සෑමාගේ සීයා මෙලොව ඇතැර ගොස් දැනට වසර විසිපහක් වන්නේය. මාළු වැස්සේ සිටි ආච්චී ගේ ආදරණීය සැමියා වූ අපේ සීයා නොහොත් තාත්තාගේ තාත්තා මිය ගියේ සෑමා පොඩි කාලයේය. ඒ කාලයේ මල ගෙදර පොටෝ කැබලි වල සෑමා අත දරුවෙකුව සිටියේය. මාතලන් මෑතකදී ලියු මලගෙවල් ස්ටෝරියේ පොටෝ කැබලි ඇල්ලීම ගැන සදහන් වූයේය. එහෙත් ඒ කාලයේ මලගෙවල් වල පොටෝ ගැසීම රජටම වූයේය. නමුත් මෑත භාගයේ සිට මල ගෙවල් වල පොටෝ කැබලි ගැසීම එතරම් දක්නට නොමැති බව කිව හැකිය. අපේ අම්මාගේ අම්මා හෙවත් කුංකාච්චී මිය ගිය මොහොතේ පවා පොටෝ කැබලි ගසන්නට කිසිවෙකුවත් පෙළබුනේ නැතිය. එදා අම්මා ලියා තිබූ කවි පන්තියක් සෑමා පෝස්ට් එකක් ලෙස දැම්මා මතකය.
කෙසේ හෝ වේවා මල ගෙවල් ගැන ලියන්නට හදනවා නොව මේ ලියන්නට යන්නේ අපි නොදන්නා ජොබක් ගැනය. අපේ තාත්තාගේ අම්මා (ආච්චී) පෙරටු කොටගෙන අපි සීයා සිහිපත් කොට දානමය පිංකමක් කරන්නට කතිකා කර ගත්තේ මාසයකට එපිටදීය. එතැන් සිට දානය දෙන්නට තැනක් තෝරා ගැනීම, දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගැනීම පවා කළේ අපේ මහප්පාය. මහප්පා තෝරාගත්තේ රාජගිරිය වික්ටෝරියා නිවාසයය. එහි සිටිනා අබාධිත අයට දානයක් දිය යුතුය යන්න මහප්පාගේ තේරීම වූයේය. එතැන බැලීමට මහප්පා මා සමඟ එහි ගියේය. ගොස් ඔවුනට අඩුපාඩු ඇත්තේ කුමක්දැයි සොයා බලන්නට අපි සිදුවූයේය. එමඟින් අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුගත කොට අප දිනයක් වෙන් කර ගත්තේ මහප්පාගේ මුලිකත්වයෙන්ය. යම්තාක් දුරට ආධාර ලැබෙන තැනක් වූ නිසා සෑමා කීවේ එතැන එතරම් අහේනියක් නැති තැනක් කියාය. එහෙත් දීම හෙවත් දානය අපේ පැත්තෙන් කළ යුතු වැඩක් නිසා ඒ සඳහා කටයුතු කරන්නට අප කතිකා කර ගත්තෙමු.
ගමේ පන්සලේ (අපේ ගමේ පන්සල් තුනක්ය.) මූලික කරගෙන අප පිටත් වූයේ වික්ටෝරියා නිවස බලාය. දැන් ඉන්නා තරුණ පිරිස් සහ තාක්ෂණය පිළිබඳ කතිකාවකදී තාක්ෂණය නිසා දරුවන් නොමඟ යාම පිළිබඳ කතාවක් ඇඳී ආවේය. එහෙත් සමාජ වෙබ් අඩවි ආධාරයෙන් බොහෝ තරුණ පිරිස් සමාජ සත්කාර අදියට යොමුව ඇති බවට සිතුවිල්ලක් හාමුදුරුවන්ගේ මනසේ නිර්මාණය කරන්නට හැකි වීම ගැන සෑමාට සතුටක් ආවේය. එසේම අබාධිත මනස විකල් වූ අය පිළිබඳව කතා වෙද්දී හාමුදුරුවෝ අපූරු කතාවක් කීවෝය.
“ඒ මිනිස්සු උපතින්ම සිහි විකල් වෙලා ඉන්නෙ.. ඒත් හොඳ සිහිය තියෙන අපේ මිනිස්සු ගුලිද මොනවද කාල සිහිය විකල් කර ගන්නෙ විහින් නේ...“
“අපොයි ඒක නම් ඇත්ත හාමුදුරුවනේ..“
“අපේ පැත්තේ සිරිසෝමයා මරු වැඩක් කළානේ.. පෙරහැර දවසේ...“ (සිරිසෝම යනු මන: කල්පිත නමක්ය.)
“ඒ මොකක්ද හාමුදුරුවනේ..“
“මිනිහා පෙරහැර යද්දි මාත් එක්ක කියව කියව ආව.. බෝක්කුව ලඟ වෙල ලඟ පාරෙදි..“
“ඉතිං..“
“මිනිහා වෙලෙන් පැනලා ගෙදර යන්න බලාගෙන හිටියෙ.. අනික සිහිවිකල් වෙලා හිටියෙ... වෙල ලඟදි මිනිහා කියපි.. හාමුදුරුවෝ පාරෙන් යන්න මම එහෙනම් වෙලන් වඩින්නම් කියලා....“
එදා සිරිසෝමයා වෙලන් වඩිද්දී හාමුදුරුවෝ පෙරහැරෙන් පන්සලට ගොස් තිබුණේය. හාමුදුරුවෝ ගුලි කෑමේදී සිදුවන මානසික විකෘතිය විග්රහ කළේ ඒ අයුරින්ය.
එලෙස වික්ටෝරියා නිවසට ගොස් දානමය කටයුතු නිමා කොට, සීයාට පින් අනුමෝදම් කොට, අවට අබාධිත, අසරණ වූ අය බලද්දී මහප්පා කීවේ දැන් Disabled හෙවත් ආබාධිත කියන වචනය භාවිතා නොවන බවක්ය. ඒ වෙනුවට කිසියම් හෝ හැකියාවක් ඇති බව කියවෙන differently abled කියා නම් කෙරෙන බව කියා සිටියේය. ඇත්තටම ඔවුනට සම්පූර්නයෙන් නොහැකියාවක් නැත්තේය. එනම් සම්පූර්නව ආබාධිත අය නොවූයේය. සමහරුන් සුභ පැතුම් පත් සාදා ඒවා තමන්ගේ ඇද අද්දර තබාගෙන විකුණන්නෝය. සමහරු අතේ බඳිනා බෑන්ඩ් ගොතා ඒවා විකුණන්නෝය. එවැනි සයිඩ් බිස්නස් කරන්නට තරම් හැකියාවක් ඔවුනට තිබුනේ Disabled නොවී differently Abled වූ නිසාය.
සියල්ල අවසන් වී එළිය පැමිණ විට අයෙක් රෝද පුටුවකට වී පාර දෙස බලාගෙන කුමක්ද සටහන් කරනු දක්නට ලැබුණේය. විටක ඔහු පාර දෙස බලාගෙන කවි ලියනවා විය යුතුය. දවස පුරා කිසිම වැඩක් නැතුව රෝද පුටුවට වි සිටියදී වෙන කරන්නට දෙයක් නැතුවා විය හැකිය. එක්කෝ පාර දෙස බලාගෙන පාරේ යන වාහන ගණිනවා විය හැකිය. එවැනි සිතුවිලි සිතට එද්දී අප කළේ ඔහු ලඟට කිට්ටු වී කරනා දේ කුමක්දැයි විමසීමය. ඔහු කනේ ඉයර් ෆෝන් එකක් ගසාගෙන, ෆෝන් එකකින් සිංදු අසනු අපට දක්නට ලැබුනේය. තම රෝද පුටුව මත තබා ඇති ලී කැබැල්ලේ පොතක් තබා ඇත්තේය. පැත්තක ලෑල්ලේම ඔරලෝසුවක් අලවා ඇත්තේය.
“ඔයා මොකද මෙතන කරන්නේ??“
“අහ්.. මම වැඩසටහනක් ලියනවා..“
අම්මට හුඩු කලාකාරයෝ මෙතනත් ඉන්නව නොවැ.. කියා සිතා ගත් මම තවත් ප්‍රශ්න නැගුවේ සියල්ල දැන ගැනීමටය. 1988 වසරේදී තමා ඔබ්රෝයි (අද සිනමන්) හෝටලේ වැඩ අහවර වී පාන්දර පාරට බැස්ස මොහොතේදී වෑන් රථයක් පැමිණ තමාව හප්පාගෙන ගිය බවත්, පසුවදා උදේ පිරිසක් පැමිණ තමාව කානුවකින් ගොඩ ගෙන රෝහලට රැගෙන ගිය බවත්, සිදුවූ ප්‍රමාදය නිසා තමන්ට දෙපා වාරු නැති වූ බවත් හෙතෙම කීවේය.
“හරි දැන් මේ වැඩසටහන මොනව ගැනද??“
“නැහැ.. මම කරන්නේ හවස 4 ඉදන් හවස 5 වෙනකල් එෆ් එම් නාලිකාවක යන වෙළඳ දැන්වීම් ලියනවා...“
“එතකොට..“
“ඒගොල්ලෝ ඇවිත් මේ කොළේ අරන් යනවා.. මාසෙ අන්තිමට අපිට ගාණක් දෙනවා..“
“අඩේ.. මාරයි නේ.. එයාල මොනාද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ..“
“එයාලට ඒ පැය ඇතුලත් වෙළඳ දැන්වීම් මිස් වුණාද කියල චෙක් කරනවා..“
කෙසේ හෝ වේවා, තනිවී අතරමං වී, සමාජයෙන් දුරස්ථව නිවාසයක රැදී සිටින ඔවුනට එවැනි කාර්යයක් පැවරීම නම් අගය කළ යුතුය. ඔහුට එම කුඩා රැකියාවෙන් මාසය අන්තිමට යම්කිසි මුදලක් අතට ලැබෙන බව හෙතෙම කීවේය. එවිට සෑමාට කල්පනා වූයේ අප නොදන්නා රැකියා කීයක් නම් මෙලොව ඇත්තේද යන්නයි...
Written_by_sAm_ශ්‍රී_Perera_12.01am_10/07/14


.jpg)
.jpg)




