Monday, October 26, 2015

අම්මා මොනවාද අපිට කළේ ?? - “පෝයට එකක්“


http://www.pinsiri.com/wp-content/uploads/2012/11/Amma1.jpg


“අම්මා මොනවාද අපිට කළේ ??“

අවසන අසන්නේ එපමණය. කුසට ආ දා සිට දහදුක් විඳ තැනකට එන්නට මඟ පාදන්නේ ඈය. ඉන්පසු ඇය වෙනුවෙන් වෙලාවක් නැති පුත්‍රයෝ, දියණියෝ, ඇය තමන් වෙත දැක්වූ අවධානය නොදක්වන්නෝය. ලෙඩකට දුකකට බෙහෙත් ගැන්මට යාම මොහොතකින් හෝ පමා කරන්නෝය. ඒ තමන්ගේ කාර්යය බහුලත්වය නිසා බව කියන්නෝය. තමන් කුඩු කළ ලෙඩකවූ විටක ඇය තමන්ව රැගෙන ගියේ එම මොහොතේමය. ඇය එකී කාර්යය කල් නොදැමුවාය. 

“අම්මා මොනවාද අපිට කළේ ??“

ඇය ඔබට උගන්වන්නීය. ඇය ඔබේ සහෝදරයන්ට, සහෝදරියන්ට උගන්වන්නීය. එක ලෙසම සියලු දෙනා ඉල්ලනා දේ ලබා දෙන්නීය. ඒ ඔවුන් ඔවුන්ගේ ඉගෙනීමේ අවශ්‍යතාවයන් මතය. අවශ්‍යතාවයන් විවිධ වුවද ඒ සියල්ල එක ලෙස ඉටු කරන්නීය. ඉන් අයෙක් අධ්‍යාපන මට්ටමින් පරතෙරටම යා හැකිය. අයෙක් අතර මැද ඇන ගන්නට පුලුවන්ය. පසුව විවිධ වෘත්තීය මට්ටම් වලට වැටෙන්නෝය. අදායම් මට්ටම් විවිධ වන්නෝය. ඉන් ඉක්බිති සමාන අයිතිවාසිකම් ඇතිව, අවශ්‍යතාවයන් සමානව සැපුරුණු බව අමතක කළ ඇත්තෝ ප්‍රශ්න කරන්නෝය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

ඔවුන් වැඩිවියට පත්ව විවාවන්නෝය. දරු මල්ලන් හදන්නෝය. ගෙවල් දොරවල් හදන්නෝය. විටෙක ඉඩම් කඩම් මිලට ගන්නෝය. ඉන්නට ඉඩමක් නොලද්දෝ ප්‍රශ්ණ කරන්නෝය. ගෙවල් නොලද්දෝ, හැදූ නිවසට අම්මාගෙන් උපකාර නොලද්දෝ ප්‍රශ්ණ කරන්නෝය, දරුමල්ලන් බලන්නට උදව් නැත්තෝ ප්‍රශ්ණ කරන්නෝය, උක්ත සියල්ල නොපිරිහෙලා ඉටු කළද ප්‍රශ්න කරන්නෝය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

විටක ඔහු ලබන්නේ හොඳ බිරිදක්ය. විටක ඔහු ලබන්නේ නපුරු බිරිදක්ය. විටක ඇය ලබන්නේ හොඳ සැමියෙක්ය. විටක ඇය ලබන්නේ නපුරු සැමියෙක්ය. තමන්ගේ බිරිඳ ඇගේම අම්මාට සලකන්නේ නම් ප්‍රශ්න අඩුය. තමන්ගේ ස්වාමියා ඔහුගේම අම්මාට සලකන්නේ නම් ප්‍රශ්න අඩුය. ඔවුනොවුන් මාතෘ, පිතෘ උපස්ථානයේ වටිනාකම දන්නෝය. ඔවුන්ගේ එම කර්තව්‍යයට බාධා නොකරන්නේ නම්, ඇය හෝ ඔහු හෝ ඔබේ දෙමව්පියන්ට සලකන්නේද දෙවරක් නොසිතීමෙන්ය. කොටින්ම කිවහොත් ඇය ඇගේ අම්මාට සලකන්නේ නම්, ඇය අනලස්ව ඔබේ මවට එනම් ඇගේ නැන්දම්මාට සලකන්නීය. ඔහු ඔහුගේ අම්මාට සලකන්නේ නම්, ඔහු අනලස්ව ඔබේ මවට එනම් ඔහුගේ නැන්දම්මාට සලකන්නීය. තම සහකරුට, තම සහකාරියට තමන්ගේ අම්මාගේ වටිනාකම නොහැඟේ නම් ප්‍රශ්න කරන්නේද මෙලෙසමය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

ඔවුන් දරුවන් ලබන්නෝය. ඔබේ දරුවන්ට මෙන්ම සොහායුරු, සොයුරියන්ගේද දරු මල්ලන්ද ඇය හදා වඩා ගන්නීය. එක ලෙසම ආදරය දක්වන්නීය. මුලින්ම උපන් පුංචි එකාගේ සිට අලුත උපන් පුංචි එකා දක්වාම ආච්චී දක්වන්නේ එකම ආදරයක්ය. මුලින් උපන් පුංචි එකාට කළ හරිය, අන්තිම එකාට කරද්දී බෙහෝ අයට අමතක විය හැකිය. අපිට නොකළ තරම උන්ට කරනවා යැයි හැගෙන්නේය. නැවතත් ප්‍රශ්න කරන්නේය. එහෙත් ඇය නිහඬය. ඇයි පිළිවදන් නොදෙන්නේ ඇය කළ තරම ඇය මෙන්ම සමාජයද දන්නා නිසාය. එහෙත් ප්‍රශ්නය නොනැවතී නැගෙන්නේය.

“අම්මා මොනවාද අපිට කළේ ??“

පිම්මේ දුවන ඇය එක වර නවතින්නීය. උණුසුම් වූ ලය විටක සිසිල් වන්නේය. හතිලමින් නොනැවතී දිවූයේ එකෙකු නිසා නොව හැම දෙනාම නිසා බව පසක් වන්නේය. එදා දුටුවේ උන්ට කළ හරිය මිස තමන්ට කළ හරිය නොවේය. තමන්ට කළ බව දැනෙන්නේද එදාටය. එහෙත් ප්‍රමාදය. කළ යුතුව තිබුණේ තමන් ලද හරිය සිහිපත් කර ඇයට තුති පිදීමය. එහෙත් ඇයට ඒ සතුට ජීවමානව ලබා නොදුනේ ඔබය. නැතිනම් අම්මා පුතා, අම්මා දුව, අතර බාධකයක් වූ ඔබේ සහකරු හෝ සහකාරියය. නැතිනම් කිසියම් හෝ සාධකයක්ය. උණුසුම් වූ ඇය ලඟ තුති පුදන්නට නොහැකිව, වචන අහිමිව, සුසුම් හිරවී හැඬුවාට පලක් නැතිය. හුස්මක් නැති ඇය ලඟ වකුටු වී තමා වෙනුවෙන් කළ කී දෑ ගණන් කළාට වැඩක් නැතිය. ඇය කළ හරිය ඇයට මතක් කර තුති පුදන්නට ඔබ ප්‍රමාද වැඩිය. එහෙත් ඔබ ඇය වෙනුවෙන් නොකළ ගුණ වැයීමේ ලැජ්ජාව වසා ගත යුතුය. නැවතත් ඇසිය යුත්තේ..

“අම්මා මොනවාද අපිට කළේ ??“


Written_by_sAm_ශ්‍රී_Perera_11.07pm_26/10/15

14 comments:

  1. ලෝකේ විස්තර කරන්න අමාරුම වටිනාම අකුරු තුන.

    ReplyDelete
  2. අම්මා අපිට මොනවද නොකළේ ?

    ReplyDelete
  3. කොනඩයට ඇප අත්සන් කොලෙත් අම්මා බං

    ReplyDelete
  4. අම්මා...
    ඒක නිර්වචනය කරන්න බැරි වචනයක්..

    ReplyDelete
  5. දරුවන්ට සිදුවිය යුතු යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටුකල පසු ඇයට දරුවන්ගේකිරි දරුවන් රැක බලා ගැනීමට, කැවීමට, කැතකුණු අතගෑමට සිදුවේ. එය ඉතා කැමැතෙන් ඇය කරන්නේ තම දරුවන් ගේ මුහුණ මුණුපුරන් තුලින් දකින බැවිණි. ඇයට එහි වෙනසක් නැත. ආච්චී ලග කිරිබොන මුණුපුරන් දමා යන අම්මලා ගෙන් ඇයට කිසිදා නිවනක් නැත. නමුත් ඇය අතින් කුඩා හෝ අත්වැරදීමක් සිදුවුවහොත් කල කැපකිරීම් සියල්ල පසෙක දමා අම්මාට බැනවැදීමට දරුවන්, ලේලියන් හා ඔවුන්ගේ නෑදෑයින් නිර්ලෝභීව දාරක ප්‍රේමයෙන් ඉදිරිපත් වනු ඇත.

    එතකොට ඇසෙයි....

    ඕං අම්මා කරපු දෙයක්......

    ReplyDelete
  6. කළයුතු දේ නිවැරදි වෙලාවට කර ඇත.

    ReplyDelete
  7. තාත්තා මොනවද අපිට කළේ......................???????

    ReplyDelete
  8. සුපිරි..... හරිනං අහන්න ඕන අම්මා තාත්තා මොනවද අපිට නොකළේ කියලයි......................

    ReplyDelete
  9. අම්මා ගැන... කියන්න වචන මදි...

    ReplyDelete
  10. අම්ම අප්ට මොනවද කලේ කියල අද අහන දුවලට
    හෙට ගෙන්න වෙන්නෙත් ඒ වචන ටිකමයි.. ඒ තමන්නෙ දුවලගෙන්

    ReplyDelete
  11. මේ වගේ සෙන්ටිමෙන්ටල් පෝස්ට් හොඳයි. සිත සනසා ගන්න. ඒත් යථාර්තය මේක නෙමේ. හැම අම්මාම එක වගේම නැහැ, හැම තාත්තාම එක වගේ නැහැ. ඔවුන් දැනගෙන කරන හොඳ වගේම නරක තියෙනවා. නොදැන කරන හොඳ වගේම නරකත් තියෙනවා. අම්මා විතරක් නෙමේ ඕනම මනුස්ස කොටසක් ජෙනරලයිස් කරනවා නම් එතනම තියෙන්නෙ අවුලක්. මේ 'අම්මා' ගේ චරිතය උත්කර්ශවත් කරන එකේ නොපෙනෙන ලොකු අවුල් පැත්තකුත් තියෙනවා. මෙතන ආතල් කන්නෙ නැතුව ඒවා ගැන වැඩි කතාබහ පසුවට කල් දාමු.

    ReplyDelete
  12. උපන් දිනයට පෙර දිනයේ අම්මා සිහි වුනා නේද?

    ReplyDelete
  13. දරුවෙක් ලැබුණට පස්සෙ තමා බං නියම විදිහට තේරෙන්නෙ අම්ම මොනතරම් දේවල් කරනවද කියලා...

    උඹ ආයෙ බ්ලොග් ලෝකෙට ආව එක ගැන සතුටුයි සෑමා.

    ඒ වගේම, සුභ උපන්දිනයක් වේවා උඹටයි මුළු පවුලෙ හැමෝටමයි (විශේෂයෙන්ම එදා මට අච්චර ආගන්තුක සත්කාරයක් කරපු සෑමගෙ අම්මට...)

    ReplyDelete
  14. අම්මා මොනවාද අපිට නොකළේ ??

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...