එකෝමත් එක රටක කවුදෝ මුත්තෙක් සිටියේය. මුණුපුරෙක්ද සිටියේය. මුත්තා මොහොකටද බිම හෑරුවේය. පොඩි එකා මුත්තාට කිට්ටු වූයේය. අහවල් එකටද බිම හාරන්නේ ඇසූ විට මුත්තා කිව්වේ අඹයක් හිටෝන බවය. මුත්තා අඹය හිටුවා ඇඟ බේරා ගත්තේය. ඒ මුත්තාගේ යුතුකමය. මුත්තා නිවැරදිය. මතු අඹයක් නොපතන නියාවෙන් මුත්තා අඹය හිටුවා තම මෙහෙවර ඉටු කළේය. මුණුපුරා මුත්තා ගැන ගෞරවයෙන් සිටියේය. අනේ මුත්තාට නැති වුණත් අපිට කන්න මුත්තා අඹ ඇටයක් පොලොවට යට කළේය. මුණුපුරා තුන් සිත සතුටින් පුරවාගෙන ලොකු මහත් වන්නට ඇතිය. ලොකු වී අඹ කද්දී මුත්තා පැලය සිටවූ පිනෙන් දෙව් ලොව අමෘතය වළඳමින් සිටියේය. අපි දන්නා කතාව එහෙමය. අපි සිතනා කතාව එහෙමය.
එහෙත් සෑමාට මෙහෙම හිතෙන්නට පුලුවන්ය. කුප්ප සෑමා එහෙමය. හිතන්නේ රුවිතයටය. අඹය සිටුවා මුත්තා මිය පරලොව යන්නට ඇතිය. ප්‍රතිසංධි චිත්තය ලෙස මුත්තා අඹය හිටවූ පින සිතට පහල වී දෙව් ලොව ඉපිද සැප ලබන්නට ඇතිය. මුණුපුරා ලොකු මහත් වෙන්නට ඇතිය. මුත්තාගේ පුතාට හෙවත් මුණුපුරාගේ පියාට තව දරුවන් ලැබෙන්නට ඇතිය. ගෙදර ඉඩකඩ මදිව තවත් කොටසක් එක්කර නිවස විශාල කරන්නට අවශ්‍ය වන්නට ඇතිය. නැතිනම් තවත් නිවසක් එම ඉඩමේම හදන්නට උවමනා වන්නට ඇතිය. මුත්තාගේ පුතා ඉදිකිරීම් වලට බාධාවන අඹ ගස කපා දමන්නට ඇතිය. මේවා නම් නියම ලී ලෙස අඹ කඳ ඉරා දමා ලී ගන්නට ඇතිය. පියා සිටවූ ගසට ණය ගැති වී පුත්‍රයා නැවත ගසක් සිටුවන්නට අමතක වන්නට ඇතිය. මුත්තා ගස සිටුවන විට ලඟ සිටි මුණුපුරා විටක ගස කැපුවා දැයි නොදැන ඉන්නට ඇතිය. එක්කෝ ගසක් තිබුණා දැයි, එය හිටෙව්වේ මුත්තා දැයි අමතක වන්නට ඇතිය. ඒත් කිසිදා ගසක් පැලයක් නොසිටවූ එකී මුණුපුරා තද අව්වේ තම වාහනය පාර්ක් කරන්නට සෙවනක් ඇති තැනක් සොයනවා විය හැකිය.
මුත්තාගේ කතාවෙන් කියවුණේ ගසක් සිටුවන්න කියාය. තමන්ට ලැබෙන ලාභය නොබලා හෙට පරපුර ගැන සිතා පැලයක් සිටුවා තබන්න කියාය. සිටුවා තබන ඒ පැලය, ගස රැක ගන්නට, වතුර ටිකක්, පොහොර ටිකක් කිට්ටු කරන්නට කිසිවෙක් කිසවෙකුට උගන්වා නැතිය. වතුර බිඳක් නැතුව වේලි යන පැලයක් දකින උන් වතුර පොදෙක් නොබලා අහක බලන් ගොස් අලුතෙන් පැල සිටුවන්නේ උත්සවශ්‍රීයෙන්ය. විටක වතුර බොන බෝතලයේ ඇති ඉතිරි වතුර ටික, අලුතින් බෝතලය පුරවන විටක විසක් කරන්නේ ගසක් මුලට පැලයක් මුලට නොව කොහේ හෝ බිත්තියකටය. ඒ අසලම ඇති ගසකට හලන්නට තරම් චින්තනයක් උන්ට ඇති නොවන්නේය. බුද්ධ ධර්මයෙන් කිවහොත් සම්මා සතිය හෙවත් නිවැරදි කල්පනාව නැත්තේය. කල්පනාවෙන් සිටියා නම් ඒ වතුර පොද පිපාසිත වියලුණු පැලයකට ජීවයක්ම වන්නේය.
දැන් පැල සිටුවීම චැලෙන්ජ් එකක්ය. සීන් එක ඇත්තය. දැන් ඉඩම් නැතිය. තිබෙන්නේ ගෙවල් විතරය. මිදුලක් කියා ඇත්තේ වාහනය පාර්ක් කිරීමට හිඩැසක් පමණක්ය. ඉඩක් තිබුණත් පැලයක් හිටවන්නට වෙලාවක් නැතිය. වල් පැලයක් හෝ ගලවන්නට වෙලාවක් නැතිය. එහෙව් සංකීර්ණ තත්වයක් යටතේ පැළයක් සිටුවීම යනු ඇත්තටම චැලෙන්ජ් එකක්ය. පැලයක් සිටුවන එක එතරම් චැලෙන්ජ් එකක් නම් පැලයකට සාත්තු කර රැක බලා ගැනීම කෙතරම් අපහසුද යන්න දෙවරක් තුන්වරක් සිතා බැලිය යුතුය. සමහරු අම්මට හුඩු පැළයක් හිටවන්න ඕනේ යැයි කියමින් පැලයක් සිටුවන්නේ සිටුවිය යුතු තැන ගැන නිසි අවබෝධයක් නැතුවය. නිවසට කිට්ටු කර පැලය සිටුවා පැලය තඩි ගසක් වූ පසු කපා දමන්නෝය. කලින් සිතා බලා පැලය ගසක් වන ප්‍රමාණය, මුල් වලින් නිවසට වන හානිය, අනාගත ඉදිකිරීම් ගැන හෝ සිතා බලා පැලයක් සිටුවන පිරිස් බොහෝ අල්පය.
සෑම්ගේ කිටියාද පැල සිටෙව්වාය. ඒ නිසාම සෑමාට පැල සිටුවීම හා සිටවූ ගසක් රැක බලා ගැනීම යන කාරණා දෙක ගැන පැහැදිලි අවබෝධයක් ඇත්තේය. රැල්ලට, ඇඩ් එකට සිටුවන ගස එදාට පමණක්ය. සතියක් දෙකක්, මාසයක් වතුර වැටෙන්නේය. විටෙක පොහොරද වැටෙන්නේය. ඒ සීමිත කාලයකටය. එහෙත් පිඹුරුපත් අඳිමින්, මනා සැලසුමක් සහිතව සිටුවන ගසක් කල්ප කාලයක් පවතින බව කිව යුතුය. එලෙසම ලැබෙන සාත්තුවද නොමදය, සදාතනික බවද පැහැදිලිය. කිව්වාත් වගේ බැල්කනිය වටේ බැම්මට සිමෙන්ති පෝච්චි සැට් එකක් සවි කළ යුතු බව කීවේ කිටියාය. ඇත්තය. පැලයක් සිටුවීමට එය කදිම තෝ තැන්නක්ය. මුලුතැන් ගෙට ආසන්නයෙන් සිටුවි යුත්තේ හොද්දට දැමිය හැකි කෑමට ගත හැකි එලවලුවක් බවත්, ඉදිරිපසින් සිටුවිය යුත්තේ මල් හෝ ලස්සන කොළ සහිත පැල බවත් අගේ මතය වූයේය. ඒ කියූ පරිදිම පැළ කිහිපයක් සිටුවූයේ කිටියා විසින්ය. මුල් දින කිහිපයේ පැහැදිලි සාත්තුවක් ලැබුණේය. දවසට දෙවරක් වතුරද, පසුව නිල් කැට පොහොරද ලද පැල සෙමින් සතුටින් වැඩී ආවේය. මාසයක් දෙකක් ගත වෙද්දී දවසට දෙවරක් ලද ජල පහසුව, පැලවලට ලැබුණේ කලාතුරකින්ය. සියල්ල වේලී විනාශ වී යනතුරු කිසිවක් සිදු නොවූයේය.
 |
ගොඩ දමා ගත් මල් පැළය |
 |
ගොටු කොළ වගාව, නොමිලේ පැළ වූ වල් ගස්ලබු පැලය සමඟ |
 |
තවන් කළ දෙළුම් ඇට පැළ වී ඇති අයුරු |
 |
තවත් ගොටු කොළ |
නැවත පැල තවන් කර පුනරුදයක් ඇති වූයේ සෑමා පැල කිහිපයක් තවන් කළ පසුය. ඉදිරිපස පෝච්චියේ කිටියා සිටවූ මල් පැලය වතුර දැමීමෙන් ගොඩ ගැනීමට සෑමාට හැකි වූයේය. සෑම්ගේ මව විසින් තවන් කළ දෙළුම් ඇට කිහිපයෙන් පැල විශාල ප්‍රමාණයක් ලබා ගැනීමටත්, ඇය සිටවූ ගොටු කොළ වලින් පොඩි සෑමාට නීරෝගී ගොටු කොල කඩා ගැනීමටත් හැකි වූයේය. ඉහත ආකාර දෙකේදීම පැල සිටුවීම, තවන් කිරීම මහ අමාරු චැලෙන්ජ් එකක් නොවූයේය. චැලෙන්ජ් එක වූයේ ඒවාට සත්කාර කිරීමය. උදේට වතුර දැමීමය. පස් වේලී යන කාලයේ පස තෙත්ව තබා ගැනීම පැහැදිලි චැලෙන්ජ් එකක්ය. ජය ගත යුත්තේ පැල රැක ගැනීමේ අභියෝයය. පැලයක් සිටුවීමට සිත් දීම ඉතා පුන්‍ය ක්‍රියාවක්ය. එය රැකබලා ගැනීමට ශක්තියක් තිබීම ඉතා වැදගත්ය. අපි සිටෙව්වා යැයි අත ගෑවුණු පස් පිස දමා ගැනීමට වඩා, අපි හිටෝපුවා රැක ගන්නවා යැයි අත්වැල් බැඳ ගැනීම එලෙසම වැඳගත්ය.
ඉතින් අපි සිටුවන්නම්..
කවුරු හරි රැක බලා ගන්නවා ද ??
Written_by_sAm_ශ්‍රී_Perera_5:05pm_25/04/16