සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Tuesday, May 29, 2012

ගැටයාව ලොක් කලෙමු...


සෑමා 13 වසර ගණිත පන්තියේ සිටියදී ඒ පන්තියේම සිටියේ ගැටයාය. පොර ඉස්කෝලෙ යද්දී තනි ඇටයාය.  තනියා ඒ අවධියේ රගපෑවේ අප පාසලේම සිටි නදීෂා හේමමාලි සමගය. පසු කලෙක කැම්පස් ගිය විට කාඩ් එක ගැටයා ලෙස වෙනස් වී තිබුනේය. එහෙව් ගැටයා බ්ලොග් කරනයට (අනිවාරතේ බ්ලොගය) පිවිසි විට සෑමා ගැටයාට උපහාර කතාවක් ලීවේය. එය සෑම්, හෝම්ස් සහ වොට්සන් නම් විය. ඒ කතාවෙන් ලද පන්නරයෙන්ද, ගැටයාගේ උදව්වෙන්ද සෑමා මේ බ්ලොගය අටවා ගත්තේය. ඒ අතුරු කතාය. දැන් පටන් ගන්නේ කතාවය.

මේ අපේ ගැටයාගේ බ්ලොග් පොටෝවයි.

ඉස්සර අපේ සෙක්ෂන් එකින් පහලට බහින තැන මදක් ඉදිරියෙන් තිබ්බේ ශිෂ්‍යනායක කාමරයය. ඒ කාමරේ සිටියේද අපේ වයසේ තිත්ත නායකයෝය. එතනට ගිහින් ඒ කාමරය දෙවනත් කිරීම හා ඔවුනට බාධා වන අයුරින් හැසිරීම අපගේ පාසල් ජීවන චක්‍රයේ එක කොටසක් විය.

දිනක් සෑමා ඇතුලු පිරිස එතැන සිටියදී අපේ ගැටයාද එතැනට සම්ප්‍රාප්ත වූයේය. ඌටත් ඕනේ නැති දෙයක් නැත්තේය. පාසල ඇතුලේ කෙහේ කොතැනක දුටුවත් පොතක් රෝල් කරගෙන එහේ මෙහේ ඇවිදින්නේය. බොහෝ විට එය පුස්තකාලයෙන් ගත් පොතක්ය. කොටින්ම කීවොත් ඔහු ඒ කාලේ නොබලපු පොතක් නැත්තේය. පෙරලපු පොතක් නැත්තේය. ඒ අතර ගැටයා මාසික සගරාවක් කළ බව සෑමාට මතකය. එය ප්‍රින්ට් කරපු සගරාවක් ‍නොවේය. ගැටයාගේ අකුරින්ම හාෆ් ෂීට් කිහිපයක් පිරෙන්න ලියු කතා සහිත සගරාවක්ය. පොර මාසිකව හෝ එය ලියා අහවර කළ පසු අපේ එවුන් ඒක අරගෙන පැල් බැදගෙන කියවපු කාලයක් තිබුනු බවද සෑමාට මතකය.

ශිෂ්‍ය නායක කාමරය අසලට සපැමිනි ගැටයා අපේ කතාවට සම්බන්ධ වුවේය. ඒ අතර එම කාමරයේ දොරේ එල්ලා තිබු ඉබ්බා සෑමාගේ ඇසට අසුවිය. යතුර නොමැතිව ඉබ්බා පමනක් දොරේ එල්ලී තිබුනේ අගුල ඇරුනු ආකාරයටය. එය දුටු සැනින් සැමා ඉබ්බාව තම මිතුරන්ට පෙන්නුවේ ඇස් කොනින්ය. ඉගිය වටහා ගත් සියල්ලෝම වට කොට අපේ ගැටයා අල්ලා ගත්තෝය. සිදුවු කිසිත් සිතා ගත නොහැකිව ගැටයා බිත්තියට තද වී සිටියදී ගැටයාගේ කලිසමේ ලූප් එකට ටොකොස් ගා වැටුනේ ඉබ්බාගේ ලොක් එකය.

ඒ හඩින් ගැටයාගේ දැගලිල්ලද අඩු වුවේය. අපේ එවුන්ද පැත්තකට වී ගැටයාව නිදහස් කලෝය. ගැටයා ඔළුව කසමින් යතුරු කැරැල්ල සෙවීමට ශිෂ්‍ය නායකයින් පසුපස ගියේය. එකල්හි ප්‍රධාන ශිෂ්‍යනායකයා වුවේද අ‍පේම පන්තියේ රුවන් ය. ගැටයාගේ වෙලාවට රුවන් එදා පාසලේ සිටියද පෙනෙන මානයක සිටියේ නැත. බැරිම තැන ගැටයා තම ෂර්ට් එක ඉබ්බා සිටින පැත්තෙන් පමනක් උඩින් දමාගෙන පැත්තකට වී සිටියේය. එදා ගැටයාගේ කටට ලොක් එකක් වැටුනා හා සමාන විය.

12 වසරේ පාසල් වාරය පටන් ගත් මුලදීම රුවන් අපේ පන්තියට වැටුනේය. අපට ඒ වසරේ අලුත්ම ඩෙස්ක් පුටු ලැබුනා මතකය. ඒවායේ කිසිත් නොලියා තබා ගැනීමට අපි වෙරදැරුවෙමු. ඒ අතර දිනක් රුවන් උදේම තම පුටුව පිටුපස කවරෙකු හෝ යමක් ලියා ඇති බව කියමින් කෑගැසුවේය. උ/පෙ ගණිත පන්තියේ මුල් දින කිහිපයේ අපි ඉංජිනේරුවන් ලෙස කල් ගෙවුවෙමු. ඒ මානසිකත්වයෙන්ම අපේ එකෙක් රුවන්ගේ පුටුවේ ලියා තිබුනේ "ඉංජිනේ-රුවන්" කියාය. අද තාමත් ලියපු එකා නොදන්නා මුත් රුවන් දුටු සැනින් අපි කියන්නේ අන්න ඉංජිනේරුවන් එනවා කියාය.

‍ඉබ්බා දමා ගත් ගැටයා සාංකාවෙන් දවස ගෙවද්දී රුවන් හදිසියේ පන්තියට ආවේය.

"සෑම් ‍කෝ බං අපේ ඉබ්බා.. ?"

"අනේ අපි දන්නෙ නැහැ මචං.. ඔය තනියා එල්ල ගත්තා ඒක මරු ගැජට් එකක් කියලා..."

"උබල පිස්සු කෙලිනවනේ බං. අපිට රූම් එක වහන්න විදිහක් නැහැ ඉබ්බ නැතිව. මම යතුර අරන් ආවා ඉබ්බ අරන් යන්න. කෝ දැන් තනියා?? "

මොහොතකින් තනියා පන්තියට ආවේ පොතක් රෝල් කරගෙනය. දැන් පොර ෂර්ට් එය හොදින් යට කරගෙන ආඩම්බරයෙන් සිටින බවක් පෙනෙන්නට විය.

"තනියා කෝ බං ඉබ්බා..??" ඒ රුවන්ය.

"මොන මගුලක්ද බං. ඒක එල්ලගෙන ඉන්න බැරිම තැන මම ලූප් එක ගලවලා ඉබ්බව එහා වත්තට විසික් කලා.."

තනියා ඉබ්බා විසික්කල වත්ත කියා කසිප්පු අංකල්ගේ වත්ත පෙන්නුවේය. රුවන්ට කට උත්තර නැත.

Written by sAm_9.50pm_29.05.2012

Sunday, May 27, 2012

අම්මා... - පෝස්ටර් ගැසුවේ අපිට ආදරේ නිසාමය.


ඕනෑම නිවසක ප්‍රධාන කාර්යයන් සියල්ලක්ම පාහේ කරන්නේ අම්මාය. බුදුන් පවා දේශනා කලේ ගෙදර බුදුන් අම්මා කියාය. 

යො මාතරංවා පිතරංවා - ජිණ්ණකං ගතයොබ්බනං
පහුසන්තො න භරති - තං ජඤ්ඤා වසලො ඉති
-වසල සූත‍්‍රය

මේ අනුව යමෙක් බොහෝ සම්පත් ඇතිව සිටියදී වෘද්ධ බවට පැමිණි දෙමාපියන් පෝෂණය නොකෙරේද? ආරක්ෂා නොකෙරේ ද? ඔහු වසලයෙක් වන බව බුදුන් වහන්සේ දේශනාකලෝය. තමන් වහන්සේ දේශනාවෙන් පමණක් නොව තමන් බිහි කළ මහාමායා දෙවඟන සොයා ගොස් අබිදම් දෙසුම කරමින්ද පියා වු “ශුද්ධෝදන” රජු වෙත පැමිණ දම් දෙසා සසරින් මුදවමින් ද, කිරි පොවා පෝෂණය කළ “ ප‍්‍රජාපතී ගෝතමිය වෙත භික්‍ෂුණි සමාජය උරුම කොට සසරින් එතෙර කරවමින් ද ආදර්ශයෙන් ම තම වගකීම ඉටු කොට වදාළහ.

අපේ සැලකුම් හා ලාභ අපේක්ෂාවෙන් තොරව අපේ දෙමව්පියන් වර්ථමානයේ අප වෙනුවෙන් කොපමන දේවල් කරනවාද යන්න සිතා බලන්නට පෝස්ටුවක් දමන්නට සෑමා සිතට ගත්තේය. 

එදා සෑමාගේ අක්කාගේ නිවසේ දානමය පිං කමකි. සෑමා වැඩට යායුතුය. සෑමාගේ පියා කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාද වැඩට යායුතුය. එසේ තිබියදී සෑමාගේ අම්මාට දානයට යාමට නොහැකි බැව් ඈ සිතුවාය. එසේ තිබියදී සෑමාට හා පියාට අවශ්‍යය සියළු කටයුතු සම්පාදනය කොට කලින් දවසේ ඇය සෑමාගේ අක්කාගේ නිවසට පිටත් ව ගියාය. එවිට සෑමා නිදිය. නැගිට බැලූ විට ඇය නිවස පුරා පෝස්ටර් අලවා තිබිණ.



අම්මා හදන කිරි තේ එක තරම් තේ එකක් අපේ නිවසට නැති බව ඇය දන්නීය. තාත්තාද රෑ 7 වෙද්දී සිරිස නිවුස් බලන්නේ ඒ තේ එක රස විදිමින් බව නොරහසක්ය. ඇය ඇගේ තේ එකේ පදම ලියා තැබුවේ අපට ඒ රසට හදාගෙන බොන්නට විය යුතුය. ඒත් අපේ අත් ගුණය එතරම් රසවත් නොවූ බව තාත්තාටද දැනෙන්නට ඇත්තේ එදා තේ එක රස නොවූ නිසාමය. චතුවා නොහොත් සෑමාගේ ගමේ මිත්‍රයෙකු සවස 7ට පමන නිවසට එන්නේද ඒ තේ එක රස විදින්නට බව ඔහුම පැවසුවේය.

වෙනදා උදේට කෑමට තියෙන්නේ එක ප්‍රධාන ආහාර වේලකි. ඒත් එදින අපට ඉදිආප්ප හෝ බත් කන්නට කීවේ ඇය ‍දෙවර්ගයම සාදා තබා පිටත්ව ගිය නිසාමය.


සෑමා තම නිවසේ පොඩිම එකාය. ඒ කියන්නේ චූටි පුතාය. විටෙක ආදරේට "චූටී" වන්නේ ද සෑමාය. කොතරම් එලාම් තැබුවද සෑමාව නැගිටවන්නේ අම්මාය. ඇය තාත්තාට තැබූ සන්දේශයේද සදහන් වුයේ සෑමා උදෙන්ම ඇහැරවිය යුතු බවය. මෙහි බත් කඩෙන් කන්න කියා ඇත්තේ සෑමාටය. එදා අම්මාගේ බත් පාර්සලය සෑමාට ලැබුනේ නැත. එනිසා ඇය කඩෙන් කෑමට මුදල්ද සෑමාගේ කාමරයේ මේසය මත තබා ගොස් තිබිණි. 

හැම රාත්‍රියකම නිවසේ දොරගුලු දමන්නේ ඇයය. අපි දොරගුලු දැම්මාට ඇයට විශ්වාස නැත්තේමය. ඒ අපේ කල්පනාව හොද නිසාය. මීට පෙර දිනෙක් අම්මා නිවසේ නොසිටි දිනක සෑමා සහ තාත්තා දොර ලොක් නොකර නිදාගෙන තිබුනා අප සැමට තවමත් මතකය. එදා අම්මා උදේම ඇවිත් දොරට තට්ටු කරන විට දොර නිකන්ම ඇරී තිබින. ඒ නිසාම ඇය සන්දේශයට එය ඇතුලත් කොට ඇත්තේය.

එසේම ඇය නින්දට පෙර සෑම ඇදක් යටම බලන්නීය. අපේ ගමේ නිවසක් මීට පෙර හොරු කඩා තිබුනේ දහවල නිවසට වැදි ඇදන් යට සැගව සිට නිවසේ පිරිස රාත්‍රියේ නිදාගත් පසුය. ඒ නිසා ඇය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්නීය.


වහින විටදී කොපමන විදුලි කෙටුවද සෑමා සහ තාත්තා ටීවි ඕෆ් කරන්නේ නැත. එය සිදු කරන්නේ අපේ අම්මාය. ඇය නැති විටදී වැස්සේ පවා අපි ටීවී බලන බව ඇය දන්නීය. එසේම නින්දට පෙර ඒවා ගලවා දැමිය යුතුය. ඇය ඒ කරුණද පෝස්ටරයේ අන්තර් ගත කළාය.

එසේම කෑම වලං, කෑම මේසය වහන විශාල ආවරණය පවා අපි නොවසනා බව ඇය දන්නීය. අප නිවසේ පැවති මී උවදුර ගැන ඔබ සැම දැනුවත් බව සෑමාද දන්නේය. එහෙව් එකේ කෑම නොවැසුවොත් මීයෝ පනින බව ෂුවර්ය. ඇය ඒ බවද පෝස්ටරයට අඩංගු කළාය.

තමා නිවසේ නොමැති විටකදී පවා නිවසේ සිටින උදවිය ගැන දෙමව්පියන් වද වෙන බව අපට නොදැනෙනවා විය හැක. එහෙත් ඔවුන් දුරින් සිට සියළු දේ පිලිබද අවධානයෙන් සිටින බැව් පසක් කිරීමට මේ සටහන තැබීමි. එහෙව් පිරිසකගේ සිත් නොරිදා සිටින්නට සෑම තප්පරයකම උත්සාහ කළ යුතුය.


ඔබ සැමගේද දෙමව්පියන්ට නිදුක් නිරෝගී ජීවිතයක් පතමි.. !

ජයෙන් ජය !

Written by sAm_10.15am_26.05.2012

Wednesday, May 23, 2012

රගර් ගහන කොලුවාගේ කතාව.....


අභිෂේක් දුෂ්කර ගම්මානයක කොලු ගැටයෙකි. ඔහුගේ ගමේ නම් වෙල් යායවල් නැත්තේය. එය මුහුදු මායිමට නොදුරු ගම්මානයක් නිසාම අභිෂේක්ට දුව පැන ඇවිදින්නට වුයේ ලුණු ලේවායන්ගේ ලවන පිරුනු පරිසරයකය. ඔහුට සහෝදරයන් පමණක්ම සිටි නිසාම කුඩාකල සිටම සොයුරියකගේ පෙමක් ලැබී නැත්තේය. තම පියාගේ වුවමනාව නිසාම අභිෂේක් ගමේ පාසලට ඇතුලත් ක‍ලද අධ්‍යාපනයට ඒ හැටි වුවමනාවක් නැති බවක් සියල්ලෝම කල්තියා දුටුවෝය. තම අනෙක් දරුවන්ද එසේම බැව් පියා දැන සිටියේය.

අධ්‍යාපනය බැරිනම් ඇත්තේ ක්‍රීඩාවමය. අකුරු බැරිනම් ක්‍රිකට් යන සංකල්පය අභිෂේක්ගේ රටේ මුල් බැසගත් යුගයක් තිබුනේය. එහෙව් කලෙක අභිෂේක් ගේ පියාට අදහසක් ආවේ තම පුතු ලවා කිරිකොට් ගැස්සවීමටය. පුතුද කෙලිලොල් බවින් යුතු නිසාම කුඩා කල පිත්ත අතට ගත්තේය. කුඩාකල ක්‍රිකට් ක්‍රීඩා කලද පුතු වැඩිවියට පත් වෙද්දී පන්දුවක් දෙඅතේ රුවා ගැනීමටවත් තරම් දක්ෂයෙක් නොවන බව පසක් වීය. ඒ අතර තම අනෙක් සොයුරන්ද යන එන මගක් නොමැතිව හරි හැටි අධ්‍යාපනයක් නැතිව කල් ගෙවීය.

අවාසනාවන්ත කාලයක නිමාවක් සටහන් කරමින් අභිෂේක් ගේ පවුලට නැවුම් අරුණැල්ලක් උදාවීය. ඒ තම පියා ගමේ ග්‍රාමසේවක වූ දවසය. එතැන් පටන් අභිෂේක් ගේ මව පබලු මාලයක් ගෙලේ රුවා ගත්තීය. එසේම රෙද්ද හැට්ටයට සමුදී ඔසරියක් ඇගේ රුවා ගත්තාය. සොයුරන් තිදෙනාටද සිකුරා මෙන්ම අනෙක් වටිනා ග්‍රහයෝද බැබලෙන්නට ගත්තේ එතැන් සිටය. අභිෂේක් ගේ පියාද වෙනම ආරකට සුදු සරම සහ අත්දිග කමිසය අදින්නටත්, පෙර සිටම පුරුදු කොට ආ ක්‍රමයටම රැවුල කපන්නටත් පටන් ගත්තේය.

අභිෂේක් නැවත ක්‍රීඩාවට යොමු විය. ඒ ක්‍රිකට් නොවේය. රගර්ය.

ගෝලාකාර පන්දුව පිත්තේ වදින්නේ නැත්තේය. පිත්ත ඒ තරමට කුඩාය. අනික ‍හරියටම ගෝලා කාරය. එවන් පන්දුවට වෛර කළ අභිෂේක් දෙපැත්තෙන් උල් වූ පන්දුව කිහිල්ලේ ගසාගෙන පිට්ටනියට පැන්නේය. පන්දුව වෙනස් කලාට ක්‍රීඩාවකදී දක්ෂතාවය වුවනාම බව අභිෂේක් නොදත්තේය. තමා ඇතුලු කණ්ඩායම පිට පිටම පරාජය ලබද්දී ගමේ අය ග්‍රාමසේවක මහතාට මෙන්ම, අභිෂේක්ට උසුලු විසුලු කරන්නට වූහ.

අභිෂේක් සියල්ල දරාගත නොහැකිව ගෙදර ගියේය. තම පියාද පුතුගේ පරාජයෙන් කලකිරී සිටින බව අභිෂේක් දත්තේය. පියා සහ පුත්‍රයා ක්‍රීඩාව දක්ෂතාවයෙන් තොරව ජය ගන්නට උපක්‍රම යෙදුවේය. ගමේ සිටින දක්ෂතම කණ්ඩා‍යමේ ක්‍රීඩකයන් අමතා ඔවුනට සංතෝසම් දී පුතුගේ කණ්ඩායමට එක්කාසු කර ගත්තේය. එහෙත් දක්ෂතම කණ්ඩායමේ නායකයා එයට එකතු නොවූයේය. ඒ අන් කිසිවක් නොවේය. තම දක්ෂතාවය යටතේ තරග කරන්නටත්, නායකයා ලෙස සිටින ග්‍රාමසේවක මහතාගේ පුත්‍රයාගේ නම බැබලවීමට තරම් තම දහඩිය හෙලන්නට අකැමැත්ත නිසාය. එය සාධාරණය.

අභිෂේක් නැවත පිටියට ආවේය. ඒ මුදලට ගත් දක්ෂයන් රැසක් සමගය. ඔවුන් තම ගමේ සියළු තරග ජය ගත්හ. ප්‍රාන්තයේ සියළු තරග ජය ගත්හ. එසේම රාජ්‍යයේ සියළු තරග ජය ගත්හ. දැන් අභිෂේක් සැබෑ ක්‍රීඩා ශීලී තරුණයෙක්ය. ඔහුගේ නායකත්වය නිසා තම කණ්ඩායම ජය ගන්නේය. අභිෂේක් ගමට මෙන්ම රටටම සම්පතක්ය. ගමේ උදවිය විසිල් ගැසුවෝය. ඒ තම ගමේ නම රාජ්‍යය පුරා ගෙන ගිය නිසාය.

ඒ පමණක් නොව සෑම පත්තරයක්ම, රූපවාහිනී වෙලද දැන්වීමක්ම හැඩ වන්නේ අභිෂේක් රුවින්ය. ඒවාට තම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේද සහභාගිත්වයද ඇත්තේය. නමුත් එවන් වෙලද දැන්වීම අතර තුර රූපරාමු මන්ද ගාමී වන්නේය. එසේ මන්දගාමීව රූප මාරුවන අතර තුර සිටින්නේ අභිෂේක්ය. ඒ ඔහුව උක්ත කළ යුතු නිසාමය. මන්ද ඔහු උල් පන්දුව රැගෙන පිටිය පුරා දිව්වේ, දුවන්නේ දක්ෂතාවය නිසාමය.

එවන් දක්ෂතා පිරි ක්‍රීඩකයන්ට අපේ ප්‍රණාමය... !

Written_by_sAm_6.45pm_23.05.2012

පලි - පොඩ්ඩයි කියලා බනින්ට එපා හරිය...

Sunday, May 20, 2012

උබ තාම අපිට පොරක්....


මහ අනෝරා වැස්සක්. මහ පොලව හෝදගෙන ගලද්දි, අපේ එවුන් මහ වැස්සට ශාප කර කර හැංගෙද්දි උබ වටේ හිටියා මහ වැස්සට විරුද්ධ වෙන්න මිනිස්සු ටිකක්. ඒ වගේම ඒ මිනිස්සුන්ට ශක්තියක් වෙන්න හිතක්. අපිට කරන්න දෙයක් නැහැ. අපි කලේ උබ වටේ ඉන්න එවුන්ට සහ උබට හයියක් වෙන්න උබල වෙනුවෙන්,  උබලගෙ කැඩුනු හිත් වෙනුවෙන් පුද පූජා කරන්න. දැන් උබ හිතනව ඇති අපි පැත්තකට වෙලා උබව බිල්ලට දුන්න කියල. නැහැ, අපි ‍එහෙම කලෙත් නැහැ, එහෙම කරන්නෙත් නැහැ, කොටින්ම කිව්වොත් අපිට එහෙම කරන්න බැහැ. මොකද අපේ හිත් අපේ එවුන්ට ලැදි නිසා. අපේ හුස්ම පවා උබ වෙනුවෙන් ඉපදිච්ච කදුලු එක්ක සැලෙන්නෙ.

ඒ කිව්ව අනෝරා වැස්ස, මහපොලවෙ දුඹුරුපාට පස් හෝදගෙන මහ විශාලෙට පහලට ගලන්න ගත්ත. ඒ මහ ජල කදට අපේ එකා දෙන්න බිලි වුනා. ජල පහර දරුණු වෙන්න දරුණු වෙන්න දස දහස් ගණන් බිලි වුනා. අපි දන්නේ හැමෝම කියන ටික විතරයි. ඒත් උබයි උබට උඩින් හිටපු එකාලයි දන්නව ඇත්ත මොකක්ද කියල. උබල ඒ සැඩ පහරට අහුවුනා. ඒත් ඒ රැල්ල දිගේ පහලට ගහගෙන නොගි උබ, එහෙම පහලට යන්න ගිය එවුන්වත් ඇදගෙන උඩටම පීනන්න ගත්ත. එහෙම පීනනව බලං ඉන්න බැරි එවුනුත් හිටිය. ඒ අපේ ම එවුන් නෙවේ කියල දන්න උබ, ඒ වගේම උඩින් ඉන්න එවුන් උබට හයියක් වුනා. ඒ නිසාම පිට ඉදන් අපිව පහලට දාන්න හූ කියපු එවුන් සද්ද වහ ගත්ත. වෙලාවකට උබත් පහලට ගහගෙන යන්න යනකොට උබ එල්ලුනා පැත්තක තිබ්බ පුංචි පැලෑටියක. උබට ගොඩක් අමාරු වුනා. ඒ සැඩපහරෙන් බේරෙන්න උබේ ඇගේ එල්ලිලා ජීවිතේට ආදරෙන්, අපිට ආදරෙන් හිටපු කිහිප දෙනෙක් අපිට නැති වුනා. මම සහ අපි දන්නවා උබට තාම උන් බේරගන්න බැරි වුන එකට දුකයි කියල.

එච්චර අමාරුවෙන් උබ පුංචි පැලෑටියක එල්ලිලා, සැඩ පහරෙන් බේරෙන්න හදනකොට පිට එවුන් වගේම අපේම එවුනුත් උබට සැඩ පහරට අහුවෙන්න උබේ කිහිල්ලට කිචි කැව්වා. අපි විතරක් නෙවේ උන්, එහෙම කරපු විදිහ මුලු විශ්වයම දැක්ක. ඒත් උබට ඒක සුළු දෙයක්. උබ ඔයිට වඩා ඒවට මුහුන දිල තියෙන නිසා උබට නයි කූබි සහ දිමි ගොටු පොඩි දේවල්. හරියටම කිව්වොත් උබේ ඇගේ තියෙන්නෙ යකඩ කෑලි. ඒව ඇගේ තියාගෙන උබ නොසෙල්වී සැඩ පහරේ උඩටම පීනුව. තනියම නෙවේ, උබ වටේ හිටපු දස දහසක් ඇදගෙන, ඒ වගේම අපිව ඇදගෙන. තවත් එකාල උබට හිනාවෙද්දි, උබට පොලු වලින් ගහද්දි, උන්වත් උබ බේරගත්තා.

උබ සැඩපහරින් ගොඩට ආව. ඒ මුලින්ම නෙවේ. උබට පිටිපස්සෙන් උබත් එක්ක හිටුපු එකාලව ගොඩින් තිබ්බට පස්සේ. මහපොලවට වතුර කලවං වුණාම එන පාට උබ, අපි හැමෝම දන්නව. ඒ උබ අපි, මේ මහපොලවෙ ඉන්න එවුන් නිසා. රගර් ගහන ලොකු මිනිස්සු වුනත් දන්නව මහ පොලවට වතුර වැටුනම එන පාට. ඒත් ඒකෙ තියෙන නියම සුවද දන්නෙ නැහැ මයෙ හිතේ. මොකද උන් කරන්නෙ සෙල්ලමක්. උබට ඒක සෙල්ලමක් නෙවේ. ඒක උබේ ජීවිතය වුන නිසාම.

හැමෝටම පස්සෙ උබ ගොඩට ඇවිත්, වට පිට බැලුව හැටි අපිට තාම මතකයි. එදා උබ අපිට පොරක්. අද එයිටත් වඩා. උබ ගොඩට ආවට පස්සෙ මහපොලවෙ තිබ්බ පාට හෝදගෙන පිරිසිදු වුනා. අපි උබ සහ උබ වටේ හිටි හැමෝම අපේ එවුන්, අපේ ලේ කියලා ලෝකෙට පෙන්නුවා. අපි හරියට ආඩම්බර වුනා. උබ ගැන සහ උඩින් හිටපු එවුන් ගැන. ඒත් වැඩියෙන්ම උබ ගැන.

උබ ඇදගත්ත සුදු පාට. මට, අපිට තාම මතකයි උබ අපි වටේ සැරි සැරුවා අත් දෙක අහසෙ දෙපැත්තට ඈත් කරගෙන. ඒකෙන් හරියටම කියවුනේ මේ විශ්වයම උබේ කියන්න වගේ. විශ්වයේ හැම එකාලම උබේ කියන්න වගේ. ඒ හැම එකාලම වෙනුවෙන් උබ සටන් කරනව කියන්න වගේ. එදා මම, අපි උබේ වෙනසක් දැක්ක. උබ සැඩපහරෙ ජීවත් වෙනකොට උබට උඩින් හිටපු එවුන් උබට වගේම උබ වටේ එකාලට හයියක් වුන එක ඇත්ත. ඒත් උන් මහ පුටුවල නිසා උන්ගෙ බඩවල් ඉස්සරහට ඉලිප්පුනා. ඒත් අපි දැක්ක උබේ බඩ මහ විසාල නැහැ. ඒ උබ උබේ හයිය ඒ මහ සැඩ පහරට පූජ කරපු නිසා කියල තමා මම තනියම හිතුවේ.

එදා මහ පොලව එක්ක පොර බදල, සැඩ පහරෙ දහඩිය පාකරල සුදු ඇදගෙන අප ලගට ආපු උබට විරුද්ධව වනචාරීන් ඉදී කියල උබ හිතන්න නැතිව ඇති. ඒත් මේ අපේ පොලව, උබ එදා සැඩ පහරෙ යනකොට උබට කිචි කැව්ව එවුන් හිටිය වගේම, උබ අපි ලගට එද්දි විරුද්ධ වෙන එවුන් නොහිටී කියලද උබ හිතුවේ. උබට එදා වැරදුනා. ඒත් ඇත්තම මම, අපි දන්නවා. උබට වැරදුනේ නැහැ. ඇත්තටම උබ එදා දින්න. වෙන එවුන්ගේ අසික්කිත පෞර්ශත්වය උබව අමු අමුවේ පරාද කලා. ඒකයි ලැජ්ජ නැතිකම.

එදත් වෙනද වගේම ඉර පායල තිබ්බ. ඌ පායන්නෙ නැතිව මොනව කරන්නද? ඒත් අපි දන්නව උබට වෙච්ච දේට ඉර - හද සාක්කි. කවද හරි උන්ට සාපයක් වෙද්දි නඩුකාරයට සාක්කි දෙන්න ඉර - හද ගේන්න වෙයි. නැතිනම් උන්ගෙ හෘද සාක්කිය වත් කතා කරන්න ඕනෙ. ඒ මහා ඉර එලියෙ, සද එලියෙ පහස නොලැබෙන්න උබව ඈත් කලා. ඒ අපෙන්, විතරක් නෙවේ මුලු ඉතිහාසයෙන්ම. ඒක බලුකම කිව්වොත් අපේ ටොමිය මාත් එක්ක තරහ වෙයි. කමක් නැහැ, ටොමිය මගේ යාලුව. ඌට තියෙනව මනුස්සකම. කන්න දෙන මාව නොහපන්න. ඒ වගේම නෑ හිතවතුන්ට නොබුරන්න. යාළු බල්ලන් එක්ක රංඩු නොකරන්න. හොරුන්ට විතරක් බුරන්න. ඒක ටොමියගෙ දේශපාලනේ කියල කියන්න පුලුවන් මට. ඒත් කට්ටිය වැරදියට දකී, මොකද ඌටත් ලොකු බඩක් නැහැ. සුදු අදින්නෙ නැහැ. උගෙ තියෙන බඩ වුනත් ප්‍රමාණවත්. ඕනෙ හදිස්සියකට මුහුන දෙන්න ප්‍රමාණවත්. මොකද ඌ පෙරේතකමට කන්නෙ නැහැ. තමන්ගෙ තරමට, තමන්ට තියෙන ප්‍රමාණයට කන්නෙ.

ඉර එලියෙන්, හද එලියෙන්, උබව ඈත් කරල, දූවිල්ල එක්ක උබව ජීවත් කෙරෙව්වා මම, අපි ඒකට සතුටුයි. නැත්තම් උබගෙත් බඩ ඉලිප්පෙනවා. ඒත් එදා සැඩපහරෙන් උබට වෙච්ච හානියෙන් ලබපු තුවාල තවත් දරුනු වෙන්න උබ ඇතුලෙ හිටපු එක හේතුවක් වුනා. අපි දන්නව උබේ ඇගට අමාරුයි. ඒත් උබේ හිත කවදාවත් හිර වෙන එකක් නෙවේ. ඒක අහස උසට නැගල පොලව දිහා බලාගෙන ඉන්න තරමේ ශක්තියක් තියෙන හිතක්. නැත්තම් වෙන එකෙක් නම් ඔච්චර හිනා වෙලා ඉන්නෙ නැහැ වෙච්චර දේවල් වල හැටියට.

මම, අපි දන්නව උබ එලියට එනවා. උබව එලියට දාන්න වෙනවා. උබ එලියට ආවට පස්සෙ උබෙන් අපි කිසිදෙයක් ඉල්ලන්නෙ නැහැ. මොකද උබ අපිට ඕනෙ දේ දන්නවා. උබ අපිට ඒ දේ දෙන්න තරම් පොරක් කියලා තමා මම, අපි හිතන්නේ. එහෙම නොකර උබ අපිට එපා වෙන එකෙක් වෙන්න එපා. මොකද එහෙම එවුන් නම් එලියෙ ඕන තරම්.

උබට ජය !

උබත් එක්ක සැඩපහරේ පීනපු, ජීවිතේ අහිමි වුන එවුන්ටත් ජය !

උබව ඇතුලට දාල - එලියට දාපු එවුන්ටත් ජය !



Written by sAm_9.12am_20.05.2012

Thursday, May 17, 2012

මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...


ඔබ කිව්වාට මේ ඇය ගැනය. අපි නොහිතුවාට අපේ එකාලා යාළුවෙලා යන්න ඕනෙ හැම තැනම (ඒකි එක්ක ) කරක් ගහලා සතියෙන් දෙකෙන් අත ඇරලා දාන ඇය ගැනය. මේ ටික කියවූ විට ඇය ගැන ඔබටම දුකක් ඇති වෙනු නොඅනුමානය. එවිට ඔබ ඇය කෙරේ බැදි සෙනේ උතුරා යනු ෂුවර්ය.


ඇය අදින්නට පලදින්නට ඉතාම ලැදිය. සාමාන්‍යයෙන් විලි වැසෙන්නට ඇන්දොත් යටට ඇදුම් දෙකක් සහ උඩට ඇදුම් දෙකක් ඇදිය යුතුමය. ඒ කීවේ අවම ඇදුම් ගණන ගැනය. එසේම කරාබු දෙකක් ජීවිතාන්තය දක්වා එල්ලාගෙන සිටිය යුතුය. එය මහත් කරදරයක්ය. විටෙක උරැහිස ගාවටම දිග කරබු දැමිය යුතුය. එසේම ඇය සරලව ඇයට පහසු විදිහට ඇන්දොත් එය ඇයටම කරදරයක්ය. උනුසුම් දවස් වලට ඇය පහසුව තකා අදින්නේ දනිස්සට වියතක් උඩට වන්නට කොට සායක් හෝ කලිසමක්ය. එය ඇයට පහසුවක්ය. එහෙත් එලියට බැස්ස විටදී එකිනෙකාකේ බැල්මෙන් පරිස්සම් වීමට අත් බෑගය හෝ කුඩා පසුම්බිය කකුල අතර රදවා ගත යුතුය. එසේ නැතිනම් දෙපා හිරි වැටෙන තුරු කකුලක් පිට කකුලක් දමා සිටිය යුතුය. තවත් විටෙක ඇය අඩි උස සපත්තු දැමිය යුතුය. එවිට ඇයට හයියෙන් ගමන් බැරිය. හයියෙන් යන්නට පුලුවන් ඇයලාද පහුවදාට කොන්දේ කැක්කුම සහිතව කෙදිරිගාන්නෝය. 

ඇය කොන්ඩය වවන්නීය. එය දනහිස දක්වා දික් වූ විට ඇය ලස්සනය. ඒත් ඇයට කරදරයක්ය. කොන්ඩය කාඩාගෙන සිටියොත් අම්මා බනින්නේ ඇස්වහ වදී ගැට ගහ ගනින් කියාය. විටෙක ඇය කොටට කපා ලේයර් කරන්නීය. එවිට ඇය තවත් ලස්සනය. එහෙත් එය ඇයට නිදහසේ වැඩක් පලක් කරන්නට තරම්  උපකාරී නොවන්නේය. එවිට කොන්ඩ කැරලි කන් දෙක අස්සේ රදවමින් කතා කළ යුතුය. එසේම ඔපීසියේ වැඩ කරද්දී පවා කොන්ඩය මූනට වැටේ නැවත එය කන් පෙති අස්සේ ගැසිය යුතුය.

ඇය නිය පොතු දිගට වවන්නීය. එවිට ඇය සෞඛ්‍යය ගැන සිතා එය පිරිසිදු කළ යුතුය. බොහෝ විට ඇය ඒවා වවන්නේ වම් අතේය. එවිට දකුණු අතින් කෑමට පුලුවන්ය. එහෙත් වම් අතේ රැදෙන ඒවාද විටෙක ආහාරයට ගන්නීය. ගෙදර උයන පිහින කටයුතු වලදී මෙන්ම ‍ලැප් ටොප් කී පෑඩ් එක මතදී ද ඇගේ දිගු නියෙපොතු ‍කැඩෙන්නට ඉ‍ඩ බොහෝමය. එවිට ඇය ඒවැ නැවත නිය කපනයෙන් කපා මට්ටම් කළ යුතුය. විටෙක ඇය එහි වර්ණ තවරන්නීය. බොහෝ නිය ආලේපන වල දැන් තරු කැට, හාර්ට්, වැනි කුඩා කැබලි ඇත. එවිට ඇය ඉන් එකක් අනිවාර්යයෙන් එක නියපොත්තක රැදෙන ලෙස වර්ණ කල යුතුය. ගෙවල් පේන්ට් කරන සිරිදාස අංකල්ටවත් එච්චර අමාරු වැඩ නැත්තේය.

ඇය ඇහි බැම කපන්නීය. එය මසකට වරක් වත් කළ යුත්තේය. එසේම ක්ලීන් අප් කළ යුතුය. දත් නොමැද්දත් ඒවා අනිවාර්‍යය. ඔපීස් යන්නට සාරි අදින දිනෙක ඇය උදේම අවදි විය යුතුය. ඉන් පසු වෙනදා වෙලාව වෙන තුරු ඇය සාරිය පැටලැවිය යුතුය. දහ දොලොස් වරක් රැලි හැදිය යුතුය.

ඔහු හිටගෙන කරන දෑ ඇය හිදගෙන කළ යුතුය. ඔහු හදිසියේ තාප්පයකට බර දී පිට කරන් මුත්තරා සාම්පලය ඇය හරි හතරැස්ව කොටු වූ තැනක හිදගෙන කළ යුතුය. එසේම මසකට දින කිහිපයක් ඇයට කේන්තිය පාලනය කර ගැනීමට සිදුවන්නීය. ඔහු ට්‍රිප් එකක් ගිය විටෙක ජබොස් ගා දියට පැන්නද ඇයට එසේ පැනිය නොහැකිය. ඒවාට වෙනම සූදානම් වි ආ යුතුය.

ඇයට හොටු සීරීමට ටිෂූ අවශ්‍යය. මුහුන පිස දැමීමට වෙට් (wet) ටිෂූ අවශ්‍යය. එසේම කණ්නාඩියක්, පනාවක්, ලිප්ස්ටික් කූරක්, ඉංගිරිසි කතා පොතක්, පටලැවිච්ච හෑන්ඩ්ස් ෆ්‍රී එකක්, මිනරල් වෝටර් බෝතලයක් (බොහෝ විට වතුර නැත), නිය කපනයක්, තිබිය යුතුමය. එවා සියල්ල ඇත්තේ කිහිල්ල අස්සේ ගසාගෙන යන හෑන්ඩ් බෑගයේය. ඔහුව අවශ්‍යය ෆෝන් එක සහ පර්ස් එක පමනක්ය.

ඇයට තනිවම ගමන් බිමන් යාමට නොහැක. එසේම ඇදිරි වැටෙන්නට ප්‍රථම ඇය නිවසට රිංගා ගත යුතුමය. නැති නම් ලෝකේ එවුන් ගේ කතන්දරය. ඔහුට නළුවෙක් වන්නට හැකිය. එවිට ඔහුට ලෝකයෙන් කතන්දර හැදෙන්නේ නැතිය. එහෙත් ඇයට නිලියක් වීමට නොහැකිය. ලෝකයෙන් පමනක් නොව ගෙදර එකාලගෙනුත් කතන්දරය. නිලියක් තියා ඇයට ගායිකාවක්වත් වන්නට නොහැක්කේමය. 

ඔහු කුඩාකල සිට දගලමින් සෙල්ලම් කරමින් හැදෙන්නේය. ඇය කුඩා කල සිට සෙල්ලම් කළද, හදිසියේම ඇයව කුඩා කාමරයක සතියක් පමන නිවාස අඩස්සියේ තබන්නීය. ඉන්පසු ඇයව නහවා, කිරි ගසකට කොටා එලියට ගන්නීය. එදා පටන් ඇයට සෙල්ලම් තහනම්ය. කොලු ඇසුර සීමා වන්නීය.

ඇයට තම ඇද වටා ටෙඩී බෙයාර්, මිකී මවුස් වැනි සතුන් ඕනෑය. ඒවා විවිධ ප්‍රමාණයේ සහ විවිධ වර්ගයේ විය යුතුය. එවා ඇද වටේම තබාගෙන නිදා ගත යුතුය. ඇය දුක හිතුන විට අඩන්නේත්, හිනා වෙන්නේත් ඒවා බදාගෙනය. එසේ නැතිනම් ගෙදර පූස් තඩියෙක් හෝ බලු තඩියෙක් සිටි යුතුමය. ඌව බදාගෙන ඇය හිස අත ගාන්නීය. පොටෝ ගසන්නීය. එහෙත් ඌට කන්න දෙන්නේ ඌව නාවන්නේ ඔහුය. 

පසු කලෙක ඇයට පෙම්වතෙක් ලැබෙන්නීය. ඔහු ඇයට ආදරේය. ඇයද ඔහුට ආදරේය. ඔහුට වෙන කෙල්ලන් සමග ඇසුර ඇය තහනම් කළද, ඔහු ඇසුරු කරන්නේය. ඇයට වෙන කොල්ලන් ඇසුර ඔහු තහනම් නොකළද, ඇය වෙන කොල්ලන් සමග ඇසුරු නොකල යුතුය. චැට් කිරීම, ෆේස් බුකි රික්වෙස්ට් දැමීම සහ ඇක්සෙප්ට් කිරීම, සීමා සහිතය. පෙර දැනුම් දීමක් සිදු කළ යුතුය. එහෙත් මේ ඡේදයේ කරුණු ඇයට මෙන්ම ඔහුටද අදාල වෙනවාය. එනිසා මෙය, සුදුසු තැනට, සුදුසු පරිදි, සුදුසු කාලයක වෙනස් කර සිතා බැලිය යුතුය.

ඔහු විවාහයට පෙර නිදහස්ය. ඇලක - දොලක, ඔරුවක් - පාරුවක් ගියාට සටහනක් නොහිටින්නේය. එහෙත් ඇය විවාහයට පෙර නිදහස් නැත්තේය. වැට කඩොලු, බාධා සහ සීමා අනන්තය. ගලක කොටා සටහනක් තැබුවා සේ සියල්ල සටහන් වන්නේය.

විවාහයට පසු ඔහු ගේ නිදහස සීමිතය. වෙලාවට ගෙදර ආ යුතුය. යන තැනක ඇය හා යා යුතුය. නොකියා ගමන් තහනම්ය. මතට තිතය. එහෙත් ඇය විවාහයට පසු නිදහස්ය. කැළණි පාලම යටින් පොල් ලෙලි ගියාට සටහන් නැත්තේමය. සටහන් තියා පාලම වත් නොදන්නේය.

යාළු වූ විගස ඇයට විවාහ වන්නට ඕනේමය. පට්ට හදිස්සියක්ය. ඉන්පසු දරුවෙක් ඉල්ලා දගලන්නීය. එයද ලද පසු දරුවා අත දරා පැත්තකට වන්නීය.

Written by sAm_5.15pm_17.05.2012

ඇය සුළු මොහොතක සතුටක් වෙනුවෙන් ඔබෙන් යමක් ඉල්ලනවාය. විටෙක ඇය හමුවන්නට එන විට යමක් රැගෙන එන්නට කියනවාය. එවිට එය කරන්න බැහැ කියමින් ගැටුම් ඇති කර ගන්නවාට වඩා, ඇය සැනසීමට එය ඇය වෙනුවෙන් කරනු යහපත්ය.

ඒ ඇය යනු "සුළු මොහොතක් හෝ සතුටක් ලබන්නට කැමති මනුෂ්‍යයෙක් නිසාය."

Sunday, May 13, 2012

තරුණ හදවතක් ඇත්තෙකුගේ වියෝව වෙනුවෙනි...


කිසිවෙකු පිළිගන්නවාද අපි එකිනෙකාගේ ජීවිත එකිනෙකට සම්බන්ධ බව.. ?
සිදුවන සියළු සිද්ධීන් වල සම්බන්ධයක් ඇති බව ?

මොනවා වුනත් කියවා පිළිගත යුතුමය, ඔහු අප හැර ගිය වග....
අපේ ජීවිත හා සියළු සිද්ධීන් එකිනෙක සම්බන්ධ බව සෑමා තරයේ විශ්වාස කරන්නේය...

ඔබා මාමා ලංකාවට පැමිණ සිටියදී (අප්‍රේල් 22) බ්ලොග් අවකාශයේ මිතුරන් හා එක් වුයේය. එය සෑමා බ්ලොග් ලෝකයේ උත්සවයකට ගිය පළමු අවස්ථාවය. තමා දන්නා නොදුටු චරිත රැසක් දැක ගැනීමේ අදහස සෑමාට වුයේය. ඒ අතර චරිතයක් වූයේ ඔබා මාමාය. සෑමා ඔබා මාමා සොයා ගියේය. පොටෝවක්ද ගත්තේය.

කිරි පුතා - ඔබා මාමා - සෑමා

ඊයේ (12.05.2012) සෑමා කිටීගේ ලැප සම්බන්ධ ගැටළුවකට ඇය සිටින තැනම ඇගේ ලැප ඔන් කලේය. ඒ අතර සෑමා තම බ්ලොග ගැන ඇය සමග කතා කරන්නට වූයේය. ඇය සෑමාගේ ප්‍රථම රසිකාවියයි.

"ඔයාගෙ බ්ලොග බැලුවට අනිත් අයගෙ බ්ලොග් ගැන මම දන්නෙ නැහැනේ.." අවුරුදු උත්සවය වෙනුවෙන් පොඩි මෑන් දැමූ කතාකරන පොටෝ බැලු පසු ඇය කීවාය.

"ඉන්න මම පෙන්නන්නම් සිරා බ්ලෙග් ටිකක්" කියමින් සෑමා තම බ්ලොග් රොලෙන් බ්ලොග් කිහිපයක් පෙන්නද්දි...

"අහ් මේ තියෙන්නේ සත්තයි කුණු හරපයක් නෙවේ කියලා.. ඒක අපෙ ඔබා මාමාගේ බ්ලොග.." ඇයට අමුතුවෙන් ඔබා මාමා ගැන කිවිය යුතු නැත්තේය. සෑමා බ්ලොග් ලෝකයේ බහුතරයක් ගැන ඇයට කියා ඇත්තේය.

"මරු මරු.. මම දැන් ඉදන් ඔයා කියපු අලුත් ඒවත් බලනවා.." ඒ කිටීය.

"ඔබා මාම දාපු පරන ඒව බලන්න.. පොර දානවා මරු කතා..මේකත් මේ කුණුහරපයක් නෙවේ කිව්වට මට සැකයි මොනව හරි මගුලක් ඇති මේකෙත්. ඒත් මට තේරුනේ නැහැ.." ඒ සෑමාය.

මේ අපේ ඔබා මාමාගේ අන්තිම ලිපියේ ‍කමෙන්ටුයි
ඔබා මාමා සෑමාට කීවේ පොත් ගුල්ලා සහ සෑම් කියාය. එම පෝස්ටු අගින් අමුනා තිබ්බේ ඔබා මාමා  සහ ඔබී නැන්දා වෙනුවෙන් තම දියණිය විසින් ලියැවුණ පෝස්ටුවකි.

අද උදේ සෑමා සිටියේ ගම්පහය. ඒ ක්ලාස් එකක් තුලය. රස්තියාදුකාරයා, කිරිපුතා, කෝල් කළද සෑමාට ආන්සර් කිරීමට නොහැකි විය. ඉන්පසු සෑමාට රස්තියාදුකාරයාගෙන් කෙටි පණිවිඩයක් ලැබුනේය. එහි තිබ්බේ ඔබා මාමාගේ වියෝව පිළිබදවය. නැවතත් කෙටි පණිවිඩයකින් සෑමා ඇසුවේ ඇත්තද බං, කාගෙ හරි බයිටක් නෙවේ නේද කියාය. ඔහු එය ඇත්තක් බව කීවේය. 

පසුව රාජ්ගෙන්ද ලැබුන ඇමතුමෙන් කියැවුනේ එ‍ය සත්‍යයක් බවය. ඔහු කී පරිදි ඔබා මාමගේ දේහය ලංකාවට රැගෙන නොඑන බව දැනගන්නට ලැබින. මාරයා ඔබා මාමාගේ නිවසට යන බවක් කියවුණී. ඒ අනුව බ්ලොග් අවකාශයේ සියළු දෙනාගේ එක්කාසු වීමෙන් ඔබා මාමාගේ පරලොව ජීවිතය යහපත් වීමටත්, නිවන් සුව සාක්ෂාත් කර ගැනීමටත්, බණ පිංකමක් හෝ දානමය පිංකමක් කළ යුතු බව අදහස විය. 

"රාජ් මෙනව හරි දෙයක් වෙනව නම් කියපං, හැමෝම එකතු වෙලා අපේ අතිජාත මිත්‍රයා වෙනුවෙන් යමක් කරමු."

සෑමා ඊලගට කෝල් කලේ කිටීටය. ඇය ඔබා මාමා දැකලාවත් නැත. දැක තිබුනේ පොටෝ පමණි. ඇය පෙර දින බලාපොරොත්තුවෙන් සිටියේ ඔබා මාමාගේ රසිකාවියක් වී ඔබා මාමාගේ ලිපි කියවීමටය. ඇය සෑමා කීදේ සැබවින්ම විශ්වාස නොකළ බව කිය යුතුය. ඇයද එය විශ්වාස නොකළාය.

ගෙදර ආ සැටියේ සෑමා බ්ලොග් පුරා සැරි සරා ඔබා මාමා වෙනුවෙන් ලියැවුනු සහ බුකියේ ෂෙයාර් වුණු සියළු කරනු බැලුවේ හදවත සසල කරවමිනි. එය බුද්ධ දේශනාවේ එන "ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව සනාථ කරන්නකි."



මේ සෑමා අන්තිමට ලියූ සියළු ධර්මතාවයන් අනිත්‍යයි කියු පෝස්ටුවට ඔබා මාමා අද උදේ දැමූ කමෙන්ටුවකි. සියළු දේ අනිත්‍යය බව සැබෑමය. සෑමා මේ කෙමෙන්ටුවට රිප්ලයි කලාට බලන්නට ඔහු නැවත නොඑනු ඇත. එහෙත් ඔබ අප හදවත් තුල සදා අමරණීය බැව් කිවයුතුය. 

කිටීට කියවන්නට ඔබා මාමාගේ බ්ලොගේ අලුත් පෝස්ට් හෙට සිට නොවැටෙනු ඇත. අපේ කතන්දර අපි සමග බෙදා ගන්නට ඔබා මාමා අප ලග නොහිටිනු ඇත. එහෙත් අපේ ජීවිත, එකිනෙක සම්බන්ධ නිසා ඔබ අප අතර සිටිනු ඇත. නිවන් ලබන තුරා ඔබ අප අතර ද, අප ඔබ අතරද, මොහොතින් මොහොත හමුවෙනු ඇත. ඒ සියළු තැන් වලදී ඔබ සමග අපි සියල්ලෝම සිටින බැව් කිව යුතුය.

විශේෂ ස්තුතිය ඔබා මාමා ඇතුලු බහුතරයක් සෑමාට මුණ ගැස්සවූ සයිබරයේ සිහින බක් මහ උලෙල සංවිධානය කළ රාජ් ඇතුලු පිරිසට.

ලොවක් සැනසූ දෙඅත් නිසල විය
සිනහ සපිරි අප සිත් ද සසල විය
නිහඩව නිසලව බලා හිදින්නෙමු
ඉපිදෙන සිතැතිව නුඹ අප අතරම

නැගැබුරු මදහස් සියුම් සිනහවෙන්
මනුස්සකම පිරි නිසල දයාවෙන්
අප සිත් ඇමතූ සොදුරු ශ්‍රියාවෙන්
නිවන් පතන්නෙමු ‍නොකිලිටි සිතකින්

Written by sAm_6.55pm_13.05.2012_ :'(

පලි - ඔහු මිතුරන් එකතු කරන මැෂිමකි. සිත් පිනවන මිතුරෙකි. මිනිසුන් සමග හොදින් සිටීමට, යහපත්ව සුන්දර සිනාවකින් සිටීමට ඔ‍බ ගැන දන්නා අය ඔබව ආදර්ශයක් කර ගන්නා බව කිව යුතුමය.

Friday, May 11, 2012

නිමා නොවන නිමාවක්... - සෑමාගේ වෙසක් කලාපයක අවසානය


සියල්ලකම අවසානයක් ඇත්තේය. එය එසේ විය යුත්තේය. එය නම් බුද්ධ ධර්මයයි. සංසාර චක්‍රයේ අවසානය අප විසින්ම උදා කර ගත යුත්තේමය. නැතිනම් ගොනා පසුපස බැදි ගැල සේ නොනිමි චක්‍රයක අපට ගමන් කරන්නට සිදුවන්නේමය. 

බුදුන්ට මලක් පුදා මෙනෙහි කරන්නේ අනිත්‍යයය. සුවදවත් වූත්, අලංකාර වූත් මලක් අවසන වියලී යන්නා සේම අප ගතද දැවී යන්නේය, නැතොත් පොළවට පස් වන්නේමය. ජීවත්වන කාලේ ඇලී ගැලී සිටින සියල්ලෝම හුස්ම පොද අවසන් වූ දිනට ලග රැදෙන්නට පවා බිය වන්නෝය. එය එසේමය. සියල්ල අනිත්‍යමය.

සුවද දුම්, හදුන් කූරු, පහන් පවා අවසානයක් දකින්නේය. එලෙසම අප මෙනෙහි කරන්නේ ඉහත කී අනිත්‍යයමය. කරන්නට දෙයක් නැත. එකී අවසානයට මුහුන දිය යුත්තේමය. එවන් අවසානයකට බිය නොවන්නට දැන්ම තියා හොද දෑ කල යුතු බව පසක් කර ගත යුතුය. 

වෙසක් සතිය ආරම්භයේදී සෑමා වෙසක් කලාපයකට මුලු පිරුවේය. ඉහත කී සියළු කාරනා මගින් සෑමා අනිත්‍යය මතක් කලේ එලෙස ඇරබි වෙසක් කලාපය මෙලෙස අවසන් වන බවක් කීමටය. "උපන්නොත් මැරේමයි, නවත්වන්න නම් බෑ.. මරු මෙහි ආ දා නැත කිසි බාධා.. " ලෙසින් ගායනා කරන්නාක් සේම, සෑමාගේ වෙසක් කලාපයේ අවසානය මෙසේ සටහන් වන්නේය.

එකී වෙසක් කලාපය මගේ තනි උත්සාහයක ප්‍රථිඑලයක් බැව් කීම අසාධාරණය. ප්‍රථම පෝස්ටුවේ සිට වෙසක් කලාපය තුල සෑමාගේ බ්ලොගේ සැරිසරමින් අප්‍රමාණ කුසල් සම්පත්තියක් උපදවා ගත් ඔබ සැම වෙසක් කලාපයේ දායකත්වය දැරූ බව කිව යුත්තේමය. ඔබ දැමූ කමෙන්ටු එයට සාක්ෂි දරන්නේය. එසේම බිම්සර මලයා පේස්බුකියේදී මුණගැසී පෝස්ටුවක් ලෙස පලකරන්නට පොටෝවක් එවු බව කිව යුතුය. නැතිනම් සෑමා අසමජ්ජාතියා වන්නේය. එය පල නොකලේ නිර්මාණයේ සැබෑ අයිතිකරුවා නොදන්නා නිසා බව සදහන් කරනු කැමතිය.

සියල්ල සාර්ථකව එසේ සිදුවූයේ ඔබ සියළු දෙනාගේ උදව්වෙන් බව නැවතත් කිව යුතුය.

ඔක්කොම මෙතනින්...


සෑමාගේ වෙසක් කලාපයෙන්, සංවර වුනු සිතුවිලි වලින් නැවත සෑමාගේ බ්ලොග් ලෝකයට පිය නගමු..

පලි - වෙසක් කලාපට අතරතරදී පිටි කිරි, සිමෙන්ති, අදියේ වැඩි වීම, සහ ෆේස් බුකියේ පිස්සු හැදෙන සද ගෘප් එකෙන් බනියාට ඇද්ද ගේම වැනි සිද්ධීන් සදහා පෝස්ටු ලිවීම අමාරුවෙන් ඉවසා සිටියෙමි. මක්නිසාද වෙසක් කලාපයේ මෙත් සිතින් සිටිය යුතු නිසාවෙනි.

තෙරුවන්සරණයි.. !

Written by sAm_9.30pm_11.05.2012

හෙන්රි මහතා කමෙන්ටුවකින් කීවේ සෑමාගේ සූප්පු පොටෝවට කැමති බවක්ය. එය නැවත දැමිය යුතුද ?

** සෑමා ෆ‍ලෝ කරන බ්ලොග් රෝල දිග වැඩි නිසාත්, ඒ හැම එකම කියවන නිසාත්, සෑමාගේ බ්ලොගේ හැම කමෙන්ටුවකටම අකුරකින් හෝ රිප්ලයි කරන නිසාත්, ඔපීසියේ සිට ගෙදර ආවිට වැඩ ගොඩකි. පමාවට සමා වේවා **

දැන් හැමෝම කියනව වගේ 'ජය' කවුද දන්නෙ නැහැ මේක ඉගැන්නුවේ.. 'ජයෙන් ජය'

Wednesday, May 9, 2012

නෑයෝ සහ මීයෝ හදුනාගන්න - සෑමාගේ වෙසක් කලාපය


නෑයන් හා මීයන් හදුනා ගැනීමේ, අවස්ථා තුනක් - සිද්ධි තුනක්..

සිද්ධිය 01

"සෑම් මල්ලී මේ ටිකට් පොත විකුණල දෙනවද? මගෙ යාළුවා ඉන්දිකගේ මල්ලිගේ ඔළුවේ ඔපරේෂන් එකකට.." ඒ සෑමාගේ අම්මාගේ පැත්තේ සහෝදර අයියා කෙනෙකි.

"එකක් කීයද? පොතක ටිකට් කීයද?" ඒ සෑමාගේ ගණිත මොලයයි.

"එකක් සීයයි, ටිකට් විස්සයි."

"අම්මෝ බං.. එතකොට දෙදහක් නේ.. අනික සීයෙ ටිකට් විකුණන්න අමාරුයි. ටිකට් දහයෙ පොත් නැද්ද?" ඒ  නැවතත් සෑමාය.

"ටිකට් ‍දහයෙ පොත් නැහැ. ඒත් විස්සෙ පොතක දහයක් ඉතිරි වෙලා තියෙනවා එහෙනම් ඒක විකුණලා දියං.." ඒ ඥාති අයියාය.

"හරි එතකොට දාහයිනේ.. මම වැඩේ කරල දෙන්නම්.." රුපියල් සියය ගානේ ටිකට් දහයක්වත් විකිනෙන්නේ නැති බවට සෑමාට පට්ට ෂුවර්ය. එනිසා අතින් සල්ලි දෙන්නට හරි සෑමා පොත අතට ගත්තේය.

ටික දිනකින්..

"විකුණන්න බැරි වුනා බං.. කමක් නැහැ මම ගාන අතින් දෙන්නම්. මේ ටිකට් පොතත් විකුණ ගනින්" දින කිහිපයකින් එකී අයියා පැමිණි විට සෑමා රුපියල් දහසක් සමග නොවිකිණූ ටිකට් පොත ඥාති අයියා අතට පත් කළේය.

සිද්ධිය 02

සෑමාගේ අයියා දිනක් තම කාර් රථයේ ගමන් කරමින් සිටියදී මගදී හමුව ඇත්තේ ඉහත කී ඥාති අයියාගේ පියාගේ පැත්තේ සහෝදර මල්ලී කෙනෙකි.

"කොහෙද බං යන්නේ..." ඒ සෑමාගේ අයියාය.

"ගෙදර යනවා අයියේ.." ඒ අර මල්ලීය.

"මම ඒ පැත්තෙන් නෙවේ යන්නේ.. කමක් නැහැ නැගපං මම ගෙදරට ගිහින් දාන්නම්..." ඒ සෑමාගේ අයියාය.

"තැන්ක් යූ වේවා... එහෙනම් යමු..."

සිද්ධිය 03

සෑමාට ටිකට් පොත ගෙනා අයියා බණ්ඩාරවත්ත හන්දියේදි මුණ ගැසින. පොර සිටියේ පොරගේ කාර් රථයේය. ඒ අයියාගේ අම්මාද රථයේ විය. ලද ආරාධනයෙන් සෑමා රථයට නැගින. එකී ඥාතී අයියාගේ නිවස ඇත්තේ සෑමාගේ නිවසට බස් හෝල්ට් හතරක් පමණ මෙහාට වන්නටය.

"වෙලාවට බං උබ ආවේ මේ වෙලාවට බස් නැති ටයිම් එක" ඒ සෑමාගේ ස්තුතිවන්ත වචන කීපයයි.

වාස දේස ගැන කතිකා කරමින් ගමන් කිරීමෙන් පසු...

"මල්ලී අපි මෙතනින් හරවනවා.." පොර නොකියා කීවේ අපි හරවනවා බැහැපං කියාය.

"හරි හරි එහෙනම් අපි බැස්සා.. තව හෝල්ට් 4යි නේ තියෙන්නේ. මෙතනින් යන ගොඩක් එවුන් මාව දන්නවා... මම අතක් පයක් දාලා ඒ වාහනේක එල්ලෙන්නම්." සෑමා හීන් මඩ පහරක් ගැසුවේ, සෑමාට ඥාති නැතත් මිතුරෝ සිටින බැව් කීමටය.

එලෙස බැස සෑමා ෆෝන් එක අතට ගෙන කතා කලේ මිතුරෙකුටය. "හරි මචං මම එන්නම්" කියු මිතුරා සැනෙකින් තම බයික් එකේ සෑමා රැගෙන යාමට පැමිණියේය.

නොකියා කීවේ... -

* සෑමාගේ පැත්තෙන් උදව් කළ බව.
* සෑමාගේ අයියා නොයන මගක ගොස් ඥාති අයියාගේ සොයුරෙක්ට උපකාර කළ බව.
* එකී කළගුණ සැලකීම පිළිබද ඔවුනට දැනුමක් නොමැති බව.

එවන් ඥාතින්ගෙන් අපේ ජීවිතයට -

අප මහා බුදුරජානන්වහන්සේ දේශනා කලේ "විශ්වාසා පරමං ඥාතී" කියාය. උක්ත කී නොවැදගත් ඥාතීන් (සුළුතරය) වැඩක් නැත්තේමය. වැදගත් වුවත්, නොවැදගත් වුවත් සියල්ලට වුවමනා අවස්ථාවක උපකාර කිරීමට අමතක නොකළ යුත්තේමය. එය උතුම් මනුෂ්‍යය ගුණයකි.

ආරෝග්‍යා පරමං ලාභා
සන්තුඨි පරමං ධනං
විශ්වාසා පරමං ඥාතී
නිබ්බානං පරමං සුඛං

නීරෝගීකම උතුම්ම ලාභය වේ.
සතුට මවන ධනයක් නොම වේ.
නෑකම විශ්වාසය මත රැදවේ.
නිවනට සරිලන සුවයක් නොමවේ.

Written by sAm_9.50pm_09.05.2012

පලි - එකී අයියා ඉස්සර හොදය. පසුව වෙනස් වූ අපූරුව....

පපලි - කියවා ධර්මය තේරුම් ගැනීමට ය. සිත් නිවීමට මිස රිදවීමට නොවේමය.

Sunday, May 6, 2012

කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක් - සෑමාගේ වෙසක් කලාපය




සරාගික වූ සිත් බැම්ම මත
සැලෙන ලෙල දෙන පහන් සිල නුඹ
නිසල විල් තෙර අපිලිවෙල කළ
පියාපත් ලද වරා මල නුඹ


සිහිල් සුලගට තදින් සෙලවී
පරාජිත අදුරටත් ඉඩ දී
පලාතම අළු දුමින් නැහැවී
දිනෙක නිවෙනා පහන් සිලකී


නෙතින් දකිනා දසුන් අතරේ
සිතේ රැදි දසුනින්ම සසරේ
නිමා නොවනා පැතුම් අහු‍රේ
ලබන්නට පෙල ගැසෙයි මිතුරේ


දග දමා සිත් පෙම දවා
හති දමා සෙනේ උඩු දුවා
වැටි වැටි මහ දුර ගෙවා
හඩ හඩා ගති නුඹ වඩා


රැයෙහි සහක් පැතුම් පතමින
සිතින් නුඹ ලග කියා සිතමින
සතපමින් නුඹ යහන් කොනකින
ලබා ගත් සුව කෙලෙස කිව හැක?


මෙයැයි සැප යැයි බදාගෙන හිද
මොහොතෙ සුව දෙන ගතට පෙම් බැද
කප්පරක පව් පපුවෙ සිර කොට
පොට්ටනිය බැද නොනිමි ගමනක


මුලදි හඩනා කිරි දරුවෙකී
මගදි සුවදෙන යුවතියක් වී
පසුව දරු ලැබ පැත්තකට වී
හුස්ම යන්නට පෙරදි දිනදී
උතුරු සළුවට පෙම් බදින්නී


තිබුණි සිරුරට තදින් ඇලවී
සැවෙම ඒ දෙස බැලු හැරී
තනි පාට පච්චයත් මැලවී
තිබේ එනමුදු රැලි ගැසී
අද දුටොත් ඔබ යයි හැරී
වසමි සළුවෙන් ඔබ දකී


මගේ යැයි තදින් අල්ලාගත් කලෙක 'ඇය' අහෝ රසකි. උණුසුම, සිසිලස සමව බෙදුවේ ඇයය. ඒ මිහරි තවමත් මතකය. පපුව කෙලවකර ගැසූ  'ටැටූ'ව රැයෙහි සැර වැඩි කළ බැව් නම් සැබෑමය. අදුරේ දුටු කලෙක හුස්ම වැටෙන හඩ වැඩි කලේමය. හද ගැහෙන හඩ උද්දීපනය කලේමය. නොකිය යුතු දේද ‍එසේම පිබිදුනු  බැව් සැබෑමය.

ඒ ඇයම දරුවන්ට පෙමින් වැඩුනාය. ඔහුව අමතක නෙකළාය. පිරිස් මැදදී කිරි ඉල්ලා හඩන දරුවාට කිරි දෙන්නට මැලි නොවුනාය. විටෙක පපුවේ 'ටැටූ'ව සගවන්නට උත්සාහ කළාය. ඒ කිරි දරුවා කොනිති ගසන නිසා නෙව, තමාට ගැටළුවක් නොවුනත් බලන සමහරුන්ට ගැටළුවක් නිසාය.

ඒ ඇයම අද සියල්ල පසෙක දමා සිටින්නීය. මතකයන පමණක් ඉතිරිය. ඇය සිල් රෙද්දට පෙම් බදින්නීය. ඔහු ඇය හැර ගොස් හමාරය. ඒ ඔහු ස්භාව ධර්මයට අයත් කොටසක් නිසාවෙනි. රැලි වැටුනු ටැටූව හැට්ටය පවා නොරැදෙන උරහිසේ රැදි උතුරු සළුවෙන් වසන්නට ඇය වෙර දරන්නීය.

ජීවිතයට -

ඉපිද මැරේ
යලි ඉපිදේ
නොතිර සසර සාගරේ
අතර තුරේ
නොමැරී මැරේ
දස දහස් වරේ.....
-පණ්ඩිත් අමරදේව

ඇලීම්, බැදීම්, ගැටීම් සමග ගලන ජීවිතය තේරුම් ගත යුත්තේය. මොහෙතක සුව දෙන සියල්ල විටෙක සදාතනික දුක් දෙන්නේය. සියල්ල මැදහත් සිතින් විදගෙන සංසාර චක්‍රය කෙටි කර ගැනීමට උත්සුක විය යුත්තේය.

Written by sAm_1.25pm_06.05.2012

Saturday, May 5, 2012

කූඩුව අපි අරන් ආව පැටව් එක්කම... - සෑමාගේ වෙසක් කලාපය


සෑමාගේ වෙසක් කලාප‍ය වෙනුවෙන් ලියැවුණ පළමු ලිපියට ඉහල ප්‍රතිචාර ලද බව ප්‍රකාශකල යුත්තේමය. සියල්ල ගුණ දහම් දන්නා ඔබ නිසාමය. බණ කිව්වාට අසන, පිළිපදින ශ්‍රාවක පිරිසක් සිටිය යුත්තේමය. එසේම බණට දහමට ලැදි ඔබ නිසා සෑමා වෙසක් කලාපය ආරම්භ කලේය. එහෙත් මතක තබා ගත යුත්තක් ඇත්තේය. එය මෙසේය. "සෑමා බණ ටෝක්ස් නොදෙන්නේය. සිදුවූ අතීත මතකයන් සමාජයට යමක් ගතැකි අයුරින් ඉදිරිපත් කරන්නේය"



පෙර ලියු "කොයි යන්නේ සොරකම් කරලා" ලිපියේ සදහන් කළ, පොරොන්දු වුණ පෝස්ටුව මෙන්න.

සෑම වසරකදී වගේම 2006 වසරේද පාසලේ කූඩු තරගය ඇරඹුනේය. ඒ වසරේම කලින් ලිපියේ සදහන් කළ පවන්ගේ සොරකමද සිදු විණ. බුදුන් කළ දේවදත්තලා වැන්නවුන් සිටි නිසා එවන් සිදුවීම් මොහෙතකට අමිහිරි වුවද පසු කලෙකදී අමතකව යන්නේ වැරදිකරුවාට සමාව දෙන්නාක් මෙන්ය. නමුදු ගොනා පසුපස බැදි ගැල සේ සියළු හොද, නරක කර්ම තමා පසුපස ලුහුබදින බව නම් සම්බුද්ධ දේශනාවේ සදහන්ය.

එ‍හා පන්තියේ කූඩුවට උර දෙමින් කටයුතු කලේ අපේ දෝදුවා, කොත්තා, සහ පුෂ්පේය. තවත් බොහෝදෙනා ඒ අතර සිටි නමුදු බ්ලොගේ ප්‍රසිද්ධ ඉහත නම් තුන නිසා අනෙක් නම් සදහන් නොකළ බැව් කිව යුතුය. කුඩු තරගය තිබෙන භූමියේ ඔවුන් බිම් සකසමින්, කාමර වෙනකරමින් සිටියද පෙනෙන්නට කූඩුවක් නොතිබුනේය. එනිසාම අපේ පන්තියේ එවුන් විස්තර සොයන්නට උත්සුක වීම සාධරණය. ඔවුන්ගේ පන්තිභාරව සිටියේ ෆිසික්ස් ගුරුතුමියක්ය. පාඩම කරනවාට කම්මැලි වූ විට එහා පන්තියේ මිතුරෝ කරන්නේ ටීචර්ගේ කාර් එක ගැන කියවීමය. ඒ පිළිබදව කතා කරනවිට ටීචර්ට පාඩම් වැඩක් නැත්තේය. ඇය කරන්නේ කොල්ලන් සමග පුරාජේරු ගැසීම සහ කාර් එකේ ඇති ගැජට් ගැන කියවීමය. එහෙත් සදහන් කළයුතුම දෙයක් සදහන් නොකර සිටීම වැරදි නිසා මෙසේ කිව යුතුය. "ඇය ගුරුවරියක ලෙස තම පන්තිය (සාධාරණය) වෙනුවෙන් ඉදිරිපත් වන්නීය. සෑමාගේ පන්තියේ සිටි ගුරුවරයා සහ ඇය අතර එය කැපී පෙනෙන වෙනසක්ය"

අපේ පන්තියේ එකාලා 'පු'යන්න සහ 'ක'යන්න ඉරාගෙන වැඩ කලෝය. එහෙත් එහා පන්තියේ වැඩ යන්නේ හැංගි හොරාය. අපේ ගෙවල් පැත්තේ ඉන්නා පුෂ්පේ වැඩේ කරට අරන් කරන බවක් පෙනෙන්නට තිබුනේය. 

"මචං උබල කූඩුව ගහන්නෙ නැද්ද??" ඒ අපේ එකෙක්ය.

"ගහනව බං.. අපි ‍එකතු වෙලා ගෙවල්වල හදලා තමා මෙහෙ ගෙනත් සෙට් කරන්නේ. පොඩි කූඩු වෙන වෙනම කට්ටිය බෙදාගෙන හදනවා. ලොකු එක විතරක් මෙහෙ ගහනවා" ඒ එහා පන්තියේ පිළිතුරයි.

"අම්මද බොල.. උබලා අපි කොපි කරයි කියලද එහෙම කරන්නේ.."

එකී විවිධ කතන්දර යටතේ දින ගෙවෙද්දී සෑමාට තම ගෙවල් පැත්තේ සිටින "බන්ටී" නම් මිත්‍රයා මුණ ගැසින. පොර සිටියේ අපේ පාසලේ නෙවේය. බන්ටියාගේ නිවස තියෙන්නේද අපේ පුෂ්පේගේ නිවස අසල නිසාම බන්ටියා දුටුවිට සෑමා අසන්නේ පුෂ්පේ ගැනය. බන්ටියා එක් වරක් සෑමාගේ ගමේ කැරකෙන කූඩුවක් ගැසුවේය. එය අසලම දන්සැලක්ද දුන් බව සෑමාට හොදටම මතකය.

"කෝ බං පුෂ්පේ දැක්කෙ නැද්ද?" බන්ටියා දුටු විට සැමදාම වාගේ අසන සුපුරුදු ප්‍රශ්නය සෑමා ඇසීය.

"හිටියා බං.. මම පාර පැත්තට එද්දිත් මම දැක්ක ඉන්නවා." ඒ බන්ටීය.

"එහෙමද? මේ පාර කොල්ල ඉස්කෝලෙ කූඩුවට බැහැල වැඩ බං. උබල ගහන්නෙ නැද්ද උබලගෙ කූඩුව.." ඒ සෑමාය.

"නැහැ බං අපේ කුඩුව ගහන්න වෙලාවක් නැහැ මේ පාර... අහ් පුෂ්පෙ කිව්ව තමා ඉස්කොලෙ කූඩුවක් ගහනව කියල. මම කිව්ව අපේ ගියපාර කූඩුව අරන් පලයන් කියල. ඒක කම්බිවලින් ගහපු නිසා අවුලක් නැහැ බං හොදට තියෙනවා..." වැදගත් හෝඩුවාවක් පැන්නේ බන්ටියාගෙ කටින්ය.

"ඉතිං බන්ටියා පොර අරන් ගියාද කූඩුව?" සෑමා ෂර්ලොක් හෝම්ස් විය.

"නැතුව බං. පොඩි කූඩු 12 අරන් ගියා. ලොකු එක මොනව හරි කර ගන්නම් කිව්වේ.." ඒ බන්ටියාය.

"මචං උබල ගියපාර හදපු, ඒ කූඩුවේ පොටෝ ගැහුවද? " සෑමා සාක්ෂි රැස්කරන්නට තැත් කලේය.

"ඔව් මචං තියෙනවා. ගෙදර මැෂින් එකේ ඇති." බන්ටියගේ ඒ පිළිතුරු ප්‍රමානවත්ය. අවශ්‍යය විටක ඒවා භාවිත කළහැකි බව සෑමාට සිහිවිය.

බන්ටියා සමුගත්තේය. පසුවදා උදාවූයේ එහා පන්තියට අවාසනාවන්ත සදුදාවක්ය. සෑමා පන්තිය පුරාම ගිණි තිබ්බේය. එයට උපකාරයක් ලෙස සෑමාගේ පන්තියේම තරිදු සිටියේය. ඔහුද සෑමාගේ ගෙවල් ලගය. එසේම බන්ටියා ඔහුගේද මිතුරාය. එහා පන්තියට කට උත්තර නැති විය. එහෙත් ඔවුන් පුන පුනා කීවේ මෙය එය සාවද්‍යය බවක්ය. පන්තිය පුරා පැතිරුණ ගින්න ගුරුවරුන් අතරද පැතිරුනේය. එහා පන්තියේ ටීචර් සෑමා දෙස බැලුවේ පුපුරා යන ආදරයෙන්ය. සෑමා ඇය සමග කවදාවත් නැති සෙනෙහසින් සිනාසුනේය. කූඩුවේ කතන්දරය ෂෙක්ෂන් එක පුරාමද, පාසලේ යම් තාක් දුරකටද පැතිර යන්නට වැඩි කාලයක් ගත නොවුනේය. කොමර්ස් ක්ලාස් වල ඉන්නා බොහොමයක්ද එහා පන්තියේ කොල්ලන්ට විහිළු කරන්නට පටන් ගත්තේය. 

දැන් සෑමාට මොහොතකට සිතුනේ කළ වැඩේ හරි නැතිය කියාය. උන්ට ඔහෙ ඕනෙ මගුලක් කරගනින් කියලා ඉන්න තිබුණා යැයි සිතුනේය. එහෙත් දැන් එය නැවැත් වුවහොත් සෑමා නිකරුනේ බොරු කාරයෙක් වෙනු නියතය. ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි ඇති නිසාම සෑමා වෙන දෙයක් වෙන්නට දී බලා සිටියේය.

සියල්ල එසේ තිබියදී ඔවුන්ට වෙන්වූ තරග භූමියේ  මව් කූඩුව ගැසීම ඇරඹුනේය. පැටව් ටික ඉස්සුවාට මව් කූඩුව තම නිර්මාණයක් වීම ඔවුන්ට අස්වැසිල්ලක් වන්නට ඇත්තේය. එනිසාම සියල්ලට පේන්නට මව් කූඩුවු සෑදීම ඇබුනේය. එදා මැත්ස් පන්ති දෙකම හවස් වෙන තුරුම වැඩ ක‍ලෝය. ඒ අතර සවස් ජාමේ කොත්තාගේ ගෙදර තිබුණ ඉබ්බා කාර් එක පැමිණ පාසලෙන් පිටත නැවත්වීය. ඒ අතර එහා පන්තියේ එක එකා ගොස් හොර හොරෙන් එහි තිබුන පැටව් කූඩු පාසල තුලට රැගෙන ආ බව අපේ පන්තියේ බහුතරයක් දුටුවේය. මුකුත් කියන්නට බැරිය ඔවුන් ප්‍රසිද්ධියේ කලින්ම කීවේ කූඩු වෙන වෙනම ගෙවල් වල සාදා ගෙනෙන බවක්ය. වෙන වෙනම ගෙවල් වල කම්බිවලින් සැදූ එකම කූඩු, එකම ප්‍රමාණයෙන්, එකම කැටයම් සහිතව අලවා තිබීම පුදුම සහගතය.

සියළු කටකතා සහ තොරතුරු මැද ඔවුන් ගේ පන්තිය කූඩුව ගසද්දී අපේ පන්තියෙන් සුපුරුදු පරිදි සිදුවීමට අදාලව ගීතයක් නිර්මාණය වුවේය. එය ඒ කාලේ හිට් එකක වුණ "චාමර වීරසිංහ මහතාගේ දකුණේ පිං ඇති පිං බිම" ගීතයේ තනුවට හැදුන එකක්ය.

බොල්ලෑගල හැදුවා වූ පහන් කූඩුව
සමාවෙන්න වරාගොඩට රැගෙන ආවට
කාර් එකක පටවාගෙන පාර දිගේම....අ...
කූඩුව අපි අරන් ආව පැටව් එක්කම

පිහිට වෙලා ප්ලේස් ගන්න අපේ කූඩුව
පගාව ගත් ගනේපොලත් හිටියෙ නැහැ ලග
ප්ලේස් නැතිව කුජීත වී ගියා වගේම....අ...
අපිවත් බිලි ගත්තා නම් දුකක් නැහැ මට

මේ ගීතය ෂෙක්ෂන් එක පුරා රැව් පිලිරැව් දෙන්නට විය. එහා පන්තියේ එවුන් සියල්ල විද දරාගෙන කූඩුව නිමැවූහ. ඒ අතරතුර සිදුවීම් වලදී බහින් බස් වීමකදී දෝදුවාට අපේ පන්තියේ අයෙක් කම්මල් පහරක්ද දුන්නා සෑමාට මතකය. එය සෑමාට පසුතැවිලි වීමට තරම් කාරණයක් බැව් සැබෑය. මොනවා වුනත් දෝදු ‍‍හොද එකාය. සියල්ල අභිබවා එම කූඩුව ෂෙක්ෂන් එකේ ප්‍රථම ස්ථානය ලබාගත්තෝය. සහතික පත්‍රවලට අමතර පන්තියටම විශාල රසවත් කේක් එකක්ද ලැබුනේය. එය එම පන්තියේ කස්ටිය බෙදාගෙන කද්දී කොමර්ස් පන්තිවලින් කලේ අමතක නොවන ක්‍රියාවක්ය. කොමර්ස් පන්තිවල සෙට් එක තම තමන්ගේ ධන පරිත්‍යාගයෙන් ෂෙක්ෂන් එකටම මදිනොකියන්නට කේක් බෙදූවෝය. ගුරුවරුන්ටද කේක් බෙදුවෝය. එය කලේ විනිෂ්චයේ අඩු ලුහුඩු කම් උලුප්පා දැක්වීමට බව නොරහසක්ය.

ජීවිතයට - 

කිසිවෙකුගේ වරදක් දැක පෙන්වා දීම කළයුත්තේ සිත් රිදවන ආකාරයෙන් නොවේය. එසේ නැතිව සිත් රිදවන ආකාරයෙන් වැරදි පෙන්වා දුන්න‍හොත් එවිට හට ගන්නේ වෛරයක්මය. 

අත්වැඩ පරවැඩ සමව සිතන්නේ
මෙත්සිත සව්සත කෙරෙහි කරන්නේ
ඒත් බැරි නම් තොප සසර ගෙවන්නේ
සෙත් පුර සැප කෙලෙසකද ලබන්නේ

"තමන්ගේ යහපත මෙන්ම අනුන්ගේ යහපතද සමසේ සිතා සියලු සත්වයා කෙරෙහි මෛත්‍රිය වඩන්න. එයත් නොහැකි නම් සංසාරයෙන් මිදීමක් නැත. ශාන්ත සුන්දර නිවන් පුර සැප කෙසේ ලබන්නද." - ලෝවැඩ සගරාව

ඉස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස
කුසලට මදකුත් පමා නොවනු මිස
මෙසසර අත්හැර නොයන මෙදුක් රැස
වෙසෙසින් නැත අත්හරිනා උපදෙස

"හිස ගිනිගත් තැනැත්තෙක් එම ගින්න නිවා දැමීමට ඉක්මන් කරන්නා සේ පින් රැස් කිරීමෙහි පොඩි ප්‍රමාදයක් හෝ නොකලොත් මිස මේ සංසාරය අත් නොහරින්නා වු දුක් සමූහය අත්හරින්නා වූ වෙනත් උපදේශයක් නැත. " - ලෝවැඩ සගරාව

තෙමගුල සමරන වෙසක් මහේ - ඔබ සිත් සනසමි බැතින් මෙසේ
සෑමා සියළු සිත් සැනසීමට, සතියක් පුරාවට දහම් කරුණු පූජා කරන වගයි.

පලි - ඉස්සර බට කපා, සව්කොල අලවා, හදන කූඩුවේ රසය දැන් තිබෙන්නේ ස්වල්පයක් වූ නිවෙස් වල පමනක්ය. කඩෙන් මුදලට ගන්නා කූඩු නිවෙස්වල දිදුලන්නේ දැන් ජීවත්වන මිනිසුන් දහඩිය බිදක් බුදුහි‍මි වෙනුවෙන් නොහෙලන නිසාය. කාර්‍යය බහුලත්වය මත වැලැක්විය නොහැකි හේතු රාශියකි. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වටිනා බැව් සැබෑමය. කූඩු තනන්නට වෙලාවක් නැත්තෝ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ පින්/කුසල් වැඩීමට අවස්ථාව උදාකරගනිත්වා.

Written by sAm_05.05.2012_12.15pm

Wednesday, May 2, 2012

කොයි යන්නෙද සොරකම් කරලා - සෑමාගේ වෙසක් කලාපය


http://www.sundayobserver.lk/2010/05/23/mag01.asp


10 සහ 11 වසරේදී සෑමා සමග එක පන්තියේ සිටි කොත්තා ගැන නොදන්නා කෙනෙක් නැත්තේය. එසේ සිටී නම් ලින්කුවෙන් කොත්තාගේ නයිට් රයිඩර් සර්කිට් එක ගැන දැන ගත හැක්කේය. එවිට කොත්තා සහ සාලියගේ බද්ධ මිත්‍රත්වය ගැනද කිව යුතු නැත්තේය. අප 11-බී පන්තියේ සිටියදි 11-ඒ පන්තියේ සිටි තදයා වුයේ 'ජම්බුවාය' මැරයා කිව්වාට ජම්බුවා හොද එකාය. දිනක් පාසල් පිට්ටනියේ වැටී තිබු අයිස් පැකට්ටුවක් වැලි පිසදා හෝදා අතට ගත් සාලිය සහ සෑමා එය ජම්බුවාට දුන්නේ මිතුරු කම වැඩි කර ගැනීමටය. එය සාර්ථක විය. ජම්බුවා හිතුවේ අයිස් පැකැට්ටුව පිරිසිදු ප්‍රණීත එකක් කියාය. එදින සිට දින කිහිපයක් ජම්බුවා අප සමග ෆිට් වුවත් සාලියගේ නොහොබිනා කට නිසා එකී කාර්යත් ලීක් වී ගුටි නොකා බේරුනේ අහිංසක සෑමාය.

එක් වෙසක් සමයෙක එහා පන්තියේ කූඩුව සැදීමට විවධ බලපෑම් මත අපේ කොත්තාව ඉලෙක්ට්‍රික් වැඩ සදහා යොදා ගත්තේ ජම්බුවා විසින්ය. එය සාලි සහ සෑමාට උසුලා ගත නොහැකි වේදනාවක් එක් කරන්නක් විය. අපේ පන්තියේ අසාර්ථක කූඩුවක් තිබියදී කොත්තා එහා පන්තියේ කූඩුවක් වයරින් කිරීම ඛේදනීය බව සෑමා සාලි සමග කතිකා කලේය. එකල්හි කොත්තා සතුව ඉලෙක්ට්‍රික් උපකරන රැසක් විය. ඒ අතර වයරින් වැඩ සදහා පෙරමුණ ගත්තේ දෙපැත්තෙන් ඇල්ලූ විට පත්තු ‍වන ටෙස්ටරයක්ය. එය අප නිවසේ එදිනෙදා භාවිත කරන ජාතියේ එකක් නොවුනේය. ටෙස්ටරයේ තුඩ සහ අනෙක් කෙලවර එකම පුද්ගලයෙකු ඇල්ලූ විට බල්බයක් පත්තු වන්නේය. එය කූඩු වයරින් කිරීමේදී (ෆ්ලෑෂ්ෂර් කොට තුලින්) විදුලිය ගමන් කිරීම බලාගතැකි සාර්ථක උපක්‍රමයක් විය. කොත්තා එවන් උපකරනයක් සහිතව එහා පන්තියට වී වයරින් කලේ අපටත් වැඩ දමමින්ය.

අපේ අසාර්ථක කුඩුවක් තිබියදී කොත්තා එහා පන්තියේ කූඩුව වයරින් කරන්නේය. සාලි සහ සෑමා උපක්‍රම යෙදුවේය. "මචං ගනිං ‍හොද කම්බි කෑලි ටිකක්" කියමින් සාලි කම්බි ගුලි සැදු‍වේය. එවන් ගුලි කිහිපයක් රැගෙන දෙදෙනා එහා පන්තියට පැන්නෝය. සාලි සහ සෑමා සාක්කුවෙන් හොරන් අතට ගත් ගුලි කිහිපයක් පරිවාර කූඩු එල්ලන හෝල්ඩර් අස්සේ එබුවේ ෂෝට් වෙන ආකාරයටය. වයරින් සියල්ල අවසන කොත්තා ටෙස්ටරය තබා බලද්දීද සෑමා සහ සාලි එතැන සිට කොත්තාගේ මොලය ෂෝට් වනු බලා සිටියෝය. අවසානේ හෝල්ඩරයට බල්බ දමා චෙක් කරන්නට ගිය විට කොත්තාට වැඩේ මීටර් විය. දෙදෙනාම ගුටි නොකා අස්ථාන ගත වීමට එය අවස්ථාවක් කර ගත් බව සැබෑමය.

එසේ කාලය ගෙවී ආවේ 13 වසරේ කූඩු තරගයටය. එය මහා විප්ලවකාරී වූවා සැක නැත්තේය. වෙසක් බැති ගී වෙනුවට ගීත දෙකක් ලියවෙන්නට තරම් හේතු වූ කතන්දර කිහිපයක් උත්පාදනය කලේ ඒ වසරේ වෙසක් උත්සවය බව කිව යුත්තේමය. එහෙව් වෙසක් කූඩු තරගයේ ප්‍රථම කතාව මෙසේය.

එහා පන්තියේ පරිවාර කූඩු රැගත් මහා පහන් කූඩුවක් තැනෙන බවට ආරංචි, කටකතා පැතිරුනේ රතිඤ්ඤා නූලකට ගිණිගත් කලෙක මෙන්ය. (එහා පන්තිය කූඩුව සෑදිමට කළ ප්‍රෝඩාව සහ ඊට ලියවුනු ගීතය ඊලග වෙසක් කලාප ලිපියෙන් බලාපොරොත්තුවන්න) 11 වසරේදී අපේ පන්තියේ සිට අල්ලපු පන්තියේ වයරින් වැඩ කරපු කොත්තාද සිටියේ මෙවර එහා පන්තියේය. එනිසා කරන්නට දෙයක් නැත්තේය. සෑමාගේ පන්තියේ එකාලත් කූඩුවක් තනන්නට මුල පිරූහ.

මහ කූඩුව යකඩ වලින් ගැසීම සම්පූර්ණ කුඩුවේ ශක්තිය වර්ධනයට මහත් රුකුලක් බව කිවයුතු නැත්තේය. අප ශරීර කූඩුව අස්ථිරය. ලොව කිසිත් ස්ථිර නැත්තේමය. එහෙත් එවන් සරීර කූඩුව පවා රැදී ඇත්තේ ශක්තිමත්ව සැදුන ඇට සැකිල්ල නිසාමය. එනිසා මහ කූඩුව යකඩින් නිමවීමට සෑමාගේ පන්තියේ ඉංජිනේරුවෝ කතිකා කර ගත්තෝය. සුපුරුදු පරිදි පන්තියේ සුළුතරයක් බර කරට ගෙන වැඩ කරද්දී අනිත් එකාලා ආතල් ගත්තෝය. එය සදාතනික සත්‍යයක්ය. බහුතරයක් ලෞකික සැපේ එල්බගෙන සිටියදී අති මහත් බාධා මැඩගෙන නිර්වාන සත්‍යය සොයන්නාවු සුළුතර පිරිසක්ද සිටින බැවි පිලිගත යුත්තේය. එසේ ආතල් ගන්න පිරිස අතර සෑමා ඇතුලු පිරිස සිටියද, එය ප්‍රධන කාර්යයට බාධාවක් නොගැනීමට සියල්ලෝම සමත් වීය.

නම සදහන් කළ නොහැකි නිසාම "පහන්" ලෙස හදුන්වන පුද්ගලයා සෑමාගේ ඉස්කෝලයට ආවේ 13 වසර දීය. පොර කියවන්නේ බොදු පොත්ය. ආගමට දහමට ලැදිය. යමෙක් හිස් වචන, පරුෂ වචන තෙපලන්නේද හේ තම සවන් පත් පියා ගන්නේය. එය හැදුන දරුවෙකුගේ ලක්ෂන බැව් හෙතෙම පැවසීය. කිසිවෙකුගේ දැහිමි දිවියට බාධා කරන්නට අපට වුවමනා නැත්තේය. එනිසාම ඔහු ඉදිරියේ ඔහුට සරිලන ලෙසට උතුරු සලු පොරවා ගන්නට බහුතරයක් උත්සාහ ගත්තෝය.

"මචං මේකට වැල්ඩින් ඩොට් එකක් තියාගෙන එන්න ඕනේ.." ඒ කීවේ ඉංජිනේරු මහතෙක්ය. මහා කූඩුව වීල් එක (රිම් එක) උඩ සැදීමට පෙර මැදින් යකට බටයක් සවිකරන්නේ නොසෙල්වෙන ලෙස උඩින් ගැට ගසා තැබීමටය. ඉංජිනේරුවන් ගේ දැනුම හා භාවිත කරන ශිල්ප ක්‍රම අනුව සියල්ල වෙනස් වන බැව් කිය යුතුය.

"මචං මෙන්න චාන්ස් එකක් එලියට පනින්න.." එවර කීවේ සෑමාගේ යාළුවෙක්ය.

"හරි මචං අපි ගිහින් වැල්ඩින් කරන් එන්නම්. උඹල මෙහෙ වැඩ ඉවරයක් කරපං." සෑමා, මාකා, කස්සා, කොටා, කලස්, ගලයා.... ඇතුලු සෙට් එකක් ඉස්සර විය. සියල්ලෝම යකඩ බට, රිම් උස්සගෙන ගේට්ටුවෙන් එලියට පැන අසලම ඇති වින්කලයට රිංගා ගත්හ.

වැල්ඩින් ඩොට් එක තියන අතර තුර අපේ සහයට ආවේ 'පවන්'ය. අප‍රාදෙ කියන්නට බැරිය. වින්කලේ අයියා වැල්ඩින් කොට අපෙන් මුදල්ද එපා කීවේය. ඒ පිං අතේ වැඩක් නිසා විය හැකිය. සියළු කාරණා අහවරව අප පාසලට රිංගා ගත්තේ වැඩිපුර වේලාවක් එලියේ නිදහස විදගත් පසුය.

පැයක් යන්නට පෙර අපේ පන්තියටම ආවේ වින්කලේ අයියාය. පොර ආවේ කලබලයෙන්ය.

"ඇයි අයියේ මොකෑ සීන් එක??"

"අයියේ?? තමුසෙල මාර මල්ලිලා තමයි. උදව්වක් කලාම ඔහොමද අපිට සලකන්නේ???" සියල්ලෝම අන්දොස්ය.

"ඇයි අයියේ මොකද වුනේ??" හැමෝටම ඇති ප්‍රශ්නය ඇසුවේ මාකාය. ඒ අතර අපේ ටීචර්ලාද එතනැට රොක් වීය.

"බලන්න සර්.. මම මේ ගොල්ලන්ට වැඩේ නිකං කරල දුන්නා. එතනට ආවා පස් හය දෙනෙක්. කවුරු හරි එකෙක් මගේ ෆෝන් එක උස්සලා."

සරලව කීවොත් මෙසේය. අයියාගේ ෆෝන් එක චාර්ජ් වෙන්නට දොර අසල ෆ්ලග් එකේ ගසා තිබී ඇත්තේය. අප ගිහින් ආ පසු ෆෝන් එක මිසින්ය. කරන්නට දෙයක් නැත්තේය. සියල්ලෝම මිතුරන් නිසා සැක කරන්නට කිසිවෙක් නැත්තේය. අප සියල්ලෝම අමු අමුවේ කීවේ චෙක් කර බලන්න එකෙක්වත් ගත්තේ නැහැ කියාමය.

මේ අතර නොකියා බැරිම සිදුවීමක් වුයේය. අපේ පන්තිභාර පියල් මහතා පරීක්ෂන නැතිවම ඇගිල්ල දිගු කලේ මා මිතුරෙක්ටය. එය පෞද්ගලික තරහක් පිරිමැසීමක් බව සියල්ලටම පසක් වී එතුමා ප්‍රසිද්ධියේ නිරුවත් වූ බව කිව යුත්තේය.

අයියාගේ ‍ෆෝන් එක සැම්සුන් ය. ස්ක්‍රීන් එක නිල්පාටට පත්තු වෙන එකක්ය. එය පාසල තුලම ඇති බවට ඔහු කීවේ දෙතුන් පාරක් කෝල් කළ විට ෆෝන් එක  කිසිවෙක් ආන්සර් කොට කට් කර ඇති නිසාය. එවිට ඔහුට පාසලේ ලමුන් කෑගසන්නාක් මෙන් හඩ ඇසී ඇත්තේය. වින්කලයට ගිය සැවොම ඉන් පසුද එකට සිටි නිසා ෆෝන් එකක් ආන්සර් කරන්නට තියා ලග තබා ගත්තද අනෙක් අය දැන ගන්නවා ෂුවර්ය.

සියල්ල එසේ වෙද්දී පරීක්ෂන ඇරඹුනේය. අපට නම් සැක කරන්නට කිසිවෙකුත් නැත්තේය. ඒ සියල්ලෝම මිතුරෝ නිසාය. අනික එහෙව් බලු වැඩක් කරන අයෙක් සෑමාගේ සෙට් එකේ නැති නිසාමය. කරුණු කරනා එසේ තිබියදී සාධාරන සැකය යොමු වූයේ අපේ සෙට් එකේ නැති පවන් දෙසටය. පෙර අපිත් එක්ක ගමනක් බිමනක් නොයන්නේය. එහෙව් එකා එදා අපේ පස්සෙන් ආවේ වැඩේ අතරතුරදීය. එසේම පොර මගදී වැඩේ අතැර පිටත් වුවේය. එහෙත් පවන් වැඩේ කලා යැයි අපිට කිව නොහැක්කේය. එනිසා සද්ද වසා සෝදිසියෙන් සිටියේ පොරගේ කටයුතු ගැනය.

එහෙත් පොර කීවේ "මොනව වුනත් කැ** වැඩේ බං. ඒ අයිය අපිට උදව් කරද්දී කවුද බං ෆෝන් එක උස්සපු එකා.." කියාය.

වින්කලේ අයියා පොලිසි යනවා කියා පිටත් වුවේය. කාලය ගෙවෙද්දි පවන් තම ඥාති සොයුරියකගේ පන්තියකට ගියේය. ඇය සිටියේ (මතක හැටියට) 7 වසරේය. අපේ එකෙක් ‍ෆ‍ලෝ එකේ සිට හොරය අල්ලා ගත්තේය. පවන් ෆෝන් එක උස්සා කලින් පාසලට පැමින ෆෝන් එක නංගීට පවරා ඇත්තේය. ඕෆ් කර දුන් ෆෝන් එක ඇය ඔන් කර බලා ඇත්තේය. එනිසා වැඩේ අජපල් විය. සියළු පැහැදිලි කිරීම් මැද නංගී සහ අයියා විත්ති කූඩුවේ සිටියදී වරදකරුවන් බවට පත්වීය.

පවන් සියළු දෙනා ඉදිරියේ කොන් වූවේය. ඒ අපේ සෙට් එකත් නෝන්ඩි කළ නිසාමය. ඒ සමගම අපේ පන්තියේ පවන්ට ගීතයක් ලියවුනේය. ටී.එම් මහතාගේ "සැනසුම් සුසුමන් පාවීලා" ගීතයේ තාලයට එය ලියැවුනේය.

Samsung සුසුමන් පාවීලා
වැල්ඩින් වතුරෙන් නෑවිලා
වින්කල් අස්සෙන් රිංගාලා
කොයි යන්නෙද සොරකම් කරලා

ජීවිතයට -

සොරකම හෙවත් අදත්තාදානය නොකල යුත්තේමය. එය මෙලොව හෝ පරලොවදී විපාක දෙන අකුසලයක් බව දත යුත්තේය. පව් කිරීමට ලැජ්ජා වීමත්, බය වීමත් පවින් වැලකීමට ‍හොදම උපායයි.

අන්සතු සැපතක් දැක දළ ලොබිනේ
උන්ට නොවී මට වේවයි සිතිනේ
උන් කල ඒ සිත හටගත් පවිනේ
උන් මතු නිරයේ දුක්මයි විදිනේ

"අනුන් සතු සැප සම්පත් දැක එය ඔවුන්ට නොව තමාට හිමිවේවායි දැඩි ලොබයෙන් සිතන්නේ නම් එයින් හටගත් පාපකර්මය නිසා ඒ අය නිරයේ දුක් විඳින්නේමය."
- ලෝවැඩ සගරාව-

පලි - දහම්පාසල් ධර්මාචාර්යය විභාගය දක්වා ප්‍රයෝජනවත් දහම් කවි, ගාථා රැසක් පාඩම් කරවූ හය වසරේ දහම් පාසල් පන්තියේ සෑමාට ඉගැන්වූ 'සමන්මලී' අක්කා (ටීචර්) ආදරයෙන් මතක් කරමි. ඇයව වසර ගණනාවකින් නොදුටුවද ඇය පාඩම් කරවූ ගාථා,සූත්‍ර සහ දහම් කවි බොහොමයක් තවමත් පාඩම්ය. ඔබට පිං.

තෙමගුල සමරන වෙසක් මහේ - ඔබ සිත් සනසමි බැතින් මෙසේ
සෑමා සියළු සිත් සැනසීමට, සතියක් පුරාවට දහම් කරුණු පූජා කරන වගයි.

පහුගිය පෝස්ටුවේදී කියන්න අමතක වුණා. ඒක තමා සෑමාගේ 100 පෝස්ටුව. එතකොට මේක 101. රැදී සිටි සැමට තුති. එසේම 100 පෝස්ටුවට පසු වෙසක් කලාප ලිපි එක් කරන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

Tuesday, May 1, 2012

ඩිස්ප්ලේ ගිය ෆෝන් එකෙන් මැසේජ් කියවීම.. (දෝදු නැවතත්...)

සෑමා මෑතකදී දෝදුගේ පෝස්ටුවක් දැම්මේය. ඒ දෝදු ක්ලාස් අරන ආපු සී.ඩී.එම්.ඒ ෆෝන් එක ගැනය. ඒ පෝස්ටුව අවසානයේ සෑමා පොරොන්දු වූයේ දෝදුගේ ඩිස්ප්ලේ ගිය ෆෝන් එක ගැන කියනවා කියාය. එය මෙසේය.

දිනක් දෝදු, සෑම් සහ ඇඩ්ඩියා (සෑමාගේ සහ දෝදුගේ මිතුරෙක්) මල ගෙදරකදි සෙට් වීය. කලින් පෝස්ටුවක (ධර්මේ සහ කැරම් බෝඩ් එක) කී පරිදි සෑමා මගුල් ගෙවල් වලට වැඩිය මලගෙවල් වල යෑමට කැමතිය. ඒ කැරම් බෝඩ් සහ ඕමි කුට්ටම නිසාය. එහෙත් මගුල් ගෙවල් වල ඒවා නැත. මල ගෙවල් වල මෙන් ෂෝටක් ගසාගෙන යන්නට බැරිය. එසේම හෝල් එකට කොටු වී එක එකාගේ විගඩම් බලාගෙන සිටිය යුතුය. මල ගෙදර එසේ නැත්තේය. ටකරන් වහලක් යටට වී කැරමක් ගසන විට සැමන් හෝ බටර් ගෑ පාන් පෙති ලගටම ගෙනත් දෙන්නේය. මගුල් ගෙදර ලගට ගෙනත් දෙන්නේ වෙල්කම් ඩ්‍රින්ක් එක සහ කේක් කෑල්ල පමණක්ය. එහෙත් මල ගෙදර කන්නට ලගට ගෙනත් දී ඉගුරු දැමූ ප්ලේන්ටියක්ද ලගින් තබන්නේය. දැන් නම් නෙස්කැෆේ මැෂින් පවා ස්ථාන ගත කරන්නේ මලගෙවල් වලය.

එදා මලගෙදරදී ඇඩ්ඩියා ඕමි ගසමින් සිටියේ දෝදු සමගය. සෑමා පැත්තකට වී හිදගෙන සිටියේ ඇඩ්ඩියා සහ දෝදුවා මැදය. ඇඩ්ඩියාගේ ෆෝන් එකට ආවේ මැසේජ් එකක්ය. වේලාව රාත්‍රී 11 පසුව තිබුනේය.

"ඔන්න ඉතිං පටන් ගත්තා" ඇඩ්ඩියා සාක්කුවේ තිබි කැට කොල අස්සෙන් එලියට ඇද්දේ ‍ෆෝන් එකය.

"බලපං බං මල ගෙදරක පොඩ්ඩක් ෆන් එකක් ගන්න යන්න බැහැ මේ ගෑනි කරදර කනවා" නැවතත් ඇඩ්ඩියාය.

"අපෝ ඔව් බං. උන් නිදා ගන්නකොට මෙහෙ ඉන්න අපි නිදාගත්තේ නැත්තං ඇහැරිලා ඉන්නවා වද දිදී" ඒ තව අයෙක්ය.

"ඔයාට ඉක්මනට එන්න කිව්වා නේද මම.. අනික ඇයි නොකියා ගියේ" මැසේජ් එක සද්දෙට කියවුයේ ඇඩ්ඩියාය.

"හරි මගුලක්නේ බං මේක. සෑමා මේ ෆෝන් එක ගනින් දැන් ඉතිං දිගට හරහට රිප්ලයි කරන්න වෙයි. උඹ මැසේජ් එකක් ආවහම මට කියපං. මම කියන රිප්ලයි එක ටයිප් කරලා යවපං"

ඉස්සර ඉස්කෝලෙදී සමහර එවුන් කෙල්ලන්ට ලියුම් ලියා ගත්තේ සෑමාට කියාය. එසේම සමරු පොත් සහ ටීන් බුක් පවා පිරවූයේ සෑමාට කියාය. සෑමාට එය සිහිවිය. ඇඩ්ඩියාගේ කෑල්ල සමග මරා ගන්නට එදා එස්.එම්.එස් කෙටුවේ සෑමාය. තාක්ෂනයට පිහිටවන්නට අත් අකුරු වෙනස් වෙන්නේ නැතිය. පුද්ගලයා පමනක් වෙනස් වන්නේය.

"මම නම් මේ ටිකේ මැසේජ් යවන්න බැරිව බං ඉන්නේ..." ඒ අතර දෝදු කීවේය.

"ඇය උබට කී-පෑඩ් එකක් නැද්ද?" එවර දෝදුට ප්‍රශ්නයක් නැගුවේ ඇඩ්ඩියාය.

"නැහැ බං මගේ ඩිස්ප්ලේ එක ගිහිල්ලා. හරියකට පේන්නේ නැහැ. දවාලක නම් ඉර එලිය නිසා ඇල කරල බැලුවම පේනවා. රෑට ලයිට් එකක් ලග කරකවල බැලුවත් අමාරුවෙන් බලාගන්නේ." දෝදු සිදුවීම විස්තර කලේය.

"නැහැ බං මම හිතන්නේ ඩිස්ප්ලේ එක ගිහින් නෙවේ. ඩිස්ප්ලේ එක පිටිපස්සේ තියෙන බැක් ලයිට් එක ගිහින් නිසා තමා ඔය කේස් එක වෙන්න ඇත්තේ." සෑමා කීවේ බැක් ලයිට් සීන් එක අසා ඇති බැවිනි. අනික ඩිස්ප්ලේ එක ගියා නම් කොහොමවත් නොපෙනේ.

"ඉතිං බං උබ කෝමද කෝල් ගන්නේ ඕක පේන්නේ නැතිව." ඇඩ්ඩියා පිට පිට ප්‍රශ්න ඇසුවේ දෝදුගේ කතාව සත්‍යය බව තහවුරු කොට ගැනීමටය.

"නැහැ මචං නම්බර් මතක කෝල් ගන්න එක ගේමක් නැහැ. නිකං ඩයල් කරන්න තියෙන්නේ. අනික කන්ටැක්ට්ස් වල තියෙන නම්බර් ඩයල් කරන්න පොඩ්ඩක් දැගලුවම පුලුවන්. මැසේජ් තමා සීන් එක..." දෝදු විස්තර කලේය.

මලගෙදර කතන්දර එසේ අවසාන වූයේය. සතියකට පසුව මට මුණ ගැසුනේ ඇඩ්ඩියාය. ඒ අපේ ගෙවල් ලග සැලූන් එකේදීය.

"මචං පට්ට සීන් එක බං" ඒ ඇඩ්ඩියාය.

"ඇයි බං මොකද ?"

"බලපං දෝදු මාර ආතල් එකක් දුන්නනේ." ඇඩ්ඩියා හිනා නවතා ගත නොහැකිව ෆෝන් එක එලියට ඇද්දේය.

"ඇයි ඇයි මොකෑ සීන් එක." දෝදු ගැන උනන්දු සෑමා කලබලෙන් ඇසීය.

"උඹට මතකද දෝදු උගේ ෆෝන් එකේ මැසේජ් බලන්න බැරි කතාවක් කිව්වා.." ඇඩ්ඩියා ඇසුවේය.

"ඔව් බං එදා මලගෙදරදි කිව්වේ. මට මතකයි." ඒ සෑමාය.

"මට පෙරේදා දෝදුවා මැසේජ් එකක් ෆෝව(ර්)ඩ් කළා බං."

"ඉතිං ඌ කෝමද මැසේජ්  ෆෝව(ර්)ඩ් කරන්නේ ඩිස්ප්ලේ නැතිව. අනික කවුරු එවපු එකක්ද බං?? " සෑමාට ප්‍රශ්න වැලකි.

"ඇයි බං ඌ කිව්වේ රෑට අමාරුවෙන් වුනත් මැසේජ් බලන්න පුලුවන් ඒත් බුදු ගේමක් දෙන්න ඕනේ කියලා. දෝදුවට කෑල්ල එවපු මැසේජ් එකක් මගෙ හිතේ. පොර ඒක අමාරුවෙන් මට ෆෝව(ර්)ඩ් කරන්න ඇති. මගෙ නම්බර් එකත් මතක නිසා...." ඇඩ්ඩියා කියාගෙන ගියේය.

"ඉතිං..." ඒ සෑමාගේ ප්‍රශ්නයයි.

"ඉතිං කියන්නේ බං. මූ මැසේජ් එක මට ෆෝව(ර්)ඩ් කරලා අනිත් පැත්තට කෝල් එකක් ගත්තා. අරගෙන මට කිව්වා...."

"මොනාද කිව්වේ..." ඇඩ්ඩියාගේ ප්‍රමාදය සෑමාට බලා ඉන්නට බැරි විය.

"මචං මම උබට මැසේජ් එකක්  ෆෝව(ර්)ඩ් කළා, ඒක කියවලා ඒකෙ මොනවද තියෙන්නෙ කියලා මට මැසේජ් එකක් දාපං මචං..." කියලා දෝදු ෆෝන් එක තිබ්බා බං...



ඔබ ටියුබ් ලයිට් නම් කතාව රස නැත්තේය.

Written by sAm_11.42am_01.05.2012
Related Posts Plugin for WordPress, Blogger...