Wednesday, April 27, 2016

සයුර මා විය අහස ‍ඔබ විය - දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය...


කීප වතාවක් අපි වාඩි වුණ තැන. හවසට ඈත මුහුදේ ගිලෙන ඉර දිහා බලාගෙන. මුහුදු හුළඟ ජීවිතේම කාන්සිය මකන විත්තිය කිව්වෙ ඔයාමයි. ඒ නිසයි යන්න ඉන්න තැනක් නැති වුණාම අපි මුහුදු හුලගක් වදින්න දුවගෙන එන්නෙ. රැල්ල පාගලා දඟකරන උන් දිහා බලාගෙන අපි නිසොල්මනේ. ගිලෙන ඉර දිහා බලාගෙන හූල්ලනවා. ඈත දිලිසෙන රත්තරං පාට අපේ කර ගන්න. ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. අද මං එතැනම. ඉස්සර සිතුවිලි එක්ක, තනියම, කල්පනාවක.

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරලක හුදකලාවෙක...
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...

නිතරම වෙරළට ඇවිත් සද්ද දාන, දඟ කරල ආපහු හැරිල යන මුහුද මම වගෙලු. ඔයා එහෙම කිව්වෙ ඈත අහසට අත දික් කරන්. මං දිහා උඩ ඉදන් නිසොල්මනේ බලං ඉන්න අහස ඔයාලු. එතනත් වංචාව.දඟ නම් මම. තැන්පත් නම් ඔයා. අපි හොඳම යාලුවො. අපි දෙන්න විතරයි එහෙම හිතං හිටියෙ. ඒත් හැමෝටම අපි පෙම්වතුන්. ඒක උන්ගෙ හිතේ තියෙන වැරදි වැටහීමක් කියල අපි ඇඟිලි දික් කරන්න ගියෙ නැහැ. මොකද අපිත් දන්නෑ අපි කවුද කියල. ඒත් ඇත්තටම අපි අතර තිබ්බෙ සිතිජයක්. මම මහ මුහුද නම්, ඔයා අහස නම්, ඈතින් අපි එකතු වෙලා වගේ පෙනුනා. වටේම ඉන්න උන්ට. ඇත්තටම ඒක අහස, මුහුද ලං කරපු සිතිජය වගේ. ඈතට හරි ලස්සනට ලං වෙලා පෙනුනට, ඒත් එදා අපි ඇත්තටම ලං වෙලා හිටියෙ පෙම්වතුන් විදිහට නෙවේ. ලෝකෙම මුලා වෙලා අපෙ හිතවත් කම් වලට නමක් දාල තිබුණා අපි පෙම්වතුන් කියලා. ඒත් ඒක සිතිජයක්. ඇත්තටම අහස, මුහුද එකතු කරපු. ලෝකෙම හිතපු විදිහ මට ආයෙත් මතක් වෙනවා. සිතිජයේ ගිලෙන රත්තරං හිරු එළිය මැද්දෙන්.

සයුර මා විය අහස ‍ඔබ විය
දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි...

මම තාමත් කල්පනාවක. හැමෝම කියපුවා මතක් කර කර. ඒ විතරක්ද අපි කතා කරපු දේවල් එකතු කරගෙන. මන්දා අපි අහස, මුහුද වෙලා රැවටිලා හිටියදත් කියලා. අපි අපෙන් කවදාවත් අහපු නැති ආදරය. ඔයා මට, මම ඔයාට ආදරේද කියල කවදාවත් ප්‍රශ්න කරල නැතුව. ඇති. ඇත්තටම නැහැ. ඒත් මම මගේ හිතත්, ඔයා ඔයාගෙ හිතත් අවුස්සලා බැලුවොත් ඒ ප්‍රශ්නෙ අපි අපේ හිත් වලින් වෙන වෙනම අහල නැද්ද කියල උත්තරයක් තියෙයි. මට දැන් තේරෙනවා. ඔයා එදා අහස වෙලා, මාව මහ මුහුද කළේ ඈත සිතිජය පෙන්වන්න. ඔයා මම ආදරේ කියන බැම්මෙන් ඈතින් එකතු වෙලා තියන බව කියන්න. මට නෙතේරුණු ඔයා නොකියා කියපු දේ ඒකයි. ඇත්තටම අහස, මහ මුහුද එකතු වෙලා. ඔයා පෙන්නපු සිතිජය තේරුම් නොගත්ත මම අද තනියම, මෙතැන කල්පනාවක.

සයුර මා විය අහස ‍ඔබ විය
දෙදෙන රැවටූ ක්ෂිතිජයක් විය
කී කථා‍වේ අරුත වැටහින‍
අහස සමුදුර එකතු වී ඇත...


ගායනය - වික්ටර් රත්නායක




sAm_ශ්‍රී_Perera_10:15pm_26/04/16

14 comments:

  1. මට නං අප්සැට් තේරුම් ගන්න එක..

    ReplyDelete
  2. ලස්සන සින්දුවක්......... දුක හිතෙන අතීතයක්.........

    ReplyDelete
  3. මම හිතුවා එදා දැක්ක ගමන් , අනේ පව් සෑමා

    ReplyDelete
  4. ගායනය/සංගීතය - වික්ටර් රත්නායක
    පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන

    ReplyDelete
    Replies
    1. බලන්න සොඳුරිය වියපත් දෑසින්
      සොඳුරු අතීතෙක ආදර මතකය
      අපේම වී සිටි
      අප අද කොතැනද

      පියාපත් මැවී සරසවි උයනින්
      ඉගිල ගියා ඔබ කිරිල්ලියක සේ
      රුවල බිඳී ගිය ආදර ඔරු කඳ
      ගිලී ගියා මහවැලි ගං පතුලට

      දෙගුරුන් ඉදි කළ පවුරු කඩොලු මැද
      රැහැන් වෙලා ඔබ කුල සිරිතෙන් බැඳ
      ක්ෂිතිජ ඉමෙන් නෙත නොපෙනෙන ඈතට
      දුරස් කළා මට කඳුළ ඉතිරි කර

      ගායනය - අමරසිරි පීරිස්
      පද රචනය - උපාලි මල්දෙණිය
      තනුව - ඩෙනිස්ටර් පෙරේරා

      Delete
  5. ඒ කාලේ ගීතයක් ගත්තම අංශ තුනම ඉතා ප්‍රබලයි. ඒවා දිගුකාලීනව පැවතීමේ රහස එයයි. සෑමා ආපහු ලියන එක සන්තෝසයි. හරියට එක පන්තියේ යාළුවො සෙට් එක වෙන තැනකදී මුණ ගැහුණා වගේ. කසුන් කල්හාර කියන්නේ ඒ වගේම දක්ෂයෙක්.

    ReplyDelete
  6. මොකෑ වික්ටර් රත්නායකගේ සින්දුව නොදැම්මේ?

    https://www.youtube.com/watch?v=HNCXyTR6T3Y

    ReplyDelete
  7. වැඩිය කල්පනා කරන්න එපා බං. හැක්..

    ReplyDelete
  8. වික්ටර් රත්නායකගේ ඔය වගේ නියම සිංදු තියෙනවා."අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්',"සඟවා ගනු මැන ඔබේ රුව සොඳුරියේ" වගේ සින්දුත් පට්ටයි.

    ReplyDelete
  9. මමත් මේ තනියම කම්පනා කොරන්නේ මොනා ලියමිද කියාලා

    ReplyDelete
  10. ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
    මා පෙම් කල අය මටද ලැබී නැත...
    මා පිය නෑ සිය ආසිරි ගී මැද
    දෑගිලි පමණක් එකට බැඳී ඇත

    ReplyDelete
  11. උඩ ඉන්දිකය කියල තියෙන සිංදු කෑල්ල දැක්කම කියන්න ආපුව ඔක්කම අමතක වුණා...
    සිංදුව අහල නෑ සෑම්... අහල කරලම එන්ට වෙනා

    ReplyDelete
  12. මේ සින්දුවල විචාර නොකියවා සින්දුව තේරුම් ගන්න බැරිකම මට විතරක්තියෙන ලෙඩක්ද මන්දා බං. හැම සින්දුවෙම මොකක්හරි කතාවක්. අද දවසේ කියන සින්දුවත් අරක්කු බෝතලය්ක් ගැනලුනේ. බලාපංකො ඉතිං.

    ReplyDelete
  13. When listing to a song, Play the Moment, Pause the memories , Stop Pain, Rewind happiness :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...