Monday, January 2, 2017

ලොකු සීන් එකක් නෑ ඕයි... - No Big Deal !!!!


ඊයේ කස්ටියට උදා වූයේ අලුත් එකක් ය. ඒ 2017 ය. එහෙව් එකේ පෝස්ට් එකක් ලියන්නට ඕනෑ යැයි සෑමාට සිතුනද සුබ පැතීම කෝමත් අවුට් ඔෆ් ෆැෂන් නිසා කලින් අවුරුදු උදාවන් ගැන සෑමා සිතන්නට වූයේය. එහෙම බලාගෙන යද්දී අවුරුදු උදාව යනු ලොකු සීන් එකක් නොවන බව සෑමාට සිතුණේය.





ඉස්කෝලෙ යන කාලයේ නම් අවුරුදු උදාව දැනෙන දෙයක් වුණේය. දෙසැම්බර් නිවාඩුව නිසා අම්මට හුඩු අවුරුද්ද ඉවරයි දැන් නිවාඩු කියා සිතුණේය. අලුත් පොත් සැට් එකක් ලැබෙන්නේය. පොත් වලට පිට කවර දැමීමේ සිටම අලුත් සීන් එකක්ය. බ්‍රවුන් පේපර් දමා ඉටි කවර දැමීම සිට අලුත් බවක් දැනෙන්නේය. අලුත් අච්චු පොත් දැක්කාම, සුවඳ දැනුනාම එන මතකය අලුත්ය. ඇත්තටම අලුත් වසරක් ඇති බව දැනෙන්නේය. අලුත් ඇඳුම් ගන්නා සීන් එක සහ අලුත් යුනිෆෝම් මැසෙන තැන දක්වා අලුත්ය. අලුත් පන්තිය, අලුත් තැන යන සීන් මතක් වෙද්දී අවුරුද්දක් බව දැනෙන්නේය. දැන් කවර දැමීම ද එතරම් අමාරු කෝස් එකක් නොවන්නේය. රුපියල් 240/-ට කවර පැක් එකක් ඇති බව දැක්කේ බුක් ෂොප් එකකට ගිය වෙලාවකය. පොත් දහයකට කවර සැට් එකක් එහි අන්තර්ගතය. කරන්නට ඇත්තේ පොත මැද්දට තබා නැවීම පමණක්ය. පුංචිම කාලේ බ්‍රවුන් පේපර් වලින් කවර දැමූ අපි, පාට කැලැන්ඩර් වලින් කවර දැම්මේ ඇඩ් එකටය. විටක ටයිම්ස් හෝ ඔබ්සවර් ඇතුලේ එන මැගසින් එකක පට්ට කෑල්ලක් ඉන්න පිටුවක් අපේ පොත් කවර හැඩ කළේය. ඒ නම් ලොකු පන්ති වලදීය. පසු කළෙක ඩයරියක හොඳ කුෂන් කවරයක් ගෙන පොතට එබ්බවීමෙන් කවරයක් ලෙස භාවිත කළ අවස්ථාද ඇත්තේය. ඒ සියළු ඒවා අපට දුන්නේ අලුත් අවුරුද්දක හැඟීමක්ය.

සෑමා ගෙදර තිබූ දින දර්ශණය ගලවා විසි කළේ අලුත් එකක් ලැබුණු නිසාය. විසි කළ දින කැලැන්ඩරයේ ඉතිරිව තිබුණේ දෙසැම්බර් පිටුව පමණක් නොවේය. සැප්තැම්බර් පිටුවේ සිට දෙසැම්බර් දක්වාම ඉතිරිව තිබුනේය. ඒ කියන්නේ කැලැන්ඩරය පවා වල පල්ලට ගොස්ය. ඒ වගේම අත බදින ඔරලෝසුව පවා භාවිතයෙන් අඩු වී යන්නේ අතට ආ ස්මාර්ට් ෆෝන් එක නිසාය. කරන්නට දෙයක් නැතිය. කටයුතු කාරණා ලේසි පහසු වෙද්දී වැඩකට නැති දේ අවුට් ඔෆ් යූස් වන්නේය. අත් ඔරලෝසුව අවුට් ඔෆ් ෆැෂන් යන එකක් නැතිය. මොකද වෙලාවට වැඩ නොකරන එකා පවා එදා සිට තඩි අත් ඔරලෝසු පැලැදීමේ ෆැෂන් එකේ සිටිනා නිසාය. 

ඉස්සර කුස්සියේ තිබෙන ලිත පවා අපට ලබා දුන්නේ නැවුම් හැඟීමක්ය. වසර මුල එල්ලන ලිත වසර පුරා එතැනමය. අද නම් ලිත ගැන ගානක් වත් නැතිය. “ඈපා ලිත“ ඉස්සර හෙන මාකට්ය. අපි ඒකට කිව්වේ ඈ... පාලිත කියාය. අන්තිමට ලිතත් නැතිය. පාලිතත් නැතිය. ලිපෙන් බලන නැකැත් සිංහල අලුත් අවුරුද්දට ටීවි එකෙන්ම ලබා ගත හැකිය. සුබ මොහොත, රාහු කාලය වැනි ලබු ගෙඩි පත්තර වලින් බලා ගත හැකිය. නැතිනම් ටීවී එකේද කියන්නේය. දැන් ලිතක් ඕනෑ වුණොත් ඕනෑ වෙන්නේ හූනු සාස්තරය බලා ගැනීමටය. මෑත කාලයේ හූනු ඇටෑක්ස් කිහිපයකින් පසු සෑමා හූනු පලා පල ෆොටෝ එකක් ෆෝන් එකේ තබා ගත්තේය. දකුණු අතට වැටුණු හූනාත්, වම් අතට වැටුනු හූනාත් දෙදෙනාම කිව්වේ භයානක සහ දරුණු මරණ ගැනය. ඉන් පසු දවසක හූනෙක් වින්ඩ් ස්ක්‍රීන් එකේ ද සිටියේය. ඌ පාර මැද්දටම පැන භයානක මරණයකට ගොදුරු වූයේය. තවත් එකෙක් මදුරු නෙට් එකේ සිට නෙට් එක ගැසූ සැනින් විසිව ගොස් බිත්තියේ ඇලී සිටියේය. ඌ ලක් වූයේ දරුණු මරණයකටය. කෙසේ වෙතත් අවුරුද්දක නැවුම් බව දැනෙන ලිත පවා භාවිතයෙන් ඈතට ගොස්ය.

වසර 2000 ලබද්දී අපි කරකුට්ටං වී සිටි බව මතකය. අම්මට හුඩු Y2K කියා බය වී ලෝකයම අන්දොස් වී සිටියේය. මායා වරුන්ගේ දින දර්ශනය අහවරව ලෝකය විනාශ වන බවට පවා කතාන්දර තිබුණේය. දැන් උන්ගේ කැලැන්ඩරේ ගැන කතා නැතිය. ලෝක විනාශය ගැන කතා කළ උන් තාමත් යහතින්ය. ඒ අතර කම්පියුටර්, සිස්ටර් අරවා මේවා කෙල වෙලා යන බවට හැමෝම බව වී සිටියෝය. 99 වසරට පසු 2000 වසරේ බිංදු දෙකට බය වී සිටි ජනතාවට අද ඒවා මතක නැතිය. ඒවා සියල්ල හුුදු අතීතයක් පමණක්ය. කොටින්ම කිවහොත් අලුතෙන් ලබන එකත් ලොකු සීන් එකක් නැති දෙයක්ය. පරණ එක වගේමය. මුල් කාලේ අම්මට හුඩු අලුත් එක කියා ලග තබාගෙන ආයෙත් පරණ එක ගානටම වැටෙන්නේය. ඒ ස්භාධර්මයය. හැම දෙයක්ම අලුත් හෝ පරණ වන්නේ තමන්ගේ චින්තනය මතය. 

සෑමාගේ ලැපට දැන් අවුරුදු අටක්ය. දුහුවිලිය, ගල්ය, වැලිය,  ඒත් එය තාමත් සෑමාට අලුත්ය. අවශ්‍යතා සියල්ල ඉටු කර ගැනීමට තවමත් ප්‍රමාණවත්ය. අලුත් කර ගත හැකි ක්‍රම බොහෝය. විටක ලිනක්ස්ය, විට වින්ඩෝස් 7 ය. විටක ඔන් වෙන්නේම නැතිය. අවශ්‍ය පරිදි දි OS එක  හෝ වෙනස් කරගෙන වැඩේ අලුත් කර ගත හැකිය. ඊයේ කිටි කිටියේ නැවුම්ව ලැබුණු අවුරුද්ද දැන් පරණය. ගත වූයේ පැය විසි හතරක්ය. ලොකු සීන් එකක් නැතිය. හැමදාම එක විදියට ගෙවෙන දවස් අලුත් කර ගත යුතුය. වෙනස් කර ගත යුතුය. ඒ වෙනස නැති තැන නැවතත් ඇත්තේ පරණ සීන් එකමය. තඩි ප්ලෑන්, ඔලුවේ තියාගෙන අවුරුද්දක් ගොඩ දා ගත හැකි යැයි සෑමාට නොසිතෙන්නේය. ඉටු කර ගත හැකි බලාපොරොත්තු කිහිපයක් හිතේ තබාගෙන හැම දාම අලුත් විදියට වැඩ කළාම ලොකු සීන් එකක් නැතිය. ගිය අවුරුද්ද මහ කාලකන්නි යැයි කියවන බහුතරය ලබන වසරේද කියන්නේ ඒ ටිකමය. අලුත් වසර තමා හොඳම එක යැයි කියන උන් ලබන අවුරුද්දටත් හොඳම එක යැයි කියන්නෝය. එතකොට පරණ එක ගෙවුණ එක චාටර්ය. 

ගිය අවුරුද්ද වගේ මේ අවුරුද්දත් ගෙවෙන බව සැබෑය. ඒ ගෙවෙන සෑම දවසක්ම අලුත් විදියට ගෙවා ගැනීම කළ යුතුය. සුභ විය යුත්තේ ප්‍රාර්ථනාවන්ය. කාටවත් කාගේවත් ජීවිත සුබ කළ නොහැකිය. අසුබ කළ හැක්කේද තරමක් දුරට පමණක්ය. ඒ නිසා තමා කපා ගන්නා ලිදෙන් තමන්ම නා ගත යුතුය. එලෙසම තමා කපා ගන්නා වලේ තමන්ම ඇඳ වැටෙන්නේය.

ලොකු සීන් එකක් නැතිය.

අද සිට සෑම දවසක්ම තමන්ම සුබ කර ගත යුතුය... !!

11 comments:

  1. හුටා 😳.. ඈ බං. දැන් පොත් පිට කවරත් විකුනනවයි..??

    ඕ ලෙවල් කරන කාලෙනම් මිරර් මැගසින් එකේ පින්තුර කපල අපිළිවෙලට අලවල ඒක ෆොටෝ කොපි කරලත් අපි පිට කවර වලට දැම්ම මතකයි.

    වොච් ගැන කිව්ව නිසා මතක් උනේ. හෙට ගෙදර ගිය ගමන්ම වොච් එක දාපු තැනකින් වහාම හොයල ගන්ට ඕනි.

    මමනං ගෙවෙන හැම වෙලාවම දුකද සැපද ආතල් විදිහට ඇඟට ගන්න නිසා කිසිම වෙනසක් නැහැ ඕන්.. ඒක නිසාම වෙලාවකට මෙලෝ රහක් නැහැ. 😜

    ජය වේවා..!! 👊🏽

    ReplyDelete
    Replies
    1. //ඕ ලෙවල් කරන කාලෙනම් මිරර් මැගසින් එකේ පින්තුර කපල අපිළිවෙලට අලවල ඒක ෆොටෝ කොපි කරලත් අපි පිට කවර වලට දැම්ම මතකයි.//

      අපිත් කළා මචං මේම නම්..

      සැප දුක සියල්ල ආතල් එකට ගන්න එක නම් මටත් තියෙනවා බං.. ඒ විදිය මරු !

      Delete
  2. ලොකූ සීන් නැති අවුරුද්දක් වෙව්වා

    ReplyDelete
  3. පුංචි කාලේ බ්‍රවුන් පේපර් වලින් පිට කවර දැම්ම හැටි මතක් වුනා...

    ඇත්ත, නැවුම් විය යුත්තේ තමන්ගේ සිතුවිලිය...

    සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  4. ඇත්ත උබ කියලා තියන ඒවා එල ද බ්‍රා ඇත්තය

    ReplyDelete
  5. මමනම් කෑලෑන්ඩර් කොල වලින් පිට කවර දෑම්මේ වියදම් අඩුකර ඒ වෙනුවට දෙන සල්ලි මාටියා ගෑසීමටයි...අපේ ලොකු සීන් ගෑවිලවත් නෑ..හෑබෑයි ලොකු සීන් දාන එවුන් පෙන්නන්නත් බෑ

    ජෙයින් ජෙයම වීවා පුතී....අත ගහන හෑම වෑඩේම සාර්තක වේවා

    ReplyDelete
    Replies
    1. පොත් වලිනුත් මාටියා ගහපු එකෙක්නෙ මලිතා..

      එලෑ !

      Delete
  6. හැම දේම මොඩනයිස් වෙන ලෝකයේ ලිතත් පොතත් විකුණන එකා අනාත වෙලා ගොස් ඇත.
    කැලැන්ඩර් කේස් එක ගැන කියනවනං 2015 ගහපු කැලැන්ඩරේ අන්තිම මාස දෙක තුනත් තාම බිත්තියේ ඇතය.

    //ලිපෙන් බලන නැකැත්// ඒ වැඩෙත් නරකම නැතිය. හැක්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...