Monday, March 25, 2019

කරුවලේ සිට ලියමි - Words without Electricity !!


කරන්ට් එක නැත. ලැප් එක ඇත. මතක ඇති අතීතයේ කරන්ට් එක කැපුවේ ච.බ.කු මැතිණිය පමණි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියය. ඇය කැපුවේ අපි පොඩි කාලයේය. ඉන්පසු දන්නා කාලයක නම් අදය. ඒ අපේ රවී කරුණානායක මහත්තයාගේ සුරතින්ය. කළුවරේ ඉන්නා විට මතක් වූයේ අනේ ඒ කාලේ කරන්ට් එක ගියාම අපි කළේ මේවානේ කියලාය. එව්වා ලියන්නට සිතී ලැප් එක අතට ගන්නා විට අඩේ ඒ කාලෙ ලැප් එකක්, ෆෝන් එකක් වත් නැතුව කොහොම කාලය ගෙව්වාද යන්න සිහිවිය.

ඉස්සර ගෙදර ලයිට් ඇරුණාම රෑට පත්තු වුනේ ටීවි එකය. දැන් නම් ටීවී එක බල්ලාට ගිහින්ය. ෆෝන් එක සහ කම්පියුටර් කරලියට ඇවිත් දැන් කම්පියුටර් එකත් පැත්තකය. ටැබ් එක සහ ෆෝන් එකට හොඳ කලක් ගිහින් ය. චබකු කරන්ට් එක කපන කාලයේ කරන්ට් එක කපන්නට නියම හේතුවක් කිව්වා සෑමාට මතකය. ඇය කිව්වේ පාරේ තඩි ජෙනරේටර් එකක් ගෙනියනවා ඒක ගෙනියන වෙලාවට කරන්ට් එක කැපිය යුතුයි කියාය. නැති නම් පාර හරහා ඇති කරන්ට් වයර් වල ෂෝට් වී විශාල හානියක් වෙනවා යැයි කිව්වා වගේ මතකය. එය හදපු කතාවක්ද, නැතිනම් චබකු මෝඩ කමට කිව්වාද කියා සොයා බලන්නට සෑමාට එදා නොහැකි වූයේ එදා සෝෂල් මීඩියා නැති නිසාය. කෙසේ වෙතත් එහෙම කතාවක් මතකය.



කරන්ට් එක යන නිසා ටීවි එකත් අහිමි වූ සෑමා පරණ කාර් බැටරියක් සොයා ගත්තේය. ඒ පහළ කුලියට දී තිබු කඩයෙන් ඉවත් කළ එකක්ය. ඉවත් කළා කිව්වාට ඒ අය පැත්තකට වෙන්නට තබා තිබූ exide වර්ගයේ බැටරියක් අනේ වැඩ කරන්නේ නැති පව් අහිංසක බැටරියක් යැයි සිතාගෙන සෑමා ඔසවාගෙන ආවා මතකය. ඉන්පසු උන් බැටරිය හෙව්වාද නැත්ද යන්න තාමත් දන්නේ නැත. හැබැයි නැවත බැටරිය උන්ට නොපෙනෙන ලෙස තබා ගැනීමට සෑමා උනන්දු වූ බව කිව යුතුය.

එසේ ගෙන ආ බැටරිය කෑලි හයක් හෝ අටක් දැමිය යුතු සිංගර් ඩබල් ඩෙක් කැසට් ප්ලේයර් එකකට ගසා සිංදු ඇසිය හැකි වන පරිදි සාදා ගන්නට සෑමාට හැකි විය. ගෙදර සැවොම ඉන්නා තැන් වලට වී ඉදගෙන මඳ අඳුරේ සිංදු අහන්නට පටන් ගත්තේ ඒ කාලයේය. ටික දවසකින් තාත්තා නියම කේබල් එකක් ගේ අස්සේ තිබී එළියට ගෙන ආවේය. කෙලවරක් බැටරියට ගසන ක්ලිප් දෙකක් සහ අනෙක් කෙළවර තිබුණේ ටීවි එකට ගැසිය හැකි ජැක් එකක්ය. මෙන මල විකාරද මේකෙන් කොහොමද යකඩෝ ටීවි එක බලන්නේ යැයි සිතා සෑමා පැත්තකට වූයේය. අගේට අසන්නට තිබූ රේඩියෝ එකෙ බැටරියටත් කෙලින්න තමයි යන්නේ යැයි සිතා සෑමා අහකට වූයේය. තාත්තා බැටරියට ක්ලිප් දෙක ගසා අනිත් කෙළවර ගේ ඇතුලේ තිබී දූවිලි ගසා ඉවතට ගන්නා ලැබූ Daytron වර්ගයේ අඟල් 12ක පමණ කළු සුදු ටීවි එකට ගැසුවේය. අඩේ නියමෙට වැඩය. තැන් තැන් වලට වී ඒකාත්මික වී ඇස් පියන් සිංදු අහන් හිටිය අපිට තාත්තා ටීවී එකක් ලබා දුන්නේ එලෙසය.

ඉස්සර කරන්ට් එක තිබුණද නැත්ද අදාල නැතිව මිනිස්සු ගෙදර එකට සිටිය බැව් කිව යුතුය. දැන් කරන්ට් එක නැති නිසා හෝ පවුලේ සැවොම එක තැනකට ගන්න බැරි බව සැබෑය. කරන්ට් එක නැති විට පවා තම තමන් ෆෝන් ටැබ් සහ ලැප් ඔන් කරගෙන තමන්ගේ ලෝක වල වෙන වෙනම ජීවත් වන ප්‍රාණීන් වී හමාරය. කරන්නට දෙයක් නැත. තාක්ෂණය එහෙමය.

Written_by_sAmsRi_25/03/19_9:16pm

15 comments:

  1. සැමා දක්ෂයාය

    ReplyDelete
  2. කරන්ට් නැති වෙලාවට "නිකං සිටීමේ බද්ද ගහන්න නියමිතයි "

    ReplyDelete
    Replies
    1. නිකං කිව්වෙ.. අපි වගෙ හෙලුවෙන් ඉන්න එකටද ?

      Delete
  3. ඔය කාලෙ තමයි අරේ මරේ ආතලගෙ වැඩසටහන සිරසෙ ගියෙ. අප් තාත්තා කොහෙ හිටියත් ඒක අහන්න ගෙදර එනවා.

    ReplyDelete
    Replies
    1. මම පෝස්ට් එක ලියද්දි මතක් කළා අපි අහපු වැඩසටහන් මොනවද කියලා. ජරේ සහ මරේ නේද? පොඩි මල්ලි චුටි මල්ලි කරපු එක??

      තව හොඳ සිංදු ගිය වැඩසටහනක් තිබ්බා..

      Delete
  4. අපේ අර දේවාරූඨයෙන් ටීවී හදන යාලුවා, ඔය කාලෙ ඉන්වර්ටර් හදල විකුණලා බයික් එකක් ගත්තා. රු. 57,500/- හොන්ඩා ප්‍රෙස්කබ් එකක්. පස්සෙ ඒක විකුණලා ඉලෙක්ට්‍රොනික් කඩයක් දැම්මා.

    ReplyDelete
    Replies
    1. අන්න නියම බිස්නොස් ඩෑල් !

      කාලයක් ඉන්වර්ටර් පිස්සුවක් මටත් තිබ්බා ඩ්‍රැකී

      Delete
  5. ඒ කාලෙ ක‍ලු සුදු ටීවී වලට ඔය වයර් ගැජට් එක නොමිලයේ දුන්න.

    ReplyDelete
    Replies
    1. මට මතක අපෙ එකත් එහෙම ලැබුන එකක්

      Delete
  6. ඉතිහාසය පුනරාවර්තනය වෙනවා කියන්නේ ඕකනෙ.. ඊළඟ ජවනිකාව, වේලාව පස්සට කරකැවීම...

    ReplyDelete
    Replies
    1. වෙලාව කරවලා දාපු ජෝගිය මතකනේ??

      අම්මෝ චන්ඩිකා

      Delete
  7. ලයිට් නැති උනාමත් මිනිස්සුන්ගෙ නිර්මාණශීලී හැකියාවන් එළියට එනවා

    ReplyDelete
  8. ela blog syndi ekk https://sithuwili.info/

    ReplyDelete
  9. සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ . ලයිට් කපන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා මට නම් . ඉස්සර පාඩම් කරන කාලේ ලයිට් යනකම් නේ බලං ඉන්නේ ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...