Wednesday, April 5, 2017

කොළ - රතු සහ පොලිසිය... - Police With Red & Green !!



පොලිසිය ගැන නම් කතන්දර බෙහෝය. බොහෝ එව්වා නරක එව්වාය. ඉතිරිය විහිළු එව්වා වන අතර, සුළුතරය හොඳ එව්වාය. සමහර නිලධාරීන් නිසා පොලිසියට අත්ව ඇත්තේ සෝචනීය තත්වයක්ය. එකෙක් දෙන්නෙක් ගේ නොමනා වැඩ නිසා පොදු පොලිස් සේවයම මඩ වඟුරක් වී ඇත්තේය. මෑතකදී සිදුවූ සිද්ධිය නම් මෝටර් බයිසිකලයක ගිය අයෙක්ට බිම දමාගෙන පහර දීමය. එතැනදී ජනතාවට හොඳ අය අමතකව සියල්ලටම පොදුවේ බනින තත්වයක උදාවන්නේය. කරන්නට දෙයක් නැතිය. අවුරුද්දට කොහා ආවත් වැරදිය. නාවත් වැරදිය. වැරැද්ද ඇත්තේ කොහාගේ නොවේය. ජනතාවගේය. ජනතා බලාපොරොත්තු ඉටු කිරීම පොලිස්පතිට බැරි නම් කොහා නම් මක් කරන්නද කියා සෑමා මතක් කරන්නේය. 



මෑතකදී අංකල් කෙනෙක් කිව්වේ පොලිස් කතාවක්ය. අහිංසක කන බොන ඩෑල් එකක් රාත්‍රි දොලහ පසු වී නිවසට යමින් සිටියේ සිය දරුවන් බලන්නටය. විශේෂයෙන් තම බිරිද බලන්නටය. හෙතෙම නිවසට යමින් සිටියේ හිස් අතින් නොවේය. සිරුරේ දිවෙන රුධිරය සමඟ ඇල්කොහෙල් යම් ප්‍රමාණයක් කළවම් කරගෙනය. ප්‍රමාණය කෙසේද යත් මෑන්ස්ට පාර අයිනේ දිගට ගසා තිබෙන සුදු ඉර දිගේ බයිසිකලය පැදගෙන යන්නට බැරි තරම්ය. කෙසේ හෝ ඉතා අවාසනාවන්ත අයුරින් ඩෑල් එක පොලිසියට හසු වි ඇත්තේය. තම දරුවන්, බිරිඳ බැලීමට වැඩ නිම වී රෑ දොලහ පසුවී ගෙදර යන එකෙක්ටවත් පාඩු වේ යන්නට බැරිය. පොලිසිය අත දානවාය. කොල්ලා හිතට දහිරිය රැගෙන එක් රාලහාමි කෙනෙක්ට කතා කර සිය චේතනාව කියා පෑවේය. තමා දරුවන් බලන්නට ගෙදර යන්නේය. විශේෂයෙන්ම තම බිරිද තමා එන තුරු පාර බලා සිටින බවත් කිව්වේය. පොලිසියේ ඩෑල් එකගේ සිත ගත සලිත වී ගියේ දුකටය. ඒ මෝටර් සයිකල් හිමිකරු සාක්කුවට අත දමා එළියට ගත් රැපියල් පන්දාහේ කොළ දෙකට කිව්වාට වැරැද්දක් නැතිය. සිත බිඳීගිය පොලිස් මාමා කියා සිටියේ මේ පන්දාහ තමුසෙ තියා ගන්නවා. ඉවත් ඉස්සරහට යද්දී පොලිසිය හිටියොත් බේරෙන්න එපෑ කියාය. එවැනි පොලිස් මහත්තුරු රටට වාසනාවක්ය. නිදැල්ලේ නිවසට යන, දරුවන් බලන, බිරිදගේ මුහුණ දකින ආශාව ඇත්තන්ට ඉතා වාසනාවන්ය. 

දෙවැනි සීන් එක අපේ ස්කූටර් හිමියෙක් ගැනය. ඩෑල් එකට ඇත්තේ හෙන ඇන්ටික් ස්කූටර් එකක්ය. කොච්චර රේස් කළත් එකම තැනය. එහෙත් පොර හිතාගෙන ඉන්නේ පොලොවේ ඇති පස් තම කනේ ගෑවෙනවා කියාය. පාරේ ඇති වංගු කෙලින් කරන්නේ පොර එහෙමය. අනික තම මීටරය වැඩ කරන්නේ ඉතා හෙමින් යැයි සිතන්නේය. එය නිවැරදි නැති බවත් හෙතෙම කියන්නේය. ඔහු කියන්නේ ස්කූටරය පැරණි වුණත් ඉතාම වේගවත් කියාය. ඒ නිසාම තමන් පැයට කිලෝමීටර සීය පන්නා ගමන් කරන නිසාත ෆුල් ෆේස් එකක් වඩාත් සුදුසු බව හෙතෙම කියන්නේය. උගෙ ආතල් කැඩීම වැරදි නිසා අපේ උන් අනෙ ඒක තමයි බං කියා පැත්තකට වන්නේය. එහෙත් දිනක් ඒ ආතල් කුඩු කළේ ඔහුත් සමඟ පිටු පස ආසනේ ඉඳගෙන ගිය තවත් මිතුරෙක්ය. පාරේ සුදු ඉරක් කපාගෙන ඉදිරියට ඇඳෙන මිත්‍රයාව කිලෝමීටර් භාගයක් පමණ ඈත සිට පොලිස් කාරයෙක් අත වනා ඇත්තේය. පිටුපස සිටින මිතුරා කිව්වේ අන්න මචං පොලිසියෙන් නවත්වන්න හදන්නේ කියාය. ඒ නිසාම බයිසිකලය පදින ස්කූටර් හිමි මිතුරා ඉතා වැරෙන් තම රථය රේස් කරමින් ඉදිරියට ඇදෙන්නේ පොලිස් මාමා ලඟ නවත්වන්නටය. ඔහු නොනවත්වාම අත වනමින් බලා සිටින්නේ මිතුරන් දෙදෙනා ලඟට එනතුරුය. අරූ හොඳින් රේස් කරන්නේය. පොලිස් මාමා නොනැවතී අත වනන්නේය. කොතරම් රේස් කළත් ඉදිරියට ඇදෙන්නේ ඉතා සෙමින් නිසා පොලිස් මාමා අත වනන වේගය අඩාල වන්නේය. අත ඔසවාගෙන සිටම අත රිදෙනවා විය යුතුය. එහෙත් අරූ වැරෙන් රේස් කරන්නේ ඉක්මනට එතැනට යන්නටය. එතැනට ලං වෙද්දීම පොලිස් මාමාට ඌරු ජුවල්ය. අපේ මිත්‍රයා එතැනදී ස්කූටරය ස්ලෝ කර ඇත්තේය. ඒ සමඟම පොලිස් මාමා කියා ඇත්තේ “අනෙ  පව් නොදී යනවා ඕයි යන්න“ කියාය. එදායින් පසු උගෙ ස්කූටරයට හයියෙන් යන්න බැරි බව හෙතෙම පිළිගත්තේය.

මාතෘකාවට අදාල කතාව තාම නැත්තේය. පෝස්ට් එක කියවන උන් සෑමාට විරුද්ධව දැන් පොලිසි යනවා ෂුවර්ය. පොලිසිය ගැන ප්‍රකට කතාවක් ඇත්තේය. රටවල් කිහිපයක පොලිසියෙන් යොදා කළ සමීක්ෂණයක්ය. කතාව හැමෝම දන්නේය. කෙටියෙන් කිවොත් මෙසේය. ලංකාව ඇතුලු රටවල් තුනක් සමීක්ෂණයට ගොස් ඇත්තේය. ඒ හොඳම පොලිසිය සොයන්නටය. හාවෙක් කැළයකට අත්හැර ඇත්තේය. සමීක්ෂණයට ගිය පොලිස් කණ්ඩායම් හාවා සොයා ගත යුතුය. ඇමරිකන් උන් සතියක් ගොස් වැඩේ අතැර ඇත්තේය. ඉන්පසු ගිය රුසියන් උන් සති දෙකෙන් වැඩේ අතැර ඇත්තේය. එංගලන්ත උන් ද නැවත පැමිණ නැත්තේය. අවසානයට ගිය අපේ පොලිසියේ අය හිවලෙක් අල්ලාගෙන ආවෝය. ඌ නහයෙන් කටින් ලේ පෙරාගෙන එනගමන් කියා ඇත්තේ “හරි හරි සර්.. මම හාවා කියල පිළිගන්නම්“ කියාය. අපේ පොලිසිය එහෙමය. වැඩේ කෙවිටෙන් බැරි නම් බැටන් පොල්ලෙන් හරි කරනවාය.

ඒ සිද්ධිය සෑමාට මතක් වුයේ ගමේ සීන් එකක් නිසාය. දිනක් පාන්දර එකට පමණ සැට් එකක් හන්දිය පැත්තට දුවනවා සෑමාට ඇසී ඇහැරුණේය. ඒ දින වල හමුදාවේ සිටි තරුණයෙකුගේ මලගෙයක් තිබුණේය. ඒ අස්සේ ගමට ආ සැට් එකක් එතැන තිබූ ත්‍රී වීල් එකක් පැදගෙන ගොස්ය. ගමේ උන් හොරා අල්ලන්න දුවන්නෝය. උඩුමහලේ සිට සීන් එක බලා සිටි සෑමා පහළ ට බැස්සේ ගමේ උන් ඉන්නා නිසාය. එතැනට ගොස් විපරම් කළ විට සිද්ධිය ඇත්තය. මල ගෙදර අසල තිබූ කොළ පාට ත්‍රී වීල් එකක් පැදගෙන ගොස් ඇත්තේ හොරු සැට් එකක්ය. හොරු පස්සේ දුවන්නට නොහැකි නිසා සෑමා ගෙදර පැමිණ නිදා ගත්තේය. නැවතත් කතාව අලුත් වන්නේ හොරු පස්සේ දිව ගිය මිතුරෙකු මුණ ගැසුණු නිසාය. අපේ උන් හන්දියේ සිටියදී ඉදිරියට පැමිණි පොලිස් ජීප් එකකට විස්තරය කියා ඇත්තේය. පොලිස් ජීප් එක සෙනිකව ආපසු හරවාගෙන ගොස් ඇත්තේ “බය වෙන්න එපා අපි දැක්කා වීල් එකක් යනවා, අපි අල්ලං එන්නම් කියාය.“ සිරිලාංකික පොලිස් වචනය උද්ගෝෂණයේදී වදින ජල ප්‍රහාරය තරම් පට්ට ෂුවර් නිසා අපෙ උන් නැවත මලගෙදර ගොස් ඇත්තේය. එහි සිටියදී පැයක් පමණ ගත වෙද්දී පොලිසිය පැමිණ ඇත්තේ වීල් එකක් සමඟය. එය පැදගෙන ඇවිත් ඇත්තේ පොලිසිය ‘හොරු‘ යැයි නම් කළ පිරිසක්ය.

“කෝ අර මල්ලිලා.. මෙන්න බඩු අපි අල්ලගෙන ආවා..“

“කෝකද රාලහාමි??“

“මේ තියෙන්නේ.. “

“මේක රතු පාට විල් එකක් නෙ රාලහාමි.. අපි යද්දිම කිව්වේ අරන් ගියේ කොළ පාට එකක් කියලා..“

“ආ මේක නෙවෙද?? තමුසෙලා යනවා එහෙනම්..“

කියමින් පොලිසිය රතු පාට වීල් එක ඇතුලේ සිටි කොල්ලෝ දෙතුන් දෙනාව පිටත් කර ඇත්තේය. ඉන්පසු අපෙ උන්ට පසුදා පොලිසියට ගොස් පැමිණිල්ලක්ද ලියන්නට සිදු වී ඇත්තේය. 

sAm_ශ්‍රී_9:50pm_03/04/17

10 comments:

  1. හම්මේ පොලිස් කතා.. මල පනින ඉල ඇදෙන ඔක්කොම එකතැන.. කොතනද පොලිසිය එතන.. :)

    ReplyDelete
  2. පොලිස් කතා කියන්නේ පරිස්සමින් ..මොකද නැවයි වැලි ගෑවෙන්න

    ReplyDelete
    Replies
    1. නරකක් කිව්වෙ නෑනෙ ඉතිං !

      Delete
  3. සර්....මේ සෑමා ගංජා විකුනනවා..අල්ලන් යන්ට.

    ReplyDelete
    Replies
    1. ගෙදර පාවිච්චියට වැව්වා මිසක් රාලාමි, විකුණන්න කියල වැව්වෙ නැ ඕං !

      Delete
  4. රතුපාට වීල් එකේ හිටපු එවුවංගෙ අඬු කඩන්නැතුව තිබ්බ මදැයි.

    ReplyDelete
  5. ලංකාවේ පොලිස්කාරයෝ හිතන් ඉන්නේ උන් තරම් කවුරුත් නැහැ කියලායි.හැබැයි උන්ගේ ඔක්කොම සෙල්ලම් තියෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයි.

    ReplyDelete
  6. පොලිෂ් කතා...

    ReplyDelete
  7. ඉඳල හිටල දුන්නත් අතටම සිතාසිය
    දුක හිතෙන්නැද්ද අව්වෙ කට්ට කන විලාසය..
    උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය..
    දුකට සැපට ඔබට ඉන්න ඔබෙ පොලීසිය..//

    හැක්!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...