Friday, May 18, 2018

බලාපොරොත්තු.. - Hopes !!


උබට මේ මොහොතේ බලාපොරොත්තුවක් තියෙනවද?

ඇත්තටම මටත්, ඔබටත් මේ මොහොතේ බලාපොරොත්තුවක් නැතිය. මේ කියන්නේ ඉරහද අල්ලන තඩි බර බලාපොරොත්තු ගැන නොවේය. සරල සුන්දර ඒවා ගැනය. ලබා ගත හැකි එව්වා ගැනය. ගෙවල්, දොරවල්, යාන වාහන, විවාහ යනු බරපතල බලාපොරොත්තුය. එව්වා ගැන කතා කිරීම වැඩක් නැතිය. ඒත් ඉස්සර අපිට සරල සුන්දර බලාපොරොත්තු තිබුණු බව සිහි කළ යුතුය. දැන් එව්වා නැතිය. එව්වා අපි ඒ කාලේම ලබා ගත්ත බව සැබෑය. නමුත් එවැනි සිහින තවත් නැතිය.



ඉස්සර ඉස්කෝලෙ යන්නේ සෙල්ලම් කරන්නටය. කෑම එක ඉන්ටර්වල් එකට පෙර හොරෙන් කන්නේ ඉන්ටර්වල් එක වැඩිපුර ලබා ගන්නටය. වෙලාව ඉතිරි කර ගන්නටය. ක්‍රිකට් ගහනවා නම් යන්නේ බලාපොරොත්තුවකින්ය. වැඩි වෙලා බැට් කරන්නටය. එක්කෝ වැඩිපුර විකට් ගන්නටය. එව්වා බලාපොරොත්තුය. ඉස්සර අපිව ජීවත් කළ එව්වාය. කාලය යන බව නොදැන සිටින්නට අපි රඳවා ගත් සුන්දර බලාපොරොත්තුය. 

විටක යාලුවෙක් පහුවදා ඉස්කෝලය රැගෙන එන ටීවී ගේම් එකක්, ප්ලේස්ටේෂන් හෝ ගේම් සීඩි එකක් එනතුරු බලාපොරොත්තුවෙන්ය. ඉන්පසු එය අතට ගත් පසු ගෙදර යන තෙක් බලාපොරොත්තුය. ඉක්මනට බෙල් එක ගසන තුරු සිටින්නේ ගෙදර දුවන්නටය. එව්වා බර නැතිය. සුන්දරය. ඉටු කර ගත් බලාපොරොත්තුය.

දැන් එව්වා නැතිය. ඉස්සර ටීවි එක පවා බලාපොරොත්තු ගුහාවක්ය. සරල එව්වාය. ටෙලි ඩ්‍රාමාය. පටලැවිල්ල ආනන්ද වික්‍රමගේ ගේ නියම නාට්‍යයක්ය. සතියකට එක දවසක්ය. අද ඉවරවෙන නාට්‍ය ලබන සතියේ මේ වෙලාවටම බලන තුරු ඇඟිලි ගැනිල්ලක්ය. සුන්දරය. ඉටුවන එව්වාය. බලාපොරොත්තුය. ඉස්සර එවැනි ටෙලි ඩ්‍රාමා බහුලය. මායාබන්ධන මේ සතියේ අහවර වී ඊළඟ සතිය වෙනතුරු බලා සිටින්නේ බලාපොරොත්තුවෙන්ය. ලබා ගන්නටය. කාටවත් හානියක් නැති ආශාවන්ය. අපි නොදන්න ලයිව් කාලයක් ඉරිදා දහවල ගියේය. දහම් පාසැල් ඇරී ගෙදර දුවන් එන්නේ බලාපොරොත්තුවෙන්ය. ඉවර වෙන්නට පෙර බලන්නටය. පුංචිම කාලේ ඩේන්ටී රස පැන පවා බලාපොරොත්තුවක්ය. මෑතකදී නම් සෙනසුරාදා වෙනතුරු නොවිසිලිමත් වූයේ කූඹියෝ නිසාය. දැන් එහෙමවත් එකක් නැතිය. බලාපොරොත්තු නම් දැන් ටීවි එකේ ඇත්තේම නැත්තේය.

ඉස්සර අප්‍රේල් නිවාඩු කාලයය. අවුරුදුය. ඔන්චිල්ලාව පවා බලාපොරොත්තුවක්ය. අද රෑ නිදා ගන්නේ හෙට උදේම නැඟිට ගොස් ඔන්චිල්ලාවට ගොඩ වෙන්නටය. අගෝස්තු නිවාඩුවත් එසේමය. සරුංගල්ය. සරුංගලය හැදූ දා සිට නින්දට යන්නේ හෙට නැඟිට ආයේ සරුංගලය යවන බලාපොරොත්තුවෙන්ය. අද නූල් බෝලය ඉවර වෙනතුරු දුන්නේ නම් හෙට ඩොට් වෙන්නට යැවිය යුතුය. තවත් බෝලයක් ගැට ගැසිය යුතුය. දකුණට බර වැඩිය. පස්ස බර මදිය. ප්‍රශ්නය. හෙට නැවත පිළිසකර කළ යුතු බලාපොරොත්තුය. එව්වා සුන්දර ඒවාය.

එක්කෝ සර්කිට් කැබැල්ලක්ය. හෙන ප්‍රොජෙක්ට් එකක්ය. කෑලි ටික රැගෙන ආ තැන සිට එකලස් කර සර්කිට් එක වැඩ කරවන තුරු බලාපොරොත්තුය. එක්කෝ ඩෙසක්ටොප් මැෂින් එකක්ය. හාඩ්වෙයාර් වැඩය. ෆෝමැට් එකක් ගැසීම පවා බලාපොරොත්තුවක්ය. හෙනම එක්ස්පෙරිමන්ට්ස්ය. ආතල්ය. සුන්දර බලාපොරොත්තුය. එක්කෝ අලුත ඉන්ස්ටෝල් කරගත් සොෆ්ට්වෙයාර් එකක්ය. නිර්මාණයක් කරන තුරු බලාපොරොත්තුවක්ය. දැන් ඇප්ස්ය. එහෙව් ලොකු බලාපොරොත්තු නැතිය. අපිට කරන්නට තරම් දෙයක් කිසිම තැනක ඉතිරි කර නැතුවා වාගේය.

සැනසිල්ලේ කල්පනා කර බැලිය යුතුය. දැන් අපිට පොඩි එව්වා නැතිය. ලොකු බරපතල විනාසකාරී ඔලුව කන බලාපොරොත්තු පමණක්ය. පොඩි පොඩි ලබා ගත හැකි ආකාරයේ බලාපොරොත්තු කාටවත් නැතිය. හදා ගත යුතුය. සිත නිවන, ලබා ගත හැකි සුන්දර සරල බලාපොරොත්තු කිහිපයක් ලං කර ගත යුතුය. කාටවත් කරදරයක් නැතිය. කාලය සුන්දරව ගෙවා දැමිය හැකිය.

Written_by_sAm_ශ්‍රී_9:36pm_18/05/2018

4 comments:

  1. ඉස්සර තිබුණේ අහිංසක බලාපොරොත්තු ...දැන් බලාපොරොත්තුත් හරි සංකීර්ණයි...ඔළුව බර වෙනවා..මම නම් එහෙම වෙන්න ආසා නැ....ටාගට් තියෙන්න ඕන...ඒත් ඒ අස්සේ මට තියෙන බලාපොරොත්තු ...සිංදු අහන එක...ලියන එක...බැල්කනිය බදු අරන් අහස දිහා බලන්න ඉන්න වගේ ඒවා....එහෙමත් නැත්නම් ආදරේම කෙනෙක් එක්ක ලඟට වෙලා ඉන්න...හිනා වෙන්න..ඒවා හරි සුන්දරයි

    ReplyDelete
    Replies
    1. එව්වා මාරයි.. සනීපයි !

      Delete
  2. දැං තියෙන්නේ ඊටත් එහා බලාපොරොත්තු බං. ගෑනි උදේම මොකක් හරි කුණු ගොඩක් ඇදගෙන වළියක් දාගනියිද? ඒක ෂේප් කරගන්න බැරි උනොත් රෑට ගෑනි අනිත් පැත්ත හැරිලා නිදාගනියිද? යාන්තං වැඩේට එන්ටර් වෙද්දි පොඩි එකා ඇහැරෙයිද? අම්මලා තාත්ත්ලා සද්දෙට ඇහැරිලා පොඩි එකා අඬනවා කියලා හිතලා කාමරේට එයිද?
    අපි පවු බං. බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ.

    ReplyDelete
  3. දැං ඉන්න එවුවන්ට උඹලට අපිට වගේ ඔහොම ආතල් ගන්න බෑ බං. කොම්පියුටර් ෂොප් එකක් ගාව ටිකක් වෙලා බලා හිටහං මැෂිම ෆෝමැට් කරගන්න බැරුව කී දෙනෙක් උස්සගෙන එනවද කියල. අපි කොම්පියුටර් ගෙනාපු කාලෙ ඒවත් එක්ක කරපු එක්ස්පෙරිමන්ට් දැනගත්තනං ලේසියෙන්ම අයිබීඑම්, ඉන්ටෙල් ල අපිව වැඩට ගන්නව. හැක්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...