Monday, September 8, 2014

පෝදින දහම් පඬුර...


පවුලගේ සීයා නැති වූ නිසාත්, සෑමාගේ ආච්චීගේ (අම්මාගේ අම්මා) වර්ෂ පූර්ණ බණ, සහ දානය සැට් වීම නිසාත් සෑමා පසුගිය ටිකේ සිටියේ කලබලකාරී ස්භාවයෙන්ය. ඒ අස්සේ මා නොදුටු බ්ලොග් මිතුරෙකු වන අවන්හලේ මහේෂ් රත්නායක සහෝදරයා පොත් ප්‍රදර්ශණය බලන්න යන්නට කළ ආරාධනය පවා ඉවත දමන්නට වූයේ මළගෙදර කටයුතු සිද්ධ වූ නිසාය. මළ ගෙදර රැදෙන්නටත්, ආච්චිගේ බණ ගෙදර එන්නටත්, නැවත මළගෙදර නයිට ගසන්නටත්, නැවත පහුවදා උදේ ආච්චීගේ දානේ ගෙදර එන්නටත්, සිදුවීම ආතල්ම සීන් එකක් වූවේය. ඒ අතර මැද බණ ගෙදරදී අසන්නට හැකි වූ බණ කතාව අද පෝදින ලිපිය ලෙස ලියා තබන්නට සෑමා සිතා ගත්තේය. ආච්චීගේ බණ ගෙදරට වැඩම කළ හාමුදුරුවන් විසින් දෙමාපියන්ට සැලකීවේ අගය පහදා දෙමින් දේශණා කළ ධර්ම පඬුරයි මේ.

ගෞතම බුදුන් වහන්සේට පමණක් දෙවෙනි වූයේ අගසව් තනතුරු දැරූ සැරයුත් තෙරුන්ය. උන්වහන්නේ පිරිනිවන්පෑමට ආසන්න වූ කළෙක බුදුහිමි අමතා මෙසේ කීවෝය. 

“ස්වාමීනී මා දැන් පිරිණිවනවට ආසන්නයි, මීටත් වඩා මා හට ශරීර ශක්තියෙන් කටයුතු කළ නොහැකි බැව් දැනෙන නිසා මා පිරිනිවනට සූදානම් වෙමි...“

එය අසා සිටි ගෞතම බුදුන් වහන්සේ අසා සිටියේ සැරයුත් මහ තෙරුන් වහන්සේ පිරිණිවනට බලාපොරෙත්තු වන්නේ කුමන ස්ථානයද යන්නයි. එවිට උන්වහන්සේ කියා සිටියේ තමන් උපන් ගම, උපන් ස්ථානය වන තම නිවස, තමන් පිරිනිවන් පෑමට යොදා ගන්නා බවයි. එය අසා සිටි ගෞතම බුදුන් වහන්සේ සැරයුත් හිමියන්ගේ වචනයට ගරු කරමින් එය වටිනා කාරණාවකැයි දන්වා සිටියෝය.

බුදුරජානන්වහන්සේගෙන් අවසර පතමින් සැරයුත් තෙරුන් වහන්සේ පන්සිය නමක් භික්ෂු සංඝයා පිරිවරාගෙන තමන් වහන්සේ උපන් ග්‍රාමයට පිවිසුනෝය. එලෙස වැඩමකොට තම නිවසට ගොස් ඉතා මහළු වූ තම මෑණියන් බැහැ දකින්නට වූවෝය. තම පුතු දැකීමෙන් උද්දාමයට පත් මෑණියන් තමන් වහන්සේට අවශ්‍ය මොනවාදැයි අසා සිටියේ උපස්ථාන කරන්නටය. සැරයුත් තෙරුන් වහන්සේ තමා ඇතුළු භික්ෂු පිරිවරට නවාතැන් පහසුකම් ඉල්ලා සිටියේ රැය පහන් කිරීමට අවශ්‍ය බව කියා සිටීමෙන්ය. පන්සියනමක් වූ භික්ෂු සංඝයාට නවතින්නට තරම් ඉඩක් නොමැති තම නිවසේ නවාතැන් පහසුකම් දෙන්නට නොහැකි බැවින් සිත් තැවුලට පත් වූ මෑණියෝ එලෙස කරන්නේ කෙසේදැයි තම පුත්‍රයාගෙන් අසා සිටියාය. පන්සිය නමකට නැති වුවත් තමන් වහන්සේට පමණක් හෝ නවාතැන් පහසුකම් දෙන්න යැයි උන්වහන්සේ ඉල්ලා සිටියෝය. එම ඉල්ලීමට අනුව උන්වහන්සේ ගිහිකළ රැදී සිටි කාමරය සිය මෑණියන් විසින් ප්‍රධානය කරන ලද්දේය.

මහා බ්‍රහ්මයා සියල්ල මැවුවේයැයි, සියල්ල ලබා දෙන්නේ මහා බ්‍රහ්මයා යැයි අන්ධ භක්තියෙන් යුතුව සිටි සැරයුත් තෙරුන්වහන්සේගේ මෑණියන් තම පුතු උගත් ධර්මය පිළබඳව කිසිත් නොදැන සිටියාය. රැය ලඟාවෙත්ම සැරයුත් තෙරුන්වහන්සේට දරුණු රෝගාබාධයක් වැළදෙන්නට වූයේය. ලේ අතීසාරය නිසා නිතරම ලේ පිටවන්නට වූවේය. නිතරම ලේ පිටවන නිසාත්, තම පුත්‍රයා නිවසට පැමිණි සුන්දර දවසක ඔහු දරුණු ලෙස රෝගාබාධයකින් පෙළෙන්නට වූ නිසාත් මෑණියෝ මහත් නොසතුටටත්, කළබලයටත් පත් වූවාය. ඇය තම පුතු සිටින කුටියට වැඳ උන්වහන්සේට උපස්ථාන කරන්නට අවසර ඉල්ලා සිටියාය. එහෙත් ඇය කළ ඉල්ලීමට උන්වහන්සේ අවසර නොදුන්නාය. ඇය නොසතුටින් රැය අවදිව සිටියදී මහා ආලෝක ධාරාවක් නිකුත් කරමින් පුතු සිටි කාමරයට සතර වරම් දෙවි වරු පහළ වූවෝය. ඔවුන් සැරයුත් මහ තෙරුන්ට උපස්ථාන කරන්නට අවසර ඉල්ලා සිටියෝය. එයටද අවසර නොදුන් උන්වහන්සේ නිහඬව බුදුගුණ සිහි කරන්නට වූවෝය. පසුව නැවත ආලෝක ධාරාවක් නිකුත් කරමින් පෙනී සිටියේ ශක්‍ර දෙවියෝය. ඔහුටද උපස්ථාන සඳහා අවසර නොලද තැන මහා බ්‍රහ්මයාද උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිමින් උපස්ථානයට අවසර ඉල්ලා සිටියේය. කිසිවෙකුට තමන් සඳහා උපස්ථානකරන්නට අවසර නොදුන් උන්වහන්සේ නොසැලී වේදනාව දරා සිටියෝය.

පසුදා උදෑසන සැරයුත් හිමි ගේ මෑණියෝ රැය පුරා සිදුවූ සිද්ධීන් උන්වහන්සේගෙන් දැන ගැනීමට පැමිණියාය. පළමු ආලෝක ධාරාවක් නිකුත් කරමින් කවරෙක් පැමිණියේදැයි එතුමිය ඇසු කළ, උන්වහන්සේ කියා සිටියේ ඒ නම් සතරවරම් දෙවි වරු බවය. දෙවන ආලෝක ධාරාව සමඟ තමන් වහන්සේට උපස්ථාන කරන්නට අවසර පතන්නට ආවේ ශක්‍රයා බවත්, තෙවෙනුව මහා බ්‍රහ්මයා පැමිණි බවත් උන්වහන්සේ වදාලෝය. තමන් මෙතුවක් විශ්වාස කළ අදහන්නට වූ  මහා බ්‍රහ්මයා තම පුතුට උපස්ථාන කරන්නට අවසර ගන්නට ආ බව ඇසු මෑණියන් තුරුණුවන් කෙරෙහි පැහැදී සැරයුත් මහ තෙරුන්ගෙන් බණ අසන්නට වූවාය. එය දුටු මහාකාරුණිකයානෝ තෙවරක් සාදුකාර දී, සැරයුත් තෙරුණ් පිරිනිවනට පෙර තම මව්ගෙන් බිව් කිරිවල ණය ගෙවන්නට තරම් වාසනාවන්ත වූයේයැයි වදාලෝය.

මිය ගිය පසු මළසිරුරකට දණ බිම හොවා වන්දනා කොට, අටපිරිකර අහසට උස්සා පින් අනුමෝදම් කරනවාට වැඩිය, කිසිවෙකු ජීවත්ව සිටින සමයේ ආදරයෙන්, සිත් නොරිදා බලාගන්නේ නම් එයම ඔවුනගේ පරලොව සුගතියට හේතුවන බව ධර්මදේශනාවට වැඩම කළ ස්වාමීන් වහන්සේ තව දුරටත් දේශණා කළෝය.

Written by sAm ශ්‍රී Perera_8:13am_08/09/14

18 comments:

  1. සීයාට නිවන් සුව අත්වේවා''''''''''!..............................

    ReplyDelete
  2. බණ ඇසීම මට අරහං ය......... හෙක්..... හෙක්.....

    ReplyDelete
  3. සෑහෙන්න වටින ධර්ම දේශනයක්, //මිය ගිය පසු මළසිරුරකට දණ බිම හොවා වන්දනා කොට, අටපිරිකර අහසට උස්සා පින් අනුමෝදම් කරනවාට වැඩිය, කිසිවෙකු ජීවත්ව සිටින සමයේ ආදරයෙන්, සිත් නොරිදා බලාගන්නේ නම් එයම ඔවුනගේ පරලොව සුගතියට හේතුවන බව ධර්මදේශනාවට වැඩම කළ ස්වාමීන් වහන්සේ තව දුරටත් දේශණා කළෝය.// මේ දේ අද කරන්නේ කීයෙන් කී දෙනාද? මලාට පස්සේ බෙර ගහලා තෝරන් බන්දලා පට්ටම ෂෝ එකක්නේ දාන්නේ.

    සීයා, ආච්චි අම්මා අතුල පරලෝ සැපත් සියලුම නෑයන්ට නිවන් සුව ඇති වේවා!

    ReplyDelete
  4. ධර්ම පඩුර අගේය..සීයාට හා ආච්චිට නිවන්සුව පතමි!

    ReplyDelete
  5. අනේ බන් අපේ මිනිස්සු ගැන කතාකරලා වැඩක් නෑ... වයසක අම්මා, තාත්තා, බලාගන්නේ කීයෙන් කී දෙනාද??
    මැරුණට පස්සේ පොලවේ හැපි හැපි මැරෙන්න යනවා,
    බයේ බෑ පෙට්ටියට පනියි කියලා. රටටම පෙන්න දාන මාන දෙන්නේ.
    ඔය මගුල් ඔක්කොටම වඩා වටින්නේ ජිවත් වෙනේ කාලේ හොදින් බලාගන්න එක බන්.

    ReplyDelete
  6. මට පුදුම සෑමා බන අහපු එක ගැනය . මොකද ඌ දන්නේ බණ තලන්න පමණි

    ReplyDelete
    Replies
    1. සෑමා බැන්දානෙ.. ඉතින් බණ ජාති දෙකක් අහනවා අපි වගේම.. බුදු බණ සහ අඹු බණ .

      Delete
    2. හේ... හේ... හේ.... මේ ඇත්තෙයි කියන්නේ සෑමෝ...!!!!!

      Delete
  7. සීයා, ආච්චි අතුලු පරලෝ සැපත් සියලුම නෑයන්ට නිවන් සුව ඇති වේවා! ඔබ බන ගැන සම්පුර්ණ විස්තරයම දැම්මේ මේ දවසේ හරි සිහිකල්පනාවෙන් සිටි නිසායයි මා විශ්වාස කරනවා.මොකද අද බොහෝ දෙනා බන ගෙවක් සහ මල ගෙවල් පාවිච්චි කරන්නේ බිමත් වීමට යොදා ගන්නා ස්ථානයක් ලෙස නිසාය.

    සමරසේකර

    ReplyDelete
  8. මාවත් උඩටම දැම්ම එක ගැන හීනි ආතල් එකක් තිබ්බත් මෞ මළ ගෙවල් අස්සේ ආත්ල් කතා කීම හරි නැතත් සෑමාත් ආතල් එකක් ගත් බැවින් මාත් පුංචි ආතල් එකක් හිතට ගත්තාට වරදක් නැතැයි සිතමි.
    හාමුදුරුවන්නේ කටේ සීනි කිලෝ එකක් ඔබන්නට ඕනෑයි මට හිතේ...
    (අවන්හලේ කුස්සියෙන් ගන්න බැරියැ)...
    ඒත් උන්නාන්සෙව හොයාන සිදාදියේ මංගච්චන එක නෙව කොරන්න බැරි...
    සීයා ට නිවන් සුව පතමි

    ReplyDelete
  9. සීයට සහ ආච්චිට නිවන් සැප ලැබේවා...

    ReplyDelete
  10. අර්ථවත් බණක්.සමහරක් හාමුදුරුවන්ගෙන් බණ අහන්න ගියාම එපා වෙනවා කියන්නනේ බණ නොවේ ගැනුන්ගේ රෙද්ද ගැන.

    ReplyDelete
  11. අර අන්තිමට කියලා තියෙන කතාව නම් හරි.. අද ගොඩක් අය ජීවත්ව ඉද්දී සැලකුවේ නැති උනාට මැරුණට පස්සේ ලොකුවට ඒ දේවල් නම් කරනවා..

    ReplyDelete
  12. //මිය ගිය පසු මළසිරුරකට දණ බිම හොවා වන්දනා කොට, අටපිරිකර අහසට උස්සා පින් අනුමෝදම් කරනවාට වැඩිය, කිසිවෙකු ජීවත්ව සිටින සමයේ ආදරයෙන්, සිත් නොරිදා බලාගන්නේ නම් එයම ඔවුනගේ පරලොව සුගතියට හේතුවන බව //...
    සාදු..සාදු.
    අනර්ඝයි සෑමා..අතිවිශිෂ්ටයි.

    ReplyDelete
  13. සෑමගෙ හාමුදුරුවන්ට 'හාමුදුරුවො' කියල කියන්න පුළුවන් මට්ටමේ බනක් කියල තියෙනව. දැං ඉන්න ගොඩක් අය කියන්නෙ 'බණ' නෙ.

    සීයටයි ආච්චිටයි නිවන් සැප ලැබේවා !

    ReplyDelete
  14. සීයල ආච්චිලා කීපාරක් නම් මැරෙනවද මුණුබුරෝ වෙනුවෙන් ? මුණුබුරා ඉස්කෝලෙ කට් කල හැම වතාවෙම මැරෙන්න එපායැ ?

    ReplyDelete
  15. වටින කතාවක්! ජයවේවා!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...