Tuesday, June 16, 2015

මිතුරාගේ කන්ටැක්ට් ලිස්ට් එක චෙක් කරන්න.. - Check Your Friend's Contact List !!!


හෑන්ඩ් ෆෝන් නැති කාලයේ හැම එකාගේම සාක්කුවේ ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් තිබ්බේය. ඩිරෙක්ටරිය කිව්වේ ටෙලිකොම් එකෙන් ගෙදරට එවූ පතරංග පොත නෙවේය. අපි එකිනෙකා අත තිබූ ජුංඩං නෝට් පෑඩ් එකය. එහි සටහන් කළේ එක එකාගේ ටෙලිෆෝන් නම්බර්ය. ඉන් බහුතරයක්ම වූයේ ලෑන්ඩ් ෆෝන් නම්බර්ය. මන්ද ඒ කාලේ හෑන්ඩ් ෆෝන් භාවිතය එතරම් නොවු නිසාය. ඒ පොතේ තිබූ බොහොමයක් නම්බර් නිරායාසයෙන් කටපාඩම්ද වූයේ නිතර භාවිත වෙන සුළු නම්බර් ප්‍රමාණයක් තිබු නිසාය. එහෙත් දැන් එහෙම නැතිය. දැන් ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එකේ නම්බර් 500කට වඩා එහා පැත්තේ ඇත්තේය. ඉන් සුළුතරයක් නම්බර් පමණක් මතකය. එහෙත් බොහෝ විට නිතරම කෝල් ගන්නා එවුන්ගේ වත් නම්බර් මතක නොහිටින්නේය. හේතුව නම්බරය සේව් වී ඇත්තේ පුද්ගල නාමයෙන් නිසාය. කාගේ හෝ ෆෝන් කටුවක් නැතිවුණ හැටියේ බොහොමයක් උන් නහයෙන් අඩන්නේ ෆෝන් එකේ වටිනාකම කියමින් නෙවේය. “ෆෝන් එක නම් අවුලක් නැහැ බොලව්, ඒකෙ තිබ්බ කන්ටැක්ට්ස් ටික තමා වටින්නේ“ යැයි බොහොමයක් උන් කෙඳිරි ගාන්නේ ඒ නිසාය. සිද්ධිය නම් ඇත්තය. බොහොමයක් නම්බර් ෆොන් බුක් එකක නොලියන නිසාත්, ස්මාර්ට් ෆෝන් එකෙන් ගූගල් එකට හෝ බැකප් නොකරන නිසාත් ඔය ගැටළුවට මුහුණ දෙන්නෝ බහුලය.

ඒ දවස්වල ගමට කියා ලෑන්ඩ් ෆෝන්ද තිබුණේ ස්වල්පයක්ය. ඒ අතර සෑමාගේ මහප්පලෑ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකද වූයේය. එය අපටද මහ මෙරක් වූයේය. ගමේම එවුන්ට කෝල් එන්නේද ඒ නම්බරයටය. ඒ නිසා නොම්මරය නම් තාම කට පාඩම්ය. අවට උන්ට හදිසි පණිවිඩ ලැබෙන්නේ ඒ නම්බරයටය. අහවල් වෙලාවට මම කතා කරනවා යැයි කියන උන්, කතා කරන තුරු අසල්වාසීන් මහප්පලෑ ගෙදරට වී කල් මරන්නේ අහවල් වෙලාවට එන කෝල් එකට ආන්සර් කිරීමටය. බොහොමයක් දෙනා එන කෝල් එක ආන්සර් කොට ක්ෂණිකව කතා බහ අහවර කොට, ස්වල්ප මුදලක් ෆෝන් ස්ටෑන්ඩ් එක උඩ තබා යන්නේ භක්තියෙන්ය. විටක එය බලහත්කාරයෙන් ඔවුන්ගේ ඇගේ ගසන්නට වන්නේය. මහප්පා රජයේ ඉහළ නිලධාරියෙක් වූ නිසා ෆෝන් එකක් ලැබුණා සේම, එහි මුදල් ගෙවීමද කළේ රජයෙනි. එම සංකල්පය ඉදිරියට ගෙන ගිය මහප්පෑ පොඩි පුත්‍රයා කමියුනිකේෂන් ක්ෂේත්‍රයෙන් ගමේ තැනකට පැමිණ ඇත්තේය. ඔහු නැවතුනේ මහප්පාගේ ලෑන්ඩ් නම්බර් එකට ෂොට් එක දීමෙන් බව මහප්පා තාමත් කියන්නේය.

උක්ත නම්බර් එකට සෑමාටද කෝල් කිහිපයක් ආවේ පාසලේ 4, 5, සහ 6 වසර වලදීය. ඒ ටෙලිෆෝන් ව්‍යාප්තිය වැඩිවන කාලයේය. නම්බර් කිහිපයක් සෑමාට තාමත් මතකය. සෑමාට කතා කළේ සුළු පිරිසක් වූ නිසාම ඒවා තාමත් කටපාඩම් වීම සාධාරණය. ඒ එන කෝල් එකද හොරෙන් මෙන් කතා බහ කර ඉක්මනින් තියන්නේ කෝල් එකක් ඒම මහා භයානක දෙයක් ලෙස දැනුනු නිසාය. එලෙසම ගෙදර උන්ද කන දාගෙන සිටින්නේ මූ මොනාද කතා කරන්නේ කියා විය හැකි නිසාය.

කාලය ගත වෙද්දී සෑමාගේ ගෙදරටද ලෑන්ඩ් ෆෝන් එකක් ආවේය. එයද ටැලිකොම්ය. ඒ කාලේ ඉන්ටර්නෙට් යනු හරිම පුදුම දෙයක්ය. පට්ට ස්පීඩ්ය. ලොග් වූයේ ඩයල් අප් මොඩම් එකෙන්ය. ස්පීඩ් එක මතක හැටියට 56 kbit/s ය. මගෙ අප්පේ දන්නා වැදගත් සයිට් එකකට තිබුනේ නාසා එකේ සයිට් එකය. ඒ අස්සේ කමියුනිකේෂන් එකේ බුද්ධික අයියා නෙට් ටු ෆෝන් ගැජට් එකක් ගසාගෙන IDD කෝල් ලාභෙට ගත්තේ මේ කාලයේය. සෑමාගේ ගෙදර නම් ඉන්ටර්නෙට් සුම්මා වූයේය. ඒ අම්මාගේ විමසිලිමත් නෙත් නිසාය. ඒ අතර අම්මා ෆෝන් බුක් එකක් මේන්ටේන් කළාය. මගේ අප්පේ අගක් මුලක් නැතිව හිත් තැන් පිරවෙන්න තැනින් තැන ලියූ ෆෝන් නමබර්ස් සෙවීම අපට නම් කළ නොහැකි දෙයක් වුණේය. එහෙත් අම්මා ක්ෂණිකව තමා ලියූ නම්බර්ස් සෙව්වාය. ඇල්ෆබර්ට් එකේ පිළිවෙලට වත් නොතිබූ කාගේ හෝ ඕනෑම නම්බර් එකක් තප්පර කිහිපයකින් සෙවීම කළ හැකි වූයේ අම්මාට පමණක්ය. තත්වය එසේ වූ නිසා සෑමා සහ සෑමාගේ අක්කා එම ටෙලිෆෝන් බුක් එක පිළිවෙලක් කිරීමට කතිකා කර ගත්තෝය. ඒ අනුව ආකරාදී පිළිවෙලට නම්බර් වෙන වෙනම තවත් ඩයරියක් ලියන්නට වූවෝය. එහි පිළිවෙලකට ලියා තැබුවද අම්මා නිතර භාවිත කළේ පරණ, අපිට අපිළිවෙල වූ, ඇයට පිළිවෙල වූ, ෆෝන් බුක් එකය. පසු කාලීනව සෑමාත් අක්කාත්, එම ඩයරිය ඉල්ලා අස්කර ගත්තොත්ය.

අතීතය එසේ අමතක වී යමින් තිබියදී සෑමා මෑත දිනයකදී අම්මාගේ ෆෝන් ලිස්ට් එක දිග හැර බැලුවේය. ඒ සුපුරුදු පරිදි කලින් කී අපිළිවෙල ඩයරියමය. එහි ලියැවී තිබූ පුද්ගල නාම දුටු සෑමාට හිනා ගියේ අප්‍රමාණවය.




පලවෙනි ෆොටෝවේ පරිදි ලේනා නම් ගමේ එකෙක්ය. ඌ කරන්නේ කුලී වැඩය. උගෙ හැඩය ලේනා වාගේය. පුංචිය. පිටේ ඉරිතුන වෙනුවට ඇත්තේ ලේනෙක් වැනි කොණ්ඩයක් සහ දත් ටිකය. දෙවෙනි ෆොටෝ එකේ පරිදි කම්බි ඩයස් නම් ඩයස් අංකල්ය. කරන්නේ යකඩ වැඩය. වැල්ඩින් වැඩය. සාරි නොපිට ලෙස ඇත්තේ කඩේට එන ඇන්ටි කෙනෙක්ය. ඇය සාරිය අදින්නේ නොපිටට බව අම්මා කියා ඇත්තේය. ඒ නිසා ඒ නම දමා ඇත්තේ සෑමාගේ අම්මාය.


ඒ කන්ටැක්ට් ලිස්ට් එක දුටු විට “යකෝ අපේ නම්බර්, අපේ උන් කෝම සේව් කරන් ඉන්නවාද මන්දා“ යැයි කිහිප වරක් සිතුණේය. කාරණාව සත්‍යය. යමෙක් තවකෙකුගේ නම්බර් එකක් ෆෝන් එකෙ කන්ටැක්ට්ස් වලට යොදා ගන්නේ තමන්ට පහසු විදිහටය. එකම නමින් පුද්ගලයන් දෙදෙනෙකු සේව් කරනා විටද එම තත්වය බලපාන්නේය. ඒ නිසාම ඔබේ මිතුරාගේ ෆෝන් එක අතට ගෙන, ඔබේ නම කුමන ආකාරයෙන් සේව් වී ඇත්දැයි බැලීම වටින්නේය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:15am_16/06/15

39 comments:

  1. සමහර විට අනික් අයගෙ කන්ටැක්ට් ලිස්ට් එක බලන එක ඔය කියනවට වඩා ඩේන්ජර් වෙන්න පුලුවං... මොකෝ ඕවැයි තියන සමහර දේවල් හින්ද සමහරක් වෙලාවට සමහරක් අයට හාට් ඇටෑක් හැදෙන්න පුලුවං... ඒ නැතත් අපේ සමහර ඉන්න ගොබ්බ සේනල ඕවැයි තියන නම්බර් ක්ෂණිකව මතක තියං වෙන වෙන කුප්ප වැඩ කරන්න පුලුවං... මං මේ කියන්නෙ මටත් එහෙම දෙයක් වුණ හන්ද...
    මම ෆෝන් එකක් ඉස් ඉස්සෙල්ලාම පාවිච්චි කලේ 2008 විතර ඒ මම හා හා පුරා කියල ජොබට ගිහිං ගත්ත SE w 200 ෆේන් කටුව.. කීවට විස්වාස කරපං සෑමො ඔය දවස් වලත් ටිකක් ෆෝන් මැජික් වගේ වුණ වුං හිටිය උං කරන්නෙ අර වගේ ෆෝන් කට්ටක් හම්බුණාම ඕකෙ තියන වැලයි පිංතූරයි තියන අනං මනං හුටස්පරයි ඔක්කම කාල් ගාන එක.. මොකෝ ඒ දවස් වල ෆෝන් වලට සිකුරුටි ලොක් ඒ තරමිං ආව කාලයක් නෙවී නෙ... ඔහොම තිබිල එකෙක් මගෙං කෝම හරි ෆෝන් එක ඇරං ඔබ ඔබ හිටිය... මේක කෝම හරි මං හා හා පුරා කියල සැට් කොරගත්ත කෑල්ලගෙ නම්බරේ උස්සල ඒකිට කෝල් කරලනෙ...
    මුං වගේ උං බලපං බං... මොනා වුණත් ඒකි මට කීවෙ නැත්තං මං ලොවෙත් දන්නෑ... හොයල හොයල ආයෙත් හොයපුවාම තමා මූ කියල දැනගත්තෙ ගුටි දෙන්න හිතුණත් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් කපල දාන එක ඊට හොද හින්ද කපලම දැම්ම.. උං වගේ එවුං එක්ක ඔය වගේ දේවල් බයානකයි යකෝ
    හිහි

    ReplyDelete
    Replies
    1. හපොයි යකෝ මරු යාලුවෝ නේ... ඔහොම කරලා කෝමද බං කොල්ලෙක්ට මූණ දෙන්නේ ?

      Delete
    2. දන්නෑ බං මට නං ලොවෙත් කරන්න බැරි වැඩක්.. විලිලජ්ජා සහගත වැඩක් නෙව..
      හැබැයි උෟ නං සෙට් එකෙන්ම කැපිල ගියාට පස්සෙ අාපහු මුක්කුව ගහන්න හදල තිබ්බ ඒත් ඉතිං ඒ වගේ එකෙට්ට වෙන දේ ආයෙ කියන්න ඕන නෑනෙ..
      දැං නං උට මොකක් වෙලාද දන්නෑ...

      Delete
    3. එහෙව් එවුං මතක් කරන්න වත් එපා බම්...

      Delete
  2. ඔය වගේ නලින් JCB, රෝහණ ගරාජ් වගේ මාත් සේව් කරගෙන ඉන්නව. මොකද නැත්තං ඒ නම්බර් වලින් අපිට කෝල් එනකොට අපියි මඤ්ඤං වෙන්නෙ මේ මොන රෝහනයද කියල හොයන්න ගිහිල්ල.
    ඔය කොල වල ලියන එකනං හොයන්න පුලුවං ලියන එකාටම තමයි.

    ReplyDelete
    Replies
    1. ගල් රෝහණයා.. කියපං

      ගරාජ් ප්‍රියන්ත නම් මගෙ ලිස්ට් එකෙත් ඉන්නවා...

      අපෙ මහප්පගෙ පුතා, හාබර් එකේ ලොරි එක්ක ගනුදෙනුවක් තියෙනවා. පාස් හදන සීන් එකටද කොයිද. පොරට කෝල එන්නෙ ලොරි නම්බර් වලින්..

      Delete
    2. අන්න සිරා කතාව...ලොරි නම්බැර්

      Delete
  3. අනුන්ගේ ඒවා චෙක් කොරන එක යහ පාලනය නෙමෙයි නේද....?

    ReplyDelete
    Replies
    1. කට උත්තරයක් ගන්න සී.අයි.ඩි යට එන්න...

      Delete
  4. හපොයි බං.. අයිතිකාරයො නොබලත්වා.. හැක්

    ReplyDelete
    Replies
    1. තාක්සනේ එක්ක නැතිම උන් ටිකගෙ නම් ටික තමා බං පොටෝ ගහල දැම්මෙ...

      නැත්තං විනාසයි...

      Delete
  5. හිහ් හිහ්..............ඔය වැඩේ මමත් කාලයක් කළා. යකෝ හමුදාවේ දුරකථන නාමාවලියක් තියනවා ඒකත් හරිම වලියක්. ඒක තියෙන්නේ හමුදාවෙන් දෙන දිනපොතේ. ඒ පොත් විසාල වැඩි නිසා එව්වා එහෙමෙහෙ ගෙනියන්නේ නෑ. සෑම හමුදා නිලධාරියකු අතේම තියනවා field notebook එකක්. ඕකෙ පිටු දෙක තුනක ලියාගන්නවා ඔය වගේ වලියක්. එව්වා ලියන්නෙත් ඔක්කොම නික් නේම් වලින් තමා. ඒක ඒ අදාළ නිලධාරීන් දැක්කොත් ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරනවා අර වලිය ලියාගෙන ඉන්න එකාව.

    ReplyDelete
    Replies
    1. මරුම නාමා“වලිය...

      නම් ටිකක් කමෙන්ට් කරපං කෝ.. විචාරකගෙ එකත් එක්කම..

      Delete
  6. සමින්දික සෑමා වුනෙත් ඔය ෆොන් නම්බර් එක ලියන්න ගිහින් වෙන්න ඇති?

    ReplyDelete
    Replies
    1. හපු නෑ බං.. පාසල් කාලෙදිමයි වුණේ...

      සැමියා..
      සැම්සන්..
      සමියා..

      අන්තිමට සෑම්... සෑමා..
      වුණා..

      Delete
  7. අපේ බ්ලොග් යාළුවෙකුත් මගෙ ප්‍රොෆයිල් නේම් එකකේ නමින් මගෙ මොබයිල් නොම්බරේ දාගෙන. හැබැයි ටිකක් අනුමත වෙලා හිටිය වෙලේ මූ නම ටයිප් කරල තියෙන්නෙ ' කමල ' කියල. පස්සෙ හාමිනේගෙ ප්‍රශ්ණ කිරීම් හමුවේ බ්ලොග් කියන්නෙ මොනාද? , ඔයා කොහොමද ඕව දන්නෙ ? ඕං අපේ එකාට වෙච්චි දේ. එදා තර්ක කරල පැරදිච්චි අපේ බුවා දැන් නීති තර්ක ඉගෙන ගන්න වි.වි.විද්‍යාලෙ යනව.

    ReplyDelete
    Replies
    1. අඩේ කවුද බං බුවා... අනුමත වෙලා හිටිය කිව්වම මට මතක් වෙන්නෙම අර රාගම ඩෑල් එක ;)
      ඒත් ඌ ෂොප් එක දාගෙන කොහෙ වි.වි.වි යන්නද?

      Delete
    2. අනුමත උනා කිවුවම මතක් වෙන්නෙ ඒ අහිංසකයව විතරමයි. නෑ නෑ වෙන එකෙක් නම කියල ගුටි කන්න බෑ ඌ ගෝඨයිම්බර වගේ .

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හෙහ් හෙහ්. මමනම් දන්නවා සතා මොකාද කියලා...
      ඒත් මම බැලුවා ඌට මේ හදිස්සියේ ලෝ මතක් උනේ මොකද කියල...
      අනික නහින දෙහින කාලේ, කාලක් බාගයක් ක්‍රියා කරගෙන ඉන්නේ නැතුව...

      Delete
    5. ඇත්තටම ලොකූ මම මෙතන කිවුවට මේව ප්‍රසිඩ්දියේ කියන්නෙ නෑ. මාකට් ගිහින් එද්දි තමයි සිද්දි වෙලා තියෙන්නෙ . බඩු මල්ල පොලේ ගහල , වැටකොළු කරලකින් මුගෙ ඔලුවට ගහල හෙන කේස්,
      පස්සෙ මගෙ ෆෝන් එකට call එකක් එනව "උඹ අපේ මිනිහව රවට්ටගෙන",
      මම ටක් ගාල " නෑ නෑ නංගි අපි ගොඩක් කට්ටිය සෙට් උනේ කලෙක්ෂන් එකක් දාල බිල ගෙවුවෙ" කිවුව.
      පස්සෙ " ඔයා කවුද .............. අනේ අයියෙ "දැන් තමයි අපේ මිනිහට ඔයාල වගේ හොද කට්ටියක් හම්බවෙලා තියෙන්නෙ " ඔන්න ඕකයි සිද්දිය.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. දවසක් බිබී ඉන්න වෙලාවක කඩේට ගිය එකෙක්ට තව මොනවා හරි ගේන්න කියලා කෝල් කලා, ඒ වෙලේ මේසයක් උඩ තිබ්බ ෆෝන් එකක් රින්ග් වෙලා ඒක බැලුවම ගිය එකා ෆෝන් එක දාලා ගිහින් තියෙන්නේ. අර කෝල් කරපු එකාගේ නොම්බරේ ගිය එකා සේව් කරලා තිබ්බ හැටි දැකලා තව ටිකෙන් ගුටි කෙලියක් යනවා. මට තිබ්බ නම නම් මතක නෑ.

    ReplyDelete
  10. උඔව මම සේව් කරලා තියෙන්නෙ
    sAm@Blog

    ReplyDelete
    Replies
    1. උඔව මම සේව් කරලා තියෙන්නෙ
      Bra@Menda

      Delete
  11. උඹගේ නම්බර් එක ඵොන් මාරු කිරිල්ලත් එක අන්තරස් දහන උනා , කොල් එකක් දියං සේව් කරගන්ඩ

    මම උඹගේ නම්බර් එක සේව් කරල තියාගත්තේ වල්සෑමා කියල

    ReplyDelete
  12. අම්මපා ඇත්ත කතාව.. දැන් ෆෝන් එකට හෙන ගහලා ගියත් ඒකෙ තියන නොම්බර තමා වටින්නෙ වැඩිපුර..

    ඒ කාලෙ මෙගාබයිට් 10 ක් ඩවුන්ලෝඩ් කරනවා ය කියන්නෙ මාර ගේමක්. පැය දෙක තුනක් බලාගෙන ඉන්නවා ඩවුන්ලෝඩ් වෙනකං.
    හැබැයි ඉතිං ඉස්සරහාට එන්න ඉන්න පරම්පරාව කියයි, “අපි පොඩි කාලෙ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න විනාඩි 10ක් ගියා පුතාලා“ කියලා :3

    තාක්සනේ තාක්සනේ!!!

    ReplyDelete
  13. කන්ටෑක්ට් ලිස්ට් එකක්නම් වැරදිලාවත් බලන්න එපා... විලිජැජ්ජාවේ සංතෝසේ බැරුවා....

    ReplyDelete
  14. එකම නමින් ඉන්න උන්ව මම සේව් කරන් ඉන්නේ නම්බර්ස් දාලා ඒ කියන්නේ සමන් 1,සමන් 2 ආදී වශයෙන්.වැඩේ කියන්නේ ගොඩක් වෙලාවට සමන් 1මොකාදා 2 මොකදා කියලා මටම හොයා ගන්න බැරි වෙන එක නේ.

    ReplyDelete
  15. සෑම්..මගේ ෆෝන් එකේ වැඩිහරියක් නොම්මර සේව් කරලා තියෙන්න මෙන්න මෙහෙම....do not answer...!!!!!!

    ReplyDelete
  16. මමනම් ෆෝන් එකේ නම් දාන්නේ උගේ නම, ගම, රස්සාව, කොම්පැණිය, එක්කෝ ඉස්කෝලේ නම (මේ අතරින් ඌව මට හොඳට මතක තියෙන්නේ මොන කරුණ නිසාද කියන එකට මුල් තැන දෙනවා) මේ හැම දෙයකම වැදගත් දේ වචනෙකින් හරි කියවෙන විදිහට නම එක්ක ලියනවා.
    එතකොට කතා කරන්න ඕනේ එකාගේ නම මතක නැත්නම් කරන රස්සාව, එහෙම නැත්නම් ගමේ නම හරි වෙන මොකක් හරි දෙකින් ඌව හොයා ගන්න පුළුවන්...

    ඉස්සර මම යාළුවෙලා හිටපු කෙල්ලෙක්ගෙ නම පලවෙනි දවසේ අහ ගත්තට මට මතක හිටියේ නැහැ.
    ඒ ළමයව සෙට් උනේ බස් එකක ගිහින් ෆෝන් නම්බර් එක ලියපු කොළයක් දුන්නට පස්සේ එයා දීපු කෝල් එකක් හරහා.
    අපේ යකඩදෝලි ලව් එක මාස හත අටක් ගිහින් ඉවර උනත් මම එයාගේ නම දැනන් හිටියේ නැහැ, දැනගන්න ඕනේ කමක් ආවෙත් නැහැ.
    එයාගේ නම්බරේ මම සේව් කරගෙන හිටියේ "බස් නංගි" කියලා.

    ReplyDelete
  17. මගේ නම උඹේ කන්ටැක්ට් ලිස්ට් එකේ නැති එක ගැන බොක්කෙන්ම සතු‍ටු වෙනවා සෑමා. තිබුනත් ඒ අර උඹේ පරණ Huawei එකේනේ.

    ReplyDelete
  18. මේකනේ බං ඉතින් වැඩේ අපිට සමහරුන්ගේ ඇත්ත නම් අමතකම වෙලා තියෙන්නේ ඔය නික් නේම් වලින්ම කතා කරන්න යන හන්දනේ.. ඉතින් කන්ටැක්ට් ලිස්ට් හැදෙන්නෙත් එහෙමම තමයි..

    ReplyDelete
  19. ඉස්මාර්ට් ෆෝන් වල නම්බර් නැති වෙන්නේ නැහැනේ. google drive/outlook වල save වෙන නිසා.

    ReplyDelete
  20. අප්පා මගේ ෆෝන් එක කවුරු හරි ඉස්සුවොත් ඉවරයි නෙ :( නම්බර් save කරලත් නෑ :/

    ReplyDelete
  21. මරු ෆෝන් බුක් එක. මම නම් ඔහොම නම් දාන එක නැවැත්තුව. යාළුවෙක් නිසා. පොරගේ තාත්ත ප්‍රසිද්ධයි එක්තරා පැණිරස කෑමකට. එයා තමා ඒක හොයාගෙන නිෂ්පාදනය කලේ. ලංකවේ හරිම ජනප්‍රියයි කාලයක. පොරට (පුතාට ) මන් දාල තිබ්බේ ඒ නම. දවසක් දුව කවුද මේ තාත්තේ කියල ඇහුව නම කියලම එයා ඉන්න තැන. පොර වහාම ඉල්ලීමක් කලා වෙනස් කරපන් කියල.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...