Google+ Followers

Thursday, September 29, 2011

ජෙමාට නම ලැබුණ හැටි (Duminda became "Jema")

‍8 වසරේ ඉන්නකොට අපේ පන්තියට කළු කොට හාදයෙක් අලුතෙන් ආවේය. පොර පන්තිය ඉස්සරහට ගෙනාපු අපේ පන්තිභාර ටීචර් කීවේ පොරගේ නම දුමින්ද සම්පත් කියාය. පොර ආපු දවසෙම අපිට සෙට් විය. බුවා කොල්ලොත් එක්ක ෆිට් එකේ ඉන්න මැක්සා ඩයල් එකකි. ඕලෙවල් කළාට පස්සේ පොර ගැන කිසිම ආරංචියක් නැතිවිය. අපේ එවුන්ට දුමින්ද කීවත්, සම්පත් කීවත් පොරව මතක නැත. පොර හිටියෙ රොෂේන් ගේ ගෙවල් පැත්තේය. (රොෂේන් දැන් කොළඹ කැම්පස් එකේය) රොෂේන් මගේ පන්තියක සෙට් වුණේ 10,11 වසර වලදී නේ. රොෂේන්ව පැත්තකින් තියලා දුමින්ද සම්පත් - 'ජෙමා' වුණ හැටි කියන්නම්. පස්සේ කාලෙක අපේ එවුන් දුමින්දට ජෙමා කිව්වට නිධාන කතාව දැනගෙන හිටියේ නැහැ. දන්න එවුන්ට මතක් වෙන්නයි. දන්නෙ නැති එවුන්ට දැන ගන්නයි නිධාන කතාව කියන්නම්.

දුමින්ද ඉස්කෝලෙට ආව පළවෙනි දවසෙම කස්ටිය එක්ක හොදට කතාබහ කරලා හිටියා. අපේ එවුන්ට ‍විතරක් නෙවේ ටීචර්ලට වුණත් ආපු දවසෙම නම මතක හිටින්නේ නැහැනේ. ඉතින් එක එකා එක එක නම් කියනවා. පළවෙනි දවස ‍ඔහොම ගෙවිලා ගියා. 

දෙවෙනි දවසෙත් අපේ එවුන්ට නම මතක නැහැ. අනික අපේ එවුන් උප්පැන්නේ නමට කැමති නැහැනේ. ඒකනේ මටත් එදා ඉදන් සෑම් කියන්නේ. දුමින්ද ඉස්කෝලෙ ආපු දෙවෙනි දවසෙ මිනිහගේ උපන් දිනේ තිබ්බෙත්. අපේ එවුන් උදේම දැක්කා පොර කේක් එකක් ගෙනෙල්ලා තියෙනවත්. ඒක නිසා එක එක නම් කියන්නෙ නැතිව කොල්ලට හරි ආ‍දරෙන් හිටියා. අපේ එවුන් කෑම බීම නාස්ති කරන උදවි‍ය නෙවේ නේ. අපේ එවුන්ගේ හැටි දන්න එකෙක් උපන්දිනේට කේක් එකක් ගෙනාවොත් කපන්නේ ටිකක් දවල් වෙලා. නැත්තම් උදේම කැපුවෙත් එදාටවත් ලැබෙන සැලකිලි අඩුවෙනවනේ. අනික අපේ එවුන්ට කෑවට බිව්වට පස්සේ උපන්දින තියා එදාම මලත් අමතකයි. ඒක නිසා අපි නම් කේක් කපන්නේ දවල් වෙලා. අළුත් ඉස්කෝලේ සීන් කෝන් දන්නේ නැති අපේ දුමින්දයා එදා පාන්දරම කුකුලවත් පැත්තකින් තියලා කේක් එක කපලා බෙදුවා. මෙනව වුනත් හිත හොද කොල්ල නිසා පීරියඩ් අටේම ටීචර්ලට කන්න කේක් කෑලි 8ක්ම අරන් තියා ගත්තා.

අනේ ඉතිං අපේ කොල්ලා දුමින්ද උදේ ඉදලා සැරින් සැරේ පීරියඩ් එකෙන් පීරියඩ් එකට ටීචර්ලට පීරියඩ් එක ඉවර වෙද්දී කේක් කෑල්ලක් දීලා පිටත් කරනවා. ඔන්න ඔහොම දුමින්දයගෙ බර්ත් ඩේ පාටිය ගෙවෙනකොට පන්තියට ආවා අපේ ගණන් උගන්නන සර්. සර් අනුර වුණාට කවුරුත් දන්නේ මැරයා කිව්වම. ඒකත් කොල්ලො දාපු නමක්. මැරයා උඩු රැවුල වවලා ඉන්නේ. උසම උසයි. කතා කරන්නේත් මැරයා වගේමයි. අපේ එවුන් ඉස්සර පට්ට බයයි. ඒත් 10,11 වසර පහුවෙද්දී (ඒ කියන්නේ අපේ එවුන් ලොකු වෙලා මැරයො වෙනකොට) මැරයා කොල්ලන්ට බය වෙන්න පටන් ගත්තා. මේ සීන් එක වුණේ මැරයට අපි බය කාලේ. ඉතින් මැරයා පන්තියට ඇවිත් ඉදගත්තා.


"කෝ ගෙදර වැඩ කරපු නැති අය නැගිටින්න බලන්න" මැරයා ගැඹුරු හඩින් කීවා. කොල්ලෝ කීක් නැහැ. ‍ඉදගෙන ඉන්නවා. එකෙක්වත් නැගිට්ටේ නැහැ.


"ආ.. හොදයි. ඒ කියන්නේ කට්ටියම වැඩ කරලා" මැරයා තවත් බය කළා. එතකොටම පුටු පෙරලගෙන බර්ත් ඩේ බෝයි ජෙමා (සොරි තාම දුමින්ද "ජෙමා" වුණේ නැහැනේ) නැගිට්ටා. කොල්ල ඊයේ නේ ඉස්කෝලෙට ආවේ. අද ගෙදර වැඩ කරන්න එන්න බැරි වෙන එක සාධාරණයි. ඒත් කොල්ලා ඒවා කීවේ නැහැ. සාධාරණ කොටා වගේ නැගිට්ටා.


"ඒ මචං උබ කියපං ඊයේ ආවේ කියලා. අවුලක් නැහැ සර් ෂේප්. පොර දන්නේ නැහැනේ උබ ආවේ ඊයේ කියලා" කොල්ලො හොරෙන් හොරෙන් ජෙමාට ඇඩ්වයිස් දෙන්න ගත්තා. අපේ එවුන් මොනව වුණත් බර්ත් ඩේ බෝයියව බේරගන්න ට්‍රයි කළා. මොන, කිසි වැඩක් වුණේ නැහැ. කොල්ලා අභීතව පපුව ඉස්සරහට දාගෙන ඉන්නවා අවංකවම, එඩිතරව, නිහතමානීව.


"ඇයි තමුසෙට නැගිටින්න බැරි වුණේ එක පාර??, ඇයි ගෙදර වැඩ කරන්නේ නැත්තේ? කෝ පන්ති නායකයා, ගේනවා ‍එහා පන්තියෙන් වේවැල." මැරයා ගේමට සැරසී ආයුධ සොයයි. සාධාරණ කොටා සද්ද නැත. බර්ත් ඩේ කේක් එකේ ඉටිපන්දම් නිවන්නට මෙන් නැගිට සිටම, මැරයා බර්ත් ඩේ සෝන්ග් එක කියන තුරු බලා සිටී.


"අල්ලනවා අත." චටාස් පටාස් ගා පාරවල් දෙකක් වැදින. දුමින්දට ගානක් නැත. පොර ඉදගත්තේය. පාඩම අහවරවෙන බෙල් එක වදින තුරු දුමින්ද අතට පිබිමින් සිටියේය. බෙල් වැදුන හැටියෙම මැරයා නැගිට්ටේය.


"හරි ලමයි. අපි හෙට ඉතුරු ටික බලමු. ආයුබෝවන්" කියා මැරයා පිටවෙනකොටම දුමින්ද මැරයා ඉදිරියට පැන්නේ කේක් කෑල්ලක් අතැතිවය.


"සර්, ගන්න කේක් කෑල්ලක්. අද මගේ උපන්දිනේ" දුමින්ද කීය. මැරයාගේ හිත උණුවන්නට ඇත. ඒත් පෙනෙන්නේ නැත.


"අයියෝ එහෙමද පුතා? ඇයි ගහන්න කලින් නොකීවේ" මැරයා කේක් කෑල්ල ගන්න ගමන් ඇසීය.


"නැහැ සර්, ඊයේ තමා මම ඉස්කෝලෙට අලුතෙන් ආවේ. ඒකයි ගෙදරවැඩ කරන්න බැරි වුණේ" දුමින්දයා බිම බලන් කීය.


"තමුසෙ මාර බඩුවක්නේ අයිසේ, ගුටි කන්න ඔච්චර ආසද?" මැරයා කීවේ එපමණකි.


දුමින්දයට බර්ත්ඩේ ප්‍රසන්ට් එකත් හම්බෙලා ඔන්න ඔහොම පීරියඩ් ගෙවෙන කොට සිංහල ටීචරුත් ආවා. ඇත්තටම මට එයාගේ නම මතක නැහැ. ඉතින් ටීචර් ආපු හැටියේ කීව අද අලුත් පාඩම පටන් ගමු. පන්තියටම ඇහෙන්න කවුරු හරි හයියෙන් පාඩම කියවන්න කියලා. එදා පාඩමේ තිබ්බේ ජෙමා කියලා චරිතයක් ගැන පාඩමක්. මට හරියට පාඩමේ නම නම් මතක නැහැ. අපේ සිලබස් එක කරපු අය ඉන්නවනම් මතක් වෙයි. පාඩමේ ජෙමා කළු, කොට හාදයෙක් කියලා තමයි විස්තර වෙන්නේ.


කලින් පීරියඩ් එකෙන් පාඩමක් උගත් ජෙමා මේ පාර ටීචර් පන්තියට ආපු හැටියේ විස්තර කියලා කේක් කෑල්ල දීලා ෂේප් කරගත්තා.

"හරි ලමයි. අපි අද පන්තියට අලුතින් ආපු එක්කෙනාට දෙමු පාඩම කියවන්න" ටීචර් දුමින්ද දෙස බැලීය.

"පුතාගේ නම මොකක්ද?" නැවත ඇසීය. ඇයට තියා අපටවත් මතක නැත.

"මම දුමින්ද ටීචර්, දුමින්ද සම්පත්" දුමින්ද තමා හදුන්වාදීය.

"හරි දුමින්ද පුතා හයියෙන් පන්තියටම ඇහෙන්න කියවන්න බලන්න පාඩම මුල ඉදන්" ටීචර් කීය. අද දුමින්ද ඉස්කෝලයට දෙවෙනි දවසය. කලින් මැරයගෙන් ගුටි කාපු එකේ, පන්තියටම වැඩ පෙන්වීමට සුදුසු වෙලාවයි. හේ නැගිට පාඩමට මුල පිරීය.

"එකා....යි... දෙකා...යි.... තුනා..යි... කියමින් ජෙමා ජබොස් ගා වතුරට පැන්නේය."

දුමින්දට පාඩමේ කියවන්වට හැකිවූයේ මේ වචන කීපය පමණි. පන්තියම පාඩම නවත්වා සිනාසුනහ. උච්ච ස්වරයෙන් පාඩම පටන්ගත් නිසා පන්තියට පමණක් නොව මුළු සෙක්ෂන් එකටම දුමින්ද එදා සිට ජෙමා බව ආරංචිවිය. එදායින් පසු ඉස්කෝලේ දුමින්දයෙක් නැත. හිටියේ ජෙමාය. හිටිය අනිත් එකම දුමින්දයා ඉස්කෝලේ "පියන් ‍දුමින්ද"යාය.




Written by sAm11:52pm_26.09.'11

6 comments:

  1. ජෙමා ආදරෙයි ඒ නමට.. ;)

    ReplyDelete
  2. කොල්ල මිසිං... අහන්න වෙන්නේ රොෂේන් ගෙන් බං..

    ReplyDelete
  3. Thanks Vino.. kolla see all the stories..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...