Wednesday, March 9, 2016

උඹ කෝමද මට කලින් ඇතුලට යන්නෙ?? - How You Jailed Before ME !!!


ලියන්නට යන්නේ ක්‍රිබ් කතාවක්ය. ක්‍රිබ් එක නොදන්නා එකෙක් සිටිය නොහැකි බව සෑමා සිතා සිටියේය. එහෙත් එය එසේම නොවන බව තේරුණේ මෑතකදීය. ඒ නිසා ක්‍රිබ් යනු කුමක්දැයි සරලව සඳහන් කළ යුතු බව සිතෙන්නේය. ගැඹුරු විග්‍රහ, පැහැදිලි කිරීම්, සහ නිවැරදි කිරීම් සඳහා පහළ කමෙන්ට් තීරුව ඔබට වෙන්වන්නේය. CRIB හෙවත් ක්‍රිබ් යනු Credit Information Bureau of Sri Lanka ය. මෙමගින් ඔබගේ ණය තොරතුරු වාර්ථා පරීක්ෂා කර බැලිය හැකිය. ඔබ බද්ධ ණය කරුවෙකු/ ඇපකරුවෙකු ලෙස සම්බන්ධවූ ණය පහසුකම් පිළිබඳව නිරීක්ෂණය කළ හැකිය. ඔබේ ණය ගෙවීමේ ක්‍රමවත් බව හෝ අක්‍රමවත් බව පිළිබඳව තොරතුරු ක්‍රිබ් එකෙන් බලා ගත හැකිය.


කෙසේ හෝ සමාජ වහරේ ක්‍රිබ් එකට යනවා කියන්නේ කිසිවෙකුගේ මූල්‍ය ගණුදෙනු අක්‍රමවත් බව කියවෙන්නක්ය. ලීස් එකක් ඇරියස් වුණොත් ක්‍රිබ් එකට ගියා කියන්නේ වාහනේ අයිතිකාරයා පොලොවේ පස් කන සීන් එකක්ය. එලෙසම ක්‍රිබ් එකට ගියා කියා ඇඟ බේරා ගන්නා උන්ද අනන්තය. එය සිද්ධ වන්නේ මෙලෙසය. කිසිවෙක් තවත් අයෙකුට තමන්ගේ ණය ලබා ගැනීමකට, ලීස් එකකට, හෝ කිසියම් ගණු දෙනුවකට ඇප වන ලෙස ඉල්ලා සිටිනා විට, එය මඟ හැරීමට ඇති උපක්‍රමය ක්‍රිබ් එක පිටින් යැවීමය. අත්සන් කරන්න නම් පුලුවන් මචං, ඇප වෙන්න නම් පුලුවන් මචං, “ඒත් මම ක්‍රිබ් එකේ ඉන්නවා නේ“ කියූ විට අනෙකා වෙන අතක් බැලිය යුතුය. ක්‍රිබ් එකේ ඉන්නා එකෙකුට තවකෙකුට ඇප වෙන්නට නොහැකිය. ඒ නිසා ක්‍රිබ් එකේ ඉන්නවා යැයි කීමේ අවාසියක්ද නැත්තේය.

සෑමාට ක්‍රිබ් කතාවක් පත්තු වුණේ ලඟකදීය. ඒ ඌ ක්‍රිබ් ගිය නිසා නොවේය. අපේ එකෙක්ව තවත් එකෙක් ක්‍රිබ් එකට යැවූ නිසාය. සෑමාගේ මිත්‍රයා විමල් නම්, විමල්ගේ මිත්‍රයා දාස නම් කතාව දිගටම ලිවිය හැකිය. නැති නම් ඇත්ත නම් දැම්මොත් සෑමාට වන්නේ ක්‍රිබ් කෙසේ වෙතත් හිරේ යන්නටය.

විමල් හිත හොද එකාය. ඒ නිසා ඕනෑම ගින්දරකට පැනීමට ඔහුට සිත් දෙන්නේය. කොතරම් මිතුරන් සිටියත් මූල්‍ය ගණුදෙනුවකදී මිතුරුකම් පසෙකලා ටිකක් වැඩි දුරකට සිතිය යුතු බව සෑමා උගත්තේය. ඒ ගැන නම් උගත් පාඩම් බොහෝය. එහෙත් විමල් හිත හොද එකා නිසා දෙවරක් නොසිතන්නේය. කිසිවෙකුට ගණුදෙනුවකට ඇප වෙන්නට පෙර උගේ මූල්‍ය තත්වය පිළිබඳව සොයා බැලිය යුතුය. එලෙසම අත්සන ගසන්නට පෙර “මචං උබ කෝමද මේක දැන් ගෙවාගෙන යන්නේ?“ කියා හෝ ඇසිය යුතුය. විමල් එසේ ඇසුවාද නොඇසුවාද සෑමා නොදන්නේය. අසන්නට ගියේ ද නැතිය. එහෙත් එලෙස ඇසීමට සිත තබා ගත යුත්තේය. එය ඇප වන්නාටත් වඩා, ණය පහසුකම් ලබා ගන්නාටද කරන්නාවූ උපකාරයක් ලෙස සෑමා දකින්නේය. නැතිනම් අයෙකුගේ ජීවිතයක් පවා විනාශ වෙන මට්ටමට කටයුතු දුර දිග යා හැකිය. කිසියම් අයෙක් ලීසිං කම්පැණියකට ගොස් ගිණි තබා ගත් සීන් එකක්ද සෑමාට මතකයේ ඇත්තේය. ඒ නිසා ඇප වන්නාද, ණය පහසුකම ගන්නාද, සියල්ලට කලින් ටිකක් කතා බහ කළ යුතුය.

කෙසේ හෝ විමල් ඇප අත්සන ගසා ඇත්තේය. දාසයාද ණය පහසුකම අරගෙන වාහනය අරගෙන ඇත්තේය. දාස යනු පොලු කාරයෙක් නොවේය. බිස්නස් කරනා නිසා ඇති කල මුදල් බොහෝය. නැති කල බිංදුවටම බැස නැවත නැග එන්නේය. එලෙස නැති කලෙක දාසයා වාරික කිහිපයක් අතපසු කර ඇති බව විමලේ කිව්වේය. ඒ අනුව ඇප වූ විමලේට ලීසිං කම්පැනි එකෙන් කෝල් එක ආවේ සෑමා ඉන්නා තැනකදීමය. තමා වරක් දාසයාව වාරික ගෙවනා මෙන් දන්වා සිටි බවත්, නැවතත් කියා සිටිය හැකි බවත් විමලේ කම්පැනියට දන්වා සිටියේය. එහෙත් කම්පැනියෙන් කතා කළ පුද්ගලයා නැවත නැවතත් අපේ විමලේට බලපෑම් කළේ විමලේව බිය ගන්වන ආකාරයෙන්ය. එවිට විමල් කෙලින්ම කියා සිටියේ වාරික ඇරියස් නම්, වාහනය සීස් කරනා ලෙසය. තමාට ඉන් කිසිම හානියක් නැති බවත්, දාසයා නිසා තමන් ක්‍රිබ් එකට වැටී ඇති නිසා සීස් කිරීමෙන් තමන්ට ක්‍රිබ් එකෙන් නිදහස් විය හැකි බවත් විමලේ කියූ තැන කම්පැනි මහතාගේ හඬ බාල වූයේය. හෙතම නැවත ඉල්ලා සිටියේ වාරික සියල්ල ගෙවන ලෙස මිත්‍රයා දැනුවත් කරන ලෙසටය.

මා මිත්‍ර විමල් ඉන්පසු ඇමතූවේ දාසයාටය.

“මොකක්ද මචං උබෙ ඇරියස් ටික තාම ගෙව්වෙ නැද්ද?“

“හරි බං මම මේ මාසෙ වැඩේ සෙට්ල් කරන්නම්.. ඇයි උබට ලීසිං එකෙන් කතා කළාද??“

“ඒකනෙ බං... බලපං.. උඹ නිසා මාව උන් ක්‍රිබ් එකටත් දාලා..“

“පිස්සුද බං?? උන් උබව කොහෙ දාන්නද?? උබට කලින් උන් මාව දාල ඉන්න එපෑ...“



පලි - ක්‍රිබ් එක නොදත් මිතුරෙකු වෙනුවෙන් අපි විනාඩියක නිහඬතාවයක් පැවැත්වූ අතර, 
එහෙව් එකෙක්ට ඇප වූ මා මිත්‍රයා වෙනුවෙන් නිහඬතාවයක් පැවැත්වීමට නොහැකි තැන මේ පෝස්ට් එක ලියැවුණේය.

37 comments:

  1. "මචං මම ලොරියක් අරන් දාන්න යන්නේ ලෝන් එකට ඇපේට සයින් කලෑකිද ? තිස්පන්දාහට වඩා වැඩි සැලරි එකෙක් වෙන්නෝනෙ.. උඹට පුළුවන්නේ ද ?"

    මිනිහෙක් දියුණු වෙන්න දගලන කොට ඌට උදව් වෙන්න එපෑයෑ කියලා හිතපු අර මෝඩ හරකා ඇපයට අත්සන් කෙළේය... අත්සන් කිරීමට බැංකුවට ගිහින් එන අතර මග, ණය කරුවා විසින් ඇප කරුවන් දෙදෙනාටම "පැල පී" ද අරන් දුන්නේය...පැල පී කා විහිළු තහලු කර ගත් ඔවුහූ අවසානයේදී විසිර ගියහ...

    කෑ පැල පී නිසා තමා බඩ වී ඇති බවත්, ළමයා ලැබීමට ආසන්න බවත් ඇප කරුවාට සිහි වූයේ හරියටම මාස නවයකට පසු අදාල බැංකුවෙන් රතු නිවේදනය ගෙදරටම ආ විටය...

    ණය කාර මිත්‍රයා පොලු කාරයෙකු වී, දුරකතන අංකද විසන්දි කරගෙන අතුරු දහන්ව සිටියේය... ගෙදරට කතා කළ විට උගේ මෑණියැන්දා...ඉමිහිරි සිංහල වදනින් ඇප කරුවාට ඇමතුවේ... ‍තෝ ඇවිල්ලා අපිට එකෙක් විතරයි යන්න සනාත කරමින්ය... ඒ උන්ගේ ජීවනෝපය බව ඇප කරුවාට පසක් වන විට උගේ ඇපය සින්න වී හමාරය..

    ඇප කරුවා අදටත් ක්‍රිබ් එකේය...

    ReplyDelete
    Replies
    1. හම්මියෝ
      මාර ෆැමිලි එකක් නෙ

      Delete
    2. ණයකරුවා සෙන්නා නොවේය කියා අපට සහතික විය නොහැකිය. හැක්..

      Delete
    3. ඔන්න බලහන්කො ඉතින් මිනිස්සු අපි ගැන හිතන් ඉන්න විධිහ..... :D

      Delete
    4. පට්ට කතාවක් සෙන්නා.. උන් ෆැමිලියම ගොඩ යන්නේ එක එකාව බිල්ලට දීලා වෙන්න ඇති..

      උබ දන්නවද සෙන්නා, ප්‍රසා වෙලාවකට ඇත්තත් කියනවා බං... :D

      Delete
    5. අවාසනාවට ඇත්ත කතාවක්......

      Delete
  2. බය හිතෙනවා අප්පා...

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා විදානේ.. හැදෙමු !

      Delete
    2. චැහ්... මේක කියෙව්වට පස්සෙ විදානෙයගෙ ලෝං එකට අත්සන් කරන්න දෙපාරක් හිතන්න වෙනව.

      Delete
  3. කලින් යහළුවකු නිසා ක්‍රිබ් ගතවී එම නිසාම පසුව නඩුවක විත්තිකරුවකුවී අත්දැකීමක් තියෙනවා.

    ReplyDelete
  4. ණයට නොදීමත් ණය නොගැනීමත් මෙතුවක් කාලයකට පිලිපැද ඇති සහ ඉදිරියටත් පිලිපදින න්‍යායකි මා හට නම්...

    ReplyDelete
    Replies
    1. ලෝන් වලට අත්සන ගහනවනේ ඒත්.. ??

      Delete
  5. ඉතිරිකිරීම ඇඟේ නොමැතිය.ණය ගෙන ගෙවාගෙන යාම නම් කොරගෙන යා හැකිය.ඒ නිසා මෙහෙම ලිපි වලට මනාපය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිකිස්..

      ලෝන් ගෙවිල්ල කලාම ඉතුරු නෑ තමා ලබ්බෝ

      Delete
  6. Mewwa prasiddiye liwwama kohomda crib eke innawa kiyala boru kiyanne??? Oya apeta sign karana seen eka nam berenna bari prashnayak thama. Yalukamata sign nokarath baha sign karama gewanneth naha. Gewapan kiwwama eda indan yalukamath naha.

    ReplyDelete
  7. Mewwa prasiddiye liwwama kohomda crib eke innawa kiyala boru kiyanne??? Oya apeta sign karana seen eka nam berenna bari prashnayak thama. Yalukamata sign nokarath baha sign karama gewanneth naha. Gewapan kiwwama eda indan yalukamath naha.

    ReplyDelete
    Replies
    1. යාලුවෝ වගෙද ක්‍රිබ් එක..

      Delete
  8. හොඳ අත්දැකීම් සහිත පැත්තක්. ලොකු පුතා CRIB එකේ ඔන්ලයින් මෙව්වා එකක් හදාගෙන ඒක ඔන්ලයින් මොනිටර් කරන මට්ටමට දියුණු වී සිටි ජීවියෙකි...
    ඒ එකවර ලීසිං තුනකුත්, ණය වාරිකයකුත්, ක්‍රෙඩිට් කාඩ් පහකුත් භාවිතා කල අවධියක් තිබු නිසාය...
    කාලයාගේ අවෑමෙන් එම ලීසිං තුනම අවසන් කොට, ණයද පියවා දමා, ක්‍රෙඩිට් කාඩ් තුනක් කැන්සල් කරදමා සැනසිලිදායක ජීවියෙකුව සිටීමට හැකි වුයේ ටික කළකි...
    දැන් නැවතත් එක ණය වාරිකයක, කුඩා ප්‍රමාණයේ ලීසිං වාරිකයක සහ ක්‍රෙඩිට් කාඩ් දෙකක හිමි කරුවෙකුව සිටිමි...
    නමුත් කලින් මා මසකට ගෙවිය යුතු වූ මුදල සමග මේ වන විට ගෙවිය යුතු වූ මුදල සංසන්දනය කලවිට 50% ත් වඩා අඩු වීම නිසා එතරම් ගැටළුවක් නොමැතිව ආර්ථිකය ඉදිරියට ඇදෙමින් පවතී...
    එනිසා CRIB එක බලමින් ගතකල කාලයද අවසන්ව ගොස් ඇත...

    එමෙන්ම ගෙවාගෙන යාමට හැකියාවක් නැති බවට අබමල් රේණුවක හෝ සැකයක් ඇති අයෙකුගේ ණයකට හෝ වෙනත් දෙයකට ඇප කරුවකුද නොවෙමි. ඇප කරුවකු නොවීම සඳහා කීමට මා හට ඇති කරුණු ඕනෑ පදම්ය...
    මගේ දේවලටද පිට උදවිය පටලවා ගන්නේ නැති තරම්ය. උදව්වක් ලබා ගත්තත් එය ලබා ගන්නේ එකට කා වැටීගෙන එදා සිට අද දක්වාම මිතුදම පවත්වාගෙන යන දෑතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් ලංකාවේ සිටින කැම්පස් මිතුරන් කිහිපදෙනා සමග පමණි...
    ඒද අප අප අතරේ නොයෙකුත් ව්‍යාපාර කටයුතු සහ මුදල් හුවමාරු කටයුතු බහුලව සිදුවන බැවිනි...
    එසේ සිදු වන්නේ අප මිතුරු සමාගමේ පොළු කාරයන් සිටීමට කිසිදු ඉඩක්ද නොමැති බව සක් සුදක් සේ දන්නා නිසාය...

    ReplyDelete
    Replies
    1. ලීස් තුනක් ගෙව්වයි කිව්වේ උබ රෙන්ට කාර් සීං එකක් වත් කොලාද?

      Delete
  9. මගෙන් දෙන්නෙක් තුන්දෙනෙක්ම ඇහුව අස්සං කරනවද මචං මෙහෙමයි අරෙහෙමයි කියල
    මං කීයෙ
    කැප වෙන්න පුලුවං මචං ඇප වෙන්නෙ නං නෑ කියල...
    හැක්...

    ReplyDelete
    Replies
    1. ඇප නොවී.. මගෙ ලෝන් එකක් කැප වෙලා ගෙවන්ට බැරිද මාත්තයෝ..

      Delete
  10. නියම ලිපියක්ය.
    මානං ඇපයකට අත්සන් කිරීමට පෙර දෙපාරක් නොව සියවරක්ම ණයකරුවාගේ ආර්ථික තත්වය ගැන විශ්ලේෂණයක් දමනවාය. නැත්තං උෟට පෙර මට ක්‍රිබ් යා හැකිය.

    ReplyDelete
    Replies
    1. ෆිනෑන්ස් කොම්පැනි වගේ පේ ස්ලිප් ඒම අරන් බලන්ට උවමනාය..

      Delete
  11. මේ කියන්නෙ බ්ලැක්ලිස්ට් කරනවා වගේ වැඩක්ද?

    ReplyDelete
    Replies
    1. ක්‍රිබ් එකට යනවා කියන්නෙ අදාළ පුදලයාව බ්ලැක්ලිස්ට් කරනවා වගේ දෙයක්ද? එහෙම නැත්නම් ණය ගන්න ඕනෑම කෙනෙක්ව මෙතනින් නිරීක්ෂණය කෙරෙනවද? ගෙවන විදිහ. ලොකු පුතා ඔන්ලයින් බලන් හිටියා කිව්වම මට හිතුනේ ඒ වගේ දෙයක්.

      මට මතකයි අපේ තාත්තා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට ඇපයකට අත්සන් කරලා ඌ ගෙවන්නෙ නැතුව කොහෙටද යන්න උනා. එතකොට මම පොඩියි. තාත්තා නම් කිව්වෙ දේපළ වලින් අරන් දෙන්නම් කියලා බේරුනා කියලා. පස්සෙ බලද්දි ඒ යකා මිනිස්සු ගොඩකටම පොලු තියලා.

      Delete
    2. නිරීක්ෂණය කලැකි.. ඒ වගෙම ගෙවීම් අවුල් නම්, ඇප වෙච්චි උදවිය අවුල් නම් වගේ බ්ලැක් ලිස්ට් කල හැක.

      ඒ මංතිරියා දැන් දියවන්නා වේ ද?

      Delete
    3. ඌට එච්චර චාන්ස් තිබ්බෙ නෑ. වේලාසනම එලොව ගියා.

      Delete
  12. පස්ට........... පට පට..........

    ReplyDelete
  13. හොඳ ලිපියක්.

    ReplyDelete
  14. ක්‍රිබ් මංහිතුවේ බෙහෙත් ජාතියක් කියල

    ReplyDelete
    Replies
    1. ඔව්.. බුලත් කොලේක උන්ඩි කරලා හපන්නේ.

      Delete
  15. මම නම් කිහිපෙකටම ඇප වෙලා තියෙනවා.ණය කාරයෝ ගේන්නේ නැතුව ලියුම් පවා ඇවිත් තියෙනවා.

    ඒ තිබිලාත් දැන් මාස කිහිපයකට පෙර තව යාළුවෙක්ට වාහනයක ලීස් එකට අත්සන් කෙරුවා.කොහොමද බං හොඳට දන්නා කියන එකෙක් ඔහොම උදව්වක් ඉල්ලුවාම බැහැ කියන්නේ හිටං.

    ReplyDelete
    Replies
    1. හිටං බෑ නම් ඉදං කියපං.
      බොට ලෝං එකක් ගන්ඩ ගියාම කෙල වෙයි නැත්තං

      Delete
  16. අපේ ගෙවල් ළඟ ඉන්නවා ෆිනෑන්ස් කොම්පැනි මැනේජර් උන්නාන්සේ කෙනෙක්. උන්නැහේගේ කටේ ක්‍රිබ් එක නැති වෙලාවක් නෑ. අර මැක්කා වගේ ඕනෙම දෙයක් කතාකරද්දී මිනිහා ක්‍රිබ් එක ගැන මොකක්හරි කියනවා. :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...