Monday, January 16, 2017

ඒක තියෙන්න ඕනි ඕනෙම වෙලාවට... - Should be there in Need !!


සෑමා ශිෂ්‍යත්වයට පෙර පාසැල් ගියේ ගමේ ඉස්කෝලයටය. එතැන අපේ කාලයේදී නම් අවශ්‍ය ප්‍රමාණයට පහසුකම් තිබුණා යැයි කිව හැකිය. එහෙත් එය සාපේක්ෂව ගණන් බැලීමක්ය. ගමේ දරුවන්ට තිබුණු පහසුකම් අනුව සියල්ලෝම පාසැල් ආ බව සැබෑය. එක වසරේ සිට කිසිදාක කකුලේ කිසියම් තුවාලයක් නොවන්නට බොහෝ දරුවන්, යහළුවන් සපත්තු පැලැදුවෝය. එය ඒ කාලයේ හැටියට නම් අවශ්‍යතා සම්පූර්ණ වීමක් බව කිව යුතුය. පාසැල් බෑග් පවා බොහෝ අයට තිබුණේය. හැම වසරකම අලුත් පාසල් බෑගයක් භාවිත කිරීමේ අවශ්‍යතාවයක් කිසිවෙකුට නොතිබුණු නිසා කිලිටි වෙනතුරු හෝ කැඩී බිඳී යනතුරුම බෑග් එක භාවිත කිරීම ඉතා සතුටුදායක කරුණක් වූවේය. බෑග් නොමැතිව කිසිවෙකුත් පාසල් ආවා සෑමාට මතක නැතිය. ක්‍රීඩා කිරීමට අවශ්‍ය විටක බැට් එකක් බෝලයක් සපයා ගැනීම එතරම් ලොකු ගැටළුවක් වූයේ නැතිය. සියලු අවශ්‍යතා සම්පූර්ණ වූ පාසලේ ගැමි කමක සුන්දරත්වයක් තිබූ බව නම් කිව යුතුය.

පහ වසරේ ශිෂ්‍යත්වය පාස වෙනතුරු සෑමා සිටියේ එම පාසලේමය. දිනක් අපේ පන්තිභාර කළ්‍යාණි ගුරුතුමිය කහ, කොළ, රතු වර්ණයන්ගෙන් LED බල්බ රැගෙන එන්නට කීවාය. ඒ Traffic ලයිට් සෙට් එකක් හදන්නටය. ඒ කාලයේ සිටම සර්කිට් එක්ක හැප්පුණු සෑමාට ලයිට් වැඩ කිව්වාම ඉහටත් උඩින්ය. ඉතින් පහුවදා උදේම ලයිට් තුන රැගෙන යා යුතුය. රැගෙන ගොස් මා දන්නා වැඩ කෑලි දැමිය යුතුය. ඒ කාලයේ LED බල්බයක් රුපියල් දෙකක් තුනක් අතර බව සෑමාට මතකය. ගෙදරට හොරෙන් ගත් බල්බ සෙට් එකක්ම සෑමා සතුය. කූරු කැඩුණු ඒවාද විසික් නොකර ලඟ තබා ගන්නේ කවදා හෝ වැඩක් වේවි යැයි සිතාය. එහෙත් ඒවායින් වැඩක් ගත්තේම නැති තරම්ය. ලඟ තිබුණු පාට තුනේ බල්බ තුනක්, වයර් කැබලි, රිජිෆෝම් කැබැල්ලක්, සහ බැටරි කැබලි දෙකක් මේසය මත තියා ගත් සෑමා පසුදා පාසල් ගමනට සූදානම් ව සිටියේය.

පසුදා පාසල ආරම්භ වුයේය. කළ්‍යාණි ටීචර් පන්තියට පැමිණ උදෑසනට ට්‍රැෆික් ලියිට් සෙට් එක සැදීමේ ව්‍යාපෘතිය සඳහා අප කණ්ඩායම් තුන හතරකට වෙන් කළා මතකය. කණ්ඩායම් හතරම සතුව සියළු උපකරණ තිබුණා මතකය. එහෙත් සෑමා සූදානම් කර ගත් උපකරණ එදා පාසැල් බෑගයේ නොතිබි බව කිව යුතුය. කලින් දා සූදානම් කර ගත්තාට රැගෙන විත් නොතිබුණේය. ටීචර් කිව්වේ නොගෙනාවාට කමක් නැහැ ඉන්න කට්ටිය කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන්න කියලාය. එහෙත් අප කණ්ඩායම සතුව උපකරණ තිබුණත් සියල්ලන්ටම එකතු වී කරන්නට තරම් එක සෙට් එකක් ප්‍රමාණවත් නොවූයේය. එකෙක් බැටරි අල්ලද්දී, තවකෙක් වයර් ඇල්ලුවත්, තුන්දෙනෙකුට සෑහෙන්න වැඩක් එහි තිබුණේය. තමන්ට දායක වෙන්නට බැරිවූ නිසා සෑමා පැත්තකට වූයේය. පැත්තකට වී බලා සිටියේ අවශ්‍ය වේලාවට නොමැති වූ වේදනාවෙන්ය. 

අනිත් උන් සියල්ලෝම වැඩය. සෑමාට ඇති වුයේ තමන් ගැනම කලකිරීමක්ය. උබ මහා මෝඩයෙක්. කල්පනාවක් නැති එකෙක්. බඩු ටික ගෙනාවා නම් වැඩේ කරන්නට තිබුණේය. යන හැගීමක් සෑමාගේ හිත කැකෑරුවේය. උන්ට ඒක කරන්න තේරෙන්නෙත් නැහැ. උබ මේක කළා නම් උබ අද ඩයල් එකක්ය. සෑමා හිත යටින් හැඩුවේය. එදා සෑමාට පැහැදිලි වූයේ කොච්චර තිබුණත්, අවශ්‍ය වේලාවට දෙයක් නැති නම් කිසිම වටිනාකමක් නැති බවක්ය. ඒක මහ කාලකන්නි හැගීමක්. හිත පුපුරුගහන, යටි හිත රිද්දන හැගීමක්.

නැවතත් සෑමා ඒ හැගීමෙන්ම පීඩා වින්දේ හය වසරේදී වාද්‍ය භාණ්ඩ රැගෙන එන්න යැයි ගුරුතුමිය කියා තමන්ට බට නලාවක් රැගෙන යාමට නොහැකි වූ දාය. පන්තියේම උන් බට නලා පිඹිද්දී සෑමා අත බටනලාවක් නොමැති වු අවස්ථාව මුළු ලෝකයක් මැද තමන් තනිවූ හැගීමක් ගෙන දුන්නේය. ඒකත් ඇත්තටම මහ කාලකන්නි හැඟීමක්. මහා තනිවීමක් දැනෙන් අවස්ථාවක්.

ඒත් අපි එච්චර නොලැබීමේ වේදනාවෙන් පීඩා විඳ නැති බව කිව යුතුය. පන්තියේ බහුතරයක් සපත්තු දාද්දි සපත්තු නොදා සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ යන එකෙක් මම වුණා නම්, වේදනාව කෝම වෙන්න පුලුවන්ද? ඇත්තටම මට, අපිට ඒක එච්චර දරාගන්න බැරි දෙයක් වේවි. ඉස්කෝලෙ හැම එකාම පෝලිමේ ගෙදර යද්දි අනිත් උන්ගෙ කකුල් අව්වට පිච්චෙන් නැතිව ආරක්ෂා වෙද්දි, දූවිල්ලෙන් බේරෙද්දි, පිට්ටනියෙ දුවද්දි ලස්සනට පෙනෙද්දි සපත්තු දෙකක් නැති එකම එකා මම වුණොත් අපිට ගාණක් නොතියෙයිද ?


ඇත්තටම සපත්තු කුට්ටම් ඉගෙනීම මනින සාධකයක් නොවන බව සැබෑය. එහෙත් වෙනස්කම ඇති කරන සාධකයක් බව කිව යුතුය. දරුවෙක්ගේ සිතේ ඇතිවෙන ඒ හැගීම නැති කරන්න අපිට එකතු වීමට අවස්ථාවක් ලැබිය යුතුය. ඒ අවස්ථාව ඇති කරන්න උත්සාහ ගන්නා බොහෝ තැන් වල සයිබර් අවකාශය විශාල පිටුවහලක් වූ බව කිව යුතුය. නගරයේ සිටින නැති බැරි අයට සරණක් ලැබෙන අවස්ථා බොහෝය. දුෂ්කර දුර ඈත ගම් වල දරුවන්ට එහෙම අවස්ථාවක් ලැබෙන අවස්ථා විරලය. අන්න ඒ තැනකදී අපි එකතු විය යුතුය. 



ඉහත රූපයේ සිටියේ දිඹුලාගල, කන්දේගම කණිෂ්ඨ විද්‍යාලීය දැරියන් දෙදෙනෙක්ය. “අරුනළු“ සමාජ සත්කාර නමින් සූදානම් වන්නේ කන්දේගම පාසලට උපකාර කරන්නටය. බ්ලොග් ලියන සිරා (ඔහුගේ ලිපිය මෙතැනින්) පසුගිය දා පාසැල බලන්නට ගියේ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සොයා බලන්නටය.


විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලයේ කීප දෙනෙකු, සමග අරුණළු නියෝජිතයන් එම පාසලට ගොස් ලබා ගත් විස්තර කිහිපයක් ඡායාරූප සහතවම පහතින් ඇත්තේය.


ඉතාමත්ම අබලන් තත්වයේ ඇති ගුරු නිවාස. මේවායේ ඇති අවම පහසුකම් සමග ගුරුවරුන් කල දවස ගෙවන්නේ මේ විද්‍යාලයේ දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසාමය.


චිත්‍ර‍, නැටුම් ඇතුලු සෞන්දර්යය විෂයන්ට අදාළ පන්ති පැවැත්වීම පිණිස ඉඳිකිරීම ආරම්භ කල පන්ති කාමර, ප්‍ර‍තිපාදන නොමැති කමෙන් වැඩ කටයුතු අතර මගය.



භාවිතයට ගත නොහැකි සංගීත භාණ්ඩ වලින් යුත් සංගීත කාමරය, ඉඩකඩ අවම වීමේ ගැටලුව මත ගබඩා කාමරයකය.

මේ සියල්ල සටහන් තබන්නේ අහස අල්ලන්නට තරම් බලාපොරොත්තු රැසක් තබාගෙන නොවේය. අවශ්‍ය තැනදී, අවශ්‍යය පිරිසකට සරණක් වීමටය. සරණක් බලාපොරොත්තුවෙන් ඔවුන් තමන්ගේ ජීවිත නවත්වා නැතිය. තමන්ගේ අධ්‍යාපනය, ක්‍රීඩාව නවත්වා නැතිය. දරුවන්ගේ දෙමාපියන් පාසල වෙනුවෙන් තමන්ට හැකි මට්ටමෙන් සියළු සේවාවන් කරන්නෝය. ඒ අතරම ගුරුවරු තම ශ්‍රමය, විටක මුදල් පවා කැප කරන්නේ දරුවන්ට යහපත් කිරීමටය. එහෙව් තත්වයකදී අපට කළ හැකි යමක් ඔවුන්ගේ ශක්තිය වෙනුවෙන් වෙන් කිරීම යහපත් බව කිව යුතුය. 

පහතින් දක්වා ඇත්තේ ගිණුම් විස්තරයන්ය. ඔබේ ආධාර එම ගිණුමට බැර කළ හැකිය. ද්‍රව්‍යමය ආධාර ඇතිනම් පහත අංකය අමතා සූදානම් කළ හැකිය. සියළු කටයුතු විනිවිදව සිදු කරන බව කිව යුතුය. එලෙසම 2017 මාර්තු මස අග බාගයේ දී පාසල වෙත ආධාර රැගෙන බස් රථයක් ගමන් කරන්නේ දරුවන්ට, ගුරුවරුන්ට සහ ගමට සිනහවක් රැගෙනය. 

Account Name : Arunalu Manushathwaye Sathkaraya
Account No      : 121261002661
Bank                 : Sampath Bank, Gampaha Super Branch

අමතන්න - 071 804 3915


Written_by_sAm_ශ්‍රී_08:45pm_15/01/17

7 comments:

  1. මේ ගැන සිරා මට මුණු පොතේ දැනුම් දුන්නා ...ඒ වගේම උබ දකින්න ඇති මේ වගේ වැඩ වලට සහයෝගය දෙනකොට සැල්කිල්මත් විය යුතු කරුණු ගැන ලොකු විස්තරයක් ලියලා තිබුනා අපේ තව බ්ලොග් යාලුවෙක් ...
    ගිය සැරේ අර ගැනු දරුවාගේ අසනීපය වෙනුවෙන් මම පුලුවන් උපරිමයෙන් උදව් කළා උබට මතක ඇති ...හිත පොඩි දෙගිඩියාවකින් පෙළෙනවා ...මම දැනට මට පුලුවන් විදිහට තබුත්තේගම ඉස්කෝලේ ළමයි තුන් දෙනෙකුට හැම අවුරුද්දකම පොත් පත් අරගෙන දෙනවා ...මේකටත් හැකි දෙයක් කරන්න උත්සහ කරන්නම්

    ReplyDelete
    Replies
    1. එක එකා කියන විදියට උබලා වැඩ කරන්න ඕනේ නැ සැමෝ. අපිට උබලා විශ්වාසයි. කරන දේ හරියට අවංකව කරපන්. එච්චරයි වෙන්න ඕනේ. ඒකට එක එකාගෙන් ටියුෂන් ගන්න ඕනේ නැ. මුන්ට උදව්වක් කරන්නත් බෑ.ඒ උනාට පොර ටෝක් නම් කෝටියයි. ඕකට අපි ගමේ කියන්නේ කයියයි පද ගදයි විතරයි කියලා.

      හිත දෙගිඩියාවෙන්.....ලබ්බ තමා

      Delete
    2. //ගිය සැරේ අර ගැනු දරුවාගේ අසනීපය වෙනුවෙන් මම පුලුවන් උපරිමයෙන් උදව් කළා උබට මතක ඇති ...//

      මේ ගැන මම උබව මම අගය කරනවා මෙන්ඩියා. මට මතකයි උබ ටිකට් සෑහෙන ප්‍රමාණයක් විකුණලා දුන්නා. හැකි සහයක් දියං මේ වැඩේටත්..

      Delete
  2. ගිය සැරේ කෙමෙන්ට් වගයක් උබට මග ඇරිලා උත්තර දෙන්න

    ReplyDelete
  3. හොද වැඩක් පුළුවන් විදියට සහයෝගය දෙන්නම්.

    ReplyDelete
  4. දායකවීමට සහ සහභාගී වීමට කෑමතිය. පුලුවන් උපරිමය කරන්නම්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...