ධර්මය යම් දිනයකදී අස්ථාන ගත වන්නේය. ධර්මය විකෘති වීම් මගීන්, තම තමන්ට සැප සුඛ විවරණය සඳහා ධර්මය විකෘති කර ගැනීම මඟීන් දිනෙක ධර්මය අස්ථාන ගත වන්නේය. අධර්මය රජ කරන්නේය. එතැන් පටන් මිනිසුන් පෙරුම් පුරන්නේ මතු බුදුවරයෙකු පහළ වෙන තුරුය. පුංචි කාළයේ සිටම හොඳ දේ කියැවෙන තැනදී අපි සාධූ කියා කියන්නට පුරුදු වුණෙමු. සමහරෙක් සිවුර දුටු තැන අන්න සාධූ.. කීවේ සංඝයා වහන්සේටය. ලොකු පන්තිවලට යද්දී කොල්ලෙක්ට කෙල්ලෙක්ට අකරතැබ්බයක් වුණොත් එතැනදී අපේ උන් සාධූ කීවේ ආතල් එකටය. කරදරයක් වුණ එකාට හොඳ වැඩේ කීමටය. තවත් ලොකු පන්ති වලට යද්දී බුද්ධ ධර්මය උගන්වන්නට පන්තියට එන හාමුදුරුවන්ට සාධූ කීවේ නැතිය. මුල් දිනවල සිටම හාමුදුරුවන්ගේ නමත් සමඟම අහවල් හාමුදුරුවෝ යැයි අප ආමන්ත්රණය කරන්නට වූවේය. එහෙත් පසුවට වේවැල කෝට්ට රැගෙන පන්තියට එද්දී, ගාථා පාඩම් ගනිද්දී අපිට පහර දෙන්නට වූ තැන් වලදී හාමුදුරුවන්ගේ නමට ආදේශක හෝ වෙනත් නම් වැටෙන්නට වූයේය. එතැන් පටන් ගෞරවය පහළ බැස, විවිධ නම් පට බැඳෙන්නට පටන් ගත්තේ සිවුරේ සිටින මිනිසාගේ ගතිගුණ අපට ගෝචර නොවූ තැනදීය.
![]() |
Add caption |
බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය ඇත්තෝ උපාසකයෝය. බුද්ධ සහ ධම්ම පිළිබඳව සැකයක් නැතිය. සරණ යා හැකිය. තෙවෙනුව සංඝ සරණ යාමේදී වර්ථමානයේ දෙවරක් සිතන්නට වන්නේය. මන්ද සිවුරට ගරු කරන තැනදී සිවුර ඇතුලේ සිට එළියට බසිනා මිනිසා ගෞරවය ලබා ගැනීමේ තැනට වැඩ සිද්ධ නොකිරීම නිසාය. එකී මිනිසා තුල දිවෙන දේශපාලනය, සිවුර ඇතුලේ සිටින මිනිසාගේ සිත ද්වේශයෙන් පුරවන්නේය. එහෙව් තැනකදී “අනේ අපේ හාමුදුරුවනේ...“ කියා බැති සිතින් කට පුරා කතා කරන්නට ගිහියා දෙවරක් සිතන්නේය.
දේශපාලන පක්ෂ නිර්මාණය කරගෙන එළියට බැස්ස බහුතරයක් හිමිවරු දැන් බණක් දහමක් කියාගන්නට වත් නොහැකි තත්වයක සිටින්නෝය. ඔවුනට එදා තිබූ ගෞරවය අද හීන වී ගොස්ය. මාකට් එක හීන වී ගොස්ය. එදා කට පුරා අනේ අපේ හාමුදුරුවනේ කියා සුමිහිරි ධර්ම දේශනා ගෙන ඒමට සමත් වූ එකී බහුතරය අද නිහඬය. ඉදහිට බණක් දහමක් දේශනා කළද ඉස්සර ගතිය නැත්තේය. ගතිය කීවේ සුමිහිරි ධර්මයක් ශ්රවණය කිරීමෙන් සිතේ ඇතිවන සුවය ශාන්තියට මිස ද්වේශයෙන් ස්ටේජ් එකක් තම කෑගසමින් සිටිනු දැකීමෙන් සිතට ලැබෙන අවේගකාරී කික් එක නොවේය. අපි සාධූ කීවේ නිරාමිස සුවයකට මිස, අවේගකාරී කික් එකකට නොවේය. හම්බ හැත්තට (හම්බ හැත්ත යනු මුස්ලිම් ජනතාව නොව අන්තවාදී මුස්ලිම් අයය.) ධර්මය දෙසන්නට පෙර, අපේ හැත්තට (අපේ හැත්ත යනු සිංහල බෞද්ධ ජනතාව නොව අන්තවාදී සිංහල බෞද්ධයෝය. චීවරධාරියෝද ඇතුලුය.) ධර්මය දෙසිය යුතුය.
පුංචි කාලයේ සිට අප සාධු කීවේ තුන් වරක්ය. විටෙක ඇදලා හතරවෙනි වතාවටත් සාදු කියා ඇත්තෙමු.
කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ත සංවරෝ
පළමු සාධුකාරය කයින් සංවර වීම සුහද ගුණයක්, සාධු ගුණයක්.
දෙවන සාධුකාරය වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්.
තෙවන සාධුකාරය මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්.
හතර වෙනියට ඇදල දුන්නු සාධුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාධු ගුණයක්.
මා මෙතෙක් ගරු කළේ සාධු ගුණයට මිස අවේගකාරී සාඩෝ ගුණයන්ට නොවේය. එදා හාමුදරුවරු සාධු ගුණයට හිස නමා සාඩෝ නොකියා පෙරලියක් කළේ රට රැක ගන්නට මිස බඩ රැක ගන්නට නොවේය. අද කිසිවෙක් අන්තවාදීන්ට එරෙහිව කටයුතු කරන්නේ නම් එතැනදී සාධූ ගුණය මැකෙන තැනට පත් නොවිය යුතුය.
ඉස්සර හිටියේ රතන හාමුදුරුවෝය, ධම්මාලෝක හාමුදරුවෝය, අවසන වටරැක හාමුදුරුවෝය, එහෙත් අද සිටින්නේ රතන, ධම්මේ සහ වටරැක ලාය. ඒ අතර ඥාණසාර හාමුදුරුවෝ වෙනුවට සිටින්නේද ඥාණසාරලාය. පාසල් සමයේ බුද්ධ ධර්මය සටහන් ලියන විට සෑමා “බුදුරජානන්වහන්සේ“ කියා ලියැවෙන තැනට “බුදුන්“ හෝ “බුදුහිමි“ කියා සටහන් පොතේ ලීවේ අකුරි ලිවීමට ඇති කම්මැලිකම නිසා සහ වේලාව ඉතුරු කර ගැනීම මිස අගෞරවයට පත්කිරීමට නොවේය. එහෙත් අද පත්තර පිටු වල ලියැවෙන්නේද හාමුදුරුවන් කියන කොට නැතිවය. ඥාණසාර හිමි වෙනවුවට, ඥාණසාර කියාය. බහුතරයක් හාමුදුරුවෝ යැයි නොකියවෙන තත්වයට වැටී ඇත්තේය. ඊට හේතුව සිවුර ඇතුලේ සිටින පුද්ගලයාගේ නොදැමුණු, අශාන්ත බවය. අහිමි වූ සාධූ ගුණය නැවත ලබා ගන්නට මුලින්ම කටයුතු කරන්නේ නම් මහ සටනට හයියක් වෙනවා ෂුවර්ය. මන්ද චන්ඩාශෝක ධර්මාශෝක වූයේ කෑගසනා, දඟලනා හිමි නමක් දැක නොව, ශාන්තව ගමන් කරනා සංවර හිමි නමක් දැකීමෙන්ය.
පලි - ලිපියට මුල් වූ නිමිත්ත, මාරයා බුකියේ දැමූ ස්ටේටස් එකක්...
“ඥානසාර කියන්නේ බුදු හාමුදුරුවෝ නෙවෙයිනේ.. නබි කියන්නෙ අල්ලත් නෙවෙයි... මෝසස් කියන්නේ දෙවියනුත් නෙවෙයි... දෙවැනියෝ හැමෝම තම තමන්ගේ දේශපාලන වැඩට පලවෙනියාව පාවිච්චි කරපු අය.. ඒ හින්දා දෙවැනියෝ ඉද්දි කට්ටියම පලවෙනියා අදහගෙන දෙවැනියෝ කියපු කරපුවා අමතක කලානං කිසි අවුලක් නැහැනේ...“
Written_by_sAm_ශ්රී_Perera_7:03am_21/06/14