඉතිරියක් පවුලකට සාදාගත හැකි බව සෑමාගේ මතයයි.

මම  කිරි පිටි අතහරින තුරු ඔබට කරන්න යැයි බලපෑම් නොකරමි.
එහෙත් ඔබත් එලෙස අතහරින්නේ නම් සතුටුය.

#sAmsRi_25/02/19

8 comments:

  1. මම නම් අම්මාගෙ කිරි බීම අතහැරියාට පසු පිටි කිරි බොන්නේම නැත. උත්සහ කළොත් බැරද නැත. අප නිවැසියන් කිසිවකු කිරි නොබොන අය වුවද ප්‍රබෝධමත්ය ඒ වතුර වීදුරුවක් නිසා යැයි වෙළඳ දැන්වීමක් දමමි

    ReplyDelete
    Replies
    1. උදේම වතුර වීදුරුවක් බොන එක නියමයි කියලා මාත් දන්නවා. ඒ වීදුරුවත් ගහලා ටිකකින් තමා බඩජාරී තේ එකත් ගහන්නෙ මම :D

      Delete
  2. මටත් උදේට හවසට කිරි පිටි තේ එකක් ඕනේ බං.ඔය දියර කිරි වලට ,කල් කිරි වලට මගේ කැමැත්තක් නැහැ.හිත ඉල්ලන්නේම පිටි කිරි.ඒවා නැතිනම් ප්ලේන් ටී.

    ReplyDelete
    Replies
    1. ප්ලේන්ටියක් කිව්වොත් මටත් ඉන්න බෑ බං

      Delete
  3. What the people in Sri Lanka doesnt know is that the China is even running scams to get Australian and NZ milk powder to their country. Specially baby formula but there is also a huge market for other milk powder. This is only one link i am pretty sure you can google https://www.abc.net.au/news/2018-12-11/abc-investigation-uncovers-chinese-baby-formula-shoppers/10594400

    The quality of the milk powder is being monitored and there is no margin for errors as these are not lawless countries. All China does is to lower the demand from other countries so that it can increase the market share for them and your politicians are actively helping them to achieve that. All they need to do is to make a public statement and people just blindly follow.

    ReplyDelete
  4. අම්මේ මෙන්නෝ..සැම් අයියා ආයෙත් ඇවිල්ලා...ඇස් වහ පුච්ච්න්න දෙහි මිරිස් එල්ලපු මාලයක් ගේන්ඩෝ

    ReplyDelete
  5. අම්මේ මෙන්නෝ..සැම් අයියා ආයෙත් ඇවිල්ලා...ඇස් වහ පුච්ච්න්න දෙහි මිරිස් එල්ලපු මාලයක් ගේන්ඩෝ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...