සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Tuesday, May 24, 2016

ගංවතුරේ අතුරු කතා - 2 නොසෑහීම !!


ගංවතුර නිසා වෙසක් කලාපයට කෙළවුනේය. සෑමාගේ බ්ලොගේ වෙසක් කලාපය මෙන්ම ලංකාව පුරා සූදානම් කර තිබුණු කූඩු තරඟ, තොරණ්, දන්සැල් සහ සියළු වෙසක් කලාප පෙරටුගාමී ස්භාවයක් නොතිබුණේය. ඒ ගංවතුර උවදුර නිසා සාමාන්‍ය ජනජීවිතයට වූ හානිය නිසාමය. ඒ හැම කලාපකයක්ම, තොරණක්ම, පොසොන් එකට එළියට එනවා ෂුවර්ය. වෙසක් කලාපයට අනුබද්ධ කොට ගංවතුර හමුවේ මිනිස් ක්‍රියාකාරකම් රැසක් සෑමා දුටුවේය. ගංවතුර හමුවේ කුහකකම් ලෙස පළවෙනි ලිපියත්, දෙවෙනි ලිපිය ලෙස නොසෑහීම් ගැන මේ ලිපියත් ලියන්නේ අපේ මිනිස්සුන්ට “කොච්චර ලැබුනත් මදි“ බව ප්‍රායෝගිකවම සෑමා දුටු නිසාය. තවත් එකක්ය...

“සමාජ සත්කාර කරන්නේ නම් සිරිලාංකිකයන්ගෙන් අබ මල් රේණුවක හෝ ගුණයක් ඇසීමට බලාපොරොත්තු නොවිය යුතුය.“



බියගම පාර යටවූයේ සෑමාගේ නිවස දෙපැත්තට වන්නටය. තල්වත්ත පැත්තෙන්ද, පට්ටිවිල පැත්තෙන්ද යට වූ නිසා සෑමා හිටියේ කොටු වෙලාය. වෙනදාට එන ගංවතුර මේ තරම් නොවන නිසාත්, එකතු වන ගංවතුර දිනකින් බැස යන නිසාත් කැළණි ගං මිටියාවතේ ජනතාව එතරම් තැකීමකින් තොරව සිටි බව සැබෑය. ඒ නොසැලකිල්ල නිසාම සිදුවූ හානිය වැඩිය. සෑමාගේ ගමේ ගංවතුරෙන් පීඩාවට පත් උදවිය සිටියේ ගමේ පාසලේය. බොහොමයක් උදවිය තමන්ගේ හිත මිත්‍රාදීන් සොයා ගියෝය. බොහොමයක් පිරිමි ජනතාව තමන්ගේ නිවෙස් වල ඉහළ මාලය නැග හෝ, තම නිවස අසල තවත් නිවසක හෝ සිටියේ නිවෙස් වල ආරක්ෂාවතකාය. බොහෝ නිවෙස් වල වාහනද දරුණු ලෙස වතුරට යට වූයේ සූදානමක් නැති කම නිසාය. ඒ නිසාම බොහෝ අය අසන්නේ ඇයි යකෝ ඔච්චර යට වෙනකල් ඇට කෑවාද කියාය. දැන් අඩු වෙයි, දැන් අඩුවෙයි කියමින් සිට ඔවුන් ජල ප්‍රමාණය වැඩිවන තුරුම අනාවැකි කියූ බව ඇත්තය. ඒ නිසා සිදුවූ පාඩුව දරුණුය.

සියල්ල අවසන ලංකාවේ මිනිසුන්ගේ දීමේ නොඅඩු කම දෝරේ ගිය බවක් පෙනුනේය. ඒ මේ ප්‍රදේශයට ලැබුණු කෑම, සහ ද්‍රව්‍යමය ආධාර නිසාය. කෑම ප්‍රමාණය ගැන ගණනින් නොකිව යුතු වුවත්, අවතැන් වූ බොහොමයක ගේ ක්‍රියාකලාපයන් සහන සේවා සැපයූ අයගේ ශක්තිය හීන කළ බව කිව යුතුය. ගමේ පන්සලේ හාමුදුරුවෝ කවදත් වගේ සියළු කටයුතු වලට රෑ දහවල් නොබලා කටයුතු කලෝය. එයම දායක සභාවට සහ සහන සේවා සපයන ජනතාවට ශක්තියක් වූයේය. උන්වහන්සේ එළියට බැස්සේ ගමේ පන්සල සහ ආවාස ගෙය යට වූ නිසා නොවේය. හැමදාමත් මෙන් ගමේ පොදු කටයුත්තකදී, මරණයකදී පවා  උන්වහන්සේ ක්‍රියාවෙන්ම මැදිහත් වන බවට සාක්ෂි අපමණය. අපේ ගමේ සිටිනා ග්‍රාමසේවක ද කාන්තාවක්ය. ඇය තම ස්වාමියාද පෙරටු කොටගෙන වතුරට බැස්සාය. දිවා රෑ නොබලා ලැබෙන ආහාර නිසි පරිදි බෙදා දීමට කටුයුතු කළ බව සැබෑය. ආහාර සහ ආධාර රැගෙන එන පිරිස් ඒවා ඔවුන්ගේ අතින්ම බෙදා දීමට උත්සාහ ගත්තේ කිසියම් අක්‍රමිකතාවයක් සිදුවේ වී යැයි සැකෙන් විය යුතුය. එය නම් සාධාරණය. මන්ද මේ සිරිලංකාව නිසාය. එහෙත් එසේ නොබෙදා ආහාර ද්‍රව්‍ය පන්සලේ හාමුදුරුවන් ඇතුලු පිරිස් මැදිහත්ව එක තැනකට එකතු කොට බෙදීමෙන් ආහාර ලැබුණු නොලැබුණු ජනතාව නිසි පරිදි හදුනාගෙන එකම තැනකින් බෙදීමෙන් අක්‍රමකිතා වලක්වා ගැනීමට සහන කටුයුතු වල නියැලුනු පිරිස් වලට හැකි වූයේය. එලෙසම ද්‍රව්‍යමය ආධාර එකම තැනකට එකතු කොට ග්‍රාමසේවක හා පිරිස් මැදිහත්ව බෙදා දිය යුතු බව නිගමනය විය. එයටද ආධාර රැගෙන එන සමහර පිරිස් අකැමැතිව කිසිම පදනමකින් තොරව පීඩාවට පත්, පීඩාවට පත් නොවූ ජනතාව අතර බෙදා දීමට කටයුතු කළෝය. එහෙත් එකම තැනකට එකතු කොට පීඩාවට පත් ජනතාව නැවත පදිංචි වූ පසු බෙදීමේ සංකල්පයට එකඟ වූ පිරිස් තම ආධාර පන්සලට හෝ ග්‍රාමසේවිකාවට බාර දී පිටත්ව ගියෝය.

කළ හැකි දේට මැදිහත්ව, කළ නොහැකි දේ පැත්තකට වී බලා සිටි සෑමා මේ ලිපිය ලියන්නේ නොසෑහීම ගැනය. බොහෝ අය කීවේ තමන්ට කන්නට දෙයක් වත් නොලැබුනු බවය. ඒ නම් අමු බොරුය. කෑම පාර්සල් ප්‍රමාණාත්මකව කිවහොත් අපතේ යන තරමට ලැබුණේය. ඒ අතර ගංවතුර දැමූ පළමු දින පන්සලේ පිරිස් එක තැනකට එක්ව කෑම උයන්නට කටයුතු කළෝය. පසු දින අප දැනුවත්ව ලැබුණු කෑම ප්‍රමාණ සඳහන් කළ යුතුය. එය අසාධාරණ නොවන්නේ සුළුතරයකගේ නොමනා ක්‍රියාකාරකම් නිසාය. මඤ්ඤොක්කා කිලෝ දහසකට වැඩියෙන් තම්බා පාර්සල් දෙදහසකට වැඩියෙන් සාදා බෙදා දීමට අප පිරිස් කටයුතු කළෝය. එදිනම පන්සලෙන් පිසූ බත් පාර්සල්ද ජනතාව අතර බෙදා දුන් බව සත්‍යක්ය. ඒ මදිවාට පිටින් ආධාර ලෙස ලැබුණු කෑම නම් බොහෝය. පසු දින නැවත මඤ්ඤොක්කා තැම්බූ අපට පාර්සල් පන්සියයක් පමණ නැවත සාදා ගත හැකි වූ බව සැබෑය. ඒ අතර සෑමා පට්ටිවිල පැත්තේ තම මිතුරෙකු අමතා කෑම තත්වය ගැන විමසුවේ ඔහුද ගංවතුරට අසුව නිවසේ ඉහළමාලයේ රැදී සිටි නිසාය. අපි උඩ ඉදන් උයාගෙන කනවා මචං, අපි විතරක් කාල හරියන් නෑනේ බං. ඒ නිසා අපි පට්ටිවිල පන්සලේ උයන වැඩ වලටත් සෙට් වුණා කියා ඔහු කිව්වේය. ඇත්තටම සංවේදී වචන පෙලක්ය. තල්වත්ත පන්සලේ පිරිස් ලොකු හාමුදුරුවන් සමඟ එක්ව නිවසක උයන පිහන අතර පට්ටිවිල පන්සලට එක්ව හාමුදුරුවන් සමඟ එකතුව උයන පිහන ජනතාවක්ද සිටින බව සෑමාට පසක් වූයේය. ඊට අමතරව එදින පට්ටිවිල පැත්තට වෙන්නප්පුවෙන් කෑම පාර්සල් 750ක්ද එන බව මිතුරා කිව්වේය. ඊටත් පසු දින උදේ කෑම හිඟබව ආරංචි වූ නිසා සැමාගේ සහෝදරයෙක් මැදිහත්ව මහරගම ප්‍රදේශයෙන් කෑම පාර්සල් 350ක් උදේ ආහාරයටද, දහවල ආහාරයට කෑම පාර්සල් 500ක් පට්ටිවිල පන්සලටයද, තවත් 150ක්, තල්වත්ත පන්සලේ උයන පිරිස් රැදී සිටි තැනටද එකතු කළේ ආධාර ලැබීමේ ප්‍රමාණය ප්‍රායෝගිකව පෙන්වා දෙමින්ය. ඒ අතර වියලි සලාක සහ ද්‍රව්‍යමය ආධාර ලැබුණු බව සත්‍යය. තත්වය එසේ තිබියදී පිටින් පිරිස් පැමිණ බෙදා දුන් ආහාරද, නිවෙස් වල පිළියෙල කොට බෙදා දුන් ආහාර ප්‍රමාණද, ආධාර ප්‍රමාණද අප දුටුවෙමු. 

නැවත වේලාවක වතුර බලන්නට ගොස් සිටියදී ගමේ ග්‍රාමසේවක මහත්මියද, ඇගේ ස්වාමියාද, ගමේ සහ පන්සලේ දායක සභාවේ පිරිස්ද සමඟ සෑමා කතා බස් කරමින් සිටියේය. මොහොතකින් ග්‍රාමසේවක මහත්මියට ආවේ දුරකථන ඇමතුමක්ය. ඇය ඒ වනවිට සිටියේද දණකට වඩා වතුරේ බැසගෙන ඔරුවකට වතුර බෝතල් සපයන ගමන්ය. පැත්තක බත් පාර්සල් අඩංගු පෙට්ටියක්ය. ඇයට ඇමතුම ලැබුණු සැනින් ලවුඩ්ස්පීකර් දමන්නට වූයේ එහා පැත්තෙන් එල්ලවු චෝදනාවේ දරුණු කම නිසාය.

“ග්‍රාමසේවක නෝනා කොහෙද ඉන්නෙ??“

“මම මෙතන දුංගාලවත්ත ලඟ..“

“ඔයා හිටියට වැඩක් තියෙනවද? අපිට මෙහෙ කෑම නැහැ..“

“කොහෙටද කෑම නැත්තෙ.. අපි දැනටමත් ලැබුනු කෑම බෙදලා මෙතන ඉතිරි වෙලත් තියෙනවා..“

“අපි මේ විජයාරාම පාරේ, ඔයා ඇවිත් බලන්නකෝ..“

“මම ඇවිත් බැලුවට ප්‍රශ්නෙ විසදෙන්නෑනේ.. තැන කියන්න.. අපි ඔය පැත්තට කෑම බෙදුවා ඇවිත්..“

“තැන වැඩක් නැහැ ඇවිත් බලන්න.. ඔයා ඔහෙ ඉදල හරයනවද??“

එතැන සිටි පිරිස් මැදිහත්ව කතා කරන පුද්ගලයාගේ නම, ලිපිනය ඇසුවද ඔහු කිව්වේ කෑම නොලැබුණු බවක්මය. ඒ වන විටත් ඒ පැත්තට කෑම බෙදා දී අවසන්ය. බැරිම තැන ඇමතුම විසන්ධි වූ පසුව ත්‍රිවීල් එකක නැගී පිරිසක් ආවේය. කැළණි කැම්පස් එකේ සෙට් එකක් රැගෙන ආ සීන් සම්බල පාන්, වතුර බෝතල් සහ ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය බෙදා දී පැමිණි ත්‍රි රෝද රථය විජයාරාම පාරේ සිට ආ එකක්ය. කොච්චර ලැබුණත් නොලැබුන බව කියනා පිරිස් සමාජ සත්කාර වල ශක්තිය හීන කරන්නක් බව එයින්ම වැටහී ගියේය. ඒ අතරම ග්‍රාමසේවිකාව කියා සිටියේ සමහරු එක කෑම පාර්සලයක් රැගෙන ගොස් එය දිග හැර බලා, නැවත පාර්සලයක් ලැබුනහොත් එයද රැගෙන යන බවක්ය. දෙකම එක්කොට හොඳම ආකාරයෙන් වළඳන සිදුවීම්ද ඇය පහදා දුන්නීය.

අනිත් සිද්ධිය නම් ද්‍රව්‍යමය ආහාර ලබා ගැනීමේදී මිනිසුන් සිදු කළ නින්දිත ක්‍රියාවන්ය. එය සෑමා ඇස් දෙකට දුටු නිසා මෙසේ ලියා තැබිය හැකිය. නිවෙස් යටවූ අය පිරිමින් තම නිවෙස්වල උඩු මහල් වල තැබූහ. කාන්තාවෝ සහ දරුවෝ වෙනත් ආරක්ෂිත ස්ථාන වල රැදී සිටියෝය. එසේ සිටියදී ආධාර බෙදන උදවිය පැමිණි විට කාන්තාවෝ සහ දරුවන් වෙන වෙනම පෝලිම් වල රැදී සිට ආධාර ලබා ගන්නෝය. ගමේ නොවන, පීඩාවට පත් නොවු උදවිය පවා පෝලිම් අසල සිට ද්‍රව්‍ය ලබා ගත්තේ පිටස්තරින් පැමිණෙන ආධාරකරුවන් රවටමින්ය. එලෙසම පෝලිමේ සිට ආධාර ලබා ගන්නා උදවිය නැවත එම ද්‍රව්‍ය කොහේ හෝ තබා පෝලිම පැමිණ සිට ගන්නෝය. එලෙසම පිටතින් පැමිණෙන උදවිය දෙන ආධාර විටක ලැබෙන්නේ කොහෙන් හෝ පැමිණි අයෙකුටය. අසරණ වූ අයට නොවේය. සියළු සිද්ධීන් සාමාන්‍ය වුවද, ආධාර ලබා දෙන්නන්ගේ ඉදිරිපත් වීම සහ සිතෙහි ඇතිවෙන සතුට අඩු කිරීමට සමත් වූවා මිසක කිසිම ප්‍රිය උපදවන සිද්ධියක් නොවූ බව කිව යුතුය.

අපේ රටේ උදවිය දානය හෙවත් දීම කරන්නේ උපරිමයෙන් බව පසක් වූයේ ආධාර ලෙස බෙදීගිය දේවල් දැකීමෙන්ය. මාධ්‍ය ආයතන, අන්තර්ජාලය, හරහා මෙන්ම ප්‍රජාවන් එකතුව සිද්ධ කළා වූ සත්කාරයන් ඉතා අගය කළ යුතුය. එලෙසම නිකං ලැබෙනවා නම් ඕනෙම දෙයක් පමණට වඩා පොදි ගසා ගැනීමේ ජාන ගත වරදද උලුප්පාලීමට උක්ත ව්‍යයසනය උපකාරී වූයේය.

භෞතිකමය දේවල් අහිමිව, නැවත හිස ඔසවන්නට වෙර දරන ජනතාව අතර අධ්‍යාත්මිකව සහ අධ්‍යාපනිකව ගොඩ යන්නට වෙර දරන ශිෂ්‍ය ශිෂයාවන් වෙනුවෙන් කරන්නට යන වැඩසටහනට දායක විය හැකි නම් ඔය ඔබ කරගන්නා වූ මහත් පිං ක්‍රියාවක්ය. ඒ පිළිබඳ බස්සිගේ ලිපිය මෙතැනින්.

තිරය ඉදිරියේ සහ තිරය පිටුපස දහඩිය ගංවතුරේ දිය කළ සියල්ලන්ටම පිං ය !!

Written_by_sAm_ශ්‍රී_Perera_8:40pm_24/05/16

15 comments:

  1. අපේ ලොකු දුවගේ කාර්යාලය අයත් දෙපාර්තමේන්තුවෙන් එකතු කල කෑම පාර්සල්, කොළඹ ප්‍රදේශයේ බෙදන්නට, නාවික හමුදාවේ සහාය ඉල්ලු අවස්ථාවේදී, ඔවුන් කියා ඇත්තේ, 'වැඩක් නැහැ මිස් කොච්චර කෙරුවත් හොඳක් නැහැ, අපි කෑම අරන් ගියාම බනිනවා, උඹලා තම්බින්ට විතරයි කරන්නේ' කියලා.

    ඔන්න ඕකයි සෑමෝ තත්වේ.

    ReplyDelete
  2. // ගමේ පන්සලේ හාමුදුරුවෝ කවදත් වගේ සියළු කටයුතු වලට රෑ දහවල් නොබලා කටයුතු කලෝය. එයම දායක සභාවට සහ සහන සේවා සපයන ජනතාවට ශක්තියක් වූයේය. උන්වහන්සේ එළියට බැස්සේ ගමේ පන්සල සහ ආවාස ගෙය යට වූ නිසා නොවේය. හැමදාමත් මෙන් ගමේ පොදු කටයුත්තකදී, මරණයකදී පවා උන්වහන්සේ ක්‍රියාවෙන්ම මැදිහත් වන බවට සාක්ෂි අපමණය. //


    +++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. ඕක ලංකාවේ සාමාන්‍ය දෙයක් විදිහට හිතලා සැනසෙන්න සැමා

    ReplyDelete
  4. ලංකාවේ කවද කොහොම ආපදා ඇති උනත් මිනිස්සු හැසිරෙන්න ඔහොම තමයි. හරියට වැඩක් කර ගන්න බෑ රාජ්‍ය නිළධාරින් බහුතරයකට.

    ReplyDelete
  5. පපුව ළඟට වතුරෙ එරි එරී දහසක් දුක් විඳන් උදව් අරන් ගිය මිනිස්සුන්ට, රණවිරුවන්ට, ග්‍රාමා නිලධාරීන්ට මොන හිත් බිඳීමක් වෙන්න ඇත්ද...අනේ මන්දා.
    සෑම්ට අලාබහානි යන්තංය කියල විස්වාස කරනව.

    ReplyDelete
  6. මටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා. ඇත්ත තත්වය දන්න නිසා (බොහෝවිට අත්දැක ඇති දේවල් නිසා) ඔය ආධාර දෙන වැඩවලට සම්බන්ධ වෙන්න හිතෙන්නෙම නෑ. මොනවා උනත් ඔහොම දෙයක් උනාම මිනිස්සු අසරණ වෙනවා. ඒත් ටිකකින්ම ආයෙ අනික් පැත්තට අසරණකම් යට ගිහින් පරණ ගති උඩට එන්නෙ. දෙයක් දෙනවා නම් වචනයකින්වත් හොඳක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ.

    ReplyDelete
  7. අඩුපාඩු නැති තැනක් හොයන්න බෑ සෑමෝ. ප්ලෑන් කරල කරන මගුල් ගෙදරක අඩුපාඩු වෙනව නං මේවගේ තැන් ගැන කවර කතාද!
    හැබැයි මොනව දුන්නත් සෑහීමකට පත් වෙන්නෙ නැති එවුන් තමයි 'බහුතරයක්' ඉන්නෙ. උන් ගෙවල් දාල යන්න කැමතිත් නෑ, අනතුරු හැඟවීම් ගනන් ගන්නෙත් නෑ (බුකියෙ සුභාග කියල තිබුන නායයාම් අනතුරු හැඟවීම් දෙරණ නිව්ස් ඇලර්ට් වලින් පිටරටක ඉන්න එයාට ආවෙත් 15 වෙනිද කියල), කොච්චර දුන්නත් ඇතිකමකුත් නෑ.

    මම දැකල තියන දෙයක් තමයි වැඩිපුරම ආපදාවට ලක්වූ අයට (ජීවිත හානි, මුළුමනින්ම නිවාස ආදිය විනාශ වූවන්) වැඩිය කෑගහන්නෙ යන්තං වතුර පාගපු අය. (හදිසි අනතුරකදි වැඩියෙන්ම කෑගහන්නෙත් සුළු තුවාල ලැබූ අය ය කියනවනේ ඒ වගේ) වැඩි හානි සිදුවූවන් වැඩි වගක් නැතුව ඉන්නව (සුනාමියෙදිත් සිදුවුනේ මේක).

    ආහාර ආදිය බෙදීම ගැනත් යමක් කියන්න ඕන. පිට පලාත්වලින් ගිහිල්ල බෙදන ආහාර සහ අනෙකුත් ආධාර සාධාරණව බෙදෙන්නෙ නැතිවෙන්න පුළුවන්. මොකද ආධාර ගන්න සෙට්වුන පිරිසකුත් ඉන්නව. වාහනය ගිහිල්ල නැවැත්වුවාම වටේ ඉන්න එවුන් කවුරු උනත් නොදී බැරිවෙනව. ග්‍රාම නිලධාරීන්, අනෙකුත් රාජ්‍ය හෝ ස්වේච්ඡා ආයතන සහ එක දිගට වැඩට බැහැල ඉන්න පිරිස හරහා නොබෙදීම තමයි මේකට හේතුව.

    ReplyDelete
  8. //////පෙරටුගාමී ස්භාවයක් නොතිබුණේය.////// ඒ කිව්වේ මොකුත් කචල් එකක් නැහැ කියන එක වෙන්න ඇති :D

    ඤෑ කියාගෙන ඉන්න අපි වගේ ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ. ලේසියෙන් සනසන්න බැහැ.

    ReplyDelete
  9. අපේ උංට නිකං දෙනවනං දෙමළ පත්තරෙත් මොකද කියල තියෙනවනෙ.
    හැබැයි මේකෙ කණගාටුදායකම දෙය වෙන්නෙ සැබෑවටම අසරණ වෙච්ච මිනිස්සු තවත් අසරණ වෙන එක.
    රාජ්‍ය නිලධාරීන් මීට වැඩිය උනන්දුවෙන් වැඩ කරනවනං මේ තත්වය ටිකක් හරි මගහැරගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේකත් කියෝල බලහං

      http://yanhella.blogspot.com/2015/11/village-water-3.html

      Delete
    3. මටත් මතක් වුනේ සුරංගගේ ඒ post එක.

      Delete
  10. අපි හදවතින්ම ලන්කිකයිනේ සැමෝ ...

    ReplyDelete
  11. ඔව්වා ඔහොම තමයි.ගංවතුරට බෙදන්න දීපු කෑම පාර්සල් විසිවෙනිදා රෑ අපි හිටපු ගල්කිස්ස බඩෝවිට පැත්තේ මරණ ගෙදරකටත් අවා.සමහරවිට සම්බන්ධීකරණයේ දුර්වලතා නිසා කෑම ලැබෙන්න ඕනේ අයට නොලැබුණා හෝ ප්‍රමාණවත් පරිදි ලැබුනා නොවෙන්නත් පුළුවන් නේද සැමෝ.

    ReplyDelete
  12. අඩේ....මේ ලිපිය දකිනකං මට මතක් උනේ නෑනෙ බොලාටත් ගං වතුර ගැලුවද කියලා...අපේ ගමේ පාරවල් ටික යට උනා විතරයි...ගෙවල් ඇතුලට වතුර ආවෙ දෙතුන් දෙනෙක්ගෙ...ඒ උනාට බොල ආධාර නම් මදි නොකියන්න ලැබුනා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...