Followers

Tuesday, January 1, 2019

දුක් මොහොතක දැනෙන සතුට.. - A Friend in Need !!




සෑමා දිලා සමඟ වැලිසර රෝහලට ගියේ රාජකාරී කටයුත්තකටය. ඒ අතර දිලාට අතුරු වැඩක්ද පැවරී තිබුණේ තම ආයතනයේ ප්‍රධානියෙක් ගේ රෝගියෙක් බැලීමටය. සියළු වැඩ නිමා කොට දිලා සහ සෑමා රෝගියාගේ නම පමණකි තිබුණු SMS එක රැගෙන ගියේ තුන්වන වාට්ටුවටය. මැසේජ් එකේ තිබුණේ වාට්ටු අංකය පමණක්ය. එතැනින් එහාට රෝගියාගේ් නම ඔස්සේ අප ඇද සොයා ගත යුතුය. කවදාවත් දැක නොමැති රෝගී කාන්තාවක් සොයා යෑම අපහසුය. එහෙත් එතරම් රෝගීන් බහුල නොවූ වාට්ටුවක ඇය සොයා ගැනීම අපහසු නොවනු ඇතැයි අප සතු වූ බලාපොරොත්තුවක්ය. මුලින්ම අප සිතා සිටියේ ආයතනයේ එතරම් ධනවත්, බලවත් පුද්ගලයෙකුගේ ඥාතියෙක් මෙහි රඳවා සිටින්නේ මන්ද කියාය. විටෙක පුද්ගලික රෝහලකට නොගියේ මන්දැයි ප්‍රශ්නය අප සතු වූයේය. වාට්ටුව සොයා යද්දී මඟදී හමු වූයේ සෑමාගේ මිත්‍රයෙක්ය. ගමේ එකෙක්ය.

"අඩෝ.. "

"මොකෝ බං මෙතන.."

ගමේ කම අපේ කම ඉස්සර වූයේය. කොල්ලා සිටියේ එතැන තිබූ කණුවකට හේත්තු වෙලාය. ඔලුව බරකින් විය යුතුය. කිසිවෙකු රෝහලේ ප්‍රථිකාර ගන්නවා විය යුතුය.

"අම්මා ICU බං.. අපි මේ සිහිය එනකල් ඉන්නවා.."

ඇගේ සම්පූර්ණ විස්තරය සෑමා අසා දැන ගත්තේය. ලොකු සීන් එකක් නෙවේය. සෙම ඉවත් කරන සැත්කමක්ය. එහෙත් ICU එකය. සැත්කමක්ය. මහා බරක්ය. නීරෝගීකම උතුම්ම ලාභය බව සැබෑය. ගහක් ගලක් මෙන් මිනිස්සු බිම ඇදන් වැටෙන්නේ කෙසේ දැයි කාටත් උත්තර නැතිය. 

"කෝ වෙන කවුරුත් නැද්ද, උබ විතරද ආවෙ.."

"නෑ බං තාත්තා ඉන්නවා.."

"අපි මේ ලෙඩෙක් බලන්න තුන්වෙනි වාට්ටුව හොයන් යනවා බං.."

"ආ.. අපෙ අම්ම හිටියෙ ඒකෙ.. ඉදපං මම පෙන්නන්න.."

මිතුරා වාට්ටුවට යන හැටි සවිස්තරාත්මකව පෙන්වද්දී එතැනට ආවේ මිතුරාගේ තාත්තාය. සෑමාගේ ද හොද මිතුරෙක්ය. අංකල් හොඳ එකාය. ඇන්ටීද එලෙසමය. සැත්කමේ ප්‍රමාණය මත නොව, සැත්කමක්ය යන වචනය නිසා අංකල්ට සෑමාව හරියට මීටර් වූයේ නැතිය.

"ආ. අංකල්.. මොකද ඇන්ටිට??"

"අනෙ මහත්තයෝ බලන්නකෝ.."

කියමින් අංකල් කතාව පටන් ගත්තේය. සෑමාව සිහි නොවීය. ඔපීස් ඇඳුම් නිසා සහ ටයි පටිය නිසා අංකල් සිතන්නට ඇත්තේ වැරදියටය. කරදයකින් ඔලුව වැහිලාය. වෛද්‍යවරයෙකු ලෙස සෑමා ගැන සිතන්නට ඇතිය. නැවත එතැනට එන පොරොන්දු පිට සෑමා සහ දිලා ගියේ තුනවන වාට්ටුවටය. රෝගියා ගේ නමින් ඇද සොයා ගන්නට උදව් කළේ එතැන සිටි හෙදියක්ය.

ඇගේ කතන්දරය වෙනකක්ය. ඒත් දුකක්ය. ඇය රත්නපුරේය. දිලාගේ ආයතනයේ ප්‍රධාන නිලධාරියාගේ කිසිම ඥාතියෙක් නොවේය. ඇය කලින් එම ආයතනයේ සිටි සාමාන්‍ය සේවකයෙකුගේ බිරිඳක්ය. ඇගේ ස්වාමියා සහ දැරිය ඕස්ට්‍රේලියාවේය. ඇය මෙහේ ලෙඩ ඇඳේය. ඔවුන් නත්තල් නිවාඩුවට ලංකාවට නොඑන බවත්, නැවත එන්නේ අප්‍රේල් බවත් ඇය කිව්වාය. ඇය ඔවුන් සමග රටට නොගියේ ඇයිදැයි අසන්නට නොගියේය. ඒවා අපට අදාල නැතිය. එහෙත් කිසි කලෙක නොදුටු රෝගී කාන්තාවක්, ගෙදර උදවියද නොමැතිව, බලන්නට ගිය මොහොතක ඇයට ඇති වූයේ අමුතු සතුටක්ය. ඒ බව ඇය අප හා කළ කතා බහෙන් අපූරුවට පෙනෙන්නට තිබුණේය.

නොදන්නා ඇයත්, දන්නා සෑමාගේ මිතුරා සහ අංකලුත් එකම අවස්ථා දෙකකය. දෙතැනම සිත් තැවුල්ය. දන්නා අංකල්ට සෑමා අමතකව දැනුන සතුට පැහැදිලිය. නොදන්නා ඇන්ටී ට අප දැක දැනුන සතුටද පැහැදිලිය. කාන්තාරයක හෝ කෙලවී සිටින අවස්ථාවක දන්නා එකෙක් හමුවෙනවා නම් දැනෙන සතුට, කෙලවී සිටින දුක මකාලන දිව්‍ය ඔසුවක් බව කිව යුතුය. එහෙව් තැනකදී තරුවක්ව පායා කාන්තරයට මාවතක් පෙන්වන්නට ලැබීමද භාග්‍යයක්ය.

Written_by_sAm_ශ්‍රී_14/12/2017

8 comments:

  1. සැමෝ ඒක <3

    - ජෑ මා කාලී -

    ReplyDelete
  2. සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  3. //කාන්තාරයක හෝ කෙලවී සිටින අවස්ථාවක දන්නා එකෙක් හමුවෙනවා නම් දැනෙන සතුට// මේක නම් කියලා වැඩක් නැතිය.

    ReplyDelete
  4. සැමා කාලෙකින්...

    ReplyDelete
  5. තුනේ වාට්ටුව පිරිමි වාට්ටුවක් මම දන්නා කාලෙනම්.

    ReplyDelete
  6. හිතන්න දෙයක්. ස්තුතියි සෑමා

    ReplyDelete
  7. අලුත් අවුරුද්දේ අපූරු සටහනක්. බොහොම ස්තුතියි මිනිසත්කමේ සුවඳ පතුරන දෙයක් ලිවුවට.

    දැන් තමයි අපි මේක කියෙව්වේ හැබැයි. :) පරක්කු උනාට කමක් නෑ එහෙනම් සුභ නව වසරක් වේවා ඔබට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...