Friday, February 22, 2019

සිහිනය පරම්පරා දෙකක දුරින් ය...!!


අපේ පරම්පරාව පාසැල් සමයේ සිටම වෙනස් කරමු යැයි කියන පරම්පරාව ලෙස හැඳින්වීමට සෑමා කැමතිය. රචනාවක්  ලියුවත්, කතාවක් පැවැත්වූවත් අපේ උන් ලිව්වේ කිව්වේ වෙනස් වෙන හැටි ගැනය. රැක ගන්නා හැටි ගැනය. බොහෝ මාතෘකා පරිසරය ගැනය. පරිසර විනාශය ගැන හඳුන්වා දෙන රචනා අවසන් වූයේ පරිසරය රැක ගනිමු කියාය. ඔබ රැකුනොත් අපිත් රැකේ ලෙස කිව්වේද පරිසරය ගැනය. මේ ටික ලියන්නට සෑමාට සිත් වූයේ වෙනස් වෙන පරම්පරාව ඈතක නොවන බව කීමටය. නමුත් ඒ පරම්පරාව අපට කලින් පරම්පරාවට පසුවත්, අපේ පරම්පරාවට පසුවත් බව කීමටය.



සපුගස්කන්ද ප්‍රදේශයේ One way හරස් මාර්ග දෙකක් ඇත. ඒ හරස් මාර්ග දෙක ඇත්තේ කලාප අධ්‍යාපන කාර්යාලය පැත්තට දෙල්ගොඩ පාර සහ මාකොල පාර යා කිරීමටය. එක ලඟ වැටී ඇති හරස් කෙටි පාරවල් දෙක නිවැරදි ආකාරයෙන් භාවිතය කාටත් පහසුය. සපුගස්කන්ද පැත්තේ සිට කිරිබත්ගොඩ පැත්තට යන සෑමාට හරස් පාරේ ඇති තැපැල් කාර්්‍යාලයට යෑමට වටයක් ගසන්නට සිදු වේ. එක වන් වේ එකකින් දෙල්ගොඩ පාරට දමා තැපැල් කන්තෝරුවට ගොස දෙල්ගොඩ පාරෙන් නැවත මාකොල පාරට දමන්නට සිදුවන්නේ නීතිය පිළිපැදීමටය.එහෙව් අමාරුවෙන් නැවත මාකොළ පාරට දමන සෑමාට මුහුණට හමුවූයේ ත්‍රී රෝද රථයක්ය. කලින් පරම්පරාවේ අංකල් ඩෑල් එකක් නිසා පාඩමක් ඉගැන්විය යුතු යැයි සෑමාට සිතුණේ කුපාඩිකමටය. ත්‍රී රෝද රථය හරස් කර නැවැත්වූ සෑමාට අංකල් අත පය විසික් කරමින් කීවේ තමාට යන්නට ඉඩ දී පසුපසට ගන්නා ලෙසය.

"ආ.. අංකල් මේක වන් වේ නේද?"

"ඔව් ඇයි?"

"ඇයි නෙවෙ, හරියට යන්න ඕනි නම් එහා පැත්තෙ පාරෙන් දාලා එන්න තිබ්බා.. කාටත් කරදරයක් නැහැ එහෙම කළා නම්.."

"අනේ යනවා ඕයි යන්න.."

අංකල් සරලව පිළිතුරු දී තමාම වාහනය පිටු පසට ගෙන සෑමාට ඉඩ දුන්නේය. කතාව එතැනින් ඉවර කළේ මෙච්චර වයසට ගිය අංකල්ව හදන්න සෑමාට බැරි නිසාය. වරද කළ බව ඇත්තය. හිනාවකින් වරද පිළිගෙන ලිස්සා ගියා නම් අංකල් ඊටත් වඩා ලස්සනය.

එතන් සිට සෑමා කල්පනාවට වැටුනේ මාර්ග විනය කඩන බොහෝ පිරිස් අංකල්ලා සීයලා බව සිහි වූ නිසාය. වයසත් එක්ක එන පිළිනොගන්නා බව සහ දරදඬු බව නිසාම ඔවුන්ගේ මාර්ග විනය පිරිහී ඇත. හදන්නට යෑම තේරුමක් නැත. ඒ නිසා කාලයට ඉඩ දී පරම්පරා දෙකක් වත් ඉවසිය යුතු බවය සත්‍යය.

පාරිසරික ප්‍රශ්න වලදීද වැඩිහිටි පරම්පරාවේ උද්දච්ච දරදඬු වැඩ බොහෝය. බුලත් කෙල ගැසීම දැන් තරමක අඩු වී ඇත්තේ අලුත් පරම්පරාව බුලත් කෑම අවම නිසා බව කිව හැකිය. එලෙසම උඩින් පරම්පරා දෙකකින් අපි පැතූ පරිසරය දුර බව කිව යුතුය. සිගරැට් බීම වැඩිහිටි සහ අපේ පරම්පරාවටත් පොදුය. ඒ අතරින් වැඩිහිටියන් ෆිල්ටරය අත කරකවා කොහේ හෝ විසිකරන හැටි සෑමා දැක ඇත්තේය. අතේ ඉතිරිවන ෆිල්ටර් කොටය කසල බඳුනකට හෝ අළු බඳුනකට දමා යන තරුණ පිරිස් බොහෝය. වැරදි අවම කිරීම අතින් තරුණ පරම්පරාව ප්‍රමඛ බව කිව හැකිය. 

දිනක් සෑමා ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කැළණිය විද්‍යාලයේ පාසැල් බසයෙන් විටින් විට තැනින් තැන බසයේ ජනේල් වලින් එළියට දමන අයිස් ක්‍රීම් කවර සෑමා දුටුවේය. සුළඟට පාව ඇවිත් පාර පුරා විටින් විට රට මැවූ අයිස් ක්‍රීම් කවර දැක සෑමාට ඇති වූයේ කලකිරීමක්ය. පාසැලේ නම ගැසූ බසයෙන් ලැජ්ජා නැතුව කුණු එළියට දමන්නට තරම් පොඩි උන් මෝඩ යැයි සිතන්නට බැරිය. බසය හරස් කොට රියදුරුට කතා කළේ සෑමාය. වැඩිහිටි පුද්ගලයෙකු වූ ඔහුට එය ගණනකට නැති දෙයක් බවට පෙනී ගියේය. නැති නම් රියදුරුට පැති කණ්නාඩි වලින් සිද්ධිය නොපෙනෙන්නට ඉඩක් නැත. එය දැක නොදැක්කා ලෙස සිටිනා උඩ පරම්පරාවේ නැහැදිච්ච ඔහු කවදාවත් යට පරම්පරාවකට හරි වැරැද්දක් කියා දෙන්නේද නැත.

කසල කළමනාකරණය, කුණු වෙන් කිරීම සම්බන්ධයෙන් නව පරපුර දැනුවත්ය. දිරා යන නොයන සහ ඉඳුල් ද්‍රව්‍ය ලෙස කසල වෙන්කර කුණු ලොරියට බාර දීම උඩ පරම්පරාවට මහ බරක්ය. කුණු ගිණි තබන විට එහි වූ ප්ලාස්ටික් කැබලි ඉවත් කර නිවැරදිව ගිණි තැබීමට පවා ඔවුන් කම්මැලිය. එහෙත් අපේ කාලේ උබලෑ ක ාලේ කියා උද්දච්ච කතා කියමින් පොඩි උන්ට ලොරි ටෝක්ස් දීමේලා පුරෝගාමීන්ය.

ත්‍රීවීල් අංකල් සෑමාව දුරකට ගෙන ගොස් අතෑරියේ තව ප රම්පරා දෙකකින්වත් උබලා පතන ලෝකය බිහි වෙනවා යැයි කියා දෙමින්ය.

නොහැදෙනා අංකල්ලාට, ඇන්ටිලාට,
ස්තූතියි කියා දුන්නාට !!

sAm_sRi_9:15pm_22/02/19

5 comments:

  1. වැරැද්දත් කරලා ලොරි ටෝක් දෙන එක ලංකාවටම ආවේනික සාපයක් මම හිතන්නෙ..ඉතිං කොහාමද වැරදි හදන් ඉදිරියට යන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔෆිස් වලින් හොරකම් කරන උන් එව්වා ගැන කයිවාරුත් ගහන්නේ.

      Delete
  2. අපි මුළින් වැරදි පිළිගන්න පුරුදු වෙන්න ඕනා...

    ReplyDelete
  3. විනය ඇතිකරන්න ඕනේ.

    රටවල් දියුණු වෙන්නේ විනයවත් මිනිස්සුන්ගෙන් .

    කාලෝචිත ලිපියක් !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...