සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Tuesday, July 1, 2014

රැකියාවට ආදරේ කිරීම... - Love Your Job !!!


එදා එක් සුන්දර උදෑසනක්ය. සතිඅන්තයක කොළඹ ගිය සෑමාට මරදාන හන්දිය කිට්ටුවට වී වාහනයට වී ඉන්නට වූයේ තම මිතුරෙකු එන තුරුය. කිටියාද පැත්තකින් සිටියාය.

පිපුණු මලක හැඩ දෑස සලා..
සිතුම් විහග කැළ වසග කළා..
මගතොට රැදි නෙත් දහක් වසා..
මතකද අප නෙත් කතාකළා..

පාසලේ දහය එකොළහ වසරේ පමණ සිට මා මිමිණූ ගීතය, ඒ මොහොතේ එෆ්.එම් නාලිකාවක් ඔස්සේ ගුවනට මුදාහරිමින් තිබුණේය. කාලය හරිම පුදුමය. එකම ගීතය විවිධ අය, කීදෙනෙක්ට නම් කියන්නට ඇත්ද? මම මේ ගීතය ඇසූ දා සිට, කී තැනක, කී දෙනෙක් වෙනුවෙන් කියන්නට, සටහන් කරන්නට ඇත්ද? එකොළහ වසරේදී මා පන්තියේ තුන්වෙනි පේලියේ බිත්තිය කෙළවරේ හිඳගෙන සිටියේ බිත්තියේ කුරුටු ගී ලියන්නටය. එහි ආරම්භය වූයේ ශාලිත අබේවික්‍රමගේ උක්ත ගීතයය. එතැනින් නොනැවතී ලියැවුණු ගී, සින්දු සහ කවි කියවන්නට, මා හිඳගෙන සිටි පුටුවේ වාඩි වූ අය අපමණය. අතිරේක විශයන් සඳහා පන්ති මාරු කරද්දී, මාගේ කැටපත් පවුර කියවූ බොහොමයක් දෙනා ඇසුවේ මෙතන ඉන්නේ කවුද බන් කියාය. විටෙක බිත්තියේ බලි අදින එකාට පිස්සුදැයි ඇසූ අය නොසිටියා නොවේය. ප්‍රින්සිපල් පන්තියට පැන්න විටක, මා ආයාසයෙන් මා ලියූ ගී සින්දු කවර් කරන්නේ පැත්තට හිඳගෙන සිටීමෙන්ය.

මොහොතකට ඇසෙන පැරණි ගීතයකට ඔබව .ගෙනයා හැකි දුර අපමණය. මතකයන් සුන්දරය. ඒ මතකයන් ඔස්සේ ඇවිද යන මගේ සිත වෙනතකට හැරවූයේ අප වාහනය ඉදිරියෙන් කුණු එකතු කරන්නට යකඩ අත් කරත්තය තල්ලු කරගෙන ආ අංකල්ය. ඔහු කරත්තය තුළ වූ ඉදලට දෙඅත් ගසා වැන්දේය. ඉන්පසු කොට මිටක් සහිත වූ සවල දෝතින් ගෙන සිප ගත්තේය. මහා සුන්දර ලෝකයක සිටි මාගේ සිතුවිලි මොහොතකට උණු වෙන්නට පටන් ගත්තේ ඔහු කළ දේවල් දැකීමෙන්ය. මෙම ලිපියේ නිමිත්ත, ලිපිය ලිවීමේ අරමුණ පහල වන්නේ එතැනින්ය.

ඔහු ඒ සවලෙන් කුණු එකතු කොට කරත්තයට දමනවා විය හැකිය. දවස තිස්සේ පාර දෙපස ඇති කුණු ජරාව, බලු බෙටි බලල් බෙටි එකසේම සවලෙන් එකතු කොට කරත්තයට දමනවා විය හැකිය. තම ජීවිකාව කරගෙන යන්නට සවියක් දෙන්නාවූ තමන්ගේ රැකියාවට උර දෙන ආවුධ ආදරයෙන් සිප වැළඳගෙන දවසේ රාජකාරි ආරම්භ කරන්නට තරම් සංවේදී හැඟීමක් රැකියාව කෙරෙහි උපදින්නේ කීයෙන් කී දෙනෙක්ටද? ඔබ අද උදෑසන රැකියාවට පිටත් වන්නට උදේම නැගිටින්නට සිතෙන්නේත්, පිළිවෙලකට ඇඳ පැළඳගෙන රාජකාරියට යන්නට සිතෙන්නේත් ඔබ ආදරයෙන් හැඟීමෙන් එම රාජකාරියට සළකන නිසාය. එසේම තමන් ජීවත් වෙන, තමන් ඇතුළු පිරිසක් රැක බලාගන්නා රැකියාවට උතුම් අයුරින් සැලකීමේ යුතුකම සිතේ දරාගෙනය.

පෙර දවසෙක මා රාජකාරී කළ කම්පැනියේ ආතල් ඩයල් එකක් සිටියේය. පොර වැඩට එන්නට ඉතා මනාපය. අපි ඉස්කෝලෙ යන කාලයේ ආතල් එකේ ආසාවෙන් ඉස්කෝලෙ ගියේ පාසල් අභ්‍යන්තරයේ තිබූ බැඳීම් නිසාය. ඉගෙනීමට පමණක් නොව ඊට එහා ඉක්මවා ගිය බැඳීම් සමූහයක් නිසා අප පාසල් ගියෙමු. එලෙසම යම් කිසි විශේෂ හේතුවක් තිබෙන්නේ නම් රාජකාරියට යන පිරිසක්ද සිටින්නෝය. පෙරකී අපේ මිත්‍රයාට එසේ අහවල් බැඳීම්ද නොතිබුණේය. එහෙත් රාජකාරියට දිනපතා පැමිණියේ අව්, වැසි නොබලාය. විටක හොටු පෙරාගෙන තම පුටුවේ ඉදගෙන සිටියේ ගෙදර නොයිද වැඩට පැමිණීමේ පරම චේතනාවෙන්ය. මේ කටයුතු, හැසිරීම් සියල්ල අධ්‍යයනය කළ අපේ උන් බුවාව දිනක් ඉන්ටර්විව් කළෝය.

මචං, උඹ ඔච්චර දුර ඉදලත් වෙලාවට, හැමදාම වැඩට එනව නේ..

ඔව් බං.. මම පොඩ්ඩාව ඉස්කෝලෙ දාගෙන එහෙම්මම මෙහෙ එනවා.. ඒකයි වෙලාවට එන්න පුලුවන් වෙන්නෙත්...

අඩේ නිකමට වත් දවසක් ගෙදර ඉන්න හිතෙන්නෙ නැද්ද බං?

උඹල මේ පිස්සු කතා කරනවා.. මම ඔෆීස් එකේ විශේෂ නිවාඩුවක් වැටුනත් වැඩට යනව බං..

ඇහ්.. උඹ මෙහෙ එනවද???

මෙහෙ ඇවිත් තාප්පෙන් පනින්නද බං??

එහෙනම් උඹ කොහෙද යන්නෙ??

අනේ මන්ද බං.. මම ස්ටේෂන් එකට ගිහින් කෝච්චියෙ නැඟලා නුවර යනවා.. ආයෙ හවස් වෙද්දි එනවා...

මාර බුලට් එකක් නේ... යකෝ.. ආතල් එකේ ගෙදර ඉන්නෙ නැතුව..

උඹලට පිස්සුද? කාලෙකට ඉස්සෙල්ලා එකම එක දවසක් උණක් හැදිල ගෙදර හිටිය.. මට එදායි හිතුනෙ වැඩට ආව නම් එයිට වඩා රෙස්ට් කරන්න තිබ්බ කියල..

ඒ කිව්වෙ..

නැහැ බං.. පවුල ගෙදර නේ.. මම අසනීප වෙලා ගෙදර හිටිය දවසෙ කට කපල වැඩ.. ඒත් වැඩට ආව නම් ඩොක්ටර් කිව්ව වගේ හොඳට රෙස්ට් කරන්න තිබ්බා...

උඹ මාර ඩයල් එකක් නේ.. ඒ නිදහස ගන්නද වැඩට එන්නෙ...

මම උබලට එක උපදෙසක් දෙන්නම්.. කවදාවත් එකම වෙලාවට ගෙදර යන්න එපා. 5ට ඕෆ් වෙලා 6 වෙද්දි ගෙදර නම්.. ටිකක් ඉඳලා ගෙදර පලයල්ලා.

ඉතිං බං ට්‍රාන්ස්පෝට් එකේ ගියාම හැමදාම එකම වෙලාවට ගෙදර නේ???

ඔව්.. මම කෝච්චියෙ ගියත් එකම වෙලාවට ගෙදර.. ඒත් මම දොරට තට්ටු කරන්න කලින්.. එළියේ පුටුවක පොඩි ඇලට් එකක් දාගෙන ඉදලා ටිකකින් තට්ටුව දාන්නෙ.. එතකොට ෂේප්..

ඉතිං බොට ලැබෙන ප්‍රතිලාභේ??

ඇයි යකෝ හැමදාම 6ට ගෙට රිංගුවම පවුල අපිව හැමදාම 6ට බලාපොරොත්තු වෙනවා.. ඒ නිසා තමා අර විදිහට කරන්නෙ...

ක්‍රියාකලාපය එසේ වුවද අපේ මිත්‍රයා රැකියාව ආදරේ කළ අයෙක්ය. ගෙදරින් නිදහස් වන්නට අනුගමනය කළ ක්‍රම උපායන් හැරුණු විට බුවා රැකියාවට ආදරේ කළේය. අලුත් දවසක, අලුත් මාසයක, ඔබ නැවතත් සිතන්න. ඔෆීස් එකට, ලොක්කන්ට, ගරු නොකළත් තමන් කරන කාර්යයට උපරිමයෙන් ගරු කරන්න. නිවැරදිව ආදරයෙන් කරන්න.

Written_by_sAm_ශ්‍රී_Perera_7:08am_01/07/14

45 comments:

  1. ගොඩක් අය කරන ජොබ් එකට මාර ආදරෙන් වැඩ කරන්නේ මුල් දවස්වල විතරයි. ඊට පස්සේ ඉතින් හැමදාම එකම වැඩේ කරලම එපා වෙලා කරන්ඩ ඕනේ නිසා කරනවා.....
    මමත් අාස සින්දුවක්......

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට උගෙම වරද නෙවේ. තවත් සාධක බලපානවා. වැඩේ කොච්චර ආසාවෙන් කළත් අනිත් උන් කරන කියන දේවල් නිසා ජොබ එපා වෙච්ච උන් අනන්තවත්...

      ස්තුති රූපේ !

      Delete
  2. මේ වගේ දේවල් දැම්මාම අපි ඉගෙන ගන්නවනේ අනික් උදවිය යන, එන වෙලාවල් හොයලා බලන්ට. :D

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ට පමණයි කියල දාන්න හිතුවේ..

      ඒත් එතකොට ඉස්සෙල්ලම එන්නෙ කෙල්ලෝ...

      Delete
  3. අනේ අම්මේ උදේ පාන්දර නියම උපදෙස් ටික මේක අපේ ඔපිසිය එක්ක සංසන්දනය කරාම........... උබ ළඟ පාතක හිටියනම් කනවා උබේ කට :D

    ReplyDelete
    Replies
    1. ඇයි බොටත් එපා වෙලාද ඉන්නේ???

      අනික.. මම කියන්නේ ඇතුලෙ උන්ට ලව් කරන්න කියල නෙවේ බං. රාජකාරියට ලව් කරන්න කියල...

      Delete
  4. ඒ වගේ අය හරි අඩුයි සෑමො...
    අඩුයි කියන්නෙ පට්ට අඩුයි...
    හුගක් අයගෙ ජාතික ගිය වෙලා තියෙන්නෙ මොකද්ද දන්නවද....???

    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන

    ReplyDelete
    Replies
    1. අන්න ගැලපෙන සිංදුවක්..

      Delete
  5. අපේ බොස් කෙනෙක් හිටියා. නම කියන එක හරි නෑ නේ. නෝනා ගිනි ගින්දර වගේ ලස්සනයි. ඒ වගේම සැරයි. මූ ආතල් කියන්නේ ඒකේ හොඳම එක. පොර බීපු දවසට වාහනෙන් ගෙදර යන්නේ නෑ. අපේ එකෙකුට කියලා බයික් එකෙන් බස්ස ගන්නවා. ඔය කාලේ අපි ඔක්කෝටම වගේ තිබුනේ සුසුකී ජී ඇස් එක. වාහනේ අරගෙන යනවා වෙන එකෙක්. උදේම ගෙවල් ගාව හන්දියෙන් ගන්න කියනවා. අපි ඇහුවම මොකද කියලා පොර කියන්නේ වයිෆ් කියලා තියෙනවය. බිව්වයින් පස්සෙ වාහනෙන් ගෙදර එන්න එපාය කියලා. ඉතින් උදේට ගේ ගාවින් නගින්නෙ නැතුව හන්දියට එන්නේ ඇයි ඇහුවහම පොර කියනවා. ඔය වගේ දවසකට තමයි ගමෙ උන් එක්කවත් පොඩි කයියක් ගහන්න වෙලාව හම්බ වෙන්නේ කියලා. ඇත්තටම හැමදාම පොර ඉන්නේ....

    එක්කෝ ඕන් නෑ පෝස්ට් එකක්ම දානවා...

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවා විතරයි

      Delete
    2. ආතල් පෝස්ට් එකක් ලියවෙයි වගේ :)

      එලෑ !!

      Delete
  6. මරු යාලුවා සෑමෝ.............. අන්න කොල්ලෝ...

    ගෙදර හිටියාම රෙස්ට් කරන්නට බැරි වෙන එකටයි. එකම වෙලාවට ගියාම වෙන වැඩේටයි එකඟයි අත්දෙකම උස්සලා. ඒත් දැන් මම නම් ඒකට අහුවෙලා ඉවරයි.............. මම ඉවරාාාාාාාාාාාාාාාාාාාාාාාායි...................

    ReplyDelete
    Replies
    1. මෙයා නම් රස්සාවට කෙලෝ ගනී වගේ...

      Delete
  7. මට මේක කියවගෙන එද්දී මතක්වුනේ පොඩි කාලේ අපිට පොත් වලට වැඳලා වැඩ පටන්ගන්න කියල කියපු හැටි. ඒ වගේම බස් ඩ්‍රයිවර්ලා ඒ කාලේ බස් එකේ සුක්කානමට වැඳලා වැඩ පටන්ගත්තු හැටි.. සමාජයේ තිබුණු ඒ වැදගත් හරවත් සිරිත් විරිත් අද වෙද්දී කොහෙද කියල හොයාගන්න නෑ.. අද එහෙම බස් ඩ්‍රයිවර් කෙනෙක් වැඳලා බස් එක ගෙනිච්ච නං ඕකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ දාහක් හිනාවෙන්න කතා කියවන්න ගන්නවා දෙකක් නෑ. අද සමාජේ අක්මුල් නෑ.. ඔහේ පාවෙන චරිත විතරයි ඉන්නේ. උන් දන්නේ එක කොම්පැනියක් දාල තව එකකට දුවන්න. එක රස්සාවක් දාල වෙනමම රස්සාවක් කරන්න. උන්ට කියල (බොහෝ දෙනෙක් ට ) ශිල්පයක් නෑ. ඒ කාලේ අපේ අප්පච්චිලා වැඩ කලේ කොම්පැනි වල අවුරුදු 30 -40. අද එහෙම වෙන්න ඕනේ කියන්නේ නෑ. ඒත් ඒ අය අපිට වඩා රැකියාවට ආදරේ කළා. ඒක නොකියා බෑ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බං.. කිසිම පදනමක්.. අර්ථයක් නැතුව ඔහේ දුවන උන් ඉන්නෙ දැන්...

      Delete
  8. බැන්දා විතරයි නෝනගෙන් බේරෙන් විදි ගැන සැම් මේදවස්වල අත්හදා බැලීම් කරනවා. මේ ඒවගේ අද්දැකීමක් තමා අපට කියල තියෙන්නේ. අලේ අපි නොදන්න චෙස්..

    ReplyDelete
    Replies
    1. දන්නා ක්‍රම වේද නැද්ද නලියා??

      Delete
  9. අර යකා මරු ඩයල් එකක්නෙ බං.…

    කරන රස්සාවට ආදරේ කරන උන් බොහොම අඩුයි. එක අතකට එහෙම ආදරේ නැති උන්ට දොස් කියන්නත් අමාරුයි. සම හරක් ගෙ වැඩ නිසා ගොඩක් තැන්වල කෙළවෙන්නෙම රස්සාවට ආදරෙන් රස්සාව කරන් ඉන්න එකාගෙ රස්සාවටම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත ප්‍රියා..

      හොඳට වැඩ කරන එකාට කෙලවන, මුට්ටියෝ ඉන්නව නොවැ..

      Delete
  10. එකගය මචං, බොක්කෙන් ආදරේයි මගේ රැකියාවට පොඞි එකාටයි ගැනිටයිත් කියන්නේ මෙි රැකියාව හින්දයි ටොපියක් හරි කන්නේ කියලා.
    මගේ වයිපරේත් සමහර දවස් වලට අහනවා ඇයි අනේ ඔයාට වෙිලාසන එන්න බැරි කියලා ඒතකොට
    මම- හරි එහනම් කියන්නකෝ 61500-8 බ්‍රා ඒකේ Arm hole Measurement අඞු වෙන විදිහ හදා ගන්න ක්‍රමයක්
    දඞාස් පොන් එක තිබ්බා.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒක සුපිරි කතාව..

      මොනව වුනත් ගෙදර උන් බලන් ඉන්නෙ ගෙදර එනකල්... හැබැයි කාල බීල ඉන්නෙ මේ රස්සාව නිසයි කිව්වම බය වෙනවා ;)

      Delete
  11. පද රචනය : විපුල ධර්මප්‍රිය ජයසේකර
    සංගීතය : ශාලිත අබේවික්‍රම
    පිපුනු මලක හැඩ දෑස සලා.....මම කැමතිම ගීතයක් සෑම්. ඊයේත් උපේක්ෂාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දානකොට මේ ගීතය සඳහන් වුනා. ගීතය ලියපු විපුල, මෑතකදි අපි අතරින් වෙන්වුනා.

    ReplyDelete
    Replies
    1. මගෙත් ආසම එකක් අරූයියා,ඇත්තටම විපුල ගේ ඒ පද රචනා නම් හරිම අපුරුයි තමයි.

      Delete
    2. සත්තයි නියම සිංදුව මචං !!

      Delete
  12. මේ සින්දුව වෙන්නැති බ්ලොග් ලෝකේ වැඩිපුරම පෝස්ටු ලියැවුනු සින්දුව..හැමෝම කැමතියි මම හිතන්නේ
    (මම, බුද්ධි, දුකා,උපේක්ෂා, මල්මි, යසනාත් වගේ සහෘදයෝ ගොඩක් මේ සින්දුවට පෝස්ටු ලියලා තියනවා.)

    ReplyDelete
    Replies
    1. අඩේ ඒමත් සීන් එකක්ද?

      ඇත්තටම මේ වගේ සිංදුවකට ලිපි නොලියවුනොත් තමා පුදුමෙ..

      Delete
  13. අන්න නියම මිනිස්සු.

    ReplyDelete
  14. අරූ නම් මරු පොරක් තමයි.එක අතකට ඌ කියන එකත් හරි ගෙදර ඉන්නවාට වඩා ඔෆිස් එකේ ඉන්න එක දාහෙන් සම්පතක් කියලා මටත් හිතෙන වෙලාවල් තියෙනවා බං.කොහොම වුණත් රස්සාවට ආදරේ කරන්න ඕනේ කියන එකනම් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඒකියන්නෙ ගෙදර කරන වැඩ වලින් 1/10ක් වත් ඔපිසියෙ නැතුව ඇති ;)

      Delete
  15. මෙහෙමත් මිනිස්සු ! යකෝ උඹේ අහල පහල නේ ගැවසෙන්නේ ඒකයි බං ඌ එහෙම හැදිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකාලෙ මම අවිවාහක යකූ.. ඉතිං ඌ නරක් වෙන්නෙ කෝමද?

      Delete
  16. ඌට විතරයි ඇත්ත තේරිලා තියෙන්නෙ.. -_-

    ReplyDelete
    Replies
    1. පරිනත ඩයල් නේ මචං !

      Delete
  17. අපරාදේ බං උඹ මේක ටිකක් කලින් දාන්න තිබ්බ පෝස්ට් එකක්.. දැන් ඉතින් මොනා කරන්නද..

    ReplyDelete
    Replies
    1. කලින් දැම්මත් ඔය සෙතේම තමා දින්නා..

      Delete
  18. හප්පේ ඔහොම හිතන්න එපා අප්පා. මොනව වුනත් ගෙදර වැඩිපුර ගැවසෙන්න බලන්න. ඔෆිස්වලට වඩා ගෙදර බත් එක රහයිලු.

    ReplyDelete
    Replies
    1. ගෙදර ගැවසුනොත් රස්සාවට සොරි වෙනව අයියෝ..

      Delete
  19. අලුත් දෙයක් බං, හිතන්න... ස්තූතියි බෙදා ගත්තට.

    අර සින්දුව නං මං හිතන්නෙ ශාලිත ඇර වෙන එකෙක් කිව්වනං ඔච්චර පපුවට වදින් නැතිවෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බං මම ඒක පාලිතයට කියන්න දෙන්න හදලා.. ශාලිතයට දුන්නෙ.. තව පොඩ්ඩෙන් අපරාදේ.. ;)

      Delete
  20. දැන් එතකොට උඹ හවස් වරුවේ එළියේ පොඩි ඇලර්ට් එකක් දාලද තට්ටුව දාන්නේ

    ReplyDelete
    Replies
    1. මම එද්දි කෝමත් රෑ වෙනව බං.. :)
      අනික වෙලාවක් කලාවක් නැහැනෙ..

      Delete
  21. යාලුව කීයන කතාවනම් සහතික ඇත්ත

    ReplyDelete
  22. මමත් ආසම සින්දුවක් සෑමෝ. මාර විදියට හදවතට දැනෙන වචන ටිකක්.

    අපේ රස්සාවල්නම් ඉතින් එක දවසක හතරට, අනිත් දවසෙ පහට, සමහරදාට රෑ දහයට එකොලහට. ඒ නිසා ගෙදර යන වෙලාවෙ කිසිම පැටර්න් එකක් නෑ.

    හෆ්ෆේ ඒකටත් එක්ක අපේ මනුස්සයා. හිතූ වෙලාවට යනවා එනවා. එක්කො work frm home දවස් දෙක තුන එක දිගට. ඉලිසියාවේ බෑ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...