සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Monday, January 20, 2014

සිරි ලාංකීය නාට්ටි.. - sRi Lankan Teledramas !!!


ටෙලි නාට්‍ය තිබ්බේ ඉස්සරය. ඒවා බලන්නට අප පොර කෑ සැටි තාම මතකය. ගෙදර බ්ලැක් ඇන්ඩ් වයිට් ඩේට්ට්‍රෝන් ටීවී එක තිබූ කාලේ ලොකු අම්මලා අපේ ගෙදර ආවෝය. ඒ එයාලාට ටීවී එකක් නොතිබුණ නිසාය. හැමදාම බලන නාට්‍යයක් යන විට “මෙන්න නාට්‍යය පටන් ගත්තා..“ කියා කෑ ගසන විට ඒගොල්ලො අපේ ගෙදරය. හැමදාම බලන නාට්‍ය කිව්වාට ඒවා යන්නේ සතියකට වරක්ය. එක සතියක් මිස් වුනොත් ඊලග සතිය වනතෙක් ඇඟිලි ගණන් කළ යුතුය. බැරි වෙලාවත් එක දවසක් එක කොටසක් මිස් වුණොත්, මාර අවුල්ය. ඒ දවස් හතක් බලන් ඉන්නට වෙන නිසාය. සමහර විටක නාට්‍යය යන වෙලාවට නිදාගෙන සිටිය හොත් පහුවදාට ගෙදර අයට බනින්නේ “තොපි මාව ඇහැරුවේ නැහැ.. “ කියාය. නැතහොත් නාට්‍යය අමතක වුනොත්, එදාට වෙන චැනල් එකක් මැච් එකක් තිබුණොත් ගෝරි ගොඩක්ය. ඒ කාලේ ඒ තරමට ටෙලි නාට්‍ය ඩිමාන්ඩ්ය. අගයක්, වටිනාකමක් තිබුණේය.

ටික කාලෙකින් ලොකු අම්මලා කලර්ඩ් ටීඩී එකක් ගෙනාවෝය. ඊට පස්සේ අපේ කළු සුදු ටීවී එක පැත්තකය. අපි එහෙට දිව යන්නේ ටීවී බලන්නටය. ටෙලි ඩ්‍රාමා බලන්නටය. ආතල්ය. දුර සිට චැනල් මාරු කිරීම, පාට පාට රූප දැකීම, බැලිය හැකි නාට්‍ය තිබීම සතුටක්ම වූයේය. සමහර දින වලට එකම වේලාවට චැනල් කිහිපයක නාට්‍ය යන නිසා සටන් ජවනිකා ඇති වූයේ ලොකු අම්මලාගේ සාලයේය. විටෙක දුරස්ථපාලකය සඟවා ගන්නා අයෙක් එදිනට තමන්ට කැමති නාලිකා දමන්නේය. අනිත් උන් නාට්‍යයට දක්වන කැමැත්ත මත ප්‍රතිචාර දක්වන්නෝය. ඒ අනුව සටන් ජවනිකාවද වෙනස් වන්නේය. ඒ සියල්ලම වූයේ රසවත්, නාට්‍ය රැසක් රූප පෙට්ටිය මඟින් ඉස්තෝප්පුව මැදට රැගෙන ආ නිසාය.

රසවත් ටෙලි නාට්‍ය කෙලිය නීරස වන්නට පටන් ගන්නේ මෙගා ටෙලි පෙරහැරක් ආරම්භ වීම නිසාය. ඉන්දියානු නාට්‍ය වලට සිංහල හඬ කැවූ නාට්‍ය පෙළක් නොනවත්වාම සතිය පුරාවට පෙන්වන්නට පටන් ගන්නේය. ඉන්පසුව සතිපතා දකින නාට්‍ය වල නිමාවක් ඇති වන්නේය. පුංචි කතාවක් පෙන්වීටම අතුරු කතන්දර දහසක් යොදා රචනය වන්නාවූ නාට්‍ය සතිපතා පෙන්වන ඒවාට වඩා දිගු නාට්‍ය බවට පත්වී දිනපතා යන මෙගා ටෙලි නාට්‍ය බවට පත් වන්නේ එලෙසින්ය. ආරම්භයේදී සිතන අවසානය, අවසානයේ දැකිය නොහැකිය. නමුත් මාසයක් පුරාවට ඔබට ටෙලිනාට්‍යය බැලීමට නොහැකි වූවද දකින කිසියම් දිනයක නාටකයේ සිදුවී ඇත්තේ කුමක් ද කියා සිතා ගත හැකි පහත් මට්ටමට ටෙලිනාට්‍ය වැටී ඇත්තේය. සරලව කිවහොත් එදා තිබූ ඩිමාන්ඩ් එක, වටිනාකම, බලන්නට බැරි වුවහොත් අපරාදේ යැයි සිතට දැනෙන හැඟීම දැන් සිතින් දුරස් කොට ඇත්තේය. එහෙත් සියල්ලට හේතුව මෙගා ටෙලි නාට්‍ය යැයි කීමද වැරදිය.

මෙගා වුවත් ඩිමාන්ඩ් එකක් ඇති කළ හැකි ආකරයෙන් ඉදිපත් කරන්නට නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කළ යුතුය. හින්දි මෙගා නාට්‍ය කෙසේ වෙතත් ඉංගිරිසියෙන් එන ඩ්‍රාමා සීරිස් බහුතරයක් බැලිය හැකි මට්ටමේ ඒවාය. හාඩ් එකට ගිගාබයිට් ගණනාවක් ඇති ඩ්‍රාමා සීරිස් අපේ එවුන් බලන්නේ එක හුස්මටය. ඒ නිර්මාණ කරුගේ දක්ෂතාවය මිසක අපේ එවුන්ගේ රසිකත්වයේ වෙනසක් නොවේය. හොඳදේ, බැලිය හැකි දේ බැලීමට අපේ උන් ප්‍රමුඛතාවය දෙන්නේය.

දැන් පවතින වසර තුන හතරක් පුරාවට දිවෙන මෙගා නාට්‍ය නිසා සියළු දෙනාම අසරණ වන්නේය. මුලින්ම ප්‍රේක්ෂකයා තම වටිනා කාලය අපතේ හරින්නේය. ඉන්පසුවට අධක්ෂකගේ සිට නළු නිලියන් දක්වාම ඉතා අසරණ තත්වයට වැටෙන්නේ වසර ගණනාවක් තිස්සේ ඇප කැපවී ෂූටින් කළ යුතු නිසාය. නාට්‍යය මඟදී ප්‍රධාන නළුවා හෝ නිළිය වෙනත් අධක්ෂක කෙනෙක් ඉස්සුව හොත් නාට්‍යයට වැලේ වැල්  නැතිය. එදා පටන් ප්‍රේක්ෂකයාද අන්දොස්ය. එවිට නාට්‍ය කණ්ඩායම විසාන් අදාල  නළුවා හෝ නිළිය අස්ථාන ගත කරන්නේය. හදිසි අනතුරක් හෝ, හදිසි විදේශගත වීමකින් අදාල චරිතය අස්ථාන ගත කරන නාට්‍ය කණ්ඩායම තාවකාලික සතුටක් ලබන්නේය. එවිට ප්‍රේක්ෂක ඇස් නලලේය. ඇය හෝ ඔහු නැවත ආවේ නැතිනම් නාට්‍යය කොට උඩය. එවිට හදිසි අනතුරින් හෝ විදේශ ගත වීමේදී අදාල චරිතය මියයාමෙන් නැවත වෙනත් අයෙක් ප්‍රධාන චරිතය හැටියට පෙරට එන්නේය. එතැන් පටන් නැවතත් කාලය කා දමමින් නාට්‍යය ගලා යන්නේය.

නිමිත්ත -

වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේ ලා බොහොමයක් සමාගම් නියම ආකාරයෙන් ප්‍රෙක්ෂකයා අල්ලා ගන්නා අතර, ටෙලි නාට්‍ය නිර්මාණයේදීද එම ගුණාංගය පවත්වා නොගන්නේ මන්ද?

43 comments:

  1. Replies
    1. අරහං නොවූ ජනතාවට අරහං කරවීම උදෙසා ලිවීමි !

      Delete
  2. වෙළෙඳ දැන්වීම් කෙටි නිසා ඒවා තුළ නිර්මාණශීලීත්වය ආරක්ෂා කරගැනීමට හැකියි. ඒ නිසා ප්‍රේක්ෂකයා ඒ කරා ඇද බැඳ තබා ගන්නට පුළුවන්. ඔබ කියනවා වාගේ ඉතා කුඩා කතා වස්තුවක් ඕනෑවට වඩා අදිමින් දීර්ඝ කරන්නට යෑම නිසා මෙගා ටෙලි නාට්‍යවල නිර්මාණශීලීත්වය රඳවා ගන්නට අපේ අධ්‍යක්ෂවරුන් අසමත් වී තිබෙනවා. මේ නිර්මාණශීලීත්වය අඩු වූවා කියා ඒවා ප්‍රතික්ෂේප කරන්නට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් පෙළඹී තිබෙනවාද? මා නම් එසේ සිතන්නේ නෑ. මෙගා ටෙලි නාට්‍ය දෙස ඇස් දල්වාගෙන සිටින හුදී ජනයා එය ඔබට පසක් කර දෙයි.

    ReplyDelete
    Replies
    1. කෙටි හෝ දිගු බව නිර්මාණයට බාධාවක් කියල හිතන අය කලාකාරයෝ වෙන්නෙ නැහැ නිලූක. නිර්මානාත්මකභාවය ආරක්ෂා කරගනිමින්, ටීවී සීරිස් (බහුතරයක් ඉංග්‍රිසි) අපි දැකල තියෙනව නොවැ. පොඩි කතාව හෑල්ලක් කරන්න ගියාම නිර්මාණ රසය අඩු වෙනවා. ඒත් හැකියාව තියෙනව නම් ඒ රසය රකින්න පුලුවන්. දැනට තියෙන බහුතරයක් බ්ලොග් ලිපි වල (මගේ ඇතුලුව) හරය පොඩ්ඩයි. පඳුර වටේ තැලිලි ගොඩයි. ඒත් එව හරිම රසයි. ඒකයි නිර්මාණාත්මක බව.

      ඒ නාට්‍ය බලන්නත් සෙනඟ ඉන්නව කියන්නෙ බලන්න දෙයක් නැතුවට බලන පිරිස සහ පහත් රුචිකත්වය තිබෙන පිරිස..

      ස්තුති නිලූක..!

      Delete
  3. ඔෂීන් වගේ නාට්‍යයය කොටස් දෙසීය ගානක් උනත් ආසාවෙන් බලන්න පුලුවන්. දෙවෙනි පාරට උනත් ටීවී එකේ යන කොට අපි හරිම ආසාවෙන් බැලුවේ. ඔෂීන් එක කොටසක් මිස් උනොත් කතාවේ සෑහෙන්න ගොඩක් අනිවාර්යෙන්ම මිස්වෙනවා.
    ඒකට දැන් යන එව්වා. චික් විතරක්

    ReplyDelete
    Replies
    1. උඩින් නිලූක කියපු දේට පිළිතුරක් ලැබෙයි බණ්ඩාගේ කමෙන්ටුවෙන්..

      Delete
  4. මමනම් බලන්නෙ ITN එකේ නාට්ටි විතරයි බන්, අනිත් ඒවගේ විකාරනම් මට අරහන් :ඩී

    ReplyDelete
    Replies
    1. ඒකෙ නිවුස් වුනත් කලාත්මකයි බං !

      Delete
    2. ඇයි බං අර ‍සෝමවාහිනියෙ 8.00 ට යන එක. නියම ටෙලියක්නෙ. :D

      Delete
  5. ඇත්තෙන්ම අපේ ටෙලි නාට්‍යයක රඟපාන නලුවෝ ඔය ඉංග්‍රීසි ටෙලි නාට්‍යවල රඟ පාන පොඩි ළමයි එක්ක සංසන්දනය කලාම හරිම පහත් මට්ටමක ඉන්නේ. මේකට අපේ කාර්මික දියුණුව අදාල වෙන්නේ නෑනේ, නේද? අපි හැමදාම කියන්නේ අපේ ආර්ථික තත්වය හරි නෑ කියලනේ ඒවත් එක්ක තරඟ කරන්න.

    ReplyDelete
    Replies
    1. පඳුරකට ගැහුවත් මෙඩ්ලර්ස්ලා ඉන්න ලංකාවක් දැන් තියෙන්නෙ. උන් හැම එකාම නිළියොනේ.. හැකියාවක් නැහැ. සිදුරක් තියේ නම් තැනක් තියෙනවා ඒ අයට.. :))

      Delete
    2. යුදෙව්වන්ගෙ වගේ සිදුර මහන්න ඕන ඕකුන්ගෙ :D

      Delete
  6. මම ටීවී බලන එක අත ඇරලා ටිකක් කල්.... අනේ මන්දා.. අපේ උන්ට තේරෙන්නේ නෑ ලංකාවේ හොඳ දේට කැමති උන් ඉන්නවා කියලවත්...

    ReplyDelete
    Replies
    1. ගෙදරට ඇන්ටනාවක් ගන්න බැලුවම 2500ක් කිව්වා. ලංකාවෙ චැනල් 2500 ඇන්ටනාවට බලන වෙලා... 3500 ප්‍රෙමාෂන් එකට ගත්ත සැට් එක. දැන් දුක නැහැ. තේරෙන්නෙ නැති වුනත් බලං ඉන්න පුලුවන් :ඩී

      Delete
  7. එක ටෙලිනාට්‍ය කොටසක් බලන්න බැරි උනොත් ඊළඟ දවස වෙනකම් ඇඟිලි ගැනපු අපේ ළමා කාලය නම් මරු!
    ඇත්තටම පුංචි කාලෙන් පස්සේ, ටීවී එකේ යන නාට්‍යයක් බලපු කාලයක් මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ඩිමාන්ඩ් කරල තමා අපිට ඒ අය නාස්ටි පෙන්නුවෙ. දැන් ඉතිං සල්ලි දීල නේද අපිට නාට්ටි බලන්න කියන්නෙ??

      Delete
  8. TV එක සහ ලංකාවේ නාලිකා අතහැර සෑහෙන කල්ය.., හුදෙක්ම එය එසේ සිදිවුයේ ජීවිතේ කිසිම දිනක විය නොහැකි ජීවිත කතාවන් මෙගා ටෙලිනාට්‍ය ලෙස කරලියට ඒමත්, පරම්පරා දහයක් ගියද වයසකම චරිතය නොමැරී ජීවත් වීමත්, තමන්ගේ ස්වාමියා ජීවත් ව සිටියදී තවත් පළමු ස්වාමියා සමග පවුල් කෑමට සිදුවීමත්, කිසිම ලෙසක ආදර්ශයක් උපදේශයක් නොමැති වීමත්, හුදෙක්ම මැටි මොළවලට ගැලපෙන ලෙස අර්ථ විරහිතව සමාජය මුලාවේ දැමීමත්, මේවා බලලා අපේ උනුත් ඒ වගේ වෙන්න උත්සහ කිරීමත් නිසයි.
    මටනම් ටෙලි ඩ්‍රාමා අරහං අයියෝ..........!

    ReplyDelete
    Replies
    1. මේ ටික කලින් හිතුන නම් මගෙ පෝස්ට් එකට දාන්න තිබ්බා.. ස්තුති !

      Delete
    2. අහන්නත් සන්තෝසයි.....! ටැංකු සෑමෝ......!

      Delete
  9. මම නම් ටෙලි ඩ්‍රමා එකක් වත් නොබලමි...... (බොඩිමෙ tv එකක් නෙති බව සලකන්න.. :P)

    ReplyDelete
    Replies
    1. තිබ්බ නම් බලනව නේ??

      Delete
  10. මාත් ටෙලිනාට්‍යය බලන වැඩේ අතෑරියා...

    ෴හිතුවක්කාරයෙකුගේ සටහන්෴

    ReplyDelete
  11. ගෙදර ඉන්න කාලේ නම් News බැලුවොත් මිසක් දිගට දිගේ ටෙලි නාට්‍යය බැලුවෙම නෑ.හැබැයි ITN එකේ ගිය සුදත් රෝහනගේ එහෙම නම් බැලුවා..

    ReplyDelete
  12. දැන්නම් ටෙලි නාට්‍ය කාලෙකින් බලලා නැහැ. ඉස්සර් දිග නාට්‍ය තිබුනා දු දරුවෝ වගේ ඒවා ලස්සනට ගලා ගියා. දැනුත් ITN සහ ජතික එකේ ක්‍රෝධයෙන් තොර නාට්‍ය තියෙනවා. දඩුබස්නාමානය තමයි මම බලපු කැමතිම සිංහල නාට්‍ය.

    ReplyDelete
  13. එකනේ අපි ටීවී සීරිස් බලන්නේ. බෑවා බැලුවා. කාටවත් කරදරයක් නෑ. අපිට කරදරයකුත් නෑ

    ReplyDelete
  14. අපිත් කාලයක් ඇබ්බැහි වෙලා හිටියා බොරු කියන්නේ මොකටද... මෙගා ඔක්කොම අම්මයි මායි බැලුවා කාලේ ගෙවාගන්න නිසා ,පස්සේ ඉන්ටරනෙට් ගත්තට පස්සේ අම්මා tv එක ලග තනි වුණා,, පස්සේ තමයි මෙගාවලට බැන බැන එයත් නාට්ටි වලින් ඈත් වුණේ.. ඒත් අපි ආසාවෙන්ම බැලුවේ ඔෂින්... ඒ කතාව අපේ නිකන් ලව් කරන අඩන වැලපෙන කතා වගේ නෙමේ.. කතාව ගලන අතරේ ඒ කාලසීමාවට සමාන්තරව ජපානේ ජන ජීවිතය ,ආර්ථිකය,දේශපාලනය ගැන ප්‍රේක්ෂකයට හොද අවබෝධයක් ලබාදෙනවා...මගේ ජීවිතේටම ආසාවෙන්ම බලපු නාට්‍ය තමයි ඒ. මුලින් tv එකේ යද්දී මං පොඩියි,,දෙවැනි පාර යද්දී තමයි හොදින්ම තේරුණේ,,, අදටත් එහෙම එකක් මං දැකලා නැහැ ... සුජාත දියණි ඊළගට අපේ අම්මගේ වීරයා වුණේ...අපිට පවා බැන්නා අපි එහෙම නැහැ කියලා. හි හි ..හොද ලිපියක් සැමෝ

    ReplyDelete
  15. මුලින් සතියකට එක කොටසයි. දවසකට එක ටෙලියයි තිබ්බ කාලේ නම් සාමාන්‍යයෙන් බලන් ඉන්න පුළුවන් මට්ටමේ ඒවා හැදුනා. ඒ අතර බොහොම හොඳ මට්ටමේ ඒවත් හැදුනා. ඔය මෙගා සීරීස් එන්න කලින් වෙච්ච දේ තමා, චැනල් එකක දවසකට ටෙලිනාට්‍ය හතරක් පහක් යන්න ගත්ත එක. තියන් චැනල් ඔක්කොම ගත්තොත්, දවසට ටෙලිනාට්‍ය 20 වැඩියි. ඔතනින් තම වැටෙන්න ගත්තේ මම හිතන්නේ. අවුරුදු ගණනාවකින් සිංහල ටෙලිනාට්‍යයක් බලලා නෑ. ඉංග්‍රීසි ඒවත් බලන්නේ නෑ. දැන් වැඩියෙන්ම බලන්නේ ළමා කාටූන්.

    ReplyDelete
  16. මම නම් ඉතින් බලන්නේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. අර ඉස්සර කාලේ තිබ්බ සතියට එකක් යන ඒවා දවස එනකන් මඟ බලන් හිටියත් දැන් ඒවා බලන්න හිතෙන්නේ නෑ බං..

    ReplyDelete
  17. උඹේ නිමිත්ත හරි. නමුත් බං දැං කලාව විපරීත වෙලා තියෙන්නේ අර කියනවා වගේ නළුවේ දවස් පඩි කම්කරුවෝ නෙව. ඉතිං මොකටද අළුත් දේවල්..

    ReplyDelete
  18. කවුද බං ලංකාවේ ඒවා බලන්නේ. සික්...මල ජරාව...

    අපි බලන්නේ Arrow, Tomorrow people, Vikings, Doctor who, Sherlock වගේ සම්භාව්‍ය ටෙලි ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. මම නම් ටීවි බලන්නෙම නෑ.. ඒ වෙලාවට කරන්නේ පොතක් කියවන එක. ඒකඊට වඩා හොඳයි.

    ReplyDelete
  20. අපේ ගෙදරත් ඔය ටෙලි නාට්‍ය පෙන්නන වෙලාවට දැං ටීවී එක වහල රේඩියෝ එක දාල තියෙන්නෙ.
    ඉස්සර සතියට එකක් පෙන්නන කාලෙ තිබ්බ හරවත් කොහොම වෙතත් බලන්න පුලුවං ඒව දැං හැදෙයි කියල හීනෙන්වත් හිතන්න බෑ.
    පළිඟු මැණිකේ, හිරුට මුවාවෙන් වගේ ඒව තමයි මම ආසාවෙන්ම බැලුවෙ.

    ReplyDelete
  21. උඹ හොඳ මාතෘකාවක් අරන් තියෙන්නේ. මේක ටෙලි ඇතුළු සියළුම ක්ෂේත්‍රයන්ට වැලඳිලා තියෙන වසංගතයක්. ටෙලි නාට්‍ය වැටිලා තියෙන්නෙත් රටේ ඇතිවෙලා තියෙන සංස්කෘතික සෝදාපලුවේ කුණු කානුවට. සංස්කෘතික ඇමති ජංගි අස්සේ ලප හොයන රටේ...

    උඹට හොඳ එකක් කියන්නම් බලන්න. ශාන්ති දිසානායකගේ සම්මාණනීය නවකතාවක් ඇසුරෙන් හදපු ගිරිකුළ යනවා ඉරිදාට ස්වර්නවාහිනියේ. බොහොම හොඳට නිර්මාණය කරලා තියෙනවා. බලන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ශාන්ති දිසානායක කියන්නෙ මම කැමති ලේඛිකාවක්. ඇයගේ පොත් කීපයක්ම කියෙව්වා... හැබැයි ඔය ගිරිකුළ කියවනකොට ඇයගේ ෆෝමියුලා එක මට ටිකක් කම්මැලි වෙලා තිබ්බේ... එක පිට එක එන ඛේදවාචක සමහර වෙලාවට බලෙන් ඔබ්බපු ගතියක් තිබුණා.

      Delete
    2. තිසර........කැමති නම් මේ නාට්ටිය බලලා පස්සේ සටහනක් ලියන්නකෝ. දැනට නම් වැඩේ හොඳට යනවා. කොලනි ආශ්‍රිත කතාවක්

      Delete
  22. මමත් ලංකාවෙ චැනල් බැලිල්ල නැවැත්තුවා අවුරුදු ගානකට කලිං. නමුත් tv එක කියන්නෙත් දැං සමාජෙම කොටසක් නිසාත්, මං කරන'කියන දේවල් වලට දැනුවත් වී තිබීමේ උවමනාව නිසාත්, ඉඳලා හිටලා බලනවා මේ වෙනස් වෙන සමාජ රටාව, සමහර වැඩසටහන්/වෙලඳ දැන්වීම් ඇතුලෙ ලේසියෙන්ම අඳුනගන්න පුලුවං හින්දා..
    ලියනවනං පොතක් පිරෙන්න කරුණු තියෙනවා මේ ගැන... මං මගේ අදහස කෙටියෙන් කියන්නං..
    .
    කලාව කියන්නෙත් මේ සමාජෙම කොටසක්. ටෙලි විතරක් නෙමෙයි, කලාව කියන එක ඇතුලට දාන්න පුළුවං හැම දේකම සැමා කතා කරන මේ අවුල තියෙනවා. (කලාව පමණක් නොව , වෙනත් සමාජ/දේශපාලනික කාරණා වගේම..)
    උඩ තියෙන කමෙන්ට් එකක 'අරූ' කියලා තියෙනවා වගේ මේක සංස්කෘතික සෝදාපලුවෙම කොටසක්. කලා කෙරුවාව ඇතුලෙ ඉන්න බහුතරය මේ වෙනකොට පිස්සු කෙලින බව ඇත්ත. නමුත් මෙහෙම දෙකුත් තියෙනව.. ටෙලි බලන ප්‍රේක්ශකයෝ විදිහට උඹලා/අපි වගේ ඉතාම සුලු පිරිසකට නේද මේ අවුල තේරුං ගිහිං තියෙන්නෙ.. මේ නිර්මාණ වල කිසි රහක් නැති බව දැනෙන්නෙ..
    දැනට අවුරුදු 10කට 15කට කලිං ටීවී බලපු පිරිස තවමත් ටීවී බලනවා. බට් ඒ හැමොටම මේක එපා වෙලා නෑ. හේතුව කාලයේ වෙනස නොව බහුතරය කිසිම රහක් නැති මැට්ටන් වීම. ඒ කාලෙ ටෙලි බලපු අයගෙන් බහුතරයක් තවමත් කිසි අවුලක් නැතුව ටෙලි බලනවනෙ බං. මේක අපේ අධ්‍යාපන ක්‍රමයේ ඉඳං ලොකු සමාජ දේශපාලනික කාරණා ගොඩක ප්‍රතිඵලයක්. මේ තත්වෙට කලා කාරයින්ට දොස් කියලා වැඩකුත් නෑ, මිනිස්සුන්ට දොස් කියලා වැඩකුත් නෑ. මොකද දෙගොල්ලොම වැරදියි. කිසි එකෙකුගෙ රහක්, ගුණයක් නෑ. හැබැයි මං ඒකෙන් අදහස් කරන්නෙ නෑ 'මොකුත් නොකර වෙන දෙයක් වෙච්චාවෙ කියලා නිකං බලාගෙන ඉන්න' කියන එක..
    .
    උඹලා/අපි පොඩි කාලෙ තිබුණු ටෙලි වලිං වැඩි හරියක් හොඳයි, වැඩකට නැති ඒවා තිබුණෙ පොඩ්ඩයි. සමහර වැඩකට නැති ඒව තිබුණු චැනල් දෙකෙන් ප්‍රතික්ශේප වෙලා එලියට ආවෙත් නෑ. රහක් තියෙන එවුං ටිකක්, ටෙලි නාට්ටි හැදුවා. ඒවා බලන සෙනගට, රහක් තිබ්බත් නැතත් බලන්න තිබුණේ ඒවා විතරයි. අද තත්වෙ වෙනස්. ඕන සිපයියෙකුට ටෙලියක් කරලා මොකක් හරි ගේමක් ගහලා චැනල් එකක පෙන්නගන්න පුළුවං. වෙලෙන්දො/චැනල් කාරයො/කලාකාරයෝ ඇතුලු හැමෝම මුදල් මත පමණක් යැපෙන පිරිසක් වෙලා.. "රහ" කියන්නෙ නිර්මාණයක් තීරණය වෙන පුංචි සාධකයක්වත් නෙමෙයි. හැබැයි ප්‍රේක්ශකයො කියන එවුංගෙත් බහුතරය උංටම හරියන කිසි රහක් නැති මැට්ටොනෙ...(ඒකට ඒ'කාලෙ/දැං'කාලෙ කියලා වෙනසක් නෑ.) ඉතිං මුංට පවතින්න පුලුවං කිසි ගේමක් නැතුව. උඹලා අපි මොනවා කතා කලත් වැඩක් නෑ.
    .
    ලිපිය එල මචං..

    ReplyDelete
  23. දැනුත් හොද ටෙලිනාට්‍ය එනව ඒ වුනාට මේ මෙගා කෝලම නිසා ඒව වැඩිය ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ සෑමො..

    ReplyDelete
  24. දැන් තියෙන ටෙලි නාට්‍ය වලට වඩා quality එකක් තියෙනවා වීදි නාට්‍ය වල. දැන් අලුතෙන්ම තියෙන්නේ "news tele". ඒ ජාතියේ හොඳම නාට්‍යය රත්තරන් වාහිනියේ හැමදාම රෑ 8 ට බලන්න පුළුවන්.ඒ කොහොම වෙතත් මම බලපු හොඳම ටෙලි නාට්‍යය නම් දඬුබස්නාමය යි. මෙච්චර කාලෙකට එකට ගහන්න පුළුවන් තාලේ නාට්‍යයක් හැදිලා නෑ.

    ReplyDelete
  25. අපිත් උඹ කියූ ඒ ඈත කාලයේ කෝපි කඩේ, පළිඟු මැණිකේ, කඩුල්ල ආදී නාට්‍ය බලන්නට පොර කෑවෙමු. ඉන් පසු රටින් පිටවූවාට පසු එක් VHS පටය පවුම ගානේ කුලියට සිංහල කඩයකින් ලබා ගෙන ටෙලි නාට්‍ය බැලුවෙමු. ඉන්පසු අන්තර්ජාලයට පිංසිඳු වන්නට එදින රාත්‍රියේම අපට එදා ගිය නාට්‍ය නැරබීමේ අවස්ථාව උදා විය. බොහෝ විට රාත්‍රියේ කෑමෙන් පසු අප කරන්නේ ටෙලි නාට්‍ය නැරබීමය. මමනම් සති අන්තවල යන හොඳ නාට්‍ය කිහිපයක් බැලීමට පුරැදු වී සිටිමි.

    ReplyDelete
    Replies
    1. අරෑ කිව්වා මෙන් ගිරි කුළ ඉන් එකකි. අනෙක බංඩාර දෙයියෝ නම් වෙයි.

      Delete
  26. මමනම් පොඩි කාලේ ඉදලම TV එකට ඇබ්බැහි උන කෙනෙක් නෙවෙයි,මටනම් මේ මෙගා අරහන් ඒ උනාට අවුරුද්දකට එකහමාරකට විතර කලින් ගිය ස්වයංජාත ටෙලියනම් මම සේරම බැලුවා, ඔන්න දැන් දවස් දෙකකට කලින් දෙරණේ පටන් ගත්ත ස්වර්ණපාලිත් බලන්න හිතුවා .වැඩේ කියන්නේ කතාව විනාඩියයි ඇඩ් විනාඩි පහයි

    ReplyDelete
  27. අතීත නාට්‍ය මෙන් නොවන වර්ථමාන "නාට්ටිය" කිසි වැඩක් නැත. අනුන්ගේ කුණු සොයන මාධ්‍ය කලාවකට යටවුන නාට්ටි විතරයි දැන් තියෙන්නේ. දැනුමක් ගන්න, විනෝදය සපයන්න පුළුවන් නාට්ටියක් නැති තරම්. කොටින්ම කිව්වොත් වර්ථමාන නාට්ටි කලාව කිසිඳු වැඩක් නැත. ඒ වෙලාවේ බුදිය ගත්තත් සැපය. නාට්ටි විනාසයට මුලය. :P

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...