Monday, December 12, 2011

ආදරණීය වෙලදාම.... (තවත් එක් ආදර කතාවක් පමණක් නොවන්නට)

දහසක් ආදර පියුම් මුකුලිත වෙමින් තම කුලුදුල් ප්‍රේමය හිරිමල් ගැටිස්සියකට පූජා කිරීමේ ලිඛිත ලියවිල්ල  සමග පාඨශාලා ආචාර්යවරයෙක් අතට අසුවූ සෝචනිය පුවත ඔබ කදුලු පිරි දෙනෙතින් කියවන්නට ඇත්තේ කදුලු පිරි දෙනෙතිනි. ඒ පෙම් හසුන පෝස්ටුව යටතේය. තම හිතේ දැවෙමින් තිබූ ප්‍රේම ප්‍රාර්ථනා වදනින් වටකුරැව අමුනා කදුලු කැට මුසුකර ලවන රසයක් එක්කොට ලියූ ප්‍රථම ප්‍රේමයේ ලිඛිත හසුන් පත යුවතික් අත දැහැන් ගතවන්නට පෙර ගුරැතුමා අතට පත්වීම කෙසේ දරා ගත්තද, එහි වූ පුංචි අකුරක ඇලපිල්ලක වෙනසක් නිසා අසීමිත අවමානයකට ලක්වීම අවංක පෙම්වතෙක්හට කෙසේ නම් ඉවසිය හැක්කේද?

එකී නවය වසරේ දී මාගේ තවත් මිතුරෙක් දහම් පාසලේ ඉගෙනීම කළ ලමා සාරියෙන් සැරසී එන ලස්සන කෙලි පොඩිත්තියකට ආලයෙන් වෙලුනේමය. අහෝ තවත් කොලු බිල්ලක ඇරඹුමක් සනිටුහන් වීය. ඇය තව තවත් ලස්සන වූ‍යේ දහම් පාසලේ වෙනමම පැවැත්වූ නැටුම් පන්තියකට යොමුව ඉගෙනීම කළ නැට්ටිච්චියෙක්ම වූ නිසාමය. පෙරහැරේ නැටුම් වලදී ඇය නටද්දී එකී ආලවන්තයා හැරෙන්නට අපිද ඇය අසලින්ම ගමන් කරමින් දහම් පාසල් ශිෂ්‍ය නායකයින් ලෙස කටයුතු කාරනා සිදු කලෙමු.

ඒ සෑමා නවය වසරේ ඉගෙනීම කරන සමයයි. එවන් සමයක අපේ අම්මා ගත් කාන්තා පුවත් පතක ඇතුලත පිටුවක් මා දුටුවේ නම් අහම්බෙනි. ‍කාන්තා පුවත්පතක් බැලීමේ තියා ලමා පුවත්පතක් පවා නොබලන සෑමා දෛවයේ සරදමක් ලෙස දුටු පිටුව පුරා තිබ්බේ මා මිතුරා ට්‍රයි කළ ආලවන්තියගේ නර්ථනායතනයේ දිගු විස්තරයකි. පිටුවේ කොනක් සැරසී තිබුනේ ඇයගේ මුතුවන් සිනා සහිත ඡායාරෑපයකිනි. ඇය දුටු වහා සෑමා දෙවන සිල් පදය කඩා එම පිටුව පිටින් සොරකම් කර හරි හතරට පමණ නමා අම්මාට නෙපෙනෙන්න හොම්රන් පැස්ටල් පෙට්ටිය ඇතුලේ සගවා ගත්තේ ඇය දුටුවොත් හතර වන සිල්පදය පවා කඩන්නට වන නිසාමය.
ඇය තවත් ලස්සන වූ‍යේ නැටුම් පන්තියකට යොමුව ඉගෙනීම කළ නැට්ටිච්චියෙක්ම වූ නිසාමය
ඇය පෙට්ටිය ඇතුලේ සගවා ගෙන පහුවෙනිදා මා ඇදුනේ පාසලටය. මගේ මිතුරාගේ ට්‍රයි එක පත්තරේ සිටි බවත්, ඇයගේ පින්තූරයක්ද තිබි බවත් ඔහුට පවසා සිටි අතර ඔහු මගෙන් එය ඉල්ලුවේ ඇගේ රෑපය සිතේ ඇදී තිබි තරම මදි වූ නිසාය. නැතිනම් කොට්ටය යට සගවා නිදා ගන්නටය. මා දෙවන සිල් පදය කඩා සොරකම් කලත් ඔහු අතට මෙය පත්වුවොත් ඔහු අතින් පස්වන සිල්පදයද කැඩෙන්නට ඉඩ තිබෙන්නට ඇත. ටික දිනකින් පින්තූරය බිත්තියේ ඇලවිය හැකි තරමේ ගම් සහිත ස්ටිකරයක් වනු නියතමය.

උක්ත කාරනා මත මම එය දෙන්නට බැහැ කියද්දි හෙතෙම පිවිතුරැ නිකලැල් ආදරේ නාමයෙන් ඇගේ රෑපයට ලංසු තැබීය. එකල රැපියල් 10ක් පමණ වූ පුවත්පතට රැපියල් සියයක ලංසුවක් ලැබෙද්දී සෑමා අහිංසක ආදරයක් වෙනුවෙන් එකග විය. ගණුදෙනුව එලෙසම සිදුවිය.

එතරම් වියදම් කළද මිතුරා කවදාවත් ඇගෙන් ආදරයක් අසනු තියා කතා කරනවාත් මම දැක නැත්තෙමි. නමුත් ඇය දහම් පාසලේ දී නානාවිධ අයියලා සමග හොදින් කතාබහ කලේ අපේ වයසේ එවුන්ට ඌරැ ජුවල් නංවමිනි. එහෙත් ඇය නොදත්තේ ඇය වෙනුවෙන් සෑමා මිල නියම කලේ රැපියල් සියයක් බවය.

මිතුරාගේ ආදර අන්දරය එලෙස නිෂ්ක්‍රීය වී යද්දී අපේ පාසලේම තවත් මිතුරෙකු දහම් පාසලේ දී අළුත් කතාවක් අරඹා තිබිණ. කතා නායිකාව එම මය. ප්‍රේමවන්තයා වෙනස්ය. සියළු සත හට කරැණාව ඇති සෑමාට ඇගේ පින්තූරය සියයකට දුන්නේ අපරාදේ යයි කල්පනා වූයේ එවිටය. කලින් මිතුරාට හැත්තෑ පහකට පමණ එහි ඡායා පිටපතක් දුන්නා නම් අපේ අළුත් පෙම්වතාට ඔරිජිනල් පිටපත එකසිය පනහකටවත් දෙන්නට තිබිණ. එසේ වුවා නම් සෑමා වැඩි ගණනකට ඇයව මිල කර ඇත්තේය. එය ඇයටද සාධාරණයකි.
නව පෙම්වතා ගැන දල අදහසක් ගත හැකි පින්තූරයක්
මේ අතර ඉදිරියේ යෙදෙන ඉරිදා දිනක අපේ අළුත් පෙම්වතාගේ උපන්දිනය යෙදී තිබිණ. කල්තියා කටයුතු සූදානම් වන අතර මිතුරාට ආදරය වෙනුවෙන් බොක්කේ සපෝට් දෙන පිරිස කියා තිබුනේ ඔහුගේ උපන්දිනය දවසේ ඇයට චොක්ලට් එකක් දෙන ලෙසය. හුදෙක් ඉතිහාසගත වන කරැණකි.

දහම්පාසලේ අපේ පන්තිය තිබ්බේ දිග පඩි පෙලකය. ගුරැවරැ පහලම පඩියේ සිට උගන්වති. අප පඩියෙන් පඩිය පේලි සාදාගෙන ඩෙස්ක් මත සිට පහල බලාගෙන ඉගෙන ගත්තෙමු. දහම් පාසලට සරම ඇන්දාට එළිය වැටෙන විට විනිවිද ගොස් නිරැවත අනික් පසින් පෙනෙන නිසා අපේ බොහොමයක් ජොකා පමණක් හැද නොනවතී. ඊට උඩින් කොට ෂෝටක් දමා ගන්නේ විනිවිද පෙනුනට අවුලක් නොවන්නටය. සරමට යටින් ෂෝට දැමීම යනු රෙද්ද අස්සේ මහත්තයා වැනි වැඩකි.

බලා සිටි උපන්දිනය උදාවිය. පෙරදින රාත්‍රියේ නිදි සුව නොලබා, එහෙ මෙහ පෙරලෙමින් සිට අපමණ හැගුම් සිත දරා උපන් දිනය දවසේම තම ප්‍රේම වෘත්තාන්තය අරඹනු වස් විශාල පෙට්ටියක බහාලනු ලැබූ චොක්ලට් එකක් රැගෙන ආවේ අප උපන්දින කුමරාය. නැත එදින ඔහු ප්‍රේම කුරැල්ලාය. වෙනදාට පොත් ටික ‍වත් නොගෙන එන කුමරා අද බෑග් එකක්ද අතැතිව වාඩිවීය. පළමු, දෙවන කාලපරිච්ඡේද අවසන එළඹියේ සංක්‍රාන්ති සමයකි. ප්‍රේම වෘත්තාන්තය ඇරඹීමේ සුභ මොහොතකි.

"මචං දැන් පලයං ඉක්මනට. ටීචර් කෙනෙක් එන්න කලින්" අපට ඉදිරිපෙල සිටි මිතුරාට අවටින් උපදෙස් ලැබින. 

"මට බයයි බං, මොන මගුලක් වෙයිද දන්නේ නැහැ." ආදරය කිරීමට වඩා සැබවින්ම ප්‍රකාශ කිරීම අපහසුය.

"යකෝ මෙච්චර දවසක් පෙරැම් පිරැවා ඇති. අදවත් ඉවරයක් කරපං. ඒකි ලුක් එක දෙනවනේ" පිරිස කැඩුන සිත සමනය කළහ.

"හරි බං, ඕනේ අටමගලයක් මම යනවා" ඇය ඉදිරි පෙල නිසා පන්තිය මැද්දෙන් අප මිතුරැ පහලට බැස්සේ මුදානොගත් ප්‍රදේශයක ක්‍රියාන්විතයට යන සෙබලෙකු ලෙසය.

සියල්ලෝම ඔහුව තම දර්ශන පථයේ තබා ගත්හ. පුංචි කාලේ බයිසිකලේ වැටෙන් නැති වන්නට සපෝට් එකට ඇති කුඩා රෝද දෙක ගලවා, හරි පුතා දැන් යමං කියා අත හරින පියවරැ මෙන් සියල්ල බලා සිටියේ මිතුරා හරියට හැන්ඩ්ල් එක පාලනය කරයිද කියාය.

ඔහු ඇය අත පෙට්ටිය තැබුවා මතකය. ක්ෂණයෙන් අප සිටින දිශාවට පෙට්ටිය කැරකී කැරකී ප්‍රක්ෂිප්ත වුවා මතකය. අප අතර සිටි අයෙක් ජොන්ටි රෝඩ්ස් උඩපන්දු රකින ලෙස පැන අල්ලා ගත්තාද මතකය. පොර කමින් සියළු දෙනා චොකලට් කද්දී සිදුවීම නොදත් ඇතැම්හු ඇසුවේ කොහෙන්ද බං චොක්ලට් පෙට්ටිය ආවේ කියාය.

මිතුරා ඉදගන්නට පඩි පෙල නැග එන විටත් චොක්ලට් කුඩු ටිකක් වත් ඉතිරි නැත.

එදා...
  1. ඇයට එය විසි නොකරන්නට තරම් මනුෂ්‍යය කමක් තිබුණා නම් අගනේය.
  2. සෑමා ඇයව අගය කලේ රැපියල් සියයකටය. 
අද....
  1. අද ඔහු ඇයට සාපේක්ෂව උසස් තැනක සිටී.
  2. එදා රැපියල් සියය අද පාන් රාත්තල් දෙකක් සහ ටියුලිප් බෑග් එකක් තරම් වටින්නේය.
උපදෙස- ඔබ ඔහුට අකැමැති වන්නට පුළුවන, එසේ නම් බැහැ කීම අගනේය, එපා නම් එපා කීම අගනේය. චරිතය කෙලෙසීම නොවටින්නේමය.

Written by sAm_09.12.'11_2.30_pm

10 comments:

  1. අනිවාර්යෙන්ම මචන් කෙල්ල කැත වැඩේ කරලා තියෙන්නේ.එත් ඒ කෙල්ල මේ පොස්ට් එක කියවාවිද ?

    ReplyDelete
  2. සෑමෝ උඹේ ලිවිල්ලට මං කැමතියි. දිගටම ලියපන්.
    බිස්නස් එක කරන්න ඕන විදිය ගැන කලිං කල්පනා උනානං උඹ අද සිටුවරයෙක් වෙන්න තිබුන. අර මී කුණක් විකුණල සිටුවරයෙක් උනා වගේ:P

    ReplyDelete
  3. අසරණයා- කෙල්ල බලන එකක් නැතිය. ඒත් දකින කෙල්ලෙක් හරි දෙයක් ඉගෙන ගනී කියා සිතමි..

    රාජ් මහත්තයා- මී කුණ වගේද ඒ කුණ විකුණ ගත්තනම්, අපරාදේ... දැනුයි තේරෙන්නේ.. :)

    තැන්ක්ස් මචෝ කමෙන්ටුව හයියක්..

    ReplyDelete
  4. අපරාදේ උබට තිබ්බේ පාන් රාත්තලක් ගෙනත් දෙන්න. එතකොට නේ අගේ වැඩි. මාත් පොඩි කාලේ කෙල්ලෙක් පස්සේ වැටිලා ඒක සර්ලට මාට්ටු වෙලා පැණි බේරෙන්න කෑවා.

    ReplyDelete
  5. මධුරංග- පාන් රාත්තලක්, පොල් ගෙඩියක්, මේ දවස්වල ඉතින් එලවලු ටිකක් දුන්නත් කෙල්ලෙක් යාළු කරගන්න පුළුවං වෙයි මගෙ හිතේ.. :)
    අපරාදේ කොල්ලෝ එදා බේරෙන්න කාපු පැණිටික වත් තිබ්බනම් වටිනවා...

    ලහිරැ- ඇත්ත කතාව

    ස්තුති මේ පැත්තේ ආව හැමෝටම..

    ReplyDelete
  6. අඩෝ එළ භාෂාව මචං,නියමයි,අපරාදේ තව එකෙක් ට්‍රයි කරානං 200කට දෙන්න තිබුනා....අනික් උන්ට හෙන ආතල් ඇති නෙමිලේ චොකටට් වැස්සක් වැස්සම,උපමා උපමේය එළය.....ජය !!!

    ReplyDelete
  7. kollayi kellayi kawuda kiyapan ? apita mathaka ne nee owaa . JBL

    ReplyDelete
  8. ඔබ නොදුටු අප දුටුව ලොවක්- තව කස්ටිය ට්‍රයි කොලා නම් ඉතින් ලංසු තියන්න වෙනවා වෙන්දේසියක වගේ :)
    ස්තුතී සහෝ... ජයෙන් ජය..

    ජේ.බී.එල්- හපොයි.. ජීවිත දෙකක්. ප්‍රසිද්ධියේ කෙසේ විනාස කරම්ද? පුද්ගල නාම ඔබේ ඉන්බොක්ස් ගත කරමි. :)
    ස්තුති මේ පැත්තේ ආවට..

    ReplyDelete
  9. ඒම කරන එකනම් කැත වැඩේ බන්...මගෙ හිටපු කෙල්ලත් මට අහන්ඩ කලින් යාළුවෙන්න අහපු කොල්ලෙක් දුන්න තැග්ගක් මොකක්ද කියලවත් බලන් නැතුව ක්ලාස් එක පාරෙ තියන ඇලකට විසික් කලාලු :D

    මට ඒම උනානම් සුද්ද සිංහලෙන් 2ක් කියල එනව එන්න තෑගිත් දීල පච වෙන්න ඕන නෑනෙ :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...