Wednesday, November 8, 2017

කබරයාගේ මානව හිමිකම් සුරකිමු.. - Lets protect Monitor's human rights !!


ටිකිරි ම ටිකිරි ලියා කළෙත් අරන් ලිදට ගියේ ගොඩක් කාලෙකට ඉහතදීය. අපි පොඩි කාලෙටත් කලින් නිසා අනිවාර්යයෙන් වසර තිහකටත් වැඩිය කලින් දවසක විය යුතුය. ලිඳ වටකර කබරගොයා සිටියදී කකුල කෑවේ දියබරියාය. එද කිසියම් විජාතික බලවේගයක් තිබුණා නම් ඒ නඩුවද සෙට් වෙන්නේ කබරගොයාටය. අද වෙන විට කබරගොයා හෙවත් කබරයා ඒ තරම් පජාත වී ඇත්තේය. ඌ කොටින්ම කිව්වොත් පවුය. අවුරුදු තිහකටත් එහා දී ඌ එදා බේරුණද, එදා සිට අද දක්වාම කබරයාට වෙන්නේ කාටවත් සිදු නොවිය යුතු පව් සීන්ය. හැම කෙලියකටම අහු වෙන්නේ ඌය. ඉතිං ඌගේ මානව හිමිකම් ආරක්ෂා කළ යුතුය. ජිනීවා ගොස් හෝ කබරයාගේ තත්වය ආරක්ෂා කරගත යුතු බව සෑමාගේ අදහසය.



මොන්ටිසෝරියේදී දියබරියා පිට නඩුව වැටී කබරයා සාධාරණ ලෙස ගැලවුනේය. එහෙත් එක වසරේ සිටම කබරයාට සිදු වූයේ නොසන්ඩාල වැඩය. අසාධාරණ වැඩය. පන්තියේ ඉන්න එපාම කරපු එකා මොනිටර් වූයේ එක වසරේ සිටය. ඌ ටීචර්ට කේලාම් කියන එකාය. ටීචර් පන්තියට එන්නට අමතක වූ විට ටීචර්ව කැන්ඳන් ඇවිත් ලකුණු දා ගන්නා එකාය. ටීචර් නැති වෙලාවට කතා කරන උන්ගේ නම් කොලයක ලියා ටීචර්ට රිපෝට් කරන එකාය. කොටින්ම කිවහොත් පන්තියේ ඉතිරි බහුතරය, එකාධිපතියෙකු ලෙස තනිවම ටීචර්ට කුත්තු කරපු එකාය. ටීචර්ගේ සාරි පොටේ එල්ලී අනික් උන් පාවා දුන් එකාය. එහෙව් එකෙක් මොනිටර් වෙද්දී ඉංගිරිසි කබරයාට සිදු වන්නේ කීර්ති නාමයට හානියක්ය. අනිත් සත්තු අතර කොන් වීමක්ය. ඉතිං කබරයාගේ මානව හිමිකම් සුරැකීමට නම් ඌ වෙනුවෙන් අපි ජිනීවා යා යුතු නොවේදැයි ප්‍රශ්න කළ යුතුය. 

මිනිස්සුන්ට ලෙඩක් හැඳුනොත් ඒකත් යන්නෙ අහිංසක කබරයා පිටින්ය. එකක් පොතු කබරය. අනෙක සුදු කබරය. හොඳ කරන්නට අමාරු බව කියන්නේය. සිංහල බෙහෙත් වලට හොද කළ හැකියි කියන්නේය. චර්ම රෝගයක්ය. හැදෙන්නේ මිනිස්සුන්ටය. නම චාටර් වෙන්නේ කබරයාගේය. කැලේ ඉන්නා ඌ කිසිම සම්බන්ධයක් නැතුව අහක යන ලෙඩකට නම ගාවා ගන්නේය. වැඩේ උපරිම කැතය. අපේ සෙට් එකේ කොල්ලෙක් සිටියේය. ඌට ගුටි පන්දු වලින් කොපමණ ගුටි කෑවත් ගානක් නැතිය. උගේ හම හෙන ඝණකම් බව කොල්ලෝ කීවෝය. සමහරු කිව්වේ ඌට තියෙන්නේ කබර හමක් කියාය. ඒ හමත් කොල්ලෙක් ගේය. පැත්ත ඉන්නා කබරයා චාටර් වන්නේය. ඉතිං කබරයා ගේ මානව හිමිකම් රැකිය යුත්තේ නොවේදැයි නැවතත් ප්‍රශ්නයක්ය.

අඩියක් පුඩියක් ගසන්නට සැට් වෙන්නේ මිනිස්සුය. උන් ගන්නේ ආතල් එකක්ය. බොන අතර බයිට්ය. කඩලය, පෝක් ස්ටූය, ඩෙවල්ය. පරණ කතාය. අතීත කාමයේය. අනාගත සිහිනය. සැරසිලි කතන්දරය. සිංදුය. බොංගෝය. ඩොල්කිය. ආතල්ය. සියල්ල නිමා වන්නේ සතුටකින්ය. ඒත් පොඩ්ඩක් ගැස්සුනොත් පහර කන්නේ අහක ඉන්නා කබරයාය. අඩෝ හරියට කන්න බැරි වුණාය. සේරම අන්තිම ෂොට් නිසාය. ලඟ නමපු නිසාය. දහසක් හේතුය. සියල්ලට මුල කබරයාය. කබරයා සෙට් වීමය. ඉහත හේතු කියමින් වසන්නේ තමන්ට වමනය යෑමේ ප්‍රතිඵලයය. කබ්බාය. කබරයාය. කන්නේ බොන්නේ ආතල් ගන්නේ මිනිස්සුය. පොඩ්ඩක් ගැස්සුනොත් සියල්ල යන්නේ කබරයා පිටින්ය. කෙසේ හෝ පැත්තක ඉන්නා බේබද්දෙක්, නිතරම කබරයා දාන නිසාම, අහිංසක කබරයාගේ නමින් පිඳුම් ලබන්නේය. කබරයා පව්ය. ඌ ජිනීවා යා යුතුමය.

සියල්ල එසේ සිදු වෙද්දී මිනිසුන් අල්ලා ගන්නා සියළු කබරයින් මුදා හරින්නේ කැළයට නොවේය. බඩ කලත්තමින් පිබිදීගෙන එන කබරයාව ගෙදර ගොස් අතාරින්නේ බාත් රූම් එකටය. නැතිනම් කොමඩ් එකටය. ඌ පව්ය. අවසන මරණය මය. සතෙකු ජීවත් වන්නේ කැළයේ නම් ඌට නිදහස හිමි විය යුත්තේ කැළයටමය. මරණය ස්භාවිකවම කැළයේදී සෙට් වෙනවා නම් ඌත් සතුටුය. නැති නම් ජීවිත කාලය පුරාම මානව හිමිකම් කඩවන කබරයාට නිදහස් ගමනක් නැතිය. ජිනීවා යා නොහැකි කබරයා වෙනුවෙන් කළ හැකි එකම දෙය නම් ඌව නිදහස් කළ යුත්තේ කැළයටමය. බාත් රූම් ගලියට නොවේය.

Written_by_sAm_ශ්‍රර්‍_Perera_11:37_07/11/2017

20 comments:

  1. අම්මට හුඩු, සෑමාගේ පුතාද දැන් බ්ලොග් ලියන්නේ , ඉස්සරනම් සෑමා ලිව්වා පුතේ , මොකද සෑමා එකදිගට නං ලියන්නේ නෑ මෑත ඉතිහාසේ , මේ නං සෑමාගේ පුතා වෙන්නම ඕන

    ReplyDelete
    Replies
    1. තාත්තට බෑ කිව්වා මාමේ..
      මම බ්ලොග හැක් කළා..

      එක දිගට පෝස්ට් හතරක් දැම්මා..

      ඌට බැරි නම් මම කොටනවා මේකෙ..
      ටෟකන්ඩ...

      Delete
    2. ටහුඩු ඒ කියන්නෙ සෑමගෙ පුතාටත් අවුරුදු 30ට වැඩිද? ඒ කියන්නෙ සෑමට 50ක් විතරවත් වෙනවැතිනෙ බං. අද හිටං මුට අංකල් කියන්නෝනෙ.

      Delete
    3. උබලත් කොහෙන් හරි පොටක් අල්ල ගන්නවා මාව නාකි කරන්න.

      යකේ ගිය 28 වෙනිදට සෑමාට 30ක් උනෙ !!

      Delete
  2. ඇත්තටම පව් බං කබරයා...

    ReplyDelete
    Replies
    1. අපි ඌ වෙනුවෙන් නැගි සිටිමු !

      Delete
  3. මට පේන්නෙ ‍කැලේට අතාරීන්න ඕන කබරයෙක් ගෙදර බාත්රූම් කොමඩ් එකට ගෙනත් දාල සෑමගෙ මානව හිමිකම් කඩවෙලා ගෘහස්ථ පචන්ඩත්වයට ලක්වෙලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රජා අයිතියත් අහෝසි වෙන්ඩ ගීං සැරයක් බේරුණා..
      මට එදා තමා හිතුනේ කබරයා කැලේට දාලා ආවා නම් ශේප් කියලා..

      Delete
  4. කබරයා නම් පව් තමා...
    එත් බලන්න මේ රටේ තියන ප්‍රශ්න ගොඩ... රටේ ප්‍රශ්න නිසා තව ටික දවසකින් අපිට අපේ ප්‍රශ්නත් අමතක වේවි... මේ ප්‍රශ්න අස්සෙ කබරයොත් තමන්ගෙ අයිතීන් වෙනුවෙන් උපවාස ද අරවද මේවද කරන්න හැදුවොත් තව එකක්...

    ReplyDelete
    Replies
    1. කබරයා ගැන හිතුව නම් අනිත් ඔක්කොම ප්‍රශ්න ශේප්..

      අපෙ උන් ඔක්කොම අමතක කරලා කබරයා ගැනම කතා කරයි. ඒක අපෙ රටේ හැටි..

      Delete
  5. ඒක නෙවෙයි සෑම්ට ගං කබරයා අමතක වෙලානෙ... එතකොට අර කබ්‍රාල් කියල වාසගම තියන අයටත් කබරයා කියනවානෙ සමහර අය... ඒකත් කබර අයිතීන් වලට දාන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. සික් අමතක වුණානේ.. මීට පස්සෙ පෝස්ට් එකකට පෙර නිර්මාණිව කන්සල්ට් කරන්න වෙයි වගේ !

      Delete
    2. අන්න ඉතින් වැඩේ අනාගන්න මුලක්:D

      Delete
  6. පව් අසරණ කබරයා... මේක කියෙව්වමනෙ මතක් උනේ අවුරුදු දහ පහලවකට කලින් දැක්කට පස්සේ කබරයෙක් දැකලා නෑනේ මම.මම අපේ සූටි එකාටත් හැමදාම තලගොයෙක් දැක්කම අන්න කබරගොයා කියලා පෙන්නන්නේ. පස්සෙ තමා මතක් වෙන්නෙ ඌ තලගොයෙක්නෙ බොලේ කියල.

    ReplyDelete
  7. සෑමෝ මෙන්න මූව බ්ලොක් කරලා දාන්න ඕනේ. හැම බ්ලොගියෙම පිස්සු කෙලින හාදයෙක්

    - ජෑ මා කාලී -

    ReplyDelete
  8. කවුද බං මූ හෙන ඇනයක් නේ..

    බ්ලොක් කරන්නෙ කෝම ?

    ReplyDelete
  9. බජට් එකෙන් කබරයාට මොකුත් වෙන් කොරලා නෑද්ද.....දෙයියන්ගේ පිහිටෙන් තාම කොමඩ් එකටවත් කෑලේවත් කබරයා අතෑරලා නෑ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...